Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


[කසුන් මහේන්ද්‍ර හීනටිගල ගේ "කවි ඇසිඩ්" කාව්‍ය ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේදි මංජුල වෙඩිවර්ධන කළ කතාව.]

"Nations are born in the hearts of poets, they prosper and die in the hands of politicians."

ඒක සරලව සිංහලෙන් ගන්නවා නම් මෙහෙමයි,

"රටක් එහෙම නැතන්ම් ජාතියක් දේශපාලකයන් අතින් බලගැන්විලා ඔවුන්ගෙ දෑත් මතම මිය ගියත්, ජාතීන් උත්පාද වෙන්නෙ කවීන්ගෙ හදවත් තුළ."

මෙහෙම කිව්වෙ මුහම්මද් ඉක්බාල් කියන අපේ කලාපීය භූ දේශපාලන වපසරිය ඇතුලෙන් ම පහළ වුණු කවියා. කවි ලියපු දාර්ශනිකයා. පෙරදිග මහා කවියා විදිහට බටහිරදි හැඳින්වෙන්නෙත් මුහම්මද් ඉක්බාල්. ඔහු දේශයන් ගැන හෝ ජාතීන් ගැන සමාජගත කරපු සිද්ධාන්ත ගැන කතා කරන්න නෙවෙයි ඔහුව මුලින්ම උපුටල ගත්තෙ. ජාතියකට එහෙම නැත්නම් රටකට කවියෙක් බලපාන්නෙ මොන වගේද කියන එක කතා කරන්න ප්‍රවේශයක් අරගන්න. නැවතත් ඔහුවම උපුටනවා, මොකද කවිය ගැන ඔහු දරපු අදහස් ඇවිලෙනසුළු හින්දා. ඔහු මෙහෙම කියනවා.

"When truth has no burning, then it is philosophy, when it gets burning from the heart, it becomes poetry."

සරලව කියනව නම්....,
පිළිස්සිල නැති සත්‍යයට තමයි දර්ශනය කියන්නෙ. ඒකම හදවත් තුළ ගින්දර අවුළුවමින් මතු වෙනවා කියන්නෙ අන්න කවිය උපදිනවා.

මෙන්න මෙතන තමයි කවි, ඇසිඩ් වෙන තැන.

දැන් මං මොහොතකට හැරෙන්නම් ජාතියේ මහා කවියා, සමාවෙන්න ජාතියේ මහා කවියා නෙවෙයි මහා ජාතියේ මහා කවියා දෙසට.

"කවිය යනු ජාතික හදවතෙහි බසයි. එය ජාතියක හෘදය සාක්ෂිය ද වෙයි. නිදහස ලබා අඩ සියවසක් ගතවීත් අපට අපගේ හදවතෙහි බස ළඟාකර ගත නො හැකි වීම මා තුළ සැක බිය පහළ කිරීමට හේතු වී ඇත්තේ අද ඊයේ සිට නොවේ. මෙවැනි තත්ත්වයක් විසින් පෙන්නුම් කරනු ලබන්නේ අපගේ හදවත මියගොස් ඇති බව ද? මියගිය හදවතකට කථා කළ නො හැකි බව අපි දනිමු; බසක් තිබිය නො හැකි බව අපි දනිමු. එසේ නම් මේ තත්ත්වය විසින් පෙන්නුම් කරනු ලබන්නේ කායික මරණය පෙරටුකොට එන අධ්‍යාත්මික මරණයට අපගේ ජාතිය දැනටම මුහුණ දී ඇති බව ද?"

මෙහෙම කියන්නෙ ඒසේ මෙසේ චින්තකයෙක් නෙවෙයි. පතාක කවියෙක්. ගුණදාස අමරසේකර. සිංහල කාව්‍ය සම්ප‍්‍රදාය කියන අධ්‍යනයෙ හැඳින්වීමෙ තමයි ඔහු තමන්ටත් විශාල වශයෙන් අදාල වෙන මේ ඇත්ත සමාජගත කරන්නෙ. කිසිඳු පැකිලීමකින් තොරව මං මේ අදහස පිළිගන්නවා.

අමරසේකර කියන ජාතික හදවත හැදෙන්නෙ කොහොමද කියන එකයි කසුන්ගෙ කවි ඇසිඩ් පාරට මුවා වෙලා මං මේ කියන්න හදන්නෙ. අපේ පරම්පරාවේ හිටපු විශ්ෂ්ඨතම කවියා වෙච්ච රෝහිත භාෂණ අබේවර්ධන නැමැති අපේ මිත්‍රවරයා, සහෝදරයා ලක්දිව හා හිරු පත්තරවල කරපු නිම්තෙර කියන කවි පිටුවට දෙමළ කවි පරිවර්ථනය කරපු නිලාර් එම් කාසිම් සහෝදරයා ඒ දෙමළ කවි තීරුවේ නමින්ම කරපු පොතට, නම තමයි සහෝදර පියාපත්, ඒ නම දැම්මෙ විමලසිරි ගම්ලත්. විභූති වීදියබණ්ඩාර කියල කවි ලියපු දක්ෂ කවියා. වරද්ද ගන්න එපා. විමල් වීරවංශ නෙවෙයි. ඒ පොතට භාෂණ සහෝදරයා ලියනවා රචනාවක්.

ඒකෙ මාතෘකාව තමයි-
"සිංහල කවිය යා විය යුතු සුවිශාල සාමුහිකත්වයේ මහාද්වීපය දෙමළ කවියයි! "

භාෂණ මෙහෙම ලියනවා.

දශක දෙකකට වැඩි කලක් තිස්සේ ස්වකීය ප්‍රජාවන් මුහුණ දුන් යථාර්ථයන්ගේ ප‍්‍රබලතම ප්‍රකාශනය බවට පත්වීමට දෙමළ කවිය සමත් වූයේ එහි නිර්ව්‍යාජභාවය හා පෘථුල මානුෂික ලෝක දැක්ම හේතුවෙනි. නිශ්චලනයට ගොදුරු වූ සිංහල කවිය කෙරෙහි ප‍්‍රබලතම ආලෝකයක් හෙළිය හැක්කේ අසල්වැසි දෙමළ කවියේ මෑතකාලීන වර්ධනයන් පිළිබඳ පුළුල් හැදෑරීම මගිනි. පුද්ගල ප්‍රකාශනයේ දූපත් බවට පෙරළුණු වත්මන් සිංහල කවිය යා විය යුතු සුවිශාල සාමුහිකත්වයේ මහාද්වීපය දෙමළ කවියයි.

අද ජූනි 4. යාපනේ පුස්කාලෙ ගිනි තිබ්බෙ ජූනි පළවෙනිදා දවසක. හරියටම 1981 ජූනි 1. සිවිල් ඇඳුමෙන් සැරසුණු බල සේනාව, දැනුත් ඉන්නව වෙන වෙන නම් වලින්, මේ බල සේනාව යාපනේට ගිහිල්ලා, බුදුන් දෙවැනි වතාවෙ වැඩම කරපු නාගදීපයට දශම ගාණක් මෙහාට වෙන්න තියන යාපනේ පුස්තකාලෙට ඇතුල් වෙන තැනම තියල බුදුන්ව ඝාතනය කරනව. පොත් අනූදාහක් පුච්චන්න කලිනුයි වැඩේ සිද්ධවෙන්නෙ. බෞද්ධකම කලින්ම ඉවර කර ගත්තම ඕනම බලු වැඩක් කරන්න පුළුවන්. කවුරුත් දන්නව කවුද කියල මේක මෙහෙයවපු ඇමතිත්තො. ඇමත්තො කවුරු වුණත් එකයි. සිස්ටම් එක ගැන තමයි එම්. ඒ. නුහුමාන් කවියා මේ කියන්නෙ. අර ඇමති අහනවා මෙහෙම නමක් තිබුන්නෑනෙ මේ ලැයිස්තුවෙ කියලා. ඇමති බබා. මාර පව්, ඇමති බබා හිතන්නෙ චග්ගෝල මැරයන්ට වැරැද්දක් වෙලා කියලා. ඇමති නොහොත් මේ සිස්ටම් එකේ ප‍්‍රතිබෞද්ධයො බුදුහාමුදුරුවො දන්නෙත් නෑ. කසුන් මහේන්ද්‍ර නෙවෙයි කසුන් කල්හාර කියනවා වගේ පට්ට ඇත්ත.

නුහුමාන් කවීන්ද්‍රයා මෙහෙම ලියනවා.

නෑ සර්
වැරුද්දක් නෙමෙයි මේ
උන් වහන්සේගේ ප‍්‍රාණය නොසිඳ
මැස්සකුවත් මරන්නට නොහැකි වෙයි
අන්න ඒ නිසාමයි…’


හරිනෙ. ඉස්සෙල්ල ඒ ගේම දෙන්න ඕනෙ. ඇත්තම දේ තමයි යාපනේදි නෙවෙයි බුදුන් මැරුවෙ, කොළඹදි. කොළඹදිම මරල තමයි යාපනේට ගෙනල්ල තිබ්බෙ. දැන් මොකද වෙන්නෙ? දැන් මේක මාට්ටු වුණොත් සිංහල බෞද්ධයො කැළඹෙනවා. දැන් මොකද වෙන්නෙ? නුහුමානුවන් මෙහෙම ලියනවා.

‘හරි හරි
සගවන්න ඔය දේහය’
එසේ කී ඇමතිවරු
සැඟවුනහ
සිවිල් නිළධාරීහු
ඇදගෙන ගියහ ඇතුළට
බුදුන්ගේ ශී‍්‍ර දේහය
පොත් අනූ දහසකින් සැගවූහ එය
අනතුරුව
සිගාලෝවාද සූත‍්‍රය – දන්වන්නාහුය

දැවී අළු විය
ශී‍්‍ර දේහය
ධම්ම පදයද භෂ්ම වී ඇත


කවිය යනු ජාතික හදවතෙයි බස. ඇත්ත. අමරසේකර කියන එක ඇත්ත. නමුත් ජාතියේ හදබස හැදෙන්නෙ නුහුමාන් නැතුවද? නුහුමාන් අත හැරලා, නුහුමාන් මේ කියන එක ඇත හැරලා හද බසක් ගැන කතා කරන්න කාටද පුළුවන්. කවීන්ට හදබස ලඟා කරගන්න බැරි, වෙන කෙංගෙඩියක් හින්දා නෙවෙයි. හදබස ගැන කතා කරන අමරසේකරල විසින්ම සහමුලින්ම එහි විරුද්ධ අර්ථය සමාජ ගතකරමින් හිටපු නිසා සහ ඉන්න නිසා. හදබස කියන එක අපට ඇහෙන්නෙ සමාජය ඇතු‍ළෙන් නම්, සමාජයේ කේන්ද්‍රීය ප්‍රශ්නෙ ගැන කතා කරන එක එහි බරපතලම ප්‍රතිශතයක් අත්පත් කරගන්න ඕනෙ කියන එකයි මං මේ කියන්න හදන්නෙ. කසුන්ගෙ කවි ගැන නොවුණත් ඔහුගෙ පොත සමාජගත කරන දා මං කතා කරන්න එකඟ වෙන්නෙ මේ හද බස ඔහු කෙරෙන් මට ඇසෙන නිසයි.

ඒ 81 ගැන. 71 වසන්තය ගැන කියන්නෙ ජෙයපාලන් කවියා.

මලින් බර විය මහා වන හිස
කොවුල් ගී නද ඇසිණ මිහිරිව
පුරුදු පරිදිම
ඇවිත් ගිය හැම වසන්තය සේ
ප්‍රමෝදය හා යලිදු පිවිසිණි
71, වසන්තය


අන්තිමට වුණත් ජෙයපාලන් බලාපොරොත්තුව ඉතිරි කරනවා. කොහෙද? යාපනේ? කිළිනොච්චියෙ? මුලතිව්වල? මඩකලපුවෙ? නෑ. දකුණෙ. දකුණෙ සිංහල සමාජය ඇතුළෙ. එහෙමයි දෙමළෙන් කවි ලියපු ජාතික කවීන් කවි ලිව්වෙ. ඒක තමයි අපි හොයාගන්න ඕන හද බස.

ජෙයපාලන් මෙහම ලියනවා.

අපේ ගම් බිම් හරිම
සරුසාරයි- හැබෑමයි
කුමක් වළලා දමන ලද මුත්
පඳුරු ගසමින් යලිත් සුපිපෙයි
සත්තකින්, දලු ලා වැඩෙයි


කවුරුත් බය වෙන්න ඕනෙ නෑ. ජෙයපාලන් මේ කියන්නෙ උතුර ගැන නෙවෙයි දකුණ ගැන. නමුත් ඒ දකුණම තමයි ස්වයං පිටුවහළේ ඉන්න ජෙයපාලන් කියන මහා කවිය තමන්ගෙ අම්මගෙ සොහොන බලන්න ආවාම බෙල්ලෙන් අල්ලල දෙවෙනි වතාවට බලහත්කාරයෙන්ම පිටුවහල් කළේ. කොහොමද කෘතගුණ සැළකීම. මේ පසුබිම හැදුවෙ පඳුරු ගසමින් සුපිපුණු කට්ටියම තමයි.



මං කියන්න හදන්නෙ මේකයි. ජෙයපාලන්ට පුළුවන් නම් දකුණ ගැන එහෙම ලියන්න, මං අහන්නෙ ඇයි අපිට බැරි උතුර ගැන එහෙම ලියන්න කියලා. අපි එහෙම ලියන්න මොකාගෙන්ද අවසර ගන්න ඕනෙ? හද බස හැදෙන්නෙ පවතින දේශපාලන සමාජාර්ථික වපසරිය ඥනනය කරන එක ඇතුළෙ තමයි. එතකොට අපිට දෙමළ කවිය අත්හරින්න බෑ වගේම දෙමළ සමාජය අත්හරින්නත් බෑ.

බලන්න කවියේ හදබස ගැන කියන අමරසේකර බඳු කවීන්ම හදපු සමාජ මතවාදය නිසා බාර වීමෙන් පසුවත් අතුරුදහන් කරපු පුදුවෛ රත්තිනතුරෛ කවියා කියන දේ. මේ හද බස නෙවෙයි නම් මොකද්ද?

ශ්‍රී පාද කඳු මුදුනින් පමණි මා
හිරු උදාව දකින්නට ප්‍රිය කරන්නේ
එම අයිතිය මට අහිමි නො කරන්න


මේ පසුබිමේ ඉඳලා දැන් මං කවි ඇසිඩ් දිහාවට හැරෙන්නම්.

බරලපතල දේශපාලන ප‍්‍රශ්නයක් ගැන බරපතල දේශපාලන ස්ථාවරයක් දරන්න දරපු අධිවේගී උත්සහයක් තමයි මූලිකවම ගත්තම මට මේ දේශපාලන කවි වල පේන්න තියෙන්නෙ. රටේ කේන්ද්‍රීය ප‍්‍රශ්නෙ ගැන නිවැරදි ස්ථාවරයක් දරන්න බරලපතල මාක්ස් ලේනින්වාදීන්ටත් බැරි වුණු අවකාශෙක තමයි අපි තාම ඉන්නෙ. මොකද හදාරගන්න වෙලාවක් නෑ. ඒ තරමට වැඩ. ඒ හින්දා කසුන් වගේ නව යෞවනයන්ට සිද්ධ වෙනවා හදාරල ඉවර වෙලා ස්ථාවරයක් දරනු වෙනුවට හදාරන අතරෙ ස්ථාවරයක් දරන්න. ඒකට තමයි තමන් අත්විඳින වටපිටාව ඇතුළෙ කෙනෙක්ට දේශපාලනිකව දැනෙන දේ. මම ඔහුට එකඟ වෙන්නෙ ඔහු ජේත්තුකාරයෙක් වගේ පෙනුනට මෝස්තරකාර දේශපාලනයක් නොකරනව කියල දැනෙන හින්දා. මං දන්නව ඒ හැදෑරීම ඇත්ත හැදෑරීමක් හින්දා ඒ හැදෑරීම අවසානයෙදිත් ඔහුගෙ මතවාදයට සිද්ධ වෙන්න දෙයක් නෑ කියල. මොකද ඔහු දැනටමත් හිටගෙන ඉන්නෙ හරි තැන.

ඇත්ත වශයෙන් ප‍්‍රඥාව සහිතව සිටින ගුණදාස අමරසේකරට අමතරව නලින් ද සිල්වා, චම්පික රණවක, විමල් වීරවංශ අයිති වෙන්නෙ තමන් අත්පත් කරගත් ප‍්‍ර‍්‍රඥාවට සහමුළින්ම ප‍්‍රතිවිරුද්ධව කටයුතු කරන්න හිත හදා ගත්තු දේශපාලන ක‍්‍රීයාධරයන්ගෙ ප‍්‍රමුඛ ලැයිස්තුවට. එක උදාහරණෙකින් විතරක් මේක පැහැදිලි කරන්න පුලුවන්. මෙන්න මේ උපුටනය බලන්න.

දෙමළ ජනතාවගේ විරෝධය, සිංහල ජාතියේ නාමයෙන් තමන් පීඩනයට ලක් කරන ආණ්ඩුවට මිස, සිංහල ජනතාවට නොවේ. සිංහල ජනතාවටත් දෙමළ ජනතාවටත් එකට නිවහල් විය හැකි ය. එහෙත් එයට පළමුව දෙමළ ජනතාවට වෙන්වීමට ඇති අයිතිය කොන්දේසි විරහිතව පිළිගත යුතුය.

මේක කියන්නෙ අපෙන් කවුරුවත් නෙවෙයි. සිංහල බෞද්ධ ජාතිකවාදයේ ප්‍රමුඛ දාර්ශනිකයා වන මහාචාර්ය නලින් ද සිල්වා. තමන්ගේම න්‍යායික භාවිතය තමන් විසින්ම අපයෝජනය කර ගත් ඔහු වෙන කාටවත්ම ඒ අදහස කියන්න බැරි වෙන විදිහට සිංහල බෞද්ධ ජාතිකවාදය සන්නද්ධ කළා. අපිට තාමත් ජීවිතය ගතකරන්න සිද්ධ වෙලා තියෙන්නෙ මේ සිල්වියානු දකුණෙ.

කාටහරි කට ඇරලා, සඟල වරහන් ඇතුළෙ "සිංහල", සිංහල කාටහරි කියන්න පුළුවන් නම් ඔව් මං ජාතීන්ගේ ස්වයං තීරණ අයිතිය පිළිගන්නව කියල, රාවණාගේ අවතාර සැරිසරන සිල්වියානු සන්දර්භයක ඒක අතිශයින් තීරණාත්මකයි. ඒ වගේම ඒකට ලොකු ගටක් ඕනෙ. දෙමළ ජනතාවගෙ විශ්වාසය දිනාගන්න දිශාවට එක අඩියක්වත් තියන්න බෑ ඒ නයින් මාර්ගය කාපට් කළා කියලා.

වරහන් ඇතුළෙ කතාවක් කියන්නම්......

(වාසු සහෝදරයාගෙ සාකච්ඡාවක් තියෙනව අද දිනමිණ පත්තරේ, ඒකෙ හෙඩිම තමයි "රට ඉදිරියට ගෙන යන්නේ ජාතින් අතර අවබෝධයයි- වාසුදේව නානායක්කාර, ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති." වාසු මෙහෙම කිව්වට ඔහුම දන්නවා උතුරෙ තියෙන්නෙ මිල්ටරි පාලනයක් කියල. එතන තියෙන්නෙ එළිමහන් හිර කඳවුරක් කියලා.)

නමුත් අපි දන්නවා දෙමළ ජනතාවගෙ විශ්වාසය දිනාගන්න දිශාවට එක අඩියක්වත් තියන්න බෑ ඒ නයින් මාර්ගය කාපට් කළා කියලා. උතුරු වසන්තයෙන්වත් නැගෙනහිර නවෝදයෙන් ඒක සිද්ධවෙන්නෑ කියන එක ආයෙ මං කියන්න ඕනෙ නෑ. ඒක කරන්න පුළුවන් තම තමන්ගේ දේශපාලන ස්ථාවරය පැහැදිලිව ප‍්‍රකාශ කිරීමෙන් හා ඒ වෙනුවෙන් පෙනී හිඳීමෙන් විතරයි. මේ මොහොතෙ කසුන් මහේන්ද්‍ර හීනටිගල කියන මේ විසේකාර ගැටවරයා අපිට කවි ඇසිඩ් වලින් දමල ගහනවා වගේම මීට ටික කලකට කලින් කවිය කම්බස් කරන්න හදපු මහේෂ් කුමාර කියන කවියා තමන්ගෙ දේශපාලන ස්ථාවරය විවෘතව ප‍්‍රකාශ කළාම මොකද්ද වුණේ. ඔහුත් කිව්වා ඔව් මම ජාතීන්ගේ ස්වයං තීරණ අයිතිය පිළිගන්නව කියල. අර කඹේ ලිහා ගත්තට බෙල්ලෙ බැඳලා තියෙන සීනුව ලිහා ගන්න බැරිවුණු ගෝත‍්‍රීක දේශපාලන සගයන්ගෙන් පවා අනේකාකාර අඩත්තේට්ටම් වලට මුහුණ දෙන්න මහේෂ් කුමාරට සිද්ධ වුණා. මෙන්න මේකයි ඇත්ත තත්වය.

මං කසුන්ගෙ කවි ගැන විග්‍රහයක් කරන්න යන්නෑ මේ වෙලාවෙ. ඒකට තාම කාලය උදාවෙලා නෑ වගේම, මට ලැබිල තියෙන විනාඩි ගාණෙන් ඒක කරන්නත් බෑ. මේ ලැප්ටෝප් බඩකඩිත්තුව ඉස්සරහ ඉඳගෙන, ස්කයිප් එකෙන් කොහොමත් ඒක කරන්නත් බෑ. ඒත් මං පුද්ගලිකව ඔහුගෙ ප්‍රේමය ප්‍රබන්ධ කවි වලට කැමැතියි. ඒවා වල ජෙනුයින් සුවඳක් වහනය වෙනවා, දේශපාලන කවි වලට වඩා. ප්‍රේමයත් දේශපාලනිකයි තමයි.

කොහොමටත් මට අනුව කසුන් කවි ලියන වේගය වැඩියි. ඔහු ඒ හැම කේවල කවියකටම මහන්සි වෙන බව පේන්න තියෙන බව ඇත්ත. ඔහු සිංහල සන්නස්ගල වගේම සිංහලය කෙළ පැමිණිල තියන බව පේන්න තියෙන එකත් ඇත්ත. නමුත් මෙහෙම ලියනකොට මට පේන්නෙ සිද්ධි, වස්තු බීජ එහෙම නැත්තං කවි, මේවා තමයි කසුන්ව ඉල්ලන්නෙ. කසුන් තමන්ගෙ හිත හෙල්ලුණාම කවිය හොයා ගන්නවා නෙවෙයි. දේවල් බාහිරින් ඇවිල්ලා, කසුන්ගෙ පුපුව හොල්ලලා, කවි ඉල්ලනවා. මෙන්න මේකයි මං කියන්නෙ වේගය වැඩියි කියලා. වේගය කිව්වම තවත් අදහසුත් තියෙනවා ඒ වචනෙ ඇතුළෙ. ඒවත් ගත්තට කමක් නෑ.

නමුත් මේ නිර්භීත හාදයා අන්තිම ජනප්‍රියම කවියා. මොකද බොහෝ දෙනෙක්ට විවෘතව කියාගන්න බැරි දේ හේ හාදයා එළියට ඇවිත් කියනවා. එතකොට තියෙන්නෙ මේක ෆේස් බුක් එකට ආපු හැටියෙ ලයික් එකක් දාලා අත උස්සන එක. නැත්නම් ෂෙයාර් කරලා පපුව පෙන්නන එක. මේක අම්බානෙක සිද්ධ වෙනවා. ඉතින් විවාදයක් නෑ, ඒ අර්ථයෙන් කස්සා තමයි අංක එක.

සමහරු කවි ලියන්නෙ ටැලන්ට් එකෙන්. තවත් අය කවියෙ ඩිස්කෝස් ඒක අල්ලගෙන කවි ලියනවා. ඒ කියන්නෙ කවිය කියල කරන වචන සෙල්ලම අල්ලගෙන. මං තිලක් කෝදාගොඩ කියන දේශපාලන චිත්‍ර ශිල්පියත් එක්ක කරපු සංවාදෙකදි ඔහු පැහැදිලව එක කියනවා. කලාවේ සංකේත පද්ධති විද්‍යාත්මකව හැදෑරුවොත් ඕනම කෙනෙකුට කවි ලියන්න, චිත්‍ර අඳින්න, නවකතා ලියන්න පුළුවන් කියලා. ඒකෙ ඇත්තක් තියෙනවා බොහෝ අයට අදාලව. නමුත් මං මේ මතය සහමුළින්ම පිළිගන්නෙ නෑ. තිලක්ට අදාලව ගත්තත් ඔහු අපොස සාමාන්‍ය පෙළ කරනකොට සෞන්දර්ය විෂයය විදිහට කරල තිබුණෙ ච්ත්‍රකර්මය. ඔහු ස්වයං පිටුවහළට පත්වුණාම අත්පත් වුණු අතිරික්ත කාලය තුළ නැවත ටැලන්ට් එකට අවකාශය ආවා කියන එකෙත් ඇත්තක් තියෙන්න ඕනෙ. මං මේ අදහස මතු කරන්නෙ කසුන් මහේන්ද්‍ර ගැන කියන්න. ඔහුට මේ ටැලන්ට් එකයි ඩිස්කෝස් එකයි දෙකම තියෙන බවයි මගේ අදහස. මේක විශේෂ තත්වයක්.

දැන් මේකේ අවසානෙට එන්නම් ඔය පැත්තෙන් ස්කයිප් එක ඩිස්කනෙක්ට් කරන්න කලින්.

අර අමරසේකරව උපුටල මං කලින්ම කිව්ව වගේ භෞතික මරණයක් ගැන නෙවෙයි මං කසුන්ගෙ පොතේ පසු කවරෙට ලියපු කවියෙ අවසානයෙ ලිව්වෙ. අන්න ඒක ඉතාම සැළකිල්ලෙන් ඒක හිතට ගන්න. මං ලිව්වෙ දේශපාලනික මරණයක් ගැන. (දැන් අපි මේ ගත කරන්නේ නිර්මාණ කරල ඒව වල තේරුමත් කියන්න වෙන අවධියක. ) මොකද මීටත් වඩා වේගෙන්, අන්තිම ඉහළ දේශපාලනික කවි ලියල, දේශපාලනිකව සෙත්තපෝච්චි වුණාම කවියක් ලියා ගන්න බැරිව දත කට පූට්ටු වෙලා ඉන්න කවීන් ගැන අපි දන්නව.

මං ලියන ඇතැම් දේ දැකල මට මහේෂ් මුණසිංහ කවියා දවසක් කිව්ව "මචං වෙඩ්ඩා ජීවිත් වෙලා ඉන්න උන් ගැන ලියන්න එපා බං. උන්ට හෙට මොනවද සිද්ධ වෙන්නෙ කියල උන්වත් දන්නෑ" කියල. මං මහේෂ්ගෙ අදහස පිළිගත්තට ඒ වැරැද්දම කරනව.

කසුන් කවි ඇසිඩ් වලට කලින් මෙහෙම කියනවා.

"සුමිතුරන් සාදරෙන් පිළිගනිමු.
සතුරුකම් කලවුන්ව පිටු දකිමු"

දේශපාලනික හතුරො පරාජය කරන්නො ඕනෙ. ඒක ඇත්ත. මං දවසක් කසුන්ට ලියල යැව්වා ජාතිවාදීන් පරාජය කරන්න කාලයත් ශ‍්‍රමයත් ඉතුරු කර ගනින්, උන් එක්ක සංවාද කර කර කාලය කා දමන්න එපා කියල. මට හිතෙක විදිහට යම් ප‍්‍රමාණයකට ඔහු ඒකට ඇහුන් කන් දුන්නා. මං මේ කියන්නෙ ඒ හතුරො නෙවෙයි. මෙතන සභාවෙම ඉන්නව මං දන්නව, මං යන්නෙ වෙඩ්ඩා මොනවද කියන්නෙ කියල අහන්න මිසක් කස්සගෙ වැඩේ හින්දා නෙවෙයි කියල යාළුවන්ට කියපු අය. නමුත් ඒ අය හතුරො නෙවෙයි. සී අයි ඩී කාරයො ඇරුණහම මේ සභාව ඇතුළෙ ඉන්නෙ කසුන්ට ආදරය කරන අය. අවම වශයෙන් ඔහු වෙනුවෙන් කිසියම්ම හෝ සහෘදභාවයක් පළ කරන අය. නමුත් ඒ අය අතරත් ප‍්‍රතිවිරෝධයන් තියෙනව, කසුන් ගැනත්, කසුන්ගෙ කවිය ගැනත්. ඒක එහෙම වෙන්නෙ ඇයි කියල තේරුම් ගැනීමත් කසුන්ට වැදගත් කියලයි මං හිතන්නෙ.

අවසාන වශයෙන් මම මෙහෙම කියන්නම්. හිත රිද්දීම නම් වන සතුට. මං මේ ඇසිඩ්කාරයට ලියපු රචනාව. මං මේ මාතෘකාව දැම්මෙ මේ හාදයා පොතේ නම විදිහට කවි ඇසිඩ් කියල දාන්න ඉන්නවා කියල දැනගෙන නෙවෙයි. මං මේක ලිව්වා. පස්සෙ මෙයා කිවවා වෙඩිවර්ධන සහෝදරයා පොත පිටවෙන දවසෙ මේක කියවන්න පුළුවන්ද කියල. මං නි‍ශ්චිත උත්තරයක් දුන්නෑ. මොකද මගේ ලැප්ටොප් බඩකඩිත්තුව ගැන දන්න හින්දා. මෙන්න මං අන්තර් ජංජාලෙන් දකිනවා මං දේශනයක් තියන්න යනවා කියලා. මගේ මිත්‍රයො මගෙන් අහනවා "වෙඩ්ඩා උඹ ඇවිල්ලද ඉන්නෙ" කියලා. මං මේ හාදයට කතා කරලා කිව්වා මං ඇත්තටම ළඟ හිටිය නම් උඹව ඇත්තටම උස්සලා පොළොවෙ ගහනවා කියලා.

අන්තිමට කතාවකුත් කරලා මේක කියන්න සිද්ධ වුණා.

මෙන්න මේකයි මගේ රචනාව.

හිත රිද්දීම නම් වන සතුට.

ප්‍රේමයේ නාභියට
ඇඟිල්ලෙන් අනිනකොට
රන් අසිනි වැහි ඇසිනි වැස්සා...
යෞවනේ මුදුණතේ
බුබුළුලන පද රැගෙන
දැවෙන හදවත් මතට ඉස්සා...

රාත්‍රියේ මුණ ගැසුණ
කඳුළු ළඟ අඩදැණිව
දුක්බරම ගී ගයන මස්සා....
සිංහලේ ස්වර රැගෙන
දෙමළ කවි රළ නැඟෙන
සයනයිඩ් කළපුවට බැස්සා.

පාද්රේ කියන්නට
කෙනෙක් නැති අහස යට
තටු ගසන සොඳුරු ඇට මැස්සා...
ජීවිතේ පරදුවට
තියන හැටි දැක්කාම
පොළොවෙ ගසනට හිතෙයි උස්සා...

කාලයේ තාලයට
එරෙහි කව් නැඟෙනකොට
කවුරු කරලයිද ආරස්සා
ආදරේ පපුතුරේ
තබා හිස සිඹිනතුරු
ජීවිතේ රැක ගනින් කස්සා.



-මංජුල වෙඩිවර්ධන
2014 ජූනි 04

ස්කයිප් ඔස්සේ කොළඹදී......

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails