Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මේ වන විට ද විරුද්ධ පක්ෂ හා රජයට විපක්ෂ කණ්ඩායම් එළිපිට ද රජයට සම්බන්ධ කණ්ඩායම් රහසේ ද පොදු අපේක්ෂකයෙක් ගැන කතා කරති. පෙර පැවති ජනපතිවරණයේදී සරත් ෆොන්සේකාව පෙරට ගෙන ආවේද පොදු අපේක්ෂකයෙක් වශයෙනි. දැන් නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් ගැන කතා බහකි. මීට පෙර සරත් ෆොන්සේකාව ගෙන ඒමේදී විපක්ෂයේ තර්කය වූයේ රේස් එක දුවන්නට පුළුවන් අශ්වයෙක් යොදන බවය. මෙවරද රේස් එකට අලුත් අශ්වයෙක් යොදන්නට විපක්ෂය සැලසුම් කරන බව පැහැදිලිය. එහෙත් සංවාද කළ යුතු බොහෝ දේ අමතක කොට රාජපක්ෂ රෙජීමය සමඟ තරඟ කළ හැකි අශ්වයකු ගැන සිතීම පමණක් ප්‍රශ්නය විසඳන්නේ නැත. ඒත් ඊට එහා යන ප්‍රමාණවත් සංවාදයක් විපක්ෂයටවත් වමේ ව්‍යාපාරයටවත් ඇති බවක් නොපෙනේ.

බොහෝ දෙනාගේ ප්‍රකාශිත අරමුණ වන්නේ පොදු අපේක්ෂකයෙකු මගින් ජනපතිවරණය ජයගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමය. බැලූ බැල්මට මෙය හොඳ යෝජනාවකි. ඒත් ඉතිං...

විළි බිය නැති සූකර වත

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම චන්ද්‍රිකාගේ සිට මේ දක්වා හැමෝම ජනතාවට පෙන්නපු සුන්දර දසුනය. මහින්ද චින්තනයේ ද මහින්ද චින්තනයට පෙට්‍රල් ගැසූ පක්ෂ හා කණ්ඩායම් ද මේක අහෝසි කළ යුතු බවට තෙපර බෑහ. එහෙත් ඇත්තටම මේක අහෝසි කළ හා අහෝසි කරන කෙනෙක් නැත. ඒත් ඇත්ත නම් මේ ආර්ථීක ක්‍රමය හා මේ ආර්ථීක ක්‍රමය තහවුරු කරන විදේශ ප්‍රතිපත්තිය හා මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන තාක්කල් මේ විධායක ක්‍රමය අහෝසි කළ නොහැකි බවය. එය ක්‍රියාත්මක කරන්නට හැකි බලහත්කාරය වුවමනාවටත් වඩා මේ ක්‍රමය තුළ ඇත. දැන් දැන් මේ ක්‍රමය ප්‍රබලවම විවේචනය කළ චම්පිකගේ හෙළ උරුමයට බලහත්කාරයේ වටිනාකම දැනී ඇති බව සංශෝධන සහිතව විධායක ජනපති ක්‍රමය පවත්වාගෙන යා යුතු බව දැක්වෙන ප්‍රකාශ එළිදැක්වීමෙන් පෙනේ. විධායක ජනපති ධුරය අහෝසි කරන බවට චන්ද්‍රිකා ලවා ලිඛිත පොරොන්දුවක් ගත් ජනතා විමුක්ති පෙරමුණ, යූ.ඇන්.පී. ආණ්ඩුව වට්ටවා පරිවාස ආණ්ඩුවක් පිහිටෙව්වේ චන්ද්‍රිකාගේ විධායක ජනාධිපති බලතල වලට පින්සිද්ධ වෙන්නටය. චන්ද්‍රිකාගෙන් පසු මහින්ද විධායක ජනපති කරන්නට ද ඒ විධායක බලතල යොදාගෙන දමිළ අරගලය නිර්දය ලෙස මර්දනය කරන්නට දරදිය ඇද්දේ ජ.වි.පෙ.ය. අද ජ.වි.පෙ. යළිත් මහින්ද පරදවා විධායක ජනපති ක්‍රමය අහෝසි කරන සටන් පෙරමුණට විත් සිටී. ජා.නි.පෙ.දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ වත්මන් වුවමනාව පිටුපස ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ඇති බව ප්‍රකාශ කරමින් ජනතාව තුළ භීතිකාවක් මවමින් සිටී. මේ සියල්ල කිරාබලා පෙරා ගත් කළ සුපැහැදිළි කරුණ නම් මේ කාටත් ආණ්ඩු පක්ෂයේ සිටින විට විධායක ජනපති ධුරය අමා මිහිරකි. එහෙත් විපක්ෂයේ සිටින විට මේ කාටත් එම ධුරය වස කදුරු ගෙඩියකි. වහා ඉවත් කළ යුතු පිළිකාවකි. විධායක ජනපති ක්‍රමය නිර්මාණය කර එයින්ම බැට කන යූ.ඇන්.පී.ය ද මෙය අහෝසි කරන බවට ජනතාවට පොරොන්දු දෙමින් සිටීම තුළ මෙය තහවුරු වේ. විධායක ජනාධිපති ධුරය අරභයා එහි ආදීනව මුලින්ම දුටු හා ඒ පිළිබඳ සිය විරෝධය ජනතාව හමුවේ ලිඛිතව ප්‍රකාශ කළ එන්.එම්.ලාගේ ලංකා සමසමාජ පක්ෂයේ සිට ලාංකීය දේශපාලන තලයේ ප්‍රධාන පක්ෂ බොහෝමයක් ඉතිහාසය පුරාම මේ පිළිබඳව පෙන්නුම් කර ඇත්තේ වංචාකාරී කුහක ප්‍රතිපත්තියකි. දේශපාලනයේදී දෙන පොරොන්දු කඩ කිරීම පිළිබඳ ලැජ්ජා බයක් හෝ හිරිකිතයක් මේ දේශපාලන සූකරයන්ට නැති බව ලාංකීය ජනතාව තේරුම් ගැනීම හා ඒ පිළිබඳව සිහි බුද්ධියෙන් කටයුතු කිරීම ලාංකීය ජනයාගේ දේශපාලන සෞඛ්‍යයට හිතකර වනු ඇත.


ජයවර්ධන විධායක ජනාධිපති ධූරයේ දිවුරුම් දෙමින්. (1978)

පාර්ලිමේන්තු විධායක බලය

ජනාධිපති ධුරයේ විධායක බලතල අහෝසි කර පරණ ක්‍රමයට පාර්ලිමේන්තුවට බලය පවරන බවට දැන් බොහෝ අය කියති. එහෙත් පැරණි ක්‍රමය නිවැරදි හෝ ප්‍රජාතන්ත්‍ර වීද යන්න යළිත් සංවාදයට ගත යුතුය. එහෙත් එවැන්නක් ප්‍රමාණවත්ව සිදු නොවේ. බණ්ඩාරනායක සිංහල පමණක් රාජ්‍ය භාෂාව කළේ විධායක ජනාධිපති හැටියට නොවේය. බණ්ඩාරනායක මැතිණියගේ කාලයේ 20,000 ක් පමණ මරා දමා 71 කැරැල්ල මර්දනය කරනු ලැබුවේද, 77 දක්වා උතුරේ දැඩි පොලිස් පාලනයක් ගෙන යනු ලැබුවේ ද විධායක ජනාධිපති ක්‍රමය යටතේ නොවේය. විධායක ක්‍රමය යටතේ පවුල් ගස් වර්ධනය වීම පාලනය කළ නොහැකි බව දක්වන මුත් 70 දශකයේදී පවුල් ගස් වර්ධනය වීම සිදුවූයේ විධායක ජනාධිපති ක්‍රමය යටතේ නොවේය.

අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක විධායක බලතල තුළ පවා මේ තත්ත්වයන් ඇති විය හැකි බවට ඉහත කී අවස්ථා නිදසුන්ය. විධායක බලතල සහිත ජනාධිපති ක්‍රමයකට ඇති කළ හැකි සියලුම විනාශයන් විධායක බලතල සහිත කැබිනට් ඇමති මණ්ඩලයක් සහිත පාර්ලිමේන්තු ක්‍රමයටද කළ හැකිය.

විනාශයට හේතු හා විසඳුම

යුරෝපීය ආධිපත්‍යයන් යටතේ ලංකාව පාලනය වූ යුගවල සිට මේ දක්වා ලංකාවේ සිදු වූ හා සිදුවන සියලු විනාශයන්ට හේතු වන්නේ ලංකාවේ ජීවත් වන සියලු පුරවැසියන්ට ජාති කුළ ආගම් භේදයකින් තොරව එක සමාන ලෙස නොසළකා විශේෂත්වයන් කිරීම නිසාය. එබැවින් සමානතා පදනම මත බිහිවන ව්‍යවස්ථාමය නීති පද්ධතියකින් විනා ඡන්දවලින් මේ රට වෙනස් කළ නොහැක. මෙහිදී විශේෂත්වයන් කිරීම නිසා ඇති වූ විනාශයන් නිසි ලෙස තක්සේරු කිරීම හා සමානතා පදනම ගොඩ නැගිය හැකි අන්දම පිළිබඳ පුළුල් සංවාදයක් ගොඩ නැගීම ජනතාවාදී නව සමාජ වෙනසකට හේතු වනු ඇත.

අජිත් හැඩ්ලි පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails