Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ලිස් මිචල්: ඇත්ත හඬ සහ ස්වර්ණමය සිහිනය
ස්වර්ණමය හැත්තෑව.
අපේ පෙර ආත්මය.
ඒ නිසා දෝ කොහෙ ද අපට තව ස්වර්ණමය.

යුරෝපා ආලය
අප‍්‍රිකා තාලය
ආසියා ඇස කනට වඩයි රසලෝලය.

බාබිලොන් නදී තෙර සායියොන් යාදිනිය
ගමේ පන්සලෙත් ඇසුණ යි කියති:

”..මොකද්ද අර ගෝසාව?

..ආ, ඒ පොඩි උන්නාන්සෙ බොනියම් පීස් එක දාගෙන නටනව”
[පිච්ච මල, ජයසේන ජයකොඩි]

බොනී එම් කෙවිලිය
ලිස් මිචල් දැන් ටිකක් වයස ය.

අසමි, ඇගෙ සැබෑ හඬ.

---Being a girl from London, I was so naïve.
It was church, church& church again.--

"... කරළියට එන්නට පළමු
නිකම් කෙල්ලකි මම.
හැදිච්ච ක‍්‍රිස්තියානි කෙල්ලකි,
සතියට කීප දවසක් පල්ලි යන.

ලදිමි ජීවිතය ඉක්බිති, කරළියේ."

--- At that period of my life, I was away from the church.
But I was still living the church: the purity of life.
Even though I was dancing and being kinky...---

"...නොගිය මුත් පල්ලියට මා එ කල
රඟා පොබ කළ නමුදු නුරා ඇස්
ශුද්ධාත්මය කෙරෙන් හදින් වෙන් නො වුණෙමි."

නුරා ඇස් - ඔවු.

--- I remember that morning very well.
When they showed us the costumes, it was just heavy gold chains.
They wanted to photograph us all totally naked in chains,
Bobby standing over us like it was bondage.
Trust me - I wept. ---

"... මතකයි අද වගේ, ඒ උදෑසන.
මියුනික් චිත‍්‍රාගාරය.
රන් පැහැති දම්වැලක් පමණයි
ඇඟ වසාගන්නට ලැබුණේ.
සත්තයි,
හඬ හඬා වැළපුණෙමි මම එ විට..."

LOVE FOR SALE.
තිබේ ආලය විකිණීමට.
මතකයි අද වගේ, ඇල්බම් කවරය.
රන් යදම් රැහැනින් වෙළුව කදිම කළු කෙල්ලන්
වැතිරගෙන පොළොවෙහි.
ඇසිණ උන් නගන සීන් කෙඳිරිය පින්තූරයේ වුව.
ඍජු කයින් අඩ සෙළු ව නැගි එක ම පිරිමියා
ඇතැම් කල්පනාවක මම ම විමි.
නොහඬත් එහෙත් කිසිවෙක් කල්පනාවෙහි,
විඳිනු මිස අමුතු ආලයේ අම රස.
තිබේ ආලය - විකිණීමට.

කවර යදමක් ද එය, වැටහෙයි යන්තමට දැන්
රන්වන් යදමකි, ඔබ කියූ සේ.
විලංගුවකි, ගන රනින් කළ.

මන්ද්‍ර ස්වරයෙන් ඇරඹ උච්ච ස්වරයෙන් නිම වන
රිදුම් කන ඇදුම් කන තරමට මිහිර දෙන
මරිජුවානා බඳු ය
වධක ආලය බඳු ය
කරළිය.
ජීවිතය.

”කරළියකි ජීවිතය, රඟමු අපි හැම එහි.”
රසිකයන් සේ රඟන අප මේ කරළියෙහි
නො සැලෙම් ද ඔබ කියන බස් අසා:

--- Not many people know that,
Bob & Mazie were never ever in the recording studio.
It’s very sad when they mime to my voice.---

"...බොබ් හෝ මේසි
නො ගැයූහ කිසි දා ඔබට..."

මේසි - ඈ නයනකළු රුවැත්තිය
ගයන විට සුලලිත ය ඇගෙ විසල් තොල් යුග.
කියයි ඔබ - එහෙත් ඈ ගයනු තොප නැත අසා!

රැල් බුරුල් සෙම් කඩා උගුරින් නැගි පිරිමි හඬ
අර කදිම නැට්ටුවාගේ නො වේ නම් කාගේ ද.
තුන් ළඳුන් පිරිවරා රඟන විට
ඇත්තට ම රස්පුටින් ඔහු කියා මට සිතිණ.

මිය ගියෙත් රුසියාවෙ - හරියට ම රස්පුටින් මළ දිනේ.

--------

කරළියකි ජීවිතය
තව කරළියකි එහි අප පොබ කළ
එහි ද තව කරළියකි, ඔබ කියන හැටියට.

නළුවන් ද මේ හැම.
නළුවක් ද මේ ලොව.

සිහිනයේ
එක්තරා දෙව් ලොවකි තවම මිය නො ඇදුණ
ගී ගයන රඟන කළු සුරඟනාවන් වෙසෙන.
විටෙක ඔවුනොවුන් හා දඟ කරන
මනුලොවට සෙත් පතා ගී කියන
ආලයෙන් දවසරින
දෙව්ලොවකි,
ආසියාතික සිතක ලොල් වඩන.
මිචල්, ඔබ කුමක් කීවත් අද
නො පිබිදෙයි ම හද ඒ ස්වර්ණමය සිහිනයෙන්
දකිනු වස් ඔය එළිය...



අනුරාධ මහසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



(අසනීපයෙන් පසුවන බෝගන බෝකන්ද සහෘද කවියා වෙනුවෙනි.)

ඇට්ටේරියා සෙවන යට සිහිළ විඳ විඳ
සුමිතුරු සිත් පතර සැරි සැරූ හිත හොඳ
ගෙන එක මිටට කවි මල් ඇන්ද පන්හිඳ
කෝ! අද සුරත එය කාටවත් දුන්නද?

අංකුරයකට දළු ලා මල් පූදින්ට
ලා පස් පොහොර තම අත හිත දී උනට
එක් කොට ගෙන කවි කිවිඳිියන් තම අතට
නුඹ සැනැහුනේ කිසිවක් නූන ගානට

වියපත් කමට ඉඩ දී ලොවක පිරිපත
ගත සවි අහිමි හිත නුඹෙ සවියි හිතවත
කලයුතු බොහෝ දේ විවේකෙට නතු වෙත
මිනිසත් කම අද රෝහලක ඇඳ මත

සුව දුුක් විමසන්න නුඹ වෙතට ආ විට
නුඹෙ පැන් උගුර මට දුන්නෙ බොන්න තිබහට
ඔය ගති පුරුදු ගැන හිත් පුරුදු ඇති මට
නුඹ සනසන්න තෙමුවෙ මම මගේ තොල කට

සුමිතුර මේ දවස් වල නොනගතය වගේ
නුඹ ගැන දොඩමළුයි කවි පන්හිඳට මගේ
ඉක්මන් සුව ලබා- රස පද ලියා අගේ
බෝගන සබඳ අපි යමු පුරුදු මග දිගේ

ජයන්ත නිමල් සිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ලෝක පූජිත කෘතහස්ත මානව විද්‍යාඥයකු වූ මහාචාර්ය ස්ටැන්ලි ජෙයරාජ් තම්බය්යා ජනවාරි මස 19 වන දින ටික කලක් රෝගාතුරව සිට ඇමරිකාවේදී අභාවප්‍රාප්ත වීම පොදුවේ මානව විද්‍යාවටත් ශ්‍රී ලාංකේය සමාජීය විද්‍යා ක්ෂේත්‍රයටත් පිරිමැසිය නොහැකි ශාස්ත්‍රීය හිඩැසක් නිර්මාණය කළේය යන්න මම විශ්වාස කරමි. ඒ මන්ද මහාචාර්ය තම්බය්යාගේ ශාස්ත්‍රීය පර්යේෂණ හා ප්‍රකාශන ශක්තිය ඔහු විසින් පොදුවේ මානවවිද්‍යාත්මක න්‍යායික පෝෂණයට පමණක් නොව දකුණු හා අග්නිදිග ආසියාතික සමාජ අලලා නිශ්පාදනය කොට ඇති මානවවංශීක දැනුම (ethnographical knowledge) තුළින් ද ප්‍රකාශයට පත් කළේය. එම මානවවිද්‍යා දැනුම ලෝක පරිමාණව ඉතා ඉහළ අගය කිරීමකට ලක් වීම නිසාම මානව විද්‍යා බුද්ධිමය කවයන් තුළ මහාචාර්ය තම්බය්යා අතිශය සම්භාවනාවට පාත්‍ර වූ මානව විද්‍යාඥයකු බවට පත්විය.

මහාචාර්ය තම්බය්යා යාපනයේ ක්‍රිස්තියානි දෙමළ ඉහළ මධ්‍යම පංතික පවුලක ඉපදී මූලික අධ්‍යාපනය යාපනයේ මධ්‍ය විද්‍යාලයෙනුත් පසුව ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙනුත් ලබාගත්තේය. 1951 දී ලංකා විශ්ව විද්‍යාලයෙන් තම ප්‍රථම උපාධිය දිනාගත් ඔහු 1954 දී සිය ආචාර්ය උපාධිය ලබාගත්තේ ශ්‍රී ලංකාවේ ගැමි සමාජය අලලා රචනා කරන ලද නිබන්ධනය සඳහාය. ඒ ඇමරිකාවේ කෝනල් විශ්ව විද්‍යාලයෙනි. එවකට සමාජවිද්‍යා ක්ෂේත්‍රයේ දැවැන්තයකු වූ රොබින් විලියම් යටතේ සිය ආචාර්ය උපාධිය නිම කළ ඔහුට සමාජ විද්‍යාව, මානව විද්‍යාව හා සමාජ මනෝවිද්‍යාව යන විෂය ක්ෂේත්‍ර තුනම පිළිබඳව ප්‍රමාණික දැනුමක් ලබා ගැනීමට හැකි වූයේ කෝනල් හී මෙම විෂයන් තුනම එකම දෙපාර්තමේන්තුවක් යටතේ පැවති බැවිනි. මීට අමතරව බ්‍රයස් රයන්, පීටර් බ්ලව්, මොරිස් ඔප්ලර් සහ ඉඩ් සජ්මන් වැන්නන්ගේ ශාස්ත්‍රීය දෘෂ්ටීන්හී බලපෑම ද නොඅඩුව ලබාගැනීමට ඔහු සමත් විය. 1955 දී ඔහු බ්‍රයස් රයන් හා රැල්ෆ් පීරිස් වැනි මහාචාර්යවරුන්ගෙන් සමන්විත වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාංශයට බැඳී 1960 දක්වාම එහි සේවය කළේය. 1950 ගණන්වල අගභාගයේදී මෙරට ඇතිවන ජාතිවාදී ගැටුම් වල ආරම්භයත් සමඟම මතු වූ දේශපාලන වතාවරණය යටතේ මෙරට සිටි දක්ෂ දෙමළ ජාතික වෘත්තිකයන් රටින් බැහැරවීමේ තත්වය තුළ මහාචාර්ය තම්බය්යා ද යුනෙස්කෝ හි තනතුරක් ලැබ තායිලන්තයේ රාජකාරි සඳහා යොමුවිය. මෙය ඔහුගේ ශාස්ත්‍රීය ජීවිතයේ වෙනසක් ඇති කළ තීරණාත්මක සිදුවීමකි. තායිලන්තයේදී "තායි බුදුදහම" අධ්‍යයනය සඳහා යොමුවන මහාචාර්ය තම්බය්යා පසුකාලීනව තායි බුදුදහම අලලා ප්‍රධාන මානවවිද්‍යාත්මක ග්‍රන්ථ තුනක් පළ කළේය.

1963 දී කෙම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස බැඳෙන ඔහු එහිදී මේයර් ෆෙටේස්, එඩ්මන්ඩ් ලිච් හා ජැක් ගුඩි යන ප්‍රකට මානවවිද්‍යාඥයින් සමඟ සම්බන්ධ වෙමින් ශාස්ත්‍රීය පර්යේෂණයන්හී නියැලුනා පමණක් නොව මානවවිද්‍යාංශයේ ජනප්‍රියම ආචාර්යවරයා ලෙස සිසුන්ගේත් ගරුබුහුමන් ද ලැබුවේය. පසු කාලීනව ආගම පිළිබඳ මානවවිද්‍යාවේ විශිෂ්ට බුද්ධිමතුන් බවට පත් වූ මයිකල් සැල්නෝව්, ක්‍රිස් ෆූලර්, ටිම් ඉන්ගොල්, ජොක් ස්ටිරාට් සහ කැරොලින් හම්tපි වැනි අය කෙම්බ්‍රිජ් හි මහාචාර්ය තම්බය්යාගේ ශිෂ්‍යයෝ වූහ. 1973 සිට 1976 දක්වා ඇමරිකාවේ චිකාගෝ විශ්ව විද්‍යාලයේ මානවවිද්‍යාංශයට බැඳී සේවය කළ ඔහුට 1976 දී හාවඩ් විශ්ව විද්‍යාලයේ මානවවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ධූරය පිරි නැමුණු අතර ඔහු විශ්‍රාම යන තෙක්ම එහි සේවය කළේය. ආසියාතිකයකු විසින් මානවවිද්‍යා ක්ෂේත්‍රයේ හාවඩ් හි මහාචාර්ය ධූරයක් දැරූ ප්‍රථම තැනැත්තාද ඔහු විය. ඔහුගේ සේවය ඇගයීම වස් හාවඩ් විශ්ව විද්‍යාලය මඟින් එස්තර් සහ සිඩ්නි රැබ් පර්යේෂණ සම්මානිත මහාචාර්ය ධූරය මානව විද්‍යාව සඳහා පිරි නැමුවේය. එසේම හාවඩ් විශ්ව විද්‍යාලයේ හාවඩ් පදනම මඟින් 2005 මැයි මස 6 වන දින මහාචාර්ය තම්බය්යාගේ අනුරුවක් විවෘත කළේය. එය ශ්‍රී ලාංකිකයෙකු ලද ඉහළම ගෞරවයක් බව සඳහන් කළ යුතුය. මීට අමතරව ජාත්‍යන්තර සම්මාන ගණනාවක්ම ඔහු විසින් මානවවිද්‍යා ක්ෂේත්‍රයට දක්වන ලද දායකත්වය සඳහා පිරිනමා ඇත. ඒ අතර 1991 දී චිකාගෝ විශ්වවිද්‍යාලය විසින් පිරිනැමූ ගෞරව ආචාර්ය උපාධියද, රාජකීය මානවවිද්‍යා සංගමයේ Huxley සම්මානයද(1997), 1997 දී බල්සන් සම්මානය ද (The Balzan Price), 1998 දී ජාත්‍යන්තර Fukuoka Academic Price මෙන්ම බ්‍රිතාන්‍යය ඇකඩමියේ ගෞරව සම්මානද ඔහුගේ ශාස්ත්‍රීය සේවයට ලැබූ ගෞරව නාම ලැයිස්තුවේ ඉහළින්ම ඇත.

මහාචාර්ය තම්බය්යා ගේ පර්යේෂණ දිවියෙහි ආරම්භය ඔහුගේ සමකාලීන සමාජවිද්‍යාඥයන් මෙන්ම ශ්‍රී ලාංකේය ගැමි සමාජය තේරුම් ගැනීම කේන්ද්‍රකොට ගෙන සිදුවන අතර ඊට එවකට සමාජ මානව විද්‍යා ක්ෂේත්‍රය තුළ ප්‍රබල න්‍යායික බලපෑමක් ඇති කළ රොබට් රෙඩ්ෆිල්ඩ් ගේ "ගැමි අධ්‍යයන" මූලික විය. විශේෂයෙන්ම පාතදුම්බර ප්‍රදේශයේ එස්.කේ සර්කාර් සමඟ කරන ලද සමාජ - ආර්ථික සමීක්ෂණ ඇසුරින් ගැමි සමාජවල දුගීභාවය, ගැමි ඥාතිත්වය හා විවාහ සංස්ථාව, දෑවැද්ද හා බහුවිවාහ මෙන්ම ඉඩම් භුක්තිය පිළිබඳ අවධානය යොමු කෙරිණි. එම පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස පර්යේෂණ පත්‍රිකා කිහිපයකුත් සර්කාර් හා ඔහුගේ කර්‍තෘත්වයෙන් එළි දක්වන "Disintegrating Village: Report of a Socio – Economic Survey"(1957) නැමැති ග්‍රන්ථය ද වැදගත් වේ.

මාතලේ ලග්ගල ප්‍රදේශයේ දුෂ්කර ගම්මාන ඇසුරින් ගනනාථ ඔබේසේකර සමඟ කරන ලද මානව විද්‍යාත්මක ක්ෂේත්‍ර පර්යේෂණ ඇසුරින් ශ්‍රී ලංකාවේ බහු පුරුෂ සේවනය නැතහොත් එක ගේ කෑම පිළිබඳ විවාහ සංස්ථාව පිළිබඳ රචනා කරන "Polyandry in Ceylon" (1966) යන පර්යේෂණ පත්‍රිකාවත් බී.එච් ෆැමර් (B.H Famer) හා එකතුව ගල්ඔය ජනපදය ඇසුරින් කරන ලද පර්යේෂණය ඇසුරින් "Agriculture Extension and Obstacles to Improved Agriculture in Gal Oya Peasant Colonization Scheme"(1962) යන මැයෙන් රචනා කරන ලද පර්යේෂණ පත්‍රිකාව මහාචාර්ය තම්බය්යා ගේ මුල්කාලීන ලාංකේය ක්ෂේත්‍ර පර්යේෂණ වලට හා ප්‍රකාශනවලට සාක්ෂි දරයි.

මහාචාර්ය තම්බය්යාගේ ශාස්ත්‍රීය ජීවිතයේ වැදගත්ම සන්ධිස්ථානය වන්නේ ඔහුට 1963 දී කෙම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ දී මහාචාර්ය එඩ්මන්ඩ් ලිච් හමුවීමය. එවකට බ්‍රිතාන්‍යය මානව විද්‍යාව තුළ ප්‍රධාන න්‍යායික ආස්ථාන දෙකක් අධිපතීත්වය දැරූ අතර මැලිනොව්ස්කි යටතේ කෘත්‍යවාදයත් (Functionalism) රැඩ්ක්ලිෆ් බ්‍රවුන් යටතේ ව්‍යුහාත්මක කෘත්‍යවාදය ( Structured Functionalism ) හෙවත් බ්‍රිතාන්‍ය ව්‍යුහවාදය ප්‍රබල විය. කෙම්බ්‍රිජ් මානව විද්‍යාව වඩා නැඹුරුව පැවතියේ ව්‍යුහාත්මක කෘත්‍යවාදය දෙසටය. එහි දී බ්‍රවුන් ගෙන් පසුව එවන්ස් - ප්‍රිචර්ඩ්, මේයර් ෆෙටේස්, ජැක් ගුඩි හා එඩ්මන්ඩ් ලිච් වැනි ප්‍රමුඛ පෙළේ මානව විද්‍යාඥයන් අප්‍රිකාව, දකුණු හා අග්නිදිග ආසියාතික සමාජ පිළිබඳ තම මානවවංශ පර්යේෂණ මත පිහිටා ඥාතිත්වය පිළිබඳ තියුණු න්‍යායික සංවාදයක පැටලී සිටියේය. එහිදී ෆෙටේස් හා ගුඩි ඔවුන්ගේ අප්‍රිකානු මානවවංශ තොරතුරු පාදක කර ගනිමින් ඥාතිත්වය "උරුමය" මත නිශ්චය(Descent Theory) කළ යුතුය යන තර්කය නැඟුමෙන්ය. ලිච් හා තම්බය්යා ඔවුන් විසින් සිදු කළ දකුණු හා අග්නිදිග ආසියානු විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය මානවවංශ පර්යේෂණ කේන්ද්‍ර කොට ඥාතිත්වය උරුමය මත නොව දේපළ උරුමය හා බෙදාහැරීම (Alliance Theory) මත නිශ්චය වන්නක් යන්න ප්‍රතිතර්ක නැගූහ. මෙම විවාදයේ දී ලිච් හා තම්බය්යා වඩ වඩාත් බ්‍රිතාන්‍යය ව්‍යුහාත්මක කෘත්‍යවාදයෙන් බැහැරව ලෙවි - ස්ට්‍රව්ස් ගේ ප්‍රංශ ව්‍යුවාදය වෙත යොමු වීම දැකිය හැක.

1973 දී චිකාගෝ විශ්ව විද්‍යාලයට බැඳී එහි දකුණු ආසියාතික අධ්‍යයන(South Asian Studies) වැඩ සටහන පුළුල් කිරීම සඳහා කේන්ද්‍රීය දායකත්වයක් සපයන මහාචාර්ය තම්බය්යා ඇමරිකානු සංස්කෘතික මානව විද්‍යාව(Cultural Anthropology) මෙන්ම එවකට චිකාගෝ හි දැඩි අවධානය යොමුව තිබූ වාග් විද්‍යාත්මක මානව විද්‍යාව හා සංකේතාත්මක මානව විද්‍යාව (Symbolic Anthropology) කෙරෙහි නැඹුරු වීමත් එහි ආභාසය ලැබීම වඩා හොඳින් සනිටුහන් වන්නේ 1985 දී පළ කරන ලද Culture, Thought, and Social Action යන පර්යේෂණ පත්‍රිකා එකතුවකින් යුත් ග්‍රන්ථය ඔස්සේය. 1989 දී ලුවි හෙන්රි මෝගන් දේශන මාලාව පදනම් කොට ගෙන Magic, Science, and Religion and the Scope of Rationality යන නමින් 1990 දී පළ කරන ලද ග්‍රන්ථය ද ඔහුගේ ඉහත දැක්වූ න්‍යායික ආස්ථානය ඉදිරියට ගෙන යාමක් ලෙස දැක්විය හැක. විශේෂයෙන්ම මිනිස් ක්‍රියාවන් එදිනෙදා ජීවිතයේදී සකස් වීමේදී විශ්වානත්තර මතවාදයන් (Cosmologies) සහ වර්ගීකරණ පද්ධතින්(Classificatory Systems) යොදා ගැනීම තේරුම් ගැනීමත් සංස්කෘතික කාණ්ඩයන් (Cultural Categories) මිනිස් ක්‍රියාව තුළ භාවිත වන අයුරු විශ්ලේෂණය කිරීමත්ය. තම්බය්යා මානව විද්‍යාව තුළ ජනප්‍රියත්වයට භාජනය වූයේ මානවවිද්‍යා දැනුම පෝෂණය කිරීමෙහිලා ඔහුගේ න්‍යායික දායකත්වය සැපයිමට වඩා මානව විද්‍යා න්‍යාය තේරුම් ගැනීම සඳහා අවශ්‍යය අතිශය පොහොසත් මානවවංශ තොරතුරු (Ethnographical Information) විද්‍යාත්මකව යොදා ගත් කෘතහස්ත මානවවිද්‍යාඥයකු ලෙසය.



1976 දී හාවඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ධූරයක් ලැබීමත් සමඟ ඔහුගේ ශාස්ත්‍රීය උනන්දුව නැවත දකුණු හා අග්නිදිග ආසියානු කලාප වෙත යොමු වීම දැකිය හැක. විශේෂයෙන්ම තායි බුදු දහම හා එහි විපර්යාසයන් අලලා ඔහු විසින් දීර්ඝ කාලීනව කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස පළ කරන ලද ග්‍රන්ථ හා පර්යේෂණ පත්‍රිකා හරහා ථෙරවාදී බුදුදහම පිළිබඳ කෘතහස්ත මානවවිද්‍යාඥයකු ලෙස මානව විද්‍යා බුද්ධිමය කවයන් තුළ පමණක් නොව පොදුවේ ආගමික අධ්‍යයන යන විෂය ක්ෂේත්‍රවල ශාස්ත්‍රීය දැවැන්තයෙක් ලෙස සම්භාවනාවට පාත්‍ර විය. තායි බුදුදහම පිළිබඳ ඔහුගේ ප්‍රථම ග්‍රන්ථය වයඹදිග ග්‍රාමීය තායි සමාජයේ "ගැමි තායි බුදුදහම" හා එහි භාවිතයන් මුල්කොට Buddhism and the Spirit Cults in North – East Thailand (1970) නමින් පළ කෙරිණි. ඔහුගේ දෙවන ග්‍රන්ථය තායි බුදුදහම හා දේශපාලනය අලලා World Conqueror and Renouncer (1976) නමින් ඓතිහාසික මූලාශ්‍ර හා මානවවංශ අධ්‍යයනය යොදා ගනිමින් පිටු 550 කින් යුත් සුවිශාල ග්‍රන්ථයක් පළ කළේය. තායි ඉතිහාසය තුළ අතිශය විමධ්‍යගත සමූහ ආණ්ඩු පාලනයක සිට කේන්ද්‍රීය පාලනයක් දක්වා තායි සමාජය විපර්යාසයට භාජනය වීමේ ක්‍රියාවලිය තුළ "නාගරික තායි බුදු දහම" මතුවීමේ ස්වභාවය ඉතා විනිවිද යන සුළු ආකාරයට විස්තර කෙරේ. තායි බුදු දහම තුළ මතුවෙමින් ආ නව ප්‍රවනතාවයන් විස්තර කිරීම සඳහා තායි වනවාසි භික්ෂූන් වහන්සේලා අලලා රචනා කරන ලද The Buddhist Saints of Forest and the Cult of the Amulets (1984). කඳුකර වනවාසී භික්ෂූන්වහන්සේලා භාවනායෝගී ජීවිත ගත කිරීම හරහා අත්පත් කරගත් අධ්‍යාත්මික බලය මෙලෙස සුඛවිහරණය සඳහා නාගරික ප්‍රභූන් යොදා ගැනීමට දක්වන උනන්දුව මත මතු වූ එම භික්ෂූන් වහන්සේලාගේ අනුරූ සහිත යන්ත්‍ර ඇදහිල්ල ප්‍රචලිත වී ඇති අයුරු මානව විද්‍යාත්මකව විශ්ලේෂණය කෙරේ. වත්මන් ලාංකේය බුදුදහම තුළ මතුවෙමින් පවතින නව ප්‍රවනතාවයන් තේරුම් ගැනීමෙහිලා තම්බය්යාගේ මෙම කෘතිය අතිශය වැදගත්වන බව මෙහිලා සඳහන් කළ යුතුය.

1983 දී මෙරට ඇති වූ ජනවාර්ගික කෝලහලය මෙරට බුද්ධිමතුන්ගේ ශාස්ත්‍රිය උනන්දුව නවමානයකට යොමු වීමට බලපෑවේය. විශේෂයෙන්ම "ප්‍රචණ්ඩත්වය හා ආගම" අතර ඇති සම්බන්ධය විවේචනාත්මකව විශ්ලේෂණය සඳහා දෙස් විදෙස් මානව විද්‍යාඥයන්ගේ අවධානය යොමු වීම කැපී පෙනේ. මෙම සංවාදයේදී මහාචාර්ය තම්බය්යා ගේ දායකත්වය කැපී පෙනෙන්නේ ඔහු විසින් ආගම හා ප්‍රචණ්ඩත්වය අලලා රචනා කරන ලද Ethnic Fratricide and the Dismantling of Democracy (1986) සහ වඩා ආන්දෝලනයකට පත් වූ Buddhism Betrayed? Religion, Politics and Violence in Sri Lanka (1992) යන ග්‍රන්ථයන්ය. "බුදුදහම පවාදීම" නැමැති තහනම් කරන ලද කෘතියේදී ඔවුන් විසින් නඟන ලද කේන්ද්‍රීය ප්‍රශ්නය වූයේ අවිහිංසාවාදයට තදින්ම කැප වු බුදු දහම වැනි ආගම් ලාංකේය සංදර්භය තුළ දී වඩා ප්‍රචණ්ඩකාරී ආගමක් ලෙස පරිවර්ථනය වන්නේ කෙසේද? යන්නයි. විශේෂයෙන්ම භික්ෂූන්වහන්සේලා "යුදකාමී භික්ෂූන්" (Militant monk) ලෙස මතුවීමත් ඔවුන්ගේ කාර්ය භාරය දේශපාලනය තුළ නැවත අර්ථකථනය වන අයුරුත් සාකච්ඡා කෙරේ. මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත්වීමත් සමඟ මහාචාර්ය තම්බය්යා ඊලාම්වාදියකු, කොටියකු හා දේශ ද්‍රෝහියකු ලෙස නම් කිරීමට මෙරට අන්තවාදී දේශපාලන බලමුළු ක්‍රියාත්මක වූයේ "ජනවාර්ගික ප්‍රශ්නය" සම්බන්ධව ඔහුගේ ස්ථාවරය නිවැරදිව තේරුම් නොගෙන බව මගේ විශ්වාසයයි. මන්ද මහාචාර්ය තම්බය්යා කිසි දිනෙක ඊලාම්වාදියෙකු නොවූ අතර ඔහු පෙනී සිටියේ ශ්‍රී ලංකාවේ සමාජ සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස හා සමානත්වය වැනි විශ්වීය මානව ගුණාංග තම උපන් දේශය තුළ නැවත ඇති කරන්නේ කෙසේද? යන ප්‍රශ්න ශාස්ත්‍රීයව පෙන්වා දීම සඳහාය.ඔහු දෙමළ අන්තවාදයටත් සිංහල බෞද්ධ අන්තවාදයටත් ඉඳුරාම එරෙහි වූ බුද්ධිමතෙකි.

"ආගම හා ප්‍රචණ්ඩත්වය" පිළිබඳ ඔහුගේ අධ්‍යයනයන් ශ්‍රී ලංකාවෙන් ඔබ්බට ගෙන ගොස් දකුණු ආසියාතික සමාජවල ජනවාර්ගික ජාතිකවාදය ( Ethno nationalism) පදනම් කරගත් ජනවාර්ගික ගැටුම් හා සාමූහික ප්‍රචණ්ඩත්වයන් තේරුම් ගැනීමට අතිශය වැදගත් න්‍යායික හා සංකල්පමය සුත්‍රගත කිරීමක් Levelling Crowds: Ethno Nationalist Conflicts and Collective Violence in South Asia (1996) යන කෘතිය හරහා ඉදිරිපත් කළේය. ඔහුගේ අවසාන ප්‍රධාන ග්‍රන්ථය රචනා කරනු ලබන්නේ තම ශාස්ත්‍රීය ගුරුවරයා හා කිට්ටු මිත්‍රයකු වන මහාචාර්ය එඩ්මන් ලිච් ගේ ශාස්ත්‍රීය ජීවිතය අලලාය. ඒ චරිතාපදානයකි. [Edmund Leach: An Anthropological Life (2002)]

එඩ්මන්ඩ් ලිච් පිළිබඳව ඔහු රචනා කරන ලද ග්‍රන්ථයේ සඳහන් වන පරිදි තම්බය්යාට ලිච් ප්‍රථමයෙන්ම මුණගැසී ඇත්තේ 1956 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදීය. ඒ ලිච්ගේ "පුල්එළිය" ග්‍රන්ථය සඳහා දෙවන වර ක්ෂේත්‍ර පර්යේෂණවලට පැමිණි අවස්ථාවේදීය. එම හමුවීම තම්බය්යාගේ ශාස්ත්‍රීය ජීවිතයේ හැරවුම් ලක්ෂය සනිටුහන් කළේය. තම්බය්යා ඒ වන විට පහතදුම්බර ප්‍රදේශය අලලා කරන ලද පර්යේෂණ පත්‍රිකාවක් ලිච් වෙත යවා ඇති අතර එම පර්යේෂණ පත්‍රිකාව බ්‍රිතාන්‍යයේ ඉහළම පර්යේෂණ සඟරාවක් වන රාජකීය මානවවිද්‍යා ආයතන සඟරාවේ (Journal of the Royal Anthropological Institute) පළ කිරීම සඳහා අනුමැතිය ලබා දුන්නා පමණක් නොව එම සඟරාවට අවශ්‍ය පරිදි එම පර්යේෂණ පත්‍රිකාව සංස්කරණය කොට "The Structure of Kinship and Its Relationship to Land Possession and Residence in Pata Dumbara, Central Ceylon" JRI . Vol . 88 . no, 1, 1958 pp 21 - 44" යන නමින් පළ කිරීම තරුණ මානවවිද්‍යාඥයකු ලෙස තම්බය්යා ලද භාග්‍යයකි. මෙහිදී වැදගත් වන්නේ මහාචාර්ය තම්බය්යා වැනි ලෝක පූජිත මානවවිද්‍යාඥයකු ශ්‍රී ලංකාව තුළින් බිහිකිරීමට මහාචාර්ය එඩ්මන්ඩ් ලිච් සපයන ලද දායකත්වයේ අතිශය වැදගත් කමයි. ඔහුගේ ශාස්ත්‍රීය ජීවිතයේ ගුරුවරයා හා සමීපතම මිතුරා වූයේ එඩ්මන්ඩ් ලිච්ය. ඒ මිත්‍රත්වයේ හා ගුරු ගෞරවයේ ස්වභාවය තම්බය්යා විසින් රචනා කරන ලද එඩ්මන්ඩ් ලිච් චරිතාපදානය පිටු 517 න් යුත් ග්‍රන්ථය මැනවින් සාක්ෂි දරනවා ඇත.

මට ප්‍රථම වරට හා අවසන් වරට මහාචාර්ය තම්බය්යා හමුවන්නේ 2009 වසරේ හාවඩ් විශ්වවිද්‍යාලයේ දකුණු ආසියාතික අධ්‍යයන කේන්ද්‍රයේ ආරාධනාවක් මත දේශනයක් පැවැත්වීමට එහි ගිය අවස්ථාවේදීය. පාංශුදේහධාරී පුද්ගලයකු වූ ඔහු ඒ වනවිට ද රෝගාතුර තත්වයේ සිටියත් ආගන්තුකසත්කාරය හා තරුණ පරම්පරාවේ මානවවිද්‍යා පර්යේෂණ පිළිබඳව තිබුණේ දැඩි උනන්දුවකි. ඔහු විසින් අවසන් වරට රචනා කරන ලද එඩ්මන්ඩ් ලිච්ගේ චරිතාපදානයේ පිටපතක් මා වෙත පරිත්‍යාග කළේ ආගම හා දේශපාලනය පිළිබඳ පර්යේෂණ වඩාත් ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවයද අවධාරණය කරමිනි. මහාචාර්ය තම්බය්යා මානවවිද්‍යාවට පමණක් නොව සමාජීය විද්‍යා ක්ෂේත්‍රයට කරන ලද දායකත්වය පිළිබඳ ප්‍රශස්ථ ඇගයීමක් ඉංග්‍රීසි භාෂාවෙන් පළ වී ඇති සන්දර්භය තුළ මෙම කෙටි සටහන සිංහල පාඨකයා වෙත යොමු කරනු ලබන්නේ ශ්‍රී ලාංකිකයකු ලෙස ඔහුට කළ හැකි උපහාරයක් ලෙසය. දෙමළ භාෂාවට මෙම ලිපිය පරිවර්ථනය කොට පළ කිරීමට යමෙකු ඉදිරිපත් වන්නේ නම් ඔහුට කෘතඥ වෙමි.

ප්‍රේමකුමාර ද සිල්වා,
මහාචාර්ය, සමාජවිද්‍යා අධ්‍යයන අංශය,
කොළඹ විශ්ව විද්‍යාලය.

ප්‍රේමකුමාර ද සිල්වා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



දසත සරා ගුවන් ගැබ
විසල් වූ අත්තටු යටින්
තුටු සිතින් තෙපලමින්
සිනාසුණු හඬ ඇසෙයි,
මහ සයුරු පත්ලෙන්...

නෙක වර්ණ පැහැ දැරූ
සමට හිමිකම් කියූ
සැවොම මනුසත්කුලේ
සිනාසුණු හඬ ඇසෙයි,
මහ සයුරු පත්ලෙන්...

ඇකයේ ම හොවාගෙන
කිරි කෙරූ ලේ පෙවූ
බිළිඳු පුතු තුරුල්ලේ,
සිනාසුණු හඬ ඇසෙයි
මහ සයුරු පත්ලෙන්...

ජීවිතය කියාදුන්
මව්වරුන්,පියවරුන්
දු පුතුන් හිස අතගගා,
සිනාසුණු හඬ ඇසෙයි
මහ සයුරු පත්ලෙන්...

එක කුසක ඉපදෙමින්
එක පියොර උරා බිව්
සහෝදර බැමි පවුර
සිනාසුණු හඬ ඇසෙයි,
මහ සයුරු පත්ලෙන්...

කප්පරක් හීනයන් තුරුල් කොට
එනතුරා මග බලා උන්
ආදරේ අනෙක් පස
සිනාසුණු හඬ ඇසෙයි,
මහ සයුරු පත්ලෙන්...

ඉගිළ නො පෙනී ගිය අහස්කුස දෙස
බලා උන් නෙත් අගට
කදුළු පමණක් උරුම කළ නුඹ,
සිනාසුණු හඬ ඇසෙයි
මහ සයුරු පත්ලෙන්...

ලෝකයක් බලා උන්
කළ සියලු පැතුම් මල්
එක්වරම දවාලු
රුදු පියාසැරිය නුඹ,
සිනාසුණු හඬ ඇසෙයි
මහ සයුරු පත්ලෙන්...

දසුන් මධුසංඛ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නිදහස් චින්තකයෝ යනු පූර්ව විනිශ්චයන්ගෙන් සහ ස්වකීය සම්ප්‍රදායන්ද, වරප්‍රසාදයන්ද, ඇදහිලි හා විශ්වාසයන්ද හා ගැටෙන සියල්ල අවබෝධ කරගැනීමට බියෙන් තොරව ස්වකීය මනස මෙහෙයවීමේ කැමැත්තෙන් කටයුතු කරන්නෝය. මෙවැනි මනෝභාවයන් සුලබ නොවන නමුත් නිවැරදි චින්තනයක් සඳහා එය අත්‍යවශ්‍ය වේ.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අළු සුදු වළා තැන තැන - නිදිගැට කඩන අහසට
උණු උණු ඉරේ ඉර එළි - ඉරි ඉරි අඳින පොළොවට
පටු මඟ ගෙවා යන එන - නන්නාඳුනන දන වෙත
සමුදී නගිමි සිහිනෙන් - කන්තෝරුවේ පොඩි පියගැට

හඳුනන මුහුණු එක දෙක - මුහුණට මුහුණ හමුවන
උදයේ සොඳුරු සුභ ගැන - එකමෙක පැතුම මුමුණන
දිලිසෙයි පැරණි පුටු පෙළ - දොරකඩ අසල සිටගෙන
පසුබා යන්න ඇති ඒ - දූවිලි පිසින ලද ගැහැණිය

හුරු අසුනෙහිම හිඳගමි - පරිඝණකයට ඇඟ බැඳ
සංඛ්‍යා, අකුරු කලතමි - ප්‍රස්තාරයක ගෙළ සිඳ
හිස, ඇස රිදෙන විටෙකදි - පින්තූරයක රුව ඇර
ඔබ දෙස බලමි, සැනසෙමි - ඩිජිටල් සිහින දැක දැක

කවියක දෙකක උණුසුම - සිත කිති කවන මොහොතක
කොලයක නොපිට තවරමි - සැප, දුක, කඳුල සහ සෙනෙහස
නොසතුටු විටෙක ගුලිකර - ඉවතට විසිකරන එම කව
හෙට යළි සොයන, වෙහෙසෙන - සොඳුරුම කවිය විය හැක

මුදලට වුවද විනිවිද - දැකුමට නොහැකි දිවි පොත
එක පැහැ පිටුම පෙරළන - අද වැනි සිහින දින ඇත
කැන්වස් කඩක සිර වී - බිත්තිය සරසවන බුදු රුව
වෙනදට වඩා වැඩියෙන් - මදහස නගන්නේ එවිටය

මිතුරකු සමඟ සවසට - පසුකර නැවත පොඩි පියගැට
ගංතීරයක ඇහැරෙමි - සංගීතයක මුදු සුවයට
පොලිටික්, සිහින, ආලය - අතහැර මිතුර මට කියපන්..
ගනකම බීර විතකින් - ලංවිය හැකිද, නොහැකිද නිවනට

භාතිෂ අකලංක සිල්වා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ලයිට් බිලකින් හිරි වැටීගෙන
වතුර බිලකින් යසට නාගෙන
ගෑස් ටැංකිිියෙ හිස හොවාගෙන
නිදයි කුමරෙක් වකුටුවීගෙන

කිරි දොවන්නට යැවූ පිරිවර
බඩ පුරා බී අඟක් දුන්නෙන
දහවලේ පිනු වළේ හිඳගෙන
සොයයි කුමරා මඩෙහි උණුසුම

ඡන්ද වඩදිය නැගෙන කාලෙට
නැඟී රළ මත නඟා ජය ගොස
ගසා ගොස් බා දිය ද සමඟින
දියෙහි පාවෙයි තණ පතක් ලෙස

මුහුණ විකුණා තුට්ටු දෙකකට
වෙස් මුහුණු ගෙන අධික මිලකට
ඊසි පේමන්ට් තොණ්ඩු දාගෙන
ණය කිරුළ පළඳාය හිස මත

වටා ඉදිවන පවුරු දැක දැක
ගහලයන්ටම පඬුරු පුද පුද
වකුටු වී ඉඳ හතර ගාතෙන
හැඩි දෙමළු ගැන බියෙන් පසුවෙන

චූලානන්ද සමරනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ධනුෂ්කා නිෂාදි කුලරත්නගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය 'සඳ මුදුව මැවෙන්නැති', 2014 අප්‍රේල් 05 වැනි දින සවස 3 ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී දොරට වඩියි.

දෙසුම්:
රත්න ශ්‍රී විජේසිංහ
ආනන්ද තිස්සකුමාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පාළුව දෙවනත් කරලා
නාඬන් උල ලේනෝ
කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා
උල ලේනෝ උල ලේනෝ

සීත සුළං හිරිකඩයි
කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
උල ලේනෝ... උල ලේනෝ...

ඉහිරුණ කිරි කොතලෙට
ඉකි බිඳලා පල නෑ
උඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ
උල ලේනෝ... උල ලේනෝ...

සංසාරේ හැටි තමයි
වියෝග ඇතිවන්නේ
නිවනට ගියදා මේ හැම දුක් නැතිවන්නේ
උල ලේනෝ... උල ලේනෝ...

පද– රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය හා ගායනය- විශාරද ගුණදාස කපුගේ

දුර ඈත කවදා හෝ මේ ගීතය ඇසුණා මට මතක ය. ඒ පාළු රාත්‍රියක ගුවන්විදුලියෙනි. ගීතයක ගැඹුර, අරුත වටහාගත හැකි වයසක එකල මම නොසිටියෙමි. එහෙත් පාළු හුදෙකලා බවකින් මගේ මනස වෙලී ගියා මට මතකය. ඒ තනුව හා ගායනය නිසා මිස අරුත නිසා නොවේ. "උලලේනෝ" යන යෙදුම කපුගේ සතු නාසික්‍ය හඬ ඔස්සේ ඇද පැද ගයන අයුරු අනුකරණය කරමින් මම මේ ගීතය රසවින්දෙමි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නික/පොන්නිලව මිශ්‍ර පාසලේ ගුරු නිවාසය මට තාමත් මතක ය. මගේ පියා හා මව නවාතැන්ගෙන සිටි ඒ ගුරු නිවාසය පිටුපස විශාල කැලයකි. මැදියම් රෑ ඒ කැළෑව මැදින් මතුවී එන උලලේනා ගේ හඬ මට තාමත් මතක ය. මා බියගන්වන, ඒ විලාපය රසයක් බවට පත් කරගනිමින් මම ටිකින් ටික මේ ගීතයට සමීප වීමි. එහෙත් මේ ගීතයට මූලික වූ අනුභූතිය පිළිබඳ ව මට අසන්නට ලැබෙන්නේ ඊට බොහෝ කලකට පසු ව ය.

ශ්‍රී ලංකාවේ පළමු තරුණ නැඟිටීම ලෙස සැලකෙන්නේ එකදාස් නමසිය හැත්තෑඑකේ අප්‍රේල් කැරැල්ලයි. අප්‍රේල් පස්වැනි දා ඇරැඹි ඒ කැරැල්ල සති කීපයක් යන විට අඩපණ වී ගොස් කැරලිකරුවෝ කැළෑ වැදුණා.

එසේ සියල්ල අහිමිව පරාජිතව වනගත වී සිටින මොහොතක කැරලිකරුවකුට මුළු රාත්‍රිය පුරා ඇසෙන්නේ උලලේනාගේ හඬයි. (ඒ කැරලිකරුවා මෙහි රචකයා දැයි මම නොදනිමි) විප්ලවයේ මළගම මෙ හඬත් සමඟ ඔහු අත්විඳියි. රන්බණ්ඩා සෙනෙවිරත්නයන් පසුකලෙක මේ ගීතය සඳහා යොදා ගන්නේ මේ අනුභූතියයි. එහෙත් මේ අත්දැකීමෙන් පරිබාහිර ව වුවද මේ නිර්මාණයෙන් යම් රසයක් අත්විඳිය හැකි ය. එහෙත් මෙම අත්දැකීම ඔස්සේ සියල්ලට ම වඩා හොඳින් මේ නිර්මාණය රසවිඳිය හැකි ය.

වනාන්තරය පාළු ය. ඒ පාළුව දෙවනත් වන්නේ උලලේනාගේ හඩිනි. මේ කැරලිකරුවාට ඊයේ මුණගැසුණු සහෝදර කැරලිකරුවන් අද ළඟ නැත. ඔහුට ඔවුන් සිහිවෙයි. සියලු දෙනාට ම එළඹී ඇත්තේ නපුරු කලදසාවකි. දරන්නට බැරි තනිකමක බර මේ මොහොතේ හිතට දැනෙයි.

"පාළුව දෙවනත් කරලා
නාඬන් උලලේනෝ
කාටත් නපුරු දා
තනිකම් ඇතිවෙනවා
උලලේනෝ..."


කැරලිකරුවෝ කීපදෙනෙක් වනාන්තරයේ තනිවී සිටිති. ඔවුන්ට මේ මොහොතේ උරුමව ඇත්තේ සීත සුළඟත් හිරිකඩත් පමණි. ඔවුන් බලාපොරොත්තු වූ ලෝකය සුණුවිසුණු වී ගොස් ය. උලලේනාට නම් පියාඹන්නට තටු ඇත. ඒත් වනාන්තරයේ තනිවූ මේ කැරලිකාර යෞවනයන්ට ඉතිරි වී ඇත්තේ ලී දඬු කපා අටවා ගත් කුඩා පැලක් පමණි. ඔවුන්ට වඩා නිදහසක් උලලේනාට ද ඇත.


රන්බණ්ඩා සෙනෙවිරත්න, කපුගේ

"සීත සුළං හිරිකඩයි
කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
උලලේනෝ..."


විප්ලවය පිළිබඳ බලාපොරොත්තු ඉහිරුණු කිරි කළයකට සමාන ය. යළි ඒ කිරි කළයට එකතු කළ නොහැකි ය. දැන් හිත හදාගත යුතුය. උලලේනා ද අඬාවැටෙන්නේ දුකකට විය යුතු ය. හඬා වැලපීමෙන් පලක් නැති බව උලලේනා ද ඉගෙන ගත යුතුය. උලලේනාට ද ආත්ම ධෛර්යය දිය යුතු ය. ශෝකය දුක ඉදිරියේ විලාප දීමෙන් පලක් නොමැති බව උලලේනාට ද උගන්වන්නට තරම් ඔහු තුළ ආත්ම ධෛර්යය ඉතිරි ව තිබේ.

"ඉහිරුණු කිරි කොතලෙට
ඉකි බිඳලා පල නෑ
උඹටත් එක්කයි මම මේ
කවිය කියන්නේ
උලලේනෝ...."


එසේත් නැත්නම් උලලේනා වියෝ දුක කාට හෝ සන්නිවේදනය කරනවා විය යුතුය. එහෙත් මේ කිසිවකින් පලක් නැත. සංසාරයේ හැටි උලලේනා ද අවබෝධ කරගත යුතුය. ඊයේ තමා ළඟ සිටි මිත්‍රයන් වෙඩි උණ්ඩයකට ජීවිතය දන් දී තිබේ. සංසාරයේ දුක උලලේනාට වඩා හොඳින් මේ කැරලිකරුවා අවබෝධ කරගෙන සිටී. දේශපාලන විමුක්තියෙන් පවතින බව ඔහු ද පසක් කර ගනී.

"සංසාරේ හැටි තමයි
වියෝග ඇතිවන්නේ
නිවනට ගිය දා මේ හැම දුක නැතිවන්නේ
උලලේනෝ..."


මේ ගීයේ අර්ථ ගාම්භීර්ය වඩාත් හොඳින් දක්නට ලැබෙන්නේ මේ අවසාන පද කීපයෙනි.

ජීවිතයේ පරාජයන්ට, එසේම වියෝ විරහ වේදනාවන්ට ගොදුරු වූ ඕනෑ ම පුද්ගලයකුට ගැඹුරු ජීවන යථාර්ථයක් උකහාගැනීමේ හැකියාව මේ ගීතයේ පවතී. පාළු ශෝකී රසය අතරින් භාවයන් පමණක් නොව බුද්ධිය ද අවදි කරවීමේ හැකියාව මේ නිර්මාණයේ පවතී.

රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ බොහෝ ගී නිර්මාණයන්හි අපූර්වත්වයක් සැඟවී පවතී. එසේම අසම්මත භාෂාවක් මෙන්ම දෘෂ්ටියක් ද ඒ තුළ දැකිය හැකි ය. "ළඳුනේ", "පබලු නඟේ" ආදී නිර්මාණ පමණක් ම ඒ සඳහා නිදසුන් ය. ඔහු ලියූ අල්ප ගීත සංඛ්‍යාව ඔහුට ගීත රචකයකු ලෙස තම මුද්‍රාව තබන්නට ඉවහල් වන්නේ එබැවිනි.

ගුණදාස කපුගේ අමරණීය කලාකරුවකු වන්නේ ගායකයකු සංගීතඥයකු මානව හිතවාදියකු නිසාම නොවේ. ගයන්නට පදමාලාවක් තෝරාගැනීමේදී ඔහු තුළ සියුම් ඉවක් පැවතිණි. එසේම එම පදමාලාවට සුදුසුම සංගීතය ඔහු අතින් බොහෝවිට නිර්මාණය විය. නොමැති නම් වෙනකකු ලවා නිර්මාණය කරගත්තේ ය.

පාළු වනාන්තරයක් මතට ළා හඳ එළියක් පතිත වී තිබේ. වනගැබෙන් එක්වර ම මතුව එන්නේ උලලේනාගේ හඬයි. එය අවට කඳුගැටයක හැපී දෝංකාර දෙයි. වනයේ හුදෙකලා වූ කැරලිකරුවකු ගේ පමණක් නොව ජීවිතයේ කටුක දුක ද සැප ද වළඳන මිනිසකු ගේ හදවත එයින් තිගැස්සෙයි.

තමා අත්විඳි දුක් වේදනා, විරහ වේදනා සියල්ල එක පෙළට සිහිපත් වෙයි. මේ සංසාර ගමන නවතන්නට හැකිනම් මේ සියලු දුක්වේදනා වලින් අත්මිදිය හැකි බව එවිට කෙනෙකුට පසක් වෙයි. එහෙත් සත්‍යවශයෙන් ම උලලේනා ගේ හඬ මෙතරම් අමිහිරි හා භයානක බව ඌ නොදනියි. ඌ මේ හඬගාන්නේ උගේ පෙම්වතියටයි. මේ මංගල ඇරයුම අපේ සිත් මෙසේ සසල කරවන්නේ ඇයි?

ඒ අරුම පුදුම ස්වභාවධර්මයේ න්‍යාය රන්බණ්ඩා සෙනෙවිරත්න වස්තු කරගන්නේ ඇයි? එය මේ තරම් හැඟීම්බරව කපුගේ ගැයුවේ ඇයි? උලලේනෝ, කියාපන් මේ සුන්දර මිනිසුන් දෙදෙනා අපෙන් ඈත් කළේ ඇයි?

(-සිළුමිණ වෙබ් අඩවියෙන් කළ උපුටනයකි.)

ධම්මික බණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නූර්ති හා නාඩගම් අස්සෙම හිරවෙලා හිටි සිරිලංකාවේ සරච්චන්ද්‍ර ලොක්කගෙ "මනමේ", "සිංහබාහු" නාට්‍ය වේදිකාවේ පෙන්නන්න ගත්තත් එක්ක සිංහල නාට්‍ය කලාව අලුත් පාරක ගිය බව ඔය කවුරුත් පිළිගන්න ඇත්තක්නෙ. හැබැයි පුතෝ සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන වගෙ ඈයෝ සරච්චන්ද්‍රගේ ශෛලිය තවත් කණපිට ගහල මිනිස්සුන්ට බොහෝම සමීප විදියට නාට්‍ය පෙන්නන්න පටන් ගත්තෙ බුද්ධිමය සංවාදයක යෙදෙන ගමනුයි ඕං.

ඊට පස්සේ සෝමලතාල, සයිමන්ල, ධර්මසිරිල, හඳගමල, ප්‍රසන්නල, මනෝරත්නල, දමයන්තල, ධනංජයල, උදයසිරිල, රාජිතල, පූජිතල යනාදි වූ හැබෑ ආදරෙන් නාට්‍ය කලාවට එක් වූ ඇත්තො නරඹන්නන්ගෙ මොළේ කචල් නොකර වේදිකාවේ ජය කෙහෙළි නැංවූවා. මෙහෙම ලියද්දි සමහරුන්ගෙ නම් හැලිල තියෙනව නං ඒ හිතා මතා කොරපු එකක් නොවෙයි. අත පහු වෙච්චි නම් ටික තම තම නැණ පමණින් බොලල්ලාම එක්කාසු කර ගත්තාට ඔටුවගෙ හිතේ කහටක් නං නෑ.

ඔටුවට සිරිලංකාවේ නාට්‍ය කලාව ගැන ලියන්න හිතුණෙ රවීන්ද්‍ර ළමයා තමන් සංස්කරණය කරන "කලස" අතිරේකයට 2014 රාජ්‍ය නාට්‍ය උ‍ලෙළ ගැන ලියල තියෙන ලියුං කරදහයිය කියෙව්වමයි ආයිබං.

මැන්දිස් වගෙ දක්ෂ නළුවෙක් නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති වෙලා ඉඳිමින් තමන් රඟපාපු "රඟපෑම් ඉවරයි" වගේ කිසි කමකට නැති නාට්‍යයක් අන්තිමට වටයට තෝර ගත්ත එක ගැනත් රවින්ද්‍ර ළමයා විවේචනයක් කොරල තිබුණා. අම්මප කටේ මසුරං දාන්න වටින කතාව. අවුරුදු ගණනාවක් තිස්සෙ වාලුකා කාන්තාරයට වෙලා තවලම් අදින සෙරෙන්ඩිබ් ඔටුවත් අවුරුද්දකට සැරයක් දෙකක් සිරිලංකාවට ආව ගියාම නාට්‍යයක්, චිත්‍රපටයක් බලන්න අමතක කරන්නෙ නෑ. ඒ හන්දා වර්තමාන නාට්‍ය කලාව, චිත්‍රපට කලාව, සාහිත්‍ය කලාව විතරක් නොවෙයි දේශපාලනය ගැනත් අවදියෙන් තමයි ඉන්නෙ.

ඔය උදයසිරි කොලුවගෙ "රඟපෑම් ඉවරයි" කියන නාට්‍ය බැලුවම ඔටුවට හිතුණෙ ඇත්තටම "රඟපෑම් ඉවරම තමයි" දෝ කියලයි.

ඕවත් නාට්‍යද ඕයි..?
වේදිකාවට නැගල කිරිපණුගාය හැදිල වගේ හතර අතේ ඇඹරිල දෙපිට කැපෙන කතා කිව්වම ඒවා නාට්‍යයද? රඟපෑම්ද?
ඔන්න උදයසිරි කොලුවගෙම "සුද්දෙක් ඔබ අමතයි" නං යම් වෙනසක් කොරපු නාට්‍යයක් කිව්ව ඇහැකි.

හැබැයි ඉතිං රවින්ද්‍ර ළමයගෙ ලියුමේ වැදගත් කතාව තිබුණෙ අන්තිමෙටයි. ඔන්න ඒ කොටහ එහෙම්මම මෙතන දිග හරිනව.

"මෙවර නාට්‍ය උලෙළෙන් අපිට අර්බුද රැසක් පෙනේ. ඒ අර්බුද අපේ කලා ක්ෂේත්‍රයේ අර්බුද වන්නේම යැයි කෙනෙකුට කිව හැකිය. එහෙත් ඒ එසේ නොවේ. නාට්‍ය කලාව වැටී ඇති තැන ඉතා ශෝචනීයය. එක් පසෙකින් එහි විනිශ්චයේදී ඇගයීමට තරම් උසස් යැයි කිව හැකි නාට්‍යයක් නැත. අනෙක් පසින් අගයන යම් මට්ටමේ නාට්‍යයක් වුව සංවිධානය කර ප්‍රේක්ෂකයා වෙත පැමිණය විය හැකි ක්‍රමවේදයක් නැත. ඒ නිසා නාට්‍ය උලෙළින් ජය ලබන නාට්‍යයක් සම්මානයෙන්ම නවතිනු විනා අනෙකක් වන්නේ නැත. මෙය බරපතල තත්ත්වයකි. එය තවත් බරපතල වන්නේ සම්මාන ලබන ප්‍රශස්ත නාට්‍ය පසෙක තිබියදී නාට්‍ය කලාව 'බල්ලොත් එක්ක බෑ' සමග ඉදිරියට යෑම තුළය!"
"රිවිර" [2014 පෙබරවාරි 25]

රවින්ද්‍ර ළමය කියන කතාවට ඌන පූරණයක් ලියන්න ඔටුවගෙ දැනුම මදි වෙන්න පුළුවන්. ඒත් පහුගිය කාලෙ නාට්‍ය උලෙළින් දිනන නාට්‍ය කීපයක් සම්මානයෙන්ම නවතින බව කීම ඒ තරම්ම නිවැරදි නෑ වගෙ. ප්‍රසන්නගෙ "ද්විත්ව", ධර්මසිරිගෙ "ට්‍රෝජන් කාන්තාවෝ", ධනංජයගෙ "සිහින රඟමඩල", උදයසිරිගෙ "සුද්දෙක් ඔබ අමතයි", රාජිතගෙ "වීරයා මැරිලා", "සිහින හොරු අරං", "ආපහු හැරෙන්න බෑ" වගේ නාට්‍ය සම්මාන ඇතුව හෝ නැතිව දර්ශන වාර වැඩි ගණනක් රංගගත වුණා නොවැ.

හැබැයි ඉතිං ඔය තිරිසන් සත්තු වේදිකාවට ගේන, නාට්‍ය කියන නමින් එන පපඩම් කෝලං නං පැල් බැඳගෙන රට වටේ විතරක් නොවෙයි ලෝකෙ වටෙත් යන බව නං ඇත්ත තමයි.

ඒකෙන් පේන්නෙ නරඹන ඈයින්ගෙ බුද්ධි මට්ටම විතරක් නොවෙයි ආයිබං. ඕවා සංවිධානය කොරොන කට්ටියගෙත් බූරු මොළවල තරම තමයි. ඒ විතරක්යැ සල්ලි ගරන්න කුණු රසය වේදිකාවට ගේන නාට්‍යකාරයොයි, උං පස්සෙ යන සම්භාවනීය (?) නළු නිළි රොත්තයි කරන්නෙත් තිරිසන් වැඩක්ම තමයි.

ඒකනේ බොලංල "කකුල් හතරේ ඉලංදාරියා", "කෑම ලෑස්තියි", "ගුටි කෑමට නියමිතයි" කියල කියමින් "නරි බුරති" පෙන්න පෙන්න "බල්ලොත් එක්ක බෑ" ලෝකෙ වටේ ගෙනියන්නෙ.

ඔහොම යනකොට "ඔටුවන් එක්ක නිදි වැදීම" , "ඔටු ඉලංදාරියා" , "ඔටු කොටුව" වගේ නම් වලිනුත් නාට්‍ය පෙන්නන්න ගත්තොත් ඔටුව නං පුදුම වෙන්නෙ නෑ ඕං.

බලාගෙන යනකොට සිරිලංකාවෙ නාට්‍ය කලාවට ගොඩ එන්න මේ "බල්ලොත් එක්ක බෑ" ම තමයි...!

(-වාලුකා සිතුවිලි)

සෙරන්ඩිබ් ඔටුවා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



බොහෝ කලක සිට
බලා සිටිමි මම - ඔබ එනතුරු
තණබිම කෙළවර අයිලය වූ
වෙල්යායේ ඉම මා උපන් ගමේ...

ලෙනින් මිය ගිය දා අඳුරු වූ
ඔබේ මුහුණ දකින්නට..
අල්තීනායි රැකවරණ සෙවු
ඔබේ උරහිස දකින්නට..
අයිලයේ පාසල තැනු
ඔබේ අත් සිඹින්නට..
ගඟ මතින් ළපැටියන් එතෙර කළ
ඔබෙ දෙපා වඳින්නට..

වසන්තය ගෙවී යයි සෙමින්
ගිම්හානයත් ළඟයි දැන්
කඳු මුඳුන මත ගසෙහි
කුරුලු කූඩුව සැළෙයි..
හමන මඳ සුළඟට පවා

කනිටු විදුහලත් වැසුණා - පසුගිය වාරයේ
අන්තිමට ළමයි තුන්දෙනයි සිටියේ!
ඉතින්!
කවදාවත් නෑවිත් මගේ ගමට
ඔබ,
නතර වේවි ද!
නගරයේ ජාත්‍යන්තර පාසලේ...

-සියපත් විල (2003)

සුධර්මා සුභාෂිණී



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සිංහල බෞද්ධ සංස්කෘතික හෙජමනිය විසින් කලාවේ ආස්ථානය තිරණය කරන මොහොතක විකල්ප සංගීතය සිදු කරනු ලබන කතිකාමය මැදිහත්වීම ඉතා වැදගත්ය. ජිවිතය පිළිිබඳ අභියෝගය ස්වභාවික වෙමින් පවතින වටපිටාවක කලාවේ කාර්යභාරය කුමක් විය යුතු ද යන්න අවබෝධ කරගත් පිරිසක් ලෙස විකල්ප සංගීතකරුවන්ගේ මැදිහත් වීම වැදගත් ය. දිර්ඝ ඉතිහාසයක සිට සිංහල බෞද්ධ සංස්කෘතිකය විසින් ඇති කරනු ලැබු ආධිපත්‍යයක් සහිත රටකි ලංකාව. එවනි තැනක විකල්ප සංගීතය අර්ථයක් නැති අඬවැඩියාවක් පමණක් ඇති දෙයක් බවට ඌණනය කරන්නට බලාගෙන සිටින පිරිස අතිමහත් ය.

ජනප්‍රිය සංස්කෘතිය නියෝජනය කරනුු ලබන සාහිත්‍ය ශානර අතර ගීතය සුවිශේෂි ශානරයකි. එහිදි පවතින ගීතයට අභියෝග කරන විකල්ප සංගීතය පුද්ගල චින්තනයට ආමන්ත්‍රණය කරයි. විකල්ප සංගීතය පිළිබඳ සජිවී අත්දැකිමක් ලැබිමේ භාග්‍යය පසුගිය දිනක මට ලැබුණි. ඒ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද "Out of Bounds" සංගීත ප්‍රසංගය හරහාය. එහිදි අජිත් කුමාරසිරි, චින්තක ගීතදේව හා හැපි-ජර්නි සංගීත කණ්ඩායම ගීත ගයනා කළහ.

ආකෘතික වෙනස

විකල්ප සංගීතය විසින් ඇති කරනු ලබන ආකෘතික වෙනස, උපරි ව්‍යුහය නියෝජනය කරනු ලබන කලාව පිළිබඳ සිහිගැන්වීමකි. විකිණීම හා ලාභය බවට අන්තරීකරණය වූ ගීත සංස්කෘතියට විකල්ප සංගීතකරුවන් විසින් සපයන ආකෘතික වෙනස නිර්ප්‍රභු ස්වභාවයක් ගනී. ප්‍රේක්ෂකයා හා ගීතය අතර ගොඩනැගෙන සම්බන්ධය සවන්දීම හා බැඳුණු ක්ෂණික තෘප්තියක් පමණක් නොවේ. ඊට එහා ගිය අර්ථවත් මොහොතකි විකල්ප සංගීතය. ගීත ගයනා කරනු ලබන ස්වරූපය පවා ගීතයේ තේමාව පෝෂණය කිරීම පිළිබඳ සාධකයකි. කියන දේ තරම්ම කියන ආකරයද වැදගත් වේ යන්න එහි දී මතකයට නැගේ. අලුත් කලාවක අවශ්‍යතාව සොයා යන ගමනෙදි විකල්ප සංගීතකරුවන් විසින් ස්වකීය භාවිතාව බවට පත්කර ගනු ලබන ශෛලිය සමාජ අර්බුදය පිළිබඳ ඉඟි කිරීමකි. වචන සහ රිද්මය තාවකාලිකව යටපත් කරන ලද ප්‍රශ්න අර්බුදයේ දිගුවක් බව පසක්කර දීම වෙනුවෙන් අජිත් කුමාරසිරි වැන්නවුන් ස්වකීය ගීත තුළ භාවිතා කරනු ලබන වචන සහ රිද්මය අර්ථය තීව්‍ර කරයි.



පාර්ලිමේන්තුව

"පාර්ලිමේන්තුව ඇතුලට සඳ පායයනවා
සඳ එළියට පිස්සු හැදිලා බල්ලො බුරනවා
සිංහ පැටව් වගේ බුරනවා
බල්ලෝ හඳට යන්න හදනවා

සිංහයගේ අතට කඩුව දුන්නේ කවුද
ලෙලදෙනකොට පැනල ඇවිත් අපිව කයිද...
පුතා අහනවා
එයාට නින්ද යන්නේ නෑ
කොඩියේ සිංහයට බයයි එයාගේ කඩුවට බයයි
බල්ලො බුරනවට බයයි

අටසිය මුල් ගනන් වලදි සුද්දො කිව්වා බල්ලො මරන්න
පුතාට නින්ද යන්නේ නෑ හැමතිස්සෙම බල්ලො බුරනවා

දැන් බල්ලන්ට හරි ජයයි අපි බල්ලන්ට හරි බයයි
මේ බල්ලො සුද්දන්ට බයයි අපි සුද්දන්ට බයයි
මේ බල්ලො පිස්සොත් හැපුවා ලාභෙට
මේ බල්ලො ඔටුවොත් හැපුවා ලාභෙට
මේ බල්ලො උන් උන්වම හැපුවා තරගෙට
මේ බල්ලො අපිවත් හැපුවා

මගේ පුතා හරි බයයි
එයාට නින්ද යන්නේ නෑ බල්ලො බුරනවට බයයි
මට මගෙ පොඩි පුතා ගැන බයයි..."


ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් ආයතනයක් ලෙස සලකන පාර්ලිමේන්තුව පිළිබඳ සාමාන්‍ය දැනීම බවට පත්වී ඇති යහපාලනය පිළිබඳ මතය ප්‍රශ්න කිරීමට යොදාගෙන ඇති වචන ඉස්මතු කරන බහු අර්ථවත් බව වැදගත්ය. පාර්ලිමේන්තුව සහ බල්ලො අතර ඇතිකරන්නට උත්සාහ කරනු ලැබු අන්තර්සම්බන්ධය ඓතිහාසික මතකයක් සමග සම්බන්ධ කරයි.

"අටසිය මුල් ගනන් වලදි සුද්දො කිව්වා බල්ලො මරන්න
පුතාට නින්ද යන්නේ නෑ හැමතිස්සෙම බල්ලො බුරනවා"


සුද්දො පිළිබඳ අදහස යටත්විජිතකරණයේ සිට දේශපාලනික වශයෙන් ලංකාව ක්‍රියා කළ ආකාරය අවධාරණය කිරීමකි. එම කාරණය වර්තමානය දක්වා කැදවන්නේ පුතා යන පදය භාවිතා කිරීමෙනි. එමගින් මතුකරනු ලබන දේශපාලනික බංකොලොත්භාවය උපහාසය දනවන අයුරින් ඉදිරිපත් කරයි.

මැදිහත්වීමේ අවකාශය

විකල්ප ධාරව නියෝජනය කරනු ලබන තරුණ සංගීත කරුවන් අමතනු ලබන සමාජ සන්දර්භය පුළුල් අවකාශයක පැතිර පවතී. විශේෂයෙන් ම පශ්චාත් යුද කාලීන වටපිටාවක ජිවත්වන අපට නැවත සිතීම පිළිබඳ අඩවිය විවර කිරීමේ අවශ්‍යතාව විකල්ප ගීතය දිගින් දිගටම එත්තු ගන්වයි. විශේෂයෙන්ම මොවුන්ගේ ගීතයේ මැදිහත්වීම තරුණ පරම්පරාව සඳහා නිකුත් කරනු ලබන ආලෝකය තීරණාත්මකය. තරුණ පරම්පරාව නියෝජනය කරනු ලබන බහුතරයක් දෙනා එල්ලී සිටින සිහින ලෝකයෙන් අවදි කිරීම වෙනුවෙන් ගොඩනඟන කතිකාව තුළ එක්තරා සියුම් උපහාසයක්ද මුසුව පවතී.



"කොණ්ඩේ බැඳන්
රස්තා ඇඳන්
බොබ්මාලේ සරනවා විදී දිගේ
සුරුට්ටුවක් කටේ ගසන්
චේ ගුවේරා බිස්නස් ඇපල් කඩේ

මාලේ ගෙලේ
චේ පපුවේ
කිසිම දෙයක් නෑ ඔලුවේ

අගුපිල්වල ලැග බුදියන්
චේ ගුවේරා හරි පීචන්
වලක් බහිමින් ගයි ආතල්
බොබ්මාලේ හරි චාටර්

සැමරුම් දිනවලට වීර
තාප්පවල විජේවීර
නිවරදි මග ගන්න තෝර
සොයමුද අපි සැබෑ පාර"


රැල්ල විසින් ආක්‍රමණය කරන ලද තරුණ පරම්පරාවේ ජිවිත නැවත සිතීම පිළිබඳ අදහස ආරම්භ කළ යුත්තේ තමන්ගේ ජිවිත තුළින්ම බව ඉහත ගීතය නැවත නැවතත් පසක් කරයි. චේ ගුවේරා, බොබ් මාලේ සහ විජේවීර යනු සමාජ ප්‍රතිසංස්කරණය වෙනුවෙන් තීරණාත්මකව මැදිහත් වූ පුද්ගලයන් තිදෙනෙකි. නමුත් වර්තමාන ලංකා සමාජය තුළ ජිවත්වන තරුණ පරම්පරාව ඔවුන් අවබෝධ කරගෙන ඇත්තේ උපයුක්තතා අර්ථයෙන් ඌණතා සහිත වපසරියක සිටය. විශේසයෙන් විලාසීතාවක් බවට පත්ව ඇති ඔවුන්ගේ යටි පෙළ අධ්‍යයනය කිරීම සමාජ කාර්යයභාරයක් බව චින්තක ගීතදේව සිය ගීතය තුළ ප්‍රතිරාව නංවයි.

"චේ ගුවේරා බිස්නස් ඇපල් කඩේ"

චේ ගුවේරා සහ ඇපල් අතර පවතින සම්බන්ධය අවබෝධ කර ගැනීම දුරස්ථීකරණය කරන ලද සමාජ වටපිටාවක අපි ජිවත් වෙමු. පවතින දෘෂ්ටිවාද නැවත විතැන් කිරීමට අවැසි ප්‍රති දෘෂ්ටිවාද නිෂ්පාදනය කිරීම වෙනුවෙන් චේ ගුවේරා සහ ඇපල් නමති සංකේත එකම පසුතලයක පෙරබිමට කැඳවීම ඉතා වැදගත්ය.

ඕනෑම සමාජ සන්දර්භයකම වෙනස පිළිබඳ අවශ්‍යතාව පෙරදැරිකරගෙන ඉස්මතු වූ සමාජ කණ්ඩායම් පිළිබඳ සාමුහික මතකයක් අප සතුව ඇත. නමුත් අප විසින් අමතක කිරීමට උත්සාහ ගනු ලබන්නේත් එයමය. එසේ ඉස්මතු වූ කණ්ඩායම් අතර කලාව ඔස්සේ ස්වකීය අස්ථානයන් ප්‍රකාශයට පත් කළ කණ්ඩායම් ප්‍රමුඛත්වයක් ගනී. ඒ අතර පුසි රයිට් බඳු රුසියානු පන්ක් සංගීත කණ්ඩායම් අපට සිහිපත් වේ. ඔවුන් ද ස්වකීය හඬ නැංවූයේ පවතින පාලන තන්ත්‍රයට එරෙහිවය. එක් අතකින් රුසියානු සමාජයට සාපෙක්ෂව මෙවනි ඉස්මතු වීම් ඉක්මනින් වැලඳ ගැනීමට ලාංකිකයා අසමත් වන්නේ පවතින පාලන තන්ත්‍රය හා විදග්ධ යයි කියා ගන්නා ලාංකීය කලාකරුවන් විසින් ඇතිකරන ලද සංස්කෘතික හෙජමනිය හේතු කොටගෙනය. විකල්ප සංගීතය ඔස්සේ අජිත් කුමාරසිරි, චින්තක ගීතදේව හා එම ධාරාව නියෝජනය කරනු ලබන සියලු දෙනා පොරබඳිමින් සිටින්නේ වඩාත් සුබදායක හෙටක් වෙනුවෙනි.



දුමින්ද යූ. ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"තවත් උයනක් ජනතා අයිතියට පැවරේ"
-පුවතක්

උයනක් කියන්නේ මේකද
බට පඳුරු, තණ පිඩලි, මල් ගොමු
පහන් කණු, ගල් බංකු රොත්තක්
බලෙන් ළං කළ එකටද?

උයනක් කියන්නේ මේකද
රවුම් වනතුරු පුකවල්
ගෑනු දුවනා එකටද?

උයනක් කියන්නේ මේකද
පැතලි වනතුරු බඩවල්
පිරිමි ඇවිදින එකටද?

උයනක් කියන්නේ මේකද
චුම්බන කුදලගෙන යන්නට
කාකි විහඟුන් ඉන්න එකටද?

උයනක් කියන්නේ මේකද
දෙතොල් උල්කර ඉහළට
වැරෙන් දුම් ගුලියක් විදින්නට
අහස ඇහිරූ එකටද?

උයනක් කියන්නේ මේකද?

උයන් පල්ලෙක් ඇහැට නොගැටී
රුදුරු කප්පාදුවෙන් බේරී
හිතේ හැටියට වැඩුණු තුරු වැල්
මල් පුරෝගෙන නටන පෙදෙසක්
උයනක් නොවන්නේ ඒකද?

රුවන් බන්දුජීව



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පියා වූ සිංහයා මරා ලූ විද පියා
දවා ලූ සොයුරු දම් ඇඹෙණි කර නැඟනියා
එසේ වූ පරපුරක පෙර වරුණ කිය කියා
නියාලූ ගෙවලයෙක් සිර කළෙද කෙවිලියා

තුරු ලියත් සුසුම් ලයි ළපැටි අතු සිඳි දාක
කිරලියක අඳෝනා කැදලි බිඳ දැමු රෑක
ලෙහෙනි මුත් සිඳු සිඳීයි ඇවිලි දා දරු සෝක
සොයුරියක් මුන් හෙළී සොයුරු සෙව් දඟ ගේක

පාරමිතාවෝ පින්බර පිරුයෙන් පෙර අත් බවයේ
නිරූපිකාවෝ වටකර රජකුමරුන් සැණකෙළියේ
පිරූසිනාවෝ සිහිකර සොහොයුරු හා වැලිකෙළියේ
විබූසිකාවෝ වැළපෙති දහසක් එක රෑ එළියේ

දිනූ දා පිදූ කිරි පිඩු පිළුණු වී යතේ
සුජාතා ටෙලි බවුන් වඩවමින නිදි මතේ
ගැලූ ලේ ගඟුල පිට කකුළු නැටුමකි පුතේ
දවා ලූ මුත් සිහින පුපුරු යළි ඇවිලෙතේ

බූස්සට පායනා සඳට පා මව් ගුණේ
හාද්දක් අමුණපන් සුළඟකට දරු සෙනේ
රූස්ස වු මිනිස්කම් පැහැය හැර නඟමිනේ
ප්‍රේමයක හාස්කම් පෙන්වපන් මිනිසුනේ

රුවන් නෙලූ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"අයියව දෙන්න" කියූ විබූෂිකාට සිය මව් සෙනෙහස අහිමිකල සංහිඳියාව

දහතුන් හැවිරිදි විබූෂිකා ත්‍රිකුණාමලයේ, සෙල්වනායකපුරම් ඉපිද වන්නියට පැමිණ ජීවත් වූයේ ඇයගේ මව සමගය.

තම කුඩා කලේදීම ඇයගේ පියා හෘදයාබාධයකින් මියගියේ ය. ඇයගේ මව කුලී වැඩ කර එයින් ලැබෙන ආදායමින් ඔවුන් ජීවත් වුවාය. ඒ අතරතුර 2006 ඔක්තෝබර් 20 වැනි දින සිය නිවස අසලදී නාඳුනන පිරිසක් විසින් කළ වෙඩි තැබීමකින් විබූෂිකාට සිය වැඩිමහල් සොහොයුරා අහිමි විය. ඉන්පසු ත්‍රිකුණාමලයේ සිටීමෙන් ආරක්‍ෂාවක් නොමැති හෙයින් විබූෂිකාගේ මව අනෙකුත් දරුවන් ද සමඟ වන්නියට පැමිණ පදිංචි විය.

එතැන් සිට ඊනියා මානුෂික මෙහෙයුමේ ආශිර්වාදය නිසා තැනින් තැන අවතැන්ව ගොස් 2009 මැයි 5වැනි දින ආරක්‍ෂක කලාපය යැයි ප්‍රකාශ කළ ප්‍රදේශයේ සිටියදී එල්ලවූ ෂෙල් ප්‍රහාරයකින් විබූෂිකාගේ දෙවැනි සහෝදරයා ද ඝාතනය විය. ඉන් පසු එහි සිට අවතැන්ව සිටින විට 2009 මැයි 15වැනි දින තම තෙවැනි සහෝදරයා ද අතුරුදහන් විය.


ජයකුමාරී බාලේන්ද්‍රන් සමග විබූෂීකා

සිය සහෝදරවරැන් දෙදෙනෙකු ඊනියා මානුෂික මෙහෙයුමින් ගොදුරැ කර ගත් පසු, ඉතිරිව සිටි අනෙක් සොහොයුරා ද වන්නියේදී අතුරැදහන් වූ පසු විබූෂිකා සිය මව සමග, අතුරැදහන්කල සිය සොහොයුරා සොයමින් සෑම තැනම ඇවිද්දාය. සෑම විරෝධයකටම සහෝදරයාගේ ඡායාරූපය ද රැගෙන යමින් සිය 'අයියා' ඉල්ලා සිටියා ය. නමුත් පසුගිය මාර්තු 13වනදා සවස කිලිනොච්චියේ, ධර්මපුරම් ප්‍රදේශයේදී ඇය සහ ඇයගේ මව වන ජයකුමාරී බාලේන්ද්‍රන් ආණ්ඩුවේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්තේය. ඉන්පසු ඇයගේ මව, ජයකුමාරි බාලේන්ද්‍රන් බූස්ස රැදවුම්භාරයේ තබා, විබූෂිකා පරිවාස භාරයට පත් කල බව ප්‍රකාශ විය.

සෑම තැන්හීදීම වැළපෙමින් සිය අයියා ඉල්ලූ විබූෂිකාට, සිය මවත් අහිමි කර ඇත. කෙතරම් දුෂ්ඨ පාලනයක සෙවනැලි දෙමළ ජනයා මතට වැටී ඇතිද යන්න මෙයට වඩා පැහැදිලි කර ගැනීමට උදාහරණ අවශ්‍ය නැත. දින දෙකකට පෙර මල්වර වියට පැමිණි 13න් හැවිරිදි දැරියක් සිය මවගෙන් උදුරා පරිවාස භාරයට පත් කරන්නට තරම් "ලංකාවේ තිබෙන වා යැයි කියන සංහිදියාව" මුර්ග වී ඇතී සැටියකි. රාජපක්ෂ පාලනයේ සහජීවනය, උගත් පාඩම් යනු සිය අයියා ඉල්ලූ දැරියව සිය මවගෙන් වෙන් කිරීම ද? එය එසේ වී තිබේ. දහස් ගණනක් මිනිස් ජීවිත බිළිගත් ඊනියා මානුෂික මෙහෙයුම දියත් කල පාලනයකට විබුෂිකා වැනි දරැවෙකුගේ විලාපය ඇසෙන්නේ නැත. විබුෂිකාගේ වේදනාවේ වැලපිල්ලට වඩා රාජපක්ෂ පුතුන්ගේ ලැම්බොගිනි හඩ දකුණට ආශ්වාදජනකය. මිනිස් වේදනාවට වඩා අධිවේගී මාර්ගවල කාපට් උණුසුම, ඊනියා දේශප්‍රේමීන්ගේ උඩුබිරීම, දකුණට මිහිරිය.

රැකී, ප්‍රදීපන් පියනම, ජෙයකුමාරි සහ විබූෂිකා

විබූෂිකා සහ ඇයගේ මව ජීවත් වූ ධර්මපුරම් ප්‍රදේශයේ සංචාරය කරමින් සිටින අතරතුර, ප්‍රකට හිමිකම් ආරක්ෂකයන් සේම, විශේෂයෙන් අතුරුදහන් වුවන්ගේ පවුල් සමග කටයුතු කරමින් ඔවුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් ප්‍රබලව පෙනී සිටි ක්‍රියාධරයන් වූ රැකී ප්‍රනාන්දු සහ ප්‍රදීපන් පියතුමන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ අත්අඩංගුවට පත් වූයේ රාජපක්ෂ පාලනයේ සංහිදියාවේ සහ මානව හිමිකම්වල තත්ත්වය මැනවින් කියාපාමිනි.


රැකී ප්‍රනාන්දු
Photograph: Pat Roque/AP

ඒ පසුගිය 16 වනදා, කිලිනොච්චියේ දී ය. පසුව 18වනදා මධ්‍යම රාත්‍රි, රැකී සහ ප්‍රවීන් පියතුමන් නිදහස් කිරීමට රාජපක්ෂ පාලනයට සිදුවිය. [Read : Sri Lankan activists freed after international outcry- theguardian.com] එම මානව හිමිකම් ආරක්ෂකයින් දෙදෙනා නිදහස් කිරීම පිළිබදව මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සුරකින සමාජයක් වෙනුවෙන් වෙහෙසෙන සහ ඒ පිළිබද සංවේදී ඕනෑම අයෙක් සතුටු වනවා නොඅනු මානය. එපමණක් ද නොවේ එම මානව හිමිකම් ආරක්ෂකයින් දෙදෙනා අත්අඩංගුවට ගත් මොහොතේ සිට ලංකාවේ සිවිල් සංවිධාන සහ ජාත්‍යන්තර සංවිධාන මෙන්ම අන්තර්ජාල මාධ්‍ය ද සිය ප්‍රබල බලපෑම ඔවුන් නිදහස් කර ගැනීම සදහා යෙදවීය.

ඔවුන් නිදහස් කර ගැනීම සදහා පළ කල බෙහෝ ප්‍රකාශණ වල රැකි සහ ප්‍රවීන් පියතුමා පමණක් නොව විබූෂිකාගේ මව වන ජෙයකුමාරි බාලේන්ද්‍රන් පිළිබඳවත් සදහන් කර තිබුණේ ඇයත් නිදහස් කිරීමට බල කරමින් ය.

නමුත් තවමත් විබූෂිකාගේ මව බූස්සේ හිරකුටිය තුළය. විබූෂිකා පරිවාසයේ ය. මෙතෙක් වේලා පළ වූනු ඔවුන් නිදහස් කර ගැනීම පිළිබද ලියැවුනු වාර්තා, ඡායාරෑප ඇතුලු සියලු බලකිරීම් හුළගට ගසාගෙන ගියාක් වැනිය. රැකී සහ ප්‍රවීන් පියනම නිදහස් කිරීමෙන් පසු අතරින් පතර මතුවන බලකිරීමක් හැරෙන්නට තිබූ ප්‍රබල බල කිරීම වාෂ්ප වී ගොසිනි. (2009 මැයි 19වන විට දහස් ගණනක් මිනිස් ජීවිත පොළව මත වැලලී යන තෙක් දකුණේ බොහෝ අයත් ජාත්‍යන්තර බොහෝ ආයතනත් බලා සිටියේ ද මේ ලෙසය.)


ජයකුමාරී බාලේන්ද්‍රන් සමග විබූෂීකා
Image Credit- Eranga Jayawardena / The Associated Press- File Photo

ජාත්‍යන්තරයටත්, ලංකාවේ බොහෝ සිවිල් සංවිධානවලටත් විබූෂීකාත්, ඇයගේ මවත් අමතක වී ඇති සැටියකි. සිය රටේ මූලධර්මවාදයට එරෙහිව සටන් කළ මලාලා ගැන පත්තර පිටු ගණන් ලියූ බොහෝ අය විබූෂිකා දන්නේවත් නැති බවකි. විබූෂිකාගේ වැලපිල්ල රාජපක්ෂ ආණ්ඩුවට සේම අනෙක් බොහෝ අයටද ඇසෙන්නේ නැති ගානය. මානව හිමිකම් ගැන හංදියක් හංදියක් ගානේ දොඩවමින් ඇවිදින රාජපාක්ෂිකයන්ට විබූෂිකාගේ කදුලුවල උණුසුම දැනෙන්නේ නැති බව 'හොරට නිදන අය' හැර අනෙක් සෑම දෙනෙක්ම දන්නා දෙයකි. නමුත් ශිෂ්ඨ සමාජයන් විබූෂිකාත්, විබූෂිකා වැනි දරැවන්ගේ වේදනාව ඇසිය යුතුය. විබූෂිකාගෙන් උදුාරාගත් සහෝදර සෙනෙහසත්, මව් උණුසුමත් ඇයට ආපසු ලබා දිය යුතුය. ඔවුන්ට යුක්තිය ඉෂ්ඨ කිරීම සදහා ප්‍රබල මැදිහත් වීමක් සිදු කළ යුතුය. එසේ නොවුන හොත් විබූෂිකාලාගේ වේදනාව මහා ඝෝෂාවක් විය හැකිය. ඒ ඝෝෂාව සංහිදියාව නාමයෙන් මැර්දනයම වපුරන පාලනයට සුවසේ නිදන්නට නම් නොදෙනු ඇති.

(-විකල්ප වෙබ් අඩවියෙන්.)

සම්පත් සමරකෝන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නිමිත්ත: ‘‘පාසලට නොගොස් මා සමග උද්ඝෝෂණ වලට සහභාගි වෙමින් අයියාව ඉල්ලා හඬා වැළපෙමින් සිටියා. පාසලට යන්නැයි පැවසූ විට අයියා ආපුදෙන් ඉන්පසු ඉගෙන ගන්නම් යයි කීවා.’’පුලියම් පොක්කනයි, මුසුරන්පිටි ප‍්‍රදේශයේ මවක පවසයි. එලෙස තම අයියා සොයා ගෙන ගිය ධර්මපුරම් මහා විද්‍යාලයේ 8 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි විබූසිකා දැරියද මේවන විට කිසියම් පිරිසක් විසින් පැහැර ගැනීමට ලක්ව තිබේ.
-පුවතක් (15-03-2014)

වැහි නැති හෙණ වුණත් දුරද මේ තරම් අහසට
උණ්ඩයක හයිය කොහිද සීතල කඳුළකට
ලේ කඳු ගිල්ලත් තෙත් නොවුණු පොළොවකට
ජීවිතයක් කියන්නේ යමහලක පිනි බිඳට

පොළොවක් බදා ඉම්බත් ගැස්සෙන කැමරාවකට උස්සා
කිරුළක් මොටද මිනි මස් බුදින ලස්සන වසිලිස්සා
දැරියක් හඬන විට එකම බඩවැලක තෙත ගස්සා
නිල මැස්සෙක් වුණත් හිරි නො වැටේවිද මන්දා

මුසුවෙයි දින දින ම කළුවර කළුවරට
බෝවෙයි හැම පැය ම ලෝදිය ගිනි සැරට
නිහඬයි දුවේ නිහඬයි ලොව අප පවට
දුගඳයි කපුරු දුම දෙව් මළ කෝවිලට

හදවත පණ ගැහුණු උන් තැන තැන සුරුවම්ය
ඇවිදින මළ මිනී දැක මහ තැන් පිළියම්ය
අම්මේ රට ම අමු සොහොනය ගිනියම්ය
යක්-පේ‍්‍රතයින් කැප උණු උණු රුහිරුමය

තල් අතු මැදින් සීතල සඳ කිරණ ගලා
ධර්මපුරම් වැලිතලය ම එළිය කළා
තිස් වසරක විශාලාව උරුම නෙළා
සමනල තටුවෙ බූට් සලකුණු ඉතිරි වෙලා

දොර දොර කඳුළැල්ය හදවත් ගිනිදැල්ය
මර මර ජය පැන්ය ලොවටම සිදුහත්ය
වර වර නිදුකින්ය බවදුක සැරිසැරිය
දුර දුර මරු කටය අත ළඟ සැණකෙළිය

ඡායාරූපය: චන්ද්‍රගුප්ත තේනුවරගේ මූර්ති නිර්මාණයක්

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



එක් නිසල රූප රාමුවක් (frame) අකුරක් ලෙස සලකා, එක් අනවරත රූපාවලියක් (shot) වචනයක් ලෙස හැඳින්වුවහොත් අනවරත රූපාවලි ගණනාවක එකතුවකින් සැදුණු ජවනිකාව (scene) වාක්‍යයක් ලෙස නම් කළ හැකි වනු ඇත. එකිනෙක පිරිද්දූ ජවනිකා ගණනාවකින් සමන්විත වන රූප පෙළක් (sequence) කිසියම් රචනාවක ඡේදයක් වැන්න. ඡේද ගණනාවක එකතුවෙන් කිසියම් ලිඛිත කෘතියක් නිම වන්නේ යම් සේද කැමරා කෝණ, කැමරා ධාවන, දුර, මධ්‍යම හා සමීප රූප සංස්කරණය කිරීම මගින් කිසියම් හැඟීම් සමුදායක් ජනනය කිරීම සිනමාවේදී ප්‍රේක්ෂකයා ඇද බැඳ තබා ගැනීමට යොදා ගැනේ.

මා ඉහතින් සඳහන් කළේ සිනමා ව්‍යාකරණය හැඳින්වීම සඳහා යොදා ගත හැකි සරල ප්‍රවේශයකි. සිනමා ව්‍යාකරණය යනු චිත්‍රපටයක රූප කතා කිරීමයි. මෙවන් චිත්‍රපට අපට නරඹන්නට වන්නේ කලාතුරකිනි. ප්‍රියංකර විතානාච්චි අධ්‍යක්ෂණය කළ "සැමීගේ කතාව" යනු කලකට පසු රසවිඳින්නට ලැබුණූ සිනමා ව්‍යාකරණය නොබිඳිමින් ගොඩ නැංවූ අපූරු චිත්‍රපටයකි.

එය ලාංකික සිනමාවේ මෙතෙක් බිහිවුණ සීමිත ප්‍රමාණයක් වූ සිනමාත්මක ප්‍රකාශනයන් අතර ලා ගිනිය හැකි සිනමා කාව්‍යයකි.

"Sam’s story" නැමැති නවකතාව තුළින්ම මතු වෙතැයි සිතෙන කිසියම් ආකාරයක නොගැලපීම් තැනින් තැන දක්නට ලැබුණ ද චිත්‍රපටය ගලා යන ඉතා මටසිලිටු ලීලාවත්, රංගන ශිල්පීන්ගෙන් හා ශිල්පිනියන්ගෙන් උකහා ගෙන ඇති රංගනයත් හේතුවෙන් මේ නොගැලපීම් යටපත්වන සෙයක් දැනේ. කැමරාකරණය, ආලෝකකරණය, සංස්කරණය මෙන්ම සංගීතය ද ඒ ඒ දර්ශනය හා රූප රාමුවට උචිත ලෙස ඉතා පරෙස්සමින් තෝරා බේරාගෙන ඇති අතර තිර නාටකයට ලබා දී ඇති සත්කාරය (treatment) ඉතා ඉහළය. කලා අධ්‍යක්ෂණය මෙන්ම ඇඳුම් නිර්මාණයද කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වා ඇත.

ජගත් චමිලගේ ජීවිත කාලයකට අමතක නොවන අපූරු රංගනයත්, නිල්මිණි බුවනෙකගේ පරිණත රංග ප්‍රවේශයත් අපගේ අවධානයට නතු වේ. සනත් ගුණතිලක මෙන්ම බොහෝ කලකට පසු රිදී තිරයේ අප දකින මැණික් කුරුකුලසූරිය ද, වික්ටර් රාමනායක, කුසුම් පෙරේරා හා තෙසාරා ජයවර්ධන ඇතුළු සෑම රංගන ශිල්පියෙකු හා ශිල්පිනියක්ම ද විශේෂයෙන් ළමා නළු ජනක් චන්දිමාල් ගමගේ ද දක්ෂ ලෙස මෙහෙයවා සියුම් රංගනයන් මතුකොට ගන්නට අධ්‍යක්ෂවරයා සමත් වී ඇති බව පැහැදිලිය.

"සැමීගේ කතාව" සිනමා නිර්මාණයේ කතා සාරාංශය ඉදිරිපත් කිරීමට මා උක්සුක නොවන්නේ සිනමා නිර්මාණයක් ඇගයිය යුත්තේ එහි තේමාව හෝ කතා සාරාංශය පමණක් පාදක කොටගෙන නොවන බැවිණි.



එහෙත් ඉතා සූක්ෂම විලසින් අමුණා ඇති සිද්ධිදාමයේ උච්ච අවස්ථාවන් ගෙන හැර දක්වන්නේ කාර්මික තිර පිටපත ගොඩනගා ඇති ප්‍රබල ආකාරය සාකච්ඡා කිරීම සඳහාය.

සිනමාපටය ආරම්භ වන්නේ කතා පුවතේ අවසානයට මොහොතකට කලින් වූ සිද්ධිදාමයකිනි. එනම් වයස්ගත සැමී තමන්ට අතීතයේ දවසක සිය හාම්පුතා පොරොන්දු වූ පරිදි ලිපියක් එවාවි දැයි යන සාංකාවෙන් යුක්තව සිටින දර්ශනයකිනි. ඒ සමග අතීතාවර්ජනයක් මගින් ජීවිතයේ දීර්ඝ චාරිකාවක යෙදෙන සැමී, යළි ආරම්භක රූප රාමු පෙළ දක්වා රැගෙන එන අධ්‍යක්ෂ්‍යවරයා චිත්‍රපටය නිමාවට පත් කරන්නේ අනපේක්ෂිත ලෙස හාම්පුතා ඔහු සොයා හද්දා පිටිසර ගමේ පාලු නිවස වෙත එවීමෙනි.

රැවුල හා කොණ්ඩය වවාගත් සැමීගේ දිවිමගේ වයස්ගත කාල පරිච්ඡේදයන් චිත්‍රපටයේ ආරම්භක හා අවසාන රූප රාමුවල නිරූපණය වේ. රැවුල හා කොණ්ඩය වවා තිබූ බැවින් පළමුව රූගත කරන්නට ඇත්තේ මෙකී දර්ශන වෙතැයි අපට අනුමාන කරන්ට පුළුවන. මේ අනුමානය තව දුරටත් නිවැරදි වන්නේ සැමීගේ චරිතය නිරූපණය කරන ජගත් චමිල නම් වූ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියා මේ චරිතය සඳහාම ඇවිදීමේදී උපයෝගි කොට ගන්නා බකල් ස්වරූපය මෙම රූප රාමුවලදී එතරම් වැඩි දියුණූ වී නැති බැවිනි.

රූපගත කිරීම් ගලා යාමත් සමග ජගත් චමිල සිය පාද තබන විලාසය තව දුරටත් වර්ධනය කොට ගත්තා වැන්න. තරුණ වියේදී බකල් ගසමින් පා තබන ආකාරයත්, වයසට ගිය පසු එතරම්ම අපහසුතාවයකින් තොරව ඇවිදින ආකාරයත් මීට දෙස් දෙයි. මේ වෙනස අධ්‍යක්ෂවරයාගේ අවධානයෙන් පවා ගිලිහී ගොස් තිබීම චිත්‍රපටයේ ගුණාත්මක භාවය කෙරෙහි අඩු ලංසුවක් තබන අවස්ථාවකි.

වයස්ගත සැමී ගසක් යට හිඳගත් මොහොතේ අතීතාවර්ජනයෙහි යෙදෙන රූපරාමු ඉතාමත් නිර්මාණාත්මකය. ගසක පාමුල හිදගන්නා සැමී කුඩා අවදියේදී තමන්ට ගඩා ගෙඩියක් කඩා දීම සඳහා ගසේ අත්තක සිට තම මිතුරා ආමන්ත්‍රණය කරන හඬ ඇසී ඉහළ බලයි. එවිට ප්‍රේක්ෂකයාට පෙනෙන්නේ සැමීගේ කුඩා කාලයයි. ඉන් ආරම්භවන සිද්ධිදාමය විවිධ හැලහැප්පීම් වලට බඳුන් වන සැමීගේ ජීවිතේ විවිධ කාල පරාසයන් හරහා ඉදිරියට ගලා ඒ.

සැමීගේ බාලවියේ ගජමිතුරා අපස්මාර රෝගයෙන් පෙළෙමින් දියේ ගිලී මිය යාම චිත්‍රපටයේ පළමු උච්ච අවස්ථාවයි. ඒ මතකය සමග සැමීගේ ළමාවිය නිමා වී යළි වැඩිහිටි වියට එළැඹීම නිරූපණය සඳහා කැමරා චලනය යොදා ගන්නා ආකාරය බෙහෙවින්ම නිර්මාණාත්මකය. ගසක් පාමුල ගලක් මත හිඳ සිටින බාලවියේ සැමී, නිසල කැමරාවට හසුවේ. එම රූපය චලනය වන (track) කැමරාවකට ඡේදනය වී විශාල ගසෙන් ඉවත් වන්නේ තරුණ වියට එළැඹී සැමීගේ රූපකාය දක්වමිනි.

චිත්‍රපටයේ එන තවත් නිර්මාණාත්මක නිමේෂයක් මෙහෙදී උපුටා දැක්වීමට කැමැත්තෙමි. ඒ සැමීට රබර් කිරි කපන රස්සාවක් ඉල්ලා ගැනීමට කංකානි හමුවන ඔහුගේ මව ලිංගික සූරා කෑමට ලක්වන අවස්ථාවය. සිය පුතාට රැකියාවක් සොයා දීම සඳහා ඇයට කංකානි සමඟ නිදිවදින්නට සිදුවන බව අධ්‍යක්ෂවරයා අවධාරණය කරන්නේ ව්‍යංගාර්ථයෙන් යුතු දෙබස් ඛණ්ඩ මගිනි. එසේ නොමැතිව ඔහු ඇයව ස්ටෝරු කාමරය තුළදී පෙරළා ගන්නවා රූප රාමුවල සටහන් වන්නේ නැත.

"මං කිව්වට එක දවසකට වැඩට අරං බලන්නකෝ මහත්තයා."

"හැබැයි ඊට පස්සේ සුමනාවතිත් අපි ගැන බලා ගන්න ඕනෙ... ම්... වරෙංකො ස්ටෝරුව පැත්තෙ.... ඊට පස්සෙ බැරියැ කොලුවගෙ රස්සාව ගැන බලන්න"

මේ යෝජනාවෙන් කම්පාවට පත්ව තමන් වෙත එන මවගෙන් සැමී "ඇයි අම්මෙ" කියා බෙහෙවින් ලෙන්ගතුව විමසයි. ඇය පවසන්නේ "උඹට හෙට උදේම වැඩට ගියෑකි" කියා පමණය.

අනතුරුව ජීවිතේ විවිධ හැලහැප්පීම් වලට බඳුන්වන සැමී මුල්වරට මෙහෙකාරකමකට යන්නේ සුදු ජාතික යුවලකගේ නිවසටය. එහි මුළුතැන්ගෙයි ඉවුම් පිහුම් කරන තැනැත්තිය වෙතින් සිය ප්‍රථම ලිංගික අත්දැකීම විඳ ගන්නා සැමී ඊට ලොල් වන බවක් පෙනෙන්නට නැත. හමුදාවට යන සිය සොහොයුරාගේ මරණයත් සමග ගෙදර එන සැමී නැවතත් පළමු නිවසේ මෙහෙකාරකමට යෑමට උනන්දු නොවීමෙන් මේ බව පසක් වේ.
සැමී නැවතත් මෙහෙකාර සේවයට යන්නේ හිත හොඳ මහත්තයෙකුගේ නිවසටය.

මේ නිවසේ මෙහෙකාර වැඩපළෙහි යෙදෙන දෙමළ තරුණයා වන සෙල්වා ඔහුට ප්‍රතිචාර දක්වන ආකාරය ඉතා රළුය. වතුකරයේ ඉපදුණු සෙල්වාගේ ඒකායන ප්‍රාර්ථනය එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳීම බව පැවසුණත් එය චිත්‍රපටයට බලහත්කාරයෙන් එල්ලූ අදහසක් වැන්න. නිවසේ මෙහෙකාරකමට පැමිණි සැමී, තම කාමරයේ නවාතැන් ගැනීමට පැමිණි විට තමන්ගේ යට ඇඳුම් එල්ලූ රෙදි වැල කාමරය හරහා අදිමින් තම දේශසීමා මායිම් කරන සෙල්වා මගින් සිංහල-දෙමළ ප්‍රශ්නය ගැන චිත්‍රපටයට ලබා දෙන්නේ එතරම් ගැඹුරු විවිරණයක් නොවෙයි. විටන් විට සෙල්වාගේ හා ගෞරිගේ මුවින් නිකුත් වන දෙබස් මගින් සිහිපත්කොට දෙන්නේ සිංහලයා හා දෙමළා අතර වූ සැබෑ ප්‍රශ්න දෙස දේශපාලකයන් හෙළූ ළාමක දෘෂ්ටියයි.



83 ජාතිවාදී කලබලයෙන් පියා මිය ගිය, නිරන්තරයෙන් එල්.ටී.ටී.ඊ.යට බැඳීමට පෙරුම් පුරන සෙල්වා දෛවෝපගත ලෙස සිය ස්වාමියා එල්.ටී.ටී.ඊ. බෝම්බයෙන් මිය ගිය පසු එකී සංවිධානයට බැඳීමේ ආශාව සිතෙන් ඉවත් කර ගැනීම දක්වා උතුරේ යුද්ධයට සම්බන්ධව කියවෙන කාරණා මුල් කෘතිය මගින් හෝ තිර පිටපත මගින් කිසියම් ආකාරයකට බලහත්කාරයෙන් එල්ලූ කතිකාවක් ලෙස හැඟේ. "Sam’s story" නම් වූ නවකතාවේ අඩංගු වී ඇතැයි අප අනුමාන කරන දුර්වලතා මග හරවා ගනිමින් "සැමීගේ කතාව" චිත්‍රපටය ප්‍රේක්ෂක බුද්ධියට නිගා නොදී ප්‍රබල සිනමා කෘතියක් බවට පත් වන්නේ එහි වන කාව්‍යාත්මක ගුණය හේතුවෙනි. සමහර සිද්ධීන් විශ්වසනීයත්වයෙන් තොරවීම හෝ ඒවායේ උචිතානුචිතභාවය පසෙක ලූ කල ඉතා මැනැවින් පිරිද්දූ සිද්ධිදාමයක් අපූරු වියමනක් ලෙස සිනමා භාෂාවට නංවා ඇත්තේ ඉතා පරිණත විලාශයකිනි.

රජකතා, පුරාණකතා, ආගම දහම විකුණාගෙන කන කතා වලින් යුතු වූ චිත්‍රපට වැඩි වශයෙන් නිපදවෙන ඒවාට දේශපාලන අධිකාරියේ, සංඝ සමාජයේ මෙන්ම ප්‍රේක්ෂක ආකර්ෂණය ද නොමදව හිමිවන සිංහල සිනමාවේ "සැමීගේ කතාව" යනු සිනමාත්මක ගුණයෙන් පිරිපුන් කලෙකින් දක්නට නොලැබෙන තරමේ සුවිශේෂි සිනමා නිර්මාණයක් බව අවසන් වශයෙන් ලියා තබමි.

හෙන්රි වර්ණකුලසූරිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අන්දරේගෙන් පටන් ගත් විට එඩී ජයමාන්නත් පසු කරගෙන වර්තමානයේ ටෙනී-බන්දු දක්වා ම සියළු කවටයන් "පිරිමින්"ය. කොටින්ම "කවටයා" යන්නට ස්ත්‍රී ලිංගික පදයක් පවා සිංහල භාෂාවේ නැත. හරියටම බැලුවොත් කවටකම් සහ හාස්‍යය ඉපදවීමේ පේටන්ට් බලපත්‍රය පිරිමින්ටම ලියා දුන්නාක් මෙනි. එහෙත්, එක් දිනක් එක්තරා ආයතන ප්‍රධානියෙකුගේ සම්මුඛ පරීක්ෂණයකට "ලේඩීස්"කෙනෙක් රැකියා අපේක්ෂාවෙන් පැමිණෙයි. ඇගේ නම "ප්ලාස්ටිකා ගලපිටමඩ"ය. ඇගේ ඒ අපූරු වාසගම ඇගේ "රිලේෂන්ස්"ලා පාවිච්චි නොකරන බව ඈ කියයි. හේතුව නම් "ගල පිට මඩ නිසා ලෙස්සයි යන බය" ය. දැන් මේ කියන්නේ කවුරුන්දැයි ඔබ දන්නේ ය. ඒ ආයතන ප්‍රධානියා සැමුවෙල් රුද්‍රිගුය. ඉන්ටර්වීව් ආ අනික් දෙන්නා නම් බර්ටි සහ ඇනස්ලිය. ප්ලාස්ටිකා ගලපිටමඩ ලෙසින් ඉන්ටර්වීව් පැමිණ, එතෙක් පිරිමින් විසින් අරක් ගත් "කවටකමේ" ආයතනයේ රක්ෂාව දිනා ගත් ඈ ආදරණීය මර්සි එදිරිසිංහය. මර්සි අක්කාය.

විහිළු කරන්නට උඩ පනිමින් කණු වල හැපෙමින් කුණුහරුප කියමින් දහ දුක් විඳින නූතන "නො-කවටයන්", සිනමා තිරයේ පුංචි තිරයේ දකින දකින වාරයක් පාසා, ගිරා එෆ් එම් වලින් උන්ගේ ගොංපාට් ඇහෙන ඇහෙන වාරයක් පාසා, ඇනෙස්ලි සැමුවෙල් බර්ටි සමගින් මර්සි අක්කා එදා ගුවන් විදුලියේත් පසුව රූපවාහිනියේත් පෑ "කවට පෙළහර" අප මතකයට නැගෙයි. ඔවුන්ගේ විහිළු තහළු වලට "හා දැන් හිනාවෙන්ඩ"යැයි සිහි ගැන්වීමට රෙකෝර්ඩ් කරන ලද හිනා හඬවල් මුසු කිරීමට අවශ්‍ය නොවීය. ඒවා ට හිනා වූයේ දැන් වාගේ මැදිරි තුළ ඉන්නා ඩී.ජේ. ගිරවුන් නොව රේඩියෝව වටා රොද බැඳ ගත් සැබෑ ශ්‍රාවකයන්ය. දැන් ඉන්නා ටාසන් බාප්පලාගේ විහිළු වලට කිචි කැවීමෙන් තබා කිහිල්ල රේක්කයකින් පහුරු ගෑමෙන්වත් හිනා නොයන්නේ මන්දැයි දන්නේ උඩ ඉන්නා දෙවියන් ම පමණය.

සැමුවෙල් ඇනෙස්ලි බර්ටි විකට රජ තුන් කට්ටුව වී නම්, මර්සි එදිරිසිංහ විකට රැජිණියයි. හස-රාජිණියයි.

සිනහවට අධිපති දෙවඟන සමුගත් පුවත දැනටමත් ඔබ දනී. දැඩි ලෙස ගිලන්ව සිටි ඇගේ කලා දිවියට පණස් වසක් සම්පූර්ණ වීමට නියමිතව තිබුණේ මේ වසරේ ය. හාස්‍ය රංගන ශිල්පිණියක්, වේදිකා චරිතාංග නිළියක්, නාට්‍ය නිෂ්පාදකවරියක් සහ ගායිකාවක් ලෙස සදානුස්මරණීය මතක සටහන් රැසක් ඈ අපට දුන්නාය. ජීවන උරුමය ලෙස දහ දුක් විඳීම ඉරණම ලෙස භාර ගත් බොහෝ පීඩිත මිනිසුන්, දෛනික දුෂ්කර ක්‍රියා අවසන, එළඹෙන රාත්‍රී යාමයේ ඔබත් ඔබේ සගයනුත් ගුවනේ ඉදිකළ "විනෝද සමයෙන්" විඩා නිවා ගන්නට ඇත. ඒ හෝරාව ඇතැම් කෙනෙකුට ජීවිතයේ "රස බර සුළු මොහොත" වන්නට ඇත.

ඔබ අපට සිනහව දුන්නා ය.

ඉදින් ආදරණීය මර්සි අක්කේ, එළඹ ඇත්තේ සදාකාලික අන්ධකාරය සොයා යන මොහොතය. සිනහවෙන් මරණය පැරදවිය නොහැකි බව සැබෑය. එහෙත් සුවහසක් රසික හදවත් මත්තෙහි ඔබ යළි යළිත් උත්ථාන වන බව නම් නිසැකය.

ඔබට සුභ රැයක්...!

සුරත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ශ්‍රීලාල් සෙනවිරත්නගේ "දෝෂාභියෝගය- විධායකය සහ ව්‍යවස්ථාදායකය එදිරිව අධිකරණය" කෘතිය දොරට වැඩීමේ උළෙල 2014 මාර්තු 18 වන දින සවස 3:00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි.

මූලාසනය- මාදුළුවාවේ සෝභිත හිමි.
දෙසුම්- විජේදාස රාජපක්ෂ සහ ජේ. සී. වැලිඅමුණ.



"දෝෂාභියෝගය" කෘතිය සන්නස ප්‍රකාශනයකි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ලිංගික උත්කර්ෂය තුළ ගිලී යමින් දැනුමේ ප්‍රහර්ශය කරා පිය නැගූ සුදු බන්ඩා මා හට අභිමුඛ විය. දැන් මා සුදු බන්ඩාට සම්මුඛව මෙසේ ලියන්නෙමි. එයට පෙරාතුව යමක් කිව යුතුය. එනම් සුදු බන්ඩා යනු කව්ද යැයි කියාය. ලාංකේය සමාජයට සුදු බන්ඩා කාන්දු වනුයේ මඩවලයන්ගේ මාගම් සෝලිය හරහාය. එ කී මාගම් සෝලියේ සුදු බන්ඩා ගැනය මා මුලින් සඳහන් කළේ.

මාගම් සෝලිය යන්නට අර්ථකතනයක් කෘතිය අභ්‍යන්තරයේම ගැබ්ව ඇති බැවින් ඒ පිළිබඳව යමක් නොකීවාට කම් නැති යැයි කියා සිතුවෙමි. නමුත් එදා මෙදා තුර ලාංකේය ඉතිහාසයේ මාගම් සෝලියකට සමාන සිදුවිමක් මෙම ලියමන ආරම්භයේදීම මගේ මතකයට කඩා පාත් වෙනු ලබයි.

එනම් නිකාය සංග්‍රහයෙහි සඳහන් වන මෙ කී සිදුවීමය. එය සරළ කොට මෙසේ සාරාංශකොට දක්වන්නෙමි.

‘මෙරට කුමාරදාස රජු රාජ්‍යය කරන කාල වකවානුවේ නුවණ මුහුකුරා ගිය, නමුත් සැදැහැවත් නොවන සම්මිත්තිය නිකායේ එක්තරා මහණෙක්(නිකාය සංග්‍රහය මොහුව හඳුන්වනේ දුෂ්ඨ මහනෙක් කියාය) නිල් වස්ත්‍රයක් පොරවාගෙන රාත්‍රියේ ගණිකාවක් ඇසුරු කොට රැය පහන් වූ පසු එම නිල් වස්ත්‍රෙයන්ම පන්සලට ගියේය. එවිට ඔහුගේ ශිෂ්‍යයන් නිල් රෙද්ද ගැන විමසූ හෙයින් නිල් රෙද්දේ ආනිසංසයන් විශාල ප්‍රමාණයක් ගාථා කීපයකින් කියනු ලබන මේ පැවිද්දා අවසානයේ නීල පට දර්ශනය නමින් ග්‍රන්ථයක්ද රචනා කළේය. ඒ වන විටත් ඔහුගේ ගෝලයන් ද නිල් රෙදි පෙරවාගෙන සිටියෝය.'

ඒ නීලපට දර්ශනයේ නිල කතාවය. මේ එහි නොනිල කතාවය.

එනම් ඉහත කී පැවිද්දා තම හොර අඹුව සමඟ රාත්‍රියේ ඇගේ නිවසට වී රති කෙලියෙහි යෙදෙන විට හේනේ සිට සැමියා කුමක් හෝ වැඩකට ගෙදර පැමිණෙයි. ඔහු එන බව ඇසෙන පැවිද්දා තම හොර අඹුවගේ වස්ත්‍රයක් පොරවාගෙන පන්සලට පැන යයි. මෙය ඉතිහාස පාඩමේ අතිරේකයයි. දැන් එය පසෙකින් තබා නැවත ප්‍රධාන තේමාව දෙසට මම යන්නෙමි.

නීල පට දර්ශන‍යේ ආරම්භය සනිටුහන් වනුයේ එලෙසින්ය. එනම් නීලපට දර්ශනයට මඟ පාදන්නේත් ලිංගිකත්වයයි, ලිංගික ආශාවයි.

සුදු බන්ඩා සමාජගත කරනු ලබන ගනින්නාන්සේ/විනයවර්ධන(මේ වචන ද්විත්වයම සුදු බණ්ඩාට නොගැළපෙන ඒවා බව මගේ හැගීමයි. නමුත් වෙනත් වචනයක් මට සොයා ගත නොහැකි විය.) භූමිකාවද ආරම්භ වනුයේ රමණයට ඔහු තුළ තිබෙන අවිඤ්ඤාණික ආශාව නිසාවෙනි. ඔහු මහන උපසම්පදාව ප්‍රතික්ෂේප කරන්නේ එබැවින් යැයි කියා මම සිතමි.

සුදු බන්ඩා අතට හාමුදුරුවන්ගේ වගකීම් ලැබී සොබනී පන්සලට රැගෙන එන තෙක්ම සුදු බන්ඩාට හෙවත් ඇබිත්ත උන්නාන්සේට කිසිදු ලිංගික සබැදියාවක් තිබුණ බවට සාධක කෘතිය තුළ නොමැත. නමුත් ඔහු ඒ වන විටත් ගෝමරී සමඟ හොද හැටි රති කෙලියේ යෙදී ගෝමරීගේ බඩට කොලු ගැටයෙක්ද දී තිබුණි.

එනම් බින්දුවාය.

එමෙන්ම බින්දුවා කතාව තුළ යෝධයෙකුගේ චරිතය හෙබවීම මට දැනෙන්නේ සුදු බන්ඩා තුළ තිබූ ලිංගිකාශාව යෝධමය එකක් බව සන්කේතාත්මකව දැක්වීමක් කියාය. අනිත් අතට බින්දුවා තුළින් කතුවරයා ප්‍රක්ෂේපනය කිරීමට වෙර දරන්නේ සුදු බන්ඩාගේ විකාරරූපී (abstract) බව යැයි කියාද සිතමි. එය මෙසේ කෙටියෙන් විවරණය කරගත හැකිය. එනම් සුදු බන්ඩා යනු අතීතය තුළ නිකම් ඔහේ ජීවිතය ගෙන ගිය කොලු ගැටයෙකි. නමුත් පසුව ඔහු පන්සලට යෑමෙන් අනතුරුව වෙනස්ම චරිතයක් බවට පත් වේ. මේ සුදු බන්ඩාගේ අතීතය හා වර්තමානය යා කරන පාලම , එසේත් නැතිනම් සුදු බන්ඩාගේ මනෝමය තලය කියවා ගත හැකි භෞතිකමය දර්පණය වනුයේ බින්දුවාය.

ඒ වගේම තම අතීත ලිංගික ආශාව වර්තමානයේදී ඔහු තුළ තැන්පත් වෙන්නෙ අවිඤ්ඤාණික ආශාවක්(Desire) විදියටයි. ඒ නිසා තමයි ඔහු ගෝමරීට මේ විදියට කියන්නෙ.

‘ මං හිතුවෙ උඹ මහණ වෙයි කියලා‘
‘නෑ මං මහණ වෙන් නෑ‘

- පිටුව-44

එපමණක් නොව ගමේ ආරච්චිලාට සහ උපාසක රාළටද වරෙක ඔහු එයම වෙනත් වචන කීපයකින් කියනු ලබයි.

‘මං උන්නාන්සේ කෙනෙක් නෙමෙයි.... ඇරත් මං එහෙම වෙන්ඩ කැමතිත් නෑ... ඊටත් වඩා මට එහෙම වෙන්න සුදුසුකමකුත් නෑ... ‘
- පිටුව-103

සුදු බන්ඩා මෙසේ පැවිද්ද ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? දැන් මා හට සම්මුඛව සිටිනා සුදු බන්ඩාගෙන් මා එසේ අසන්නෙමි....
ඔහු මට දුන් පිළිතුර මෙසේ මගේ වචන වලට කැටි කරගන්නෙමි.

සුදු බන්ඩා තම අතීත ලිංගික තෘප්තිය වර්තමානය තුළ අවිඤ්ඤාණික ආශාවක් බවට පත් කොට ගෙන කෙදිනක හෝ කුටුම්බගත වීමට සිහින දැකූ අයෙකු නිසා ඔහු මහණ උපසම්පදාව ප්‍රතික්ෂේප කරන්නේය. සොබනී සුදු බන්ඩාට තමා ‘බඩ‘ කරන ලෙසට කරන ඇරයුම ඇබිත්ත උන්නාන්සේ හෙවත් සුදු බන්ඩා පැකිළීමකින් තොරව භාර ගන්නේ එබැවිනි.

කාලාවකාශය හරහා....

මාගම් සෝලියෙහි එන ප්‍රධානතම සිද්ධි දාමය වටා සිදු වන එක් ප්‍රධාන කාරණාවක් මම දකිමි. එනම් එකී සෑම සිදූවීමක්ම මඩවලයන් විසින් සමපාතකොට තිබෙනුයේ එකල පැවති දේෂපාලන පසුබිම සන්කේත ගත කරමිනි. ඒ ඔස්සේ අපට කෘතිය වර්තමාන සමාජ සන්දර්භයක් තුළ පවා කේන්ද්‍රගත කරමින් ද කතා බස් කළ හැකිය. පළමුවෙන්ම එකී කාල ගලනය හා සමපාත වෙමින් ගලන ප්‍රධාන සිදුවීම් ප්‍රවාහයේ කේන්ද්‍රීය සිදුවීම ලෙස මා දකිනුයේ ලොකු හාමුදුරුවන්ගේ අපවත්වීමය.

උන්වහන්සේ අපවත් වන්නේ ඇහැලේපොල මහ අදිකාරම්ගේ දෙටු පුත් මද්දුම බණ්ඩාරයන්ගේ හිස ගසා දැමූ මොහොතේදීය. මෙකී සිද්ධීන් යුගලය හරහා අපූරු යමක් කියවා ගත හැකිය. ලොකු හාමුදුරුවන්ගේ අපවත්වීම යනු අහස පොළව නුහුලනා මහා ඝාතනයන් සමූහයක ආරම්භයයි. එමෙන්ම අහිංසක දේශීය ජනයාගේ අහිංසකත්වය කෙමෙන් වියැකී ඔවුන් කැරලිකාර විඤ්ඤාණයකට ඇද වැටීම ආරම්භ වීමයි. එය ලොකු හාමුදුරුවන්ගේ අපවත් වීම සමඟ මනාවම ගැළපෙනුයේ මද්දුම බණ්ඩාරයන් ඇතුළු පිරිස කෘර ලෙස ඝාතනය වූ දිනයේදීම ලොකු හාමුදුරුවන් අපවත් වන නිසාවෙනි. එම කෘරත්වය තුළින් දේශීය ජනයාගේ අහිංසකත්වය(ලොකුහාමුදුරුවන්) ද ඝාතනය වෙනු ලබයි. ඔවුන් තමන්ගේ රට ආගාධය කරා රැගෙන යන රාජසිංහ රජ්ජුරුවන්ගේ පාලනය පිළිබඳව අතෘප්තියට පත් වන, ඔවුන් තුළ කම්පනයක් ඇති කළ ප්‍රධාන ධාරාවේ සිදු වීමකි එය.

‘ඒ බියකරු උදෑසන මහනුවර මහ වාසලේ වධකයන් විසින් ඇහැලේපොල මහ අදිකාරම්ගේ දෙටු පුත් මද්දුම බණ්ඩාරගේ හිස කඳින් වෙන් කෙරුණ මොහොතේ ලොකු හාමුදුරුවන්ගේ අවසන් හුස්ම ‘හෝස්‘ ගා විශ්ව අවකාශයට එක් වුණේය. '
- පිටුව-82

එමෙන්ම මෙකී විප්ලවීය දේෂපාලනමය කාල වකවානුවේ සිදු වන අනිත් ප්‍රධානතම සිදු වීම නම් උඩ රට ගිවිසුම අත්සන් කරලීමත් ලංකාවේ පාලනය ඉංග්‍රීසීන් සතු වීමත්ය. මෙය ජාතියක් වශයෙන් දේශීය ජනයා රැවටුණ ඓතිහාසිකමය අවස්ථාවකි. මෙහිදී ඉන්ග්‍රීසීන් මහනුවර අල්ලා ගන්නා විට ඇබිත්ත උන්නාන්සේ සොබනී පන්සලට රැගෙන යයි.

එසේ ගැහැණියක් පන්සලට රැගෙන යෑම සහ ඇයව එහි නවතා ගැනීම මෙතෙක් කල් ලන්දේසි, පෘතුගීසි යන ජාතීන් ද්විත්වයටම ආක්‍රමණය කරලීමට නොහැකි වූ උඩරට රාජධානිය ඉන්ග්‍රීසීන් අල්ලා ගැනීම සමඟ මනාව නොගැලපෙන්නේ නොවේද? එය මනාව ගැළපේ.

එය වනාහී ඓතිහාසිකමය වටිනාකමක් ඇති සිංහල රාජධානිය සුදු හම ඇත්තන් විසින් අල්ලා ගන්නා ලද ප්‍රථම අවස්ථාවය. එසේම සොබනී පන්සලට රැගෙන යෑමත් නිරාලයෙන් යුතුව වෙසෙන පැවිද්දන් සඳහා කැප වූ පන්සලක් වැනි ස්ථානයකට ගැහැණියක් පදිංචිය සඳහා රැගෙන යෑමත් ලාංකේය සාසන ඉතිහාසය තුළ ප්‍රථම වරට සිදු වූ සිදුවීමක්ය. මෙම සිදු වීම් ද්විත්වය කාලානූරූපව එකිනෙක මත සමපාත කරවීමට මඩවලයන් සමත් වී තිබේ.

එමෙන්ම සොබනීට නැවත සිහි එන්නේ උඩු රට ගිවිසුම අත්සන් කරලීමෙන් පසුවය. එයින් කියවෙනුයේ ලාංකේය වැසියන් අලුත් ස්ථානයක ලෝකය තුළ පදිංචි වූ බවකි යැයි කියා මම සිතමි. එතෙක් කල් සිංහල පාලනයට නතුව තිබූ ලංකාව ගිවිසුමෙන් පසුව හිරු නොබසින අධිරාජ්‍යයයේ කොටසක් බවට පත් වේ.

නමුත් සොබනී දරුවන් දෙදෙනා ප්‍රසූත කල පසු ඇබිත්ත උන්නාන්සේ ඔවුන්ව පන්සලට මදක් එහායින් තිබෙන නිවෙසක නතර කරවයි. එයින් ගම්‍ය වනුයේ මෙතෙක් කල් තිබූ එනම් උඩරට ගිවිසුමට පෙර තිබූ සැබෑ හෙළ බෞද්ධ සංස්කෘතිය තුළ තිබූ ලිංගික නිදහස ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව මෙරට ව්‍යාප්තව ගිය වික්ටෝරියානු සුචරිතවාදය නිසා යටපත් වූ බව නිරූපණය කිරීමක් යැයි කියා මම සිතන්නෙමි.

එමෙන්ම සොබනීට දාව මෙළොව එළිය දකින දරුවන් දෙදෙනාගෙන් පිරිමි දරුවා සුදුම සුදු එකකු වන අතර කෙලි පොඩිත්තිය කලුම කලු එකියකි. හෙළයා සමඟ බටහිරයන් මිශ්‍රවීම එයින් නිරූපනය වී තිබෙන අතර ඔවුන් දෙදෙනා කැරැල්ල කාලයේදී සිදු වන සෑම සිදුවීමකදීම හැඩීමෙන් අදහස් කරන්නේ ද මෙරට සහ ඉංග්‍රිසී වැසියන්ගේ උද්දාමයේ ප්‍රක්ෂේපනයකි. එමෙන්ම කලු ගැහැණු දරුවා කෙසඟ වීම යනු දේශීය කලු ජනයා කෙමෙන් ක්ෂීන වී යන බවත් පිරිමි දරුවා පුශ්ටිමත් වීමෙන් ඉංග්‍රීසීන් මෙරට වැසියන්ගේ රුහිරු උරා බී පෝසත් වූ බවත් නිරූපනය කිරීමක් නොවන්නේද?

‘ගැහැණු දරුවා කට්ට කලු වූ අතර පිරිමි දරුවා සුදුම සුදු විය. ගැහැණු දරුවා සිහින් කෙසඟ වුවත් පිරිමි දරුවා පුෂ්ටිමත් විය. ‘
- පිටුව-166

වල්ලී සහ ගෝමරී

වල්ලී සහ ගෝමරී යනු අම්මා සහ දුවයි. නමුත් සුදු බන්ඩා තම පියාගේ දෙවනි බිරිඳ වන ගෝමරී සමඟ ආතල් අරගැනීම පුන්චි රාළගේ අතටම අසු වූ විට පුංචි රාළ ද්වේශ සහගත ලෙස හැසිරී අවසානයේ සුදු බන්ඩාව පන්සලේ නතර කීරීමට ක්ෂනික තීරණයක් ගෙන එය ක්‍රියාත්මක ද කරයි.

එපමණක් නොව ඔහු ඉන් පසුව ගෝමරී සමඟ නිදි වැදීමද නොකරනු ලබයි. අවසානයේ වල්ලී කොටහලු වූ පසුව ඔහු වල්ලීව ඔහුගේ හේනේ පැලට රැගෙන යනු ලබයි. මෙහිදී පුංචි රාළ යනුත් එක්තරා ආකාරයකට ෆ්‍රොයිඩ් කියූ පූර්වජ පියාගේම තවත් එක් උප චරිතයක් බව මට සිතේ. ඔහු තම ලිංගික රාජ්‍යය වෙනකෙකු අත්පත් කරගන්නවාට නිසගයෙන්ම අකමැත්තෙන් පෙළෙන්නෙකි. පොඩි නිලමේ සමඟ වල්ලී සෙක්ස් කිරීම ආරම්භ කළ විට වැඩි කල් නොගොස්ම ඔහු අතුරුදන් වන්නේ එබැවිනි. ඔහු තුළ එ‘යුරින් බලපැවැත්වෙන ලිංගිකයේ පූර්වජ භූමිකාවට අමතරව ඔහු අධික පුරුෂාධිපත්‍යයකින් හෙබි අයෙක් බවත් (මැක්ස් වේබර් වැනි අය කියූ පුරුෂාධීපත්‍යය. එනම් පවුලේ වැඩිමල් අයෙකු විසින් අනෙකුත් සාමාජිකයන්ට ඇති කරනු ලබන බලපෑම) ගෝමරීගේ ආතලය කැඩීමට සුදු බන්ඩා පන්සලේ නතර කරලීමත් ඔහුගේ තනි කැමැත්තට වල්ලී හේනට රැගෙන යෑමත් දැක්විය හැකිය.

එමෙන්ම වල්ලී සාස්තර කීම ආරම්භ කරනුයේ ගෝමරී මිය ගොස් ඇති බව ගම්මුන්ට සනාථ කරලමිනි. නමුත් ගෝමරී ඒ වන විටත් කායිකව මිය ගොස් සිටියේ නැත. නමුත් ඇය මානසිකව මිය ගොස් සිටියාය. එ කී මානසික මිය යාම ආරම්භ වන්නේ පාරභෞතික මනෝ විද්‍යාව තුළ කියවෙනා අයුරින් පුද්ගලයෙකු වටා ප්‍රභාව දනවන අයුරින් පිහිටා තිබෙන ශක්තිය වල්ලී තම අධිමානසික හැකියාවකින් අත් පත් කරගැනීම නිසාදෝ කියාත් මට සිතේ.

අනිත් අතට ඇගේ එම ක්‍රියාවේ අනිත් ප්‍රතිපක්ෂය නම් ගෝමරී නම් වූ තම මව , තම ලිංගික සහකරුවා වන පියාගෙන් පූර්ණව ඈත් කිරලීමක් බඳුය.

බින්දුවා

බින්දුවා යනු ඇබිත්ත උන්නාන්සේගේම එක්තරා කොටසක ප්‍රක්ෂේපනයක් යැයි කියා මම ඉහත සදහන් කළෙමි. බින්දුවා තුළින් දැකිය හැකි ප්‍රධානතම කාරණය නම් බින්දුවා බ්‍රහ්මචාරී දිවි පෙවතකට අවිඤ්ඤාණිකව හෝ සවිඤ්ඤාණිකව නැඹුරු වී සිටීමයි. එනම් කෘතියේ එක්තරා ස්ථානයකදී බින්දුවා තම ශිෂ්නය තලා දාන්නේ එය මහත කුරුමිණියෙක් යැයි කියා සිතමිනි.

මා එක්තරා අවස්ථාවක ඇසූ කතාවකත් සඳහන් වන්නේ තම බිරිදගෙන් ගැලවීම සඳහා එක්තරා බමුණෙක් රහසගට තලා එය විනාශ කරගැනීමට තැත් කිරීමයි. මෙයින් බින්දුවා තුළ තිබෙන බ්‍රහ්මචාරී බව ඉස්මතු වන අතර ඇබිත්ත උන්නාන්සේත් තම අනාගත පරම්පරාවෙන් බලාපොරොත්තු වූයේ එවැනි බ්‍රහ්මචාරී බවක්දෝ කියාත් මට සිතේ.

"මං මේ ලොකු කුරුමිණියව ගලකින් තැළුවා..."
- පිටුව-88

එමෙන්ම බින්දුවා කෙතරම් බ්‍රහ්මචාරී අයෙකු වූවාද කියනවා නම්... , එනම් ඇබිත්ත උන්නාන්සේගේ අනිත් ප්‍රතිපක්ෂය වූ බ්‍රහ්මචාරී බව බින්දුවා තුළින් කොතරම් ප්‍රක්ෂේපනය වී තිබෙන්නේද යන්නට මම මේ සිදු වීම උපුටා දක්වන්නෙමි.

එනම් මැණිකා සමඟ අක්ෂි මුද්‍රා බාවනාවක ගිලී බින්දුවා මැණිකාව ‘බඩ කිරීමයි‘. මෙයින් කියවෙනුයේත් සිදුහත් කුමාරයා සහ යශෝධරා දේවිය අතර තිබූ බ්‍රහ්මචාරී දිවි පෙවත මෙන්ම මෙයත් බ්‍රහ්මචාරී වූ බවකි. එනම් බින්දුවාත් බ්‍රහ්මචාරී අයෙකු වූ බවයි(පොඩිනා බින්දුවා නිසා යම් ලිංගික සන්තර්පණයක් ලැබුවද එතනදී බින්දුවා උත්තේජක වස්තුව වූවා මිසක සූරතාන්තමය වස්තුවක් වූයේ නැත).

ලක්දිව විසූ ලක්මිණි පහනේ සන්ස්කාරක වූ ආභිධම්මික ධර්මරත්න පඩිතුමා පවා විස්වාස කළේ සිදුහත් සහ යශෝධරා අතර කායික රමණයක් සිදු නොවූ බවත් සිදු වූයේ සිදුහත් දෙමාපියන්ගේ බලපෑම මත යශෝධරාවගේ නාභිය පිරිමැද දරු ගැබක් පිහිට වූ බවත්ය කියායි. එ කී අයුරින් සිදුහත් යම් ආකාරයක සුචරිතවාදියෙක් එහෙමත් නැතිනම් බ්‍රහ්මචාරී මිනිසෙක් කිරීමට සමහර ආචාර්යවරුන් උත්සාහ කළා සේම මාගම් සෝලියේ කතුවරයා වන මඩවලයන්ද උත්සාහ කොට තිබෙන්නේ බින්දුවා බ්‍රහ්මචාරී කරවීම තුළින් පාඨකයා අභිමුවට ඇබිත්ත උන්නාන්සේගේ නිකලෙස්? (මෙහිදී සන්දර්භයානුකූලව නිකලෙස් යන වචනය මා යොදා ගත්තෙ යම් ආකාරයක ලිංගික හික්මීමක් සහිත යන්නට මිසක් පූර්ණ ආශා විරහිත වූ තත්වය නොවේ.) බව ප්‍රක්ෂේපනය කිරීමට යැයි කියා මම සිතමි.

"ඔවුහු ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, යන සියලු භාවයන් අමතක කොට රූප භාවයේ භවාග්‍රයට කිමිදී සිටියහ."
- පිටුව-286

ඉහත කී සිදුවීමේදී සිද්ධාර්ථයන් පංච කාම ගුණයන්ගෙන් තෝරා ගෙන තිබෙන්නේ ස්පර්ශයයි. මෙහිදී බින්දුවා විසින් තෝරා ගන්නා ලද්දේ රූපයයි. ඒ පිළිබඳවද ගැටළුවක් නොමැත. පංච කාමයන්ගෙන් එකිනෙකක් වෙන්ව ගෙන දරු ගැබක් පිහිටවීමට හැකි බව බෞද්ධ අටුවා සාහිත්‍යයයේ සහ පශ්චාත්කාලීනව ලියවුණ බෞද්ධ සාහිත්‍ය කෘති වල සඳහන් වේ.

ඒ අනුව පෙනී යන අනිත් කාරණය නම් මඩවලයන් මෙහිදී නෑකම් කියන ලේඛන භාවිතාව නැඹුරු වනුයේ මැජිකල් රියලිසම් පැත්තට නොව ලාංකේය බෞද්ධ සාහිත්‍යය මූලාශ්‍ර වලට බවයි. අනිත් අතට කෘතියේ එන සමහරක් මායාමය සිදුවිම් යනු දේවල් රූපකාර්ථ වශයෙන් එසේත් නැතිනම් සන්කේතමය වශයෙන් ඉදිරිපත් කළ ඒවා නොව, ඒවා හොඳ තහවුරු කිරීම් වීමය.

පැණි රස කෑමට ලොල් වන පුන්චි රාළගේ ඇගිල්ල කොට වීමෙන් අදහස් වන්නේ ඔහු කොතරම් පැණී රසට ලොල් වූවාද යන්න තහවුරු කිරීමක් පමණි. එවැනි අතිශයෝක්තියක් නිර්මාණය වනුයේද දේශීය ජන විඤ්ඤාණය ඇසුරිනි.

සමස්ථාවලෝකනය

ලාංකේය කොම්පදොරු ධනපති පන්තිය වෙනුවට එන විකල්ප ධනපති පන්තිය බිහි වන්නේ අරක්කු රේන්දය නිසාවෙන් බව කව්රුත් දන්නා කරුණකි. එ කී අයුරින් අරක්කු රේන්දයටත් පෙරාතුව ග්‍රාමීය ධනපතියා බිහි වන ආකාරය මනා ලෙස තම්බි මුදලාලි සහ සේදරා ඇසුරින් මෙම කෘතිය හරහා නිර්මාණය කොට තිබේ. එමෙන්ම අවසානයේ කැරැල්ලෙන් පසුව ගමේ වැසියන්ගේ රෝ බිය නැති කරලීමට දායක වන්නේ ලොකු හාමුදුරුවන්ගේ රුධිර බරණියයි. මෙ කි රුධිරය යනු සාකල්‍යයයෙන්ම ධර්මයම මිස අනෙකක් නොවේ. එ‘යුරින්ම කියනවා නම් සියලු රෝ දුක් සන්කා නැසිය හැක්කේ ධර්මයටම පමණි.

එමෙන්ම කැරල්ලක් පැන නගින විඤ්ඤාණය(කැරැල්ලක් පැන නගින සමාජගත විඤ්ඤාණය) පිළිබඳව කරුණු ගොනු කිරීමක් නිසියාකාරව නොවුණද පශ්චාත් කැරලි පසුබිම මනාකොට මෙහිදී නිර්මාණය වී තිබෙන්නේය. එනම් කැරල්ලකින් පසුව පැන නගින සනීපාරක්ෂන ගැටළු, ආහාර ගැටළු ආදිය පිළිබඳව නවකතාවේ කතාව තුළට රැගෙන ඒමට කතුවරයා සමත් වී තිබේ.

එමෙන්ම මෙ කී කෘතියේ ඇබිත්ත උන්නාන්සේගේ චරිතය ගැන තව තවත් තලු මර මරා සිතන විට මගේ සිහියට නැගෙන්නේ අංගුත්තර නිකායේ එන සඞ්ගාරව සූත්‍රයයි. එ කී සූත්‍රයේදී සඞ්ගාරව නම් බමුණාට පිළිතුරු දෙමින් බුදුන් වහන්සේ පවසනුයේ කාමරාගය තිබෙන මිනිසෙකුට හදාළ මන්ත්‍ර පිළිබඳව නිසි මතකයක් ගොඩ නගා ගත නොහැකි බවයි. නමුත් එම සූත්‍රයේදීම බුදුන් වහන්සේ පවසනුයේ සඞ්ගාරව කෙනෙක් කාමයන් පිළිබඳව යථාභූත නිස්සරණය නොදන්නෙහි නම් ඔහුට හදාළ මන්ත්‍ර(පාඩම්) මතකයේ තබා ගත නොහැකි බවයි. මෙහිදී සුදු බන්ඩා හෙවත් ඇබිත්ත උන්නාන්සේ යනු අධික ස්මෘතිමය ශක්තියකින් හෙබි පුද්ගලයෙකි.

ඔහු එසේ ස්මෘතියක් තබා ගැනීමෙන් මඩවලයන් මෙ කී සූත්‍ර පාඨය නිශ්ප්‍රභා කිරීමට තැත් දරා ඇති බවක් මුලින් පෙනී ගියද පසුව එය එසේ නොවන බව තහවුරු වේ. ඒ මක් නිසාවත් නොව ඇබිත්ත උන්නාන්සේ යනු කාමරාගය පිළිබඳව මනා වූ ලෙසින්ම යථාභූත නිස්සරණය යන්නේ කුමක්ද යන්න පසක් කරගෙන සිටි නිසාවෙනි.

ඒ අනුව පෙනෙන්නේ යම් පුද්ගලයෙකුට ලිංගික ප්‍රහර්ශයක් සමඟින් ආධ්‍යාත්මික ප්‍රබෝධයක් ඇති කරගත හැකි බව නොවේද? මෙය තේරුම් ගත් එකම බටහිර දාර්ශනිකයා නීට්ෂේ පමණි යැයි කියා මම සිතන්නෙමි.

"බලව මා මුහුණ දෙස රිසි රිසි මුහුණු එහි ඇත. බලව මේ මිනිසා දෙස"
- ෂරතුස්ත්‍රා- ෆෙඩ්රික් නීට්ෂේ

නීට්ෂේ යනු තම නැගෙණිය සමඟ පවා රමණයේ යෙදුන තැනැත්තෙකි. නමුත් නීට්ෂේ බුදු දහම පිළිබඳව මනා අවබෝධයක් තිබූ දාර්ශනිකයෙකි. ප්‍රතිවාදී කිතුණුවා නම් වූ ග්‍රන්ථයෙහිදී ඔහු මෙසේ ලියන්නේ එබැවින.

"බුද්ධාගම ක්‍රිස්තියානියට වඩා සිය ගුණයකින් යථාර්ථවාදී වේ...." (මෙය පිළිබඳව විවිධ වූ කියවීම් තිබිය හැකි බව මා පිළිගනිමි) නමුත් නීට්ෂේ යනු විටෙක සාන්තුවරයෙක් බදු වූ පුද්ගලයෙකි.

එනිසාම,

එ කී මිනිස් සන්තානයේ දෙබිඩි බවත්, සැබෑ දේශීය වැසියන් තුළ තිබූ ලිංගික නිදහසේ උත්කෘෂ්ඨත්වයත් ප්‍රක්ෂේපනය කරලන කැඩපතක් ලෙසටය මා මාගම් සෝලිය දකිනුයේ....

ආශ්‍රිත ලේඛන:
බුද්ධ චරිතය- බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය නා හිමි
අංගුත්තර නිකාය- බුද්ධ ජයන්ති මුද්‍රණය
නිකාය සංග්‍රහය- එල්. ගුණරත්න සංස්කරණය
විකිපීඩියා විශ්වකෝෂය
ප්‍රතිවාදී කිතුණුවා- ෆෙඩ්රික් නීට්ෂේ

බාසුරු ජයවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඒ ලුහුඬු දැන්වීම
කපා වෙන්කොට
තබා මේසය මත
පත්තරය ගෙන
නික්මෙමි.

පේමන්ට්ටෙකේ නැවතී
නැවත
නැවතත්
විමසමි
හිස් තැන
තිබුණු තැන.

අඩු ලුහුඬුකම් නැති
ලුහුඬු දැන්වීමක
උපරිම වචන කීයද?
වචනෙට තවම සීයද?

ඔබට ගේ වික්කැකි
මට අතීතය රැක්කැකි.

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails