Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ජගත් රණතුංගගේ අභිනව කාව්‍ය සංග්‍රහය 'ගඟේ ගිය දවස්', ගොඩගේ ප්‍රකාශනයක් ලෙසින්, දොරට වැඩියේ ඉකුත් ජූලි 13 වන දා, බෘහස්පති භාෂා සාහිත්‍ය කලා සරසවියේදී ය. එම සරසවියේ අභාසලාභීන් හමුවේ කවියාම විසින් සිය කවියේ අත්දැකීම් හෙළි කළේය.

කවිය, ගීතය, කෙටිකතාව, හා නවකතාව යන කවර සාහිත්‍යාංගයකින් හෝ වේවා සිදුවිය යුත්තේ ජීවිතය හා මනුෂ්‍යත්වය පිළිබිඹු වීමය. එහෙත් අද බිහිවන්නේ සාහිත්‍යාංගම දැයි එක් පැත්තකින් ප්‍රශ්නයක් මතුවන අතර අද සිටින්නේ සාහිත්‍ය ලෝලින්දැයි තව ප්‍රශ්නයක් මතුවේ.

ලේඛක මහත්ම මහත්මීන් විසින් ලියැවෙන හුදු වාගාලාපයන්ගෙන් පිරුණු පොත්ගෙඩි නවීන තාක්ෂණයේ ආධාරයෙන් මුද්‍රණය වී ප්‍රකාශයට පත් වනු විනා ජීවිතය අත්විඳිය හැකි සාහිත්‍ය නිමැවුම් සමාජගත වන්නේ අල්ප වශයෙනි. සාහිත්‍යධර මානව සම්පත් හිඟ සමාජයකට අප තල්ලු වී ගොස් ඇතිවා නොවේද? එවැනි සමාජයක මෙලෝ රහක් නැත. සිිටින්නේ ද, එන්න එන්නම උපදින්නේ ද, ද්‍රව්‍යමය මිනිස් රූකඩ සමූහයකි.

මෙසේ වන විට කුණු රසය ඉතා ජයට විකිණෙයි. රසාස්වාදය යැයි රැවටුණු නව පරම්පරාවක් ඩෙඟා නැටීමෙහි යෙදෙත්. මෙය ඇත්ත දැයි බලන්නට පොත් ප්‍රකාශකයකුගෙන් අද සාහිත්‍ය පොතක් මුද්‍රණය වන ප්‍රමාණය අසන්න.

පනහේ දශකය ගෙවා දැමීමත් සමඟ සිදු වූයේ උසස් අධ්‍යාපනය ඉංග්‍රීසියෙන් උදුරා ගැනීමය. දේශීය භාෂාව ව්‍යවහාරයෙහි පිහිටූ වීමත් සමඟම කවි සංකල්පනාවන්ගෙන් පිරුණු කවීන්ගේ චින්තන හා කල්පනා පරාසය පුළුල් විය. බුද්ධිමය නිම්වළලු ප්‍රසාරණය වූ අතර හැඟීම් සම්භාරය විවිධ කාව්‍යනුභූතින් හරහා සමාජගත වන්නටත්, නව ප්‍රකාශන මාදිලි ඉල්ලන්නට කවීන් පෙළැඹෙන්නටත්, පටන්ගැනීමේ ප්‍රතිඵලය නිදහස් කවියේ උපත ලෙස සඳහන් වේ. ඒ නිදහස් කවිය එක්තරා පරපුරක් ඉදිරියට ගෙන ආවේ අභියෝග රැසක් මැදිනි.

ජගත් රණතුංග කවියා අයත් වන්නේ පසුකාලීන පරපුරටය. ඔහුගේ ගමන් මඟ ඇරැඹෙන්නේ හැත්තෑව දශකයේ අගභාගයෙනි. විවිධ පුවත්පත් සහ සඟරාදියට කවි ලියමින් සතතාභ්‍යාසයේ යෙදෙමක් ද, පරිණත වූ කවිත්වයක් ද, විභව්‍යතා ප්‍රකට කිරීමක් ද පෙන්වන ජගත්ගේ පළමු වෑයම් 'උන්හිටි තැන්' විය. පසුව, 'කරදිය ලෝලයාගේ තෙතබරිත හැන්දෑව' වී ඉනික්බිති 'ඇසෙනා තරුම සිටීම' බවට පත් විය. අන්තිමට එය "හීන්දෑරි අසුබ නිමිත්ත" වී, "ගඟේ ගිය දවස්" සමඟ වසර අටකට දහයකට පසු ඔහු අපට නැවත මුණගැසෙයිි.

කවි පොතට මැය සපයන කවියම බලමු.

අඳේ ගොවිකම අතැරදාලා හුඟ දවස්
කඩේ කෙරුවා වුණත් නෑ හරිහමං වගතුවක්
ගොදුරු නැති නාගයා යාය සොයමින් හුඹස්
ගඟේ වැඩ නැහැ මේ ගෙවන්නේ වැහි දවස්...


ගඟක වැලි ගොඩ දමන්නකුගේ ආත්මීය හඬ කවියට වස්තුවිෂය වෙයි. එයින් විචිත්‍ර අර්ථ සෞන්දර්යයක් විශද කරයි. ඔහු මීට පෙර කළ ව්‍යාපාර සියල්ලද ගඟේ ගොස් ඇත. ඒ ගඟ තම ගේ පිටුපසින් ගලාබසින ගඟ නොවේ. ගේ පිටුසසින් ගලාබසින ගඟෙන් යැපෙන ඔහුගේ පවුලේ ජීවිතය වැස්ස විසින් වළකාලනු ලැබ තිබේ. ස්වභාවීය ප්‍රපංච දෙකක ද්වීඝටනය මෙයින් කදිමට නිරූපණය වෙයි.

කවියා දෙවන කොටසින් තව දුරටත් එය හෙළිදරවු කරයි.

අනේ ටැට්ටර ටිපර ලොරි නැවතියල්ලා නිකංවත්
ගොඩේ වැලි ටික වේය නරමනු පදම හවසට හරි ගියොත්
සැඩේ සැර මුත් අඬගසයි රෑ හීනෙනුත්
ඉවුරෙ තනියම බර කල්පනාවක තනියමම හිස් කූඩයක්...


රූපකාරයයෙන් විචිත්‍ර වූ කවියට ආවේණික කිසියම් රිද්මයක් එකතු වෙයි. වැලි, සල්ලි වූ කල කහවනු හවස පදමට ද සරි වෙයි. ගඟ කොතරම් ජීවිතයට බද්ධ ද කිවහොත් රෑ හීනෙනුත් ගඟ අඬගසනු ඇසෙයි. කලින් ගොඩ දා ඇති වැලි ඉල්ලනවා ඇත්තේ සොච්චම් මුදලටය. එය සිය ශ්‍රමයට සරි නොවෙයි. ගොවිකම අතැර දමන්නට ඇත්තේ තම වී අස්වැන්න විකුණා ගැනීමේ ගැටලුවත්, බීජ පිටරටින් ගෙන්වීම නිසාත්, පෝර සහනාධාරයේ අවුල් නිසාත් විය හැකිය. මේ ගොවියා ඒ පාඩු ගොවිකම අතැර දා පටන්ගෙන ඇත්තේ කඩයක් කරන්නටය. මොනවා විකුණුවත් ලැබෙන්නේ පාඩු නම්. එසේම ණයට බඩු දී ලබන්නේ පාඩු නම් වගතුවක් වන්නේ නැත.

වෙළෙන්දා උග්‍ර කපටියෙකි. මොහුට ඒ කපටිකම පුරුදු නැත. මොහු ශ්‍රමිකයෙකු වන්නේ ඉන් පසුවය. දැන් ඔහු ගොදුරු නැති නාගයකු වැන්න. තව විටෙක ඔහු ඔහුගේම හිස් කූඩයට සමානය.

ජගත් රණතංග කවියාගේ යෙදුම් හුදු කාල්පනික ඒවා නොවේ. අත්දැකීමේ සාහිත්‍යමය අගය මතුකරන්නේ කෙසේද යන්න කදිමට පැහැදිලි වෙයි.

'අත් මිදීම' යන්නෙන් පළවන්නේ තවත් නවමු අත්දැකීමකි. මේ පද සතරෙන් ගම්‍ය වන්නේ යුවතියකගේ ජීවිතය මංපහරන්නන්ගෙන්, සහචරයන්ගෙන් බේරෙන අන්දමකි.

මෙහි යෙදෙන අපූර්ව යෙදුමකි. අප නෑඹිලිය යයි කියද්දී ජගත් ඊට නෑඹිලී යැයි අමතයි. වළං වෙළඳොම් යෙදුණ වළං වෙළෙන්දෙකු බැරි වීමකින් එක වළඳක් අමතක වී යයි. ඒ නෑඹිලීය. ඇය පිදුරු ගොඩෙහි සැඟැවී සිටිනු වෙළෙන්දා දැක නැතත් කවියා දකියි. දැක නිවසට ගෙන යයි. මෙය පිටින් බැලූ කල සිද්ධියකි. නමුත් මෙහි යටි පෙළ ඉතා ප්‍රබලය. මෙහි ද්වනිථාර්ථය නම් අතරමං වූ යුවතියකට හුස්ම පුදන්නට තවමත් කෙනෙකු දෙන්නෙකු හෝ සිටින බව නොවේද?

ගේහසික බන්ධුතාවේ ඉරිතැලුමක් කල් ඉකුත් වූ ප්‍රේමය කවියෙන් පෙනෙයි. බිරිය බැරිද කියා අසයි. කඩහිමියා නැද්ද කියා අසයි. කවියා මෙය අපූරුවට නිමවයි. සැමියකු සිය බිරියගෙන් ඉල්ලා සිටින්නේ තම පිට පොඩ්ඩක් කසන ලෙසය. ඉස්සර නම් පිට පමණක් නොව මුළු සිරුරම වුවත් බිරිදගේ ස්පර්ශයට නතුය. එහෙත් දැන් ඇයට සැමියාගේ සිරුර ස්පර්ශ කරන්නට ඇත්තේ කිසියම් නොකැමැත්තකි. අපුලකි. තමන්ටම තමන්ගේ පිට කසාගන්නට සිදුවන සැමියන් නිසා අද වෙළඳෙ පොළේ කෘත්‍රිම ප්ලාස්ටික් දිගු අත් විකුණන්නට තබා ඇත. සැමියා එවැන්නක් මිලදී ගන්නට කඩයකට ගොස් ඉල්ලීමේදී අසන්නට ලැබෙන්නේ හද පාරන පැනයකි. එනම් පවුල නැද්දැයි කඩහිමියා ඇසීමය. පවුලක් සිටියත් එය ඒ සැමියාට නෑ වගේය. මේ මැදිවිය පසුකරන පවුල් බොහොමයක් මුහුණ දෙන අත්දැකීමක් නොවේද?

මේ ආදරණිය දෙබසකට අත්වන ඉරණමය.

බහක් විත්
අපතරට
ලුහුවත් වී
බිඳවැටෙන
ධන-සෘණ රැහැන් අතර
සීරුවේ දිවුණ
ප්‍රේමය නම්
කොන්දේසි විරහිත පරිත්‍යාග


කවියෙන් ආදරයට නව්‍ය නිර්වචනයක් ලැබේ. එනම් ප්‍රේමය නම් කොන්දේසි විරහිත පරිත්‍යාගය යන්නයි. එදා විසරීත පවුලේ තිබුණු ආදරය අද න්‍යෂ්ටික පවුලේ නැත. සියල්ල විකූණුම් හා රැක ගැනුම්හි ද්වීඝටනයන්ය. ඒ පවුලේ අඔු-සැමියන් අතර නොයෙක් බස් හුවමාරු වෙයි. එහෙත් නොසිතූවිරූ අන්දමින් 'ෂෝට්' වෙයි. එය විදුලිය ලුහුවත් වනවා සේය.

ජගත් රණතුගයන්ගේ කාව්‍ය ව්‍යාපාරය දිදුලන නව විභවතා රැසක් හෙළි කරන අතර 'ගඟේ ගිය දවස්' අප කාගේත් ජීවිත අත්දැකීම් වලට බොහෝ දුරට ඒවා සමපාත වෙයි.

ඔහුගෙ කවි නම් කිරීම ද විටෙක කවි සේ පෙනෙයි. මේ නව්‍ය විසිතුර කවියනට කොතරම් අගේදැයි බලන්න.

කවියේ මැය 'හිමිදිරි නුවර වැවට ගල්පෙත්තක් වීසි කළෙමි' යන්නයි.

මේ කවියයි.

ඊයේ
වැව මත දිදුළ
තරුමල් කොහිද සැඟවුණ
සඳ හිනාවුණ රාත්‍රිය අහවරය
දැන් ඉතින් තව මෙහොතකින්
දියවළලු පලඳින්න
රාත්‍රිය ඉතිරි වී තිබුණාට කම් නැත...


කවිය ජීවිතයේ හැඟීම් සුසර කරයි. ජගත් රණතුංග ඊට ප්‍රමාණවත් මැදිහත්කරුවෙකු වෙයි. ඒ කොන්දේසි විරහිතවය. ආදරයෙනි.

ශ්‍රීලාල් සෙනෙවිරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails