Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


ලංකාවේ සිනමාහල්වල ප්‍රදර්ශනය කරන්නට තවම සූදානමක් නැති, ප්‍රසන්න විතානගේගේ "ඔබ නැතුව ඔබ එක්ක" චිත්‍රපටය ජූනි මස 29 වැනිදා සිඩ්නි නුවර, කාසල් හිල් හි, ඉවෙන්ට් සිනමා ශාලාවේදී තිරගත කෙරිණි. මෙම කෙටි ඇගයුම එම සිනමා කෘතිය පිළිබඳව ය.

නිල් පැහැය සෞම්‍ය වර්ණයකි. රත් පැහැ රුධිරයෙන්, කහ, තැඹිලි වර්ණැති ගිනි දැල්ලෙන්, කළු, අඳුරු පැහැ භයංකාර රාත්‍රියෙන් එය බොහෝ දුරස්ථ ය. ඇස පෙලන දීප්තියක් නැති සෞම්‍ය නිල් පැහැය මුසු කඳු වළලු දෙස, මනාව විවර වුණු කවුළුවක් අසලට වී තේ කෝප්පයක් තොල ගාමින් ඔහේ බලා සිටින්නට පුළුවන. නිල් කඳු වැටිය සිසාරා පැතිරෙන මිහිදුම් රටා සෞම්‍ය දසුනෙහි අපූර්වත්වය තවත් ඉහළ නංවන විට, කවුළුව වෙතින් පසෙකට පිය මනින්නට අප නොසිතනු ඇත.

"සරත්සිරි"ගේ උකස් බඩු සාප්පුවේ ඉහළ මාලයේ ඇති ඔහුගේ කුඩා නවාතැනෙහි කවුළුව නිල් පැහැ කඳු වැටිය දෙස නෙත් යොමන්නට අපූරු පිවිසුම් දොරටුවකි. තනිකඩ සරත්සිරි, සිය සාප්පුවේ දොරගුළු හරින්නට පෙරත්, ටෙලිවිෂනයේ සිය ප්‍රියතම වැඩසටහන (ජෝන් සීනාගේ රෙස්ට්ලින් තරග) නොබලන මොහොතවලදීත් මේ කවුළුව අසලට වී ඔහුගේ අනාගත සිහිනය, නිල්-කොළ මිශ්‍ර පැහැයෙන් දිලෙන තේ වත්ත, දෙස බලා සිටියි. තේ වත්තේම ලැයිමකින් විත් ඔහුගේ අහර සරිකර දෙන තලතුනා ගැහැණිය ලක්ෂ්මි 'කෑම සීතල වෙන' බව කීව ද මේ නිල් පැහැය දෙසින් ඔහු නෙත් පසෙකට ගන්නේ ඉතා සෙමිනි.

"ඔබ නැතුව ඔබ එක්ක" චිත්‍රපටය දිවෙන්නේ මෙම තේමාත්මක 'සෞම්‍ය' නිල් පැහැය අප නෙත් ඉදිරියේ නිරතුරුව රඳවමිනි. සිය සත්වැනි සිනමා නිර්මාණය සමග අප හමුවට එන ප්‍රසන්න විතානගේ කෘතියෙහි ඇති සුසාධිත බව අතර වන එක් ප්‍රමුඛ සංඥාවක් ලෙස මෙම නිල් පැහැ තානය පවත්වා ගනියි. ප්‍රධාන චරිතද්වය වන සරත්සිරි සහ සෙල්වි දෙදෙනාගේ ඇඳුම්පැළඳුම් වලිනුත්, කවුළුවෙන් දකින කඳුකරයේ මනස්කාන්ත දර්ශනවලිනුත්, කුඩා උඩුමහල් නවාතැනේ අවකාශය අතරිනුත් යළි යළිත් නිල් පැහැ තාන අපට හමුවෙයි.



රතු, තැඹිලි, කහ වැනි දීප්තිමත් වර්ණ හමු නොවන කෘතියේ ඇරඹුම, 'සරත්සිරි' මෙන්ම, ඔහු උකස් බඩු සාප්පුව පවත්වාගෙන යන තේ වතු මැද පිහිටි කුඩා කඩ මණ්ඩිය මෙන්ම, නිශ්චල ය. සිය උකස් බඩු සාප්පුවේ යකඩ කූරු අතරින් දිගුවන එක්තරා සිහින් සුරතක් නිසා සරත්සිරිගේ මනස කැළඹුණ ද චිත්‍රපටය ඉන් පසුව වුව බොහෝ දුර ගලන්නේ නිසලව ය. ආසන්න දින කිහිපයක පැමිණ, කරාබු ජෝඩුව, කුඩා නාස් පළඳනාව ඇතුළු රන් අභරණ එකිනෙක මේ දැඩි යකඩ කූරු අතරින් දිගු කරන සුරත හිමි බුහුටි දමිළ තරුණිය කවුදැයි සරත්සිරි නිහඬව සොයා බලයි. ඇය පිටව ගිය වහාම දිවගොස් ඉහළ මාලයේ කවුළුව වෙතින්, සිය අනාගතය දකින කවුළුව වෙතින්, ඔහු ඇය සොයයි. අවසානයේ වැඩි කලබලයකින් තොරවම ඇය ගැන තොරතුරු ඔහුට දැනගන්නට ලැබේ.

ඇය "සෙල්වි" ය. යුධ සමයේ උතුරුකරයෙන් පැමිණ මෙහි නතර වුණු ඇය 'උසස් කුල' දමිළ තරුණියකි. යුද්ධය නිමා වී තිබුණ ද, මාපියන් පිළිබඳ සඳහනක් නොමැති හෙයින් ඇයට යන්නට තැනක් නැත. යුද්ධය නිමාවන තෙක් ඇයට රැකවරණය දුන් වතුකරයේ කුඩා නිවසේ නිවැසියන්ට ඇය දැන් බරකි. ඔවුන් පෙළන දරිද්‍රතාව තවත් කුසක් පුරවන්නට තබා, සිරිත් පරිදි උදෑසන ඇය කරන ස්නානයට දිය බිඳ කිහිපයක් සපයන්නටවත් ශක්තියක් සපයා නොදේ. සෙල්විගේ රන් අභරණ එකිනෙක සරත්සිරිගේ උකස් සාප්පුවේ සේප්පුව තුළට වදින්නේ මේ අසරණකමින් ගැලවෙන්නට ඇය සිය අවසන් උත්සාහයන් දරන අතරතුර දී ය.

සෙල්විගේ රූමත් බව නිසාම ඇයට වටිනාකමක් හිමිවෙයි. කුසවල් පුරවාගන්නට බලා සිටින ළමා ලපැටියන් රැසක් සිටින නිවැසියන්ට බඩුමලු දෙකතුනක් ගෙනැවිත් දී සනසා සෙල්වි සරණ ගන්නට 'නාකි හම්පඩ' මුදලාලියකු සැරසෙන බව සරත්සිරි දැනගන්නේ ලක්ෂ්මිගෙනි. දැඩි යකඩ කූරුවලට පහළින් වූ කුඩා කවුළුවෙන් දිගුවුණු සුරතටත්, යකඩ කූරු අතරින් අපහසුවෙන් සොයාගත් මුවැත්තියකගේ බඳු තැතිගත් අවිහිංසක ඇස්වලටත් පෙම් බඳින සරත්සිරි, සෙල්වි කුඩා ටෙලිවිෂන තිරයකින් පමණක් දැක තිබුණු දමිළ සිනමාවේ තිර වීරයකු වන 'විජේ' මෙන් සුරුවිරුකම් නොපාම, සෙල්වි ගලවා ගනියි. ඇය විවාහ කොටගෙන සිය උකස් සාප්පුවේ උඩු මහල් නවාතැනට කැඳවාගෙන එයි. 'සෞම්‍ය' නිල් පැහැය දෙස කවුළුව තුළින් බලා සිටින්නටත්, සිහින දකින්නටත් සෙල්විටත් අවස්ථාවක් උදා වේ.



උදෑසනම, සිරිත් පරිදි දියනා පිරිසුදුව දිනය පටන් ගන්නටත්, පෙරදිනක උකස් කරන්නට සැරසුණු ඔරසන් කියන්නට ගන්නා මාලය ගෙන පල්ලි යන්නටත් දැන් ඇයට ඉඩ ඇත. වියැකී ගිය මතක අතරින් අහුලාගත් නැටුමකින් කොටසක් නටමින් ලක්ෂ්මි සමග කෑම මේසය පිළියෙල කරන්නටත්, සිය සැමියාගේ මෝටර් සයිකලයේ පසුපස අසුනේ හිඳගෙන 'විජේ' රඟන චිත්‍රපට සිනමා හලක තිරයේ බලන්නට යන්නටත් ඇයට බාධාවක් නැත. සැබවින්ම, කවුළුව තුළින් පෙනෙන කඳුවැටියේ සෞම්‍ය බව තරම්ම, බැලූ බැල්මටම, ඔවුන්ගේ ජීවිත ද සෞම්‍ය ය; නිල්වන් ය.

එහෙත් අතීත මතකයන් අතැර දමාවිත්, අනන්‍යතාවන් සඟවා තබමින් ජීවිතයේ ඉදිරිය දකින්නට, කවුළු අතරින් 'සෞම්‍ය නිලැති' අනාගත සිහිනය දකින්නට සෙල්විටත්, සරත්සිරිටත් පහසු ද?

"ඔයාව දැකපු මුල්ම දවසේ ඉඳල මම ඔයාට ආදරය කළා. මම ඉස්සෙල්ලම දැක්කෙ මේ ඇඟිලි... ඊට පස්සෙ මේ ඇස්..."

කියා සිය තරුණ බිරිඳ ඉදිරියේ පෙම් බස් කියා ඇය සනසන්නට සරත්සිරිටත්, යකඩ කූරු අතරින් සුරතලයට අත දිගු කොට, සිය සැමියාට විසුළු කොට දිවයන්නට සෙල්විටත් ඉඩක් ඇත් ද?

අනන්‍යතාව අහිමි වූ මිනිසුන්මෙන් සැඟව පලා යන්නට අප කිසිවකුට නොහැක. අනන්‍යතාවයෙහි සැඟවුණු මතකයන් අපගේ අල්මාරියේ රහසිගත ලාච්චුවක හෝ සැඟවී තිබෙන්නට, අප නොසිතන මොහොතක එය තවකකු ඇස ගැටෙන්නට නිරන්තර ඉඩක් ඇත. සඟවන්නට තැත් කළ ද මහාවංශික ඉතිහාසය විසින් උත්කර්ෂයට නගා සමාජගත කර අවසන් හෙයින් 'ගාමිණී' නැමති ඓතිහාසික 'විරු' නාමය ත්‍රීවීලරයක හෝ නැගීවිත් ඔබේ දොරටුව මුල බසිනු ඇත. සරත්සිරිටත්, සෙල්විටත් ගැලවීගත නොහැකි වන්නේ මේ යථාර්ථයෙනි.

"ඔබ නැතුව ඔබ එක්ක" ප්‍රසන්නගේ පෙර සිනමා කෘතිවල පැවති කතෘ අනන්‍ය ලක්ෂණ ගණනාවක් පෙරට ගෙන එයි. එසේම ඔහුගේ පූර්ව කෘතිවලට ඔබ්බෙන් වුණු කාව්‍යාත්මක ස්වරයක් ද සංඥිත කරයි. වර්ණ තානයන් සමග කෘතියේ මුඛ්‍යාර්ථය සමරූප කොට පෙරට ගෙන යාම අතින් නව කෘතිය, ඔහුගේ "අනන්ත රාත්‍රිය" හා "පවුරු වළලු" සිහි ගන්වයි. උභතෝකෝටිකයකට මුහුණ දෙන ප්‍රධාන චරිත මුණ ගැසීම අතින් "සිසිල ගිනි ගනී"හි 'ඇනට්', "අනන්ත රාත්‍රියෙ"හි 'සුවිසාල්', "පුරහඳෙ"හි 'වන්නිහාමි', "පවුරු වළලු" හි 'වයලට්' හා සමාන වටපිටාවක සෙල්වි හා සරත්සිරි ද රඳවයි. නිහඬ, මනා සුසංයෝගයකින් සැදුණු රූප රාමු 'ආකාස කුසුම්' කෙළවර ප්‍රසන්න තබා ඇත්තේ 'කොමාව' නැමති විරාම ලක්ෂණය පමණක් බව කියයි. අවමතාවාදී ගුණය (Minimalism) අතින් බොහෝ අපර කෘති ප්‍රති-ස්මරණය කරන්නට ආරාධනා කරයි. එහෙත් මෙහි හමුවන 'කාව්‍යාත්මක' ස්වරූපය ගත් දෙබස අපට පෙරදී එතරම්ම හමු නොවූ ඒවා වේ. වන්නිහාමි, දුමින්ද, චමරි, වයලට්, පියුමි, සුවිසාල්, සන්ධ්‍යා රාණි කී දේවල් සිහි කරන විට සරත්සිරි හා සෙල්වි අතර සංවාද තරමක කාව්‍යාත්මක චමත්කාරයක් නංවන බව පෙනේ.

"ඇයි ඔයා මට මෙහෙම කළේ... ඔයා කැමති ඕනැම කෙනෙක් එක්ක ඔයාට යාළු වෙන්න තිබුණ... ඔයා එක සැරයක් හැරිල මා දිහා බලල හිනාවුණා නං..."

මේ කාව්‍යමය ගුණය සිනමා කෘතියේ හමුවන සෙල්වි-සරත්සිරි දෙදෙනාගේ ප්‍රේමය උත්තර තැනක ඔසවා තබයි. යමෙකුට, ඔව්... උවමනා නම්, කෘතියේ යටි පෙළින් ගලවාගෙන මේ මහරු පෙම රස විඳිය හැක. ඒ ඔහු ඇගේ පෙම කෙරෙහි දක්වන ගරුත්වයද දකිමිනි.

"ඔයාගෙ ආදරයට මං බය වුණා... මං නිශ්ශබ්ද වුණා...."

එහෙත්, යට කී ලෙසම, අනන්‍යතාවන් සඟවා සැඟව යන්නට, නිශ්ශබ්ද වන්නට අපට හැකියාවක් නැත. චිත්‍රපටයේ යටි පෙළ යෝජනා කරන අරුත එයයි. යුද්ධයක් කෙළවර වුණු විගස, රාජ්‍ය නායකයා සරලව කී පමණින්, "රාජ්‍යයට ආදරය කරන වැඩි කොටසක් හා ආදරය නොකරන සුළු කොටසක්" ලෙස සමස්ථ ජනවර්ග එකතුව අතිසරල බෙදුම් කඩනයකින් බෙදා සියල්ල අවසන් කිරීමට අපට හැකියාවක් නැත. ඒ ඒ ජනවර්ගයට, පුද්ගලයින්ට හිමිවුණු, අතීතයක් මුළුල්ලේ ගොඩ නැගුණු අනන්‍යතා රාශියකි. සංස්කෘතික පද්ධතීන් රාශියකි. ඒ සියල්ල තිබියදී කඩා වැටුණු යුද්ධය හා ගැටුම් අති ප්‍රබල ක්ෂිතීන් පමණක් ඉතිරි කොට වියැකී ගොසිනි.

සෙල්වි හා සරත්සිරි අමතක කරන්නට හා සඟවන්නට යත්න දරන අතීතය, නිහඬවී සඟවා තබන්නට යත්න දරන අතීතය සරල නැත. සොයුරන් දකුණේ හමුදාව අතින් මරණයට පත් වුණු, යුද්ධය නිමා වුවත් සිය මව පියා හමු නොවුණු සෙල්වි අති ප්‍රබල ක්ෂිතිමය අත්දැකීම් හා සංකාවන් කැටිකොටගත් තරුණියකි. ඇගේ සිහින ලොව තුළ දී ඇය තවමත් අම්මාට අඬ ගසයි. කොයි මොහොතක හෝ උතුරින් එන්නට ඉඩ ඇති ඇමතුමක් පිළිබඳ බලාපොරොත්තුවෙන් ඇය වෙත තබාගෙන උන් ජංගම දුරකථනය ඇය උකස් කරන්නට සිතන්නේ රන් අභරණ ද උකස් කොට අවසන් වුණු පසු ය.



උකස් බඩු සාප්පුවක් පවත්වාගෙන යමින් සිය අතීතය සඟවා තිබුණ ද සරත්සිරිගේ පිස්තෝලය තවමත් අල්මාරියේ රහස් ලාච්චුවේ ය. සිය බිරිඳ අත්හැර යතැයි සිතෙද්දී හඬා පාපොච්චාරණය කරන්නට සිතෙන තරම් බරක් සිත තුළ ය.

සමථකරණය ගැන පාලනය කෙතරම් වහසි බස් දෙඩුව ද මනස් අභ්‍යන්තරයෙහි සැඟවුණු භ්‍රාන්තියෙන් යම් පුද්ගලයකු ගලවාගෙන ඔහු හෝ ඇය යළි තත්‍ය ලොව තුළ පිහිටුවීම අති දුෂ්කර කටයුත්තකි. තිස්වසරකට ආසන්න කාලයක් අප මුහුණ දුන් සිවිල් යුද්ධයේ කම්පනය තවත් දිගු කලක් සැඟවී සෙල්විලාගේ සරත්සිරිලාගේ අල්මාරි ලාච්චුවලින් හෝ සිහිනවලින් හෝ මතුවනු ඇත. ඒ නැතිනම් ත්‍රීවීලරයක නැගී විත් දොරට තට්ටු කරනු ඇත. 'ඔබ නැතුව ඔබ එක්ක' මේ තත්‍ය ගැටළුව දෙස අපගේ අවධානය යොමු කරවයි.

සෙල්වි තුළත්, සරත්සිරි තුළත් එකිනෙකා වෙත දැනෙන උතුරන ප්‍රේමය පමණක් මේ අතීත භ්‍රාන්තියෙන් ගැලවී යන්නට ප්‍රමාණවත් නොවේ. 'අපි ඉක්මණින් පැනගමු' කියා සරත්සිරි දිව යන්නේ උකස් සාප්පුව ද විකුණා ගත් මුදලින් ගුවන් ටිකට්පත් ගෙන සෙල්වි සමග ඉන්දියාවට පැනගන්නට ය. එහෙත් මේ සියල්ලෙන් මිදී අපට පැන යා හැකි ද? කවුළුවෙන් එපිට දෘශ්‍යමානයේත්, නිවස තුළ බිත්ති පුරාත්, ඇඟලුමේත් ඇතුළුව සෑම තැනම දකින්නට ලැබෙන, නිල් පැහැ සෞම්‍ය බවට ඔබ්බෙන් කුමක් සැඟව පවතී ද? අතීතයෙන් ගලන රත් පැහැ රුධිරය, කහ, තැඹිලි ගිනිදැල්, කළු පැහැ අඳුරු භංයකාරීත්වය සැඟව ගොස් පිටු දැකිය හැක්කක් ද?

සෙල්වි අවසානයේ අපගේ නෙත් හරවන්නේ එදෙසට ය.



ප්‍රියන්ත ෆොන්සේකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails