Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පැරසිටමෝල් යනු වෛද්‍ය විද්‍යාවෙන් මිනිසා වෙත දායාද කල අපූරු බෙහෙතකි. සැබවින්ම එය බෙහෙතක් නොවේ. එය වේදනා නාශකයකි. ඕනෑම ලෙඩකදී අපි පැරසිටමෝල් පෙති දෙකක් බී වේදනාව සමනය කරගෙන පසුව වෙද්‍යවරයා හමුවීමට පුරුදුව සිටින්නෙමු. කිසිදු බෙහෙතකින් තොරව හුදු විවේක සුවයෙන් සනීප කරගතහැකි ආබාධවලට පවා වෛද්‍යවරු පැරසිටමෝල් නිර්දේශ කොට රෝගියාගේ 'ලෙඩට බෙහෙත් බීමේ මානසික ආශාව' සමනය කරවයි. අද දවසේ බොහෝ ආබාධ වලට ගොදුරු වී, එම ආබාධ වලට නිසි බෙහෙත් හෝ දොස්තරවරු නැතුව අඳුරේ අතපත ගාන අපේ සමාජයට ගිල්ලවීමට හදන පැරසිටමෝල් පෙත්ත "පොදු අපේක්ෂකයා" ද?

පොදු අපේක්ෂක සිහිනයේ ක්ෂේමභූමි වන්නේ ජනාධිපති ධූරය අහෝසි කිරිම, ව්‍යවස්ථාදායක කොමිසම, මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම වැනි ශක්තිමත් කොමිසම් පිහිටවීම වැනි බැරෑරුම් වැඩ කිහිපයකි. බලය හමුවේ උපායශීලි නොවී උපක්ෂාසහගත ලෙස කටයුතු කළ හැකි දේශපාලන නායකයන් කීදෙනෙකු පොදු අපේක්ෂක කතාබහ ඇතුලේ ඉන්නවාදැයි සැක සහිතය. මෙම කොමිෂන් සභා වලට පත්කිරීමට අපක්ෂපාති උගත් සිවිල් නිලධාරීන් හොයාගන්නේ කෙසේද? හැමෝම කෙළින්ම හෝ අනියම්ව සිටින්නේ මරා සහ පිරිසගේ සෙවණැල්ල යටය. නොඑසේනම් සෙවණැල්ල යටට යාමේ සිහිනය තුළය. පුද්ගලික අැජෙන්ඩා නිසා මරාගේ සෙවණැල්ල සමග තරහ වුණු පිරිස් මහන්සි වන්නේ නිදහස සඳහා නොව තවත් මරා වර්ගයේ සෙවණැල්ලක් දිනාගැනීම සඳහා ය!

මෙම කොමිසම් සක්‍රියව පවත්වාගෙන යාමට නම් බටහිර රටවලින් සිවිල් උගතුන් ආනයනය කිරීමට සිදුවෙනු ඇත. එහෙත් මෙසේ පත්වෙන නිලධාරීන් මාස කිහිපයකින් තම තනතුරු වලින් ඉල්ලා අස්වනු ඇත. ඔවුන් එසේ ඉල්ලා අස්වෙන ලිපිවල සඳහන් කරනු ඇත්තේ ලංකාවේ සමාජයට සාධාරණව ජීවත්වීමට බැරෑරුම් අවශ්‍යතාවයක් නොමැති බවයි. හැමෝම කැමති පුංචි පුංචි ඩීල් දාගෙන සාමයෙන් සතුටෙන් ජිවත් වීමටයි. මේ අංගවිකල සාමය කැඩෙන තැන වන්නේ අනෙකා තමාට වඩා වැඩියෙන් ඩීල් දමාගෙන වැඩි ජොලියක් ගන්නා බවට තමාගේ හිත කීරි ගැසෙන අවස්ථාව ය. සමහරු පොදු අපේක්ෂක පැරසිටමෝල් හොයාගෙන යන ලෙඩේ නිමිත්ත ඇත්තේ මෙතනද?

මරා සහ පිරිස දූෂිතයි කියමින් කෑ මොර දෙන පිරිස අමතක කර දමන කාරණය නම් දූෂිත නැති පිරිස් රට තුළ ඉතා අල්ප බවත් මේ අල්පයන්ගේ බලය රට පාලනය කිරීමට තරම් බලවත් නොවන බවත්ය. රටේ දූෂණය සෙවීමේ ලිට්මස් පරික්ෂාව තියෙන්නේ රට තුළ නොව රටෙන් එළියේ සිංගප්පුරුව, ඩුබායි, ලන්ඩන්, වැනි රටවලය. ලංකාවේ දේශපාලකයන් සහ දේශපාලකයන් නිසා ව්‍යාපාරිකයන් වුන මිනිසුන් මේ රටවල් සමග කරන ගනුදෙනු සොයා සමාජගත කළහොත් රටේ දූෂණයට එරෙහි සුළග හමන අත වෙනස් වනු ඇත.

සමහරු හිතන්නේ මගතොටේ ඔබ මොබ ඇවිද යන මිනිසුන් සොයන්නේ පොදු අපේක්ෂකයෙක් කියාය. එහෙත් රටේ භුමිය එක්කර කිරිබත් කෑ මිනිසුන් තවමත් සිටින්නේ අඩනින්දේය. බොහොම අහිංසක විදිහට ටෙලියක් දෙකක් බලාගෙන කුට්ටුම්බගත වී සිටින නිහඬ බහුතරයට පොදු අපේක්ෂකයා යනු තවත් එක් රියැලටි ෂෝ එකකි. එහෙත් ඇස් දෙක රතුවෙන විහිළුව නම් හොඳ මිනිසුන් කිහිප දෙනෙක් එකතුවී මේ නිද්‍රාගත මිනිසුන් සමග සමාජය ශිෂ්ට කිරීමේ පොදු අපේක්ෂක කතිකාවක් ගොඩනැගීමට තැටමිමයි.

සැබවින්ම පොදු අපේක්ෂක සිහිනය සමග හුරතල් වීම අපේ සමාජයට අලුත් දෙයක් නොවේ. මහා වැස්සකට පෙර එන අකුණු සැර වගේ සෑම ජනාධිපතිවරණයකටම පෙර පොදු අපේක්ෂක කතාබහක් උඩ පැන පැන දැල්වී නිවී යයි.

මෙවර පොදු අපේක්ෂක කතිකාව යන දුර කොපමණද? අරලිය ගහ මන්දිරයේ දී හෝ දළදා මන්දිරයේ දී රන් පතක ලියා, රන් කොපුවක දමන ලද ලියවිල්ලක් මරා සමග හුවමාරු කරගැනීමෙන් මෙවරත් පොදු අපේක්ෂකයා සියදිවි හානි කරගනිද? ජීවත්වීම යනු ඩීල් එකක් බවට ලඝු කරගෙන, දේශපාලනයෙන් පාර්ලිමන්ට් ජෝක්ස් විඳින, සමනල වර්ණ ව්‍යාපාර අස්වාභාවික මරණ වලට ගොදුරුවීමේ දේශපාලනය අප තේරුම් ගන්නේ කවදාද?

සරද සමරසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails