Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පාත්‍ර වර්ගයා- කපුවා, මනමාලයා, මනමාලයාගේ මව, මුදලාලි, හාමිනේ, මනමාලි, විනිසුරු

(සංගීතය සමඟ වාහනයක් ගමන් කරන හඬ මතු වේ.)

කපුවා- අද මොකද වේදිකාව මැද්දෙ දෙබස් අමතක වෙච්ච නළුවො වගේ.

මනමාලයා- මම මේ කල්පනා කළේ...

කපුවා- (බාධා) මතක තියාගනින්, උඹ තමයි මනමාල මහත්තයා, රකුම්ර ගම්මුදුවත්ත. උඹ තමයි මනමාල මහත්මයාගේ අම්මා, රංඑතනා ගම්මුදුවත්ත. මම තමයි කපු මහතා, ජස්ටින් කඹුරුගොඩ. අපි අපේ රඟපෑම හොඳින් කරන්න ඕන.

මනමාලයාගේ මව- අපේ ව්‍යාපෘතිය නොහිතන විධියකින්...

කපුවා- (බාධා) මොසාට් සංවිධානයටවත් අපේ ව්‍යාපෘතිය හෙළි කරගන්න බැහැ. මේක ඉතාමත්ම සැලසුම් සහගතයි. තාක්ෂණිකයි. අපි අන්තර්ජාලය හරහා කසාද බඳින්න බැරුව ඉන්න මනමාලියන්ට මඟුල් යෝජනා අරගෙන එනවා, අපේ සයිබර් ප්‍රපෝසල්ස් කොම්පැනිය හරහා. අපිව ඊමේල් වලින් කන්ටැක් කරනවා. හඳහන් පිටපත් ඊමේල් වලින් හුවමාරු කරගන්නවා. මනමාල ලැයිස්තුවක් කස්ටමර්ට යවනවා. අපේ ගාස්තුවෙන් සියේට පනහක්, ඒ කියන්නේ රුපියල් පන්දාහක් ගිණුමට බැර කරගන්නවා. මගුල බලන්න යනවා. හොඳට සප්පායම් වෙනවා. ඉතිරි ඇඩ්වාන්ස් එක ගන්නවා. මඟුලට විරෝධය මතු කරනවා. මඟුල නොකෙරෙනවා. මේක තමයි අපේ ව්‍යාපෘතියෙ ක්‍රියාවලිය. මේක සුන්දර ධාර්මික ව්‍යාපෘතියක්. ඇත්තටම හොඳ රචකයෙක්ට විශිෂ්ට නිර්මාණයක් කිරීමට තරම් වස්තු විෂයක් මේ ව්‍යෘපෘතියෙ තියෙනවා. බලාපල්ලා මේ වැඩේ බොහොම නාට්‍යමයයි.

මනමාලයා- මං මේ කල්පනා කළේ, මේ තරම් තරුණ පෙනුමක් මං තරුණ කාලෙවත් තිබුණෙ නෑ. ඇත්තටම අපිට බැරිද, අලුත් ව්‍යාපෘතියක් විධියට තරුණ වෙන්න ක්‍රමයක් මේ එක්කම මාර්කට් කරන්න. අපිට පුළුවන් වයස අඩු කරලා, අලුත් උප්පැන්න සහතික නිකුත් කරලා, සුභ හඳහනක් සකස් කරලා, අවසානේ ප්ලාස්ටික් සර්ජරි එකක් වගේ, ස්ථීර මේකප් එකක් දාලා, සම්පූර්ණයෙන්ම පුද්ගලයෙක්ව වෙනස් කරන ක්‍රමයක් මාර්කට් කරන්න...

කපුවා- (බාධා) මම කියන්නෙ අපි මේ වැඩේම ඩිවලොප් කරමු. අපි මේ වගේ මනමාලියො බලන්න යන චාරිකා සතියකට විස්සක් දක්වා වර්ධනය කරගත්තොත්, අපිට හොඳ ආදායමක් ලැබෙනවා. ඒ වගේම කිසිම වියදමක් නැතිව ආහාර ප්‍රශ්නෙත් විසඳගන්න පුළුවන්, හොඳට සප්පායම් වෙලා.

මනමාලයාගේ මව- වැඩි තණ්හාව කියන්නෙ, ඕනෑම ව්‍යාපෘතියක් අසාර්ථක වෙන්න ප්‍රධාන හේතුවක්. ඒකෙන් ඔක්කොම රහස් හෙළි වෙන්න පුළුවන්.

මනමාලයා- අපේ ව්‍යාපෘතිය හෙළිවෙන්නෙ අපි තුන්දෙනාගෙන්ම තමයි. එහෙම වුණොත්, ප්‍රතිඵල එක හා සමානවම තමයි භුක්ති විඳින්න වෙන්නෙ.

කපුවා- මං යෝජනා කරනවා, අලුත් ටීම් එකක් බඳවගෙන, මේ රහස හෙළි නොවන විධිහට සතියට මනමාලියො බලන චාරිකා ගණන වැඩි කරමු කියලා.

මනමාලයාගේ මව- ඒ කොහොමද?

කපුවා- අපි ඇග්‍රිමන්ට් සයින් කරලා, අපේම හිතවත් රැකියා විරහිත යාළු මිත්‍රාදීන්ව මේකට බඳවාගන්න ඕන. ඒ වගේම, අපට අපේ ආරක්ෂාව සම්බන්ධව වැඩපිළිවෙළක් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන.

මනමාලයා- මෙහෙමයි. මම යෝජනා කරන්නෙ, මෙහෙම මනමාලයා විදිහට මනමාලියෝ බලන්න යන අතරෙ, යාන වාහන, ඉඩ කඩම් තියෙන තැනකින් ඇත්තටම කසාදයක් කරගන්න විදිහක්.

මනමාලයාගේ මව- (සිනාසේ) හොඳ අදහසක්. එතකොට උඹගෙ ගෑනිි සහ දරුවන් දෙන්නට මොකද වෙන්නෙ?

මනමාලයා- සුහද එකඟතාවයකට ඇවිල්ලා දික්කසාද වෙනවා. නැත්නම් ගෑනිිවත් දැනුවත් කරලා, කසාද දෙකම කරගෙන යනවා.

මනමාලයාගේ මව- උඹ හිතනවාද, උඹේ ගෑනිි ඕකට එකඟ වෙයි කියලා.

මනමාලයා- එකඟ වෙන්න වෙනවා. මේ රට යන විධිහට සිවුපාවෙකුටවත් හිස ඔසවන්න බැරි තත්වයක්. සත්තු පවා අනාගතයෙ ජීවත් වියයුතු ආකාරය හිතන්න වෙනවා.

මනමාලයාගේ මව- ඇයි, උඹ මුල් විවාහය දේපළ, මිල මුදල් ඇති තැනකින් කරගත්තෙ නැත්තෙ?

කපුවා- අන්න, වැදගත් ප්‍රශ්නයක්.

මනමාලයා- මේ වගේ දැඩි අර්බුදයක් අපේ ජීවිතවලට ඇතිවෙනවාය කියලා ඉඟි වැටුණා නම්, අනිවාර්යයෙන්ම කරන්නෙ ඒක. මේ, එක්කො අපිට බැරිද, යම්කිසි දේපළක්, වත්කමක් බලන බලන මනමාලියන්ගෙන්, අපේ නමට ලියාගතහැකි වැඩපිළිවෙලක් දක්වා මේක සංවර්ධනය කරන්න.

මනමාලයාගේ මව- ඔන්න, ඔන්න, නැව දියඹට තමයි ඔය කරකවන්නෙ.

මනමාලයා- මං කිව්වෙ වැදගත් අදහසක්. ඒ ඔස්සේ අපට පුළුවන් ඉතාම ඉක්මණින් අපේ ගරාවැටුණු ජීවිත ගොඩනඟා ගන්න. මොකද, බැලූ බැල්මට අපේ ව්‍යාපෘතියෙ කිසිම වංචාවක් පේන්න නෑ.

මනමාලයාගේ මව- ඒත්, මේක වර්ගීකරණය කරන්න වෙන්නෙ අපරාධවල වංචා කියන අංශයට. විවාහයක් කරගැනීමේ විලාසයෙන් මනමාලියන් බලන්න යාම, ඒ සඳහා මුදල් ලබා ගැනීම.

කපුවා- මතක තියාගනිල්ලා, අපි සියලු දේවල් ලබා ගන්න ඕන බොහෝම ධාර්මිකව. වංචාව කියන එක අංශුමාත්‍රයක්වත් පෙනෙන්න තියන්න හොඳ නෑ. අපි දේපළ ලියාගන්න ගියොත්, පහසුවෙන්ම ඔප්පු කරන්න පුළුවන් වෙනවා වංචාසහගත බව.

මනමාලයා- මං කියන්නෙ අපිට බැරිද, ස්වකීය කැමැත්තෙන් දේපළක් පවරා ගතහැකි විදියට මේක සංවර්ධනය කරන්න. මං අහලා තියෙනවා, අතීතයේ සමහර මිනිස්සු ඌරුමස්, හරක් මස් ගාතවලට පවා බූදල ඉඩකඩම් ලියා දීපු කථා.

මනමාලයාගේ මව- ඒ බොහෝම අතීතයෙ.

මනමාලයා- අතීතයයි, වර්තමානයයි අතර මිනිස්සුන්ගෙ දැනුම සංවර්ධනය වෙලා නෑ මේ රටේ. අන්න ඒ වාසිය අපට පුළුවන් පාවිච්චි කරන්න, මේ රටේ පාලකයො වගේ.

මනමාලයාගේ මව- මට ආවා මේ එක්ක වෙන අදහසක්. අපිට බැරිද කියලා වෘත්තීය නළුවන් වෙන්න. ඒක, මේ මොහොතෙ හොඳ ආදායම් මාර්ගයක්. ජනප්‍රියත්වය ලබාගෙන, සම්මානයට පාත්‍ර වෙලා, විවිධ සිවිල් වරප්‍රසාද විඳිමින්, අපිට ඕන, ඕන දෙයක් කරගෙන, අවසානයේ පාර්ලිමේන්තුවට පවා අඩිය තියන්න පුළුවන්.

කපුවා- මං උඹලට යෝජනාවක් කරන්නද?

මනමාලයා- මොකක්ද?

කපුවා- එක අරමුණකින් මේ ව්‍යාපෘතිය කරන්න බැරිනම්, උඹලා අයින් වෙයල්ලා.

මනමාලයාගේ මව- (තමාට) මිනිහා අපිව අයින් කරලා, තනියම වැඩේ කරගෙන යන්නයි කල්පනාව. හ්ම්, බලමුකො.

කපුවා- අපි මේ විදිහට මේ කොදෙව්වෙ නන්නත්තාර වෙලා ඉන්නෙ මොකද? කියාපල්ලා මොකද? ඇයි අවසානයේ අපි මේ වගේ රස්සාවකට වැටුණෙ. හොඳයි, මොකද? කියාපල්ලා මොකද?

මනමාලයාගේ මව- උඹ මේ කියන්න හදන්නෙ හැමදාම ගහන, එකම රෙකෝර්ඩ් එක...

කපුවා- (බාධා) ඒත්, මේකෙ අන්තර්ගතය සදාතනිකයි. උඹලා, අපි ඇතුළු, මේ රටේ මිනිස්සු අරමුණක් නැතිව තීරණය කරපු සාධක උඩ තමා, අපි හැමෝටම මේ වගේ තත්වයක් උදාවෙලා තියෙන්නෙ.

මනමාලයාගේ මව- උඹ දොඩවන්නෙ හරියට විකාර රූපී නාට්‍යයක් වගේ අසම්බන්ධිත වචන.

මනමාලයා- ඒයි, ඔන්න අපි හැරෙන්න ඕන හන්දියට කිට්ටු වෙනවා. අපි අපේ චරිත වලට යමු ඉක්මණට.

කපුවා- ගමන් විස්තරයට අනුව මේක තමයි රබර් කට්ටිය. හරි, ඔන්න ඔය ඉස්සරහ බෑවුමේ තියෙන තට්ටු දෙකේ බංගලාව, ඔය පේන්නෙ. ගේට්ටුව ඇරලා තියෙන හින්දා වාහනය ඇතුළටම දාපන්. පරිස්සමෙන්.

මනමාලයා- (තමාටම) හ්ම්, හොඳ බූදලයක් තියෙන මිනිහෙක්ගෙ ගෙදරක් වගේ.
(වාහනය නවත්වන හඬ, දොරවල් අරින හඬ, අඩි හඬ)

මුදලාලි- ආයුබෝවන්ඩ, ආයුබෝවන්ඩ.

කපුවා- ආයුබෝවන්ඩ, ආයුබෝවන්ඩ. අපි බොහෝම උදෑසනින් පිටත් වුණේ. ඒත්, රාහු කාලය පන්නලම ගෙදරට ගොඩවෙන්න හිතලා ටිකක් ප්‍රමාද කළා. මොකද පුරාණ චාරිත්‍ර, අපි ඉර හඳ වගේ විශ්වාස කරනවා.

හාමිනේ- අහන්නත් සන්තෝෂයි. අපිත් එහෙම්ම තමා.

මුදලාලි- ගමන් විඩාවත් ඇති නොවැ. මොනවා හරි සප්පායම් වෙමු එහෙනම්.

කපුවා- මේ අය මස් මාංශවලින් තොරයි. ඒ විතරක් නෙවි, සුරාව, සූදුව, බොරුව ආදී සියලුම පස් පව් වලින් තොරයි.

හාමිනේ- ඇත්තටම අහන්නත් සන්තෝෂයි අපිට.

මනමාලයාගේ මව- අපේ පුතා සෑම පෝයකටම සිල් සමාදන් වෙනවා. කුඩා කාලෙ ඉඳලම ආගමට දහමට ලැදියි. කොයි වෙලාවෙත් බණ පොත, ජාතක පොත තමා අතේ තියෙන්නෙ.

හාමිනේ- අපේ දුවත් පොඩි කාලේ ඉඳලම දහම් පාසලේ අධ්‍යාපනය ලැබුවා, ගුණ දහම් ගැන. එයා ධර්මාචාර්ය විභාගයත් ඉහළින් පාස් කරලයි තියෙන්නෙ.

මුදලාලි- අද අපි මේ විදියට යහපත් ජීවිත ගත කරන්නෙ පෙර ආත්ම වල ලබා ගත්ත කුසලානුභාව නිසානෙ. ඉතින් මතු ඉපදෙන ආත්මයක් ගැන හිතලා, වැඩි වැඩියෙන් කුසල් රැස් කරන්න ඕන.

මනමාලයාගේ මව- සහතික ඇත්ත. අද මිනිස්සු හිතන්නෙ, අපිට ගෙවන්න වෙන්නෙ මේ ආත්මභාවය විතරයි කියලනෙ. ඒකනෙ අද තියෙන ලොකුම ප්‍රශ්නෙ.

මුදලාලි- හරියට හරි. අපි ලබාගෙන තියෙන පින් පවුවලට අනුව තමා, අද අපිට සියල්ලක්ම අත්පත් වෙලා තියෙන්නෙ. අපේ මාපියො, දරුවො, ඥාතින්, යාළුවො, පාලකයො...

මනමාලයා- (බාධා) මම නම් එකඟ නෑ ඔය කථාවට.

මුදලාලි- එකඟ නෑ? හරි, මොනවටද එකඟ නැත්තෙ?

කපුවා- (තමාට) වැඩේ බොර කරගන්න වගේ යන්නෙ. දැන් මොකද කරන්නෙ?

මුදලාලි- මොනවටද මනමාල මහත්තයා එකඟ නැත්තෙ?

මනමාලයා- අපිට සියල්ලම ලැබිලා තියෙන්නෙ, පින්, පවු වලට කියන කථාවට.

හාමිනේ- එහෙනම් මොනවටද කියලද, මනාල මහත්තය කියන්නෙ?

මනමාලයා- අපේ වාසනාවට.

මුදලාලි- ඒක මිසක්. වාසනාව කියන්නෙ, පින්පවු වලටම තමයි. හොඳ ආත්මභාවයක උපත ලබන්නත් හොඳ සහකාරියක්, සහකරුවෙක් අත්පත් කරගන්නත් හොඳ වාසනාවක්, එහෙමත් නැතිනම් පිනක් තිබෙන්න ඕන.

කපුවා- සහතික ඇත්ත. සහතික ඇත්ත.

මුදලාලි- අද මේ රටේ පාලකයො පෙර ආත්මභාවයන් වල, බොහෝ පින් දහම් කරලා තියෙනවා. අන්න ඒ නිසා තමයි මේ අත්මයන්හිදී සුඛවිහරණ සහිත, වාසනාවන්ත දිවියක් ගතකරන්නෙ. අද බහුතරයක් අන්න ඒ වාසනාවට ඊර්ෂ්‍යා දක්වනවා. ඒ නිසා තමයි විරුද්ධ කුමන්ත්‍රණ, උද්ඝෝෂණ, කැරලිි, සංවිධානය කරලා හතුරුකම් කරන්නෙ.

කපුවා- සහතික ඇත්ත, සහතික ඇත්ත.

මුුදලාලි- ඒ කාලේ අපේ පින්වත් රජවරු අවුරුදු පනහ හැට රජකම් කළා. කවුරුත් විරුද්ධ වුණාද? කවුරුත් උද්ඝෝෂණ නැඟුවද? නැහැ. මේ රට ගොඩනැඟුවෙ අන්න ඒ විදිහට අවුරුදු ගණනාවක් රජ කරපු රජවරු. ඇයි, අපි පවු පුරවගන්නෙ පාලකයන්ට විරුද්ධ වෙලා...

කපුවා- (බාධා) එහෙම කළොත් අපාගත වෙනවා.

මුදලාලි- අන්න ඒක තමා වෙන්නෙ.

කපුවා- (තමාට) අපිට, අපේ ගාස්තුව වගේ තුන් ගුණයක්වත් ගන්න පුළුවන් මිනිහෙක්. (තමාට සිනාසේ)

හාමිනේ- අපි එහෙනම්, ඉක්මණට කැවුමක් කෙසෙල් ගෙඩියක් අනුභව කරලා, හොඳ බෙලිමල් කෝප්පයක් බීලා ඉමු.

මුදලාලි- දුවේ, ඔය වතුර වීදුරුව අරගෙන ආව නම්.

මනමාලයා- (තමාට) ම්, මොනවා? කවුද වතුර වීදුරුව අරගෙන එන්නෙ. හොඳට හුරු පුරුදුයි. ම්, නෙතු ප්‍රභා වන්නිගම නේද? ම්, ඔව්, එයාම තමයි. දැන් මොකද කරන්නෙ. ඔන්න ඒකි මං ගාවටම එනවා.

කපුවා- ආයුබෝවන්ඩ මනමාලි නෝනා.

මනමාලයා- (තමාට) මුහුණ දිහා බලන්න නරකයි. බිම බලාගෙන වතුර වීදුරුවට අත තියනවා. ඕහ්, ගෑනි හොඳටම මං දිහා බැලුවා. ඉවරයි. අඳුරගත්තා නේද? දැන් මොකද කරන්නේ?

හාමිනේ- මේවා ඉස්තරම්ම වර්ගයේ කැවුම්, ඒ කියන්නෙ බොහෝම සම්ප්‍රදායානුකූලව තමයි හදලා තියෙන්නෙ.

මනමාලයාගේ මව- ඒ කිව්වෙ?

හාමිනේ- ඒ කියන්නෙ, ආදි කාලයේ ඉඳන් පැවත එන ක්‍රමයකට. මේක මට කියා දුන්නෙ අපේ ආච්චි. මං මගේ දුවට කියා දුන්නා.

මනමාලයාගේ මව- ඇත්තටම මොකක්ද ඔය ක්‍රමය?

මනමාලයාගේ මව- මෙහෙමයි, මුලින්ම සාමාන්‍ය විධියට කැවුම් ටික හදාගන්නවා. ඊට පස්සෙ ඒවා පැනි පුරවපු හැලියක දාලා කොළපතකින් හොඳට සීල් වෙන්න වහලා දුමේ තියනවා. ටික කාලයක් ගියාම පැනි කැවුම්වලට උරා ගන්නවා. ඊට පස්සේ ආයෙත් වණ්ඩුවක දාලා, පැනිවලින් හයිවෙච්ච කැවුම් ජල වාෂ්පෙන් තම්බලා, කෑමට ගන්නවා. මේ කැවුම් එකපාර පනහක් වුණත් කන්න පුළුවන්.

මනමාලයා- (තමාට) මේ ගෑනු කුකරි පාඩමක. මෙතන දැන් මොන පිපිරීමක් වෙයිද කියලා මට හිතාගන්න බෑ.

හාමිනේ- මනමාල මහත්තයා, මොකද බර කල්පනාවක. කැවුම් වලට ආස නැතැයි.

මනමාලයා- ආසයි, ආසයි.

කපුවා- (රහසින්) මොකද මේ එකපාරටම තෝන්තු වෙලා? දාඩියත් වැක්කෙරෙනවා.

මනමාලයා- අපි ඉක්මණට මෙහෙන් යමු.

කපුවා- ඒ මොකද?

මනමාලයා- කියනඑක අහලා යමන්.

කපුවා- එහෙම කොහොමද? අපි තාම සප්පායම් වුණෙත් නෑ...

මනමාලයා- (බාධා) අපේ වෙස් තට්ටු ගැලවෙන්නයි යන්නෙ. ඉක්මන් කරපන්...

කපුවා- (බාධා) ඒ මොකද?

මනමාලයා- යන ගමන් කියන්නම්, අපි ඉක්මනට යමු.

කපුවා- එහෙම කොහොමද යන්නෙ. අපි අපේ ඉතුරු බැලන්ස් එක අරගන්න ඕන. හොඳට...

මුදලාලි- (බාධා) කපු මහත්තයයි, මනමාල මහත්තයයි, මොකක්ද මේ සතර කන් මන්ත්‍රණය.

කපුවා- අපි මේ කථාකළේ, මේ කටයුත්ත කෙරෙන ආකාරය ගැන. මනමාල මහත්තයාගෙ නම් කිසිම අකමැත්තක් නෑ කියනවා.

මුදලාලි- අපිත් කැමති අන්න එහෙම කෙලින් අදහස් තියෙන අයට. එහෙනම් ඉතින්, අපි මොකටද විරුද්ධ වෙන්නෙ.

මනමාලයා- (තමාට) මේ වෙලාවට තමයි මට යක්ෂාරූඪ වෙන්නෙ. මට හිතෙනවා, මේ මේකප් එක මෙතනම ගලවලා දාලා ඇත්තම කියන්න.

කපුවා- මගේ එකම ප්‍රාර්ථනාව තමයි, මේ කටයුත්ත සර්වප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත්කරන එක. ඒක එක්තරා විදිහක මහා පුණ්‍යකර්මයක්. කපුකම කියන්නෙ මනුෂ්‍යයෙකුට සිය ජීවිත කාලයේ සැනසෙන්න පුළුවන් වෘත්තියක්. දෙදෙනෙකු අතිනත අරගෙන, දරුඵල ලබලා, සතුටින්, සාමයෙන් ජීවත් වෙන වාරයක් පාසා, මනුෂ්‍යයෙක් විධිහට මං සතුටු වෙනවා. මං යෝජනා කරපු කිසිම කටයුත්තක් වැරදිලා නෑ. මේ යුවළටත් මං සියලු දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා.

මුදලාලි- අපේ පැත්තෙන්, අපේ දෝණියන්දෑට ඉටු කරන්න ඕන හැම යුතුකමක්ම කරනවා. අපි බලාපොරොත්තු වෙන්නෙ, අපේ ඉඩකඩම් ටික නඩත්තු කරගෙන ඉන්න පුළුවන්, චරිතවත්, උගත් මනමාල මහත්තයෙක්. අපි හරිම සන්තෝෂ වෙනවා මේ මනමාල මහත්මයා ගැන.

කපුවා- හඳහන් දෙකත් බොහෝම අපූරුවටනෙ ගැළපෙන්නෙ. මං කිව්වයි කියලා හිතාගන්න, මේ තරම් අපූරුවට ගැළපෙන හඳහන් දෙකක් මං දැක්කෙ මුල්ම වතාවට. එකකට එකක් පුරුද්දලා වගේ.

මනමාලයාගේ මව- මමත් බලාපොරොත්තු වෙන්නෙ පිරිමියෙකුට යටත් වෙලා, ගෙදර දොරේ වැඩ කටයුතු කරගෙන ඉන්න, ආගම දහමට ලැදි, ගෑනුු ළමයෙක්. අපිට ආපු අනික් යෝජනා වලට අකමැති වුණෙත් ඒ නිසා. මේ ළමයා බොහෝම චරිතවත් කියලා අපිට තේරෙනවා. අනික කැවුම් හදන්නත් දන්නවානෙ.

මනමාලි- (ඈත සිට) අප්පච්චී මෙහාට ටිකකට ආව නම්.

මනමාලයා- (තමාට) ඉවරයි. මේකි ඔක්කොම හෙළිදරව් කරන්න වගේ යන්නෙ. හොඳම වැඩේ, මෙතනින් ඉක්මණට යන එක (කපුවාට) ඒයි, අපි යමු.

කපුවා- මොකද මිනිහෝ.

මනමාලයා- අපි මෙතනින් යමු.

කපුවා- එහෙම කොහොමද යන්නෙ?

මනමාලයා- වෙඩි බෙහෙත් නූල පත්තු වෙනවා. පුපුරන්න තව මොහොතයි තියෙන්නෙ. උඹට තේරෙන්නෙ නැද්ද?

කපුවා- මොකක්ද උඹ කියන්නෙ?

මනමාලයා- මිනිහෝ, මේ මනමාලි ගෑනිව මං හොඳට අඳුරනවා.

කපුවා- ඒ කොහොමද?

මනමාලයා- අපි විශ්වවිද්‍යාලයේ එකම බැච් එකේ...

කපුවා- (බාධා) මේ ළමයා විශ්වවිද්‍යාලෙ ගිය කෙනෙක් නෙවි.

මනමාලයා- ඒ අපිට කියපු විදිහ. ඒක බොරු. ඒකි අපිව අඳුරගත්තා විතරක් නෙවි, යක්ෂාවේෂ වෙලයි ඉන්නෙ.

කපුවා- ඒ මොකද? මට නම් මේක ප්‍රහේලිකාවක්. අනික උඹ සම්පූර්ණයෙන්ම වෙනස් මේකප් එකට. ඒ වගේම පාවිච්චි කරන්නෙ වෙන නමක්, වයසක්. කොහොමද කවුරුවත්ම උඹව අඳුරගන්නෙ.

මනමාලයා- කටහඬින්.

කපුවා- කටහඬින්? මෙතන විකාර නටන්න ලැහැස්ති වෙන්න එපා. අපේ ව්‍යාපෘතියම උඹ කොට උඩ යවන්නද හදන්නේ?

මනමාලයා- ඔන්න කට්ටිය අපේ දිහාවට එනවා. (හඬින්) අපි මේ කල්පනා කළේ හවස් වුණ නිසා...

මුදලාලි- (බාධා) කෑම නොකා යන්නද? (සිනාසේ)

හාමිනේ- එහෙම චාරිත්‍රයක් තියෙනවයැ. පුරාණ චාරිත්‍ර වලට අනුව නොවැ, හැම දෙයක්ම සිද්ධ වෙන්න ඕන.

මනමාලයා- ඇත්තටම කැවුම් වලින් හොඳටම බඩ පිරුණා.

මුදලාලි- කැවුම් වගේම කෑම වේලත්, බොහෝම රසවත් වේවි. අපේ දුවම තමයි මේ ඔක්කොම පිළියෙල කළේ. මනමාල මහත්තයා කියාවි ජීවිතේ කාපු හොඳම කෑම කියලා.

මනමාලයා- (තමාටම) ෂුවර් එකටම ඇනුම්පදයක් නේද ඒ කිව්වෙ.

හාමිනේ- එහෙනම් ඇඳි ගම්මු.

(අඩි හඬ, පුටු අදින හඬ, පිඟන් කෝප්ප හඬ ඇසේ.)

මුදලාලි- හිතන්න තමන්ගෙම ගෙදර කියලා. ඉතින් බෙදාගන්නකො.

මනමාලයාගේ මව- හරි, හරි, බොහෝම ස්තූතියි.

මනමාලයා- බොහෝම ස්තූතියි.

මුදලාලි- ඔය ළමයා විශ්වවිද්‍යාලෙත් ගිහිල්ලා කියන එක ගැන හරිම සන්තෝෂයි.

මනමාලයා- (තමාටම) ඉවරයි. ඔක්කොම හෙළිදරව් කරගෙන. (හඬින්) ම්, මං විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා නෑනෙ.

මුදලාලි- (මවිතව) නෑ, එතකොට...

කපුවා- (බාධා) මෙයා හරිම ලැජ්ජයි, තමන්ට තියෙන සුදුසුකම් ගැන කියන්න. මං ඔක්කෝම විස්තර මේ අයට ලබා දීලයි තියෙන්නෙ. මනමාල මහත්තයට උපාධිය තියෙන්නෙ කොළඹ විශ්ව විද්‍යාලෙන්.

මුදලාලි- පිරුණු කළේ දිය නොසැලේ වගේ, සුදුසුකම් ඇති අය ඒවා කියන්න අකමැතියි තමා. ඒකත් හොඳ ගුණාංගයක්.

හාමිනේ- මේ, කෑම ඇති තරම් බෙදාගන්නකො. වෙන කවුරුවත් නැහැ මෙහෙ කෑමට.

මුදලාලි- අත්තටම මුද්‍රණශාලා හිමිකරු කියන්නෙ බොහෝම ගරුත්වයක් තියෙන වෘත්තියක්.

මනමාලයාගේ මව- ඔව්, ඔව්, අද එළිදකින ගොඩක් පොත පත මුද්‍රණය කරන්නේ, මගෙ පුතාගෙ අච්චු කන්තෝරුවෙ.

මුදලාලි- මගෙත් අදහසක් තියෙනවා පොතක් ලියන්න.

මනමාලයාගේ මව- මොකක් ගැනද?

මුදලාලි- අද සමාජයෙ ඉන්න වංචාකාරයො ගැන. තවත් අයෙක්ව මුලා කරලා, රවටලා, වංචාවෙන් ජීවිත අරගෙන යන අය ගැන...

කපුවා- (බාධා) බොහෝම හොඳ අදහසක්. අද කාලේ හොඳ මාර්කට් එකක් තියෙන මාතෘකාවක්.

මනමාලයා- (තමාටම) තොණ්ඩුව බෙල්ල ගාවටම වැටෙන්නයි යන්නේ.

මුදලාලි- අපේ මුත්තා පරණ ගම්මුලෑදෑනියෙක්. ඒ කාලේ හතර මායිමක හොරයක් බොරුවක් වංචාවක් කරන්න ඉඩක් තිබුණෙ නෑ. එහෙම කළා නම්, කෙළින්ම දඬු කදේ ගහලා තමයි පස්ස බලන්නෙ. ඒ ගුණාංගය තමයි මටත් පිහිටලා තියෙන්නෙ. මගේ දෝණියන්දැත් එහෙම්මම තමයි. අදටත් ඒ කාලෙ පාවිච්චි කරපු දඬු කඳන් තුනක්ම අපේ වත්තෙ තියෙනවා.

(දුරකථනය නාද වේ, හාමිනේ එයට ප්‍රතිචාර දක්වයි)

හාමිනේ- හලෝ, ඔව්, ඔව්, කට්ටිය ඉන්නවා. මෙන්න කෝල් එක ඔයාට.

මුදලාලි- ඔව්, ඔව්, කෑම කනවා. මං කියන්නම් වෙලාවට. ඔව්, හරියටම වෙලාවට.

මනමාලයා- (තමාට) මට හිතෙනවා එකපාරටම මේ මේකප් එක ගලවලා දාලා ඇත්ත කියන්න.

මුදලාලි- මනමාල මහත්තයා කාලත් ඉවරද?

මනමාලයා- මට නම් හොඳටම බඩ පිරුණා.

හාමිනේ- අතුරුපස ගන්නෙ නැතිද?

මනමාලයා- එපා, එපා බඩ හොඳටම පිරිලා.

හාමිනේ- ආ, අපේ දෝණියන්දැත් කාල ඉවරයිද? එහෙනම් දෙන්නට බැරියැ ටිකක් කථා කරගන්න.

මනමාලයා- ආයෙ දවසක බැරියැ. ඉක්මණින්ම යන්න ඕන. එහෙනම් කපු මහත්තයා, අම්මෙ, අපි ටිකක් ඉක්මන් කරමු.

මනමාලයාගේ මව- මම මේ කන්න පටන් ගත්තා විතරයි. මම ටිකක් හෙමීටනෙ කොහොමත් කන්නෙ. පුතාලට බැරියැ එතකල් මිදුලට ගිහිල්ලා කථා කරගන්න.

හාමිනේ- ඔව්, ඔව්, ඔය සාගරයක් වගේ, වත්තේ ඉඩකඩ ඕන තරම් තියෙන්නෙ.

මනමාලයා- (තමාට) මේ ගෑනිට අපි වැටිලා ඉන්න භයානකකම තේරෙන්නෙ නැති හැටි.

(අඩි හඬ)

මනමාලි- ඉතින් කොහොමද?

මනමාලයා- වරදක් නෑ.

මනමාලි- එහෙනම් ප්‍රශ්නයක් නෑ. (සිනාසේ) (විරාමය) මොකද ගොළු වෙලා?

මනමාලයා- මොකක්ද ඔයාගෙ නම කිව්වෙ?

මනමාලි- ඇයි නම අමතකද? මට තියෙන්නෙ එක නමයි. (සිනාසේ)

මනමාලයා- මොකද ඔයා අමුතු විදියට මා දිහා බලන්නෙ?

මනමාලි- මං කල්පනා කළේ ඔයාගෙ නම ගැන.

මනමාලයා- මොකක්ද?

මනමාලි- මොකක්ද ඒකෙ තේරුම?

මනමාලයා- රකුම්ර කියන්නෙ ඉතාම හොඳින් කුටුම්භය ආරක්ෂා කරන්නා කියන එක.

මනමාලි- අරිසෙන් අහුබුදු දාපු නමක් වගේ (සිනාසේ).

මනමාලයා- ඇයි ඔයා හිනාවෙන්නෙ?

මනමාලි- මට හොඳට හුරුවක් තියෙනවා...

මනමාලයා- (බාධා) මාව මීට කලින් හම්බ වෙලා තියෙනවා කියලද? එහෙම වෙන්න බෑ. ලෝකයේ කියමනක් තියෙනවනෙ, එක වගේ හත් දෙනෙක් ඉන්නවා කියලා.

මනමාලි- (සිනාසේ) සමහරවිට පෙර ආත්මයේ හුරුවක්ද දන්නෑ.

මනමාලයා- සහතිකවම, අන්න ඒ වගේ බැඳීමක් වෙන්න ඕන.

මනමාලි- එහෙනම් අපි කසාද බඳින්න පතාගෙන ආපු අය.

මනමාලයා- මොකක්?

මනමාලි- ඇයි?

මනමාලයා- කසාදෙ ගැන, අවසන් තීරණයක් මං ඉක්මණින්ම දැනුම් දෙන්නම්කො. මොකද, අපි දැන් පිටත් වෙන්න ඕන ඉක්මණට.

මනමාලි- මොකක්ද ඔය තරම් හදිස්සිය?

මනමාලයා- අලුතින් බාර ගත්තු වැඩ බොහොමයක් අස්සෙ තමයි මේ ගමන ආවෙ.

මනමාලි- (සිනා) බැරිවෙලාවත් ඉක්මණට ආපහු යන්න නොලැබුණොත් මොකද වෙන්නෙ?

මනමාලයා- ඒ කිව්වෙ?

මනමාලි- අපි ඔයගොල්ලන්ව, අර පේන දඬු කඳන් තුනේ බැඳලා හිර කළොත් මොකද වෙන්නෙ?

මනමාලයා- (තමාට) මොකක්? මොනවද මේ වෙන්න යන්නෙ?

මනමාලි- නොසිතූ වෙලාවකදි, නොසිතූ දේවල් මිනිස්සුන්ට සිද්ධ වෙනවා.

මනමාලයා- (කලබලව) මොනවගේ දේවල් ද?

මනමාලි- (සිනාසේ) මොන වගේ දේවල් ද මිනිස්සුන්ට සිදුවිය නොහැක්කේ?

මනමාලයා- මෙහෙමයි...

මනමාලි- (බාධා) මොකද, ඔයා ගොඩ ගත්තු මාළුවෙක් වගේ? (සිනාසේ)

කපුවා- (ඈතින්) එහෙනම් පිටත් වෙන්න වෙලාව හරි වගේ. ඕහෝ, දෙන්නා බරටම කථාව. බොහෝම අපූරුයි. (හිමින්) එහෙනම්, මුදලාලි මහත්මයා මට ඉටුවෙන්න ඕන ඉතුරු ගතමනාව.

මුදලාලි- (බාධා) මොකක්ද ඔය තරම් හදිස්සිය. පුරාණ චාරිත්‍ර වලට අනුව ආහාර අනුභවයෙන් පස්සෙ තියෙන්නෙ මඳක් විවේක ගන්න.

මනමාලයා- මට බාරගත්තු වැඩ රාජකාරි බොහොමයි.

මුදලාලි- ඒ මොනවද?

මනමාලයා- එක කස්ටමර් කෙනෙක් පොත් දහසයක් එකපාර දොරට වඩවලා වාර්තාවක් තියන්න යනවා. අපේ අච්චු කන්තෝරුවම ඒකට වැඩ.

මුදලාලි- හරිම අපූරුයි.

මනමාලයාගේ මව- මට නම් හරිම අමාරුයි කාපු ගමන් චාරිකාව. ඉස්මුරුත්තාවට එනවා.

හාමිනේ- ඇත්තට? එහෙනම් ටිකක් විවේක ගමු. මොකක්ද හදිස්සිය...

කපුවා- (බාධා) මටත් වැඩ කටයුතු බොහෝමයි. ඒ නිසා මගේ ඉතුරු බැලන්ස් එක...

මුදලාලි- (බාධා) තව මොහොතක් ඉන්න වෙනවා. මොකද අපේ අයියණ්ඩි තමා ඒ යුතුකම ඉටුකරන්නෙ. අයියණ්ඩිත් නොඉවසිල්ලෙන් ඉන්නෙ, ඔබ තමුන්නාන්සෙලාව දැන අඳුරගන්න. මේ දැන්, මේ පැත්තට එනවා කිව්වා. මිනිහා අකුරටම, වෙලාවට වැඩ කරනවා.

මනමාලයා- එහෙනම් කපු මහත්තයා ඉඳලා එන්න. මමයි අම්මයි පිටත් වෙන්නම්.

මුදලාලි- (බාධා) එහෙම සිරිතක් නෑ නොවැ. අයියණ්ඩිට බලන්න ඕන මනමාලයා. එයාගෙ ඉල්ලීම ඉටු නොකළොත් මෙතන මොකකින් මොකක් වෙයිද දන්නෑ. මොකද මිනිහා, හිටපු දිසා අධිකරණ විනිශ්චයකාර තුමා. දැන් විශ්‍රාම ගිහිල්ලයි ඉන්නෙ.

කපුවා- (මවිතව) මොකක්? ඇයි, ඒ විත්තිය අපට කලින් නොකිව්වෙ?

මනමාලයා- (තමාට) හරියට, දඬු කඳක් ඇතුළෙ මාව හිර කරනවා වගේ පීඩනයක් මට ඇති වෙනවා.

මුදලාලි- සියලුම වාසදේස එක පිට එක දෙසාබාන සිරිතක් තියෙනවායැ. මනමාල මහත්තයට කියන්න, අපේ හාමිනේගෙ අයියණ්ඩි, පොලීසියෙ හිටපු ස්ථානාධිපති.

මනමාලයාගේ මව- ඒ කොහෙද?

හාමිනේ- වෙන කොහෙවත් නෙවි. ඔයගොල්ලන්ගෙ ගම් පළාතෙමයි. ඒකනෙ අපි මේ මංගල්‍යයට බොහෝම මනාප වුණේ.

මනමාලයා- (තමාට) මොනවා. එක පැත්තකින් විනිසුරුකරුවෙක්. අනෙක් පැත්තෙන් පොලිස් ස්ථානාධිපතිවරයෙක්. අපි ඉවරයි. කෙලින්ම හතරවැනි තට්ටුවේ.

(අඩි හඬ)

විනිසුරු- ඔන්න, මම කියපු වෙලාවටම තත්පරයක්වත් ප්‍රමාද නොවී ආවා. ආයුබෝවන්ඩ, ආයුබෝවන්ඩ සියලු දෙනාටම. මම තමයි එල්සන් මීදෙණිය.

කපුවා- සන්තෝසයි. සන්තෝසයි, අඳුරගන්න ලැබීම ගැන. අපිට විස්තර ගොඩාක් දැන ගන්න ලැබුණා, ඔබතුමා ගැන.

මනමාලයාගේ මව- එහෙමයි, එහෙමයි.

විනිසුරු- මේ වාගේ වැදගත් මනමාලයෙක්ව අඳුරගන්න ලැබීම, මටත් හරිම සන්තෝෂයි. මං ආරාධනා කරනවා රාත්‍රී කෑමත් භුක්ති විඳලා යමු කියලා.

මනමාලයා- එහෙම නම් අමාරුයි. මොකද මට...

විනිසුරු- (බාධා) පුරාණ චාරිත්‍ර වලට අනුව කෑමකට බීමකට ආරාධනා කළාම, ඒක ප්‍රතිෙක්ෂ්ප නොකරන එක අපේ සම්ප්‍රදාය. ඒක අනිවාර්යයෙන්ම පිළිගන්නව නම් තමා, අනෙක් පාර්ශවයේ ප්‍රසාදය ලැබෙන්නෙ. මේවා රජ කාලෙ ඉඳන් පැවතගෙන එන සිරිත්.

මනමාලයා- ඒත් අපි යොදාගත්තු...

විනිසුරු- (තදින්) මම අණ කරනවා සියලු දෙනාටම රාත්‍රී ආහාරය භුක්ති විඳින ලෙස.

මුදලාලි- එහෙමයි එහෙමයි, අත්වැරැද්දක් වුණා නම් සමාවෙන්න අයියණ්ඩි. ඒ ළමයා තවම තරුණ ගැටවරයෙක්. අපි සියලු දෙනාම ඔබේ ආරාධනය පිළිගන්නවා.

හාමිනේ- (රහසින්) අයියණ්ඩි මොනව හරි කිව්වොත් ඒකට විරුද්ධකම් පාන්න බෑ. ඒක තීන්දුයි. එයා විනිශ්චයකාරයෙක් විධිහට තමා, හැබෑ ජීවිතෙත් හැසිරෙන්නෙ.

මනමාලයා- ඒත් ප්‍රශ්නෙ කියන්නෙ....

විනිසුරු- (බාධා) (තදින්) සියල්ලෝම නිශ්ශබ්ද වෙනවා. මම දැනටමත් කේටරින් සර්විස් එකකට රාත්‍රී ආහාර ඕඩර් එක දීලයි ආවෙ. ඒ අය දැනටමත් එනවා ඇති. හොඳයි, ඔය සියල්ලෝම අසුන් වලින් ඈඳිගන්න. ඉක්මණට, ඉක්මණට. මට තියෙනවා වැදගත් කථාබහක් කරන්න. (අඩි හඬ, පුටුවල වාඩි වන හඬ) මං හිතනවා මේ කටයුත්තට විරුද්ධ වෙන්න කිසිම සාධකයක් අපේ දෝණිියැන්දට නෑ කියලා. ඒ වගේම මනමාල පාර්ශවයටත් නෑ කියලා. මේ මංගල්‍යය අනිවාර්යයෙන්ම කෙරෙන්න ඕන. සියලු පොරොන්දම් ගැළපෙනවා. මනමාල මහත්මයාගෙ සියලු තොරතුරු අපි දන්නවා. අපේ තොරතුරු මනමාල මහත්මයා දන්නවා. එහෙනම් මංගල්‍යය තීන්දුයි. විරෝධතා තියෙනවද?

මනමාලයා- එහෙම, එකපාරටම තීරණයක් ගන්න මට බෑ...

විනිසුරු- (බාධා) (තදින්) ඇයි බැරි? මොකද බැරි? මොකක්ද තියෙන ප්‍රශ්නෙ? මාත් එක්ක සෙල්ලම් කරන්න ලැහැස්ති වෙන්න එපා. මං නීතිය හරියටම ක්‍රියාත්මක කරන හිටපු විනිසුරු. මගේ කිසිම තීන්දුවකට එපිටින් වචනයක්වත් කියන්න මං ඉඩ තියන්නෙ නෑ...

මනමාලයාගේ මව- (බාධා) අපි මේ ගැන තව ටිකක් හිතලා තීන්දුවක්...

විනිසුරු- (බාධා) මමයි තීන්දුව දෙන්නෙ. අනිවාර්යයෙන්ම මේ කටයුත්ත කෙරෙන්න ඕන. මොකද අපේ දෝණියන්දැට මනමාලයෝ බලන්න ඇවිල්ලා මටම ඇති වෙලයි තියෙන්නෙ. මේ මඟුල තීන්දුයි. සම්මතයි. මේ දැන්, දෙන්නා කසාදයට අත්සන් කරන්න ඕන. ඒ සඳහා අවශ්‍ය කරන සියලුම ලිපි ලේඛන මම අරගෙන ආවා. මට විවාහ රෙජිස්ටාර් කෙනෙකු වශයෙනුත් සුදුසුකම් තියෙනවා. ජ්‍යෙතිෂවේදියකු වශයෙනුත් සුදුසුකම් තියෙනවා. තව මිනිත්තු කිහිපයකින් සුබම සුබ නැකතක් තියෙනවා. ඔව්, ඒ වෙලාව හරියාගෙන එන්නෙ. අපි කසාද බඳින්න අත්සන් කරන්න සූදානම් වෙමු.

මනමාලයා- කසාද බඳින්න?...

විනිසුරු- (බාධා) ඔව්. නීත්‍යනුකූලව විවාහයට එළඹෙන්න.

මනමාලයා- මොකක්ද, මේ වෙන්න යන්නෙ? මේක හරියට නිකොලායි ගොගොල්ගෙ කපුවා කපෝති නාට්‍යය වගේනෙ.

විනිසුරු- කපු මහත්තයා බය වෙන්න එපා. ඉතුරු බැලන්ස් එක කීයද? රුපියල් පන්දාහයි. මෙන්න ඒකෙ චෙක් එක.

මනමාලයා- (තමාට) එතකොට මමද කපෝති?

විනිසුරු- එහෙනම්, නැකැත් වෙලාව හරියටම හරි. අපි අත්සන් කරමු.

මනමාලයා- මට බෑ...

විනිසුරු- (තදින්) බෑ. එහෙනම් උඹලට මළ මිනී තුනක් තමයි මෙතනින් අරගෙන යන්න වෙන්නෙ. දැක්කද මේක? (පිස්ටල් එක පිරිමදින හඬ) මේකෙ උණ්ඩයක් පත්තු වෙන්න යන්නෙ, තත්පර දශමෙන් පංගුවක කාලයක්.

මනමාලයාගේ මව- මොනවා?

විනිසුරු- උස්සපල්ලා අත්, හ්ම්, අත් උස්සපල්ලා. හැමෝම උස්සපල්ලා. මං හොඳට නීතිය දන්නවා. ඒ නිසා නීතියෙන් ගැලවෙන එක මට කජ්ජක් නෙවි, අර ගොයම් කොළේට මුවා වෙලා වෙඩි තිබ්බා වගේ. මනමාලයයි මනමාලියි ඉස්සරහට එනවා හ්ම්, දැන් අත් පල්ලැහැට දාලා අත්සන් කරනවා. හ්ම්, ඉක්මන් කරනවා. හ්ම්, අත්සන් කරපන් මිනිහෝ, හ්ම්, දැන් උඹ. හ්ම්, දැන් අත් බිමට දානවා අනික් අයත්. එහෙනම් මේ වචනය අපි කියමු. ගම්මුදුවත්තගේ රකුම්ර ගම්මුදුවත්ත වන මම.

මනමාලයා- ගම්මුදුවත්තගේ රකුම්ර ගම්මුදවත්ත වන මම.

විනිසුරු- අද පටන්.

මනමාලයා- අද පටන්.

විනිසුරු- පලිහක්කාරගේ විමාෂි මීදෙණිය යන අය.

මනමාලයා- පලිහක්කාරගේ විමාෂි මීදෙණිය යන අය.

විනිසුරු- මාගේ නීත්‍යනුකූල භාර්යාව වශයෙන් පිළිගන්නා බවට දිව්රා පොරොන්දු වෙමි.

මනමාලයා- මාගේ නීත්‍යනුකූල භාර්යාව වශයෙන් පිළිගන්නා බවට දිව්රා පොරොන්දු වෙමි.

විනිසුරු- පලිහක්කාරගේ විමාෂි මීදෙණිය වන මම.

මනමාලි- පලිහක්කාරගේ විමාෂි මීදෙණිය වන මම.

විනිසුරු- අද පටන්.

මනමාලි- අද පටන්.

විනිසුරු- රකුම්ර ගම්මුදුවත්ත යන අය.

මනමාලි- රකුම්ර ගම්මුදුවත්ත යන අය.

විනිසුරු- මාගේ නීත්‍යනුකූල ස්වාමිපුරුෂයා වශයෙන් පිළිගන්නා බවට දිව්රා පොරොන්දු වෙමි.

මනමාලි- මාගේ නීත්‍යනුකූල ස්වාමිපුරුෂයා වශයෙන් පිළිගන්නා බවට දිව්රා පොරොන්දු වෙමි.

විනිසුරු- අද පටන් ඔබ යුවළ නීත්‍යනුකූල විවාහයකට පැමිණියා. ඉතිරි වැඩකටයුතු අනාගතයේ දී චාරිත්‍රානුකූලව සිද්ධ කෙරෙනවා ඇති. (වාහන හඬ) ඔන්න, කේටරින් සර්විස් එකේ කට්ටිය ආවා. එහෙනම් අපි නිවී සැනසිල්ලේ මේ සුන්දර අවස්ථාව භුක්ති විඳිමු.

මනමාලයා- (තමාට) මොකක්ද මේ මට වුණේ. (හඬින්) මොකක්ද මේ මට වුණේ. මං උඹලට කිව්වා හැම දෙයක්ම හරියට සැලසුම් කරගන්න කියලා.

කපුවා- හරි, අපි බලමු ඊළඟට මොකක්ද අපිට කරන්න පුළුවන් කියලා.

මනමාලයාගේ මව- ඒත්, අපි දැන් වැටුණේ ගොඩ එන්න බැරි අගාධයකට.

මනමාලයා- කථා කරපල්ලා. දැන් මොකද අපි කරන්නෙ. මට නම් හිතාගන්න බෑ. මගේ ගෑනිිටයි දරුවො දෙන්නටයි, හැමොන්ටම මේ වැඩේ හෙළි වෙනවා. පත්තරෙත් වැටෙයි. මං කොහොමද සමාජයට මුහුණ දෙන්නෙ, කියපල්ලා. කථාකරපල්ලා.

විනිසුරු- මොකද? මොකද? මේ, කට්ටිය කලබල වෙලා වගේ? හ්ම්, මොකක්ද ප්‍රශ්නෙ? බයවෙන්න කිසිම හේතුවක් නෑ. අපිත් වෘත්තියෙන් ඔයගොල්ලන්ගෙ රස්සාවමයි කරන්නෙ. ඒ කියන්නෙ කපුකම. අපි මනමාලියන්ට මනමාලයො හොයා දෙනවා. මේ ඉන්නෙ මගේ කණ්ඩායම. ඔයගොල්ලො ඉතාම හොඳින් රංගනය කළා. අතිවිශිෂ්ටයි. අපේ කට්ටියත් එහෙමයි. මං ආරාධනා කරනවා, අපි එක කණ්ඩායමක් විදිහට එකතු වෙලා මේ මඟුල් පරස්තා ව්‍යාපාරය දිගටම කරගෙන යමු කියලා. අද මේ සමාජය ඇතුළෙ, හඳහන් ගලපමින්, කුල ගොත සොයමින්, නැකැත් බලමින්, වස්තු සම්පත් මනිමින්, දෙවියෝ, භූතයන්ට පඬුරු පුදමින්, හැම දෙයක්ම මනින මිනිස්සු හැම තැනම, අප අවට. අපිට ඕන තරම් කස්ටමර්ලා හොයාගන්න පුළුවන් ලෙහෙසියෙන්. අපිට තියෙන්නෙ උන් ගාවට ගිහිල්ලා, මනමාල මනමාලියො විධිහට අපේ රංගනය කරලා හොඳට සප්පායම් වෙලා, කපුකමේ ගාස්තුව ලබාගන්න. අපි දෙගොල්ලන්ටම මේ විදිහට සාර්ථක රංගනයක් කරන්න පුළුවන් වුණා කියන්නෙ, අපේ ව්‍යාපාරයේ පැවැත්ම අනිවාර්යයෙන්ම සාර්ථකයි කියන එක.

ඔව්, අපි අපේ සතුට භුක්ති විඳිමු...
(සියල්ලෝම සිනාසේ.)

(අවසන් සංගීතය.)

[-නිහොන් සැප ලැබේවා (2012) (රේඩියෝ නාට්‍ය) කෘතියෙනි.]

මාලක දේවප්‍රිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails