Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නැවතත් ජුලි මසක් එළඹ තිබේ. මේ, පසුගිය වසර 31 පුරා සිදුවූවාක් මෙන්ම ඉතිහාසය අපට අභිමුඛ වන මොහොතයි. ලාංකිකයින් ලෙස, එක් ජාතියක සිය සහෝදර ජනතාවට එරෙහිව මනුෂ්‍යත්වයේ සාධකය මඟ හැර වෛරයේ අඩයාලම සළකුණු කළ ස්ථානය ලෙස 1983 ජුලි 23 වැනි දිනය ඉතිහාසයට එක්වෙයි. මිනිස් ජීවිත, දේපළ මතු නොව විශ්වාසය ද සහෝදරත්වය ද මිනිස් බැඳීම් ද ශූන්‍ය කළ ඒ අඳුරු දින කිහිපය රටක් ලෙස අප රැගෙන ගියේ තිස් වසරක සිවිල් යුද්ධයකට ය. එය හුදු යුද්ධයක් ලෙස පමණක් නිර්වචනය කළ නොහැකි වන්නේ ඒ තුළ ලක්ෂ ගණනක් මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය ද , සුවහසක් සිහින සහ බලාපොරොත්තු ද ඉපදුණ පොළවෙහි ජීවත් වීමේ අයිතිය ද නිර්දය ලෙස පැහැර ගැණුනු නිසාවෙනි.

ජාතිවාදය විසින් නිරන්තරයෙන් පෝෂණය කරනු ලබන සමාජ දේශපාලනික යාන්ත්‍රණයක ගොදුරු බවට පත්ව ඇති ලංකේය පුරවැසියාට එම යාන්ත්‍රණය විසින් සියලු ජනමාධ්‍යයන් සහ ක්‍රමවේදයන් හරහා යෝජනා කරමින් සිටින්නේ වර්ගවාදය පදනම් කර ගනිමින් අනෙකා අපායට පිරිහෙළිය යුතු බවයි. එබඳු අන්තවාදී සංස්කෘතිකයක සක්‍රීය කොටස් කරුවන්ව සිටින සිංහල බෞද්ධ අන්තවාදී පිරිස් පසුගිය ජුනි මාසයේ දී අලුත්ගම සිදු කළ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් මෙන්ම පාලකයින් සහ ජනතාව උතුර මඟ හැර යාමෙන්ද පැහැදිළි වන්නේ අපට ඉතිහාසය සහ එයින් ලද තුවාල අමතක කොට දැමීම ඉතා පහසු කාරණයක් බවයි. වර්ගවාදය ආඩම්බරයට කරුණක් මෙන්ම එය ආභරණයක් මෙන් පැළඳ ගත හැකි තත්ත්වයක් දක්වා ඉස්මතුවීම තුළ, මේ දූපත තුළ මානව ප්‍රගමණය යනු අවරෝහණීය ක්‍රියාවලියක් බවට රූපාන්තරණය වීමේ ඛේදය අපි සජීවීව අත් දකිමින් සිටිමු.



කෘතිමව නිෂ්පාදිත ප්‍රචණ්ඩත්වයක ගොදුරු බවට තනි පුද්ගලයින් ලෙස හෝ සමාජයක් ලෙස පත් නොවීමේ වගකීම අපට සම්මුඛව ඇති මේ මොහොතේ තව දුරටත් ‘කලු ජූලින්’ එළඹීම වැළැක්වීමේ වගකීම පුරවැසියන් සතුය. 1983 ජුලි මස අන්තිම සතියේ දී අපට මඟ හැරී ගිය අනෙකා හෙවත් මනුෂ්‍යයා ගේ දෑස තුළින් අප නොදුටු මිනිස්කමේ සත්‍යයන් සොයා ගැනීමට දරණ වෑයම ‘No More July‘ යනුවෙන් නම් කොට තිබේ.

‘No More July’ සංවිධානය කිරීමේ ප්‍රධානතම අරමුණ වන්නේ 1983 ඒ අඳුරු ජුලි මාසයේදී දැවී ගිය හදවත්වල මෙන්ම බලාපොරොත්තුවලද වර්ණය වටහා ගැනීමයි. එයින් ගොඩ නැගෙන කතිකාවන් හරහා වර්ගවාදය ඉක්මවා ගිය, මිනිසුන් සහ දේපළ අවුලනු වෙනුවට ආදරයෙන් ඇවිලෙන මිනිස් අවකාශයක් නිර්මාණය කිරීමයි.



No More July වැඩ සටහන 2014 ජුලි මස 23 වැනි දින සවස 3 සිට රාත්‍රී 9 දක්වා විහාරමහා දේවී එළිමහන් රංග පීඪයේ දී පැවැත්වෙන අතර ඡායාරූප, චිත්‍ර, ස්ථාපන කලා ප්‍රදර්ශන, සංගීතය සහ නිර්මාණාත්මක කලා අංගවලින් එම වැඩසටහන සමන්විත වනු ඇත.

වැඩසටහන : ප.ව. 3.00 සිට ප.ව 9.00 දක්වා

ප. ව. 3.00 සිට :
-1983 කලු ජූලියට අදාළ ඡායාරූප මෙන්ම උතුරු සහ දකුණු ජන ජීවිතය ඇසුරු කරගනිමින් විරාජ් ලියනාරච්චි හා කල්ප රාජපක්ෂ ඇතුලු ඡායාරූප ශිල්පීන් විසින් ගනු ලැබූ ඡායාරූප ප්‍රදර්ශනය
- ඡායාරූප ශිල්පිණී ශානි ජයවර්ධන සහ සමාජීය මානව විද්‍යාඥ ආචාර්ය මාලතී ද අල්විස් විසින් කන්නකී- පත්තිනි ඇදහිල්ල මූලික කොටගෙන ගනු ලැබූ ඡායාරූප ප්‍රදර්ශනය
- පාල පොතුපිටියගේ, "බොරු කකුල් සහ බොරු කකුල්" ස්ථාපන කලා ප්‍රදර්ශනය (Installation Art)
- නුවන් සනුරංඛගේ "ජාතිය වෙනුවෙන්" ස්ථාපන කලා ප්‍රදර්ශනය (Installation Art)

ප. ව. 4.30 :
ජනනි කුරේගේ ‘රතු අත්‘ නිරූපණාත්මක කලාංගය(Performance Art)

ප. ව. 5.30: බන්දු මනම්පේරි ගේ රතිඤ්ඤා ඇඳුම‘ නිරූපණාත්මක කලාංගය (Performance Art)

ප. ව 6.00 සිට ප. ව. 9.00: තේමාවට අදාළ සංගීත වැඩසටහන

සහභාගී වන සංගීත කණ්ඩායම්: අජිත් කුමාරසිරි, ජයතිලක බණ්ඩාර, සිලනි තුමාරා, කුමාරි කුමාරගමගේ, ඉන්ද්‍රචාප ලියනගේ , Paranoid Earthling, Mixmaster Blong සමග අමිල සඳරුවන්, ඉමාඩ් මජීඩ්, Skitzo සහ RZ ඕමාර්










මීට අමතරව මේ සමස්ත සංස්කෘතික මැදිහත් වීමේ නිර්මාණාත්මක හා සංවිධානාත්මක දායකත්වය ආචාර්ය ජානකී ජයවර්ධන, සමනලී ෆොන්සේකා, රුවන්ති ජයසුන්දර, අජිත් කුමාරසිරි, රන්දුලා ද සිල්වා, සුදන්ත මාධව, චූලානන්ද සමරනායක, නෙවිල් උදිත වීරසිංහ, කෞශල්‍ය කුමාරසිංහ, චාමර ගුරුගේ, චන්දන කුමාර, ගයාන් ප්‍රදීප්, ධනුෂ්ක මාරසිංහ සහ අනුජ මධුසංඛ ඇතුලු තවත් අයගෙනි.

මේ, ඉතිහාසය පුනරාවර්තනය වීම වලකනු කැමති මනුෂ්‍යයින් හට සියලු වර්ගවාද පසෙක ලා එකම අහසක් යට හමු වී කලුවර ජුලියට එරෙහිව ස්වයං ආලෝකයක් දැල්වීමට කරන ආදරණීය ආරාධනාව යි.



[Ajith Kumarasiri's Photo Credit-Lishan Puwakowita]


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails