Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අවසාන කොළයත් ගිළිහුණ
මල් පැලෑටියකට
වතුර ඉසිමින් සිටියෙමි.

දෑතෙහි දේදුන්න පටලා
අහසින් උගුල්ලා ගත්තී,
දිගැටි අතැඟිලි අග්ගිසි අරක්ගත්
වංශක්කාර නිය තුඩු ළෙලව ළෙලවා
වර්ණ ඉරු ඉර ඉරා ඉර ඉරා කුටිය පුරවාලී ය.
අවසන,
ඈ අතෙහි සිහිසන්ව ලඹදුන් නිර්වර්ණ ශේෂය
අහසින් නෙළා ගත් වර්ෂා නිමිත්තේ
විනිවිඳිනසුළු හැඩතලය පමණකි.

හිටිවනම අනතීත හැඟුම් කවුළුව වසාලූ ඇය
අන්ධකාරය උදාවූ බව අවකාශයට කීවා ය.

මගේ මිමිණුම නැඟී ආයේ අඳුර අතපත ගාමිනි.

"අනන්තාලෝකයේ හා අනන්තාන්ධකාරයේ
අනුරාග අනුරාව නැඟෙන්නේ
ඔබේ ඔය ඉන්ද්‍රජාලික දෙනෙතින් බව අදහමි.
ගිරිස්මය අවසන් බව මෙනෙහි වන්නට
පොද වැහි මිණි කිකිණි නැංවෙනු ඇත්තේ ද
ඔය නෙතු කෙවෙණි අග්ගිස්සේ ම ය.
නෙතු පිල්ලමක් යට වැහි ලකුණු සඟවා දමන්නේ නම්
නොසඟවා එය පවසනු මැනව!"

පිළිවදන් ලෙස ලැබුණේ
යහනෙහි සැතැප්පෙන
ආංගික අභිනයේ
සුකුමාර ලලනා හඬ පමණකි.

සිතිවිලි නැඟෙන අඩවිය බුබ්බුලාකාර වෙමින් පැවතිණ.

කළුවරේ ගොතනවිට කවි අකුරු ඇද වෙන බැවින්
ඔය ඔතන විදුලිය බුබුළෙහි ඇස් අරින්නැයි කීවෙමි.

කිසිඳු බිත්තියක
එකඳු වහරුවක හෝ නැති බව ඈ කීයේ
යහන් තලයද එකෙළ මෙකෙළ කර වූ
වහකදුරුමය ස්වරයෙනි.
ඉතින්වත් වියරු විය යුතු යැයි මම සිතුවෙමි.

මා පරදා, මා පරයා නැඟෙන්නට මා සමඟ පොරබදිමින් සිටි
ආනන්තරීය අශිෂ්ඨයා මෙල්ලකර පයින් පාගාගත් මම,
ඔය නෙතුපියන් අතරින් උදෑසන නික්ම එන්නට
තව කොපමණ කලක් යද්දැයි ඇගෙන් ඇසුවෙමි.

තවම හරි හැටි රාත‍්‍රියවත් උදා වී නැතියෙන්
කීමට අපහසු බව ඇගේ දෘඪතර නිගමනය විය.

මම නැගිට ගොස් බිත්තිය පහුරු ගෑවෙමි.
හදිසි වනු නොමනායැයි මට රහසින් කීයේ කවුරුන්ද?

තරම් නොවනා ලෙස සන්සුන්ව සිටින්නට නම්
මැවුම්කරුවකු විය යුතු ය.

මැවුම්කාරී පටලැවිල්ලක වින්දිතයකුට
ස්වකීය අන්තර්භාෂණයට ඇහැම්කන් දෙනු මිස
මවනු හැක්කේ කවරක්ද?

"අඳුර එනකොට කුටියට හිතේ සඳරැස් ඉහිරේ
උහුලගන්නම බැරි ලෙස නිහඬ හදවත පෑරේ
හඳ හඹායන අහසින් නුහුරු කඳුළැලි බේරේ
පෙඟී අසරණ සිතිවිලි සිහින පැදුරෙන් ඇහැරේ

මන්දාරමට කලියෙන් අතීතය විය අහසේ
වලා නැති ඉම් පෙදෙසක පෙනුණ නොපෙනෙන රහසේ
මුදාගන්නට බැරිවුණු ඔබේ දෙකොපුළ පහසේ
සදාදර සැමරුම් ඇත මගේ නටඹුන් දෑසේ

කඳුළු එන්නේ ඇහි පියන් යට විතරද
හිත රිදෙන්නේ සිතුම් තෙරපෙන අතරද
අත හැරෙන්නේ වචන අතරින් පතරද
කවි කියන්නේ තිබාසෙට බොර වතුරද"

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails