Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කවිය වනාහී විවරණයන් කෙරෙහි වන ස්ථාපිත කොන්දේසි යටතේ, කාව්‍යමය සත්‍යය හාකාව්‍යමය සුන්දරත්වය මගින් ජීවිතය පිළිබඳ කෙරෙන විවරණයක් බව "වික්ටෝරියනු අවකාශයක" වුව මැතිව් ආර්නොල්ඩ් නම් වූ විශිෂ්ඨ ඉංග්‍රීසි කවියා ස්වකීය "කාව්‍ය අධ්‍යනය" නම් රචනාව හරහා ප්‍රකාශ කළේ ය. ඒ 1880 තරම් ඈතක ය. එකල්හි ශ්‍රී ලාංකියෝ ඔවුන් යටතේ ම විජිතවාසී වුහ. සන්දර්භය කෙසේ වෙතත් අදත් ඔහුගේ විවරණය ඕනෑම කාව්‍ය වපසරියකට ආදේශ කළ හැකි වන්නේ වෙයි. කවීහු එබඳු වන්නාහ. පහල වන සමාජ සන්දර්භය සමතික්‍රමණය කරන්නාහ. සනාතන සත්‍යය ම හා ගැට ගැසෙන්නාහ. ඒ අද්‍යතන සත්‍යය තුළිනි. එබැවින් සියල්ල කෙසේ වතුදු ඔවුහු පවත්නා සමාජ සන්දර්භය ග්‍රහණය කිරීමෙන් නොනැවතී එය විවරණ කිරීම තෙක් වන කාව්‍යමය ක්‍රියාවලියක නිරතවන්නා හ.

"ඔබට අනුව කවිය කියන්නේ මොකද්ද?" වරක් මගෙන් අති නූතන ම කවියකු විමසී ය.

"මොකක් වුණත් කමක් නෑ, එතන කවිය තියෙන්න ඕනෙ." මම පිළිතුර දුනිමි. ඔහු මඳක් වික්ෂිප්ත වූවා වැන්න. ඒත් ඒ වික්ෂිප්තයේ සංක්ෂිප්තය මෙබඳු ය.

තාරකා ගැන ලියන්නට සිතෙන විට
සින්ඩරෙල්ලාගේ අනිත් සපත්තුව
පොදු මිනී වළක
තෙත බරිත පස් අතරින්
මතු විය.


-අජිත් සී. හේරත්
(වික්ෂිප්ත සංක්ෂිප්තය)

මගේ තර්කයේ පදනම අජිත් සී. හේරත්ගේ මෙකී කවිය මැතිව් ආර්නෝල්ඩ්ගේ විග්‍රහය මත තබා බැලීමෙන් කියවා ගත හැකි ය. කවිය කවියක් වන්නේ ද නැද්ද යන්න විග්‍රහ කළ හැකි වන නිර්ණායක උපුටා ගනු හැකි වන්නේ කවිය විසින් උත්පාදනය කෙරෙන කාව්‍යමයසත්‍යය හා කාව්‍යමය සුන්දරත්වය, ජීවිතය මත තබා කෙරෙන විවරණයකිනි.

ඉදින් ජයසිරි අලවත්ත විසින් වින්දනීය විමර්ශනයක බඳුන් කරනු ලැබීමට තැත්කෙරෙන 'මකරන්ද' කවිමුළුවේ සංගෘහිත පිටු අතර මුළුදුන් සුවිශේෂ නිර්මාණ කිහිපයක් ගැන ඔහු ගනු ලබන ප්‍රවේශය ගැන සංක්ෂිප්තකර ලෙස හෝ විභාග කිරීම අර්ථසම්පන්න දිශානතියක් ගත යුතු වන්නේ එහි අධ්‍යාශය පිරිසිඳ දැනගනු පිණිස ය.

පොදුවේ සාහිත්‍යට ඇති පීඩනය එයාකාරව ම පැවතියේ වුව, කවිය එවන් සාහිත්‍යයික වපසරියෙන් පවා තලා පිටමං කිරීමට සමාජයක් සේ එක්ව ක්‍රියා කරන සන්දර්භයක අඛණ්ඩව කවි ලිවීමට හිත හදා ගැනීම ම ක්‍රම විරෝධි ප්‍රතිචාරයකි. එකව් විවරණයෙහි ලා උත්සුක වීම ම කවියෙහි එන අරුත් සමාජය මත අවුළුවාලීමට ධෛර්යය ලබා දීමෙකි. නමුත් අධ්‍යාශය තුළ එහි විලෝමය වුව දක්නට ලැබෙන අවස්ථා එමට ය. අවිචාරි ලෙස ගුරුකුල නඩත්තුවට යාමෙන් හා අන් සමාජ ප්‍රාග්ධනය තමන්ගේ ගිණුම්වලට හුවමාරු කර ගැනීමට යාමෙන් එවන් ව්‍යසනයන් සිද්ධවන බව මගේ පුද්ගලික මතය යි. ජයසිරි අලවත්ත වෙන් වන්නේ එතැනිනි. ඔහු කිසිඳු ගුරුකුලයක නැතුවා මෙන්ම මෙහිදී ප්‍රස්තුත කරගන්නේ මහා නාමකායන් නොවේ. ඔහු මහා කාව්‍ය නාමකායන් විමසා එකී සමාජ ප්‍රාග්ධනයෙන් කොටස් අතපත් කරගන්නට මාන බලන්නේ නැත. ඒ ඔහුටම එවන් නාමකායක් ඇති බැවිනි. ඔහු මෙතැන්හි එය කවිය අවුළුවාලනු පිණිස තෙමේ ම ආයෝජනය කරයි. ඔහු අධ්‍යශයික වශයෙන් කවියේ සහෘදයකු වන්නේ ද, කවිය විසින් ඉල්ලා සිටිනු ලබන සමාජ විශ්ලේෂණයේ සක්‍රීය හවුල් කරුවකු වන්නේ ද මෙවන් සාධක නිසා ය.

ජයසිරි අලවත්තගේ සහෘද කියවීමට ලක්වන කාව්‍යාවලිය ඒකරාශී වන 'මකරන්ද'යෙහි නිර්මෘතෘ තිඹිරියාගම බණ්ඩාර මෙසේ පවසයි.

"කාව්‍ය නිර්මාණය වගේ ම රස වින්දනය ඉහළ මට්ටමක පවතින බව පෙනෙන්නට තියෙනවා. විශේෂයෙන් ම මා දකින්නේ අපේ නිදහස් කවිය තාරුණ්‍යයට පත්වී ඇති බවයි. අලුතින් කාව්‍යකරණයට පිවිසි නවකයන් බොහෝ දෙනෙක් සිටිනවා. ඔවුන් අතරින් ඉතාමත් උසස් නිර්මාණ බිහිවෙනවා. ප්‍රස්තුථ ගවේෂණය, ඉදිරිපත් කිරීම හා භාෂා ප්‍රයෝග භාවිතය ඉතාමත් මුවහත් ආකාරයෙන් ඔවුන් භාවිත කරනවා."

(-සිළුමිණ- පුන්කලස- 2012 ජනවරි 15)

තිඹිරිගේ මේ ප්‍රකාශයෙන් සමාජ සන්දර්භය කුමක් වුව කාව්‍ය නිර්මාණකරණය කෙබඳු ස්වරූපයක් ගෙන ඇද්ද යන්නත්, ඒවා විඳ ගැනීම කෙබඳු ස්වරූපයක් ගෙන ඇද්ද යන්නත් එකවිට කියැවෙයි. ජයසිරිගේ ‘මකරන්ද කාව්‍ය විමංසා’කෘතිය යනු ඒ දෙක එක්තැන් කළ නිෂ්චිත මොහොතයි. ඒත් එහි සාරර්ථ ගවේෂණයට පෙර එහි ඓතිහාසික සන්දර්භය දෙසට එක් මො‍හොතක හෝ ආලෝක ධාරාවක් එල්ලකර බැලීම සාධනීය නොවන්නේද?

අපමණක් පොත් කියවෙමින්, සුවිශාල පුද්ගලික පුස්තකාලයක් නඩත්තු කළ ජේ. ආර්. ජයවර්ධන ශ්‍රීමතාණන් සාහිත්‍යය, සාමුහික විඥානයෙන් බැහැර කරලීමට සවිඥානක වන්නේ තමන් ස්ථාපිත කළ විකෘති දේශපාලන අර්ථ ක්‍රමය නඩත්තු කරලන්නට හැකි බරපතල වුවමනාවක් කාව්‍ය කේන්ද්‍රකරගත් සාහිත්‍ය ව්‍යාපාරය තුළ සැඟවි ඇති බව ප්‍රත්‍යක්ෂ වශයෙන් ම දන්නා නිසා ය. තත්කාලීන සමාජ දේහය අනායාසයෙන් නිරීක්ෂණය කරමින් පමණක්, එකී දැනුවත් ප්‍රවේශයේ ප්‍රතිඵල දැක්ක හැකිය.

එරික් ඉලයප්ආරච්චි නම් වන කෘතහස්ත කවියා සහ විචාරකයා මහගම සේකර අරභයා නඟන "එෆ්. එම්. සංස්කෘතිය ඇරැඹෙන්නේ මහගමසේකර ගෙනි" නම් වන ප්‍රවාදය පහසුවෙන් බැහැර කළ නොහැක්කේ මෙම දේශපාලන සන්දර්භය එක් පුද්ගලයකු හරහා ක්‍රියාත්මක වුවත් ඊට විවිධාකාර අනුමැති හා අනුග්‍රහ ලබා ඇති සියල්ලන් ම අඩුවැඩි වශයෙන් වුව සක්‍රීය ලෙස ඊට දායක වන බැවිනි.

ඒ අනුව ගීතය යනු එක් ප්‍රබල කොන්ත්‍රාත්කාර මාධ්‍යක් බව පැහැදිලි කර ගත යුතු ය. ඊට සක්‍රියව දායකවීම හරහා අප දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු කරන්නෙ ජේ. ආර්. ගේ මතවාදය පෝෂණය කිරීමට උදව් කිරීම බව අපැහැදිලි නැත. කවිය සතු සියලු ඉසියුම්කම් සියල්ලම පැහැරගෙන ගොස් සංගීතමය ආකෘතියක බහා සියල් ඉසියුම්කම් සෙත්තපෝච්චි කරලීම මෙකී කොන්ත්‍රාත්තුවට අදාළව අප අත්දකින යථාර්ථයයි. තමන් විසින්ම ස්ථාපනය කරන්නට ජීවිත කාලයක බුද්ධිමය ශ්‍රමය වැගිරූ සමානාත්මතාව, නිදහස ආදී පොදු සමාජ සාරාර්ථ එක් නිශ්චිත මොහොතකින් අවසන්කර දැමීමට ගීතයට හැකියාව ඇත. ඒ වනාහී ඒ මාධ්‍ය සතු අනන්‍යතාවයයි. නමුත් කවියට එසේ විය නොහැකි ය. මන්දයත්, කවිය නිමැවුම මෙන්ම එය විඳ දරාගැනිමද ස්වභාවයෙන්ම ‘ඉවසීම’ නම් වන ව්‍යූහය තුළ පීඩනය එක්රැස්කර ගන්නා වූ බැවිනි.

එබැවින්, භාෂාවේ ඉසියුම් ම ප්‍රකාශනය කවිය වන්නේ නම් කවිය රැක ගැනීමට මාරාන්තික අරගල කළ යුතු නොවන්නේද? සිංහලය ගැන පෘථිවි තලය ම හෙළවෙන්නට කෑකෝ ගසන සිංහල දේශප්‍රේමීන් කවිය ගැන මාරාන්තික නිහඬතාවක ගැලෙන්නෙ ඇයි? ඒ ඉසියුම්කම හා සමාන්තරව හට ගන්නා තවත් දෙයක් ඇත. ඒ වනාහි සමාජ විවරණයයි. භාෂාව ඉසියුම් ලෙස විනිවිද යාහැකි අය සමාජය විනිවිද දැකීමට සමත් ය.

ජයසිරි අලවත්ත මේ සහෘද විවච්ඡේදනයට හසුකර ඇති කාව්‍ය සමුච්චය පමණක්ම වුව නිදසුන්කොට ගතහොත් මා නගන ප්‍රවාදය පැහැදිලි වනු ඇති. ඔහු පද ලිහා බැලීමෙහි අතරතුර තමා අනුදත් සමාජ විවරණය මත, ඒ කවි පද ගට ගටා අන් අරුත් උත්පාද කරයි. මැතිව් ආර්නෝල්ඩ්, කවිය අරභයා කී දෑ සිද්ධ වන්නේ එහිදී ය. විවරණයන් කෙරෙහි වන ස්ථාපිත කොන්දේසි, තත්කාලින සමාජ සන්දර්භය තුළ තබා විමසීමෙන් පමණක්ම එහි අරුත් අවුළුවාලන්නට හැකි බව අලවත්ත දනී.

නිදසුනක් අරගනිමු.

සමිත බී. අටුවබැන්දෑල නම් විශිෂ්ට නිමැවුම්කරුවාගේ "මී පෙම" අරභයා ජයසිරි අලවත්ත අප අල්ලා සොලවන හැටි විමසන්න.

"විවෘත ආර්ථිකයට පෙර නගරාසන්න පීඩිත ජනයා කුණු බක්කි අවුස්සා කෑම සොයද්දී විරුද්ධ පක්‍ෂය හඬ තැලුවේ එබඳු වටපිටාවන් දූරින්භූත කරන බවට සපථ කරමිනි. එහෙත් ඔවුන් මතු නොව වර්තමාන ආසියාවේ ආශ්චර්යයට ද එය ක‍්‍රියාවෙන් ඔප්පු කිරීමට නොහැකි වී ඇත. වර්තමානයේ ද නගරාසන්නයේ පමණක් නොව ග‍්‍රාමිය පෙදෙස්වල පවා නිවසක බැලමෙහෙවර කොට සිය; ආච්චි, මව, පියා, සොයුරිය හෝ සොයුරා රැගෙන එන ඉඳුල් පත බුදින්නට බලා සිටින දරුවන් කොපමණ සිටිත් ද?"

තව එකම එක නිදසුනක් පමණක් ගෙන හැරපානුයේ සෙස්ස, ඔහුගේ සමාජ කියවීම, මේ සියලු කවි විවරණය කෙරන පිටු අතරින් සියුම් හුයක් ලෙස ගලා යන බැව් ඔබටම අත්දකිනු පිණිසය.

ධර්මසිරි බෙනඩික්ට් උද්වේගකර කවියාගේ ‘සංවාදයට විවෘතයි’ කවියේ ප්‍රස්තුතය අරභයා අලවත්ත මෙසේ කියයි.

"ආගම බෞද්ධ වුව ද භාවිතය බෞද්ධ නොවන සමාජයක සිය මව සහ පියාගේ රෝගි භාවය හේතුකොට ගෙන කාලයක් පුරා තමන් වෙත ආදරය කළ තරුණිය තමා හැරයාම පිළිබඳ ශෝකාලාපයක් මෙම නිර්මාණයට ප‍්‍රස්තුත වී ඇත."

මැතිව් ආර්නොල්ඩ්ගේ ප්‍රවිශ්ටය ජයසිරි අලවත්තගේ ව්‍යායාමය හා සමපාත වන්නේ කෙසේද යන්න විමසා බලන්නට නොහැකි කිසිවකු හෝ වේ නම් කවිය අරභයා නූතන ම කියවීමක නිරත වන්නට අපට ඇරියුම් කරන ටෙරී ඊගල්ටන් විවර කරන දොරටුවෙන් ඊට ඇතුළු විය හැකි ය.

ටෙරී ඊගල්ටන් ඔහුගේ 'කවියක් කියවාගනුයේ කෙසේද? ' යන කෘතියේ මෙසේ පවසයි.

"කවියකින් කියැවෙන අවකාශමය රූපකය හැර, ඇතැම් විට එහි භාෂාව පිටුපස ඇති අදහස්උළුප්පාගැනීම පිළිබඳ කතා කිරීම නොමඟ යවන සුළුයි. භාෂාව වනාහි, සිතුවිලි ඔතා ඇති, ඉවත දැමිය හැකි සෙලෝෆේන් කඩදාසියක් වැනි යමක් නොවේ. කවියක භාෂාව වන්නේ එහි අදහස්වල ම පද යෝජනය නැතහොත් අන්වය යි."

පළමුව, ජයසිරි අලවත්ත කවියෙන් නො කවිය වෙන්කර ගැනීමට සමත් ය. දෙවැන්න, ඔහු කවියෙන් කවිය ලිහා පෙන්වන්නේ කවිය අරභයා ඊගල්ටන් සමඟ සමපාත කළ හැකි සන්දර්භයීය අවකාශයයි. කුමන තත්වයක් තුළ වුව කවිය කුසුමක් ලෙස ගතහොත් ජයසිරිගේ ප්‍රවිශ්ටය 'මකරන්දය' විනිවිඳිනු පිණිස ය. කිසිඳු සැකයන් නැත, එය සාධනීය වන්නේ වෙයි.

ඉදින් මම ඊගල්ටන් හරහා ගොසින් මේ කවි විවරණය නොකරමි. ජයසිරි අලවත්ත නම් වන සාහිත්‍යයික සහෘදයා එය සිදු කරනා බැවිනි.

-2014 ජූලි 29

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails