Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"කාටවත් කියන්නෑ කියල පොරොන්දු වෙන්න. රණ්ඩු අල්ලන් නෑ කියල පොරොන්දු වෙන්න." රිද්මිකා ගෙ කට හඬ දුකට බරවෙලා මට ඇහුණා.

අපි ආදරේ කරන්න පටන් අරන් ටික කාලෙක ඉඳන් අපි අතරෙ ගොඩක් ප්‍රශ්ණ ඇති වුනා. සීයට අනූනවයක් ප්‍රශ්ණ වලට වැරදි කාරයා මම. රිද්මිකා පුදුම ඉවසීමක් ඉවසුවා. හැම වැරැද්දක්ම අවසානේ මම වැරැද්ද පිළි අරං ආයි එහෙම කරන්නෑ කියල පොරොන්දු වෙනවා. ඒත් ඒකම ආයිත් මගේ අතින් කෙරෙනවා. ඒ හැම වැරැද්දක්ම අපේ සම්බන්ධෙ කැඩෙන්න තරම් දුර ගිය ගිය ඒව උනත් රිද්මිකාගේ ඉවසීම නිසා එහෙම වුණේ නෑ. ගොඩක් වෙලාවට මගේ හිතල මතල වැඩ නොකරන ගතිය නිසා ප්‍රශ්ණ ඇතිවුණා කියලා මම පිළිගන්නවා. ඒ නිසා එයාට බය ඇති මගෙත් එක්ක ප්‍රශ්නයක් කතා කරන්න. මම රණ්ඩු කරයි කියල.

"කියන්න. මං ඉස්සරට වැඩිය හොඳ කෙනෙක් කියල තාම ඔයාට තේරෙන් නැද්ද?" මම ඇහුවා.

"අපේ අම්මට ඔයාලගෙ පැත්තෙ කෙනෙක් කියල තියෙනවා ඔයාගෙ අසනීපෙ ගැන. ඒක ගොඩක් විශ්වාස වන්ත ආරංචියක් විදියට අම්ම හිතන්නෙ." එයා කිව්වා.

අ... ස... නී...පෙ... රුධිරය... කැටි... නො...ගැසීම.... හිමෝෆීලියා....... මගේ ඔලුව ඇතුලෙ දෝංකාර දෙන්න ගත්තා. කවද හරි මේ අසනීපෙ මට රිද්මිකාව අහිමි කරන බව හැම රෑකම ගැස්සිලා ඇහැරවන නොනවතින හීන වැල කාලෙක ඉඳං මට කිව්වා.

මම කවදාවත් මගේ අසනීපෙ ගැන රිද්මිකාට බොරුවක් කිව්වෙ නැත්තෙ මම එයාට ගොඩක් ආදරේ කරපු නිසයි. මම සම්බන්ධකම් පවත්තපු ගෑනුන්ගෙ ඉඳං අන්තිමට ගිය කිඹුහුම දක්වාම මම එයාට කියල ඇති. එයත් කවදාවත් එයාගෙ ජීවිත කතාවෙ මට ගවේෂණය කරල හොයාගන්න තරම් දෙයක් ඉතුරු නොකරම මට කියල තිබුණා.

"ඔයාගෙ ලේ කැටි ගැහෙන්නෙ හරිම අඩුවෙන්. ඔයාට තුවාලයක් උනොත් නොනවත්වා ලේ ගලන රෝගයක් තියෙනවා. ඒකට කියන්නෙ හිමෝෆීලියා කියල." දැන් කාලෙකට ඉස්සර බස් එකට නගින්න යද්දි ෆුට් බෝඩ් එකේ ඇනේකට අහුවෙලා කකුල තුවාල වෙලා ඉස්පිරිතාලෙ ගියාම ඩොක්ටර් කිව්වෙ එහෙම. ඉස්පිරිතාලෙට යද්දි මට සිහිය තිබිලත් නෑ. සිහිය ආවෙ දවස් ගාණකින් පස්සෙ. ලේ හුඟක් ගිහිං ඒ පොඩි තුවාලෙට.

පුංචි කාලෙ ඉස්කෝලෙ යද්දි ක්‍රිකට් සෙල්ලම් කරද්දි වැටිලා ඔය විදියටම තුවාල උනා. එදත් ගොඩක් ලේ ගියා. ඒ විදියටම තව පාරක් සරඹ පීරියඩ් එකේදි තුවාල උනා. ඩොක්ටර්ස්ල අම්මලට කියල තිබුනා මගේ ලේ කැටි නොගැසෙන බව. ඒත් මගෙන් බිහිවෙන දරුවෙක්ටත් මේ ලෙඩේ යන බව මං දැනං හිටියෙ නෑ. මේ පාර හොස්පිටල් එකේදි මං ඒ ගැන ඩොක්ටර්ගෙන් ඇහුවම ඩොක්ටර් එහෙම වෙනවා කිව්ව වෙලාවෙ වාට්ටුව කැරකුණා. මම එහෙම්ම ඇස් දෙක පියා ගත්තා.

අනික් කෙල්ලෝ වගේ ඒ මොහොත ගැන විතරක් කතා කරන කෙල්ලෙක් නෙවෙයි රිද්මිකා. එයාට ලස්සන පවුල් ජීවිතයක් ගැන හීනයක් තිබුනා. එයා ළමයින්ට ගොඩක් ආස කරා. අපි නිතරම අපේ ළමයෙක්ගෙ හුරතල් වැඩ ගැන කතා කරා. ඒත් ඒ හීනෙට දැන් සමුදෙන්න වෙලා. මට තාත්ත කෙනෙක් වෙන්න බැරි බව දැන ගත්තම එයාට මාව එපා වෙයි. ඒත් මං ඇත්තම එයාට කිව්වා.

"ඔයාට තාත්ත කෙනෙක් වෙන්න බැරි උනා කියල මං ඔයාව දාල යයි කියල හිතුවද? එහෙම වෙන් නෑ කවදාවත්. අපිට බබාල ඕනෙ නෑ. අපි හැමදාම සතුටින් ඉමු." රිද්මිකා කිව්වා.

ටික කාලයක් යද්දි මට තේරුණා එයා මට නොකිය මේ ප්‍රශ්ණෙන් විඳවනවා කියලා. පොඩි ළමයෙක් දැක්කොත් ටික වෙලාවක් යනකං එයා ගෙ මූණෙ ඇතිවෙන වෙනස මට හොඳට පේන්න ගත්තා.

"අපි නළ බබෙක් හදමු" ආයෙ දවසක එයා කිව්වා. එයා දරුවෙක්ට ගොඩක් ආස බව මට ඒ කතාවෙන් තේරුනා. වෙන පිරිමියෙක්ගෙ ජානයක් මගේ දරුවෙක් විදියට උස් මහත් කරගන්න, මම එතකොට මගේ යටි හිතටම පොරොන්දු වෙලා හිටියෙ. "මම නළ බබෙක් හදනව කියල අම්මට කිව්වා." ආයෙත් දවසක් එයා කිව්වම අම්ම මොකද කිව්වෙ කියල මම ඇහුවා. අම්මා සද්ද නොකර හිටපු බවත් හොඳ නිරෝගී කෙනෙක්ගෙ ජාන වලින් ළමයෙක් හදාගන්න තාක්ෂණේ අද දියුණුයි නේද කියල අම්ම කිව්ව බව රිද්මිකා එවෙලෙ හිනාවෙලා කිව්ව.

ඔය අතරෙ රට ගිහිං හිටපු රිද්මිකාගෙ අයියත් ගෙදර ආවා. අයියගේ විරෝධෙත් රිද්මිකාට ගොඩක් දැනෙන්න පටන් අරං තිබුණා. එහෙං මෙහෙං එන කේලම් එයාගෙ ගෙදර ගින්දර ඇවිළුවා. මුලදි මට ගොඩක් ආදරෙන් හිටපු රිද්මිකාගෙ අම්මා පස්සෙ පස්සෙ ගොඩක් වෙනස් වෙන්න ගත්තා. පොඩි තුවාලයක් උනත් නොනවත්වා ලේ ගලන, පරම්පරාවක් බෝකරන්න බැරි මිනිහෙක්ට දුවෙක් දෙන්න අම්මෙක් කැමති වෙන එකක් නෑ.

"අපේ අම්ම මට හරියට එක එක ඒවා කියනවා. ඔයගොල්ලෝ මුලින්ම අපේ ගෙදර ආපු දවසේ ඔයාලගෙ අම්ම කියපු ආඩම්බර කතාවලට තාම අපේ අම්ම මට බනිනවා. එදා අපේ අම්මල ඉවසං හිටියට අද වෙනකොට ඔයාගෙ අසනීපෙත් එක්ක අපේ අම්මල හුඟක් වෙනස් වෙලා" රිද්මිකා කිව්ව.

"ඇයි ඉස්සර වැරදි වලට දැනුත් බනින්නෙ. එහෙම වෛරයක් හිතේ තියාගෙන කොහොමද ගෙවල් දෙකේ අය සතුටින් ඉන්නෙ?" මං ඇහුවා.

"දැං ඒවා කතාකරල වැඩක් නෑ. කෑම කන වෙලාවට වෑංජනයක් රස නැහැ කිව්වත් අම්ම මට බනිනවා, ලෙඩෙක් හොයා ගත්ත නං උගෙ ගෙදර ගිහිං කාහං. දැන් උඹ අපි ඔක්කොම කාල තියෙන්නෙ කියල." රිද්මිකා කිව්ව.

මේ අසනීපෙට වියදං කරල මමත් මගේ ගෙදර අයත් දැං ගොඩක්ම පහළට වැටිල ඉවරයි. හැබැයි මට තිබුන කාලෙ ළඟ හිටපු හුඟක් අය දැං මගේ ළඟ නෑ. මම ජීවිතේ තේරුම් අරං ඉවරයි. උදව් ගන්න කොට හිනා වෙලා ඇවිත් පණ දෙන්න කතා කරපු අය දැන් කොහේද දන්නෑ.

ඒත් මට රිද්මිකාගෙ වෙනස දරා ගන්න බෑ. එයා මේ අසනීපෙන් පස්සෙත් මාව ගොඩක් කල් ආදරෙන් බලා ගත්තා. එයාගෙ අම්මගෙ කතා වැරදියි කිව්වම එයාට කේන්ති ගියා මගෙත් එක්ක රණ්ඩු උනා. ඔයා රණ්ඩු වෙන්න ඕනෙ මං එක්ක නෙවෙයි අපේ ආදරේ බිඳවන්න හදන අයත් එක්ක නේද කියල මං ඇහුව. ඒත් ඒ වෙද්දිත් එයාගෙ හිත ගොඩක් වෙනස් වෙලා තිබුනෙ.

"ලෙඩෙක් එක්ක ජීවත් වෙලා මගේ ජීවිතේ අඳුරු කරගන්න බෑ" අන්තිමට එයා කිව්ව.

කමක් නෑ රිද්මි ඔයා යන්න. අම්මලා කැමති තැනක ඔයා සතුටින් ඉන්න. දවසක මේ ලෙඩේ හන්දා, ලේ ගිහිං වැඩි කමට මාව මැරිල යයි. එන ආත්මෙක නිරෝගී මිනිහෙක් වෙලා මං ඔයාව හොයා ගෙන එන්නම් ආදරෙත් අරං. මම ඉස්සර ඔයාට ගොඩක් වැරදි කරන්න ඇති. ඒත් මං ඒ හැම වැරැද්දක්ම හදා ගෙන හොඳ මිනිහෙක් වෙලා හිටියෙ. ඔයා මට ලෙඩෙක් කියල කිව්වම මම ඔයාට උඹ කියල බැන්නෙ ඔයාට උඹ කියලවත් බනින් නෑ කියල උනු පොරොන්දුව අමතක කරල නෙවෙයි. මට ඔයා ගෙ වචන කිණිසි පාරවල් උනු නිසා. අදටත් මට නැගිට ගන්න බෑ, වැටුණු තැනින්.

මේ දැන් ආදරෙන් ඉන්න ඔයා එක පාරට අම්ම බැන්නම, අම්මගෙ වචන අහං ඉන්න බෑ කියල මං එක්ක රණ්ඩු වෙලා හරියනවද රිද්මි? ලෙඩෙක් උනත් මට නිරෝගී හදවතක් තියෙනවා. හදවතට බොරු කරල ජීවත් වෙන්න මට බෑ, මට මාවම රවට්ට ගන්න බෑ. ඔයාගෙ අම්මට ඔයාව වටිනවා. මාව තව ටික දවසක් ජීවත් කරවන්න අපේ අම්මල හීන දකිනවා. ඔයා තමයි මට මගේ ජීවිතේ දෙවෙනි අම්ම. අම්මෙක්ගෙ ආදරේ තරම්ම ආදරයක් මට දීල, මෙච්චර කල් මං වෙනුවෙන් බලං ඉඳපු ඔයාට මම කොහොමද සමුදෙන්නෙ රිද්මි?

හිමෝෆීලියා කියන්නෙ මාව හොයාගෙන එන දෙව් දුවක් නෙවෙයි. හිමෝෆීලියා කියන්නේ මගේ ආශ්වාස වාතය ගින්නකට පරිවර්තනය කරල ප්‍රශ්වාස කරවන, රිද්මිගෙන් පස්සෙ ස්වභාවධර්මය මවපු ආදරණීයම නිර්මාණය කියල හිතාගෙන මම තුවාල කැළල දිහා බැලුවා.

අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails