Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



විසිඑක්වන සියවසේ ජීවත්වෙන අපි මේ පසුකරමින් සිටින්නේ පාරිභෝගික භාණ්ඩ විසින් මිනිස් සබඳතා විස්ථාපනය කරමින් සිටින පරිවර්තන යුගයකි. අපි දැන් ආස කරන්නේ අළු දූලි ගසාගෙන යන ලිබරල් මඳ පවනක් අපේ ජිවිත හරහා හමාගෙන යනවා දකින්නටය. මිනිසුන් එක් පසෙකින් පාරිභෝගිකවාදී නවීන සතුන් බවට පත්වෙද්දී අනෙක් පසින් ඔවුනට දෙවියන් සමග ද ඇලී ගැලී සිටීමට සිදුවී ඇත්තේ ඇයි? කොටින්ම වඩ වඩාත් අතාර්කිකව හා වඩ වඩාත් ප්‍රබලව අපේ කරට අත දමාගෙන දෙවියන්වහන්සේ අප සමග සිටින්නේ ඇයි?

ලංකාවේ දෙවිවරුන්ගේ මහගෙදර බවට පත්ව ඇති කතරගම පූජා නගරය ආශ්‍රයෙන් මාගේ හිතවතෙක් කරමින් සිටින පරික්ෂණයක් මගින් අපූරු කාරණා කිහිපයක් හෙළිදරවු විය. (මෙම පරීක්ෂණ වාර්තාව තවමත් ප්‍රකාශයට පත්කොට නැත.) එහිදී, ලංකාවේ මිනිසුන් දෙවියන් සමග කරන ගනුදෙනු ඉතා ශ්‍රීඝ්‍ර ලෙස වැඩිවී ඇති බවත් මැද පන්තියේ නාගරික තරුණයන් දෙවියන් ඇදහීමේදී ඉදිරියෙන්ම සිටිනා බවත් ඔහු සොයා ගත්තේය.

ඉතා නවීන පන්නයේ දුරකථන අත දරාගෙන, කිරි ටොයියා වාහනවල නැගී රටේ සතරදිග්භාගයේ තිබෙන දේවාලවල පෝලිමේ සිටින 'නවීන මිනිසුන්' ඉතා සුලබ දසුනක් වී ඇත්තේ කවර නම් අරුමයකින්ද? ලංකාවේ වෙල් නියරවල් වල පවා කාපට් දමාගෙන යන මේ කාලයේ අපේ රටේ තරුණයන්ට ද හැල්මේ දිවයන්නට අනාගත මාවත් කිහිපයක්ම තන්වා දී තිබේ. ඔවුන්ට නිල් බලකා මාවතේ යා හැක. නොඑසේනම්, බොදු බලකා මාවතේ යා හැක. මේ යන එන ගමන් දෙවියන්ට ද ටච් එකක් දාගෙන යෑම දැන් තාරුණ්‍යයේ ට්‍රෙන්ඩ් එකයි.

ප්‍රොයිඩ් කීවේ ජිවිතේ අපට නොපෙනෙන, නොතේරෙන දේවල් අපි දෙවියන්ට භාර දෙන බවය. මිනිසුන් සමග ගනුදෙනු කරනවාට වඩා දෙවියන් සමග 'වැඩ' කිරීම පහසු වන්නේ මිනිසුන් මෙන් දෙවියන් කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ නැති නිසාය. එනිසා ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් දෙවියන්ට කිව හැකිය. වැඩේ හරි ගියොත් දෙවියන්ගේ හාස්කමකි. වැරදුනොත් දෙවියන්ට කොන්ත්‍රාත් එක භාර දීපු කෙනාගේ කිල්ලකි. මිනිසුන් විසින් දෙවියන්ට භාරදෙන කොන්ත්‍රාත්තු, කෙටිදුර ධාවන තරග වලින් ජයගැනීමට ගන්නා තහනම් උත්තේජක බඳුය.

යමෙක් අසනීප වුනහොත්, සාමාන්‍ය බෙහෙත් හේත් ක්‍රියාවලියට අමතරව, අමතර වාසියක් ලබාගැනීමට අපි දෙවියන් කරා දිව යන්නෙමු. බොහෝ දුක් මහන්සි වී දන්නා කියන දහංගැට ගසා වාහනයක හිමිකාරයෙක් වූ වහාම බොහෝ දෙනෙකු හැල්මේ දුවන්නේ දෙවියන් ලඟටයි. ඒ විතරක් නොවේ; විභාග වලින් පාස් කර දීම, ලොතරැයි අද්දවා දීම ආදී කාරණා පවා අපි දෙවියන්ට භාර දෙන්නෙමු. පුදුමය නම් මිනිසුන්ගේ මෙම අනේකවිධ රික්වෙස්ට්ස් අසාගෙන සිටිනා දෙවියන් පිස්සු නොහැදී බේරී ඉන්නා එකය! දෙවියන් මේවාට හිනාවෙන්නේ දවසේ වැඩ ඇරී ගෙදර ගියපසු රාත්‍රියට පමණද?

සමාජයේ තිබෙන දේවවාදී ලෙඩරෝග ඇතුළු අනේකවිධ ලෙඩරෝග වලට බෙහෙත් තිබෙන්නේ කොහේද? මුහුණු පොත තුළද? ෂොපින් මෝල් තුළද? එහෙමත් නැතිනම් මහපාරේ දේශපාලනය තුළද? මිනිසුන් හිස් අහසින් මහපොළවට කැන්දාගෙන යන දේශපාලනය අද තිබෙන්නේ කොහේද?

ලංකාවේ ජනමාධ්‍ය රනිල් වික්‍රමසිංහව හදුන්වන්නේ නොම්මර එකේ ලිබරල් දේශපාලකයෙක් ලෙසයි. තමන්ගේ ඇඟට නොගැලපෙන මේ ලිබරල් ඇඳුම ඇඟලා ගන්නට මැළිවන බවක් රනිල් පෙන්වන්නේ ද නැත. එහෙත් මේ මහා ලිබරල්වාදියා ලිබරල්වාදය දේවවාදය හා ගලපමින් මසකට වරක් තම ඇඟේ ලෙඩ පරික්ෂා කරගන්නට සිංගප්පුරුවට ගොස් එන ගමනේ දී ඉන්දියාවේ තිරුපති දේවාලයට ගොස් හිතේ ලෙඩට ද බෙහෙත් ලබාගැනීමට පුරුදු වී සිටී. රෝහණ විජේවීරගේ වර්තමාන අනුප්‍රාප්තිකයා වී සිටින අනුර කුමාර දේවාල ගානේ රස්තියාදු වෙන බව පේන්නට නැතත් අත්හැර දැමු සමාජ විප්ලවයේ පශ්චාත් මරණ සහතික නොහොත් සමාජ ප්‍රතිසංස්කරණ රාජ්‍යය පිළිබද පෙම් හසුන් රැගෙන මහා නායක හිමිවරුන් බැහැදැක දෙකට නැමී පිරිත් නුල් ගැටගහ ගැනීම සුලබ දසුනක් බවට පත්ව ඇත.

සජිත් නම් දේශපාලන තොත්ත බබා හිතන්නේ එජාපය සමගිකලේ දෙවියන් වහන්සේ කියාය! එනිසා, පසුගියදා ඔහු මුන්නේශ්වරමට ගොස් දෙවියන්ට මහා පත භාරයක් ඔප්පු කළේය.

ම.රා.ගේ දේශපාලනය ගැන කතාකොට පලක් නැත්තේ ම.රා. සහ සමාගම යනු දේවවාදය, සමාජවාදය, ප්‍රජාතන්ත්‍රවාදය වාගේ හැම වාදයක්ම පැකට් කොට සිල්ලරට විකුණන සිල්ලර බඩු කඩයක් නිසාය. එහෙත් පෙ.ස.පයේ සහෝදරවරුන් ලංකාවේ රාජ්‍ය නිර්ආගමික වියයුතු බවට ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පුංචියට සඳහන් කොට ඇතත් ඔවුන් දෙවියන්ගෙන් මිනිසුන් ගලවාගන්නට වචන පාවිච්චි නොකරන්නේ ගගේ රළ පහර ඔවුන්ට සැර වැඩි නිසාද?

අපි සමග මහපාරේ ඇවිදයන, අපිසමග අඬන, සිනාසෙන, අපේ දුක සතුට අහගෙන ඉන්න, අපේ ප්‍රශ්න වලට උත්තර වෙනුවට ඔළුව අතගාන, සමහර වෙලාවට හෙමින්සීරුවේ අපේ ඔළුවට ටොකු අණින දෙවියන්වහන්සේව යළිත් අප අහසට යවන්නේ කවදාද? එදාට යළිත් මිනිස්සුන්ට මනුස්සකම හමුවෙනු ඇත.

සරද සමරසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails