Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කොළඹ පොත් ප‍්‍රදර්ශනේ බලන්න යන්න මොන තරම් ආශාවෙන් හිටියද? ඒත් අගෝස්තු මාසේ ඉවර වෙන්න කලින් ආයෙත් රට රස්සාවට ගාටන්න වුණායින් ඒක මේ අවුරුද්දේ හීනයක් විතරක් උනා.

පෙරෙය්දා හැන්දෑවේ වැඩ ඇරිලා ඇවිල්ල වැඩි වෙච්ච අර්ද්‍රවතාවයයි, අඩු වෙමින් යන උෂ්ණත්වයයි ගැන හිත හිතා සැටියේ පත බෑවිලා ඉන්නකොටම මේදිස් ආවා.

මිනිහා ලංකාවට ගිහින්. පොත් ගේන්නම.

මෙන්න උඹේ සමකාලීනයෙක් ලියපු පොතක්. යාළුවා මට තෑග්ගකුත් ගෙනල්ලා.

'භීෂණයේ මල් පෝච්චි'

මොකක්ද බොලේ ඒ නම. භීෂණයයි, මල් පෝච්චියයි ගැලපෙනවද? හරියට උළුඳු වඩෙයි, පිච්ච මලයි වගේ. අනේ මන්ද?

පොතේ තිබ්බේ කෙටිකතා හතක එකතුවක්. ඔක්කොම භීෂණ මිලිටෙරියට බයේ හැංගී හැංගී ජීවත් වෙච්චි ඒ පැත්තටවත් මේ පැත්තටවත් හේත්තු වුන් නැති කොලුවෙක්ගේ කතා. ඒ මදිවාට ඌ වහදාපු සරසවියක බාගෙට ඉගෙනගත්තු එකෙක්.

මේ හාදයාට නොයෙකුත් හේතු නිසා ජීවිත අවදානමක් තිබිලා තියෙනවා ඒ කාලේ හැම කොල්ලෙකුට කෙල්ලෙකුට වාගේම. මු කාලයක් ටිකක් රැවුල වවපු, රස්තියාදු ගහන, පොත් පත්තර කියවන්න බර ඔල මොට්ටලයෙක්. ඔය ඔක්කොටොම වඩා භයානක වැඩේ මුගේ තාත්ත වාමාංශිකයෙක්.

මේ අහලා එපා වෙච්ච තේමාව හැම කතාවකම කියවුනා. ඒ හින්දාම කතා ටිකක් ඒකාකාරියි. ප්‍රචාරාත්මකවාදියි. අවුරුදු විස්සකට වැඩිය හිතක හංගාගෙන හිටපු, නුල් ඉහිරුණු, පුස් කාපු ලේන්සු කෑලි වගේ. ඒ හැටි කළ එළියක් නෑ, හරියට අර තැනින් තැන කැලි පිච්චිලා ගිය මුල් කාලේ ඊස්ට්මන් වර්ණ චිත‍්‍රපටියක් වගේ.

ටිකක් හරි හිතට අල්ලාපු කතා දෙකක් තිබ්බා. එක කතාවක තිබ්බේ ගෙදර ආරස්සාවක් නෑ කියල හිතාන කොලුවා ගිහිල්ල කොළඹ නෑදෑ ගෙදරක හිටපු කාලයක් ගැන.

එහෙ ඉතින් පොඩි උන්ට පාඩම් කියා දිදී ගේදොර වැඩපලට උදවු වෙමින්, වහපු සරසවියෙ මානවකය ඉන්නේ විච්කිච්චාවෙන්. රෑට නින්ද යන් නෑ. මිලිටෙරි වාහනයක් නතර කරනවද බයේ ඉන්නවා. ඔහොම ඉන්නකොට නෑයාගේ තව නෑයෙක්ගේ පුතෙක් ඒ ගෙදර නතර වෙන්න එනවා. ටික දවසකට. මිනිහට මිලිටෙරියෙන් කාලෙකට පස්සේ නිවාඩු දවස් දහයක් හම්බ වෙලා. ගෙදර ගිහින් හිටියේ දවසයි. ගෙදර ඉන්න බයයි. කොළ කෑලි වලින් තර්ජන ලැබිලා.

ඉතින් නිවාඩුවේ ඉතිරි ටික ගෙවන්න මිනිහත් එන්නේ අර දුර නෑදෑයගේ ගෙදරට. එදා සරසවි මානවකයටයි, මිලිටෙරි මානවකයටයි නිදා ගන්න හම්බ වෙන්නේ එක ඇඳක. දෙපැත්තට ඇරිලා කතාවක් බහක් නැතිව නිදා ගත්තට රාති‍්‍රයේ පොඩි සද්දයක් ඇහුනත් දෙන්නම සුරුස් ගාල නැගිටලා විපරම් කරනවා. මිලිටේරිකාරයා බයයි, සහෝදරයෝ එයි කියල. අනෙත් හාදයා බයයි, මිලිටේරි වාහනයක් ඇවිල්ල කුදලාගෙන යයි කියල. පස්සේ බැරිම තැන දෙන්නත්තෙක්ක එලි වෙනකන් නිදා ගන්නේ නැතිව අඳ උඩට වෙලා කතා කර කර ඉන්නවා. ඒක තමයි. කතාව.

අනෙක් දිග කෙටි කතාව තමයි අර පොතේ මාතෘකාවට දාල තිබිච්ච එක. 'භීෂණයේ මල් පෝච්චි'.

ගැරෙජ් වල පොඩි රස්සා කරලා, පාරවල් හදන තැන් වල ඉඳලා හිටන් කොලුවා අරෙහෙන් මෙහෙන් වහන් වෙලා ඉන්න බැලුවත් හිතට හරි ගියේ නෑ. හොඳම ආරස්සාව තියෙන්නේ ගෙදරයි කියල ආපහු ගෙදරම ආව.

ගෙට පහල ලිඳ ළඟ කැන්ද ගස්, බීරියා ගස් වලින් මුවා වෙච්ච පුංච් පාත්ති ටිකක් ළඟ මේ හාදයා එළවලු වවන්න පටන් ගත්තා. ඒ අතරේම හිත ගියා රෝස මල් වවන්නත්. පොලිතින් මලු වල හදපු වල් රෝස පැලවලින් දළු රිකිලි දෙක තුනක් ආවම හොඳ වර්ගයකින් කිනිත්තක් බද්ද කරනවා. නොයෙක් පාට වල රෝස වර්ග. මේ ෆෙයාර් කියයි බ්ලු මුන් කියයි, පපා මිලාන්ඩ්, මමා මිලාන්ඩ් අරකද මේකද. සමහර ඒවා රතු පාට රෝස මලේ කළු පාට තිත් තිත් වැටිලා, එකක සුදු මලේ රතු ඉරි ඉරි. කොහෙන්ද මුට මේ එක එක රෝස ජාති හම්බ වෙන්නේ? සුරංගනාවියක් උනත් දීලා යනවා වෙන්න පුළුවන්.

පැල වෙලා මල් එන රෝස පඳුරු සිමෙන්ති පෝච්චි ප්ලාස්ටික් බේසම් පොහොර උර වල ඉන්දලා ගේ වටේට ගිහින් තියන්නේ ගොම්මන් වැටුනාම. ගේ ලඟින් යන බස් වල ලොරි වල ඉන්න හුදී ජනයා දකිනවා දවසින් දවස ඉස්මතු වෙන සෞම්‍ය මල් පෝච්චි ටික.

එත් මේ මල් පැල දිහා හීනි සන්තෝෂෙකිනුත්, ඊටත් වඩා හද කඩා යන ශෝකයෙනුත් බලා හිටි තුන් දෙනෙක් හිටියා. කොලුවාගේ මවුපියෝ හැරුනම අල්ලපු ගමට දීග ගිය අක්කණ්ඩි. මේ තුන් දෙනාම රැ තුන්යාමේ නිදි මැරුව. තුන් දෙනාගේම මුණු සුදුමැලි වෙලා. නින්ද ආවේ දවල් කෑමෙන් පස්සේ පොඩ්ඩක් වෙලාවක් ඉතරයි. අක්කා දවල් දවස ගත කරේ ගෙවල් දෙක අතරේ පාරේ. කන්ද උඩින් සැක කටයුතු වාහනයක් එනවනම් වෙනත් හෝඩුවාවක් ලැබුනානම් හොඳ සෝදිසියෙන් හිටි අක්කා, කැලෑ පාරෙන් සිය බාල සහෝදරයා වහන්ගන්නාගෙන තමන්ගේ ගෙදරට එක්කාගෙන යනවා. කොලුවාගේ බොහේ රාති‍්‍රන් ගෙවුනේ අක්කාගේ සෙවනේ.

වියවුලක ලකුණක් නැති දවස් වල කොලුවා ගෙදරම නතර වුනා. එහෙම දවසක, රැ දෙගොඩ හරි ජාමේ, මුළු ගම්මානෙම බය බිරාන්තව කලින්ම පොරවාගෙන නිදා හිටි රැ මැදියමක, නිදා නොගෙන හිටි තාත්තලා බෝහොමයක් හිටි වෙලාවක, කොලුවාගේ තාත්තාට ඇහෙනවා බර වහානයක් ඈතින් කන්ද බහිනවා. දැන් ටික ටික කිට්ටු වෙනවා. ඒ හඬ කොළ පාටයි. මලකඩ ගඳයි.

දැන් ගේ පහු කරගෙන පහලට යනවා. සතියකට දෙතුන් දවසක් මහා රාත්‍රියේ මේ වගේ වාහන ගේ ලඟින් යනකන් හදවත ගැහෙන එක හුස්ම ගන්න එක නවත්තගෙන හිටියත් වාහනේ ඈතට ගියාම ආපහු හිතට සැහැල්ලුවක් දැනෙනවා.

මේ අම්මයි තාත්තයි එදත් පපුව නැවතිච්ච තෝන්තුවෙන් පස්සේ ආයේ සැනසුම් සුසුමක් හෙලුවා. මොකද වාහනේ හීන් සීරුවේ ගේ පහු කරගෙන ගියානේ කියලා. ඒත් නෑ. කන්ද බැහැලා ගිය ලොකු වහානය ආයෙම හරවාගෙන එනවා. අමාරුවෙන් කන්ද නගිනවා. හඬ කොළ පාටයි. ඩීසල් ගඳයි.

ආයිමත් ගේ පහු කරගෙන උඩහට ගියාම හුස්ම ගන්නම් කියල හිතාගෙන අම්මයි තාත්තයි හුස්ම නතර කරගෙන බලාගෙන හිටියා. දැන් කොලුවත් ඇහැරිලා.

අනේ වාසනාවන් ඒක ගේ පහු කරන ගියා.
ඒත් ....

යාර සීයක් විතර ගිහින් එක පාර නතර උනා. කකුල් අටක් දහයක් ලොරියෙන් බිමට පාත් වුනා. යකඩ අඩි තියෙන අලුත් සපත්තු. ඒ අඩි හදවත් තුනක් උඩින් බරට තිය තියා ගේ ඉනි වැට පනිනවා. දැන් ඒ බර කළු පාට අඩි ගේ ඉස්සරහ මිදුලේ.

රොබෝවෙක් වගේ නැගිටින කොලුවා ගේ පිටිපස්සේ දොර ළඟට කිට්ටු කරනවා. සද්දේ නැතිව දොර ඇරලා කැලෑ පාරෙන් අක්කලා ගෙදරට. පිටුපස දොරට කිට්ටු කරද්දී අම්ම පිටි පස්සෙන් තාත්තා ඉස්සරහින්. තාත්තා කුස්සියේ දොර ඇරලා දෙන්න හෙමින් හෙමින් වෙවුලන අත තියනවා අගුලට.

එකපාරටම ඔක්කොටොම කරන්ට් එකක් වැදුනා වගේ වුණා.

පිටිපස්සෙ දොර ළඟත් යකඩ සපත්තු හඬ.

ගෙය් කුස්සියේ මිනිස් ගුලි තුනක්. එකිනෙකාගේ කේශනාලිකාවලින් රුධිරය ගලාගෙන යන හැටි දැනෙනවා.
විශ්වයේ අහඹු මානුෂික සුසංයෝගයේ නිමවුම් තුනක්, එක්ව හිඳින අවසාන තත්පර කීපයද මේ...?

දැන් දැන් නැගිය හැකි ඇඟ හිරි වට්ටන ‘ටක් ටක්’ හඬකින් ඉස්සරහ දොර හෝ පසුපස දොර දෙදරුම් දෙද්දී හදවත් පැලී යන්නට ඉඩ තිබුනා.

තත්පරයක් ගෙවුණා. දෙකක් ගෙවුණා... මල් පෝච්චි පෙරලෙන හඬ, බුට් සපත්තු එහෙ මෙහෙ ඇවිදින හඬ මිස වෙන කිසිත් ඇහුණෙ නෑ.

කල්ප කාලාන්තරයක් සේ දැනුණු විනාඩි දෙක තුනකට පසු සියල්ල නිශ්ශබ්ද වී ගියා. සපත්තු අඩි හඬ මැකී ගියා. තවත් ටිකකින් බර වාහනය පිටත් වුණා. මිනිස් ගුලි තුන තුරුළු වූ ගමන්ම ටික වෙලාවක් එහෙන්මම හිටියා. එකිනෙකාගේ ස්නායු පද්ධති සම්බන්ධ වී තිබුණා. ආයේ විසිරුණා. කතා නොකරම තම තමන්ගේ ඇඳන් වලට ගොස් ඇද වැටුණා.

පහුවදා බලන විට මිදුලේ රෝස මල් පෝච්චි බාගෙට බාගයක් අතුරුදන් වෙලා වගේ කොලුවාට දැනුණා. එදා සිට සෑහෙන කාලයක් යනතුරු ඔහු රෝස පැළයක් දිහා උනන්දුවෙන් බැලුවේ නෑ .

*******

මේ දෙවැනි කතාවත් කියවා ඉවර වෙලා මම මේදිස්ට ඔරෙන්ජන් බාර්ලි එකක් වත් දෙන්න ඕනිනේ කියල නැගී හිටියා. මිනිහා කොහෙවත් හිටියේ නැ. වෙනදා ගමේ ගිහින් එනකොට නොවරදවාම ගෙනෙන කළු දොදොල් පට්ටෙවත් සිංහල අච්චාරු බෝතලෙවත් පෙනෙන්න තිබුනේ නෑ. ඌ නොකියාම යන්න ඇති, මම පොතටම ඇලිලා හිටි වෙලේ.

ආපහු උන්නු තැනටම ආවේ පොතේ ඉතිරි ටික කියවන්න හිතාගෙන. ඒත් ඒ ගමන පොත අතුරුදන් වෙලා. කොහෙවත් තිබ්බේ නෑ. ශේහ් අඩු ගානේ ලියපු එකාගේ නමවත් බලාගන්න බැරි උනානේ.

මම තාම පොත හොයනවා.

තිලකසිරි ඒකනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails