Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අලුත්ගම-බේරුවල ගිනිජාලා ගැන පළමු න්‍යායික විශ්ලේෂණය

නලින් ද සිල්වා, ගුණදාස අමරසේකර හා චම්පික රණවක යනු සිංහල බෞද්ධ ජාතිකවාදයේ ප‍්‍රබුද්ධ ප‍්‍රකාශකයන් ලෙස භෞතීස්ම කළ ලංකාවේ ඇතැම් නිදහස් වම්මුන්ට දැන් ගලගොඩඅත්තේ ඥානසාර වර්ගයේ පිළිතුරක් ලැබී ඇත. නලින් ලා ගුණේලා හා රණාලා සමග කරට කර, මුහුණට මුහුණ සංවාද භාෂණයක පැටලී සිංහල බෞද්ධ ජාතිකවාදයේ සාරමය සත්‍යය ඔවුනටම හෙළිදරව් කරදී අනාගත නිවැරදි යහපත දෙසට පියවර තැබීමක් ඔවුන්ගේ නිර්මල අපේක්‍ෂාව වූවා විය හැකිය. සත්‍යයට රණ හඬක් ඇති බවත් එහි පරීක්‍ෂාව යක්ෂ අනේකත්වයේ (Demonic Otherness) ග‍්‍රහණය තුළින් යළි සොයාගන්නා බවත් ව්‍යවහාරිකව කියා දෙනු ඇත්තේ නොබෝදා පැන නැගි බේරුවල-අළුත්ගම පන්නයේ ගිනි ජාලාවන්ගෙනි.

ජාතික- වාර්ගික ගැටුම් ඇති වන විට එය පාලනය කිරීමේ, එරෙහිවීමේ හා සංවිධානාත්මක ප‍්‍රතිවිරෝධයක් පැනවීමේ අත්‍යවශ්‍යතාවය අවිවාදිතය. වාස්තවික සමාජ හිංසනය වළකාලීමේ අරුතින් එය පුරවැසි වගකීමකි. එවැනි මොහොතක හදිසි අවස්ථා දෘෂ්ටිවාදයන් තැන තැන මතුව විවිධ ක්‍ෂණික විසඳුම් යෝජනාවීම ද ස්වභාවයකි. එහෙත් බහුත්ව විමුක්ති අරගල කතිකා එකිනෙක ගැටෙමින් ඉතිහාසයේ රැඩිකල්කරණයන්ගේ අඛණ්ඩතාවය තහවුරු කරන නව ප‍්‍රජාතාන්ත‍්‍රික විප්ලවයක් කෙරෙහි අධිෂ්ඨානශීලී වන සමාජයක් ගොඩනැගීමේ අරුතින් බුද්ධිමය හා සදාචාර නායකත්වයක් අනුයන සංයුක්ත විග‍්‍රහයන් ඉල්ලා සිටින තත්ත්වයකි දැන් නිර්මාණය වී ඇත්තේ.

ජාතිකවාදය හා ඉන් නිපන් වාර්ගික-ආගමික අන්තවාදයන් බිහිවීමේ තතු වඩා පුළුල් චින්තන භූ දර්ශනයක් තුළ ස්ථානගත කිරීම ව්‍යවහාරික දේශපාලනය සමග ආබද්ධය. ජාතිකවාදයේ විසකුරු ශක්තිය අභිමුව පවා න්‍යායේත්-භාවිතයේත් ඒකත්වය දීප්තිමත් පිළිතුරක් වනු ඇත.
එනයින් සිංහල-බෞද්ධ ජාතික-වර්ගවාදයේ වත්මන් යුග නිමේෂය විශ්ලේෂණය කිරීම අරභයා අපගේ ප‍්‍රවේශය ද්විත්ව පැතිමානයන් ග‍්‍රහණය කර ගැනීම කෙරෙහි අනුරාගිකය.

1. රාජපක්‍ෂ හෙජමොනියේ දේශපාලන ආර්ථික සමකාලය
2. ජාතිකවාදයේ, වර්ගවාදයේ පසමිතුරු ලූබ්ධිමය ආයෝජනය


ප‍්‍රගතිශීලී පරමාර්ථ දේශපාලනය යනු ලංකා-ගෝලීය මිනිස් සමාජයේ අනාගත නිවැරදි යහපත නම් චින්තනයේ මූලධාර්මික රැඩිකල් විශ්ලේෂණයක් සමග අනුයන ව්‍යවහාරික භාවිතයක් අවැසි වේ. ජාතික වර්ගවාදයන්ගේ පැන නැගීම් දේශපාලන සමකාලීනත්වය තුළ සිතියම් ගත කරගැනීම අනුල්ලංඝනීය සාධකයක් වන තරමටම එහි කතිකා විශ්ලේෂණය තුළ වන න්‍යායික අඩංගු පිළිබඳ බුද්ධිමය ගවේෂණයක් සිදු කිරීම නොවැළැක්විය හැකි වේ. ප‍්‍රවේශ ඇරඹුම සඳහා රාජපක්‍ෂ හෙජමොනියේ දේශපාලන ආර්ථික සමකාලය අක්‍ෂගත වන්නේ කෙසේද යන්න වියුක්ත-සංයුක්ත ද්විත්වාකාරයෙන් ම විමර්ශනය කිරීම පළමුව වැදගත්ය.

මාක්ස්වාදීන්ට අනුව ජාතිකවාදය, වර්ගවාදය හා ආගම්වාදය යනු ජාතික රාජ්‍යයේ දෘෂ්ටිවාදී කවචය යි. ඉන් ධනවාදී වෙළඳ ආර්ථිකය ආරක්‍ෂිත ආවරණයකට ලක් කරමින් නූතන සමාජයන් හි පන්ති ගැටුම හා ප‍්‍රතිවිරෝධය සඟවාලනු ලබයි. එහෙත් පරිභෝජන සංකීර්ණතා අත්කරගෙන ඇති නව ලෝක අධිරාජ්‍යයේ පශ්චාත් බහුවිධ සමාජයන් තුළ පැනනැගෙමින් ඇති ජාතික-වාර්ගික-ආගමික සමස්තකරණයන් අවබෝධ කරගැනීම අභිමුව සිදුවන එක් ප‍්‍රතිඵලයක් වන්නේ මාක්ස්වාදයේ දෘෂ්ටිවාදී සීමා අනාවරණය වීමයි. සමාජ පර්යාය ගොඩනැංවීමේ රහස, සතුරන් හා සමාජ පූර්ණත්වය පිළිබඳ කියවීම් මූලධර්මයන් සමග බැඳෙන එම මග යෝජනා කරන්නේ නව ප‍්‍රඥා පාරමිතාවකි. ගතානුගතික මාක්ස්වාදී පද්ධතියට යා හැකි දුරක් ඇත. ආන්තික සමස්තකරණවාදයන් පුළුල් මනසින් ග‍්‍රහණය කර ගැනීමත් ඊට එරෙහිව නව ප‍්‍රජාතාන්ති‍්‍රික බහුත්ව විමුක්ති සටන් මාදිලීන් ගොඩනැංවීමත් යන විෂය ක්‍ෂේත‍්‍රයන් ස්ථානගතව ඇත්තේ එම දුරට ඔබ්බෙනි.

ජාතික-වාර්ගික-ආගම්වාදයන් විසින් සමාජය රාශිභූත කිරීමේ දක්වන මෙම බුහුටිකම කුමක්ද? තිස් වසරකටත් වඩා ඇවිළී ගිය ජන ඝාතක යුද්ධයේ සංකේතාත්මක නිමාවකටත් පසු පවා චීවරධාරී කල්ලි ඇතුළු විවිධ වාර්ගික මතධාරීන්ට තවදුරටත් සැලකිය යුතු තරමේ සමාජ සුජාතකරණයක් පවත්වා ගනිමින් ප‍්‍රචණ්ඩ සමාජ හිංසනයක් කළ හැකිව ඇත්තේ මන්ද? නිදසුනකට බොදු බල සේනා සංවිධානය හා එහි කුප‍්‍රකට ප‍්‍රහාරකයා වන ගලගොඩඅත්තේ ඥානසාර නම් චීවරධාරියා අත්කරගෙන ඇති මතවාදී බලාධිපත්‍යය අනපේක්‍ෂිත සාර්ථකත්වයක්ද?

සැබවි, ලංකාවේ සමාජ පරිකල්පනය (Social Imagination) සලකුණු කෙරෙන සිතිජ රේඛාව ජාතිකවාදයයි. සමාජ පරිකල්පනයක් ගොඩනැගෙන්නේ සමාජ මිථ්‍යාවක් දිගින් දිගටම පුනරාවර්තනය වීමේ ව්‍යුහයන්ගෙනි. නිදහසින් පසු දකුණේත් ඊට සාපේක්‍ෂව උතුරේත් පැන නැගි ජාතිකවාදී කතිකාවේ මිථ්‍යාමතික අවකාශය අද වන විට සමාජ පරිකල්පනයක් බවට පරිවර්තනය වී තිබේ. සමාජ සාමූහික ඉල්ලීම්, බලාපොරොත්තු හා පෙළඹවීම් සියල්ලේ පරිධිය තීරණය කරන දෘෂ්ටිවාදී මෙහෙයුම එහි මතු තලයයි. එහෙත් අදාල යුග නිමේෂ තුළ සිදුවන දේශපාලන-ආර්ථික-සංස්කෘතික ඛණ්ඩනයන්ට අනුව මෙම සමාජ පරිකල්පනයේ සිතිජ අවකාශය නව මුහුණත් අත්කරගනිමින් වෙනස් මානයන් පිළිබිඹු කරවයි. නව සමාජ මිථ්‍යාවන්ගේ වර්ධනයන් හා පෝෂණයන් අභ්‍යන්තරීකරණය කර ගනිමින් සමාජ පසමිතුරුතාවයන් යළි සංවිධානය කරගැනීමේ අරුතින් ජාතික-වර්ගවාදයන් ජීවමාන වනු පෙනේ. නිදසුනකට පනහ දශකයේ සිංහල බෞද්ධ ජාතිකවාදයට වඩා අසූව දශකයේ එම ජාතිවාදයත්, එයම 2004 න් පසු අත්කරගත් විෂම රූපකාරයන් එකිනෙකින් සංකීර්ණය. අද දවසේ සිංහල බෞද්ධ ජාතිකවාදය-වාර්ගිකත්වය අවබෝධ කර ගැනිමේදී එය වත්මන් නව-ලිබරල් ගෝලීය අධිරාජ්‍යය තුළත් එහිම යුව රාජ්‍යයක් වන රාජපක්‍ෂ රාජාණ්ඩුවට අදාළවත් එහි පසමිතුරු බලයන්ට සාපේක්‍ෂවත් විග‍්‍රහ කරගත යුතුව ඇත. ඊට සමානවම ජාතිවාදයේ ලූබ්ධිමය සමාජ අවිඥානය හා එහි අසැබි ප‍්‍රමෝද වස්තුව පිළිබඳ විශ්ලේෂණයන් විසින් ධනවාදී ලෝක ක‍්‍රමයේ දෘෂ්ටිවාදී ෆැන්ටසියක් බවට ජාතික- වාර්ගිකත්වය පත්වීමේ සූක්‍ෂමතා න්‍යායිකව අනාවරණය කරදෙයි. ජාතිකවාදය පිළිබඳව වන වාස්තවික චින්තන දේශපාලන ලෝක දැක්මක් නිර්මාණය කර ගැනීමේ ප‍්‍රවේශයක් ඉන් විවෘත කරගත හැකි වනු ඇත.

1. රාජපක්‍ෂ හෙජමොනියේ දේශපාලන ආර්ථික සමකාලය තුළ සිංහල බෞද්ධ ජාතිකවාදය/වර්ගවාදය

ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජන ප‍්‍රජාව හා එම සංස්කෘතික ජීවිතය ඉලක්ක කරගනිමින් ආසන්න කාලය තුළ එල්ල වූ වෛරී කුමන්ත‍්‍රණ ප‍්‍රලාප හා බිහිසුණු හිංසනයන් යනු රාජපක්‍ෂ පාලන බලාධිකාරය හා එහි හෙජමොනික සැකැස්ම විසින් අනු දුටු නව රණකාමී සිංහල බෞද්ධ ජාතිකවාදයේ/වර්ගවාදයේම අලූත්ම සළුපිළි වන බව නොකියා බැරිය. එම හෙජමොනිය කෙරෙහි පවත්වාගත් ජනතා ජනප‍්‍රියතාවයේ ඇති වූ පැහැදිලි ඉරිතැලීම් හේතුවෙන් පාලනයේ නව රූපකාරයන් අත්කර ගැනීම සමග ජාතික වර්ගවාදයේ මෙම අලූත් වටයන්ගේ පැනනැගීම් අවියෝජනීයය. රණකාමී සිංහල බෞද්ධ ජාතිකවාදය රාජපක්‍ෂ හෙජමොනියේ දේශපාලනික දෘෂ්ටිවාදී තලය ලෙස විරාජමාන වන්නේ මන්ද? අපගේ විග‍්‍රහය වන්නේ ගෝලීය- ලංකා දේශපාලන ආර්ථික සංකීර්ණත්වය සමග මෙම ද්විත්වයේ ඇති සම්බන්ධය සංයුක්ත කරලන බවයි. මෙහිදී නව ලිබරල් ධනවාදී ගෝලීය අධිරාජ්‍යයේ නව අදියර තුළ රාජපක්‍ෂ හෙජමොනිය හා එහි දේශපාලන අතිරේකය වන සිංහල බෞද්ධ ජාතිකවාදය දක්වන ඒකාබද්ධ සම්බන්ධය කුමක්ද යන්න අවබෝධ කර ගැනීම වැදගත්ය. ඒ අනුව දේශපාලනය, දෘෂ්ටිවාදය හා ආර්ථිකය අතර එක්ව බැඳුණු ඓතිහාසික බන්ධනයක් ලෙස මූර්තිමත් කෙරෙන නව ලිබරල් ධනවාදයේ වත්මන් ලාංකේය සමාජ සැකසුම අපගේ සංවාද ක්ෂේත‍්‍රයකි.

"නව ලිබරල් ගෝලීය ධනවාදයේ සිංහල බෞද්ධ වාර්ගික ජාතිකවාදී හෙජමොනිය හා රාජපක්‍ෂ බල හවුල" ලෙස අප එය න්‍යායිකව සංකල්පගත කර සිටිමු.

අන්තෝනියෝ ග‍්‍රාම්ස්චි නම් වූ දේශපාලන සිතන්නාගේ අරුතෙන් ඓතිහාසික හවුලක් යනු දේශපාලන සමාජය, සිවිල් සමාජය හා ආර්ථික ව්‍යුහය අතර වන ප‍්‍රතිවිරෝධතා දරාගත් සුසම්බන්ධීය පැවැත්මකි. අධෝව්‍යුහය හා උපරිව්‍යුහය අතර මෙම සංයුක්ත ඒකාබද්ධතාවය ගොඩනැගෙන්නේ ඓතිහාසික නියාමයකින් නොව හෙජමොනික අරගලයේ දේශපාලන ගොඩනැංවීමක් ලෙසයි. මෙය දෘෂ්ටිවාදී ව්‍යවහාරය හා දේශපාලන අධිෂ්ඨානය තුළින් ගොඩනැගෙන පාර්ශවීය හා සාපේක්‍ෂ සමස්තයකි. රාජපක්‍ෂ බලහවුල නිර්මාණය වූ දශකයක තතු අවලෝකනය කළහොත් මෙම දෘෂ්ටිවාදී දේශපාලන අභිලාසයන්ගේ අරගල නිමේෂ න්‍යායිකව හඳුනා ගැනීමකට ලක් කළ හැකි වේ. ඒ සඳහා හෙජමොනික දේශපාලනය හා එහි රාජපක්‍ෂවාදී ශේෂපත‍්‍රය කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇත.

හෙජමොනික දේශපාලනය ක‍්‍රියාත්මක වන්නේ සදාචාර හා බුද්ධිමය නායකත්වයක් (Moral and Intellectual Leadership) ජනතාව මත අභ්‍යාස කිරීමෙනි. නිර්ධන පංතිය ප‍්‍රමුඛ පෙරටුගාමී පක්‍ෂය විසින් සිය ප‍්‍රගතිශීලි ඓතිහාසික කාර්යභාරය වෙනුවෙන් සෙසු පංතීන් හා ශ්‍රේණින් සමග උපක‍්‍රමික සන්ධානයකට එළඹීමේ ලෙනින්වාදී 'දේශපාලන නායකත්වය' පිළිබඳ අදහසට වඩා ඉහත අභ්‍යාසය පුළුල් ක‍්‍රියාවලියකි. මනුෂ්‍යයා පුද්ගලයකු ලෙසත් සමාජ ජීවියකු ලෙසත් පවත්වා ගත යුතු නිවැරදි ලෝක දැක්ම හා භාවිතය කුමක්ද යන්න බුද්ධිමය නායකත්වය විසින් පෙන්වා දෙනු ලබයි. පෞද්ගලික හා සමාජයීය යහපත කුමක්ද යන පැනයට පිළිතුරු සම්පාදනය කෙරෙන ක්ෂේත‍්‍රය අපි සදාචාර නායකත්ව තලය තුළින් හඳුනා ගනිමු. ඒ අනුව පාලනයක් අභ්‍යාස කිරීම යනු හුදු දේශපාලනික දේශපාලන කර්තව්‍යයකට ඔබ්බෙන් බුද්ධිමය හා සදාචාරමය ප‍්‍රතිසංස්කාරකයෙක් (Intellectual and Moral Reformer) බවට භූමිකා ගත වීමයි. මෙහිදී මනුෂ්‍යයාගේ සංයුක්ත ලෝක ව්‍යවහාරයේ චින්තනමය සංවිධානය ගොඩනගන බුද්ධිමය ශ්‍රේණියක් මැදිහත් වේ. සම්ප‍්‍රදායික වියුක්ත සිතන්නන්ගෙන් වෙනස් වන මොවුන් මිනිසුන්ගේ ඓන්ද්‍රීය ජීවන සිතීම නිර්මාණය කරන්නන්ය යන අරුතෙන් ඓන්ද්‍රීය බුද්ධිමතුන් (Organic Intellectuals) ලෙස නාමකරණය කෙරේ.

රාජපක්‍ෂ යුගය තුළ වූ තීරණාත්මක ඓතිහාසික කාර්යභාරය වන්නේ යුද්ධය නිමාකර රටට සාමය ගෙන ඒම වැනි මුග්ධ ප‍්‍රකාශ නොව නව ලිබරල් ධනවාදයේ නව අදියර වෙනුවෙන් අවශ්‍යව තිබූ ඉහත කී හෙජමොනික දේශපාලනයට අවැසිව තිබූ ශරීරය සැපයීමයි. නව ලිබරල් ධනවාදයේ පළමු අදියර තුළ ජේ.ආර්. ජයවර්ධන කිරීමට අපොහොසත් වූ විශාල වැඩ කොටසක් රාජපක්‍ෂ විසින් සිදුකෙරිණි. නව ලිබරල් ධනවාදයේ ආර්ථික විවෘතකරණය සිදුවූ 1977 සිට රාජපක්‍ෂ යුගය ඇරඹෙන තෙක් එය ක‍්‍රියාත්මක වූයේ හෙජමොනික දෘෂ්ටිවාදී ආකෘතියකින් තොරවය. එහි පළමු අදියර තුළ බහුත්ව සමාජයේ බුද්ධිමය හා සදාචාරමය ප‍්‍රතිසංස්කාරකයකු බවට රූපාන්තරණය වීමට එවක නායකත්ව පෙරමුණ අපොහොසත් විය. යහපත හා නිර්වද්‍යතාවය පිළිබඳ සංස්කෘතික පෙරටුගාමීත්වය නියෝජනය කළේ එවක පාලනයට ප‍්‍රතිවිරුද්ධ වූ කඳවුරු විසිනි. ජේ.ආර්. ගේ පාලන තන්ත‍්‍රය හා ජනතා විමුක්තිවාදී තාරුණ්‍යය අතර 80 දශකය පුරා පැවති මාරාන්තික පසමිතුරුතාවය විසින් දකුණට ශේෂ කළ ගිනියම් රුධිර පැල්ලම මගින් සනිටුහන් කරනු ලැබුවේ තනි තටුවෙන් පියඹා ගිය නව ලිබරල් ධනවාදයක තතුයි. එදිරිවීර සරච්චන්ද්‍රගේ ධර්මිෂ්ඨ සමාජය, සමාජවාදී කොමියුනිස්ට් සම්ප‍්‍රදායේ චින්තනය, රුඩිකල් භික්‍ෂු ව්‍යාපාරය, කේමදාස/කපුගේ/නන්දා/සුනිල් ආරියරත්න/ජැක්සන්/සුගතපාල ඇතුළු සුවිශාල විකල්ප කලා කතිකාව සිය මතවාදී සංස්කෘතික ආස්ථානය නඩත්තු කරනු ලැබුවේ 80 දශකයේ ඇරඹි නව ලිබරල් ධනවාදයේ දේශපාලනික හා සිවිල් සමාජයීය උපායමර්ගයන්ට එරෙහිවය. එවකට රුඩිකල් වාමාංශික බුද්ධිවාදය හා මාක්ස් ලෙනින්වාදී විප්ලවය අතර බන්ධනය පවත්වා ගත් හුය වූයේ ජාතික නිදහසය. ඒ මාක්ස්මය පරමාදර්ශ බිඳ නොවැටුණු, ලෝක සමාජවාදී රාජ්‍ය පර්යාය අහෝසි නොවුණු කාල අවකාශ නිමේෂයක ජාතිකත්වය අරගල වැඩබිමක් වීමේ නිදසුනකි. ඒ සමාජවාදී ශිෂ්ටාචාරයක් පිළිබඳව වූ විශ්වීය පරමාදර්ශයට යටත් වූ ජාතිකත්වයකි. අනෙක් අතට නව ලිබරල් ධනවාදී ආර්ථිකයට කතිකාමය පසමිතුරුතාවයක් වූ රාජ්‍ය සුබසාධනවාදය ජාතික ආර්ථිකය සමග අතිනත ගෙන තිබුණි.

නව ලිබරල් ධනවාදයට අභිමත ජනතා සාමූහික අභිලාෂයක් (National Popular Collective will) ගොඩනැංවීමට ජේ.ආර්. ගේ පාලනය අපොහොසත් වීමේ ප‍්‍රතිඵලය ලෙස 80 දශකය පුරා රාජ්‍ය මර්ධනයේ යකඩ හස්තය තුළින් පාලනය ගෙනයාමට සිදුවූ අයුරු අපි දුටිමු. ජනයාගේ අනුමැතිය තුළින් ජනයා පාලනය කළ නොහැකි වන තැන වැඩ බාර ගන්නේ රාජ්‍ය මර්ධන උපකරණ විසිනි. එහෙත් රාජපක්‍ෂ යුගයේ ආගමනයෙන් පසු වූ සුවිශේෂත්වය වන්නේ සිංහල බෞද්ධ වාර්ගික ජාතිකවාදය ලබාගත් පුළුල් ජනතා අනුමැතිය තුළින් නව ලිබරල් ධනවාදී න්‍යාය පත‍්‍රය වඩා හොඳින් ක‍්‍රියාත්මක කිරීමට සමත් වීමයි. සූක්‍ෂම ප‍්‍රාග්ධන සමුච්ඡුනයක අතිසාර්ථකව නිරතවන නව ව්‍යවසායක පංතියක් නිර්මාණය වී තිබීමයි. ඒ සඳහා වන ජනතා අනුමැතිය උතුරු ශ‍්‍රී ලංකාවෙන් ලබාගත නොහැකි වන නිසා දැවැන්ත රාජ්‍ය මිලිටරිකරණයකින් පාලන අඛණ්ඩතාවය පවත්වා ගනිමින් සිටී. විශේෂයෙන්ම 90 දශකය එළඹෙන විට ලෝකයේත් ශ‍්‍රී ලංකාවේත් සමාජවාදී දේශපාලන පරිකල්පනය බිඳවැටී තිබුණ ද ඉන්පසු එළඹෙන දශක දෙක පුරාම නව ලිබරල්වාදයේ දෘෂ්ටිවාදී තහවුරු කිරීම දකුණු ශ‍්‍රී ලංකාවේ එහි පරිපාකය අත්කර ගත්තේ නැත. දෙමළ ජාතිකවාදයේ වඩාත් සටන්කාමී දශකය වූ 90 දශකය පුරා දකුණු ශ‍්‍රී ලංකාවේ නව ලිබරල් ආර්ථිකය සීඝ‍්‍ර වර්ධනයක් අත්කරගත් බව සැබෑය. මාධ්‍ය හා තොරතුරු තාක්‍ෂණ ගෝලයේත් සේවා ආර්ථික විෂය පථයේත් ක‍්‍රමික පුළුල්වීමක් සිදුවන අතර සංස්කෘතිය වෙළඳ භාණ්ඩයක් වීමේ නව මුහුණුවර ඒ යුගයේ හඳුනාගත හැකිවිය. මුදානොගත් උතුරු නැගෙනහිර ප‍්‍රාග්ධන විවෘතකරණයේ පරිබාහිරත්වය වූ අතර දකුණේ නව ලිබරල් ධනවාදය සුජාත කරලන සාර්ථක දෘෂ්ටිවාදී ආවරණයක් දක්නට නොලැබිණි. එම දශකයේ මැද භාගයේ උතුරේ දෙමළ විමුක්ති අරගලය සමග උපක‍්‍රමික සන්ධානයකට ගත් උත්සාහය ව්‍යර්ථ වී නැවත දැවැන්ත යුද්ධයකට යාමට සිදුවූ අතර 2000 දශකය එළඹෙන විට දකුණේ නව ලිබරල් ආර්ථික මූලෝපායයන් බිඳවැටී L.T.T.E. සංවිධානය යුධමය සාර්ථකත්වයක් අත්කර ගෙන තිබිණි. නව ලිබරල් ධනවාදයේ මූලෝපායයන් යළි සංවිධානය කර ගැනීමේ ප‍්‍රතිපත්තීන් සමග රනිල් වික‍්‍රමසිංහ මහතා පුමුඛ එක්සත් ජාතික පක්‍ෂය රාජ්‍ය බලය කෙටි කලකට අත්කරගත්තේ ඉන් පසුවයි.

එකල්හි දකුණේ නව ලිබරල්වාදී රාජ්‍ය කළමණාකරණ ව්‍යුහය උතුරේ දෙමළ ජාතිකවාදී අර්ධ රාජ්‍ය සැකැස්ම සමග යළිත් උපක‍්‍රමික සන්ධානයක් ගොඩනැගීමට උත්සාහ කරන්නට විය. දකුණේ යළි පුබුදමු ශ‍්‍රී ලංකා (Regaining Sri Lanka) ව්‍යාපෘතිය ඉදිරියට ගැනීම වෙනුවෙන් ප‍්‍රජාතාන්ත‍්‍රික නෝර්වේ අතරමැදි භූමිකාව ද පිටුවහල් කරගෙන සටන් විරාම ගිවිසුම අන්තර් සාම කාලයක මුහුණුවරින් පවත්වා ගැනීමට උත්සාහ දරනු පෙනිණි.

එහෙත් අනපේක්‍ෂිතව ඉතිහාසයේ වෙනසක් සිදු විය. මෙම වියමනේම තැනක දක්වා ඇති පරිදි ඇති වූ ග‍්‍රාමිස්චියානු අර්ථයේ දේශපාලන අර්බුදයකුත් සමග නව දේශපාලන බලවේග කිහිපයක් කරළියට පැමිණ එකී අර්බුදයේ හිස්තැනට ආමන්ත‍්‍රණය කරමින් සමාජය නැවත සංවිධානය කරන්නට විය. දෙමළ ජාතික විමුක්ති ත‍්‍රස්තවාදයත් නව ලිබරල් ආර්ථික මෙහෙයුම් ප‍්‍රතිපත්ති සැලසුමුත් බටහිර කුමන්ත‍්‍රණ න්‍යායනුත් පරිබාහිර අනෙකා බවට පත්කරගත් නව සිංහල බෞද්ධ ජාතිකවාදය සිය දේශපාලන අරගලය එහි කූටප‍්‍රාප්තිය බවට පත්කර ගන්නේ L.T.T.E. සංවිධානය සමූලිකව පරාජය කර ඒකීය රාජ්‍ය බලාධිකාරය අත්කර ගැනීමෙනි.

විවිධ දේශපාලන අනිශ්චයතා (Contingencies) හේතුවෙන් දශක තුනක් පුරා නව ලිබරල් ධනවාදයේ පසමිතුරු අනේකත්වය (Antagonistic Otherness) වූ සිංහල බෞද්ධ ජාතිකවාදය L.T.T.Eයේ සමූලික පරාජයෙන් පසු නව ලිබරල් ධනවාදයේ දෘෂ්ටිවාදී ආවරණය බවට පත්විය. රාජපක්‍ෂ බලාධිකාරය විසින් ඉතිහාසයේ පෙර නොවූ විරූ පරිදි නව ලිබරල්වාදී දර්ශනය හෙජමොනික කර ඇති බව අප කියන්නේ එහෙයිනි.

නව ලිබරල් ධනවාදයේ දෙවෙනි අදියර එහි පළමු අදියරෙන් වෙනස්වීමේ ස්වරූපය වන්නේ හෙජමොනික ශක්‍යතාවයේ පාර්ශවයෙන් එය ලබාගත් මෙම සාර්ථකත්වයයි. ධනවාදය යනු හුදු අමුර්ත (Abstract) ප‍්‍රපංචයක් නොවෙයි. එය ප‍්‍රකාශමාන වන්නේ සංයුක්ත ඒකාබද්ධතාවයක් ලෙසයි. ඒ අනුව ධනවාදය ක‍්‍රියාත්මක වන්නේ දේශපාලනය, දෘෂ්ටිවාදය හා ආර්ථිකය අතර එක්ව බැඳුණු සමස්තයක් ලෙසයි. උපරිව්‍යුහය හා අධෝව්‍යූහය අතර ඒකිය පැවැත්ම මූර්තිමත් කෙරෙන මෙම ඓතිහාසික බන්ධනය අන්තෝනියෝ ග‍්‍රාමිස්චි විසින් ඓතිහාසික හවුල (Historic Bloc) ලෙස හැඳින්වීය.

නව ලිබරල් ධනවාදය සිය ගෝලීය අණසක සඳහා කේවල ජාතික රාජ්‍යමය පදනම් නව ලෝක දේශපාලන සැකැස්මක් තුළ යළි පිහිටුවා අර්ථකතනය කර තිබේ. පරිභෝජනවාදය පරම යුටෝපියාව බවට පත්කළ ආකෘතියක් තුළ පසු ජාතික ගෝලීය ප‍්‍රාග්ධනයේ පරමාත්මය පෘථිවිමය හෙගලියානු චලනයක යෙදෙමින් විවිධ ජාතික රාජ්‍යයන්ගේ පරිකල්පනීය නිම් වළලූ යළි සිතියම් ගත කරමින් සිය ස්වයං සාක්‍ෂාත්කරණය තුළ මූර්තිමත් කරගනිමින් තිබෙයි. ඉතිහාසයේ අවසානය (End of History) පිළිබඳ ෆුකුයාමාගේ ප‍්‍රවාදය යනු ඉන්පසු එළඹි නව ලෝක දේශපාලන පර්යායේ නව හෙජමොනික රූපකාරය ඊට පෙර පැවති චින්තන විශ්වය තුළින් හඳුනාගත නොහැකි බව සිහිපත් කරලන රහස්‍ය අලංකාරිකයකි. ගෝලීය දේශපාලන ආර්ථිකයේ චලනයන් සමග ගොඩනැගෙන ගෝලීය හෙජමොනික දේශපාලනය දරා සිටින දෘෂ්ටිවාදී අන්තර්ගතය නිමවන්නේ ලෝක දේශපාලනයේ බහුත්ව සුවිශේෂත්වයන් සමගයි. එනම් ගෝලීය ප‍්‍රාග්ධනයේ සංසරණය විසින් ඒකීය ධනවාදී ලෝක ශිෂ්ටාචාරයක් ෆැන්ටසිගත කරන දෘෂ්ටිවාදී යථාර්ථය නව ජාතික රාජ්‍ය සංස්කෘතිකවාදයන්ගේ බහු ස්වරූපයන් අත්කර ගනී. එනම් ගෝලීය දේශපාලන ආර්ථිකයට අවැසි ස්වදේශීය පාලන තන්ත‍්‍රය හා එහි දෘෂ්ටිවාදී මෙහෙයුම සුවිශේෂී ජාතික රාජ්‍ය සන්දර්භයන් තුළ එකට එක ඇති කරන බවක් මින් අදහස් නොවේ. එය සංකීර්ණ ගෝලීය ධනවාදී ලෝක සැකැස්ම මාක්ස්වාදී ආර්ථික ඌනිතවාදයක් තුළින් වටහාගැනීමකි. ඊට ප‍්‍රතිවිරුද්ධ කිව යුත්තේ ජාතික රාජ්‍යය නමැති සීමාව හා එහි ස්වාධිපත්‍යය (Sovereignty) යන අදහස පරිකල්පනය කරමින් ගොඩනැගෙන දේශපාලනික දෘෂ්ටිවාදී සමාජයීය පැවැත්ම යනු හෙජමොනික දේශපාලන අරගලයේ අධිෂ්ඨානයන්ගේ ප‍්‍රතිඵලයක් බවයි.

එකී නොකී තතු මත මහින්ද චින්තනය යනු නව ලිබරල් ධනවාදයේ හෙජමොනික යුග මොහොත වන බව ලියා තැබිය හැක. මෙම බලාධිකාරයේ පාලන යාන්ත‍්‍රණයට බහුතර දකුණ තුළ පැවැති කැමැත්ත යුද්ධාවසානයෙන් පසු විවිධාකාරයන්ගෙන් දෘශ්‍යමාන විය. සුවිශේෂත්වය වූයේ එම කැමැත්ත අකමැත්තේ ස්වරූපයක් තුළින්ම ප‍්‍රකාශමාන වීමයි. පොදු ජන විඥානය තුළ රාජපක්‍ෂ පවුල ඇතුලූ නව බල හවුල විසින් සීඝ‍්‍ර ප‍්‍රාග්ධන සම්මුච්ඡුනයක නිරත වීම දෛනික විවේචනයට ලක්කෙරේ. එහෙත් වාර්ගික ජාතිකවාදයේ සදාචාර මෙහෙයුම, සංවර්ධන යුටෝපියාව හා මාධ්‍ය ශක්‍යතාවයෙන් පිරිපුන් පරිභෝජන විමුක්තිවාදය අතර වන නව මානසික ගැලපුම් ව්‍යුහයක් තුළ ජනයා සිය අනුමැතිය තහවුරු කරනු ලැබිණි. ක‍්‍රය ශක්තියේ සීඝ‍්‍ර බිඳවැටීමක් ලෙස දෘශ්‍යමාන තලයේ පොදු ජනයා විසින් හඳුනාගන්නා ආර්ථික අර්බුදය පිළිබඳ සවිඥානිකත්වය තිබියදී පවා අනුමැතියේ පාලනය රඳවාගත් සමාජ අවිඥානික තලය අපූර්ව එකක් විය.

එහෙත් අද වන විට මෙම ජනතා සහනුමැතියේ දරුණු ඉරිතැලීම් ඇතිව තිබෙන බව පෙනෙයි. රාජපක්‍ෂ බලාධිකාරය විසින් සිය ප‍්‍රාග්ධන සමුච්ඡන තර්කනයන් සඳහා රාජ්‍යය නැවත ප‍්‍රතිව්‍යුහ ගත කර, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන බල රහිත කර ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයකින් සිය පාලනයේ අණසක පවත්වා ගැනීම ගැන වන පුළුල් දේශපාලන සවිඥානිකත්වයක් දකුණේ බහුතර ජනයාට නොමැති වුව ද සංවර්ධන යුටෝපියාව සමග සිය භෞතික ජීවිතයට ඇති දුරස්ථ බව, පරිභෝජන විමුක්තිය ළඟා කර ගැනීමේ සිහිනයන් දිනෙන් දින බොඳව යෑම, ආර්ථික අර්බුදයේ ප‍්‍රහාරයන් සිය බොක්කටම වැදීම, මූලිකම ජීවන අවශ්‍යතා සපුරා ගැනීම හා ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් පැන නැගි හදිසි ජන අරගල මිලිටරි මර්දනයන්ට ලක් කිරීම වැනි කරුණු/ සිදුවීම් නිසා රාජපක්‍ෂවාදය පවත්වාගත් ජනතා සුජාතභාවයේ පෙර නොවූ විරූ අර්බුදයක් ඇති වී ඇත. එහි දී තීරණාත්මක කරුණ වන්නේ රාජපක්‍ෂ හෙජමොනිය පවත්වා ගත් අති ප‍්‍රබල දෘෂ්ටිවාදී දේශපාලනය වූ සිංහල බෞද්ධ ජාතිකවාදය/ වර්ගවාදයට නව අඛණ්ඩතාවයක් දෙමින් වේගයෙන් නායයමින් තිබෙන පාලන සමාජ අනුමැතිය යළි පවත්වා ගත හැකි වීමේ ක‍්‍රමෝපායන් දුර්වලව යාමේ ප‍්‍රවණතාවයක් දක්නට ලැබීමයි. විශේෂයෙන්ම රාජපක්ෂ පාලනය හා රාජපක්ෂ බල හවුල අතර යම් විසම්මුතීන් මෝදු වූ සිදුවීම් අවස්ථා මෙහිදී සිහිකළ හැක. රාජපක්ෂවාදය සුජාත කළ සිංහල බෞද්ධ ජාතිකවාදී බලපාර්ශවයන් දැන් රාජපක්ෂ බලාධිකාරය සමග දක්වන ඇතැම් ආතතීන් මෙතැනදී නොසලකා හැරිය නොහැක. චම්පික-රතන ඇතුළු ජාතික හෙළ උරුමය පවතින පාලනය සමග දක්වන ස්ථානීය පිහිටුම් හා නාටකීය ස්වරූපයකින් වුවද විමල් වීරවංශ ඇතුළු බල ප‍්‍රජාව මතු කරන විසංවාදයන් විසින් පෙන්නුම් කරන්නේ රාජපක්ෂ බල හවුල හා සිංහල බෞද්ධ ජාතිකවාදී-වර්ගවාදී දේශපාලන බලවේගයන් අතර පැලූම් රේඛා නිර්මාණය වීමේ තතුයි. පවතින පාලනයට විකල්ප බලයක් ගොඩනැගීම වැනි සියදිවි නසාගැනීමක් කිරීමට විමල්ලා අමනෝඥ නොවන තරමටම බලාධිකාරය අළුත් වටයකින් ශක්තිමත් කිරීම හා එම මැදිහත් වීමේ තීරණාත්මක නියෝජනයක් බවට සිය දේශපාලන නියෝජනය පත් කර ගැනීම ඔහුගේ අරමුණ වන බව පෙනෙයි. එහෙත් චම්පික-රතන ඇතුළු හෙළ උරුමයේ දේශපාලන ගණන් බැලීම බල නියෝජනයන් අරුතෙන් අනාගතවාදී විය හැකි බව පමණක් මෙහි දී සටහන් කර තැබිය යුතුය.

අපගේ විග‍්‍රහය වන්නේ දැන් පැන නැගෙමින් තිබෙන ප‍්‍රචණ්ඩ සිංහල බෞද්ධ ජාතික-වාර්ගිකත්වය මෙම තීරණාත්මක හිස්තැන කෙරෙහි වන ආමන්ත‍්‍රණයක් ලෙස ද අවබෝධ කර ගත යුතු බවයි. රාජපක්‍ෂවාදය යනු නව ලිබරල් ප‍්‍රාග්ධන සමුච්ඡුන බලාධිකාරයකි. ඉන් නව ධනෝපායන මාර්ග සමාජගත කළ අතර නව රාජ්‍ය ධනවාදී පන්තීන් නිර්මාණය කෙරිණි. එනම් අද ප‍්‍රාග්ධන සමුච්ඡුනයේ නව ලාංකේය මානය තුළ ගොඩනැගී ඇති නව සමුච්ඡුන බලාධිකාරය (Regime of Accumulation) යනු අන් කිසිවක් නොව රාජපක්‍ෂ බලාධිකාරය යන ව්‍යවසායකයාම බව පෙනෙයි. සිංහල බෞද්ධ ජාතිකවාදය-වර්ගවාදය විසින් සිදු කෙරෙන්නේ ඊට අවැසි දෘෂ්ටිවාදී දේශපාලන සුජාතබාවය ලබා දීමයි.

බොදු බල සේනා ඇතුළු මෑත මතු වූ සිංහල බෞද්ධ ප‍්‍රචණ්ඩ කල්ලි ලබා ගෙන ඇති සාපේක්‍ෂ සාර්ථකත්වයන්, අනුග‍්‍රාහකත්වයන් හා නීතිය ක‍්‍රියාත්මක නොවීම් වලට හේතු ප‍්‍රත්‍යයන් අනාවරණය කර ගැනීමට දැන් යම් කවුළුවක් විවර වී ඇත. බොදු බල සේනාව පිටුපස ඇති යකඩ හස්තය වනාහි ගෝඨාභය රාජපක්‍ෂ වන බවට ඇති විශ්වාසය වඩාත් තහවුරු කෙරෙන මානය අපව රැගෙන යන්නේ ඉහත විශ්ලේෂණය දෙසටයි. රාජපක්‍ෂවාදී නව ලිබරල් ප‍්‍රාග්ධන සමුච්ඡුන බලාධිකාරයේ ප‍්‍රබල මූර්තිය වන ගෝඨාභය සාධකය මෙහිදී අතීශය තීරණාත්මකව දේශපාලන මෙහෙයුමක් සිදු කරමින් සිටින බව කිසිසේත්ම නොසලකා හැරිය නොහැක. එක් අතකින් අයෝමය මිලිටරි බලයක් සිය පාලන අණසක තුළ තබා ගනිමින් ලාංකේය උතුර මතු නොව දකුණ ද සූක්‍ෂම මර්ධනයක් තුළ පවත්වා ගැනීම ගෝඨාභය නියෝජනයෙන් සිදු කෙරේ. අනෙක් අතින් සිංහල බෞද්ධ ජාතික වාර්ගික දෘෂ්ටිවාදය එහි තීව‍්‍ර ප‍්‍රචණ්ඩත්වය තුළ නඩත්තු කිරීමත් එය මිලිටරි යාන්ත‍්‍රණය හා සම්බන්ධ කෙරෙන පාලන උපාය මාර්ග පරීක්‍ෂා කර බැලීමත් ගෝඨාභය සාධකයේ මෙහෙයුම වන බව පෙනෙයි. සිවිල් සමාජය හා එහි ප‍්‍රධාන ආයතන වඩ වඩාත් මිලිටරිකරණයකට ලක් කිරීමට සමගාමීව බොදු බල සේනා වැනි පාදඩ හිංසක අන්තවාදී සංවිධාන පෝෂණය කරමින් හා සමාජය දෙසට ලිහා දමමින් මේ සිදු කරන්නේ එම පරීක්‍ෂාවයි. වැලිවේරිය-රතුපස්වල මිලිටරි පිළිතුරක් දුන් අතර අලූත්ගම දී සිංහල බෞද්ධ වර්ගවාදී පිළිතුරක් සැපයිණි. මේ එකම කාසියේ දෙපැත්තකි. ගර්හිත කරන ලද මුසල්මානුවා තුළින් නව සතුරෙකු සොයා ගැනීමේ මානය අප සිතනවාටත් වඩා පුළුල් සූක්‍ෂම දේශපාලන උපාය මාර්ගයක් ය යන ප‍්‍රවාදය අප රැගෙන එන්නේ ඉහත විශ්ලේෂණාත්මක තතු යටතේ ය.

විශේෂයෙන් ම රාජපක්‍ෂ හෙජමොනිය පවත්වා ගත් දෘෂ්ටිවාදී දේශපාලන සහනුමැතිය ක‍්‍රමයෙන් අර්බුදයට යන තත්ත්වයක් තුළ නව පාලන මාදිලියක් අභ්‍යාස කිරීම රාජපක්‍ෂවාදයේ ගණන් බැලීම වන බව දැන් දැන් ලකුණු පෙනෙයි. අපගේ දේශපාලන සහෘද සුමිත් චාමින්ද සහෝදරයා විසින් මෙම නව දේශපාලන තත්ත්වය නාමකරණය කරන්නේ රාජපක්‍ෂ ‘අනුප‍්‍රාප්තික හෙජමොනික මොඩලය’ ලෙසයි.

රාජපක්‍ෂවාදී ප‍්‍රාග්ධන සමුච්ඡුන බලාධිකාරය සතු දෘෂ්ටිවාදී සුජාතකරණය දැඩි බිඳ වැටීමකට ලක් වන ආසන්නතම අනාගත නිමේෂයක දැවැන්ත මර්ධනයේ පාලනයක් භූමිය වෙත ගෙන ඒම අපේක්‍ෂාව වන බව පෙනෙයි. අලූත්ගම-බේරුවල සිදුවීම සමගින් මුස්ලිම් ජන ප‍්‍රජාවට එරෙහිව ක‍්‍රමයෙන් දියත් කෙරෙන සංවිධානාත්මක ප‍්‍රහාරයන් පිටුපස සිටින්නේ ආණ්ඩුව වන බවට වන මතයේ සැබෑ දේශපාලන විශ්ලේෂණය වන්නේ ඉහත උපාය මාර්ගික දැක්ම අනාවරණය කර ගැනීමයි.

නොබෝදා පැන නැගි ආගමික වාර්ගික ප‍්‍රචණ්ඩ සිදුවීම් පාලනය කිරීම හා ඊට සංවිධානාත්මක ප‍්‍රතිවිරෝධයක් දැක්වීම යන මැදිහත් වීම පමණක් මෙම නව දේශපාලන තත්ත්වය තුළ කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවන බව දැන් පැහැදිලි වනු ඇත. සිදුවීම් පෙළ ගැසෙන දිශාව අප සිතනවාටත් වඩා සංකීර්ණයය. "ජාතිවාදයට, වර්ගවාදයට, ආගම්වාදයට එරෙහි වෙමු" වැනි හුදු වියුක්ත ප‍්‍රවේශයන්ගෙන් පමණක් දැන් ගොඩනැගෙමින් තිබෙන අවිචාර තත්ත්ව සමය ඉක්මවිය නොහැක. නියත වශයෙන් ම මේ අග්නිජාලා මැද කළ යුතුව ඇත්තේ කුමක් ද යන පැනය ස්ථාන ගත කළ යුත්තේ සංයුක්ත විග‍්‍රහයක් තුළය.

ඒ සංයුක්තකරණය වෙනුවෙන් ජාතිකත්වය හා වාර්ගිකත්වය පිළිබඳ කථිකා පසමිතුරු විශ්ලේෂණය හා එහි ලූබ්ධිමය ආයෝජන තලය සංවිධානය වන ආකාරය න්‍යායිකව වටහා ගැනීමත් අතිශය වැදගත් වනු ඇත. සිංහල බෞද්ධ ජාතිකවාදය හා එහි රණකාමී වර්ගවාදී ප‍්‍රවණතා කරළි ගත වූ සමකාලය ලාංකේය දේශපාලන ආර්ථික සැකැස්මෙන් වර නැගෙන අයුරු ගැන කළ අපගේ විග‍්‍රහය ඉන් ආලෝකමත් කෙරෙනු ඇත.

2. ජාතිකවාදයේ, වර්ගවාදයේ කතිකාමය ගොඩනැංවීම හා පසමිතුරු ලූබ්ධිමය ආයෝජනය

‘සංස්කෘතික විමුක්ති ගිවිසුම’ ලෙස අප ජාතිකවාදය යන්න න්‍යායිකව නිර්වචනයකට ලක් කරන්නේ නම් එය පහත පරිදි වේ.

"ජාතිය නම් වූ හිස් හැඟවුම්කාරකයේ එක්තරා සුසම්බන්ධයක් ලෙස වන ජාතිකවාදය නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන කතිකාව තුළ නියාමක ලක්‍ෂ්‍යයක් (Nodal Point) බවට පත්වෙමින් නොපැමිණි සමාජ ප‍්‍රජාමය පූර්ණත්වයක් සංකේතකරණය කිරීමේ ආකාරයක් ලෙස ක‍්‍රියාත්මක වෙයි"

එහි වැටහීම කුමක්ද?

ක්ලෝඞ් ලෙෆෝ නම් දේශපාලන සිතන්නා සමාජයක් රාශීභූත වන ආකාරය විග‍්‍රහ කර ඇති අයුරු මෙහිදී අපට වැදගත් වේ. සමාජයක් ඒකරාශී කළ හැක්කේ සමාජයෙන් පිටත ඇති සංකේත බලයකට එය සම්බන්ධ කිරීමෙන් පමණි. සමාජයත් එම සංකේත බලයත් අතර ඇත්තේ පරිකල්පනීය සම්බන්ධයකි. නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයන් හි ‘ව්‍යවස්ථාමය බලය’ මෙහිදී සිහියට නැගෙනු ඇත. එහෙත් පැරණි රාජාණ්ඩු වලදී මෙම සංකේතීය බලයේ තැන පුරවා තිබුණේ ‘කුමාරයා’ විසිනි. එම පිරවීම සුජාත කිරීම සඳහා ඔහු විසින් කළ යුතුව තිබූ දෙයක් විය. එනම් මිනිස් බව හා දේවත්වය අතර මැදිහත්වීමක් කිරීමයි. මෙම ධ‍්‍රැවයන් දෙකෙන් එක් පසෙකට කුමාරයා සම්බන්ධ වන්නේ නම් ඔහුගේ සුවිශේෂී ශරීරය හා ඔහු නියෝජනයෙන් මූර්තිමත් කිරීමට බලාපොරොත්තු වන විශ්වීයත්වය අතර වන පරතරය හෙළිදරව් කළ යුතුය. එසේ නොවේ නම් කිරීමට ඇත්තේ තමන්ගේ නාමයෙන් පාලනය සිදු කරන ආඥාදායකයෙකු වීමයි.

කෙසේ වුවද වත්මන් ලෞකික සමාජයන් හි ‘කුමාරයාගේ භූමිකාව’ අභාවයට ගොස් ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයන්ගේ වැදගත්කම වන්නේ සුවිශේෂී ශරීරයකින් ඉහත සංකේතීය බලය නියෝජනය කිරීම බිඳ වැටීමයි. එහි ප‍්‍රතිඵලය වූයේ ‘බලය’ යන්න හිස් තැනක් වී එය අදෘශ්‍යමානව යාමයි. දැන් බලයේ තැන පූර්ණව අත්කරගත හැකි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් නැති වී තිබෙයි. පෙනෙන්නට තිබෙන්නේ සමාජයේ නාමයෙන් ‘බලය’ අත්හදා බලන විවිධ උත්සාහයන් රැසක් පමණි. එහි ප‍්‍රතිඵලය ලෙස වන්නේ සමාජයේ ඒකීය බව ඇති කිරීමට ගන්නා සෑම ප‍්‍රයත්නයකින්ම ගැටුම් හා පසමිතුරුතා පැන නැගීමයි. එය විරුද්ධාභාසයකි. ඒ අනුව සංකේතීය බලයේ හිස් අවකාශය තුළ ස්ථානගත වීමට නම් පුළුල් හෙජමොනියක් (Hegemony) ගොඩනැගිය යුතුය. මෙතැනදී හෙජමොනිය යනු දෘෂ්ටිවාදී නායක ආධිපත්‍යයක් පිහිටුවීමෙන් පවත්වා ගන්නා අණසකකි. එය එක්තරා අයුරක සහනුමැතියේ පිටුබලය මත ගොඩනැංවූ බලාධිපත්‍යයකි. ‘ජාතිය’, ‘ජනතාව’ වැනි හිස් හැඟවුම්කාරකයන් නූතනවාදී දේශපාලන කතිකාව තුළ තීරණාත්මක නියමු කේන්ද්‍රයන් (Nodal Point) ලෙස භාවිත කෙරෙන්නේ ඉහත තතු යටතේය. සරලව කිවහොත් ‘මම කතා කරමි’ යන්න ‘ජාතිය කතා කරයි’ බවට පත් කළ යුතුය. කෙසේ වෙතත් ඒ සඳහා ජාතියට ගෙනෙන යහපත පිළිබඳ වියුක්ත කතා ප‍්‍රමාණවත් නොවෙයි. සංකේතීය බලයේ හිස් අවකාශය පුළුල්ව අත්කර ගැනීමට නම් කිසිවෙක් ‘ජාතිය’ වැනි හිස් හැඟවුම්කාරවලට සුවිශේෂී අන්තර්ගයක් සපයමින් හෙජමොනික කළ යුතු වේ.

ජාතික අවකාශය පිළිබඳ සමජාතීකරණය හා සාරාත්මකරණය විසින් ජාතිය යනු කුමක්ද යන්න ගැන වන ප‍්‍රකාශන රැසක් ගොඩනංවනු ලැබෙයි. එහෙත් ඒ සියල්ලෙන්ම දිගින් දිගටම මග හැරී යන යම් දෙයක් ඇත. එනම් ජාතියේ සැබෑම වූ සාරය කුමක්ද යන ගැටළුවයි. ජාතිය පිළිබඳ ඉහත දැක්වූ ඒකමානීය ගල් ගැස් වූ නාමකරණයන් බිහිවන්නේ මෙම ගැටලූවට සොයාගන්නා සාමූහික පිළිතුරක් මගිනි. සිංහල බෞද්ධ ජාතිකවාදය පිළිබඳ ජනප‍්‍රිය ප‍්‍රකාශමානවීම් සිහියට නගා ගැනීමෙන් මෙම පිළිතුර පිළිබඳ සංඥාවක් ඇති කර ගත හැකිය. පසුගිය දශක කිහිපය පුරාම එහි නියෝජන ප‍්‍රකාශකයන් සිංහල බෞද්ධත්වය ගැන කතා කරමින් කර ඇත්තේ එහි විවිධ කුමන්ත‍්‍රණකාරී සතුරන්ව නම් කිරීම නොවේද? දෙමළා, මුසල්මානුවා, අධිරාජ්‍යවාදියා, එන්.ජී.ඕ.කාරයා, පරගැත්තා, සංකරයා, ත‍්‍රස්තවාදියා ආදි වශයෙන් විවිධ සතුරු නාමකරණයන් නොමැතිව සිංහල බෞද්ධ සාරයක් පරිකල්පනය කිරීමට ඔවුනට නොහැකි වී තිබෙයි. ජාතිය හෙජමොනික කිරීමේ හා තහවුරු කිරීමේ අවසාන මූලය වන්නේ ද එම පිළිතුර බව පෙනෙයි. එම පිළිතුර වනාහි ‘ජාතියේ සතුරන් පිළිබඳ කතිකාමය ගොඩනැංවීමයි. මින් ස්වයංක‍්‍රීයව ජාතියේ ඇතුළත හා පිටත තනා දෙයි. ජාතියට එරෙහි කුමන්ත‍්‍රණ න්‍යායන් පැන නගින්නේ ද මෙතැනිනි. එම ජාතියේ සතුරන් නිර්මාණය කිරීම සිදුවන්නේ ජාතියට එරෙහි කුමන්ත‍්‍රණයක් පිබඳ අදහස රැුගෙන එන පරිදිය. ඒ සඳහා ගෝලීය අත්දැකීම් දෙකක් මෙතැනදී සටහන් කර තැබීමට කැමැත්තෙමු. කොමියුනිස්ට් සතුරාගේ බිඳ වැටීමෙන් පසු චීනය, උතුරු කොරියාව හා ඉස්ලාමීය රටවල් අතර වන මූලධාර්මික සන්ධානය විසින් බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයන් තර්ජනයට ලක් කර ඇතැයි කී කතාව ඉන් එකකි. අනෙක වන්නේ නැගෙනහිර යුරෝපය, ජපානය, ආසියානු කොටි හා ඇමරිකා එක්සත් ජනපදය විසින් වෙනස් ආකාරයන්ගෙන් යුරෝපා ආර්ථිකය දුර්වල කිරීමට හේතු වූ බවයි.

සමාජ ලූබ්ධිමය විශ්ලේෂණයට ඇති නෑකමෙන් කිවහොත් ජාතියේ- වර්ගයේ සතුරන් යනු සුවිශේෂී වූ අතිරික්ත ප‍්‍රමෝදය යි (Excessive Enjoyment). එහෙයින් ජාතිය- වර්ගය පැවතිය හැක්කේ එහි සුවිශේෂී ප‍්‍රමෝදය විවිධ සමාජ භාවිතයන් තුළ අඛණ්ඩව භෞතික කිරීමේ දුරට හා එම භාවිතයන් ජාතික- වාර්ගික මිථ්‍යාවන් තුළ ව්‍යුහගත කිරීමේ අනුවර්තනයන් තුළයි. ජාතියේ-වර්ගයේ වන මෙම සුවිශේෂී ප‍්‍රමෝදය සාරාත්මකව අපට ජාතික දෙය (National thing) ලෙස නම් කළ හැකිය. ජාතික- වාර්ගික මිථ්‍යාව සැමවිටම ඉහත කී ජාතික දෙයට ඇති අයිතිය සමග නිර්මාණය වන්නකි. ඊට අනුව අපගේ ජාතියේ-වර්ගයේ සතුරන්ට අපගේ ප‍්‍රමෝදය සොරා ගැනීමට සහ/හෝ යම් රහසිගත, විපරීත ප‍්‍රමෝදයක් වෙතට පිවිසීමට අවශ්‍ය වේ. ප‍්‍රමෝදයේ මෙම සොරකම අපගේ අනෙකා වෙතට පැවරීම විසින් සැබවින්ම සඟවාලන්නේ අපගෙන් සොරාගැනීමට තරම් දෙයක් අපට හිමි වී නොමැති වූවාය යන ඇත්තය. අනෙකාගේ සුවිශේෂී ප‍්‍රමෝදය ෆැන්ටසිගත කිරීමෙන් හෝ ඊට වෛර කිරීමෙන් හෝ සිදුකෙරෙන්නේ අපගේම ප‍්‍රමෝදයේ ආකෘතිය හෙළිදරව් කර ගැනීම හෝ ඊට වෛර කිරීමයි. ඉන් එක් අතකින් ප‍්‍රවේශ වීමට නොහැකි අනෙකාගේ ප‍්‍රමෝදය පිළිබඳ තෘප්තිමත්බාවයක් අපට ලබා දෙයි. අනෙක් අතට අප තුළම වන පූර්ණත්වයේ විය නොහැකිබාවයන් අපට ආරක්‍ෂා කරලමින් එය වියහැකිබාවයක් බවට දෘෂ්‍යමාන කෙරෙන පරිද්දෙන් පිටත අනෙකාට බැහැර කරනු ලබයි.

ප‍්‍රභාකරන් ඇතුළු L.T.T.E. සංවිධානය විසින් සිදුකරන්නේ අපගේ ප‍්‍රමෝදය සොරාගැනීමය යන ගෙවුණු දශක කිහිපයේ ආඛ්‍යානය මෙහිදී සිහි කළ හැකිය. බෝම්බ පුපුරවමින්, කැලෑවේ සැඟවෙමින්, ඝාතන සිදුකරමින් කොටි ත‍්‍රස්තවාදීන් සේ නම් කළ රැඩිකල් දෙමළා යම් රහස්‍ය විපරීත ප‍්‍රමෝදයක් වෙත ප‍්‍රවේශ වීමට කැස කවන බව අප විසින් ඒත්තු ගනු ලැබිණි. ඉහත විශ්ලේෂණය ඇසුරෙන් කිවහොත් පසුගිය දශක කිහිපය පුරා නග්න සමාජ ආර්ථික ගොහොරුවක ගිලී කාංසාබරිත විෂයයීය මරණයකට ලක්වෙමින් සිටි සිංහලයාට අවිඥානික රැකවරණයක් ගෙන දෙමින් රැඩිකල් දෙමළා සිදුකර ඇත්තේ අනෙකාගේ ප‍්‍රමෝදය ගැන සිතීමට, තෘප්තිමත් වීමට ඉඩ ලබාදීමයි. එම දෙමළා විසින් අපගේ සහනය සොරාගෙන ඇති බව චෝදනා කිරීමෙන් අපගේම සුවිශේෂී ප‍්‍රමෝදයේ වියනොහැකිබාවය අපටම සඟවාලීමයි. සිදුකර ඇත්තේ රැඩිකල් දෙමළ අනෙකාව ෆැන්ටසිගත කරමින්, ඉර්ෂ්‍යා කරමින් අපගේම ප‍්‍රමෝදය පාවා දීමයි. දෙමළ ජාතික විමුක්තිය සඳහා වූ සන්නද්ධ අරගලය සංකේතාත්මකව අවසානයකට ලක්කර පස්වසක් ගෙවුණු වත්මන් නිමේෂයේ පවා සතුරා භෞතිකරණය කිරීමේ මෙහෙයුමෙන් ගැලවීයාමේ හැකියාවක් සිංහල බෞද්ධ ජාතික- වර්ගවාදයට ලැබී නොමැත. දැන් මුසල්මානුවා පිළිබඳ ආඛ්‍යානයක් කරළියට පැමිණ අග්නිජාලා දසතින් මතුව එන්නේ එහෙයිනි.

මෙම නව ජාතික-වාර්ගික හිංසනයන්ගේ අඛණ්ඩතාවය විසින් අපව රැගෙන යන්නේ අනන්‍යකරණය (Identification) හා පසමිතුරුතාවය (Antagonism) පිළිබඳ න්‍යායික ආස්ථානයන් දෙසටය. අනන්‍යකරණ ක‍්‍රියාවලිය (Process of identification) පිළිබඳ සිග්මන් ෆ්‍රොයිඞ්ගේ විශ්ලේෂණය ලූබ්ධිමය ආයෝජනය (Libidinal Investment) පිළිබඳ සම්භාව්‍ය හඳුනාගැනීම යැයි සැලකිය හැක. සාමූහික අනන්‍යතාවයන් නිර්මාණය වන ආකාරය හා පසමිතුරුතාවයන්ගේ පැන නැගීම් එහිදී ඔහුගේ අවධානයට ලක් වේ. Civilization and Its Discontents (ශිෂ්ටාචාරය හා එහි අසහනයන්) යන වියමනේ ෆ්‍රොයිඞ් දක්වන්නේ යම් සමාජයක් බිඳියාමේ තර්ජනය තුළ නිරතුරුවම මෙහෙයවෙන්නක් බවයි. මිනිස් පැවැත්ම තුළ වන ආක‍්‍රමණශීලීත්වයට ඇති කැමැත්ත ඊට හේතුව බව ඔහු කියයි. එනම් මිනිසුන් ආක‍්‍රමණශීලීත්වයේ බලසම්පන්න උපමාරු ගණනය කරන්නන් ද වන බවයි. Group Psychology and the analysis of the Ego (කණ්ඩායම් මනෝවිද්‍යාව හා අහම පිළිබඳ විශ්ලේෂණය) නම් වියමනෙන් ෆ්‍රොයිඞ් පැහැදිළි කරන්නේ කණ්ඩායමක් එක්ව දරා සිටීමේ එක්තරා ආකාරයක බලයක් ගැනයි. ප‍්‍රජාවේ සාමාජිකයන් එකිනෙකා හුවමාරු කරගන්නා අනන්‍යතාවය තුළ ඔවුනොවුන් බැඳ තැබීම ‘අපි’ යනුවෙන් හැඳින්වේ. සමූහයක් එක් අනුරාගයකින් බැඳ තැබීමට නම් එය තර්ජනයට ලක් කරන ආක‍්‍රමණශීලී ශේෂ වූ බාහිර පිරිසක් සිටිය යුතුය.

ලූබ්ධිමය ආර්ථිකය යනු මේ අනුව ‘අපි’ නමැති සීමාවේ ඇතුළත ‘ඔවුන්’ නමැති බාහිර තර්ජනයෙන් ආරක්‍ෂා කර ගැනීමේ ආකෘතිය යි. ප‍්‍රමෝදය නම් වූ මනෝවිශ්ලේෂණාත්මක සංකල්පකරණය තුළින් කලින් එළැඹි විග‍්‍රහය වූයේ මෙම දේශපාලනයේ සමාජ අනන්‍යකරණය හා සමාජ නියෝජනය ප‍්‍රමෝදයේ සැකැස්මක් තුළ හඳුනාගැනීමයි. වත්මන් න්‍යායවේදී යානීස් ස්ටව්රකාකිස් ඒ පිළිබඳව සිය ‘කතිකා න්‍යාය හා යුරෝපා දේශපාලනය’ නම් වියමනෙන් කළ සටහනක් මෙසේය.

"සමාජ දේශපාලනික අනන්‍යකරණය හා අනන්‍යතා සැකැස්ම තුළ වන අර්බුදයට සංයුක්ත ආකාරයක පිළිතුරු දීමට ප‍්‍රමෝදයේ ගැටලූව අපට උදව් කරයි. ලැකානියානු න්‍යාය අනුව මෙම ක්‍ෂේත‍්‍ර තුළ වන අර්බුද වනාහි සංකේතීය ගැළපුම හා කතිකාමය වැස්ම පමණක් නොවන අතර එය මිනිස් ආශාව සජීවීකරණය කරන ප‍්‍රමෝදය යි."

සිංහල බෞද්ධ ජාතික- වාර්ගික ප‍්‍රජාව පෙර දවස දෙමළාටත් අද දවස තුළ මුසල්මානුවාටත් එරෙහිව දියත් කරන වාර්ගික ප‍්‍රචණ්ඩත්වය විශ්ලේෂණය කිරීමේ එක්තරා තීරණාත්මක ව්‍යවහාරයක් මින් අපට හඳුනාගත හැකිය. මුසල්මානුවාගේ ආගන්තුක සංස්කෘතිය කෙරෙහි වන ජුගුප්සාජනක පිළිකෙව් කිරීම මතු නොව ඒ තුළ කුමන්ත‍්‍රණකාරී තර්ජනයක් පිළිබඳ භීතිය පැටව් ගැසීමේ යතුරක් මින් හෙළිදරව් කෙරේ. Tarring with the Negative (නිෂේධය සමග මිඩංගු වීම) යන වියමනේ ස්ලැවොයි ශීශෙක් කළ සටහනක් මෙහිදී සිහිපත් කරලීම වටී.

"සුවිශේෂී ප‍්‍රජාවක් එකට එක් කරන උපාංගය සංකේත අනන්‍යකරණයේ තැනට ඌනනය කළ නොහැක. එහි සාමාජිකයින් එකට එක් කරන බැඳීම හැම විටම දෙයක් කෙරෙහි එනම් ප‍්‍රමෝදය කෙරෙහි වන ඔවුන් අන්‍යෝන්‍යව හුවමාරු කරගත් සබඳතාවය අඟවයි. අනෙකා විසින් නියෝජනය කරන අපගේ ජීවන ක‍්‍රමයට ඇති තර්ජනය ගැන අප කතා කරන විට අවදානමට ලක් වන්නේ ෆැන්ටසි මාදිලීන් විසින් ව්‍යුහගත කරන ලද ‘දෙය’ කෙරෙහි වන මෙම සබඳතාවය යි."

ජාතිය පිළිබඳ හිස් හැඟවුම්කාරකය විසින් ජාතිකවාදී කතිකාවේ මුහුණුවර නිර්වචනය කෙරෙයි. එය නිසැකවම සමස්තතාවාදී වැසුණු පද්ධතියක් වන අතර විවිධත්වය සමානකමක් බවට ප‍්‍රචණ්ඩව ඌනනය කරනු ලැබෙයි. ජාතිකවාදය යනු ඇතැමුන් දකින පරිදි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයන්ට ඇති සමස්තතාවාදී අතිරේකයක් නොවෙයි. ඒ වෙනුවට බලයේ හිස් ස්ථානය අත්කර ගැනීම සඳහා වන උපායමාර්ගික සාරාත්මවාදයකි. එසේම ප‍්‍රජාතාන්ත‍්‍රික විශ්වීයත්වයේ යටපත් කළ අනෙකාගේ නියෝජනයක් ලෙස ද එය වර නැගිය හැකිය. තවදුරටත් පශ්චාත් මාක්ස්වාදී බසකින් විග‍්‍රහ කළහොත් ජාතිකවාදය හා සමාජ පසමිතුරුතාවය යනු සමාජ විසම්බන්ධයන්ට (Dislocations) දෙන කතිකාමය පිළිතුරක් ද වෙයි. සමාජයක විසම්බන්ධයන් පැන නගින්නේ පවතින සමාජ ඒකාබද්ධතාවය, ඒකමිතිය හෝ පාලන සමස්තය අස්ථාවර වීම ඔස්සේ බාහිර හෝ අභ්‍යන්තර සිදුවීම් කෙරෙන් පැන නගින ප‍්‍රශ්නාත්මක අර්බුදයන් හේතුවෙනි. එවැනි සමාජ විසම්බන්ධයන් විසින් නව හෙජමොනික ගොඩනැංවීමක් සඳහා වන ආචාරධාර්මික දේශපාලනික (Ethico- Political) ආමන්ත‍්‍රණයන් සඳහා ඇරයුම් කෙරෙයි. එහිදී විසම්බන්ධයන් හේතුවෙන් පාවී යමින් තිබෙන හැඟවුම්කාරක යළි සුසම්බන්ධ කරමින් නව කතිකාමය පිළිවෙලක් නිර්මාණය කරන්නේ ඒකාබද්ධ වූ සමාජ අවකාශයක් තුළ විසම්බන්ධීය අනන්‍යතා නැවත අර්ථකතනය කිරීමේ පොරොන්දුව සපයමිනි. ඒ අනුව ජාතිකවාදයේ හෙජමොනික ව්‍යාපෘතිය විසින් නොපැමිණි සමාජ පූර්ණත්වය සංකේතකරණය කරමින් ජනයාට අනන්‍ය විය හැකි සාර අන්තර්ගතයක් සපයයි.

ලංකාවේ මෑත නිදසුනක් සිහිපත් කළහොත් 2000 දශකයේ මුල් කාර්තුව තුළ ලාංකේය දේශපාලන-සංස්කෘතික සමාජයේ විසම්බන්ධයන් නිර්මාණය කරමින් යම් ආකාරයකට ග‍්‍රාම්ස්චියානු අරුතින් දේශපාලන අර්බුදයක් නිර්මාණය විය. එනම් එවක ප‍්‍රධාන දේශපාලන බලවේග දෙක වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ පෙරමුණත්, එක්සත් ජාතික පක්‍ෂයටත් පැවති සමාජ බලවේගයන්ගේ පක්‍ෂපාතීත්වය ගිලිහී අහිමී වී යන තත්ත්වයකි. ජාතිය, ජනතාව, ආර්ථිකය, සංස්කෘතිය, ජීවිතය වැනි හැඟවුම්කාරක වල නිදහසේ පාවී යාමකට විවෘත වූ තත්ත්වයකි. මෙන්න මේ සමාජ විසම්බන්ධයේ පැලූම් රේඛා වෙතට ආචාරධාර්මික හෙජමොනික ප‍්‍රවේශයක් ගෙන ආමන්ත‍්‍රණය කරමින් යළි කතිකාමය ගොඩනැංවීමක් කිරීමේ දේශපාලන මැදිහත්වීම් කෙරෙහි සිංහල බෞද්ධ ජාතික-වර්ගවාදී සංවිධානාත්මක බලවේග එළැඹුනු බව සිහිකටයුතුය. මේ වන විටත් පාලනාධිකාරයේ සුජාත දෘෂ්ටිවාදය වී ඇති නව රණකාමී සිංහල බෞද්ධ ජාතිකවාදයේ සම්ප‍්‍රාප්තිය සිදුවූයේ එපරිද්දෙනි.

මෙම රචනාවේ ඇතැම් තැන්වල ජාතිවාදය හා වර්ගවාදය යන පද දෙක එක්ව භාවිතා කර ඇති අවස්ථා ඇති හෙයින් ඒ දෙකෙහි වෙනස හා සම්බන්ධය ගැන යම් කෙටි සටහනක් ඔබගේ අවධානය පිණිස යොමු කළ යුතුව ඇත. අප පෙර දැක්වූ ජාතිකවාදී ව්‍යාපාරයක අරමුණ වන්නේ අර්ථයන්ගේ චලනය උත්තරීතර හැඟවුමක් තුළ අඩස්සිගත කිරීම මගින් ‘ජාතිය’ නම් වු හිස් හැඟවුම්කාරකයේ අන්තර්ගතය හෙජමොනික කිරීමයි. ඒ අනුව ජාතිකවාදී ව්‍යාපාරයන් ජාතිය යන්න ‘දේශපේ‍්‍රමය’ යන පදය තුළින් අර්ථකථනය කිරීමේ නැමියාවක් දක්වයි. දේශපේ‍්‍රමය යනු රුධිරය හා පොළොව සමග සම්බන්ධ කළ පරම විමර්ශකයකි. පැවැත්ම හා ස්ථානය අතර සම්බන්ධයේ සද්භාවාත්මක සාරාත්මකරණයක් වන මෙය ජාතිය නම් ප‍්‍රදේශකරණයක් ඔස්සේ වාර්ගික ප‍්‍රජාවක් පරිකල්පනය කරයි. දේශපේ‍්‍රමය හා මාතෘභූමිය යන පදයන් මෙහිදී යම් ජනවර්ගයක පැවැත්මේ අයිතිය සමග සම්බන්ධ කෙරෙයි. "සිංහලයාට ඇත්තේ මේ මව්බිම පමණි" යන ප‍්‍රකාශය සිංහල බෞද්ධ ජාතිකවාදයේ වාර්ගික අන්තර්ගතය මූර්තිමත් කරයි.

බුරා බුරා ඇවිලෙන ජාතික වාර්ගික- ආගමික අග්නි ජාලාවේ හේතු ප‍්‍රත්‍යයන් ගැන අපගේ විමර්ශනය මෙම කෙටි රචනාව තුළ සංගෘහිත කළේ නව විකල්ප දේශපාලන පරිකල්පනයක් ගොඩනැගීමේ දේශපාලන පරිශ‍්‍රමයන්ට සාපේක්‍ෂව බව අවසානයේදී කිව යුතුව ඇත. රාජපක්‍ෂවාදය බිහිසුණු අන්තරායක් වන බව සැබැවි. අපි එය පැහැදිලි කළෙමු. එහෙත් අභියෝගය වන්නේ විමුක්තිවාදී නව ප‍්‍රජාතාන්ත‍්‍රික අරගල භූමියක් මෙම අළු දූවිලි මතින් යළි සොයා ගැනීමයි. විපක්‍ෂය හෝ විකල්පය පිළිබඳ කතිකාව මේ මොහොතේ බොහෝ සෙයින් දිශාගතව ඇත්තේ අනාගත ජනාධිපතිවරණය, පොදු අපේක්‍ෂකයා හා ආණ්ඩු මාරුව පිළිබඳ වාද විවාදයන් දෙසට පමණක් වීම සැබෑ විකල්පයක් ගොඩනැගීම අභිමුව ඇති දැවැන්ත අවාසියකි.

අපගේ යෝජනාව වන්නේ විමුක්ති දේශපාලන අරුතින් කළ යුත්තේ කුමක්ද යන අදිටන් අරමුණ සඳහා සිදුවෙමින් පවත්නේ කුමක්ද යන සංයුක්ත විශ්ලේෂණය වෙනුවෙන් නව සම්භාෂණයක් අනිවාර්යය වන බවයි. ඒ සඳහා සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයේ ප‍්‍රදේශ සීමා තුළම වන නව ගැලපුම් උපමාරු වෙනුවට වෙනත් ප‍්‍රායෝගික සිතියම් න්‍යාය පත‍්‍රයක් මේසය මතට ගත යුතුය. ප‍්‍රතිහෙජමොනික දෘෂ්ටිවාදී වැඩබිමක් තුළ නව චින්තන ව්‍යවහාරයන් අභ්‍යාස කරමින් විමුක්තීන් හා සමාජ සබඳතා ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය කරන නව අරගල සංවිධානයන් ගවේෂණය කිරීම අද දවසේ ප‍්‍රගතිශීලී පෙරටුගාමී දේශපාලන නියෝජනයන් සතු පුරෝගාමී කාර්යබාරය වන බව අපගේ විශ්වාසය යි. සියලුම ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජ ආයතන ඇතුළතින් හිස් කර අරාජිකත්වය හා අවිචාරය පාලන මාදිලිය වී ඇති තතු යටතේ අනාගත සටන් මාවත් වැටී ඇත්තේ අතිශය දුෂ්කර වෙහෙසකර භූ තලයක් මතිනි.

නව විකල්ප දේශපාලන පරිකල්පනයක් වෙනුවෙන් ගොඩනැගෙන ප‍්‍රති හෙජමොනික කතිකාවන් වෙනුවෙන් මේ වන විට අද්දරට තල්ලූ වී ඇති දේශපාලනික-සංස්කෘතික මූලධාර්මික ප‍්‍රශ්න යළි වර නැගිය යුතු කාලය එළැඹ ඇත. ජනවාර්ගික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් පීඩිත අනන්‍යතාවන්ට විමුක්ති නිදහසක් අනාගත රාජ්‍යයයේ- ආර්ථිකයේ මොඩලය පිළිබඳ පෙර දැක්මක් මතු නොව සමස්ත සංස්කෘතික ජීවිතයම යළි රැඩිකල්කරණය කිරීමේ විමුක්ති කතිකාවන් වෙනුවෙන් මහජනයා භෞතිකව සංවිධානය කරන ප‍්‍රයත්නයන් වෙනුවෙන් ඉතිහාසය විවෘත වී තිබෙයි. මේ ගෝලීය-ලංකා ශිෂ්ටාචාර අර්බුදය මැද විමුක්තිදායක ගැලවුම්කරුවාගේ යළි පැමිණීම ගැන වන පැරණි අනාගත වාක්‍යයන් තවමත් පැරණි නැත. සංස්කෘතික විමුක්ති ගිවිසුම ඒ වෙනුවෙනි.

අවසන අපි මෙසේ කියන්නෙමු.
Try Again, Fail Again, Fail Better!



-‘සංස්කෘතික විමුක්ති ගිවිසුම’ වෙනුවෙන්,
විදර්ශන කන්නන්ගර / ප‍්‍රභාත් හේමන්ත කුමාර

සංස්කෘතික විමුක්ති ගිවිසුම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails