Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



චමිල ප්‍රියංක විසින් රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද 'මෙය තුවක්කුවක් නොවේ' වේදිකා නාට්‍යය, 2014 අගෝස්තු මස 20වන දින සවස 07:00 ට, කොළඹ, ලයනල් වෙන්ඩ්ට්හිදී වේදිකාගත වේ. වේදිකා නාට්‍ය කලාවට ලැදි ප්‍රේක්ෂක සමූහයක් විසින් පිහිටුවා ගත් 'නාට්‍ය - සීට්ටු' නම් වූ සංවිධානයේ මූල්‍ය අනුග්‍රහය යටතේ මෙම දර්ශනය සංවිධානය වීම මෙවර දර්ශනයේ විශේෂත්වයයි.

කතා සාරාංශය-

එක් රාත්‍රියක කුණු ගොඩක රැකියාවක් සොයමින් සිටින තරුණයෙක්ට, යතුරුපැදියක් තල්ලු කරමින් පැමිණෙන භික්ෂුවක හමුවෙයි. වෙන්, වෙන් අරමුණු ඇති මේ දෙදෙනා යතුරුපැදියේ නැග ඔවුනොවුන් විශ්වාස කරනා විමුක්තීන් සොයමින් ගමන් අරඹයි. නමුත් අතරමගදී හමුවන්නේ ඔවුන් සිහිනයකින්වත් නොසිතූ දේය, නොපැතූ දේය.



අධ්‍යක්ෂක සටහන-

අතිශය නාට්‍යමය සිද්ධි සමුදායකින් සමන්විත සමාජ, දේශපාලන පරිසරයක් තුළ, ප්‍රේක්ෂක සමූහයක් රංග ශාලාවට කොටු කර තවත් 'නාට්‍යයක්' නැරඹීමට බල කිරීමෙහි ඇති සාර්ථක - අසාර්ථකභාවය පිළිබඳ නොදනිමි. යථාර්තය අතිශය නාටකීය නම් තවත් නාට්‍ය කුමකටද? 'මෙය තුවක්කුවක් නොවේ' යනු මෙබඳු වූ උභතෝකෝටිකයක් මාධ්‍යයේ ලියැවුණු ලියැවිල්ලක වේදිකා සම්ප්‍රාප්තියකි. ඉතින්, මෙය තුවක්කුවක් ද? නොවේද? යන්න ඔබම තීරණය කරන්න.



අධ්‍යක්ෂවරයා පිළිබඳ-

කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන චමිල ප්‍රියංක ප්‍රවීණ නාට්‍යවේදීනී සෝමලතා සුබසිංහගේ කෝට්ටේ ළමා හා යොවුන් නාට්‍ය පදනම විසින් වේදිකාවට හඳුන්වාදෙනු ලැබූ තරුණ නාට්‍ය අධ්‍යක්ෂවරයෙකි. 'ඔයයි මායි තනියම' කෙටි නාට්‍යය රචනය සහ අධ්‍යක්ෂණය කරමින් වේදිකාවට පිවිසෙන චමිල ප්‍රියංකට එම නාට්‍යය වෙනුවෙන් යෞවන සම්මාන නාට්‍ය උළෙලේ, ජූරියේ විශේෂ සම්මානයත්, රාජ්‍ය නාට්‍ය උළෙලේ කුසලතා සම්මානයත් හිමි විය. ඉන් අනතුරුව ඔහු විසින් රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද 'චේ සහ ජුලියට්' කෙටි නාට්‍යය සඳහා රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍යයට හිමි සම්මානයත්, යෞවන සම්මාන නාට්‍ය උළෙලේ හොඳම නාට්‍යය දෙවෙනි ස්ථානයට හිමි සම්මානයත් හිමි විය. ඔහු විසින් රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද 'ක්‍රිකට් ගහන්න එන්න' නාට්‍යයට කොළඹ දිස්ත්‍රික් යෞවන සම්මාන උළෙලේදී හොඳම රචනයට හිමි සම්මානය හිමි විය. 'මෙය තුවක්කුවක් නොවේ' ඔහුගේ ප්‍රථම දිගු නාට්‍යය වේ.



පාත්‍ර වර්ගයා සහ අනෙකුත් ශිල්පීන්-

මයුර කාංචන, දිලුම් බුද්ධික, ප්‍රමොද් එදිරිසිංහ, අංජන ප්‍රේමරත්න, කනිෂ්ක ප්‍රනාන්දු, යශෝධා රසඳුනී මෙම නාට්‍යයට රංගනයෙන් දායකත්වය සපයති. පාලිත අබේලාල් අංග රචනයෙන්ද, හිරාන් අබේසේකර සහ ලහිරු රත්නායක ආලෝකකරණයෙන් ද, ලක්ෂානි අමරතුංග, බියංකා හංසිනී, කේ.වී.ඩී. අමරතුංග පසුතල නිර්මාණයෙන්ද සම්බන්ධවන 'මෙය තුවක්කුවක් නොවේ' නාට්‍යය වෙනුවෙන් වේදිකා පරිපාලනයේ යෙදෙන්නේ සමීර විමලසිරි, චාමර ගම්ඇතිගේ සහ කුමුදු වික්‍රමතන්ත්‍රි විසිනි.


[මෙය තුවක්කුවක් නොවේ- Trailer]



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails