Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ශෘංගාරය, හාස්‍යය හා ත්‍රාසය යන රසත්‍රය ආශ්වාද කිරීමේලා ලොව කවර ශිෂ්ටාචාරවත් මනුෂ්‍යයකු වුවද දක්වන ආශක්තභාවය හුදු මානවීයත්වයේ නෛසර්ගික ලක්ෂණයක් වුවත් එය හැම විටකම පිටතට පැමිණෙන්නේ සංස්කෘතිකමය නිර්මිතයක් ලෙසය. පරම වශයෙන් කේවල අධ්‍යාත්මික සුවයක් අරමුණු කරගත් බෞද්ධ හර පද්ධතීන් යටතේ වුවද අනාදිමත් කලක සිට සිංහල ගැමි සංස්කෘතිය තුළ සාමූහික හා ප්‍රාසාංගික කලාවන් පිළිබඳ අත්දැකීම නොඅඩුව පැවැති බව නොරහසකි. පාරම්පරික ගැමි ශාන්තිකර්මයන්ගේ අඩංගුව තිබූ නාට්‍යමය පෙළපාලිවල සිට කෝලම්, නාඩගම් හා නූර්ති මෙන්ම විසිවන සියවස මැද භාගයේ පමණ සිට ප්‍රොසීනියානු වේදිකා මත රඟදැක්වුණු නූතන සිංහල නාට්‍යය දක්වා ම වුව නිරීක්ෂණය කර බැලීමේදී පෙනී යන්නේ එහිලා මූලික වශයෙන් අඩංගුව පැවතියේ මෙකී ප්‍රධාන රසත්‍රය බවයි. ඒ අනුව හුදී ජන සිංහල රසික්වය තුළ ඇත්තා වූ ප්‍රහසනකාමීත්වය ද සංස්කෘතිකමය හුරුකමක් ලෙස හඳුනාගැනීම වැරදි නොවේ. සිංහල නාට්‍යයේ ඉතිහාසයත් ප්‍රහසනයත් වෙන් කළ නොහැකි වන්නේ ද එබැවින්ම විය හැකිය.

මහාචාර්ය සරච්චන්ද්‍රයන් පවා මුල් අවධියේදී පේරාදෙණි සිංහල නාට්‍ය සමිතිය හා එක්ව නිර්මාණය කරන්නට යෙදුනු බොහෝ පරිවර්තන නාට්‍ය, ප්‍රහසනයන්ය. එවක පවා මේ පිළිබඳ උග්‍ර විවේචනයන් ඉස්මතු වූ බව 'සිනාවෙන් ම සිංහල නාටකය දියුණු කළ නොහැකිය'යි මාර්ටින් වික්‍රමසිංහයන් සමකාලීන වේදිකා නාට්‍යය සම්බන්ධයෙන් ගොනුකරන විවේචනයෙන් පෙනී යයි. එසේ වුවද, අදින් සැට වසකට පෙරාතුව වික්‍රමසිංහයන් විසින් දැක්වූ මෙම අදහස වඩාත් ගැලපෙන්නේ වත්මන් ලාංකික වේදිකාවට බැව් කිව යුතුව ඇත.

"සිනාවත් උපහාසයත් යන දෙක හැම නාටකයෙහි ම හරය කර ගන්ට වෑයම් කිරීම නිසා දැන් සිංහල නාටකය යළිත් පිරිහෙන්නට ළං වී ඇත. සිංහල නාටක මණ්ඩපය සිනා රස ඉස්කාගාරයක් ද නාටකය සිනාරස බෙදන මහා හැන්දක් ද වී ගෙන යයි."
-මාර්ටින් වික්‍රමසිංහ, සංස්කෘති 1954 අප්‍රේල්/ජුනි

1970 වසරේදී මහනුවර බෞද්ධ මන්දිරයේ පැවති දේශනයකට සහභාගි වූ මහාචාර්ය සරච්චන්ද්‍ර නූතන සිංහල නාට්‍ය කලාව පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ 'නූතන සිංහල වේදිකාවේ වැඩිපුරම දක්නට ලැබෙන්නේ නියම නාට්‍ය නොව විසූක දර්ශන' බවයි. ඔහු එසේ විවේචනය කරන ලද්දේ ඔහු ද පුරෝගාමී නාට්‍යකරුවකු ලෙස ක්‍රියාකාරීව නිර්මාණකරණයේ නියැළි 60 දශකය සම්බන්ධයෙනි.

ලාංකික වේදිකාවේ ගමන්මග දේශපාලනික තේමාවන්ට වඩාත් නැඹුරු වූ කාලවකවානුවක් සේ සලැකෙන 70-80 දෙදශකය අවධියේ බිහි වූ දේශපාලන තේමා රැගත් බොහෝ නාට්‍යවල ද මුකරි සංවාද, හාස්‍යමය දෙබස් යනාදිය දක්නට ලැබීම සාමාන්‍ය තත්වයක් වුවත් ඒවා හුදු ප්‍රහසන පමණක්ම නොවීය.

"රඟහලක් තුළ නිහඬව, නිසලව පැය කිහිපයක් හිඳිමින් ගැඹුරු අදහසක් කියැවෙන ස්වාභාවික නාට්‍යයක් නැරඹීමට අපේ ප්‍රේක්ෂකයින්ට ඉවසිල්ලක් නැත්තා සේය. එබඳු නාට්‍ය අසාර්ථක වන බැව් දන්නා අපගේ නාට්‍ය රචකයන් වැඩි වශයෙන් සරල විනෝද රසයට මුල් තැනක් දෙමින් නාට්‍ය සකස් කිරීමට පුරුදු වන්නට ඇත....

....සාමාන්‍ය මහජනයාත්, කලාත්මක පක්ෂයට නැඹුරු නැති උගත් ප්‍රේක්ෂකයනුත් හැමදාම මෙන් විශාල වශයෙන් ඇදී යන්නේ ‘කොමඩි’ හෙවත් තමන්ට සිනාසීමට අවස්ථාව දෙන නාට්‍ය නැරඹීමටය. ජනතාව අතර මෙබඳු ඉල්ලීමක් තිබෙන විට ගැඹුරු අදහස් ඇතුළත් සියුම් චරිත නිරූපණයට මුල් තැන දෙන ඛේදාන්ත ගණයේ නාට්‍යවලට වඩා සිනාවට මුල් තැන දෙන විගඩම් දර්ශන නිපැදවීමට තරුණ නාට්‍යකරුවන් පෙළඹීම සාධාරණය. මුදල් ඉපැයීමට කැමති නිෂ්පාදකයින් එබඳු නාට්‍ය නිපැදවීම ස්වාභාවික වුව ද අප විරුද්ධ විය විය යුත්තේ ඔවුන් නිපැදවන විවිධ ප්‍රසංග හෙවත් විසූක දර්ශන නියම වැදගත් නාට්‍ය වශයෙන් හඳුන්වා දී නාට්‍ය කලාව පිළිබඳව වැරදි ආකල්පයක් පැතිරවීම ගැනය."


("ප්‍රේක්ෂකයා හිනස්සවන නාට්‍යවලින් වැඩක් වේද?"- ආචාර්ය උදය ප්‍රශාන්ත මැද්දේගම- 1980 නොවැම්බර් 9- සිළුමිණ)

වර්තමානයේ තරම් බරපතල ලෙස වාණිජමය ඒකාධිකාරයකින් වට කරනු නොලැබූ සහ ප්‍රහසන නාට්‍යයේ ශානරීය ගුණය අතින් සාපේක්ෂව නොපිරුහුණු අවධියක ලියැවුණු ඉහත විචාරයන් පිළිබඳ සලකා බලන විට පෙනී යන බරපතල කරුණක් වන්නේ ඔවුන් අතින් විවේචනය වූ නාට්‍ය හා අද අප අත්දකිමින් සිටින්නා වූ ප්‍රහසන නාට්‍ය තුලනය කර බැලීමේදීය.

දිවයින පුරා සාර්ථකව වේදිකාගත වන මෙම ප්‍රහසන වාණිජ නාට්‍ය ගොන්න හරහා පොදු ප්‍රේක්ෂකාගාරය වෙතින් ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ අනාගතය පිළිබඳ සපයන ඉඟිය නොපැහැපත් වූවක් බව පිළිගත යුතු නමුත් අගනුවරින් පිටත දර්ශන වාර වැඩි ගණනක් සංවිධානය කිරීමත්, ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහළ මට්ටමක පවත්වා ගනිමින් ආදායම් ඉපයීමත් යන අංශ අතින් මෙම වාණිජ නාට්‍ය රැල්ල කැපී පෙනෙයි. එහෙත් මේ හරහා පොදු ප්‍රේක්ෂක රසිකත්වයට දිගින් දිගටම සිදුවන හානිය කිසිසේත් අඩු තක්සේරු කළ නොහැකි මෙන්ම පහසුවෙන් ප්‍රතිපූරණය කළ නොහැකි තරමේ බරපතල තත්වයක් බව එකී නාට්‍ය නිෂ්පාදකයන් මෙන්ම බුද්ධිමත් ප්‍රේක්ෂක ප්‍රජාව ද අවංකවම පිළිගත යුතු සත්‍යයකි.

වර්තමානයේ පවතින තත්වය අනුව වාණිජ නාට්‍යයක දර්ශන වාරයක් සඳහා අය කරනු ලබන මුදල සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ දෙකකට ආසන්නය. දුරබැහැර පළාත්වල නාට්‍ය ශාලාවන්හි ඇති සීමිත ඉඩපහසුකම් හා සසඳන විට පැමිණෙන ප්‍රේක්ෂක පිරිස‍ගෙන් නාට්‍යයේ නිෂ්පාදන පිරිවැයත් පියවා, කිසියම් ලාභයකුත් උපයා ගැනීමට නම්, ප්‍රවේශ පත්‍රයක මිළ රුපියල් 2000ක් පමණ දක්වා ඉහළ නැංවීමට සංවිධායකයන්ට සිදු වීම පුදුමයට කරුණක් නොවේ. එහෙත් ගැටලුව ඇත්තේ එවැනි මුදලක් ගෙවා හෝ ප්‍රේක්ෂකයාට නැරඹීමට සිදුවන්නේ ආකල්පමය අතින් මෙන්ම රසවින්දනමය අතින්ද හරසුන් බාල මට්ටමේ නිර්මාණයක් වීම තුළය. ඒ හරහා පොදු ප්‍රේක්ෂකාගාරය විසින් 'වේදිකා නාට්‍ය' ලෙස සලකුණු කරගනු ලබන සීමාව නාට්‍ය කලාවේ අනාගතය සම්බන්ධයෙන් බෙහෙවින්ම හානිදායක තත්වයක් වීම තුළය. මේ අන්දමට කාලයක් තිස්සේ නොගැඹුරු වාණිජමය ප්‍රහසන නාට්‍ය නැරඹීමට හුරු වීමෙන් බරපතල ලෙස අවර රසිකත්වයකට හුරු කරවනු ලැබූ ලාංකික පොදු ප්‍රේක්ෂකාගාරය අද වන විට රසඥතාව අතින් මෙන්ම ප්‍රේක්ෂක විනය අතින් ද වැටී ඇති පහළ මට්ටම ඉතාමත් කණගාටුදායකය. බොහෝ විශ්වවිද්‍යාල තුළ පවා දක්නට ලැබෙනුයේ සංවේදී සංවර මනසකින් යුතුව වේදිකා නාට්‍යයක් රසවිඳීමට පොහොනා මානසිකත්වයක් නොව හුදු ග්‍රාම්‍ය හාස්‍යයට වැඩි රුචිකත්වයක් දක්වන ප්‍රවණතාවකි.

වර්තමාන ලාංකික වේදිකා නාට්‍ය කලාව පිළිබඳ අවධානය යොමු කිරීමේදී ප්‍රධාන වශයෙන් කැපී පෙනෙන ප්‍රවණතාමය තත්වයන් දෙකක් ලෙස සලකුණු කළ හැකි වන්නේ ඉහත කී ප්‍රහසන රැල්ලේ වාණිජ නාට්‍ය සහ වාර්ෂික නාට්‍ය උළෙල අරමුණු කරගත් නාට්‍ය යි. මෙසේ අතිසරල වර්ගීකරණයකට ඌණනය කළ හැකි වුවද, මෙම ධාරණාවන් දෙකටම අයත් නොවන නිර්මාණ අතළොස්සක් ද ඇති බවද සඳහන් කළ යුතුමය.

හතු පිපෙනන්නාක් මෙන් බිහිවන හරසුන් වාණිජ නාට්‍ය රැල්ල හේතුවෙන් ලාංකික වේදිකා නාට්‍ය කලාව හමුවේ ගොඩනැඟෙන අනාගත අවදානමක් සහිතව වුවද, මේ මොහොතේ අපගේ මූලික අවධානය නාභිගත විය යුත්තේ‍ ඉහතින් දක්වන ලද දෙවැනි ප්‍රවර්ගය හෙවත් 'වාර්ෂික නාට්‍ය උළෙල' ඉලක්ක කරගත් නිර්මාණයන් වෙතටය. කලාත්මක ධාරණාවේ නිර්මාණයන් යම්තාක් දුරකට හෝ දැකගත හැකි වන්නේ මෙවැනි උළෙලකදී පමණක් වීම එයට හේතුවයි.

දැනට ලංකාවේ පවත්වන ජාතික මට්ටමේ නාට්‍ය උළෙල වන්නේ ජාතික තරුණ සේවා සභාව විසින් මෙහෙයවනු ලබන, යෞවන සම්මාන නාට්‍ය උළෙල සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවන රාජ්‍ය නාට්‍ය උළෙල යන උළෙල දෙකයි. මේ දෙක සඳහා වසරකට ඉදිරිපත් වන (දිගු සහ කෙටි) නාට්‍ය ප්‍රමාණය සියයකට අධික වන අතර, අවසන් වට සඳහා සුදුසුකම් ලබන නාට්‍ය බොහෝවිට අගනුවර ප්‍රේක්ෂකාගාරයට පමණක් සීමා වීම කාලාන්තරයක් පුරා මේ සම්බන්ධයෙන් අප අත්දකිමින් සිටින්නා වූ එක් අමිහිරි සත්‍යයකි. ඇතැම් ප්‍රශස්ත මට්ටමේ නාට්‍ය පවා වේදිකාගත වන්නේ අවසන් වටයේ දර්ශනය ලෙසින් පමණක් වීම මෙහි ඇති වඩාත්ම කණගාටුදායක තත්වයයි.

ආධුනික නාට්‍යකරුවන් බොහෝවිට මෙවැනි උළෙලක් අරමුණු කර නාට්‍ය නිෂ්පාදනයට පෙළඹෙනු විනා පොදු ප්‍රේක්ෂකාගාරය පිළිබඳ සැලකිල්ලක් නොදැක්වීම වර්තමාන නාට්‍ය කලාව සම්බන්ධයෙන් ඇති බරපතල අර්බුදයක් බැව් පෙනේ. ප්‍රහසන රැල්ලේ වාණිජ නාට්‍ය අභිබැවීමට හෝ ඊට කලාත්මක ධාරාවේ විකල්පයක් ඉදිරිපත් කිරීමට ඔවුන් තුළ අවශ්‍යතාවක් ඇති බවක් හෝ දක්නට නොමැත. එවැනි අරමුණක් තිබුණද ඊට නිතැතින්ම හරස් වන මූල්‍යමය හා අනෙකුත් හේතු සාධක සැලකිල්ලට ගැනීමේදී සාමාන්‍ය නාට්‍ය නිෂ්පාදකයෙකුට මෙය ඉතා අසීරු මෙන්ම දැවැන්ත අභියෝගයකි. එහෙයින් පොදු ප්‍රේක්ෂකාගාරයේ අවශ්‍යතාවද මැනවින් දන්නා ඔවුන්ට සිදුවන්නේ වසරකට වරක් පවත්වන නාට්‍ය උළෙල සඳහා පමණක් ස්වකීය නිර්මාණ සීමා කර ගැනීමටය.

වර්තමාන ආර්ථික කරුණු හා සලකා බලනවිට වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කිරීම යනු සැබැවින්ම දුෂ්කර පාරමිතාවක් පිරීමකට නොදෙවෙනි කටයුත්තකි. එසේ අනේකවිධ කැපකිරීම් කරමින් නිර්මාණය කරගත් නාට්‍යය අගනුවර ප්‍රසිද්ධ රඟහලක දර්ශනවාර දෙකක් හෝ වේදිකාගත කරගැනීම සඳහා පෞද්ගලිකව සංවිධානය වීමේ හැකියාවක් නවක නාට්‍යකරුවකුට නැත. ජනප්‍රිය රූපවාහිනී නළුනිළියන් රඟපාන, ඉළඇදෙන ප්‍රහසනයක් නොවේ නම්, නාට්‍ය දර්ශන සංවිධානය කිරීමේ ඒකාධිකාරයන් පවත්වාගෙන යනු ලබන පාර්ශව වෙතින් ද උපකාර ලැබීම අසීරුය. අනෙක් අතට සිනමාවට හා රූපවාහිනියට සාපේක්ෂව අන්ත දුගී බවින් පෙළෙන්නා වූ කලා මාධ්‍යක් වීම නිසා අනුග්‍රාහකයන් සපයා ගැනීමද ඊටත් වඩා දුෂ්කර කටයුත්තක් වන කල නවක නිර්මාණකරුවෙකුට 'ෆෙස්ටිවල්' ඉලක්ක කර නාට්‍ය කිරීම හැර අන් විකල්පයක් නැති තත්වයක් මෙරට නාට්‍ය කලාව සම්බන්ධයෙන් මතු වී ඇති බව පැහැදිලිය.

නිෂ්පාදන කටයුතු සඳහා අවම වශයෙන් හෝ ප්‍රමාණවත් පිරිවැයක් ලබා දී නාට්‍යයක් නිෂ්පාදනය සඳහා අවස්ථාවක් නාට්‍යකරුවෙකුට ලැබෙන්නේ මෙවැනි උළෙලක් නියෝජනය කිරීමෙන් පමණකි. එපමණක් නොව ස්වකීය කලා ප්‍රකාශනය ඊට වඩාත් යෝග්‍ය ප්‍රේක්ෂකාගාරයක වේදිකාගත කිරීමට ද මෙමඟින් නිර්මාණකරුවාට ලැබෙන අවස්ථාව බෙහෙවින් වටනේය. පෞද්ගලික වියදමින් නාට්‍ය දර්ශනයක් සංවිධානය කිරීමට සිහිනෙනුදු නොසිතන අගනුවර ප්‍රධාන පෙළේ රඟහලක සිය නිර්මාණය එළි දක්වන්නට ලැබීම ද ආධුනික නාට්‍යකරුවෙකු ලබන එක්තරා භාග්‍යයකි. ජාතික තරුණ සේවා සභාව විසින් පවත්වන යෞවන නාට්‍ය උළෙලේ ජයග්‍රාහී කෙටි නාට්‍ය ත්‍රිත්වය වෙනුවෙන් දිවයින පුරා දර්ශන වාර පණහක් සංවිධානය කිරීමටත් ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන ඇතුළු අනෙකුත් පහසුකම් ලබා දීමත් මෙහිලා බෙහෙවින් අගය කළ යුතු සද්කාර්යයක් ලෙස සිහිපත් කටයුතුය.

එසේ වුවද, උළෙලක් සඳහා නාට්‍යක් ඉදිරිපත් කිරීම කවර සාටෝපවත් අර්ථකථන වලින් හුවා දක්වන්නට තැත් කළද අද වන විට එය හුදෙක් සම්මාන ඉලක්ක කරමින් සිදු කරන්නක් බව නාට්‍යකරුවන් විසින් අවංකව පිළිගත යුතු සත්‍යයකි. ස්වකීය කලා නිර්මාණය උදෙසා සාධාරණ විනිශ්චයක් ලැබීමටත් ඇගයීමට පාත්‍ර වීමටත් කලාකරුවෙකුට පරම අයිතියක් ඇත්තේ වුවද එම අයිතිය වෙනුවෙන් සම්මාන පොරයට වැටීමේ මානසිකත්වයක් වෙත නාට්‍යකරුවන් යොමු වීම කිසිසේත් අනුමත කළ හැක්කක් නොවේ. සාධාරණ විනිශ්චයකට ලක්ව සම්මානයක් දිනා ගැනීමේ වරදක් නැත. එහෙත් එහි වරද ඇත්තේ වාණිජ නාට්‍ය රැල්ල විසින් ලාංකික පොදු ප්‍රේක්ෂකාගාරය වසඟ කර, හීන රසිකත්වයක් වෙත ඔවුන් හුරු කරමින් සිටින මෙවැනි වකවානුවක කලාත්මක ධාරණාව නියෝජනය කරන නාට්‍යකරුවන් තුළ ෆෙස්ටිවල් මානසිකත්වයක් ඉස්මතු වීමය. අවර රසිකත්වයක සිරවී සිටිමින් ක්‍රමිකව අන්ත පරිහානියකට පත්වෙමින් සිටින පොදු ලාංකික ප්‍රේක්ෂකාගාරයේ වින්දන ශක්තිය පුළුල් කළ හැකි නිර්මාණ බිහි කිරීමට අවම වශයෙන් හෝ කළ යුතු වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව දැඩිව දැනෙන අවධියක නාට්‍යකරුවන් තව දුරටත් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමෙන් අත්මිදීම අත්‍යවශ්‍යය.

පොදු ප්‍රේක්ෂකාගාරයට කලාත්මක ධාරාවේ නාට්‍ය ඔස්සේ ආමන්ත්‍රණය නොකරන තාක් ඔවුන්ගේ රසිකත්වය දියුණු කළ නොහැකි වනු ඇති අතරම ලාංකික විදග්ධ නාට්‍ය කලාව සදාකාලිකවම අගනුවරට සීමා වූ සීමිත ප්‍රේක්ෂක ප්‍රජාවකගේ ප්‍රවේණියක් වීම ද වැළැක්විය නොහැකි වනු ඇත.

ලාංකික වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබෝධාත්මක යැයි පෙනෙන හැ‍ඟෙන වකවානුවක පවා එහි අනාගතය පිළිබඳ අඳුරු සෙවණැලි දැකීම කෙනෙකුට අනවශ්‍ය තරම් අසුබවාදයක් සේ පෙනී යා හැකි වුවත් මේ මොහොතේ පවතින වාතාවරණය අනුව එය කිසිසේත් අසත්‍යක් නම් විය නොහැකිය.

Image- Commedia dell’arte

දමිත් වැලිකල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails