Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් විශේෂ නාට්‍ය දර්ශන දෙකක් පැවැත්වීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය- ලලිත කලා අධ්‍යයන අංශය සහ සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශය කටයුතු යොදා තිබේ. ඒ අනුව 2014, සැප්තැම්බර් මස 17 වැනි දින සවස 7:00ට, කංචුකා ධර්මසිරි අධ්‍යක්ෂණය කළ "සුභා" නාට්‍යය ද සැප්තැම්බර් 18 දින සවස 7:00ට, මුදිතා ධර්මසිරි අධ්‍යක්ෂණය කළ "ලෝකාන්තර" නාට්‍යය ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ඊ.ඕ.ඊ. පෙරෙයිරා රඟහලේ දී වේදිකාගත කෙරේ.

කොළඹ ප්‍රේක්ෂකයින් වෙනුවෙන් එම මස 20 දින, "ලෝකාන්තර" ද, 21 දින "සුභා" ද, සවස 3.30ට සහ 6.30ට, බොරැල්ල නාමෙල්-මාලිනී පුංචි තියටර්හි දී වේදිකාගත වේ.

රබීන්ද්‍රනාත් තාගෝර්ගේ 'සුභා' කෙටිකතාව සහ 'ගීතාංජලී' කාව්‍යය පාදක කරගත් සුභා, ලලිත කලා අධ්‍යයන අංශයේ නිෂ්පාදනයකි. සම්භාව්‍ය ග්‍රීක රංග කලා සම්ප්‍රදාය හා පුරාණෝක්ති ඇසුරින් නිර්මිත ශෝක-සුඛාන්තයක් වන ලෝකාන්තර, සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශයේ නිෂ්පාදනයකි.

සුභා

රබීන්ද්‍රනාත් තාගෝර්ගේ සුභා යනු නිහඬ දැරියකගේ කතාව යි. සිය පවුලෙන් හා සමාජයෙන් අවතක්සේරුවට ලක් වන ඇය හෘදයංගම ව සමීප වනුයේ ස්වභාව ධර්මය සමග යි. ගංගා, තණ පලස් හා ඒ මත වැතිරෙන කුඩා දිය බිඳු ඇගේ කුළුපග මිතුරන් ය.

ශාරීරික චලන, සංගීතය සහ වර්ණ භාවිතයෙන් සුභාගේ කතාව ප්‍රතිනිර්මාණය කොට තිබේ. රංග කලා සහ වීඩියෝ කලා ශානරයන්ගේ සම්මිශ්‍රණයක් ලෙස වේදිකාවට එන සුභා හඬ සහ නිහඬතාව ද චලනය සහ නිශ්චලතාව ද සුසංයෝග කරගනී. විශේෂයෙන් දකුණු ආසියාතික සමාජ තුළ ස්ත්‍රීන් මුහුණ පාන ගැටලු කෙරෙහි අපගේ අවධානය යොමු කරන මෙය ස්ත්‍රීන්ගේ අත්දැකීම් හා අභිලාෂ අවප්‍රමාණ කෙරෙන අන්දම විදහා පාන කෘතියක් ද වෙයි.

අධ්‍යක්ෂණය- කංචුකා ධර්මසිරි
සංගීත අධ්‍යක්ෂණය- මනොජ් අලවතුකොටුව සහ විනූෂා විජේවික්‍රම



ලෝකාන්තර

ලෝකාන්තර වනාහි ජීවත් වනවුන් ද මළවුන් ද නොමළවුන් ද පිළිබඳ නාටකයකි. ඔබ කවරකු වුව ද, ඔබ කොහි සිටිය ද ඔබ ඔබේ අයිතීන් වෙනුවෙන් සටන් වැදිය යුත්තෙහි ය. එහෙත් ඔබට සවන් දෙන්නේ කවුද?

මළවුන්ගේ ගායක වෘන්දය ග්‍රීක සංකල්ප ප්‍රබල සිංහල ගී පද හා සංකලනය කරමින් නාට්‍යයේ දුර්දාන්ත වූ ද බියකරු වූ ද යටි තානයට සරිලන සංයෝජනය සපයයි. සම්භාව්‍ය ග්‍රීක රංග කලාවේ ආකෘතීන් අනුව යමින් නිපැයුණු ලෝකාන්තර නම් වූ ශෝක-සුඛාන්තය ලෝක දෙකක් අතර ඔබ මොබ යමින් ඉතිහාසයේ විවිධ යුග සිසාරා ගමනේ යෙදෙන නාට්‍යයකි.

අධ්‍යක්ෂණය- මුදිතා ධර්මසිරි
සංගීත අධ්‍යක්ෂණය- පමුදිත මානෙල්අංග
පිටපත- Renascor රංග කලා සාමුහිකය





මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails