Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වසර කිහිපයක් ඇෆ්ගනිස්තානයේ ජීවත් වෙමින් ලද අත්දැකීම් සම්භාරය පසුබිමේ තබා ගෙන පුෂ්පා රම්ලනී විසින් රචිත සුදු හිම පලස කෙටිකතා සමුච්ඡය මෑතකදී කියවන්නට ලැබුණු සුවිශේෂී අනන්‍යතාවකින් යුතු කෙටිකතා එකතුවකි. ඇෆ්ගන් කාන්තාව ඉස්ලාම් මූලධර්මවාදීන්ගේ පාලනයට නතුව දැඩි පීඩනයකට හසු වී සිටිමින් නිවස තුළ සිරකාරියක මෙන්ම වහලියක බවට ද ලිංගික ගොදුරක් බවටද පත්ව ඇති ආකාරය රම්ලනී ගෙනහැර පාන්නේ තමන් ලද සජීවී අත්දැකීම් නැමැති මුතු අහුර අගනා මුතු පටක් සේ එකිනෙක පුරුද්දමිනි.

ඉස්ලාම් මූලධර්ම වාදයට නතුවන කාන්තාව නිවසින් බැහැර විය යුත්තේ හිස සිට දෙපතුළ දක්වා ආවරණව වූ ලෝගුවක් බඳු "බුර්කා" නමින් හැඳින්වෙන ඇඳුම හැඳගෙනය. පිරිමියා මින් අදහස් කරන්නේ කාන්තාව රාගය අවුස්සන්නියක් නොවිය යුතු බවය. එහෙත් ඇත්තටම රාගය ඇවිස්සෙන්නේ පිරිමියාටය. රාගය පාලනය කරගත නුහුණු පිරිමියා වෙනුවෙන් බැට කන්නේ ගැහැනියයි. ඉස්ලාම් මූලධර්මවාදය ඉහළින්ම රජයන ඇෆ්ගස්තානය වැනි රටකදී ලේඛිකාව ලැබූ අත්දැකීම් එරටට හුදකලා නොකොට එවන් සීමා මායිම් පනවන කවර දේශයකට වුවද අනන්‍ය කිරීමට ඇය සමත් වෙයි.

බුර්කාවෙන් සිරුර මුලුමනින්ම වසා නොසිටියද බොහෝ ආසියාතික කාන්තාවන් පෙළන මානසික පීඩනයේ වෙනසක් නොවන්නේ යැයි මේ කතා පෙළ කියවන පාඨකයාට හැඟී යන්නේ නම් එය පුදුමයට කරුණක් නොවේ. කෙටිකතා දොළසකින් සමන්විත "සුදුහිම පලස" කෘතියේ සියලුම කතා ඉතා උසස් ගණයේ ඒවා බව මින් අදහස් නොකෙරේ. එහෙත් සමස්තයක් ලෙස ගත් කළ අද්‍යතන ලාංකික කෙටිකතා කලාවේ සුවිශේෂී මං සලකුණක් තැබීමට මෙම කෙටිකතා සංග්‍රහය සමත්වන බව මගේ විශ්වාසයයි.

මෙහි එන කෙටිකතා අතර වඩාත් මා සිත් ගත්තේ "උණුසුම් ශීතල" නමින් එන කෙටිකතාවයි. ජෝර්දාන් ජාතික කාන්තාවක වන අමල්ගේ දෘෂ්ටි කෝණයෙන් ලියවුණු මේ කෙටිකතාව ප්‍රේමයේ උණුසුමෙන් මොළොක් වන අපගේ සිත් සීතලෙන් ගල් කරවයි. ප්‍රේමය සීතල වුවද කොතරම් උණුසුම් දැයි කියා දෙන්නේ රම්ලනීය. මුස්ලිම් ආගමේ දැඩි නීති රීති වලට යටත් විය යුතු ඇෆ්ගනිස්තානයේ සේවයට එන අමල්, ජෝර්දානයේදී එතරම් කාන්තා පීඩනයකට හසු වූ අයකු නොවන්නේ එරට කාන්තාව එතරම්ම දුරට ආගමේ නීති රීති වලින් සිරකාරියක කොට නොමැති බැවිනි. එහෙත් ගුවන් තොටුපලෙන් පිටතට එන ඇය අත් බෑගයේ වූ සාලුව ඉවතට ගෙන හිස ආවරණය කොට ගන්නේ මේ සීමා මායිම්වල පවතින වෙනස පාඨකයාට ඉඟියෙන් කියාපාමිනි.

ඇය පිළිගන්නට ගුවන් තොටුපලට එන්නේ ජටාවකින් හිස ආවරණය කොට ගත් ඉන්දියානුවෙකි. නැතහොත් සික් ජාතික සහෝදර නිලධාරියෙකි. "ඔළුව වහගෙන ඉන්න එක හොඳයි. මේ සංස්කෘතිය බොහොම අමුතුයි" කියා සික් ජාතික රණ්වීර් සිං අමල්ට පවසන්නේ තමන්ගේද හිස ආවරණය කොට තිබියදීය. මෙය අතිශය උත්ප්‍රාසජනක අවස්ථාවකි. ඇය නුහුරු කමට හිසෙන් ලිස්සා වැටෙන සාලුව තදකොට සකසා ගන්නා බව කීමෙන් අප තේරුම් ගත යුත්තේ මේ ජෝර්දාන් ජාතික කාන්තාව සිය මවුබිමේදී වඩාත් නිදහස් දිවි පැවැත්මකට හුරු වී සිටි බවය.

කතාව ආරම්භයේදීම "දිවි ඇති තෙක් කනිකඩව ඉන්නට මා සිත හා ඇති කර ගත් අදිටන ඔහු කඩා බිඳ දැම්මේය. මෙතෙක් කල් කිසිවෙකු නොකළ හාස්කමක් ඔහු කෙසේ කළේ දැයි මට සිතා ගත නොහැකිය" යනුවෙන් වූ අමල්ගේ සිතුවිල්ලේ "ඔහු" යනු රණ්වීර් සිං බව ක්‍රමක්‍රමයෙන් පාඨකයා වටහා ගන්නේ අමල්ව සිය ජීවිතයට අවියෝජනීය ලෙස ළං කොට ගැනීමට මේ ඉන්දියානුවා සමත්වීම පිළිබඳ තමන්ගේ සිත් ප්‍රේමයේ ආහ්ලාදයෙන් පුරවා ගනිමිනි.

ප්‍රේමයට ජාති ජන්ම, වර්ණ භේද, ආගමික සීමා නොවන්නේය. ප්‍රේමය යනු හිමිකර ගැනීමම ද නොවන අතර අනෙකා වෙත දක්වන අපරිමිත ගෞරවණීය ආශක්තභාවය ද වන්නේය. හිමිකර ගැනීමේ චේතනාවකින් තොරව යමෙකුගේ හදවතක් ආක්‍රමණය කළ නොහැකිද?

පුෂ්පා රම්ලනී "උණුසුම් ශීතල" කතාවේදී ප්‍රේමයේ උත්තරීතර බව ගෙන හැර පාන්නේ අගනා පද ගැලපීමකිනි. "ඔහු පියවරින් පියවර මගේ හදවත ආක්‍රමණය කරන්නේ සූක්ෂම ආකාරයටය. පුරා වසරක්ම ඔහු මා වෙනුවෙන්ම බලා සිටියේ ඉතා ඉවසීමෙනි. මේ වසර තුළ මා ඔහුව පරික්ෂාවට ලක් කළා යැයි මට සිතේ. ඔහුගේ නිවුණු ගති ගුණ මා සිත ආදරෙන් ඔත්පළ කර ඇත. එහෙත් මෙරට තුළ පවතින සංස්කෘතික තහංචි හුදකලාව අපිට හමුවීමට තිබෙන අවකාශ අහුරා ඇත. මෙහි ප්‍රේමය තහනම් වචනයකි. ඔහුට මගේ නවාතැනට ඒමට හෝ මට ඔහුගේ නවාතැනට යාමට හෝ කිසිසේත්ම කළ නොහැකිය. හැඟීම් වලට යදම්, අඟුලු දා හිම තට්ටු යට වැළලිය යුතුව ඇත."

මේ ප්‍රේමවන්තියින් මුහුණ දෙන ඛේදවාචකය අපට ආගන්තුක වූවද ඉන් අපේ සිත් සසල වේ. විඳගන්නට ඉඩක් නැති ප්‍රේමය...! එහෙත් සංස්කෘතික වෙනසට අනුව ප්‍රේමය වර නැගෙන්නේ විවිධාකාර මානයන් ඔස්සේ බව ද ලේඛිකාව අපට සිහිපත් කර දෙන්නේ අපූර්ව වදන් පෙළෙකිනි. එනම් ඉතාලි ජාතික කාන්තාවක් හා අමල් අතර ඇතිවන දෙබසක් ලෙසිනි.

"ඔයා දන්නවද අමල් මම මගේ එක පෙම්වතෙක්ව අත්ඇරියේ ඇයි කියල. එයා මට සිගරැට් බොන්න දෙන්නෙ නැති නිසා. තව පෙම්වතෙක් අත් ඇරියේ එයා පාවිච්චි කරන සුවඳ විලවුන් වල සුවඳට මට ඔක්කාරය හැදෙන නිසා. ඔයා දන්නවද... මගේ තව බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා එයාට හරියට කෙල්ලෙකුගේ මූණ ඉඹින්නවත් දන්නෙ නැහැ. ඉතිං එයත් එක්ක ආශ්‍රය කරලා ඇති පලේ මොකක්ද?"

"ප්‍රේම නොකර කාව හරි සිප ගන්න පුළුවන්ද?"

"මොකෝ බැරි? එයාගේ සිප ගැනීමේ තියෙන ආකර්ෂණයටම ප්‍රේමයක් ඇති වෙන්න පුළුවන්."


ප්‍රේමය පිළිබඳ මෙවන් අර්ථකථන දෙන පුෂ්පා රම්ලනී ආගමික සම්ප්‍රදායයන් මගින් සිරගත කළ ලිංගිකත්වය මෙන්ම ඒ මඟින් සඟවා තබන කුහකත්වය ද මනා ලෙස විදාරණය කරයි.

ආරබි රටවල පවා සමහර ගැහැනු බුර්කා තුළ සඟවා පිරිමි සිය අවශ්‍යතා ඉටු කරවා ගැනීමට මෙන්ම ගැහැනුන්ව අභිසාරිකා වෘත්තියේ යෙදවීමට ආගමික සම්ප්‍රදායයන් යොදා ගන්නා බව අපට නොබියව පෙන්වා දෙන ලේඛිකාව සමහර හෝටල් වල ලිංගික වෘත්තිකයන් ලෙස සේවයේ යොදවා ඇති ස්ත්‍රීන් ගැනුකරුවන් පැමිණෙන තෙක් බුර්කා තුළට වී සිටින බවත් හදිසියේ හෝ පොලීසියෙන් පැමිණෙන බව දැන ගත් විට පිරිමින් ද බුර්කා තුළ සැඟවී සිටින බවත් අනාවරණය කරන්නේ ලෝකය මොන තරම් සංකීර්ණදැයි විමසමිනි.

"දෙවන බිරිඳ" නමින් එන කෙටිකතාව කාන්තා පීඩනයේ ඈත ඉසව් කරා අප කැඳවාගෙන යන්නට සමත් වේ.

කලීදා යනු ගුල්නිසාගේ සැමියාගේ අනෙක් බිරියයි. කලීදාට විශේෂ සැලකිලි ලැබ පළමු තැනට පත් වන්නේ ඔහුට පුතුන් දෙදෙනෙකු ලබා දී ඇති හෙයිනි. ගුල්නිසාට දරුවන් නොමැති හෙයින් ඇය ගෙදර මෙහෙකාරිය වී කලීදා ස්වාමි දියණිය බවට පත්ව සිටින්නීය.
දොළොස් හැවිරිදි පාසල් යන වියේ හුන් ගුල්නිසා ඇයට වඩා වසර ගණනාවකින් වැඩිමහලු වූ රහමතුල්ලා හට විවාහ කොට දෙන්නේ දෑවැද්ද ලෙස ලක්ෂ දෙකක් ඇයගේ දෙමාපියන්ට ලැබුණු හෙයිනි. අපේ රටවල මෙන් දෑවැද්ද දෙන්නේ කාන්තාවගේ පාර්ශවය නොවේ.



ඔහු ඇය විවාහ කොට ගන්නේ බිරිඳක් අවශ්‍ය නිසා නොව තමන්ගේ පික්පොකට් ගැසීමේ ව්‍යාපාරයට යෙදවීම සඳහාය. ඉනුත් නොනැවතී ඇයව ගණිකා වෘත්තියේ යෙදවීම සඳහාය. ඇගේ ඛේදවාචකය පොලිසිය හෝ නීතිය පිළිගන්නේ නැත. පික් පොකට් ගසා හසුවන ඇය රැඳවුම් භාරයට ගත්තද අවුරුදු දෙක තුනකට පසු ඇයව නිදහස් කොටගෙන තමන්ගේ නිවසට ගෙන යන්නට පිරිමියාට වරම් ලැබේ. වරදට පෙළඹ වූ පිරිමියා නිදහස්ය. දඩුවම් ලබන්නේ ගැහැනියයි. පුරුෂ මූලික සමාජයක කාන්තාවකගේ ඛේදවාචකය එසේය. විශේෂයෙන් ආගම් මූලධර්මවාදය නැමැති යක්ෂයා පිරිමියා ස්වර්ගයටත් ගැහැනිය නිරයටත් හෙළන්නට සියලු කාරණා සකස්කොට ඇති සේය.

මූලධර්මවාදී තලෙයිබාන් පාලනය යටතේ ගැහැනුන්ට පාසල් අධ්‍යාපනය ලබන්නට වරම් නැත. ඒ අනුව ඔවුන් අකුරු ලියන්නට කියවන්නට දන්නේ නැත. හිස සිට දෙපතුළ දක්වා සිරුර ආවරණය කොට ගත යුතුය. රැකියාවල් තහනම්ය. ටීවී තහනම්ය. එපමණක් නොවයි තම සිතැඟි පරිදි තමන් රිසි අයෙකුට ආදරය කරන්නට තහනම්ය.

ආදරය කිරීමේ වරදට තරුණිය ගල්ගසා මරා දැමීමේ ක්‍රමවේදය ප්‍රශ්න කරන "කුල ගර්වය" නැමැති කෙටිකතාව පාඨකයාගේ සිත් සතන් කීතු කීතු වලට ඉරා දැමීමට සමත් වනු නිසැකය. අහෝ... ඛේදවාචකයක තරම...!

කරීම් මුල්ලාගේ හතරවෙනි භාර්යාව වෙන්නට තෝරාගත් අමීනා වාසනාවන්ත කෙල්ලක් ලෙස පියා පවසන්නේ ගැහැනු පිළිබඳ ඔවුන් දක්වන තිරිසන් ආකල්පය ගෙන හැර පාමිනි.

"උඹලව අපි හදන්නේ විකුණන්න කියල උඹලා දන්නෙ නැද්ද? අපි හදන බැටළුවන්ගෙයි උඹලගෙයි වෙනසක් නැහැ. පුංචි වෙනසකට තියෙන්නේ වික්කට පස්සේ බැටළුවන්ව මරණවා. උඹලා අලුත් ජීවිතයක් ලබනව." මේ පසුගාමි, අන්ත තිරිසන් අදහස ඉදිරියේ එනම් ගඳ ගහන මුල්ලාකෙනෙකුගේ හතරවැනි බිරිඳවීමේ අවාසනාවන්තකමට එරෙහිව තමන් ප්‍රේම කරන තරුණයා තනි පංගලමේ මුණ ගැසීමට යන අමීනා එකී වරදට දඩුවම් ලෙස පණ පිටින් හිස තෙක් වළ දමා පස් යටකොට ගල්ගසා මරා දැමීමට ගමේ "ෂූරා" සභාව ගන්නා තීරණය ක්‍රියාත්මක වන ආකාරය කියාපාන මෙම කෙටිකතාව ඊනියා පාරිශුද්ධ අන්තවාදීන්ගේ ම්ලේච්ඡ මිනිස් ඝාතන ගැන එල්ල කරන්නේ දැඩි විවේචනයකි.

ෂාරියා නීතිය යටතේ පවුලේ කුල ගෞරවය කෙළසීමේ වරදට ඇත්තේ එකම තීන්දුවකි; දඬුවමකි. "කෙල්ලන්ට නම් මරණීය දඬුවමය" යනුවෙන් ලේඛිකාව සිය මතය ගෙන හැර පාමින් විසිඑක්වන ශතවර්ෂයේදී මෙබඳු ම්ලේච්ඡ මිනිස් ඝාතන සිදුවීම දැඩි ස්වරයකින් ප්‍රශ්න කරන්නේ මෙලෙසිනි.

"'නුඹලාගෙන් කිසිම පාපයක් නොකළ කෙනෙක් නුඹලා අතර වේ නම් පළමුවන ගල ගසා පල්ලා' යැයි කියන්නට ජේසුස් වහන්සේ පහළ වූයේ නැත. ඇය අමීනා මිස මරිය මග්දලේනා නොවූවාය. හරි වැරදි කියා දෙන්නට ඇත්ත නැත්ත පහදා දෙන්නට මොහොමද් නබිතුමාද නැත. පටාචාරාට, කිසාගෝතමීට හෝ රජ්ජුමාලාට හෝ පිහිට වන්නට පැමිණි ලෙසින් ගෞතම බුදුන් වහන්සේටද මේ අබුද්දස්ස කාලයේ පහළ විය නොහැකිය. කට පාඩමින් අකුරු ගලපා කුරානය කියවන්නට නොදත් නූගත් මුල්ලාගේ අණට සියලු දෙනා ඇහුම්කන් දිය යුතුය."

"උන්ගේ වැඩේ තිරිසන්නු වගේ ළමයි බෝ කරන එක. ගැහැනුයි, ළමයිනුයි අපා දුක් විඳිනවා." යනුවෙන් "බුර්කාවෙන් එපිටට" කතාවේ ඉක්බාල්ගේ මුවගින් කියා පාන රම්ලනී ඇෆ්ගන් කාන්තාවන් නොදැනුවත්කමින් තෙල් වැඩියෙන් දමා ආහාර පිසීමේ ආදීනව ගැනද කියා පෑමටද අමතක නොකරයි.

"ලංකාවේ ගෑනුන්ගේ ආයු කාලය හැත්තෑවක් හැත්ත පහක් විතරලු. සමහරු ඊටත් වඩා ජීවත් වෙනවලු. අපි කන හරක් මස්, බැටළු මස් වගේම එළු මස්වල හරියට මේදය තියෙනවලු. මස්වල තෙල්කෑලි අයින් කරල කන්නලු."

"අපි දන්නේ නෑනෙ, ඒ හරියක්. මම නං කඩෙන් ඉල්ලන්නෙම හොඳ තෙල් කෑල්ලක් එක්ක තියෙන මස් ටිකක්..." යනුවෙන් දෙබසක් ගොඩ නංවන ලේඛිකාව ඉතා අවබෝධයෙන් සාමාකාමී දිවි පෙවතක් ගෙවන දිල්බර් හා ඉක්බාල්ගේ පවුල පාඨකයාගේ ඉදිරියේ විදාරණය කරන්නේ ඛේදවාචකයකට හසු වූ කරුමක්කාර ජීවිත ගෙවන වැඩිමනත් කාන්තාව අතර ඉතා ලිබරල් අදහස් දරන පිරිමියාගේ රැකවරණය ද ලබන කාන්තාවන් ඉඳහිට හෝ හමුවන බව පසක් කොට දෙමිනි. ඇය ඒ බව කියන්නේ නිර්මාණාත්මක වදන් පෙළකට මුසු කරමිනි.

"දිල්බර් තුළ ඉක්බාල් කෙරෙහි ක්ෂණිකව සෙනෙහෙ කන්දරාවක් එකපාරටම මතුවෙලා මෝදු වෙන්න ගත්තා. මෙච්චර කල් ළමයින්ගෙ තාත්තා හැටිය, තමන්ගෙ සහකාරයා හැටියට තිබුණු සෙනෙහසට වඩා වැඩි යමක් හිත පිරිමදිනවා. හිම කාලයේ හිම කඳු පිසගෙන සීතල සුළං රැල්ලක් ගිම්හානය හමා ආවා වගේ."

"සුදු හිම පලස" කෙටිකතා සමුච්ඡය, සීත සුළං රැල්ලක් ගිම්හානයට හමා ආවාක් මෙන් අපට දැනෙන්නේ එබැවිනි. යුද්ධයේ දරුණු පලවිපාක වලට මුහුණ දුන් ඇෆ්ගනිස්තානය වැනි රටක ජන ජීවිතය තලා පෙළා දමන ආකාරයද පුෂ්පා රම්ලනී තම කෙටිකතා වලට නිමිත්ත කොට ගන්නේ හුදු ප්‍රචාරකවාදි එළැඹුමකින් එහා ගිය නිර්මාණාත්මක බවකිනි. ඇය බොහෝ විට කතාව පෝෂණය කරන්නේ දෙබස් මගිනි.

"ඔය අසමජ්ජාති හැත්තට කටේ කිරි සුවඳ ගිය නැති පුංචි කෙල්ලක් හරි කමක් නැහැ. උන්ගේ තිරිසන්කම පිරිමහ ගන්න. තු∙ විතරක් හිවල්ලු....."

"දෙවියන්ද අසරණය" කෙටිකතාවේ නස්රීන් ලවා ඇය නිරුවත් කරන්නේ සාපලත් යුද්ධයේත්, යුධවදින්නන්ගේත් හෙළුවයි.

"රුසියානුවන්ගෙන් පස්සේ මුජහිදීන් කාරයෝ. රුසියානුවෝ පිට දේශක්කාරයෝ. මුජහිදීන් කාරයෝ අපේම රටේ අපේම සහෝදරයෝ. ඉවක් බවක් නැතිව සහෝදරයන්ට එරෙහිව සහෝදරයන් මරා ගන්නවා. පුදුම අවමානයක්. පුදුම බල ලෝභයක්... ඊට පස්සේ තලෙයිබාන් කාරයෝ. එපාම කරපු හැත්ත."

මේ කතාව කියවා ගෙන යද්දී මගේ මනසේ නිතැතින්ම ඇඳුනේ අපේ රටේ උතුරු කරයේ පැවති ම්ලේච්ඡ යුද්ධයයි. පිටදේශක්කාර ඉන්දීය සාමසාධක හමුදාවෙන් ද, තමන්ගේ රටේම සහෝදරයන් වන සිංහල ජාතික හමුදාවෙන් ද බැට කෑ දෙමළා නිතැතින්ම සිහියට එනු වැළැක්විය නොහැකි විය.

කෙටිකතා දොළසකින් සමන්විත පුෂ්පා රම්ලනීගේ "සුදු හිම පලස" කෙටිකතා සමුච්ඡයේ එන සෑම කතාවක්ම වෙන් වෙන්ව ගෙන අදහස් දක්වන්නට ඉඩකඩක් නැතිමුත් සමස්තයක් ලෙස ගත්විට අපට බෙහෙවින් දුරස්ථ අත්දැකීම් සමුදායක් අපේ ජීවිත වලට සමීප කරමින් නිර්මාණාත්මක ලේඛනයකට ගොනු කිරීම ගැන අප ඇයට ස්තූති වන්ත විය යුතුය.

මෙහි එන සමහර කතා කිසියම් වාර්තාකාරී ස්වරූපයකට ළං වී ඇත්තේ ලේඛිකාව මේ අත්දැකීම් සමගින් ජීවත් වෙමින් එහි අපූර්වත්වය මෙන්ම ඛේදනීය බවද විඳ දරා ගත් හෙයිනැයි සිතමි. "සුදු හිම පලස", "අවමානය", "කැලෑපත්තර", "කෙටිකතාවක් නොවන කතාවක්" යන කෙටිකතාවල මේ ස්වරූපය දක්කනට හැකි නමුදු ඒවාද ආයාසයකින් තොරව කියවාගෙන යා හැකි පරිදි රචනා කරන්නට රම්ලනී සමත් වී ඇත්තේ එකිනෙකට වෙනස් අත්දෑකීම් සමුදායකින් මේ කතා පෝෂණය වී ඇති හෙයින් විය යුතුය.

ඉස්ලාම් මූලධර්මවාදීන්ගේ ග්‍රහණයට හසුව පීඩා විඳින ඇෆ්ගන් කාන්තාවගේ මෘතකලේබර වන් ජීවිත සුවිශාල කැන්වසයක වර්ණ ගන්වන පුෂ්පා රම්ලනී සමස්තය ඉතා නිර්මාණාත්මකව එක් ඡේදයකට ගොනු කරන අන්දම බලන්න. මේ උපුටා ගැන්ම "මැටි බෝනික්කෝ" කෙටිකතාවෙනි.

"මගේ නම හකීමා වුණත්, සොරායා වුණත් තේරුමක් නැහැ. නමට හරි නමේ තේරුමට හරි කවුරුවත් සලකන්නේ නැහැ. කාගේවත් නමින්වත්, වාසගමෙන්වත්, පෙළපතින්වත් වැඩක් නැහැ. මම ගැහැනියක්. අනික මම පෂ්ටුන්ද , තජික්ද , උස්බෙකීද, හසාරාද කියල වැඩකුත් නැහැ. අපි සේරම පාරේ දැක්කොත් බුර්කාවලින් වහපු මැටිරූප වගේ තමයි පෙනෙන්නෙ. උන්ට ඕනි ඕනි විදියට අඹා ගන්න පුළුවන්, අවශ්‍ය විදියට කඩලා බිඳලා විනාශ කරන්න පුළුවන් මැටි රූප. තවත් දෙයක්, උන් ගහන ගහන බෙර පදයට නැටිය යුතු, නැත්නම් උන්ගේ අතේ තියෙන නූල් වලට එහාට මෙහොට නටන්න පුළුවන් මැටි රූකඩ බෝනික්කියෝ. සමාජය අපිව මැටි ගුලි බවට පත්කරලා. ඒත් අපේ ඔළු ගෙඩි වල මැටි නැහැ. අන්න ඒ කාරණය හොඳාකරවම දන්න නිසා තමයි, ලෝකේ කොහේවත් නැති නීති දමල අපිට නොමිනිසුන්ට වගේ සලකන්නේ."

පුෂ්පා රම්ලනීගේ "සුදු හිම පලස" කෙටිකතා සංග්‍රහය නැවත නැවත කියවා නව අර්ථ කථන ලබා දිය හැකි කාලාන්තරයක් යන තුරුම අපගේ හදවත් පාරන අත්දැකීම් සමූදායක් ගොනු කළ උසස් මට්ටමේ කෙටිකතා එකතුවක් ලෙස ලියා තැබීම මේ කෘතියට හා ලේඛිකාවට කරන සාධාරණයකි.

Image- Lana Slezic

හෙන්රි වර්ණකුලසූරිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails