Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



එක් දහස් අටසිය අසූ පහෙන් ඇරඹි ලාංකීය පුරා විද්‍යා පර්යේෂණ ඉතිහාසය අවුරුදු එකසිය තිහක පමණ පරාසයක විහිදෙයි. මෙම පුරාවිද්‍යා පර්යේෂණ ව්‍යුහ දෙස අවදානය යොමු කිරීමේදී ඒවා මැක්‍රෝ හෙවත් සාර්ව පුරා විද්‍යාව වෙත සුලභව කේන්ද්‍රගතවේ. එනම් සෙල්ලිපි, ස්මාරක, අස්ථී, ගල් ආයුධ, මැටි බඳුන්, ආභරණ, ලෝහ වර්ග, ඛණිජ ආදී දෘශ්‍යමාන භෞතික සාධක පාදක කරගනිමින් අතීතය සම්බන්ධ යථාර්ථ ගොඩනංවන ධාරණාවයි. ගැටළුව වනුයේ එමගින් සමාජගතවන පරිකල්පිත මතවාදයන් කෙතරම් දුරට යථාර්ථයට සමපාත පිළිඹිඹුවක් ද යන්නයි. විද්‍යාවක් ලෙස නාමකරණය වන පුරාවිද්‍යාව වඩා සාධාරණ, ශක්තිමත් හා පොදු පිළිගැනීමේ ක්‍රමවේද සහිත පර්යේෂණ යාන්ත්‍රනයක් ලෙස ජාත්‍යන්තරව දිටිය හැකිය. නමුත් ලාංකීය සන්දර්භය තුළ එය විද්‍යාත්මක ස්පර්ශයෙන් මිදී මිත්‍යාත්මක දෘෂ්ටිවාදයන්හි බහුලත්වයකින් පවතී.

සමකාලීන ජාත්‍යන්තර බහුවිධ පුරාවිද්‍යා පර්යේෂණ සඳහා මයික්‍රෝ ආකියෝලොජි හෙවත් ක්ෂුද්‍ර පුරා විද්‍යාව පදනම්වූ ස්වභාවය ප්‍රබලව කැපී පෙනේ. ක්ෂුද්‍ර පුරා විද්‍යාව යනු පියවි ඇසට නොපෙනෙන පරාග, පයිටොලික්ස්, බීජානු, ඩයටම, ඩයිනොෆජලේට, මයික්‍රොපොසිල්, සත්ව අස්ථීහි පදාර්ථමය ද්‍රව්‍ය, පොසිලමය ප්‍රෝටීන, ලිපිඩ, කාබනික රසායනීක, බහුඅවයවීක පොසිලමය ජාන, අවසාධිත, විකිරණශීලී සමස්ථානික, පාංශු චුම්භකත්වය ආදිය රසායනාගාර පර්යේෂණ මගින් පුරාවිද්‍යා ආකෘතියක විග්‍රහ කරන්නාවූ විද්‍යාවයි. පුරාතන අතීතය සාර්ව පුරා විද්‍යාව පරයා පුළුල් පරාසයක අධ්‍යයනය කිරීමේ ධාරිතාව එහි ඇත. නමුත් ක්ෂුද්‍ර පුරා විද්‍යාව ලාංකීය පුරාවිද්‍යා පර්යේෂණ සඳහා භාවිත විභවය පවතින්නේ ඉතා අවම මට්ටමකය.

ක්ෂුද්‍ර පුරාවිද්‍යා අධ්‍යයන ප්‍රවේශ අතර පරාග විග්‍රහය හෙවත් පොලන් ඇනලයිස් මූලික අංගයකි. පරාගයක් යනු සරල අර්ථයෙන් ශාකයක ප්‍රජනන අවයවයයි. මල් හට ගන්නා ශාකවල හා මල් හට නොගන්නා ශාකයන්හි පරාග හා බීජානු සම්බන්ධ අධ්‍යයන විෂය පැලිනොලොජි හෙවත් පරාගවිද්‍යාව වේ. විෂයක් ලෙස විද්‍යාත්මක පදනමකට 1918 පමණ ස්වීඩන් ජාතික ලෙනාර්ඩ් ෆොන් පෝර්ස්ට් යටතේ සැකසුන මෙය ගුනර් එඩ්මාන් හයිඩ් හා විලියම් ඇතුළු විද්‍යාඥයින් යටතේ 1970 වනවිට සංවර්ධනීය තලයකට පත්වන ලදී.

පරාගයක ගතිකත්වය වනුයේ අති සුවිශේෂි තත්ව තුළ අවුරුදු ලක්ෂ ගනණක් නොනැසී පැවතීමේ ස්වභාවයි. පොළවට යටවූ අවසාධිත තත්වයන් තුළ පරාගයේ පිටත ආවරණය නිර්මාණය වී ඇති ස්පොරෝපොලිනීන් නම් ප්‍රතිරෝධී කාබනික මැනවින් සුරක්ෂිතවීමේ ප්‍රවණතාව ඉහළය. සල්ෆියුරික්, හයිඩ්‍රොෆ්ලොරික් ආදී සාන්ද්‍ර ආම්ලික තත්වයකදී වුවද විනාශ නොවීමේ අවකාශය පවතී.

මෙම තත්වයන් නිසා පුරාවිද්‍යාත්මක අධ්‍යයනයන්හි පොළව අභ්‍යන්තරය, ගැඹුරු මුහුදු හා ජල පතුල්, හෙල්, ප්‍රපාත, විල්, මඩවගුරු, අවසාධිත පාෂාණ, පොසිල තත්වවලින් ලබාගන්නා පරාග අධ්‍යයන මගින් මිනිසා සහ පරිසරය සම්බන්ධව මෙතෙක් අනාවරණය නොවූ තොරතුරු විනිවිදීමේ ශක්‍යතාව පවතී. භූගර්භ තත්ව තුළ ඇති ක්ෂුද්‍ර පුරාවිද්‍යාත්මක ද්‍රව්‍යයන්හි සුවිශේෂි සුරක්ෂිත බව නිසා පුරාවිද්‍යා ඇකඩමියාව භූගර්භ ලේඛණාගාර ලෙස මේවා නාමකරණය කරයි. ඉන් වෘක්ෂලතාවල ඉතිහාසය දේශගුණික ඉතිහාසය, භූවිෂමතාවය, කෘෂිකර්මයේ ආරම්භය, සතුන් හා ශාක හීලෑ කිරීම, මිනිසා භාවිතාකළ තාක්ෂණයන්, මිනිසාගේ යැපීම් ක්‍රම, ආහාර භාවිතාව වෙනස්වීම, අභිචාරක්‍රම, ශිෂ්ටාචාර ගොඩනැගීම ආදිය සම්බන්ධව තියුණුු තොරතුරු යථාර්ථමය කෙරේ. පරාග රූප විද්‍යාව හෙවත් පොලන් මෝර්පර්ලොජි එම විශ්ලේෂණාත්මක කාර්ය ප්‍රධානව ඉටු කරයි. එහිදි මානව හා සමාජ විද්‍යාත්මක නැඹුරුවකින් අතීත මානව ක්‍රියාකාරම්, චර්යා රටාවන් හා චින්තනයන් සම්බන්ධ වඩාත් නිවැරදි විග්‍රහ ලැබේ. මිනිසාගේ මැදිහත්වීමෙන් හෝ එසේ නොමැතිව සිදුවූ පාරිසරික විපර්යාස අධ්‍යයනය වන පාරිසරික පුරාවිද්‍යා විෂයය, මිනිසාගේ බිහිවීමේ සිට පුරා වසර මිලියන දෙකක පමණ අධ්‍යන පථයකි. පෞරාණික පාරිසරික විද්‍යාව නම්වූ නව විෂයය ද මිනිසා බිහිවීමට පෙර පාරිසරික හා දේශගුණිකත්වය විග්‍රහ කරන අතර එහි අධ්‍යන කාලය පෘථීවියේ බිහිවීම දක්වා ගමන් කරයි.

එක් ශාකමය පවුලක පරාග සඳහා ඇත්තේ ස්වභාවිකව නිශ්චිත වූ රූපමය හැඩයකි. ලොව මල් හට ගන්නා සහ නොගන්නා ශාක කොපමණ තිබේද ඊට සමගාමීව ඒ ඒ ශාක සඳහා නිශ්චිත පරාග රූප හැඩතල ඇත. පරාගය වසර ලක්ෂ ගණනකට පෙර ශාකයකින් ජනිත වුව ද එම පරාගය හිමි ශාක කුලය කුමක්ද යන්න රූප විද්‍යාත්මක සහසම්බන්ධය මත වර්ගීකරණයවේ.

පරාග රූප විද්‍යාව ඔස්සේ පරාගයක් විග්‍රහ කරනු ලබන ස්වරූප කිහිපයකි. ධ්‍රැවීයතාව හෙවත් පරාගයට නිශ්චිත වූ හැඩය ඉන් පළමුවැන්නයි. පරාග කේන්ද්‍රයේ සිට අරය දක්වා හැඩය සමාන වන සමධ්‍රැවීයතාව හා විෂමවන විෂම ධ්‍රැවීයතාවය ඔස්සේ පරාග විග්‍රහ කෙරේ. සියළු පරාගවලට හිමි සමමිතික සහ අසමමිතික තත්වයන් පරාගයක් විශ්ලේෂණය කරන දෙවන තත්වයයි. පරාග කණිකාවේ හැඩයේ ස්වරූපය යනු පරාගයකට අනන්‍යවූ තෙවන තත්වයයි. පරාගයක් විශාලත්වය හා ප්‍රමාණය අනුව ද විග්‍රහ කරන අතර ඉතා කුඩා, කුඩා, මධ්‍යම, විශාල, ඉතා විශාල ලෙස හතරවන තත්වය අනුව වර්ගී කරණයවේ. එය පියවි ඇසට නොපෙනෙන මයික්‍රෝන මීටර් 5 සිට 200 දක්වා වූ පරාසයකි. පරාගයක බිත්තියේ පවතින කණිකා විවරය හෙවත් ඇපොචර් හිි ස්වභාවය මගින් ද පස්වන ස්වරූපය ලෙස පරාගයක් වර්ගීකරණය වන අතර පරාගයක මෙවැනි විවර එකක් හෝ වැඩි ගණනක් හෝ විවර නොමැති තත්වයන් දිටිය හැක. එසේම මෙම කණිකා විවර පිහිටා ඇති ස්ථානයන්හි ස්වභාවය ද සලකා බැලේ. පරාග කණිකා බිත්තිය සහ ඒ මතුපිට වූ අලංකාර ස්වභාවික කැටයම් ද හයවන අයුරට පරාග විද්‍යාව ඔස්සේ විග්‍රහ කරනු ලබයි.

පරාග විද්‍යාව පුළුල් විෂය ක්ෂේත්‍ර පරාසයක අධ්‍ය්‍යන සඳහා ඉවහල් වේ. ශාක වර්ගීකරණ විද්‍යාව එහි මූලිකය. ඒ ඒ ශාක විශේෂ හා ඒවායේ පරිණාමීය ස්වභාවය, වර්ගීකරණය, ප්‍රවේණිය, ජානමය විෂමතා හා සමානතා සෙවීම එහි සිදු කරයි.

පෞරාණික පුරා උද්භිද විද්‍යාව, උද්භිද විද්‍යාව හා සම්බන්ධ විෂය අනු කොටසකි. මේ මගින් පුරාණ ශාකයන්හි බිහිවීම සහ ව්‍යාප්තිය නිවැරදිව විශ්ලේෂණය සඳහා පරාග විද්‍යාව යොදා ගනී. අතීතයේ සිට වර්තමානය දක්වා දේශගුණික හා පරිසර චක්‍රයන්ගේ වෙනස්වීම, පෞරාණික වනාන්තර පද්ධති නැවත ප්‍රතිනිර්මාණය කර ගැනීම, අනාගත පාරිසරික විචල්‍යයන් හෙවත් අනාගත දේශගුණය, වර්ෂාව වෙනස්වීමේ රටා, ගෝලීය උෂ්ණත්වය වෙනස්වීමේ රටා අනුව අනාගතයට අනුවර්ථනය වියයුත්තේ කෙසේද යන්න පිළිතුරු සෙවීමට ඉවහල් වේ.




මෘතෝප පරාග විද්‍යාව හරහා සතුන්ගේ මළ ද්‍රව්‍යයන්හි අන්තර්ගත පරාග හරහා සත්ව භෝජන රටාවන්ගේ විවිධත්වය හෙළිකර ගනී. ප්‍රංශයේ නියැන්ඩිතාල් මානවයාගේ මළ ද්‍රව්‍ය පරාග අධ්‍යයනයේදී අවුරුදු පනස්දහසේ සිට හැත්තදහස අතර පාරිසරික තත්ව හෙළි වූ අතර ඇමරිකාවේ මැක්සාස්හි කැණීමකින් හමුවූ සත්ව මළ පරාග හරහා ක්‍රි.පූ 1300 - ක්‍රි.ව 800 කාලයේ වෘක්ෂලතා සබැඳි තොරතුරු හෙළි විය. මෙමගින් ආහාර බහුලවීම හා හිඟවීම, අතීත පරිභෝජන රටාව, අනාගතයට ප්‍රවර්ධනය කළහැකි ආහාර, අහාර සුරක්ෂිතතාව හා සත්ව වර්ධනයේ ස්වභාව සම්බන්ධව අදහස් පරිකල්පනය කළහැක.

වායව පරාගවිද්‍යාව වායුගෝලයේ පාවෙන දහස් සංඛ්‍යාත පරාග සහ බීජානු පිළිබඳ අධ්‍යයන විෂයයි. බැක්ටීරියා, වෛරස ඇල්ගි බීජානු, දිලීර බීජානු, ලයිකන, ප්‍රොටොසෝවා, පාසි බීජානු, මීවන බීජානු, පරාග කණිකා, කෘමීන්ගේ බිත්තර ආදිය පදනම්ව පරිසරයේ උෂ්ණත්වය, තෙතමනය, සුළඟ, වර්ෂාව, ආර්ද්‍රතාව පිළිබඳ අධ්‍යයනය කරයි. එමෙන්ම වෛද්‍ය විද්‍යාව, අපරාධ විද්‍යාව, පරපෝෂිතවේදය, කෘෂිිකර්ම විද්‍යාව, වන විද්‍යාව ආදී විෂයන් සඳහා ද භාවිතාවේ. පරිසරයට වැඩිපුර විෂ පරාග එකතු වන්නේ නාගරික අවකාශවල එළිමහන් තෘණ වැනි ශාකවලින් වන අතර මෙහිදී සිදුවන වායුගෝලීය දූෂිත බව හේතුවෙන් විවිධ ආසාත්මිකතා මිනිසාට ඇතිවේ. වායව පරාගවිද්‍යාව හරහා එම තත්වයන් විග්‍රහ කරමින් ජාත්‍යන්තර තලය තුළ පිළිතුරු සොයයි.

පොසිල ඉන්ධන භූවිද්‍යාව යටතේ භූගත තෙල් නිධි ගවේශනය සඳහා පරාගවිද්‍යාව භාවිතා වේ. එහිදී ක්ෂුද්‍ර පොසිල විග්‍රහය තුළ වසර මිලියන ගණනක් පැරණි භූ අභ්‍යන්තරික ජෛව ස්ථරයන් සහ පුරා පාරිසරික ව්‍යුහයන් අවබෝධ කර ගත හැක. ගල් අඟුරු සහ පොසිල ඉන්ධන නිධි ගවේශණය තුළ ද ක්‍රමවේදය වනුයේ පරාග විද්‍යාව වන අතර ඉපැරණි වෘක්ෂලතා පාෂාණිභූත වීම ගල් අඟුරු හා ඉන්ධන නිධි ජනිත වීමට හේතුවේ. පොසිල පරාග හා බීජානුවර්ග ගොඩනගන ස්ථරායන විශ්ලේෂණ තුළින් තෙල් නිධි සමීක්ෂණ කටයුතු සිදුකිරීමේ විද්‍යාත්මක දැනුම ලංකා පර්යේෂකයින්ට තිබුණේ නම් විදේශීය සමාගම් යටතේ කාවේරි සහ මන්නාරම් ප්‍රදේශවල සිදුවන තෙල් නිධි ගවේශනය දේශිය ව්‍යාපෘතියක් ලෙස වඩාත් විශ්වසනීය වන බව අවිවාදිතය.

පෞරාණික දේශගුණ විද්‍යාවට ද බහුල ලෙස පරාග විශ්ලේෂණ පාදක වන අතර ඉන් ගෙවී ගිය වසර මිලියන දෙකක කාලයෙන් සියයට අනු දෙකක් මහා හිම යුගය හෙවත් ප්ලයිස්ටෝසීන කාල පරාසයේ වූ බව තහවුරු කර ඇත. එය ග්ලැසියර් හෙවත් ශීත හා අන්තර් ග්ලැසියර හෙවත් උණුසුම් අවධි ගණනාවක් යටතේ විශ්ලේෂණයවේ. සත්ව හා ශාක ප්‍රජාවේ ගොඩනැගීම පිළිබඳව ද අතීත මානව පරිසර යළි ප්‍රතිනිර්මාණය කර ගැනීමට ද අනාගත පාරිසරික තත්වයන් පුරෝකථනයට ද ඉවහල්වේ.

ගෙවී ගිය වසර දහස් ගණනක කාල පරාසයේ ලාංකීය දේශගුණික හා පාරිසරික ස්වභාව සම්බන්ධ පුරා විද්‍යාත්මක වශයෙන් අධ්‍යයනය සිදුකර ඇත්තේ ඉතාම අල්පතරවය. නමුත් තවමත් සිදුකෙරෙමින් පවතින පර්යේෂණයන් ඔස්සේ ප්ලයිස්ටෝසීන අවසාන කාල පරාසයේ ශ්‍රී ලාංකීය දේශගුණික ස්වභාවය වර්ෂාපතනය අඩු වියලි කාන්තාර ස්වභාවයක් වී ඇති බව පෙනේ. ලංකාවේ වයඹ පුත්තලම තබ්බෝව ප්‍රදේශයේ මේ සම්බන්ධව අවුරුදු මිලියන ගණනක ඉතිහාසයක් අනාවරණයට දත්ත යම් ප්‍රමාණයක් සුරැකිව පවතී. එමෙන්ම පාහිංයගල අවුරුදු හතලිස් දහසක් ද සිරිගම්පල, අළුත්වෙල, මුතුරාජවෙල, පතිරාජවෙල ආදී ස්ථානයන්හි මීට අවුරුදු හත්දහසක පෙර පාරිසරික ස්වභාවය ක්ෂුද්‍ර පුරා විද්‍යාත්මක ආකෘති තුළ අධ්‍යයනය කරමින් පවතී. සිරිගම්පල, අළුත්වෙල, මුතුරාජවෙල වසර හත්දහසක පෙර කලපුව පරිසරයක් ලෙස පැවතියේ සමස්ත ලෝකයේ මුහුදු ජල මට්ටම අදට වඩා ඉහළින් පැවතීමේ සම්බන්ධතාව මතය. එම මුහුදු ජල මට්ටම ඉහළ යාමේ ස්වභාවය අනුව සමස්ථ ලාංකීය භූමි සිතියමද අදට වඩා වෙනස් හැඩයක් ගත්බව පරිකල්පනය වේ.



කෘෂිකර්මය යනු සතුන් හා ශාක හීලෑකරමින් මානව සංවර්ධනයට පිය නැගූ මුල්ම අවස්ථාවයි. සත්ව හා ශාක පද්ධති හීලෑකර ගැනීමට දේශගුණික යෝග්‍යතාවය අනිවාර්යය තත්වයකි. ලංකාවේ ඉහළ කඳුකර ප්‍රදේශ අධ්‍යයනයන්හිදී අවුරුදු විසිපන්දහසක දේශගුණික ඉතිහාසයක් පරාග විශ්ලේෂණ හරහා පෙන්වයි. ඉන් වසර විසිපන්දහසක පමණ පෙර සිට කඳුකර ප්‍රදේශවලට බලපාන ලද දේශගුණික හා පාරිසරික චක්‍රයන්ගේ විපර්යාස තක්සේරු කිරීමටත්, වනාන්තර එළිි පෙහෙළි කිරීම, ගින්දර ප්‍රයෝජනයට ගත් හේන් වගාව, තෘණ බිම්වල සිදුකර ඇති එඩේර කටයුතු, තෘණ බිම් කළමනාකරණය, අනුභව කළහැකි ශාක, වගා කටයුතු සඳහා භාවිත වූ පඳුරු ශාක, හෝර්ටන්තැන්න ආශ්‍රිිත වෘක්ෂලතාවල ඉතිහාසය, මේ ප්‍රදේශ වාස භූමිය කරගත් මානවයා සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණය වී ඇත. මින් වසර විසිපන්දහසේ සිට දහඅටදහස් පන්සියක කාලය කාන්තාර දේශගුණික තත්වයන් මෙරට වූ අතර එය වසර දහහත්දහස් පන්සියක සිට ඉදිරියට යහපත් තත්වය දක්වා වෙනස්ව ඇත. හෝර්ටන් තැන්න පර්යේෂණ කේන්ද්‍රය ලෙස මීටර 6 ක් පමණ ගැඹුරට ලබා ගන්නා පස් සාම්පල රැසක් ඔස්සේ හමුවූ පොසිල පරාග අධ්‍යයන හරහා මෙම විද්‍යාත්මක නිගමනයන්ට එළඹ ඇත. පරාග විශ්ලේෂණය මූලික කර ගත් ක්ෂුද්‍ර පුරාවිද්‍යාව ප්‍රථම වරට ලාංකීය පුරා විද්‍යාවට ස්පර්ශ කරමින් කැලණි සරසවියේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ පාරිසරික පුරා විද්‍යා අධ්‍යයන අංශය යටතේ මෙම පර්යේෂණ සිදුවේ. ස්වීඩනයේ ස්ටොක්හෝම් සරසවියෙන් පරාග හා පෞරාණික පාරිසරික විද්‍යාව සම්බන්ධ ආචාර්ය උපාධිලාභී ටී. ආර්. ප්‍රේමතිලක අවුරුදු 20ක කාලයක් පුරා ස්වකීය ක්ෂුද්‍ර පුරා විද්‍යාව සම්බන්ධ ව්‍යවහාරික දැනුම ලාංකීය පුරාවිද්‍යාවට ආරෝපණය කරමින් මෙම පර්යේෂණයන්හි නිරතව පවතී.

සමකාලීන සාර්ව පුරාවිද්‍යාත්මක අධ්‍යයන හරහා ලාංකීය කෘෂිකර්මය සම්බන්ධව ගොඩනගා ඇති කතිකාව වනුයේ එය අවුරුදු දෙදහස් පන්සියකට නොවැඩි තත්වයක් බවයි. එය ඉන්දියානු මූලයක් ලෙස මෙරට ස්ථාපිත වූබවට විවාද පවතී. නමුත් එම සකළවිධ මත පරයා ලාංකීය කෘෂි ඉතිහාසය අවුරුදු දහතුන් දහසක ඈතට ගමන් කරන බව පොසිල පරාග විශ්ලේෂණ ඔස්සේ ආචාර්ය ටී. ආර් ප්‍රේමතිලක, හොර්ටන් තැන්න ආශ්‍රිත අධ්‍යයන හරහා තහවුරු කර ඇත. ලොව කෘෂිකර්මයට උචිත පාරිසරික හා දේශගුණික යෝග්‍යතාව සහිත ස්වරූප මුල්වරට ඇතිවන්නේ ආසියාව ප්‍රමුඛ නැගෙනහිර කලාපයේය. මධ්‍ය ආසියාවේ-චීනයේ යැංෂි, බටහිර ආසියාවේ-යුප්‍රටීස් ටයිග්‍රීස්, අග්නිදිග ආසියාවේ-පැපුවා නිව්ගේනියා, දකණු ආසියාවේ-උතුරු ඉන්දියා ගංගා නිම්න ප්‍රදේශය, ලංකාවේ හොර්ටන් තැන්න එහි මූලික ස්ථානයන්ය.

මින් වසර දහතුන් දහසේ සිට දහදහ දක්වා අතර කාලයේදී වසර එක්දහස් පන්සියක් පමණ සමස්ථ පමණ පෘථීවියම හදිසි සීතල වියළි හෙවත් "යන්ගර්ඩයර්ස්" නමැති දේශගුණික ස්වභාවය පැවත ඇති බව ක්ෂුද්‍ර පුරාවිද්‍යාව හරහා පෙන්වාදේ. ඉන් අනතුරුව ශතවර්ෂ තුනක් ක්ෂණිකව උණුසුම් විය. ඉන්සිපිියන්ට් ඇග්‍රිකල්චර් හෙවත් ප්‍රාග් මූලාරම්භක කෘෂිකර්මයට මානවයා යොමු වීමට මෙම දේශගුණික තත්ව ඉවහල් විය. නව ශිලා යුගයේ විප්ලවීය මොහොත ලෙස නාමකරණය වන මෙම කාල පරාසය ග්‍රාමීය සංස්කෘතියක් කරා මානවයා නැඹුරුවූ මූලික අවස්ථාවයි. ප්‍රාග් මූලික කෘෂිකර්මයේ මුල්ම සාධක ලෙවාන් කලාපය ලෙස නම්වන ඊශ්‍රායලය, පලස්තීනය, සිරියාව, ඉරානය ප්‍රදේශයේ වූ නැටෝෆිියන්වරු හරහා ප්‍රතිමුඛ වන අතර ලාංකීය තලය තුළ දී හෝර්ටන්තැන්න එහි එක් මට්ටමක් විද්‍යාමන කරයි.

ප්‍රාග් මූලික කෘෂිකර්මයට මීට වසර දාහත් දහස් පන්සියයකකට පෙර පදනම සැකසූ ලාංකීය මානවයා තවත් වසර හාරදහස් පන්සියක් හෙවත් මීට වසර දහතුන්දහසකට පෙර යම් ස්ථාවරයකට පැමිණ ඇත. සමකාලීන කෘෂිභූමි අඩි හත් දහසක ඉහළ භූමිවල පිහිටා තිබූ අතර වී වර්ග මෙන්ම යව සහ බාර්ලිවල ජානමය සබඳතා ඇති ශාක විශේෂ වගා බෝග වූ බව හෝර්ටන් තැන්න පොසිල පරාග වාර්තා තහවුරු කරයි. පාහිංගල පර්යේෂණ ක්ශේත්‍රය හරහා ලංකාවේ වල් වීවල ඉතිහාසය අවුරුදු හතලිස් දහසක කාල පරාසයක විහිදෙන බවද, කෙසෙල් ශාකය හීලෑ කිරීම අවුරුදු හය දහසක් දක්වා ඈතකට යන බවද පොසිල පරාග තොරතුරු සපයයි. මේ බෝගවල වල් දර්ශීය පැවැත්ම සහ ඒවායේ විවිධ උපයෝගීතාවල සක්‍යතා මට්ටම පිළිබඳව පුළුල් පර්යේෂණ නොකඩවා සිදුවෙමින් පවතී. මෙම නව දැනුම ලාංකීය පරිසරය, මානවයා සහ අතීත ජාත්‍යන්තර සබඳතාවල නව මානයන් රැසක් ලබාදෙනු නොඅනුමානය.



පොසිල පරාග විශ්ලේෂණ හරහා ලාංකීය පෞරාණික වර්ෂාපතන ස්වභාවය අධ්‍යයනයේදී අදින් වසර දසදහසකට පෙර හොඳ වර්ෂාපතනයක් පැවති අතර එය වරින්වර උස් පහත් වෙමින් දශක ගණනක් ඉදිරියට ඇදී පවතී. මින් පෙර වසර නව දහස් දෙසිය වන විට වැඩි වර්ධනය වෙමින් වසර අටදහස් හත්සීය දී පමණ ඉතා ඉහළ වර්ෂාපතනයක් ලැබී ඇත. එය අද මෙන් තුන් ගුණයකට ආසන්නය. මින් වසර අටදහ සිට තුන්දහස් හයසීය දක්වා ඒමේදී වර්ෂාව අඩුවෙමින් ගංගා ඇල දොළ සිඳෙමින් දැඩි කාන්තාරමය තත්වයක් දක්වා පරිවර්තනය විය. මින් වසර තුන්දහස් හයසීය සිට ශතවර්ෂ පහක් ඉදිරියට එන විට නැවතත් මෝසම් වැසි හොඳින් සක්‍රීය වූ අතර වාරි කර්මාන්ත ගොඩනගමින් කළ කෘෂිකාර්මික සංවර්ධනය හමුවේ. අතීතයේ වූ මෝසම් චක්‍රයේ ස්වභාවය අධ්‍යයනය කරනවිට අක්‍රිය හා වියලි ලෙස පැවතුනු කාලය වසර දහස් ගණන ඉක්මවයි. එම වසර විසිපන්දහසක දේශගුණ ඉතිහාසයේ විශාල කාල පරාසයක නියඟ තත්වයන් බහුල බව ආචාර්ය ටී. ආර් ප්‍රේමතිලකගේ අධ්‍යයන වාර්තා හෙළිකරයි. මානවයා ජල කළමනා කරණයට යොමුවූයේ මෙම තත්වයන් නිසාවෙනි. අතීත මෝසම්හි සක්‍රිය අක්‍රිය ස්වභාව හා අතීත නියඟ තත්ව අනාගතයටත් බලපෑ හැකි අතර අනාගත ජල කළමනාකරණය සම්බන්ධව පදනමක් සකසා ගැනීමට මෙම දත්ත පිටිවහලක්වේ. කෘෂිකාර්මික ශිෂ්ටාචාර බිහිවූ මුල්ම රටවල් අතරින් ශ්‍රී ලංකාව සම්බන්ධ පුළුල් දැනුම් පරාසයක් මෙම අධ්‍යයන හරහා පුරාවිද්‍යා කතිකාව පෝෂණය කරයි.

පරාග විද්‍යාව වැනි ක්ෂුද්‍ර විද්‍යාත්මක විෂයක අනෝ‍යා්න්‍ය සහයෝගීතාවය ඇසුරින් පුරා විද්‍යා විෂය ක්ෂේත්‍රයට අධ්‍යනය කළ හැකි ගැඹුර මේ අනුව විදහාලිය හැක. ගැටළුව වනුයේ ලාංකීය පුරාවිද්‍යාත්මක ඇකඩමියාව ක්ෂුද්‍ර පුරා විද්‍යාව ආදි බහු අන්තර් විෂයයික සබඳතා පැවැත්වීම හා සාමුහික පර්යේෂණ නියාමනය කිරීම ඉතාම මන්දගාමී විභවයක පැවතීමයි. එහිදී සමාජ විද්‍යා පර්යේෂණ ආචාර ධර්මවලට පටහැනිව අවිධිමත් හා විද්‍යාත්මක නැඹුරුවකින් තොරව සිදුවන ව්‍යාපෘති බොහෝය. එමෙන්ම පර්යේෂණයේ විද්‍යාත්මක බව වෙනුවට බාල දේශපාලනික ව්‍යාපෘතිහි මතවාදයන් ඉස්මතු කරවීම තවත් පසෙකින් හඳුනාගත හැක. බහුතර පර්යේෂකයින්ට පර්යේෂණය කිරීමේ ඉවසිලිමත්බව, මානව කරුණාව හා ඒ සඳහා අවශ්‍ය දෘෂ්ටිවාදී එළඹුුම ඉතා අවම මට්ටමක පවතී. සමකාලීන ජාත්‍යන්තර පුරාවිද්‍යා කතිකාව ජර්නල් ඔෆ් ආකියොලොජිකල් සයන්ස්, හොලෝසීන සහ පාරිසරික විද්‍යා ආදීි ජාත්‍යන්තර මධ්‍යස්ථාන සමග සහජීවනයෙන් දැනුම බෙදාගන්නා සංස්කෘතියක පවතී. ලොව පිළිගත් ශාස්ත්‍රීය පර්යේෂණ ආයතනවල පර්යේෂකයින් සමග අන්‍යෝන්‍ය දැනුම සමග සන්සන්දනය කරමින් ජාත්‍යන්තර ආචාර ධර්මවලට අනුගතව සිදුවන පර්යේෂණ ලාංකීය පසුබිමේ විරලත්වයක් දිටිය හැක. බහුතර පර්යේෂකයින් උත්සුක වනුයේ තමා දන්නා එක් පැතිකඩක දැනුමකින් කිනම් ආකාරයක ව්‍යාපෘතියක් හෝ ගවේශණයක් දියත්කර විවාද සම්පන්න අර්ථයක් ප්‍රචාරණය කොට තමන්ගේ අනන්‍යතාවය ගොඩනංවා ගැනීම හා ජනප්‍රිය කතිකාවේ සිවිල් තත්වයන් අත්පත් කර ගැනීමයි. නව තාක්ෂණික දැනුම භාවිතා කරමින්, ක්ෂුද්‍ර විද්‍යාත්මක ප්‍රවේශ ස්පර්ෂ කරමින් පර්යේෂණ කරන්නේ නම් ලාංකීය භූමි තලය තුළ අප නොසිතන පරාසයක අතීත මානවයා හා පරිසරය සම්බන්ධව අපූර්ව වූ ඓතිහාසික තොරතුරු හෙළිකර ගැනීමේ ශක්‍යතාව පවතී. මෙම අඩුව නිසාවෙන් වටිනා තොරතුරු හා දත්ත රැසක් නිරන්තරයෙන් අප අතරින් ගිලියමින් පවතින යාන්ත්‍රණය දිටිය හැක. අපට බහුතරව ප්‍රතිමුඛ වනුයේ විද්‍යාත්මක පදනමක් නොමැති හුුදු මතවාදීමය තොරතුරුවල දිගුවකි.

එමෙන්ම නූතන ඊනියා සංවර්ධන ව්‍යාපෘති ප්‍රවාහය තුළ කරන්නාවූ ඉදිකිරීම් හා ගොඩ කිරීම් හරහා ස්වභාවික වගුරු බිම්, ගොඩබිම් ජල පතුල්, නිධි, කඳු, තැනිතලා ආදිය විනාශ වී යන ස්වරූපය දිටිය හැක. අධිවේගී මාර්ග පද්ධතීන් සඳහා සක්‍රීයව කරන්නා වූ කුඹුරු, වගුරු බිම් ගොඩ කිරීම් මෙන්ම කඳු හා වෘක්ෂලතා පද්ධතින් විනාශය එහිදී ප්‍රධානව හඳුනාගත හැක. නූතන නාගරික සුන්දරීකරණ ව්‍යාපෘති හරහා ජොගින් මංතීරු හා ජලාශ ඉදිකිරීම් ව්‍යාපෘති එහි අනෙක් පැත්තයි. ඉතා නුදුරේ අත්තිඩිය අභය භූමිය හා දියවන්නා රක්ෂිතය ආශ්‍රිතව කරනලද හෑරීම් සහ ගොඩ කිරීම් තත්වයන් තුළ ද ලාංකීය ඉතිහාසය සම්බන්ධව තොරතුරු හෙළිකර ගත හැකි ප්‍රාථමික මූලාශ්‍ර පොසිල විශාල ප්‍රමාණයක් අපට අහිමිවගිය අයුරු නිදසුන්ය. මෙම භූමි වපසරියන් තුළ අවුරුදු මිලියන ගණනක මානව ඉතිහාසය සම්බන්ධ දත්ත අනිවාර්යයෙන්ම සැඟව තිබූ බව නොඅනුමානය. අවිධිමත් ව්‍යාපෘති ධාරාව ඔස්සේ එම ස්ථානවල ඇති තොරතුරු මූලාශ්‍ර සංරක්ෂණය හෝ රැස්කර ගැනීම හෝ එම ව්‍යාපෘති සඳහා විනයගත වැඩපිළිවෙලක් දියත් කිරීමට නූතන බලධාරීන්ට මෙන්ම විශ්වවිද්‍යාල හා පර්යේෂණ ආයතනයන්හි ශාස්ත්‍රඥයින්ට මතවාදයක් පැන නොනැගීම කණගාටුදායකය. මෙම සකලවිධ තත්වයන් නිසා දිනෙන් දින ලාංකීය පුරාවිද්‍යා පර්යේෂණ සංස්කෘතිය දුර්වල හා ගුණාත්මක මට්ටමින් ප්‍රපාතයකට ඇදහැලෙන දර්ශනය විනිවිඳිය හැකි යථාර්ථයයි.

මාලක දේවප්‍රිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails