Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රුවන්ති ඩි චිකේරා විසින් රචිත, ජයම්පති ගුරුගේ විසින් නිෂ්පාදනය කරන ලද නිවදන් රංගයක් වූ "වෝකින් පාත්" (Walking Path), පශ්චාත් යුද සමය තුළ රාඡ්‍ය තන්ත්‍රයේ මූලිකත්වයෙන් බිහි කිරීමට දායක වූ සක්මන් මං තීරු පසුබිම් කරගත් අපූර්වතම නාට්‍ය නිර්මාණයකි. මෙම මං තීරු වල දිවීමේ සහ ඇවිදීමේ නිරත ගැහැණුන් ගේ සහ මිනිසුන් ගේ චර්යාවන් ඉතා තීක්ෂණ ආකාරයෙන් ප්‍රත්‍යවේක්ෂණයට ලක්කරමින් එම මිනිසුන් සහ ගැහැණුන් තම තමන් සමගත් එමෙන් ම සමාජ දේශපාලන අධිකාරිත්වයත් සමගත් ගනුදෙනු කරන කරන ආකාරය නාට්‍යයේ අන්තර්ගතයට ඇතුලත් වේ.

නාගරික අලංකරණයේ අංගයක් ලෙස නිර්මාණය වූ ව්‍යායාම මං තීරු, එහි අත්‍යයන්ත අංගෝපංග, ඒවා හි පාලන අධිකාරිත්වය සහ එහි සැරිසරන ගැහැණුන් සහ මිනිසුන් ගෙන් නාට්‍ය නිර්මාණකරුවෝ (මෙතැන් පටන් නිර්මාණකරුවන් යන යෙදුම නාට්‍ය රචිකාව සහ නාට්‍ය නිෂ්පාදකයා හැඟවීමට පාවිච්චි වේ) සිය රංග පරිසරය සකසා ගනිති.

ප්‍රථම ජවනිකාවේ දී වේදිකාවට එළබෙන නඑ නිළියෝ පළමු ව වෙඩි හඬින් බියපත් ව දෙවනු ව යුද සමයක අවසානය සනිටුවහන් කෙරෙන මල් වෙඩි හඬින් ප්‍රමුදිත වෙති. වේදිකාව මත සිටින මෙම මිනිස්සු සහ ගැහැණු පාවෙන බැලූනයන් සමග පැමිණෙන සෝල්දාදුවන් සමග විවිධ අභිනයන්ගෙන් සුසැදුනු සමූහ ඡායාරූපයකට පෙනී සිටිති. කෙමෙන් ව්‍යායාම මං තීරු සහ විවේක සුවයෙන් ගත කිරීමට සාදන ලද බංකු වේදිකාව මත ප්‍රාදුර්භූත වේ. මෙතැන් පටන් වදන් වලින් තොරව සාම්ප්‍රදායික නාට්‍යයක සමන්විත අඛණ්ඩ කතා වස්තුවක පදනම් නොවී කෙටි අනුක්‍රමික ජවනිකා දාහතකින් නාට්‍යකරුවා ඇවිදින මං තීරු වල දුවන ගැහැණුන් ගේ සහ මිනිසුන් ගේ ජීවිත ප්‍රේක්ෂකයා ඉදිරියේ විදාරණයට ලක් කරයි.

ඇත්ත වශයෙන් ම මෙම මං තීරු වල දුවන්නෝ කවරහු ද? බහුතරය මධ්‍යම පන්තිය සහ ඉහළ මධ්‍යම පන්තිය නියෝජය කරයි. සුඑතරයක් මං තීරු සකසන්නට පෙර සිට ම සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමේ අභිලාෂයෙන් හෝ ශාරීරික ශක්තිය වැඩි කරගන්නට දිවූ අය යි. සමහරෙක් ශරීරය ස්ථූල වීම කරණ කොට ගෙන නොයෙකුත් ව්‍යාධින් වලට භාජනය වේ යැයි සිතා මරණිය භයින් දුවති. සමහරුන් ඉතා මිල අධික ලෝ සුපතල සන්නම් සහිත ක්‍රීඩා ඇඳුම් ආයිත්තම් ඇඳ පැළැඳ හාත්පස සිසාරා හමන සුවඳ විළවුන් ගල්වා, අනේකවිධ රන් අභරණ පළදා ඇවිදීමට සහ දුවන්නට පැමිණෙති. සමහරෙක් දුරකථන ඇමැතුම් ගනිමින්, කන්යොමුවන් පළදා ගීතයන් ට සංගීතයන් ට සවන් දෙමින් දුවමින් සහ ඇවිදිමින් සිටිති. මෙම සක්මන් මං තීරු පාවිච්චි කරන්නන් ගේ සමාජ තත්වයන් පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් ඔවුන් ගේ වාහන නවතා ඇති රථ ගාල් දෙස බලා ලබාගත හැකිය. අධි සුඛෝපබෝගී වාහන කීපයක් ඇති, සාමාන්‍ය මට්ටමේ වාහන වැඩි සංඛ්‍යාවක් දැකිය හැකි මෙම රථ ගාල් වල ත්‍රීවීලර් සහ මෝටර් සයිකල් ද අඩු සංඛ්‍යාවකින් දැකිය හැකි වේ. විශේෂයෙන් සති අන්තයන් හි මෙම මං තීරු වල සිය පවුලේ ළමා ලපටීන් කැටුව විවේක සුවයෙන් ඇවිදින්නන්ගෙන් පිරී යයි.

වෝකින් පාත් නාට්‍යය වේදිකාව මතට ගෙන එන්නේ මෙම ජන කණ්ඩායමේ වල හරස්කඩයකි, නාටකීය නියෝජනයකි.

මිනිස්සු සහ ගැහැණු තමන් ලද නිදහස භුක්ති විදිනු වස් මෙම මං තීරු මතට වී ව්‍යායාම කරති. එකිනෙකා දෙස කුතුහලයෙන් බලති. මානව සබඳතා ඇති කරගැනීමට වෙර දරති. පෙම්වත්තු මං තීරු වල සැහැල්ලුවෙන් ඇවිද යති. එහෙත් ඔවුන් තමන් කැමැති පරිදි ආලයෙන් වෙළී එකිනෙකාට සමීපව ගත කිරීමට උත්සාහ කරන ක්ෂණයෙන් විසිල් හඬක් ඇසේ. විමතියට පත්වන ඔවුහූ නැවතත් තම රුචිකර වූත් සහ හික්මුණු බවින් යුතු වූත් ආලිංගන ඉරියව්වට පැමිණීමට තැත් කරති. නැවතත් කන් බිහිරි කරන විසිල් හඬ ඇසේ. ගැහැණුන් සහ මිනිසුන්ට මං තීරු පාවිච්චි කළ හැකි ය. එහෙත් ඒවා පාවිච්චි කරන ආකාරය තීරණය කරන්නේ ඔවුන් නොවේ. ඔවුන් ගේ චර්යාව අතිවිනයනයකට රෙජිමේන්තුකරණයකට භාජනය වන බව පෙනේ. සම්මුති සහ සම්මුති විරෝධී චර්යාව තීරණය කරන්නෝ එම ගැහැණු සහ මිනිස්සු නොවෙති. එය තීරණය කරන්නේ නිලබල සහිත මං තීරු පාලන අධිකාරිය යි.

තවත් ජවනිකාවක බංකුවක් මතට එන නඑවෙක් නිසොල්මන් සිංහ පිළිරුවක වෙස් ගනී. එහි පැමිණෙන සක්මනෙහි යෙදී සිටින්නෝ ඔවුන් ගේ විඩාව නිවා ගැනීමට හෝ වෙනත් වැඩක යෙදී සිටීමට එය මත අසුන් ගනිති. එයින් කෙනෙකු සිංහ පිළිරුවට හේත්තු වීම ට උත්සාහ ගතහොත් හෝ පරිගණකයක් සමග වැඩ කිරීමට පටන් ගතහොත් හෝ දුම්වැටියක් දැල්වීමට තැත්කළහොත් සිංහ පිළිරුව ගෙරවීමට පටන් ගනී. විමතියට පත්වන ගැහැණු සහ මිනිස්සු තම හැසිරීම් සිංහ පිළිරුව විසින් අනුමත නොකරන බව වටහා ගනිති. මං තීරු වල අලුතින් පිහිටුවන ලද නිර්ජීව එහෙත් සංකේතාත්මකව බලය පතුරුවන පිළිරූ පවා ස්වාධීන තීරණ ගැනීමට හැකි මිනිසුන් සහ ගැහැණුන් නිර්වින්දනයට ලක් කර ඇති සේ ය.

අද්‍යතන සමාජය තුල මානව සබඳතා කෙතරම් ව්‍යාජත්වයට පත්ව ඇත්දැයි පිළිබිඹු කෙරෙන තවත් ජවනිකාවක් මගින් මං තීරු වල ඇවිදින ගැහැණුන් සහ මිනිසුන් තම ජංගම දුරකථන සමග ගත කරන ජීවිතය නිරූපනය කරයි. මෙම මිනිස්සු සහ ගැහැණු එකිනෙක සමීපයෙහි ම වෙසමින් ඔවුනොවුන් සමග ම කෙටි පණිවුඩ හුවමාරු කරගනිති. ජංගම දුරකථන සමග සිනාසෙති. ජංගම දුරකථනයෙන් තමන්ගේ ම ඡායාරූප ගෙන තම අසල ම සිටින්නන් සමග ම හුවමාරු කර ගනිති. එක් අයෙක් තම හුදෙකලාව දරා ගත නොහැකි ව විලාප දෙමින් හඬයි. ඊළඟ මොහොතේ ඔහු තම ඇඬිමේ ඉරියව්ව ඡායාරූප ගත කොට අනෙත් අයට යවයි. ඔවුහූ එයින් මහත් සන්තුෂ්ටියට පත්ව කෙටි පණිවුඩ වලින් ඔහුට ප්‍රශංසා කරති. මෙම සියලු මිනිස්සු සහ ගැහැණු ඔවුනොවුන්ගෙන් පමණක් නොව තම තමත්ගෙනුත් පරාරෝපිත වී සිටිති. කරුණාබරිත හදවත් වලින් විනිර්මුක්ත වී සිටිති. අධ්‍යාත්මික සබඳතාවන් ක්ෂය වී ගොස් ය.

වදන් වලින් තොර අන්තර්ගතයෙන් එකිනෙකට වෙනස් ජවනිකා වලින් සමන්විත මෙවන් නාට්‍ය නිර්මාණයක් මගින් ප්‍රේක්ෂකයා අනුක්‍රමිකව උච්චස්ථානයක් කරා ගෙන ගොස් ඔහු හෝ ඇය භාවමය සහ බුද්ධිමය වශයෙන් කම්පනයකට පත් කිරීම බෙහෙවින් අසීරු කටයුත්තකි. මෙම නාට්‍යයේ අවසන් ජවනිකාව ඉන් පෙර ජවනිකා සියල්ල අතික්‍රමණය කරමින් ප්‍රේක්ෂකයා කූටප්‍රාප්තියක් කරා ගෙන යෑමට උත්සාහ දරයි.

එම ජවනිකාවෙන් නිරූපණය වන්නේ නාට්‍ය විකාසනය ඇතුළත පරිපූර්ණව සංවාදයට බඳුන් වන අධිකාරිත්වය, රෙජිමේන්තුකරණය ප්‍රශ්න කිරීමට ලක්කරන්නන් ගේ ඉරණම යි.



මං තීරු වල ඇවිදින්නන්ගෙන් එක් අයෙක් රොබෝවරුන් මෙන් යාන්ත්‍රිකව ඇවිදින දුවන අය නවතන්නට තැත් කරයි. ඔහුට දුවන්නන් වාලේ දුවන සමස්ත ජන කණ්ඩායම ම සමාජ දේශපාලන යථාර්ථයන්ගෙන් විකේන්ද්‍රනය වී ඇති බව වැටහී ඇති සේ ය. ඔහු ඔවුන් ව විරුද්ධ දිශාවට තල්ලු කරයි. දුවන්නෝ ඔහුට අනුගත වී එක තැන දුවමින් කෙමෙන් පසු පසට තල්ලු වෙති. එහෙත් එසැණෙනින් වේදිකාවට පැමිණෙන මං තීරු ආරක්ෂකයෝ ඔහු පසෙකට ඇද දමා ඔහුට දරුණු ලෙස පහර දීමට පටන් ගනිති. අනෙක් සියල්ලෝ අකර්මන්‍යව දෑස් අයා බලා සිටිති. පහර කෑමට ලක් වූ පුද්ගලයා හුස්ම ගැනීමට අපහසුවෙන් වේදිකාව මත දඟලයි. අවසානයේ ඔහු ගේ සහායට බලා සිටින්නන් ගෙන් දෙදෙනක් පැමිණෙති. වෙඩි හඬවල් දෙකක් ඇසේ. ඔවුන් දෙදෙනා බිම ඇද වැටෙති.

තනි ආරක්ෂකයෙක් බැලූන පොකුරක් සමග වේදිකාවට පැමිණේ.

තුෂ්ණීම්භුතව සිටි දුවන්නෝ කැළඹීමට පත්ව ඔවුහූ දුවමින් සිටි දිසාවට ම දුවන්නට පටන් ගනිති. අවසානයේ පහර කෑමට ලක් වූ තැනත්තා මහත් වෙහෙසක් ගෙන වේදිකාව මත සිට ගනියි. ඉන්පසු ඔහු වේදිකාව මතින් 'නිවැරැදි' දිශාවට දුවන දුවන්නන්ට එකතු වේ.

මේ සියල්ලන් මැද තම බැලුන් පොකුර ද අතැතිව ආරක්ෂකයා වේදිකාව මත අරක් ගෙන සිටී. වේදිකා තිරය සෙමෙන් වැසී යයි.

මෙම නාට්‍ය නිර්මාණකරුවන්ට අලුතින් ඉදිකරන ලද මං තිරු සහ එහි සැරිසරන ගැහැණුන්, මිනිසුන් සහ ඔවුන් ගේ චර්යාව යාන්ත්‍රිකව හසුරුවන අධිකාරවාදී ආරක්ෂක කණ්ඩායම අද්‍යතන සමාජ දේශපාලන යථාර්ථයේ සංකේතාත්මක සංරචකයන් පමණි. ඔවුන්ගේ විශ්ලේෂණයට ලක්වන්නේ පශ්චාත් යුද සමය තුල බිහි වූ සක්මන් මං තීරු නොවේ. ඔවුන් තම ප්‍රතිභා චක්ෂුසෙහි ආලෝකය විහිදුවන්නේ මෙම මං තීරු වල ඇවිදින දුවන මිනිසුන් පිළිබඳවයි. ඔවුන් ගේ මානව සබඳතාවන් වල අතෘප්තිමත්භාවය සහ අරාජිකත්වයයි. සුපසන් මානව සබඳතා ඇතිකරගැනීමට පිළිමල් වන සමාජ ව්‍යුහයන් පිළිබඳව යි.

මෙම නිර්මාණය හරහා විවිධ දිශාවන් ට එල්ල වූ ප්‍රශ්න මතුවේ. මෙම මං තීරූ වල සැරිසරන ජනයාට පමණක් නොව එම මං තීරූ වල නොසැරිසරන ජනයාට වී ඇත්තේ කුමක් ද? ඔවුන් වර්තමානයේ සමාජ සංචලනයන් පිළිබඳ දැනුවත් ව ඒවා පිළිබඳ ජන කණ්ඩායමක් ලෙස සංවේදී සම්පර්කයන්ට එළඹ සිටී ද? එසේ නැතහොත් තනි තනි පුද්ගලයන් සහ කණ්ඩායම් වශයෙන් සමාජයෙන් පරාරෝපිත වී බල අධිකාරිත්වය මගින් මෙහෙයවන රූකඩ සමූහයක් බවට පත්ව ඇත් ද? සමාජ අසාධාරණයන්ට එදිරිව තමන් නිවැරැදි යැයි සිතන මං තීරූවක යෑමට ඔවුනට ඇති ජවය ඔවුන්ගෙන් උදුරාගෙන ඇත් ද? දිනෙන් දින රෙජිමේන්තු ගතවන මිලිටරිකරණය වන සමාජය ජීවත්වීමට සිදුවීමේ අභාග්‍යයෙන් මිදීමට කළහැකි යමක් ඇති ද? නාට්‍ය වේදිකා තිරය වැසී යන්නේ මෙවන් ප්‍රශ්ණ ප්‍රේක්ෂකයාගේ මනසෙහි ඉතිරි කරමිනි.

මෙම නාට්‍යයේ සමස්ත නළු නිළියන්ගේ ඇඳුම් පැළදුම් සහ සියලු වේදිකා භාණ්ඩ සුපිරිසුදු ශේවේත වර්ණ ගන්වා ඇත. මෙම ඒකරූපතාව මගින් නාට්‍ය නිර්මාණකරුවන් අපේක්ෂා කරන්නට ඇත්තේ දෙබස් වලින් තොරවීමේ අභියෝගය තවත් තලයකට ගෙන ගොස් ප්‍රේක්ෂක අවධානය සාකල්‍යයෙන් ම අභිනයෙන් කෙරෙන අර්ථ ගැන්වීම් වලට පමණක් ප්‍රේක්ෂක අවධානය යොමු කිරීම විය හැකි ය. එහෙත් එයින් වෙහෙසට පත්වන ප්‍රේක්ෂකයා නාට්‍යයේ එකාකාරීත්වයේ ග්‍රහණයට හසු වේ. එමෙන් ම සමහර ජවනිකා වල අර්ථය මැනවින් වටහා ගැනීමට සමත් සූක්ෂම අභිනයන් ඉදිරිපත් කිරීමට නිරූපිත නාට්‍ය ජවනිකා අසමත් වීම නිසා රස භංග වේ. සමහර ජවනිකා ඉතා සරල අර්ථ ජනනය කරන බැවින් ප්‍රේක්ෂක අවධානය හීන වේ.

අත්හදාබැලීමක් ලෙස හෝ කලා වාරණයෙන් අත්මිදීමට හෝ මෙම නිර්මාණකරුවන් විසින් භාවිත කරන ලද නවමු නාට්‍ය තාක්ෂණය පිළිබඳ සහවේදනාත්මකව අදහසක් මතු කිරීම වැදගත් යැයි සිතේ. සංකීර්ණ සමාජ ව්‍යුහයන් සහ එම සමාජ ව්‍යුහයන් සමග ගැටෙන මානව සබඳතාවන් පිළිබඳ කලා නිර්මාණයන් හි නිරත වන නාට්‍යකරුවන්ට, නිවදන් නාට්‍ය තාක්ෂණය ප්‍රමාණවත් ද? වදන් වලින් තොර වීම සංකීර්ණ මානව හැඟීම් ප්‍රකාශනයට බාධාවක් ද? මෙවන් නාට්‍ය තාක්ෂණයක් මගින් ප්‍රේක්ෂකයා සහ වේදිකාව අතර අනුවේදනීය සහසම්බන්ධයක් ගොඩනැඟිය හැකි ද? සමාජ යථාර්ථය ග්‍රහණය කිරීමේ කලාත්මක විධික්‍රමයක් ලෙස මෙවන් ආකෘතියකට ඇති ශක්‍යතාවන්ගේ සීමාවන් කවරේ ද?

මෙම ප්‍රශ්න මතු කිරීමට මූලික වශයෙන් හේතුකාරකවන්නේ නාට්‍යයේ තේමාව පිළිබඳව මෙන් ම එහි සිද්ධිදාමයන් සහ තමන් අතර ඇති අවියෝජනීය සම්බන්ධය පිළිබඳ ප්‍රේක්ෂකයා භාවමය සහ බුද්ධිමය වශයෙන් කම්පනයට පත් වී ඇති දැයි විමසා බැලිම සඳහා ය. මෙම විමංසාවේ රචකයා ගේ අදහස නම් මෙම නාට්‍යයේ අත්හදාබැලූ තාක්ෂණයේ සීමාවන් නිසා එවන් ගැඹුරු කම්පනයක් ප්‍රේක්ෂකයා තුල සිදු නොවූ බවයි.

මෙම නාට්‍යය නරඹන විට රචකයාගේ මතකයට පැමිණියේ ධනංජය කරුණාරත්න විසින් මෑතක දී නිෂ්පාදනය කරන ලද "දුවන උන් දෙන්නෙක්" නම් කෙටි නාට්‍ය නිර්මාණයයි. ධනංජය සිය දෙබස් සහිත නාට්‍යයේ නොමැරී සිටීමට දුවන ඉහල පැලන්තියේ පොහොසතකු පිළිබඳ සහ ඔහු පසුපසින් ඔහු ගේ සහයට වතුර බෝතල් සහ අනෙකුත් ආම්පන්න රැගෙන දුවන අසරණ මිනිසෙකු ගේ කථා පුවතක් ගෙන හැර දක්වයි. ඔහු නඑවන් දෙදෙනකු පමණක් භාවිත කරමින් අද්‍යතන සමාජ අසාධාරණයන් පිළිබඳ ප්‍රේක්ෂකයා තුල ප්‍රබළ කම්පනයක් දනවයි. මෙම නිදසුන ගෙන හැර දැක්වූයේ වෝකින් පාත් නාට්‍යයේ සාධනීය සහ සාධනීය නොවන අංශ පිළිබඳ සංසන්දනාත්මක විනිශ්චයක් දීමට නොව නාට්‍යයක් නරඹා ප්‍රේක්ෂකයා තුල ඇතිවිය යුතු ප්‍රබල භාවමය සහ බුද්ධිමය කම්පනයක අවශ්‍යතාව පිළිබඳ අවධාරණය කිරීම සඳහා පමණි.

නාට්‍ය රසය හීන වීමට බලපාන එවන් වැදගත් ව්‍යුහමය ප්‍රශ්න තිබුණ ද සමස්තයක් වශයෙන් ගත් කල මෙම නාට්‍යයේ නිර්මාණකරුවන් වන ජයම්පති සහ රුවන්ති නව සම්පරීක්ෂණාත්මක විධි ක්‍රමයක් ලෙස වදන් වලින් තොර සත් කලා කෘතියක් නිර්මාණ කිරීමට දැරූ තැත නොමද ප්‍රශංසාවට ලක් කළ යුතු ය.

උපාලි අමරසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails