Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඔහු නමින් චමත් ය. එහෙත් ඈ ආදරයට ඔහු ඇමතුවේ බස්සා යන සුරතල් නාමයෙනි. ඈ සරසි හෙවත් ඉස්සි ය. ඉස්සීගේත් බස්සාගේත් ආදරය අතරට පැමිණෙන කඩවසම් ආගන්තුකයා නලීන් ය. චමත් සහ නලීන් කෙමෙන් මෝරා වැඩෙන මිතුදම විනිවිදිමින් ලාලසාත්මක සමකාමී ප්‍රේමයකින් වෙළෙති. ඒ අතරම ඔවුන් සරසිගේ ආදරය කේන්ද්‍ර කරගනිමින් භ්‍රමණය වන ප්‍රේමවන්තයන් දෙදෙනෙකු ද වේ. කාලයාගේ ඈවෑමෙන් නලීන් හා සරසි යුග දිවියට එළැඹෙති. හුදෙකලා වන බස්සා ස්වකීය ජීවිතාභිලාෂය සොයා උඩුගම් බලා පිහිනන්නෙකු බවට පත්වේ. අනේකවිධ හැලහැප්පීම් කම්කටොළු මැදින් ඔවුන්ගේ තුන්කොන් ආදරය ගලා යයි. එහෙත් මේ ආදර කතාව සුඛාන්තවත්ය. දිගු වන්දනා ගමනක අවසානයේ තිදෙනාම‍ නැවතත් මුලින් සිටි තැන්වලමය. මේ වූ කලී ෆ්‍රැන්ජිපානි කතා වස්තුවයි.

සාම්ප්‍රදායික ත්‍රිකෝණගත ප්‍රේමාන්දරයකින් ෆ්‍රැන්ජිපානි වෙනස් වන්නේ එහි මූලික ධාරණාව එක්තරා සුවිශේෂී වූ මානුෂීය සාරයක් කැටි කරගන්නා බැවිනි. සමකාමීත්වය හා සමකාමී ආදරය මූලික වශයෙන් ‍ෆ්‍රැන්ජිපානි තුළ දෝලනය වන්නා වූ වස්තු විෂයන් ලෙස දැකිය හැකිය. සමකාමීත්වය සමලිංගිකත්වය ලෙස ප්‍රනිශ්චය වී තිබීම මහා සංස්කෘතික ආප්තයන්ගේ එක්තරා වැරදි පූර්වාදර්ශයකි. සමකාමී ආදර සම්බන්ධයක් අශ්ශීල, ජුගුප්සාජනක මානසික විකෘතියක් ලෙස විග්‍රහ කරනු ලබන්නේ ද යට කී මහා ‘ශුද්ධ’ සංස්කෘතිය විසින් අධිනිශ්චය කරනු ලැබූ ප්‍රකෘති යැයි අප හඟින මානව චර්යාවන්ගේ නිර්නායකයන්ට එය අනුකූල නොවන හෙයිනි. සමකාමීත්වය සපුරාම අනිච්ඡානුගත මනෝභාවයක් වන අතර එය මානවීයත්වයේම එක්තරා සුවිශේෂී දිගුවක් ලෙස අවබෝධ කරගැනීම මෙවැනි කතා සන්දර්භයකට පිවිසීම සඳහා වඩා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් අපට සපයයි.

'ආදරය සහ ප්‍රජාතන්ත්‍රවාදය'

"මේ චිත්‍රපටයෙන් කියැවෙන දේ ගැන කවුරු හරි මගෙන් ඇහුවොත් මම කියන්නෙ මේක ‘ආදරය සහ ප්‍රජාතන්ත්‍රවාදය’ ගැන කතාවක් කියල." ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂ විසාකේස චන්ද්‍රසේකරම්ගේ හඬය.

සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයේ කැමැත්ත ලෙස නිගමනය කිරීමම එක්තරා අතකට ප්‍රජාතන්ත්‍ර විරෝධී අර්ථකථනයකි. බහුතරයේ කැමැත්ත මත සියල්ල තීරණය වන සමාජයක සුළුතරයේ අභිලාෂයන් මහා ප්‍රවාහයේ සෙවණැල්ල තුළ සැඟවී යාම සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් විසින් අනුදක්නා යුතු තත්වයක් නොවේ. අනෙක් අතට, බහුතරයේ ස්වභාවික කැමැත්ත ලෙස ප්‍රනිශ්චය වී ඇති සංස්කෘතික භාවිතාවන් තුළ සුළුතරයේ ඊට සාපේක්ෂව ‘වෙනස්’ අභිලාෂයන් අසංස්කෘතිකවත් හෝ අශ්ශීලත්වයන් ලෙසට නිර්වචනය වීම ද සැබෑ ප්‍රජාත්න්ත්‍රවාදී සමාජයක් විසින් ප්‍රශ්න කළ යුතු තත්වයකි. සුළුතරයක් විසින් බහුතරයට වඩා වෙනස් මතයක් නියෝජනය කළ පමණින් ඔවුන් හැම විටම බහුතර අනෙකා යටතේ පීඩිත ප්‍රජාවක් බවට පත්වීමේ තත්වය සාම්ප්‍රදායික අර්ථරාමු තුළ අවිඥානිකවම පිළිගැනෙන තත්වයකි. එමෙන්ම බහුතර කැමැත්ත තුළ ඔවුන්ගේ ආධ්‍යාශයන් දිය කර හැරීමට සිදුවන්නේ නම් හෝ සමාජමය වශයෙන් හුදෙකලාභාවයකට පත්වීමට ඔවුන්ට සිදුවේ නම් එතැන සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ සමාජ සාධාරණත්වයක් පැවතිය නොහැක. නියම ප්‍රජාතන්ත්‍රවාදය යනු සුළුතර අයිතිවාසිකම් කඩනොවන පරිදි බහුතර කැමැත්තට ඉඩ දීමේ ‘කලාවකි’. ‍එහෙත් ලංකාව වැනි දුර්වල දේශපාලන සංස්කෘතියක් ඇති රටක සුළුතර අයිතිවාසිකම් පිළිබඳ කතා කිරීමම අතුරේ යෑමක් වැනි වැඩකි. එවැනි සන්දර්භයක් තුළ සමකාමී අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම යනු දැලි පිහියෙන් කිරි කන අතරේ අතුරේ යෑමක් තරම් මාරාන්තික වූවකි. එහෙත් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් කලාව විසින් ඇති කළ යුතු කතිකාව කොතැනින් හෝ ඇරඹිය යුතුව ඇත. ෆ්‍රැන්ජිපානි ඔස්සේ සිනමාකරු නියැළෙන්නේද එවැනි වූ ප්‍රජාතන්ත්‍රවාදී කලාවක් උදෙසා සාමූහික චින්තනය පුළුල් කිරීමේ වෑයමකය.





ෆ්‍රැන්ජිපානි

නලින්ගේ ආගමනයෙන් වෙනස් වන්නා බවට පත්වන්නේ චමත්ය. එතෙක් ඔහුගේ චරිතාභ්‍යන්තරය තුළ සැඟව තිබූ ඇතැම් ගූඪ චිත්තයන්ට සැබෑ අර්ථයක් සැපයෙන්නේ නලීන්ගේ පැමිණීමත් සමඟය. නිය ආලේපන ගැල්වීමෙන් ඔහු ලබන ප්‍රමෝදයේ සිට සමකාමීන් වෙනුවෙන් පෙනී සිටීම දක්වා වූ චමත්ගේ චරිතයේ අතීත සංසිද්ධීන් නලීන්ගේ පැමිණීමෙන් පසු වඩාත් අර්ථවත් වන්නට පටන් ගනී. සරසි හා චමත්ගේ ප්‍රේමය ද දෙදරා යන අතර නලීන්ගේ ඇසුරෙන් පසු චමත් ඍජුවම සමකාමියකු බවට රූපාන්තරණය වෙයි. සරසිට හිමි වන්නට තිබූ ඔහුගේ ආදරය ඉඳුරාම නලීන් වෙනුවෙන් පුද කරන්නට චමත් පෙළැඹේ. ආපසු ගම්රට බලා යන්නට බසයට ගොඩවන මොහොතේ චමත් නලීන්ගේ කණට කොඳුරන්නේ ආදරණීය තරවටුවකි. ‍

"මාව අමතක කරොත් මං උඹව මරනවා"

සමකාමීත්වයට ලාංකේය සමාජසංස්කෘතික ප්‍රවාහයන් වෙතින් එල්ල වන උග්‍රතර ප්‍රතිවිරෝධය සූක්ෂම ලෙස ඉස්මතු කරන්නට සිනමාකරු සමත් වෙයි. චමත්ගේ පෙරළිය මානසික විකෘතියක් ලෙස වටහා ගන්නා පවුලේ උදවිය තොවිල්පවිල් ආදිය මඟින් පවා ඔහුගේ ‘විකෘතිය’ මැඩ පවත්වන්නට ගනු ලබන වෑයම උපහාසාත්මක ලෙස ඉස්මතු කෙරෙයි. චමත්ගේ ජීවන ආධ්‍යාශය උපේක්ෂාවෙන් යුතුව වටහා ගන්නේ ඔහුගේ මව පමණකි. චමත් නිසා ඇති වූ නින්දාව හේතුවෙන් සංතාපයටත් කෝපයටත් පත් වැඩිමහලු සොයුරා ඔහුට පහර දෙන්නට වූ විට මව චමත් බේරා ගන්නේ ඔහු මිනීමරුවෙකු හෝ ත්‍රස්තවාදියෙකු නොවන බව කියමිනි. භික්ෂුවක වන චමත්ගේ අනෙක් සොහොයුරා ද ඔහුගේ ජීවන ගමන්මඟ පිළිබඳ මනා ලෙස අවබෝධ කර ගත්තෙකු සේ නිරූපිතය. සමාජ අපවාදයෙන් මුදවනු පිණිස චමත් නගරයට ඇරලවනු ලබන්නේ ද සොයුරු භික්ෂුව විසිනි.

නලින්-සරසි විවාහයෙන් පසු හුදෙකලාවන චමත් සමකාමියෙකු ලෙස ස්වකීය ජීවිතය ගත කිරීමට ගන්නා උත්සහය හා ඒ තුළ ඔහු මුහුණ පාන්නා වූ අනේකවිධ ගැහැටකම්කටොළු සංවේදනාත්මක සිනමා රූප පෙළක් ලෙසින් අප ඉදිරියේ දිග හැරෙන්නට සලස්වනු ලැබේ. සංස්කෘතික විනිශ්චයන්ගෙන් හා බන්ධනයන්ගෙන් ඔද්දල්ව මහා සමාජයෙන් පළා යන චමත් සමකාමී සමාජය විසින් සාදරයෙන් පිළිගනු ලබයි. ඔහු සිය ජීවිතේ අර්ථය අවබෝධ කරගනු ලබන්නේ එතැනින් පසුවය.

නලීන් සමකාමියෙකු වුවත් ඔහුගේ අභිලාෂයන් තරමක වෙනස් හැඩහුරුකමක් ගනී. ස්වකීය හැඟීම් එළිදරවු වනවාට ඔහු අකමැතිය. ඔහුට අවශ්‍ය වන්නේ සාමාන්‍ය මිනිසෙකු ලෙස ජීවත් වීමටය. චමත්ගේ සමකාමී ආදරය ද මඟහරිමින් සරසි හා විවාහ වන්නේ ඔහුගේ පුද්ගල අභිලාෂයන් ඒ ඔස්සේ මුදුන් පමුණුවා ගැනීමේ අරමුණ ඇතිවය. එහෙත් විවාහයෙන් ටික කලකට පසු නලීන් චමත් සොයා නගරයට පැමිණෙන්නට වන අතර ඔවුහු යළිත් සුපුරුදු සමකාමී කායික ප්‍රේමයෙන් බැ‍ඳෙති. මෙකී සිද්ධි දාමය හා සසඳන විට The Falls: Testament of Love සිනමා කෘතිය සහ ෆ්‍රැන්ජිපානි අතර කිසියම් දූරස්ථ වූ සමානකමක් පෙනී යා හැකිය. එහි හමුවන ක්‍රිස් සහ ආර්ජේ ෆ්‍රැන්ජිපානි හි නලීන්, චමත් මෙන් සමාන්තර තත්වයන්ගෙන් ගොඩනැංවී ඇති චරිත යුගයලකි.







ලංකාවේ සමලිංගික චර්යාවන්ට අදාළව පවත්නා නීතිමය අඩුලුහුඬතාවන් ද සිනමා කෘතිය ඔස්සේ පෙනෙන්නට සලස්වා ඇත්තේ එවැනි සිද්ධියක් මූලික කරගනිමින් නලීන් සිරභාරයට පත්වීම හා බැඳුනු සිදුවීම් දාමය තුළිනි. නලීන් නෛතික දණ්ඩනයෙන් නිදහස් වුවත් ඒ කරණ කොට ගෙන ඔහුගේ විවාහ සංස්ථාව බිඳී යන්නට පටන් ගනී. සමාජ අපවාදයට ද ලක්වේ. මෙය වූකලී, සමකාමීත්වය සම්බන්ධයෙන් නීතියට වඩා සමාජ සංස්කෘතික සම්මතයන්ගේ තීව්‍රතර භාවය බලපවත්වන බව පෙන්වන අවස්ථාවක් සේ සැලකිය හැකිය.

සයපෙති අරලියා මල

ෆ්‍රැන්ජිපානි තුළ තේමාත්මක සංකේතය වන්නේ සය පෙති අරලියා මල පිළිබඳ රූපකයයි.

"මේ අරලියා මලට පෙති හයයි. කොහොමද එහෙම වෙන්නෙ? අරලියා මලට පෙති පහයිනෙ"

"පෙති හයේ අරලියා මලුත් තියනව"


සමකාමීත්වය පොදු මානව ධර්මතාවයන්ගෙන් වෙසෙසි වූ, එහෙත් එය නොඉක්මවන තත්වයක් බව සිනමාකරුවා අප හමුවට ගෙනෙන්නේ එවැනි සෞන්දර්යාත්මක රූපකාර්ථවත් ඉඟියකිනි. සය පෙති කුසුමක් වුව එයද එකසේ සුවඳැති අරලියා මලකි. අරලියා මල හැම විටම අරලියා මලක් වීමම මිස මල් පෙත්තක වෙනස හුවා දැක්වීමේ අරුත කුමක්ද?

සමකාමී අයිතීන් කලාව ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවන් තුළට ගෙන ඒමේ ප්‍රවණතාව අද වන විට ලෝක මට්ටමෙන් දක්නට ලැබෙන තත්වයකි. එහෙත් ලංකාවේ පවතින තත්වය හමුවේ මෙවැනි සිනමා කෘති සම්බන්ධයෙන් ඇතිවිය හැකි තත්වය බොහෝවිට කණගාටුදායක විය හැකිය. එසේ වුවද ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් කලා භාවිතාවන් ප්‍රවණතාත්මකව වර්ධනය කිරීමත් ඒ වෙනුවෙන් පෙනී සිටීමත් අද දවසේ කලාව වෙනුවෙන් පෙළගැසෙන්නන් විසින් අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තක් බව අවධාරණය කළ යුතුමය.



දමිත් වැලිකල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails