Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


2014 ඔක්තෝබර් 03 වැනිදා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය විසින් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පැවැත් වූ ගාන්ධි අනුස්මරණ උත්සවයේ දී ලියනගේ අමරකීර්ති කළ දේශනයේ සංක්ෂිප්ත පිටපත.

මහත්මා ගාන්ධි තුමා සම්බන්ධයෙන් මේ ඉතා කෙටි දේශනය උනත් මම කරන්නට කැමතියි විසි වැනි සියවසේ ඉන්දියාවේ මා ප‍්‍රිය කරන නිතරම කියවන, හදාරණ චරිත හතරක් ගැනම සඳහන් කරමින්. මේ හතර දෙනාම මගේ බුද්ධිමය විශ්වය පළල් කරන්නට අතිශයින් දායක වී තිබෙනවා. මේ හතර දෙනා ගැනම පොතපත ලියවීමත් ඒවා කියවීමත් තවමත් සිද්ධ වෙනවා. ඒ හතර දෙනාගෙන් පළමු වැන්නා මම ගුරු තනතුරෙහිලා සලකන ගුරුදේව රවීන්ද්‍රනාත් තාගෝර්. දෙවැනියා අද අපි කතා කරන මහත්මා ගාන්ධි. තුන් වැනියා ආචාර්ය බී.ආර්. අම්බෙඩ්කර් . හතර වෙනියා පණ්ඩිත් ජවහර්ලාල් නේරු. මේ හතර දෙනාගෙන් විවිධාකාරයෙන් ආභාසය නොලැබූ ලෝකපුරවැසියෙක් අපේ කාලයෙන් හොයාගන්නට හැකිද යන්නත් ප‍්‍රශ්නයක්. මේ හතර දෙනාට අමතරව තාමත් ජීවත් වෙන ප‍්‍රබුද්ධ ඉන්දියානුවෝ ගණනාවක් මගේ අධ්‍යාපනයට හා චින්තනය බලපා තිබෙනවා. ඉන් එක්කෙනෙක් තමයි අමර්තයා සෙන්. මටත් මගේ පරම්පරාවේ මා දන්නා තවත් අයටත් බලපා ඇති විසි වැනි සියවසේ ඉන්දියානු චින්තකයන්ගේ ගණන ලාංකික චින්තකයන්ගේ ගණනට වඩා වැඩියි. ඇමරිකා එක්සත් ජනපදයේ පශ්චාත් උපාධි පුහුණුව ලැබූ අප බොහෝ දෙනෙකුට බලපා ඇති ඉන්දියානු චින්තකයන්ගේ ගණන ඇමරිකානු චින්තකයන්ගේ ගණනට වැඩියි.

අනෙක් අතට මිනිස් බුද්ධියේ සහ මනුෂ්‍යත්වයේ විශිෂ්ට ප‍්‍රකාශයට පත්වීම් එක් තනි ජාතියකට හෝ රටකට අයිති වන්නේ නෑ. කවර ඓතිහාසික කොන්දේසි යටතේ ප‍්‍රකාශයට පත් වුවත් මෙවැනි විශිෂ්ට චින්තකයන්ගේ විශිෂ්ටතා ජයග‍්‍රහණ සේම පරාජයන්ද සියලු ලෝක පුරවැසියන්ට අයිතියි. ඒ නිසා විසි වැනි සියවසේ සියලු විශිෂ්ට මනුෂ්‍යයන් අප සියලු දෙනාට අයිතියි. මහත්මා ගාන්ධි පරමාදර්ශී මනුෂ්‍යයෙකු නොවුණත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකු බව බොහෝ දෙනෙක් පිළිගන්නවා.

ඔහුගේ චරිතය සහ බුද්ධිමය සකස්වීම ඉතා සිත්ගන්නා කතාවක්. සාමාන්‍යයෙන් අප සිතන්නේ ගාන්ධිගේ හැඩගැසීම මූලික වශයෙන්ම ඉන්දියානු සංසිද්ධියක් කියා. එහෙත් ඔහුගේ මුල් කාලීන බුද්ධිමය හැඩගැස්මට බලපෑවේ ඉන්දියානු අය නොවේ. මුල් කාලීනව ඔහුගේ චින්තනය සකස් වූයේ ලියෝ ටොල්ස්ටෝයි, ජෝන් රස්කින්, හෙන්රි තෝරෝ ආදීන්ගේ බලපෑමෙන්. ඔහු ගැටවර වයසේදී එංගලන්තයේ ඉගෙන ගනිද්දී මුණ ගැසුණු නිර්මාංශවාදීන්, බි‍්‍රතාන්‍ය හා යුරෝපා ජාතීන්. ඇතැම් දකුණු අප‍්‍රිකානුවන්, ගාන්ධිගේ චින්තනය සකස්වීමට තීරණාත්මකව බලපෑවා. ඒ නිසා තමයි තාමත් ජීවත් වන එක්තරා දකුණු අප‍්‍රිකානුවෙක් ඉන්දියානුවන්ට කියන්නෙ "ඔබ අපට නීතිඥයෙක් දුන්නා, අපි ඔබට මහත්මා දුන්නා". ගාන්ධි බිෆෝ ඉන්ඩියා කෘතියේ එන හැටියට ගාන්ධිගේ මුල් කාලීන චින්තනය හැඩගැසීමට බල පෑ බොහෝ දෙනෙක් ඉන්දියානු නොවන අය.

අපි අර ශ්‍රේෂ්ඨ ඉන්දියානුවන් හතර දෙනා වෙත යමු. මහත්මා ගාන්ධිට නියම ගෞරවය පුද කළ හැක්කේ මේ හතරදෙනා ගැනම සඳහන් කරමින් බවයි මට හිතෙන්නෙ. ඔවුන් අපට අයිතියි. ඒ හතර දෙනාගෙන් ලංකාවේ අපි බොහෝ කලෙකට පෙර උගත හැකිව තිබූ පාඩම් තවම ඉගෙන ගෙන නෑ.

අපට මේ ශ්‍රේෂ්ඨ මිනිසුන් ගැන අංලකාර සිංහල භාෂාවෙන් ආකර්ෂණීය ආලවට්ටම් දමා කතා කර නවතින්නට පුළුවන්. එහෙත් අප කළ යුත්තේ මෙවැනි මිනිසුන් පිළිබඳ සෑම සඳහනක්ම දැනටත් අප වෙත ඇති විශිෂ්ටතා යළි අවධාරණය කරන්නටත්, අපේ අවිශිෂ්ටතා සහ අසාධාරණයන් පිළිබඳ ප‍්‍රතිසංස්කරණීය මැදිහත් වීම් කිරීමටත් උත්තේජනයක් සේ යොදා ගැනීමයි. ගාන්ධිගේ පොත අපේ පොත් රාක්කයේ තියාගෙන හිංසක දේශපාලනයක යෙදීම, හිංසක ආයතන, හිංසක සංස්කෘතික පැවතුම් ආරක්ෂා කිරීම යනු ගාන්ධිට කරන විසාල නිගරුවක්. විධායක ජනාධිපති ක‍්‍රමය යනු අප සිරවී ඇති භයානක හිංසක ව්‍යූහයක්.

කවුරුත් ඇතුළත් කර ගැනීම

මම රසවත් සිද්ධියකින් පටන් ගන්නම්. නිදහස් ඉන්දියාවේ පළමු කැබිනට් අමාත්‍යවරුන්ගේ නාමලේඛනය ආණ්ඩුකාරවයාට බාර දීල ආණ්ඩුව පිහිටුවීම සුබමොහොතින් යෙදිලා තිබුණා. ඒත් ඉන්දියාවෙත් අපිට සමාන දේවල් සෑහෙන්න තියෙනවනෙ. ඇමතිවරුන්ගේ නම් ටික ලියල තිබුණා කොළ කෑල්ල නැතිවෙලා. නේරු ආණ්ඩුකාරයට බාර දුන්නෙ හිස් ලියුම් කවරයක්. දිවුරුම් දීමේ උත්සවේ එනවිට ඒ කොළ කෑල්ල හම්බ උනා. අගමැති නේරුට අමතරව 13 දෙනෙක් කැබිනට් මණ්ඩලේ හිටියා. ඒ අතර හිටියා දැඩි ජාතිකවාදීන් වූ වල්ලභ්බායි පටෙල්, මව්ලානා අබ්දුල් කලාම් අසාද්. ඉන්දියානු කොංග‍්‍රසයේ තරුණ පරම්පරාව නියෝජනය කළ හතර දෙනෙක්. එහෙත් වැදගත්ම යැයි සැලකෙන නම් අයිති උනේ කොංග‍්‍රස් පක්ෂයට නෙමේ. දෙන්නෙක් ව්‍යාපාර ලෝකය නියෝජනය කළා. එක්කෙනෙක් සීක් ජාතිකයෙක්. එක්කෙනෙක් බෙංගාලයේ, ශ්‍යාම් ප‍්‍රසාද් මුකර්ජි. තව තුන්දෙනෙක් කොංග‍්‍රසයට යාවජීව වශයෙන් විරුද්ධ වූ අය. මේ අය අතරින් එක්කෙනෙක් තමයි ආචාර්ය බී.ආර්. අම්බෙඩ්කර්. අතිශූර නීතිඥයෙක්. ඉතා පීඩිත හරිජන කුලයෙන් ආව ඒත් කලම්බියා විශ්වවිද්‍යාලෙන් ආචාර්ය උපාධි ගත්ත කෙනෙක්. කොංග‍්‍රස් පක්ෂයට ඕන්නං ගෙඩිය පිටින් බලය බදා ගන්න තිබුණ වෙලාවෙ ඇයි මෙහෙම කළේ කියන මාතෘකාව පැන නැංගා. මහත්මා ගාන්ධි අමරණීය උත්තරයක් දුන්නා:

"Freedom comes to India not to the congress"

අද අපි මේ ඉතිහාසය කියවද්දී හිතෙනවා අපිට මෙහෙම කියන්නත්, ඒ කියූ දේ ක‍්‍රියාවට නගන්නත් ශ්‍රේෂ්ඨ නායකයෙක් හිටියද කියා. 48දී 56 දී 72 දී 83 දී 2009 දී. 2014දී.

ඉන්දියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කවර අඩුපාඩු තිබුණත් සියලු දෙනා ඇතුළත් කරගන්නා සුලු ආණ්ඩු ක‍්‍රමයක් ලෞකික ව්‍යවස්ථාවක් යනාදිය ඇති කිරීම ඉන්දියානු නිදහස් අරගලයේ සිටි මධ්‍යස්ථ මතධාරී සහ ආදර්ශවත් නායකයින්ගේ ජයග‍්‍රහණයක්.

ගාන්ධි හැදුණෙ වැඩුණේ ඉතාමත් පුරුෂෝත්තම සමාජයක බවත් ඔහුගේ යෞවන වියේදී ඔහු අන් ඕනෑම සාමාන්‍ය පුරුෂයෙකු සේ ස්ත‍්‍රීන්ට සැලකූ බවත් ඔහුගේම ස්වයං ලිඛිත චරිතාපදානයේ ලියා තිබෙනවා. නමුත් ඔහු ස්ත‍්‍රීන් සම්බන්ධයෙන් බෙහෙවින් ප‍්‍රගතිශීලි ආස්ථානයක් වෙත මාරු උනා. මධු කිශ්වාර් වැනි පර්යේෂිකාවන් කියන හැටියට 19 වැනි සියවසේ අනෙක් දේශපාලන චින්තකයන් මෙන් ස්ත‍්‍රිය පිරිමින් විසින් ගලවා ගනු ලැබූ කාරකශක්තියෙන් තොර පිරිසක් සේ ගාන්ධි සැලකුවේ නෑ. ඔහු ස්ත‍්‍රීන් සැලකුවේ තමන්ටම කාරකශක්තියක් ඇති, තමාටත් කටහඬක් හිමිවිය යුතු පිරිසක් හැටියටයි. ඒ නිසා ගාන්ධි ස්ත‍්‍රීන් නිදහස් අරගලයේ සම-සහකාරියන් බවට පත් කර ගන්නට තැත් කළා. "මා ස්ත‍්‍රීන්ගේ නිදහස වෙනුවෙන් සේවය නොකරන්නේ නම් මගේ කාර්ය අවසන් නොවූ කාර්යක් වන බව මා දකුණු අප‍්‍රිකාවේ දී වටහා ගත්තෙමි"යි ගාන්ධි කියන්නේ ඒ නිසයි.


බී.ආර්. අම්බෙඩ්කර්

සාම්ප‍්‍රදායික ප‍්‍රඥාව

මහත්මා ගාන්ධි තුමාගෙන් අපිට ඉගෙන ගන්න තියෙන වැදගත් දෙයක් තමයි ආගම ආදී සාම්ප‍්‍රදායික ප‍්‍රඥාවේ මූලාශ‍්‍ර දේශපාලනික ආචාරධර්ම සඳහා භාවිත කරන හැටි. ආත්ම ඒකපුද්ගල සේම සාමූහික ආත්මපරිත්‍යාගය දේශපාලනය තුළට ගෙනෙන හැටි. තනි පුද්ගලයා තුළ මිනිස් විශිෂ්ටත්වය සොයා ගැනීම තුළින්, එනම් තනි පුද්ගලයා තුළ දෙවියන් සොයා ගැනීම තුළින් සාධාරණ සමාජයක් ගොඩනගන හැටි ගාන්ධි කල්පනා කළා. මේ නිසා ඔහුගේ චින්තනය බටහිර නූතනත්වයට වඩා වෙනස්. මහත්මා ගාන්ධිගේ යාවජීව විචාරකයෙකු වූ අචාර්ය බී.ආර්. අම්බෙඩ්කර්, නිදහස් ඉන්දියාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම බාරව පත් කෙරෙන්නේ ගාන්ධිගේත් ආශීර්වාදය ඇතුව. මේ අපේ රටේ හීනෙන් වත් හිතන්න බැරි වැඩක්. ගාන්ධි තනි තනි පුද්ගලයා තුළ ඇති කෙරෙන ආචාරධාර්මික වර්ධනය මගින් සමාජය යහපත් කරන්නට තැත් කළා නම් ආචාර්ය අම්බෙඩ්කර් කල්පනා කළේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, නීතියේ පාලනය මගින් සමාජය සාධාරණය ඇති කරන්න. ඉන්දියාව වැනි අතිශයින්ම අසමාන, විවිධ, ධුරාවලි සහගත සමාජයක් ඒකපුද්ගල මිනිසාගේ ආචාරධාර්මික විශිෂ්ටත්වය සොයා ගැනීමෙන් පමණක් යහපත් කළ හැකි යැයි ආචාර්ය අම්බෙඞ්කර් කල්පනා කළේ නෑ. ඒ වගේම ගාන්ධි වැනි අය කුල භේදය ස්වභාවික දෙයක් සේ ක‍්‍රියා කරන බවත් අම්බෙඞ්කර් විශ්වාස කළා. ඒ ධුරාවලි ස්වභාවික ඒවා නොවේ. ඒවා මිනිස් නිර්මිත. සමාජ සාධාරණය සඳහාත් විශේෂයෙන් සංස්කෘතික, ආගමික, හෝ ආර්ථික බලය ඇති හික්මවීම සඳහාත් විශිෂ්ට නීති සම්පාදනයත් නීතියේ ආධිපත්‍යය ඇති කිරීමත් අත්‍යවශ්‍ය බව ඔහු තර්ක කළා. ඔහු එක් තැනක මෙහෙම කියනවා.

"Constitutional morality is not a natural sentiment. It has to be cultivated. We must realize that our people have yet to learn it."

"ව්‍යවස්ථාමය සදාචාරය යනු ස්වභාවික මනෝභාවයක් නොවේ. එය වගා කරනු ලැබිය යුතුය. එය වූ කලි අපේ ජනතාවට තාමත් ඉගෙන ගැනීමට ඇති දෙයකි."


මේ දෙදෙනා අතර කොතරම් වෙනස්කම් තිබුණත් මේ දෙදෙනාම ශ්‍රේෂ්ඨ ජනනායකයන් බවත් ඒ දෙදෙනාම නිවැරදි බවත් මම හිතනවා. ඒ දෙදෙනාම එකවරම නිවැරදියි කියාත් මා හිතනවා. ඒ වගේම මා හිතනවා ගාන්ධිගේ අරගලය සහ අදහස් නොවුණා නම් අම්බෙඞ්කර්ගේ අදහස් මෙතරම් තියුණුව ප‍්‍රකාශ නොවන්නට ඉඩ තිබුණා. නිදර්ශනයක් හැටියට කුල ක‍්‍රමය එක්තරා ශ‍්‍රම විභජනයක් සේ ගාන්ධි හඳුන්වන කොට ආචාර්ය අම්බෙඞ්කර් කිව්වෙ එසේ කීම කුල ක‍්‍රමය තර්කානුකූල කිරීමක් බව. එය ශ‍්‍රම විභජනයක් නම් එමඟින් කෙරෙන්නේ ඒ ශ‍්‍රම විභජනය නැවත වෙනස් කළ නොහැකි ස්ථිර බෙදීමක් බවට පෙරලීමක් බව ඔහු පෙන්නා දුන්නා. එතැනදී මම වඩාත් ළං වන්නේ අම්බෙඞ්කර්ගේ චින්තනයට. එහෙත් මහත්මා ගාන්ධි සාම්ප‍්‍රදායික හින්දු චින්තනය එහි ඇතුළතින්ම අල්ලා කණපිට හරවන්නට තැත් කළ බව මම හිතනවා. ආගම් තුළ ඇති දර්ශනයන්හි යම් විමුක්තිකාමී හරයන් තිබිය හැකි වුවත් සංවිධානාත්මක වූ ද දේශපාලනීකරණය වූ ද ආගම්වලින් මුලින්ම ඈත් වෙන්නේ ඒ විමුක්තිකාමී හරය බව මහත්මා ගාන්ධි ඝාතනයෙනුත්, බණ්ඩාරනායක ඝාතනයෙනුත්, මුස්ලිම් අන්තවාදීන්ගේ කෙළවරක් නැති ඝාතන ලැයිස්තුවෙනුත් පේනවා. මහත්මා ගාන්ධි ආයතනගත ආගමේ ඇති මෙම හිංසක විභවතාව හොඳින්ම දැනගෙන පුළුවන් නම් තමන් ළඟ දෙවියන් සිටින බව පෙන්වන්නැයි ආගම් වලට අභියෝග කළ කෙනෙක්. එතුමා ආයතනගත ආගම් දිහා බැලූවේ සැකයෙන්. ඒ නිසා එතුමා තැත් කළේ ඒකපුද්කල මිනිසා තුළ ඇති ආචාරධාර්මිකත්වය, ධාර්මිකත්වය ක‍්‍රියාශීලි පුරවැසියෙකු නිර්මාණය කිරීම සඳහා මතු කර ගැනීම. ආගම ආචාරධාර්මික තර්කනයක් වෙනුවට ජනවාර්ගික අනන්‍යතාවේ ලකුණක් හැටියට පමණක් සලකන අය එන්න එන්නම වැඩි වෙන මේ කාලෙ ගාන්ධිගේ ආත්ම පරිත්‍යාගය සිහි කළ යුතු නැද්ද?

කලා රසික දේඥපාලනඥයා

මහත්මා ගාන්ධි සිහි කරන අද මගේ ප‍්‍රියතම අනික් ඉන්දියානුවා ගැන සඳහන් කරන්නෙ ඔහු බොහෝ අර්ථ වලින් ගත් විට තාගෝර්, ගාන්ධි සහ අම්බෙඩ්කර් යන තිදෙනාගේම සංකලනයක් බඳු නිසයි. ඔහු දකුණු ආසියාවේ අවසාන ප‍්‍රාඥ දේශපාලනඥයා යැයි කියන්නත් පුළුවන්. උගත්කම, වාග් චාතූර්ය, ගැඹුරු චින්තනය අතින් ඔහු දකුණු ආසියාවේ සිටි විශිෂ්ට ප‍්‍රාඥයෙක්. ඔහුගේ ප‍්‍රභූ සමාජ පසුබිම හා යටත්විජිත අධ්‍යාපනය තිබියදීත් දුගී දුප්පත් ඉන්දියානුවා සමග සහනුකම්පිකව බැලූ කෙනෙක්. විවිධාකාරයේ සමාජ විෂමතා සහිත ඉන්දියානු සමාජය තුළ සාධාරණය ඇති කිරීම පිණිස ඔහුටම ආවේනික සමාජවාදයක් පරිකල්පනය කළ කෙනෙක්. ලෝකය පුරා ප‍්‍රකාශ වූ මනුෂ්‍ය විශිෂ්ටත්වයට ආදරය කළ කෙනෙක්. විශිෂ්ට සාහිත්‍යය කියවීමට ඇලුම් කළ රසවතෙක්; තම ජීවන ලාලසාව වර්ධනය කරන බුද්ධිමත් ස්ත‍්‍රීන් සමීප සුහදිනියන් සේ ඇසුරු කළ ආදරවන්තයෙක්. සිය මරණ මංචකයේදී පවා රොබර්ට් ෆ්‍රොස්ට්ගේ අමරණීය කවියක් කියවමින් සිටි ගැඹුරු රසිකයෙක්.

"stopping by woods on a snowy Evening"

Woods are lovely, dark and deep
But I have promises to keep
And miles to go before I sleep
And miles to go before I sleep


වයස අවුරුදු 74 දී, එනම් 1964 ඔක්තෝබර් 27 වෙනිදා, ශ‍්‍රී නේරු මිය ගිය ඇඳ අසල තිබූ කොළයක මේ කවිය ඔහුගේ අත් අකුරින් ලියා තිබුණා.

එහෙත් ඔහු මිය ගියේ මහත්මා ගාන්ධිගේ චින්තනයෙන්ද, කැපවීමෙන්ද, ආභාසය ලැබූ ශ්‍රේෂ්ඨ ගාන්ධිවාදියෙකු සේ. ඔහුගේ ගාන්ධිවාදයේ විශේෂ ලක්ෂණය වූයේ ඔහු ගාන්ධිගේ අන්ධ අනුකාරකයෙකු නොවී නිදහස් ඉන්දියාව ගොඩනැගීමේදී අවශ්‍ය තැන් වලදී ගාන්ධිවාදයෙන් විචාරාත්මකව ඈත් වීමයි. සමස්ත ඉන්දියාව ලෞකික ඉන්දියාවක් කිරීම ඔහුගේ එක් ජයග‍්‍රහණයක්. නූතනත්වයේ බොහෝ අංග ඉන්දියාවට අවශ්‍ය දේ සේ පිළිගැනීම තවත් එකක්. මේ දෙකම ගාන්ධි තුමාගේ සැකයට භාජනය වූ දේවල්. ශ‍්‍රී නේරුගේ ජීවිතය ගැන අපූරු පොතක් ලියන ශෂී තරූර් දකින හැටියට නූතන ඉන්දියාව වෙත ශ‍්‍රී නේරුගේ බලපෑම රඳා පවතින්නේ ප‍්‍රධාන කුළුණු හතරක් මත.

එක - ප‍්‍රජාතාන්ත‍්‍රික ආයතන ගොඩ නැගීම
දෙක- සමස්ත ඉන්දියාව පුරා පැතිරුණු දැඩි ලෞකිකවාදය
තුන- ස්වදේශීය වශයෙන් ක‍්‍රියාත්මක කළ සමාජවාදී ආර්ථිකය
හතර- කිසිම කඳවුරකට නොබැඳුණු විදේශ ප‍්‍රතිපත්තිය


ඉන්දියාවට නිදහස ලැබුණ දා නේරු කළ ලෝ ප‍්‍රකට කතාවෙදි මෙහෙම කිවුවා.

"මධ්‍යම රාතී‍්‍ර හෝරාව හැඬවෙන විට සෙසු ලෝකය නින්දේ සිටිද්දී ඉන්දියාව ජීවිතය සහ නිදහස වෙත අවදී වෙයි. අප පැරණිබවෙන් පිටය අලුත් බව වෙත පය තබන මොහොත එයි. එක් යුගයක් අවසන් වන මොහොත එයි. ඉතා දීර්ඝ කාලයක් මැඩ තබන ජාතියක ආත්මය ආත්ම ප‍්‍රකාශනයේ වාගාලාපය සොයාගන්නා මොහොත එයි. එය ඉතිහාසයේ කලා තුරකින් එන මොහොතකි. ඉන්දියාවේ සියලු දරුවන්ට නිදහසේ ජීවත් විය හැකි නිදහසේ උත්තම මන්දිරය ගොඩ නැගීමේ කාර්ය අප හමුවේ ඇත."

මේ උත්තම මන්දිරය ගොඩ නැගීමේ කාර්ය අවසන් නොකළ මිනිසෙකු සේ නේරු මිය ගියත් නේරු හදමින් සිටි මන්දිරයත් කඩා බිඳ දැමූ දේශපාලනඥයන් ඉන්දියාව විසින් බිහි කර ඇතත් ගාන්ධියානු පරමාදර්ශ ඉදිරියට රැුගෙන ගිය කෙනෙකු සේ මම නේරු සිහි කරන්නේ අතිමහත් ගෞරවයෙන්. අපේ රටේ ඒ උත්තම මන්දිරය ගොඩනැගීම ආරම්භ කරන්නවත් අදහසක් තියෙන කීදෙනෙක් ඉන්නවද?

මහත්මා ගාන්ධි නම සිහි කරන දවසක මා සිහි කරන අනෙක් ශ්‍රේෂ්ඨ ඉන්දියානුවා තමයි ගුරුදේව රවින්ද්‍රනාත් තාගෝර්. මගේ හදවතට වඩාත් කිට්ටුත් ඔහු. පශ්චාත් යටත් විජිත ඉන්දියාව සියැසින් නොදැක මියගිය ගුරුදේව තාගෝර් ඇතැම් විට ගාන්ධිට අතිශයින් ගෞරව කළ ඒවගේම ගාන්ධිවාදයේ ඇතැම් අංග දරුණු ලෙස විචාරයට ලක් කළ කෙනෙක්. විශේෂයෙන්ම ජනවාර්ගික ජාතිකවාදය ඉන්දියානු ඉතිහාසයේ උරුමයක් නොවන බවත් යුරෝපයෙන් ඉන්දියාවට උරුම වූ දෙයක් බවත් තාගෝර් දැක්කා. බටහිර ශිෂ්ටාචාරයෙන් ද බටහිර නූතනත්වයෙන් ද බොහෝ දේ ඉන්දියාව වෙත උකහා ගත යුතු බව තාගෝර් දැක්කා. ඔහු ජාතිකවාදය නමින් රචනා එකතුවත් ඝරේභයිරේ හෙවත් හෝම් ඇන්ඞ් ද වර්ල්ඞ් නවකතාවත් ගාන්ධියානු ජාතිකවාදය පිළිබඳ ඔහුගේ විචාරය අඩංගු කරගන්නවා. ඉන්දියානු නිදහස් සටන සිදු වන අතරතුරම තාගෝර්, ගාන්ධිගේ ස්වරාජ් යන අදහස ප‍්‍රශ්න කළා. නියම නිදහස යනු මිනිසා සිරකොට තිබෙන ජාතික ආඩම්බරයෙන් මිනිසා නිදහස් කර ගැනීම බව තාගෝර් තර්ක කළා. ජාතිය, ජාතිකත්වය වැනි සංකල්ප ඔස්සේ ඉන්දියානු නිදහස් සටන පරිකල්පනය කිරීම මායාවක් බව තාගෝර් තර්ක කළා.


ගාන්ධි සහ රවින්ද්‍රනාත් තාගෝර්

තර්ක කිරීමකින් තොරව සම්ප‍්‍රදායවාදී වී අතීතයේ මළගිය සිරිත්විරිත් වල මනුෂ්‍යයා සිරකාරයින් කරන ජාතිකවාදය තාගෝර් ප‍්‍රතික්ශේප කළා. ගාන්ධි නූතන විද්‍යාව තරයේ ප‍්‍රතික්ශේප කරද්දී ප‍්‍රජාතාන්ත‍්‍රික නව ඉන්දියාවක් ගොඩ නැගීම සඳහා නුතන විද්‍යාව අත්‍යවශ්‍ය බව තාගෝර් තර්ක කළා. ඒ කාරණයෙදි පණ්ඩිත් නේරු ගාන්ධිවාදියෙකුට වඩා තාගෝර් වාදියෙක්. ගුරුදේව තාගෝර්ගේ අපේක්ෂා කළේ සියලු විශේෂ අනන්‍යතා වෙනුවට නිදහස් ලෝක පුරවැසියෙකු නිර්මාණය කිරීම. යම් කෙනෙකු අයත් ජනවර්ගයට හෝ ජාතියට දේශපාලන බලය ලැබීම සැබෑ නිදහසක් වත් නිදහස කරා යන ගමනේ එක් පියවරක් සේ වත් තාගෝර් දැක්කේ නෑ. බටහිර විසින් පෙරදිග වැරදියට වටහා ගෙන ඇති නම් පෙරදිග කළ යුත්තේ තමන්ගේ වාරයේදී නැවත වරත් බටහිර වැරදියට වටහා ගැනීමද යන්න ප‍්‍රශ්නය තාගෝර් ඇහුවා.

බටහිර යටත්විජිතවාදයට දැඩි සේ විරුද්ධ වූ තාගෝර් යටත්විජිතවාදීන් ඉන්දියාවේ කළ හිංසක ක‍්‍රියාවන්ට විරෝධය පාමින් තමන් වෙත ප‍්‍රදානය කරන ලද නයිට් නාමයද ආපසු බාර දුන්නා. එහෙත් බටහිර යටත් විජිතවාදයට විසඳුම ජනවාර්ගික ජාතිවාදයයි කියන තර්කය තාගෝර් මියෙන මොහොත දක්වාම ප‍්‍රතික්ශේප කළා. මේ දෙදෙනා අතර ඇති වූ විවාද සහ මතභේද නූතන ඉන්දියාවේ පදනම සකස්වීමට බලපෑ බව රහසක් නොවේ. තාගෝර්ගේ මෙම ප‍්‍රශ්න කිරීම ගාන්ධිගේ චින්තනය සංස්කරණය වීමට බලපෑවා වගේම නූතන ඉන්දියාව සකස්වීමටත් බලපෑවා. මහත්මා ගාන්ධි යනු ආත්ම පරීක්ෂාව ස්වයං විචාරය මිය යන මොහොත දක්වාම අත් නොහළ කෙනෙක් බව අපි දන්නවා. මේ කවීන්ද්‍ර ගුරුදේව සහ මහත්මා අතර ඇති වූ වැනි විවාදයක් ලංකාවේ ඇති වූයේ නෑ. සිංහල නවකතාවට තාගෝර් කෙනෙක් නෑ. ඒ නිසා මේ ඉන්දියානු ශ්‍රේෂ්ඨයන්ගේ විවාද නැවත පරීක්ෂා කිරීම අපේද ප‍්‍රඥාවේ වර්ධනයට හේතු වෙනවා.

දේශපාලන හිංසනය පමණක් නොව සංස්කෘතියක අභ්‍යන්තරයේ රැඳී තිබෙන කුල භේදය වැනි ව්‍යූහමය හිංසනය පිළිබඳ විමුක්තිකාමී විරෝධයක් පැන නගින්නේ නැතිව අපේ රටට සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගොඩ නගාගන්නට බෑ. ඒ නිසා මහාත්මා ගාන්ධිගේ සත්‍යාග‍්‍රහ හෙවත් නිර්හිංසක විරෝධය නම් සංකල්පය යළි යළිත් අවශ්‍ය වන කාලයකට මුළු ලෝකයම වගේම අපිත් එළඹ තිබෙනවා. ඒ නිසා මහාත්මා ගාන්ධි ජයග‍්‍රහණයෙන් කෙළ වර වූ සත්‍යග‍්‍රහයක් ගැන කී දෙයක් සිහි කරමින් මේ මගේ වචන ස්වල්පය අවසන් කරන්න කැමතියි.

"බාර්දෝලි සත්‍යග‍්‍රහය මගින් ඔප්පු වන්නේ රාජ්‍යයේ බලයට වඩා ජනතාවගේ බලය ඉතා වැඩි බවයි. මේ සාර්ථකත්වය රඳා පවතින්නේ සාමාකාමී වීමට ජනතාවට ඇති හැකියාව මතත් සාමකාමීව තම විරෝධය ඉදිරිපත් කරන්නට ඔවුන්ට ඇති හැකියාව මතත් ය."

ලියනගේ අමරකීර්ති



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails