Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පොතක් යනු එකට විසුරුණු කතාවක්
ජීවිතේ එහෙම නෑ විසිරුණු කලාවක් ...


හතිගන්න ඉඩ නො දෙන ජීවිතයේ එළිසමය එළිවැට කොණිත්තන ටිම්රාන් කීර්තිගේ සහෘද කවිය, කොළඹින් වියුක්ත සමාජ ආනතියේ දෘෂ්ටි මානයෙන් විනිර්මුක්ත ජීවනාවබෝධයක් අප හමුවේ මිණිකැට මෙන් ඉසියුම්ව ඔප දමන්නේ එපරිසරයෙහි සත්‍යාවබෝධය තුළිණි. හුදෙක් සමාජ විනිවිදීමක නිරපේක්ෂ ජීවන වෘතාන්තයන් දෙස හැරී බලන, අනවබෝධ පරිමිතයන්ගෙන් වියුක්ත සාධනීය කේන්ද්‍රස්ථානයක් සලකුණු කරන ටිම්රාන්ගේ විවෘත මනැස් පරිධියට ප්‍රථමයෙන් ම හිස නමමි. සාදය සූදානම් වී ගොඩාක් අහවර වූ කාලයක චන්දරේට යන්නං යැයි පිට අතගා කියන මොහොතක අප හමුවේ උභතෝකෝටික රාශියක බිත්ති බඳින්නට ටිම්රාන් සමත් ය. ටිම්රාන්ගේ කවිය හිත රිද්දන සුළු නො වේ ය. ටිම්රාන් ගේ කවිය හිත උගුල්ලන සුළු ය. ටිම්රාන්ගේ කවිය මුව ගොළු වන සුළු නො වේ ය. ටිම්රාන්ගේ කවිය මුව කපා දමන සුළු ය. ටිම්රන්ගේ කවිය ඇඳුම් ගලවන සුළු නො වේ ය. ටිම්රාන්ගේ කවිය ඇඳුමතරින් රහසඟ මිරිකන සුළු ය.

කොළ නිල් රතු පාට තනි තනිව අතුල්ලන
පුතේ ගෙවුණෙක හොඳයි බාල පැස්ටල් කූරු
පොලා පැන්නත් නුඹේ මුවෙන් කටුසර අකුරු
සොබාවික සිතුවමකි මෙතැන මේ දැන් ඇඳපු


විහාර සිතුවම ඇඳගෙන එන්නැයි කියූ තරුණ චිත්‍ර ගුරුවරයාට එය කරගන්න බැරි වූ සිසුවෙකුගෙන් ලැබෙනුයේ "සර් චිත්තරේ චොර වුණා. පාට කූරුත් ඉවරයි. ගොඩදාන්න බැරි වුණා."යන පිළිතුර යි. ස්වකීය චිත්තරේ ගොඩදාගන්න කැසකවන බාල මහලු ස්ත්‍රී පුරුෂ කොයි කවුරුත් අතරේ කියන්නට දෙයක් ඇත. ඒ පාට කූර ඉවර වීම යි. පාට කූර විටෙක ආත්මාර්ථකාමී යි. පාටකූර විටෙක කෛරාටික යි. පාටකූර විටෙක දරිද්‍රතාව යි. පාටකූර විටෙක දේශපාලනිකයි. පාට කූර විටෙක විප්ලවීය යි. මේ සියලු තන්හි රස්තියාදු වෙන ටිම්රාන්ගේ කවිය මෙතැන නවතින්නේ දරිද්‍රතාව මුහු වූ දේශපාලනික, විප්ලවීය ආස්ථානයක ය.

කොළ නිල් රතු පාට තනි තනිව අතුල්ලන
පුතේ ගෙවුණෙක හොඳයි බාල පැස්ටල් කූරු


ගෙවෙන්නේ කොළ නිල් රතු පැස්ටල් කූරු ය. ඒ වත්මන් දේශපාලනික මඩ ගොහොරුවේ අනාගත පරපුර ගිලීයාමට ඇති ශක්‍යතාව යි. එවැන්නක් ගෙවී යාම ටිමා ට අප්‍රතිහත සතුට කි. චිත්තරේ චොර වෙන්නේ මේ පාට නිසා ය. ටිම්රාන් ඉඟිකරන්නේ ඉතිහාසය පුරා චොර වූ චිත්‍රයකින් පරිබාහිරම පාට කලවම් වූ චිත්‍රයක් ඇඳිය යුතු අනාගත පරපුරේ කිරීටියට යා හැකි කරදඬු උස්වූ අනාගත පරපුරක් දෙස ය.

කොමල සිතුවම් බෝ ය
සල්පිල් හෙවණෙ විකිණෙන
හොඳම සිතුවම් සදා කටු සටහන් ය
බලන් ඉද්දී ලියලන


ක්‍රිකට්, පරිගණක, කැමරාව, වෙළඳාම වැනි අංශයන් හි පරිපාකයට පත් වන්නන් ස්වකීය තාක්ෂණික ශිල්පීය ගුණය මත රඳා පවතින්නාක් මෙන් කවිය මත ද එවන් වූ ශිල්පයක් ඇතැයි අපේක්ෂා කරන සමාජ ප්‍රපංචයන් තැනින් තැන මතු වෙමින් පවතී. කවියට කිසියම් වූ ශිල්පීය නිපුණත්වයක් වඩවා ගත හැක්කේ ප්‍රතිභාව ට ත් ව්‍යුත්පත්තිය ට ත් සමානව ඊට ත් එහායින් සදාකාලිකව සටන් වදින සතතාභ්‍යාසයෙ හි නිරත වන කවි කලළයන් ට ය. එ නමුත් සියල්ලකට උත්තර බඳින්න ට සැරසී සිටින අප ගොහොරු දූපතේ ගුවන් විදුලි නාලිකා අසන්නන් ට ද ඔවුන් හුරු පුරුදු කර ඇත්තේ ගෙදර යන ගමන් වුව අප ළඟ සියලු විසඳුම් සහිත බව ය. ටිම්රාන් සහභාගි වූ ගුවන් විදුලි සංලාපයක දී නිම්මි නම් වූ තරුණියක් දුරකථනයෙන් කවි ලිවීමේ උපදෙස් පතන්නේ ඒ නිසා ය. ටිම්රාන්ට එක්තරා විදියකින් මේ ප්‍රශ්නය කිසියම් වූ ප්‍රහර්ශයකින් යුක්ත ය. එනම් මේ අප ගෙවන වකවානුව කවිය බල්ලට යවා ඇති යුගයක, කලාව මුලිනුපුටා ඇති යුගයක, ජෝන් ද සිල්වා නාට්‍ය රඟහල බිමට සමතලා කොට ඇති යුගයක, කලා භවනටත් සුදු කොඩි අදින යුගයක, සකළ කලා වල්ලභයෝ රජුන්ගේ පස්සා ලෙවකන යුගයක ගුවන් විදුලියෙන් කවි ලියන්න උපදෙස් පැතීම ම ම එක්තරා අතකට ඇඟ රිදුම් දෙන්නකි. ටිම්රාන්ගේ කවිය පැන නගින්නේ එතැනිණි. තරු වෙන්න තතනන තරුණ පුරපුරක් මැද අනුන්ගේ අවශ්‍යතාවන්ට සදාකාලිකව කඩේ යන අවිහිංසක තරුණ තරුණියන්ගේ එළිබසින රේඛාව සියලු මාධ්‍යයන් අරක් ගත් මොහොතක කවියක් ලියන්නට කැමැත්තෙන් සිටින තරුණියක ද අරුමයකි. නැමුත් ගැටළුව වන්නේ කවියක් ලියවෙන්නේ කොතනින් ද? කවියක් ලියන්නේ කුමකට ද යන්නයි. එයට ටිමා සතු පිළිතුර පුදුමාකාර ය.

තාරකා දිවයිනක ත්
උඹට ඕනේ කිවිඳියක් වෙන්නම ද?

සෙප්පඩ රූප කෝලම් අඳින
රූප තිර වටා රොද බඳින
එෆ්. එම්. ගිරා පෝතක වත
විනෝද ක්‍රීඩා බෙදන සති අන්තයේ
සුසර කර ගත්තෙ කොහොම ද
කවියකට හදවත ?

ඔක්කොටම කලියෙන්
කියපන් නිම්මි මට ඒ ටික.....

........................

නංගියේ,
කරක් ගහනා ජීවිතේ
කොලු කමට ආව ගමනක් මිසෙක
සිරා පොරවල් නෙමෙයි අපි
එකම පංතියෙ ඉන්නෙ
උඹත් එක්කම
පිටිපස්සෙ පේළියේ...


මේ වන විට නිනව්වක් නැති දේශපාලනික සූරාකෑම්වලට යටත් ව ජීවත්වන සියලු මිනිස් ප්‍රජාව අභිමුවේ කවියක් යනු ජීවිතයේ තිත්තම තිත්ත රසක් ය. එබන්දක් නො පවසා මිහිරක් භුක්ති විඳින්නාක් මෙන් හෝ මිහිරක් විඳිතැයි පාරම් බාමින් වෙසෙන ව්‍යාජ මිනිස් අහිනක් නිරුවත් කිරීම එක රැයකින් සිදු කළ නො හැක්කකි. එවැන්නක් ටිම්රාන් නිම්මිගෙන් අසන්නේ මෙසේ ය.

පුළුවන්ද උඹට
ජීවිතයේ තිත්ත රස
තු: නො කිය
එක හුස්මට ගිලින්ඩ ?

එහෙම නම් අර කොනත්
මහ ඉඩක්
වරෙං එක පෙළට
කවි ලියන්ඩ
අපි ලෑස්තියි
දිළිඳු කවි කෙඳි තබා එක මිටට
අත්පසුරක් කර පුදන්ඩ


තාක්ෂණය සහ රූපවාහිනිය මිනිස් ජීවිත පවුරු බිඳ දා බුරි කොනිත්තන්නට කලියෙන් මේ බිමේ රසාස්වාදය එක්තරා අතකට පොදුවේ විසරණය වූ කාලපරිච්ඡේදයක් විණ. ඒ හැඩ ඉරි මැකී ගිය සැටි එක අතකට පුදුම ය. ඒ හැඩ ඉරි මකාලූ හැටි තවත් අතකට පුදුම ය. ටිම්රාන් අවසාන චිත්‍රකතාවත් පත්තර ලෑල්ලෙන් සමුගත් පසු ඒ මැකී ගිය හැඩ ඉර දකින්නේ ආහාර දාමය න්‍යායේ පිහිටි විද්‍යුත් මාධ්‍ය දාමයේ පිහිටා ය.

සුසුම් අවසානයේ
ලැබූ සැනසුම් කුසුම්
ඉතින් ඊටත් පස්සෙ
කොහෙද දේදුන කැලුම්

.........................

යුනිකෝගෙ අසිපතත්
තියුණු නෑ දිරලා
නියුරෝට පෙම් බැන්ද
පරපුරත් ගෙවලා

පරණ දඩමං උඩින්
අලුත් වැල් ගෙතිලා
අතරමං වුණේ ඇයි
වනසරා ටෝගා

........................

යද්දි වූ මං ලකුණු
එද්දි නෑ වැහිලා
සුද්දි ආපහු එද්දි
ඉරි රටා මැකිලා


විකාරරූපී සමාජ රටාවක නිල ලත් මුග්ධ පාලක ප්‍රජාවට බදු යන්න බුදු සරණ මෙන් මතුරන මන්තරයකි. කලකට පෙර සිටම මනාසික ව්‍යාධියකින් මහත් සේ ඔද්දල වී සිටින ශ්‍රී ලංකාණ්ඩුවේ සෞඛ්‍ය ඇමති පවසන්නේ බීමත්කම නිසා රෝගී වූ අය හට ප්‍රතිකාර කළ පසු ඒ වියදම ඔවුන් පිටව යද්දී නැවත රජයට ගෙවිය යුතු බව යි. ජීවිතය සමග දිනපතා පොර බදින ආමාශය උදෙසා දවසට තුන් සැරයක් මොනා හරි විසිකරන අවිහිංසක පීඩිත ජනතාවගේ පුරුෂ මූලික ආස්ථානය ඔවුන් විසින්ම නිර්මාණය කරන ලද ක්‍රමයේ වැරැද්දකින් සූරා කෑමට ලක් කරන, හිංසනයට ලක් කරන, පීඩනයට ලක් කරන, දරිද්‍රතාවට ලක් කරන කරුමයේ දී මොවුන් සතු වූ එකදු නිවිහැනහිල්ලටත් ඔවුන්ම මුදල් අය කරන්නට සැරසෙයි. ඔවුන්ගේ ජීවිතය ගැටගැසෙන්නේ රූපවාහිනී රියැලිටි ෂෝ රිද්මයට නො වන්නේ ය. බිඳෙන් බිඳ වෑහෙන දහඩිය සමග දියවෙන කතාන්දර බොහෝ ය. කිසිවෙකුගේ නුවණ දැළට හසු නො වන ග්‍රාමීය වශයෙන් දේශීය ආර්ථිකය කර තබානෙ යන මෙබඳු ජීවිතවලට වෙන සරණක් කොයින් ද?

කුලී කුරක්කනටම සෙක්කුව බැඳුණ
මිදෙන දොහක් නැතියෙන් රවුමේ දුවන
සෝමෙගෙ වැඩියෙන් ඇඟ ගිනිගල් නිවන
මගෙ දෙයියා තමයි සංසාරේ නිවන

අඳේ කෙරුවා කුඹුරක් එගොඩහ යාය
මදේ ඇන්න සුඹුලක් අපිලට පෑය
සඳේ හීල යට ඇඟ මස් ගල් වේය
උදේ පටන් මගෙ දෙයියා බිව්වාය


සින්නක්කරයටම කඳුළු විතරක් හිමි වුණ සදාකාලයටම පස්යට වැළලෙන අවිහිංසක මිනිස් පුරයක සූරාකෑම කවියා දකින්නේ ඉතා දයාර්ද්‍ර හැඟීමක් සහිතව වුවත් අභියෝගාත්මක දෘෂ්ටියකිනි. මොවුන් සම්, ලේ, ඇට, මස්, නහරින්ම ජීවිතයේ අභියෝගය හමුවේ නොසැලෙන නියමුවෝ ය. එනමුත් ශක්තිවන්තයා ජයගන්නා වනබිමක් වන් වූ රටක මෙවන් වූ කුලකයක අවසානය ටිම්රාන් කියන්නේ රසික මනස් කළඹවමිනි.

රැලේ ගිය පොඩ එකා පැලෙන් ගහගෙන ගියා
අවාරෙට ඉස්කෝලෙ ගිහිල්ලත් මද්දුමී,
ලොකු සර්ගෙන් බඩ වුණා
තිස්සෙම ඇඬුම් ඇවිදින් මගෙ කඳුළු වේලුණා
දෙයියගෙ ගින්දර ගිනි වතුරටම හේදුණා

පපුවක ඇඳුං කන කැක්කුම පුච්චන්ඩ
කාටද පුළුවන්නෙ දිව ඔසුවක් දෙන්ඩ
කඹුරන්නං හතී කොන ඇඟ බදු බේරන්ඩ
මළත් කමක් නෑ මගෙ දෙයියෝ බොන්ඩ


පාසලේ ප්‍රජනනය පාඩම ලැජ්ජාවට උගන්නවන්න පැකිළෙන අලුගුත්තේරු ගුරුවරියන් සිටින රටක හෙට මල්වර වෙන අපේ පාසල් තරුණයන් හට ලිංගිකත්වය එක්තරා මැජික් යෂ්ටියක් යැයි උපකල්පනය කරන්නට පාර කපන්නේ අපේම ගුරුවරු ය. ඒත් මේ අතර එකවරම පැමිණෙන ඇතැම් ප්‍රගතිශීලී ගුරුවරුන් ක්ෂණිකව විවර කරන තිරයෙන් කුල්මත්වන ඔවුන් සී සී කඩ විසිරුණු හැඟීම් සමුදායකගෙන් ඔද්දල ‍වෙයි. නිසියාකාර ව ක්‍රමානුකූලව ඉදිරිපත් නො කරන ලිංගික අධ්‍යාපනයක් සහිත රටක පාසල් ළමුන්ට සිදු වන්නේ විදුහල්පති නිර්දේශයෙන් ගෙදර බලා යාමට ය. ටිම්රාන් ඒ ඉසියුම් තැන් මනාව සංස්පර්ෂණය කරන්නේ ඉතා අගනා විලාසයකිනි.

සැලළිහිණියේ අඟනුන්ට
පණ නො දුන්නා නම්
අප්සරා වල් ගැහැනු ගැන
ගල් ගැහෙන කවි නො කීවා නම්
නෑ මේ වගේ නිංගිරාවක්
එහෙම නම් අපි අදත් හොඳින්

පුළුලුකුල - රිය සක වන්
තැඹිලි ගත රත් - තිසර තන්
ඔන්න ඕවයි සර්
අපිට දරන්නට බැරිව ගිය තැන්..
.


සැප්තැම්බරය පොත් මුදලාලිලා කෙළ හලන, ආදරයෙන් කරට අතදාන, මැගී නුඩ්ල්ස් ඕන දැයි අහන මාසය යි. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සාහිත්‍ය මාසය යැයි කියන රාමුවට කොටුව අද වන විට ප්‍රසිද්ධියේ පාඨකයන්ගෙන් මංකොල්ල කන තත්ත්වයකට පත් ව ඇත. සාහිත්‍යයට හිතැති සාහිත්‍යාදර සාහිතලෝභී ප්‍රජාව මෙතැනට පැමිණෙන්නේ පොත් නම් මහානුභාවසම්පන්න ද්‍රව්‍යක් රැගෙන යාම ට ය. එනමුත් අද වන විට එවැන්නක් නැත. ඇත්තේ පිටකොටුවේ මැනිං මාර්කට් එක වැනි තත්ත්වයකි. ඒ සාහිත්‍යාදර මහානුභාවසම්පන්න පොත් ප්‍රකාශක සුධීමතුන්ගේ පිහිටෙනි. ඒ නො ආ යුතු ගමන ගැන ටිම්රාන් කියන්නේ මෙලෙසිනි.

එතකොටත් මං කුලී කම්කරුවෙක්
පටවලා දර ලොරි දෙකක්
උපයාගෙන රුපියල් දාහක්
ගියෙමි සැප්තැම්බරයක නොයා යුතු ගමනක්

කොළඹ මහ පොත් සල්පිලක්
ඒක මහ විලි ලැජ්ජ නැති ගමනක් !

............................

කවියෙක් කවියෙකුට කිව හැකි අතිශය දරුණුම, භාවාතිශම ප්‍රකාශය ටිම්රාන් කියන්නේ ඉතා නො පැකිළිව යි. කවි ලියන්නන්ගේ ජීවිතත්, ඔවුන්ගේ රැකියාවලුත්, ඔවුන්ගේ සාක්කුත්, ඔවුන්ගේ සංව්දීතාවත් ප්‍රකට කරන ටිම්රාන් සද්ධිවිහාරික මස්ඉඹුල කවියාගේ පොතේ දෙවනි මුද්‍රණය එළි දකින දා ලැබුණු ඇරයුම ඉටු කිරීමට අපොහොසත් වෙයි.

ඒ වෙනකක් නිසා නො වෙ යි. කවියා ඔහු සේම ජීවන අරගල දැළේ පැටලී ඇති නියාවෙනි. අප හැමෝම ටිම්රාන් මෙන් ජීවන අරගල දැළක පැටලී ඇති මුත් ඒ අපෙන් වෙන් වූ වපසරියක පවතින්නක් වන්නේ වැස්සට, හුළඟට, අව්වට, පාරට, අයියට, අක්කට, ලොක්කට, බක්කට, සොක්කට, ඕනම එකෙකුට ටිමා ගේ සාක්කුවේ ඉලක්කං වෙනස් කළ හැකි නිසා ය.

හිරු ගිලී හිම පියල්ලේ
රිදී ඉරි විහිදුවද්දී
තණ පඳුර යට පිළිසඳර
මිතුර මට මග හැරුණී

ජීවිතේ දුෂ්කරම දුර්ගේ
ලෙලිගහං බඩගාද්දි
උඹේ කවි පද අත්පසුරු වුණි
බොහෝ අත්වැල්
ගෑනු ගැට ලිහෙද්දී
.......................

නාඩු සේරුව පනහයි
පත්තරේ ඒත් පනහයි
දෙකම එක ගානයි
ඔය වැරදිච්ච තව තැනක් පමණයි

කොළඹ ආගිය ගමන්වලදි ත්
‘ගනු‘ මිසක
කිසිදා ‘දෙනු‘නො වුණු
කවි සගයන්ට වූ ණය තුරුස් බෝ ම යි
ඒ දුකට එක හේතුවක් විතර යි

......................

ජීවිතේ සංතාප
මීවිතෙන් හෝදමින්
කෙළවරක් නැති කතාවක
අයාලේ ඇවිද යමු

ජාති ජාතිත්
කවි ගැන කතා නො කරමු
.


ටිම්රාන් කීර්ති ඉතා මානවවාදී ගුණයක් සහිත කවි භාවිතාවක සරන ස්වකීය කවිය තුළ ප්‍රබල දේශපාලනික විහිදුම් රැස් මාලා විහිදුවන, ඔහුටම අනන්‍ය වූ ප්‍රකාශන රීතියක් ගුරුකොට ගත්තෙකි. හුදෙක් හිතලු අකුරු විදියට නො ලියන, මහපොළවේ සියලු ආරෝහණ අවරෝහණයන් නිරීක්ෂණය කරමින් ආවේණික සංජානන වේදයක් සකසා ගත්තෙකි. එය සත්‍ය වශයෙන්ම නිරවද්‍ය ය. නිරවුල් ම ය. සරල ම ය. එනමුත් ප්‍රබලම ය. දෛනික ජීවිතාන්දරයේ චිත්තරපටිය කොටස් වශයෙන් හෝ කවියට නැංවීමේ දී ඔහුට හැකි වාසනා මහිමයට රසිකයින් විදියට අපි ගරු කරමු. ඔබ ත් පතන අප ත් පතන යහපත් ලෝකයක් අප හීනෙන් වත් දකින සමයක ට පෙර දිනකදී, ඔබේ කවියක අකුරු උණ්ඩ ලෙස රජ ගේ වෙත පිටවේවා යන්න අප ඉත සිතින් පතන හැඟුමකි. මෙවන් වූ පරිසර පද්ධතියක් ඇතුළත ආයෙත් එන්න කියන්න බැරි තැනක හිඳ 'යන්නං චන්දරේ'ට ඉතා සෙනෙහෙසින් අත වනමි.

වීරයා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails