Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තුමා පසුගියදා තමන්ගේ දහසකුත් එකක් රාජකාරි මැද උපුල් ශාන්ත සන්නස්ගල මහතාගේ ටියුෂන් පන්තියට ගොස් කොලු කෙලු ගැටව්-ගැටවියන්ට 'හායි' පාරක් දැම්මා. ලංකාවේ දේශපාලන මාකට් එක ගැන ඉවක් තියන උපුල්, එම හමුවේදී රනිල්ට නොකියා කියූ දේ නම් "සර් ආවට බොහොම ස්තුතියි. ඒත් ආව ප්‍රමාද වැඩියි." යන්නයි.

තරුණයන්ට දේශපාලනය උගන්වන්නේ නැතුව දේශපාලනිකව හුරතල් කිරීම හරි ආතල් වැඩකි. ලිබරල් දේශපාලන ඔලුවක් වන රනිල් රටේ ප්‍රශ්ණවලට රහසින් ලිබරල් අයිසින් දමමින් සිටින විට රටේ මාක්ස්වාදී දේශපාලන විප්ලවයක් කරන්න උත්සාහ කරපු විජේවීරගේ වර්තමාන දේශපාලන ජේ.වී.පී. පුරුක්, තරුණයන්ගේ සිහින මත රතුපාට සීනි ආවරණ තවරන්න හුරතල් දේශපාලන බජවු සංවිධානය කරයි. රනිල්ට මේ මල්වැසි අමතකකොට තවදුරටත් ලිබරල් භාවනාව අල්ලගෙන සිටීමට අපහසුවී මල් කඩන්නට ටියුෂන් පන්ති යෑමට සිදුවීම අරුමයක් නොවේ.

ජේ.ආර්.ගේ කැබිනට් එකේ වාඩිවී ජනාධිපති ධූරයක් ඇති කිරීමට උදවු කළ රනිල්ට ජනාධිපති ධුරයට පහළ සියළු ආයතන එදා සිට අද දක්වා ක්‍රම ක්‍රමයෙන් අදේශපාලනික හිස් විහිළු බවට පත්වෙන හැටි වේදනාකාරී නරඹන්නෙක් ලෙස බලා සිටීමට සිදුවීම අවාසනාවක් නොවෙයිද?

ජේ.ආර්. විසින් ජනාධිපතිධූරයක් නිර්මාණය කොට ලංකාවේ යලිත් රාජාණ්ඩු පාලන තන්ත්‍රයක් ඇති කළ පසු පාර්ලිමේන්තුව මරණාධාර සමිතියක් දක්වා උකුටු වකුටු වී ගියේය. මේ 'වෙනස' දරාගන්න බැරි සමාජය පාර්ලිමේන්තුව උත්තරීතරයි කියමින් තවමත් අඩා වැලපෙමින් සිටී. දේශපාලකයින් ද කිරිටොයි සුදු ඇදගෙන පාර්ලිමේන්තු ගොස් උත්තරීතර වීමට දඟලමින් සිටී. ඉඳහිට මේ ආයතනය තුල ගොන් පාට් දාන මන්ත්‍රීවරුන්ට ජනමාධ්‍ය පහර ගහන්නේ ද 'සභාවේ උත්තරීතරභාවය කෙළසනවා' යනුවෙනි. ඒත් මේ සියලු දෙනා දකින්න අකමැති, නමුත් දිනපතා දකින නපුරු සිහිනය නම් පාර්ලිමේන්තුව හා එහි උත්තරීතරභාවය යනු ජේ.ආර්. විසින් ආදේශපාලනික කොට, බියගන්වා පලවාහරින ලද අහසේ පාවෙන වචන සමුදායක් යන්නයි.

මේ දවස්වල සිදුවෙන බොහෝ හුදකලා සිද්ධීන් ටොකු ඇන ඇන ජනතාවට බොහෝ දේවල් කියාදෙයි. එනම් රටේ ඇත්තේ යන්ත්‍ර දෙකක් පමණක් බවත් ජනාධිපති යන්ත්‍රයට හා මාකට් එකේ යන්ත්‍රයට අමතර සියළු දේවල් අබලි ද්‍රව්‍ය බවට පත්ව ඇති බවත්ය.

ජනාධිපති ධුරය ඇරඹී දශක ගණනාවකට පසුව දැන් ලංකාවේ සමාජය විසින් ජේ.ආර්. පැතූ පාරිභෝගික දේශපාලනයේ මාර්කට් එක බිහිකොට ඇත. දැන් දේශපාලනය හරි අපූරුය. රිදී තීරයේ පෙම් රජා වන රන්ජන් රාමනායකට දෙබස් මාරුකොට පාර්ලිමේන්තුවේ දුෂණයට එරෙහි ජනතා වීරයා වීමට හැකිය. රිදී තිරයේ රන්ජන් අයියාට පෙම් බඳින කොලු කෙල්ලන්ට ඒ ගැම්මෙන්ම රන්ජන් මන්ත්‍රීතුමාට ආදරය කළ හැකිය. නටන්න, ගයන්න, වයන්න විතරක් නෙමයි ගැම්මට කතාකරන්න පුළුවන් දයාසිරිට තොග වශයෙන් මිනිස්සු ඡන්දය දුන්නේය.

අනාගතයේ රටේ දේශපාලනය කරන අයට රියැලිටි ෂෝ සංවිධායකයන්ගෙන් ටියුෂන් ගන්නට සිදුවෙන දිනය ඈතක නොවේ. සංවාදශීලි දේශපාලන ඔලු වෙනුවට මල්ටි ටැලන්ට් මන්ත්‍රීවරු අනාගතයේ අපට හමුවනු ඇත. මේ සිදුවීම් ගැන හොටු පෙර පෙර කදුළු සලන මිනිසුන්ට කීමට ඇත්තේ ඉවසීමෙන් බවුන් වඩන ලෙසයි. හෙට අනිද්දා රිදී තිරය හා දේශපාලන තිරය අතර ඉර අහෝසි වී යන අතර ලංකාවේ දේශපාලන ශබ්ද කෝෂයෙන් උත්තරීතර වචනය හැලී යනු ඇත.

ඉන්පසුව අවැසි අයෙකුට රට තුල යළිත් දේශපාලනය ආරම්භ කල හැකිය.

සරද සමරසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails