Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සාහිත්‍ය මාසයේදී ලේඛකයන්ගේ ලේ රත්වන බව මීට වසර කිහිපයකට පෙර ප්‍රකාශ කරණ ලද්දේ ප්‍රවීණ ලේඛිකාවක් විසිනි. විචාරක මෙන් ම ජනතා සම්මානයෙන්ද පිදුම් ලත් ඇය එසේ ප්‍රකාශ කරන්නට යෙදුණේ සාහිත්‍ය සම්මාන අරභයා සමාජයේ ඇතිවන කතිකාව ජුගුප්සාජනක තත්ත්වයකට පත් වෙමින් තිබෙනු ඇය අවබෝධ කොට සිටි හෙයිනි.

ඇගේ එම ප්‍රකාශය සත්‍යයක් බව තහවුරු කරමින් පසුගිය වසර කිහිපය මුළුල්ලේදිම සම්මාන අරභයා ඇතිවු සමාජ කතිකාව සාහිත්‍යයට තරම් නොවන බව කණගාටුවෙන් වුවද සටහන් කිරීමට සිදුවේ. ස්වර්ණ පුස්තකය නම් ලත් "සිංහල සාහිත්‍යයට ප්‍රකාශකයන් වෙතින් පිදෙන උත්තමාචාරය" රුපියල් ලක්ෂ පහක මුදල් ත්‍යාගයක් වීම නිසා මේ කුලල් කා ගැනීම පුද්ගලික චරිත ඝාතනයන් දක්වා විහිදෙනු දැකිය හැකි විය. එම විවේචන හා විචාර විලාසයන් එළැඹි සිහියෙන් ලෙහා බලද්දි පෙනෙන්නේ සාහිත්‍යය අබිබවා ගිය වෙනත් සමාජ කාරණා මුල් කොට ගෙන එම කටුක මෙන් ම නීරස වූ ද සාහිත්‍යයට තරම් නොවන්නා වූ ද විවේචන උප්පත්තිය ලබා ඇති බවයි.

සම්මානයට පාත්‍ර වූ ලේඛක ලේඛිකාවන් පුද්ගලික අවමානයකට පාත්‍ර කිරීමේ සංවිධානාත්මක ආස්ථානය දේශද්‍රෝහී සහ දේශප්‍රේමි සාහිත්‍යයක් යන දෙබෙදුමක් සහිතව මෙවර කරළියට පැමිණීම මේ අවමානයේ සුවිශේෂ කඩඉමක් බව පෙනී යයි. දේශපාලනය මුල්කොට ගත් සාහිත්‍ය විචාරය අලුත් අත්දැකීමක් නොවූවත් මෙවර කරළියට වන් දේශපාලන විචාරය හුදෙක් සාහිත්‍ය විචාරය ඉක්මවූ ජාතිකවාදී දේශපාලන කුලකයක මතවාදයක් බලහත්කාරයෙන් සාහිත්යික සමාජය මත පැටවීමට දැරූ සාහසික උත්සාහයක් විය. එය කොතරම් ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත්තේ ද යත් ස්වර්ණ පුස්තකය අරභයා අවි අමෝරා නොගත් එහෙත් එල්ටීටීඊ සංවිධානයේ මතවාදයක් පරාජය කිරීමේ සටනක් ලෙසට කරළියට පැමිණ තිබිණ.

මේ අර්ථයෙන් ගත් කළ මෙවර ස්වර්ණ පුස්තක අවසන් කෘති පහෙන් කිහිපයක් මෙන්ම අවසන් විනිසුරුවන්ගෙන් කිහිප දෙනෙක් ඍජුව එල්ටීටීඊ මතවාදය කර පින්නා ගත් බැවින් ඔවුන්ට එරෙහිව ජනතාව වීදි බැසිය යුතු බවට සංඥා නිකුත් වෙමින් පැවතිණ. මේ සාහිත්‍ය විරෝධි ක්‍රියාවේ කසකරුවන් තිරෙන් පිටුපස සිට කස හඬ නගමින් සිටියදී පන්දම් පාලිය නටමින් කරළියට වන්නේ දිවමන් ප්‍රවීණතම සිංහල සාහිත්‍යකරුවා වන ආචාර්ය ගුණදාස අමරසේකර ශ්‍රීමතාණෝ ය.

කාලයක සිට වර්තමාන සිංහල සාහිත්‍ය සම්මාන "බලු පොරයක්" ලෙස දෝශ දර්ශනයට ලක් කරමින් සිටි එතුමන් සාහිත්‍ය මාසයේ ආරම්භක දිනය වූ සැප්තැම්බර් 1 දා ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයට පැමිණ ජීවිතේ පළමු වරට තමන්ට හිමි වූ විදුදය සාහිත්‍ය සම්මානය දෝතින්ම ගෙන ඉතිහාසයේ අන් කිසිම සාහිත්‍යකරුවකුට නොලද අවස්ථාවක් බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින් පවසන්නට යෙදුණේ දේශද්‍රෝහීන්ගේ හස්තයට හසුව තිබෙන සාහිත්‍ය සම්මාන ක්‍රියාවලිය වහා නවතා දැමිය යුතු බවයි. (වෙනත් වචන රාශියක් මගින් ඔහු පැවසූ අදහසේ මුඛ්‍ය අවධාරණය මෙය වේ.)

ඔහුගේ එම ප්‍රකාශයට මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලැබුණෙන් එය වහා සමාජ ගතවූ බවක් පෙනිණ. සාහිත්‍ය සම්මාන නවතා දමනු යයි අනුන්ට අණ කරමින් වුව සිය දෝතට පිදූ සම්මානය තමන් රැගෙන ගිය වග එළැඹි සිහියෙන් කල්පනා වන්නට වූ පසු එතුමෝ ඉන් කොතෙක් සසල වී ද යත් "මෙය සම්මානයක් නොව අවමානයකි" යි පසුව කෙඳිරි ගාන්නට වූහ. විදුදය සම්මාන උළෙලේදී එතුමන් ප්‍රකාශ කරන්නට යෙදුණ කරුණු අතර එක් විශේෂ කරුණක් සභාවේ දැඩි අවධානයට ලක් වූ බව නොරහසකි. එනම් මෙසේ ය. තමන් මෙහි ආවේ තමන්ට ඒ වෙනුවෙන් බල කිරීමක් කළ සම්මාන කමිටුවේ මිතුරන් (ඔහු නම් කිහිපයක් කීවේ ය) නිසා යයි අමරසේකරයන් කී කල්හි සභාවේ කසුකුසුවක් පැතිරිණ. එම මිතුරන් රාජ්‍ය සාහිත්‍ය සම්මාන විනිශ්චයේද භූමිකා දරන්නන් හෙයින් ජනාධිපතිතුමා විසින් පිරිනමනු ලැබීමට නියමිත රාජ්‍ය සම්මානයද නිසැකවම ඔහුට හිමිව ඇති බව තහවුරු කරන්නට ඇති බවයි. යම්හෙයකින් විදුදය සම්මානය ප්‍රතික්ෂේප කළහොත් රාජ්‍ය සම්මානය ද ප්‍රතික්ෂේප කිරීමට සිදුවනු ඇත. එය ජනාධිපතිතුමාට කරන ලද අපහාසයක් වන්නටත් බැරි නැත.

අමරසේකරයන් වැනි බහුශ්‍රැත පුද්ගලයකුට පවා මඟ හැර යා නොහැකි පෙළඹීමක් මේ විශේෂ තත්ත්වය විසින් නිර්මාණය කරනු ලබන්නට ඇතැයි අපට සිතේ. එහෙත් ඔහුට තමාගේ අදීන හඬ ගෑම නොකර නොසිටීමේ පෙළඹීමක්ද විය. ඒ නම් දිගින් දිගටම තමාගේ සවන් පත් අතරට කඩා වදින "දේශද්‍රෝහීන්ගේ සාහිත්‍යය" රජ වෙමින් තිබෙතැයි යන ප්‍රවාදය මඟ හැර සිටීය නොහැකි බැවිනි. එනිසා විදුදය කමිටුව සහ ඔහු අතර එකඟතාවක් තීන්දු විය. එනම් සම්මානය බාර ගැනීමටත් එම වේදිකාවේ දී සම්මාන ක්‍රියාවලියට බැට දීමට ඔහුට අවස්ථාවක් සැලසීමත්ය.

මේ නම් අමරසේකරයන් වැනි දිවමන් සාහිත්යික ප්‍රවීණයකු සිය කැමැත්තෙන් තුරුලු කරගත් අවමානයක් බව නො කිවමනා ය. ඊට වගකිව යුත්තේ වර්තමාන සාහිත්‍ය අනුන්ගේ දෑසින් දකින ඔහුම මිස ඔහුව මෙහෙයවන ව්‍යාජ බලවේගය නොවේ. තමාගේ ක්‍රියාවේ ඵලය තමාට බව ඔහු නොදැන සිටින්නට බැරිය. එය සාහිත්‍යය මතු නොව සමාජ ආර්ථීක දේශපාලන සංසිද්ධීන් ඇසුරෙන් ජනතාව සමග ඍජු ගණුදෙණුවක නිරතව සිටින "චින්තකයකු" තමන්ටම කරගත් මහත් අපහාසයක් නොවන්නේ ද? පසුව රාජ්‍ය සම්මානයට ගිය ඔහුට සිදු වූයේ ජනාධිපතිතුමා පහළ ඉඳසිටි අසුන දෙසට නැමී කිසිවක් කියා ඉතා අසීරුවෙන් පඩි නැග වේදිකාවට ගොඩවී සංස්කෘතික ඇමතිවරයා අතින් සම්මානය ගෙන සෑහීමකට පත් විමටයි. තමන් රැවටුණ බව පසුව අමරසේකරයන්ට වැටහෙන්නට ඇතත් එවිට අශ්වයා ඉස්තාලයෙන් පැන ගොස් තිබිණ.
මේ සියලු කාරණා අතර විශේෂත්වයක් වන්නේ වසරට අදාළ අනෙක් සාහිත්‍ය සම්මාන උත්සවය වූ ගොඩගේ සාහිත්‍ය සම්මානයට අමරසේකරයන්ගේ කෘතිය නිර්දේශයට හෝ ලක්ව නොතිබීමයි. හැම තැනකම අරක් ගෙන සිටින්නේ දේශද්‍රෝහීන් නොවේද? ඉතිං මේ දිවමන් ප්‍රවීණයා කෝප නොගන සිටීද? තමාගේ දෝතට පත් කළ අවමානය තුරුලු කොට ගෙන සම්මානයට බැට නොදී සිටිත්ද? කමත්වා..! තිත්ත වුවත් ඇත්ත එසේ නොවන්නට බැරිය.

අමරසේකරයන් තමන්ගේ කෘති සම්මානයට පාත්‍ර වීම සම්බන්ධයෙන් අනුගමනය කර ඇති ඉතිහාස කාරණා කෙරෙහි අවධානයක් යොමු කරද්දි තමාගේ කෘතියක් තරගයේ ඇති විට ඔහු ක්‍රියා කර ඇති ආකාරයේ අධිපතිවාදී ස්වරූපයට ඉතිහාසයක් ඇති බව පෙනී යයි. ඉන් පළමු වැන්න රාජ්‍ය සාහිත්‍ය සම්මානයේ ආරම්භක යුගයේදී පී.බී. අල්විස් පෙරේරාගේ කෘතියක් හා සම සම්මානය ලෙස ඔහුගේ "අමල්බිසෝ" කාව්‍ය කෘතිය සම්මානයට නම් කළ විට ඔහු සම්මානය බාර නොගත් අතර පී.බී. අල්විස් පෙරේරා වැනි අවර ගණයේ ලේඛකයකුගේ (ඔහුගේ නිරීක්ෂණයට අනුව) කෘතියක් තමන්ගේ කෘතිය හා සමාන වීම ඉවසිය නොහැකි අවමානයක් ලෙස සලකා තිබේ. (2014.09.23. රිවිර- කලස අතිරේකය)

මෙවැනි සම සම්මානයක් අමරසේකරයන්ට අත්විදීමට සිදුවූ අනෙක් රාජ්‍ය සාහිත්‍ය සම්මානය 1972 උදාවූ අතර එහිදී ආධුනික ලේඛිකාවක වූ කරුණා පෙරේරාගේ "අඳුරට එළියක්" කෙටිකතා සංග්‍රහය හා සම සම්මානයට නම් වූයේ අමරසේකරයන්ගේ කෘතියකි. පොළොන්නරුවේ පැවති මෙම සම්මාන ප්‍රදානෝත්සවයට අමරසේකරයන් සහභාගී නොවුවා පමණක් නොව පසුව සිය මිතුරු විචාරකයන් ලවා තම කෘතිය සමඟ සම සම්මානයට නම් වූ "අඳුරට එළියක්" පට්ට ගැසූ බවට කරුණා පෙරේරා අදටත් සාක්ෂියකි. ඊට පසුබිම් කතාවත් තමාට තරම් නොවන කොළඹ කෙසෙල්වත්තේ නූගත් දෙමාපියන්ට දාව උප්පත්තිය ලැබූ වතුජනපදික ආධුනිකයකු තමන් වැන්නකු හා සම වන්නේ කෙසේද යන අභිමානය බව නොරහසකි.

ස්වර්ණ පුස්තකය අරමුණු නොවුණත් 2012 වසරේ ඔහු විසින් ප්‍රකාශයට පත් කරන්නට යෙදුණ "රූපාන්තරණය හෙවත් සෝමදාසගේ සංක්‍රාන්තිය" නම් කෙටි නවකතාව (?) ස්වර්ණ පුස්තක සමීක්ෂක මණ්ඩලයේ පළමු වටයේ සමීක්ෂකයන් විසින් නොසලකා හරිනු ලැබීමේ වේදනාව ඔහුට පමණක් නොව ඔහු නියෝජනය කරන කුලකයේම හද පාරන්නක් විය. එපමණක්ද? ඒ සියල්ලටම වඩා වේදනාව වන්නේ 2011 කවිය විෂයයෙහි රාජ්‍ය සම්මානය (2012) රටින් පිටුවහල්ව සිටි දේශද්‍රෝහියකුට (ඔවුන්ගේ අර්ථයෙන්) හිමි විමයි. (මංජුල වෙඩිවර්ධන- ඇහැළ ඇමතුමකට ඇහැරෙමි) මේ සියල්ලම බටහිර ගැති එන්ජීඕ කුමන්ත්‍රණ මිස අන් කවරක්ද? සමීක්ෂකයන් පරාජය කළ නොහැකි නම් සම්මාන උත්සව නවතා දමනු හැර අන් විකල්පයක් තිබේද?

අමරසේකරයන් කෙටිකතාව විෂයයෙහි සම්මාන හිමි කර ගනිමින් මේ ප්‍රකාශයන් කරන්නේ ස්වර්ණ පුස්තක නවකතා විනිශ්චය අරභයා බව නොදැන සිටියෝ කවරහුද? ඒ වනවිටත් අවසන් කෘති පහට තේරී තිබූ කෘති අතර දේශප්‍රේමීන්ගේ නින්ද සොරා ගත් එක් විශේෂ කෘතියක් වූ අතර අඩු වැඩි වශයෙන් නින්දට බාධාකරන තවත් කෘති දෙකක් ඇතුළත්ව තිබිණ. එසේම විනිශ්චය මණ්ඩලයේ අඩුම තරමේ දේශද්‍රෝහිහු (ඔවුන්ගේ අර්ථයෙන්) තුන්දෙනකු වත් සිටිය හ. "හොඳින් බැරිනම් නරකින්" හෝ ඔවුන් නැවැත්විය යුතුය. රටින් පිටුවහල්ව සිටින "යක්ෂයකු" තමන්ගේ විජිතයට "යක්ෂණියක" එවා ඇති බැවින් ඊට වැට බැඳීමේ ව්‍යාපෘතියක අනුශාංගික කාරණා ලෙස මේ ප්‍රකාශයන් හඳුනා ගැනීම අපහසු නැත. ඒ ඔහු සම්මාන නැවැත්විය යුතුය යි තමා කී ප්‍රකාශය පැහැදිලි කරමින් බොහෝ පුවත්පත්වලට කර තිබූ ප්‍රකාශ ස්වර්ණ පුස්තකය වටා ඒකරාශීව තිබෙනු සලකන කල්හිය.

ජාතිකවාදීන්ගේ බලවත් තෙරපීමට නතුව (සමීක්ෂකයෝ එය එසේ නොවන බව කියති) ස්වර්ණ පුස්තකයෙන් "යක්ෂණී" පරාජය වුවද සම්මානයට තෝරා ගත් "කුරුල්ලා" ද ඔවුන්ගේ සාමකාමි නින්දට බාධාවක් වුයෙන් විරෝධයේ අඩුවක් නම් නැති. මගේ නිරීක්ෂණයට අනුව එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය වූ පසු ඒ සම්බන්ධයෙන් වූ සමාජ කතිකාවද නිමාවට පත් විය. සාමයේ ගී පද හා හඬ මෙන් ම කාව්‍ය අනුභුතීන්ද අතුරුදහන් විය. ඔවුහු ඉක්මනින් වෙනත් අනුභුතීන් කරා සමීප වූහ. එනිසා සමාජ දේහයේ කතිකාමය තුලනය බිඳී ගියේ ය.

එල්ටීටීඊ සංවිධානය පරාජය වුවද දෙමළ සමාජ ගැටලුව අලුත් මුහුණුවරකින් හුදෙකලාව වුව මෝදු (මෝදිකරණය) වෙමින් තිබේ. නමුදු ඔවුන්ගේ හඬ මහා සමාජය කරා ගලා එන්නේ පෙනේරයන් අතරින් බැවින් පෙරළා දකුණින් තවමත් ඍජු සහයක් පළ නොවේ. ඒ ඇසුරෙන් කතිකාමය රික්තයක් මතු ව ඇති අතර එම රික්තය හේතුවෙන් වැඩිපුර කාංසාවට පත්ව සිටින පිරිස ජාතික රාජ්‍ය සංකල්පය ඉස දරන්නෝ ය.
මේ පිරිස සමාජ සංචලනයන් කෙරෙහි දැඩි උනන්දුවකින් පසු වෙත්. "කොටියා" මතුවන තැන් සොයමින් සතර අත ඉව කරත්. එද ඉවසා සිටිය නොහැක්කේ එල්ටීටීඊය පරාජය කිරීමෙන් ඇති වූ රික්තය පුළුල් වෙමින් තිබීමයි. යුද්ධය ජයගත් බව සැබෑවක් වුවත් අපේක්ෂා කළ කිසිවක් සිදු වන බවක ඡායාවක් වත් නැත. උතුරේ තනි පාලනය දෙමළාට හිමිව ඇති අවකාශයක නිසැකවම යළි දෙමළ මිනිසා පිළිබඳ කතිකාව කරළියට පැමිණෙනු ඇතැයි උපකල්පනය කරති. ඒ කතිකාව ගොඩනැගෙනු ඇත්තේ සාහිත්‍යය මූලික වූ ගමන් මාර්ගයක නොවේද?
එනිසා කලින් තලියේ කිඹුල්ලු දකිමින් සිටි අයට දැන් දැන් අතැති වතුර වීදුරුවේ පවා කිඹුලන් පෙන්නා සේ ය. ඔවුන් නොදකින්නේ එල්ටීටීඊ භීෂණය උර මතා තබා කටයුතු කළ අය අද ඇමතිවරු සහ සුවිශේෂ පුද්ගලයන් ලෙස වරප්‍රසාද භුක්ති විඳිද්දි "දෙමළ ජනයාට ප්‍රශ්නයක් ඇත" යනුවෙන් ලියන කියන ප්‍රගතිශීලීන් එල්ටීටීඊ සාමාජිකයන් බවට අර්ථ ගන්වමින් තිබීම පමණි.

"යක්ෂණී" හොම්බට අනින්නේ මේ කාංසාදාරීන්ටය. "යක්ෂණී" ඇසුරෙන් හරවත් සමාජ කතිකාවක් ගොඩනගනු වෙනුවට මේ අය අමරසේකර විමල් සුසංයෝගයේ ජාතිකවාදී මුස්නේ නැගී අලුත් අවකාශයක් සොයා පියෑඹීමක් අපේක්ෂා කරන්නේ යයි පෙනේ. ඔවුනට අවශ්‍ය වන්නේ මතවාදීමය අවකාශයක් නොව ඒකපාර්ශ්වීය ක්‍රීඩාවක ස්වයං වින්දනමය තෘප්තියක් නම් ඉන් සැබෑ සාහිත්‍යයට සිදුවන බලපෑම නොමනා බව හඟිමි.

ස්වර්ණ පුස්තක කතිකාව ඔස්සේ කරළියට ආ මේ කාංසාවේ ආයාමයට අමරසේකර නම් වූ ඒ ප්‍රවීණ සාහිත්‍යවේදියාණන් මැදි වූ බව මගේ නිරීක්ෂණය යි. ගින්නෙ පලහන කොස් ඇට බාවන්නට අපූරු බළල් අතක් හමු වූවා නොවේද?

"කරුමක්කාරයෝ" නම් අති විශිෂ්ට නවකතාව රචනා කරමින් සිංහල නවකතාව "මල්වර" කළ ලේඛකයා සිය වෘද්ධ වයසේදී මෙවැනි අවමානයකට තල්ලු කර දමන්නට යමකු තැත් කරන්නේ නම් ඔවුන්ගේ අවධානය පිණිස ලෝකයේ විශිෂ්ට සාහිත්‍යකරුවන් මතු නොව ඔවුන් හා සම අසුන් දරමින් සම්මාන උපහාර ගෞරවණීය සහ පරමාදර්ශී ලෙස ප්‍රතික්ෂේප කළ අබිමානවත් දේශජ සාහිත්‍යකරුවන් කිහිප දෙනකු පිළිබඳව සටහනක් තබනු කැමැත්තෙමි.

සාහිත්‍ය ගරු සම්මාන ප්‍රතික්ෂේප කළ ඉතිහාසයේ ඈතම කෙළවරක දී අපට හමුවන පළමුවැන්නා 1926 වසරේදී "පුලිට්සර් ත්‍යාගය" ප්‍රතික්ෂේප කළ Arrowsmith නවකතාව රචනා කළ "සින්ක්ලෙයාර් ලිවිස්" ය. ඔහු ගෞරවණීය පුලිට්සර් ත්‍යාගය ප්‍රතික්ෂේප කරමින් පුලිට්සර් ත්‍යාග සංවිධායකයන්ට යොමු කළ ලිපියේ අවධාරණය කරන ලද්දේ All prizes, like all titles, are dangerous කියා ය. මේ නම් කශේරුකාවක් ඇති සාහිත්‍යකරුවකුගේ සැබෑ සම්මාන ප්‍රතික්ෂේපයක් වන්නේ ඔහු වචනයෙන් යමක් කියා ක්‍රියාවෙන් අනෙකක් කළ අයකු නොවන හෙයිනි.

එංගලන්තයේ සුප්‍රසිද්ධ ගෞරව නාමයක් වූ සීබීඊ CBE නාමය ප්‍රතික්ෂේප කළ සාහිත්‍යකරුවකු ලෙස ප්‍රසිද්ධියට පත් වූයේ Auberon Waugh ය. Roald Dahl අතින් ප්‍රතික්ෂේප වූයේ ඔබීඊ OBE ගෞරව නාමයයි. එංගලන්ත කිරීටයේ සුවිශේෂ නම්බු නාමයන් ප්‍රතික්ෂේප කළ සාහිත්‍යකරුවන් ලෙස මේ දෙදෙනාම අභිමානයට පත් වූවෝ වෙති. අපට සමීප ඉන්දියාවේ "තාගෝර්"ද තමාට නම් කළ නයිට් පදවිය ප්‍රතික්ෂේප කරන්නට යෙදුණේ ඉංග්‍රීසින් ස්වජාතියට කරණ කෙණෙහිලි අනුමත කළ නොහැකි බවට ලිපියක් ඉදිරිපත් කරමින් බව ඉතිහාසය සාක්ෂි දරයි.

ෂෝන් පෝල් සාත්‍රේ 1964 දී තමාට හිමිවූ "නොබෙල් සාහිත්‍ය ත්‍යාගය" ප්‍රතික්ෂේප කළ එකම නවකතාකරු වන අතර සම්මානය සමග හිමිවන අතිවිශාල මුදල් ත්‍යාගයද ප්‍රතික්ෂේප කරමින් ඔහු පවසා සිටියේ "නොබෙල් සම්මානයට පෙර සාත්‍රේ සහ පසු සාත්‍රේ ලෙස සිය ජීවිතය සකසා ගන්නට තමා තුළ කිසිම කැමැත්තක් නැත" යන්නයි.

සුප්‍රසිද්ධ අප්‍රිකානු නවකතාකරු "චිනුවා ඇචබේ" 2004 දී Commander of the federal republic නම් ලත් නයිජිරියානු ජාතික සම්මානය ප්‍රතික්ෂේප කළ බවත් "සොනල්ලා ඊබ්‍රහිම්" 2013 අරාබි නවකතා සම්මානය ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කළ බවත් නොදන්නෝ කවරහුද? තම රටවල මිලිටරි පාලනයට එරෙහිව තමන්ට පළ කළ හැකි ඉහළම විරෝධය පෑමේ ශක්තිය ඕනෑම රටක සම්මාන ප්‍රතික්ෂේප කිරීමට සූදානම් සාහිත්‍යකරුවන්ට පූර්වාදර්ශයක් නොවන්නේද?

සම්මාන ප්‍රතික්ෂේප කිරීමේ කලාව මොනවට ලොවට පෙන්වූ වියට්නාම් සාහිත්‍යකරුවකු ලෙස කැපී පෙනෙන නවකතාකරු Ho Anh Thai වන අතර සම්මාන විනිශ්චයේ අපක්ෂපාතීත්වය ප්‍රශ්න කරමින් තමන්ට හිමිවූ සම සම්මානයක් ප්‍රතික්ෂේප කළ තරුණ කිවිඳියක වන Ly Hoang Ly ද යහපත් වියට්නාම් උදාහරණයන් වෙති. ඉන්දියාවේ, අරුන්දතී රෝයි ඉන්දීය ඇකඩමි සම්මානය ප්‍රතික්ෂේප කිරීම මගින් සම්මාන ප්‍රතික්ෂේප කළවුන් අතරේ සිය නාමයද සනිටුහන් කර ඇත්තීය.

සාහිත්‍ය සම්මාන ප්‍රතික්ෂේප කළ දේශීය පූර්වාදර්ශ අතර වටිනාකම් සහිත සම්මාන ප්‍රතික්ෂේප කිරීම් කිහිපයක් අපගේ මතකයේ සදා නිදන්ව තිබේ. ඒ අතර ප්‍රමුඛයා එච්.ඒ. සෙනෙවිරත්න වන අතර ඔහු සිය "පරාභවය" නවකතාවට හිමි වූ රාජ්‍ය සම්මානය, ප්‍රේමදාස ජනාධිපතිවරයා අතින් ලබා නොගන්නේ යයි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර සම්මානය ප්‍රතික්ෂේප කළ අභීත විරුවකු විය. එම ප්‍රකාශය නිසා එකල ඔහු කරා භීෂණයේ හස්තය දිගුවීමේ අවදානමක් පවා තිබුණු බව ඔහුගේ ක්‍රියාවට වටිනාකමක් ලෙස එකතු කරනු කැමැත්තෙමි.

කිසිවකු අතර එතරම් ප්‍රසිද්ධියක් නැතත් 2012 වසරේ සියනෑ ගුරු අභ්‍යාස විදුහලේ පැවති රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී සිය පරිවර්තන වෑයමකට (චාලි චැප්ලින් චරිතාපදානය) හිමි වූ සාහිත්‍ය සම්මානය බාර ගැනීමට චූලානන්ද සමරනායක නොපැමිණි අතර පසුව අනුමණ්ඩල නිලධාරීන් විසින් ඔහුට ඒ සම්බන්ධයෙන් කරණ ලද දැනුම් දිමද කාරුණිකව ප්‍රතික්ෂේප කරමින් රාජ්‍ය යාන්ත්‍රණයෙන් පිරිනමන සම්මාන පිළිගැනීමට තමා තුළ කැමැත්තක් නැතැයි දන්වමින් මුදල් ත්‍යාගයත් සම්මානයත් ප්‍රතික්ෂේප කිරීම කිසිම පුවත්පතක වාර්තාව නොතිබිණ.

චූලානන්ද සමරනායක නම් වූ සැබෑ මිනිසා සම්මාන ක්‍රියාවලියට සහ රාජ්‍ය යාන්ත්‍රණයේ ව්‍යාජ උපහාරයන්ට සිය විරෝධය භාවිතයෙන්ද පෙන්වා සිටියේ එලෙසිනි. මොහු පසුව එය රහසේ ලබා ගත් බවට කටකතාවක් පතුරුවා හැරියත් ඔහු සම්මානය සහ මුදල් ත්‍යාගය බාර නොගත් බවට අනුමණ්ඩල ලේකම්වරයා වෙතින් පුද්ගලිකවම සහතික කර ගත්තෙන් "චූලාට" මගේ අභිමන් ආචාරය පුද කිරීමට මම මැලි නොවෙමි. අභාවප්‍රාප්ත සුචරිත ගම්ලතුන්"සිංගප්පුරු දරුවා" නම් පරිවර්තන කෘතිය විෂයයෙහි ඔහුට පිරිනැමූ සම්මානයක් ප්‍රතික්ෂේප කළ බව ඇසුවද එය තහවුරු කර ගත නොහැකි විය. එහෙත් මා ලත් ආරංචි මාර්ගයේ විශ්වාසය පදනම් කොට එතුමන්ද එවැනි අභිමානනීය මිනිසුන් අතරට එකතු කරනු කැමැත්තෙමි.

ලෝක විවාහක රූ රැජිණ ලෙස අභිසෙස් ලැබූ ශ්‍රී ලාංකික රෝසි සේනානායක සුරූපිණිය අතින් (වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රිනි) සිය යෞවන සාහිත්‍ය සම්මානය බාර ගැනීම ප්‍රතික්ෂේප කළ සුනන්දා රණසිංහ කිවිඳිය එකල "ඝාතනයේ මිටියාවත" ලෙසින් හැදින්වූ අප රටේ අඳුරු යුගයක දී පෙන්වා සිටි පෞරුෂය අද දවසේ ව්‍යාජ සම්මාන විරෝධීන්ට පූර්වාදර්ශ කොට ගත හැකි අගනා ආදර්ශයක් වනු නියතය.

සාහිත්‍යය විෂයයෙහි නොවුණත් තමන්ගේ කලා භාවිතයේ ගෞරවය රකිමින් සම්මාන ප්‍රතික්ෂේපයට අගනා ආදර්ශ සැපයූ එච්.එම්. ජයවර්ධන සංගීතඥයාත් සම්මාන ප්‍රතික්ෂේප කිරීමේ කලාව ඔප් නැංවූ අපූරු මිනිසකු බවට සටහන් කිරීම ඔහුගේ පරිත්‍යාගයට අගනා උපහාරයක් වනු නියතය. ඔහු සම්මානය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ "මේ සම්මානය හිමි මට නොව වසරේ විශිෂ්ටතම සංගීත සංයෝජනය ඉදිරිපත් කළ ප්‍රේමසිරි කේමදාසයන්ටයි" යනුවෙන් සම්මානයට සැබෑ හිමිකම ඇති අනුප්‍රාප්තිකයා නම් කිරීමද විශේෂ කොට සැලකීම වටී.

"සම්මාන උළෙලවල් නවතා දමනු"යි හඬ නගන්නෝ තමන්ට සම්මාන පිරිනැමීමේදී එය දෝතින්ම බාර ගන්නෝ වෙත් නම් ඔවුහු අනුන්ට එවැනි ගෞරවයක් හිමිවීම නොඉවසන්නෝ ලෙස සැලකීමට සිදුවන්නේ සම්මාන ප්‍රතික්ෂේප කිරීමද කලාවක් බව අප දන්නා බැවිනි.
සාහිත්‍ය මාසයේදී ලේඛකයන්ගේ ඇඟේ ලේ රත්වන බව කී කැත්ලින් ජයවර්ධන නම් ලේඛිකාව "මහසෙන්" නම් ලත් නවතම කෘතියේ පෙරවදන අවසන් කරන්නේ මෙසේ ය. "තරග ජයග්‍රහණයට වඩා නිතරගයේ සහනශීලීත්වය විජයග්‍රහණයක් ලෙස හඟින බැවින් (2009 පටන් අඛණ්ඩව ඉදිරියට ගෙන ආ පිළිවෙතට අනූකූලව) මෙම කෘතියද 2014-2015 ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන කිසිදු සාහිත්‍ය සම්මාන ප්‍රදානයක් සඳහා සමීක්ෂණයට භාජනය නොකරන ලෙස ඉතා කාරුණාවෙන් ඉල්ලමි.." මේ නම් විකල් සම්මාන උන්මාදයට කදිම පිළිතුරක් නොවන්නේද? හිමි කරගැනීම, හිමිකරදීම සහ අහිමි කිරීම අතර ඇති නිහීන ක්‍රියාකාරකම්වල නිමාවකට ඇය කරන ආරාධනය යහපත් පෙරමග ලකුණක් ලෙස දකිමි. සැබැවින් ම නවතා දැමිය යුත්තේ කෘතියක සාර්ථක අසාර්ථකත්වය සලකා බැලීය යුතු සාහිත්යික නිර්ණායකයන් වෙතින් බැහැර ව ක්‍රියාත්මක අවකල් ක්‍රියා මිස සම්මාන උළෙලවල් නොවේ.

අමරසේකර ශ්‍රීමතාණන්ගේ ප්‍රකාශයක් අරභයා ගොනු වූ මේ කරුණු දැක්වීම ඔහුගේ සටහනකින් ම අවසන් කිරීමට කැමැත්තෙමි. ඔහුගේ නවතම කෘතිය වන "මතක වත" කෘතියේ 21 වන පිටුවේ ආරම්භක කවි දෙපදය මෙසේ වන්නේය.

"මා නරුමයකු කළෙ කිසි බැති සිතක් නැති
ඒ බණ පද ද ගිල්වූ මට පිරිය නැති..."


සිංහල බෞද්ධ සමාජ දේහය වසා පැතිරි තිබෙන මහා බලපෑම වන "සාම්ප්‍රදායික අතාර්කික ආගමික බලහත්කාරය" නිසා කුඩා අවදියේ පටන් බෞද්ධයා තුළ නරුම ගති වැඩෙන බව කියන පිටුවහල් දේශද්‍රෝහීයකුගේ සාහිත්යික විරෝධාකල්පයක් ලෙස මෙය නොගනිත්වා. අමරසේකරයන් ඉහත දෙපදයට කැටි කොට ඇති මහා කතාව "යක්ෂයකුට" විස්තරාත්මකව ලිවීමේ ඉඩහසරක් නැති සාහිත්‍යය තවදුරටත් සාහිත්‍යයක් වන්නේද?

අනුරසිරි හෙට්ටිගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails