Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වතු වැවිලි ආර්ථිකය, සුද්දා ගෙන් දේශීය ධනපති පන්තිය වෙත ස්ව කැමැත්තෙන්ම සීරුමාරු වූයේ සුද්දා විසින්ම ගොඩනඟන ලද මනසක් ඇති දේශීය අනුප්‍රාප්තිකයන් ඔවුන් වූ බැවිනි. මෙම කොම්ප්‍රදෝරු ධනපති පන්තිය බිඳ වැටෙන්නේ ඔවුන් යටතේම හිඳිමින් සාම්ප්‍රදායික ධනපති ව්‍යාපාරයන්ගෙන් අත්මිදී නව ලෝක රටාවට අනුයන ක්ෂණික මූල්‍යෝපායන මාර්ගයන් ඔස්සේ නව ලුම්පන් ධනපති පන්තියක නැගීමත් සමඟය. මෙය දේශපාලනික, සමාජයීය මෙන්ම ආර්ථික කාරණයන් ඔස්සේ මෙන්ම සාහිත්‍ය කලා නිර්මාණයන් ඔස්සේ ද අනන්තවත් හදාරා ඇත. මාර්ටින් වික්‍රමසිංහ සිය, ගම්පෙරළිය, කලියුගය හා යුගාන්තය යන නවකතා ත්‍රිත්වයෙන් ප්‍රතිනිර්මාණය කළේ මෙයයි. ඉන් පසුව බොහෝ සාහිත්‍ය කලා නිර්මාණ වල ද නිර්මාණයන්ට මෙය විෂය වූ අතර ලෙස්ටර් ජේම්ස් පීරිස් 2003 වසරේදී අධ්‍යක්ෂණය කළ වෑකන්ද වලව්ව තුළ පවා කතා කරන්නේ මේ සමාජ පරිවර්තනයයි.

මේ ඉතිහාසය සාහිත්‍ය රචනා තුළ අප්‍රමාණ වතාවක් කියවා හදාරා ඇත. බිඳ වැටෙන වලව් වල කුල ගර්වයේ පීඩනයන් යටතේ ලිංගික සූරාකෑමට ලක්වන වැඩකාර ළඳුන්, දඩබ්බර සල්ලාල පිය පුතුන්, අපවාද සියල්ල රහසේ රැකගැනීමට උත්සාහ කරනා කුල කාන්තාවන් මේවායේ පාත්‍රවර්ගයෝ වෙති. යළි යළිත් ඒවා ගැනම කියවීමට ලැබීම කියවීමේ උනන්දුව ඇතිකරවන්නක් නොවේ. ජයතිලක කම්මැල්ලවීර ගේ "ප්‍රින්ස්" නවකතාව කියවන විට ඇති වූයේ මෙවැනි හැඟීමකි. කම්මැල්ලවීර තවමත් ඒ අතීතය තුළම සැරිසරන්නේ ඇයි? ඔහුට වර්තමාන සමාජ විපරිණාමය අගෝචර වන්නේ කෙලෙසද?

නවකතාව ඇරඹෙන්නේ පුවත්පත් ලේඛකයෙකුට ප්‍රින්ස් නැමැත්තා පවසන අතීතාවර්ජනයක් ලෙසින්ය. කම්මැල්ලවීර පවසන්නේ වසර ගණනාවක් පුරා මෙම කතාව ලිවීම සඳහා ඔහු නව ආකෘතියක් සොයමින් පසු වූ බවයි. පත්තරකරුවාට අතීතය වැමෑරීම තුළින් පත්තරකරුවා කතාව රචනා කරයි. වරින් වර ප්‍රින්ස් හමුවීමට පැමිණෙන පත්තරකරුවා කතාවට පරිච්ඡේද එකතු කරයි. නවකතාව ගලා යන්නේ එසේය. මේ කම්මැල්ලවීර සොයාගත් නව ආඛ්‍යාන රීතියයි. නමුත් පත්තරකරුවා හා ප්‍රින්ස් අතර හමු ඇතුළත් පිටු කිහිපය නවකතාවෙන් ගලවා ඉවත් කල ද නවකතාවට ඇතිවන හානියක් නැත. ඒ නිසා කම්මැල්ලවීර සොයාගත් ආකෘතිය නවකතාවේ ගලා යාමට අංශුමාත්‍රයකකින් හෝ පොහොර දිය සපයන්නක් නොවේ. එය තවදුරටත් බලෙන් ඇතුළත් කල මුද්‍රිත පිටු කිහිපයක් පමණයි.

විල්සන් හාමුගේ චරිතය පිළිබඳ විස්තරයකින් සැබෑ නවකතාව ඇරඹේ. ඔහු ඉඩම් හිමි වැවිලිකරුවෙක්. කුල ගර්වය පිළිබඳ ඉහළින් සිතන්නෙක්. නීත්‍යානුකූල බිරිඳ හා දරුවන් පිළිබඳ එතරම් සොයා නොබලන්නෙක්. මධු ලෝලියක්. ඔහුගේ බිරිඳ පවසන ආකාරයට ස්ත්‍රී ලෝලියෙක්. විජේසේකර නෝනා නිවසේ කටයුතු කළමනාකරණය කරයි. විල්සන් හාමු හා ඇය පරස්පරය. ලොයිඩ්, පර්සි හා ප්‍රින්ස් පුතුන් තිදෙනා වන අතර පර්ල් එකම දියණියයි. රචකයා විසින් ගොඩනඟන මේ පාත්‍රවර්ගයා අන්තර් සබඳතාවට බඳුන් කරමින් නවකතාව පුරා රැගෙන යන්නේ ඔපියුලන්ට් වලව්වේ මෙහෙකාරියක වන 'සිරියා' ය. නමුත් නවකතාවේ ප්‍රධාන චරිතය බවට පත්කර ඇත්තේ ප්‍රින්ස් ය. ප්‍රින්ස් බාල පිරිමි දරුවා වන අතර යම් තරමකට නිවස තුළට හැරුණු මනසක් ඇත්තෙකි. ඔහු සිරියාට ප්‍රේම කරන්නේ කුඩා කල සිටමය. මුල් අවධියේ එය යම් පමණකට මවකට දක්වන සෙනෙහසට සමානය. අයියලා ඇගෙන් ලිංගික ආස්වාදයක් ලබන්නට උත්සාහ කරන අතර විජේසේකර නෝනා එය වලකාලයි.

ක්‍රම ක්ෂය වීමේ ස්වාභාවික සමාජ නීතියට අවනත කෙරෙන ඔපියුලන්ට් වලව්වේ දේපොල, විල්සන් හාමුගේ මිය යාමෙන් පසු සොහොයුරන් දෙදෙනා විසින් අයිතිකර ගැනීමට උත්සාහ කරන අතර විජේසේකර නෝනා එය වළකාලයි. පර්ල් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගත වී දෙමළ තරුණයෙකු විවාහ කරගනී. ඔපියුලන්ට් වලව්වේ සිටි දෙමළ තරුණයෙකු හා රහසේ පැනයන සිරියා, හාමුගේ මරණයෙන් පසු ආපසු පැමිණ ඔහුගේ වත්තේ නතර වන අතර ලොයිඩ් ට දාව ගමේ තරුණියකට දරුවෙකු තමන්ගේ දරුවා සමඟ ඒ දරුවා ද හදාවඩා ගන්නේ සිරියා විසින්ය. සිරියාගේ දෙමළ ස්වාමිපුරුෂයා 1983 ජාතිවාදී කෝලහාලයට මැදි වී පහර කා මිය යයි. විජේසේකර නෝනා මේ දරුවන් දෙදෙනාටම එක ලෙස ආදරය කරයි. සලකයි. අධ්‍යාපනය ලබා දෙයි. කලාව හා වාම දේශපාලනය දෙසට නැඹුරු වන ප්‍රින්ස් ඒ එකක් හෝ පිළිබඳව ගැඹුරු හැදෑරීමක් නොකරයි. ඔහුට සිය පළමු පෙම්වතිය හමුවන්නේ ද චිත්‍ර ප්‍රදර්ශණයක් නැරඹීමට හිය විටෙකය. විවිධ නොගැලපීම් මත ඇය ඔහු හැර යයි. ඇය චිත්‍ර ශිල්පිනියක් නිසා ඔහු ද චිත්‍ර ශිල්පය පිළිබඳ ස්වයං අධ්‍යයනයක නිරත වුවද චිත්‍ර ඇඳීමට නොහැකිය. විජේසේකර නෝනා පිනට දහමට නැඹුරු වන්නේ පැරණි කුල කාන්තාවක පරිදිය. ඇගේ මිය යාමෙන් පසු දේපල විකුණා දමන සොහොයුරන් තනි තනිව ඒවා නොමසුරුව වියදම් කරයි. විදෙස් ගත වූ පර්ල් ට ඔපියුලන්ට් වලව්ව හිමි වේ. පෙම්වතියගේ හැර යාමෙන් පසු ප්‍රින්ස් විවාහ වන්නේ දික්කසාද වූ ගැහැණියක් සමඟය. රඟපෑමේ ආශාවෙන් පෙළෙන ඈ ප්‍රින්ස් ලවා චිත්‍රපටයක් නිපදවා එහි රඟපායි. විවිධ ගැටුම් මත ගෙවෙන දිවියේ දෙදෙනා දෙපසකට වී ජීවත් වෙයි.

නවකතාව අවසන් වන්නේ දිවියේ අපරභාගයට පැමිණෙන ප්‍රින්ස් සිරියා සිය නිවසට කැඳවා ගෙන යාමෙනි.

මේ පැරණි කොම්ප්‍රදෝරු ධනේශ්වර පන්තියේ බිඳ වැටීම අප යළි යළිත් කියවා ඇති ඉතිහාස කතාවයි. ඓතිහාසික සමාජ විකාශනයේ පුනරුච්චාරණයයි. කම්මැල්ලවීර වැනි ප්‍රවීණ ලේඛකයෙකු මේ ඉතිහාසය තුළම නතර වී එහිම සැරිසරමින් සිටින්නේ ඇයි? මේ නවකතාවේ සියලු චරිතයන් හා සිදුවීම් අපට අතීතයේ ද මේ ලෙසට හමු වී තිබේ. ඔවුන් අතීත මතක සටහන්ය. වර්තමානයේ මේ චරිත අපට හමු නොවේ. අපට වර්තමානයේ හමුවන්නේ කුඩු නුවන්ලා, කැසිනෝ දම්මිකලා, මසාජ් රුවන්ලා වැනි ලුම්පන් ධනපතියන්ය. ඔවුන්ගේ දරුවන් ප්‍රින්ස් ලා නොවේ. තමන් සමඟ අමනාප වන පෙම්වතියගේ ලිංගේන්ද්‍රියට වෙඩිතබා ඇසිඩ් ගසා ඝාතනය කරනවුන්ය. වතු වැවිලි ආර්ථිකයේ බිඳ වැටීම සිදු වී ආනයන ඉපැයීම් වල ප්‍රමුඛතා ලේඛණය උඩුයටිකුරු වී ඇති වර්තමානයේ කලු සල්ලි සුදු කිරීම (Money Laundering) හරහා බිහි වූ ලුම්පන් ධනේශ්වර පන්තිය ශ්‍රී ලංකාවේ දේශපාලනය, ආර්ථිකය, සමාජය පමණක් නොව සංස්කෘතිය, මාධ්‍ය හා කලාව ද සිය ආධිපත්‍යයට යටත් කොට සිටින සමයක ජයතිලක කම්මැල්ලවීර ගේ "ප්‍රින්ස්" නවකතාවෙන් හමා එන්නේ අතීත හුරුපුරුදු සුවඳක් යැයි නොකියා සිටිනු නොහැකිය.

කපිල එම්. ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails