Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"We asked for workers, We got people instead."
(-මැක්ස් ෆ්‍රිෂ් විසින් සංක්‍රමණිකයින් පිළිබදව.)

පිටරට ජීවිතය ගැන ලංකාවට කියන්නම මේ කොලම ලියන්න ගත්තත්, මාතෘකාවෙන් පිටපනින්න සිද්ධවෙන්නෙ හරියටම මෙහෙ ජීවිතයේ ස්වභාවය ගැන නියම ප්‍රතිනිරූපණයක් ඉදිරිපත් කරමින්. ඒ මග යමින්ම මම මේ වෙලාවේ වඩාත් වැදගත් කියන පැත්තකට කතාව හරවනවා.

පිටරට ඉන්න ලාංකිකයින්ට විතරක් නෙවෙයි මුළු ලෝකෙම ඉන්න සංක්‍රමණික ජනතාවට වැදගත් සිදුවීමක් සති කිහිපයකට කලින් යුරෝපයේ සිද්ධ වුණා. ඇත්තටම අපිට වැදගත් ඒ සිද්ධියට වඩා ඉන් ලැබුණු සංඥාව කිව්වොත් වඩාත් නිවරදියි. සිද්ධිය තමයි යුරෝපා පාර්ලිමේන්තුවට අවශ්‍ය සභිකයින් තෝරාගැනීමේ මැතිවරණය. සංඥාව තමයි මේ මැතිවරණයේදි සංක්‍රමණිකයින්ට එරෙහිව පෙනී සිටි දක්ෂිණාංශික පක්ෂ රටවල් 6ක හැර (ස්පාඤ්ඤය, ග්‍රීසිය, ඉතාලිය, පෘතුගාලය, ස්ලොවැකියාව, රොමේනියාව)අන් සියළු රටවල් වලදිම ජයග්‍රහණය කිරීම. යුරෝපා මැතිවරණය තුළ තීරණාත්මක වුණු සංක්‍රමණික ගැටළුව ඇත්තටම යුරෝපා සංගමය තුළ සිද්ධවෙන අභ්‍යන්තර සංක්‍රමණ ගැන වඩාත් ඉලක්කගත වුණත්, සමස්තයක් ලෙස ආසියාවෙන් හෝ වෙන යම් ප්‍රදේශයකින් සංක්‍රමණික වුණු පිරිසට මේ විරෝධය එල්ල නොවෙනවා කියන්න බැහැ. මේ ප්‍රතිවිරෝධයේ ප්‍රතිඵලයක් විදිහට සංක්‍රමණිකයින්ට එරෙහිව පනවන නිතී රීති මමත් ඇතුලුව මේ සියළු සංක්‍රමණිකයින්ට අදාළ වෙනවා.

ඔස්ට්‍රේලියාවෙදි, දැන් යුරෝපයෙදි සිද්ධ වෙන මේ සංක්‍රමණික විරෝධය මොකද්ද? මේ රටවලින් නැගෙන ප්‍රකාශවල හැටියට වගේම අපේම ඔළුවෙ තියෙන අදහසත් වන්නේ මේ දියණු රටවල් විසින් අපි වගේ දුප්පත් රටවලින් එන පිරිසට ඉන්න දෙන එක "පිනට" කරමින් ඉන්නවා වගේ දෙයක්. ඇත්තටම දුප්පත් රටක ඉඳලා දියුණු රටකට යන කෙනෙකුගේ පුද්ගලික බලාපොරොත්තුව යම් විදිහක වාසනාවන්ත ජීවිතයකට පාරකපාගැනීමක් කියලා හිතුනට, සංක්‍රමණය ස්ථාපිත වෙන්නේ මේ රටවල ආර්ථික සහ බල දේශපාලන අවශ්‍යතාවන්ගේ එක්තරා පියවරක් විදිහට. මේක පැහැදිලි කරගැනීමට මම මහා බ්‍රිතාන්‍යය උදාරහණයකට ගන්නම්.

තමන්ගේ යටත්විජිත ව්‍යාපෘතියෙ තීරණාත්මක අවසානයට පස්සෙ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සෙ ඇතිවෙන ශ්‍රම හිඟය පියවා ගැනීමයි ඔවුන්ගේ මුල්ම සංක්‍රමණික අවශ්‍යතාවය වෙන්නෙ. ඒ වෙනකොටත් යටත්විජිත වලට අවශ්‍ය නිලධාරී පැලැන්තිය ස්ථාපිත කරලීම සදහා අධ්‍යාපන හා සංස්කෘතික ශික්ෂණය ලබාදීම වෙනුවෙන් අදාළ යටත්විජිත වලින් පිරිස් එංගලන්තය වෙත රැගෙන ඒමට ඔවුන් කටයුතු කර තිබුණා. මේ නිසාම ශ්‍රම අවශ්‍යතා වෙනුවෙන් තවත් විදෙස් පිරිස් රැගෙන ඒමට අවශ්‍ය සමාජ වටපිටාව එංගලන්තය තුළ ස්ථාපිතව තිබුණා. ජාතියක් ලෙස සුපිරි සමාජ ජීවන රටාවකට හිමිකම් කියූ රටවල වඩාත් වෙහෙසකාරී ශ්‍රම දායකත්වය (Hard Labour) සපයන්නේ සංක්‍රමණිකයන් වීම බ්‍රිතාන්‍යයට විතරක් නෙවෙයි සංක්‍රමණිකයින් මතින් යැපෙන සෑම රටකටම පොදු දෙයක්. යටත්විජිත සමයේදී අප්‍රිකාවට රැගෙන ආ ඉන්දියානුවන්ට එරෙහිව පැන නැගුණු විරෝධය, විශේෂයෙන්ම ඉඩි අමීන් විසින් සිදුකරන ලද පිටුවහල් කිරීම් වල වගකීම බ්‍රිතාන්‍යයට දැරීමට සිදුවුණා. සීතල යුද්ධයෙන් පසුව සෝවියට් සමූහාණ්ඩුවේ ඉරිතලා යාම තවත් තීව්‍ර කිරීම වෙනුවෙන් එකී රටවලින් සංක්‍රමණිකයින් විශාල වශයෙන් පිළිගැනීමට බ්‍රිතාන්‍යය විසින් ක්‍රියා කළා. මීට අමතරව ඇමරිකාව සහ බටහිර විසින් දේශපාලනික වශයෙන් බලපෑම් කිරීමෙහි යෙදුණු රටවලින් "සරණාගතයින්" ලෙස ජන කොටසක් සියරට ගෙන්වා ගැනීමට බ්‍රිතාන්‍යය ක්‍රියාකළේ දේශපාලන උපක්‍රමයක් ලෙස. එක්සත් ජාතීන් ප්‍රමුඛ කොට ගෙන මානව හිමිකම් චෝදනා හරහා මෙම රටවලට අතපෙවීමේ වක්‍ර උපක්‍රමයක් ලෙසයි මෙය ක්‍රියාත්මක වූයේ. අධ්‍යාපනය ඇසුරින් විදේශ විනිමය ගෙන්වා ගැනීමත්, ඒ හරහා ගොඩනැගෙන ආර්ථික පිම්බීමත් මෑතකාලය තුළ ක්‍රියාත්මක වූ ආර්ථිකමය උපායමාර්ගයක්.

රටරටවල් වෙන වෙනම ගෙන සළකා බැලුවත් මේ හා අඩු වැඩි වශයෙන් සමාන තත්ත්වයක් තමයි දක්නට ලැබෙන්නෙ. එහිදී යටත් විජිත පවත්වාගෙන ගිය රටවල් විසින් එකී රටවලට නිදහස ලබාදීමෙන් අනතුරුවත් නිල නොවන ලෙස අදාළ යටත්විජිත වල ශ්‍රම සූරාකෑමේ නිරතවන ආකාරය දක්නට පුළුවන්. ඒ වගේම ඕස්ට්‍රේලියාව, කැනඩාව වැනි රටවල් අනෙකුත් රටවලින් පුහුණු ශ්‍රම හමුදාවක් ආකර්ෂණය කරගනිමින් සුපිරි රාජ්‍යයක් නිර්මාණය කරන්නේ දුප්පත් රටවල සිටින බුද්ධිමතුන් තමන්වෙත දිනාගනිමින්. අධ්‍යාපන ශිෂ්‍යත්ව, විද්වත් ක්ෂේත්‍ර වලින් විදේශිකයින් ආකර්ෂණය කරගැනීම ලංකාවෙත් යහමින් සිද්ධවෙනවා.

වඩාත් වෙහෙසකාරී ක්‍රියාවන් ඉටුකරවා ගැනීම, ලාබ ශ්‍රමය, සුබසාධන විදයම් අඩුකිරීම්, කම්කරු අයිතීන් කප්පාදුව වැනි සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ වාසි ලබා ගැනීමට වෙනුවෙන් සිදුකළ වඩාත් ක්‍රමික සැලැස්ම වුණේ යුරෝපා කලාපය තුළ නිදහස් සංසරණ ප්‍රතිපත්තියක් ඇති කිරීමයි. නැගෙනහිර යුරෝපා කලාපය තුළ පැරණි සෝවියට් සංගමයට අයත් රටවල සිටි කම්කරුවන් ආර්ථිකමය වශයෙන් දියුණු කලාපයන්ට සංක්‍රමණය වුණේ ඉන් සාපේක්ෂව වැඩි ආදායමක් උපයාගත හැකි වූ නිසයි. ඒත් මේ සැලසුම අභියෝගයට ලක්වෙන්නෙ අනපේක්ෂිතව සිදුවුණු ආර්ථික කඩාවැටීම නිසයි. මේ තත්ත්වය ගැටළුවක් වෙන්නේ මින් පසුවයි.

සංක්‍රමණිකයින්ගේ ආගමනයත් එක්ක සැබැවින්ම ඒ ඒ රටවල වැඩකරන පංතියෙ ජනතාවට අසාධාරණයක් සිදුවෙමින් පැවතුණා. ඊනියා ඉල්ලුම් සැපයුම් න්‍යායට අනුව ශ්‍රමයේ මිල තීරණය කරනවා යැයි කිව්වත්, බාහිරින් පැමිණි ශ්‍රමික පිරිසක් නිසා දේශීය ශ්‍රමයට ඇති ඉල්ලුම අඩුවුණා. මේ තත්ත්වය වර්ගවාදය, ජාතිවාදයෙන් ඉස්මතු වූවත්, එය සීමාව ඉක්මවා යෑම නිසා මේ වන විට මෙකී විරෝධය දේශපාලනික ප්‍රකාශවීමක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙසයි මෙතෙක් කම්කරු පක්ෂ වලට සිය ඡන්දය ලබාදුන් වැඩකරන ජනතාව සිය ඉල්ලීම් වෙනුවෙන් අන්ත දක්ෂිණාංශික පක්ෂ හා අත්වැල් බැදගැනීමක් සිද්ධවෙන්නෙ.

සැබැවින්ම සිද්ධ වුණේ එක්තරා දේශපාලනික දාම් ඇදීමක ඉත්තන් ලෙස ක්‍රියාකිරීමට සංක්‍රමණිකයින්ට සිද්ධ වීම. ඒත් එය අසාර්ථක වූ තැන එහි වගකීම ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත්වන බවක් පෙනෙන්නට නැහැ. වැඩිම ලාභය සොයායන පිරිස මේ මොහොතේ ලාභය පෙන්වන අන්ත දක්ෂිනාංශය වෙතට හැරී ඇති බවකුයි පේන්නෙ. සමස්ත ක්‍රියාවලිය ගැන වැටහීමක් නොමැති ඒ ඒ රටවල දේශීය වැඩකරන ජනතාවත් තමන්ට වෙලා තියෙන අසාධාරණය දකින්නෙ සංක්‍රමණිකයින්ගෙන් සිදුවූවක් ලෙසට. ඒත් ඒ අය හොදින් බැලුවොත් තේරෙනවා මේ ක්‍රියාදාමයට වගකිවයුත්තේ තමන්ගේම පාලකයෝ කියලා. ඒත් එහෙම තත්ත්වයක් මහජනතාවට අවබෝධ කරලන්නට ජනමාධ්‍ය, විද්වතුන් හෝ අනෙකුත් බලපෑම් කණ්ඩායම් ක්‍රියාකරන්නෙ නෑ. මොකද එහෙම වුණොත් මුළු ගේම් එකම පරදින හින්දා. සංක්‍රමණිකයින්ට වෛර කිරීම වගේ පහත් තැනකින් වතුර ගලාබසින්න සැලැස්වීම මේ කාටත් ලේසියි.

"මේ සියළු අර්බුද වලට හේතුව 'සංක්‍රමණිකයින්', අපිට සංක්‍රමණිකයින්ගෙන් තොර අතීත ශ්‍රී විභූතියක් තිබුණා, ඒ අතීතය නැවත ලබාදෙන්න."

මේ කතාව ඉතාම සරලව කියවෙන මැක්ස් ෆ්‍රිෂ්ගේ ප්‍රකාශයකුයි මුලින්ම මම උපුටා දක්වලා තියෙන්නෙ. එතැනදි කියවෙන්නෙ සංක්‍රමණිකයින් ලෙස අපි බලාපොරොත්තු වුණේ අපේ වැඩකරවගන්න පිරිසක් මිසක්, හැගීම් දැනීම්, සංස්කෘතියකින් පිරි මනුෂ්‍යයින් පිරිසක් නොවෙයි කියන එකයි. මේ කියලා තියෙන දේයි "වහල්කම"යි අතරයි තියෙන සමානකම් දැක්කම පුදුම හිතෙනව නේද?

නැවතත් හමුවෙමු.

විගාමික



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails