Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සාර සංක්ෂේපය-

මෙම පර්යේෂණය මගින් සම්ප්‍රදාය පිළිබඳ කථීකාව පුළුල් ව හා ගැඹුරින් විමසුමට ලක් කිරීම අරමුණු කෙරේ. අධ්‍යයනය ප්‍රධාන කොටස් කිහිපයකින් යුක්ත වේ. එනම් සම්ප්‍රදාය යන යෙදුමේ සංස්කෘත නිරුක්ති හා Tradition යන ඉංග්‍රීසි පදයේ ලතින් නිරුක්ති විමසීමත් ඊට අද්‍යතන ශබ්දකෝෂකරුවන් විසින් දෙනු ලබන අර්ථ විමසීමත්, සංකල්පයක් ලෙස නවීනත්වය යන පදයට විරුද්ධාර්ථයෙන් එය යෙදිය හැකි ද යන්න විභාග කිරීමත් මෙහි දී සිදු කෙරේ. සම්ප්‍රදාය ව්‍යුහයක් ලෙස විග්‍රහ කිරීමත් "සම්ප්‍රදායික" නමැති සංකල්පයෙන් එය වෙනස් වන ආකාරයත් මෙහි සාකච්ඡා කෙරේ.

සම්ප්‍රදාය පිළිබඳ ඉන්දු උප මහද්වීපික කලාපයේ ඇති දැනුම ගවේශණය කිරීමත්, ඔවුහූ සම්ප්‍රදාය දෙවියන්ගේ අදෘශ්‍යමාන හෙන්ඩුව ලෙස සමාජගත මිනිසා මෙහෙය වීමට භාවිත කළ ආකාර විග්‍රහ කිරීමත් මෙම පර්යේෂණයෙන් සිදු කෙරේ. පෙරදිග සම්ප්‍රදාය සංකල්පයක් ලෙස පැවතිය ද එම භාෂාත්මක යෙදුම යටත් විජිත උරුමයක් ලෙස ලබා ගත් ආකාරයත් විදාරණය කෙරේ.

සම්ප්‍රදාය පිළිබඳ නිදහස් මානවවාදීන්ගේ විග්‍රහ කිරීම් හරහා නූතන අවධියේ එය ශාස්ත්‍රාලීය සංකල්පයක් ලෙස වර්ධනය වූ ආකාරයත් යටත් විජිතකරණය හරහා එම දැනුම ලොව පුරා ව්‍යාප්ත වූ ආකාරයත් විස්තර කරමින් ස්වදේශිකරණයේදී යටත් විජත වල උගතුන් විසින් එළියට් හා ලෙවිස් ආදීන්ගේ සංකල්ප භාවිතයට ගන්නා ආකාරයත් විමර්ශනය කෙරේ.

සම්ප්‍රදාය නිර්මාණය කිරීමේ භාවිතය පිළිබඳ යටත් විජිත අත්දැකීම් සැළකිල්ලට ගනිමින් එහි දිව්‍යමය ස්වරූපය භෞතික අර්ථකථනයකට ලක් කෙරෙන එරික් හොබ්ස් බෝව්ම් හා ටෙරන්ස් රේන්ජර්ගේ ශාස්ත්‍රීය මැදිහත්වීම සාකච්ඡාවට භාජනය කිරීමත් ව්‍යුහයක් ලෙස සම්ප්‍රදාය නිර්ප්‍රභූ ජනයාට ස්වකීය නිදහස උදෙසා කරන සටනේ දී අවියක් ලෙස භාවිත කිරීමට ඇති ශක්‍යතාව අවධාරණය කිරීමත් මෙ මගින් සිදු කෙරේ.

සම්ප්‍රදාය යනු සාහිත්‍ය විචාරයට මෙන් ම සමාජ විචාරයටත් සමාජ සංශෝධනයටත් භාවිත කළ හැකි නූතනත්වය තුළ සම්භව වූ සාධනීය සංස්කෘතික ව්‍යුහයකිය යන්න මේ පර්යේෂණය මගින් සාධනය කෙරේ.

ප්‍රමුඛ පද- සම්ප්‍රදාය, නූතනත්වය, සර්වකාලීනත්වය, නිදහස් මානව වාදය, ඉන්දු උප මහද්වීපය

සම්ප්‍රදායේ සංස්කෘත නිරුක්ති

සම්ප්‍රදාය නමැති පදයේ නිරුක්තිය සැකසී ඇත්තේ සංස්කෘත ස+ ප්‍ර+ ධ යන ශබ්දවල එකතුවෙනි. ස(සං) යනු පරිපූර්ණ යන අර්ථයේ යෙදෙන උපසර්ගයකි. ප්‍ර යනු අතිශයාර්ථයේ යෙදෙන උපසර්ගයකි. යනු දැරීමේ අර්ථ ඇති ධාතුවකි. සම්ප්‍රදා නමැති වචනයට සිංහල වාක්‍යාවසාන නිපාතය එකතු වී සම්ප්‍රදාය යන වචනය තැනී ඇත. මේ පදයේ අර්ථ වනුයේ පරපුර, පිළිවෙල, සම්මුතිය, සිරිත, රීතිය, රූඪීය, උරුමය පරපුරෙන් ලැබුණු දැනුම, පාරම්පරික සිද්ධාන්තය, ආගමික සිද්ධාන්තය, විශේෂ දේවියකට පවත්වන පූජා විධිය යනුයි. (අලගියවන්න, 1925)

සම්ප්‍රදාය පිළිබඳ හින්දු ආගමික කතිකාව

සම්ප්‍රදාය යන සංකල්පය හින්දු ආගම තුළ ප්‍රධාන ස්ථානයක් ගනි යි. හින්දු දහමෙහි සම්ප්‍රදාය යනුවෙන් ගැනෙනුයේ ආකල්ප, අදහස් හා භාවිතයන් සමූහයකි. එය පවත්වාගෙන යන පරම්පරාව විසින් උචිත පරිදි වෙනස් කරමින් අර්ථකථනය කරමින් පවත්වාගෙන යනු ලබයි. අතීතයේ සිට පැවත එන අදහස් ආකල්ප හා භාවිතයන් සමූහයක් මෙ ලෙස සම්ප්‍රදාය ලෙස ගනි යි. වත්මන් පරපුරේ එම සම්ප්‍රදාය පිළිපදින්නන්ට උචිත ලෙස එය ඉතා පරිස්සමින් වෙනස් කර ගැනීමට ද ඉඩ ඇත. සම්ප්‍රදායේ අඛණ්ඩත්වය පවතිනුයේ ඒ අයුරිණි. (Gupta,R.2002)

යම් අයෙකු කවර හෝ ආගමික සම්ප්‍රදායකට අයත් වනුයේ එම පුද්ගලයා උපනයනය ලද ගුරු පරපුර අනුවයි. සම්ප්‍රදායේ හිමිකම උපතින් නො ලැබේ. (ibid) යමෙකු කවර හෝ ආගමික සම්ප්‍රදායක උපනයනය ලබත් නම් හේ ඊට අයත් මන්ත්‍ර පිළිබඳ දැනුම ලැබිය යුතු ය.[1] විවිධ දෙවිවරුන්ට අනුව සම්ප්‍රදායන් නිර්මාණය වී ඇතත් ඒ කිසිදු සම්ප්‍රදායකට ඇතුළත් නො වී වෙසෙන ඍෂිවරු ද ඇත. රාමණ මහා ඍෂිවරයා ඊට කදිම උදාහරණයක් විය. එතුමා ආදි ශංකරයන්ගේ සන්‍යාසී සම්ප්‍රදායට ඇතුළත් කර ගැනීමට උත්සාහ දැරුව ද හෙතෙම එය ප්‍රතික්ෂේප කළේ ය. (Ebert,2006.89)

හින්දු ආගම තුළ ප්‍රධාන සම්ප්‍රදායන් කිහිපයක් ඇති අතර තවත් කුඩා අනු කුඩා සම්ප්‍රදායන් රාශියක් වේ. වෛෂ්ණව සම්ප්‍රදාය ප්‍රධාන සම්ප්‍රදායකි. පද්ම පුරාණයට අනුව එහි සම්ප්‍රදායන් 4කි. ශ්‍රී සම්ප්‍රදාය (ලක්ෂ්මී), බ්‍රහ්ම සම්ප්‍රදාය, රුද්‍ර සම්ප්‍රදාය, සනාකාදි (සිව් කුමාරවරු) සම්ප්‍රදාය ඒ හතරයි. (Apte,1965) ශෛව සම්ප්‍රදාය අනෙක් වැදගත් සම්ප්‍රදායකි. නාථ නමින් තිබ්බත බෞද්ධාගම හා මුසු වූ හින්දු සම්ප්‍රදායක් ද ඇත. එය නාන්දි නාත්, ආදි නාත්, නව නාත් වශයෙන් අනු සම්ප්‍රදායන් 3කට බෙදී ඇත. දශනාමි නමින් තවත් වැදගත් හින්දු සම්ප්‍රදායක් වේ. ඔවුන් අතුරින් එක් උලක් සහිත යශ්ටිය රැගෙන යන පිරිස ඒක දණ්ඩි සන්‍යාසීන් වශයෙන් සැළකේ. ඔවුහූ පූන නූල නො දරති. එහි අනෙක් නිකායක් වන ත්‍රි දණ්ඩි නොහොත් ත්‍රිශූලයක් දරණ පිරිස පූන නූල ද දරති. අද්වෛත වේදාන්ත නමින් තවත් ප්‍රධාන හින්දු සම්ප්‍රදායක් වේ. දෛව මානව හා අද්වෛත මාතා වශයෙන් තවත් ගුරු පරම්පරා රාශියක් ඇති අතර මේ සියල්ල ම දිගු ආගමික සම්ප්‍රදායන්ට උරුමකම් කියයි. ඒ සියලු ම සම්ප්‍රදායන් තුළ දැකිය හැකි පොදු ලක්ෂණ ද ඇත. මේ සම්ප්‍රදායන් හැමෙකක් ම අඩු ම තරමින් වසර 1000 කටවත් පෙර පටන් පවතින දැනුම් විශ්වාස ආදිය මත පිහිටා සංවිධානය වී ඇත.

සම්ප්‍රදාය පිළිබඳ ඉන්දු උප මහද්වීපික කතිකාව

ලංකාවේ, සිංහල බෞද්ධ භාවිතය තුළට ද සම්ප්‍රදාය පිළිබඳ සංකල්පය පැමිණෙන්නට ඇත්තේ ද හින්දු ආභාෂයෙන් විය යුතු ය. එහෙත් පැරණි සිංහල ගද්‍ය පද්‍ය කෘති කිසිවක හෝ සම්ප්‍රදාය යන යෙදුම දැකිය නො හැකි ය. එහෙත් සම්ප්‍රදාය නමැති සංකල්පාවලිය අතීතය පුරා ම දැකිය හැකි වේ. සංස්කෘත ලෞකික ශාස්ත්‍ර තුළ සම්ප්‍රදාය යන්න ව්‍යංගයෙන් යෙදී ඇතත් ඒවා එම සංඥා නාමයෙන් හැඳින්වීමේ ක්‍රමයක් එකල නො පැවතියා විය හැකි ය. දණ්ඩී විසින් සංස්කෘතෙන් රචනා කළ කාව්‍යාදර්ශය, අබා සලමෙවන් නිරිඳු විසින් සියබස්ලකර නමින් සිංහලට නගනු ලබද් දී "කව් ලකුණැජරන්" යනුවෙන් සඳහන් කරනුයේ සම්ප්‍රදාය පිළිබඳව යි. (සියබස්ලකර 02 ගීය)

සංස්කෘත මහා කාව්‍ය ආභාෂයෙන් රචනා කළ මුවදෙව්දාවත, සසදාවත, කව්සිළුමිණ යනාදී කිසිදු කෘතියක සම්ප්‍රදාය අගයා නැත. කාව්‍යශේඛරකරු ද සම්ප්‍රදාය ගෞරවයට හා වන්දනයට ලක් කළ ද එම යෙදුම භාවිත කොට නැත. සිදත් සඟරාකරු, "සඳරුත් විධි සියල් අනුරූ සේ පියෝනන්" (සන් අදියරේ මුල් කවිය) යයි දැක්වූයේ සම්ප්‍රදාය පිළිබඳව යි. ඡේක ප්‍රයෝග යනු භාෂාවේ අතීත භාවිතය යි. මෙ ලෙස පැරණි සිංහල සාහිත්‍යය තුළ සම්ප්‍රදාය යන සංකල්පය භාවිත ව ඇතත් සම්ප්‍රදාය යන යෙදුම භාවිත ව නැත. ඊට හේතුව වන්නට ඇත්තේ මේ යෙදුම සංග්‍රහ වීම හා ප්‍රචලිත වීම මෑතකාලීන ව සිදු වීම විය හැකි ය.

සිංහල සාහිත්‍ය ග්‍රන්ථවලට ගුරු වූ සංස්කෘත ග්‍රන්ථවල ද සම්ප්‍රදාය යන යෙදුම හමු නො වේ. ඉපැරණි හින්දු ආගමික ශ්ලෝකවල නම් සම්ප්‍රදාය යන වචනය දැකිය හැකි වේ. දණ්ඩීගේ කාව්‍යාදර්ශයේ දෙ වන ශ්ලෝකයෙන් භරත ආදී පෙරැදුරන් නැමදීම එක් ආකාරයකින් සම්ප්‍රදාය නැමදීමකි. ඔහු වෛදර්භී හා ගෞඩී නමින් කාව්‍ය සම්ප්‍රදායන් දෙකක් යෝජනා කළ ද ඊට සම්ප්‍රදාය යන නම භාවිත නො කරයි. රඝු වංශය, ජානකී හරණය වැනි සංස්කෘත ග්‍රන්ථවල ද සම්ප්‍රදාය නමැති යෙදුම දැකි නො හැකි ය. සංස්කෘත කාව්‍ය සම්ප්‍රදාය නිර්මාණකරුවාගේ වාසනා ගුණය, ප්‍රතිභාව ආදී පුද්ගල බද්ධ කරුණු අවධාරණය කරයි. [2]

සම්ප්‍රදාය ඔවුන්ට අනුව දිව්‍යමය වූවකි. භරත සිය නාට්‍ය ශාස්ත්‍රයේ දී නාට්‍ය කලාවේ සම්ප්‍රදාය දිව්‍යමය වූවක් බව පෙන්වා දෙයි. විදග්ධ සම්ප්‍රදායන් තුළ මෙන් ම ජන සම්ප්‍රදායන් තුළ ද මේ දිව්‍යමය සම්භවය හා සම්ප්‍රදාය දැකිය හැකි ය. කොහොඹා යක් කංකාරිය හෝ කෝලම් උපත වැනි ජන ශිල්ප කලාවක සම්ප්‍රදායන් නිර්මාණය වීම පිළිබඳ ඇත්තේ ද දිව්‍යමය එළඹුම් වේ. [3] නාට්‍ය ශාස්ත්‍රයේ ඇරඹුම හා එහි ශිල්ප සම්ප්‍රදාය පිළිබඳ භරතගේ විග්‍රය මෙ බඳු වේ.

"වේදඉතයන්ගෙන් තොරවු ස්වර්ණමය යුගයෙන් අනතුරුව එළඹි රජත යුගයේ දී සාහිත්‍ය කලා ආදිය නිපදවීම සිදු විය. සියලු දෙවියෝ මහා බ්‍රහ්මයා හමු වී අනෙකුත් වේද සතර වෙන් කොට ඇස් සහ කන් පිනවිය හැකි පස්වන වේදයක් මවන ලෙස ද එය බ්‍රාහ්මණ ක්ෂත්‍රීය වෛශ්‍ය වැනි ද්විජ කුලවලට පමණක් සිමා වුවක් නොව ශුද්‍ර කුල අයට ද පොදු එකක් විය යුතු යැයි ද ආයාචනය කළ හ. මේ අයදුමට කන්දුන් මහා බ්‍රාහ්මයා පස් වන වේදයක් සම්පාදනය කරන්නට කටයුතු යෙදූහ. එහි දී මිනිසුන්ගේ සියලු චේෂ්ටාවන් සම්බන්ධයෙන් දෙනු ලබන සියලු උපදෙස් ඉතිහාසය සමඟ බද්ධ විය යුතු යැයි නියම කෙරිණ. මේ කටයුත්ත සම්පාදනය කිරිම සඳහා මහා බ්‍රහ්ම තෙම පෙළ කියවීම සෘග් වේදයෙන් ද ගීතය සාම වේදයෙන් ද අංගාභිනය යජුර් වේදයෙන් ද චිත්තවේගී හැඟීම් අථර්ව වේදයෙන් ද උපුටා ගන්නා ලද්දේ ය. අනතුරුව මා හැඟි රඟහලක් තනන්නැයි දිව්‍ය ගෘහ නිර්මාණ ශිල්පි වු විශ්වකර්මට නියම කළ හෙතෙම එ තුළ හිඳගෙන මෙසේ නිම වු කලාව අභ්‍යාස කරන්නැයි භරතමුණිවරයාට උපදෙස් දුන්හ. මේ නව නිර්මාණය දෙවියෝ එක හඩින් සතුටින් පිළිගත්හ. ශිව දෙවියෝ ඊට ප්‍රචණ්ඩ චිත්තවේග ප්‍රකාශ කෙරෙන තාණ්ඩව නැටුම ද පාර්වතිය සුකුමාල රාගික ලාස්‍ය නැටුම ද ප්‍රදානය කළහ. භාරතී යන නාට්‍ය ශෛලි හතර දෙන ලද්දේ විෂ්ණු ය. අනතුරුව මේ දිව්‍ය වේදය ගුණ පක්ෂයෙන් හීන කොට නාට්‍ය ශාස්ත්‍ර නමින් පෘතුවි තලයට පවරා දිමේ කාර්යය භරතට පැවරිණ"
(-නාට්‍ය ශාස්ත්‍ර. පරි. මාරසිංහ 1994:1-18)

නාට්‍යයේ සම්ප්‍රදාය දිව්‍යමය වන බව මෙයින් පැහැදිලි වේ. එහි ඇති උපදෙස් හා චාරිත්‍ර ආදිය දිව්‍යමය භාෂිත යි. එහෙයින් අනුල්ලංඝණිය වේ. සාහිත්‍යයේ දී යෙදෙනවාට වඩා වැඩි අගයකින් සම්ප්‍රදාය යන්න ශිල්ප කලාවල දී භාවිත වේ. සම්ප්‍රදායේ නො පිහිටා ශිල්ප කර්මාන්තවල යෙදිය නො හැකි ය. සම්ප්‍රදාය නිවැරදි ව නො දැන වඩුවෙකුට සිය කර්මාන්තය කළ නො හැකි ය. පිළිම නෙලීම, ගෘහ නිර්මාණ, වාරි කර්මාන්ත ආදිය ඒවාට ආවේණික තාක්ෂණික හා කලා සම්ප්‍රදායන්ගෙන් පෝෂණය වී ඇති ශිල්ප වේ. එම ශිල්පය ආයාසයෙන් උගත යුතු ය. බෙර ගැසීම, නැටීම, චිත්‍ර ඇඳීම, ආදිය ද නිවැරදි ව කළ හැක්කේ සම්ප්‍රදාය දැනගැනීමෙනි. සම්ප්‍රදාය නො දැන කරන කවර නිර්මාණයක් වුව වෘත්තීයමය නො වේ. ඒවා ආධුනික ගණයේ ලා හෝ වෘත්තීය නො වන ලෙස සළකයි. කර්මාන්ත පිළිබඳ සම්ප්‍රදාය ද ඉන්දු උප මහද්වීපය තුළ දී දිව්‍යමය වේ. සියලු ශිල්ප කර්මාන්ත ඇරඹෙනුයේ විශ්වකර්ම දිව්‍යපුත්‍රයාගෙනි. මේ තාක්ෂණික සම්ප්‍රදාය පිළිබඳ ආනන්ද කුමාස්වාමිගේ නිරීක්ෂණ එහි තත් ස්වභාවය හඳුනා ගැනීමට උපකාරී වනු ඇත.

"භාරතීය කාර්මිකයා තම ශිල්පය වූ කලී පරම්පරා ගණනක් පුරා ඒකී භූත වූ දැනුමක නොව විශ්වකර්මගේ දිව්‍යමය බලයෙන් උපන්නක් බවත් ඔහු විසින් ප්‍රකාශ කැරුණක් බවත් සිතති. අලංකාරය, රිත්මය, පරිමාණය, පරමාර්ථය යන මේ සියල්ල විශිෂ්ට තලයක පවත්නේ ය. පර්යේෂකයන්ට අභිමත දැය මෙහි දී මුණගැසෙයි. ද්‍රව්‍යයන්ගේ යථාර්ථය ඇසට පෙනෙන විස්තරයන්හි නොව මනසෙහි පවත්නේ ය. භාරතීය කලාකරුවන්ට විශ්වාසය තැබීමට උගන්වන දෙව් හඬක් මෙන් ඇසෙන අභ්‍යන්තරික බලය විශ්වකර්ම නිසා පහළ වන්නකැයි සිතනු ලැබේ. කලාත්මක ප්‍රකාශනය පිළිබඳ විශේෂ සම්බන්ධත්වයකින් හැඩගස්වනු ලබන දේවත්වය සම්බන්ධී අංශය වශයෙන් විශ්වකර්ම සළකනු ලැබිය හැක. තවත් පරිද්දෙකින් උසස් සවිඥානයක් පිළිබඳ "සමූහ ආත්මයකින්" යුත්, සදාකාලික සාර්ව භෞම පුද්ගලික කාර්මිකයන්ගේ සවිඥානයේ සමුදයාර්ථය වශයෙන් ද ඔහු සැළකිය හැක්කේ ය."
(-කුමාරස්වාමි, 1962.77)


ආනන්ද කුමාස්වාමි

ශිල්පීය ඥානයේ සම්ප්‍රදාය විශ්වකර්ම හා සම්බන්ධ කිරීම තුළින් අතීතයේ සිට පැවත එන දැනුම දේවත්වයට නැගීමක් අර්ථ ගැන්වේ. පෙරදිග සියලු ම විද්‍යා හා කලා දිව්‍යමය සම්භවයකින් යුතු වේ. සම්ප්‍රදාය පිළිබඳ ඉන්දු උප මහද්වීපයේ පවත්නා දැනුම දිව්‍යමය වේ. සියලු ලෞකික ශිල්ප හා කලා දෙවියන්ගෙන් සම්භව වී ඇත. සම්ප්‍රදායේ උල්පත දෙවියන් වේ. මේ අදහස අනුව සිතන පුද්ගලයා සම්ප්‍රදායන් වෙනස් නො කර පවත්වාගෙන යාම කෙරෙහී උනන්දු වෙයි. සම්ප්‍රදාය අත්හැරීම යනු දෙවියන් අත්හැරීම වේ. යම් සම්ප්‍රදායක පැහැදිලි වෙනසක් කළ මිනිසුන් ද දේවත්වයට පත් කෙරේ. ඉන්දු උප මහද්වීපික භාවිතය අනුව පුර්ව දැනුම් දේවත්වයේ ලා සළකන ලදි. සම්ප්‍රදාය නමැති සංකල්පය මේ කලාපය තුළ සම්භාවිත ව පැවතිය ද එය භාෂාව තුළ ප්‍රකාශයට පත් වීම යටත්විජිත අවධියේ දී සිදු වූවකි. යූරෝපීය ඥාන මීමාංසාවේ අනුහස ඒ යෙදුම තුළ ඇත. පෙරදිග එතෙක් පැවති දිව්‍යමය සම්ප්‍රදායෙන් මේ යුරෝපීය සංකල්පය වෙනස් වේ. යුරෝපීය සංකල්පය ඍජුව දෙවියන් හා සම්බන්ධ නොවේ.

යටත්විජිතකරණය හා දේශීය සම්ප්‍රදාය පිළිබඳ කතිකාව

අතීත ඥානය ලෞකික විෂයක් ලෙස අර්ථ ගැන්වීම බොහෝ සෙයින් ප්‍රචලිත වූයේ 20 වන සියවසේ මුල් දශක කිහිපයෙන් පසු ව වේ. ඉන්දියාව හා ලංකාව වැනි පෙරදිග රටවල සම්ප්‍රදාය යන්න ලෞකික අර්ථයකින් උච්චාරණය කිරීම යටත් විජිතකරණය හා ඍජු ව සම්බන්ධ වී ඇත. (පෙරේරා, රංජිත් 1985.31) යටත් විජිතකරණයට ලක් වූ ජන පිරිස් පශ්චාත් යටත්විජිත සමයේ දී තමන්ගේ අභාවයට ගිය අතීත දැනුම්, විශ්වාස හා භාවිතයන් යළි නගා සිටුවනු ලැබීම හෝ ඒවායෙන් අභාෂය ලබා ගැනීමේ ප්‍රයත්නයක නිමග්න වනු දැකිය හැකි ය. ලංකාවේ ජන නාට්‍ය අනුසාරයෙන් ජාතික නාට්‍යයක් සෑදීමේ දී සරච්චන්ද්‍ර සම්ප්‍රදාය පිළිබඳ දැක්වූ උනන්දුව ඊට උදාහරණ වේ, සරච්චන්ද්‍ර මෙසේ පවසයි.

"සංස්කෘතික ප්‍රශ්නය පිළිබඳ ව බල පවත්නා වැදගත් ම කරුණ නම් සම්ප්‍රදාය යැයි මා තුළ අදහසක් ඇත. කලා විෂයෙහි මෙම සම්ප්‍රදාය පිළිබඳ අදහස වඩාත් තදින් බලපාතියි මම සිතමි. ශතවර්ෂ කිහිපයක් තිස්සේ රටක බලපැවැත්වූ සම්ප්‍රදාය නිසා රස වින්දනය හා අගය කිරීම පිළිබඳ සම්මතයක් මෙන් ම අනන්‍ය සාධාරණ කලා රටාවන් ද බිහිවන්නේ...." (සරච්චන්ද්‍ර, 1967,44-45)

සම්ප්‍රදාය පිළිබඳ අදහස සරච්චන්ද්‍ර වෙත එළඹෙනුයේ කවර හෝ පෙරදිග වූ ඥාන මූලයකින් නො වේ. එය ඍජුව ම යුරෝපීය දැනුම හරහා ඔහු වෙත එළඹියකි. යුරෝපීය ඥාන මීමාංසාව තුළ සම්ප්‍රදාය පිළිබඳ ප්‍රථමයෙන් සාකච්ඡා කරනුයේ ටී.එස්. එළියට් විසිනි. එළියට්ට පසු ව එය විවිධ විද්‍යාර්ථීන් අතින් පුලුල් ව විග්‍රහ වී ඇත. සම්ප්‍රදාය යන බුද්ධි විෂයය, සම්ප්‍රදාය යන නමින් නො වෙතත් සංකල්පයක් ලෙස එළියට්ට පෙර ද යුරෝපයේ දැනුම් කලාපවල පැවතින. විශේෂයෙන් කතෝලික දහම තුළ සම්ප්‍රදාය පිළිබඳ අදහස දිව්‍යමය අර්ථයෙන් භාවිත විය.

සම්ප්‍රදාය පිළිබඳ ඉංග්‍රීසි නිරුක්ති

Tradition යන ඉංග්‍රීසි පදයට පර්යාය ලෙස සිංහල සම්ප්‍රදාය යන යෙදුම භාවිත කෙරෙයි. ඉංග්‍රීසි, tradition නමැති පදය නිර්මාණය වනුයේ ලතින් traderere හෝ tradere යන ක්‍රියාපදවලින් බිඳී ආ traditio නමැති නාම පදයෙනි. මේ ක්‍රියා පදවල ලතින් අර්ථ වනුයේ "සුරක්ෂිත ව තබා ගැනීමට යවනවා, දෙනවා, පවරණවා" යන්නයි. නෛතික උරුමය හෝ නෛතික පැවරීම හැඳින්වීම සඳහා රෝම නීතිය තුළ මේ යෙදුම භාවිත කෙරිණ. අතීතයේ නිර්මාණය වී තවමත් පවත්නා කවර හෝ චාරිත්‍ර විධික්‍රම ආදිය සම්ප්‍රදාය ලෙස සළකන බව සම්ප්‍රදාය පිළිබඳ විශ්වකෝෂකරුවන්ගේ අදහසයි.

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂයේ, මලලසේකර Tradition යන ඉංග්‍රීසි වචනයට අර්ථ දෙනුයේ "පරම්පරාගත කථා, චාරිත්‍ර ආදිය, සම්ප්‍රදාය, රූඪීය, පුරුද්ද" වශයෙනි. (මලලසේකර, ගුණපාල (1948) 1992,p.967) සම්ප්‍රදාය යන සිංහල වචනය ඉංග්‍රීසි Tradition යන වචනයට සමානාර්ථවත් බව මේ අනුව පෙනේ. එහෙත් සංකල්ප ලෙස ගත් විට යුරෝපීය අර්ථ සහ භාරතීය මුලයක් සහිත අර්ථ අතර වෙනස්කම් ඇති බව ද විද්‍යමාන වේ. Tradition යන ඉංග්‍රීසි පදයට ඉංග්‍රීසි ශබ්දකෝෂකරුවන් දෙන අර්ථ ද සැළකිල්ලට ගනිමුග.

A belief, custom or way of doing something that has existed for a long time among a particular group of people; a set of these beliefs or customs: religious /cultural/ literary tradition
(O.A.L.D,2000,p.1379)

ඉංග්‍රීසි ශබ්දකෝෂය දෙන අර්ථවලින් ද සම්ප්‍රදාය යනු අතීතයේ සිට වර්තමානයට එන්නක් බව පෙනෙයි. එය යම් ජන කණ්ඩායමක විශ්වාස, සිරිත් විරිත් හා භාවිතයන් යන සීමා කිරීමට ද එහි දී නතු කර ඇත. [4] එය ආගම සංස්කෘතිය හා සාහිත්‍ය යන විෂය ක්ෂේත්‍රවල දැකිය හැකි විෂයක් වන බව ද ශබ්දකෝෂය දක්වයි. සම්ප්‍රදාය ජන වර්ග අනුව වෙනස් වන සමාජ බද්ධ විෂයක් වන බව ද මෙහි අවධාරණය කර ඇත. මේ සියලු අර්ථ පිළිබඳ අවධානයෙන් යුතුව සම්ප්‍රදාය පිළිබඳ යුරෝපීය කතිකාව විමසීම දෙසට යොමු වෙමු.

සම්ප්‍රදාය පිළිබඳ යුරෝපීය කතිකාව

සම්ප්‍රදාය පිළිබඳ යුරෝපීය කතිකාව විමසීමේ දී ඉතා ම වැදගත් සම්ප්‍රදානය යනුයේ ටී.එස්. එළියට්ගේ "සම්ප්‍රදාය හා ප්‍රත්‍යෙක කෞශල්‍යය" යන ලේඛනය යි. සම්ප්‍රදාය පිළිබඳ දිව්‍යමය එළඹුමෙහි මූලික ම ලේඛනය එළියට්ගේ මේ ලිපිය යි. ඔහු සම්ප්‍රදාය යන සංකල්පය පැටලිලි සහගත එහෙත් ඉතා ගැඹුරු විග්‍රහයකට ලක් කරයි.

"සම්ප්‍රදාය හෝ සම්ප්‍රදායක් ගැන සඳහන් කිරීමට අපට පිළිවන් කමක් නැත. වැඩිම වුවොත් අසවලාගේ නාට්‍ය 'සාම්ප්‍රදායිකය' යි පැවසීමේ දී නම් මේ විශේෂණ පදය අපි භාවිත කරමු. දෝෂාරෝපණ මුඛයෙන් කථා කිරීමේ දී හැර මේ වචනය භාවිත කෙරෙනුයේ විරල වශයෙනි. එසේ නොමැති නම්, යම් යම් ප්‍රිය ජනක පුරාවිද්‍යාත්මක පුනරුත්ථාපනයක් අනුමත කෙරෙන බව ඇඟවීමේ දී ද එය අනුමාන වශයෙන් භාවිත කෙරේ"(එළියට්.ටී.එස්, 1917,පරි:සුරවීර ඒ,වී,1999,පි.61)

එළියට් සඳහන් කරන ලෙස 1917 වන විට ඉංග්‍රීසි සමාජය ද සම්ප්‍රදාය පිළිබඳ එතරම් අවධානයකින් පසුවී නැත. සම්ප්‍රදායේ වැදගත්කම හා එය සාහිත්‍යය තුළ වැදගත් යමක් ලෙස භාවිත කිරීම එළියට්ගෙන් ඇරඹේ. නිදහස් මානවවාදී ඥාන මීමාංසාව තුළ අද සාහිත්‍යය විෂයෙහි සාකච්ඡා වන බොහෝ සංකල්ප ඉතා ගැඹුරින් සංවාදයට ලක් විය. ඒ සංකල්ප අතර එළියට්ගේ සම්ප්‍රදාය පිළිබඳ අදහස ඉතා ප්‍රචලිත වූවකි. (Barry, Peter,1999)

"පුනරුක්තියට වඩා නවතාව වටනේ ය. සම්ප්‍රදාය යනු ඊට වඩා පුළුල් වූ ද අර්ථ සහිත වූ ද කාර්යයකි. එය දායාද වශයෙන් ලබා ගත හැකි දෙයක් නො වේ. එය අවශ්‍ය නම් මහත් සේ වෙහෙස වී ලබා ගත යුතු වෙයි. සම්ප්‍රදාය පළමු කොට ම ඓතිහාසික සංජානනය හා සම්බන්ධ වෙයි. පස් විසි විය ඉක්මවූ පසු ද කවියෙකු වශයෙන් තව දුර ක්‍රියා කිරීම අපේක්ෂා කරන කවරෙකුට වුව මෙය අත්‍යාවශ්‍ය බව අපගේ හැඟීම යි. මේ ඓතිහාසික සංජානනය හා සමඟ අතීත කාලයේ අතීත බව පමණක් නොව එහි වර්තමානය ද සම්බන්ධ වේ. එසේ ම මේ ඓතිහාසික සංජානනය සමකාලීන පරම්පරාව පිළිබඳ අවබෝධය තම ඇට මිදුළුවල තබාගෙන ලිවීමට පමණක් නොව, හෝමර්ගේ කාලයේ පටන් මුළු මහත් යුරෝපයේ ම පහළ වී ඇති සාහිත්‍යයත් ඒ තුළ තම රටෙහි පහළ වී ඇති සකලවිධ සාහිත්‍යයත් සමගාමී ව පවත්නේයි ද, මේ සියල්ල තුළ සමගාමී පරිපාටියක් ඇත්තේ ය යි යන හැඟීමෙන් යුතු ව ලිවීමට ද ලේඛකටයකුට බල කෙරේ. කාලසීමාවන්ගෙන් තොර සංජානනයක් සහ ඓහ ලෞකික සංජානනයක් මෙන් ම ඒ දෙක සංයෝග වූ සංජානනයක් ද ඇත්තා වූ මේ ඓතිහාසික සංජානනය වූකලී ලේඛකයෙකු සාම්ප්‍රදායික බවට පත් කරන කාරණය ලෙස හැඳින්විය හැකි ය."(එම, 62-63)


T. S. Eliot

එළියට්ගේ මේ ප්‍රකාශවලින් ඔහු සම්ප්‍රදාය ලෙස හැඳින්වූ දේ පිළිබඳ පැහැදිලි නිශ්චිත අවබෝධයක් කිසිවෙකුටත් නො ලැබේ. ඔහු සම්ප්‍රදාය ලෙස දක්වන දෙය ආයාසයෙන් අත්පත් කරගතයුත්තක් බව ඉන් ගම්‍ය වේ. එමෙන් ම අතීත මිනිසුන් ස්වකීය ඉන්ද්‍රිය අනුසාරයෙන් ලබාගත් සංජානන සම්ප්‍රදාය තුළ ඇතුළත් බව ප්‍රකාශ වීමෙන් සම්ප්‍රදාය යනු අතීත දැනුම බව ගම්‍ය වේ. සර්වකාලීන විශ්ව සත්‍යය හා සමකාලීන තත්වය අතර පාලම තනනුයේ සම්ප්‍රදාය වන බව ද ඉන් දැක්වේ. වඩා සරල ව තේරුම් කර ගන්නේ නම් එළියට්ට අනුව සම්ප්‍රදාය යනු අතීතයේ සිට අනාගතය දෙසට එල්ල වන ආලෝක ධාරාවකි. ඒ ආලෝක ධාරාව පතිත නො වූ කවර හෝ සාහිත්‍යකරුවෙකු විචාරකයෙකු එම ක්ෂේත්‍රය තුළ ස්ථාන ගත නො වේ. එම ආලෝකය තුළ සිටින නිර්මාණකරුවන් විද්‍යමාන වන අතර අන්‍යයෝ අවිද්‍යමාන ව යෙත්. කාලයේ ගණ අඳුරු තිමිරය තුළ සැඟව යෙත්. එළියට් සම්ප්‍රදාය පිළිබඳ දක්වන අදහස ද දේවවාදී වූවකි. සම්ප්‍රදාය ජීවය ලබනුයේ අතීතය තුළයි. එය උරාගෙන එයින් පෝෂණය වී එහි සමකාලීන ස්වරූපය පමණක් වෙනස් කිරීමේ හැකියාව නිර්මාණවේදීන්ට ඇත.

සම්ප්‍රදාය විෂයෙහි මැදිහත් වූ අනෙක් වැදගත් ම මානවවාදී චින්තකයා එෆ්.ආර්. ලෙවිස් ය. 1948 දී ඔහු පළ කළ "මහා සම්ප්‍රදාය" (The Great tradition) නමැති කෘතියෙන් ඉංග්‍රීසි ප්‍රබන්ධ කතාවේ සම්ප්‍රදාය පිළිබඳ විභාග කරන ලදි. සාහිත්‍ය කෘතියකින් ප්‍රකාශයට පත් වන සදාචාර විඥානය නමැති සංකල්පය නිර්ණායකයක් ලෙස ගතහොත් ජෝර්ජ් එළියට්, හෙන්රි ජේම්ස්, ජෝසප් කොන්රැඩ් ආදීන් එය මූර්තිමත් කරන ආකාරය ලෙවිස්ගේ විශ්ලේෂණයට පාදක විය. සාහිත්‍ය විෂයෙහි සම්ප්‍රදායේ ඇති වැදගත්කම ඔහු අවධාරණය කරයි. ඉහත දැක්වූ ප්‍රබන්ධ කථාකරුවන්ගේ නිර්මාණ පිළිබඳ දිගු විචාර එකතුවක් ඔහුගේ කෘතියේ දැකිය හැකි ය. ලෙවිස් සම්ප්‍රදාය දකිනුයේ ද වර්තමාන නිර්මාණවේදියා අතීතය හා සම්බන්ධ කරන බුද්ධිමය හුයක් වශයෙනි. එළියට්ගේ සම්ප්‍රදාය හා ප්‍රත්‍යෙක කෞශල්‍යය ලේඛනයේ සීමාවෙන් ඔබ්බට යමින් සම්ප්‍රදාය නමැති සංකල්පය නවකතා විචාරයට භාවිත කිරීම ඔහු අතින් සිදු වූ සේවය යි. ඔහු නවකතා සියල්ලේ ඇති ආකෘතික සමවාය හඳුනා ගනියි. සම්ප්‍රදාය නිර්මාණ කෘති තුළ පිහිටන ආකාරය ලෙවිස් වෙතින් ප්‍රකාශයට පත් විය.


F.R. Leavis

සම්ප්‍රදාය ව්‍යුහයක් ලෙස-

සම්ප්‍රදාය සංකල්පයක් හෝ භාවිතයක් ලෙස වටහා ගැනීමේ දී විවිධ ගැටළු මතු වේ. එය ඒකක හා රීතිවලින් යුතු පද්ධතියක් ලෙස වටහා ගැනීම වඩා නිවැරදි ප්‍රවේශයක් සම්පාදනය කරයි. වාග් විද්‍යාඥයෙකු වූ ෆර්ඩින් ඩි. සෝෂියර් භාෂාවේ ව්‍යුහය ලාංග් ලෙසත් එක් කෘතියක් නැතහොත් භාෂිතයක් පරෝල් ලෙසත් දක්වන ලදි. (Saussure,1966) සම්ප්‍රදාය ලාංග් නොහොත් ව්‍යුහය ලෙස ගත හොත් එක් භාවිතයක්, කෘතියක්, පරෝල් නොහොත් භාෂිතයක් වේ. හැම භාෂිතයක් ම ව්‍යුහය වෙනස් කරන මුත් එහි මූලික ආකෘතිය වෙනස් නො කෙරෙයි. (Barths,1991) හැම නව කෘතියක් ම සම්ප්‍රදාය වෙනස් කරයි. එහෙත් එහි මූලික හැඩය වෙනස් නො කරයි. නව කෘතියක් නැතහොත් නිර්මාණයක් බිහි වූ විට එම නිර්මාණය ඇසුරු කරන සම්ප්‍රදාය වෙනස්වීම්වලට ලක් කෙරෙයි. එළියට් ඒ පිළිබඳ මෙසේ පවසයි.


Ferdinand De Saussure

"මේ ආකාරයෙන් එක් එක් කලා කෘතිය හා ආශ්‍රිත සම්බන්ධතා ප්‍රමාණානුකූලතා සහ හර පිළිබඳ සමස්ථ පරිපාටිය සංශෝධනය වෙයි. මෙයින් ඇත්ත වශයෙන් සිද්ධ වන්නේ වර්තමානය නිසා අතීතය වෙනස් වීමක් නොව අතීතය මගින් වර්තමානය මෙහෙයවීම යි." (එළියට්,1917,75-76)

නව ඒකකයක් නිසා කවර හෝ සම්ප්‍රදායක ව්‍යුහයේ සිදුවන වෙස්වීම අතීත ඒකකවල ව්‍යුහ විසින් මෙහෙයවන බව ඔහු පෙන්වා දෙයි. යම් සම්ප්‍රදායකට අයත් කෘති සමූහයක් ගතහොත් ඒ සියල්ලෙහි ම කවර හෝ එක් සමවායක් දැකිය හැකි ය. බෞද්ධ කථා සම්ප්‍රදාය ගතහොත් එහි සියලු ම ඒකකවල බෞද්ධ අන්තර්ගතයක් දැකිය හැකි ය. සිව්පද සම්ප්‍රදාය ගතහොත් එහි සියලුම ඒකකවල සිව්පද නමැති ආකෘතික සමාන කම ඇත. සම්ප්‍රදාය යනු කවර හෝ අර්ථවලින් යුතු ව්‍යුහයක් වන බව ඉන් පැහැදිලි වනු ඇත. සම්ප්‍රදායක් ඒකක දෙකක් හෝ ඊට වැඩි ගණනක පොදු ලක්ෂණ අනුව නිර්මාණය වේ. සම්ප්‍රදාය ඒකකවලින් මෙන් ම රීතිවලින් ද යුක්ත වූවකි. එය හැමවිට ම කාලය හා සම්බන්ධ වේ. එක් ඒකකයක් හෝ කිහිපයක් අතීතයේත් අනෙක් ඒකකය හෝ ඒකක වර්තමානයේත් පැවතීම සම්ප්‍රදායේ රීතිය යි. සම්ප්‍රදායක් නිර්මාණය කිරීමේ දී හැම විට ම අතීත ලක්ෂ (කෘති හෝ භාවිතයන්) සුවිශේෂී කාර්යභාරයක් උසුලයි.

සිංහල බෞද්ධ කථා සම්ප්‍රදාය නමැති ව්‍යුහය ගතහොත් අමාවතුර, බුත්සරණ, සද්ධර්ම රත්නාවලිය වැනි කෘති එහි ඒකක වේ. ඒ සියල්ලෙහි ම බුදුන්ගේ මේ භවයේ හෝ පෙර භවයක ජීවන අත්දැකීම් අඩංගු වේ. මේ කෘති තුන වෙන වෙන ම ගතහොත් ඒවා එකිනෙකින් විශාල වශයෙන් වෙනස් වේ. එහෙත් මේ කෘති තුනේ ම ඇත්තේ බෞද්ධ කථා නමැති ව්‍යුහය යි. කතුවරයාගෙන් කතුවරයාට වෙනස් වන සමකාලිකත්වය හෝ පුද්ගල ප්‍රතිභාව සඳහා ද අර්ථ සම්පාදනය වනුයේ එම පොදු වූ ව්‍යුහය තුළ යි. භාෂාවල ඥාති ක්‍රමය, මිත්‍යා කතා ද මෙ වැනි ම ව්‍යුහ ලෙස විග්‍රහ කළ හැකි ය.

නූතනත්වය හා සම්ප්‍රදාය

නූතනත්වය සාමාන්‍යයෙන් අර්ථ දක්වනුයේ පශ්චාත් සාම්ප්‍රදායික අවදිය ලෙසයි. පශ්චාත් මධ්‍යකාලීන ඓතිහාසික අවදිය නූතන අවදිය ලෙස සැළකේ. වැඩවසම් ක්‍රමය හෝ කෘෂිකාර්මිකභාවයෙන් මිදී ධනවාදය, කාර්මිකකරණය, ලෞකික කරණය, සබුද්ධික කරණය හා ජාතික රාජ්‍ය යන තත්වයන් හා ආයතන හරහා නූතනත්වය ස්ථාපනය විය. (Barker,2005.p.444) නූතනත්වය යන යෙදුම සාමාන්‍යයෙන් සමාජ තත්වයක්, ක්‍රියාවලියක්, නැතහොත් කතිකාවක් හැඳින්වීම සඳහා භාවිත කරයි, ඇන්තනි ගිඩන්ස් එය නිර්වචනය කරනුයේ මෙ ලෙසිනි.

"නූතන සමාජය නැතහොත් කාර්මික ශිෂ්ටාචාරය යන යෙදුම් කෙටි වුව සුවිසල් සිතුවමක් මැවීමට සමත් ඒවා වේ. එය ලෝකය පිළිබඳ ආකල්ප සමූහයක් හා සම්බන්ධ වේ. ලෝකය මිනිස් මැදිහත්වීමෙන් වෙනස් කළ හැකි ය යන ආකල්පය එහි මූලික වේ. දෙවනුව එය ආර්ථීක ආයතන සමූහයක් සමග ද සම්බන්ධ වේ. විශේෂයෙන් ම කාර්මික නිෂ්පාදන හා වෙළඳපොල ආර්ථීකය ඒ හා සම්බන්ධ වේ. එමෙන් ම දේශපාලන ආයතන සමුහයක් ද ඊට සම්බන්ධ වේ. ජාතික රාජ්‍ය හා බහු ජන ප්‍රජාතන්ත්‍රවාදය එම දේශපාලන ආයතන යි. මේ ලක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන් නූතනත්වය පූර්ව සමාජ ක්‍රමවලට වඩා ගතිකත්වයකින් යුතු වේ. එය වඩා තාක්ෂණික වූ වඩා සංකීර්ණ වූ ආයතනවලින් සුසැදි සමාජයකි. පූර්වයෙන් පැවති කවර හෝ සමාජ ක්‍රමයකට එය සම නො වේ. එය අතීතය දෙසට වඩා අනාගතය දෙසට යොමු වූ සමාජ ක්‍රමයකි."(Giddens,1998,94)

ගිඩන්ස්, නූතනත්වය පිළිබඳ කරන විග්‍රහයට ඇතුළත් සියලු ම ආයතන, ක්‍රියාවලි හා ආකල්ප සම්ප්‍රදායික නො වන හෙවත් පශ්චාත් සම්ප්‍රදායික ලෙස ගැනේ. "සම්ප්‍රදායික" යන විශේෂණ පදය නූතන යන්න හා සහ සම්බන්ධ ප්‍රතිපක්ෂයක් ලෙස ව්‍යුහණය කළ හැකි වුවත් "සම්ප්‍රදාය" යන යෙදුම එලෙස නූතනත්වයට ප්‍රතිපක්ෂ ව්‍යුහයක එක් ධ්‍රැවයක් ලෙස යෙදිය නො හැකි ය. සම්ප්‍රදාය යනු පූර්වයෙන් දැක්වූ පරිදි ව්‍යුහයකි. එය සර්වකාලීන වේ. එනිසා ම සමකාලික ද වේ. "නූතන සම්ප්‍රදාය" නැතහොත් "නවීන සම්ප්‍රදාය" ලෙස යෙදීමේ දී සම්ප්‍රදාය නූතනත්වය ද ඇතුළත් කරගන්නා ව්‍යුහයක් වන බව පැහැදිලි වේ. නූතනත්වය සංකල්පයකි. එමෙන් ම භාවිතයකි. එහෙත් සම්ප්‍රදාය යනු සංස්කෘතික ව්‍යුහයකි. සාම්ප්‍රදායික යනු වෙනත් සංකල්පයකි. එය කවර හෝ සංකල්ප ආකල්ප නැතහොත් භාවිතයන් සමඟ ගනු දෙනු කරයි. එය ඉතිහාසය හෝ පැරණි බව වෙනුවෙන් පෙනී සිටින සංකල්පයකි. අනන්‍යතාව පිළිබඳ ප්‍රශ්නයේ දී සාම්ප්‍රදායික බව ඉතා වැදගත් වේ. සම්ප්‍රදාය අතීත ඥානයත් සමකාලීන ඥානයත් අතර සම්බන්ධය ගොඩනගන ව්‍යුහය වේ. එය නූතනත්වයට විරුද්ධ වූවක් නොවේ.


Anthony Giddens

යටත්විජිතකරණයේ ප්‍රතිඵලයක් ලෙස සංස්කෘතික අනන්‍යතා සොයා ගැනීමේ ගැටළුවට මුහුණ දීමට බොහොමයක් යටත්විජිතකරණයට ලක්වූ රටවලට සිදු විය. එම ක්‍රියාවලියේ දී බොහොමයක් යටත්විජිත උගතුන් භාවිතයට ගත් යෙදුම වූයේ සම්ප්‍රදාය යන්නයි. ඒ අතීත ඥානය හා සමකාලීන ඥානය අතර පාලමක් තනා ගැනීමේ අභාලාෂයෙනි. මේ ක්‍රියාවලියේ දී ස්වදේශික බුද්ධිමතුන් පැටලිල්ලට හෙලු තත්වය වූයේ සම්ප්‍රදාය හා සම්ප්‍රදායික බව එකිනෙක මිශ්‍ර කොට අවබෝධ කර ගැනීමයි. සම්ප්‍රදාය පිළිබඳ නූතන අවධියේ ඇති වූ උනන්දුව යුරෝපීය ඥාන මීමාංසාවේ ම ප්‍රතිඵලයකි. නූතනත්වය තුළ සාම්ප්‍රදායික ඥානය ස්ථාන ගත කිරීමේ දී සම්ප්‍රදායන් අභිනවයෙන් නිර්මාණය කිරීම යටත්විජිත භාවිතයක් විය. ස්වදේශිකයන් මේ නව සම්ප්‍රදායන් සම්ප්‍රදායික ඥානය ම හෝ භාවිතය යැයි වරදවා වටහා ගැනිණ. යටත්විත වල නූතනත්වය හා සම්ප්‍රදායිකත්වය යන දෙකේ ම කතෘකයා යටත්විජිත කරුවා ම වේ. (Strathern,1996.pp.40-45) ඒ සඳහා යටත්විජිතකරුවා සම්ප්‍රදාය නිපදවීමේ කාර්යයෙහි නිමග්න වෙයි.

වෙසක් උත්සවය එලෙස අභිනවයෙන් නිපද වූ සම්ප්‍රදායකි. අතීතයේ ආමිස පූජා බහුල වෙසක් උත්සවයක් පිළිබඳ වාර්තා දැකිය නො හැකි ය. ඕල්කට්තුමාට පසු ව බිහිවූ අද අප අදහන "යුරෝ බුද්ධාගමෙහි" වෙසක් උත්සවය යනු නත්තල මෙන් ම සුවිසල් උපන්දින උත්සවයකි. අද පවත්වන වෙසක් උත්සව දෙස බලන විට එය යටත්විජිත නිර්මාණයක් ලෙස නො පෙනේ. වසර දහස් ගණනක ඉතිහාසයක් සහිත සම්ප්‍රදායක් ලෙස එය විද්‍යමාන වේ. එහෙත් එය යටත් විජිත අවධියේ අභිනවයෙන් නිර්මාණය කළ සම්ප්‍රදායන්ගෙන් යුක්ත වේ. (Perera,Nihal,1998) සාම්ප්‍රදායික දැනුම හා නූතන දැනුම සංකලනයෙන් මේ නව සම්ප්‍රදාය ව්‍යුහනය කර ඇත. මෙය සපුරා ම සම්ප්‍රදාය නිර්මාණය කිරීමයි. එය නූතනල පුද්ගල කේනද්‍රීය ක්‍රියාවලියකි.

සම්ප්‍රදාය නිපදවීම

1983 දී ප්‍රකාශයට පත් වූ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ, බර්ක් බැක් කොලීජියේ සමාජ ආර්ථීක ඉතිහාසය පිළිබඳ සේවා සම්මත මහාචාර්යවරයෙකු වූ එරික් හොබ්ස් බොව්ම් හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වාර්ගික සබඳතා පිළිබඳ මහාචාර්යවරයෙකු වූ ටෙරන්ස් රේන්ජර් විසින් සංස්කරණය කරනු ලැබූ "සම්ප්‍රදාය නිපදවීම්" (The Invention of tradition) කෘතිය මගින් සම්ප්‍රදාය නමැති යෙදුමේ දිව්‍යමය රැස් වලල්ල ගලවා දමන ලදී. මේ කෘතියේ හැඳින්වීම ඇතුළු ව ලිපි 7ක් විය. ඊට ලිපි සැපයූ අනෙක් විද්‍යාර්ථීන් වූයේ හූ ටේ‍රවෝර්- රොපර්, ප්‍රේ මෝගන්, ඩේවිඩ් කැනඩින්, බර්නාඩ් එස්ගකොහෙන් යන අය යි. ඔවුන්ගේ අධ්‍යයනවලට පාදක වූයේ බ්‍රිතාන්‍යය හා බ්‍රිතාන්‍යය යටත් විජිතවල සම්ප්‍රදායන් නිපදවීම පිළිබඳ ශාස්ත්‍රීය විමර්ශන යි. මෑතක දී සම්පාදනය කළ භාවිතයන් සමූහයක් එක දිගට අඛණ්ඩ ව පවත්වාගෙන යාම හා අතීත මීදුමෙන් වැසී ගිය ඉතිහාසයක් පිළිබඳ උරුමය ඊට ආරෝපණය කොට සම්ප්‍රදායානුගත කරනු ලැබ ඇති ආකාරය මේ අධ්‍යයන වලින් හෙළිදරව් කෙරිණ. (Hobsbawm, Ranger,1983.pp1-14) දෙ වන ලෝක යුද්ධය අවස්ථාවේ විනාශ වූ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ශාලාව ඉදිකිරීම සඳහා එහි පැරණි සැළැස්ම ම භාවිත කරමින් ගොතික් සම්ප්‍රදාය යළි ප්‍රතිනිර්මාණය කිරීම සම්ප්‍රදාය නිපදවීමට කදිම උදාහරණයකි. එය කොතෙක් සම්ප්‍රදායානුගත ලෙස පෙනුන ද නූතන ඉදි කිරීමකි. (ibid.pp 1-2) ව්‍යවහාරය හා සම්ප්‍රදාය අතර ඇති සම්බන්ධය ද ඔවුන්ගේ අවධානයට ලක් වේ. කළ යුත්තේ කුමක්ද යන්න, ව්‍යවහාරය විසින් තීරණය කරනු ලබන අතර ව්‍යවහාරය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මෙවලම් හා එහි චිරාගත ක්‍රමය සම්පාදනය කරනුයේ සම්ප්‍රදාය විසිනි. ව්‍යවහාරය බිඳවැටුනහොත් සම්ප්‍රදාය ද බිඳවැටේ. (ibid.pp 2-3) ව්‍යවහාරයට මැදිහත් වීමෙන් සම්ප්‍රදාය නිපදවීම කළ හැකි ය. සම්ප්‍රදාය අභිනවයෙන් ඉදි කිරීම පිළිබඳ රොමීලා තාපර්ගේ විමසුම සැලකිල්ලට ගනිමු. අද්‍යතන ඉන්දියානු ස්ත්‍රිය කාලානු රූප ව ඉදිකරනු ලැබූ හීන කරන ලද පෞර්ෂයකින් යුක්ත සත්වයෙකු වීම පිළිබඳ ඇයගේ අවධානය යොමු වේ.

"කිසියම් සුවිශේෂ හැසිරිම් රටාවක් හෝ ආකල්පයක් හෝ සාරධර්ම පද්ධතියක් හෝ පිළිගන්නට අප පෙළඹෙන විට අප එය සලකන්නේ හුදෙක් සම්ප්‍රදාය පිළිගැනීමක් හැටියට. බලෙන් ම පටවා ඇති මේ උපකල්පනය දැනට අනාදිමත් කාලයක් තිස්සේ කිසදු වෙනසකට භාජනය නො වී පවතින්නක්. ඇත්තෙන් ම මේ උපකල්පනය මහ බොරුවක්. මන්ද කිවහොත් සම්ප්‍රදාය පිටස්තරින් පවරා දෙන එකක් වුවද එය ඝනීභවනය වී එක තැන නැවතී තිබෙන එකක් නො වේ. සම්ප්‍රදායක් එක් පරම්පරාවකින් තවත් එකකට පවරාදිමේ හුදු ක්‍රියාවලිය සිදු වනවිට එය විපර්යාස විම නො වැලැක්විය හැක්කක්. ඒවාගේ ම සම්ප්‍රදාය ලෙස අද අප සලකන දෙය ඇත්තෙන් ම මීට පෙර පරම්පරා හතරකට පහකට පෙරාතුව සම්පාදනය කළ දෙයක් විය හැකි යි. සියවස් ගණනාවක් හරහා අප කරා එන කිසිම දෙයක් නිර්මල ආකාරයෙන් පවතින්නේ නැහැ.

සම්ප්‍රදායන් විපර්යාස වන බව පිළිගැනීමත් සමග ම එම සුවිශේෂ විපර්යාසයන් කවදා සිදු වුයේ ද එවැනි සුවිශේෂ විපර්යාසයක් සිදු වුයේ මන්ද කියාත් අප ඇසිය යුතු යි. උදාහරණයක් වශයෙන් විවිධ පඨිතවල දී ගැහැණිය චිත්‍රණය කර තිබෙන අන්දම ගනිමු. මෙලෙස චිත්‍රණය කර ඇත්තේ සම්ප්‍රදායික ඉන්දීය කාන්තාව යැයි කියැවෙනවා. ශකුන්තලාගේ තකන්දරය මහාභාරත කෘතියේ දැක්වෙන හැටියට නම් කාන්වගේ අසපුවේ දි දුෂ්‍යන්තට ශකුන්තලා හමු වු අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා විවෘත අවංක සාමිචියක යෙදෙනවා. ඉන් ඉක්බිත්තෙන් ඔහු ඇයට යොජනා කර කියා සිටිනවා ඔවුන් දෙදෙනා ගාන්ධර්ව විවාහයට ඇතුලු විය යුතු බවත් එවිට චාරිත්‍ර වාරිත්‍ර කිසිවක් අවශ්‍ය වන්නේ නැති බවත්. තමා ඊට කැමති වන්නේ එකම එක කොන්දෙසියක් එනම් ඇගේ පුතාට කවදා හෝ රජකම ලැබෙන බවට සහතිකයක් ලැබෙන්නේ නම් පමණකැ යි ඇය කියා සිටිනවා. මේ එකඟතාවයට එළැඹීමෙන් පසු දෙ දෙනා විවාහ වෙනවා. දුෂ්‍යන්ත නික්මී යනවා. ශකුන්තලා පුතකු ප්‍රසුත කරනවා. අවුරුදු ගණනාවකට පස්සේ ඈ ඇගේ පුතාව දුෂ්‍යන්තගේ රාජ සභාවට ගෙන ගොස් ඔහුගේ උරුමය ප්‍රකාශ කර සිටිනවා. දුෂ්‍යන්ත ඇයට ඉතා තුච්ඡ අන්දමින් බැණ වදිනවා. මේ අතරේ දරුවා දුෂ්‍යන්තගේ සුජාත දරුවෙකැ යි කියා අහස් කුසෙන් ඇසෙන්නට පටන් ගන්නවා. ශකුන්තලා හඳුනා ගැනීම ප්‍රතිෙක්ෂ්ප කළේ මෙ වැනි සහතිකයක් බලාපොරොත්තුවෙන් බවත් දරුවාගේ සුජාත පියා තමා යැයි යටත් වැසියන්ට ඒත්තු ගැන්විය යුතු බවත් දුෂ්‍යන්ත කියනවා.

නමුත් කාලිදාස නාට්‍යකරුවා ප්‍රස්තුත මහා භාරත තේමාවෙහි එන ශකුන්තලා ගේ චරිතය මුළුමනින් ම විපරිවර්තනය කරයි. හිතුමතේට විවාහ වුවත් ඊට පෙරාතුව පොරොන්දුවක් ලබාගන්නා, එතෙක් ගෞරවාන්විත ජීවිතයක් ගත කරමින් සිටි, තරුණ කාන්තාවකගේ සිට යටහත් පහත් කීකරු සමාජශීලී නො වන තරුණ කාන්තාවක් ලෙසයි ශකුන්තලාව කාලිදාස චිත්‍රණය කර ඇත්තේ. ඊට අනුව දුෂ්‍යන්ත කෙරෙහි ඇති වන ආලයෙන් මුසපත් වන නිසා ම තම අයිතිවාසිකම් සඳහා පෙනීි සිටින්නටත් ඈ අපොහොසත් වෙයි. දුෂ්‍යන්ත ඉදිරියේ තමන්ගේ හා තම පුතුගේ අයිතීන් සඳහා පෙනී සිටින්නට එතරම් උනන්දුවක් නො වෙන ඇය දුෂ්‍යන්තට තමා හඳුනාගන්නට බැරි වු විට රාජ සභාව හැරපියා ආයෙමත් වන ගත වන්නේ තම දරුවාට ඔහුගේ උරුමය ලබා ගැනිමට නො හැකි විමෙන් හා සිය ආදරවන්තයා තමාට අහිමි විමෙන් ඇති වු තදබල කලකිරීම හේතුවෙනි.

කුතුහලය දනවන කාරණය නම් අද දවසේ අප ශකුන්තලා ගැන කථා කරන විට අප එක්වර ම සිහිකර ගන්නේ කාලිදාස විසින් සම්පාදිත ශකුන්තලා නිරූපණ යයි. නමුත් කවුරුන් හෝ ශකුන්තලා ගැන කථා කරනවා නම් ගත යුත්තේ මහා භාරතය කෘතියේ දැක්වෙන චරිතය යි. මන්දයත් එය කාලිදාසගේ සන්නයට වඩා පුළුල් නිසාත් ඊට සවන් දුන් ශ්‍රාවක පිරිස අති මහත් වී යැයි සිතිය හැකි නිසාත් ය. කාලිදාසගේ සන්නය රාජ සභාවට සම්බන්ධ සුළුතර ප්‍රේක්ෂකාගාරයට පමණක් සීමා වුවක්.

කාලිදාසගේ සන්නය පමණක් ප්‍රක්ෂේපණය කරමින් ඊට අනුග්‍රය දැක්වීම තුළින් අද අප කර ඇත්තේ එහි වාසියට කරුණු තින්දු කිරිමක්. කාලිදාසගේ සන්නය තෝරාගෙන එය සම්ප්‍රදායික යැයි අප ප්‍රක්ෂේපණය කර ඇත්තේ ඇයි දැයි පැහැදිලි යි. ස්ත්‍රිය වනාහි ලැජ්ජාශීලී වැඩි කථා බහේ නො යෙදෙන කීකරු තැනැත්තියක් වශයෙන් ප්‍රක්ෂේපණය කිරිම අද අපට අවශ්‍යයි. ස්ත්‍රිය වනාහි යෝජනා පිළිගන්නා තම තත්වය පිළිගැනීම රජු ප්‍රතික්ෂේප කළ විට දැඩි ලෙස වාද කොට තම තත්වය ආරක්ෂා කරන තැනැත්තියක වශයෙන් චිත්‍රණය කරන්නට අපට ඕන නැහැ....."

(-තාපර්, රොමිලා, 1999 පි.1-3)


Romila Thapar

අභිනවයෙන් සම්පාදිත ස්ත්‍රිය පිළිබඳ සම්ප්‍රදාය ගැන තාපර්ගේ විග්‍රහයෙන් සම්ප්‍රදාය නිපදවීමේ කාර්යයෙහි ස්වභාවය පිළිබඳ සමීප අවබෝධයක් ජනනය වනු ඇත.

සමාලෝචනය හා නිගමන

ඉන්දු උප මහද්වීපික රටවල සම්ප්‍රදාය නමැති සංකල්පය ආගම් සමඟ බැඳී දිගු ඉතිහාසයක් පුරා පැවත එයි. එය සමස්ත සංස්කෘතික ජීවිතය ම නියාමනය කරන බලවේගයක් ලෙස භාවිත කෙරිණ. දෙවියන්ගෙන් ඇරඹෙන සම්ප්‍රදාය අඛණ්ඩ ව පවත්වාගෙන යාම පමණක් මිනිසාගෙන් බලාපොරොත්තු වේ. මෙලෙස මේ සංසල්පය පැවතිය ද සම්ප්‍රදාය යන භාෂාත්මක යෙදුම මේ පෙරදිග රටවල භාවිතයට එළඹියේ යටත්විජිත කරණයට පසුවයි. ඒ එළියට් ඒ පිළිබඳ කළ අවධාරණයට පසු ව විය යුතු ය.

සම්ප්‍රදාය යනු අතීත ඥානය වර්තමානය හා මුසු කරන ව්‍යුහය යි. එය භාෂාව, ඥාති ක්‍රමය වැනි ම ව්‍යුහයකි. නූතනත්වයට ප්‍රතිපක්ෂ යෙදුමක් ලෙස සම්ප්‍රදාය යන්න භාවිත කළ ද එසේ කළ නො හැකි ය. යටත්විජිත කරුවා විසින් අතීත සංස්කෘතික අනන්‍යතා නූතනත්වය තුළ ප්‍රති නිෂ්පාදනය කිරීමේ දී භාවිත කළේ සම්ප්‍රදාය නමැති මෙවලම යි. එය ව්‍යුහයක් වන නිසා සංකල්පයක් මෙන් ප්‍රතිපක්ෂ යෙදුම් හා සංහිතා ගත කළ නො හැකි ය. සම්ප්‍රදායික යන යෙදුම සම්ප්‍රදායෙන් වෙනස් වූ ඉතිහාසය හා අතීත උරුමය සංඥා කරන සංකල්පයකි. එය ව්‍යුහයක් නො වේ. එය නූතනත්වයට ප්‍රත්පක්ෂ ව පිහිටුවිය හැකි ය.

සම්ප්‍රදාය හැම අභිනව ඒකකයකින් ම වෙනස් භාවයට පත් වේ. එය දෙවියන්ගෙන් ලැබෙන ආලෝකයක් නොව පුද්ගලයා විසින් ම නිපදවනු ලබන පුද්ගලයා විසින් ම වෙනස් කරමින් පවත්වාගෙන යන්නකි. සම්ප්‍රදායන් ව්‍යුහනය කිරීමටත් පවත්වාගෙන යාමටත් හැක්කේ ආර්ථීක දේශපාලන බලය සහිත ඒජන්තයන්ට පමණි. ප්‍රාග්ධනය හිමි පන්තිය නැතහොත් බලය හිමි පන්තිය විසින් නිර්මාණය කරන සම්ප්‍රදායන් නිර්ප්‍රභූ ජාති, පන්ති හෝ ලිංගිකයන් විසින් පවත්වාගෙන යනු ලැබීම දැකිය හැකි සාමාන්‍ය තත්වය යි. "සාමාන්‍ය දැනීම" තුළ සම්ප්‍රදාය, දිව්‍යමය භාෂිත වන බවත් ඒවා අභියෝගයට ලක් කිරීම දේව ශාපයට හේතු වන බවත් ප්‍රකාශයට පත් කරනුයේ ප්‍රාග්ධන හිමි පන්තිය විසිනි. ඒ අනුව සම්ප්‍රදාය යනු නිර්ප්‍රභූන්ට හතුරු වූ ප්‍රතිපක්ෂ ව්‍යුහයකැ යි නො ගත යුතු ය. සම්ප්‍රදාය ස්වීකරණය කොට ගෙන එය නිර්ප්‍රභූ සංරචකයන්ගෙන් යළි නිර්මාණය කිරීමේ හැකියාව එහි විෂය වස්තු බවට පත්වූ පිරිසට ඇත. ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ සම්ප්‍රදාය, පාසැල් අධ්‍යාපන සම්ප්‍රදාය, බෞද්ධාගමික සම්ප්‍රදාය, පවුලේ ව්‍යුහය හා දේපළ බෙදීයාම පිළිබඳ සම්ප්‍රදාය, කුළ හා වාසගම් දීමේ සම්ප්‍රදාය ආදිය මේ ආකාරයට පීඩිත පන්ති විසින් වහා ප්‍රති ව්‍යුහනය කරනු ලැබිය යුතු බව පෙනේ.

සම්ප්‍රදාය යනු සාහිත්‍ය විචාරයට මෙන් ම සමාජ විචාරයටත් සමාජ සංශෝධනයටත් භාවිත කළ හැකි සංස්කෘතික ව්‍යුහයකි.

පාදක සටහන්-

[1.] ප්‍රමේය රත්නාවලියේ බාලදේව විද්‍යාභූෂණ දක්වා ඇත්තේ "සම්ප්‍රදාය විහීනයේ මන්ත්‍රස්තේ නිශ්ඵල මනඃ" යනුවෙනි. (1 කොටසේ 5-6 ශ්ලෝක)

[2.] ප්‍රතාභා අපූර්ව වස්තු නිර්මාණාක්ෂමා ප්‍රඥා (ප්‍රතිභාව යනු අපූර්ව වස්තු නිර්මාණය කිරීම සඳහා කිසියම් කෙනෙකු සතුව පවතින ප්‍රඥාවයි.) ප්‍රඥා නවනවෝන්මේෂශාලිනී ප්‍රතිභා මතා සා හි චක්ෂූර් භගතතේස් තෘතීයමිති ගීයතෙ. (නව අරුත් ක්ෂණයෙහි වැටහෙන්නා වූ බුද්ධිය ප්‍රතිභාවයි. මේ බුද්ධිය කෙතෙක් සුවිශේෂි ද යත් එය ඊශ්වරගේ තෙ වැනි ඇසට සම වේ.)

[3.] සිංහල ශාන්ති කර්මවල ඇරඹුම බුදුන්ගේ ලංකාගමණය හා සම්බන්ධ කරන ජන ප්‍රවාදයක් මෙසේ ය. "....මිනිස් ලොවට විත් මනුෂ්‍යයන් හට උපද්‍රව පමුණුවන්නා වූ යක්ෂයින් දමනය කිරීම සඳහා බුදු රජාණන් වහන්සේ එක් දිනක් යක්ෂයින්ගේ වාසස්ථානය වන සක්වල ගලට වැඩියහ. උන්වහන්සේගේ ආරක්ෂාව පිණිස ශක්‍ර දේවේන්ද්‍රයාත් කැටුව යන්ට සිතූ නමුත් බුදු රජාණන් වහන්සේ ඊට නොකැමැති වූ සේක. හුදකලාව යක්ෂයන් මධ්‍යයට නො යනු මැනවැයි ශක්‍ර දේවේන්ද්‍රයා විසින් නොයෙක් ලෙස කන්නලව් කරන ලද මුත් බුදු රජාණන් වහන්සේ ඔහු කී බස් නො අසා මහලු හිඟන්නෙකුගේ වෙස් ගෙන ගියහ. සක්වල ගලෙහි මුහුදේ දිය බිඳු තරමට යක්ෂයෝ හුන්හ. කුමක් සඳහා අවුදැයි ඔවුන් බුදුරදුන් අතින් විචාල කල්හී රාත්‍රියේ නවාතැන් පිණිස යයි උන්වහන්සේ පිළිතුරු දුන්හ. මෙහි නොහිඳ යවයි යක්ෂයෝ කීහ. අද රාත්‍රියේ පමණක් නතරවීමට කුඩා තැනක් දෙනු මැනවයි බුදුන් විසින් යාඥා කරන ලද කල්හි යක්ෂයෝ උන්වහන්සේ යක් සෙනෙවියා ඉදිරියට යැවූහ. ගලක් මත පටු ස්ථානයක රාත්‍රිය ගෙවීමට යක් සෙනෙවියා විසින් බුදුු රදුන්ට අවසර දෙන ලදි. අන්ධකාරය පැතිරෙත් ම බුදුුරජානන් වහන්සේ ස්වකීය ශරීරයෙන් රශ්මි මාලා නිකුත් කරවා ගල රත් වන්නට සැලසුවාහු ය. යක්ෂයින්ට උෂ්ණය නිසා අපාසු දැනෙන්ට විය. ඉක්බිති ඔවුන් ගොස් එපුවත යක් සෙනෙවියාට සැල කළ මුත් ඒ මහලු හිඟන්නාට එබඳු හාස්කමක් කෙසේ නම් කළ හැකි වේ දැයි කියමින් යක් සෙනෙවියා ඒ බව නො ඇදහී ය. එහෙත් උෂ්ණය මද මද ව අධික වී ගොස් කෙළවර දී ගල ගිණිගත් කලක් මෙන් බබලන්ට විය. එකල්හි යක්ෂයෝ සියලු දෙනා ම බියපත් ව අවුත් බුදුන් වහන්සේ පා මුල වැටී අපි සෙම් සොටු බුදින කාලකන්නි සත්ව වර්ගයා වම්හ, අපට අනුකම්පා කර වදාල මැනවැයි බැගෑපත් ව කීහ. බුදුන් වහන්සේ ඔවුන් කෙරෙහි අනුකම්පා උපදවා මම තොපට අභය දෙමි. එහෙත් තොප විසින් මා කියන බස් ඇසුව මනා ය. මනුෂ්‍යයින් හට රෝග උපද්‍රව ඇති කිරීමට මම තොපට වරම් දෙමි. එහෙත් එබඳු අවස්ථාවක දී ඇදුරන් විසින් තොප කැඳවා දොළ පිදේනි දෙන ලද කල්හී තොප විසින් එම ස්ථානයට පැමිණ දොළ පිදේනි පිළිගෙන ආතුරයා සුව කොට යා යුතු යයි අණ කොට සක්වල ගල යළි පියවි ස්වභාවයට පත් කොට එතැනින් වැඩි සේක."
(සරච්චන්ද්‍ර, සිංහල ගැමි නාටකය, 1968(1999):41)

[4.] Tradition as a noun:
• 1 [mass noun] the transmission of customs or beliefs from generation to generation, or the fact of being passed on in this way:members of different castes have by tradition been associated with specific occupations
• [count noun] a long-established custom or belief that has been passed on from one generation to another:Japan’s unique cultural traditions
• [in singular] an artistic or literary method or style established by an artist, writer, or movement, and subsequently followed by others:visionary works in the tradition of William Blake
• 2 Theology a doctrine believed to have divine authority though not in the scriptures, in particular:
• [mass noun] (in Christianity) doctrine not explicit in the Bible but held to derive from the oral teaching of Christ and the Apostles.
• (in Judaism) an ordinance of the oral law not in the Torah but held to have been given by God to Moses.
• (in Islam) a saying or act ascribed to the Prophet but not recorded in the Koran.
(http://www.oxforddictionaries.com/)

මූලාශ්‍ර-

මූල කෘති-

• කාව්‍යාදර්ශය(සුබෝධනී ව්‍යාඛ්‍යා සහිත), සංස්: පේමරතන හිමි වැලිවිටියේ සහ දේවානන්ද හිමි හල්ගස්තොට(2001), මරදාන: සමයවර්ධන පොත් හල.

• සිදත් සඟරාව, සංස්: තෙන්නකෝන්, රැ,(1967). කොළඹ: ඇම්.ඩී. ගණසේන සහ සමාගම.

• සියබස්ලකර විස්තර වර්ණනාව, සංස්:ඥානසීහ හිමි, හේන්පිටගෙදර(1964), කොළඹ: ස්වභාෂා ප්‍රකාශකයෝ.

ශබ්දකෝෂ-

• ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය, සංස්: මලලසේකර, ගුණපාල(1958),(1992 මුද්‍රණය), කොළඹ:ගුණසේන.

• සංස්කෘත සිංහල ශබ්ද කෝෂය, අලගියවන්න(1925)- ප්‍රකාශන තොරතුරු නැත.

• Oxford Advance Learners dictionary (2000) ed: Sally Wehmeier, (6th edition),Oxford:University press

ග්‍රන්ථ හා ලිපි-

• එළියට් ටී.එස්. (1917) සම්ප්‍රදාය හා ප්‍රත්‍යෙක කෞශල්‍යය. පරි: සුරවීර ඒ.වී, 1999, සම්ප්‍රදාය නිර්මාණය හා විචාරය, කොළඹ 10, ගොඩගේ ප්‍රකාශන.

• කුමාරස්වාමි, ආනන්ද (1962) මධ්‍යකාලීන සිංහල කලා. පරි-එච්.එම්.සෝමරත්න, කොළඹ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව.

• ගුනසිංහ, සිරි (1986) චිරන්තන සම්ප්‍රදාය හා ප්‍රගතිය, කොළඹ10, ගොඩගේ ප්‍රකාශන.

• තාපර්, රොමිලා (1999) සම්ප්‍රදාය ගැන දුර්මත- ඉන්දීය දේතාවියන් ගැන නව කියවීමක්. පරි: රංජිත් පෙරේරා, කොළඹ, සමාජ විද්‍යාඥයින්ගේ සංගමය.

• දිසානායක, විමල් (2004) නව විචාර සංකල්ප- ඥාන ක්ෂේත්‍රයෙහි ප්‍රවණතා, බොරලැස්ගමුව: විසිඳුනු ප්‍රකාශකයෝ.

• සරච්චන්ද්‍ර, එදිරිවීර (1967) නාට්‍ය ගවේශන, කැලණිය: වීමංසා ප්‍රකාශන.

• Apte, V.S (1965), The practical Sanskrit-English dictionary: containing appendices on Sanskrit prosody and important literary and geog¾phical names of ancient India,India: Motilal Banarsidass Publ.

• Barker, Chris(2005). Cultural Studies: Theory and Practice.London: Sage.

• Barthes, Roland (1991). Mythologies. translated from the French by Annette Lavers, New York: The Noonday Press.

• Barucha, Rustom(1990).Theatre and The World - Essays on Performance and Politics on Culture, India: Manohar Publications.

• Eagleton,Terry(1996).Literary Theory: An Introduction. 2nd edition. Minneapolis: The University of Minnesota Press.

• Ebert, Gabriele (2006), Ramana Maharshi: His Life, Lulu.com

• Giddens, Anthony( 1998). Conversations with Anthony Giddens: Making Sense of Modernity. Stanford, Calif: Stanford University Press.

• Gombrich.R and ,Obeysekara.G (1988).Buddhism Transformed:Religious change in Sri Lanka, Princeton: Princeton University press.

• Gupta, R (2002). Sampradaya in Eighteenth Century Caitanya Vaisnavism, India:ICJ

• Hobs Bawm ,Eric (1983) Introduction: Inventing Traditions. The Invention Of Tradition, (Ed:) Eric Hobsbawm And Terence Ranger, pp.1-14.Cambridge: Cambridge University Press.

• Leavis, F. R. (1950).The Great Tradition. New York: George W. Stewart, Publisher Inc.

• Perera ,Nihal(1998).Society and Space:Colonialism Nationalism and Postcolonial Identity in Sri Lanka, Boulder:Westview Press.

• Strathern, Marilyn(1996). Enabling Identity? Biology, Choice and the New Reproductive Technologies. in Questions of Cultural Identity(ed:) Stuart Hall and Paul du Gay, London,Thousand Oaks, New Delhi: SAGE Publications.

• Saussure, Ferdinand de (1966)). Course in General Linguistics. (trans. Wade Baskin) London: Hill Book Company.

E-Books-

• Barry,Peter(2002).Beginning theory. [e-book] Wales:University Press.[30.12.2012]


සමන් එම්. කාරියකරවන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails