Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



දිළිඳුන්ගේ වීරයකු ලෙස හා ආරක්ෂකයකු ලෙස හඳුන්වනු ලැබ ඇති කතෝලික සභාවේ වත්මන් එඬේරාණන් වන ෆ්‍රැන්සිස් පාප්තුමා ලබන ජනවාරියේදී ශ්‍රී ලංකාවට සැපත් වීමට නියමිත බව ප්‍රකාශිතය. මේ පිළිබඳව කතෝලික සියල්ලන් සතුටු වන බවට සැක නැත. එහෙත් ශු. බයිබලීය විශ්වාසය තුළ මේ දෙස බැලීම සැබෑ කිතුනුවාගේ වගකීමය.

එඬේරා බැටළුවන් බලන්නට යා යුතු බවට විවාදයක් නැත. එහෙත් ඒ යහපත් එඬේරෙකු ලෙස විනා කුලීකාරයකු ලෙස නොවේය.
''මම යහපත් එඬේරා වෙමි. යහපත් එඬේරා තම ජීවිතය බැටළුවන් උදෙසා පූජා කරන්නේය. එඬේරෙකු නොවන එසේම බැටළුවන්ගේ අයිතිකාරයාද නොවන කුලීකාරයා වෘකයා එනු දැක බැටළුවන් හැරදමා පලා යන්නේය. වෘකයාද උන් වෙත කඩා පැන විසුරුවා හරින්නේය. ඔහු පලා යන්නේ ඔහු කුලීකාරයකු වන නිසාත් බැටළුවන් ගැන සැළකිල්ලක් ඔහුට නැති නිසාත්ය." (ජොහාන් 10/ 11-13)

යහපත් එඬේරා බැටළුවන්ට ඇති අනතුරු උවදුරු ගැන අවදිමත්ව සිටින්නෙකි. එතුමා දිවි පරදුවට තබා ඔවුන්ගේ විමුක්තිය වෙනුවෙන් සටන් කරන්නේය. එපමණක් නොව යහපත් එඬේරා නැතිවූ බැටළුවා සොයා යන්නේය.

" ඔබ අතරින් බැටළුවන් සියයක් ඇති කවර මනුෂ්‍යයෙක් උන් එකෙකු නැති වුවහොත් අනූ නව දෙනා පාළුකරයෙහි හැරදමා නැතිවූ එකා පසුපස්සේ ගොස් ඌ සම්බ වන තුරු සොයන්නේ නැත්ද?" (ලූක් 15- /4)

ශ්‍රී ලංකාවට සැපත්වන වත්මන් කතෝලික සභා එඬේරාණන්ට පීඩාවන්ට කොන්වීමට අසාධාරණයට යුද්ධයට සංහාරයට සූරාකෑමට ලක් වූ ජනකොටස් හමුවන්නට ලැබීම අමන්දානන්දයට කරුණක් වනු ඇති බවට සැක නැත. එහෙත් එය එසේ නොවනු ඇති බව මේ වන විටත් පැහැදිලිය.

ආණ්ඩුව මේ සිදුවීම සියතට ගන්නට සියලු පිඹුරුපත් සකසමින් සිටියි. රටේ ජනතාවට කන්ඩ නැතත් මේ වැඩවලට කෝටි ගණනින් වියදම් කරන්නට ආණ්ඩුව සැදී පැහැදී සිටී. මේ ආණ්ඩුව කොහොමත් ෂෝ එකට කැමතිය. බොරු නම්බු නාමවලට කෑදරය. ගිජුය. තවද මෙම ආණ්ඩුව මානව හිමිකම් හා යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම හමුවේ මෙන්ම සමස්ත ලෝකයා හමුවේම චෝදනාවලට හා අපවාදයට ලක්ව ඇති ආණ්ඩුවකි. එබැවින් වත්මන් ආණ්ඩුව නමැති සොහොන් කොතට සුදු හුණු ගාන්නට මෙය හොඳ අවස්ථාවක් මෙන්ම ඇතැමුන්ට ආර්ථීක හා දේශපාලන ඉල්ලමක්ද වනු ඇත.

පාප්තුමාගේ ලංකාගමනය පිළිබඳව මේ ආණ්ඩුවට තිබූ වුවමනාව මීට කලකට ඉහත සිටම පැහැදිලිව විද්‍යාමානවූ කරුණක් විය. රාජ්‍ය මාධ්‍ය සහ රජයට හිතවත් මාධ්‍ය පාප්තුමාගේ ලංකාගමනය ගැන විස්තර පළ කළේ එවැනි සැලැස්මක් වතිකානයේ නොතිබූ කාලයේ සිටමය. පළාත් සභා ඡන්දවලදී ඇතැම් කතෝලික අපේක්ෂකයෝ පාප් රුව සහිත කාඩ් මුද්‍රණය කර එය ඡන්ද ගුණ්ඩුවක් කර ගත්හ. පසුව එම වසරේදී පාප්තුමා ලංකාවට නොඑන බව පළ කරන්නට සභා මාධ්‍යයට සිදුවිය. මේ තුළ පළාත් සභා ඡන්දයට පාප් ගමන ඡන්ද ගුණ්ඩුවක් කර ගැනීමට ආණ්ඩුවේ ඇත්තන්ට අපහසු විය.

එහෙත් ආණ්ඩුවේ ගැලවීමට අවස්ථාව පාදා දෙන්නට කතෝලික සභාව නොපමාව ඉදිරිපත් විය. ඉතාලියේ සිටින ලාංකිකයන්ගේ හා පාප්තුමාගේ හමුවක් කඩිනමින් සූදානම් කෙරිණි. එය හුදු සභා අභ්‍යන්තරික සංසිද්ධියක් ලෙසම සැලකිය නොහැක්කේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ගණනාවකටද ඒ සඳහා ඇරයුම් කර තිබීම නිසාය. මෙහිදී මූලිකව මේ සඳහා ප්‍රමුඛතාවය ගෙන කටයුතු කරනුයේ දකුණේ කතෝලික සභාව බව රහසක් නොවේය. ලාංකීය කතෝලික සභාවේ ආධිපත්‍යය දකුණ, විශේෂයෙන් කොළඹ ප්‍රායෝගිකව තමන් අතට ගෙන ඇති අතර උතුරේ හඬ එම බහුතර බලය තුළද යටපත් කරනු ලැබ ඇත. දකුණු ලක කිතුනු සභාවේ අනුග්‍රහය තුළ ඉහත කී හමුවේදී පාප්තුමාට සිරිලකට සැපත්වන ලෙස ඇරයුම් කෙරිණි. මීට පෙර ඇතැම් දේශපාලන නායකයන් පාප්තුමා හමුවී කළ ඇරයුමට වතිකානයෙන් සාර්ථක පිළිතුරක් නොලැබුණද සිය බැටළු රැළ කළ ආරාධනයක් ලෙස සලකා ඉහත කී හමුවේදී ලාංකීය සභා නායකයන් කළ ඇරයුම පාප්තුමා පිළිගෙන ඇති බව සිතිය හැක. අවසාන විග්‍රහයේදී සභා නායකයන් සවිඥාණිකව හෝ අවිඥාණිකව ඉටු කර ඇත්තේ මානවවාදී වනවාට වඩා ඓශ්චර්යවාදී ආණ්ඩුවේ වුවමනාව බව සුපැහැදිලිය.

මෙම සභා-දේශපාලන අශුද්ධ ගනුදෙණුව තිව්ර කරමින් මෙවර කොහේදෝ තිබුණ පලස්තීන මිත්‍ර සංගමය නම්ලත් සංගමයක නියෝජිතවරයන් අමාත්‍ය ආතාවුද සෙනවිරත්න හමුවී ඇති බව "ප්‍රදීපය" වාර්තා කරයි. බැලූ බැල්මටම මෙහි කිසිදු හානියක් හෝ පටු හා සැඟවුනු න්‍යාය පත්‍ර හෝ අරමුණු නැත. පාප්වහන්සේගේ ලංකාගමනයට පෙර මීගමුවේ පෞරාණික කතෝලික ලකුණු නැවත ප්‍රතිෂ්ඨාපනය කරමින් ඉපැරණි දෙව් මැදුරු නවීකරණය කර නගර සංවර්ධන සැලැස්ම කඩිනම් කර ජන ජීවිතය වර්ධනය කරන්නටත් නගරයේ මංමාවත් හා යටිතල පහසුකම් සියල්ල සකසා ලන්නටත් එකී සැලසුම හා බැඳි නගර සංකල්පය තුළ කටයුතු කෙරෙනු ඇත.

කඩිනම් කරන්නට යන මීගමු නගර සංවර්ධන සැලැස්ම කුමක්දැයි ප්‍රදීපය සඳහන් නොකරයි. එහෙත් කලකට ඉහතදී මීගමු නගර සංවර්ධන සැලසුමට මීගමුවේ හා මීගමුව අවට ජනයාගේ මහා විරෝධයක් තිබිණි. කුරණ කටුනායක ප්‍රදේශවල පදිංචි ජනයා ඉවත් කිරීම මීගමු කලපුවේ "සී ප්ලේන්" ව්‍යාපෘතිය යනාදී බොහෝ දෑ මේ සැලැස්ම තුළ වූ බව පෙනේ. සල්ලි ඉල්ලම් බවට පත්ව ඇති ලෙල්ලම් පිළිබඳව මතුවී ඇති ගැටළුවද තමන්ට ඕනෑ හැටියට නිරාකරණය කර ගැනීමේ සැලසුම්ද මේවාට අයිති විය හැක. ''නගරයේ මංමාවත් හා යටිතල පහසුකම් සපුරාලීමේ" යෝජනා පිටුපස සිට කතෝලික සභාව රජයේ සැලසුම්වලට ආශිර්වාද කරන්නීය. "බෙත්ලෙහෙම-මීගමුව නිවුන් නගර බවට පත් කරමු!" යනුවෙන් වචනගත වුනු සුන්දර යෝජනාවක් මගින් දුෂ්ට සැලසුමකට වෙඬරු තවරන බවට අප තුළ ඇත්තේ සාධාරණ සැකයකි.

පරණ පල්ලි ටිකයි පහසුකම් ටිකකුයි හදලා දෙන්න ආණ්ඩුව ඉදිරිපත් වෙනකොට ආණ්ඩුවේ කූට සැලසුම් වලටම වග විභාගයකින් තොරව ආශිර්වාද කිරීමේ දේව විරෝධී සම්ප්‍රදායෙන් මිදීමට අපේ කතෝලික සභාවට තවත් කොපමණ කල් ගත වෙනු ඇත්ද?

"ඔබ කෝප්පය සහ පිඟාන පිටතින් පවිත්‍ර කරන්නාහුය. එහෙත් ඇතුළත බලාත්කාරකමෙනුත් තෘෂ්ණාවෙනුත් පිරී තිබේ." (මතෙව් 23-25)

අජිත් හැඩ්ලි පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails