Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ලයිබීරියාව, ගිනියාව හා අප්‍රිකානු රාජ්‍යයන් තුළ පැතිර යන එබෝලා වසංගතය (Ebola) ගැන බටහිර මාධ්‍ය විවිධ මත පතුරවමින් සිටියි. ඔවුන්ව මෙහෙයවන භූ දේශපාලනික (Geopolitics) උවමනාවන්ට අනුව මෙය ඉතා දරුණු හා ඉකිමණින් පැතිර යන වසංගතයකි. එබෝලා වෛරසය ශරීර ගතවුව හොත් මුලු සිරුරේම මාංශ පේශීන් දරුණු වේදනාවට පත් කර සමනය නොවන උණ ගතියක් ඇති වෙයි. එය එබෝලා වෛරස වසංගතය (EVD) නමින් හැඳින් වෙයි. වෛරසය ප්‍රථමයෙන්ම සොයා ගැනුනේ බටහිර අප්‍රිකානු වැසි වනාන්තර ආශ්‍රීත දුරස්ථ ප්‍රදේශවලය. මෙම වෛරසය මානවයාට වන ජීවීන්ගෙන් බොවුනා යැයි ප්‍රකාශවන අතර පුද්ගලයාගෙන් පුද්ගලයාට හුවමාරු ව බෝවන වසංගත රෝගයක් යැයි අනතුරු අඟවා ඇත. බටහිර අප්‍රිකාවේ වන ගත ප්‍රදේශවල හමුවන පළතුරු වවුලා (Pteropodidae) මෙම වෛරසයේ වාහකයා ලෙස නම් කරයි. එබෝලා වෛරසය වෛද්‍ය පර්යේෂණ කණ්ඩායම් මෙලෙස වර්ගීකරණයට බෙදා වෙන් කරති.

• Bundibugyo ebolavirus (BDBV)
• Zaire ebolavirus (EBOV)
• Reston ebolavirus (RESTV)
• Sudan ebolavirus (SUDV)
• Taï Forest ebolavirus (TAFV)

වෛරසය ශරීර ගතවීමෙන් උණ ගතිය, මාංශ පේශී රුදාව, ශාරීරික දුර්වලතා, හිස රුදාව, උගුර සෙම ගතිය, ඉන් පසු වමනය, පාචනය, වකුගඩු හා ආමාශයේ ක්‍රමයෙන් අක්‍රිය වීම හා අභ්‍යන්තරයේ හා බාහිර රුධිරය වෑහීම, සුදු රුධිර සෛල වැඩිවීම වැනි රෝග ලක්ෂණ දක්නට ලැබේ. සියෝරාලියෝනය හදිසි නීතිය පනවා සියලු පුරවැසියන් එන්නත් කිරීමට හමුදාවට අණ කළේය. එමෙන්ම ලයිබීරියාව හා එක්ව බටහිර අප්‍රිකාව පුරා වෛරසය පැතිරයාම වළකා ගැනීමේ ප්‍රයත්නයක නිරත විය. ලයිබීරියාවේ පමණක් එබෝලා වෛරසය ශරීර ගතවූ පුද්ගලයෝ 700කට අධික සංඛ්‍යාවක් මිය ගියහ. අගෝස්තු මස 28 දින වන විට රොගී පුද්ගලයෝ 1,400ක් පමණ මිය ගියහ. ඉන් 129 දෙනෙක්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයෝය. වෛරසය ශරීර ගත වූවෝ 2,600 ක් පමණ වෙති. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ තොරතුරුවලට අනුව නයිජීරියාවේ පුද්ගලයන් පස් දෙනෙක් මිය ගොස් ඇත. එබෝලා වෛරසයෙන් පාසල් දරුවන් ආරක්ෂා කිරීම සඳහා ඔක්තෝම්බර් මස දක්වා පාසල් වසා දැමීමට නයිජීරියා අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කළේය.

ලයිබීරියාවේ සමාගම් ආක්‍රමණය

දුරබැහැර ගම්මානවල ජීවත්වන ලයිබීරියානු වැසියෝ පරම්පරා ගණනාවක්ම වසර දහස් ගණනක් එම ප්‍රදේශවල අවහිරයකින් තොරව නිදහසේ ජීවත් වුහ. එහෙත් රජය පවසන පරිදි මෙම ඉඩම් සඳහා නිත්‍යානුකූල ඔප්පු ගැමියෝ සතු නොවුහ. එයට හේතුව භූමියට හිමිකම් කීමේ ප්‍රතිපත්තියක් ගැමියෝ නොදැන සිටීමයි. ඉඩම් සැමට අයත් පොදු වස්තුවක් හා සොබාදහම ලබා දුන් දායාදයක්යැයි ඔවුහු විශ්වාස කළහ. එතෙක් රජය ඔප්පු සකසා නීත්‍යානුකූල පැවැරුමක් කළේ නාගරික වැසියන් සඳහා ය. එහෙත් රජය නිත්‍යානුකූල ලේඛන නොමැති ඉඩම්වල පාරම්පරිකව ජීවත්වන මෙම රටවැසියන් අනවසර පදිංචිකරුවන් ලෙස හඳුන්වයි.

මැලේසියානු සමාගමක් වූ සිම් ඩර්බි (Sime Darby), ලයිබීරියානු රජය සමග ලෝක වෙළඳපළ සඳහා ආහාර පිසීමට අවශ්‍ය තෙල් නිෂ්පාදනය වෙනුවෙන් ෆාම් ගස් වැවීමට, හෙක්ටයාර 220,000ක් ලබා ගැනීමට, වසර 63 කට බදු ගිවිසුමකට අත්සන් තැබීය. මෙම සමාගම පවත්වා ගෙන යන වෙඛ් පිටුවේ "සැම අයෙකුටම තිරසාර අනාගතයක් උදා කරන්නෙමු" යන උදෘත පාඨය සටහන් වෙයි. තවත් විදේශ සමාගම් තුනක් වූ Golden Veroleum, ArcelorMittal, Putu වාණිජ කෘෂිකර්මාන්තය නාමයෙන් සාරවත් ඉඩම් මංකොල්ලය සඳහා ලයිබීරියාව ආක්‍රමණය කර ඇත.

ලයිබීරියාව, ලොව දුප්පත්ම රාජ්‍ය අතරින් තුන්වන රට ලෙස කලකට පෙර සංවර්ධන ආයතන වර්ගීකරණයට ලක් කළේය. එහි ඒක පුද්ගල ආදායම ඩොලර් 49 කි. ජනාධිපති එලන් ජොන්සන් විදේශ ආයෝජකයන්ට ලයිබීරියාවට පැමිණ නිර්බාධිතව ආයෝජනය කළ හැකි ලෙස එරට ඉඩම් නීති සංශෝධනය කළේය. ලොව බොහෝ රාජ්‍යයන් කරන්නා සේම වසර 14 ක සිවිල් යුධයෙන් පසු සංවර්ධනය හා සාමය ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර මූල්‍යාතන වලින් ණය ලබා ගනිමින් කොන්දේසිවලට ස්වාධිපත්‍යය යටපත් කළේය. පොදු හා ස්වභාවික සම්පත් අලෙවිය සඳහා විදේශ ආයෝජකයන් සමග ඩොලර් බිලියන 19ක ගිවිසුම්වලට එළඹ ඇත. මෙමගින් රාජ්‍යයේ සමස්ත භූමියෙන් අඩක් විදේශ සමාගම්වලට හිමි වෙයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ තක්සේරුවට අනුව ඉදිරි වසර දහය තුළ මෙම ගණුදෙනු වලින් රජයට ලැබෙන්නේ ඩොලර් බිලියන දෙකක අදායමකිි.

සමාගම් අත්පත් කර ගත් ප්‍රදේශ ඉතා පොහොසත් තෙත් බිම් හා කඩොලාන පද්ධතියකින් යුක්තය. සමාගම් මෙම භූමිය හිමිකර ගැනීමට පෙර වී ගොවිතැන, ධීවර කර්මාන්තය හා හස්ත කර්මාන්ත මෙම ප්‍රදේශයේ ජනයාගේ ජීවන වෘත්තීන්ය. ජනයාට ඉඩම් සඳහා වන්දි මුදලක් ලැබුණ ද එය තක්සේරු කර තිබුණේ එක් කන්නයක අස්වැන්නක් සඳහාය. ගොවියකුට වන්දි වශයෙන් ඩොලර් 100ක අඩු මුදලක් ලැබිණ. එමෙන්ම මෙම ගණුදෙනුවල කිසිදු විනිවදභාවයක් දක්නට නොලැබින. සමාගම් අන් සෑම තැනකම සිදුවන පරිදි ජනතාවට රැකියා සැපයීම, යටිතල පහසුකම් සංවර්ධනය, ආධ්‍යාපනයට ආධාර කිරීම, ළමා ක්‍රීඩාංගන, පොදු පහසුකම් වැනි පොරොන්දු ලබා දී තිබිණ.



ඉතියෝපියාවේ ඉඩම් මංකොල්ලය

දශක කීපයකට පෙර ගෝලීය ජන මාධ්‍ය විසින් ඉතියෝපියාව, නියඟය හා නිරාහාරව ජනයා මියයන සාපලත් දේශයක් ලෙස හඳුන්වාදුන්නේය. 1983 හා 1985 කාලය තුළ අඩ මිලියනයක ජනයා නියඟය, අහාර හිඟකම හා සිවිල් යුධ තත්වය නිසා මිය ගියහ. එහෙත් හදිසියේම ජාත්‍යන්තර මුල්‍යාතන ඉතියෝපියාවේ ආර්ථික වර්ධන වේගය ගැන පුරසාරම් දොඩවන්නට විය. දැන් ඉතියෝපියාව, අප්‍රිකාවේ අන් සියලු රාජ්‍යයන් අභිභවා සංවර්ධනයේ ඵළනෙළමින් පෙරමුණට පැමිණන ඇතැයි සංවර්ධන ලේඛනවල සටහන් වෙයි. අගනගරය වූ අඩිස් අබාබා නගරයේ දැවැන්ත ඉදිකිරීම් දැක ගත හැක. එහෙත් මේ සියල්ල බටහිර සමාගම් හා මූල්‍යායතන මවා පෑ ඉන්ද්‍රජාලයන්ය. ජනගහනයෙන් 90%ක් එනම් මිලියන 87ක් දරිද්‍රතාවෙන් පෙළෙති. ඔවුනට මූලික අධ්‍යාපනය, සෞඛ්‍යය හා සනීපාරක්ෂක පහසු කම් නොමැත. මිලියන 30ක ජනයා ආහාර හිඟකමෙන් පෙළෙති. මේ සියලු පසුගාමී තත්වයන් අතර බහුජාතික සමාගම් ආර්ථික වර්ධන මායාවට මුවාවෙමින් ඉතියෝපියාවේ ඉඩම් මංකොල්ලයක නිරතව සිටියි. ඉතියෝපියාවේ දේශපාලකයෝ රාජ්‍යයට අයත් පොදු දේපළ හෙක්ටයාර මිලියන ගණනක් විදේශ ආයෝජකයන් වෙත ඉතා අඩු මුදලට වාණිජ කෘෂිකර්මාන්තය සඳහා අලෙවි කරති. එහෙත් පාලකයෝ මෙම ආයෝජනය ඉතියෝපියානු ජනයාට තිරසාර අනාගතයක් හා අවශ්‍ය ආහාර ලබාගැනීම සඳහා ගත් උත්සාහයක් යැයි ප්‍රකාශ කරති.

බහුජාතික සමාගම් ජෛව ඉන්ධන සඳහා බඩ ඉරිඟු වගාවට මෙම ආයෝජනය සිදු කරන අතර ඉන් ඉතියෝපියානු ජනයාගේ ආහාර අර්බුදයට පිළියමක් ලැබෙනු ඇතියි පැවසීම හිතළුවකි. එමෙන්ම සමාගම් කෘෂිකර්මාන්තය විසින් දැනටමත් ආදිවාසී ගෝත්‍රික ජනනයා විශාල වශයෙන් ඔවුන්ගේ නිජභූමිවලින් ඉවත් කොට අවතැන් කර ඇත. මානව හිමිකම් උල්ලංඝණය, ආදිවාසී සංස්කෘතිය විනාශ කිරීම, පරිසරය විනාශය හා විදේශ ආහාර ආධාර මත යැපීමට ජනයා පෙළඹවීම දක්නට ලැබේ. සෞදියට අයත් එක් සමාගමක් ඉතා සාරවත් හෙක්ටයාර 10,000 ක් වී වගාකරන අතර එම අස්වැන්න සෞදි ජනයාගේ අවශ්‍යතා සඳහා අපනයනය කරයි. සෞදි රාජ්‍යයට හා මැදපෙරදිග බොහෝ රාජ්‍යයන් තම ජනයාට ආහාර නිපදවීම සඳහා අත්‍යවශය සාරවත් ඉඩම් නොමැතිකමින් යාබද දුප්පත් අප්‍රිකානු රාජ්‍යයන්ගේ භූමිය අත්පත්කර ගැනීමේ දේශපාලන උපාය මාර්ග අනුගමනය කරමින් සිටිති. ඒ සඳහා අමෙරිකානු CIA සංවිධානයේ සහයෝගය මත වාර්ගික හා ආගමික ගැටුම් නිර්මාණය කිරීම, ඉස්ලාමීය සටන්කරුවන්ට අවි හා මූල්‍යාධාර සැපයීම වැනි ක්‍රියාකාරකම් උදෙසා යහමින් මුදල් ආයෝජනය කරති.

චීනය වැඩිවන ජනගහනය සඳහා ආහාර බෝග වගාවට තම රාජ්‍යය තුළ ඉඩම් හිඟකම නිසා අප්‍රිකානු රාජ්‍යයන්හි හා පිලිපීනය ඇතුලු පැසිෆික් කලාපයේ කුඩා දුපත්වල ඉඩම් අත්පත් කරගනිමිනි සිටියි. චීනය, පිලිපීනයේ අක්කර මිලියන 2.5 ක් බද්දට ගෙන තම ජනයාගේ අවශ්‍යතාව සඳහා වගා කටයුතු ආරම්භ කළේය. පිලිපීන ගොවියා මෙම ගිවිසුම්වලට එරෙහි අරගල ආරම්භ කළේය. මෙයට සමාන්තර තත්වයක් මැඩගස්කරයේ දක්නට ලැබිණ. දකුණු කොරියානු සමාගමක් වූ Daewoo Logistics අක්කර මිලියන 3 ක් අත්පත් කර ගත්තේය. ජන උද්ඝෝෂණ විසින් රජය පෙරළා දැමූ අතර එම ගිවිසුම අවලංගු විය. දකුණු අමෙරිකානු රාජ්‍යවල ඉතා සරුසාර ඉඩම් කාර්ගීල්ස් හා මොනසන්ටෝ වැනි ජාරජාතික සමාගම් වාණිජ ආහාර බෝග වගාව සඳහා අත්පත් කර ගෙන ඇත. 2008 වසරේ සිට සෞදි අරාබිය, දකුණු කොරියාව හා චීනය තම රාජ්‍යවල ආහාර අවශ්‍යතාව සපුරාගැන්මට අප්‍රිකානු රටවල බිම් මිල දී ගත් අතර අප්‍රිකානු රටවල පාලකයෝ සාරවත් ඉඩම් අක්කරය ඩොලරයකට විකුණා දැමූහ. බොහෝ ඉඩම් ගණුදෙනු සිදුවූයේ ඉතා රහසිගතවය. එහෙයින් ජනයා ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහිව අරගල මාවතට පිවිසිණ. ලෝක බැංකුව හා අන්තර්ජාතික මූල්‍ය අරමුදල ගොවින්ගේ කුඩා ඉඩම් කට්ටි අලෙවි කිරීමට අවශ්‍ය ඔප්පු සමිපාදනයට රාජ්‍යයන්ට අවශ්‍ය පහසුකම් සලසා තිබිණ.

ඉතා පොහොසත් සංස්කෘතික උරුමයක් සහිත දිවි පෙවතක් හිමි වූ ඉතියෝපියානු හා ලයිබීරියානු ආදිවාසී ජනයා සමාගම් ගොවිතැන විසින් නිජභූමිවලින් ඉවතට ඇද දමා අවතැන් කරන ලදී. මෙලෙස අවතැන් වූ ජනයා නූතන සංවර්ධනයේ මානව කසළ (human garbage) ලෙස නාගරික පැල්පත් ආශ්‍රිතව ගොඩ ගසා ඇත. ඉතිරි පිරිස සමාගම් ගොවිපළ සේවකයන් බවට පරිවර්තනය වෙමින් තම උපන් භූමියේ ම වහල්ලු බවට පත් වෙති. වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂකවරු වන වෙරෝනික් මවුඩේ හා රෝමෙයින් පෙලෙරායි විසින් නිපැයූ "ඉතියෝපියාව විකිණීමට තිබේ" (Ethiopia for Sale) නැමති චිත්‍රපටය මේ පිළිබඳ ගැඹුරු සංවාදයක් ආරම්භ කර ඇත.

ධනතන්ත්‍රවාදී සංවර්ධන මායාව

ඉඩම් අත්පත් කර ගැන්මට පෙර මහා මාර්ග, සන්නිවේදන පද්ධති, සුපිරි වෙළඳසැල්, වරාය හා ගුවන් තොටුපළ ඉදි වෙයි. බොහෝ රාජ්‍යයන් තුළ පසුගිය දශකයේ මෙවැනි දෑ සඳහා කළ ආයෝජනය ඩොලර් බිලිියන 50 කට ආසන්නය. මොසැම්බික් හා සුඩානයට අවසානයේ ඉතිරිවූයේ සුළු බිම් ප්‍රමාණයක්, ජල හිඟය හා කුසගින්නේ පෙළෙන ජනගහනයක් පමණි. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන, රාජ්‍යයන් 70 කට වාර්ෂිකව ඩොලර් බිලියන 4ක වටිනාකමින් යුත් ආහාර ආධාර සපයයි. එහි ප්‍රධාන සැපයුම්කරුවා එක්සත් ජනපදයයි. ඒ සඳහා USAID ආයතනය PLO 480 ගිවිසුම යටතේ මෙම රාජ්‍යවල ජනයාට ආහාර ආධාර සපයා ඔවුන්ගේ ස්වයංපෝෂිත ආහාර රටාව විනාශ කර සමාගම් සඳහා අවශ්‍ය පහසුකම් නිර්මාණය කරයි. ජල සම්පත හිගවීම, ගෝලීය උණුසුම ඉහළයාම, ආහාර සුරක්ෂිතභාවය අහිමිවීම, ආයෝජකයන් ඉඩම් අත්පත් කරගැනීම හා පාරජාතික සමාගම් සෘජුව ගොවියා හා පාරිභෝගිකයා සමග සම්බන්ධවීම මෙහි ආනිසංශ විය. පරිවාර රාජ්‍යයන්ගේ වෙළඳපළ මත ආහාර ආධාර ගොඩගැසීමෙන් එම රාජ්‍යවල ගොවීන්ට තම නිෂ්පාදන වෙළඳපළ තරගකාරී මිලට අලෙවිකර ගැනීමට අපහසුවීම නිසා ණයගැතිභාවය වැඩිවීමෙන් තම කුඩා බිම්කැබලි අතහැර නගරයට සංක්‍රමණවීම හෝ සමාගම් ගොවිපළවල කුලී කම්කරුවන් ලෙස පරිවර්තනය වීම සිදු වෙයි.

1980 ආර්ථික අර්බුදයට විසදුමක් ලෙස හඳුන්වාදුන් නව ලිබරල් වෙළඳපළ ක්‍රමය යටතේ ව්‍යුහාත්මක ගැලපුම ජනතාවගේ ආහාර අයිතිය යන සංකල්පය මුල්මනින්ම ලෝක සිතියමෙන් උපුටා දැමීය. ග්‍රාමීය ආහාර සුරක්ෂිතභාවය ජන අයිතියෙන් උපුටා දමා එක්සත් ජනපදය, කැනඩාව, යුරෝපා කොමියුනය වැනි පොහොසත් රාජ්‍යයන් ගෝලීය ආහාර වෙළඳපල මත අතිරික්තයක් ගොඩනැගීය. පාරජාතික සමාගම් හා දේශීය නියෝජිතයන් අධික ලාභයක් ඉපැයීය. තවද 2007 වර්ෂයේ ආරම්භ වූ ඛනිජ තෙල් අර්බුදයත් සමග බඩඉරිඟු භාවිත කොට බල ශක්ති ප්‍රභවයක් ලෙස එතනෝල් නිපැයුම ආරම්භ විය. එක්සත් ජනපදයේ පමණක් බඩඉරිඟු අස්වැන්නෙන් 50%ක් එත්නෝල් ලෙස පරිවර්තනය වෙයි. ෆොසිල ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස ආදේශක ජෛව ඉන්ධන ව්‍යාපෘතිය සඳහා බහුජාතික සමාගම්වලට ලොව පුරා ඉඩම් අවශ්‍යව ඇත. උක්ත වුවමනාව උදෙසා දැනටමත් අප්‍රිකානු, ලතීනියානු, ආසියානු හා කුඩා දුපත් ආක්‍රමණය කරනු ලැබේ.

භූ දේශපාලන උපාය මාර්ග

ආහාර වෙළඳපොළ පිළිබඳ අමෙරිකානු රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමුවූයේ 1969 වසරේ දී ය. එවකට අමෙරිකාවේ ජනාධිපතිවරයා වූ රිචඩ් නික්සන් ලෝක ජනගහනයේ අධික වර්ධනය ගෝලීය ස්ථාවරත්වයට හා සාමයට තර්ජනයක්යැයි අනතුරු ඇඟවූයේය. 1970 දශකයේ අමෙරිකානු රාජ්‍ය ආයතන හා විශ්වවිද්‍යාල එක්ව ලෝක ජනගහනය වැඩිවීම එක්සත් ජනපද රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වීම ගැන විවිධ පර්යේෂණ ආරම්භ කළේය. ඒ සඳහා ලෝක ජනගහන වර්ධනය හා එක්සත් ජනපද අනාගතය ගැන සොයා බැලීමට කොමිසමක් පත් කළේය. එක්සත් ජනපද රාජ්‍ය කෘෂිකර්ම දේපාර්තමේන්තුව, මධ්‍යම විමර්ශන ආයතනය (CIA), පෙන්ටගනයේ යුධ උපදේශකයන්, USAID ආයතනය මෙම කොමිසමේ සාමාජිකයෝ වූහ. මෙම කොමිසම ජනගහනය සීමාකිරීම ගැන පමණක් නොව, ආහාර අර්බුදය, ඛනිජ තෙල් සම්පත් පාලනය ගැන දුප්පත් රටවලට අනතුරු ඇඟවූහ. කොමිසම විසින් ප්‍රකාශයට පත් කළ පර්යේෂණ වාර්තාව සාගතය, නියඟය, රෝගාබාධ හා යුධ තත්ව ජනගහන පාලනය සඳහා උපායමාර්ග ලෙස හැඳින්වීය.

දුප්පත් රාජ්‍ය පද්ධතිය තුළ විශාල පරිමානයේ සාගින්න හා අවපෝෂණය ඒ වනවිට ද මූල්‍යායතන ණය හේතුවෙන් මතුවෙමින් තිබිණ. එය වඩාත් උග්‍රවුයේ උපාය මාර්ගික ආහාර ආධාර (PLO 480) හේතුවෙනි. රාජ්‍යයෙන් රාජ්‍යයට මූල්‍ය හා දේශපාලන අස්ථාවරත්වය, නියඟය හා සාගතයට වසංගතයක් ලෙස පැතිරයාමට ඉඩහරිමින් ආහාර අර්බුද මගින් සමාජ සංහිඳියාව විනාශ කර දැමීය. පෙන්ටගනය හා CIA සංවිධානය, දේශගුණික වෙනස සඳහා හමුදා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ප්‍රතිකර්මයක් ලෙස හඳුන්වා දී ඇත. ආන්තික දේශගුණක ලක්ෂණ නිසා බොහෝ රාජ්‍ය තුළ වාර්ගික ගැටුම් හා ජන සංක්‍රමණ සිදුවීම වැළැක්වීමට හමුදා ශක්තිය වැඩි දියුණ කළ යුතු යැයි අමෙරිකානු ආරක්ෂක අංශ උපාය මාර්ගයක් වශයෙන් ඉදිරිපත් කර ඇත. සමාජ අසහනය උග්‍රවීමෙන් ලාභදායී අස්වැන්නක් නෙළාගැනීමට ජත්‍යන්තර මූල්‍යාතන හා පාරජාතික සමාගම්වලට හැකියාව ලැබිණ. එය ආපදා ධනවාදය (Disaster capitalism) හෙවත් ව්‍යසන මත යැපෙන ධනවාදයයි.

දෙවන ලෝක යුධ සමයේ සිට සෑම දුර්භීක්ෂයකදීම ජනතාව පෝෂණය කිරීමට සමත් ප්‍රමාණවත් ආහාර අතිරික්තයක් වෙළඳපොළ තුළ සුරැකිව තිබිණ. ජනතාව කුසගින්නේ පෙළීමට හේතුව ආහාර හිඟකම නොව මිල දී ගැනීමේ නොහැකියාවයි. වෙළඳපොළ ආහාර හිඟයට හේතුව පාරජාතික සමාගම් ගොවීන්ගේ ධාන්‍ය අඩු මිලට ගෙන අනාගත වැඩි ලාභ අපේක්ෂාවෙන් සඟවා තැබීමයි. (-Amarthya Sen)

අප ජීවත්වන්නේ පාරජාතික සමාගම් අසීමාන්තික ලාභය උදෙසා ලෝක ගෝලය අමුද්‍රව්‍යයක් බවට පත් කළ සමාගම් ගෝලීයකරණ යුගයකය. එම මතවාදය තුළ මනුෂ්‍යත්වය, සාධාරණත්වය, පරිසරය යනු හුදෙක් ශබ්දකෝෂයක වදන් පමණි. එක්සත් ජාතීන්ගේ ආයතනය හා අන්තර්ජාතික ආයතන අද විමසන්නේ අනාගතයේ වැඩි වන බිලියන 9ක ජනගහනයට ආහාර සැපයීමට ලෝකය සමත් වේද යන ප්‍රශ්ණයයි. ඒ සඳහා අමෙරිකානු උපාය මාර්ගය අප ඉහතින් සටහන් කර ඇත. වර්තමානයේ ඔවුන් ජනගහනය පාලනය උදෙසා වාර්ගික, ආගමික අසමගිය, සිවිල් යුධ, රෝගාබාධ, නියඟය හා සාගතය හඳුන්වා දී ඇත. 1970 දසකයේ අවසන් සමයේ ගෝලීය ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස නව ලිබරල් විවෘත ආර්ථිකය අමෙරිකානු යුධ පෙරමුණ සමග ලෝක සිතියම මත නිර්බාධිතව සැරිසරන විට ස්වභාවික සම්පත් බහුල අප්‍රිකානු රාජ්‍යයන් HIV/AIDS වෛරසයෙන් වැනසී ගියේය. එකල එම වෛරසය අප්‍රිකානු වනාන්තර තුළ වෙසෙන වානර වර්ගයකින් මානවයා වෙත හුවමාරු වූයේ යැයි යන මතවාදය බටහිර මාධ්‍යය සත්‍යය වසන් කරමින් ලෝක ජන මනස තුළ රෝපණය කළේය. ඒඩ්ස් AIDS රෝගයෙන් ලොව පුරා මිය ගිය සංඛ්‍යාව මිලියන 2කට මදක් වැඩිය. රෝග ආසාදනයට ලක් වූවන් මිලියන 37 කට ආසන්නය.



කලකට පෙර මෙම මාධ්‍ය, ලෝකයේ පොහොසත්ම ප්‍රතිශක්තිකරණය ස්වභාවිකව අන්තර්ගතව ඇත්තේ ආදිවාසී ගෝත්‍රික ජාන තුළ යැයි සඳහන් කළේය. ඒ සමගම අප්‍රිකානු ආදිවාසියා බෝවෙන රෝගවලින් ආරක්ෂා කිරීමට යැයි පවසමින් ඔවුන් එන්නත් කිරීමේ වැඩපිළිවෙලකට බටහිර මූල්‍යාධාර ගලා ආවේය. වාර්ගිකයන් තුළ අසමගිය වර්ධනය විය. ආගමික නොසන්සුන්තා දළු ලා වැඩී ගියේය. රැවන්ඩා, සුඩාන, සෝමාලියා හා කොංගෝ රාජ්‍යයන්ගේ වාර්ගික ගැටුම භූ දේශපානයේ නිර්මාණයක්ය. සංවර්ධනයේ පුරෝගාමීන් වූ බහුජාතික සමාගම් ආයෝජකයන් ලෙස සංක්‍රමණය විය. එහෙත් මඳ කලෙකින් එම ගෝත්‍රිකයාගේ ස්වභාවික ජාන ශක්තිය අහෝසිව ඒඩ්ස් වෛරසයෙන් ප්‍රතිශක්තිකරණය වැනසී ගියේය. ඒ භූ දේශපාලන උපාය මාර්ගයයි. එබෝලා වෛරසය පිටු පස සැඟව ඇති රහස ද එයයි. සරුසාර භූ සම්පත් අත්පත්කර ගැනීම උදෙසා ප්‍රථමයෙන්ම එම භූමියේ ම ජීව කොටසක් වූ ඒ වෙනුවෙන් අරගල කළ හැකි මානවයා ඉවත් කළ යුතුය. ඒ සඳහා රෝගා බාධ පැතිරවීම, ඔවුන් සතු පාරම්පරික ජාන ශක්තිය අහෝසි කිරීම ජෛව දේශපාලනය Biopolitics යනුවෙන් හැඳින්වෙයි. ලයිබීරියාවේ හා අප්‍රිකානු රාජ්‍යයන් තුළ වැඩී යන එබෝලා වෛරසය පමණක් නොව තව තවත් මාරාන්තික වෛරස අනාගතයේ සවභාවික සම්පත් මංකොල්ලය සඳහා ලෝක සිතියම මත ව්‍යාප්ත කොට ජනගහනය සීමා කිරීමට, අසීමාන්තික ලාභය ලුහුබඳින සමාගම් ධනතන්ත්‍රවාදය (Cooperate Capitalism) පසුබට නොවනු ඇත.

[-ඇවිදින පාසල -පත්‍රිකා අංක 14]

සුනිල් රණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails