Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නවකතා ලෝකය හෙල්ලූ ශ්‍රේෂ්ඨ නවකතාකරුවෙකු ඉකුත් අප්‍රේල් 17 වන දා මිය ගියේය. හේ කොලොම්බියානු ලේඛක ගේබ්රියෙල් ගර්සියා මාර්කේස්ය. ඔහුගේ මරණය වෙනුවෙන් කොලම්බියාව දින තුනක නිල ශෝක කාලයක් ප‍්‍රකාශයට පත් කළ අතර ලංකාවේ අපි අවුරුදු නිවාඩුව ගත කරමින් සිටියෙමු. මා සිටියේ අපේ ගමේ අවුරුදු උත්සවයක කණා මුට්ටිය බිඳීමේ තරගයක් විනිශ්චය කරමිනි. මට නියමිතව තිබුණේ මුට්ටිය බිඳින්නට යන අයගේ ඇස් බැඳීමය. මේ ලිපිය ලියන්නට හිඳගත් මොහොතේ සිටම ගාර්සියා මාර්කේස් මිය යන විට මා කරමින් සිටි දේ නැවත නැවත සිහි වන්නට විය.

කණා මුට්ටිය බිඳීම අපූරු තරඟයකි. එය ගාර්සියා මාර්කේස් පවා කැමති වන්නට ඉඩ ඇති තරඟයක් බව මට සිතේ. හොඳින් ඇස් පෙනෙන අයගේ ඇස් වසා අනික් ඉන්ද්‍රියන්ගෙන් ලෝකය ග‍්‍රහණය කරගෙන එහි සාර්ථකත්වය අත් කර ගන්නා සැටි කණා මුට්ටිය බිඳීමේ ක‍්‍රීඩාවෙන් පුහුණු කෙරේ. 'එදිනෙදා සංවේදීතාව' ඉක්මවා මිනිස් ජීවිතයේ ඇති ආශ්චර්යවත් බව දකින්නට ඉඩ සැලසීම ගාර්සියා මාර්කේස්ගේ කතා කලාවේ ඇති ලක්ෂණයකි. එය නම් සෑම විශිෂ්ට සාහිත්‍යකරුවෙකු වෙතම තිබිය යුතු ලක්ෂණයකි. සිය කෘතිය වෙත තමාගේම කැමැත්තෙන් එළඹෙන රසිකයෙකුගේ දෛනිකත්වයේ දෘෂ්ටිය රචකයාගේ කලාත්මකත්වයේ අසිරිමත් පටලයෙන් වසන සාහිත්‍යකරුවා රසිකයා වෙත ඒ දෛනික දෘෂ්ටිය ඉක්මවූ දැක්මක් ලබා දෙයි. ගාර්සියා මාර්කේස් යනු මේ කාර්ය ඉතා ආකර්ෂණීය ලෙස කරන ලේඛකයෙකි. ඔහු එදිනෙදා තත්‍ය ජීවිතය ඇසුරින් ඉන්ද්‍රජාලික යථාර්ථවාදය නිපද වන්නේ අසිරිමත් ආකාරයටය. ඔහු ලියන සෑම වැකියක්ම ඔහුටම ආවේනික වූද ආකර්ෂණීය වූ ද, ලෝකයක් සේ අපට දැනේ.

ගේබ්රියෙල් ගාර්සියා මාර්කේස්ගේ හුදෙකලාවේ වසර සියයක් නවකතාව 1967 දී පළවීම ලෝක සාහිත්‍ය ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් සේ විය. එය පළ වූයේ ලෝකයේ ප‍්‍රධානම සාහිත්‍ය ශානරය වූ නවකතාව එක්තරා අලුත් කලාත්මක අසිරියක් සොයමින් සිටි කාලයකය. නවකතාව නම් සාහිත්‍ය ශානරය අදටත් ලෝකයේ ප‍්‍රධානම සාහිත්‍ය ශානරයයි. එය විවිධ ස්වරූපයෙන් මතු වෙයි. ඉතා තාත්ත්වික යථාර්ථවාදය ලෙසටත් ඉතා පර්යේෂණකාමී ස්වරූපයන්ගෙනුත් නවකතාව නමැති කලාව ලොව පෙනී සිටියිි. එහෙත් නවකතා කලාව කලින් කලට නව කලාත්මක දේශසීමා ගවේෂණයද සිදු කරයි. 1922 වර්ෂයේදී ජේම්ස් ජොයිස් නවකතා කලාවේ කලාත්මක දේශසීමාව අතිශයින් පුළුල් කළ යුලිසිස් ලිව්වේය. 1914-15 කාලයේ ලියවී 1925 දී පළ වූ ප‍්‍රාන්ස් කෆ්කාගේ ට‍්‍රයල් නවකතාව ලොමු දැහැගන්වන උපමා කතාවක් නවකතා කලාව වෙත එක් කළේය. ඉන් පසු 1967 දී හුදෙකලාවේ වසර සියයක් පළ වීම තවත් එවැනි අසිරිමත් සිද්ධියකි. 1980 වර්ෂයේදී සල්මාන් රුෂ්ඩිගේ මිඞ්නයිට්ස් චිල්ඩ්රන් පළ වීම එවැනි සංසිද්ධියක් යැයි සැලකේ. එය ගාර්සියා මාර්කේස්ගේ අතිවිශාල බලපෑමට යටත් වූ රසවත් නවකතාවකි. දැන් හරුකි මුරකමි අමුතුම නවකතා කලාවක් වර්ධනය කර ඇත.

නවකතාව පිළිබඳ ලෝක කතිකාව තුළ මේ හැරවුම් ලක්ෂ්‍ය ගැන කතා බහ පැවතුණ ද තාමත් ජාත්‍යන්තර භාෂාවලට නැගුණු සේම නොනැගුණු මෙවැනිම පර්යේෂණකාමී නවකතා ලෝකයේ විවිධ සාහිත්‍ය සංස්කෘති වල මෙකී කාලවකවානුවල හෝ ඊට පෙර සිදු වී තිබෙන්නට ඉඩ ඇත. නිදර්ශනයක් ලෙස තායි ලේඛක කුක්රිත් ප‍්‍රමෝජ් 1954 වර්ෂයේදී ලියූ නොයෙක් ජීවිත යන අරුත ඇති නවකතාව යුරෝපීය නවකතා කලාව හා බෞද්ධ කතා කලාව මුසු වූවකි. එය මෙනි ලයිව්ස් යනුවෙන් ඉංග‍්‍රීසියට නැගී ඇත. 1959 දී කුරටුලේන් හයිඩර් නම් ලේඛිකාව උර්දු බසින් ලියූ ආග් කා දාර්යා හෙවත් අග්නි ගංගාව නවකතාව ගාර්සියා මාර්කේස්ටත් පෙර ගැඹුරු පර්යේෂණකාරී නවකතාවක් ලියයි. එය බෞද්ධ, හින්දු හා ඉස්ලාමීය සම්භාව්‍ය කතා කලාවන්හි ආභාසය ලබයි. එය රිවර් ඔෆ් ෆයර් යනුවෙන් ඉංග‍්‍රීසියට නැගී ඇත. ගෝතමාලා ලේඛක මිගෙල් අන්හෙල් අස්තුරියාස්ගේ මෙන් ඔෆ් මේස් නවකතාව 1949 දී පළ වූ අතර ඇමරිකානු මහාද්වීපයේ විසූ ඇතැම් ස්වදේශික ඇමරිකානු සංස්කාතීන්ට අයත් ජනප‍්‍රවාද හා කතා කලාවන්හි ආභාසය ලැබූ අතිශය නිර්මාණශීලී නවකතාවකි. මේ මගේ ඉතා සීමිත දැනුමට හසු වූ කෘති වලින් ද කීපයක් පමණි.



එහෙත් ගාර්සියා මාර්කේස්ගේ හුදෙකලාවේ වසර සියයක් නවකතාව පළ වීම නිසා එවැනි පර්යේෂණකාමී ප‍්‍රබන්ධ රචකයන්ගේ කෘති අගය කරන්නට න්‍යායික හා කතිකාමය අවකාශය නිර්මාණය විය. කෆ්කා වැනි ශ්‍රේෂ්ඨ ලේඛකයන් තමන්ගේම පූර්වගාමීන් නිර්මාණය කරන බව හෝර්හේ ලුයීස් බෝර්හේස් නම් විශිෂ්ට සාහිත්‍යධරයා වරක් කීවේය. එය ඉතා අපූරු කියමනකි. ඉන් ඔහු අදහස් කළේ ශ්‍රේෂ්ඨ ලේඛකයන් තමන්ගේ අනුගාමිකයන් නිර්මාණය කරන බව නොවේ. තමාගේ නිර්මාණ කිරීමත් සමග තමා ගිය මග ගිය පූර්වගාමීන් අලුතෙන් හඳුනාගන්නට ඉඩ ලබාදෙන බවය. මේ වුකලි ගාර්සියා මාර්කේස් සම්බන්ධයෙන් ද සත්‍ය වන කරුණකි. ඔහුගේ ප‍්‍රබන්ධ කතා පළ වීමත් සමග ප‍්‍රබන්ධ රචන ක්ෂේත‍්‍රයේ ඔහු කළ දේට සමාන දේ කළ තවත් ලේඛක ලේඛිකාවන්ගේ සාහිත්යික ව්‍යායාමය නව අර්ථයකින් නැවත වටහා ගන්නට ඉඩ ලැබිණි.

මැජික් යථාර්ථවාදයේ ආශ්චර්ය

මැජික් රියලිස්ම් යැයි ප‍්‍රකට වූ ප‍්‍රතිනිර්මාණ විධිය ගාර්සියා මාර්කේස්ගේ නිර්මාණයක් නොවුණත් එය ලෝක සාහිත්‍ය සිතියමෙහි කේන්ද්‍රයට ගෙන ඒමට හුදෙකලාවේ වසර සියයක් හේතු විය. හුදෙකලාවේ වසර සියයක් නවකතාවේ ඕනෑම පිටුවකින් පාහේ මැජික් යථාර්ථවාදය නම් ශෛලියට නිදසුන් හොයාගන්නට පුළුවන. මිනිස් දිවියේ ලෞකික හේතුඵල තර්කනය ඇසුරින් විස්තර කළ හැකි දෛනික සිදුවීම් සමග අනපේක්ෂිත මොහොතක ඇදහිය නොහැකි ආශ්චර්යමය සිද්ධි එක්වීම ඒ ශෛලියේ ලක්ෂණයකි.

මේ එක් නිදර්ශනයකි: "විශේෂ දූතයෙක් කර්නල් ඔරෙලියානෝ බුවෙන්දියාගේ මුදු මොලොක් අතින් මෙසේ ලියන ලද කඩදාසියක් ඇතුළත දමා මුද්‍රා තබන ලද ලියුම් කවරයක් රැගෙන ආවේය: 'තාත්තව හොඳින් බලා ගන්න. මොකද එයා මැරෙන්නයි යන්නෙ.' 'ඔරෙලියානෝ එහෙම කියනවා නම් එයා ඒක දන්න හින්දයි කියන්නෙ' ඇය කීවාය. හොසේ ආර්කාදියෝ බුවෙන්දියා ඔහුගේ නිදන කාමරයට ගැනීමට ඇය ඔවුන්ට උදව් කර තිබිණි. ඔහු කවදත් වගේම ඉතා බර වූයේ පමණක් නොව චෙස්නට් ගස යට ගත කළ දීර්ඝ කාලය තුළ ඔහුට හිතෙන හිතෙන හැටියට සිය ශරීරයේ බර වැඩි කර ගැනීමේ විශේෂ හැකියාවක් ඔහු විසින් වර්ධනය කරගෙන තිබිණි. එය කෙතරම් වීද යත් පිරිමි හත් දෙනෙකුට පවා ඔහු ඔසවා ගෙන යා නොහැකි වූ නිසා ඔහු ඇඳ වෙත ඇදගෙන යාමට ඔවුන්ට සිදු විය."

මේ වූකලි නවකතාවේ දහවැනි පරිච්ඡේදයෙන් අහඹු ලෙස ගත් කොටසකි. සිය පියා මිය යමින් සිටින බව නිවසින් බැහැරව ඉතා දිගු කාලයක් රණ බිමක ගත කරන කර්නල් බුවෙන්දියාට හාස්කමකින් මෙන් පෙනෙන සැටිත්, සිය සිරුරේ බර හිතූ හිතූ තරමට වැඩි කර ගැනීමේ පියාගේ අමුතු ශක්තියත් එම කොටසින් අපට පෙනේ. එම නවකතාවේ පෙරලන පෙරලන තැන පාහේ එවැනි තැන් දැකිය හැකිය. එය ඔහුගේ මායා යථාර්ථවාදී ශෛලියේ ලක්ෂණයකි. එම ශෛලියේ දැඩි හෙවනැල්ල මෝහන් රාජ් මඩවලගේ මාගම් සෝලිය නවකතාවේ දක්නට ලැබේ. එහෙත් ගාර්සියා මාර්කේස්ගේ මායා යථාර්ථවාදය යනු ඒ ශෛලිය පමණක් නොවේ. ඒ ශෛලිය ඒ මායා යථාර්ථවාදයේ කොටසක් බව නම් ඇත්තය.

ගාර්සියා මාර්කේස්ගේ නවකතා (විශේෂයෙන් හුදෙකලාවේ වසර සියයක් සහ කොලරා කාලේ ආලේ) ඉතා පර්යේෂණකාමී වුවද සාමාන්‍ය සාහිත්‍ය පාඨකයා කොන් කරන විදග්ධ නවකතා කලාවක් නොවේ. ඔහුගේ ලෝ ප‍්‍රකට කීර්තියට එක් හේතුවක් නම් නවකතා කියවන සාමාන්‍ය පාඨකයාට ද පවා විඳිය හැකි ශෛලිමය කලාත්මකත්වයක් ඔහුගේ කෘති තුළ තිබීමයි. ඔහුගේ මෙම මායා යථාර්ථවාදයේ ස්වභාවය ගැන නිරීක්ෂණයක් කරන ලතින් ඇමරිකානු සාහිත්‍ය පිළිබඳ විශේෂඥයෙකු වූ මහාචාර්ය ජෝන් එස් බ‍්‍රෂ්වුඩ් මෙසේ කියයි: "සියක් වසරක හුදෙකලාව නවකතාවේ (නිරූපිත) යථාර්ථය ඉතා අමුතු එකක් වුවද දුෂ්කර ආඛ්‍යාන ශිල්පක‍්‍රම මගින් ගොඩනගන ලද සීමාබාධක නොමැති නිසා එය පාඨකයාට සම්පූර්ණයෙන්ම තේරුම් ගත හැක්කකි." (මොඩර්න් කි‍්‍රටිකල් වීව්ස්: ගාර්සියා මාර්කේස්- 1988- පිටුව. 227) මෙය නිවැරිදි නිරීක්ෂණයකි. එහෙත් ඔහුගේ කෘති හුදෙක් පවතින්නේ සාමාන්‍ය ජනයාගේ සාමාන්‍ය දැනීමේ මට්ටමේ නොවේ. තේමාත්මක ගැඹුර ඇත්තේ කාටත් පාහේ විඳිය හැකි ආඛ්‍යානයක කේන්ද්‍රීය රූපකය වෙතය. එය අවශ්‍යයෙන්ම සෑම පාඨකයෙකුටම එකවර වැටහී යන්නක් නොවන්නට ඉඩ ඇත.



සියලු දෙයෙහි යථාර්ථය

සියක් වසරක හුදෙකලාව කෘතිය ලතින් ඇමරිකානු මහාද්වීපයට ආවේනික ස්වභාවිකත්වය, එහි මිනිසුන් ජනකතා, ගමකතා, විහිළු, යාන්හෑලි, පුරාණෝක්ති සියල්ල එකට කැටිකරගත් දැවැන්ත රූපකමය ගොඩනැංවීමකි. එය මඳක් කියවාගෙන යන විට අප වසන ලොවට වඩා වෙනස් හේතුඵල තර්කනයකින් යුතු අමුතු ලොවක් වෙත පිවිසුණාක් මෙන් අපට දැනේ. ගාර්සියා මාර්කේස් මේ ලෝකය ගොඩනගන්නේ කොලොම්බියාවේ සැබෑ ඉතිහාසය වටා ය. නවකතාවේ එන ප‍්‍රබන්ධමය නගරය වන මැකොන්දෝවේ නැග්ම, අර්බුදය හා වැටීම ගාර්සියා මාර්කේස් උපන් අරකතාසා නගරයේ ඉතිහාසයට සමාන්තර බව දැන් ප‍්‍රකට කාරණයකි.(එම නගරය අරකතාසා-මැකොන්දෝ යැයි නම් කරන්නට ජනමත විචාරණයක් පවා පසුකලෙක පැවැත්වුවද එය අසාර්ථක විය.) වරක් එන්.පී.ආර්. ගුවන්විදුලිය සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූ ගාර්සියා මාර්කේස් මෙසේ කීවේය: "මගෙ ජීවිතේ පැහැදිලි දෙබෙදුමක් තිබුනා. එකක් තමයි මගේ සීයාගෙ දැඩි යථාර්ථවත් ලෝකය. ඒකෙ තිබුණෙ ඔහු කර්නල් කෙනෙක් හැටියට සහභාගි වූ සිවිල් යුද්ධ වල ඉතිහාසෙ. ඊළඟට මගෙ ආච්චිගෙ ලෝකෙ. ඒක සම්පූර්ණයෙන්ම යථාර්ථයෙන් පිට තිබුණ ෆැන්ටසිමය ලෝකයක්." මේ කතා වර්ග දෙකම අද අපි හුදෙකලාවේ වසර සියයක් නවකතාවේ දකින ලෝකය ගොඩනගන්නට දායක විය.

ගාර්සියා මාර්කේස් දශක පහක් පමණ ජීවත් වූ මෙක්සිකෝවෙන් බිහි වූ ලෝ ප‍්‍රකට ලේඛක කාර්ලෝස් ෆුවෙන්තේස්(1928-2012) සිය පරම්පරාවටම අයත් මිතුරු ලේඛකයා ගැන අපූරු වූ ද, සංකීර්ණ වූ ද රචනාවක් ලිවීය. සිය වසරක හුදෙකලාව නවකතාවේ සංරචිත යථාර්ථයේ අඩංගු වන දේ ෆුවෙන්තේස් මෙසේ විස්තර කරයි: මැකොන්දෝව නිවැරදිව දැන ගැනීමට නම් සියලු 'සැබෑ' ඉතිහාසය ද සියලු 'ප‍්‍රබන්ධමය' ඉතිහාසය ද, උසාවි මගින් පිළිගන්නා සියලු සාක්ෂි ද, මහජන වාර්තා තබන්නන් විසින් සහතික කරන ලද සියලූ සාක්ෂි ද, වැඩිහිටියන් බාලයන්ට කියූ, අවිවාහකව වයසට ගිය ස්තී‍්‍රන් පූජකවරුන්ගේ කණට කොඳුරා කියූ, යකැදුරන් විසින් මැදියම් රැයේ ඇවිස්සූ, විකටයන් විසින් නගර චතුරශ‍්‍රයේ රඟ දැක් වූ කටකතා, ජනප‍්‍රවාද, ඕපදූප, සාවද්‍ය ආගමික කතා, අතිශයෝක්තීන් ආදිය ද, කිසිවෙකු විසින් ලියා නොතබන ලද උපමා කතා ද මැකෝන්දෝ යථාර්ථයට අයිති බව දත යුතුය. මැකොන්දෝවේ සහ බුවෙන්දියා පවුලේ මේ සාගාව කටකතාවේ එන ඉතිහාසය ද, ජනප‍්‍රවාදය ද ඇතුළත් සමස්ත ඉතිහාසයක් නිසා නිල වූද ලියා තබන ලද්දා වූ ද ඉතිහාසය ඒ කාලය වටහා ගැනීමේ ලා අප‍්‍රමාණවත් බව අපට කියනු ලැබේ. එපමණක් නොව පුරුෂයන් සහ ස්ත‍්‍රීන් විසින් දකින ලද සිහින, පරිකල්පනය කරන ලද දේ, ආසා කරන ලද දේ, නම් කරන ලද දේ යන සියල්ල මේ ඉතිහාසයට අයිතිය.(ෆුවෙන්තේස්ගේ ලිපිය මයි සෙල්ෆ් විත් අදර්ස් කෘතියේ අඩංගු වේ).

ෆුවෙන්තේස් කියන දේ නිවැරදය. ගාර්සියා මාර්කේස් ලියූ ආකාරයට ලියූ ශෛලිමය පූර්වගාමීන් කෙතෙකුත් සිටිය ද ඔහු ගොඩ නගන ‘සමස්ත’ යථාර්ථයක් සංරචනය කරන්නට හැකිවන්නේ ඔහුටය. හුදෙකලාවේ වසර සියයක් නවකතාවේ ආරම්භයේදීම පිටිසර වූ ද ශිෂ්ටාචාරයෙන් දුරස්ථ වූ ද ප‍්‍රාථමික නිද්‍රාවක තාමත් ගැලී සිටින්නාවූ ද මැකොන්දෝ නමැති කුඩා ජනපදය වෙත එන අහිගුණ්ඨික කණ්ඩායමක නායකයෙකු වන මෙල්කියාදේස් විශාල කාන්දම් කෑලි දෙකක් රැගෙන එයි. ඒ කාන්දම් කෑලි රැගෙන යන යන තැන අහුමුළු වල සැඟ වී තිබුණ යකඩමය දේවලට පණ ඇවිත් කාන්දම් වෙත ඇදේ. මේ මැකොන්දෝ වෙත නූතනත්වයේ පළමු වැනි මහා පුදුමයයි. මෙල්කියාදේස් මෙසේ කියයි:

"දේවල් වලටත්, ඒවටම ආවේනික ජීවිතයක් තියෙනවා. කළ යුතු දේ තමයි ඒවාගෙ ආත්ම ඇහැරවල ගන්න එක."

මා දකින හැටියට ගාර්සියා මාර්කේස් ප‍්‍රබන්ධ කතා ලියූ පෑන මෙල්කියාදේස්ගේ කාන්දම් කෑලිවලටත් වඩා බලගතුය. ඔහුගේ පෑන ඉතා අප‍්‍රාණික දේවල පවා ආත්මය අවදි කරවයි. මිනිස් තර්කනය පමණක් 'සැබෑ ප‍්‍රාණය' සේ දකින නූතන මිනිසුන් වන අපි ඔහුගේ පණදීමට මායා යථාර්ථවාදය යැයි කියමු.



හුදෙකලාවේ වසර සියයක් අපූරු නවකතාවක් බව ඇත්තය. එහෙත් ඔහුගේ නවකතා අතර වටහා ගැනීම වඩාත් දුෂ්කර නවකතාවක් සේ මට දැනෙන ඕටම් ඔෆ් ද පේටි‍්‍රයාක් කෘතිය අද අපට එන්න එන්නම අදාළ වන සෙයක් දැනේ. එහි සංරචනය කෙරී ඇත්තේ ජනතාව විසින් බියෙන්, භක්තියෙන්, දේවත්වයෙන් සලකන ගෝත‍්‍ර නායක ඒකාධිපතියෙකුගේ රටකට සිදු වන දේය. නම් නොකරන ලද කැරිබියානු රටක වසන මේ මිලිටරි ඒකාධිපතියා අඩු තරමින් අවුරුදු දෙසීයක් වත් ජීවත් වෙයි. ඔහුගේ බලය කොතරම්ද යත් ඔහු අණ කළ විට කාලය ගමන් කිරීමද නවතියි; එපමණක් නොව කාලයට ආපසු යන්නට අණ කරන්නටත් ඔහුට පුළුවන. ඔහු සිය බලය බෙදා හදා ගන්නේ සිය පවුලේ අය සහ ලේ ඥාතීන් සමග පමණි. ඔහු පාලනය කරන රටේ සියලුම දේවල ඔහුගේ නම ඇති අතර වහු පැටවුන් පවා උපදින්නේ මේ පාලකයාගේ නම දරා ගෙනය. එය වූ කලී ගුවන් තොටුපල, වරාය, පාසැල් වැනි දේ පාලකයා නමින් කිරීමේ ක‍්‍රියාවලියේම මායා යථාර්ථමය දිගුවකි. එපමණක් නොව නවකතාවේ ඇති ඔහු, ඔහුගේ, මගේ ආදී සියලු සර්වනාමවලින් හැඳින්වෙන්නේ පාලකයාම මිස අනිකෙකු නොවේ. ඔහු තමාගේ නොවන, තමා පිණිස නොවන, තමාගෙන් හට නොගත්තා වූ, තමා සමග නැති සියල්ල විනාශ කරයි. එහෙත් ඔහු උපතින් ගෙනා සීමාවන් ද ඇති සීමාසහිත මිනිසෙකි. ඌරෙකු තරම් විශාල අණ්ඩකෝෂයක් ද ඇති මේ එකාධිපතියා සිය ජීවිත කාලයම හර්නියාවෙන් වේදනා විඳියි. ලෝක ධනවාදීන්ගේ නොමඳ අනුග‍්‍රහය ලබන මේ පාලකයා සමස්ත රටම අපායක් කර, සමස්ත ජනතාවම වනචාරී වියරුවකට ඇද දමයි. එවැනි අසීමිත, අපරීක්ෂිත ඒකාධිපති වියරුවක් වර්ධනය වීමට ඉඩ හළ ජනතාවක් වෙත සෘජු විවේචන ද ඉතා සීරුමාරුවෙන් සිය මනරම් ගද්‍ය වෙත රිංගවන ගාර්සියා මාර්කේස් අසීමිත බලකාමය පිළිබඳ ලොමු දැහැ ගැන්වෙන රූපයක් ගොඩ නඟයි.

වමේ ලේඛකයෙකු ලෙස මිය ගිය ධනවත් ප‍්‍රබන්ධ රචකයා

ගාර්සියා මාර්කේස් සැලකෙන්නේ කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝ සමඟ අඛණ්ඩ මිත‍්‍රත්වයක් පවත්වා ගත් ලේඛකයෙකු ලෙසයි. ඔහු සමාජවාදී ලෝකයක් පිළිබඳ මියෙන තුරුම විශ්වාස කළේය. එය දේශපාලනික වශයෙන් කෙතරම් දැනුවත් විශ්වාසයක් ද යන්න මම නොදනිමි. එහෙත් ඔහු ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ ධනවාදය ලතින් ඇමරිකානු කලාපයට කළ විනාශය ගැන නිතරම ලිව්වේය. හුදෙකලාවේ වසර සියයක් නවකතාවෙහි පවා එය දැකිය හැකිය. ඔහුගේ සමාජවාදය පිළිබඳ විශ්වාසය සමග ඔහුගේ සාහිත්‍ය කලාව සම්බන්ධ කරන්නට ඔහු නිතර තැත් දැරුවේය. ඒ නිසා ඔහු වරක් මෙසේ කීවේය: "හුඟක් දෙනෙක් විශ්වාස කරනවා මම ෆැන්ටසිමය ලේඛකයෙක් කියලා. ඇත්තටම මම යථාර්ථවාදී කෙනෙක්. මම ලියන්නෙ සැබෑ සමාජවාදී යථාර්ථවාදය කියල මං විශ්වාස කරන දේ."

මා ඉහතින් විස්තර කරන්නට තැත් කළේ් ගාර්සියා මාර්කේස් සැබෑ සමාජවාදී යථාර්ථවාදය යැයි හඳුන්වන දෙයයි. එය වූකලී කෆ්කා, ෆෝල්කනර්, ජොයිස්, වර්ජිනියා වුල්ෆ් සේම ඩිකන්ස්, ටොල්ස්ටෝ්යි ද අඩංගු කරගත් සමාජවාදී යථාර්ථවාදයකි. එහෙත් අප රට සාමාන්‍යයෙන් සමාජවාදී යථාර්ථවාදය යැයි සැලකෙන්නේ කෆ්කා හතුරෙකු ලෙස දකින්නට ලූකාශ්ගෙන් උගත් සමාජවාදී යථාර්ථවාදයයි. ගාර්සියා මාර්කේස්ගේ මරණය අඩු තරමින් ඒ වරද ගැන වත් යළි සිතන්නට අප නොපොළඹවන්නේ නම් ඔහුගේ මරණයත් අපේ රටේ සිදුවන සියලුම මරණ මෙන් මරණ බිය හැර අන් කිසිම දෙයක් නූගන්වන නිරර්ථක මරණයක් වන්නේය.



ලියනගේ අමරකීර්ති



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails