Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අනගාරික ධර්මපාලතුමාගේ ජීවිතය කැපවන්නේ සමාජය යහපත් කිරීමේ අරමුණින් කරන ලද අරගල නිසාය​. එසේම මේ අරගල හිංසනයෙන් සහ බලහත්කාරයන් තොරවීමත් අරගලය ස්වාර්ථය සඳහා යොදා නොගැනීමේ සාධකය නිසාත් කැපී පෙනෙයි. ධර්මපාලතුමා සමාජ අසධාරණයන් අත් විඳින්නේ පාසල් කාලයේදීමය​. වෙසක් දිනයේදී පාසල් නොගොස් ආගමික වතාවත් වල යෙදීම නිසා ඔහුව සාන්ත තෝමස් විද්‍යාලයෙන් නෙරපා දමයි. එය පාසල් දරුවෙකුගේ මූලික අයිතීන් උල්ලංඝනය කිරීමක් විය​. අද දිනයේ දියුණු සංස්කෘතියක් පවත්නා සෑම රටකම සිසුන් ගේ ආගමික දින සඳහා නිවාඩු ලබා ගත හැක. මෙම මූලික ළමා අයිතිවාසිකම පිලිබඳව හැඟීම් සහ පාසල විසින් තමාට අසාධාරනයක් කල බව ළමා දොන් ඩේවිඩ් හේවාවිතාරණ වටහා ගනියි. නමුත් එකල සමාජයට, පාසල් පරිපාලකයන්ට සහ අධ්‍යාපනවේදීන්ට මෙම මූලික ළමා අයිතිවාසිකම පිලිබඳව වැටහීමක් නොවීය​.

අනගාරික ධර්මපාල කොළඹ උසස් සහ ධනවත් ප්‍රභූ පවුලක සාමාජිකයෙකි. එම නිසා බටහිරට ලැදි කොළඹ උසස් සමාජය තුල ගැවසී එම සමාජයේ අඩුපාඩු දැකීමට ඔහුට හැකි විය​. ඔහු අතිථී භීතිකාව (xenophobia) හෙවත් විදේශිකයින්ට බිය සහ නුරුස්නා බව නිසා හෝ හීනතාමාන සංකීර්ණය නිසා හුදු බටහිර විරෝධියෙකු නොවුයේය​. ඔහු බටහිර ශිෂ්ටාචාරයේ උසස් සහ දියුණු අංගයන් අධ්‍යනය කලේය​. බටහිර ශිෂ්ටාචාරයේ දියුණුව රඳා පවතින අධ්‍යාපනික, තාක්‍ෂණික සහ සමාජ විනය ලංකාවේ ඇති කල යුතු බව විශ්වාස කලේය​. විදේශයන් වෙත ගොස් කර්මාන්ත ඉගෙන ගැනීමට ඔහු තම වියදමින් ශිෂ්‍යත්ව පවා දුන්නේය. අනගාරික ධර්මපාලතුමා විරුද්ධ වූයේත් විවේචනය කලේත් බටහිර සංස්කෘතියේ දියුණු හරය වෙනුවට එහි පහළ ස්ථර වල ඇති කුණු කසළ වැළඳ ගැනීමෙන් සිය ජාතික අනන්‍යතාව ක්‍ෂය කර ගැනීම පිලිබඳවය​.

අනගාරික ධර්මපාලතුමා ජාතිවාදියෙක් ද? ඔහු ලියූ ඇතැම් කවි සහ ලිපි මගින් අන්‍ය ජාතිකයන් විවේචනය කල බව ඇතැමෙකු පවසති. ඔහුගේ බස අද කාලයට සාපේක්‍ෂව කර්කශ වූවද එම කාලයේ අධ්‍යාපනයෙන් අඩු ග්‍රාමීය ජනතාව ආමන්ත්‍රණය කිරීමේදී යොදා ගත් සාමාන්‍ය ව්‍යවහාරයකි. අධ්‍යාපනයෙන් සහ සමාජ මට්ටමින් අඩු ජනතාවට ආමන්ත්‍රණය කිරීම සඳහා ඔහු සරල ග්‍රාම්‍ය භාෂාවක් යොදාගත්තේය​. නමුත් අනගාරික ධර්මපාල ජාතීන් අතර විස පැතිරූ ස්වාර්ථය සඳහා ජාතීන් අතර විරසක ඇති කල නායකයෙකු නොවීය​. ඇතැම් අවස්ථා වලදී දමිළ සහ මුස්ලිම් ජන වර්ගයන් තුල පොදුවේ තිබෙන ඇතැම් දියුණු ලක්‍ෂණ සිංහලයන් විසින් අනුගමනය කල යුතු බව ලිවීය​. රැකියා කර්මාන්තයේ නොයෙදෙන යන්තම් ජීවත් වීම සඳහා කය සොලවන, අනාගතයක් මෙන්ම දුවා දරුවන් ගැන නොසිතන නූගත්කමේ ගැලී සිට මත් පැන් පානයේ යෙදෙන පුද්ගලයන් ඔහුගේ නිර්දය විවේචනයට ලක් විය​.

ඔහු සිංහල පමණයි යන පටු අදූරදර්ශී ආත්මාර්ථකාමී සටන් පාඨය බැහැර කලේය​. එමගින් සිංහල දරුවන් සදාකාලික ග්‍රාම්‍ය නූගත්වයේ සහ​ බාහිර ලෝකයට විවෘත විය නොහැකි කොදෙව් මානසිකත්වයේ සිරකරුවන් වන බව පසක් කලේය​. ස්ව භාෂාව ප්‍රගුණ කොට විදේශ භාෂාද ඉගෙන ගත යුතු බව අනගාරික ධර්මපාලතුමා පෙන්වා දුන්නේය​. දියුණු සමෘධිමත් තාක්‍ෂණයෙන් උසස් ආධ්‍යාත්මික ස්වයං විනයක් සහිත සමාජයක් පවතින ලංකාවක් පිළිබඳව ඔහු සිහින දුටුවේය​.

අනගාරික ධර්මපාලතුමා බුදු දහම ගැඹුරින් හැදෑරීය​. 1893 දී චිකාගෝහි පැවති දෘෂ්ටි සම්මේලනයේදී එතුමා බුදුදහම පිලිබඳ හරවත් දේශනයක් කලේය​.එසේම​ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් වෙත​, බ්ලැවට්ස්කි මැතිණිය වෙත, හවායි හි ෆෝස්ටර් මැතිණිය වෙත​ යැවූ ලිපි වල බුදු දහම මෙන්ම අන්‍ය ආගම් පිලිබඳව අනගාරික ධර්මපාලතුමා සතුව පැවති විචක්‍ෂණ අනුභූතිය පෙනී යයි. බෞද්ධ අයිතිවාසිකම් ස්ථාපිත කොට බුද්ධගයාව බෞද්ධයන් සතු කර ගැනීමේ මහා ක්‍රියාදාමය පසුපස සිටියේ අනගාරික ධර්මපාලතුමාය​.

අනගාරික ධර්මපාලතුමා තද විවේචකයෙකි. ඔහු සත්‍ය දුටු තැන එය පෙන්වා දුන්නේය​. මහත්මා ගාන්ධි පවා අනගාරික ධර්මපාලතුමාගේ විවේචන වලට ලක් විය​. මේ නිසා ඇතැමෙකු අනගාරික ධර්මපාලතුමා අන්තවාදියෙකු ලෙස හඳුන්වා දෙමින් එතුමාගේ සමාජ විප්ලවය අඩපණ කිරීමට කටයුතු කලෝය​. මේ හේතුන් නිසා අවසාන සමයේදී කළකිරීමට පත් වූ එතුමා යළි ලංකාවට නොපැමිනෙන බවට ශපථ කලේය​.

අනගාරික ධර්මපාලතුමා විසින් ආරඹ්හ කරන ලද සමාජ සංකෘතික විප්ලවයේ අග්‍ර එල නෙලා ගත්තේ ආත්මර්ථකාමී දේශපාලකයන් විසිනි. දියුණු සමෘධිමත් තාක්‍ෂණයෙන් උසස් ආධ්‍යාත්මික ස්වයං විනයක් සහිත සමාජයක් පවතින ලංකාවක් බිහි කිරීමේ අනගාරික ධර්මපාලතුමා ගේ සිහිනය ඔවුන් විසින් පැහැර ගත්හ. ඒ වෙනුවට ජාතීන් ඇනකොටා ගන්නා සමාජ පසුගාමීත්වයෙන් සපිරි විනයක් නොමැති ලංකාවක් ඔවුන් නිර්මාණය කලහ​.

අනගාරික ධර්මපාලතුමාට කල හැකි උසස්ම බහුමානය වන්නේ වාර්ෂිකව එතුමාගේ පිළිරුවට මල් මාළා පැලඳවීම හෝ ගුණකථන පැවැත්වීම නොව එතුමා දුටු සිහිනය සැබෑ කරවීම සඳහා පියවර ගැනීමයි.

නමුත් ඒ සඳහා ලාංකික සමාජය සූදානම් ද?

රුවන් එම්. ජයතුංග



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails