Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ජනමාධ්‍ය ඕනෑම රටක සිව්වන ආණ්ඩුව බවට පිළිගනු ලැබූයේ ප්‍රජාතන්ත්‍රවාදය ලොව පුරා ඉහළින්ම ක්‍රියාත්මක වූ යුගයකදීය. අද වන විට ප්‍රජාතන්ත්‍රවාදය ලොව පුරා බරපතල අර්බුදයකට ලක්ව තිබේ. මේ නිසා ජනමාධ්‍ය තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුල ක්‍රියාත්මක වූ ආකාරයෙන් වර්තමානය තුල ක්‍රියාත්මක වනවාදැයි සැක සහිතය. ලොව පුරා ජනමාධ්‍යයන්ගේ හැසිරීම් රටාවන් නිරීක්ෂණය කරන විට මේ පිළිබඳව යළි සිතා බැලීමට සිදුවේ. ලොව පුරා ජනමාධ්‍ය වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ ඒ ඒ රාජ්‍ය බල ව්‍යුහයන්ට අනුරූපීවය. සරලව කියතහොත් ඒ ඒ බල ව්‍යුහයන්ගේ අවශ්‍යතාවයන් සංතෘප්ත කරන ආකාරයෙනි.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය මීට සාපේක්ෂව බලන කල ඇත්තේ පහළම මට්ටමේ ක්‍රියාකාරිත්වයක බව පිළිගැනීමට සිදුවන අමිහිරි සත්‍යයකි. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයන් ප්‍රධාන වශයෙන් රාජ්‍ය හා පෞද්ගලික වශයෙන් බෙදා දැක්වුවද එම බෙදීම තුල සාධනීය වෙනසක් අද වන විට දැකිය නොහැකිය. හිමිකාරීත්වය අනුව මතුපිටින් මෙම බෙදීම සිදුවී ඇතිද, ප්‍රායෝගික තලයේදී මේ සියලු මාධ්‍යයන් ක්‍රියාකරන්නේ පවතින බල යාන්ත්‍රණයේ දැති රෝදයන් පරිද්දෙනි. සිය පැවැත්ම හා ලාභ උපරිම කිරීම එහි තුල පවතින යටිපෙළ උවමනාවන් වේ.

ශ්‍රී ලාංකික ජනමාධ්‍ය වෘත්තිය වෘත්තීයමය වශයෙන් දියුණු මට්ටමකට පැමිණ ඇත්දැයි සැක සිතෙන තරමට ලාංකීය ජනමාධ්‍යකරුවන්ගේ මාධ්‍ය භාවිතාව ප්‍රශ්ණකාරී තැනක පවතී. මේ කාරණා පිළිබඳව යළි අවධානය යොමුකිරීමට සිදුවූයේ නීතිඥ ජගත් ලියනආරච්චි විසින් සංගෘහිත "ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති" නම් කෘතිය කියවීමෙන් අනතුරුවය. විශේෂවයන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ජනමාධ්‍යකරුවන් සඳහා බලපාන නීති පිළිබඳව සරළ අවබෝධයක් ලැබිය හැකි ආකාරයෙන් මේ කෘතිය රචනා කර තිබේ. එහිදී විශේෂයෙන් ප්‍රකාශණයේ නිදහසට ඇති අයිතිය, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව මුල් පරිච්ඡේදයෙන් ලබා දෙන අතර අනතුරුව ලංකාවේ ජනමාධ්‍යකරුවන්ට බලපාන නීති පිළිබඳව එකින් එක සරළව විග්‍රහ කර දේ. විශේෂයෙන් සිවිල් අපහාසය, පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය, අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නීතිය වැනි මාධ්‍ය ‍ ක්ෂේත්‍රයට බලපානු ලබන නීති රාශියක් පිළිබඳව මෙම ග්‍රන්ථයෙන් පැහැදිළි කර දෙයි. ඊට අමතරව ජනමාධ්‍ය හා සබැඳි වාර්තාගත නඩු තීන්දු ද මෙයට ඇතුලත් කර තිබීම ප්‍රායෝගිකව ඒවා ක්‍රියාත්මක වූ ආකාරය හා භාවිතාව පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීමට උපකාරී වේ.

මෙම කෘතිය පරිශීලනය කරන විට පැන නැගුණු ප්‍රශ්ණ කිහිපයකි.

1. ලංකාවේ ජනමාධ්‍යකරුවන් කී දෙනෙක් තමන්ට හා තමන්ගේ වෘත්තීය පරිසරයට බලපාන නීතිමය තත්ත්වයන් පිළිබඳ හදාරා තිබේද?

2. සිය වෘත්තීය කටයුතු වලදී මේ නීති වලින් ආවරණිත වපසරියේ අවසාන ඉම දක්වා සිය ක්ෂේත්‍රය පුලුල් කරගෙන ඔවුන් කටයුතු සිදුකර තිබේද?

3. මෙම නීතිමය සීමාවන් වෙනස් කරගැනීමට ඔවුන් ‍කොතෙක් දුරට බලපෑම් කණ්ඩායමක් (Pressure Group) ලෙස කටයුතු කර ඇතිද? එයින් පොදු ප්‍රතිඵල දිනා තිබේද?

4. "දෙන දෙයක් ලබාගෙන, තියෙන දෙයක් බලාගෙන ඉන්නවා" විනා නොදෙන දේ ලබා ගැනීමට ජනතාවගේ පාර්ශවයෙන් ඔවුන් කී දෙනෙක් සූදානම්ද?

මෙම ගැටළු වලට ඇති පොදු උත්තරය වන්නේ "නැත" යන්නයි. මෙය ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය ක්ෂේත්‍රය වර්තමානයේ ගල් යුගය දක්වා පසුබැසීමට හේතු වන බව අපගේ පිළිගැනීමයි. මේ නිසා මෙවැනි ග්‍රන්ථයක් තුලින් හෝ තමන්ගේ වෘත්තීය පරිසරය සඳහා බලපා‍න නීතිමය තත්ත්වයන් හැදෑරීම අවම වශයෙන් නීතිය පිළිබඳව බියකින් පෙළෙන්නේ නම් එය මගහැර තමන්ගේ වෘත්තිය, ග්‍රාහක හිතකාමී ආකාරයෙන් කිරීම සඳහා උපකාරී වෙනු ඇත. නමුත් ගැටලුව වන්නේ එවැනි සූදානමක් වර්තමාන ජනමාධ්‍යකරුවන් කී දෙනෙක් තුල දකින්නට ලැබේද යන්නයි.

ජගත් ගේ කෘතියේ දක්නට ලැබෙන තවත් විශේෂිත කාරණයක් වන්නේ ජනමාධ්‍ය ‍ක්ෂේත්‍රයට බලපානු ලබන නීති වරින් වර සංශෝධනයන්ට ලක්කර ඇති ආකාරය ඔහු පෙන්වාදීමත්, එම සංශෝධනයන් සිදුකර ඇත්තේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය මෙන්ම අදහස් ප්‍රකාශකිරීමේ නිදහස තව තවත් සංකෝචනය වන ආකාරවයන් බව පැහැදිලි කිරීමත්ය. උදාහරණයක් ලෙස, "මැතිවරණ සමයේ මාධ්‍ය භාවිතාව පිළිබඳ නීති" යන පරිච්ඡේදයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනය තුලින් මැතිවරණ කොමිසමක් සඳහා ප්‍රතිපාදන සපයාදී ඇති ආකාරයත්, කොමිසම ස්ථාපිත කරනතුරු කොමිසමේ බලතල ක්‍රියාත්මක කිරීමේ බලය මැතිවරණ කොමසාරිස්වරයාට ක්‍රියාවේ යෙදවිය හැකි විය. 2010 ජනාධිපතිවරණයේ දී අපේක්ෂිත සමබරතාව රජයේ මාධ්‍යයන් තුල දක්නට නොලැබුණු අතර, මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිය බලතල ප්‍රකාර නිසි බලධාරියෙකු පත්කල අතර එය මාධ්‍ය හා ඔහු අතර ගැටුමක් නිර්මාණය වීමටත්, නිසි බලධාරියාගේ කටයුතු රජයේ මාධ්‍ය විසින්ම ප්‍රසිද්ධියේ විවේචනය කිරීමත්, ඔහුගේ උපදෙස් පිළිනොපැදීමත් නිසා මැතිවරණ කොමසාරිස්වරයා විසින් එම පත්වීම අවලංගු කරන ලදී. අනතුරුව සිදුවූයේ 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී මෙම බලතල ඉවත් කිරීමයි.

කෙසේ වෙතත් නීතිඥ ජගත් ලියන ආරච්චි විසින් සංගෘහිත "ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති" කෘතිය ජනමාධ්‍යකරුවන්ට කෙසේ වුවද ජනමාධ්‍ය විද්‍යාර්ථීන් හට විශේෂයෙන් වැදගත් කෘතියක් බව නම් සඳහන් කලයුතුය. එයට හේතුව සිංහලෙන් අධ්‍යාපනය ලබන ඔවුන් හට තම අධ්‍යයන කටයුතු සඳහා මෙවැනි කෘතීන් ශ්‍රී ලාංකික ග්‍රන්ථ ‍ක්ෂේත්‍රයේ විරල බැවිනි. නමුත් ජනමාධ්‍ය විෂය හදාරා ඔවුන් ආපසු වෘත්තීය ජීවිතයට වැටෙන්නේ ඒ න්‍යායන් කිසිවක් ක්‍රියාත්මක කලනොහැකි ශ්‍රී ලාංකික මාධ්‍ය මඩ ගොහොරුවට වීම බලවත්ම කණගාටුදායක තත්ත්වයයි.

කපිල එම්. ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails