Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



‘‘මා එම කාලය පුරාවට හැසිරුණේ සුරංගනා කතාවක චරිතයක් මෙනි. එකෝමත් එක කාලයක කුඩා ගෑණු ළමයෙක් ජීවත් විය. ඇය රැඟුම් පෑමට ආශා කළාය. ඒවා හදන මිනිසුන් ඇත්තේ ඇය ජීවත් වූ ගම්මානයෙන් බොහෝ දුර බැහැරකය. ඇය ඇගේ දෙමාපියන් අතහැර ඔවුන් සොයා ගැනීමට තනිව ගියාය. ඔවුන් සිටියේ විශාල ගල්දොරවල්වලින් වසන ලද විශාල මාලිගාවල ය. ඔවුන් සිටින තැන දන්නා මිනිසුන් ඔවුන් සිටින තැන පෙන්නීමට ඇගෙන් විශාල මුදලක් ඉල්ලුවෝය. එක් අයෙක් ඇගේ ලේ ඉල්ලුවේය. ඇය එය දුන්නාය. තවත් අයෙක් ඇගේ පෙනහැල්ලක් ඉල්ලුවේය. තවත් අයෙක් ඇගේ වකුගඩුවක් ඉල්ලුවේය. දැන් ඇයට යා ගත නොහැකිය. ඇය ක්ලාන්තව ඇද වැටුණාය. එහෙත් නැවතත් ඇය නැගිට්ටාය. කතාව තවම නිමි නැත. ඒ ඇය තවමත් ගමනේ සිටින නිසාය. ඇගේ කතාවේ ඉතිරි ටික මම තවම කියවා අවසාන නැත. එහි අවසානය මා කියවූ අන් ඕනෑම සුරංගනා කතාවක මෙන් සුන්දර අවසානයකට ළඟා වෙනු නොඅනුමාන ය."
- 'දියෝනිස් දෙවොල පාමුල සිට' - පිටුව 84

ඈ දියෝනිස් දෙවොල වෙත පැමිණියේ සශ්‍රීකත්වයට අධිපති දෙවියන් වෙතින් කලාවේ අබිසෙස් ලබමින් සශ්‍රීක ජීවිත ගමනකට පියවර තබනු සඳහා වරම් යදිනු පිණිස ය. එය ඇගේ සිහිනයයි. අපේක්ෂිත දෙවොලද, දෙවියන්ද එහි නොවේ. දිව්‍යමය ව්‍යාජයක් මවා ලූ අබලන් දෙවොල ඈ හිස මත කඩා වැටේ. නැවත නැවතත් කඩා වැටේ. දෙව් රූ ඉරිතැලී, කැඩී බිඳී විසිරෙයි. දේවතා වෙස් ගත් ආතුර යක්ෂයින් ඈ පෙළයි. ප්‍රේමයේ වෙස් ගත් රාගයේ මල පුඩුවලට ඈ හසුවෙයි. නමුත් බිඳ වැටුණු දෙවොලේ සුන්බුන් පීරාගෙන ඈ නැවත නැවතත් නැගී සිටියි. සිහිනය අත්නොහරියි.

ඇය අනෝලි ය. නො ඇලෙන්නී ය යන අරුතින් හෙබියද නිරන්තරයෙන් ඇලීම් බැඳීම් නිසාම පීඩාවට පත්වන්නීය. ‘අනෝලි’ නදීකා බණ්ඩාරගේ කුළුඳුල් නවකතාව වන 'දියෝනිස් දෙවොල පාමුල සිට' කෘතියේ පිටු අතර සිට අපේ දැහැන් බිඳ දමන්නීය.

ළදරු වියේ සිත පිළිසිඳි තරුවක්ව බැබළිමේ සිහිනය අත්නොහරින ඇයට යුවතියක, පෙම්වතියක, ගැහැණියක, ලිංගික ශ්‍රමිකාවක, අනියම් බිරියක, විරහිනියක, රංගන ශිල්පිනියක ආදි වූ විවිධ භුමිකා තුළ හැපෙමින්, ගැටෙමින්, විඳිමින්, විඳවමින් ජීවිතය හඹා යන්නට සිදුවෙයි. මේ ලාංකීය ස්ත්‍රී ජීවිතයේ ප්‍රසිද්ධියේ සාකච්ඡාවට නොගැණෙන පැතිකඩක් පිළිබඳව දකින්නට, කියවන්නට, තේරුම් ගන්නට පාඨකයා කැඳවන සාහිත්‍යමය ප්‍රයත්නයකි. පාඨක ඇල්ම බැල්ම බිඳ හෙළන දුබලතාද ඇති මුත්, නාගරික සාහිත්‍ය, කලා, මාධ්‍ය ලෝකය සමඟ ගැටෙන ස්ත්‍රී භුමිකාවක් පිලිබඳව නිර්භයව සාකච්ඡා වන කෘතියක් ලෙසත්, බහුතර පුරුෂ අධිපතිවාදී මත සරන සාහිත්‍ය ලොවට ස්ත්‍රී මැදිහත්වීමක් ගෙන එන කෘතියක් ලෙසත් ‘දියෝනිස් දෙවොල පාමුල’ අගය කිරීමට රිසි වෙමි.

සශ්‍රිකත්වයට සහ කාමයට අධිපති දෙවි

දියෝනිස් දෙවි සශ්‍රිකත්වයට සහ කාමයට අධිපති දෙවියන් ලෙස පැරණි ග්‍රීක ජනතාවගේ වන්දනාමානයට පාත්‍ර වූහ. මිදි අස්වනු නෙළන සමයේ දියෝනිස් දෙවියන් වෙනුවෙන් පැවැත්වූ දේව ස්තෝත්‍ර යාගික වත්පිළිවෙත් ඇසුරින් මුල්ම රංග කාර්යය බිහි වූ බව ප්‍රකට මතය යි. එම පුදපූජා වලදී දෙවියන් පිළිබඳ කතා පුවත් ගායනා කළ අතර, එය අනුකරණාත්මකව නිරූපණය කිරීම හරහා තෙස්පිස් නම් වන මුල්ම නළුවා බිහි වූ බව සැලකේ. ක්‍රි. පූ. පස් වන සියවස වන විට මෙම රංග කාර්යය දැවැන්ත නාට්‍ය උළෙලක් දක්වා වර්ධනය වී තිබු අතර රඟ මඬලක්ද, ප්‍රේක්ෂාගාරයක්ද නිර්මාණය වී තිබිණි. සොෆොක්ලීස්, යුරිපිඩීස්, ඇරිස්ටොෆනීස් වැනි ශ්‍රේෂ්ඨ ග්‍රීක නාට්‍යකරුවන් බිහිවනුයේ මේ පසුබිම තුළ ය.

තරුවක වීමේ සිහිනයෙන් පසුවුවද අනෝලි ආත්මයෙන්ම බැඳී සිටින්නේ වේදිකාව සමඟ ය. අන් සියලු ජීවන අරගලයන්ට ඈ මැදි වන්නේ වේදිකාව සමඟ ඇගේ වන අත්‍යන්ත ප්‍රේමය පවත්වා ගන්නට දරණ උත්සාහය තුළදී ය. සිඟිති අනෝලි නිළි සිහිනය හදට තුරුළු කර ගන්නේ පාසල් වේදිකාවෙනි. ඉක්බිති ඇගේ විඳීමට, විඳවීමට මෙන්ම නිවීමට, සැනහීමටද වැඩි දායකත්වයක් ලබා දෙන්නේ වේදිකාව සහ ඒ හා බැඳුණු පුද්ගලයින් ය. ඇගේ සිහින උපදින්නේද, පවතින්නේද, බිඳ වැටෙන්නේ ද වේදිකාව සහ නිළි සිහිනය සමඟ ය. ඉදින්, ‘දියෝනිස් දෙවොල පාමුල සිට’ යනු මේ ජීවිත විවරණය සඳහා උචිත ම නාමය බව පැහැදිලිය.

‘‘දරිද්‍රතාවය මේ ලෝකයේ ඇති දරුණුම දේවල්වලින් එකකි.
මුදල් වියදම් කරන්නන් රඟහලට පැමිණියේ නැත. වෙළඳපළක හුවමාරු කොන්දේසි මත රඟහලේ වෘත්තීය ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීම ඉතා අසීරු දෙයකි. වෘත්තීමය වශයෙන් ස්ථාවරත්වයක් ගොඩ නැගීමට බැරි වූ අයෙකුට ගොඩනැගෙන සෑම සාංකාවකින්ම මම පෙළී ගොස් සිටියෙමි. මා විසින් කළ යුතුව තිබුණේ මෙය අතහැර දිවි පැවැත්මට වෙනත් යමකට මාරු වීම ය. එහෙත් එවැනි අවමන් සහගත තත්ත්වයකට වැටීමට මගේ හදවත මට ඉඩදුන්නේ නැත. විනාශය ඉතා පැහැදිළි වුව ද මම ඒ වෙත ම රැඳී සිටියෙමි....."

- ‘දියෝනිස් දෙවොල පාමුල සිට’- පිටුව 303

සියල්ල අහිමි වී ශුන්‍යත්වයේ වෙළී දරාගත නොහැකි තැන සිය දිවි නසා ගැනීම තෝරා ගත් විසඳුම බවට පත්ව තිබියදී පවා ඇය නැවත ජීවිතය කෙරෙහි ඇද බැඳ තබන්නේ වේදිකාව සහ රංග කාර්යය කෙරෙහි වන ඒ අසීමිත ප්‍රේමය විසිනි. එය හුදෙක් වේදිකාව කෙරෙහි වන ඇල්මක් පමණක් ලෙසට ලඝු කළ යුතු නැතැයි ද සිතමි. සැබවින්ම අනෝලී නිදහස සහ ප්‍රේමය කෙරෙහි අතිශය ඇලුම් වන, සම්මත සීමා බැමි තුළ සිරගත වන්නට අකමැති වෙනස් ජීවිතයක් අපේක්ෂාවෙන් ජීවිතය හඹා යන අල්ප වූ ස්ත්‍රීත්වයේ නියෝජනයකි.

දියෝනිස් දෙවොල පාමුල ස්ත්‍රී අධ්‍යාත්මය

කෘතිය පුරා විවරණය වන ස්ත්‍රී භුමිකා සමූහයකි. ප්‍රමුඛ භූමිකාව අනෝලි වුව ද, අම්මා, අත්තම්මා, අක්කා, ඩොලී, ප්‍රභාති, රූපසාරි, ඩල්සි, කුසුමලතා ආදි වූ ස්ත්‍රී චරිත ස්ත්‍රීත්වයේ විවිධ පැතිකඩ නිරූපණය කරයි. බහුතරයක් සම්මතය තුළ සිරගත වූ, සාම්ප්‍රදායික පවුලට සීමා වූ ස්ත්‍රී චරිත ය. අනෝලි ඉන් වෙනස් වූවා ය. සිඟිත්තියක සමයේ සිටම ඇය නිරන්තරයෙන් නිදහස අපේක්ෂා කළ, තමන්ගේ සිහින හඹා යාමේ නොතිත් ආශාවෙන් පෙළුණු වෙනස් ගැහැණියක වූවාය.

"නිදහස! සැමියා සහ ආලය මේ දේවල් එකට එකතුවෙන්නේ නැති රේල් පීලි වගේ ය. මට නිදහස අවශ්‍ය විය."
- ‘දියෝනිස් දෙවොල පාමුල සිට’- පිටුව 47

අන් කාන්තාවනට වුව ද තමන්ගේම සිහින නොවන්නට හේතුවක් නැත. නමුත් අනෝලි මෙන් ඒ සිහින හඹා යාමට එඩිතර බවක් බොහෝ ස්ත්‍රීන්ට නැත. සිය රාමුගත ජීවිතය තුළ සෑහී සිටීමට බහුතර ගැහැණුන්ට සිදු වේ. විටෙක එය ස්වකැමැත්තෙන්ම සිදුවන්නකි. විටෙක එය අතිශය පීඩාකාරී වටපිටාවක් තුළ ගැහැණිය මත බලෙන් පටවන්නකි.

ස්ත්‍රී ලිංගිකත්වය සහ ලිංගික අපේක්ෂාවන් පිළිබඳ කෘතිය තුළ වන විවරණය නිර්භය හෙළිදරව්වකි. එය විටෙක පුරුෂ ලෝකය නිරුවත් කරන බව සැබවි. ස්ත්‍රී පුරුෂ බහුතරය ව්‍යාජ ප්‍රේමයක්, මනුෂ්‍යත්වයක් නඩත්තු කරනු සඳහා ජීවිත කාලය පුරා විහින් විඳවන ලොවක, ඒ විඳවීම ජීවත් වීම යැයි අරුත් ගන්වා ඇති සමාජයක ප්‍රේමය සහ නිදහස අරුත් ගන්වන මානව සම්බන්ධතා සිහිනයක්ම නොවේද? අනෝලිගේ විඳවීම්, විඳීම්, ඇද වැටීම්, නැගිටීම් හරහා ඇය පසක් කර ගන්නා ලිංගිකත්වය, ප්‍රේමය සහ ජීවිතය පිළිබඳ යථාර්ථයට අපගේ අවධානය යොමු විය යුතු යැයි සිතමි.

මාතෘත්වය වෙනුවෙන් ස්ත්‍රීය තුළ පවතින සහජ ඇල්ම අනෝලි තුළ වුවද එසේම ය. නමුත් කිහිප විටකදීම ඇයට සිය දරු ගැබ් ප්‍රතික්ෂේප කිරීමට සිදු වේ. විටෙක එය සම්මතය තුළ පවතින දරුවාගේ සුජාතභාවය තහවුරු කිරීමට ඇති නොහැකියාව මත සිදුවන්නකි. තවත් විටක දරුවෙකු භාර ගෙන ඇතිදැඩි කිරීමට තරම් ආර්ථික සුරක්ෂිතභාවයක් නොවන නිසා සිදුවන්නකි. මාතෘ සිහිනය බිඳ වැටීම තරම් ගැහැණියකට දරා ගැන්මට අසීරු තවත් වේදනාවක් තිබිය හැකිද?

ස්ත්‍රීත්වය ගෞරවයට, ආදරයට පත් වන දිනක්, ඇයගේ සිහින වෙනුවෙන් ඉඩක් වෙන්වන දිනක් සිහිනයක් පමණක්මද? ස්ත්‍රීත්වයට හිමි තැන කිසිවකු බන්දේසියක තබා පිළිගන්වන්නේ නැත. සිහින හඹා යාමේ සහ අධ්‍යාත්මික සංහිඳීම අයත් කරගැනීමේ වගකීම සහ හැකියාව ඇත්තේ ගැහැණියටම නොවේද?

මාවිල්ආරු සිට පශ්චාත් නන්දිකඩාල් දක්වා

"ඒ දවස්වල කොළඹ ඇවිදින එක ඒ තරම් අසීරු වූයේ නැත. ආණ්ඩුව කොටි සංවිධානය සමඟ ගිවිසුමක් අත්සන් කර තිබිණි...."
- ‘දියෝනිස් දෙවොල පාමුල සිට’ - පිටුව 27

"ඒ වන විට මැතිවරණය නිමා වී අලුත් ආණ්ඩුවක් බලයට ආවේය. දෙදහස් හය අවුරුද්ද උදා වූයේ අළුත් ආණ්ඩුවක් සමඟ ය. මිනිස්සු බලාපොරොත්තු තැබූහ. ඒත් මම අන්තෙටම කඩා වැටී සිටියෙමි."
- ‘දියෝනිස් දෙවොල පාමුල සිට’ - පිටුව 59

"මා රැගත් ප්‍රාඩෝ රථය ගල්කිස්ස මුහුදු තීරයට ඉගිල්ලී ගියේය. මිස්ට කරුණානායක මගේ අනාගත ජීවිතය පිළිබඳව අදහස් විමසමින් රිය පැදවූයේය. ඒ අතර පසුබිමෙන් රේඩියෝව ක්‍රියාත්මක වී තිබුණි. මාවිල්ආරු සොරොව්ව මුදාගැනීම පිළිබඳව ප්‍රවෘත්තියක් විකාශනය විය. ඔහු මගෙත් එක්ක කතාව නතර කර ප්‍රවෘත්තියට අවධානය යෙදීය. මාවිල්ආරු සොරොව්ව වසා දැමීම නිසා දින නමයක් ලංකා හමුදාව සටන් කර තිබුණි."
- ‘දියෝනිස් දෙවොල පාමුල සිට’ - පිටුව 70

".......... කොටින් ඔවුන්ගේ බලය වෙනුවෙන් සටන් කළහ. රජය ඔවුන්ගේ බලය වෙනුවෙන් සටන් කළහ. යුද්ධය පැවති ප්‍රදේශවල සාමාන්‍ය මිනිස්සු ජීවිතේ බේරගන්න සටන් කළහ........... අපිට තිබුණේ ප්‍රේක්ෂකයාගේ භූමිකාවය.....
අප සිටියේ මළමිනී ගණන් කරමිනි. අපි රූපවාහිනී පුවත්පත්වලට ඇබ්බැහි වී සිටියෙමු. සැකය සෑම තැනකම වර්ධනය වී තිබු අතර ජීවිතය එක තැන නතර වී තිබිණි. ඩොලී සාදය සංවිධානය කළේ එම අප්‍රසන්න සිතුවිලිවලින් ගැළවීමටය. යුද්ධයේ ප්‍රේක්ෂකයන් වූ අපට තවත් දරාගෙන සිටීමට නොහැකි විය."

- ‘දියෝනිස් දෙවොල පාමුල සිට’- පිටුව 252

වාර්ගික අර්බුදය සහ යුද්ධය බහුතර දකුණේ ජනතාවගේ ජීවිතයෙන් බැහැරව පැවතුණක් විය. නාගරික මධ්‍යම පාන්තික මාධ්‍ය, කලා අවකාශය තුළ වුවද යුදමය වාතාවරණයට සහ ඉන් ඇති කළ පීඩනය සම්බන්ධව සවිඥානික මැදිහත්වීමක් දක්නට නොලැබිණි. එනිසාවෙන්ම වෙනත් රටවල යුධමය වටපිටාවක් තුළ ගොඩනැගුණු යුධවිරෝදී, මානුෂවාදී සාහිත්‍ය, කලා, මාධ්‍ය භාවිතය ලාංකීය සමාජය තුළින් පැන නොනැගිණි. අගනුවර ජන සමාජයත්, ඒ මුල් කරගත් සාහිත්‍ය කලා ලෝකයත් පවතින යුධමය වාතාවරණයට දක්වන ආගන්තුකභාවය කතුවරිය සවිඥානිකවම සිය කෘතිය තුළ අන්තර්ගත කරලන්නීය. කෘතිය තුළ දිගෑරෙන ප්‍රේමය, ලිංගිකත්වය, විවාහය, පවුල, ආර්ථිකය සහ සාහිත්‍ය කලා මාධ්‍ය ලෝකය ට මැදි වූ ජීවන අරගල අතරින් හිටිවනම මාවිල් ආරු සොරොව්ව වැසීම, කොළඹ පිපිරෙන බෝම්බ, බුත්තල බෝම්බ ප්‍රහාරය, නැගෙනහිර මුදාගැනීම, 2009 යුධ වර්ෂයක් බවට පත්වීම, පශ්චාත් යුද සමය පිළිබඳ සංක්ෂිප්ත විවරණ පළ වේ.

"ඉතිහාසයන් දෙකක් හැමවිටම ක්‍රියාත්මක වන්නේය. වැදගැම්මකට නැති මගේ (සහ මගේ මිතුරන්ගේ) ජීවිත කාලය සහ ගෞරවණීය පාලකයින්ගේ ඉතිහාසයයි. තාරුණ්‍යය ඊට ගැළපෙන පරිද්දෙන් කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කීවේ නැත. එම අපකීර්තිමත් ඉතිහාසය යනු ආවර්ජනය කළ යුත්තක්ද අමතක කළ යුත්තක්ද යන ගැටලුවේ ගැලෙමින් මම මගේ සැඳෑවන් ගත කළෙමි. නව ගොඩනැංවීම් සහිත කොළඹ නගරයේ මංමාවත්හි සැරිසරමින් උදාසීනත්වයට එරෙහිව සටන් කරමින් සිටියෙමි. අප නවකතාවල කියවූ පරිද්දෙන් කෝපි හලවල්ද, ඒවායෙහි සිදුවන හමුවීම්ද සිදු වූයේ නැත. මිනිස් හමුවීම්වලට දී ඇති නොවැදගත්කම සලකා බැලූ විට මට සිතෙන්නේ මිනිස් හැසිරීම්වල කාලය නතර වී ඇති සැටියෙකි...."
- ‘දියෝනිස් දෙවොල පාමුල සිට’ - පිටුව 294

මෙම තේමාව කෙසේවත් කෘතියේ මූලික චරිත හෝ කතාව සමඟ ඓන්ද්‍රියව බද්ධ වන්නක් නොවේ. අමතර නොවැදගත් කරුණක් ලෙස වරින් වර ඉස්මතු වන්නකි. එය කතුවරිය උවමනාවෙන් ඇති කළ දුරස්ත බවක් බව හැඟෙයි. කොළඹ කේන්ද්‍රීය දකුණේ යථාර්ථයත් එයම නොවේද?

ස්ත්‍රියකගේ ඉරණම පිළිබඳ කතාවක් පමණක්ද?

මුදල ඉදිරියේ අනෝලි අසරණ වන අවස්ථා කෘතිය පුරාම හමුවේ. දරිද්‍රතාවය ඉදිරියේ ප්‍රේමය පෑළදොරින් පැන යන බව රහසක් නොවේ. ඇය ලිංගික ශ්‍රමිකාවක වන්නේද, සිය දරුගැබ ප්‍රතික්ෂේප කිරීමට සිදුවන්නේද, මානසික පීඩාවන් මැද කුලී ගෙයින් ගෙට යාමට සිදුවන්නේද, වේදිකා නාට්‍ය ප්‍රයත්නයන් වැළලී යන්නේද ආර්ථික අසරණභාවය හේතුවෙනි. එය ස්ත්‍රීත්වයට පමණක් පොදු වූ ඛේදවාචකයක්ද නොවේ. සමස්ත සමාජය වෙළී පවතින අන්ධකාරයකි. පවතින සමාජ ක්‍රමයේ ගැටලුවකි.

"අහස ඕනෑ තරම් ඉඩ තිබෙන බව ඇත්තය. එහෙත් අපට පියාඹන්නට පියාපත් තිබුණේ නැත. අපි හිරවෙලා හිටියේ අපේම ශරීර කූඩුව ඇතුළෙ ගැළවෙන්න බැරිව වගේ. අන්තිම වෙනකොට මම හරියටම තේරුම් ගත්ත එක දෙයක් තිබිණි. ඒ ආර්ථික නිදහස නැතිව අපිට මිනිස්සු වෙන්ඩ බෑ කියන කාරණය. සමහරක් විට මනුෂ්‍යත්වය පානය කිරීමේ ආශාවෙන් අපව එළියට ඇද දමන්නේ දුප්පත්කමයි."
- ‘දියෝනිස් දෙවොල පාමුල සිට’ - පිටුව 276

කෘතියේ සමස්ත ජීවිත මෙහෙයවන සමාජ, ආර්ථික, දේශපාලන ප්‍රවාහය හමුවන්නේ අන්තර්ගතයේ ගැඹුරට කිමිදීමෙනි. ‘දියෝනිස් දෙවොල පාමුල සිට’ හුදෙක් ස්ත්‍රියකගේ ඉරණම පිළිබඳ කථාවක් පමණක් නොව සමස්ත සමාජයේ ඛේදනීය ඉරණම පිළිබඳ කතාවක් බව වැටහෙන්නේ ඒ ගැඹුර ස්පර්ශ කිරීමෙන් පසුවය.

නමුත් තවමත් බලාපොරොත්තු ඉතිරිව ඇත. ජීවිතය අත්හැරිය යුතු නැත. කතුවරිය අවසන ඉඟි කරන්නේ එය නොවේද?

බස නිරස මැවූවෙද?

අනෝලිගේ ජීවන අන්දරය ආරම්භයේ සිටම මට ගැටලුවක්ව පැවතියේ කතුවරිය භාවිත කරන භාෂා රටාව ය. අමු ම අමු වාක්‍ය රටා ය. ස්වභාවයෙන්ම ගද්‍ය ආඛ්‍යානයක වුව කාව්‍යමය භාෂාවක් අපේක්ෂිත මගේ රුචියට එය වැටකඩුළු බඳින්නක් විය. එය කතුවරියගේ භාෂා දුබලත්වයක් විය හැකි යැයි සිතමින්, අන්තර්ගතයේ නව්‍ය බව සහ ස්ත්‍රී පුරුෂ ස්වභාවයන් හෙලිදරව් කිරීමේ දී කතුවරිය දක්වන නිර්භය බව කෙරෙහි බැඳෙමින් අනෝලි සමඟ ඉදිරියට ගියෙමි. සර්කස්කාරයා සහ රූපසාරිගේ ප්‍රේම වෘත්තාන්තය ඉදිරිපත් කිරීමේ දී කතුවරිය සුනම්‍ය භාෂා රටාවක් භාවිත කරන බව දැණිනි. සියුම් භාව ප්‍රකාශනයන් මුදා හැරීමට භාෂාව හුරුබුහුටිව හැසිරවීමේ හැකියාව කතුවරිය සතු වන බව මෙම පිටු කිහිපය කියැවීමේදී පැහැදිලි වේ. නමුත් එය සමස්ත ආඛ්‍යානය වෙනුවෙන් ඇය භාවිත නොකරන්නේ මන්ද යන්න ගැටලුවකි. අනෝලි සිය ලිංගික බලහත්කාරයන් විවරණය කරන අවස්ථාවන්හිදී භාවිත කරන භාෂා රටාව, අදාළ සිදුවීම්හි ජුගුප්සාජනක බව මතු කරනු වස් කතුවරියගේ දැනුවත් ප්‍රවේශයක් ද විය හැකිය‍. යම් අවස්ථාවල ස්ත්‍රී පුරුෂ සම්භෝග සම්බන්ධතා පිළිබඳව සිදු කරන විවරණ වාර්තාමය ස්වරූපයක් දරන්නේ සාහිත්‍යමය ආඛ්‍යානයකට අනුචිත ලිංගිකත්වය පිළිබඳ පාඩමක ස්වරූපයෙනි.

විටෙක ලේඛන ව්‍යවහාරය භාවිත වන නමුත් හිටිවනම සිතුවිලි විවරණ ලෙසින් කථන ව්‍යවහාරයට පනින අවස්ථාද ඇත. නමුත් එය අඛණ්ඩ විධික්‍රමයක් ද නොවේ. එය භාෂා භාවිතයෙහි දුබලබව මතු කරයි. වාක්‍ය රටාවන්හි නොගැළපීම්, වියරණ දොස්, පුනරුක්තිය, අනවශ්‍ය පැහැදිලි කිරීම් වින්දනයට බාධාවක් නොවන නමුදු සාහිත්‍යමය ගුණයට හානියකි. මෙවැනිම ස්ත්‍රීවාදී එළඹුමක් සහිත තිලිනා වීරසිංහගේ නිර්මාණ ඇයගේ භාෂාව හැසිරවීමේ කෞශල්‍යය නිසා වඩාත් ඔපමට්ටම් වී ඇතැයි සිතමි.

‘දියෝනිස් දෙවොල පාමුල සිට’ සිට ලේඛක සිහිනයට පණ දෙන නදීකා තම භාෂාව සාහිත්‍යමය ගුණයෙන් හැසිරවීම කෙරෙහි තව දුරටත් සැලකිලිමත් විය යුතුයැයි මම විශ්වාස කරමි.

කියවීම දැහැන්ගත වීමක් ලෙස නොසලකන, කියවීම සහ කියවන දෑ ග්‍රහණය කර ගැනීම වෙනුවෙන් ශ්‍රමයක් නොදරන පාඨකයෙකුට මෙන්ම මුල, මැද, අග මනාව ගැළපූ කතන්දර කියවීමට රුචි වන්නෙකුට අතීතය හා වර්තමානය පාස්සමින් දිග හැරෙන අනෝලිගේ කතා පුවත පටළැවිල්ලක් වීමේ ඉඩක් ද පවතී.

නදීකා බණ්ඩාර සිය කුළුඳුල් නවකතාව පාඨකයා හමුවේ තබා ඇත. එය සංවාදයට බඳුන් විය යුතු යැයි මම විශ්වාස කරමි. ඒ ලිංගික විරෝධයේ අවි අමෝරාගෙන නම් නොවේ. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ප්‍රේමණීය ජීවිතයක් සොයා යාමේ අරමුණ පෙරදැරිවය.

තරුරසී



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails