Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඉතිහාසය තමන්ට ඇවැසි ලෙස අර්ථ නිරූපණය කරගැනීමට හැකිවන්නේ ඉතිහාස මූලාශ්‍ර වල පවතින දුර්වලකම් හෝ අඩුපාඩු නිසාය. නමුත් හුදෙක් ලිඛිත මූලාශ්‍ර වල පමණක් වහලෙකු නොවී කිසියම් සමාජ විද්‍යාත්මක පර්යේෂණයක නියැලෙන්නෙකුට ඉතිහාස අර්ථ නිරූපණයන් හි සාවද්‍ය බව මනාව අවබෝධ කරගැනීමට හැකිවනවා සේම ඉතිහාසය නව මානයකින් කියවාගැනීමට ද අවස්ථාව උදාවේ. ලිඛිත ඉතිහාස මූලාශ්‍ර සැමවිටම පක්ෂග්‍රාහීය. මූලාශය ලියන්නාගේ සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික පිළිගැනීම් මෙන්ම විශ්වාසයන් එයට මුසුවීම වැළැක්විය නොහැකිය. එවිට එය පක්ෂග්‍රාහී ලියවිල්ලක් බවට පත්වේ.

වර්තමාන ශ්‍රී ලාංකික සමාජ සන්දර්භය ඉතිහාසය තොග ගණනේ යළි අලෙවිකිරීම සඳහා උවමනාවෙන්ම නිර්මිත සමාජ වෙළඳපොලක් වන අතර සිනමාකරුවෝ ද, ටෙලිනාට්‍යකරුවෝ ද, පත්තරකරුවෝ ද, නවකතාකරුවෝ ද මෙහි සේරිවාණිජ ලා බවට පත්ව සිටිති. මේ අතර මොහාන් රාජ් මඩවල නම්වූ දඩබ්බර ලේඛකයා ඉතිහාසය නැවත කියවීමේ ව්‍යාපෘතියක නියැලෙමින් ඔහු කියවාගන්නා ඉතිහාසය ප්‍රබන්ධාත්මක හැඩයකින් අපට ද කියවීමට ඉඩ සලස්වයි. මෑත ඉතිහාසයේ පළකල ඔහුගෙ නවකතා ත්‍රිත්වයම මෙයට ජීවමානීව සාක්ෂි සපයයි. "මාගම් සෝලිය", "ලොවිනා" හා "ආදරණීය වික්ටෝරියා" එම ජීවමාන සාක්ෂිකරුවන් තිදෙනාය.

ආදරණීය වික්ටෝරියා මා අතට ලැබුණු සැනින් මා එය පසෙකින් තැබූයේ විවේකීව එය කියවිය යුතුයැයි සිතූ බැවිනි. නමුත් පොත කියවන්නට මා පටන්ගත් සැණින් මගේ මතකය නැසීගිය තිලක් ජයරත්න නම්වූ අදීන කලාකරුවා හා මා කිසියම් සමාජ පර්යේෂණ කටයුත්තක් සඳහා ජේම්ස් ටේලර් විසින් ලංකාවේ පළමු තේ පැලය රෝපණය කල ලූල්කඳුර වතුයායට ගිය ගමන හා බැඳුණි. තිලක් එහිදී මට අභියෝගයක් එල්ල කරමින් පැවසුවේ ඉංග්‍රීසින් විසින් සිය වතු වැවිලි ආර්ථිකයේ අර්ධ නිමි භාණ්ඩ කොළඹ වරාය දක්වා රැගෙන ඒම සඳහා උඩරට දුම්රිය මාර්ගය ඉදිකොට දුම්රිය ධාවනය ඇරඹූ පසු සමාජ ආර්ථික හා දේශපාලනික වශයෙන් දෙදුරුම් කෑ උඩරට ජනජීවිතය ගැන පර්යේෂණයක් කර නවකතාවක් ලියන ලෙසයි. මේ අභියෝගය සුලුපටු එකක් නොවූවා සේම මම ඒ අභියෝගය භාරගැනීමෙන්ද වැලකීමි.

මොහාන් ගේ "ආදරණීය වික්ටෝරියා" ඇරඹෙන්නේද කන්ද උඩරට දෙයියන්නේවෙල නව දුම්රිය ස්ථානයට පළමු දුම්රිය පැමිණෙන අවස්ථාවෙනි. ඒ 1867 අප්‍රේල් මාසයේ 26 දාය. දුම්රිය පැමිණෙන ආකාරය නැරඹීම සඳහා පැමිණි පිරිස අතර සිටින අන්දිරිස් නම්වූ උඩරට සාම්ප්‍රදායික ගමක අඳ ගොවියෙකුගේ වැඩිමහලු පුතාගේ අතීතාවර්ජනයෙනි. සුද්දන් විසින් හඳුන්වා දුන් අරක්කු ලෝලියෙකු බවට පත්වන දාවිත් අප්පු නම් වූ සිය පියා මවට පහර දෙනු ඉවසා සිටිය නොහැකිව පියාට පහර දීමෙන් පසු මව විසින් අන්දිරිස්ව නිවසින් පිටමන් කරනු ලබයි. දුම්රිය මග ඉදිකිරීමේ සුද්දන්ගේ උප කොන්ත්‍රාත්කරුවෙකු ලඟ කම්කරුවෙකු ලෙස වැඩකිරීම අරඹන අන්දිරිස් ගේ ජීවිත අරමුණ වන්නේ; "මං ආපහු ගෙදර යනවනං යන්නෙ... සිලිං කාසි ගෝණියක් කර පිටින් අරගෙන මයෙ අම්මගෙ පය පාමුල තියන්ඩ පුළුවන් වෙච්චි දවසක." (පිටුව 21) යන්නයි. මේ අරමුණ වෙනුවෙන් කය වෙහෙසා වැඩකරන ඔහු තමන් ලබන වැටුප අරපරිස්සමෙන් ඉතිරිකරගෙන දුම්රියෙන් කොළඹ යන්නට උත්සාහ කරන්නේ සිය ඒකායන සිහිනය මල්ඵල ගැන්වීම සඳහාය. අද ද කොළඹ පිළිබඳව දුර ඈත ගම්වල වෙසෙන්නන්ගේ සිහිනය ද එයයි. වසර 150ක් ගෙවී ගිය ද මේ සිහිනය මේ ආකාරයෙන්ම මිනිසුන්ගේ සිත්තුල සැරිසැරීම සමාජ පර්යේෂණයක් සඳහා අවශ්‍ය මූල බීජය සපයයි.

ඉංග්‍රීසීන් දුම්රිය මාර්ගය ඉදිකරන්නේ තමන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් හා සුඛ විහරණය සඳහා මිස අපේ පරිහරණය සඳහා නොවන බව හඟවන අපූරු සිද්ධියක් මොහාන් කෘතිය තුල ඇතුලත් කරයි. දුම්රියෙන් කොළඹ යාමට සිටින අන්දිරිස්ට එය වැළකී යන්නේ තමන් මහන්සියෙන් එකතුකල මුදල දුම්රිය ටිකට්පත සඳහා සිලිං ප්‍රමාණයකින් මදිවීමය. පසුව ඔහුට සිදුවන්නේ කන්ද උඩරටට අරක්කු අදින සාමෙල් නම් කරත්තකරුවෙකු සමග දින තුනක් තිස්සේ කොළඹ යාමටය. අපට සිදුවූයේ එයය. අපි තවමත් කරත්ත ගමනින් මේ දූපත තුල සැරිසරමින් සිටිමු.

සාමෙල් ගේ නිවස ඔහුගේ නවාතැන්පොල සේම ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට ද පරිවර්තනය වන්නේ ව්‍යාපාරික හා අලෙවි ඥානය සහිත ශූර, කපටි ව්‍යාපාරිකයෙකුගේ භූමිකාවට අන්දිරිස්ගේ චරිතය සීරුමාරු වෙමිනි. ඒ සඳහා ඔහු තුල වූ හැකියාව නිසර්ග සිද්ධි ප්‍රතිභාවකැයි අපට සිතන්නට සිදුවේ. අරක්කු ප්‍රවාහනය කරන කරත්තකරුවෙකුට අමතරව සාමෙල් අරක්කු පීප්ප සාදා විකුණන බාස් කෙනෙකු වන අතර ඔහුගේ සුලු ව්‍යාපාරයට හවුල්වන අන්දිරිස් වර්තමාන අලෙවිකරණය උගත් අලෙවිකරුවෙකු ලෙස විවිධ අලෙවි උපක්‍රම යොදමින් පීප්ප අලෙවිය ඉහළ නංවන්නේ සාමෙල් ද පුදුම කරවමිනි. අරක්කු පීප්ප සැදීම අද අපට ආගන්තුක කර්මාන්තයක් වන නිසාදෝ මොහාන් සමාජ අධ්‍යයන විෂය පාඩමක මෙන් වඩු ආයුද එකින් එක අපට හඳුන්වාදෙන්නට පෙළඹීම කතාවේ අඛණ්ඩ ගොඩනැගීමට බාධා පමුණුවයි.

"කෙසේ හෝ දෙසතිය ඉක්ම යනවිට අත් කියත පමණක් නොව හරස් කියත, දුනු කියත හෝ උල් කියත........ එසේම බුරුම කටුවෙන් පමණක් නොව තොරපනයෙන්, අවකාරයෙන්, ඉස්කුරුප්පුවෙන් හෝ අල්ලිස් කටුවෙන්...." (පිටුව 54) මෙවැනි අවස්ථා කිහිපයක් නවකතාවේ තැන් කිහිපයක මුණගැසේ. කාලය ඉක්මයත්ම සාමෙල්ගේ වඩුමඩුව පානදුර අවට සියලු වඩුමඩු වසා දමමින් ප්‍රධාන වඩුමඩුව බවට පත්වේ. මිල මුදල් යහමින් අත ගැවසීම නිසා සාමෙල් තම සතුට උතුරා යාමට සලස්වන්නේ අරක්කු බෝතල් අතරය. අනතුරුව අවට පොල් ඉඩම් මිලදී ගැනීමට අන්දිරිස් සාමෙල් පොළඹවන්නේ අලෙවි උපදේශකයෙකු පරිද්දෙනි. අනතුරුව ඒවා භාවිතා කරමින් අරක්කු පෙරීමේ කාර්යය සඳහා සාමෙල් මෙහෙයවන්නේද අන්දිරිස් විසිනි. රේන්ද ලයිසමක් සහිත අබරංචි රේන්දරාලගේ ලයිසම යටතේ කන්ද උඩරටට අරක්කු යැවීමෙන් සාමෙල් තම ව්‍යාපාර දියුණු කරගන්නේ අන්දිරිස්ගේ උපන්ගෙයි ඥානය භාවිතා කරමිනි.

සාමෙල් ගේ බිරිඳ එංගල්තිනා අන්දිරිස්ව මායිම් නොකරයි. ඇයට ඔහු ආතක් පාතක් නැති, අම්මෙක් අප්පෙක් නැති පිටගංකාරයෙකි. නමුත් සාමෙල් කන්ද උඩරට ගිය දිනෙක ඔවුන්ගේ දියණිය ලීනා, කළු කුරුමිණියෝ වටකරගත් යක්ෂණියක දැකීමෙන් බියපත් වූ විට එයට උදව් කිරීමට කෙරෙන අන්දිරිස් ගේ මැදිහත් වීම කෙලවර වන්නේ මෙතෙක් තමන්ව ප්‍රතික්ෂේප කරමින් සිටි එංගල්තිනා සමග ලිංගික සබඳතාවක් ගොඩනගා ගැනීමෙනි. ක්‍රම ක්‍රමයෙන් අන්දිරිස්, සාමෙල් සතු උපභෝග, පරිභෝග වස්තූන් ආක්‍රමණය කරන ආකාරය අනතුරුව දැකිය හැකිවේ. මේ සියලු සිදුවීම් අතර අඳ ගොලු මැහැල්ලක් සැරිසැරීම හා මඩ පුවක් මොහාන් භාවිතා කරනු ලබන්නේ වැඩවසම් යැපුම් ආර්ථිකය බලරහිත බවත්, එය ගොඩනැගෙන නව ධනේෂ්වර සමාජය තුල සම්පූර්ණයෙන් වියැකී යන්නට තවත් කලක් ගතවන බවත්, වරින් වර මතුවීම නොවැළැක්විය හැකි බවත් ඉඟි කිරීම සඳහාය. තමන් විසින්ම පෙරණු ලබන අරක්කුවලම ගොදුරක් බවට පත්වී සාමෙල් මිය යන්නේ තමා වැන්නවුන්ගේ පැවැත්ම ගොඩ නැගෙන නව සමාජ ක්‍රමය තුල තවදුරටත් වලංගු නොවන බව කියාපාමිනි.

"මුනින්තලා වී වැතිරුණු සාමෙල් ගේ සිරුර උඩුබැලි අතට හරවා, අන්දිරිස් වහා බිමට නැමී තවමත් අරක්කු ගඳ දැනුණේ මී කුණු ගඳක් පරිදිය. ඒ කුයිලය හැකි තරම් නාසයට ඇතුළු වන්නට නොදී ඇඟිලි තුඩුවලින් නාස්පුඩු තද කරගෙන ඔහු අරනෝලිස්ට වහා වෙදරාළ කැඳවාගෙන එන ලෙස නියම කළේය." (පිටුව 94)

සාමෙල් ගේ මියයාම නිසා තමන්ට රිසි පරිදි ඉහළට නැගීමට ඇති මාවත ගොඩනගා ගැනීමට අවස්ථාව අන්දිරිස්ට උදාවේ. අරක්කු රේන්දයක් තමන්ට හිමිකරගැනීම, රේන්දරාළ කෙනෙකුට ගැලපෙන ලෙස නිවසක් ඉදිකර ගැනීම ආදී කාරණා සාමෙල් ගේ ධනය භාවිතා කරමින් ඔහු සිදුකරගන්නේ නව තත්ත්වයන්ට ගැලපීම සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරන්නෙකු ලෙසිනි. එංගල්තිනා හා නව ධනපති සමාජයට ගොඩවීම අපහසු බව දන්නා අන්දිරිස් ඒ සඳහා ඇගේ දියණිය වන ලීනා භාවිතා කරණු ලබයි. අහඹුවක් ලෙසින් ලීනා වෙත ලංවී ලිංගික සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමත්, සිය ලිංගික ෆැන්ටසිය බිඳ වැටීමේ පශ්චත්තාපය හරහා එංගල්තිනා සියදිවිනසා ගැනීමත් අන්දිරිස්ට සිය ඉලක්කය වෙත යාම සඳහා අවශ්‍ය මාවත ගොඩ නගා දෙයි. එංගල්තිනාගේ වියෝව අන්දිරිස්ට කිසිදු කම්පාවක් ඇති නොකරන්නේ එබැවිනි.

"මේක කැළෑ උණ හැදිලා හරි දෙයියන්ගෙ ලෙඩ හැදිල හරි සිද්ධ වෙච්ච මරණයක් මිසක් දිවි නසා ගන්ඩ එල්ලිලා මැරිච්ච මරණයක් නෙමෙයි... ඒ විදියට තමයි මේ මුළු ගමම මේ මරණය ගැන දැනගන්ඩ ඕනේ..." (පිටුව 161)

අන්දිරිස්ට දාව ලීනා පළමුව පිරිමි දරුවෙකුද, දෙවනුව ගැහැණු දරුවෙකුද බිහිකරන්නීය. දරුවන් දෙදෙනාට නම් තැබීමේදී එංගලන්තයේ වික්ටෝරියා මහ රැජිනගේ දෙටුපුත් ඇල්ප්‍රඩ් කුමරුගේ නම භාවිතා කරන අතර දියණියට වික්ටෝරියා මහ රැජිනගේ නම තබයි. අන්දිරිස්ට ඇල්ප්‍රඩ්, රාජකුමාරයෙකු සේ ද, වික්ටෝරියා කුමරියක සේ ද ගොඩනැගීමට අවශ්‍ය වේ. ඉහළ කුළයට අයත් අශ්වයින්, බල්ලන් දරුවන්ගේ සුරතලුන් බවට පත්කරයි. ඇඳුම් පැළඳුම් විදේශයන්ගෙන් ආනයනය කරයි. අශ්වකරත්ත සෙල්ලම් බඩු බවට පත්කරයි. නමුත් මේ දරුවන් දෙදෙනා වැඩෙන්නේ දෙයාකාරයකටය. ඇල්ප්‍රඩ් සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි සංස්කෘතිය අනුයන්නෙකු ලෙස එළියට විවෘත වූ මනසක් සහිත වන අතර වික්ටෝරියා ආවෘත, ඇතුලට හැරුණු මනසක් සහිතව වැඩෙයි. ඇල්ප්‍රඩ් විදෙස් විලවුන් සුවඳ ප්‍රිය කරන අතර වික්ටෝරියා මඩ පුවක් සුවඳ ප්‍රිය කරයි. ඇල්ප්‍රඩ් ගේ සිරුරින් හමන සුවඳ වික්ටෝරියාට මී කුණු ගඳකි. ඉංග්‍රීසිය හෝ වෙනත් විදෙස් භාෂාවක් ඉගෙනීම ඇයට අපුල දෙයකි. විදෙස් ඇඳුම් වලින් සැරසුණු විට ඇයට තමාගේ ප්‍රතිබිම්බය අවලස්සන ප්‍රේතියකගේ රුව ගනී. ලීනා ඉංග්‍රීසි හා වෙනත් භාෂාවන් ඉගෙන ගැනීමටත්, ඉංග්‍රීසි පන්නයට ඇඳ පැළඳ ගැනීමටත් දැඩි සේ ආසක්ත වන අතර වරින් වර ඈ තුල වෙසෙන සාම්ප්‍රදායික ගැහැනිය එළියට පනී. ගෙදර මෙහෙකරුවන්ට පවා ඉංග්‍රීසියෙන් බැන වදින ඇය වික්ටෝරියාට ඉහළට ඉගැන්වීමට එරෙහිවන්නේ සුපුරුදු ගැමි ගැහැනියකගේ විලාසයෙනි.

"ඔය මළ ඉලව් උගන්නල කෙල්ල ඒරොප්පෙ යවන්ඩද කල්පනාව." (පිටුව 197)

අරක්කු රේන්දරාළ කෙනෙකු වුවද කිසිදිනක මත්පැන් පානය නොකල අන්දිරිස් රේන්දරාළ මත්පැන්ට ලොල් වන්නේ වික්ටෝරියාගේ කොටහළු මඟුල උත්සවශ්‍රීයෙන් සැමරීම මගහැරුණු දා සිටය. නීති අධ්‍යාපනය සඳහා ඇල්ප්‍රඩ් විදෙස් ගතවන්නේ ස්ව කැමැත්තෙනි. එහෙත් ඔහුට ඉංග්‍රීසි ඈ භාෂාවන් ඉගැන්වූ මැදිවියේ එමලියා සමග ඇතිවූ සම්බන්ධතාව අමතක නොකරයි. ඇයට තෑගි ලෙස සපත්තු යවන්නේ විවිධ භාෂාවන් සම්මිශ්‍රණය වූ සටහනක් සමගිනි.

" තහනම් ගහේ ගෙඩි කෑ නාඳුනන කුරුල්ලාගෙන් නාඳුනන කිරිල්ලියට." (පිටුව 246)

අවසානයේ වික්ටෝරියා වැඩිමහළු වෛද්‍යවරයෙකුට විවාහ කරදෙන අතර එයින් තමාට නොමැති සමාජ පදනමක් හා ගර්වයක් ලබා ගැනීමට අන්දිරිස් උත්සාහ කරන අතර තමන්ට නොගැලපෙන නව සමාජ වටිනාකම් හා බද්ධ නොවන වික්ටෝරියා සියල්ල හැරදා ආපසු පැමිණේ. ඇයගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්ණ කරන හැම මොහොතකම ඇය පවසන්නේ "මට මහන්සියි." කියාය. මෙය ඇයගේ ආවෘත චෛතසිකය පිළිබඳ හා ගොඩ නැගෙන සමාජ තත්ත්වයන්ට ඈ තුල ඇති ප්‍රතිරෝධය ප්‍රකාශ කරන්නකි. අවසානයේ දැඩිව මත්පැනට වහල් වන අන්දිරිස් බිම ඇද වැටී සිහිසුන් තත්වයකට පත්වේ. ධනයෙන් ඔදවැඩී තමන්ගේ මුදුන් මුල් සිඳගෙන ඉහළට යාමට තැත්කරන අන්දිරිස් යළි ආපසු ඇද වැටෙන්නේ ද මහ පොළොව මතටමය. ඒ නිවසේ එල්ලා තිබූ වික්ටෝරියා මහ රැජිනගේ පින්තූරය යටය. ආපසු සිහිය ලද වුවද ඔහුට සියල්ල අමතකවේ.

එදිනම නිවසේ වෙසෙන සෙලීනා නම් බැල්ල ලුවී නම් අශ්වයාට දාව පැටවෙකු බිහිකරයි. සෙලීනා මියයන අතර උපදින බලු පැටවා බල්ලෙකුද නොවන, අශ්වයෙකුද නොවන අමුතු සත්වයකි. නමුත් මේ සතා රැකබලා ගැනීම ලීනා මෙහෙකරුවන්ට බාර කරයි. ඒ මොහොතේ තවත් තැනක අහඹු සිදුවීමක් සිදුවේ. ඒ කොළඹ මහමුදලි වලව්වේ දී මහමුදලි සොලමන් ඩයස් බණ්ඩාරනායකට දාව බිරිඳ ඩේසි ඔබේසේකර පිරිමි දරුවෙකු ප්‍රසූත කිරීමයි. සර් ජෝශප් වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාරවරයා ඇති දැඩි හිතෛෂී කම නිසාම මහ මුදලි මෙම දරුවාට සොලමන් වෙස්ට් රිජ්වේ බණ්ඩාරනායක ලෙස නම් තබයි. මේ සංකේතවත් වන්නේ අපේ ඉතිහාසයේ විකෘතියයි. සෙමෙන් ගලාගිය ශ්‍රී ලාංකික ජනසමාජයට පළමු පොරෝ පහර එල්ල වන්නේ යටත් විජිතයක් බවට පත්වූවාට පසුවය. සමාජ, දේශපාලන හා ආර්ථික වශයෙන් අප විකෘතියක් බවට කෙමෙන් පත්වේ. අන්දිරිස් නියෝජනය කරන්නේ මේ විකෘතියයි. අනතුරුව සුද්දන් විසින් ගොඩ නැගූ නොගැලපෙන දේශපාලනය තුල බිහිවන්නේ නොගැලපෙන සතුන් අතර සංසර්ගයෙන් බිහිවන විකෘති පන්නයේ දේශපාලන සතුන්ය. ආදරණීය වික්ටෝරියා නොකියා කියන්නේ ඒ අමිහිරි සත්‍යයයි.

කපිල එම්. ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails