Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කුරුලු දිහා මං හැරිල බලනවා. එතකොට 80 දශකයේ මම ඇහූ දුටු දේවල් මගෙ ඇස් ඉස්සරහ චිත්‍රපටියක් වගේ පේන්න ගන්නවා.

'කුරුලු හදවත' නමැති චිත්‍රය ඇඳෙන්න පටන් ගන්නෙ මේ 80 දශකයේ සිට මේ මොහොත දක්වා විතරක් නෙවෙයි මෙතනින් එහාට ඉම කොහෙද කියල තීරණය කරන්න අමාරු කැන්වසයක් මතයි.

කියවපු අය දන්නවා ඇති. කතාව පටන් ගන්නෙ විද්‍යා විෂයයන්ගෙන් උසස් පෙළ කරල අසමත් වුණ දිනසිරි බයිසිකලයක් පැදගෙන ගෙදර යන තැනින්. ඒ කාලෙ විභාග අසමත් වුණ අයට විසඳුම වූ කෝකටත් තෛලය වුණ ආමි එකට ඉල්ලුම් පත්‍රයක් දාන්න ගිහින් ඉතුරු සල්ලි වලට තැපැල් කන්තෝරුවෙන් අහම්බෙන් හම්බවෙන පෝස්ට්කාඩ්එක තමයි 'දිනසිරි කුරුලුගංගොඩ' කියන චරිතය නිර්මාණය කරන්නෙ. ගුවන්විදුලියේ 'අසන්නන්ගේ ඉල්ලීම්' තුළින් නිතර නම කියවෙන අසන්නෙක් වීමේ යතුර ඒ පොස්ට්කාඩ්එ කෙන් දිනසිරිට හම්බ වෙනවා. එතනදි ලාංකේය නිෂ්පාදන ආර්ථීකයේ ෂානරයක් වූ වළං කර්මාන්තයේ යෙදෙන්නන් හැඳින්වීමට භාවිත කෙරුණු 'බඩහැල' නම් නාමකරණය ඔස්සේ පැත්තකට දමා තිබුණු 'වළංගංගොඩ' ග්‍රාමය 'කුරුලුගංගොඩ' ලෙස දිනසිරි විසින් ගීත ඉල්ලා යවන තැපැල්පත්වල ලිවීම කතාවට නිශ්චිත අර්ථයන් ගේනවා. ඉතිං 'කුරුලු' කියන සැහැල්ලු වචනය මේ පොතේ එන මහා බලසම්පන්න හැඟවුම්කාරකයක්. කුරුලු හදවත, කුරුලුගංගොඩ, දිනසිරි කුරුලුගංගොඩ, කුරුලු අයියා, අපෙන් සමුගත් කුරුලු, ඔන්න ඔය විදියට මේ වචනය නවකතාව ඇතුලෙ ආදරණීයවත්, බරසාරවත් විග්‍රහ කර ගන්න පුළුවන්.

එක අතකින් කුරුලු කියන්නෙ බලාපොරොත්තුව. තමන් අකමැති, දුක්බර රුදුරු බිමිතීරු පහු කරමින් කුරුල්ලෙක් වගේ පියාඹගෙන යන්න තියෙන ආශාව, සැහැල්ලුව, අහිංසකකම, මේ ඕනෑම දෙයක් අපිට හිත ඇතුලෙන් විග්‍රහ කර ගන්න පුළුවන්. කුරුලු ඔස්සේ මේ කතාව ලාංකේය කාල මාරුවක් හරි අපූරුවට චිත්‍රණය කරනවා. ප්‍රේමකීර්තිගේ සිට නූතන එෆ්. එම්. කරණය දක්වා. හැබැයි මේක ගුවන්විදුලි හෝ මාධ්‍ය සදාචාරය බිඳවැටීම පෙන්වන කැඩපතක් හැටියට ලඝු වෙන්නේ නැහැ. ඊට එහා සංකීර්ණත්වටකට ගමන් කරන සමාජවිද්‍යාත්මක වියමනක්. ඒ වගේම එෆ්. එම්. හෝ රූපවාහිනී චැනල් තුළ ඉඳන් විකිණීමේ ක්‍රියාවලියට දායක වන යම් යම් චරිත මේ හරහා පේන්න පුළුවන්. නමුත් ඒ ඔවුන්ගේ කතාවත් නෙවෙයි. ලාංකේය දුප්පත් පොදු ජන සමාජවිඥානය පිළිබඳ කතාවක්. එහි උත්ප්‍රාසාත්මක තැනක් තමයි ගම හිතින් විඳින, ගම ෆැන්ටසිකරණය කරන, එය පරමයක් බව කියන මහරගම, නුගේගොඩ ආදී පෙදෙස් වල පදිංචි නූතන අසන්නන්. ඇත්තටම ගම හොඳයිද? පරමාදර්ශියි ද? දැන් අපිට කතාවෙන් චුට්ටක් එළියට ඇවිල්ල නලීන් ද සිල්වලා, ගුණදාස අමරසේකරලා, හසන්ත ශී්‍ර ලාල් ලා දිහා බලන්න පුළුවන්. මේ ඔක්කොමලා සිංහල ගැමි මනෝ සිතියමක් අඳින්න උත්සාහ දරනවා. සිංහල බෞද්ධ ගම උත්කර්ශයට පත් කරමින් මේ මාධ්‍ය අමතමින් ඉන්නෙ අපේම විඥානයට නෙවෙයිද? ඒත් එහෙම පරමාදර්ශී ගමක් තියෙනවාද? ඒ කොහේද? මේ ප්‍රශ්නෙට වළංගංගොඩ මුත්තු අත්තා දෙන්නෙ රැඩිකල් උත්තරයක්.

"මේකා ඔය කියන තරමක් කෙලින්නෙ පච. අපි කොළ පාලනවලු සිල් ගත්ත වගේ බුදුන් වැඳලා!"

දිනසිරි බිම බලාගෙන උන්නා. කමත ගැන එහෙම කිව්වෙ දිනසිරි විතරක් නෙමේ. අර මහාචාර්ය කට්ටියත් එහෙම කිව්වා.

"මට නං සුදුව බාගයක්කත් නැතිව දැති ගොය්යෙක් හොල්ලන්ඩ බෑ" මුත්තු අත්තා සරත් දිහා කෙලින්ම බලල නිහඬතාවය තිබ්බෙ සරත්ට හිනාවෙන්න ඉඩ දෙන්න.

"මීහරකුන්ට වඳිනවලු. හොඳ වැඳිල්ල! පේර කෝටුවෙන් දෙන්නෙ"
සරත් හිනාවෙන නිසා දිනසිරි ලැජ්ජාවෙන් බිම බලා ගත්තා.

"ඒ වුණාට ඉස්සර එහෙමනෙ අත්තෙ" සරත් කිව්වා.

"මොන බොරුද! අපි කොල්ලො කාලෙත් ඔහොම තමයි. රා මුට්ටිය අයිනක තියාගෙන තමයි පෑගුවෙ. මගෙං අහපංකො වෙලාවක. මං කියන්නං වෙන විදිය"

"අපි කරන්නෙ වැඩසටහන්නෙ අත්තෙ. ඇත්තම කියන්ඩ අමාරුයි ඒවගෙ" දිනසිරි හිනාවෙන බව පෙන්නමින් කිව්වා.

"එව්ව වැඩසටහන් නෙමේ බොල සෙල්ලං. සෙල්ලං කතානෙ එව්වා"

(276, 277 පිටු)

මෙතනදි මගේ අදහස 'බීම' කියන එක සදාචාර අර්ථයකින් ගත යුතුය කියන එක නෙමෙයි. සංස්කෘතික අර්ථයකින් සලකා බැලිය යුතුයි කියන එකයි. ලිංගිකත්වයත් එහෙමයි. අතීත කෘෂි සංස්කෘතිය එක්ක රාමුවෙන්පිට ලිංගිකත්වයත් යටිතලයක ක්‍රියාත්මක වුණා.

"යකෝ අපි කොල්ලො කාලෙ පිදුරු ගොඩවල්වල නොකරපු දෙයක් නෑ කෙල්ලො එක්ක. වක්කරපිය ටිකක්. අලුත් පිදුරුගොඩක් කියන්නෙ මොකක්ද කියල දන්න එකක්වැ දැන් ඉන්න උං"
(මුත්තු අත්තා - පිටුව 279)

වැව, දාගැබ, ගම, පන්සල කියන රූපක පාවිච්චි කරලා නිර්මල අර්ථයකින් වහන්න හදන ඇත්ත ගමේම තමයි, උයාගෙන කන වළං, ගෙදර අලංකාර කරන මල්පෝච්චි මහන්සියෙන් හදන මිනිස්සුන්ට 'බඩහැලයෝ' නමින් කොන්කර සලකන්නේ. ඔවුන් ජීවත්වන භූමිභාග 'බඩහැල ගම්' නැතිනම් වළංගංගොඩවල් ලෙස නාමකරණය කරන්නේ. හැබැයි කුලීන, කුලහීන දෙගොල්ලොම ලිංගිකත්වය කියන සාධකයෙදි එකට එකු වුණු අඳුරු අහු- මුළු තියනවායැයි කීම මේ නවකතාව ඇතුළදි විතරක් නෙවෙයි ඇත්ත සමාජයෙත් අපිට බැහැර කරන්න බෑ. එක අතකට ඒක අපි විසින් අපි ගැනම අටවා ගන්නා කුලය, ජාතිය වැනි පාරභෞතික අධිනිශ්චය කිරීම් වලට සොබාදහම මගින් 'සමානත්වය' තෙරුම් කරලා දෙන රහස් ගිවිසුමක් වැනියි. ඒ ගැන තීරණාමක කාරණයක් මේ ලියවිල්ලේ අවසානයට එකතු කරන්න හිතාගෙන මං හැරෙනවා දිනසිරි දිහාට.

දිනසිරි හිතින් ආදරෙයි තමන්ගෙ ඉස්කෝලෙ ගුරුවරියකගෙ දුවකට. වයලින් එකක් අතින් අරගෙන යන රන්දිමා ට. ඇගේ හිතෙත් දිනසිරි ගැන අමුත්තක් තියෙනවා. හැබැයි ප්‍රේමයක් විදියට විකසිත වෙන්නෙ නෑ. රන්දිමාලගෙ ගෙදරට අවශ්‍ය වළං හැදෙන්නෙ දිනසිරිලාගේ අතින්. හැබැයි දිනසිරිලාට ඒ ගෙදර ඉස්සරහ දොරින් පිවිසීම තහනම්. කුස්සියෙ තියපු බංකුවක තමයි දිනසිරි, නංගී හෝ අම්මා එහි ගියොත් වාඩිවෙන්න ලැබෙන්නේ. ඒ තමයි වළංගංගොඩේ අයට ලැබෙන සැලකිල්ල. කුරුලු ගංගොඩ ලෙස තමං ගුවන්විදුලියට තැපැල්පත් යැවීම තුළ සාක්ෂාත් කරගන්නෙ ඊට සමහන්කාරකයක්. දිනසිරි පසුකලෙක කුරුලු නමින් පෞද්ගලික ගුවන්විදුලියේ වැඩසටහන් කරද්දී මේ ඇත්ත වහන සුන්දර ගමක ප්‍රතිරූපය රටට පෙන්නද්දි මුත්තු අත්තා ඇරුණුකොට එය විචාරය කරන තවත් කෙනෙක් තමයි සරත්. ඔහුත් මුත්තු අත්තා වගේ අව්‍යාජ මිනිහෙක්ද? කලක් විප්ලවවාදී පක්ෂයක සාමාජිකයෙකු වෙමින් වාමාංශික දේශපාලනයේ නියැලුන කෙනෙක් වන සරත් යථාර්ථය දකින්නෙකු හා එය කුරුලුට සම්මුඛ කරන්නෙකු ලෙස තමයි දෘෂ්‍යමාන වෙන්නේ. ඒත් අපිට ඒ දෘෂ්‍යමානය විනිවිද කියවන්න පුළුවන්. එතකොට ඇත්ත සරත් පේන්න ගන්නවා. ක්‍රමය විවේචනය කරමින් නමුත් එයින්ම යැපෙන නියම ශී්‍ර ලාංකික තක්කඩිකම. එහි උච්චම තැන තමයි කුරුලුගේ හදිසි මරණයෙන් පසු, සරත්ගේ හැසිරීම. ඒ වන විට ඔහු කුරුලුගෙ නංගිගේ විවාහාපේක්ෂක පෙම්වතා. ඔහු කරන්නේ කුරුලු දියවන්නාව අබියස තැනූ නිවස තමා සතු කර ගැනීමට කටයුතු කිරීම. ඉතින් මේ හිටපු වාමාංශිකයා එෆ් එම් කරණයට අහුවුණ කුරුලුට වඩා තීක්ෂණයි. ඇත්තටම පශ්චාත් නූතන සමාජ තත්ත්වයක් ඇතුළෙ දි අපිට කුරුලුලාටත් වඩා හම්බවෙන්නෙ සරත්ලා. කුරුලුලාටත් වැඩිය අපිව අන්දන්නෙ සරත්ලා.

කුරුලු තමා විසින් 'අපේකම', 'අපේ දේ' ලෙස අනුභූතික වපසරියක ඉඳන් මියුරු එෆ්එම් සඳහා නිර්මාණය කරන ප්‍රචාරක පාඨ හා අදහස් අසන්නන්ට වශීකෘත ලෙස පත්තියම් වීම රටේ අනාගතයට කෙසේ බලපායිද යන්න ගැන සිතන්න තරම් විචඬණ නැහැ. ඒ ගැන ඔහු සිතන්නේ අහිංසකව. නමුත් සරත්ට තියෙනවා ඒ ගැන අදහසක්.

දිනේ, මියුරු එෆ්එම් කාරයොයි, එයාලට දැන්වීම් දෙන සමාගමුයි, එව්ව පිටිපස්සෙ ඉන්න දේශපාලකයොයි ඔයාගෙ වචන මාලාව යොදාගන්නෙ උන්ගෙ ව්‍යාපෘති ගමට ගෙනියන්න. විවෘත ආර්ථීකේ වැඩකොටස සම්පූර්ණ කරන්න. මං මේ විවෘත ආර්ථීකේ කියල කියන්නෙ ගෝලීය ප්‍රාග්ධනයට මිසක් වෙන දේකට නෙමේ. (ගෝලීය ප්‍රාග්ධනය කියන්නෙ ජේආර්ගෙ වැරැද්දක් කියලනෙ ගොඩක් අය හිතන්නෙ. ඒ හින්දා ජේආර්ට බැණ බැණ ගෝලීය ප්‍රාග්ධනයටම සේවය කරන්න පුළුවන්) ඒක අපේ හැම අහුමුල්ලක්ම අල්ලගන්න එක වැලැක්විය හැකි ඓතිහාසික කාර්යයක් නොවෙන්නත් පුළුවන්. ඒත් ඉතිහාසයේ උපකරණය විදියට දිනේව පාවිච්චි වෙනව දකින්න මං කැමති නෑ.

ඊටත් වඩා භයානක දෙයක් මට පේනවා. ඔයා ජනප්‍රිය කරපු වචන මාලාව ඉතාම දරුණු ජාතිවාදීන්ගේ සටන් පාඨ වීම. අපි කාටත් මේ අනතුර දැන්ම පේන එකක් නෑ. සියලු දෙයින් සම්පූර්ණ පිරිසිදු, සුජාත, ධාර්මික සාමකාමී ගමක් අපට තිබුණා කියන කතන්දරේ දේශපාලකයොයි, බිස්නස්කාරයොයි, කලාකාරයොයි ඔක්කොම කියනවා. පහුගිය කාලෙ ලෝක ඉතිහාසෙ අරන් බැලුවොත් පේන එකක් තමයි ලෝක අධිරාජ්‍යයවාදියො එන්නෙ ජාතිය ගැන කතා කරන ඔය වගේ එවුන්ට මුවාවෙලා. යටත් විජිත යුගයෙදි අධිරාජ්‍යවාදියො ඉගෙන ගත්ත හොඳ පාඩමක් තමයි ඒක.

(පිටුව 296: සරත් කුරුලුට ලියූ ලිපියකින්)

මේක කියවද්දි අපිට දැනෙන්නෙ සරත් ජාතිවාදයට විරුද්ධ අදහස් ඇති කෙනෙක් හැටියට. නමුත් ඔහුගේ දේශපාලන ආත්මය අධිරාජ්‍ය විරෝධය, ඇමෙරිකානු විරෝධය සහිත ප්‍රචාරක ජාතිකවාදය. නැතිනම් වඩාත් න්‍යායික ජාතිවාදය. කුල පීඩනයෙන් පෙලුණ සමාජවාදියායේ ජාතිකත්ව හීනමානය කියල වුණත් මේක නාමකරණය කරගන්න පුළුවන්. කුලය නම් වූ පාර ගොඩනැංවීමක් ඔස්සේ අධිපති සමාජය විසින් පටවන ලද පීඩාවට සහනයක් ලෙස ජාතිය පරමයක් යැයි සීතීමක් කියල හඳුන්වන්නත් පුළුවන්. මොකද කුරුලුගේ අදහස් ජාතිවාදීන්ගේ සටන් පාඨ කෙරෙහි බලපෑම සරත් දකින්නේම 'ජාතිය' නම් ප්‍රපංචය බිඳවැටෙතැයි අවිඥ්ඥාණික බියකින්.

අපි හොඳම ජාතිය කියලා හිතාගෙන ඉඳලා විනාශ වෙලා ගිය ජාතියක් හැටියට අපි ඉතිහාසෙන් අතුගෑවිලා යයිද? මට නං ඔය බය තියෙනවා. ඒකත් ජාතිවාදී බයක්ද මන්දා. නැත්නම් වෙනස් වෙන්න බැරි ජාතියක් වඳවෙලා ගියාම මොකද කියල පැත්තකට වෙන්න පුළුවන්නෙ. මට එහෙම පැත්තකට වෙන්න බෑ.
(පිටුව 297)

නවකතාවේදී කුරුලු නොදැන, එතරම් නොසිතා කළ දෙය සම්පූර්ණයෙන් සවිඥාණිකව ඇත්ත මාධ්‍ය භාවිතය තුළ පැන නැගීම අපට අභිමුඛ වෙන්නේ පෞද්ගලික මාධ්‍ය වඩාත් තරගකාරීව ව්‍යාප්තවීමත් එක්කයි. ඒ තුළ කුරුලු වැනි පාවිච්චි වෙන අහිංසකයන්ට වඩා දේශවාත්සල්‍ය, ඉහිහාසය ගැන, බලයේ සිටින රාජ්‍ය පාලකයාට වාසි දායක කෙප්ප දොඩවන්නේ තමන් ඉන්නේ කොතැනද? තමන් සේවය කරන්නේ කාටද? යන්න හොඳින්ම දන්නා පිරිසක්. අනික් අතට රාජ්‍ය මාධ්‍යද? පෞද්ගලික මාධ්‍යද? කියා වෙනසකුත් දැන් නැහැ. දුකා, ජැකා වැනි මොළ සෝදන්නන් හැම තැනම. ඒ නිසා අපිට කුරුලුගේ චරිතය අවභාවිත මාධ්‍ය සංස්කෘතියක ගොදුර බවට පත්වූ මිනිස් අංශුවක් ලෙස කියවන්නත් පුළුවන්. ඒ වගේම දැන් ඉන්න තක්කඩි ඉදිරිපත්කරන්නන් විසින් ජාතිකත්වය ඔජ වඩවන වැඩසටහන් වලට ගෙන්නනන අමරසේකර, සූරියප්පෙරුම වැනි ජාතිවාදී විද්වතුන් පාලකයාට අවශ්‍ය බොරුව ලස්සනට අයිසින් කරමින් සිටීම සරත් වර්ගයේ චින්තනයක් ලෙස අර්ථ දක්වන්න වෙනවා. ආසන්නම උදාහරණය වන "විධායක ජනාධිපති ධූරයට විරුද්ධ වන්නේ කොටි හිතවාදීන්" යැයි කියන අචාර්ය අමරසේකරගේ මතය. එය කුරුලු වැන්නෙකු කළ දෙයෙහි අවසාන ප්‍රථීඵලය නොව සරත් වැන්නෙකුගේ සුපිරි අහම යි. කරුගේ මරණයෙන් පසු එම හිදැසට ආදේශ කරවන අනුප්‍රාප්තිකයා නොහොත් 'පොඩි කුරුලු'ත් එවැනි දෙබිඩ්ඩෙක්. සරත් විතරක් නෙවෙයි ඔහුගේ මිත්‍ර කථීකාචාර්යවරයාත් එවැන්නෙක්. ඔවුන් රාජ්‍ය ප්‍රතිසංස්කරණය, ගැටුම් නිරාකරණය, යහපාලනය වැනි ප්‍රගතිශීලී ක්ෂේත්‍රවලත් ජාතිකත්වය අධිනිශ්චය කෙරෙන තැන් වලත් එක ලෙස ගැවසෙන්නන්. මේ දෙතැනින්ම ඔවුන්ට වැදගත්වෙන්නෙ එක දෙයයි. ඒ තමයි ප්‍රාග්ධනය. හැබැයි ඔවුන්ම එය දන්නවා.

"මල්ලි සිංහලයා තමයි කතරගම දෙයියන්ගෙ නියම දරුවා. දෙමළා නෙමේ. අපි තමයි හරියට දන්නෙ එක එක තැනට එක එක මූණ පෙන්වන විදිය. අත් දොළහ විතරක් නං හොල්ලන්නෙ නෑ..."
(පිටුව 365)

කතාවේ අන්තිමේ සරත්ගෙ මිත්‍ර අචාර්යවරයා මෙහෙම කියනවා. එතෙන්දි සමස්ත කතාවෙම එන බොහෝ චරිත මේ ප්‍රකාශනයෙදි හකුලා දැක්වෙනවා. හැබැයි තමන්ගේ අනුභූතිය තුළ විතරක් හිතපු, ඒක විතරක් අහමක් කර ගත්ත කෙනෙක් විදියට මම නම් එතෙන්දි කුරුලුව නිදහස් කරනවා. අතීත ගම්වල කුලය මූලික කරගත්ත කොන් කිරීම්, පිටුදැකීම් මැද ලිංගික්වය ක්‍රියාත්මක වුණා කියල මුලින් මතු කරපු කාරණයටත් අවශ්‍ය නම් මේ ඔස්සේම යන්න පුළුවන්. රන්දිමාගෙ මව හෙවත් 'සිරිමලී ඉස්කොලෙ හාමිනේ' ත් දිනසිරිගෙ මව වූ ජේනුත් අධිකාරී නම් ගුරුවරයෙකුට දාව උපන් අය බව කතාවෙ අන්තිමේ හෙළි කැරෙනවා. එතනදී අධිකාරීගේ විවාහයෙන් පිටත උපන් දැරිය ජේන්. ඇගේ මවට රුක්මණීදේවිය පරයන තරම් රූසපුවක් තිබූ බවත් කියැවෙනවා. ඉතින් ඒ ආකර්ශනයට කුලීන ඉස්කොලේ මහත්තයගෙ අනුරාගය කිතිකැවෙන්න කුලය බාධාවක් වෙලා නැහැ. නමුත් කතාවට අනුව සිරිමලී මෙය දැන නමුත් යටපත්කොටගෙන සිටින ඇත්තක් විදියටයි ප්‍රකාශ වෙන්නේ. ඈ දිනසිරිලාට ඉස්තෝප්පුවේ ඉඳගන්නට ඉඩ නොදී කුස්සියේ බංකු දෙන්නේ කුලය නම් වූ ප්‍රබන්ධය විසින් තමන් තුළ ඇති කළ ගර්වය නිසයි.

මේ සියල්ලත් එක්ක සලකා බලන විට 'කුරුලු හදවත -දේශීයත්වයට එරෙහි වෛරීය විරේචනය' මැයෙන් පසුගිය දිවයින වටමඬල අතිරේකයකට සේන තෝරදෙණිය ලියා තිබුණ විචාරයේ තිබූ කරුණක් කෙරෙහිත් අවධානය යොමු නොකර බැහැ. 'නියම ජාතිකත්වයේ පපඩම්','සුජාත දේශීය බීඩි','නොඉඳුල් සිංහල හාල්', 'විජාතික නොවන විස්කෝතුවක්', 'ගමෙන් ගෙනා නූඩ්ල්ස්', 'දේශීයත්වයේ සුවඳ රැඳුණු මදුරු දඟර' ලෙස කුරුලු ලියන වෙළඳෙ ප්‍රචාරක පාඨ උපුටා දක්වමින් ඔහු කියන්නේ ඒවා කතාකරුගේ කවට කතා මිස එවැනි ප්‍රචාර කරන අමන ව්‍යාපාරිකයින් තවමත් මෙරට බිහිවී නැති බවයි. තොරදෙණියගේ නොතේරීම පෙන්වන මේ දුබල තර්කය මතින් අපට පේන්නෙ 'සමාජ සත්තාව' හා 'ප්‍රබන්ධය' අතර ඇති සම්බන්ධතාව කියවීම තුළ වියා ගැනීමට ඔහු අසමත් බවයි. තවත් සරලව කියනවා නම් සාහිත්‍යය තුළ එන 'ව්‍යංගය' තේරුම් ගැනීමට තරම් බුද්ධියක් ඔහු සතුව නැති බවයි.

ඒ වගේ අවිචාරකයින් අපේ ඇස්වලට බලෙන් දාන්න හදන කණ්ණාඩි වලින් මිදිල බලද්දි මට හිතෙන්නෙ මෙහෙමයි. ශිල්පීය පක්ෂය ගත්තත් කුරුලු හදවත කියන්නෙ අපූරු රචනාවක්. වරෙක එය සිනමාත්මකයි. වළං මඩුවේ කනුවක ගැසූ ඇනයක එල්ලාගෙන දිනසිරි සවන්දුන් බැටරි වලින් ක්‍රියා කරන පුංචි රේඩියෝව රූපයක් වෙමින් වරින් වර අතීතය හා වර්තමානය වියනවා. ඔහු මාධ්‍යලෝකයේ ජනප්‍රිය තරුවක්ව මිය ගිය පසු නැගණිය එය බදාගෙන අඬද්දී කුරුලු ලෙස පණ ගැහුණ මිනිස් හදවතක රිද්මය අපට දැනෙනවා.

විකුම් ජිතේන්ද්‍ර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails