Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පාත‍්‍ර වර්ගයා- නිපුණා, පවිත‍්‍රතුංග, පෑලිස්

ආරම්භය- සංගිත හඬ සමග පරිගණකයක් භාවිතා කිරීමේ දී නිකුත් වෙන, මවුස් ක්ලික් කරන හඬ, කී බෝඩ් එකේ අකුරු ටයිප් කරන හඬ ඉස්මතු වේ.

නිපුණා- අද කොම්පියුටරේ හරිම ස්ලෝ. මේ සයිට් එක එන්න සෑහෙන වෙලාවක් ගියානෙ.

පවිත‍්‍රතුංග- ම්... හරි ඔය එන්නේ. ආ... හරි... දැන් ඔය මවුස් එක මෙන්න මෙතනින් ආයිත් ඩබල් ක්ලික් කරන්න.
(ඩබල් ක්ලික් කරන හඬ)

නිපුණා- ම්. කෝ නෑනෙ.

පවිත‍්‍රතුංග- පොඞ්ඩක් ඉවසමු. මේක ලෝඞ් වෙනකල්. ඕනෑම දේකට යම්කිසි කාලයක් ගතවෙනවා. ම්... ඔය ආවේ. හරි ඉන්ටර්නැෂනල් රිසර්ච් බුක් ෆෙස්ටිවල්, ඩොට් කොම්. දැන් මවුස් එක ඔබාගෙන පහළට ඇදන් එමු. ඔන්න ඔහොම ම්... හරි. (විරාමය) මේ තියෙන්නේ තරගයේ විස්තර ටික. මුලින්ම තරගයේ ස්වරූපය.

නිපුණා- (පරිගණක තිරය කියවන හඬින්) ලෝකයේ විවිධ රටවල විවිධ ක්‍ෂේත‍්‍රයන්හි නව පර්යේෂණාත්මක ඉසව් සඳහා ජාත්‍යන්තර අවධානයක් යොමු කිරීමේ අරමුණින්...

පවිත‍්‍රතුංග- කෙළින්ම තරග කොන්දේසි තියන අයිකන් එකට ගිහිං ක්ලික් කරන්න. (ක්ලික් කරන හඬ) ම්... හරි... මේ තියෙන්නෙ. තව සති දෙකක් තියෙනවා. ඒ කියන්නේ දවස් දාහතරක්. දැන්නං නිවී සැනසිල්ලේ ඉවරයක් කරහැකි, හොරු පිළිබඳ ලියන මේ පර්යේෂණ කෘතිය.

නිපුණා- ඒත් මේක විශ්වාස කරන්න පුළුවන් ද? එකපාරටම ජාත්‍යන්තර තරගයක අවසාන දිනය සති දෙකක් කල් යයිද?

පවිත‍්‍රතුංග- පර්යේෂණාත්මක කෘතියක් ලියනවා කියන්නෙ බොහොම බැරෑරුම් දෙයක්. ඒක ඕනෑම උගතෙකුට පැහැදිලියි.

නිපුණා- ජාත්‍යන්තරව හැම දෙයක්ම නියමිත වෙලාවට සැලසුමකට පිළිවෙළකට සිදුවෙනවා. මට සැකයි මේ වෙබ් සයිට් එක ගැන. මොකද අන්තර්ජාලය කියන එක හැම වෙලේම විශ්වාසය තියන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකෙ ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් ඉදිරිපත් කළ හැකියි. කවුද දන්නෙ මේකට ඉදිරිපත් වෙන තරගකරුවන්ම අවසාන දිනේ ඉදිරියට කල් ඇරියද කියල.

පවිත‍්‍රතුංග- කොහොමද එහෙම වෙන්නෙ.

නිපුණා- පරිගණක වෛරසයක් විදුලි තැපෑලෙන් යවලා ලෝකෙ තියෙන හැම කම්පියුටරයක්ම අවුල්කරන කාලෙ, ඕක මොන කජ්ජක්ද?

පවිත‍්‍රතුංග- ඒත් මේ තරගයට ම ඔහොම දෙයක් කරන්න හේතුව මොකක්ද?

නිපුණා- තරග කරන පිරිස අඩු කරන්න. එතකොට තරගකරුවො කල් තියෙන නිසා නිර්මාණ කෘති එවන්න ප‍්‍රමාද කරනවා. කෘති යවන කොට බාර අරගෙන අවසන්. ඒවා ඔක්කොම රිජෙක්ට්.

පවිත‍්‍රතුංග- නිපුණා, හැම වෙලාවෙම ඔය තරම් විශාල සැකයකින් අවිශ්වාසෙකින් ප‍්‍රශ්න දිහා බලන්න සූදානම් වෙන්න එපා.

නිපුණා- අපි හැම වෙලාවෙම සූදානම් වෙන්න ඕන අයහපතට පවිත‍්‍රතුංග. අඩුම වශයෙන් ඔය වගේ හොරු පිළිබඳව පර්යේෂණ කෘතියක් ලියන ලේඛකයෙක් වශයෙන්වත් ටිකක් සැකයෙන් හිතන්න ඕන.

පවිත‍්‍රතුංග- වේලාව රෑ නවයයි. මගෙ ජීවිතේ මම උදේ ඉඳලා රෑ වෙනකල් එක දිගට වැඩක් කළා. (විරාමය) මුළු කාමරේම පොත් වලින් පිරිලා. බලන්නකෝ වටේට තියෙන පොත් කන්දරාව.

නිපුණා- කවුරුවත් මේ තරම් පොත් ප‍්‍රමාණයක්, තමන්ගේ කෘතියේ ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලියට එකතු කරන එකක් නෑ. මට නම් ෂුවර් සීයට සීයක්ම. මේ ලියන හොරු පිළිබඳ පර්යේෂණාත්මක කෘතිය, මේ තරගේ පළමුවැනි තැන ගන්නවා. මොකද මේක අළුත්ම විෂයය ක්‍ෂේත‍්‍රයක්, කවුරුවත්ම පර්යේෂණ නොකරපු. මං හිතන්නේ ලෝක ඉතිහාසයේ හොරු පිළිබඳව පර්යේෂණාත්මක අධ්‍යයනයක් කරන පළමු පුද්ගලයා ඔයා.

පවිත‍්‍රතුංග- ඔව්. අනිවාර්යයෙන්ම. ඔයාගෙ මොළේට පිංසිද්ද වෙන්න තමයි මට මේ අපූරු මාතෘකාව ලැබුණෙ.

නිපුණා- මේ සම්මානේ ගත්තට පස්සෙ දේශීය වශයෙන් නෙවි ජාත්‍යන්තරවත් ඔයා ප‍්‍රසිද්ධ වේවි. ඒ වගේද හම්බවෙන ඩොලර් දසලක්ෂෙ. අපිට ජීවිතේ තියෙන කල් දිව්‍යලෝක සැපසම්පත් වලින් ජීවත් වුණෑකි. පර්යේෂණ ග‍්‍රන්ථ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විදියට මැරෙන කල් වැඩ කළත්, මේ මුදලෙන් දශමයක් ඔයාට හොයන්න ලැබෙන්නෑ. කෙටිකතා, නවකතා දාහක් ලිව්වත් මේ වගේ ප‍්‍රසිද්ධියක් නම් අත්වෙන්නෑ. මට මැවිල පේනව ඔයා අත්පොළසන් හඬ මැද්දේ සම්මානෙ ගන්න හැටි. වසරේ හොඳම පර්යේෂණ ග‍්‍රන්ථයට සම්මාන ලබන්නේ ආචාර්ය පවිත‍්‍රතුංග ගුණරත්න.

(සංගීත හඬ)

ජනමාධ්‍යකාරයො ඔයාව වටකර ගනීවි. රූපවාහිනියේ, ගුවන් විදුලියේ, පත්තර වල එකපිට එක වාර්තා පළවේවි. එවෝඩ් එකෙන් පස්සෙ අපි මුලින්ම ඉදි කරමු මේ ගේ. තට්ටු දෙකට. නෑ, තුනට. කාමර විස්සක්. නෑ, හතළිහක්. සාලෙ මැද්දෙ හදමු පොන්ඩ් එකක්. ඕනනම් ස්විමිං පවා කරන්න පුළුවන් ප‍්‍රමාණෙට. සම්පූර්ණ ගේම එයාර්කන්ඩිෂන් කරමු. කොයිකටත් අපි දෙන්නගෙ පාවිච්චියට ඉන්ටර්කූලර් දෙකක්ම තියාගන්න එක හොඳයි. (විරාමය) පවිත‍්‍රතුංග... පවිත‍්‍රතුංග...පවී... පවී... මං කියන දේ ඇහුණද?

පවිත‍්‍රතුංග- ඔය දෙඩවිල්ල පැත්තකට දාල මට මේකට උදව් කරන්න නිපුණා. ඔය හැම දෙයක්ම වෙන්නෙ මේකෙ සාර්ථකත්වය මත. රහස් පොලිසිය හොරකමක් හාරා අවුස්සනවා වගේ හොරු ගැන ලිවීමත් ඉතා සූක්ෂමව කරන්න ඕන. ඒ වගේම පාදක සටහන්, ආශ‍්‍රිත ග‍්‍රන්ථ නියමිතව සටහන් කරලා, පරිච්ෙඡ්ද වෙන් කරලා හැම දෙයක්ම විධිමත්ව තාර්කිකව ලිවීමත් අවශ්‍යයි. මොකද මේක ජාත්‍යන්තර තරගයක්.

නිපුණා- ඒ කියන්නේ මේ හැම දෙයක්ම මුල සිට අගට කියවලා, ඒවයින් තොරතුරු අරගෙන විශ්ලේෂණය කරන්න ඕන.

පවිත‍්‍රතුංග- ඕවා සම්පූර්ණයෙන්ම කියවන්න බැරි නිසා, මුල මැද අගවත් බලලා ලේඛකයාගේ නම, ප‍්‍රකාශිත වර්ෂය හා ආයතනය වගේ තොරතුරු නිවැරදිව සටහන් කරන්න ඕන. කාටද නිපුණා එක පොතක් ලියන්න පොත් දාහක් විතර මුල ඉඳන් කියවන්න පුළුවන්.

නිපුණා- ඒත් මතක තියාගන්න හොඳට අධ්‍යයනය කරන මිනිස්සු තාමත් මේ ලෝකෙ ඉන්නවා.

පවිත‍්‍රතුංග- ඒත් බලන්න වාර්ෂිකව නිකුත් වෙන පොත් කන්දරාව. ඒ තරමටම මිනිස්සුන්ගේ කියවීමත් වර්ධනය වෙනව නම්, කොයිතරම් ප‍්‍රගතියක් ඇති වෙයිද? අපේ දෙපාර්තමේන්තුවේ පරිවර්තන, අනුවර්තන, ස්වතන්ත‍්‍ර කෘති කොයිතරම් වාර්ෂිකව මුද්‍රණය කරනවද, ඒත් කියවන්නෙ කීයෙන් කීදෙනාද?

නිපුණා- කෝ ඔයා ලියල ඉවර කරපු ටික?

පවිත‍්‍රතුංග- මේ තියෙන්නෙ මෙන්න මේ ෆයිල් එක බලන්න

නිපුණා-කෝ...?

පවිත‍්‍රතුංග- ඔය තියෙන්නෙ, ඔය කොම්පියුටරේ ගාව.

නිපුණා- ම්... මෙච්චරද?

පවිත‍්‍රතුංග- ඔව්, මං ලියපුවා අලුතින් රී රයිට් කරනව.

නිපුණා- ම්... මිනිසා හොරකමේ යෙදෙන්නෙ ඇයි? සොරකම් කළ හැකි ක්‍ෂේත‍්‍ර. සොරකම සඳහා යොදාගන්නා උපාය මාර්ග, සොරකම තුළ සිදුවන අනිටු විපාක, සොරකම තුළ මිනිස් පරිහානිය, සොරකම තුළ ලෝක සංවර්ධනය, සොරකමින් සංවර්ධනය වන්නන්ගේ ස්වරූපය, සොරෙක් හඳුනාගත හැක්කේ කෙසේද? සොරාගේ ගති ලක්ෂණ හා හැසිරීම්. සොරකම සමාජයට අත්‍යවශ්‍යද, සොරකම පිළිබඳ දාර්ශනික අදහස්, සොරකම මැඩලිය හැක්කේ කෙසේද? සොරකම සඳහා හිමිවිය යුතු දඬුවම, සොරකම පිළිබඳ මනෝවිද්‍යාත්මක මුහුණුවර. ෂා.... අපූරුයිනෙ. හරිම අපූරුයි. පවිත‍්‍රතුංග සීයට සීයක්ම ෂුවර්, ඉන්ටර්නැෂනල් රිසර්ච් බුක් එවෝඞ් එක ඔයාට කජු කන්න වගේ.

පවිත‍්‍රතුංග- වෙලාවට මේ තරගෙ, ග‍්‍රන්ථ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නමටම ඇඩ‍්‍රස් කරල ආවා. ඒ කියන්නෙ මගේ නමටම.

නිපුණා- ඔය විශ්ව විද්‍යාලවල මහාචාර්යවරු, ආචාර්යවරු නොදන්න එක බොහොම හොඳයි. අපි වගේ අයටත් අවස්ථාවක් එපැයි. මොකද මේ ඩිරෙක්ටර් පෝස්ට් වල හැමදාම ඉන්නද?

පවිත‍්‍රතුංග- ඔව් මේ ගැන මමයි, ඔයයි, මගෙ සෙකටි‍්‍රයි ඇරෙන්න කවුරුත් නොදන්න එක බොහොම හොඳයි.

නිපුණා- (මවිතයෙන්) සෙකටි‍්‍ර... සෙකටි‍්‍ර ?

පවිත‍්‍රතුංග- ආ... ඔව්.

නිපුණා- ඔයා මොකටද එයාට කිව්වෙ?

පවිත‍්‍රතුංග- එයා මගේ පුද්ගලික ලේකම් විදියට මේ දේවල් දන්නව.

නිපුණා- ඔයාගේ පෞද්ගලික දේවලුත්...?

පවිත‍්‍රතුංග- මේක පෞද්ගලික දෙයක් නෙවි. දෙපාර්තමේන්තුවට ආපු ඔෆීෂියල් ඩොකියුමන්ට් එකක්. මේ ගැන ලංකාවේ පර්යේෂකයින් හැමෝම දැනුවත් කරන්න කියලා තමයි ඒකෙ සඳහන් වෙන්නෙ.

නිපුණා- ඒත්. මේක ඔයාගෙ ලේකම්...

පවිත‍්‍රතුංග- (බාධාකරමින්) එහෙම වෙන්නෙනෑ... අනික මට හොඳටම විශ්වාසයි රූපනී රත්නායකව.

නිපුණා- (තමාට) ඔය හෙළිවෙන්නෙ කාලෙක ඉඳන් හෙළි නොවෙච්ච දෙන්නගේ හොර ගනුදෙණු. හරි හරියටම නියම තැනදී තොණ්ඩුව දාන්නංකො.

පවිත‍්‍රතුංග- රූපනී තමයි මේ පොත් පවා මට ගෙදර ගේන්න උදව් කරන්නෙ.

නිපුණා- බැරි වෙලාවත් ඔය ගෑණි ඕවා ලීක් කළොත්...

පවිත‍්‍රතුංග- එහෙම වෙන්නෙ නෑ.

නිපුණා- මට ආරංචියි කාලෙක ඉඳල දෙන්න හොඳ චරිත දෙකක් රඟපානවලු නේද?

පවිත‍්‍රතුංග- නිපුණා නිකං විහිළු කතා කියන්න එපා. මං ඩොක්ටර්රේට් එකක් තියෙන මිනිහෙක්, ඒ වගේද අපි නිර්මාණකරුවෝ. ඔයාම කෙටිකතා, නවකතා පොත් දහයකට වැඩිය පබ්ලිෂ් කරලා තියෙනවා, මිනිස් සබඳතා ගැන ටිකක් හිතන්න පුරුදු වෙන්න හැමදෙයක්ම පුළුල් දෘෂ්ටි කෝණයකින්.

නිපුණා- හරි, පවිත‍්‍රතුංග. මං කියන්නේ බැරි වෙලාවත් තවත් කවුරුහරි තරගෙට ඉදිරිපත් වුණොත් ඔයාට වෙන්නේ අවාසියක්ද? වාසියක්ද? මං කියන්නේ ඔය ගෑණි තවත් කාට හරි මේ ගැන කිව්වොත් එහෙම නැත්නම්, ඒ ගෑණි තරග කළොත් මොකද වෙන්නේ. මොකද රූපනී රත්නායකත් කෙටිකතා, නවකතා පොත් කීයක් මුද්‍රණය කරලා තියෙනවද ඔයාගේ අනුග‍්‍රහයෙන්.

පවිත‍්‍රතුංග- (තමාට) මේවා කොහොමද මෙයා දන්නෙ...? ම්... මේකි මං ගැන බොහොම සෙවිල්ලකින් ඉන්නෙ. (නිපුණාට) නෑ. නෑ. අද කෙටිකතා, නවකතා ලියනවා වගේ හැමෝටම ලියන්න පුළුවන් දෙයක් නෙවෙයි පර්යේෂණාත්මක කෘති. ඒ සඳහා ගැඹුරු විශ්ලේෂණාත්මක තාර්කික බුද්ධියක් අත්‍යවශ්‍යයෙන්ම තියෙන්න ඕන.

නිපුණා- ඉතිං ඔයා කොහොමද ඔය තරම් බුද්ධියක් මේ ඉක්මනට ලබාගත්තෙ. (සිනාසී) දෙවියෙක්වත් වරයක් දීලද?

පවිත‍්‍රතුංග- නිකං මට අපහාස කරන්න එපා නිපුණා. (තදින්) මට ලංකාවෙන් තියෙන්නෙ ඒ-ලෙවල් විතරයි වුණාට ජපානයේ සත්ව පාලනය සම්බන්ධ ඩිප්ලෝමා එකක් තියෙනවා. චීනයේ චීන කටු පිළිබඳ එම්.ඒ. එකක් තියෙනවා. තායිවානයේ මැටි භාණ්ඩ දිස්න දැමීම පිළිබඳ උපාධියක් තියෙනවා. ඒ වගේම ඇමරිකාවේ කුකරි සම්බන්ධ පී.එච්.ඞී. එකක් තියෙනව. මට ඕනනම් යුනිවර්සිටි එකක් පර්මනන්ට් ලෙක්චර් පෝස්ට් එකක් වුණත් ගන්න පුළුවන්. ඒ වගේම ඔයා දැනගන්න මං මේ රටේ වැදගත් පවුලකින් පැවත එන බලපුළුවංකාර මිනිස්සු ඇසුරු කරන දෙපාර්තමේන්තුවක අධ්‍යක්‍ෂවරයෙක්.

නිපුණා- එතකොට මම මොනවත් නෑ. මං නිකම්ම නිකං ගැණියෙක්ද? මං නීතිය පිළිබඳ උපාධි ධාරිනියක්. මට හොර කරන්න ලේසි නෑ. මට නදර්ලන්ඩ්වල ගුවන් විදුලි නාට්‍ය රචනය හා රඟපෑම් පිළිබඳ ඩිප්ලොමාවක් තියෙනවා. චිත‍්‍රපට සංස්කරණය සම්බන්ධව හොලිවුඞ් වල එම්.ඒ. එකක් තියෙනවා. අපේ තාත්තා තාතාපති වෙලා ඉන්න කාලේ මං හැම රටකම පවත්වපු හැම වර්ක්ෂොප්, සෙරමනි වලට ගිහින් තියෙනවා. ලෝකයේ පවත්තපු සමාජවාදී සම්මන්ත‍්‍රණයට පවා ලංකාවෙන් කියුබාවට ගියේ මං...

(ටෙලිපෝනය නොකඩවා නාද වේ.)

පවිත‍්‍ර- බලනවා කවුද කියල.

නිපුණා- ඔයා දැනගන්න.

පවිත‍්‍ර- ඔය ටෙලිපෝන් කෝල් එකට ආන්සර් කරනවා.

නිපුණා- ඕන්නම් කරගන්නවා.

පවිත‍්‍ර- (තදින්) ඔය කෝල් එක ගන්නව. කිව්වම අහල ඔය කෝල් එක ගන්නවා.

(අඩිහඬ හා ටෙලිපෝනය ඔසවන හඬ.)

නිපුණා- හලෝ ... ඔව්.... ඔව්... ඉන්නවා...ආ... ඔයාට.

පවිත‍්‍ර- හාලෝ... ආ... මහාචාර්ය සූකිරීවංශ. ඔව්... ඔව්... (මවිතයෙන්) නෑ... ම් මං මේ මං. කවදද...? නෑ... අහා... මේ මම. ඔව්... ඔව්... නෑ... නෑ...අනේ නෑ. හරි... හරි නෑ... නෑ... නෑ...

නිපුණා- කවුද?

පවිත‍්‍ර- ඉවරයි... ඔක්කොම ඉවරයි...

නිපුණා- මොකක්ද ප‍්‍රශ්නෙ

පවිත‍්‍ර- ඉවරයි... ඔක්කොම ඉවරයි...

නිපුණා- මොකක්ද ඉවර කියන්නකෝ.

පවිත‍්‍ර- ඔක්කොම ඉවරයි...

(මේසයට ගසන හඬ හා කොල විසිකරන හඬ.)

නිපුණා- ඇයි තරගෙ ඒ පාර කැන්සල් වෙලාද? කතා කරන්නකො. මොකද වෙලා තියෙන්නෙ. ඩිපාර්ට්මන්ට් එකේ කරදරයක්ද? මොකද මේ යකෙක් ආවේශ වුණාද එකපාරටම. අනේ කියන්න කෝ පවී. මේ ආදරේටයි අහන්නේ.

පවිත‍්‍ර- සූකිරිවංශ කතා කළා.

නිපුණා- ඔව්.

පවිත‍්‍රතුංග- මිනිහා කතා කරලා...

නිපුණා- (බාධා) ඔයත් එක්ක ඩිපාර්ට්මන්ට් එකේ ඩිරෙක්ටර් පෝස්ට් එකට ඇප්ලයි කළේ මිනිහා නේද?

පවිත‍්‍රතුංග- ඔව්. මිනිහ.

නිපුණා- මොකද මිනිහ...

පවිත‍්‍රතුංග- (බාධා) මිනිහා මේ තරගෙටම තරග කරනවාලු.

නිපුණා- මොනවා මිනිහා කොහොමද දන්නේ. කොහාමද මේ තරගේ ගැන දන්නෙ.

පවිත‍්‍රතුංග- මේ ම...ම...ම... තමයි කියලා තියෙන්නෙ.

නිපුණා- ඒ කොහොමද?

පවිත‍්‍රතුංග- කල්චරල් බාර් එකේදි.

නිපුණා- බාර් එකේදි. (තමාට) මං කොහොම හරි මේ හොර වල ඉතුරු ටිකත් අල්ලගන්නම්කෝ.

පවිත‍්‍රතුංග- මේකයි.

නිපුණා- දැන් තවත් තරගකරුවෙක්. ඔයා මෙහෙම තව කී දෙනෙක්ට මේ ගැන කිව්වද?

පවිත‍්‍රතුංග- වෙන කාටවත්ම නෑ සහතිකයි.

නිපුණා- කොහොමද කියන්නෙ. ඔය මුලින් කිව්වේ මේ ගැන දන්නේ ඔයයි මායි කියලා. ඊට පස්සෙ රූපනී. දැං සූකිරිවංශ, හරි කියන්න එදා ඔයා ළඟ හිටියෙ කවුද?

පවිත‍්‍රතුංග- ම්... සූකිරිවංශගේ නෝනා හිටියා වගේ මතකයි.

නිපුණා- (තමාට) ඔය එළිවෙන්නෙ හොර. මං නූල් බෝලෙ ලිහා ගන්නව වගේ ඔක්කොම ලිහා ගන්නංකො.

පවිත‍්‍රතුංග- හරි දැං අපි මොකද කරන්නෙ?

නිපුණා- මොනවා කරන්නද?

පවිත‍්‍රතුංග- එහෙම බෑ.

නිපුණා- මොනව කළත්, ඔය සූකිරිවංශ තරග කරන එක නවත්වන්න දැන් සක්කරයටවත් බෑ.

පවිත‍්‍රතුංග- කොහොම හරි නවත්තන්නම ඕන.

නිපුණා- ටිකක් හිතන්න, කොහොමද ලෝකෙටම විවෘත ජාත්‍යන්තර තරගෙකට තරග කරන තරගකරුවෙක් නවත්තන්නෙ?

පවිත‍්‍රතුංග- මං මේක දෙකිං එකක් තීරණය කරනවා.

නිපුණා- ඔයා මොනවා කරන්නද?

(සංගීතය මතුවේ.)

නිපුණා- මොනවා... නීති උපාධිධාරිනියක් හැටියට මට කීයටවත් මේකට එකඟ වෙන්න බෑ.

පවිත‍්‍රතුංග- කරන්න තියෙන එකම විසඳුම මේක.

නිපුණා- මේක බොහොම භයානකයි.

පවිත‍්‍රතුංග- ඒත් මං කොහොම හරි මිනිහා තරග කරන එක නවත්තනවා. ඔව් නවත්වනවා. සංගීතය වැඩි වී, ක‍්‍රමයෙන් අඩු වී යයි.

නිපුණා- තව හරියටම දවසයි තියෙන්නෙ. ඉක්මන් කරන්න.

පවිත‍්‍රතුංග- හරි, දැං මේ ටික රී රයිට් කරලා ඊමේල් කරාම හරි. (විරාමය) හ්ම්... රී රයිට් කරනවා කයින්ඩ් ඔෆ් තීව්ස්- හොරු වර්ග. නිපුණා අපිට මූලික වශයෙන් හොරු වර්ග දෙකක් හඳුනගන්න පුළුවං. ඒ ද්‍රව්‍යමය හොරු හා ද්‍රව්‍යමය නොවන හොරු. ද්‍රව්‍යමය හොරු කියන්නේ මුදල් වැනි ද්‍රව්‍යමය සම්පත් වලින් හොරකම් කරන අය. ද්‍රව්‍යමය නොවන හොරු කියන්නේ කෙනෙකුගේ කුසලතාවන් දක්ෂතාවන් ආදී බුද්ධිමය සම්පත් කොල්ලකාගෙන හොරකම් කරන අය. ඒ වගේම හොරකමත්, හොරකම් කරන ස්වභාවය අනුව වර්ග වෙනවා. යමෙක් තමන්ගේ වගකීම්, යුතුකම් පැහැර හරිමින් විශාල සම්පත් ප‍්‍රමාණයක් අපතේ යවනව නම් ඒක විශාල හොරකමක්. එතකොට හොරකම ඉතා ඈත යුගයේ සිටම ආරම්භ වන බවයි පේන්නෙ. ගෝත‍්‍රික වැඩවසම් යුගවල දී වහල් හිමියාගේත්, ඉඩම් හිමි රදළයාගේත් සූරාකෑම විශාලහොරකමක්. ධනේශ්වර යුගයට එනකොට ධනපතියා දුප්පත් කම්කරුවගේ ශ‍්‍රමය සූරාගෙන කෑම විශාල හොරකමක් ලෙසයි නම් කරන්න වෙන්නේ.

(ටෙලිෆෝනය නාද වෙන හඬ එය ඔසවන හඬ හා ටෙලිෆෝනය තුළින් කතා කරන හඬ)

නිපුණා- හලෝ... (බියෙන්) ඔව්... ඔව්... නො, රෝන්ග් නම්බර් (ටෙලිපෝනය තබන හඬ)

පවිත‍්‍රතුංග- කවුද? ඇයි, ඇයි...?

නිපුණා- පොලිසියෙන්.

පවිත‍්‍රතුංග- පොලිසියෙං... ම් මොකද? පොලීසියෙන් මොකටද කෝල් කරන්නෙ

(සංගීතය මතු වේ.)

නිපුණා- මං ඔයාට...

පවිත‍්‍රතුංග- (බාධා) දැං මොකද අපි කරන්නෙ? මං කියන්නෙ ඉක්මනට මේ ටික ඉවර කරලා ඊට පස්සෙ බලමු ඉතුරු ටික. කෝ කියවන්න. පරිධියේ රටවල් කේන්ද්‍රීය රටවල් වල සම්පත් සූරාකමින් විශාල සොරකමක් කළා. කාර්මික විප්ලවය පුනරුදය ආදී සංසිද්ධීන් පවා සිදු වූයේ යටත් විජිත වලින් හොරෙන් ලබා ගන්නා ලද සම්පත් වල බලයෙන්. ඒක මුලින්ම නිර්මාණය වෙන්නෙ චීනයේ. ඒත් ඒ තාක්ෂණය යුරෝපය හොරාගත්තා. අද මුද්‍රණ යන්ත‍්‍රය සොයා ගැනීමේ ගෞරවය තියෙන්නේ චීනයේ බයිෂෙත්ට නෙවි, ජර්මනියේ ජෝන් ගටෙන්බර්ග්ට. හොර තත්ත්වයන් ඉස්මතු කරන්න කෘති සම්පාදනය කරන රචකයන්ගේ දෘෂ්ටි කෝණය ද බලපානවා. ඔවුන් තම තමන්ගේ මත ද, කතිකාවත් උඩ බැහැර කිරීම් හා එකතු කිරීම් වලින් යුක්තව ආර්ථික, දේශපාලන, සංස්කෘතික සිද්ධීන් විශ්ලේෂණය කරනවා.

(ටෙලිෆෝනය නාද වෙයි)

නිපුණා- ඔන්න ආයෙත්...

පවිත‍්‍රතුංග- ඉන්න, මං ආන්සර් කරන්නං.

නිපුණා- නෑ... නෑ... ආන්සර් කරන්න එපා. මං කියන්නම් අපි වයර් එක ගලවමු.

පවිත‍්‍රතුංග- එතකොට... නෑ... මං කතා කරන්නං

නිපුණා- එපා මං කියන එක අහන්න පවී.

පවිත‍්‍රතුංග- අහකට යන්න.

නිපුණා- (තමාට) ඉවරයි ඔක්කොම ඉවරයි.

පවිත‍්‍රතුංග- හලෝ...

(ටෙලිෆෝනය තුළින් කතා කරන හඬ)

පෑලිස්- ආචාර්ය පවිත‍්‍රතුංග ගුණරත්න?

පවිත‍්‍රතුංග- ඔව් කතා කරනවා.

පෑලිස්- මාව අඳුනන්න පුළුවන්ද?

පවිත‍්‍රතුංග- කවුද? බෑ... අමාරුයි.

පෑලිස්- මම පෑලිස්.

පවිත‍්‍රතුංග- පෑලිස්...?

පෑලිස්- පෑලිස් නොවෙයි, මම පෑලිස් වන්නිගම. මම අර ප‍්‍රකාශන ආධාර ඉල්ලලා.

පවිත‍්‍රතුංග- නෑ... නෑ... මට මතක නෑ.

පෑලිස්- මීට අවුරුදු දෙකකට කලින් මං ප‍්‍රකාශ ආධාර ඉල්ලලා කෘතියක් ඉදිරිපත් කළේ චෞර විත්ති කියලා.

පවිත‍්‍රතුංග- නෑ... නෑ... මට මතක නෑ.

පෑලිස්- අර... අර... හොරු පිළිබඳව කරපු පර්යේෂණාත්මක කෘතියක්.

පවිත‍්‍රතුංග- නෑ... නෑ... මට මතක නෑ. මං හිතන්නේ වැරදීමක්. වැරදි නොම්මරයක්.

(ෆෝන් එක තබන හඬ.)

නිපුණා- කවුද... ? කවුද...? කවුද? මොකද?, මොකද? බයවෙලා වගේ. මොකද මේ බයවෙලා වගේ කතා කරන්න මොකද මේ. මොකද බය වෙලා?

පවිත‍්‍රතුංග- නෑ... නෑ...

නිපුණා- පොලිසියෙන්ද?

පවිත‍්‍රතුංග- නැහැ... නැහැ... ඔව්... ඔව්...

නිපුණා- මොකටද, මොකද කියන්නේ. මොකටද පොලීසියෙන් කතා කරනනෙ.

(ටෙලිෆෝනය නාද වේ.)

පවිත‍්‍රතුංග- එපා... අත තියන්න එපා. කිව්වම අහලා අත තියන්න එපා.

නිපුණා- ඇයි මේ මොකක්ද ප‍්‍රශ්නෙ. මොකක්ද වෙලා තියෙන්නෙ?

පවිත‍්‍රතුංග- ෆෝන් එකේ වයර් එක ගලවන්න. ඔව්. අපි මේක ඉවරයක් කරමු. අපි කොහොම හරි ඉන්ටර්නැෂනල් රිසර්ච් බුක් එවෝඩ් එක ටාගට් කරමු. (සංගීතය මතුවේ)

අවසානය.

[-උගෙ හිස ඉවරයි (2006) (රේඩියෝ නාට්‍ය) කෘතියෙනි.]

මාලක දේවප්‍රිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails