Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මම, අඛන්ඩව අවුරුදු 20ක් ම ගාලුපාර කේන්ද්‍රකරගනිමින්, පෙට්‍රල්-ඩීසල් දුම ආඝ්‍රාණය කරමින් බවුසර් වලට යට නොවෙමින් ජීවත් වූ ගෙන්දගං මිනිසෙක්මි. ජීවිතයේ පළමු අවුරුද්දේ පටන් ඉගෙනීමට කෙළ වන තෙක් වන ජීවන මඟේ, ලිපිනයේ අග්ගිස්සේ වූයේ ගාලුපාර, රත්මලාන යන්නයි. එතැන තිබුණේ ඊයේ පෙරෙයිදා දවසක රණවිරුවන් විසින් මුදා ගනු ලැබූ, උපන් බිමේ වූ කුලී ගෙදර ය. ඉගෙන ගන්නට කියා ගිය ඉස්කෝල වූයේ ගාලුපාරට මුහුණ ලාගෙන ය. ඉන් අනතුරුව කුලී ගෙවල් මාරු කරමින් ගත කළ ජීවිතයේ කොයි පාරකින් මතුවුවද බස් එකක් අල්ලගන්නට නම් ආ යුතු වූයේ ගාලුපාරට ය. මාත්, මා සදාතනික මිත්‍රයා වූත් ෂේන් මැකෙල්විත් ගාලු පාර දිගේ අබමල් රේණුවකවත් බියකින් සැකයකින් තොරව 'මල් සුවඳ' විහිදුවමින් ඇවිද ගිය වාර අපමණකි. කොටින් ම ගාලුපාර වනාහී ජීවිතයේ ම අවිච්ඡින්න අඩවිය කි. ගාලු පාර නම් මොකද්ද? නිකං ගෙදර වගේ, අන්න එහෙම තැනකි. ඒ ඒ පානයන්ට විවර නොවුණු ගාලු මුවදොර සිට ගාල්ල තෙක්ම වන තේ කඩයක් හෝ අවන්හලක් වේ නම් අලුත් කජුකිරි නිල්බලකා කොල්ලන්ට අයත් ඊයේ පෙරෙයිදා විවර වූවක් විය යුතු ය.

දැන් මා අත පොතක් තිබේ. තවමත් මුද්‍රණය නො කෙරුණු මේ පොත ය. මුද්‍රණය වීමට නියමිත මේ පොත ය. ඔබ මේ මොහොතේ කියවන මුද්‍රිත මේ පොත ය. කලා නිහීනයන් සිය කැවුම් නාසා පෙන්වා පබවත පොබ කරන සමයේ "පබාවතීට කවක්" ලියමින් තම සමකාලීනයන්ගේ ආදරයට පාත්‍රවූ ඩොමිනික් චන්ද්‍රසාලි හෙවත් ඩොමා නම් වන හෘදයාංගම තරුණ මිනිසා මේ අලුත් කවි පොත මට ලැබෙනු පිණිස අන්තර්ජාල තැපෑලට යොමු කර තිබිණ. වචනයක් දෙකක් ලියන්නට ය. කොන්දේසි නැත. කොන්දේසි විරහිතබව යනු ම කොන්දේසියක් බව මම දනිමි. මා ඊට යටත් විය යුතුද?

පොත බාගත කර විවර කළ නිමේෂයේ මා ඇද වැටුණේ මගේ ජීවිතය වෙත ය. ගාලුපාර යනු එය යි. අපි කට කැඩුණු රිලවුන් සේ හිනාවුණු ගාලුපාර ඩොමා ගේ අභිනව කවි පොතට නාමකාය සදා දී ඇත. "මඟ දිගට සිනා සළු හැළුණු ගාලුපාරට" ගොඩවන්නට පෙර ම මම යමක් දනිමි. මෙකී සකළවිධ සිනාවන්, වේදනාවේ ගැඹුරු පත්ලත වසාලමින් ජනිත වන්නේ විය යුතු බව ය. සිනහව වනාහී උත්ප්‍රාසාත්මක බව අමුතුවෙන් විග්‍රහ කළ යුතුද? මෙකී උත්ප්‍රාසය ඩොමිනික් චන්ද්‍රසාලීන් විසින් ස්ථාන ගතකෙරෙන්නේ ගාලුපාර යන සංකේතය මත ය. මේ නම් බරපතල කියවීමක් විය යුතු ය.

නාමකාය සමඟින් ම උසුලා ගත් ගාලුපාරට සමාන්තරව ඇදී යන කවීත්වය ගාලුපාර සේම ය. නාමමාත්‍රික නැත. බහුවිධ අරුත් නංවයි. මෙය, මෙකී කෘතියේ නිමැවුම්කරුවාගේ දැනුවත් ප්‍රවේශයක් බව මා පවසන්නේ අතිශයින් ම දැනුවත් ය. සහේතුකව ය. මා මගේ ජීවන ඉතිහාසය වූ ගාලුපාර ඔස්සේ ම පියමැන ඩොමිනික් චිත්‍රණය කරන ලෝකයට පිවිසෙන්නේ එබැවිනි.

ඩොමිනික් ගාලුපාරට කැඳවන්නේ ශ්‍රී ලංකාව නම් දූපතේ මිනිස් හදවත් දෙකක් නොවේ. ඈත දූපතක හක්බෙලි හදවත් දෙකකි. මේ නම් සක් සුදක් සේ පැහැදිලි සත්‍යයකි. සක් හඬක් සේ නින්නාද නැංවිය යුතු වුවත් එය හඬ නො නැඟෙන්නේ ම ය. සවනට ඇසෙන්නේ හෘද ස්පන්දනීය රිද්මය නොවේ වෙනෙකකි. ඊසීජී යන්ත්‍රයක් 'ඉරි ඉරි' නඟන අපස්පන්දනය යි. ඩොමිනික්ගේ කාව්‍ය සමුච්ඡයට පිවිසෙන්නට (ගාලු) මුවදොර සකස් වී ඇත්තේ ඉන්දියන් සයුරේ මෙන්ම සමස්ථ දකුණේ සාමුහික හදවතේ විද්‍යුත් තරංග ගමන් ගන්නා රිද්ම සංකලනය අතරිනි. සහෘදයා නම් වන රෝගියා ගාල්ලට යන බසයකට ගොඩවන්නේ, රෝගී හෘදයක හා රෝගී මස්තිෂ්කයක නිරෝගීභාවය කිරා මැන බැලෙන මොහොතක ය. "ගාලුපාර දිග හැලෙණ සිනා සළු" අතිශය තීරණාත්මක කියවීමක් බවට පත්කර ගත යුතු වන්නේ එබැවිනි.

ඩොමිනික් චන්ද්‍රසාලි, තමන් ගමන් ගන්නා බසයක විවිධ කවුළු ඇර අපට ලෝකය පෙන්වයි. එය වනාහි මට අනුව නූතන ලාංකීය වීදි කවිය යි. ඉංග්‍රීසි කිවියර බෙන්ජමින් සෙෆානියා පවසනාක් මෙන් ම දැන් අපට පෙනෙන්නේ වීදියේ දේශපාලනය යි.

ඉරු රැස් හේදිලා යයි
කොටුවේ ටැප්- එකකට
මධු විතක් අරගෙන එක පෙට්ටියක
අඳුර තුරුලුව ආව
යාල්දේවිගේ උකුලත
සොඳුරු ගැහැනුන් සිටිනා
මැලිබන් වීදියේ කොනකට
(-ඔයා වගේම තමයි, යාල් දේවිත් නිහඬවම ගියා ගියාමයි)


මේ වනාහී ඩොමිනික් ඈත දූපතකින් ගෙන එන්නාක් මෙන් පෙන්වන කොදෙව් ජීවිතය යි. නමුත් සෙෆානියා වන්ව නොවේ. බෙන්ජමින් සෙෆානියා පවසන්නේ "වීදිවල කරක් ගහන මිනිස්සු කියන්නෙ කේන්තියෙන් පුපුරු ගහන මුහුණු තියෙන මිනිස්සුන්ට." යනුවෙන් ය.
ඔහු තව දුරටත් මෙසේ පවසයි.

"මේ වෙනකොට වීදි පුරා කේන්තියන් පුපුරු ගගහ ඉන්න මිනිස්සු කියන්නෙ, පවතින ක්‍රමය වෙනස් කිරීමට හෝ උඩු යටිකුරු කිරිමට මෙකී පවතින ප්‍රවාහයෙන් උරුමය ලබාගත්තවුන්. දැන් පුපුරා පිටාර ගලමින් පවතින්නේ, වසර ගනණාවක් පුරා ඔවුන් තුළම ගබඩා කර තබාගත් ශක්තිය යි. තමුන් ආ‍ශා කළ, එ නමුත් අත්පත් කරගැනිමට ආර්ථික ශතියක් නොතිබූ බඩුබහිරාදිය සියල්ල ඔවුන් විසින් ගබඩා වලින් පැහරගනු ලබමින් සිටින්නේ. ඔවුන් ව අවබෝධ කරගැනිමට, අප ඔවුන් සමඟ එකඟ වියයුතු නැහැ. නමුත් ඇත්තටම ඔවුන්ව අවබෝධ කරගැනිමට ඇති නොහැකියාව කියන්නෙ, අපේ රටට සිද්ධ වෙලා තිබෙන දේ අවබෝධ කරගැනීමට ඔබට ඇති නොහැකියාව යි."

ඩොමිනික් මවන වීදිය එයම ය. ඒත් එය, මා පවසන සාමුහික විඥානයේ පැතිකඩක සිට තනි තනි ව සීරුවෙන් සිටගන්නා වූ තත්වයකට රූපාන්තරණය වූවක් ය.

ඉස්සර මංසල හරි අවංක ය
දුක් ගින්දර පවා දරන්නේ
ගම්මු එක්ක ම හදවත් වැලඳගෙන ය
නිල නොලත් අවි හංගාගෙන
මංසලත් දැන් එක විදිහක් ය
(-සදාදරණීය කිවුල ළිඳ ළඟ මංසල)


එබැවින් ඩොමිනික්ගේ වීදි ස්වරය වෙනස් ය. ඔහුගේ වීදි මිනිසා මීට එරෙහිව නැඟී සිටින්නෙක්ද? මට පෙනෙන අයුරින් ඔහු ඉවසන්නෙකි. ඉවසමින් බර කර ගසන්නෙකි. එය අපට පෙන්නන ස්වරය කඳුළු වගුරුවන්නකු කෙරන් මතුව එන්නකි.

ආදරේ බොරළු කන්දක් දිග
මුට්ට කරගහගෙන
ඔයා තනියම
ඔය බර අදිනකොට
ආමර් වීදියම තෙත් වුණේ
මගේ දුකඳුළුවලට
(-ජිනේ)


ඉදින් මම ඩොමාගේ කවි එක වැකියකට ගොනු කරමි. "මේ සියල්ල දාඩිය ගඳගහන කවි ය." ඩොමාගේ කොල බොක්කෙන් ම නැගෙන්නේ, තවමත් නැත්තටම නැතිවී නැති නොවී ශේෂ වී පවතින අන්තිම අල්පතර දකුණේ සාමුහික විඥානයේ කටහඬයි. සෑම කේවල කවියක් ම ඒ හඬ වෙනුවෙන් පෙනී සිටී. ආර්ථිකමය කොන්දේසි අහෝසි කර දා මිස ප්‍රේමය එහි ස්වරූපයෙන් ම පවත්වාගෙන යා නොහැකි වුව දරිද්‍රතාවේ පත්ලේම පවතින කුටුම්බයකින් පාවා නැඟී එන්නේ නො නැසුණු ඒ අංශ්‍රමාත්‍ර හැඟීම යි. කෙසේ වුවද සියල්ල අතරතුර මේ වනාහී අවිච්ඡින්නව චණ්ඩිකමට මුට්ට කරගහන සමාජයක් බව ඩොමා අපට පසක් කරවයි. එය පරම්පරාවෙන් පරම්පරාවට දිග්ගැස්සේ.

ජීවිතේ ලස්සන ම දින ටික
කරගැට පිපුණු අත්වලින් පිරිමදිනකොට
ජිනේ අපෙ පොඩි එකා
බංඩියේ හරි සෙල්ලම
මූ චණ්ඩියෙක් කරමු නේද
මුට්ට පහ හයක් කරගහන
(-ජිනේ)


යෝජනාව තුළ වන්නේ චණ්ඩිකම වුව මේ වනාහී ඉවසා වැදෑරීම හැර අන් යමක් නොවේ. නමුත් මේ සංයමය සහෘද හදවත් දෙපලු කරලයි. වේදනාවෙන් පුරවයි. ස්ථිර තැන්පතුවක ඇති සාමුහික විඥානයේ අවසාන සොච්චම් හැගීමත් අපට සිහි කැඳවයි.

පිත්තල පාට ආලේප කර
අක්බඹර කෙස් වැටි ඇති
අක්කර පත්තුවේ රේවතී
මේ අතර
ඈ ගැනත් තියෙනවා කියන්නට
බොහෝ දිග විස්තර
(-සිහිනයෙන් දුටු බම්බලපිටිය)


බොහෝ විට යථාර්ථය හමුවන්නේ සිහිනයෙනි. ස්වකීය සිහිනය විශ්ලේෂණය කරනු පිණිස ඩොමා විසින් ගාලුපාරට තාර ඇතිරූ ගෙන්දගම් පොළොවට, හතර දිග්භාගයේ ම ගැහැණුන් මිනිසුන් කැඳවන්නේ වෙයි. මේ භෞතික සියල්ල වෙත ඉහළ කෝණයකින් ආලෝක කදම්භයක් එල්ලකර බලන ඕනෑම ආභෟතික බලවේගයක් වුව නිරුත්තර වන්නේ නිරුත්සාහකවම ය. අනෙක් පසින් සප්‍රාණික සියල්ල දකින්නේ අප්‍රාණික බලවේගයන් වන බැවින් කළ හැකි කිසිවක්ද නැති.

සඳටත් ඉතිං නෑ කට උත්තර
බම්බලපිටිය හරියෙන් යනකොට
(-සිහිනයෙන් දුටු බම්බලපිටිය)


සමාජය අත්පත් කරගන්නට භෞතික ක්‍රියාවලියක් නැති තැන කවියා තුළ වන භෞතික සාධක අභෞතික වන්නට පටන් ගනී. සංකල්ප පැටලේ. යථාර්ථ යනු එයම වන විට, එය නිරූපනය වන්නට අවකාශ සළසනු විනා කවියා අන් කුමක් කරන්නද? සප්‍රාණික සියල්ල අප්‍රාණික ස්වරූපයෙන් පෙනී ඉන්නා අනාගතයකින් කවරක් මුදා ගන්නද? නො එසේව එය වළක්වන්නද? වළක්වන්නේ නම් කෙසේද?

පුතාගේ ඉස්කෝලේ යාළුවෝ
බිම්මලක්, ටයර්- එකක්, ගඩොල් කැටයක්ය
ගුරුතුමී යනු ඉදලක්ය
ආදරේ යනු කෝම්පිට්ටු බත්ය
(-ප‍්‍රවේශ පත‍්‍ර නැති පුතාගේ ඉස්කෝලේ)


කිසිවෙකුටත් මේ ජීවිත ගැන 'වගවීමක්'නැත. සැබැවින් ම මේ වනා හී කට උත්තර නැති වන ජීවිතයකි. ලියොනාඩ් කොහෙන් නම් වන කැනේඩියානු කවියා, කවිය අරභයා මෙසේ පවසයි.

"කවිය කියන්නෙ ජීවිතය පිළිබඳ සාක්ෂියක්. ඔබට ඇත්තේ ඇවිලෙමින් ඇති ජීවිතයක් නම්, කවිය කියන්නෙ අළු."

පවත්නා අර්ථක්‍රමය තුළ ප්‍රේමය වනාහී තවත් එක් භාණ්ඩයක් හෝ සේවාවක් වන විට අතිනත පැටලෙනුයේ තාවකාලික හැඟුම් මාත්‍රයන් පමණෙකි. පෘථිවියේ කේන්ද්‍රයේ වූ සුගති උද්‍යානයෙන් ඇරඹි නිවහල්කාමී ප්‍රේමය ගාලුපාර දිගේ ඇදී යන බසයක මුළුගැන්වෙන තරමටම පටු වී තිබේ. බලන්න ඩොමිනික් චන්ද්‍රසාලි නම් වන දේශපාලන සත්වයා තමන්ගේ භාවිතය කෙරෙහි කෙතරම්ම සවිඥානකද?

ඉතින් නුඹ යන්න
දෙන්න මට උරහිස
(-ගාලු පාර දිග හැලුණ සිනා සළු)


අවසාන මොහොතේ වුව ඔහු ඉල්ලනේ ප්‍රේමය නොව උරහිසයි. කරගසාගෙන යන්නට කුරුසියක් තිබේ. ඉදින් ප්‍රේමය නිදහස් කර ගන්නට ප්‍රථම උරහිස නිදහස් කර ගත යුතු ය. කුරුසිය කරගසා ගෙන යා යුත්තේ ගාලුපාර ඔස්සේ ගාල්ලට හෝ එතැනින් මාතරට හෝ නොනැවතී හම්බන්තොටට නොවේ. මේ මොහොත වනාහී හම්බන්තොටින් අත්පත් වූ විමුක්තිය භුක්ති විඳිනා මොහොත යි. ඉදින් කුරුසි ය කරගසාගෙන යා යුත්තේ සිරිපාද කන්ද මුදුනට ය. මන්දයත් වෙනත් මං මාවත් අලුත් මංමාවත් ස්වරූපයෙන් ඉදිවෙමින් තිබුණද ලංකා සිතියම ඉරිතලමින් තිබේ.

පළාපෙති ලියවැල් හැලෙයි
ලංකා සිතියමේ බිත්තිවල
කලාවක් තමයි මචං දැන්
සලාකෙන් මුඛවාඩම් බැඳීම
(-මචං ප්‍රගීත්)


මේ සකලවිධ පීඩනය හා දරිද්‍රතාව තුළ ස්වයංව මුඛවාඩම් බැඳගනිමින් උකටලී නොවිය යුතු බව ඩොමිනික් අපට පහදන්නේ වෙයි. ඊට එරෙහි විය යුතු හඬ කවියා යෝජනා නොකරයි. එය දේශපාපනික ක්‍රියාවලියකි. ඩොමිනික් අපට පවසන්නේ එබඳු ඇත්ත දේශපාන ව්‍යාපාරක් තියෙන්නේ නම් "ඔව් මචං මමත් එතන තමයි ඉන්නෙ" යනුවෙනි.

ඒ කෙසේවතුදු ඩොමිනික් වචන හරහා සිත්තම් කරන බරසාර ජීවිත වලට බලාපොරොත්තු නැතුවා ම නොවේ. ඒ ඩොමිනික්ගේ හෘදයාංගමභාවය මිස අන් කවරක්ද? ඒ තුළ වන නිර්දය උත්ප්‍රාසය බස් බෝම්බයක හඬ පරයමින් මහ හඬින් පුපුරා නොයන්නේ ද? ඩොමා ස්ථානගත කරන මෙකී දේශපාලනික 'ගාලු පාර' නොපෙනෙන්නේ ආණ්ඩුවේ ලදරං බසයේ එල්ලීමට වලිකන, කවිය දේශපාලනික නොවිය යුතුයැයි පාරම්බාන කොන්ත්‍රාත්කාරයන්ට පමණි.

තුන් මංසලේ එඬරු වැට ළඟ
මුහුකුරා ගිය වීරගස් පාමුල
සැඳෑ සමයේ සාදවලට
අසුන් දෙන මහලු බස් නැවතුම
බලා සිටී ඇය තවම
ආණ්ඩුවේ අවසන් බස්- එක
අරන් එනතුරු සුබ පණිවුඩ
(-බස් නැවතුම සහ මැහැල්ල)


ඩොමිනික් චන්ද්‍රසාලි නම් වන මෙම තුරුණු මානවකයාගේ 'දාඩිය ගඳ මෙම කවි සපුව' අපට පසක් කරනුයේ ඔහු තුළ වන නිරහංකාරකමයි. ස්වකීය සන්තානයේ අඳුරු අහුමුලු අතපත ගා මතුකර ගන්නා වූ අව්‍යාජී ජීවිතයයි. ඔහු පෙර කී කවියකුගෙන් වෙන්වන බෙදුම් රේඛාව වැටී ඇත්තේ ගාලුපාරේ පේමන්ටුවට සමාන්තරව දිවෙන ‍මෙම අව්‍යාජබව ඔස්සේ බව අවසාන වශයෙන් සටහන් කර තබමි.

(-'ගාලු පාර දිග හැලුණු සිනා සළු' කෘතියේ පෙරවදනෙන්)

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails