Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ශ්‍රී ලංකා පදනමේ ඩිජිටල් මීඩියා ඇකඩමිය මගින් ප්‍රථම වරට සංවිධානය කළ 'රංග වින්‍යාස පිළිබඳ ජාතික ඩිප්ලෝමාවේ' සමාප්ති ප්‍රසංගය පසුගියදා පැවැත්විණි. මෙහිදී මාස දහ හතරක කාලයක් පුරා මෙම පාඨමාලාව හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ තම දක්ෂතා ප්‍රදර්ශනය කළ අතර සමාප්ති ප්‍රසංගය සඳහා පාඨමාලා අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ රවීබන්දු විද්‍යාපති, වජිරා චිත්‍රසේන, ධර්මසිරි බණ්ඩාරනායක, ආචාර්ය රංජිත් බණ්ඩාර ඇතුළු අමුත්තන් රැසක් සහභාගී වූහ. විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරනා තරුණ පිරිස එක්තැන් වූ මෙම අවසන් ප්‍රසංගය 'හුස්ම'යැයි නම් කර තිබූ අතර, එමගින් ආදරය හා බැඳි සංවේදීතා වූ විරහව, රාගය, වෛරය, සතුට, දුක ආදිය භාවාත්මකව නිරූපණය කෙරිණ.









දෙවන 'රංග වින්‍යාස පිළිබඳ ජාතික ඩිප්ලෝමාව' වෙනුවෙන් මේ වන විට ඉඩකඩ විවරව ඇති අතර රංගනයට දක්ෂතා දක්වන්නන්ට ඊට සහභාගී වීමේ අවස්ථාව ඇත.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



විජේ හැර ගිය දවසේ ඉඳලම
රැයක් දාවල නොදැක වනයක
වියා ගෙතුමක් සුදෙන් පිරුවට
කුවන්නා ගොස් සමනලේ

වින්ද ගිනි කඳු උහුල ගනු මිස
නොපැන හෙලකට දරුවනේ
ලිහිණි අක්කට තියා ඉඩකඩ
කුවන්නා ගොස් සමනලේ

දෙවිවරුන් වුව වැඩිම මිලකට
තැරව් කරනා ඒ ගිරේ
සුදු වලාකුළු අතර කපු කැටි
ඇතිරුවා උඹ තුන් කලේ

ඉර සේවෙත් නික්මීමත්
සිවුරක් කරමින් ගැබේ
මොට්ටැක්කිලි රටා මැදට
කෝලම් වැඩියක් නොවේ

රටා ඇන්ඳ වලා පෙලට
තෙත හුස්මක් පොවමින්
හුළඟට පවරා දස දෙස
ගලා යන්න සැනෙකින්

කිල්ලට අසු වේවි බියෙන්
පාද පත්ම වැඳ විගසින්
වැන්දඹු ඈ එන ආමග
සමන් ඉතින් නුඹ නො ඉඳින්

සිතුවම :Kamil Swiatek

හෂාන් බඹරබොටුව



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



" 'සමාවෙන්න..!! මගෙ අතින් වැරැද්දක් උනා නම් අනේ.. දෙවියනේ මාව මරන්න නම් එපා.. මට දරුවො තුන් දෙනෙක් ඉන්නවා.. දරු පැටව් ඉස්කෝලෙ ඇරිලා එනකොට මං මැරිලා හිටියොත් උන් තුන් දෙනත් මැරෙයි.. දෙයියනේ.!' කියලා මම කෑ ගහලා කියන්න මහන්සි උනා.. ඒත් මගෙ කටින් එක වචනයක්වත් පිට උනේ නැහැ.. මං ඒ ටික හිතෙන් හිතන කොට අලියා මගෙ ඇඟට උඩින් තියා ගෙන හිටිය කකුල පැත්තකට ගත්තා.. විනාඩියක් විතර බලාගෙන හිටියා.. එහෙම ඉඳලා ආයිත් ඇඟට කකුල තියෙනකොට මං අමාරුවෙන් අත් දෙක එකතු කරල අලියට වැන්දා.. ඊට පස්සෙ එයා කකුල පැත්තකට අරන් පොලොවට පයින් ගහලා පැත්තක උන්නු පොඩි දරුවව හොඬෙන් අරන් පාර මැද තියල දූවිලිවලින් නාවල හෙමින් හෙමින් කැලේට යන්න ගියා "- මනමිපිටියේ රාමයියා දේවිකා
(10. 11 .2013 ඉරිදා දිවයින- නිම්නය අතිරේකය)

අරක් ගෙන තුරු වදුල- මගේ උරුමය විසුල
වැට කඩොලු බැඳ ගත්තෙ නුඹලමයි
මගෙ හිතේ කේන්තිය ඒකමයි..

ගෙපැල් හැදුවත් හේන් වැපිරුවත් වන පෙතේ
දනිමි නුඹලගේ බැරි කම වසා
වී බිස්සෙ හොඬ ලෑවෙ- හේනෙ වැපිරුම කෑවෙ
කුස ගින්න දෙගොල්ලට පොදු නිසා

සතට පොදු නිදහසත්- කුස ගින්න පිපාසෙත්
සොයා ගොස් සෙයිලමක සිඟන්නට
හැකි වෙතදු නුඹලාට- අතැ'ර මේ හරිත පෙත
එලෙස මහ මග යන්න හැකි ද මට..?

මහ පාර මැද ටයර පුළුස්සා කෑ ගසා
යටිගිරිය උලුප්පා වෙහෙසුවට
වන අරණ මගේ- නුඹලට උරුම එළිමහන
නෑ කෙනෙකු අවනඩුව කියන්නට

බිඳ දමා ගෙපැළ- දකුණු පය තිබ්බෙ පපුව මත
ඉවසීමෙ යදම් වැල් කැඩුණු හිත
මටත් නොදැනිම වෙඬරු දිය උනා
අත් නගා මගේ පා වඳින කොට

පොඩි දරුව හොඬෙන් ගෙන- අහසෙ කරකවන කොට
දරු දුකක විලාපය ඇහෙන කොට
විදුලි වැට ලඟ ජීවිතේ මරුට දන් දුන්න
මල් පොහොට්ටුව සිහි උනා මට..

ජයන්ත නිමල් සිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



විදුර ප්‍රභාත් මුණසිංහ විසින් "මගේ දුක්ඛදායක සුන්දරියන් පිලිබඳ මතක" නමින් සිංහලට පරිවර්තනය කරන ලද ගබ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස්ගේ Memories of My Melancholy Whores කෘතිය පිලිබඳව 2014 ජනවාරි මස 29 වැනිදා කොළඹ 07 මහැවැලි කේන්ද්‍රයේදී පැවැත්වීමට නියමිත සංවාදයේදී එකී සංවාදයට ප්‍රවේශයක් ලෙස මාර්කේස්ගේ ඉහත කී නවකථාව පාදක කරගෙන හැනින් කාර්ල්සන් විසින් නිර්මාණය කරන ලද Memoria de mis putas tristes චිත්‍රපටය ප්‍රදර්ශනය ප්‍රදර්ශනය කිරීමට සැලසුම්කොට තිබුණ ද ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය විසින් එය තහනම් කරනු ලැබීම හේතුවෙන් එදින එකී චිත්‍රපටය තිරගත නොකෙරෙන බව කරුණාවෙන් සලකන්න. එදින නව වැඩසටහන් පෙළගැස්ම පහත පරිදි වේ.

නව වැඩහසටහන් පෙළගැස්ම-

ප. ව. 3.00- සංගීත සම්භාෂණය- Skitzo වෙනුවෙන් සුදන්ත මාධව සහ තිලිණ බාලසූරිය
ප. ව. 4.00- කෘතිය පිලිබඳ අදහස් දැක්වීම සහ සංවාදය- සමන් වික්‍රමාරච්චි, විදර්ශන කන්නන්ගර, කේ. කේ. සමන් කුමාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වතුර ටික අරගන්න චන්දෙ දුන් මිනිස්සු
සමුර්දිය ජනසවිය ගැන හිතපු මිනිස්සු
හාල් පොත පෝර ටික ළඟ නැවුන මිනිස්සු
ඉස්සරත් බොරුවලට රැවටිච්ච මිනිස්සු

රස්සාව අරගන්න චන්දෙ දෙන මිනිස්සු
ඉඩකඩම් ඔප්පුවට ජන්දේ දෙන මිනිස්සු
ටෙන්ඩරේ අරගන්න චන්දේ දෙන මිනිස්සු
වාසියට හැමදාම ජන්දේ දෙන මිනිස්සු

කට්ටියක් මරවන්න ජන්දේ දෙන මිනිස්සු
මැරෙනකොට බේරෙන්න චන්දේ දෙන මිනිස්සු
ගොඩ ගත්තු මිනී ළඟ උනුවෙච්ච මිනිස්සු
හැමදාම පාට ළඟ ඇස් වහපු මිනිස්සු

ඇමති මැරුණම දුවට චන්දෙ දෙන මිනිස්සු
පිය උරුමේ ගෙනයන්න හයිය දුන් මිනිස්සු
ගැහැණු වැන්දඹු දුකට චන්දෙ දුන් මිනිස්සු
කඳුළු ළඟ පපු කැවුතු උණු වෙච්ච මිනිස්සු

යුද්දයක් දිනන්නට ජන්දේ දුන් මිනිස්සු
දිනාගත් යුද්දෙටම ණය ගෙවන මිනිස්සු
ආගමට ජාතියට ජන්දේ දෙන මිනිස්සු
හැමදාම ගේමටම ජන්දේ දෙන මිනිස්සු

රණතිසරු වගෙ ලැමට පෙම් බැඳපු මිනිස්සු
බඩගින්නේ සුදු පාට කකුල් හෙවු මිනිස්සු
ඇන්දොතින් බිකිණියක් සුදු පාට වලස්සු
ජන්දේ දෙයි ඇස් වහන් ලංකාවේ මිනිස්සු

ජනිත් විතාරණගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ගනුදෙනුව ඉවර නෑ සහ ඉස්කෝලේ ඇරලා කෙටි නාට්‍ය ද්විත්වයේ මංගල දැක්ම 2014 ජනවාරි 29 වන දා සවස 6:45ට ලුම්බිණි රඟහලේ දී.



සංවිධානය- සමාජවාදී කලා සංගමය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ලක් වැසියන් කෙරෙහි නැමී
නෑයින් සහ මිහිඳු සොමී
පෙව්වෙ පදං එතනොල් මී
පුත නුඹටත් පොවමි එමී

මෙබඳු උතුම් ලංකාවේ
දසතින් කුඩු කඩ බෝ වේ
මේ දස වැඩ කලොත් ලොවේ
නුඹෙත් මගෙත් නම කියවේ

කසුන් යසන්ත පිනිදිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



​(​පාසල් ගමනට සපත්තු කුට්ටමක් ගන්නට මුදල් නොමැතිකමෙන්, වලපනේ, අවුරුදු 12 ක පමණ දැරියක්, තම නිවසේ බාල්කයක එල්ලී​ මිය යයි.)​​

සඳුන් ගිරත් ගිනිදළුවෙන් උඩ නැඟුණී
සමන් පිච්ච මල් ගාලේ මල් වැරුණී
සඳුන් සුවඳ සුළඟට පා කළ දුවනී
සමන් දෙවිඳු කරුණාගුණ කොහි ​"​සඳුනී​"​

සිළිටි කොපුල් තල පුපුරා අකුණු වැදී
මලිති බටිති අත්තටු නොසලා ම හිඳී
රැළිති බඳ වටා සැඟවෙද සුළිය සැදී
සිඟිති ගෙල වටා​ ​රැහැනකි දිවිය සිඳී

ගිලෙති ගං ​ ​දියේ දිය​​බුං ගගා උනී
පිරෙති කුස පුරා දියකඳ නිසා වෙනී
දිලෙති ආකහේ ගනඳුරු වළා වැනී
හිතැති දෙවිවරුන් කොයිබද මුවා වුණී

අල්ලට සිඟා ගිය සිඟමන් දෙයි කවුරූ
ඇල්මෙන් අකුරු උගනින්නද බැඳි පවුරූ
රෑ සඳ පුරා දෙව් උනු කඳුළැලි ඉවුරූ
අහකම බලා මහවැහි හෙලුවද රුදුරූ

පා පොඩි රිදෙයි මහමඟ ඉනු බැරි හින්දා
සුදු රැළි ගවුම් ටයි පටි​ දා ​ගෙල බන්ඳා
සිදුරක හැඩය සමුදුර මැද්දෙම​ ​රන්ඳා
නුහුලන දුකක් ඉහිලුවෙ කොහොමද මන්දා

ලතැවෙන සඳුනි ගෙල මාලා සොයන්නියා
වැළපෙන සුසුම් ගුගුරා ළය පෙළන්නියා
මැළැවෙන ඉරත් අහසින් බැස අඬන්නියා
​​වලපනෙ​ මවුනි අමතන්නද දුවේ​ ​කියා!

​23.01.2014

(සිත්තම: Alexandra Hager)

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කෙටිකතාව පිළිබඳ මගේ හැඟුම් මෙබඳු ය.

එය ඉතා සියුම් සාහිත්‍යමය ප්‍රකාශනයකි. කවිය තරම්ම සියුම් භාව ප්‍රකාශනයකට වුව ද පිවිසීමේ හැකියාව ඇති සාහිත්‍යාංගයකි. නවකතාවෙන් ජීවි‍තයේ සමස්තය හෝ විසල් පදාසයක් පුළුල්ව නිරූපණය වන විට කෙටිකතාව ජීවිතයෙන් අංශුවක්, පැතිකඩක් සියුම්ව ග්‍රහණය කොට ගනියි. ඒ හරහා ක්ෂණික, ප්‍රබල ආලෝක ධාරාවක් ජීවිතයට එල්ල කරයි.

විටෙක එය කම්පනයකි. තිගැස්මකි. විටෙක සුසුමකි. හෘද රිදුමකි. තවත් විටෙක ආනන්දයකි. සංහිඳියාවකි. කෙසේ නමුත් සාර්ථක නිර්මාණයක් නම් අවසන එය ජීවිතය පිළිබඳ පුළුල් අවබෝධයකට යා හැකි ප්‍රඥාවේ පහන් දල්වන්නකි.

කෙටිකතාව පිළිබඳ එබඳු වූ මගේ හැඟුම් සමග සමපාත වන කතා එකතුවක් සුන්දර රස්තියාදුවක අතරමග මා අතපත් විය. ඒ අනුරසිරි හෙට්ටිගේගේ දෙවන කෙටිකතා සංග්‍රහය වන ''චේ කෝ සහ තවත් කතා'' ය. විප්ලවයේ සොඳුරු පෙර ගමන්කරු ''චේ'' පිළිබඳව අංශුමාත්‍ර හෝ දැනීමක් ඇති කවරෙකු වුව ද ආකර්ෂණය කළ හැකි නමක්, සහ පිටවැස්මක් කෘතිය සතු බව බැලු බැල්මට වුව පෙනේ.

ඔහු පළමු කෙටිකතා සංග්‍රහයෙන්ම සම්මානනීය කෙටිකතාකරුවකු ලෙස නමක් දිනා ඇත්තෙකි. පළමු කෙටිකතා සංග්‍රහය වන ''සිංහබාහු එනකං'' හදිසියෙන් කියවා එසැණින්ම අන්සන්තක වූ නිසා ඒ පිළිබඳ වැඩි දෙයක් ලිවීමට හෝ සන්සන්දනාත්මකව ඔහු කෙටිකතාව තුළ ආ ගමන පිළිබඳව සාකච්ඡා කිරීමට තරම් මතකය නිරවුල් නැත.

නෙත කඳුළු නැංවූ ''මං ජානකගෙ තාත්තා'' වඩාත් මසිත පැහැරගත් කතාව ය. සිත පැහැර ගත්තාට වඩා සිත පෑරුවා යැයි කීම වඩා උචිත ය. එය එතරම් ම අනුවේදනීය ය. වඩාත් ‍අනුවේදනීය වන්නේ උතුරු දකුණු භේදයකින් තොරව මේ ඉරණමට මුහුණ දුන්, මේ මොහොත වන විටත් මුහුණ දෙන මිනිසුන් බොහෝ වන බැවිනි. අනාගතයේ තව කොතෙක් නම් විය හැකි ද?

''අපි කොහේද යන්නෙ?''

නන්නාඳුනන වුන් ලෙසින් මහමග යනෙන යුවළක් අතරින් ගැහැණිය පුරුෂයාගෙන් අසන ඒ පැණයෙන් කතාව ආරම්භ වේ. කතාව අවසන් වන්නේත් එම වැකියෙනි. එකී කතාවද අතික්‍රමණය කරමින් කෘති‍ය ආරම්භයේ සිට අවසානය දක්වාත්, ඉන් නොනැවතීත් සහෘදයා තුළ නින්නාද නගන පැණයක් බවට එය පත් වනු වැළැක්විය නොහැකිය.

''අපි කොහේද යන්නෙ?''

නාඳුනනවුන් ලෙස එකම මග ගිය ද, ඔවුන් ජීවිත කාලයක් එක් ව දිවි ගෙවූ අඹුසැමි යුවළක් බව පසක් වනු යේ කතාව අගදී ය. ''අපි කොහේද යන්නෙ?'' නිශ්චිත පැණය අසන මොහොත වන විට අඹුසැමියන් ලෙසද, මව්පියන් ලෙස ද ඔවුන් දිගු දුෂ්කර, කටුක ජීවිත ගමනක් එක් ව පැමිණ තිබිණි. එකී ගමනේ අවාසනාවන්තම, කාලකණ්නිම මොහොත මෙකී පැනය අසන මොහොත බවට පත්ව තිබෙන්නේ අහම්බයකින් නොවේ. 80 වැඩ වර්ජනයෙන් රැකියාව අහිමිව දරු තිදෙනෙක් සමග ජීවිතය දිනන්නට නොනවතින කටුක අරගලයක ජීවිතය පුරා නිමග්නව සිටි වීරසිරි සහ නාලනීගේ එකම පුතා අහිමි වීම ඔවුන් මුහුණ දුන් දිගුකාලීන ඛේදවාචකයේ උච්චතම අවස්ථාවයි.
පුතා යනු ඔවුන්ගේ ජීවිතයේ උත්තම සිහිනයක් සැබෑවීමක් නොවීද?

'' අන්ති‍මේදි ඔයා මට පුතෙක් දුන්නා...''

''මම...? ඒක ඔයා මට දුන්න තෑග්ගත්..''

''ඔව් මේ අපේ බලාපොරොත්තුවක්..''


(පිටුව 23)

ඒ මල්ඵල දරන සිහිනය දෙස ඔවුන් පැතුම් දල්වමින් බලා සිටියා නොවේද?

''දරුවා කොච්චර වෙනස්වෙලාද?''

''ගාම්භීර පෙනුමක් දැන් තියෙන්නෙ..''

''ලෙනින්ගේ ව‍ගේ ද?''

''ඊටත් වැඩි''

''මට බයයි ඒයි..'
'

(පිටුව 26‍)

ඒ සිහිනය දකින්නට ඔවුන්ට අයිතියක් නැතිද? එම සිහින බලහත්කාරයෙන් උදුරා ගැනීම කෲරකමක් ම නොවේද?

'' මහත්තුරුනේ ජානක.. ඒ අපේ පුතා..

.. පහුගිය ශිෂ්‍ය අරගලයෙදි අතුරුදහන් වෙච්ච ජානක ම‍ගේ පුතා.. ඒ මගේ එකම පුතා. මේ ඉන්නෙ එයාගෙ අම්මා. පුතා තමයි අපේ ජීවිතේ.....කෝ අපේ පුතා..

... සමාජයේ හැමෝටම තියෙන්නෙ එකම අයිතිවාසිකම්. ඒ අයිතිවාසිකම් අසාධාරණ විදිහට යටපත් කරගෙන ඉන්න මිනිස්සුන්ට විරුද්ධව හඬ නගන එකත් මිනිස් අයිතිවාසිකමක් මහත්තයො. ආණ්ඩුවක් පත් කරගන්න එක වගේම ආණ්ඩුවකට විරුද්ධ වෙන එකත් මිනිස් අයිතියක්. ජානක මගේ පුතා.. එයා පාවිච්චි කලේ අන්න ඒ අයිතිය.. ඒක අපේ පුතා අපෙන් පැහැර ගන්න තරම් වැරුද්දක් නෙමෙයි........''


(පිටුව 28)

ජානකගේ තාත්තා නැතිනම් වීරසිරි දුම්රියපළ ඉදිරිපිට සිට මගතොට යනෙන මිනිසුන් අමතා කරන මේ කතාවටත් වඩා මගේ හිත පෑරවූයේ ඔවුන් දෙදෙනා අතර පණ ගැහෙන නිහඬතාවයයි. ජීවිතකාලයක් එක්ව විඳි දුක් කන්දක උච්චස්ථානයේ ඔවුන් පෙළන අවිනිශ්චිත අන්ධකාරයයි.

දශක දෙකක ජීවිත අත්දැකීම් අරපරිස්සමින් තෝරා‍ බේරා ගනිමින්, කතාව ගොනු කරන්නට කතුවරයා සමත් වී ඇත. කෙටි වේදිකා නාට්‍යයක් නරඹන්නාක් වැනි හැඟීමක් සජීවී අත්දැකීමක්, කම්පනයක් සිදුවීම් පෙළගැස්ම තුළ නිරායාසයෙන්ම මතු වෙයි.

''ගැහැණු ළමයාගේ දවස'' අනාගත කාලයක තබා අරඹන කෙටි කතාවකි. අතිධාවනකාරී සංවර්ධන පෙළහරක කෙළවර උදාවෙන අනාගතය මේ යැයි කියන්නට මෙනි. එකී අනාගතය කතාව තුළ ප්‍රබලව මතු නොවෙයි. ඒ වෙනුවට අප්‍රමාණ ගැහැණු ළමයින් අවප්‍රමාණ පහසුකම් මැද අපරිමාණ දුක් කන්දරාවක් විඳිමින් ජීවිතය අහුලන වෙළඳ කලාපයේ එක් යුවතියක් කෙරෙහි විශේෂ අවධානය යොමු කරයි. එස්.ඒ. 99 ලෙසින් හැඳින්වෙන ඇය සහ මාර්ගෝපදේශක අතර හුවමාරුවන ලියුම් ගණුදෙනුවක හැඩයෙන් කතාව විකාසනය වේ. එකී ලියුම් ගණුදෙනුව විටෙක අපූර්වත්වයක් ඇති කළ ද විටෙක ඒකාකාරී බවක් ද දනවයි.

'' මට මගේ කන්‍යාභාවය මහ බරක්. ඒක පාදඩයන්ගේ කාලකණ්නි සතුටට උගස් කරන්න මං කැමති නෑ. මං ගැන නරක විදියට හිතන්න එපා. මං ඉල්ලන්නෙ මේ බරින් වැදගත් විදිහට.. ඒ කියන්නෙ මගෙ හිතේ ගෞරවයක් ඇති වෙන විදියට නිදහස් වෙන්න මට උපකාර වෙන්න කියල..''

කෙටිකතාව තුළ වඩාත් කම්පනයක් ඇති කරන අවස්ථාව මෙය බව කිව හැකිය. යුවතියක වෙතින් මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් වන්නට තරම් බලපෑමක් සමාජය වෙතින් එල්ල වීම කොතරම් ඛේදනීය ද?

2018 අප්‍රේල් 05 වෙනිදා මහල් හතළිහකින් සමන්විත තරු අටේ හෝටලයේදී මැදිවියේ විදේශිකයකුට තුරුළුව සිටින එස්.ඒ. 99 නැවත කථකයාගේ ඇස ගැටෙන විට ඇය වෙතින් මුදා හැරුණු අපහාසාත්මක සිනාව සමස්ත සමාජය වෙතම එල්ල කරන විරෝධයක් වැනිය. අද වෙළඳ කලාපය තුළ ශ්‍රමය සූරාකෑමට, ලිංගික සූරාකෑමට ලක්වන යුවතිය හෙට අපට හමුවන්නේ කැසිනෝ පුරවරය තුළ විය ‍නොහැකිද? ඇගේ කන්‍යාභාවයට ඩොලර්වලින් ලංසු තැබෙන දිනය වැඩි ඈතක නොවිය හැකිය.

‘‘13 ප්ලස්” වත්මන් දේශපාලන සංස්කෘතිය සමීප සිතුවමකට නතු කර ගත් කෙටිකතාවකි. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ 13 ප්ලස් ගැන මළපොතේ අකුරක් නොදන්නා දේශපාලඥයා අතින් දැරියක දූෂණය වීම මෙන්ම එය ඔහු සිහිපත් කරන සැහැල්ලු විලාසය අද ජරාජීර්ණ දේශපාලන සංස්කෘතියේ ම කැඩපතකි. ඉහළ පාලන තන්ත්‍රයේ ආශිර්වාදය ඇතිව බලයට පත් වීම යනු අපරාධ, දුෂණ, වංචා සිදු කරන්නට බලපත්‍රයක් ලැබීමක් බඳුය. එහි ආනිසංස කොතෙකුත් අසමින්, දකිමින් , විඳවමින් සිටින්නේ වුව එවැනි දූෂකයන් අතටම නැවත නැවතත් බලය පවරා දීමට තරම් ස්වාර්ථයෙන් මෙහෙයවන සමාජයක් පැවතීම කුමන පාපයක් ද?

යහපත් සමාජයක් පිළිබඳ සමාජවාදී සිහිනයක ජීවිත කාලයක් ගෙවා දැමූ මිනිසකු පවුල් සංස්ථාව තුළ යුතුකම් වගකීම් පැහැර හැරි අසමත් මිනිසකු ලෙස අසරණ වන විට, දේශප්‍රේමී සමාජයක දේශද්‍රෝහියකු ලෙස කොන් වන විට තමාගේ ම හෘද සාක්ෂිය ඝාතනය කර දැමීමේ සංවේගයෙන් සිදු කරන පාපොච්චාරණය ‘‘අපරාධකරුවකුගේ පාපොච්චාරණය” කෙටිකතාවේ තේමාව යි. එය පවතින කටුක යථාර්ථයෙන් කිසිවිට බැහැර නොවූව ද දීර්ඝ තරමක් වෙහෙසකර පාපොච්චාරණයකි.

ධනවාදයේ කෲර සපත්තුවට පෑගි තැලී පොඩිවී සිටි පීඩිත පන්තියට විප්ලවය මගින් විමුක්තිය උදා කර ගැනීමේ මාවත පෙන්වා දුන් විමුක්ති අරගලයේ ජීවමාන සංකේතයක් බඳු චේ ගුවේරා අද එකී ධනවාදයේම ගොදුරක්ව, වෙළඳ භාණ්ඩයක්ව පවතින ආකාරය ''චේ කෝ'' කෙටිකතාවෙන් මතු කරනුයේ සමාජවාදයේ වත්මන් ඛේදනීය ඉරණම පිළිබඳ හෘද කම්පාවක් ඇති කරමිනි.

''පුංචි සුරංගනාව'' මතුපිටින් ගලා යන ශෝකාන්තයට අමතරව ගැඹුරු අධ්‍යාත්මික කියවීමකට යා හැකි කතාවක් බව මගේ අදහසයි. මෙහි එන පුංචි සුරංගනාව එක් අතකින් තණ්හාව, ආශාව ලෞකිකත්වය නිරූපණය කරන බවක් දැනෙන, හැගෙන අතරම අනෙක් අතකින් ඇස්බැන්දුම් සෞන්දර්යයෙන් අප මුලා කරන ධනවාදයේම සංකේතයක් යැයි ද සිතිය හැකිය. වර්තමාන සමාජ පරිහානිය හා බැඳුණු මානව ඛේදවාචක ගැන සිතන විට, අපත් රිදී යතුරක් ගෙන සුරංගනාවියක් පැමිණෙන තුරු බලා සිටින සුමනේ වැනිම වූ අපස්මාර රෝගී සමාජයක කොටස්කරුවන් බව බැහැර කළ නොහැකි යථාර්ථයක්ව මතුවන්නේ නොවේද?

ජීවත් වන්නට අවැසි මුදල්ම පමණක් යැයි සිතන සමාජයක සියලු හර පද්ධතීන් උඩුයටිකුරුවීම ‘‘සිංහ විලා” කෙටිකතාව තුළ මූලික තේමාව වී ඇතැයි සිතේ. ධනවාදී අර්ථක්‍රමය තුළ ‘‘සිංහ විලා” සුනඛ විලා බවට පත් වීම නම් අරුමයක් නොවේ. මේ අර්ථ ක්‍රමය තුළ නොවිකිණෙන යමක් වේ දැයි ගැටලුවකි. සුනඛ සම්භෝගය පවා මුදල් මවන යන්ත්‍රයකි.

සමස්තයක් ලෙස ගත් කළ ‍''චේ කෝ සහ තවත් කතා'' වත්මන් සමාජය කැඩපතකින් මෙන් දකින්නට ඇරයුම් කරන කතා එකතුවකි. සියලුම කතා ශෝකාන්තයන් ය. ඛේදවාචක ය. තව දුරටත් ජීවිතය පිළිබඳ සුබවාදී අපේක්ෂා දල්වා ගත නොහැකිද යන පැනය මා සිත මතු වේ.එක් පසකින් ධනවාදයට කත් අදින ජරාජීර්ණ දේශපාලන රටාව විවේචනයට හසු වන අතරම, ඒ හමුවේ යටපත් කරන, යටපත්වන සමාජවාදී, මානවවාදී දේශපාලන මැදිහත්වීම ප්‍රශ්න කරන්නට පෙළඹවීමක් ඇති කරයි.

නිර්මාණකරුවා විසදුම් ඉදිරිපත් නොකරයි. පවතින යථාර්ථය සංවේදීව ප්‍රතිනිර්මාණ කරයි. ඔහුගේ අරමුණ එම යථාර්ථය අප හෘද සාක්ෂියට අභිමුඛ කොට ඉන් එහා යහපත් සමාජයක් වෙනුවෙන් මැදිහත්වීම අප සතු වගකීමක් බව අවධාරණය කිරීම යැයි මම සිතමි.

''කෙටිකතාවෙදි මා අත්දකින බලවත්ම ආකර්ෂණය වන්නේ ඒවායේ ඇති ආකෘතීන් ය.'' ‍කෙටිකතාව පිළිබඳ සිය සිතුම් පැතුම් විවරණය කරන පෙරවදනෙහි ලා කතාකරු පවසයි. එය කතාවේ සමස්තය තුළ විනා හුදකලාව පවතින්නක් නොවන බව ද ඔහු පවසයි. එසේ පවසන ඔහු සමස්තය සමග ගලා යන ආකෘතිය සම්බන්ධව අත්හදා බැලීම් ද සිදු කරයි. සෑම කෙටිකතාවක් ම අන්තර්ගතය හා පෑහෙන වෙනස් ආකෘතික අත්හදා බැලීම් වලට ලක් වී ඇති බව පෙනේ. එය බොහෝ විට සාර්ථකය.

‘‘අපරාධකරුවෙකුගේ පාපොච්චාරණය” දීර්ඝ පාපොච්චාරණයක්/ ආත්මකථනයක් ලෙසින්ම ඉදිරිපත් වී තිබීම තරමක ඒකාකාරී බවක් දනවයි. අනෙක් කෙටිකතා තුළ කලාත්මකව ප්‍රතිනිර්මාණය වන සියලුම පුද්ගල ඛේදවාචක මේ කෙටිකතාව තුළ එකට ගොනු වී ඇතැයි සිතේ.

''...ධාරණාව ආකෘතිගත වී ඇති ආකාරයේ ස්වභාවය විසින් පාඨකයාගේ මනසෙහි ඇති කරනු ලබන ප්‍රඥාවෙන් සපිරි ආනන්දයේ ප්‍රමාණය, නිර්මාණයේ සාර්ථක අසාර්ථක බව තීරණය කරනු ලබනු ඇත. '' - පෙරවදන

සැබවින්ම ආනන්දනීය විය හැක්කේ කතුවරයාගේ කාර්ය සාඵල්‍යය කෙරෙහි ය. ඉන් පිළිබිඹු වන මානව ඛේදවාචක ගැන නම් නොවේ. සෑම කතාවක් ම සමාජ පරිණාමයේ, පරිහානියේ බලපෑම පුද්ගල ඛේදවාචක බවට පත් වෙන ආකාරය පිළිබඳ කම්පනීය තිගැස්මක් ඇති කරයි. එමගින් පුබුදුවන ප්‍රඥාව හෘද සාක්ෂියට බරපතල ලෙස ආමන්ත්‍රණය කරනු නොවැළැක්විය හැකි ය.

එම පුද්ගල ඛේදවාචක පිටුපසින් දැවැන්තව නැගී සිටින සමාජ ක්‍රමය මෙහෙයවන බළල් අත, ගෝලීය ධනවාදයට පෙම් බඳින ජරාජීර්ණ දේශපාලනය ම‍ නොවේද?

මේ පිළිබඳ කුමන ආකාරයේ හෝ මැදිහත්වීමකින් තොරව සිහිනමය නිද්‍රාවක වෙළී සිටිය හැකි ද අප හට?

එසේ සිටීම කොතරම් සාධාරණ ද? එය පාපයක් නොවන්නේද?

''අපි මේ කොහේද යන්නෙ?''

තවත් කෙටිකතා කරුවකු නොවී වෙනස් කෙටිකතා කරුවෙකු වන්නට යත්න දරන අනුරසිරි හෙට්ටිගේ මෙබඳු හද කළඹවන බරපතල ප්‍රශ්න අප හමුවේ තබන බව අපට හැඟෙයි.

තරුරසී



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



-කිසිදාක හමු වී නැති කාර්යාලයීය මිතුරියක වූ ක්‍රිස්ටිනා ලී නම් විසි හතර වියැති කොරියානු යුවතිය, මොළයේ හට ගත් අධි රුධිර පීඩන තත්වයක් නිසා හදිසියේ ම සියෝල් නගරයේ දී මිය ගිය ගොස් තිබුණි.

වියෝගය,
ළය පලා ඇතුළු වී
කේශ නාළිකා තුළ දුවන්නේ
වේදනා වී මිදෙන්නේ
ළබැඳියන්ගේ විතරමද ක්‍රිස්ටිනා?

හීනයක්, යළි හීනයක්
ඒ මතින් තව හීනයක්
ඇස ළඟින් තබා ගිය
කඳුළක්ය ස්නේහයත්

දශක දෙකකුත් සිව් වසක්
හුස්ම ගත් මුදු හදවතක්
ඇරඹුමක් ළඟ නිමාවක් නම්
ජීවිතේමද මරණයත්?

මිනිස් දුක දැක සසැලී
ඔය තුරුණු හිස බර වී
හිස රුහිරු නළ පිපිරී
හිත නැවතුණිද නැගණී?

සමුනොගෙන ඉසියුම්ව රිදවන
දුරකතන අංකයකි මේසයට ඉහළින්
කඳුළකින් ඇලවී...
සිනා ලකුණකි පරිගණක තිරයෙහි
ඔබ තබා ගිය
අවසාන කතා බහ නිම වී

අකුරු ළඟ ඇස් නවතමි
මිතුරු සිනහව හඳුනමි
යළිත් ඔබ හෙට නො ලියනා බව
අදහනු බැරිව ගොළුවෙමි

ඇත්තටම ඔබ නික්ම ගොස් නැතුවැතී
දුරක ඈතක කොහෙ හරි ඇතී
මම මගෙ හිතට කොඳුරමී

දෙනෝ දාහක් සෙනඟ අතරතුර මඟ යනෙන
තබා යන්නැති ඔබත්, ඔබේ පෙරඹර සිහින
'උදෑසන', සිනාසෙන්නැති අදත් එහි පැමිණ
ඔබ නොහෙළු මුදු සුසුම පිනි බිඳක් වී මැකිණ

වියෝගය!
ළය පලා ඇතුළු වී
කේශ නාළිකා තුළ දුවන්නේ
වේදනා වී මිදෙන්නේ
ළබැඳියන්ගේ විතරමද ක්‍රිස්ටිනා?

24-01-2014

[සිතුවම : Yip Lee]

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



විදුර ප්‍රභාත් මුණසිංහ පරිවර්තනය කළ ගාර්ෂියා මාර්කේස්ගේ Memories of My Melancholy Whores- 'මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක' කෘතිය පිළිබඳ අදහස් දැක්වීම, සංවාදය සහ එම කෘතිය පාදක කොට ගනිමින් Henning Carlsen විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම 2014 ජනවාරි 29 වන දින ප.ව. 2.30ට. අදහස් දැක්වීම- ප.ව. 4:30ට. කොළඹ මහවැලි කේන්ද්‍ර්‍ර ශ්‍රවණාගාරයේදී.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අඳුරු අහස් ගැබ කෙළවර
රන්වන් පෑයෙන් පායන
පහන් තරුව දැක ගන්නට
ඒ බව දැන හෝ නොම දැන
ඔබත් මමත් අපි හැම දෙන
යමින් සිටිමු එකම අතට

ඒ ගමනේ මට හමු වන
ගල් පරුවත හෙල් ප්‍රපාත
මට වාගෙම ඔබ හැමටත්
යම් දවසෙක හමු වනු ඇත

දෙපය බැඳෙන මළ පුඬුවෙන්
ඔබ යන මග ඇහිරී
බෙරුව ඉසින අයස මඬින්
ගත කිලි කුණු තැවරී
කැට මුගුරින් පහර ලබා
දුබල අතින් පොළොව බදා
මා මෙන් ඔබ ඒ දවසේ
අසරණ වී වැලපෙන විට
මා ලිව් කවි මට වාගෙම
ඔබ හැමටත් පොදු වනු ඇත

සබඳ ! එවිට මගෙ කවියේ
මා නොසොයා ඔබ දකින්න..

මා යන මග කටු පඳුරින්
දෙපය බිඳී ගලන ලෙයින්
කටු මඟ හැර නිසි මඟ දැන
ඔබේ ගමන නිම කොට ඔබ
අප සොයනා පහන් තරුව
මට පළමුව දැක ගත හොත්
ඒ වෙනුවෙන් ඔබේ පයට
ආසිරි මල් පිබිදෙනු ඇත.

ඒ මල් තුළ මා දකින්න.

[සක්වා ලිහිණි | 1962]

මහගම සේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සිරිදාසට බැංකුවේ රස්සාව ලැබුණ එකත් ලොකු දෙයක් යයි හෙතෙම නොයෙක් විට සිතු වේය. ඒ ඔහු පමණක් නොව අන් හැම දෙනෙකුම පාහේ සිතුවකි. ඔහු පාසැල් සමයේ දී මෙන්ම බාහිර සමාජයේදීත් වැඩි එළියක් හෝ දක්ෂතාවයක් නොදැක්වූවෙකි. යාන්තමට මෙන් දෙටු පෙළ සමත් වූ හෙතෙම අවුරුදු ගණනකට පසු මේ තනතුර ලබා ගත්තේ ද මහත් අසීරුවෙන් කීප දෙනෙකුට කන් කෙඳිරි ගෑමෙන් පසුවය.

රස්සාවට අවුත් දැනට අවුරුදු පහක් පමණ ඇත. වයස ද වේගයෙන් ගමන් කරයි. අවුරුදු විස්සක් තිහක් අතර දී පුරුෂයකු විවාහ වීම යුතු යයි හෙතෙම විශ්වාස කෙළේය. ඔහුට නොදැනුවත්වම වාගේ වයස විසිහතක් ඉක්මී යන නමුත් තවමත් විවාහයක් තර කර ගත නොහැකිව ඇත.

ඒ ඔහු ඊට අකැමති නිසා නොවේ. මෙතෙක් සොයා බැලූ කිසි කෙල්ලක ඔහුට කැමති නොවූ නිසයි. ඔහු දැනට බැංකුවේ ලිපිකරුවකු හෙයින් මහත් ගර්වයක් හිස තුළ රුවාගෙන ඇත. ඔහුගේ සිතුවිලි ඔහු මෙන්ම අනෙක් අයත් අනුමත කරාදැයි සැක සහිතය. ඔහුට වුවමනා වූයේ අවුරුදු විස්සක විසි දෙකක පමණ රූමත් මෙන්ම අඩු ගණනේ රුපියල් හාර පන් දහසකවත් ධනයක් ඇති එකියකි. එහෙත් මෙතෙක් සොයා බැලූ අය ඔහුට අකැමති වූයේ ඔහුගේ විරූපී මුහුණත් කුලෑටි ගතියක් නිසා යැයි හැඟේ. විටෙක ඔහු විරූපීව උද්පාදනය කිරීම ගැන තම දෙමව්පියන්ට දොස් නැගුවා නම්, ඒ වරදැයි කිව නොහේ. ඒ, ඔහුට ලොකුම බාධාවක් වී ඇති බැවිනි.

විවාහය පිළිබඳ විවිධ සිතුවිලි ඔහුගේ හදවත දෙවනත් කරයි. ඒ ඔහුට මහත් වේදනාවක් ඇති කරවන්නකි. ඔහුගේ ජීවිතයේ අනාගත ආලෝකය රඳා ඇත්තේ ඒ මත බව හෙතෙම නොයෙක් විට සිතයි. දැන්ම ඒ කාරිය ඉටු කර නොගතහොත් ජීවිතයේ කිසි කලක එය ඉටු කරගත හැකි වෙතැයි හේ කිසි විටෙකත් නොසිතයි. ඔහු ඒ අතින් මානසික රෝගියකු වී ද යන්න කිව නොහැකිය.

දිනක් බැංකුවේ මුදල් තැන්පත් කරන්නන් පිළිබඳව ලියකියවිලි පරීක්ෂා කරණ අතර ඔහුගේ විශේෂ සැලකිල්ලට භාජනය වූ එක් ලිපි යොමුවක් හමුවිය. ඉන් ඔහුගේ හිත ප්‍රබෝධමත් වූයේ කුමක් නිසා ද? ඒ තුළ යම් කිසි අමුතු බලයක් ඉස්මතු වී තිබුණා දැයි කිව නොහැක. ඒ ගැහැණු එකියකි. ඇගේ වයස අවුරුදු දහ අටක් බව එහි සඳහන් කර තිබුණි. තව දුරටත් විමසුම් සහිතව බැලූ ඔහුට ඇය නමට රුපියල් එකොළොස් දහසක් තැන්පත් කර තිබුණ බව පැහැදිළි විය. ඔහුගේ සිත යළිත් යම්කිසි ප්‍රීතියකින් වෙලී ගියේය. දෙතුන් වරක් එහි නම කියවා බැලීය. ගොදුර දුටු සතකු මෙන් එය ගිල ගැනීමට සුදානම් වු පරිදි යළි යළිත් ඒ දෙස මහත් ඕනෑ කමින් දෙනෙතට ළං කොට බැලීය.

"මාලනී රත්නායක
අංක 27
හැවුලොක් ටවුම"


කදිම නම, ‘මාලනී’ නම තරම් ම ඇයත් ලස්සන ද? ඒ වගේම අනෙක් ගති ගුණත් ඇති. හෙතෙම මනෝ විග් රහයක යෙදෙන්නට විය. ඉතින් බැංකුවෙත් රුපියල් එකොළොස් දාහක්! අවුරුදු දහ අටක් වෙන කොට සැලකිය යුතු උගත් කයකුත් තියෙන්න එපායැ. රස්සාව නොකළාට එච්චර පාඩුවෙන කෙනෙක් නොවෙයි. මම බලාපොරොත්තු වෙන්නෙත් එහෙම කෙනෙක් තමයි. නරක ද මේ ගැන ටිකක් කල්පනා කරල බැලුවොත්.... ? ඔහු තමාගනේම ප්ිරශ්න කරන්නට විය. ඉන් ඔහු තම සිතුවිලි වලට ජය දුනි. ඇය මගේ මනාලිය කර ගත්තොත් කොයි තරම් හොඳද? හෙතෙම ඒ ගැන විපරම් කළ යුතු යැයි සිතීය.

ඔහු ඒ ගැන කළ යුත්තේ කුමක් දැයි කල්පනා කරන්නට විය. ඇය කෙසේ හෝ ගෙන්වා ගෙන මේ ගැන සොයා බැලිය යුතුය. එච්චර ම ලස්සන නොවූවත් අනෙක් අතින් වරදක් වෙන එකක් නෑ. ඇය මගේ අනාගත සහකාරිය වන්නට බැරිද? කෙසේ හෝ මේ ගැන උත්සහවන්ත විය යුතුය. මේ අවස්ථාවේ දී ගත යුත ක්රියා මාර්ගය කුමක් ද?

අන්තිමේ දී හෙතෙම යම්කිසි නිගමනයකට බැස ගත්තේය.

තැන්පත් මුදලේ වරදක් ඇති නිසා ලබන මන 21 වනදා උදේ දහයයි තිහට බැංකු කාර්යාලයට අවුත් තමා හමුවන ලෙස හෙතෙම ඇගේ නමට ලිපියක් තැපැල් කළේය.

ලිපිය ලැබුණ පසු ඈ බලවත් චිත්ත විප්ලවයකට මුහුණ පෑවාය. ඇගේ සිත යම්කිසි ප්‍රශ්න සමූහයකින් වෙලී ගියේය. මේ හදීසියේ මෙවැනි ලියුමක් ඒමට හේතුව කුමක් දැයි ඇයට තේරුම් ගැනීම උගහට විය. කෙසේ වෙතත් නියමිත වෙලාවට බැංකු කාර්යාලයට යාමට ඇය ඉටා ගත්තේ එය ඉටු නොකළොත් රාජකාරියට බාධාවක් හෝ තමාගේ මුදලට හානියක් වේ යැයි බිය වූ හෙයිනි.

නියමිත දිනයේ නියමිත වෙලාවේ ඇය එහි ගියේ තනියටත් එක්ක තවත් දෙදෙනකු ද සමගය.

මහත් කැළඹුණු සිතින් යුතුව ඔවුහු කාර්යාලයේ දොරටුව වෙතට ගියහ. කන්තෝරු වලට ගොස් කටයුතු කොට ඇයට වැඩි පළපුරුද්දක් නැත. එසේ කිරීමට ඇයට වුවමනාවක් ද නොවීය. කෙසේ වෙතත් හමුවිය යුතු පුද්ගලයා නොදත් හෙයින් ඇය දොරටුව අසල සිටියකුට කාරණය කියා විමසීය.

"මොකද්ද මහත්තයා මේ ලියුමෙ තියෙන්නෙ..... ? සිරිදාස කියන මහත්තයෙක් ළඟට එන්නෙයි කියල තියෙනවා.... මොකද්ද ප්‍රශ්නයක් තියෙනවලු......"

එතැන සිටියේ සූරසේනය. ඔහු සිරිදාස අසලම වැඩ කරන ඔහුට කුළුපග කිහිප දෙනාගෙන් කෙනෙකි. ‘සිරිදාස’ නම නම කියැවෙන විට ඔහු තරමක් සැලකිලිමත් විය. සිරිදාස ඇතැම් විට මෝඩකම් කරණ බව ඔහුද දනී. කාර්යාලයේ කටයුතු පිළිබඳව පුද්ගලයකු නමින් ප්‍රශ්න කිරීමක් නැත. එසේ නම්, සිරිදාස නමින් ඇති ලියුමේ තේරුම කුමක් ද? මේත් සිරිදාස ගේ තවත් මෝඩ කමක්ද? ඒ ගැන මෙසේ නොයෙකුත් දේ සිතූ සූරසේන කෝක උනත් සොයා බැලිය යුතු යයි සිතා ලියුම ගෙන කියා බැලීය. එහෙත් ඔහුට කරුණ තේරුම් කර ගැනීම අපහසු විය. ඒ සිරිදාස ගේ මෝඩකම නිසා කරණ ලද විකාර වැඩක් යැයි සිතීය. එක්කො විහිළුවක් යැයි සිතීය. හෙතෙම කාර්යාලයීය ක්‍රම හොඳින් දනී. වග කිවයුතු කිසිවක් කාර්යාලය වෙනුවෙන් සිරිදාස වැන්නකුට කළ නොහැකි බව හෙතෙම දනී. පැමිණ සිට අයද බලවත් චිත්ත විප්ලවයකට මුහුණ පා ඇති බව ද ඔහුට පෙනුණි.

"මගේ මුදල් තැන්පත් කරල මෙච්චර කාලෙකට ඔහොම හදිසියේ එන්න කිව්වෙ නෑ.... බය හිතිලයි මෙච්චර ඉක්මනට ආවේ....... මොකක් ද මේකෙ තේරුම....... ?"

"නෑ. නෑ.... බය වෙන්න දෙයක් නෑ. ඒක අපි හරි ගැස්සුවා... ඔහේලට දන්වල යැව්වෙ වැඩි හොඳට. අපි ගොඩින්ම වැඞේ ඉවර කළා.. මේ ලොකු මහත්තය මතුකරපු ප්‍රශ්නයක්... ඒක පස්සෙ අනෙක් ලියවිලි සොයා ගෙන ඉවරයක් කරල දැම්ම......"

එය විශ්වාස කළ ඔවුහු මහ බරකින් නිදහස් වූවා සේ හිත සැහැල්ලු කර ගෙන ආපසු ගියහ.

ඔහු කීවේ බොරුවකි. ඔහු බොරු කීමට අකමැතිය. එහෙත් මෙවැනි අවස්ථාවක එසේ නැතිව වෙන කුමක් කරන්නද? තමාගේ හිතට විරුද්ධව ක්‍රියා කිරීම ගැන යම්කිසි ව්‍යාකූල භාවයකට පත්විය. ආත්ම ගෞරවය සඳහා කළේ ආත්ම වංචාවකි. එහෙත් ඉන් තවකෙකු ගේ බැරෑරුම් ප්‍රශ්නයක් නිරාකරණය වීම ගැන හෙතෙම ප්‍රීති විය. අනුන්ගේ මෝඩකම් වලට තමන් පලිදැයි විටෙක හෙතෙම සිතුවේ යම් කිසි පෞද්ගලිකත්වයක් ඉස්මතු වීමෙන් යයි සිතේ.

සූරසේනට සිරිදාගෙන් මේ ගැන විමසන තෙක් ඉවසිල්ලක් නැත. එහෙයිනි, ඔහු වහ වහා, සිරිදාස සොයා ගෙන ගියේ.

"මොකක්ද සිරි, මේ කරපු වැඞේ. කවුද ගෑනු කෙනෙක් .......... නොවෙයි, ගෑනු රොත්තක්ම ආව තමුසෙව හම්බවෙන්න.... තමුසෙ එන්නෙයි කියල ඇරපු ලියුමකුත් අරගෙන...."

සිරිදාසෙ ගේ සිතේ යම්කිසි ප්‍රීතියක් මෙන්ම බියක් ද ඇති විය. දන්නේ සූරසේන පමණක් නම් කමක් නැතැයි හේ සිත සන්සුන් කරගත්තේය.

"ඉතින්..... ඉතින්.... කොහොම ද පෙනීම... ලස්සනද?....

"ලස්සන තමයි, මොකක් ද තමුසෙගෙ වැඞේ තේරුම... ඒ උදවියට කොලොප්පමක් ද? කෝකටත් තමුසෙ ගහපු හතරවරමක් වග දන්න නිසා ඒ උදවියට බොරුවක් කියල පිටත් කළා.. මම දන්නව නෙව, ඒ අය කන්තෝරුවෙ වැඩකට තමුසෙ හම්බ වෙන්න එන එකේ තේරුමක් නැති බව... හැබෑටම දැනවත් කියනවා මොකක්ද මේකෙ තේරුම.... ?

"එහෙනම් තමුසෙ වැඩේ කෑව.... මම මේ යන්න සුදානම් උනා විතරයි...."

"ඇයි, මොක ද......... ? එහෙනම් තමුසෙ ලොකු වැඩ පිළිවෙලක් පිට කරපු දෙයක්....."

"ඔව්, මම මේ සුරේට විතරයි කියන්නෙ, යාලුකම නිසා....... මම ලියකියවිලි වගයක් සොයා බලනකොට මට ඔයා නම හම්බ උනා... හොඳ මුදලක් තියෙන, ලස්සන නමක් ඇති අවුරු දහ අටක විතර කෙල්ලක් හම්බ උනාම කොයි මිනිහද ඕයි, හොයා නොබලන්නෙ? ඉතින් මාත් හොය හොයා හිටියෙ, ඔය වගේ කෙනෙක්...... බැලුවහම හැම අතින්ම ගැලපෙන පාට පේන්න තිබුණ. මෙච්චර කාලෙකට හොයා බලපු කිසි කෙනෙක් හරි ගියේ නැති හින්ද මට හිතුණ ඒකවත් හරි ගියොත් මගේ වාසනාවක් කියල. ඒකයි, බොරු කාරණයක් සඳහන් කරල මාව හම්බ වෙන්න එන්නෙයි කියල ඇරියෙ............. ඉතින් කටටම ආපු ගොදුර තමුසේ මග ඇරෙව්වනේ...... තමුසෙ තමයි, හරි හෙනහුරා......."

"ඔව්, ඔව් තමුසෙ ගෙ වාසනාව මග ඇරෙව්ව.... බොහොම අගේ ඇති වැඩේ... කොහොම හරි කර ගන්නවා. අපූරු ගෑනු ළමය. දාහකින් හොයා ගන්න බැරි මනුස්සයා. මට යම්තම්වත් දන්නල තිබුණ නම්, අගේට පිළයෙල කරල දෙනව.... හැබැයි, අඩුපාඩුවකට හිටියෙ තවමත් බාගයක් විතර කෙස් කළුයි. ඇවිල්ල හිටියේ දරු මුණුබුරොත් එක්ක...

"මොනව? ගෙදර අනෙක් අය එක්ක ද ඇවිල්ල හිටියෙ..... ?"

"ඔව්, ඒ මනුස්නයගෙ දූයි, ඒ දූගේ පොඩි දරුවෙකුයි, ඇවිල්ල හිටියෙ.... අගේ ඇති ගෑනු ළමිස්සි...."

"මොකෝ එච්චර වයසද? මම දැක්කෙ දහ අට වගෙයි..."

"ඔව්, ඒ මුදල් තැන්පත් කරන්න පටන් අරගෙන තිබුණෙ වයස දහ අටේදී තමයි... මමත් ඔය ලියිවිලි බැලුව.... ඒ එක්දාස් නවසිය තිස් පහේදි නෙව..... තමුසෙ අපූරු මනමාලියක්නෙ හොයගෙන තියෙන්නෙ.... දැන්ම කර ගන්නව...... තවම සේරම කෙහෙ සුදු නැහැ..."


සිරිදාසට හීන් දාඩිය දැම්මේ ලැජ්ජාවේ අධික කම නිසා යැයි සිතේ.

ගිනිදැල් | 1962

සී. අබේනාරායණ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පොතේ හැටියට
කබුකි, නෝ නැතුවට
වලේ නළුවක රසින් ඉපිලී
රිදෙන තුරු තැලුමට
අපට අත්පොඩි තිබුනා ..

කඩදාසි ලන්තෑරුම්වල
මඳ මුදු එළිය නැතුවට
තුරු වියන අස්සෙන් පෙරී ආ
ලස්සනම හඳ රැස් බිංදු
පොළොන්නරුවට වැටුනා..

පසුබිමෙන් ස්වර වැයෙනා
කෝපි හල් වල කෝපි නැතුවට
නුවර ටවුමෙදි තිබහ දැනුනම
සීත කෝලා පෙණ කැට
අපේ හදවත් තෙමුවා...

"ඉක්මනින් හොයාගන්න,
ඔයාට ගැලපෙන කෙනෙක්..
පුරුදු වෙයි නැත්තන්,
නරක දේවල් වලට"
පොතේ නැති දෙබසක්
ඈ අන්තිමට කීවා ..

[සිතුවම | Leonid Afremov]

ප්‍රසාද් වීරසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ද්වන්ධ යුධ වැද ජය ලදින් රණ ගොස නගා මා සමග පැමිණිය
වැදි දනන්ගේ බස් අසාගෙන නොවැළපෙන් නුඹ මෙගිර රැජිණිය
වනේ හිඳ ගත මුදු නැතත් මට රිසි නුඹේ රළු පහස පමණිය
දිවුරමිය මට කුමරියක් හා යහන් ගතවන සිතක් නොවුනිය

දිසාපාමොක් ඇසුර නොලදත් පරාජය වනු බැරි කමක්
සිතේ නැගුනිය වුවත් පෙර සිට ධනුද්දර හඳුනන නමක්
දිවිය පෙන්වා පෙලන කල සිත බෝ කලක් බැඳි පෙම් දමක්
නුඹව සිහිවුන මුත් සිතේ විය කිසි කලෙක නොසැලෙන යමක්

රජෙක් වෙමි මම මා දනන් ගේ දිවිය සුලු කොට තකනු බැරුවා
යටත් කොට මරණින් මුදන්නට මගේ වැදි සිත යලිත් බැලුවා
අභය පුද දෙනු රිසින් මා ඒ දෑස දෙස යලි බැලුම් හෙලුවා
නෙතින් සිරකර මුනිවතෙන් ඈ මගේ මුදු සිත සෙමෙන් තැලුවා

[සිතුවම : Maysa Mohammed]

නුවන් තොටවත්ත



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මරණයක් කියන්නෙත් ගොඩයන්න පල්ලමක්
මතකයක් කියන්නෙත් හිනැහෙන්න කාලයක්
ඡන්දයක් කියන්නෙත් කැම්පේන් ලෝකයක්
වෙඩිල්ලක් කියන්නෙත් එක්තරා වාසියක්

චන්ද්‍රිකත් ඉස්සරම ඇන්දා සුදු සාරියක්
තලතලත් සුදු සාරි අරගත්තා මහා ගොඩක්
ඡන්දෙකදි මැරෙන එක පරපුරක ඇරඹුමක්
ගැහැනියක් කියන්නෙත් තවත් එක පෙර පිනක්

පන්සලක් කියන්නෙත් පව් මකන තව තැනක්
හෙරෝයින් කියන්නෙත් එක්තරා වචනයක්
සාටකේ කියන්නෙත් එල්ලෙන්න මරු වැලක්
රැවටෙනවා කියන්නෙත් පුරුදු උන සෙල්ලමක්

දුමින්දට අමතකයි භාරතව නැහැ සැකක්
හිරුණිකා කියන්නෙත් චන්දෙ ළඟ තව ඇමක්
ජනතාව කියන්නෙත් බල නොදත් රළ පෙලක්
ආණ්ඩුව කියන්නෙත් මහා ගොඩක් යන නැවක්

[Image- Daily Mirror]



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ආරාම කේන්ද්‍රීය පැරණි සිංහල ශාස්ත්‍රාල තුළ සුභාවිත සාහිත්‍ය විචාර ක්‍රමවේද සියල්ල භාරතීය සංස්කෘත සම්ප්‍රදායන්හි නිපන් ඒවා වේ. සියබස් ලකර, එළු සඳැස්ලකුණ, සිදත් සඟරාව, ලකුණු සර ආදී කාව්‍ය රීති පිළිබඳ උපදෙස් සපයන කෘති බොහොමයක් සංස්කෘත සාහිත්‍ය සංකල්ප පදනම් කොට පවතී. ඒ අතර නිෂ්පන්න විචාර සංකල්ප ඇත්තේ අතළොස්සක් පමණි. ඇතැම් ගී විරිත් එවැනි නිෂ්පන්න අංගවලට උදාහරණ ලෙස දැක්වේ. ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් වීමෙන් එතෙක් පැවති ආගම කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය ලෞකික විෂයක් ලෙස වෙනස් අයුරකින් වර්ධනය වීම සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස මේ නව අධ්‍යාපනය විසින් සම්ප්‍රදායික ඥානයේ හා භාවිතයන්හි පැහැදිලි ඛණ්ඩනයක් ඇති කරන ලදී. 19 වන සියවසේ දී යුරෝපයේ දියුණු වූ විවිධ සාහිත්‍ය විචාර චින්තාවන් ලංකාවේ ශාස්ත්‍රාලවල ද ඉගැන්විණ. ඒවා ඉංග්‍රීසි පාඨ ග්‍රන්ථ විචාරය සඳහා මුල් කාලයේ භාවිත කෙරිණ. මෙහි ප්‍රතිඵලයක් ලෙස එතෙක් අඳුරු ව පැවති සුවිසල් බුද්ධි කලාපයක් ඉංග්‍රීසි උගත් ස්වදේශික ජනයා වෙත නිරාවරණය කෙරිණ. යුරෝපයට ගොස් උගෙන ගත් තරුණ පිරිස් මේ යුරෝපීය දැනුම භාවිත කරන ලදි. ඒ යුරෝපීය ඥානයේ අනුහසින් 20 වන සියවසේ මුල් දශක හය තුළ නව සාහිත්‍ය කලා නිර්මාණ හා විචාර මතවාද රැසක කෙම්බිමක් බවට ලංකාව පරිවර්තනය විය. විශ්වවිද්‍යාල ආශ්‍රිතවත් ඉන් පරිබාහිරවත් ලාංකේය සාහිත්‍ය විචාර කතිකාව බටහිර නැඹුරුවක් සහිත ව වර්ධනය විය. මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර වැන්නන් අතින් වර්ධනය වූ නිදහස් මානවවාදී විචාර එළඹුම යුරෝපීය මූලයක් සහිත පෙරදිග දැනුම හා මුසු වූ අපූරු ඥාන ශාඛාවකි. ඉන් අභිනව සාහිත්‍ය නිර්මාණ ධාරාවන් මෙන් ම චිරන්තන සාහිත්‍ය කෘති ද අර්ඝණය කෙරිණ.

නිදහස් මානවවාදී විචාර භාවිතය විස්ථාපනය කෙරෙනුයේ මාක්ස්වාදී සාහිත්‍ය විචාර න්‍යාය මගිනි. එය ද යුරෝපීය සම්භවයක් සහිත ය. සමාජවාදී ගුරුකුළය සමාජවාදී යථාර්ථවාදය හා ට්‍රොට්ස්කිවාදී වශයෙන් ගුරුකුළ දෙකක් ලෙස හඳුනා ගත හැකි ය. ඉන් ප්‍රබල පිරිස වූයේ සමාජවාදී යථාර්ථවාදී පිළ යි. ඒ.වී. සුරවීරයන් නියෝජනය කළේ එම ගුරු කුළය යි. 1970-77 රජයේ නිල සාහිත්‍ය කලා න්‍යාය එය බවට පත් වූ බව විචාරක මතයයි. (ගම්ලත්, සුචරිත 1991:පි.117-152) සුරවීරයන් සිය තරුණ අවධිය ගත කරනු ලැබූයේ සමාජවාදය ගොඩනැගීම සඳහා නිර්මාණකරණය හා විචාරය මගින් දායක වෙමින් ප්‍රගතිශීලී චින්තනයක් පෙර දැරි කොට ගෙන ය. උපතින් ම ධනවාදී රාජ්‍යයක් වූ ලංකාව තුළ සමාජවාදී අරමුණක් හිස දරා සිටීම ම උඩුගම් බලා යාමකි.

තමන් ඇගයූ සමාජවාදී යථාර්ථවාදී න්‍යායෙන් ඔබ්බට ගොස් පසු කලෙක බටහිර සාහිත්‍ය විචාරයට අයත් සන්ධිස්ථාන බඳු සුවිසල් විචාර සම්ප්‍රදානයන් ඉංග්‍රීසියෙන් සිංහලයට පෙරළීමේ භාරධූර කාර්යයෙහි හෙතෙම නිරත විය. සිංහලෙන් පමණක් කියවීමේ වාසනාව ලත් උගතුන්ට පමණක් නොව ද්විභාෂිකයන්ට ද එම කෘතිවලින් මහත් ඵල ලද හැකි විය. ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රයත් ලියෝ තෝල්සතෝයිගේ කලාව යනු කුමක් ද කෘතියත් එම පරිවර්තන අතර ප්‍රධාන වේ. සම්ප්‍රදාය නිර්මාණය සහ විචාරය කෘතිය මගින් හෙන්රි ජේම්ස්ගේ ප්‍රබන්ධ කථා කලාව, ටී.එස්. එළියට්ගේ සම්ප්‍රදාය සහ ප්‍රත්‍යෙක කෞශල්‍යය, ජෝර්ජ් ලුකාස්ගේ විවේචනාත්මක යථාර්ථවාදය සහ ලේඛනය හා රේමන්ඩ් විලියම්ගේ නිර්මාණාත්මක චින්තනය සහ ලේඛනය යන විශිෂ්ට ලේඛන ඔහු අතින් සිංහලට නැගිණ. සාහිත්‍ය විචාර ප්‍රදීපිකා, සාහිත්‍ය විචාර සංහිතා යන කෘති ද බටහිර විචාර සංකල්ප පැහැදිලි කිරීම සඳහා හෙතෙම යොදා ගත්තේය. මේ පරිවර්තන හරහා පැරණි හා නූතන විචාර සංකල්ප රැසක් සමාජ ගත කිරිීමට ඔහුට හැකි විය. බටහිර සාහිත්‍ය විචාර න්‍යායන් ඇසුරු කිරීමට ඇලුම් කළ විද්‍යාර්ථීන්ට ඔහුගේ කෘති ආලෝකයක් විය. ඔහුගේ විශිෂ්ටතම බටහිර සාහිත්‍ය විචාර මූල ග්‍රන්ථ කිහිපයක් ගැන කෙටි යෙන් හෝ සාකච්ඡා කිරීම වැදගත් වේ යයි සිතමි.

ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රය

කාව්‍ය ශාස්ත්‍රය හදාරනු රිස්සෙකුට ඉතා පහසුවෙන් එය අන්තර්ජාලයෙන් බා ගත කොට ගෙන ඉංග්‍රීසි බසින් කියවිය හැකි ය. එහෙත් සුරවීරයන්ගේ පරිවර්තනය කියවීමෙන් ලබන දැනුම නම් ලද නො හැකි ය. කාව්‍ය ශාස්ත්‍රය ප්‍රථම මුද්‍රණයට ලියූ පෙරවදනේ ඔවුන් ඊට දැරූ වෙහෙස පිළිබඳ මෙසේ දක්වයි.

"කාව්‍ය ශාස්ත්‍රය දීර්ඝ කෘතියක් නොවෙයි. එහෙත් අර්ථාවබෝධය සිද්ධ වන පරිද්දෙන් එය සිංහලයට නැගීමේ දී මතුපිටින් පෙනෙනවාට වඩා අධික ශ්‍රමයක් මෙන් ම කාලයක් ද යෙදවීමට සිදු වූ බව කිව මනා ය. මම ග්‍රීක භාෂාව නො දනිමි. එහෙයින් මෙම කාර්යය සඳහා ඉංග්‍රීසි පරිවර්තනය ආශ්‍රය කළෙමි. ඒ ඉංග්‍රීසි පරිවර්තන අතර ද දුරවබෝධ පාඨ මෙන් ම ඇතැම් විට විසදෘශතා ද දක්නට ලැබේ. මේ ආදී හේතු නිසා අපගේ ප්‍රයත්නයෙහි යම් යම් ඌණතා තිබිය හැකි ය."
(සුරවීර,1996:පෙරවදන)

සාහිත්‍ය කලා විෂයෙහි ඇරිස්ටෝටල් දක්වන මත අධ්‍යයනයෙහි යෙදුණු බොහෝ දෙනාගේ අවධානය යොමු ව ඇත්තේ විචාර අංශයට බව පෙනේ. එහෙත් ඇරිස්ටෝටල් සාහිත්‍ය විචාරයට පමණක් නොව, සාහිත්‍ය කලා නිර්මාණයට ද අදාළ කරුණු රාශියක් ඉදිරිපත් කර ඇත. එක් අතකින් සාහිත්‍ය කලා විචාරය ද අනෙක් අතින් නිර්මාණය ද සම්බන්ධයෙන් ඇරිස්ටෝටල්ගේ මත විමර්ශණය කිරීම ඔහුගේ අධ්‍යයනයේ විශේෂත්වය විය. කලා ගුරු ඇරිස්ටෝටලයන්ගේ විචාර චින්තාවන් සුරවීරයන් අතින් තත් පරිදි හෙළයට නැගී සමාජ ගත විය.

තෝල්ස්තෝයිගේ කලාව යනු කුමක් ද?

මේ පරිවර්තනයේ ප්‍රාමාණිකත්වය නන් වියතුන් අතින් සම්භාවනාවට පාත්‍ර ව ඇත. එහෙයින් ඒ ගැන අමුතු කතාවෙක් අවැසි නො වේ. කර්කශ විචාරකයෙකු ලෙස ප්‍රචලිත ව සිටි අප ආචාර්යෝත්තම මහාචාර්ය සුචරිත ගම්ලතුන් එය පසසා ඊට දිගුවක් ද ලියා ඇත. ඔවුන් තෝල්ස්තෝයිගේ කලා න්‍යාය නම් වන සිය ලිපිය රචනා කරනුයේ සුරවීරයන්ගේ පරිවර්තිත කෘතිය පාදක කොටගෙන ඒ අරඹයා ය. ගම්ලත්හූ සුරවීරයන්ගේ කෘතිය මෙසේ පසසත්.

"මහාචාර්ය ඒ.වී. සුරවීර සූරීන්ගේ දිගු වසර ගණනක් පුරා විහිද යන ශාස්ත්‍රීය හා සාහිත්‍ය සේවාවේ තවත් පැතිකඩක් දැන් විවර ව ඇත. එනම්, අපරදිග සෞන්දර්ය විද්‍යා ඉතිහාසයෙහි සන්ධි ස්ථාන නියෝජනය කරන සම්භාව්‍ය කෘති සිංහලට පෙරළා පළ කරවීම යි. දැනට සුරවීර සූරීන් ඇරිස්ටෝටල්ගේ 'කාව්‍ය ශාස්ත්‍රය'ත් ලියෙෆ් තෝල්ස්තෝයිගේ 'කලාව යනු කුමක් ද?' යන කෘතියත් මෙලෙස සිංහල කොට පළ කරවා ඇත. අපරදිග සාහිත්‍ය කලා විචාරයේ චිර සම්භාවිත සංකල්ප සිංහල පාඨක රසිකයන් අතර සංයුක්ත ලෙස සාකච්ඡා වීමට පදනමක් මෙලෙස ප්‍රතිපාදනය වී ඇත. මෙහිලා මා යත්න දරන්නේ සුරවීර සූරීන්ගේ ශාස්ත්‍රීය හා සාහිත්‍ය සේවාව අනුමෝදම් වීම් වස් පළ කෙරෙන මේ සංග්‍රහයට තෝල්ස්තෝයිගේ සෞන්දර්ය වාදය පිළිබඳ සාකච්ඡාවකින් දායක වීමට ය."
(ගම්ලත්,1995:පි.85)

සම්භාව්‍ය බටහිර සාහිත්‍ය විචාර න්‍යායට පමණක් සීමා නොවූ හෙතෙම නව මාක්ස්වාදී චින්තකයන් වූ ජොර්ජ් ලුකාස් හා රේමන්ඩ් විලියම් වැනි නූතන විද්වතුන්ගේ කෘති ද සිංහලයට නැගී ය. ඔවුන් බටහිර විචාර න්‍යාය කෙරේ මැදිහත් වුව ද එහි වහලෙක් නො වී ය. සියලු විචාර න්‍යායන් දැන උගෙන ඒවා සමතික්‍රමණයෙන් වඩාත් උචිත විචාර න්‍යායක් සම්පාදනය කරගැනීමට පාඨකයා පෙළඹී ය. මේ සම්ප්‍රදාය නිර්මාණය හා විචාරයට 1989 දී ඔහු ලියූ පෙරවදනේ දක්වන අදහස්වලින් විචාරය පිළිබඳ ඔහු තුළ පැවති ගැඹුරු චින්තාව විශද කෙරෙයි.

"මෙරට නිර්මාණ සාහිත්‍ය පෝෂණයට සහ රසඥතා වර්ධනයට හේතු වන පරිදි විචාරකයාගේ කාර්යය අපේක්ෂිත ප්‍රමාණයෙන් සිද්ධ නො වන බවට අද විවිධ අංශවලින් දෝෂාරෝපණ නැගේ. මේ තත්වය ඇති වීමට හේතු වූ කරුණු රාශියක් ඇතත් අපේ විචාරකයන්ගේ පර්යාලෝකය සහ දෘෂ්ටිපථය සීමා වීම හෝ පුළුල් නො වීම ඊට මූලික හේතුවක් සේ දැක්විය හැකි ය. අද්‍යතන සාහිත්‍ය කටයුතු සඳහා චිරන්තන භාරතීය සිද්ධාන්ත පමණක් ප්‍රමාණවත් නො වන බව අද පිළිගත් සත්‍යයක් බවට පත් ව ඇත්තේ ය. රස, ධ්වනි, ඖචිත්‍ය ආදී විචාර සංකල්ප තුළ සදාතනික අගයක් රඳා පවත්නා නමුදු එයින් තෘප්තිමත් වීම සම්භාව්‍යත්ව පූජාවක් විණා පෙරටුගාමී මාර්ගයක් නම් නො වන්නේ ය, යුරෝපය, ඇමරිකාව, ජපානය, චීනය, අප්‍රිකාව ආදී රටවල සාහිත්‍ය ක්ෂේත්‍රයට අදාල ව ප්‍රකාශ වන මතිමතාන්තර සහ පෝෂණය වන විචාර සංකල්ප කෙරෙහී අනවධානයෙන් අද සාහිත්‍ය විචාරයට සාධාරණත්වය ඉෂ්ට කළ නො හැකි ය. අප ජීවත් වන්නේ අනෙක් හැම කරුණක දී මෙන් ම සාහිත්‍යයේ දී ද පෘථුල අවබෝධය අපේක්ෂා කෙරෙන යුගයක ය."
(සුරවීර ඒ.වී.,1999: පූර්විකාව)

ඉතාම ගැඹුරු බටහිර සාහිත්‍ය විචාර චින්තාවන් වුව බෙහෙවින් සමාන සිංහල අර්ථයකට පෙරළිමට හෙතෙම සමත් විය. කොතක් පරිවර්තනයේ සමත් වුව ඔහුට ආධුනික වූ විෂය ක්ෂේත්‍රවලට අදාල ලේඛන පරිවර්තනය කිරීමට ඔහු නො පෙළඹිණ. යම් විචාරකයෙකුගේ අදහස් පැහැදිලි කිරීමේ දී ප්‍රස්තූතයට අදාල නො වන වැල්වටාරම් නො දැක්වීමට ද හෙතෙම ප්‍රවේසම් විය. අද කාලයේ පළ වන කෘති හා ලිපි දෙස බලන විට ඇති වන කනස්සල්ල සුරවීරයන්ගේ අභාවය විසින් තවත් තීව්‍ර කර ඇත. ශාස්ත්‍රාභිලාෂී සියල්ලන් ම ශෝක වන මේ මොහොතේ කිවයුතු වැදගත් ම කරුණ නම්, ඔවුන් බටහිර සාහිත්‍ය විචාර සංකල්ප ඉගැන්වීම සඳහා දැරූ වෙහෙස මල් ඵල ගැන්වීම අපගේ පරපුරේ කාර්ය භාරය ලෙස සැළකිය යුතු බව යි.

ආශ්‍රිත ග්‍රන්ථ-

1. සුරවීර,ඒ.වී.,1996. ඇරිස්ටෝටල් කාව්‍ය ශාස්ත්‍රය. 2 වන මුද්‍රණය, වැල්ලම්පිටිය: චතුර මුද්‍රණාලය.
2. සුරවීර,ඒ.වී.,1999. සම්ප්‍රදාය නිර්මාණය සහ විචාරය. 2 වන මුද්‍රණය, කොළඹ-10: එස්. ගොඩගේ.
3. ගම්ලත්,සුචරිත.,1995. සාහිත්‍ය කලා ආදිය ගැන, කොළඹ-10: එස්.ගොඩගේ.
4. ගම්ලත්,සුචරිත.,1991. සාහිත්‍ය විචාර හා මාක්ස්වාදී විකට රූප. බත්තරමුල්ල: රූපණ ප්‍රකාශකයෝ.


සමන් එම්. කාරියකරවන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ලිංගික අපයෝජන ගැන පළවෙන පුවත්පත් වාර්තා, විද්‍යුත් මාධ්‍ය අනාවරණවලට අමතරව එස්.එම්.එස්. මගින් අපයෝජන ගැන ප‍්‍රවෘත්ති ගලා ඒම දවසින් දවස වැඩිවෙමින් තිබේ. එස්.එම්.එස්. යනු අද එසැණින් ප‍්‍රවෘත්ති බෙදාහරින කාර්යක්ෂම උපකරණයකි. ජංගම දුරකථනයේ අලූත් වෙළෙඳාමකි. ලංකාවේ ලිංගික අතවර මාර්කට් කිරීම ජනමාධ්‍යයේ ප‍්‍රවනතාවක් වී තිබේ. මේ ලිංගික අතවර සිදුවන්නේ ඇයි? ඒ සඳහා පසුබිම සැකසෙන්නේ කෙසේද? අතවරකරුවන් එවැනි සිද්ධීන්වලට යොමු වීමේ සමාජ- සංස්කෘතික පදනම් මොනවද? ඔවුන්ගේ මානසිකත්වය කෙබඳුද? එසේ අතවරවලට ලක්වෙන අය සම්බන්ධයෙන් දැකිය හැකි ලක්ෂණ මොනවද? ආදී වූ ප‍්‍රශ්න ඇසීම වෙනුවට ලිංගික අතවර සෙක්සි විදිහට වාර්තා කිරීමේ ප‍්‍රවණතාව ඉස්මතු වූයේ අද ඊයේ නොවේ. මේ සෙක්සි ගතිය ලංකාවේ බහුතර ජනමාධ්‍ය ආයතනවල "ප‍්‍රවෘත්ති කලාව" විසින් අපේක්ෂා කරන්නකි. ඉතින් ජංගම ප‍්‍රවෘත්ති සේවයක් වන කෙටි පණිවුඩ මගින් ලිංගික අපයෝජන වැඩිවැඩියෙන් අප වෙත ගලා ඒම අලූත් තත්ත්වයක්ද?

කෙසේවෙතත් ලිංගික අපයෝජන සම්බන්ධයෙන් ඇති මේ උනන්දුව සැබවින්ම මේ සංකීර්ණ තත්ත්වය ගැන කල්පනා කරන්නක් බවට පත්කර ගත යුතුය. එබැවින් මේ සටහන මගින් උත්සාහ කරන්නේ ලිංගික අපයෝජනයට ලක් වූ අය ගැන අත්දැකීම් කිහිපයක් ආශ‍්‍රයෙන් ඒවායෙහි පසුබිම කෙටියෙන් සාකච්ඡුා කිරීමයි. සරලව, සමාජයක් ලෙස අප මුහුණදී සිටින ලිංගික අපයෝජනයේ සමාජීය වුවමනාවන් පැන නගින්නේ කුමන පදනමකින්ද සහ එවැනි අපයෝජනවලට ලක් වූ අය සම්බන්ධයෙන් ඇති වන අවාසනාව ගැන නැවත කල්පනා කර බැලීමයි. ලංකාවේ ළමා හා කාන්තා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන රාශියක් ප‍්‍රසිද්ධව ඇත. පොලීසිය, පොලීසියේ ළමා හා කාන්තා ඒකක, පවුල් පුනරුත්ථාපන මධ්‍යස්ථානය පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, පවුල් සැලසුම් සංවිධානය, කාන්තා පිහිට, මානව අයිතීන් ආයතනය, නීති ආධාර කොමිෂම, සර්වෝදය, ශී‍්‍ර ලංකා සුමිත‍්‍රයෝ, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය (-තව බොහෝ ඇත-) ආදී වූ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන රාශියක් ස්ථාපිත වීමම ශී‍්‍ර ලංකාවේ කාන්තා හිංසනය, ලිංගික අඩන්තේට්ටම් සහ ළමා අපයෝජන වැනි කාරණා කෙරෙහි පවතින ඛේදවාචකයේම ප‍්‍රකාශනයකි. මේ ආයතනවල අත්දැකීම් අනුව කාන්තා හිංසනයට හෝ ලිංගික අපයෝජනවලට නිශ්චිත එක් හේතුවක් හෝ සරල විසඳුම් ඉදිරිපත් කිරීමේ හැකියාක් නැත. ඒ නිසා මේ රචනයේ අවධානය යොමු වන්නේ ළමා අපයෝජනයේ පැතිකඩ කිහිපයක් වෙතයි.

පොලීසිය සමග සම්බන්ධව ලිංගික අපයෝජනවලට ලක්වූ අයට මනෝඋපදේශනයේ යෙදෙමින් මනෝවිද්‍යා උපදේශිකාවක් ලෙස සේවය කළ කාංචනා සෙනෙවිරත්න ඇගේ ඇත්දැකීම් ආශ‍්‍රයෙන් පැහැදිලි කළාය. ඉතා දීර්ඝ ලෙස වාර්තා කිරීමට ඇති නොහැකියාව සහ ලිංගික අපයෝජනවල සමාජීය පසුබිම ඉතා සංකීර්ණ නිසා මේ සටහනෙනි ඉඩ අනුව අප තේමාකර ගත්තේ කාරණා කිහිපයක් පමණි.

"එක ගෑනු ළමයෙක් ආවා. එයා තමාගේ තාත්තත් එක්ක අවුරුදු 5ක් විතර එකට හිටපු කෙනෙක්. අම්මා රට ගිහිල්ලා. අවුරුදු 13දි මුලින්ම තාත්තා අතින් මේ ළමයට අපයෝජනයක් සිද්ධවෙලා තියෙනවා. එතන ඉඳලා අවුරුදු 5ක්ම මේක දිගින් දිගටම සිද්ධවෙලා තියෙන්නේ ළමයගෙත් කැමැත්තෙන්මයි. පොලීසියට එනකොට මේ ළමයට අවුරුදු 16ත් පැනලා. අම්මා රට ඉඳලා ආවට පස්සේ මේ ගෙදර ප‍්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. මේ අය ලැයිමක ජීවත් වෙන අය. නිදාගන්නෙ එකට. හැබැයි මේ සිද්ධිය පොලීසියට වාර්තා වෙන්නේ රේප් කේස් එකක් හෝ ළමා අපයෝජනයක් විදිහට නෙමෙයි. අර තාත්තාගේ ඇවිස්සීම නිසා මේ අම්මයි දුවයි අතර රණ්ඩුවක් ඇතිවෙලා තියෙනවා. මේ රණ්ඩුව නිසා පොලීසියට ආවට පස්සේ තමයි අර ළමයගෙ කතාව එළි වුණේ."

ඇය කියන්නේ ඉතා සංකීර්ණ තත්ත්වයකි. මේ කාන්තාවන් රට යෑම නිසා සිදුවන ලිංගික අපයෝජන වැඩිපුර වාර්තා වූ අතර එය සෑහෙන තරම් සාකච්ඡාවට ලක්වී තිබෙන්නකි. එහෙත් ප‍්‍රශ්නය තවමත් විසඳී නැත.

"මේ තාත්තා මේ වගේ දේකට යොමු වුණේ ඇයි කියන එක අපිට හරියටම අනුමාන කරන්න බෑ. එහෙත් බීමත්කම, වැඩිහිටි කාන්තාවන් ගෙදර නැතිකම, තාත්තට තමන්ගේ ලිංගික අවශ්‍යතාව සපුරාගැනීමට නොහැකිවීම, මිල මුදල් නැතිකම සහ ගෙදර ඉඩකඩ ආදී නොයෙකුත් ප‍්‍රශ්න බලපාන්න පුළුවන්. ඊළඟට මේ ළමා අපයෝජන සම්බන්ධයෙන් බලපාන ප‍්‍රධානම පරිසරය තමයි ඉස්කෝලේ. එකක් නිවැරදි අධ්‍යාපන රටාවක් නැතිකම. අනිත් එක ඉස්කෝලවල තියෙන සංස්කෘතික කාරණා. දැන් ගොඩක් සිදුවීම් වාර්තා වෙනවනේ. ඉස්කෝලවල බාල වයස්කාර දරුවන්ගේ ලිංගික අපයෝජන සහ අපචාර. එක සිදුවීමකට මුහුණ දුන්නු ගෑනු ළමයෙක් ආවා අවුරුදු 13ක. මේ ළමයා ඒ ඉස්කෝලෙම තවත් පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් පටන්ගෙන තියෙනවා. මේක ඉස්කෝලෙට අහුවෙලා. ඉතින් ඉස්කෝලෙන් මේ සිද්ධිය හයිලයිට් කරලා විනය විරෝධි හැසිරීමක් විදිහට. ඒ ළමයව ඉස්කෝලෙන් අස්කරලා. ඊට පස්සෙ මේ ළමය වෙන ඉස්කෝලෙකට භාර දීලා තියෙනවා. එතකොට ඒ ඉස්කෝලෙන් මේ ළමයව භාර අරගෙන තියෙන්නෙ ආයෙ කිසිම කොල්ලෙක් එක්ක යාළු වෙන්නෙ නෑ කියල පොරොන්දුවක් අරගෙන. මේ ඉස්කෝලෙට දැම්මට මේ ළමයි දෙන්නගෙ සම්බන්ධය දිගටම තිබිල තියෙනවා. ඒ ගොල්ලන්ට හම්බවෙන්ඩ කතා කරන්ඩ තැනක් තිබිලා නෑ. ෆෝන් එහෙමත් තහනම් කරලා. ඉස්කෝලෙනුයි, ගෙවල්වලිනුයි ළමයින්ට ළං වෙනවා වෙනුවට මෙහෙම බාධා දැමීම ප‍්‍රශ්නෙට විසඳුමක් නෙමෙයිනෙ. එතකොට එයාලට සිද්ධවෙන්නෙ කාටත් හොරෙන් හම්බ වෙන්ඩනේ. මේ දෙන්න හම්බවෙන්ඩ තෝරගෙන තියෙන්නෙ අර පිරිමි ළමයගෙ ගෙදර. ගෙදර අම්මයි තාත්තායි දෙන්නම වැඩට ගියාම ඉස්කෝලෙ යන මුවාවෙන් සතියකට දවසක් ගානෙ මේ ළමයි හම්බවෙලා තියෙනවා. එතනදි ලිංගික කි‍්‍රයාකාරකම්වලට යොමුවෙන එක අමුතුදෙයක් නෙමෙයි. හැබැයි ඒ සම්බන්ධතාවල ප‍්‍රතිඵල ඒ තරම් හොඳ ඒවා නම් නෙමෙයි.

කොහොම හරි අර ගෑනු ළමයගෙ බෙල්ල හැපූ දත් පාරවල් දැකලා ඉස්කෝලෙන් පොලීසියට කෝල් කරලා ගිහින් මේ ළමයා එක්කන් ඇවිත් ප‍්‍රශ්න කරල තියෙනවා. ඉස්කෝලෙ ගුරුවරුන්ට වඩා පොලීසියෙන් මෙයාට කරුණාවෙන් සලකල කතා කරලා තියෙනවා. එතකොට මේ ළමයා හැමදේම කියල. වෙලා තියෙන්නෙ මේ වගේ ප‍්‍රශ්න දිහා ගුරුවරු මව්පියෝ බලන ආකාරය. විශේෂයෙන්ම ආදර සම්බන්ධයක් වගේ දෙයක් ඇතිවුණු ගමන් ඉස්කෝලවලදි ගන්න කි‍්‍රයාමාර්ගවලින් තවත් ඒවා නරක අතට හැරෙනවා මිසක් හොඳක් නෙමෙයි වෙන්නේ. දැන් අර ළමයා විනය විරෝධි කියලා ඉස්කෝලෙන් අස්කරලා කොන්කරලා දැම්මට එයාගේ තනිකමට තවත් කිට්ටු වෙන්නෙ අර ආදරය කරන කෙනානේ. ඒ ආදරයත් අවබෝධය එක්ක එන එකක් නොවෙයි. එතකොට වෙන්නෙ තවත් ප‍්‍රශ්නය උග‍්‍ර වෙන එක. අර ළමයා කියනවා එයා ගැන අහන්නවත්, එයාගෙ ඔළුව අතගාල කතා කරන්නවත් කවුරුත් හිටියෙ නෑ කියලා. මාපියෝ වුණත් මේ වගේ ප‍්‍රශ්නවලදී ප‍්‍රතිචාර දක්වන විදිහෙන් ළමයින්ට හිතෙන්ඩ පුළුවන් එයාල තමන්ට ආදරේ නෑ කියල."

"ඊට අමතරව ගෙවල්වල තියෙන අනියම් සම්බන්ධතා හා පළිගැනීම් විදිහටත් ළමා අපයෝජන සිද්ධ වෙනවා. අපි වැඩිපුරම ඉස්කෝලේ යන ළමයි කෙරෙහි අවධානය යොමු කරල බලනවානම් ඒ පැත්තෙන් සිද්ධවෙන ඛේදවාචකය තමයි ආදර සම්බන්ධතාවල තියෙන ස්වභාවය. විශේෂයෙන්ම ලොකු ප‍්‍රශ්නයක් තියෙනවා. අවුරුදු 16 - 18 අතර වයස් කාණ්ඩය ගැන. අවුරුදු 16ට පහළ අයට විතරනේ කැමැත්ත /අකමැත්ත නොසලකා ලිංගික අපයෝජනයක් විදිහට සලකලා ඒක නීතියෙන් තහනම් කරලා තියෙන්නෙ. එහෙත් අවුරුදු 16 පැනපු 18ට අඩු අයගොඩක් ඉන්නවා අසරණභාවයටපත් වුණු. මොකද අවුරුදු 18ට අඩු අයගේ ලිංගික සම්බන්ධයක් හෙළිදරව් වුණාට ඒ අයට නීතිමය පියවර ගන්නට බැහැ. (කැමැත්තෙන් නම්) ඒ වගේම එයාල විවාහකරලා දෙන්නත් බෑ. 18ට අඩු නිසා.

ඉස්කෝලේ යන කාලේ යාළුවෙලා හිටපු සා.පෙළ හොඳට පාස් වුණාට පස්සෙ උ.පෙළ කරන අතරතුර පැනලා ගිය ගෑනු ළමයෙක් පොලීසියෙන් යොමු කරලා තිබුණ උපදේශනය සඳහා. මේ දෙන්නා පැනලා ගියාට කසාද බඳින්ඩ වයස මදිවෙලා. එකට හිටියට නීතිමය බැඳීමක් නෑනේ. ටික කාලෙකින් මේ කොල්ල කෙල්ලව අතහැරලා දාලා. ඊට පස්සෙ අර ගෑනු ළමයට කර ගන්ට දෙයක් නෑ. ආපහු ගෙදර ආවම එහිත් ගණන් ගත්තේ නෑ. නොයෙක් නොයෙක් දේවල් හින්දා ඒ අය මානසිකව ගොඩක් අසරණභාවයට පත්වෙනවා. සමහර විට ළමයි හම්බවෙනවා. වාර්තා නොවුණාට මේක බරපතළ තත්ත්වයක්. මේකට මූලික වෙන්නේ බලහත්කාරකමක් නෙමෙයි. ආදරයම තමයි.

විශේෂයෙන්ම අපේ සමාජයේ ආදරය ගැන ගොඩනැගිලා තියෙන දෘෂ්ටිය. අපේ ගොඩක් යාළුවෙන අය හිතන්නෙ එයාල දෙන්නෙක් නොවෙයි එක්කෙනෙක් කියලා. එතකොටත් ඒ දෙන්න අතර ඉතාම සුළු කාලයක් ඇතුළතදි කායික සම්බන්ධයක් ගොඩනැගෙනවා. මේකෙ රස වැටුණහම ආදරය ඉතාම පොඩි සීමාවකට කොටු වෙනවා. ආදරය කරපු ගමන්ම අපේ ඉස්කෝලවල ළමයි පවා කසාද බැන්ද වගේ තමයි. අනිත් කෙනා ගැන අයිතිවාසිකමක් (ශරීරය ගැන පවා) තමන්ට තියෙනවා කියල හිතනවා. ඊට පස්සෙ ලිංගිකව එකතු වීම කියන එකට අපේ සංස්කෘතියේ තියෙන තහංචි සීමා බාධා මුකුත් ගණන් ගන්නේ නෑ. හැබැයි මොකක් හරි වෙලා ඒ සම්බන්ධය බිඳ වැටුණු ගමන් ආපහු අර සීමා තහංචි තියෙන සංස්කෘතිය හරහට හිටිනවා. එතකොට වෙන්නේ ගොඩක් වෙලාවට ගෑනු ළමයට යන එන මං නැති වෙන එක.

ආදරය කරන එකත් ලිංගික සම්බන්ධෙකට සීමා වීම සහ ඒ වයස, තේරුමක් නැතිකම වගේ නොයෙක් කාරණා නිසා ඒක ඉක්මණට එපා වෙනවා. පිරිමි ළමයට වගේම ගෑනු ළමයටත්. වෙන අයට හිත යනවා. හැබැයි එතකොට ගොඩක් දුර ගිහිල්ලා මේ අය. දැන් මේක පිරිමි ළමයට වගේම ගැහැනු ළමයටත් ප‍්‍රශ්නයක් නෙමෙයි නම් මෙතන අපිට කතා කරන්න දෙයක් නෑනෙ. ඒත් අපිට ඇවිල්ල තියෙන ගොඩක් පැමිණිලිවලට අනුව ආදරය කරද්දී ගොඩක් රැඩිකල්ව හිටපු ගෑනු ළමයි ඒක බිඳවැටුණහම එන සංස්කෘතියේ බලපෑම් හින්ද සමාජයට බය වෙනවා. සමහරවිට එපා වුණත් රණ්ඩු වෙවී ඉඳල කොහොමහරි එකට ජීවත්වෙන්න උත්සාහ කරනවා. ඔය හින්දම එක්කෝ පැනලා යනවා. මේ පැනලා යන්නේ සමගියෙන් නෙමෙයිනේ. දෙන්න එකට ඉඳලා ගෙදරින් ප‍්‍රශ්න ඇවිත් පැනලා යනවත් නෙමෙයිනෙ. ඉතින් මෙහෙම ගියාම මාපියන්ගෙන් ප‍්‍රතික්ෂේප වෙනවා. අවසානය නතර වෙනවා. රස්සාවක් නෑ. කසාද බඳින්ඩ වයසත් මදි. ආපහු වෙන්නේ ඉක්මණට මේ ජීවිතයත් කඩාවැටෙන එක. ළමයෙක් එක්ක හරි තනියෙන් හරි අසරණ වෙනවා ගෑනු ළමයා. මේ වගේ තත්ත්වයකදී පිරිමි කෙනාගේ මානසික මට්ටම ටිකකට අමතක කරලයි අපි මේ කතා කරන්නේ. ඔවුන්ටත් ඒකට බලපාන නොයෙක් සමාජ කාරණා තියෙනවා.

මේකට මූලිකව හේතුව විදිහට මම දකින්නේ ඉස්සරලත් කිව්ව වගේ පේ‍්‍රම සම්බන්ධතා හුදු කායික සම්බන්ධයක් දක්වා කුඩා වීම. ආදරය කියන්නේ ලොකු සම්බන්ධයක් කියල දැන් ගොඩක් ළමයි හිතන්නේ නෑ. අනික් පැත්තෙන් සම්ප‍්‍රදාය සංස්කෘතිය බිඳගෙන යන්න ආසයිනේ තරුණ අය. ඒකම ආපහු තමන් අසරණ කරනවා.

මොකද අපි සංස්කෘතියෙ තියෙන සීමා බිඳගෙන කායික සම්බන්ධතා පවත්වන්නෙම ඒ කෙනාම කසාද බඳිනවා කියල පූර්ණ විශ්වාසයක් ඔළුවේ තියාගෙන. ඒ විශ්වාසෙ බිඳ වැටුණහම තමයි ආපහු මතක් වෙන්නෙ සංස්කෘතිය එහෙම නැත්නම් ආදරය කියල සම්පූර්ණයෙන්ම කරන්නේ ලිංගිකව සතුටු වෙන එක. ඒකත් අවබෝධයෙන් නෙමෙයි. බාල වයස්කාර අපයෝජන ශීඝ‍්‍රයෙන් වැඩිවෙන්න බලපානවා මේ අපි හිතන්ඩ පුරුදුවෙලා තියෙන විදිහ. මේකෙන් මම කියන්නෙ විවාහයට කලින් ලිංගික සම්බන්ධතා පවත්වන එක නරකයි කියලවත් හොඳයි කියලවත් නෙමෙයි. එහෙම දෙන්නෙත් ලිංගික සම්බන්ධයක් පැවැත්තුවොත් ඒ දෙන්නා අනිවාර්යයෙන්ම විවාහ වෙන්නම අවශ්‍ය යයි කියන එකත් නෙමෙයි මම කියන්නේ. ලිංගික සම්බන්ධතා පවත්වන එක එයාලගේ පස්සෙ ජීවිතයට ඒ තරම් බලපෑමක් නොවෙන බව එහෙනම් මනසට කාවැදිලා තියෙන්න ඕන. ඒත් අපේ සමාජයේ එහෙම එකක් නෑ. පොඩි වයසෙන්ම ලිංගික සම්බන්ධතාවලට යොමු වෙනවා වගේම එයාල හිතන්නේ එයාලම කසාදත් බඳිනවා කියලා. මේක මේ තනි තනියෙන් අපේ මිනිස්සුන්ගේ ඔළුවල ගොඩනැගිලා තියෙන දෙයක් නෙමෙයි. සමාජයක් විදිහට අපි හිතන්න ඕන දෙයක්. ඒත් ලංකාවේ එහෙම මානසිකත්වයක් ගොඩනගාගන්න එක ලේසි නෑ. විශේෂයෙන්ම පිරිමියාගෙන් යැපෙනවා කියල හිතන, ගෑනු පිරිසිදුව පිරිමි වෙනුවෙන් කැපවෙලා ඉන්න ඕන කියල රහසින් හරි හිතන පිරිමි සහ කාන්තාවන් ඉන්න සමාජයක අපි කොච්චර හිතුවත් සමාජය එහෙම වෙනස් විදිහකට හිතන්නේ නෑ. හැබැයි එහෙම වුණා කියල බාලවයස්කාර ලිංගික සම්බන්ධතා හරි ලිංගික අපයෝජන හරි සංස්කෘතිය හින්දා පාලනය වෙන්නෙත් නෑ."

(-රාවය. 2013.12.29)

සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අපේ ගෙදර තිබූ එලයිට් රේඩියෝව ටෝච් බැටරි කෑලි තුනකින් බලය සපයා ක්‍රියාත්මක කළ හැකි එකක්. පාසල් යන සමයේ රේඩියෝවෙන් ඇසුන බොහෝ වැඩසටහන් වලට කවි, කෙටිකතා ලියා යැවීම පුරුද්දක් වී තිබුණා. ඒවායින් එක දෙකක ගුවනේ ඇසුනේ දුරාවාරයේ. ඇතැම් වැඩසටහන් වලට ලියා ඒ වැඩසටහන ප්‍රචාරය වනතුරු බලා සිටින්නේ නොඉවසිල්ලෙන්. ප්‍රචාරය වන විට කොයි මොහොතේ හෝ නම ප්‍රචාරය වේ යැයි කන් යොමා සිටින්නේ නොඉවසිල්ලෙන්. නමුත් කිසිවක් සිදු නොවී වැඩසටහන නිමාවන විට ඇතිවන්නේ දැඩි ඉච්චාභංගත්වයක්. එය සමනය කරගන්නේ ලබන සතියට බලාපොරොත්තුව විතැන් කර ගනිමින්. ඇතැම් දවසක බැටරි වල ආයුකාලය කෙමෙන් ගෙවී යන විට රේඩියෝව හොඳින් අහන්නට බෑ. ශබ්දය අඩුයි. ඒ වෙලාවට කුඩා කබඩයෙන් රේඩියෝව බිමට ගෙන ස්පීකරයට කණ තියා බිම දිගා වී කවි කෙටිකතා ලියූ වැඩසටහන් අහන්නට උත්සාහ කලා. පසුකලකදී දෛවෝපගත ලෙස මගේ වෘත්තීය ජීවිතය නිශ්චිතවම ඇරඹෙන්නේ රේඩියෝවෙන්මයි. මේ අතීත මතකය මත යළි පියවර තබන්නට මට හේතුවූයේ ලියනගේ අමරකීර්ති සහෝදරයා ගේ "කුරුලු හදවත" නවකතාවයි. මෙය මට මගේ ජීවිතයට සමපාත වන්නේ එවැනිම අත්දැකීමක් මගේ ජීවිතය පිටුපස ඇති නිසා වුවද ඒ සසළ වීම පසෙක තබා නවකතාව සමාජ, ආර්ථික පසුතලයක තැබූ විට මට දැනෙන දේ සටහන් කිරීමට කැමතියි.

අප මේ ගෙවා දමන්නේ 21 වන සියවස වුවද, ශ්‍රී ලාංකේය සමාජය තුල තවමත් ඉතිරිව ඇත්තේ 19 සියවසේ වැඩවසම් ලකුණුයි. තවමත් අපේ සමාජයට ජාතිය, ආගම, කුලය යනු තීරණාත්මක සමාජ සාධකයන්. ඕනෑම ජීවිත කාරණයක් අවසානයේ නවතින්නේ ඉහත කාරණාවන්ට ලැබෙන පිළිතුරු ඉදිරිපිට. එක පැත්තකින් නව ලෝකකරණය මුලුලොවම වසා පැතිරෙමින් ලෝකයේ සියලු භූගෝලීය සීමාවන් අකා මකා දානවා. නව තාක්ෂණය හා නව මාධ්‍ය ශරීරයේ තවත් එක ඉන්ද්‍රියක් හා සමානව වැඩෙනවා. එයින් ගැලවෙන්න කිසිකෙනෙකුට බැරිතරම්. ඒ අතර අපි මානසිකව හා සිතුවිලි වලින් ගෝත්‍රික සමාජ පරිණාමය පෙරදා රාත්‍රියේ ඉක්මවූවා හා සමානයි.

අමරේ ගේ 'කුරුලු හදවත' නවකතාවේ සමාජ පරිසරය වන්නේ කුලපීඩනයෙන් පෙලෙන ගම්මානයක්. දිනසිරි, මධුවන්ති, රන්දිමා, සරත්, සිරිමලී මැණිකේ, ජේන්, මුත්තු අත්තා, ජයසේන යන පාත්‍රවර්ගයා ජීවත් වෙන වළංගංගොඩ සාම්ප්‍රදායික කුඹල් ගමක්. ඔවුන් කුලීන යැයි කිය ගන්නා අය අතින් පීඩාවට පත් වෙනවා. එහි සංකේතය සිරිමලී මැණිකේ. දිනසිරි රේඩියෝව හරහා ගමේ නමත් තමන්ගේ නමත් වෙනස් කරනවා. ඔහු ඉන් ලබන්නේ අප්‍රමාණ මානසික සතුටක්. ඔහු සිතින් ප්‍රේම කරන්නේ ගමේ එකම කුලීන පවුලේ රන්දිමාට. ඔහුට ඇය සුරුවමක් තමට පූජනීයයි. රේඩියෝව තුලින් නව නාමකරණයට ලක්කල තම ගම පුරුදු පරිදිම පෙලන්නේ පෙර තිබූ සමාජ ආර්ථික සාධක විසින්මයි. කෘතියේ මුල් අර්ධයේදී දිනසිරි ගේ ක්‍රියාකාරකම් තුලින් අපට මතුවන්නේ ගැමි අහිංසක තරුණයෙක්. අන් මගකින් තමන් පෙලන සමාජ ක්‍රමය අතික්‍රමණය කරන්න, තමන් පෙලන සමාජ සාධකයන්ට එරෙහිව ඒවා වෙනස් කිරීමේ ප්‍රායෝගික මාර්ග සොයනවාට වඩා ඔහු උත්සාහ කරන්නේ වෙනත් මාර්ග ඔස්සේ ඒවාට පිළියම් සෙවීමට. රේඩියෝව තුලින් ඔහු නමක් ගොඩනගා ගන්නවා. ගමේ නම වෙනස් කරනවා. තමන්ගේම කුලයේ පැරැන්නෙකු වන මුත්තු අත්තා මීට එරෙහි වෙනවා. ඔහුට තමන් නියෝජනය කරන කුලය පිළිබඳ ඇත්තේ ගර්වයක්. ඔහු මේ මහ පොළොවට මුල් ඇදි කෙනෙක්. දිනසිරි ට මහ විශාල සමාජ දේශපාලන දැනුමක් නැහැ. ඔහු ඉතා සරළ, හැඟීම් බර චරිතයක්. සාම්ප්‍රදායික රේඩියෝ අසන්නෙක්. ඒවාට ලියන්නෙක්.

දෙවන අදියරේ දී අපට හමුවන දිනසිරි කුරුලුගංගොඩ නව මාධ්‍ය ගෝලයේ ගොදුරක්. ගමේ කම ගැමියෙකු ලවාම අලෙවිකිරීමේ වෙළඳ උපක්‍රමයට ඔහු ගොදුරු වන්නේ මුදල් නම් වූ ප්‍රබල සාධකය ඉදිරියේ තබාගෙන. ඔහුට සල්ලි ලැබෙනවා. ඔහුව මිලදී ගන්නා එෆ් එම් නාලිකාව ඔහු ලවා ගම අලෙවි කරනවා. ඔහු දන්නේ නෑ ඔහු අලෙවි නියෝජිතයෙකු බවට පත්වී ඇති ආකාරය. ඔහුගේ වැඩසටහන් අධ්‍යක්ෂවරයා ඉතාමත් සූක්ෂම ආකාරයෙන් ඔහු ලවා ඔහුගේම ගැමි කම අලෙවි කරනවා. දිනසිරි කුරුලුගංගොඩ, කුරුලු ගංගොඩ බවට නැවත උපදිනවා නව සමාජ ආර්ථික ව්‍යුහයන්ට ගැළපෙන ආකාරයට. ඔහුගේ පෙම්වතිය කුලීන විශ්ව විද්‍යාල සිසුවියක්. ගම්පෙරළියේ පියල් මෙන් ඔහු විසල් නිවසක් ඉදිකරමින් තම කුලසාධකයට ඉලංගරත්නලා ගෙන් (පෙම්වතියගේ පාර්ශවයෙන්) එල්ල විය හැකි ප්‍රහාරයට බංකරයක් ඉදිකරනවා. තමා අතින් සිදුවන සමාජ සංස්කෘතික හානිය ඔහුට පෙන්වා දෙන්නේ සරත්. සරත්ට දේශපාලනික ඥානයක් තියෙනවා. මේ පෙන්වා දීම දිනසිරි කුරුලුගංගොඩ හෙවත් කුරුලු ගංගොඩ දැඩි ලෙස සසල කරනවා. විවාහයට ටික දිනකට පෙර ඔහු ඉදිකරන විසල් නිවසට යාබද දියවන්නාවේ ඔහු ඔරුවක් පෙරළී මිය යනවා. ඇත්තටම ඔහු මිය යනවාද? සිය දිවි නසාගන්නවාද?

කුරුලු හදවත නවකතාව සමාජ විකාශණය පිළිබඳව හා එහි නව පෙළගැසීම් වලට ගොදුරුවන්නන්ගේ ප්‍රකාශයක්. වෙළඳ ගුවන් විදුලි නාලිකා පැමිණීමට පෙර යුගය හා පැමිණි පසු යුගය යන යුග දෙක යාකරන පුරුක බවට පත් වන්නේ දිනසිරි. අපි සියලු දෙනා මේ නව ලෝකකරණය තුල දැනුවත්ව හෝ නොදැනුවත්ව අඩු වැඩි වශයෙන් ගොදුරු බවට පත්වී ඇති ආකාරය අමරේ ඉතාම සූක්ෂම ආකාරයෙන් විශ්ලේෂණය කරනවා. ඒ සඳහා ඔහු ගොඩ නගන චරිත මේ මහපොලවේ සමාජ, ආර්ථික, දේශපාලන සන්දර්භයන් මත සරුසාරව මුල් ඇදි ගොඩ නැගුණු චරිත. එසේම නූතන සමාජ වපසරියේ සරන ඇතැම් චරිත වල ඇති විසුළුකාරී ස්වරූපය ඔහු ගොඩ නගන්නේ සියුම් උපහාසයකින්. උදාහරණයක් ලෙසින්- පොඩි කුරුලු. අනෙක් අතට සැබෑ චරිත හා කල්පිත චරිත ඔහු එකිනෙක මුසු කරන ආකාරය (Blending) මනරම්. මුලු නවකතාවේම චරිත ගොඩ නැගීම විශිෂ්ටයි. එකම චරිතයක් හෝ ඕපපාතික නැහැ. හැම චරිතයකටම ඒවා ගොඩනැගීමේ හේතු ඵල සම්බන්ධතාවන් ඔහු කලාත්මකව නිර්මාණය කරනවා.

"පොතක් කියවා හමාර වූ පසු ඔබේ හොඳම මිතුරෙක් ඔබ හැර ගියා සේ වූ හැඟීමක් ඔබට දැනෙන්නේ නම් ඒ පොත හොඳ පොතකැ"යි කියමනක් තිබෙනවා. මට කුරුලු හදවත කියවා නිමකල සැණින් දැනුනේ එවැනි හැඟීමක්. ඒ නිසයි දිනසිරි කුරුලුගංගොඩ තවමත් මගේ සිතෙහි සක්මන් කරන්නේ.

කපිල එම්. ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්ගේ පළමු නවකතාව 'අසමජ්ජාති ආදරය' කෘතිය ජනගත කිරීමේ උළෙල සහ සම්භාෂණය 2014 ජනවාරි මස 28 වන දා අඟහරුවාදා පස්වරු 3.00 ට කොළඹ 7 ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. 'අසමජ්ජාති ආදරය' සූරිය ප්‍රකාශනයකි.

දෙසුම්- ලූෂන් බුලත්සිංහල, මාලින්ද සෙනවිරත්න සමග චින්තන ධර්මදාස



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"එයාට හොඳ කරන්න බැරි ලෙඩක්"

නගරෙ පුරා කතාව පැතිරිලා ගියේ එහෙම. අපි හිටියෙ ලොකු නගරෙක. තනි තනි වශයෙන් සීමිත ඉඩක පැතිරිලා. නගරෙටම හිටියෙ අපි ටික දෙනයි. හරියටම කීවොත් දහ දෙනයි. අපි වගේ සිය ගුණයකින් වැඩි ගොඩනැගිලි අපේ නගරෙ තිබුණා. ඒත් මුලින් කිව වගේ අපි හිටියෙ අපි අපිව පහසුවෙන් සම්බන්ධ කරගන්න පුළුවන් සීමිත ඉඩක. ඒ නිසා නගරෙ පුරා කතාව පැතිරෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. වැඩිම වුණොත් තත්පර දහයක් පහළොවක්.

නගරෙ අපේ කොටස අපි නම් කළේ ‘නොනිදන උදානය’ කියලා. ඇත්තම කීවොත් ඒකට හරිම හරි තේරුමක් අපි දැනන් හිටියෙ නැහැ. ඒත් කිසි හැලහොල්මනක් නැතිව නිදන හිස් නගරෙකට අපේ ආගමනය කන්කරච්චලයක් වුණා වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි දහ දෙනා තීරණේ කළා අපේ කොටසට මේ නම දෙන්න. අපි ඉන්න ගොඩනැගිල්ලේ තුන් වෙනි තට්ටුවේ කාමර දහයක් මුලින්ම අපි අපි වෙනුවෙන් වෙන් කර ගත්තා. හේතුව සුන්බුන් වලින් ටිකක් හරි නිදහස් වෙලා තිබුණෙ මේ ‍ඉහළ‍ කොටස් වීම. කොහොම වුණත් විසාල නගරෙ අසීමාන්තික පැතිරීමත් එක්ක බැලුවම අපි එක්කෙනෙක්ට මීට වඩා දේපල හිමිකමකට උරුමකම් කියන්න පුළුවන් වුණත්, කාගෙන්වත් ඒකට තහනමක් නොතිබුණත් දේපල වලින් අපි කරන්න ඕන දෙයක් දැනන් හිටියෙ නැහැ. ඇත්තටම එහෙම අයිතිය කියාපෑවට කරන්න පුළුවන් වුණේ මොකද්ද? හැමදාම වගේ බඩගිනි වෙලාවට තාමත් ඉතිරි වෙලා තිබුණු තැන් වලින් ටින් කැම ටිකක් හොයා ගෙන කන එක විතරයි.

අපේ මළගිය නගරෙ මැද ඉස්සර අහස උසට නැගුණ කොළ පාටින් අංක බබලපු සද්දන්ත ඔරලෝසුව දැන් හිස කඩාගෙන බිම වැටිල තිබුණ වුණත්, ඉතිරි වෙලා කියන කඳ කොටසේ මුදුනටම නැග්ගම අපිට බලාගන්න පුළුවනි හැම අතින්ම මීදුමකින් වගේ පටලයකින් කෙළවර වෙන අළු පාට ගොඩනැගිලි (දැන් හිස් අහිමි කරගත්ත වුණත්) අහසට උස්සගත්තු අපේ නගරය. මුලින්ම අපි ඒ දර්ශනේ දැක්ක දවසෙ ටරාස්‍යා කලබල වුණා හොඳටම.

"අපිට කවදාවත් ගැලවීමක් නැතිවෙයි" නිමක් නැති අනන්තයකට විහිදී ගිය අළු පාට, කැඩුණූ බිඳුණු ගොඩනැගිලි පුරෝගත්තු නගරෙ දැක්ක ගමන් එයා කීවේ මට කවදාවත් කරන්න බැරි තරම් ඇස් ලොකු කරගෙන. දැන් ඒ ටරාස්‍යා අපේ ‘නොනිදන උදානයේ’ එයා‍ට වෙන්වුණු ඇඳ උඩ නිදාගෙන වගේ ඉන්නව.

"ලේ ගැලිල්ලේ අඩුවක් නෑ. එයා විලාප දීලා කෑ ගහපු වෙලේ මම නම් හොඳටම බයවුණා. හරියට මැජික් පෙට්ටියට බැස්ස දා වගේම"

ටරාස්‍යාගේ කාමරේ තනි වුණ මට එහා කාමරේ මම වගේම බිරාන්ත වෙලා ඉන්න කෙනෙක්ගේ කටහඬ ඇහුණා. ඒ නීරා.

‘ටරාස්‍යා කලන්තෙ දැම්මේ ලේ දැකපු නිසා. ’ ඒ අපි නව දෙනා පොදුවේ ආපු නිගමනය. ටරාස්‍යාගෙ විලාපෙ නිසා බය වෙලා දුවන් ආපු බ්‍රින්ඩ් කීවා එයා කාමරේට ඇතුල් වෙද්දි කකුල් පුරායි ඇඳුමේ යට කොටස පුරායි ලේ පෙරාගත්තු ටරාස්‍යා ඇඳ ගාව හිටගත් ගමන් පුදුමෙන් බලන් හිටි බව බ්‍රින්ඩ් දිහා. ඒ මොහොතකින් එයා දඩස් ගාලා එහෙම්මම ඇඳට වැටුණලු. එයා එහෙම ඇඳට වැටිච්ච පාර ඇස් අරින්න සෑහෙන්න පමා වුණ නිසයි අපි එයා නැගිටිනකන් බලන් හිටියෙ.

‘එයාට හොඳ කරන්න බැරි ලෙඩක්’ ඒ අපි ආපු දෙවන නිගමනේ. පැයක් ගෙවිලත් එයා ඇස් ඇරියෙ නැති එකයි, එයාගෙ කකුල් මුලින් ගලන දේ දහරාව නොනැවතුණු නිසයි අපි ඒ දෙවෙනි නිගමනේට ආවෙ.

ටරාස්‍යා වේදනාවෙන් මූණ අමුතු කරගන්න ගමන් ටික ටික ඇස් ඇරියා. මුලින් මං එයාගෙ මූණට එබිල හිටියත් අල්ලපු කාමරේ ඉන්න අනිත් කට්ටියව එක්ක එන එක හොඳයි කියල හිතුණ නිසා ඉක්මනින් එයාලට අළුත් ආරංචිය කීවා.

"ඔයාට හොඳ වෙන්නැති ලෙඩක්ද"

අහපු, හිතපු කතා කරපු තොරතුරු එහෙට මෙහෙට පෙරලලා, හරවලා බලල, විශ්ලේෂණය කරල, ඒ ප්‍රශ්නෙ ඇහුවෙ අපි අතරින් පොඩිම නසීන්, ටරාස්‍යගෙ මූණටම එබිල එයාගෙ ඇස් දෙකයි ඊට පස්සෙ බෙල්ල හරවලා කකුල් දෙකයි බලන ගමන්. එතකොටම හයියෙන් අඬන්න ගත්තු ටරාස්‍යා හදිසියේ ආපු ශක්තියකින් වගේ අපි හැමෝවම කාමරෙන් එළෙව්වෙ පුළුවන් තරම් වීරිය දාලා අත පය විසි කරකර ඇ‍ඳේ ඉඳලම අපිට ගහන ගමන්. නසීන්ට හිතින් බැන බැන අපි කාමරෙන් පැන ගත්තත් ටරාස්‍යාට ගොඩක් ලං වෙලා මූණටම එබිල හිටපු අපි කීපදෙනෙක්ට එයාගෙන් අතපය පහරවල් ලැබුණා.

"එයාට යකෙක් වැහිලද? මං හිතන්නෙ යකෙක් වැහිලා" ප්‍රශ්නයයි පිළිතුරයි දෙකම ප්‍රකාශයට පත් කළේ අපි අතරින් වැඩිමලා නීරා.
අපි එයාට තනියෙන් ඉන්න ඇරියා. ඒ හේතු දෙකක් නිසා. එකක් එයාගෙ යක්ෂාවේශය. අනික අහේතුවට ලේ යාම.

* * *

නෝවගේ නෞකාව අපිට ඕන වුණා. ඒ අපි මේ දෙවන උප්පත්තියට එන්න කලින් දවසෙ. දෙවන උප්පත්තිය කීවට අපේ ආත්මය ශ‍රීරයෙන් පිට වුණේ නැහැ. අපි මිය ගියේ නැහැ. ඉටිපන්දම් දැල්වීමකින් තොරව අපි දෙවන උපතක් ලැබුවා. වෙනසකට තිබුණෙ මළගිය නගරය. කලබලෙන් මිනිස්සු සීසීකඩ දුවපු ගෝෂාකාරී නගරෙකින් මැජික් පෙට්ටියට බැහැපු අපි දහ දෙනා ඒ විදිහටම මැජික් පෙට්ටියෙන් එළීයට ආවෙ මළගිය නගරෙක නිස්කලංකතාවය මතට.

තදබදය අඩු වෙන්නත්, ඇසිරීම පහසු වෙන්නත් අපිට තිබුණු වාහන මුහුදින් ගොඩින් පොළවෙන් අහසින් යන්න පුළුවන් විදිහේ ඒවා. ඒත් අර මහා මුහුදු ගැල්මත් පොළවට ලං වූ සූර්යාගමනයත් නිසා අපට ආයෙමත් නෝවාගේ නෞකාව ඕන වුණා. ඇයිද කියන්න නොදන්න හේතුවක් නිසා (වාසනාව හෝ අවාසනාව නිසා) නෝවගෙ නෞකාව ගෙන්ව ගන්න අපට කාලයක් ඉඩක් ලැබුන් නැහැ.

අනාගත පෙළගැස්ම ලියවෙච්ච, දේව මන්දිරේ ඇත් දළ ආවරණයට මැදි කළ කිරිගරුඬ ආධාරකය බදාගත්තු මහ විසාල ‘පූජනිය පොතින්’ තෝරාගත් පිටුව වෙනද වගේම මුළු නගරයටම ඇහෙන්න පූජක තැන විදුලි කටකට කිවා. ඒ කියද්දිත් එයාගෙ කටහ‍ඬේ වෙව්ලිල්ල, බිය, වෙන එකක් තියා එයා කියවන වචන දිගේ ඇදිල ආපු දාඩිය දහරාවන් ගැන පවා විස්තර ඒ කටහඬින් නගරය පුරා දිවගියා. ගෝශාව නැවතුණා. පිටුව කියවන මොහොතට. ආයෙමත් මහා ලතෝනි, මොරගෑම්, කලබල හඬ, පුදුමය වගේ සේරම දේවල් මිශ්‍ර කරගත්තු කටහඬවල් වල භයානක දෝංකාරයක් නැගුණා ඒ මොහොතට පස්සෙ.

මහ විනාසයට පෙර පලා යා යුතු වුවත් පලා යා හැකි තැනක් නැතිකමින් මිනිස්සු හිතල හිතලම හෙම්බත් වුණා. ඒත් එක තැන ඉන්නවට වඩා කොහෝ හෝ හැකි තරම් දුරක් යාම හොඳ බවයි ගොඩක් අයගේ කල්පනාව වුණේ. ඒත් කුණු වෙච්ච කෑමක නලියන පණු රොත්තක් වගේ නගරෙ පුරාම මිනිස්සුත් වාහනත් හිර වෙලා තිබුණා. ඇ‍ඟේ ප්‍රමාණයටම හදපු වාහන වලට මිනිස්සුන්ගෙ අවශ්‍යතා වලට ගැලපෙන ප්‍රමාණයේ ඉඩක් දෙන්න පුළුවන්කමක් තිබුන් නැහැ මහා බරක් පටවන් යන්න. ඇරත් අහස් මාර්ගවලත්, භූගත මාර්ග වලත්, පොළව මත මාර්ග වලත්, දිය මත මාර්ග වලත් අනතුරු සංඥා නොනිවී දැල්වුණා. රළු ගෝෂාව එක දිගට එක පෙළට එකේක නාද වලින් එකේක තාල වලින් ඇහුණා. ඒ නිසා එළි වෙන තුරුත් නානාප්‍රකාර එළි ඇනෙක්ස් එකේ වීදුරුත්, වටේම තියන උස බම්බු ගොඩනැගිලි වල වීදුරුත් පරාවර්තිත ආලෝක ධාරා වලින් බබලවනව දැකින්න පුළුවන් වුණේ ඒ රැයේ නින්දත් කියල කිසි දෙයක් ඇස් අගිස්සටවත් නොආ නිසා. අන්තිමේ සද්දෙ වැඩි කමටම කන් බීරි වුණා වගේ වුණා.

මහ මුහුදු ගැල්මත් ඉර ලෝකෙට ආසන්න විමත් පොලෝ කුහරය කබොල්ල ආසන්නයට එන තෙක් ගිනියම් වීමත් ගැන පූජනීය පොතේ පලකළ අනාවැකිය වෙනස් කරන්න බැරි නිසා කාටත් තිබුණෙ තෝරාගැනීම් දෙකයි. එක්කෝ පලා යාම. නැත්නම් රැඳී සිටීම. බීරි වෙනව වගේ වෙන්න කලින් අපේ ගෙදර අය කියපු දේවලින් මට ඇහුණු අන්තිම වාක්‍ය වෙන්න ඇති ඒක. නැත්නම් ඒක මගේ හිතේම ඉපදුන හිතලුවක් වෙන්නත් ඇති.
ඒ වෙද්දි අන්තිම වශයෙන් කාටත් හිමි වෙලා තිබුණ පැය දහයක්. ඒත් මුලින්ම උඩිනුයි යටිනුයි කර වෙලා පස්සෙ මුහුදු වතුරෙන් නෑවිලා නිවෙනවද, මුලින්ම මුහුදු වතුරින් නෑවිලා පස්සෙ උඩිනුයි යටිනුයි කර වෙනවද කියල අපි කවුරුත් දැනන් හිටියෙ නැහැ. ඇත්තටම ඔය කොයි සිද්ධියෙන් කෝක ඉස්සර වෙනවද පහු වෙනවද කියන එකත් නෙවෙයි වෙලාවෙ හැටියට වැදගත් වුණේ. කොහොම වුණත් අවසානය ගැන තෝරාගැනීමක අයිතිය අහෝසි වෙලා තිබුණ බව විතරයි අපි දැනන් හිටියෙ. ඒත් අපිට අන්තිම වෙනකන් අපේ මතයට - කැමතිනම් වෙනද විදිහටම සාමාන්‍ය දවසක් ගත කරන්න - අවස්ථාව ඇති බව විදුලි හඬින් නගරය පුරා ප්‍රචාරය වුණා. ඒකයි අපි එදත් ඩේකෙයා එකට ගියේ, හවස නීත්‍යානුකූල භාරයට පත් වෙනකන්.

***

අටයි දහයේ ඉඳලා දේව මන්දිරේ විද්‍යුත් ඝණ්ඨාව නගරය පුරා පූජනීය ශෝකයේ පණිවිඩය පැතිරුවා. ඊට වඩා ඒ තමයි වෙලාව. අපි රූෆ්ටොප් එකේ පාට පාට මෙරිගෝරවුන්ඩ් එකේ ඉඳගෙන බලන් හිටියෙ ඇඟටත් හිතටත් වද දෙමින් නැගුණු මීදුමත් නොවුණු දූවිලිත් නොවුණු දුමාරය එන දිහා. ඒක හැම අතින්ම පැතිරීගෙන එද්දි හම ගිනි රස්නෙට කර වෙලා යනව වගේ දැවිල්ලක් එන්න ගත්තා. ඒ තත්පර ගණනින් කියන්න බැරි වෙලාවක් තුළ වෙන්න ඕන.

"එන්න එන්න, බබාලා ටික ඉක්මනින් මෙහෙට එන්න"

දේව නියෝජිතයා වගේ ඒ මොහොතෙම පඩිපෙළ නැගගෙන මතුවුණු ‘ඩොරේ’ (අපි එයාව හැඳින්නුවේ එහෙම) අපිට අඬගැහුවා. දෙවියන්ට අභියෝග කරන්න වගේ, දේව වාක්‍යයේ යථාර්ථය දකින්න රූෆ්ටොප් එකේ ඉඳන් නගරෙ පුරා ඇස් හරව හරව හිටි අපි සපත්තු අඩිත් ගිනියම් කරගෙන පතුල කාගෙන නැග්ග ගිනියම නිසා එයා හිටපු දිහාවට දිව්වෙ ඇඟිලි තුඩු වලින්. ඒවත් පිච්චෙන වේදනාව දරාගන්න බැරි වුණාම විලුඹින්.

දරන්න බැරි වේදනාව නිසා වගේම ඒ වෙලේ අපි ඇඬුවෙ වැඩියත්ම බය වෙලා හිටපු නිසා. මතක විදිහට ටරාස්‍යායි නසීන්වයි දොරේ අංකල් කිහිලිගන්නගෙනයි හිටියෙ. පඩිපෙල බැහැල ආවෙ අපි න’සරි ශාලාවට.

"බබාලා මේකට බහින්න. අනේ ඉක්මන් කරන්න." වඩාගෙන හිටි දෙන්නව බිමින් තියලා, ශාලා මට්ටමෙන් අඩි පහක් උස වේදිකාව මුල්ලේ විල්ලුද තිරයෙන් එහා වැහිල තිබුණ පෙට්ටියක් තල්ලු කරගෙන ඇවිත් එයා කීවා. දිලිසෙන ගල්, පාට රිබන් පටි, සුදු පාට පිහාටු අල්ලලා තිබුණු ඒක කලින් පාර කොන්සට් එකේදි න’සරි ඩ්‍රාමා එකක (ඉන්ද්‍රජාලික හා පවුල) තිබුණු මැජික් පෙට්ටිය.

ඒ වෙනකොටත් කකුල් පුච්චගෙන මතුවුණ රස්නෙට වේදිකාවෙ ලෑලි බිමේ පාට වෙනස් වෙලා තිබුණෙ. ඩොරේ අපි එකේක්කෙනාව උස්සලා පෙට්ටිය ඇතුළට දැම්මා. පොඩි පෙට්ටියක් වුණත් අපි සේරම ඒක ඇතුළෙ ඇහිරෙද්දි අන්තිමට දැක්කෙ පියන වැහෙන අඳුරත් එක්ක මැකිල ගිය ඩොරේගෙ කඳුළු පුරවගත්තු ඇස්. පෙට්ටිය වැහෙන්න ඔන්න මෙන්න තියෙද්දි ලුණු රහ වතුර බිංදු කීපයක් ඇතුළටත් විසි වුණා.

"නෝවගෙ නෞකාව ආවෙ නැත්තෙ වෙලාවට"

නීරාගේ ඒ කතාවට අපි කිහිප දෙනෙක්ටම "ඇයි" කියවුණා.

"එහෙනම් සිද්‍ද වෙනවනෙ තෝරාගැනීමක් කරන්න. දහයකින් දෙන්නෙක්."

***

දවස් සති මාස අවුරුදු වලින් කියන්න බැරි තරම් අසීමාන්තික කාලයක් අපි කට්ට කළු පාට අඳුරේ ඇඟිල්ලක් තරම්වත් ‍දෙයක් හොලවන්න බැරිව ඇහිපිය විතරක් හොල්ලමින් (පියාගතත්තත් ආයගත්තත් පෙනෙන එකම කළු පාට නිසා හෙල්ලුවාද කියාවත් නොදැන) හිටියා නොනවතින පැද්දිල්ලක. ගැස්සිල්ලක. කැරකිල්ලක. කල්පාන්තයකට පස්සෙ පැද්දිල්ල නැවතුණා. තවත් ඒ වගේම කාලයක් ගතවුණා කතා කරන්න හයියක් ගන්න බැරිව.

"අපි එළියට යං"

කවදත් ඉස්සර වුණ නීරා, අපි අතරින් වැඩිමලා මුල් වචන ටික කියන්න හයිය ගත්තා. ඒ වගේම එයාම ඉස්සර වෙලා මැජික් පෙට්ටියේ පියන අරිද්දි, දෙවන උපතට එනකොට එයා කලින් උපතෙන් ඉතිරි කරගෙන ආපු ආධිපත්‍යයේ හයිය ගේන්න ඇති කියල ඒ වෙලේ මං උපකල්පනය කළා.

"රෑන් රෑන් තරු අතරින් තීරු තීරු එළි අතරින් මැජික් පතුරින් සිහින ලෝකෙට හා පැටවු පවුලක්"

ඉන්ද්‍රජාලික හා පවුල නාට්‍යයේ කථාව ප්‍රතිරංගනයක යොදවමින් අපි පෙට්ටියෙන් එළියට ආවා. කට්ට කළු අන්ධකාරෙ කිතුකීතුවට ඉරාගෙන ඇරුණූ මැජික් පියනෙන් ඇතුළට රිංගපු සුදුම සුදු එළි නිසා අපේ ඇස් අන්ධ වුණා වගේ, නෑ අන්ධ බවින් මිදුණ වගේ කියන්න බැරි දෙයක් වුණේ ඒ වෙලේ.

අපි හිටියෙ ඉස්සර කොළ පාට අංක වලින් ඇසිපිය ගගහ නගරෙ මැද්දෙ විසාලෙට අහසට නැගුණු ඔරලෝසුවේ කැඩිල වෙන්වෙලා ගිය හිසට පහළ කඳ උඩ බව අපට ටික වෙලාවකට පස්සෙ තේරුම් කරල දුන්නෙත් නීරාමද කොහෙද.

ඉන්ද්‍රජාලිකයාගේ මැජික් පෙට්ටිය මුලින් තිබුණු වෛවාරණ පාට මකාගෙන වේලිච්ච දියසෙවෙල් වල කළු පාට ඇඳුමකින් සැරසිලා බිඳිච්ච බිත්තියක් මුල්ලෙ රැඳිල තිබු‍ණා.

ඒ අපේ දෙවන උපතෙදි සුන්බුන් විසිරිච්ච, හුළඟින් පල් ගඳ ගහගෙන ගිය, වේළුණු මඩ පැල්ලම් වලින් තීන්ත ගැලවුණු ගරාවැටුණූ බිත්ති තවමත් බදාගත් මියගිය නගරයකයි අපි පහළ වුණේ. අපේ ‘නොනිදන උදානය’ එහි මහා ව්‍යසනයෙන් පසුවත් තරමක් යහතින් ඉතිරිවුණ ගොඩනැගිල්ලක තෙවන මහලෙ ඉදි වුණා.

ඇහිඳගත් කෑම අපට අමුත්තක් වුණේ නැහැ. ඇත්තටම අමුත්තක් වුණානම් වෙන්න තිබුණෙ ලස්සනට මෝස්තර දාලා කෑම මේසෙක පිළිවෙලට අසුරපු රාත්‍රී ආහාර වේලක්. ඒත් දෙවියන්ගෙ කුණු කන්දල් පිරුණු පකිස් පෙට්ටියකට දාලා හොලවලා හොලවලා අතහැරපු නගරෙක ප්‍රතිසන්ධි ලබපු අපිට එහෙම හීනයක්වත් අඩුතරමින් පෙනුන් නැහැ. දවස පුරා අපිට කරන්න තිබුණෙ එක දෙයයි. කෑම හොයන එක. අපි තරමටම සිය ගණන් ගුණයක් වුණ ගොඩනැගිලි අතර ඩීප් ෆීසර් වල සුරක්ෂිත වුණ සමහර කැම වර්ග, ටින් කෑම එකතු කරගත්ත අපි (කුණු ගඳ නොගහන) මස් වුණත් අමුවෙන් කද්දි අධික කුස ගින්දරෙන් ගිනි ගන්න බඩට වැටෙන සීතල වතුර ධාරාවක් වගේ ඒ කෑම හිතන්න ගත්තා. නසීන්ගෙත් ටාරාගේත් ඇඬිල්ල අපේ අනුබලයක් නැතිවම නැවතුණා. නිරාබ් පුරුදු වුණා ටිකෙන් ටික අපි හොයල බලල කරල දෙනකන් නොයිඳ එයාම එයාගෙ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න. විශේෂයෙන්ම කෑම වේලක් හොයාගන්න එක, වැසිකිළි යාම වගේ අපේ මූලිකම අවශ්‍යතා.

"මං පස්සෙන් හැමෝම අත් අල්ලන් දෙන්න දෙන්න එන්න"

අපේ පළමු ආහාර ගවේශනය ඇරඹූ‍ණේ ඒ විදිහට නීරාගේ විධානයෙන්. යුගල පහේ කණ්ඩායමක් විදිහට. ආයෙමත් වතාවක් පූර්ව ජන්මයෙන් එයා ගෙනාපු එයාගෙ ආධිපත්‍යයේ ගුරුළු අත්තටු යුගල එයා අපි වසාගෙන පැතිරුවා වගේ මට දැනුණා.

කාලෙකට පස්සෙ අපි දහ දෙනාම එක් වෙලා විශේෂයෙන්ම ටරාස්‍යාගේ මගපෙන්වීමෙන්, අපිම හදාගත් අකුරු වලින් ලියපු ‘අනාවරණයන්ගේ හස්තය’ පොතේ ටරාස්‍යාම මෙහෙම සටහනක් කළා.

"ඒ වූ කලි අප දස දෙනා ඉන්ද්‍රජාලික පෙට්ටියෙහි ඔබා සුන් බුන් විසුළ මියගිය නගරයක් මත ඇද දැමුවා වූද වියළී කරවි ඉරිතලා ගිය මඩ වගුරක පොළෝ පසේ සුවඳ ගත තවරා නව ජීවයක් පිනිස දෙවන අත්පත්තියක් ලැබුවා වූද ආශිර්වාද නගරයයි. කෝපයෙන්ද, ශෝකයෙන්ද, විශ්මයෙන්ද, අතිරණයෙන්ද, හුදෙකලාවෙන්ද, කුසගින්නෙන්ද, හිරවීමෙන්ද හිරි වැටී මළ ගිය අපි මළ නගරයකදී පළමු ජීවයේ සුසුම් ලබා නව ජන්මයක් ලද්දෙමු."

***
ටරාස්‍යාගෙ ඇඬිල්ලත් කලබලයත් නතර වුණා කියල හැඟුනම මුලින්ම අපි කාමරේට පිට ඉඳන් එයාට කතා කළේ. ටරාස්‍යා ගිලගත් යක්ෂයා පලා යන්න ඇති කියල අපි තුන් වෙනි නිගමනේට ආවේ ඉකි බිඳුම් අතරින් "අනේ එන්න"යි එයා අපිට කැඳවූ නිසා.

ඇ‍ඳේ පදාසයක්ම ලේ විලක් කරගෙන එයා ඒ වෙද්දිත් අඬමින් ඉන්නව දොරෙන් එබුණු අපි දැක්කා.

එදා ඒ සිද්ධියේ මතක තිබිය යුතු තැන් ඒ විදිහට මතකයේ තියලා දින කිහිපයක් යද්දි එයාගේ ලේ ගලනය නැවතිලා ගියා. ඉතිං එයා මරණයෙන් ගැලවුණා කියල අපි ලැබුවෙ ලොකු සැනසිල්ලක්. (හිතන්න පුළුවනි නේද? ආශිර්වාදලත් ඉන්ද්‍රජාලික හා පැටවු දසදෙනාගෙන් කෙනෙක් එක පාරම අහේතුවකින් මැරෙද්දි අපි ඒක දරාගන්නෙ කොහොමද? අපි උපන්නෙ එකට.) ඇත්තටම තුවාලයක් ඉතිරි නොකර නැවතුණු ඒ අරුම පුදුම තුවාලය ගැන අපි කාටවත් හරි හේතුවක් කියන්න බැරි වුණා. ඒත් අපි ටරාස්‍යා ගැන කාටත් කෙලින් නොකියූ බයක් සිතේ ඇති කර ගත්ත කීවොත් ඒ තමයි ඇත්තම කතාව. එයා ඉන්න තැන අපි කටහඬ ගොඩක් දුරට සද්දෙ අඩු කරලයි කතා කළේ. අපේ සුපුරුදු කෑම ගවේශනය ගැන, යන දිසා ගැන මුලින්ම ඇහුවෙත් එයාගෙන්. වෙන එකක් තියා අපිට කෙලින්ම නොකිවත් කලින් මුල් තැන ගත් නීරා පවා හැම දේකදිම ටරාස්‍යාගෙන් උපදෙස් ගන්න පෙළඹුණා.

ඒත් අපිව ආයෙමත් බය ගන්වමින් සති කිහිපයකට පස්සෙ ටරාස්‍යා දෙකට නැමිල බඩ අල්ලන් වේදනාවෙන් කෑ ගැහුවා. ඒ වෙද්දිත් පරණ ලෙඩේ එයාව රතු පාටින් නාවලයි තිබුණෙ. කලින් වගේ අපිව පන්නා දැම්ල්ලක් නුනත් අපි ටරාස්‍යාගේ ආවතේවකම් වලට එයාගෙ කාමරේටම ආවා. කලන්තය හැදී වැටෙමින්, දාඩිය දමමින්, දණිස් නිකට තෙක් ගාවගෙන ඇ‍ඳේ ගුලිවෙමින් තමන් එක්කම මහා අරගලයක් කළ එයා ආයෙමත් අපිව පුදුම කරවමින් හොඳටම සනීප වුණා.

තුවාලයක ලකුණක්වත් නොතියා හොඳ වෙන ටරාස්‍යා දිහා බලාගෙන දවස් තුනක්ම එක දිගට කල්පනා කරකර හිටපු නිරාබ් කීවේ "මේක නම් දේව හාස්කමක්" කියලයි. අපි අට දෙනාම හිස වනල ඒ මතය පිළිගන්න තත්වෙට ඒ වෙද්දි පත් වෙලා හිටියා.

ඒත් අපි නොදන්න රහසක් ටරාස්‍යා රකින බව අපි දැනගත්තෙ ආයෙමත් වතාවක් ටරාස්‍යා අර විදිහටම අසනීප වුණාමයි. ඒ අපි කෑම හොයාගෙන නිමක් නැති දුරකට විහිදුණු නගරේ කෙළවරක් පේනකන් යන්න පටන්ගත් කාලයේ දවසක. මහා මුහුදු ගැල්මෙන් විනාස වෙලා වතුර විදුලිය කිසි දෙයක් නැතිව මිය ගිය නගරෙන් මෑත් වෙලා කොළ පාට ගස් පෙනෙන මානයකට අපි ආවෙ මේ දවස් වල. ටරාස්‍යා ගාව වැහිල තිබුණු අපෙන් වෙනස් වුණ ඒ රහස අපි දැක්කෙ එදා අපිට මුලින්ම හමුවුණ දිය පාරෙන් අපි නාන්න ලෑස්ති වෙලා අපි අපිට නිරුවත් වුණ වෙලාවෙ.
හරියටම කියන්න පුළුවනි දෙවියන් විසින් මවා ලූ ආශිර්වාද‍යේ ප්‍රතිමූර්තිය එයා කියල අපි සේරම අවිවාදයෙන් පිළිගත්තෙ. එයා දෙවියන්‍ගේ අවතාරයක්ද පණිවිඩකාර‍යෙක්ද ‍වෙනයම් අතරමැදියෙක්ද කියල අපිට හිතාගන්න බැරිවුණා. අ‍පේත් එයා‍ගේත් ‍වෙනස ඒ ‍වෙලා‍වෙ එයාත් හොඳින් දැක්ක බව ‍පෙනුණ. එයා‍ගේ ඇඳුම් ඇතු‍‍ළෙ හැංගිලා තිබුණු රහස අපි දැනගත්තා ව‍ගේම, අ‍පේ ඇස් වල බයත් ඒ වගේම අපිට එයා‍ගෙන් හංගන්න පුළුවන් වු‍ණේ නැහැ.

***

නෝවගෙ නෞකාව නැති තැන අතට අහුවුණ අපි රොත්තම දොරේ අංකල් මැජික් පෙට්ටියට ඔබද්දි ලොකු තෝරාගැන්මක් වෙලා තිබුණා. ඒක අපිට තේරෙද්දි අපි වැලි පොළවක් දක්වා ඇවිත් තිබුණා. ඒ වගේම අපිත් නොදැනම ඉක්මනිනුත් නොවන හිමිනුත් නොවන ගමනකින් ටරාස්‍යාගේ ඇ‍ඟේ අපිට නැති නෙරීම් ඉලිප්පීම් එබීවීම් මතු වෙලා අපූරු හැඩයක් සැකසිලා තිබුණා. ඇත්තටම ඒ වෙනස එයාත් අපිත් එකට ඉද්දි දැණුනා මිසක ‍කාලය ගෙවුණු වේගයට අපිට ඉඟියකින්වත් දැණුනු දෙයක් ‍නෙවෙයි.

මුලින් මුලින් නගරය තුළ අපට අවශ්‍ය තරම් කෑම ‍කොහෙන් හෝ හමු වුණත් කොළ පාට රිකිලි මඩ සුවඳ පස්වලින් හිස උස්සන නිම්නයට ඉන්ද්‍රජාලික ‍පෙට්ටි‍යෙන් උපන් හා පැටවුන් තල්ලු කළ මැජික් එකක් තිබු‍ණෙ නැහැ. ඇත්තටම ඒක ඒ ‍විදිහට ‍වෙන්න ලියවිලා තිබුණු ‍දෙයක්. කෑම හිඟකමින් බඩ පොත්ත පිටට ඇලිල තිබුණු දවසක ටරාස්‍යා අපි නව ‍දෙනා වටකර ගත්තා.

"අපි කෑම හොයාගෙන යන්න ඕන. පාට දියවෙච්ච බිත්ති වට කරගත්තු සුන්බුන් වල අපිට හාමත් ‍වෙන්න බැහැ. අළු පාට මළ නග‍රේ නිමාවක් ‍කොහේ හරි ඇති."

අපටත් දැ‍නෙන ‍ලෙස අපිව වට කරගත්ත ටරාස්‍යාගේ නො‍පෙනෙන බලය එයා‍‍ගෙ කතාවට අපිව අනුගත ‍කෙ‍රෙව්ව ව‍ගේම බඩගින්නේ ‍වේදනාව ඒ වෙද්දි තදින්ම අපිට දැ‍නෙමින් තිබුණා. නිම්නයට අපි ආ‍‍වෙ ඒ විදිහට.

කලින් කිවා ව‍ගේම පොළ‍වේ සාර‍යෙන් ‍කොළ පාට දළු මතු ‍වෙලා තිබුණා. නිම්න‍යේ තෙත කිඳා බැහැපු පොළව ක්‍රීම් එකක් ව‍ගේ සුමුදුවට අ‍පේ ‍දෙපතුල් බදා ගත්තා. ටරාස්‍යා බිමට නැමිලා තද දුඹුරු පාටින් බබලපු ඒ සිනිදු මඩ ඇඟිලි දෙකකින් අරන් මුලින්ම එයා‍‍ගේ නිරුවත් කළ බාහු වලත් කලවා වලත් ගාගත්තා. මඩ සහිත ගං තීරය දි‍ගේ ගඟ ‍දිහාවට ගිය එයා ගඟට නැමිල බලන් හිටියා. අපි ටරාස්‍යා කරන හැම ‍දේම බලන් හිටි‍යොනිම්නයේ කෙළවරකට වෙලා. ඒ වෙද්දිත් අපි යම් තරමක් දුරට එයා‍ගෙ බලයට යටත් වෙලා තිබුණ බව මං කලිනුත් කීවනෙ. ටරාස්‍යා ‍ගොඩක් ‍වෙලා වතුරට නැවිලා වතුරින් ‍පෙණුන එයා‍ගේ මූන දිහා බලන් හිටියා.

"අන්තිම දව‍සේ මං කණ්නාඩි‍යෙන් මූණ බැලුවට පස්‍‍‍සේ..... මෙච්චරටම වෙනස් ‍වෙලා..... මට හිතාගන්නත් බෑ"

කියන්න හිතන් හිටපු දේවල් ‍ගොඩක් කෑලි කෑලි විදිහට අසම්පූර්ණ එක වාක්‍යයකට දාලා එයා කී‍වේ නිම්නය ‍දෝංකාර නංවමින්. අපි ආ‍යෙමත් එයා‍ගෙ හඬට බය වුණා. ඒ මුල් දව‍සේ විලාප තියලා යක්ෂයා ආ‍වේස වුණා වගේ අපිව පන්නපු දව‍සෙ ඇතිවුණ බය ව‍ගේ බයක්.

"බෑ.... බෑ.... බෑ.... බෑ...." එයාගේ අන්තිම උච්චාර‍ණේ නිම්නය පුරා දෝංකාර දුන්‍‍නේ එච්චරකල් පැතිරිලා තිබුණ නිහඬ නිස්කලංකත්වය කෑලි කරගෙන. එයා එයා‍ගේ රූ‍පෙන් ඇත්තටම පුදුම වෙන්න ඇති. මොකද, ඊට ටික වෙලාවකට පස්‍‍සේ අපිත් ගං දියේ රැළි එක්ක ‍පෙනුණු අ‍පේ මූණුවලින් බය වුණු නිසා ඇත්තටම ටරාස්‍යාත් බය ‍වෙන්න ඇති එයාටම. ‍හේතුව, මහ විනාසයෙන් පස්‍‍සේ අපේ දෙවන උත්පත්ති‍යේදී නග‍‍රේ කණ්නාඩි කියල ‍දෙයක් ඉතිරි වෙලා තිබු‍‍‍‍ණේ නැහැ වීදුරු කුඩු ඇ‍රෙන්න.

ටරාස්‍යා අපි හිටපු දිහාට ආ‍වේ එයා‍ගෙ ඇඟ පුරාම ලස්සන රටාවකට අර ක්‍රීම් ව‍ගේ මඩ වලින් අපූරුවට හැඩ වෙලා. එයා පොලෝ පසින් උපන් අපූරු දෙවඟනක් ව‍ගේ මඩ සුවඳ විහි‍දෙව්වා. ඉවුර ‍කෙළව‍රේ සිනිදු මඩ අතරින් හිස් උස්සන ‍කොළ පාට දළු දිහා බලන් හිටපු ටරාස්‍යා, "අර බලන්න, අර පැල වලට අපූරු කෑමක් මේ සිනිඳු මඩ" කියලා ‍තෙත්වට ඒ වෙද්දිත් දිලිසෙමින් එයා‍ගේ ඇඟිලි අතර තිබුණු සිනිදු මඩ දිවට ගත්තා.

"රසද"

"හ්ම්... සෑ‍හෙන්න"

සන්කීද්, නසීන්, නීරා, බ්‍රින්ඩ්, නිරාබ්, ටාරා, උරාද්, අස්නිම්, මම- කනීෂ් අපි හැ‍මෝම ටරාස්‍යාගේ රස බැලුවා. එයා‍‍ගෙ සිරුරින් අපිට දුන්නේ කවදාවත් අපි විඳ නැති අරුම පුදුම රසක්.

ඝන ගල්තට්ටු වලින් වැහිල තිබුණ මළ දූවිලි පිරිච්ච නගර‍ය අත්හැරලා ජීවි ප‍සේ රස උරා ගන්න නිම්නයට එන්න පෙරගමන් ගත් ටරාස්‍යාට අපි ගොඩක් ස්තූති කළා. ඒ ‍වෙද්දි ටරාස්‍යා වන්දනීය තත්වයට උසස් වෙලා ඉන්න බව නීරා අපි හැමෝම ඉන්න තැනයි කී‍වේ.

"ටරාස්‍යා, අපි ‍හැමෝම ඔයාගෙන් ඉල්ලා හිටිනවා අ‍පේ ගෞරවය පිළිගන්න කියලා. ‍පො‍ළෝ තල‍යෙන් උපන් ජීව‍යේ සියළු නුවණ අපේ මග පෙන්වන්නිය වුණ ඔයාට ති‍යෙනවා"

අපිට කෑම ගැන කරදර වෙන්න වුණේ නැහැ. ‍පො‍ළෝ පස අපිට රසවත් ආහාරයක් වුණා ව‍ගේම නිම්න‍යේ නිමාවක් නැතිව පස් ලියලා වැඩුණා. නිම්නය ලඟින්ම පැතිරිලා තිබුණු ගල්තලාවේ අපි කාලය ‍ගෙවා දැම්මා. ඉර නැ‍ගෙන්න කලින් රසින් වැඩි සිනිඳු මැටි කෑමට එකතු කරගත්තා. කහ රතු පාට ගල් වලින් ටරාස්‍යා ගල්පියස්සේ චිත්‍ර ඇන්දා. ඒ ව‍ගේම මඩ පස පීර‍ගෙන මතු වෙන අළුත් දළු එකතු කරගන්න ටරාස්‍යා ඒ දළු වලින් අ‍පේ කැමට එ‍කේක රස ජාති එක් කළා. ඒත් කවදාවත් ටරාස්‍යා පුරා කාලෙකට පැතිරිලා යන අර ‍අද්භූත ‍ලෙඩේ නැති වු‍ණේ නැහැ. ඒක හඳ නැ‍ගෙන බහින කාලය හරියටම ගණන් තියා ගත්තා ව‍ගේ එක රටාවකට දරුණු වේදනාවක් ටරාස්‍යාට දෙමින් ඇති වෙලා ටිකින් ටික නැති ‍වෙලා ගියා. නීරා අපිව මෙහෙ‍යෙව්වා ටරාස්‍යා ‍වෙනු‍වෙන් අපට කළ හැකි හැම ‍දේම කරන්න.

***

"ටරාස්‍යා ‍ගොඩක් අමුතු ‍වෙලා. වෙනස් වෙලා"

"ඔවු, බලන්න එයා‍‍ගෙ ඇඟ. හරි අමුතු විදිහට ‍වෙනස් ‍වෙලා ති‍යෙන්නෙ."


අපි හිතු‍වේ ටරාස්‍යා ලුහුබඳින ඒ ‍නොදන්නා යක්ෂයා නිසා එයා විකෘති ‍වෙලා කියල. ඒත් අපි කාටවත් ඒක එයාට එළිපිට කියන්න තරම් හයියක් තිබු‍ණෙ නැහැ. අඩු තරමින් නීරාටවත්.

දවසක් මහා පාන්දර මරහඬ තලන හඬින් අ‍පේ නින්ද දුර ඈතකට පැනල ගියා. ආය ඇදලවත් ගන්න බැරි තරම්. ඒ හඬත් එක්ක ආපු කම්පන‍යෙන් පස්සෙයි කල්පනා වු‍ණේ ඒ ටරාස්‍යා බව. එයා අපි ගාවම, ගල් පියස්‍‍සේ මුල්ලට ‍වෙන්නයි නිදාගන්‍‍නේ. ඒත් අපි ඒ කළුවරේ එයාව හෙව්‍‍වේ ‍මොරගෑම ඇහුණු පැත්තට හඬ දි‍ගේ යමින්. ගල් තලාව අයි‍නේ එයා වැටිලා හරි අමාරු‍වෙන් කෑ ගගහ හිටි‍යේ බඩත් අල්ල‍ගෙන. අහපු කිසි දේකට උත්තර නුදුන් එයා ක‍ළේ ‍කෙඳිරි ගෑමත්, කෑ ගෑමත් කරනවට අමතරව දෑතින්ම ‍කෙස්ගස් උගුල්ලා ගත් එක. ඒ ‍වෙද්දි එයා හැමදාමත් ඉනට ඇන්ද පරඬැල් පටිය ‍ලෙහිල ගිහින් ගල් තලාව තෙත් දියරයකින් නෑවිල තියනව හඳ එළියට පෙනුණා. අපි හැමෝගෙම හිත් ගිලගත්‍‍තේ එයා වටා පැතිරිලා බලය පතුරුවන් ඉන්න යක්ෂ අවතාරය ටරාස්‍යාගේ ‍දේවත්වය උදුරා ගනිවිද කියන බය. පැය වලින් නම් කියන්න බැරි තරම් ‍වෙලාවක් දිග්ගැස්සුණු ටරාස්‍යාගේ ශරීරයේ ‍වේදනාත්මක අරගලය අ‍පේ හි‍තේ අතීරණාත්මක අරගලයක් ඇති කරලයි තිබු‍ණෙ. ඒත් එක්කම අහන් ඉන්න බැරි තරම් වේදනාවෙන් විලාප තිබ්බ ටරාස්‍යාගේ දණිස්සෙන් උඩට නවා ගත් කකුල් ‍දෙක අතරින් ‍මොකක්‍‍දෝ එළියට ආ බව හඳ එළිය ‍පෙන්නුවා.

"බබෙක්" නසීන් එකවරම කියද්දී නීරා බබාවත් ටරාස්‍යාවත් ‍වෙන් කළ බැම්ම ගල් පතුරින් කපා දැම්මා.

දෙවියන්‍‍ගේ සකලවිධ ආශිර්වාද ලත් ටරාස්‍යා, ඉන්ද්‍රජාලික ‍පෙට්ටිය තුළ අපට අත් හැරී ගිය යමක් ආයෙමත් අනීතයෙන් වර්ථමානටය ගෙනා බව නීරා කියද්දී යක්ෂ බන්ධන‍යෙන් දේවත්වය ජය ගත් ටරාස්‍යා ‍වෙනුවෙන් අපි යාදිනි කළා.

අවුරුදු ගණන් ගෙවී යද්දී නිම්නය පුරා පැලෑටි පරද්ද ගෙන මහ විසාලෙට පැතිරුණ එකේක ජාති‍යේ ගස් වර්ග වලට ටරාස්‍යා කීවේ ‘පොළෝ දෙවඟන‍ගේ දරුවන්’ කියලා. එයා ඒ දරුවන් සීරුවට ‍‍නෙළා‍ ගෙන ඇවිත් අවුරුදු පුරා එයා‍ අස්වැද්දුව පලදාව, ඒ කියන්‍නේ ටි‍කෙන් ටික ලොකු වුණ එයාගේ දරුවන්ට කන්න දුන්නා. ඇත්තටම මේ ‍වෙද්දි අර සිනිඳු මඩ පස ඒව‍ගෙ තිබුණ රස නැති කර ගෙනයි තිබු‍ණෙ. ටරාස්‍යා කී‍වේ පස ඒ රස මේ ගහ ‍කොළ තුළ සඟවා ඇති බව. ටරාස්‍යාගේ ද‍රුවෝ ටිකින් ටික ‍ලොකු වෙද්දි, සමහර විට අපේ පළමු උප්පත්ති‍යෙන් අපි මියගිය වයස තෙක් ‍ලොකු වෙද්දි ටරාස්‍යා කී කතාව ඇත්ත බව සැකයක් නැතිවම අපි වටහගත්තා.

***
‍පොළෝ තලය සාරවත් කරන්න ‍පොළෝ ‍දෙවඟන දරු ගස්වැල් හැම වස්සා‍නෙකම නිමාවක් නැතිව බිහි කළා ව‍ගේ අවුරුදු පතා ටරාස්‍යා දරුවො ‍ගොඩක් බිහි කළා. ඉන්ද්‍රජාලික හා පවුල අවුරුදු පතා ලොකු මහත් කරන්න ආශිර්වාද ලැබුවේ ටරාස්‍යා. ඒ නිසා අ‍පේ පවුල ඉන්ද්‍රජාලික බලයෙන් මහ විසා‍ලෙට වැඩිලා නිම්නය පුරා පැතිරුණා.

මං ගලක් ගලකින් කඩ කඩා හැදුවා. පුළුවන් තරම් උත්සහ කළා ඒ ගල තුළින් ටරාස්‍යාව මතු කරන්න. එයා‍ගේ කි‍රෙන් පිරී ඉස්සුන පපුවත් දරුවො ගණනාවක් බිහි කළ රවුම් උකුලත් ලොකුවට මතු ‍වෙන්න. අවසන්ම දරුවාත් ඉන්ද්‍රජාලික හා පවුලට එක් කරල කිසි හැල හොල්මනක් නැතිව හැමදාටම ඇස් පියාගත්ත ටරාස්‍යා ‍වෙනුවෙන් ‍මේ රූපය. හැමදාටම වන්දනීය සංකේතයක් විදිහට ටරාස්‍යා තියාගන්න මං ටරාස්‍යා ‍දෙවඟන ගලකින් මතු කළා.

[ඡායාරූපය : ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයෙන් සොයා ගත් ගුප්ත යුගයට අයත් (ක්‍රි.ව. 575-625) මව් දෙවඟනගේ පිළිරුවක් ]

තිළිණි ෂැල්වින්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පින්තූරය වටේ සුදු මල් පිපුණ නිසා
අප්පච්චි එයි ද කියලා අහනු එපා
වැලි කතරෙ තවම මගෙ හිත දැවෙන නිසා
අත්තම්මා ළඟින් පය හොලවන්න එපා

අතකට වෙරලු ගෙන අම්මා නොඑන නිසා
නැළවිලි ගීත අහලා නැළවෙන්න එපා
අගහිඟකම්වලට මැවිලා දෑත් දෙපා
බැදෙනා නම්වලට නුඹ පරවෙන්න එපා

කහවණු හොයන්නේ නුඹෙ පොත් ගන්න නිසා
දේදුනු අරුංගල් ළඟ නවතින්න එපා
අපෙ මුළු දිවිය ගමනක් නොව බරක් නිසා
හිත යට තියන් මිස දුර ඇවිදින්න එපා

තවමත් නොපිපුණත් දුව නුඹ මලක් නිසා
බිල්ලන් රංචු ගැන බය නොහිතන්න එපා
හැබහින් දිනක මං නුඹ ළඟ රැදෙන තුරා
ඉසදිය නැකත නුඹ වෙත ළං වෙන්න එපා

[ලස්සන ම අක්කා | 2013 ]

සිතුවම : Lenoir Charles Amable

සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|









"ටෝක්ස් ඇන්ඩ් ජෝක්ස්" [මාසික කෙටි චිත්‍රකතා සඟරාව]- 2013 නොවැම්බර් කලාපයෙන්.

ඇන්ටන් බී. පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails