Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



2001 වසරේදී 'ප්‍රේමය නම්' කෙටි නාට්‍යය තුළින් වේදිකා නාට්‍ය කලාවට ප්‍රවිශ්ට වන චාමර ගුරුගේ, තමන් විසින් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන ලද කෙටි නාට්‍ය ද්විත්වයකටම මේ වන විටත් රාජ්‍ය සහ යෞවන සම්මාන හිමිකර ගත් තරුණ නාට්‍යකරුවෙකි. ප්‍රේමය නමැති සාධකය ඔස්සේ ස්වකීය නාට්‍ය භාවිතාව මෙතෙක් දිගහරින ඔහු ඒ තුළින් ගැඹුරු ජීවිත සංස්පර්ශයකට අපට ඇරයුම් කරන්නෙකි. ප්‍රතිභාපූර්ණ නාට්‍යකරුවෙකු ලෙස මේ වන විටත් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගෙන ඇති චාමර ගුරුගේ 2009 වසරේදී 'පෙම්යුවළක් සහ පෙම්යුවළක්' කෙටි නාට්‍යය නිර්මාණය කළේය. ඔහුගේ නවතම දිගු නාට්‍යය වන්නේ 'What a nice couple' ය. මේ ඒ වෙනුවෙන් බූන්දිය ඔහු සමග කළ සංවාදයක සටහනකි. 'What a nice couple' දෙසැම්බර් 04 වන දින ප. ව. 4.00 ට සහ ප. ව. 7.00 ට බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් හිදී වේදිකා ගත වීමට නියමිතයි.

ඇයි ඔබ ආදරය ගැන විතරක් දිගින් දිගටම නාට්‍ය කරන්නේ?

මෙහෙමයි. මම මූලිකවම කැමතියි ආදරය ගැන නාට්‍ය කරන්න. හැබැයි ආදරය ගැන විතරයි කතා කරන්නෙ කියලා එකක් නෑ. මේක ප්‍රතිපත්තියක් නෙමෙයි. ඊළඟ අවුරුද්දෙ නාට්‍යය වෙනස් වෙන්න පුළුවන්. මට ඕන කම වෙන්නේ ආදරය ඇතුළෙ ඒකෙන් කොහොමද එළිය අල්ලගන්නෙ කියන එක. උදාහරණයක් හැටියට මෙහෙම කියන්න පුළුවන්. අපි ගොඩක් දේශපානික අවස්ථා පහුකරලා යනවා. මං කියන්නේ අවසාන අර්ථයෙන් මනුෂ්‍යයාට සම්බන්ධවෙන කලාපය ආදරය කියලා.

ආදරයම පමණක් තේමා කරගෙන මෙතෙක් නාට්‍ය තුනක් හදන ඔබෙන් කවුරු හරි ඇහුවොත් ඔබ ආදරය සම්බන්ධයෙන් නිර්ණායක සපයන්න හදනවා කියලා?

මට හිතෙන දේ මම කියනවා. ඒක තමයි ආර්ට් ඇතුළෙ මං විශ්වාස කරන්නේ හැමෝම කරනවා කියලා. ඒ‍ක නිර්ණායක්ද නැද්ද කියන්න මම දන්නෙ නෑ. ඒක මගේ හිතුවාක්කාර අදහසක් වෙන්න පුළුවන්. ආදරය ඒ අදාළ මොහොතේදී මට දැනෙන විදිය පිළිබඳ සහ මම වැඩ කරන ජීවිතයත් එක්ක ඒක ගොඩක් සම්බන්ධ වෙනවා. මම කාල තුනක ආදරය ගැන නාට්‍ය තුනකින් කතා කළාට ඒ තුන තුන් විදියකින් මම කතා කරලා තියෙන්නේ. හැබැයි මම ඒ කියන එක නිර්ණායකයක් වෙනවද නැද්ද කියලා තීරණය කරන්න ඕන එළිය තමයි. මම කොහොමත් මට හිතෙන දේ කියනවා. ඉස්සරහටත් එහෙම වෙයි.

ඔබේ මේ නාට්‍යයන් ඔබේ පෞද්ගලික වේදනාවක්ද? නැත්නම් සමාජ වේදනාවක්ද?

පළවෙනිම එක තමයි ඒක මගේ වේදනාවක්. හැබැයි ඒක මගේ වේදනාවක් වෙන්නේ සමාජයීයවම තමයි. ඒක වෙනත් විදියකින් කිව්වොත් සමාජයේ පොදු වේදනාවන් තමයි අපි පුද්ගලිකව අත් විඳින්නේ. ඒ අර්ථයෙන් ඒක මගේ වේදනාවක්.

අද සමාජයේ බොහෝ අය බොහෝ දේවල් කරන්න උත්සහ කරද්දී, බොහෝ දෑ පසුපස යද්දී, බොහෝ දේ තෝරාගැනීමට තිබෙද්දී ඇයි ඔබ නාට්‍ය කරන්නේ?

ඉස්සර මං මගෙන් අහගත්ත ප්‍රශ්නයක් තියෙනවා මං නාට්‍ය කාරයෙක්ද? මම වෙන කෙනෙක් නොවන්නේ ඇයි කියන එක. ඇත්තටම මම පළවෙනි නාට්‍යය කරද්දි මම නාට්‍ය කියන විෂය එච්චර දන්නෙ නෑ. හැබැයි ඒක යම්තාක් දුරකට සාර්ථක වුණා කියලා මම හිතනවා ඒ කාලෙට සාපේක්ෂව සහ ඒ කාලෙ මගේ වයසත් එක්ක. ඊට පස්සෙ තව ටික කාලෙකින් මගෙන් කට්ටිය අහන්න පටන් ගන්නවා ඔයා තව නාට්‍යයක් කරන්නෙ නැද්ද කියලා. ඊට පස්සෙ මම හිතන්න පටන් ගන්නවා නාට්‍ය කාරයෙක් විදියට බෞතීස්ම වෙනවද කියන එක.

එතකොට ඔබ නැවත නාට්‍යක් කරන්න පටන් ගන්නේ මිනිස්සු ඔබෙන් එසේ ඇහුව නිසාද?

නෑ ඒකෙන් මට පෙළඹවීමකුත් තිබුණා. ඒ වගේම අනතුරකුත් තිබුණා. ඒකත් එක්කම මම මේකෙ යනවද නැත්තං මම මේක ඇතුළේ ගඟේ යනවද කියලා. ඇත්තටම ඔය පළවෙනි නාට්‍යයෙන් පස්සේ කාලයක් තිබ්බා. ඒ කාලෙදි අපේ මිත්‍රයොත් එක්කම අපේ ජීවිත වෙන මාවතකට අරන් ගියා ඒ මිත්‍ර ආශ්‍රයත් එක්ක. ඒ කාලෙදිම තවත් යාළුවො තමන් කර කර හිටපු දේවල් නවත්තලා වෙන වෙන මාවත්වලට ගියා. ඒ මිත්‍රත්වයේ ආරාධනාවෙන්ම මමත් ඒ වෙලාවෙ මේ කර කර හිටපු නාට්‍ය කියන එක දාලා නාට්‍යකාරයා කියලා හැදිලා තිබුණ මුද්‍රාව දාලා ගියා. 2006 වෙනකොට ඒ සාමුහික ශ්‍රමය ඒ වැඩේ විසින්ම පුපුරවා හැරියා. විශ්ව විද්‍යාලවලට ගිය උන් ඒවා අතඇරලා ආවා. නාට්‍යකරපු උන් නාට්‍ය අතඇරලා ආවා. කවි ලියපු උන් කවි පුච්චලා ආවා. හැබැයි වැඩේ පුපුරලා ගියාට පස්සේ කට්ටියම පොදු විරහ කාලයක් පහුකරලා අර පරණ හිටපු තැනටම ආවා. මටත් යන්න කලාපයක් තිබුණෙ නෑ. මම 2002 ලියපු නාට්‍ය පිටපතක් ආයෙ ගත්තා. ඒක තමයි මම 'පෙම්යුවළක් සහ පෙම්යුවළක්' කියලා කළේ. ඒ 2009 දී. හැබැයි ඒක 2009 දී කරද්දි අර 2002 ලියපු එකට වඩා ගොඩක් වෙනස්. දැන් 2014 වෙද්දි මම ඊටත් වඩා වෙනස්. මූලිකම වෙනසක් විදියට මම දැන් රස්සාවක් කරන මනුස්සයෙක්. තව මූලික වෙනසක් විදියට ගත්තොත් මම කසාද බැදපු මනුස්සයෙක්. දැන් මට දේවල් දැනෙන විදිය ඊට කලින් දැනුන විදියට වඩා වෙනස්. තව විදියකින් කිව්වොත් ඇත්තටම මම නා කරන්නේ එළියෙන් මගේ නම නැවත අස්සවා ගැනීමට. චාමර කියලා කෙනෙක් ඉන්නවා කියලා මතක් කර දීමට. ඒක තමයි මගේ මූලික වුවමනාව. ඒක නැහැයි කියලා කියන්නේ නෑ මම. මම වෙන කලාපයක් තෝරගත්තේ නැත්තේ මේක මට පුරුදු කලාපය සහ අනෙක් කලාපයකදී මම අසමත් වෙන්න පුළුවන් කියලා හිතෙන නිසා.

වේදිකා නාට්‍ය ඔබට දැනෙන්නේ කොහොමද?

වේදිකා නාට්‍යක තියෙන සජීවි බව සහ ඒකෙ තියෙන අන්තර් සම්බන්ධතාවය අතින් ගත්තම ඒක හොද මාධ්‍යයක්. හැබැයි ඒක දැන් යම් තැනක තිබිලා දැන් වෙන තැනකට යමින් තියෙනවා. දැන් මේක ඉන්ඩස්ට්‍රියල් වෙමින් තියෙනවා. ඒක නරකයි කියලා මම විශ්වාස කරන්නේ නෑ. ඕන දේක පැවැත්ම වෙනුවෙන් එහෙම දේවල් වෙන්න ඕන. හැබැයි ඒක නිසාම වෙන්න පුළුවන් දේවල් ගණනාවක් තියෙනවා. නැවත ඇති කරන්න පුළුවන් අර්බුද ගණනාවක් තියෙනවා. හොද නරක දෙකම තියෙනවා. වේදිකා නාට්‍ය කියන කලාපයම ප්‍රවාහයන් ඇතුළෙ යමින් තියෙනවා. ඉතිං ඒක ඇතුළෙ මගේ විදියක් මම හදමින් ඉන්නවා.

අපි දකිනවා ඇතැම් නාට්‍ය කරුවන්ගේ නාට්‍ය සහ ඔවුන්ගේ භාවිතාවන් හරිම පරස්පරයි. ප්‍රායෝගික ජීවිතයේදී ඔවුන් නාට්‍යකරුවන් විදියට ගොඩනගා ගන්නා සිවිල් වටිනාකම් පාවිච්චි කරමින් ඔවුන්ගේ පෞද්ගලික ආසාවන් කරා යෑමක් තමයි අපිට ගොඩක් දකින්න හම්බවෙන්නේ? ඒ අර්ථයෙන් ගත්තොත් වේදිකා නාට්‍ය කියන්නේ ඔබේ පෞද්ගලික ආශාවන් පූරණය කරගැනීමට යන පාරක්ද නැත්නම් මේ ඔබේ භාවිතාවමද?

මෙහෙමයි. අපිට ගොඩක් මාවත් තියෙනවා තෝරගන්න. ඒ වේදිකා නට්‍ය වෙන්න පුළුවන්. කවිය වෙන්න පුළුවන්. තමන් තෝරාගත්ත මාවත් මොකක් හරි ඓතිහාසික අහම්බයක් නිසා වැටිලා තියෙනවා. නාට්‍යකරුවන්ට කරන්න වෙලා තියෙන්නේ එළිය විසින් ඉල්ලා සිටින දෙයක් නම් ඇත්තටම එයාගෙ ආසාව වෙන එකක්. උදාහරණයක් විදියට කවුරු හරි කෙනෙක් ඈත ගමකින් නළුවෙක් හෝ නිළියෙක් වෙන්න එනවා. එයාට ඒක එකපාරට කරන්න බෑ. එයා වේදිකාව තෝරගන්නවා. ඊට පස්සෙ එයා කිසියම් වූ තැනකට ඇවිල්ලා ටෙලි නාට්‍යක කොමඩි නළුවෙක් වෙනවා. එතනින් එහාට දිගටම එයා කොමඩි නළුවෙක් වෙනවා. ඉතිං එයාගෙ ජීවිතේ කොහේවත් එයාට තිබුණෙ නෑ මම හොඳ කොමඩි නළුවෙක් වෙනවා කියන එකක්. එළිය විසින් තෝරාදෙන මාර්ගයක යනවා ඇරෙන්න වෙන දෙයක් නෑ. හැමෝම එහෙම එකක ඉන්නේ.

ඔබ හිතන්නේ වෙන්න ඕන ඒක කියලද?

වෙන්න ඕන ඒකද නැද්ද කියන එක නෙමෙයි මම කියන්නේ වෙන එක. වෙන්න ඕන දේ කියන එක මම කියන්නේ ඒක අපේ මානසික අදහසක් නේ. වඩා හොඳ දේ වෙන එක. අපිට හැම දෙයකටම තියෙනවා වෙන්න ඕන විදියක්. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් නං මෙසේ විය යුතුයි. කවියෙක් නං මෙසේ විය යුතුයි. සාහිත්‍යකරුවෙක් නම් මෙසේ විය යුතුයි. දේශපාලකයෙක් නම් මෙසේ විය යුතුයි. මේ විදියේ අයිඩියල් තියෙනවා. හැබැයි පෝස්ට් මොඩර්න් තත්ත්වයක් ඇතුළෙ මේවා ඉවර වෙනවා. ඒ කියන්නේ හදපු පද්ධතිය විසින් හදලා තියෙනවනේ දේවල්. පාර්ලිමේන්තුවේ නම් මෙහෙම ඉන්න ඕන. හැබැයි වෙන්නෙ පාර්ලිමේන්තුවේ ඒක නෙමෙයි නේ. එතකොට ඒක නාට්‍ය කලාවටත් අදාළයි. සමස්ත තත්ත්වය ඒකයි. අනිත් එක තමයි ඔබ අහපු මගේ භාවිතාවම මේකද කියන එක. ඇත්තටම භාවිතාව කියන එක එන්නෙ මම ජීවත් වෙන විදියත් එක්කනෙ. එළියයි ඒක තීරණය කළ යුත්තේ. මම ආදරය ගැන කතා කරමින් මගේ බිරිදත් එක්ක තියෙන සම්බන්ධය පේනවා එළියට. භාවිතාව එන්නේ එතනදි. මම ඉන්න විදිය ගැන මට අදහසක් තියෙන්න පුළුවන්. හැබැයි වැදගත් වෙන්නේ මගේ අදහස නෙමෙයි. ඒක එළියට පේන විදිය. ඒක හින්දා මට භාවිතාව ගැන මොකුත් කියන්න බෑ.



ඒ ආදරය සම්බන්ධයෙන් ඔබේ භාවිතාවනෙ. දේශපාලනය සම්බන්ධයෙන්?

මම කියන්නේ දේශපාලනයටත් ඒක අදාළයි. කවුරුහරි දේශපාලනික නාට්‍යයක් කරන්න ආවම එයාට සුභ සිහින තියෙන්න පුළුවන්. ඒ කියන ඒවා මම විශ්වාස කරන්නේ නෑ බොරු කියලා. හැබැයි හැම විටම කරන්නේ අපි ඒ දේ කළාම එළිය විසින් ඒකට හොදයි කියන දේ නේ. ඒකට තමයි මම කියන්නේ එළිය අපිව ගඟේ යවනවා කියලා. මට ඔටෝ එනව නං මගේ හතරවෙනි නාට්‍යයත් ලව් වලින් කරන්න ඕන කියලා අන්න මම ගඟේ යනවා. ඊළග එක තමයි මගේ ජීවිතේ ලව් නැති වුණත් මම ලව් ගැනම නං නාට්‍ය කරන්නේ මම ඉවරයි.

ලංකාවෙ ආදරය පවතින විදිය ගැන ඔබේ අදහස මොකද්ද?

මෙහෙමයි. ආදරය කියන්නෙ මිනිස්සුන්ගෙ මූලික අවශ්‍යතාවක්. ජීවත් වෙන්න ආදරය අවශ්‍යයි. ආදරය නැතුව මිනිස්සුන්ට ඉන්න බෑ. ආදරය නැහැ නෙවෙයි මිනිස්සු තුළ ආදරය තියෙනවා. මට අනුව ලංකාව ඇතුළෙ ආදරය දරුණු විදිහට අපයෝජනයට ලක්වෙලා තියෙනවා. ඒ කියන්නෙ ආදරය නෙවෙයි- ආදරය කරන මිනිසුන් සමාජය තුළ ජීවත් වීම නිසා නිරන්තරයෙන් අපයෝජනයට ලක්වෙනවා. නිරන්තරයෙන් ඇතිවෙන විශ්වාසය බිඳවැටීම් ආදිය නිසා අනෙකා පිළිබඳ විශ්වාසය අනෙකා දිහා උණුසුම්ව බැලීමට තියෙන බැරිකම හේතුවෙන් අපේක්ෂා කඩවවුණු සමාජයකයි අපි ජීවත් වෙන්නෙ. උදාහරණයක් විදිහට ළමා අපයෝජනයට අපි විරුද්ධ වෙන්නෙ දරුවෙකුගේ අනාගතය පවා අවදානමකට ලක්වෙන නිසානෙ. දරුවාගේ ජීවිතය ෂොක් වෙන නිසානෙ.. ඒ වගේ දිගින් දිගට අපයෝජනය ලක්වීම නිසා ඒක විනාශ වෙලා තියෙන්නෙ. නැතුව ආදරය නැතුව නෙවෙයි.

මේ මෙහොත ඇතුළත ආදරය කරනවා කියන එක තමයි රැඩිකල් දෙය... ඒක විප්ලවී දෙය බවට පත්වෙලා. ආදරය නොකර ඉඳීම තමයි සාමාන්‍ය එක.. කලින් තිබුණෙ මේකෙ විරුද්ධ දෙය. 'ආදරය' නැද්ද මේ සමාජය තුළ?

ආදරය අසරණයි. ඒකයි ඒක විප්ලවීය වෙන්නෙ. මට අනුව දුබලයාගේ නැගී සිටීම තමයි ආදරය හරහා පිළිබිඹු වෙන්නෙ. මම මේක කියන්නෙ මගේ අඩු දැනුමෙන්. මට අනුව ආදරයට විරුද්ධ වචනය 'බලය'. බලය විසින් මේක අපයෝජනයට ලක්කරනවා. ආදරය වෙනුවට දිගින් දිගට බලය පාවිච්චි කිරීම ඇතුළත සම්පූර්ණයෙන් බල පීඩාවක ඉන්නෙ. එතන බලය දේශපාලනික වෙන්න පුලුවන් , ආචාර ධාර්මික අර්ථයෙන් වෙන්න පුලුවන් නීතිමය අර්ථයෙන් වෙන්න පුලුවන් වැඩිහිටියා දෙමව්පියන්, දරුවා අර්ථයෙන් වෙන්න පුලුවන් ඔය ඕනම එකක බලය මුදාහැරීම තමයි මට අනුව ආදරය අපයේජනය කිරීම වෙන්නෙ. ආදරය කිරීම මේ වෙලාවෙ විප්ලවීය වෙන්නෙ ඒ බලයට එරෙහිව කරන අරගලය නිසා.

ලංකාවෙ වර්තමාන කලාකරුවා කියන කෙනාව ඔබ දකින්නෙ කොහොමද?

මම කැමති නෑ... කාටවත් චෝදනා කරන්න. මම හැමතිස්සෙම කැමතියි ඒ මිනිස්සුන්ගෙ අසරණකම්වලින්ම ඒ දිහා බලන්න. සමාජය විදිහට ගත්තම අපිට හිටපු කලාකරුවන්ට අපි ආසයිනෙ. අපි එයාලගේ නිර්මාණ බේස් කරගෙන ගොඩනැගිලා තියෙනවා. අපි එයාලගෙන් පරමාදර්ශ හදාගෙන - ඒක එයාලගෙ වරදක් නෙවෙයි. අපි අපේ ජීවිතේ ලොකු තැනක් එයාලට දීලා. මේවා දඩබඩ ගාල කඩන් වැටෙනවා. අපි හිතුවට ඉතාම දුර්වල මිනිස්සු ටිකක් එතන ඉඳල තියෙන්නෙ. මම කියන්නෙ සමස්තය- අපි පවා ඒකට ඇතුළත් වෙන්න පුලුවන්. අපි වඩාත්ම කොන්ෂස් වෙන්න ඕනෙ අපිට පහළින් දැන් ජෙනරේෂන් එකක් ඉන්නවා. ඒ අයට ඒක මොන විදිහට පෙනෙයිද දන්නෙ නෑ. මේක මම කලින් කියපු විශ්වාසය බිඳවැටීම , ආදරය අපයෝජනයට ලක්වීමට සම්බන්ධයි. මේ පුද්ගල කඩා වැටීම් මම දකින්නෙ සමාජයේ අර්බුදයක් විදිහට. පෞරුෂය හීන කමක් හෝ පුද්ගලික දුර්වල කමක් නෙවෙයි. පෞරුෂය හීන මිනිස්සු තමයි අපි ඔක්කොම. ඒකයි මම කියන්නෙ අපේ පහළ ජෙනරේෂන් එක මේවා මොන විදිහට කියව ගනියිද දන්නෙ නෑ කියලා. මේ මහා පෞරුෂයන්ගේ හීනකම මුළු සමාජයක් විදිහට තියෙන්වා. ඒක කලාකරුවන්ගෙන් පේනවා. නමුත් කලාකරුවන්ගෙ විතරක් නෙවෙයි ඔය ප්‍රශ්නය ගමේ ප්‍රින්සිපල්ගෙත් අපේ අම්ම තාත්තගෙත් තියෙනවා. මේකෙ මනුෂ්‍යෙයක් විදිහට ගෞරවනීය පැවැත්මක් දිගින් දිගට හොයාගෙන යන්න මේ සමාජය විසින් බැරි කරල තියෙනවා. සාමාන්‍යයෙන් අපිට පුලුවන් කෙනෙක්ව විවේචනය කරන්න. මොනවද ඔයා මේ කරන්නෙ? ලැජ්ජ නැද්ද? වගේ දේවල් අපි අහනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ ලැජ්ජද නැද්ද කියලත් හොයා ගන්න බැරි තැනක තමයි එයා ඉන්නෙ.

වැරැද්ද තියෙන්නෙ කොතනද?

මට ඒකට හරි උත්තරයක් කියන්න බෑ. නමුත් සමාජයේ තියෙන රෝගී තත්ත්වයක් විදිහට තමයි මට ඒක තේරෙන්නෙ. මෙහෙම කියමු. මා දන්නා සියලු කලා පරමාදර්ශයන් දැනට බිඳ වැටිල තියෙනව. ඒ මට අනුවනෙ. එයාලගෙ පැත්තෙන් බැලුවම එයාලට කොහොමද දැනෙන්නෙ? ඒගොල්ලො හිටපු තැන්වල යමක් කියමින් අදහස් දරමින් හිටියා. ඒ වටිනාකම් තියෙන මිනිස්සුන්ව ඒ වටිනා තැන්වල රඳවන්න තරම් පොහොසත් සමාජයක් නෙවෙයි තියෙන්නෙ. එයාල ඉන්නෙ දැවැන්ත අනතුරුවල. ඒක සමාජයීය දුප්පත්කමක්. කනව බොනව කියන එක් මූලික අවශ්‍යතාවක් බව ඇත්ත. ඒත් මට අනුව නම් මූලිකම දේ අනන්‍යතාව - ගෞරවනීය අනන්‍යතාවක් සහිතව ජීවත් වෙන්න පුළුවන් සමාජයක් නැති නිසා ඒගොල්ලො ඒක විකුණනවා. විකුණන්න වෙනව. උගස් තියන්න වෙනවා. ඒක සාමාන්‍යකරණය වෙලා. අපිත් ඉන්නෙ අනතුරක. ඒක සමස්ත සමාජයක් විදිහට වෙනස් වෙන්න ඕනෙ කියන එකයි මගෙ අදහස. ඒත් කළ යුත්තෙ මොකක්ද කියන එක ගැන අපි ගොඩක් හිතන්න ඕනෙ.

සමස්තයක් විදිහට ඔබ කියන්නෙ තනි පුද්ගල අරගල පලක් නෑ හෝ අසාර්ථකයි කියන එකද? මේක ක්‍රමයේ වරදක් - ඒ නිසා අපට සිද්ධ වෙනවා අනුගත වෙන්න - මේක හැටියට පිළිගන්න ඕනෙ කියන එකද? ඒ වගේම ඔබ කියනවා අපි මේකෙ කොටස්කාරයො කියලා. එතකොට තනි පුද්ගල අරගල සහ සමාජ ව්‍යාපාර විසින් කළ යුතු වෙනස චාමර විශ්වාස කරන්නෙ නැද්ද? මේ ක්‍රමය තුළ හිඳින්න සිද්ධ වුනත් සිය භාවිතයන් තුළින් ක්‍රමයට එරෙහි වන මිනිසාව ඔබ විශ්වාස කරන්නෙ නැද්ද?

නැහැ. අරගල කළ යුතුයි. ඒ අරගලයට අපි කැමතියි. ඒකෙ කිසිම ගැටලුවක් නෑ. නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ අපි තනි පුද්ගලයොනේ. අපි තනි පුද්ගලයො විදිහට ඉන්දැද්දි හැම විටම සමාජය විසින් ඉල්ලා සිටින තත්ත්වයන් තියෙනවා. ඒක තනියෙන් නෙවෙයි හදන්නෙ. සමාජය පෙරළීම හුදෙකලා හැම මනුස්සයෙක්ම කළ යුතු වැඩක් තමයි. මේක අරගලකාරී සමාජයක් නම් ඔබව ඒ අරගලයට අවශ්‍ය නම් ඔබ ඒ අරගලයට යන්නම ඕනෙ. හැබැයි මේ සමාජය ඕබේ අරගලය අරගලයක් විදිහට දකිනේ නැත්නම් ඒ අරගලය නැවත හරවා ඔබව වේදනාවට පත්කරන්නක් නම් ඔබවම කුහකයෙක් බවට නම් මේ අරගලය විසින් පත්කරන්නෙ දැවැන්ත වාරයක් හිත් රිදවල වට්ටන එක නම් කරන්නෙ ඔබේම අරගලය පාවිච්චි කරනව නම් , අපයෝජනය කරනව නම් මේ සමාජය අපි පරිස්සම් වෙන්න ඕනෙ. අරගලයේ තැන - අරගල කරපු ඒ පරම්පරා කිහිපයක් වැඩිහිටියන් තරුණ පිරිස් ජීවත්ව හිටිය නම් මේ සමාජය කොච්චර ලස්සන වෙයිද? ඒ දැනුම තියෙන ජවය තියෙන මිනිස්සුන්ව මරල දාල තියෙනවා ඉතාම සාහසික විදිහට. ප්‍රශ්නෙ තියෙන්නෙ සාහසික විදිහට මරල ඒ ගැන කිසි ගානක් නැතුව මේ සමාජය ජීවත් වෙනවා. ඒ කම්පනයවත් නැතුව. එතකොට මේ වගේ සමාජයක මම ගොඩක් පරිස්සම් වෙනවා ඒකෙ තෙරුම බය වෙන්න ඕනෙ කියන එක නෙවෙයි. ඊට වඩා පරිණත වෙන්න කියන එකයි.



ඔබෙන් නැවත් අහන්නෙ මිනිසුන්ගේ යහපත් භාවිතයන් අත් ඇරලා එන දේ බාර ගැනීම කියන දේට යන්න පුලුවන්ද කියලා.

නෑ මම කිසිසේත් ඒක අනුමත කරන්නෙ නෑ. මේක වෙනස් විය යුතුයි. මේ තත්ත්වය සහ ස්වභාවය බැහැර කරන්න බෑ කියන එකයි මම කියන්නෙ. ඒ තත්ත්වය අපි තේරුම් ගත යුතුයි.

හොඳයි. අපි තේරුම් ගත්තා කියමු. එතන ඉඳන් ඇහුවොත් පුද්ගලයින් සහ සමාජයක් විදිහට මේකෙන් ගොඩ ආ යුතු නැද්ද?

ඔව් ගොඩ ආ යුතුයි. හැබැයි වැදගත් දේ තමයි 'පුද්ගලයින් සහ සමාජයක් විදිහට' කියන එක. මොකද මේක තනියෙන් ගොඩ එන්න බැරි තරම් නරා වලක්. සමාජයක් විදිහට අපි ඒ ගැන දරුණු කියවීමකට යන්න ඕනෙ.

එක්තරා විදිහක රැල්ලක් එකක් තියෙනවා සංවිධායකයින්ට විකුණා ගැනීමෙන්ම නාට්‍ය කරන. එතකොට අර නාට්‍ය කිරීමේ හැඩය වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒක වෙළද අරමුණක් සහිතවයි කරන්නෙ. ඒ ගැන මොකද කියන්නෙ?

ඇත්තටම කියනව නම් මීට අවුරුදු 10 කට කලින් 90, 91, 92 අවුරුදුවල තත්ත්වය ඕක නෙවෙයි. අපි නාට්‍ය කරනවා. සෙනඟ නෑ බලන්න. කොහොමද සෙනඟ ගෙන්න ගන්නෙ? රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍යය බලන්නත් එන්නෙ දහයයි පහළොවයි. ඔන්න දැන් අනතුරක් . මේවා වැහෙන්නයි යන්නෙ. අන්තිම ෆෙස්ටිවල් එකත් නවතියි. එතකොට තිබුණෙ නාට්‍ය කියන දේත් නවතියි- මේව නවත්තල තේකොළ බිස්නස් කරන්නයි වෙන්නෙ කියලා තමයි කතා බහ ආවෙ. එතකොට ගොඩක් අය මතුකළේ ඕකෙ අනික් පැත්ත. ‘ඇයි අපි මේක ඉන්ඩස්ට්‍රියල් කරන්න බැරි ? ඇයි සෙනඟ අද්දන්න බැරි ‘ වගේ දෙයක්. ඒකට සාපේක්ෂව දැන් අපි ඉන්නෙ වෙන තැනක. දැන් ඉන්නවා නාට්‍ය බලන්න පිරිසක්. මම දන්නෙ නෑ උවමනාව මොකක්ද කියලා. ඒත් අපි දන්නවා නාට්‍ය උළෙලවල් කිව්වම සෙනඟ පිරෙන්න ඉන්නවා. මෑත කාලීනව යම් පරම්පරාවක් හැදිල ඉන්නවා. ඒක ඇතුළෙ ඉන්ඩස්ට්‍රියල් වීම නිසාම වෙන්න පුලුවන් හානි ටිකක් තියෙනවා. හැම එකම බේරගන්න බෑ මේක ඇතුළෙ. ධනවාදය කියන්නෙ එහෙම එකක් තමයි. මේකට බැස්සොත් දෙකටම ලෑස්ති වෙන්න වෙනවා. ‍මේක ඉන්ඩස්ට්‍රියල් වෙනකොට එන අදහස තමයි මේක විකිණුම් භාණ්ඩයක් බවට පත්කළ හැක්කේ කෙසේද කියන එක. ඔන්න එතකොට එනවා නාට්‍ය සංවිධායකයො. එතකොට ඒගොල්ලො දර්ශන වාර සංවිධානය කරනවා. එතකොට ඒගොල්ලන්ට වෙනම බලයක් එනවා. අපි ඒක සංවිධානය කරන්න නම් නම මේ විදිහට වෙන්න ඕනෙ. ඇක්ට් එක මේ වගේ වෙන්න ඕනෙ. මේ වගේ චරිත රඟපාන්න ඕනෙ. ඒ වගේ බලපෑම් කරනවා අධ්‍යක්ෂවරුන්ට. මේක ඕනෑම ඉන්ඩස්ට්‍රියල් තැනක වෙන්න පුලුවන් දෙයක් නාට්‍ය කලාවට බලපාල තියෙන්නෙ. මේක හොඳද නරකද කියන එකට වඩා කොහොමද වැඩ කරන්නෙ කියන එක නාට්‍යකරුවො තම තමන් තීරණය කරන්න ඕනෙ. උදාහරණයක් විදිහට ඕකට මාත් සම්බන්ධයි. එක මගේ නාට්‍ය අධ්‍යක්ෂ මිත්‍රයෙක් කිව්වෙ "දැන් හොඳ ක්‍රවුඩ් එකක් ඉන්නවා. චාමර, ඔයා හොඳ ස්ක්‍රිප්ට් එකක් ලියන්න. ප්‍රසිද්ධ නළුවො භාවිතා කරන්න. " දැන් එයා කියන විදිහට දැන් යන ස්ක්‍රිප්ට් හරි නෑ... ඒවා දුවන්නේ ප්‍රසිද්ධ නළුවන්ගෙන්. ඒකට ඔයා හොඳ ස්ක්‍රිප්ට් එකක් ලියන්න. මොකද ප්‍රසිද්ධ නළුවො දාන්න පුළුවන් නම් මේක අරන් යන්න පුලුවන් ගමට. හොඳයි අපි ඒක කරා කියමු. ඊළඟට එන ප්‍රශ්නෙ මොකක්ද? ප්‍රසිද්ධ නළුවන්ට මා එක්ක වැඩකරන්න තරම් වෙලාව නෑ. ඊට පස්සෙ මම එයාලගේ න්‍යාය පත්‍රවලට වැඩ කරන්න ඕනෙ. එතකොට වැඩේ අල වෙනවා. මේ විදිහට එකක් ගන්න කොට එකක් මිස් වෙනවා. එහෙම එකක් තමයි ඒකට තියෙන උත්තරේ.

දැන් ඔබ කියනවා ලොකු පිරිසක් ඉන්නවා නාට්‍ය බලන්න කියලා. නමුත් මම කිව්වොත් නෑ ඒ ඉන්නෙ හැමදේටම යන එකම කට්ටිය කියලා? ඒ ඉන්න සුළු පිරිස තමයි සංවාද, පොත් එළිදැක්වීම් , නාට්‍ය හැමදේටම යන්නෙ කියලා? තරුණ පිරිසක් ඉන්නවා සුළු වශයෙන් මතුවෙන... ඒත් සමස්තය හැටියට මේ එකම කට්ටිය. අපි මේ එකම කට්ටියටද කතා කරමින් ඉන්නෙ?

හොඳ පිරිසක් ඉන්නවා කියන්නෙ ඒ පිරිස වෙනස් පිරිසක් නෙවෙයි එකම පිරිස වෙන්න පුලුවන්. නමුත් මම මේ කියන්නෙ ක්‍රිකට් මැච් එකක් ටෙලි නාට්‍ය බලන්න තරම් කට්ටිය ඉන්නවා කියන එක නෙවෙයි. නමුත් සාපේක්ෂව වැඩි පිරිසක් ඉන්නවා කියන එකයි මම කියන්නෙ. දැන් තියෙන සෝෂල් මීඩියා එහෙම පාවිච්චි කරලා මහන්සි වුනොත් පිරිසක් ගෙන්ව ගන්න පුලුවන්. ලංකාව තියෙන්නෙ පොඩි රටක්. ඒකෙ කොළඹ කියන්නෙ පොඩි නගරයක්. කොළඹ කේන්ද්‍රීයව තමයි තාම නාට්‍ය කලාව තියෙන්නෙ. ප්‍රධාන තියටර්ස් ටික තියෙන්නෙත් කොළඹ. ඒ තියෙන තියටර්ස් පහෙන් තුනක් විතර හදනවා. දෙකක් විතර තමයි පාවිච්චි කරන්න පුළුවන්. කොහොමත් පොඩි පිරිසක් තමයි මේකෙ ගැවසෙන්නෙ. නාට්‍ය කලාව ලංකාවෙ තියෙන්නෙ එක කලාපයක් ඇතුළෙ. ඒ කලාපය තමයි කොළඹ නාගරික ජීවිතයක් ගෙවන, යම් කිසි සංස්කෘතික කලාපයක් හැසිරෙන මිනිස්සු ටිකක්. මේක ලොකු පිරිසක් නෙවෙයි. ලංකාවෙ හැමෝටම දුෂ්කර පළාතක කෙනෙකුට එහෙම සංස්කෘතික ජීවිතයක් නෑ. ඒ තියා කොළඹ ජීවත් වෙන අපේ අල්ලපු ගෙදර මනුස්සයවත් එහෙම සංස්කෘතික ජීවිතයක් ගත කරන්නෙ නෑ. ඒ නිසා මේ පොඩි පිරිසක් තමයි. ඒ පිරිස ගැන තමයි මම විශ්වාස කරන්නෙ. අනෙක අපිට හිතුනට අපි ටික දෙනෙක් විතරයි ඉන්නෙ කියලා... මට නම් පේනවා අලුත් පරම්පරාවක් ඉන්නවා කියලා. අපි වයසට යාමත් එක්ක පේනවා ඒ අය අපි දිහා බලන් ඉන්නවා කියලා. . ඉස්සර මේ පරම්පරාවල් පෙනුනෙ නෑ. ඒත් දැන් ෆේස්බුක් වගේ දේවල් එක්ක ඒක පේනවා වැඩියි.

හරි මම මෙහෙම ඇහුවොත්? මේ හැම හැමදේම තියෙන්නෙ කොළඹ කේන්ද්‍රීයවනෙ. ඔබට නැද්ද වැඩපිළිවෙලක් ගැන අදහසක් මේ නාට්‍ය මේ කතිකාව කොළඹින් එළියට අරන් යන්න? එළියෙ ඉන්නවා කොළඹින් විනිර්මුක්ත වෙනත් ජනසමාජයන්....

මට නම් පුද්ගලිකව වැඩ පිළිවෙලක් නෑ. යන්නෙ නැතිවෙන්න හේතුව ලංකාව කියන පුංචි රටේ කොළඹ කේන්ද්‍රීයව තමයි බොහෝ දේ වෙන්නේ. ඒක පහසුවක්. තියටර්ස්, පුස්තකාල විශ්ව විද්‍යාල, මහජන පුස්තකාලයේ දේශන, ජාතික පුස්තකාලෙ පොත් එළිදැක්වීම් මේ සියල්ල තියෙනවා - කොළඹ වුනත් මේ සියල්ල සිද්ධ වෙන්නෙ කුඩා ඉඩක. මම මේ කියන ‘කොළඹ‘ ලුම්බිණිය හරියෙන් පටන් අරන් මරදානෙන් ඉවර වෙනවා. ඔය කලාපෙනෙ අපි ඔක්කොම හැසිරෙන්නෙ. මෙහෙම ලංකාවෙ තියෙන්නෙ තාම මෙතන විතරයි. මට දැනිල තියෙන විදිහට. හදන්න ඕනෙ හදනව නම් ඒ වගේ තැන් ගණනාවක්. කොළඹින් පිට හදනවනම් ඒ වගේ තැන් ගණනාවක් හදන්න ඕනෙ. එකක් නෙවෙයි. රන්මිණිතැන්නෙ ටෙලි සිනමා ගම්මානයක් හැදුව කියල ඒ පැත්තෙ මිනිස්සු කලාකාරයො වෙන්නෙ නෑ. ඒක වෙන වැඩක්. ඒකට අදාළ විවේක බුද්ධියක්, සංවාද භාෂාවක් තියෙන්න ඕනෙ. සංවාද හැදෙන්න ඕනෙ, රස්තියාදුකාරයො හැදෙන්න ඕනෙ ඒක වටේ. එහෙමයි ඒක හැදෙන්නෙ- නිකං නෙවෙයි. අපි පොඩිකාලෙ හොඳට අපි ඔය පාරවල්වල රස්තියාදු ගහල ඇති. ඒව ඇතුළෙම තමයි අපිටත් නොදැනී පොත් කියවන තැන්වලට ගියේ. සමහර විට අපි ගියේ වැඩසටහන ඉවරවෙලා ලැබෙන සැන්විච් එක නිසා වෙන්න ඇති . ඒත් අපි ගියා. එහෙම සංස්කෘතියක් නෑ. අනික තියටර් හදන විදිහ බලන්න. කොච්චර කල් හදනවද? දැන් පාරක් හදනවනෙ ඊට වඩා ඉක්මනට. එතකොට අපිට තේරෙනවනෙ තියටර් එකක් හදන්න තියෙන සමාජයීය උනන්දුව මොකක්ද කියලා. මම කියන්නෙ පද්ධතීන් හදනවට වඩා නිදහස් අවකාශ සහිත නගර හැදෙන්න ඕනෙ. ලංකාවෙ එහෙම නෑ. ලංකාවෙ නාට්‍යයක් පෙන්නන්න පුලුවන් ගාල්ලෙ හරි නුවර හරි හෝල් එකක. ඒ පෙන්නුවම ඕනෙම දෙයක් නොබලන තෝරා ගැනීමක් සහිතව අන්තර් විසංවාදයන් ගැටුම් තියෙන පරිසරයක් තියෙන්න ඕනෙ. සර්ක්ස් පෙන්නනවා වගේ ඔහේ ඕනෙම දෙයක් බලන එක නෙවෙයි.

ඔබේ නාට්‍යවල නිතරම අපි දකින දෙයක් තමයි මානව සබඳතා පිළිබඳව සියුම්ව විග්‍රහ කිරීම සහ ඒවාට එළියෙ පවතින සමාජ දේශපාලනික සහ ආර්ථික සාධක කොහොමද බලපාන්නෙ කියන කාරණය පිළිබඳව සාකච්ඡා කිරීම. ඔබේ නාට්‍ය ගත්තොත් ක්‍රමය නිසා අපහසුතාවට පත්ව හුස්ම ගැන්න බැරිව ඉන්න මේ චරිත ;වැටී සිටින උගුල වටහා ගත්තත් ගොඩ යන්න බැරි අපි වගේම මේ චරිත දකිනවා. එයින් එහාට ගියාම මේ නරා වළ තුළම හිඳිමින් මානව සම්බන්ධතාවල ඇති මේ ගැටළුවට අපිට උත්තරයක් හොයා ගන්න හැකිවෙයිද?

මිනිස්සු විදිහට ජීවත් වීමේ ආශාව ඇති කර ගන්න ඕනෙ. මිනිස්සු විදිහට තව දුරටත් අපි ඉගෙන ගන්න ඕනෙ... ඇහුම් කන් දෙන්න ඕනෙ. ආදරය කරන්න ඕනෙ. ඒක අපි පුහුණු කරන්න ඕනෙ. මම කියන්නෙ මේක අරගලයක් සමාජයම නරක් වුනාම මේක ගොඩ දාන්න බැරි නම් අඩුම තරමින් තමන්ගෙ පවුල, ළඟ ඉන්න මිත්‍රයො මැරෙන කල් ලස්සනට තියාගන්න තියෙන ගෞරවය- වැදගත් කම හැම මනුස්සයෙකුටම තියෙන්න ඕනෙ. ඒක සමාජයක් විදිහට පුහුණු කරන්න ඕනෙ. අපි අපේ අසල්වැසියට කුහක නොවී ඉන්න ඕනෙ.

එතනින් එහාට ගිහින් දෙදෙනෙක් අතර සබඳතාවට ආවොත් එළියෙ සමාජය අපිව කොහාම පරීක්ෂාවට ලක් කළත් දුර්වල නොවී මේ නරකම තැන ඉඳගෙනත් අපි කොහොමද ආදරය බේරගන්නෙ?

ඒ අවදානම එන්නෙ එළියෙන්. ඒක අපි සහජයෙන් ගේන්නෙ නෑ. මම අර කියපු අපයෝජන කතාව මේකට අදාළයි.. අපි බිඳවැටිලා රැවටිලා ඉන්නෙ. මේවා එක එක අපි සවිඥානිකව කඩා ගන්න ඕනෙ. අපි හැදිල තියෙන ගෝත්‍රික විදිහත් එක්ක ඒව කඩන්න හරිම අමාරුයි. මගේ බිරිඳගෙන් මම ඉගෙන ගන්න ඕනෙ මගේ ඉතිහාසෙන් මට දීපු වැරදි ටික හදාගන්න. මගෙන් එයා ඉගෙන ගන්න ඕනෙ. මේක සංවාදයක් වෙන්න ඕනෙ. රණ්ඩු වෙවී යාළු වෙවී වෙන්න පුළුවන් ඒක වෙන්නෙ. කොහොම හරි ඒක වෙන්න ඕනෙ.



ඔබේ ප්‍රාර්ථනය මොකක්ද?

ප්‍රාර්ථනා බිඳ වැටිලනේ තියෙන්නෙ. උදාහරණයක් විදිහට එක කාලෙක මට ඕනෙ වුනා සමස්තයක් විදිහට වෙනස් මනුෂ්‍ය සමාජයක් දකින්න. දැන් මට හිතෙනවා ඒක වෙන්නෙ නෑ කියලා. එතකොට ඊට පස්සෙ වෙනස් මිතුරු සම්බන්ධකම් ඇතුළෙ ජීවිතේ හැමදාම ගෙවේවා වගේ ප්‍රාර්ථනාවක් තිබුණා. ඒකත් යම් කිසි අනතුරක තියෙන්නෙ. හැබැයි ඒක තමා තියෙනවා. ඒක මහන්සිනේ නඩත්තු කරමින් ඉන්නෙ. හැබැයි මම දන්නවා ඒක එන්න එන්න අසීරු වෙනවා කියලා අවුරුදු විස්සෙ හිටපු මනුස්සයා නෙවෙයි තිහේ දි. අවුරුදු හතළිහෙදි මට ඒක තව අමාරු වෙයි. පණහට යද්දි මේක කෙළවෙලාම යයි කියල එකක් මට හිතෙනවා. එතකොට ඒ ප්‍රාර්ථානාවත් නැතිවෙලා යනවා. ඊට පස්සෙ මම පුද්ගලයෙක් හැටියට මා පිළිබඳව එළියේ ඇති අදහස පිළිබඳ ප්‍රාර්ථනාවක් තියෙනවා. හැබැයි ඒකත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. මොකද මම ගැන එළියට තියෙන්න ඕනෙ අදහස ගැන මම ආස එක වෙනස් වෙනවනේ විටින් විට. ඒ නිසා එකපාරටම ප්‍රාර්ථනාව මොකක්ද කියල ඇහුවම ඒකට උත්තරයක් නෑ. උත්තරයක් නැතිවෙලා තියෙන්නෙ එහෙම නොතිබිලා නෙවෙයි. දැන් වෙනකොට නෑ. නැත්නම් දැන් වෙනකොට හරි උත්තරයක් නෑ.

බූන්දි වැ.දෙ.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails