Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඩෝසන් කියූ හැටියේම මුලින්ම අප අබියසටවිත් හිටගනුයේ ස්ථම්භයකි. කොලමීය කුළුණකි. ඩෝසන් කුළුණ යනු මෙයයි. කඩුගන්නාව මුදුනත සිට ඇඟ කිලිපොලා යන 'අර' පල්ලම දෙස අභීතව බලන් සිටිනා කුළුණ ය. "කොහොම මේ ප්‍රපාතයක් අයිනෙ පාරක් කැපුවද මන්ද?" කුළුණ හිතන්නේ ය. කුළුණක්ව සිටිනා, එසේ වුව සිතනා, කවුද ඒ ඩෝසන්? ‍ඔහු වනාහී ඉංජිනේරුවරයෙකි. "රාජකීය ඉන්ජිනේරු බලකාය"ට අයත් ව සිටි කැප්ටන් ඩෝසන්, "බ්‍රිටිෂ් - සිලොන්" ලෙස නම් ලත් දිවයිනේ පළමු මහාමාර්ගය වූ "කොළඹ - නුවර" පාර හැදිමට අනුයුක්ත කෙරුණ චරිතයකි. අවාසනාවකටදෝ පාර විවෘත කිරීමට පෙර ඔහු මිය ගියේ ය. නමුත් ඔහු කැපවුණු මිනිසකු බව දත් මිත්‍රයෝ මේ පාරේ එහා මෙහා යන අයට ඔහු මෙනෙහි කළ යුතු චරිතයක් බව තීන්දු කළහ. ඩෝසන් ස්ථම්භය යනු මෙයයි.

කැප්ටන් ඩෝසන් හදිසියේ මිය ගියේ කෙසේද? නයෙක් ගැසීමෙන්ද? බොහෝ දුරට උත්තරය, 'ඔව්'. ඔහු කොළඹ රැගෙන ආයේ නයි විස සමඟින්ද? එසේනම් ඔහු මිය ගියේ නයි විස සමගන්ද?

උත්තරය.....?

කෙසේ හෝ අවසානයේ ඩෝසන් පුන්රුප්පත්තිය ලබා තිබේ. ඩෝසන් ප්‍රීති නමිනි. ‘රෝහණයේ’ උපන් පුතෙකුට ඩෝසන් යනුවෙන් නම් තබන්නට තාත්තකුට හිතෙන්නේ ඉන්ජිනේරුකම මිටින් අරන් උපන් නිසා නොවේද? ඔහු අලුත් පාරක් හදන්නට මුල් වන බව දැනුණු නිසා නොවේද? නොඑසේ නම් ප්‍රීතීන්ගේ තාත්තා වහාම ඔහු ඩෝසන් යනුවෙන් නම් කළේ ඇයි? ඒ ඔහුගේ අනාගතය ගැන දැන සිටි බැවින් මිස අන් කවර හේතුවක් නිසාද? නමුත් මේ උතුම් තාත්තා නොදැන සිටි 'එක් සුවිශේෂ දෙයක්'තිබේ. ඒ ඔහු පුනුරුප්පත්තිය ලැබුවේ අර නයි විසද සමගින් බව ය. ඔහු තුළ නයි විස වූ බව කෙමෙන් පිටතට පෙනෙන්නට වූයේ ඔහු භාෂාව හරහා සමාජයට දෂ්ඨ කරන්නට වූ විටයි. මෙය මෙතෙක් කාටවත් කියවා ගත නොහැකි වුවාට මා මක් කරන්නද? මට එය ඔප්පු කළ හැකිය. ගන්න ඔහුගේ පළමු කවි පොත අතට. මොකද්ද නම? "මුචලින්ද තාප්පය". දැන් හරිද?

නමුත් මේ නයි විසෙන් මියගිය ඉන්ජිනේරුවා, නයි විස සමඟින්ම යළි උපතලබා ඇති බව අපට හරියටම දැනේනනේ 'ඔහු තම විස කැවු බස' අප හදවතට මුදා හැරිය නිෂ්චිතම නිමේෂය වන "හකාවති" හරහා බව මම ඔබට පවසමි.

මා එසේ කියන්නේ ඇයිදැයි මා පැහැදිය යුතු ය. සාධනය කර පෙන්විය යුතු ය. නොඑසේ නම් එය ප්‍රලාප ගනයට වැටේ. එවන් නන් දොඩවන්නෙකු දක්වා පිරිහෙළනු ලැබීමට මම නොකැමැත්තෙමි. ප්‍රලාප ඇදබා මිත්‍රද්‍රෝහියකු වීම නොමනා ය. තරම් නොවේ.

ඩෝසන්ගේ ප්‍රකටම කෙටිකතාව ලෙස මේතාක් සියල්ලන්ම සංවාදයට නතු කර ඇති "මිරැන්ඩා" ඇරඹෙන්නේ මෙලෙසිනි. පළමු ඡේදය ය.

"රතුපාට නිල්පාට කොරහැඩි දිලිසෙන සර්පයා සිය සියුම් දිගැටි දෙපෙති දිව "සුරුස්... සුරුස්" හඩින් පිඹිමින් ජනේලයේ මළකඩ කෑ යකඩ පොලු අතරින් කාමරයට සිය හිස ඇතුල් කරද්දී ගැබ්බර සඳලතා තවත් තම උදරය යහන් ගැබේ සුසුදු පලස මත සීරුවට බර කර නින්දේ පසු වූවා ය. රතු නිල් පැල්ලම් අතර රන්වන් කොරපොතු රටාවේ දිස්නයෙන් දිලිසෙන සර්ප බඳ කළු පාට ජනෙල් පොල්ලෙන් එතී පහලට චලනය වූයේ ඔරලෝසුවේ විනාඩි කටුවේ අත දෙකේ ඉලක්කම උඩින් සෙමෙන් ගමන් ගත් තරම් වේගයෙනි. සර්පයා සඳලතාගේ දෙකළවා යුගල අතරින් නොපෙනී යත්ම නිශ්ශංක මරළතෝනි දීගෙන ඇඳෙන් පනිද්දී මිරැන්ඩාගේ මන්නා පහර නිශ්ශංක සදහට නිශ්ශබ්ද කළ බැව් කිසිවෙකුත් නොදුටුවේය."

නිශ්ශංක දකිමින් සිටි සිහිනයේ රතු-කොළ කොරහැඩි දිළෙන සර්පයා ඇතුළු වන්නේ සඳලතාගේ කලවා අතරින් මිස මිරැන්ඩාගේ විප්ලවීය රතුපාට විප්ලවීය කලවා අතරින් නොවේ. එය එසේ වී නම් එළැඹෙන මොහොතේ මරණ දෙකක් සිදුවන්නේ නැත. සඳලතා ගැබ සැහැල්ලු කර ගන්නා මොහොතේදී එළියට ඒමට නියමිතව ඇති දෙදෙනෙක් මිරැන්ඩා තුළ සිටිති. එකකු දැරුවා ය. දෙවැන්නා නිල්- කොළ ලප සහිත සරුපයා ය. දෙනොම එළියට නෑවිත් ඇතැයි අපට හැඟේ. ඒත් සරුපයා? සඳලතාත්, නිශ්ශංකත්, දරුවාත් ලෝකයෙන් තොලොංජි වුවද නිල් - කොළ ලප සහිත, රන්වන් කොරපොතු ඇති සර්පයාත්, විප්ලවීය මිරැන්ඩාත් තවමත් හිඳී. මේ නම් කදිම කතාවක කදිම අවශේෂයකි. විෂ සහිත අවසානයකි. ඩෝසන්ගේ සර්ප විෂ ය.

සමස්ථ කෘතිය පුරා සාවධානව හිඳන්නේ මෙකී උගුරු කාරක චමත්කාරයයි. රමනීය වන්නේ 'වමනීය' වේදනාවයි. ඩෝසන් භාෂාමය කැටපත අල්ලන්නේ සමාජය වෙත යි. අප වෙත ප්‍රක්ෂේපණය වන්නේ සමාජමය යථාවයි. සමාජය කෘෘර වූවාට ඩෝසන් මක්කරන්නද? සමාජය පාදඩ වූවාට සාහිත්‍යකරුවා මක්කරන්නද? කාලකන්නිභාවය ලඹ දෙන අවාකාශයක, එය කෘතියකින් නිරූපනය වන්නේ නම් කෘතිය දැමිය හැක්කේ කවර ගොඩට ද? පැහැදිලි ය. ඩෝසන් ප්‍රීති ස්වකීය කෙටිකතා සමුච්චය හරහා සහෘදභාවය රිදවා ඇත. එකී හදවත් පාරා ඇත. එසේ සිදුකළ ලියන්නා ඈතක හිඳ අපට හිනාවෙමින් සිටී. අපට දැනෙන්නේ මාරාන්තික රිදවීමකි. ඒ මාරාන්තිකභාවයේ භාෂාත්මක වික්‍රමය සුවිශේෂි ලෙස පැන නඟින්නෙ "මාරාව" හරහා ය. කතා නම් මෙහෙමය කියන්නාක් මෙනි. එකිනෙකට සම්බන්ධ දේවල් එකිනෙකට වෙනස් උපැහැරණ ඔස්සේ අපට කියවන්නට සැලැස්වීම මාරාව කතාවේ තියෙන මාරාන්තික ශිල්ප දැක්විම ය.

"කැරකිලා යන්න ගත්තා ආකාහේ වළාපටි සේරම කෑදැත්තො තටු ගහපු වේගෙට. පයට පෑගුණු මඩ තල්ලි චිරි චිරි ගාලා ලෙස්සලා යැව්වා කකුල් දෙක පැද්දිලා දෙන්නට දෙන්න ආදාරකර ගෙන සමබර වුනා දුවද්දිම. පේමක්කා හීතලට හීතලවෙලා හිටියේ මට අතේ එතිච්ච මොහොතට දැනුණා අයිස්පලමක් වගේ හංදියේ කඬේ ශීත පෙට්ටියේ ඇසිරිච්ච. අඳුර ගලා ගෙන එන්නේ කුණාටුවක් වගේ ඉහ ඉද්දරින්"

ඩෝසන්ගේ සමස්ත කතා කලාව පැන නැඟෙන්නේ ‍ෆන්තාසුසීය (Phanthasus) පදනමකින් යැයි මම කියමි. ඔහු මායාමය සහ මිත්‍යාමය සිහින මවන්නකු වන්නේ ය. එසේ නමුත් වෛරීය දෑ කතා අධ්‍යාත්මය තුළ රෝපනය නොකරයි. නමුත් ඩෝසන්ගේ කතා කලාව ස්ථාපිත වන්නේ ඉකෙලොසීය (Ikelos) සන්ධර්භයක යැයි මම පවසමි. ඔහු සිහිනයන්ගෙන් නිමවන්නේ සත්‍යයයි. ඒ සිහින තාත්වික වන්නේ වෙයි. එබැවින්ම යථාව නිරූපනය කරන්නේ වෙයි. යථාව ඥානනය කරන්නේ වෙයි. මේ අනුව ඩෝසන් සිහින පිහිටුවනුයේ ෆ්‍රොයිඩියානු විශ්ලේෂණයට ප්‍රතිපක්ෂව බව මම පවසමි. සිහින දැකීම යනු ප්‍රාර්ථනා සඵල වීමකැයි ෆ්‍රොයිඩියානු අවකාශයේ විග්‍රහවෙතත්, මේ සිහින, ඒ සිහිනයන්ගෙන් වෙන්වන්නේ මේවා සිහින ආකෘතිය තුළ නිමවනා නිර්මාණකරුවකු සිටිනා බැවිනි. එබැවින් මේ නිර්මාණ සමුච්චය තුළ ප්‍රාර්ථනාවන් නැත. ඩෝසන් කැටපත අල්ලා පෙන්වනා ලංකාවේ සැබෑවටම පවතිනා මෙ බඳු ම්ලේච්ඡකර අවකාශයක් පතන්නේ එකී ගන්දස්සාරයම පැවැත්ම කරගත් මුග්ධ ධනේෂ්වරයේ දේශපාලක කූඨකයන් විනා නිර්මාණකරුවන් නොවේ.

කෙසේ හෝ කතා 13ක් එකම විග්‍රහයක තැබිය හැක්කේ කලාතුරකිනි. ඒ 'කලාතුර' ඩෝසන් අපට නිමවා දී ඇත. බොහෝ විට ඔහු 'කතාවෙහි වන සත්‍ය' නිමවන සිහිනය අරඹන්නේ ම එකී සිහිනයට බැරල් බෝම්බයක් හෙලා එය කුඩුපට්ටම් කරලන වැකියකිනි. ඡේදයකිනි. මෙබඳු ය.

"මට කවි පැටියෙක් හදා ගන්න ඕන!"

සුජාත පුත්‍රයන්ගේ වික්‍රමය පටන් ගන්නේ එහෙම ය. ඊළඟට.....? ඊළඟට මෙහෙම ය.

"කවියාගේ මව ගැස්සී බලා සිටිද්දීම ඇයව කරට උස්සා ගත් කවියාගේ පියා දංගොල්ලට එපිටින් වූ කුඩා වන රොදට ඇයව ඉමහත් වේගයෙන් රැගෙන ගියේය."

"බීට් රූට් ලේ" හිදී සිද්ධ වන්නේ කුමක්ද? එය පටන් ගන්නේ මෙන්න මෙහෙම ය.

"ඇය සියල්ලන් මවිතයට පත් කරමින් බීට් අල තැම්බූ වතුර රුධිර පාරවිලයනය සඳහා සාර්ථකව යොදා ගත්තෙන් ස්වර්ගය පෘථිවිය මතට පාත් වූයේ හදිසියේම ස්වර්ගයේ සිදු වූ බර වැඩි විමේ ප‍්‍රතිඵලයක් ලෙසටය යන්න සාක්ෂාත් වූයේ පෘථිවියෙන් අර්ධයක් ජනගහණය මාස තුනක් වැනි කෙටි කාලයක් තුල ස්වර්ගස්ථ වූයෙන් ස්වර්ග ලෝකයේ ගුරුත්ව කේන්ද්‍රය විතැන් වීමෙන් මේ අලකලංචිය සිදු වූ බව තහවුරු කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුවේ ඒකාබද්ධ පර්යේෂණයක ප‍්‍රතිඵලයක් ලෙසය."

ඊළඟට........ ?

"දිගින් දිගටම සිහින තුළ සහ අන්තර් සිහිනමය ප‍්‍රවෘත්ති විකාශය ඔස්සේ පියැවුනු දෙනෙත් පුළුල් තිර මත ප‍්‍රක්ෂේපණය වෙමින් පැවති මේ ස්වර්ග ලෝකයේ පෘථිවි පාතන ජවනිකාව බොඳව ගොස් දෙනෙත් තුළ අන්ධකාර ගුහාමය කළුවක් වැටුනේ ස්වර්ග ලෝකයෙන් ආ අපූරු තණකොල පෙත්තෙක් වැනි සුරංගනාවක් හදිසියේ චන්ද්‍රාණිගේ නහය මත වැසීමත් සමගමය."

කතා එකින් එක මෙසේ පෙන්වා දීමට හැකි ය. කුමටද? මා මෙහිදී ඔහුගේ නිර්මාණ අරභයා මතු කරන ප්‍රවාදය සාක්ෂාත් කරලීමට ඔහුම නිදසුන් සපයා දී ඇත. ඩෝසන් වනාහී අන්තිම හිතුවක්කාරයෙකි. ඉවසුම් විරහිත මිනිසෙකි. ඉදින් අප මේ කුමක් කීවද ඔහු තමන්ගේ නිර්මාණ කෙරෙහි වන නීති රීති පද්ධතියක් තෙමේම නිමවන්නේ යැයි හඬගා කියයි. දැන් ඉතින් කට උත්තර නැත. බලන්න! "මහා ජල පාතනය."

ඒ නොපෙනෙන සියල්ල විශ්වාස කරන්නා වූ ද පෙනෙන්නට තිබෙන සෑම දෙයක්ම අවිශ්වාස කරන්නා ද වූ මිනිසාගේ යුගයයි.

භාෂාවේ තර්ක ශාස්ත‍්‍රය ඉපදෙමින් සිටි සමයයි.

මේ අන් යුගයක් නොවේ. ඉක්ම යන මොහොතයි. ඔහු කොට්ට උරයක් සේ කනපිට ගසා පෙන්නවන යථාව ඥානනය කළ යුතු මේ නිමේෂයයි. මේ සියලුම කෙටි කතා ලෙනිනියානු ප්‍රවේශයකින් විග්‍රහ කළ හැකි වනුයේ එබැවිනි.

අවසානයේ මම මෙසේ කියමි. ඒත් හකාවති ගැන ය. හකාවති යනු අරාබි වචනයකි. දැන් ඒ වචනය සිංහලයට එකතු වී ඇත. එය සිංහලෙන් මකා දැමිය නොහැකි ලෙස ය. එය එකතු කරන ලද්දේ ඩෝසන් විසිනි. වචන නාස්ති කරනා භාෂාප්‍රේමින් සිටින අවකාශයක අලුත් වචනයක හෝ සම්ප්‍රදානයක් සහිතව සාහිත්‍යට එකතු වීම ම වැදගත් වැඩකි. ඩෝසන් එය සිදු කර ඇත. ඔහු අලුත් පාරක් හදන්නට මඟ එළි පෙහෙලි කර ඇත. ඔහු ව්‍යාජ විචාරක 'සර්පයන්ගේ' දෂ්ඨ කිරීම් වලින් ප්‍රවේශම් වී සාහිත්‍යයිකව මිය නොයන්නේ නම් ඒ පාර තැනෙනවා නියත ය.

-2014 ඔක්තෝබර් 25

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails