Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ධම්මංගල හාමුදුරුවෝ පහන් වූ සිතින් ගිලන් පස වළඳා සුපුරුදු ශාන්ත ගමනින් මගට බටහ. තවමත් හිරු පායා හෝරාවක්වත් ගෙවී ගොස් නැත. එබැවින් දැඩි හිරු රැස් පොළොවට පතිත වන්නේද නැත.

මේ, සුපේශීල හාමුදුරුවන්ගේ සාමාන්‍ය දින චර්යාවේ ආරම්භයයි. හිස බිමට බර කොටගෙන ඉතා සංසුන් ලීලාවෙන් හාමුදුරුවන් වඩින්නේ සැමදා ගමන් කරන සුපුරුදු මග ඔස්සේමය. හිස නොඔසවාම ඉතා සීරුවට හාමුදුරුවන් පා තබන්නේ කුරාකුහුඹුවෙකු හෝ පයට නොපෑගෙන පිණිස බව ගම්මුන්ගේ විශ්වාසයයි.

මහණ දම් පුරන්නට පෙර උදේ හවා ව්‍යායාම කිරීමෙන් ලද හුරුව හාමුදුරුවන්ට අත්හැරිය නොහැකි බව ගම්මුන් දන්නේ නැත.
පන්සලේ ආවාස ගෙයින් නික්මෙන හාමුදුරුවන් බෝධිය වටා තෙවරක් පැදකුණු කොට ගල් පඩි පෙළ බසින්නේ වාරු වැට අල්ලාගෙන සීරුවට මාරුවටය. මේ වාරු වැට පිත්තලින් නිමවා රන් ආලේප කොට පන්සලට පූජා කළේ අන් කවුරුවත් නොව දානපති විමලගුණ මුදලාලි මහත්තයාය.

කසිප්පු වෙළදාමෙන් ජීවිකාව පටන් ගත්තද විමලගුණ මුදලාලි මහත්තයා නගරයේ වයින් ස්ටෝරුවේ බලපත්‍රලාභී හිමිකරුවාය. එපමණක් නොව ප්‍රාදේශීය සභාවේ නිලලත් කොන්ත්‍රාත්කරුවාය. ප්‍රදේශයේ පාරවල්, ගොඩනැගිලි මෙන්ම වාරි මාර්ග පිළිසකර කෙරන්නේත්, අලුත් ගොඩනැගිලි, පාරවල් තැනෙන්නේත්, සද් ගුණවත් විමලගුණ මුදලාලි මහත්තයාගේ කොම්පැනිය හරහාය.

ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්, දේශපාලකයින්, ප්‍රදේශයේ ප්‍රභූවරුන් පමණක් නොව පොලිසියද ඔහුට එරෙහි වන්නේ නැත.
දේශපාලනය බලය කියා ගම්මුන් පැවසුවද ධම්මංගල හාමුදුරුවන් නම් කියන්නෙ පිං කළ ඇත්තෝ කියාය.

පන්සල වෙත ඇදී යන ගුරුපාර පියමං කොට වෑකන්ද මතින් ඇවිද යන හාමුදුරුවන් හිරුගේ දාහය වැඩිවත්ම යළිත් පන්සල වෙත වඩින්නට වග බලා ගනී.

එහෙත් මේ ගමන පමා වෙන්නේ අතරමගදී මුණ ගැසෙන උපාසක උපාසිකාවන් සමඟ වචනයක් දොඩන්නට තත්පර වන බැවිනි.

“අපෙ හාංදුරුවනේ...... මේ කෙළීට ටවුමෙ ගාමංටෙකට එන්න කියල. මේ උදැහැනැක්කෙම එක්කොරං යනව.......”

“සුවපත් වේවා.....! අබිලිං උපාසක.... සියලු දෙවි දේවතාවුන්ගෙ ආශිර්වාදයෙන් යහපතක්ම ඉෂ්ට සිද්ධ වෙන්න ඕනෑ...... තෙරුවන් සරණයි......!”

“අපෙ හාංදුරුවනේ..... මේ දොවා ගත්ත කිරි ටික කඩේට දෙන්න කියල යමින් ගමන්.”

“සුවපත් වේවා.....! එතනහාමි....... කෝ මේ රංබණ්ඩ ගෙදරද...?”

“ඔන්න ඔය පන්සලේ කොටහ ගෙහුන් දීල හරකුන් දිගේලි කරල එන්න ගියා. දැං මග එනවත් ඇති මයෙ හිතේ.....”

“හොඳමයි ..... උඹලට සියලු දෙවි දේවතාවුන්ගෙ පිහිටයි. තෙරුවන් සරණයි...!”



මෙලෙස උදෑසනින්ම හාමුදුරුවන් අහම්බෙන් වුව මුණ ගැසී වචනයක් දෙකක් දොඩන්න ලැබෙන එක ගම්මුන්ගේ හිත්වලට ඉමහත් සැනසීමක් ගෙන දෙයි. සමහරු කවර හෝ හේතුවක් හදාගෙන හාමුදුරුවන් යන මගට එන්නේ මුවින් පිට වන ආශිර්වාදය හේතුවෙන් දවසේ සියලු වැඩ කටයුතු සඵල වණු ඇතැයි යන විශ්වාසයෙනි.

‘අපේම පිනට මේ හාමුදුරුවෝ අපේ පන්සලට වැඩම කළේ. මොන තරං සුපේශීල හාමුදුරුනමක්ද..... දැක්කම පේනවා නොවැ ශාන්ති ගති ඇත්තෙක් බව. තවම පන්සලට ඇවිල්ලා අවුරුදු දෙක තුනක් වුණාට පේනවා නේද අහල ගං තුලාන වලින් තියෙන ඉල්ලුම.....’ ගම් වැසියන් සිතන්නේ එසේය.

ධම්මංගල හාමුදුරුවන් සමාජය ගැන හොඳින් දැනුම් තේරුම් ඇති, ගිහි ජීවිතය, මෙලොව පමණක් නොව එලොව ගැනද හොඳ අවබෝධයක් ඇති බෝධිසත්ත්වයෙකුවන් උතුම් ගති ගුණ වලින් හෙබි උත්තමයෙක් බව දායක දායිකාවන්ගේ විශ්වාසයයි.

උදෑසන සක්මන අවසානයේ දාන ශාලාවට වැඩම කොට මෙත්ත පිරිත කියා හීල් දානය වළඳන හාමුදුරුවෝ දවස ගත කළ යුතු ආකාරය ගැන පොඩි හාමුදුරුවරුන් හට උවදෙස් දෙන්නාහ.

“භික්ෂුවකගේ දින චර්යාව හසුරුවන අන්දම ගැන ගල් විහාරෙ අභිලේඛනවල අඩංගු වෙලා තියෙනවා. මේ අභිලේඛන පදනම් වෙලා තියෙන්නෙ ඒ කාලෙ පැවති සිරිත් මතයි. භික්ෂුව පාන්දරින් අවදි විය යුතුයි. ඉන් පස්සෙ බුදුගුණ මෙනෙහි කිරීම, සියලු සත්ත්වයන්ට විමුක්තිය පැතීම, ශරීරයේ අපවිත්‍රතා ගැන සිතීම, මරණානුස්මරණය යනාදි වූ සිව් විධ භාවනාවල යෙදිය යුතුයි. ඉන්පසු සක්මන් මලුවේ එහා මෙහා යමින් කාලය ගත කළ යුතුයි.

ඊළඟට ශරීරකෘත්‍යයෙහි යෙදිල මුහුණ කට සෝදා ගෙන ලෑස්ති වී සිඛකරණියෙහි දක්වා ඇති අන්දමට සිවුරු පොරවාගෙන බෝමළුව හා දාගැබ් මළුව අතු ගෑම, නිවාස ස්ථාන පිරිසිදු කිරීම, ගුරුවරුන්ගේ, ජ්‍යෙෂ්ඨ භික්ෂූන්ගේ හා ගිලනු අවශ්‍යතා ඉටු කිරීම යනාදි කටයුතුවල යෙදිය යුතුයි. දාන ශාලාවට ගොස් හීල් ආහාරය ගත යුත්තේ ඉන් පසුවයි.

ලිපි ලේඛන බැලීම, රෙදිපිළි මැසීම හා සේදීම, ශ්‍රමණ අවශ්‍යතා බෙදා දීම වැනි කාර්යයන්වල යෙදෙන්නේ නැති නම් භාවනා කළ යුතුයි.

දවල් ආහාරයෙන් පසුවත් භික්ෂූන් භාවනාවෙහි හෝ ධර්ම අධ්‍යනයෙහි යෙදිය යුතුයි. සන්ධ්‍යා කාලය ගත කළ යුත්තේ ධර්මය අසමින් හෝ සාකච්ඡා කරමින් හෝ කට පාඩම් කරමිනුයි. ”


මේ යනාදි වශයෙන් පොඩි හාමුදුරුවරුන්ට නිරන්තරයෙන් අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කිරීමටත්, නිසි උවදෙස් ලබා දීමටත් අමතක නොකරන ධම්මංගල හාමුදුරුවන් හවස් මානයේදී උපාසක උපාසිකාවන් සමග ධර්මය පිළිබඳ විවරණයෙහි යෙදීමටත්, කතා බහේ නියැලී සිටීමටත් දක්වන්නේ ඉමහත් රුචියකි.

සැත්තෑපස්වෙනි විය ඉක්මවා සිටින හාමුදුරුවන් හොඳින් වැඩුණු සිරුරින් යුතුය. උස්ය. උසට සරිලන දේහයෙන් යුක්තය. පාදවල ඇඟිලි පුරුක් මතුපිට කළු වී ඇත්තේ කර ගැට නිසාය. හරියට බූට් සපත්තු වලට මැදී ගොරෝසු වූවාක් මෙනි.

ධම්මංගල හාමුදුරුවන්ගේ බණ දේශනා අසන්නට, අනුශාසනා අසන්නට ඇත්තේ විශාල ඉල්ලුමකි. අහල ගං හතේම පන්සල්වල මෙන්ම නිවෙස්වල දානමාන කටයුතු වලදී හාමුදුරුවන් නැතිවම බැරිය.

ඇඹිලිපිටිය පැත්තේ ගමක උපාසක මහතෙකු මිය පරලොව ගිය පසු හත්දොහේ බණට වඩින්නට ධම්මංගල හාමුදුරුවන් ආරාධනා ලද්දේ එ’ගම පන්සලෙන් නිවැසියන් කළ ඉල්ලීමකට අනුවය.

ඇඹිලිපිටියේ නිවසට ධම්මංගල හාමුදුරුවෝ වැඩම කරන විට තරමක් ප්‍රමාද වූ හෙයින් තොරතුරු විස්තර නොවිමසාම බණ දේශනාව ආරම්භ කළහ.

“පිංවත්නි, අද ධර්ම දේශනාවේදී ඒ තරම් ගැඹුරු දර්ශනයකට නොගොහින් මේ ස්වභාව ධර්මයේ නීති රීති ටිකක් වගේම ස්වභාව ධර්මයේ සකස්වීම ගැන පමණක් අපේ හිතට ගන්න මහන්සි ගමු.

බෞද්ධ කාන්තාවක් මිය ගිය ස්වාමියාට පිං දෙන්නේ මහත් වූ බලාපොරොත්තුවකින්. බෞද්ධ දර්ශනේ හැටියට ඈ විශ්වාස කරනවා පිංවත්නි මේ ස්වාමියා අපෙන් වෙන් වෙලා පිං ගන්නා තැනක උපදිනවා කියල. ඇය ඉගෙන ගත් ධර්මය අනුව අපි ඒක අනුමත කරනවා. ඒක සත්‍යයයි. මේ ඉපදුණු හැම දෙනාටම අප දෙන පිං ගන්න පුළුවන්ද..? පිං ගන්නා තැනක සිටියොත් පමණයි පිං ලබා ගන්න පුළුවන් වෙන්නෙ. ඒ මහත්මයා ගෙනිච්ච ධාර්මික ජීවිතය.... මේ.... ඒ මහත්මයා....... මිය පරලොව ගිය මේ උපාසක තැන.....”


මිය ගිය පුද්ගලයාගේ නම හා තොරතුරු විමසා දැන ගන්නට තමන්ට අමතක වූ බව ධම්මංගල හාමුදුරුවන්ට සිහිපත් වූයේ එවිටයි.
හාමුදුරුවෝ පසෙකට හැරී එතැන හිද සිටි උපාසක තැනගෙන් මේ ගැන විමසීය.

“අපේ හාමුදුරුවනේ....... ඔය මිය ගිය කෙනාගෙ නම රත්නවීර. අංශභාගේ හැදිල මලේ. 89 භීෂණය කාලෙ කොල්ලො තුන් දෙනාවම හමුදාවෙන් අල්ලං ගිහින් වද දීලා මරල ගෙනත් දාල තිබුණ. ඒ දුකට උන්නෙ අම්මත් වහ කාල මැරෙන්න ගෙහුං එලොව ගිහින් මෙලොව ආව. ඒ ශෝකෙට මුංදැ ඇඳට වැටුණා”

මෙය සවණ වැකීමත් සමග ධම්මංගල හාමුදුරුවන්ගේ සිතෙහි මහත් වූ විපර්යාසයක් හට ගැනිණ. හාමුදුරුවන්ගේ මුහුණේ වූ ශාන්ත ස්වරූපය අතුරුදන් වූයේ නිමේෂයකිනි. හාමුදුරුවන් මහත් වේදනාවකින් මොහොතක් ගල් ගැසී ගියේ සැදැහැවතුන් විශ්මයට පත් කරමිනි. හාමුදුරුවන්ගේ දෑත් සට සට ගා වෙවුලන්නට වන. උපාසක තැන පූජා කළ ගිලන් පසද උගුරෙන් පහළට යවා ගත්තේ බොහොම අමාරුවෙනි.

සුපතල කථිකයෙකු වූ ද, ධර්මදේශකයෙක් වූ ද ධම්මංගල හාමුදුරුවන්ට ඉන් එහා වචනයක් වත් කතා කර ගන්නට නොහැකි විය.

******

ධම්මංගල හාමුදුරුවෝ නින්දේදී සිහිනයක් දුටහ.

සිවිල් ඇඳුමෙන් සැරසී සිටි කර්නල්වරයා දෙපා මේසය මත තබාගෙන පත්තරයක් කියවමින් උන්නේ කළු සුරුට්ටුවක්ද උරමිනි. වායුසමනය කොට ඇතුළතින් කිසිදු හඬක් පිටතට නොඇසෙන සේ ජනෙල් පවා සීල් තැබූ කාමරයේ වෙන කිසිවෙකුත් සිටියේ නැත.
මද වේලාවකින් දොරට සන් කරන හඬක් ඇසිණ. හමුදා නිල ඇඳුමින් සැරසුණ තරු පටිධාරියෙකු කාමරයට ඇතුළු වී ආචාර කරන තෙක් කර්නල්වරයා පුවත් පතෙන් දෑස් ඉවතට ගත්තේ නැත.

ඔහු කියවමින් සිටියේ කැරැල්ලට සම්බන්ධව සිට අතුරුදහන් වූ තරුණයින් ගැන තොරතුරු හා ඡායාරූප රැගත් ලිපි මාලාවක අලුත්ම ලියවිල්ලකි.

“සර්.......!”

“හ්ම්.....”

“අර ඊයේ රෑ අල්ලන් ආව අයියල මල්ලිල තුන්දෙනා”

“ගේනවා මෙහාට”


අනතුරුව එළැඹි අඩහෝරාවකින් අඩක් පමණ ගත වුණේ කර්නල්වරයාගේ ප්‍රශ්න කිරීම සඳහාය. මේ තරුණයන් තිදෙනා සමඟ ඉතා සුහදව කතා කරන ගමන් කර්නල්වරයා ඔවුන්ගේ ජීවන තොරතුරු එකින් එක විමසන්නට විය.

තරුණයන් තිදෙනා ගිරවුන් මෙන් අහන අහන දේට උත්තර දුන්නද පෝස්ටර් ඇලවීම්, කම්කරු සටන් මධ්‍යස්ථානය, ට්‍රාන්ස්ෆෝමර් ගිනි තැබීම්, ප්‍රාදේශීය නායකයන් , දේශප්‍රේමි ව්‍යාපාරය වැනි මාතෘකා සබයට පැමිණි විට ගොත ගසමින් වැල් වටාරම් දෙඩ වීමට හෝ පිළිතුරු නොදී සිටීමට උත්සාහ ගනු පෙනින.

කර්නල්වරයා යළි පුවත්පත අතට ගත්තේය. එහි වූ තරුණයෙකුගේ සේයාරුවක මුහුණ විනිවිධ යන සේ සුරුට්ටුවෙන් පත්තරය පුළුස්සා සිදුරක් සකසා ගත් හෙතෙම ඒ සිදුර තුළින් තරුණයන්ගේ ඉරියව් දෙස බලා සිටින්නට වන.

නිකම්ම ඉරියව් නොවේ. ඔවුන් නිරුවත් කරන අයුරු, ධර්මචක්‍රයේ ගසන අයුරු, දෙපයින් එල්ලා යටි පතුල් වලට පොලු පහර දෙන අයුරු, නියපොතු ගලවන අයුරු යනාදිය වශයෙනි.

තරුණයන්ගේ මර ලතෝනිය කෙමෙන් වැඩි වෙද්දී පත්තර පිටුව සුරුට්ටුවෙන් පිළිස්සෙන වේගයද වැඩිවෙමින් සිදුරු ගණනාවක් මතු විය. පත්තරය පසෙක ලූ හෙතෙම මේසය මතින් දෙපා ඉවතට ගෙන කකුලක් පිට කකුලක් දමා ගෙන වැඩිමලා ළඟට කැඳවීය. යටි බඩට වැදුණු පා පහරින් ඉවතට විසි වූ තරුණයා නිල ඇඳුම් ලා ගත් සොල්දාදුවෙකුගේ ගතට වාරු වෙද්දී ඒ වේගයෙන්ම නැවත කර්නල්වරයා වෙත තල්ලු කරනු ලැබීය.

හොඳ හැටි සුරුට්ටුවෙන් උගුරු කිහිපයක් උරා බිවු හෙතෙම රක්ත වර්ණ ගිනි පුළිඟුව තරුණයාගේ ලිඟුව වෙත ලංකොට යන්තම් රත් වෙන්න හැරියේය.

“ඌහ්...”

“හ:…. හ:… හා...... එතකොට දේශප්‍රේමී ජනතා ව්‍යාපරය..?”

“දන්නෑ සර්.......”


එවර නම් සුරුට්ටුවේ රත් වූ ගිනි පුළිඟුව තරුණයාගේ යටි බඩේ කළු පැහැ ලපයක් ඉතිරි කළේය. මර ලතෝනි හඬ යන්තමින් පිටතට ඇසුණද කඳුවුරේ අනෙකුන්ට මේ ශබ්ද සාමාන්‍යයෙන් එදි නෙදා නිතොර දෙවෙලේ ඇසෙන තවත් එක් ශබ්දයක් බවට පත් වී තිබිණ.

“ඈ බොල පරයො තෝ හිතන්නෙ මං උක්කුං බබෙක් කියලද? ඇත්ත කියපිය. නැත්නම් අද රෑම මං තෝ ඉවරයක් කරනවා”

“දන්නෙ නෑ සර්.....”

“මේජර් මුං තුන්දෙනා අරං ගිහින් උත්තරේ ගන්නව”

“සර්....... මරන්න එපා..... මං සේරම කියන්නම්.”
ඒ බාළයාය.

සුරුට්ටුවේ ගිනි පුළිඟුවෙන් සත්කාර ලද තරුණයා දත්මිටි සපමින් වෛරයේ ගිනි දළු දෙනෙතින් පිට කරමින් මේජර්වරයාගේ වාරුවෙන් කාමරයේ පිටතට ඇදී ගියේය.

දොර ළඟදී ආපසු හැරී බැලූ තරුණයාගේ සෘජු බැල්මෙන් කර්නල්වරයා මදක් අපහසුතාවට පත් වූයෙන් ඔහු පත්තර පිටුව අතට ගෙන මුහුණ ආවරණය කරමින් එහි වූ සිදුරු තුළින් දෙවෙනියා දෙස බලන්නට වන.

නෙතට නෙත ගැටිණ.
ඒ දෙනෙත දෙස එක එල්ලේ බලා සිටිනු නොහී එකවරම දෑස් බිමට හැර වූ කර්නල්වරයා දුටුවේ තමන් හැද සිටින්නේ සිවුරක් බවය.

********

සිහිනයෙන් අවදි වූ ධම්මංගල හාමුදුරුවෝ මුළු ගතම දහඩියෙන් පෙඟෙද්දී උණ විකාරයෙන් දුටුවේ තමන් හැඳ සිටින්නේ හමුදා නිල ඇඳුමක් බවය. එහි කර්නල්වරයෙකු පළඳින තරු පටිද ජයග්‍රාහී වික්‍රමාන්විතයන් අවසානයේදී පිරි නැමෙන ලාංඡනද එල්ලා තිබිණ.

හෙන්රි වර්ණකුලසූරිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails