Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



විණැන මාධ්‍ය හා කලා පදනම විසින් සංවිධානය කරන 'මැයි එක' (May 01st ) සංගීත ප්‍රසංගය මීගමුවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සහභාගීත්වය:
අජිත් කුමාරසිරි
කෞෂල්‍යා ප්‍රනාන්දු
Skitzo - කුමාරි කුමාරගමගේ
සිලිනි තුමාරා - serpent eyes
අර්ජුන මුණවීර

දිනය: 2014 මැයි 01

වෙලාව : ප.ව. 3.30 ට

ස්ථානය : කාදිනල් කුරේ මධ්‍යස්ථානය, තම්මිට, මීගමුව

විමසුම්: 0785299586, 0714334990, 0779337221



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ලාංකේය දේශපාලනයේ වාමාංශික මැදිහත්වීම් පිළිබඳ සාහිත්‍යමය මැදිහත්වීම් ප‍්‍රමාණාත්මක ව අඩු ය. වෙසෙසින් ම බරපතළ දේශපාලන බල අරගලයන්ට මුහුණ දුන් සමාජයක සාහිත්‍ය අමුද්‍රව්‍ය කෙතරම් තිබුණත් එයින් සාහිත්‍ය කෘති නිර්මාණය වූයේ අල්ප වශයෙනි. ඒ බව නොයෙක් අවස්ථාවල නොයෙක් ලේඛනයන්හි සාකච්ඡා කර ඇත.

අනෙක් අතට එකී වාම භාවිතාව අනුභූතිකොට නිමවා තිබෙන නිර්මාණයන් ද බොහෝ කොට සාහිත්‍ය රස හීන ඒවා බවත් එමෙන් ම ඒවායෙන් තව කොටසක් තමා නිරත ව සිටි දේශපාලන ව්‍යාපාරවල කි‍්‍රයාධරයන් විසින් සාහිත්‍ය තවරන්නට තැත් දරනු ලැබූ ද ස්වයං විවේචන, විවේචන හෝ ආඩපාලි බව ද නිරීක්ෂණය කළ හැකි ය. මෙකියන වාම භාවිතාව හා බැඳුණු ආනුශාංගික දේශපාලන ක‍්‍රියාකාරිත්වය පිළිබඳ ව සාහිත්‍ය නිර්මාණයක් කිරීමේ දී කතුවරයාගේ පෞද්ගලික දෘෂ්ටිවාදයන්ට නතු ව ප‍්‍රචාරකවාදයට වැටෙන්නට බෙහෙවින් ඉඩ ඇති පෙදෙසක ය, පී. බී ජයසේකර නම් නිර්මාණකරුවාගේ ප‍්‍රථම නවකතාව ලෙස ‘මරියා සිලොනිකා වස්තුව’ නම් නවකතාව අපට හමුවන්නේ . මේ කෘතිය යට සඳහන් කරන ලද වහා පෙනෙන දුර්ලක්ෂණවලින් මිදුණ කෘතියක් යැයි කිව හැකි ය.

වෙන කවරදාකටත් වඩා මෙකල වනාහි මුදල් ත්‍යාග ආදිය වෙනුවෙන් ලාංකේය නවකථා ක්ෂේත‍්‍රයේ පැන නැගුණු කුළල් කා ගැනීම්, මඩ ගසාගැනීම්, බණ අඬගෑම් බහුල ව සිදු වූ සමයකි. ‘මුදල් ත්‍යාග ඉලක්ක කර ගත් නවකථා’ යනුවෙන් නවකථා ප‍්‍රවර්ගයක් පවා නිර්මාණය කර ගන්නට තරම් දැන් දැන් මේ තත්ත්වය උග‍්‍ර ව ඇත. මෙම ලියුම්කරුගේ මිත‍්‍රයෙක් වරක් මේ මුදල් ත්‍යාග හටනට එළඹ සිටින අයෙකුට දුරකථන ඇමතුමක් දුන් අවස්ථාවක ඔහු පවසා තිබුණේ ‘තමාට වැඩ අධික ව ඇත්තේ අහවල් පුස්තකයට පොත ලියන නිසා’ බව ය. ඒ අනුව සිදු ව ඇති තත්ත්වය වටහා ගැනීම අපහසු නැත.

ලේඛකයෙකු වන සමන් අතාවුදහෙට්ටි මහතා මේ තත්ත්වය පසුගිය දා කරන ලද දේශනයක දී මෙසේ අදහස් දක්වා තිබිණි.

‘සමහර පොත් කියවද්දී ඒවා අනවශ්‍ය වැල් වටාරම්වලින් පිරිලා කියලා අපට හිතෙනවා. ඒ පොත්වල පදාස පදාස අතඅරිමින් කියැවූවත් අවුලක් නැහැ. පොත්වල ව්‍යාකරණ, මුද්‍රණ හා අක්ෂර දෝෂ ගහණයි. සමහර චරිත හඳුන්වන නම් පවා පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට වෙනස් වෙනවා. මේ පිටුවේ ඉන්න ලොකු අම්මා, ඊළඟ පිටුවේ දී පුංචි අම්මා වෙනවා. ගම මැදින් ගලන ඇළ පිටු දෙක තුනකට පස්සෙ දොළ වෙනවා.... ’

සම්මාන ඉලක්ක කරමින් ක්ෂණික ව ලියැවෙන මෙකී නිර්මාණවල සුලබ ව දකින්නට ලැබෙන මෙවන් දුර්ලක්ෂණවලින් ද මරියා සිලොනිකා වස්තුව බේරාගන්නට කතුවරයා සමත් ව තිබේ.

වාමවාදී දේශපාලන ක‍්‍රියාධරයෙකු, හිටපු අරගලකාරිනියක සේ ම ජාගර කිලිටි දේශපාලනයේ ගොදුරක් වන ඔහුගේ බිරිඳ, දක්ෂිණාංශික දේශපාලකයෙකු ප‍්‍රධාන කොට ගොඩ නගන කතා වස්තුව වනාහි ශූර කතාකරුවෙකුගේ අඩුපාඩු රහිත වියමනකි.

අනෙකා වෙනුවෙන් කිසිසේත් ම පෙනී නොසිටින, තමා වෙනුවෙන් පමණක් (බැරිම වුණොත්) පෙනී සිටිනන්වුන්ගේ සමාජයක කතුවරයා වීරයෙකු අප හමුවේ තබයි. අනෙකා වෙනුවෙන් පෙනී සිටින්නා වූ වීරයෙක් පිළිබඳ සංකල්පය පෙර අපර දෙදිගට ම පොදු වූවකි. මේ වනාහී පෙරදිග බෝධිසත්ව සංකල්පයට නෑකම් කියන පන්නයේ වීරයෙකි. ඔහු පවා නිවැරදි දේශපාලන දැක්මක් සහ වැඩපිළිවෙළක් සහිත දේශපාලන ව්‍යාපාරයක හවුහරණකින් තොර ව කේවල ක‍්‍රියාකාරකම් සහිත මිනිසෙකි.

සාධාරණ මිනිස් ලොවක් වෙනුවෙන් වන විශ්වාසය පෙරදැරි ව නොයෙක් කැපකිරීම් කරමින් නොයෙක් දේශපාලන ව්‍යාපාරයන් සමඟ එක් ව වැඩ කරන්නට එක් වූ පිරිස සුළු පටු නො වේ. එවන් බොහෝ අය නොයෙක් හේතු සාධක මත කලකිරීම් සහිත ව ඉවත් වී තමා ජීවත් වන සමාජ ආර්ථික දේශපාලන පරිසරයෙහි උභතෝකෝටිකයන්ට මැදිවෙමින් මහත් දුක්ඛිත දිවිසැරියක් ගෙවා දමති. තවත් පිරිසක් එහි ආන්තික ම ප‍්‍රතිපක්ෂය වන දක්ෂිණාංශකය වෙත එක් ව අතීතය වළ දමා ඒ මත නේක මල් ගොමු වවන්නට තැත් දරති. තවෙකෙක් වාම තැවරුම් සහිත දක්ෂිණාංශික දේශපාලන ව්‍යාපාරවල රැඳී සිටිමින් වේදනා දෙන හෘදය සාක්ෂියට පිළිතුරු සොයන්නට වෙහෙසෙති.

වැඩි ම පිරිස මේ කතාවේ එන ප‍්‍රධාන පාත‍්‍රයා ලෙස ගිණිය හැකි කරුණාපාල වැන්නෝ ය. උහු මේ ක‍්‍රමයට අවශෝෂණය වන්නට බැරි ව ක‍්‍රමයේ ක‍්‍රෑරත්වයෙන් සහ පීඩනයෙන් බැටකමින් එකලාව තම පිළිවෙත් පුරන්නට තැත් දරති. මෙනම් සපුරා ම දුකිරියවතක් බව නොකිය මනා ය. මෙහි එන කරුණාපාලගේ චරිතය විමසුමෙන් පවා ඒ දැක්ක හැකි වෙයි. ඇතැමකුට අනුව කරුණාපාල ජවිපෙ ක‍්‍රියාධරයෙකු ලෙස හඳුන්වා දුන්න ද එසේ නොවන බව කෘතියේ ආඛ්‍යානය විසින් පෙන්වා දෙනු ලැබෙයි. කරුණාපාල යනු, කිසිදු සවිමත් (මතවාදී, සංවිධානාත්මක) දේශපාලන ව්‍යාපාරයක හවුහරණක් ඇත්තෙකු නොවන බව පැහැදිලි ය. ලංකාවේ කලා සංස්කෘතික පරිසර ක්ෂේත‍්‍රවල අවකාශයන්හි මේ කරුණාපාලමය ලක්ෂණ සහිත මිනිස්සු අඩුවැඩි වශයෙන් හමුවෙති. ඔවුන්ගේ සටන් මහා දේශපාලන ව්‍යාපෘති නොවන කේවල ක‍්‍රියාකාරිත්වයන් ය. ඔවුහු දියවෙමින් පවතින්නෝ ය. ප‍්‍රකට දැන්වීම් ආයතනවල සහ රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරිත්වයන් අස කරුණාපාල වැනි ව සිට ඒ භූමිකාවෙන් සමුගත් අය දුසිම් ගණන් සොයා ගත හැකි ය.

එබැවින් මේ වියමන එබඳු ක්ෂුද්‍ර මිනිස් කොට්ඨාසයක් වෙත එල්ල කරන ලද විදුලි පන්දම් එළියක් ලෙස ද මම හඳුන්වමි. මහා සමාජය විසින් පිස්සන් යනුවෙන් හඳුන්වනු ලබන මිනිස් කොටසකි ඒ.

ප‍්‍රබන්ධමය අවකාශයකට මෙවැනි පුවතක් ගෙන ඒමේ දී පැන නගින බොහෝ ගැටලු නවකථාකරුවා විසින් ජය ගනු ලැබ ඇත. වියමන විසින් පාඨකයා ඇද බැඳ තබා ගැනීමට සමත් බස් වහරක් භාවිත කරන ඔහු සිනමාරූපී ලෙස සංකල්ප රූප මැවීමක් දක්වා තැනකට කියවන්නා රැගෙන යයි. උදාහරණයක් ලෙස තම මානසික වර්ධනයක් රහිත ගිලන් දියණිය ව ඔහු විශ්වාසය තබන්නා වූ කණ්ඩායමේ සාමාජිකයෙකු අතින් දූෂණය වන අවස්ථාව අවධානයට ලක් කළ හැකි ය. එහි දී ඔහු ‘සර්පයා’ යනුවෙන් කියා වමනය කරන්නට වෙයි. ඒ ‘සර්පයා’ නම් වදනින් ම කතාකරු සිය මව බිහිසුණු සර්පයෙකු විසින් දෂ්ට කරනු ලැබීමෙන් මිය ගිය අයුරු කීමකට කතාව ගෙන යයි. ‘සර්පයා’ යන සංකල්පය ද බුදු දහමේ මෙන් ම කිතු දහමේ ද එන ප‍්‍රබල සංකල්පයකි.

මෙකල ඉතා සුලබ ව නවකථා කෙටිකතා ආදිය රචනය සඳහා යොදා ගැනෙන කථන භාෂාමය රීතිය මඟහරින නවකථාකරු ලේඛන රීතිය ම වහල් කොට ගනියි. වියරණ දෝෂ යම් පමණකට ඇත්තේ වුව ද භාෂා භාවිතය මනරම් ය.

විවිධ ලේඛන උපක‍්‍රම භාවිත කරන කතුවරයා කෘතිය තුළ විවිධ අත්හදා බැලීම් පවා සිදු කරයි. කරුණාපාලගේ බිරිඳගේ චරිතය තම ජීවිතයේ විවිධ විෂම අවස්ථාවන්ට මුහුණ දෙත් දී ඇගේ මුවගට රබන් පදයක් නංවන කතාකරු ඈ රබන් පද ඉගෙනගත් ආකාරය කියන්නේ කතාවේ අවසන් භාගයේ මහත් උත්ප‍්‍රාසයක් සමගිනි.

පරිච්ඡේද කිහිපයක් නාට්‍යය පෙළක ආකාරයන් රචනා කර ඇත්තේ ය. එය ද එය යොදා ඇති අවස්ථාව අනුව උචිත බවක් ම පෙන්නුම් කරයි. විස්තර කෙරෙන්නේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පිළිබඳ ව වන බැවිනි.

කෘතියට නම යෙදීමේ සිට චරිත නාම ගැන්වීම දක්වා සංකේත භාවිත කරන්නට කතුවරයා සමත් වෙයි. ‘මරියා සිලොනිකා වස්තුව’ යන්නෙහි, ‘මරියා’ යන්නම ගතහොත් ක‍්‍රිස්තියානි ආගමේ ‘මරියා’ යන නාමය ඉතා ප‍්‍රකට ය. සිලොනිකා ශ‍්‍රී ලංකාව යනුයි. එවිට අප ගත යුත්තේ, දේවපුත‍්‍ර ජේසුස්ගේ ‘මව් මරියා’ යනුවෙන් ද? නැතිනම් ‘මග්දලාහි මරියා’ ගේ නාමය ද? නැතිනම් ජේම්ස්ගේ මව වන මරියා ද? කෙසේවෙතත් ශුද්ධ බයිබලයේ එන ‘මග්දලාහි මරියා’ යනු ගල් පහරවලට අභිමුඛ වූ පව්කාර කාන්තාවයි. ඈ අබිසරුලියක් යැයි කියැවෙන අතර යේසුස්ගේ උත්ථානය සිදුවන්ට මොහොතේ මව් මරියා සහ මග්දලාහි මරියා දෙදෙනා ම එහි වූ බව සඳහන් වේ. උත්ථානයේ දී පළමු ව දර්ශනය වන්නේ ද මග්දලාහි මරියාට ය. මේ සිලෝනිකාව කවර නම් මරියාට අයත් වූවක් ද?

‘මරියා සිලොනිකා වස්තුව’ ලාබ ජනප‍්‍රියත්වයත්, හදිසි ධන ලාභත් උදෙසා කරනු ලැබූ නිර්මාණ කාර්යයක් නොවන බව දකිත හැකි ය. අද්‍යතනයේ, අවශ්‍ය නැතත් ලිංගික දර්ශන මවා හෝ ඉන්ද්‍රජාලික යථාර්ථවාදය යවා තබා වල්පත ගෙන රමණ, ලිංග වර්ණනාව පමණක් හිසින් ගෙන ‘අප රැඩිකලුන් වම්හ‘යි සීහනාද නගන සමයක මෙහි රමණ අවස්ථාවන් ඉතා මනරම් ව කලාත්මක ව යොදාගෙන තිබෙන අයුරු පැසසුම් කටයුතු ය.

මානව භක්තිය හදෙහි දරාගත් මිනිසෙකු වීරයෙකු ව පරාජයෙන් තොර ව ගමනකට මග අරඹන ලෙසින් අවසන්ව ඇති කථාවේ ඔහුගේ සහායිකාවගේ මුහුණට වැටෙනවා යැයි කියන රත් පැහැය යනු, නියම වාමාංශික භාවිතාවක් වෙත හැරෙන්නැයි කියනු ලබන සංඥාවක් ද?

කෙසේ වුවත් ‘මරියා සිලොනිකා වස්තුව’ යනු ගිනියම් ලාංකේය නවකථා කතරට වට සිහිල් වැසි දියත්තක් බව කිව යුතු ය. ඒ කෘතිය පාඨක විචාරක අවධානයට නොවක් ව ලක් විය යුතු කෘතියකැයි හඟිමි.

සඳුන් ප්‍රියංකර විතානගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ "ඉර මැදියම" චිත්‍රපටයේ තිර රචනය (ප්‍රියත් ලියනගේ) සහ ඒ පිළිබඳ චන්දන සිල්වා විසින් ලියන ලද රස වින්දනයක් අන්තර්ගත කෘතිය එළි දැක්වීමේ උළෙල, මැයි 08 වන දා සවස 3.30පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


[කොටස් වශයෙන් පළ වන ලිපියක පළමු වැන්නයි.]

"දුරාතීතයේ පටන් ම මිනිසා ‘හොඳ’ හා ‘නරක’ අතරේ දෝලනය වෙමින් සිටී. සම්මත ව පවත්නා ‘හොඳ’ හා ‘නරක’ වූ කලී ජීවවිද්‍යාත්මක සංකල්පයක් නො වේ. එය සංස්කෘතිය හෝ සම්ප‍්‍රදාය විසින් අප තුළට කාවද්දනු ලැබූවකි. සමාජය තුළ මුල් බැස ගෙන ඇති ‘හොඳ - නරක’ නැත හොත් ‘යහපත’ හා ‘නපුර’ පිළිබඳ නිරීක්ෂණාත්මක පර්යේෂණයක යෙදෙන්නෝ විශිෂ්ට සාහිත්‍යකරුවෝ ය."
- කැත්ලීන් ජයවර්ධන (ධවල නිම්නය, පිළිසඳර)

පිවිසුම

සමාජයට හානිදායක, පුද්ගලයාට අනතුරුදායක බොහෝ දෘෂ්ටිවාද, පාරම්පරික වුත් සාම්ප‍්‍රදායික වුත් සාහිත්‍යය ඔස්සේ සාමාන්‍ය දැනුම බවට පත්ව ඝනීභූතව ඇත. සාහිත්‍යයෙන් විය යුත්තේ මෙම දෘෂ්ටිවාද විචාරයට ලක්කිරීම වුවද විශේෂයෙන්ම ශී‍්‍ර ලංකාවේ එය සිදුවන්නේ ඉතාමත් කලාතුරකිනි. දෘෂ්ටිවාද යනු විශේෂයෙන්ම පොදු කරුණුවලදී අදාළ වන හරයාත්මක ක‍්‍රමවේදයක් වන බවට කෙනෙකුට තර්ක කළ හැකිය. නමුත් චින්තන කි‍්‍රයාවලියක් ඔස්සේ සිදුකරන එම සමාජමය වෙනස් කිරීම, පුද්ගලයාගේ අයහපත, පීඩනය වෙනුවෙන් බොහෝවිට ක‍්‍රියාත්මක වනු පෙනේ. ආගමික දෘෂ්ටිවාදයන්ට මුවා වී සංස්කෘතික නිර්මිතයන්ට කොටු වී ඇති මෙම දෘෂ්ටිවාද තව තවත් සමාජයේ සරල සත්‍යයන් බවට පත්වීමත්, ස්වාභාවික ප‍්‍රස්තූත බවට පත්වීමත් හැරෙන්නට ඒවාට පුළුල් විචාරයක්, සාකච්ඡාවක් ලබාදීම සිදුවන්නේ නැත.

ඕනෑම සමාජයක ‘හොඳ’ හෝ ‘නරක’ හෝ තීරණය වන්නේ එම සමාජයේ තත්කාලීන අධිපති පන්තියට අවශ්‍ය ආකාරයෙන් පමණි. එබැවින් ඒවා විශ්වීය සත්‍යයන් නොවේ. සමාජයේ පැවැත්ම වෙනුවෙන් සෑම සංඝටකයක්ම ප‍්‍රති- නිෂ්පාදනය වීම අවශ්‍යය. එනම් සමාජ විඥානය යනු අනවරතව ප‍්‍රති-නිෂ්පාදනය වන්නකි. එසේ ප‍්‍රති- නිෂ්පාදනය වන සමාජ විඥානය ‘ඊයේ’ සමාජ පැවැත්මේ පිළිබිඹුවක් ලෙස හෝ හුදෙක් ‘අද’ සමාජ පැවැත්ම සඳහා පමණක් හෝ උචිත වන අයුරින් ප‍්‍රති-නිෂ්පාදනය වීමේදී එතුළ ඇත්තේ අතිශය ප‍්‍රතිගාමී ස්වරූපයකි. නමුත් අපට අවශ්‍ය වන්නේ යහපත් හෙටක් වෙනුවෙන් සමාජ විඥානය ප‍්‍රති-නිෂ්පාදනය වීමේ කාලීන අවශ්‍යතාවයි. ඒ සඳහා ජාතික හීනමානය හෝ අභිමානය කරපින්නා නොගත් පුළුල් ගවේෂණ මාවතක් අවැසිය. එය ස්වාධීන, විවෘත සේම සැබැවින්ම විද්‍යාත්මක විය යුතුය. ඒ වෙනුවෙන් ගත හැකි මූලිකම වෑයම වන්නේ ගැටලු සහිත සියලුම පැරණි මාවත් පිළිබඳව බියෙන් සහ අන්ධ භක්තියෙන් තොරව ප‍්‍රශ්න කිරීමේ අවශ්‍යතාවයි.

‘සත්‍ය’ සහ ‘දෘෂ්ටිවාදය’ අතර පවතින්නේ අතිශය ප‍්‍රතිවිරුද්ධ සම්බන්ධයකි. එනම් දෘෂ්ටිවාද යනු වැඩිපුරම අසත්‍යයේ පිළිබිඹුවක්ම වීමයි. එක් දෘෂ්ටිවාදයකට ‘අසත්‍ය’ වන ප‍්‍රස්තූතයක් තවත් දෘෂ්ටිවාදයකදී ‘සත්‍යය’ විය හැකිය. එබැවින් එය සාපේක්ෂ කරුණක් වන බව නොදැන ආධානග‍්‍රාහී වී දෘෂ්ටිවාද වැළඳ ගැනීමෙන් සිදුවන්නේ පුද්ගලයාට වඩාත් සකී‍්‍රයව දිවි ගෙවිය හැකි සර්ව සාධාරණ පුරවැසිභාවය වෙනුවට ‘අර්ධ පුරවැසිභාවය’ සහිත ජීවිතයකට උරුමකම් කීමට සිදු වීමයි. අවාසනාවකට එය සිදු වන්නේද පුද්ගලයා නොදැනමය. තමා විසින් තවත් පිරිසකගේ, පන්තියකගේ අවශ්‍යතාවක් වෙනුවෙන් සේවය කරන්නේය යන්න බව නොදැනමය. ඒ තරමටම ඇතැම් දෘෂ්ටිවාද සාමාන්‍යය වූ ප‍්‍රස්තූතයන්ව සමාජ දේහයේ සංසරණය වෙයි.

කර්තෘක පදාර්ථයන් වන, අසත්‍යයේම ප‍්‍රතිබිම්බයන් පමණක් බොහෝවිට බලාත්මක වන හුදෙක් කල්පිතයන් පමණක් වූ මෙම දෘෂ්ටිවාද, ප‍්‍රශ්න කිරීමත්, විචාරයට බඳුන් කොට ප‍්‍රති-නිෂ්පාදනය කිරීමත්, එසේම ඒ ප‍්‍රති- නිෂ්පාදනය මඟින් පුද්ගල විඥානය ආධානග‍්‍රාහී වීම වැළැක්වීමේ කාර්යයත් පැවරී ඇත්තේ සාහිත්‍ය හා කලාව වෙතය. නො එසේනම් කලාකරුවා වෙතය. නියම අධ්‍යාපනය විසින් දරුවාට ඉගැන්විය යුත්තේ සංස්කෘතිය කටපාඩම් කරවීම නොව. තමන්ගේ සංස්කෘතිය, අනන්‍යතාව, සම්මතය හා සම්ප‍්‍රදාය අවිචාරයෙන් ධාරණය කරගැනීමට පෙළඹීම යනු අධ්‍යාපනය නොවේ. කිසියම් අපේක්ෂාවක් හෝ අපේක්ෂාවන් රැසක් වෙනුවෙන් හෝ සිය ආත්මය පාවාදීමක් පමණකි. තමන්ගේ සංස්කෘතියේ ගැටලු සහගත තැන් දකිමින් ඒවා සංස්කරණය සහ සංරක්ෂණය ද කරමින් සංස්කෘතිය අලුතින් නිර්මාණය කිරීමට දරුවන් උගත යුතුය. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල මට්ටමේ තෘතීය අධ්‍යාපනයේදී හෝ මෙම අවශ්‍යතාව අධ්‍යාපනයට ඇතුළත් විය යුතුය. අවාසනාවකට එය එසේ සිදු වනු අපට නොපෙනේ.

ඒ අනුව කලාව බිහි විය යුත්තේ ගැටලු රැසක් මධ්‍යයේ පවතින සමාජ තත්වයන්ම යළි යළිත් ස්ථාපනය කිරීමේ හෙවත් ප‍්‍රති නිෂ්පාදනය කිරීමේ ශක්‍යතාවකින් නොව, එම තත්වයන් පිළිබඳව විමර්ශනාත්මක දෘෂ්ටියෙන් බැලීමේ ශක්‍යතාවෙන් යුතුවය. තවත් ආකාරයකින් කියන්නේ නම් සංස්කෘතියේ ‐ සදාචාරයේ නාමයෙන් පුද්ගලයා මරා දැමීමට හෝ සිර කර තැබීමට හෝ නොව, සමාජයේ සෑම සියලු දෙනාගේම යහ පැවැත්ම වෙනුවෙන්ය. අප විසින් මෙම විමසුම සිදු කිරීමට මූලික වශයෙන්ම බලපෑවේ අද අපගේ සාහිත්‍ය හා කලාව ස්ථානගතව පවතින ශෝචනීය අඩවිය පිළිබඳව පෙන්වා දීමේ දැඩි අවශ්‍යතාවයි. ඒ සඳහා දෘෂ්ටිවාදය නමැති සංකල්පයේ සිට ඒ ආශ‍්‍රිත සෙසු සංකල්ප ඔස්සේ දිවෙමින් අපගේ සංවාදය අරඹමු.

දෘෂ්ටිවාදය යනු කුමක්ද?

වර්තමානයේදී සාහිත්‍ය- කලා අධ්‍යනයට යොදා ගනු ලබන බහුල භාවිතාවක් වශයෙන් දෘෂ්ටිවාදය හඳුනා ගැනේ. දෘෂ්ටිවාදය පිළිබඳව කතා කිරීමේදී ඒ ආශි‍්‍රතව නිපන් තවත් වචන රැසක් ඇත. ‘දෘෂ්ටිමය’ ලෙස හඳුන්වන්නේ ඇස රැවටීමයි. ‘දෘෂ්ටි ජාල’ යනු වැරදි විශ්වාස නමැති දැලයි. ‘දෘෂ්ටි පථය’ ලෙස ගනුයේ ඇසට හෝ මනසට පෙනෙන තෙක් මානයයි. ඒ අනුව ඇසට හෝ මනසට පෙනෙන තෙක් මානය පමණක් පිළිබඳ කතිකාව ලෙස දෘෂ්ටිවාදය යන්න සරලව හඳුනාගත හැකිය. ‘දෘෂ්ටිවාදය’ යන වචනය නිර්මාණය කරන ලද්දේ යුරෝපීය භාෂාවන් තුළ දෘෂ්ටිවාද සංකල්පය ප‍්‍රචලිත කිරීමට මූලාධාර වන ලිපි රැසක්ම ලියන ලද ‘ඩෙස්ටට් ද ටේ‍්‍රසි’ ඇතුළු පිරිසයි. ඔවුන් එය විග‍්‍රහ කරනුයේ ‘දෘෂ්ටිවාද යනු අදහස් න්‍යායගත කිරීමේ උත්පාදක වස්තුවකි’ යන්නයි. එනම් සමාන අදහස් දරන පන්තීන් සිය අවශ්‍යතාවන් වෙනුවෙන් ඒකරාශී වීම යන අර්ථයෙනි. විමල් දිසානායක විසින් දෘෂ්ටිවාදය යන වචනයෙහි ගැබ්ව ඇති විවිධ අර්ථ ඡායා එකොළහක් දක්වයි. එනම්,

01. සමාජ ජීවිතයෙහි විවිධ අර්ථ, සංඥා හා සාරධර්ම නිෂ්පාදනය කරන ක‍්‍රියාදාමය දෘෂ්ටිවාදයයි.

02. කිසියම් සමාජ කණ්ඩායමකට හෝ පන්තියකට හෝ ආවේණික වූ චින්තන සමුදාය දෘෂ්ටිවාදයයි.

03. කිසියම් ජන සමූහයකට සිය බලය තහවුරු කරගැනීමට ඉවහල් වන ව්‍යාජ සිතිවිලි රටාව දෘෂ්ටිවාදයයි.

04. ක‍්‍රමානුකූලව සියුම් ලෙස විකෘති කරන ලබන සන්නිවේදනය දෘෂ්ටිවාදයයි.

05. පුද්ගලයාට සිය ආස්ථානය පෙන්නුම් කරන බලවේගය දෘෂ්ටිවාදයයි.

06. සමාජ ලාභාපේක්ෂාවන් මඟින් හසුරුවනු ලබන මනෝවෘත්තිය දෘෂ්ටිවාදයයි.

07. සමාජ සංකථන සහ බල නිෂ්පාදනය ඒකාබද්ධ කරන්නා දෘෂ්ටිවාදයයි.

08. පුරවැසියන් තමන් අවටැති ලෝකයට අර්ථාරෝපණය කිරීමට මඟ සලසන්නේ දෘෂ්ටිවාදයයි.

09. භාෂාව හා විෂය ලෝකය අතර ව්‍යාකූලත්වයක් මතු කරනු ලබන්නේ දෘෂ්ටිවාදයයි.

10. සමාජ සංව්‍යුහයට අනුව ජීවත් වීමට පුද්ගලයන්ට අනුබල දේන්නේ දෘෂ්ටිවාදයයි.

11. කෘතක සමාජ සම්මුති වලට ස්වභාවික යථාර්ථයක ස්වරූපය ආරෝපණය කරන්නේ දෘෂ්ටිවාදයයි.

ඉහත කරුණු අනුව පෙනී යන්නේ දෘෂ්ටිවාද වලින් තොරව සමාජයකට පැවතිය නොහැකි බවයි. විවිධ දාර්ශනිකයන්ගේත්, විශ්ලේෂකයන්ගේත් ඇතැම් අදහස්වලින් පෝෂණය ලැබ දිසානායක විසින් ගෙනහැර දක්වන මෙම අදහස තුළින් ඕනෑම පුද්ගලයෙක් කිසියම් හෝ දෘෂ්ටිවාදයක කුලකයක් වන බවද පෙනී යයි.

සත්‍ය හා අසත්‍ය යන දෙකෙහිම එකතුවක් ලෙසින් කි‍්‍රයාත්මක වන දෘෂ්ටිවාද වැඩිපුරම අසත්‍ය රූපී වේ. තවත් අයෙකුගේ මතයක්, අවශ්‍යතාවක් වෙනුවෙන් හැමවිටම පෙනී සිටියි. මතවාදය, දෘෂ්ටිවාදය, දෘෂ්ටිවේදය යනාදී පර්යායන්ගෙන් ද හඳුන්වනු ලබන්නේ මෙම දෘෂ්ටිවාදයමය.

දෘෂ්ටිවාදය පිළිබඳව සමාජයේ පවතින්නේ විවිධාකාර මතයන්ය. ටෙරී ඊගල්ටන් දක්වන ආකාරයට "දෘෂ්ටිවාදය සමස්තයක් ලෙස සමාජය පිළිබඳව සත්‍ය වූ දැනීම ලබාදීමෙන් වළක්වයි."

දෘෂ්ටිවාදයෙන් බොහෝවිට සිදුවන්නේ අසත්‍ය භාවිතකරමින් සත්‍ය වසා දැමීමයි. සමහර දෘෂ්ටිවාද හිතාමතාම නිර්මාණය කරයි. සමහර ඒවා ඉබේම ඇතිවේ, එනම් කාලාන්තරයක් තිස්සේ කි‍්‍රයාත්මක වීම තුළින් සාමාන්‍යකරණය වී ඇත. හිතාමතා නිර්මාණය කරන ලද දෘෂ්ටිවාද කිහිපයක් පහත අයුරින් පෙළගස්වමු.

* යුදෙව්වන් යනු ලොව අවාසනාවන්තම ජාතියයි. නාසීන් යනු ලොව ශ්‍රේෂ්ඨතම ජාතියයි. (හිට්ලර්)

* බොදුබල සේනා සංවිධානය විසින් ඉස්ලාම් ආගම පිළිබඳ දක්වන අන්තවාදී අදහස්.

* ගොවිගම කුලය ලංකාවේ බ‍්‍රාහ්මණ පැළැන්තිය බවත් සෙසු කුල ඊට පහත් බවත්.

* ස්ත‍්‍රිය හා පුරුෂයා අතර පැවතිය යුත්තේ පුරුෂයාට මූලිකත්වය හිමිවන අයුරින් වූ සම්බන්ධතාවකි.

* සරත් ෆොන්සේකා ජනාධිපති වුවහොත් දැඩි මර්දනකාරී පාලනයක් දියත් කරනු ඇතැයි ඉඩි අමීන් චිත‍්‍රපටය ඔස්සේ ජනතාවට හෙළිදරව් කොට ඔහුගේ දේශපාලන ව්‍යාපාරය වසා දැමීම.

යනාදිය සත්‍ය ලෙස ආරූඪ කොට සමාජය වෙත ඉදිරිපත්කරන ලද ව්‍යාජයන් කිහිපයක් පමණි.

විමල් දිසානායක පෙන්වා දෙන ආකාරයට "බලය තහවුරු කිරීම සඳහා සමාජ අර්ථ සංවිධානය කිරීම දෘෂ්ටිවාදයෙහි මුඛ්‍ය ලක්ෂණය වේ. මේ සඳහා ජනතාව අතර සාවද්‍ය දෘෂ්ටියක් ඉතා සියුම් ලෙස ප‍්‍රචලිත කිරීමට සිදු වේ. බොහෝ විට ජන සමාජයෙහි බලය අත්පත් කොටගෙන ඇති පුද්ගලයන් විසින් සිය වාසිය සඳහා ස්වාභාවික ප‍්‍රපංච හා ප‍්‍රවණතා ලෙස සමාජයට ඒත්තු ගන්වා ඇති බොහෝ දේ අතිශයින් කෘතක පදාර්ථයෝ වෙති. " තර්කානුකූලව හෝ විද්‍යාත්මකව හෝ නිවැරදි නොවන අදහස් මාලාවක් යම් පිරිසක් විසින් තමන්ට වාසිදායක ලෙස සමාජගත කොට පවත්වාගෙන යාම දෘෂ්ටිවාදයයි. එබැවින් මෙවැනි දේ ප‍්‍රශ්නකිරීමකින් තොරවම බාර ගැනීමට හෙවත් අන්තරීකරණය කරගැනීමට පුද්ගලයා පෙළඹී තිබේ. පවතින ආකාරයෙන්ම පවත්වාගෙන යාම රාජ්‍යයටද ඉතා පහසුය. උදාහරණයක් ලෙස කාන්තාව සමාජයේ ඉහළට පැමිණීම නොකළ යුතුය, පුරුෂයාගේ සහායිකාවක් විය යුතුය. වැනි අදහසක් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම තුළින් කාන්තාවන් රැකියා ඉල්ලා හඬ නැඟීම, කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම යන සංසිද්ධීන් පහසුවෙන්ම පාලනය කරන්නට රාජ්‍යයට හැකිය. එනිසා රාජ්‍යය විසින් සිදුකරන්නේ ‘කාන්තාවට රැකියා අවශ්‍ය නැත’ යන දෘෂ්ටිවාදය සාමාන්‍යකරණය කොට පවත්වාගෙන යාමයි. ‘අපි දුප්පත් වෙන්නෙ අපේ ගිය ආත්මෙ කර්මය නිසා, මේ ආත්මෙදිවත් පින් කර ගන්න ඕනෑ’ වැනි අදහස් ජන විඥානය තුළ රෝපණය වී ඇත්තේද ආගමික දෘෂ්ටිවාදී මායාවක් ලෙසින්ය. ‘දෘෂ්ටිවාදය යනු දාර්ශනික, දේශපාලනික, ආගමික, සදාචාරමය සහ සෞන්දර්ය විද්‍යාත්මක මත පද්ධතියකි. මෙය අවසාන විශ්ලේෂණයේදී සමාජ පංති වල වුවමනාවන් ප‍්‍රකාශ කරයි’ යන අදහසට අනුව බලන කල ආගමික, ආර්ථික, දේශපාලනික හෝ සෞන්දර්ය විද්‍යාත්මක වුවමනාවන් දෘෂ්ටිවාද වෙතින් පිළිඹිබු කරයි.

‘අම්මේ ඔයාට රසට උයන්න පුළුවනි, ඔයාගෙ කෑම නම් මරු, ගෙදර බුදුන් අම්මා’ යනාදිය තුළ වුවද ඇත්තේ රූපමය ආකාරයේ දෘෂ්ටිවාදයි. අපි දැන හෝ නොදැන හෝ ආදරය, ප‍්‍රශංසාව, කරුණාව සහ අගය කිරීම යනාදී ස්වරූපයෙන් වුවද දෘෂ්ටිවාද ක‍්‍රියාත්මක විය හැකිය. එය සෘජුව හෝ වක‍්‍රව කිසිවෙකුගේ හෝ කිසියම් පිරිසකගේ වුවමනාවක් වෙනුවෙන් සේවය කරන්නකි.

දකෂිණාංශික, වාමාංශික හෝ ස්වාධීන හෝ වේවා දේශපාලනයේදී ‘සංස්කෘතිය’ හා ‘සම්ප‍්‍රදාය’ පිළිබඳ විශේෂ ලැදියාවක් දක්වයි. එයට හේතුව සංස්කෘතිය හා සදාචාරය යන ප‍්‍රපංචයන් යනු ජනතාව විසින් අන්තරීකරණය කර ගත්තක් වීමයි. එහි බල මහිමය ප‍්‍රයෝජනයට ගන්නා පාලකයා සම්ප‍්‍රදාය හා සංස්කෘතියට මුවා වී තම අවශ්‍යතාව ඉටු කර ගන්නට පෙළඹේ.

* පසුගිය දිනෙක කොළඹ ප‍්‍රධාන පෙළේ පාසලක ගුරුවරියක් තමාගේ ස්ථාන මාරුවට එරෙහිව පාසැලේ වහලයකට නැඟී සිදු කළ සත්‍යග‍්‍රහය වසා දමන ලද්දේ ‘ගුරු - සිසු සබඳතාවේ බෞද්ධ ආදර්ශය’ වන ‘සිඟාලෝවාද සූත‍්‍රය’ ආශ‍්‍රය කර ගෙනය.

* විශ්ව විද්‍යාල සිසුන් ගෙන ගිය පන්ති වර්ජන හා උද්ඝෝෂණවලට තිත තැබුවේ සංස්කෘතිය හා සදාචාරය ගෙනහැර දැක්වීමෙන්ය.

පාලකයා විසින් සංස්කෘතික කාරණා සහ සම්ප‍්‍රදාය ගෙනහැර දැක්වූ වහාම ජනතාව නිහඬ වේ. පාලකයාව පිළිගනී. ජාතික ඇඳුම පසුපස්සේ ඇත්තේ දෘෂ්ටිවාදී මායාවන් බව නොදන්නා ජනතාව සංඛේතානුසාරී දෘෂ්ටිමය සුදු ඇඳුම පිළිගනී. ඕනෑම ප‍්‍රපංචයක්, ප‍්‍රවාදයක් සංස්කෘතිය තුළ දිගින් දිගටම දියත්වීම තුළින් ඒවා සාර්වස්ති‍්‍රක අර්ථ බවට පත් වේ. මෙවැනි සංස්කෘතික කාරණා ඝනීභූත වූ කල ඒවා ප‍්‍රශ්න කිරීමකින් තොරවම පිළිගනී. ‘සංස්කෘතික අන්ධස්ථාන’ හෙවත් ඉංග‍්‍රීසියෙන් Cultural Blind Spots ලෙස විද්වතුන් විසින් හඳුන්වනුයේ මෙම තත්වයයි. එනම් මිනිසා සංස්කෘතියේ නාමයෙන් සිය විචාර බුද්ධිය හකුළුවාගනු ලැබූ අවස්ථාවන් යන අර්ථයෙනි.

උක්ත ගුරුවරියගේ කාරණාව එළියට පැමිණෙන්නේ සංස්කෘතික කාරණාවක් ලෙස විනා ආර්ථිකමය කාරණාවක් ලෙස නොවේ. ඇයගේ රැකියාව වෙනත් පාසලකට මාරු කිරීම තුළින් ඇයගේ සුපුරුදු සේවාව, තම පවුලේ ඇතිවන විතැන්වීම හා හේතුවක් නොමැතිව සිදු වූ ස්ථාන මාරුවෙන් ඇතිවන මානසික බලපෑම ගැන කතා කිරීම වෙනුවට ‘ගුරුවරියක් වහලයක නැඟී නොසන්ඩාල ලෙස හැසිරෙයි’ යන හිසින් යුතුව සමාජයට දැනුම් දී ඇයගේ ප‍්‍රශ්නය සංස්කෘතික කඩතුරාවකින් වසා දමනු ලැබිණි.

වර්තමාන ශී‍්‍ර ලංකාව තුළ ති‍්‍රවිධ හමුදාවට හිමි වී ඇති සංස්කෘතික වටිනාකම, ආගමික ශ‍්‍රාවකයින්ට හිමි වී ඇති වටිනාකම, ගුරුවරයාට හිමි වී ඇති වටිනාකම ආදිය පිළිබඳ අවධානය දී බලන්න. ‘රට දැය බේරාගත් වීර සෙබළු’ යන අරුතින් ත‍්‍රිවිධ හමුදාවට ලැබී ඇත්තේ සුවිශේෂ සංස්කෘතිමය වරප‍්‍රසාදයකි. ඔවුන් විසින් සිදුකරනු ලබන විවිධාකාර සමාජ අපචාර හා දූෂණ පිළිබඳව විශේෂ ප‍්‍රශ්න කිරීමක් නොකරයි. ඔවුන් පිළිබඳ ප‍්‍රශ්න කිරීම් සහිත නිර්මාණ බිහිවූවත් ඒ තුළින් රාජ්‍යයේ හිස්තැන් ද හෙළිදරව්වන හෙයින් එම නිර්මාණ වාරණයට ලක්වේ. අප විසින් මෑතකදී සිදුකරනු ලැබූ කිසියම් සෝදිසියකට අනුව ලංකාවේ ඕනෑම පුවත්පතක වැඩිම වාර ගණනක් අපරාධ දූෂණ චෝදනා ලැබ සිටිනුයේ ත‍්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් වීමම මෙම තත්වයට උචිත සාක්ෂියකි.

ගුරු වෘත්තිය වනාහී සංස්කෘතිකමය වටිනාකම් අතරින් ඉහළින්ම පිළිගැනෙන වෘත්තියකි. සංඝරත්නය යනු ද ඊටත් වඩා පූජනීයත්වයෙන් ගැනෙන සංකෘතිමය තලයන්ගේ ඉහළම නියෝජනයයි. ‘වත්මන් ලංකා සමාජ වපසරිය තුළ සමාජ අපරාධ රැසක නිර්මාතෘවරු මෙම සංඝරත්නයයි’ කිවහොත් එය කීමම පවා නින්දා සහගතය යනුවෙන් පිළිගැනීමට තරම් අප සමාජය අන්ධස්ථාන වෙත පියමැන හමාරය.

විශේෂයෙන්ම විශ්වවිද්‍යාල මට්ටමේදී පවා මෙම සංස්කෘතික අන්ධස්ථාන අන්තරීකරණය කරගෙන සිටින අවස්ථා අපට හමුවේ. පසුගිය වසරක අපගේ සහෝදර ශිෂ්‍යාවක විසින් නිර්මාණය කළ එක්තරා කෙටි නාට්‍යයක් ‘සරච්චන්ද්‍ර වළේ’ ප‍්‍රදර්ශනය කිරීමට විරුද්ධත්වය එල්ල විය. එයට හේතුව වූයේ එහි වූ භික්ෂු චරිතයක් විසින් මත්ද්‍රව්‍ය භාවිතකොට ස්තී‍්‍ර දූෂණයට යොමුවීමේ දර්ශන අවස්ථාවක් අන්තර්ගත වීමයි. තමන්ගේ සැබෑ ජීවිතය කලාව තුළින් නිරූපණය වන විට එයට විරුද්ධව නැඟී සිටීමට තරම් පහත් තළයකට අද අපේ කලා රසඥතාව ඇද වැටී ඇත.

සම්භාව්‍ය මාක්ස්වාදයට අනුව ‘දෘෂ්ටිවාදය’ යනු අනවශ්‍ය දෙයකි, පුද්ගලයාව තලා පෙළීම සඳහා පාලකයා විසින් නිපදවා ගත් උපකරණයකි. පළමු වරට දෘෂ්ටිවාදය පිළිබඳව න්‍යායාත්මක විග‍්‍රහයක් කරන කාල් මාක්ස් ‘දෘෂ්ටිවාද යනු මිනිසෙකුගේ හෝ සමාජ කණ්ඩායමක මනස පාලනය කරන අදහස් හා නිරූපණ පද්ධතිය වේ.’ යනුවෙන් දක්වයි. මිනිස් සමාජයේ ද්විත්ව භේදනයක් දක්වන මාක්ස් උපරි ව්‍යුහය (Super Structre) සහ අධෝ ව්‍යුහය (Base Structre) ලෙසින් ඒවා නම් කරයි. අධෝ ව්‍යුහය නියෝජනය කරන්නේ තාක්ෂණය හා නිෂ්පාදන (ආර්ථික) බලවේග වන අතර උපරි ව්‍යුහය විසින් නීතිය, ආගම, දෘෂ්ටිවාද, කලාව, දැනුම, සංකල්ප වශයෙන් වූ සංස්කෘතිකමය කාරණා නියෝජනය කරයි. අධෝව්‍යුහයේ පවතින ආශාවන් හා වුවමනාවන් සෘජුවම හා වක‍්‍රව උපරි ව්‍යුහය තුළින් නියෝජනය වනු සඳහා ඒවා ක‍්‍රියාත්මක වේ. නීතිය, ආගම වැනි ප‍්‍රපංච තුළින් සෘජුවම අධෝව්‍යුහයේ බලපෑම උපරි ව්‍යුහයට ලැබේ. දෘෂ්ටිවාද යනු මධ්‍යස්ථ මට්ටමින් එම බලපෑම සිදුකරනු ලබන අතර, කලාව යනු වක‍්‍රාකාරව අධෝව්‍යුහයේ බලපෑම උපරි ව්‍යුහයට දක්වන උපකරණය වේ. එනම් මාක්ස්වාදයට අනුව දෘෂ්ටිවාද යනු ධනපති පන්තියේ හෙවත් ආර්ථික බලය හිමි පන්තියේ අවශ්‍යතාවන් නියෝජනය කරන උපකරණයකි. එනිසා එය සමාජයට අනවශ්‍ය දෙයකි. නිදසුනක් ලෙස ධනවාදී සමාජයක සංකල්පවේදය හෙවත් දෘෂ්ටිවාදය එම පාලකයින්ගේ අවශ්‍යතා වලට ගැලපෙන සේ ක‍්‍රියා කරයි. ඒ අනුව සංකල්පවේදයේ ස්වරූපය පාලක ප‍්‍රභූන් විසින් තීරණය කරන්නකි.

මෙම උපරි ව්‍යුහය හා අධෝව්‍යුහය ගැන සඳහන් කරමින් මාක්ස් ප‍්‍රකාශ කරන්නේ යම් සමාජයක සැබෑ වෙනසක් සිදු කිරීමට නම් පාද ව්‍යුහය හෙවත් අධෝව්‍යුහය වෙනස් කිරීම කළ යුතු බවයි. එය ආර්ථික බලය නිර්ධන පන්තිය වෙත ලබා ගැනීමෙන් කළයුත්තක් විනා සංකල්ප වේදයේ වෙනසක් ඇති කිරීමෙන් කළ නොහැක්කක් බවයි මාක්ස්ගේ විශ්වාසය. නමුත් මෙම තර්කයන් සඳහා පශ්චාත් මාක්ස්වාදීහු ඌණ පූර්ණ දක්වති.

(මතු සම්බන්ධයි.)

Painting- by Adrian Knopik

කසුන් සී. තිලකරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නොබෝදා අපෙන් සමුගත් සුවිශිෂ්ඨ ලේඛක ගබි‍්‍රයෙල් ගාර්ෂියා මාර්කේස් (Gabriel García Márquez 1927-2014) ගේ One Hundred Years of Solitude (හුදෙකලාවේ සියක්වස) නම් වූ සුප‍්‍රකට වියමන "ලේ වැකි මතකාවලියක් කන්‍යා පුරාවතක් වූ සඳ - යථාර්ථය ඉන්ද්‍රජාලයක් ලෙස, ඉන්ද්‍රජාලය යථාර්ථයක් ලෙස" නමැති තේමාවෙන් යුතුව යළි කියැවීමේ මහජන සම්භාෂණය 2014 මැයි 02 වැනි දින සවස 4.30 සිට බොරැල්ල, නාමෙල්-මාලිනි පුංචි රඟහලේ දී පැවැත්වේ.

එහිදී මනෝහාරි හේවාවසම්, කුමාරි කුමාරගමගේ, කේ.කේ. සමන් කුමාර, විදර්ශන කන්නන්ගර, විදුර ප‍්‍රභාත් මුණසිංහ, මොහාන් රාජ් මඩවල, මාලින්ද සෙනෙවිරත්න, ජනක ඉණිමංකඩ මූලික කෙටි කථන සහ සංවාද ප‍්‍රවේශයන් ඉදිරිපත් කිරීමට නියමිත අතර හැඳින්වීම ප‍්‍රභාත් හේමන්ත ද, මෙහෙයවීම කුෂාන් ගයත‍්‍ර ද සිදු කිරීමට නියමිතය.

"ලාංකේය පාදඩ යථාර්ථවාදයේ ඉන්ද්‍රජාලික යුග මොහොතක - සාහිත මධු සාදය" යන නමින් හඳුන්වා දී ඇති සාහිත්‍ය කියැවීම පිළිබඳ මෙම නව අත්දැකීමේ මොහොත සංවිධානය කරනු ලබන්නේ "සංස්කෘතික විමුක්ති ගිවිසුම" විසිනි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



1993 දී "ලිට්ල් බුද්ධා" චිත්‍රපටිය රඟපාද්දී කීනු රීව්ස් තම බාහුවේ බුදු රුවක් පච්ච කොටාගෙන තිබිණි. ලේක් හවුසියේ බුදු සරණ පත්තරේ මැද පි‍ටු දෙකක් පුරා ගිය ඒ කතාව හා පිංතූර මට තවමත් මතකය. තාත්තා ඒක කපා ලැමිනේට් කර ලියන මේසයේ වීදුරුව යටින් දමාගෙන හිටියේය.

ටයිගර් වුඩ්ස් ගේ කර පැළඳියේ බුදුරුවක් බව අපේ පත්තරේ ජ්‍යෙෂ්ඨ උප කර්තෘ වරයෙකු විසින් අනාවරණය කර ගන්නා ලද්දේ 2002 අවුරුද්දේ මුලය.

පසුව 2000 ට සූම් කළ වුඩ්ස්ගේ බුද්ධා පෙන්ඩනය සති අන්ත ඉරිදා පත්තරේ තනි පි‍ටුවක් පුරා පළවිය. ඉන් අවුරුදු පහකට පසුවත් ටයිගර් වුඩ්ස් ගේ බුද්ධාගම් ආර්ටිකල් එක හොයා පත්තර කන්තොරුවට පැමිණි පිරිස් වූහ. එය එසේ වන්නේ බුද්ධාගම ඇඟට අරන් තිබීම නිසාය.

මීට අවුරුදු දෙදහස් ගණනකට උඩ සියලු කෙළෙසුන් නසා ගෞතම නමින් බුද්ධත්වයට පත්වූයේ සුද්ධෝදන "රජතුමාගේ" පුත්‍රයාය. මව් පරම්පරාවත් පිය පරම්පරාවත් බිරින්දෑගේ පරම්පරාවත් එකතුව සමස්ත ඉන්දියාවටම උරුමකම් කී රජ පෙළපතකින් බිහිවුනු සිද්ධාර්ථ කුමාරයා වසර හයක් දුක්විඳ වසර තිස්පහක ජීවිතාවබෝධය සහිතව ප්‍රගුණ කළ ඒ ධර්මය රට පුරා බෙදන්නට රාජ අනුග්‍රහය ඉල්ලා සිටියේ නැත.

අපේ එකාගේ දහම පමණක් ඇදහිය යුතු බවට නීති ගෙනෙන්නටත් ඒ ධර්මයට රටේ ධර්මය බවට ව්‍යවස්ථාපිත කරන්නටත් සුද්ධෝදන රජතුමාට කිසිදු උවමනාවක් නොවීය. සච්චක විසින් පරිභව කරද්දීත්, මහාවීර විසින් සිනහ සෙද්දීත්, උපක ආජීවකයා තැන්තැන් වල මුසා පතුරවද්දීත්, චිංචි මානවිකාව අභූත චෝදනා නගද්දීත්, දේවදත්ත ගල් පෙරළද්දීත් ඒ කිසිදු කටයුත්තක් වග විභාග කිරීමට රටේ රජය මැදිහත් වූ වග මම අසා නැත්තෙමි. නමුත් එවැනි සිද්ධීන්ට මුහුණ දෙන්නට සිදු වූයේ මව් පරම්පරාවත් පිය පරම්පරාවත් බිරින්දෑගේ පරම්පරාවත් එකතුව සමස්ත ඉන්දියාවටම උරුමකම් කී රජ පෙළපතකින් බිහිවුනු සිද්ධාර්ථ කුමාරයාටය. උන්වහන්සේ මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල් උයනේ පිරිනිවන් පානා විටත් ඉන්දියාව පුරා විවිධ ආගමික මතවාද පැතිරී තිබුණේය.

ඒ විවිධත්වය තුන්කල්හිම පැවතියක් ද විය.

බුදු දහම යනු කිසිදු කලක "ඇඟට ගත යුත්තක්" නොවේ ය. එය ඔළුවට ගත යුතු දහමකි. එය ඒහි පස්සිකය. විමසා බලා තීරණය කළ යුතු ජාතියේ එකකි.

බුදුන් උපන් දේශයෙනුත් අතු ගෑවී ගිය දහම වසර දෙදහස් පන්සියයකටත් වඩා වැඩි කාලයක් මේ රට තුළ ආරක්ෂා වූයේ එය "ඇඟට ගත්" පිරිස නිසා නොව "ඔළුවට ගත්" පිරිස නිසාය.

බුද්ධාගම සෙල්ලන් නැත !

නදීෂා චන්ද්‍රසේන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කාට හෝ පෙම් නො කළ කිසිවෙකු මෙලොව නැත. ආදරය කරන ඕනෑම කෙනෙක් තමන් ආදරය කරන අය වෙනුවෙන් බලා හිඳියි. ඔවුන්ගේ රැකවරණය වෙනුවෙන් කැප වෙයි. ආරක්ෂාව ගැන වධ වෙයි. එසේ ආදරය කරන මිනිසුන් හට එක්තරා දවසක එක්තරා අවිනිශ්චිත මොහොතක ලොවට තවත් එක් ප්‍රවෘත්තියක් පමණක් වන එහෙත් තම ජීවතය සදහට ම වෙනස් කොට, ඉරණම සොලවා පොළවේ ගසන පුවතක් අසන්නට ලැබෙයි. එය ජීවත් වන සහ ආදරය කරන මිනිසුන්ගේ ඉරණම යි.

පසුගිය අප්‍රේල් 16 වැනිදා දකුණු කොරියාවේ ඉන්ෂිඔන් හි සිට ජේජු දිවයින වෙත යාත්‍රා කරමින් සිටි සෙවොල් නම් නෞකාව නිරිතදිග වෙරළේ සිට කි. මී. 25 ක් දුර මුහුදේ දී ගිලී ගියේය. වාර්තාවලට අනුව නෞකාවේ ගමන් කරමින් සිටි පිරිස 476 ක් වන අතර ඉන් 325 ක් ම ඩැන්වොන් උසස් පාසලේ සිසු සිසුවියන් ය.

සිද්ධිය සිදු වූ වහාම පැය භාගයකට පසු වෙරළාරක්ෂක කණ්ඩායම් පැමිණෙන තුරු ඒ අවට සිටි ධීවර බෝට්ටු සහ පෞද්ගලික යාත්‍රා පැමිණ බොහෝ දෙනෙකු බේරා ගත්හ. ගලවා ගැනීමේ මෙහෙයුම්වලින් නැව සම්පූර්ණයෙන් ගිලී යාමට පෙර ගලවා ගත් ගණන 179 කි. ගලවා ගැනීමෙන් පසු 6 දෙනෙකු මිය ගිය බවට වාර්තා වී ඇත. වේවලන කටහඬකින් යුතුව 119 හදිසි අනතුරු අංකය අමතා නැව පෙරළෙන බවට මුලින් ම දැනුම් දුන් සිසුවාගේ මළ සිරුර ද මේ වන විට හඳුනාගෙන ඇත. මුල්ම දැනුම් දීමෙන් පසු නැව ගිලී යාමට පැය 2 ½ ක් ගත වූ අතර ගලවා ගැනීමේ මෙහෙයුමට නැව් 171 ක් අහස් යානා 29 ක් සහ කිමිදුම් කරුවන් 30 දෙනෙකු යෙදවුණි. එතැන් සිට දින දෙකක් ගත වන තුරු මුහුදෙහි සැඬ බව සහ රළ තරංගවල වේගය හේතුවෙන් නැවට ඇතුළු වීමට නොහැකි වූ අතර අප්‍රේල් 18 වැනි දින වන විට කිමිදුම්කරුවන් ගණන 555 ක් දක්වා ඉහළ නැංවිණි. 18 වැනිදා නැවට ඇතුළු වී ඔක්සිජන් පිටින් සැපයීමට උත්සාහ දැරුවද වායු කුහර තුළ සුරක්ෂිතව ඇතැයි විශ්වාස කෙරුණු මගීන් සිටිනා කලාපයට යාමට කිමිදුම්කරුවන්ට නොහැකි වූයේ දැඩි රළ පහර, ගණ අන්ධකාරය සහ මුහුදු වතුර සහ මඩ මුසු වීම නිසා ය. නැව ගිලී යාමෙන් පසු මුල් වරට අප්‍රේල් 19 වැනිදා මළ සිරුරු 3ක් සොයා ගන්නා ලදි. එතැන් පටන් මේ දක්වා කිසිවෙකුදු පණ පිටින් ගළවා ගැනීමට නොහැකි වූ අතර මේ වන විට සොයා ගත් මළසිරුරු සංඛ්‍යාව 187 කි. 115ක දෙනෙකු තවමත් සොයා ගත නොහැකිව ගිලී ගිය නැව තුළ ය.


Telegraph

කෝපයට සහ කලකිරීමට පත් මගීන්ගේ ඥාතීන් සිද්ධිය වූ මොහොතේ පටන් එතැනට ආසන්න ජින්ඩෝ දූපතේ පැවති අධික ශීතලය නොතකා කඳවුරු ලාගෙන සිටියහ. මේ වන විටත් මළ සිරුරු හමු නොවූ මගීන්ගේ ඥාතීන් තවමත් එතැනය. කඳුළු, වැළපුම් , චෝදනා සියල්ල මැද ගෙවී ගිය මේ දින එකොළහ තුළ ඔවුන් සහ එරට ජනමාධ්‍ය ඇඟිල්ල දිගු කරන්නේ කරන්නේ රජයට යි. මේ තරම් ජාතික විපතක් සිදුව තිබිය දීත් ඉතා සෙමෙන් කෙරුණු ගළවා ගැනීමේ මෙහෙයුම නිසා කිසිවෙකු පණ පිටින් ගළවා ගත නොහැකි වුණු බවත් අනතුරුදායක නැවකට මගීන් සංචාරය පිණිස අවසර ලබා දීම වරදක් බවත් පවසන ඔවුහු විරෝධතාවල නිරත වෙමින් සිටිති.

 

BBC

මුලින්ම බේරා ගන්නා ලද පිරිස අතර සිටි ඩැන්වොන් පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා තමන් සමග ගමන් ගත් අනෙක් සිසුන්ගේ මරණයේ කම්පනය දරාගත නොහැකිව බේරා ගත් දිනට පසු දින ගසක එල්ලී සිය දිවි හානි කොට ගෙන තිබුණි.

සිදුවූ අනතුර වළක්වා නො ගැනීමේ චෝදනාව මත යාත්‍රාවේ කපිතාන් ලී ජුන් සියොක් ඇතුළු කාර්ය මණ්ඩලයේ දස දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර දකුණු කොරියානු ජනාධිපතිනිය වන පාර්ක් පැවසුවේ මෙය තමන් සහ රටවැසියන් ඉමහත් සේ පීඩාවට පත් කළ මරණීය වරදක් බවයි. වාර්තාවලින් කියවෙන පරිදි ලී කපිතාන්වරයා ජීවිතාන්තය තෙක් සිර දඬුවම් විඳීමට ඉඩ තිබේ. අනතුර සිදුවූ මොහොතේ නැවෙන් මුලින්ම පිටවූවන් අතර කපිතාන්වරයාද සිටියි. නැව ගිලෙන්නට පටන් ගනිද්දී මගීන්ට ආරක්ෂක උපදෙස් දීම පැහැර හැර ඔවුන්ට සිටින තැන්වලටම සිටින සේ වැරදි උපදෙස් දුන් ඔහු සියල්ලන්ට පෙර ජීවිතාරක්ෂක බෝට්ටුවකට පනින දර්ශනයක් මාධ්‍යවල පළ වීමත් සමඟ ඓතිහාසික නාවික ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමේ චෝදනාව දැඩි ලෙස ඔහු හමුවේ මතු වී ඇත. කොරියානු නාවික නීතියට අනුව අනතුරක දී අවශ්‍ය තීරණ ගැනීමට කපිතාන්වරයා නැවෙහි රැඳී සිටිය යුතුයි. ඔහුගේ මේ හැසිරීම පහුගිය 2012 වසරේ ජනවාරි මස මගීන් 33 දෙනෙකුට මරු කැඳවමින් ටස්කන් මුහුදේ ගිලී ගිය ‘කොස්ටා කොන්කෝඩියා’ නෞකාවේ කපිතාන් ෆ්‍රැන්සිස්කෝ ෂෙටීනෝ ගේ වගකීම් විරහිත හැසිරීමට නිරන්තරයෙන් සමාන කෙරෙමින් වාර්තාවන් ඉදිරිපත් කෙරෙයි. මේ ගැන කපිතාන් ලී අදහස් දක්වමින් කියා සිටියේ ආධාර ලැබීමට ප්‍රමාද වන නිසා ඊට පෙර මගීන් කළබල වී මුහුදට පැන්නහොත් ජීවිතවලට හානි ඇතිවිය හැකි බැවින් එය වැළැක්වීමට ඉවත්වීමේ නියෝග ලබා නොදුන් බව යි.


Reuters

කෙසේ වෙතත් 22 හැවිරිදි තරුණ කාර්ය මණ්ඩල සේවිකාවක වන පාර්ක් ජී යුං අවසානය තෙක් මගීන් හා රැඳෙමින් ඔවුන්ට ජීවිතාරක්ෂක කබායන් සපයමින් ආධාර කොට තිබුණ ද ඇය මිය ගොස් තිබුණේ ජීවිතාරක්ෂක කබායක් රහිතව ය. කොරියානුවන් ඇය වීරවරියක ලෙසින් හඳුන්වයි.

නැව මෙසේ අනතුරට පත්වීමට හේතු කිහිපයක් මතයන් ලෙස ඉදිරිපත් වී ඇති අතර ඉන් එකක් වන්නේ නැව ඉතා තියුණු සහ පටු හැරවුමක් ගන්නට ඇති බවයි. අනෙක් හේතුව ලෙස සඳහන් වන්නේ නැව ඊට දරා ගත නොහැකි තරම් බරක් දරාගෙන යාත්‍රා කළ බවයි. කොරියාවේ නාවික ප්‍රවාහන විශේෂඥයෙකු පවසන පරිදි නැවේ තුන්වන, හතරවන සහ පස්වන තට්ටුවලට අමතර මගී කුටි එක්කොට ඇති අතර මේ අමතර ඈඳීම් නිසා නැවෙහි සමබරතාව බිඳී තිබෙන්නට ද ඉඩ තිබේ. නැව තුළ මගීන්ට දැනුම් දීම් සිදු කිරීමට තිබුණ සන්නිවේදන උපකරණ ක්‍රියාත්මක නොවූ බව ද අදාළ ප්‍රධානීන්ගෙන් උපදෙස් නො ලැබුණු නිසා තුන්වන තට්ටුවේ කාර්ය මණ්ඩලය සාමාන්‍ය නාවික උපදෙස් පොත්වලට අනුව ‘සිටින තැනවල ම රැඳී සිටින්න’ යන නියමය ක්‍රියාත්මක කළ බව ද සඳහන් වෙයි. ජපානයෙන් මිළ දී ගත් නෞකාවක් වන සෙවොල් හි දිග මීටර් 146 ක් වන අතර බර ටොන් 6835 කි. ගලවා ගැනීමේ මෙහෙයුම්වලට සම්බන්ධ වීමට සහ ආධාර ලබා දීමට ජපානය ඉදිරිපත් වුවද කොරියානු රජය එය කාරුණිකව ප්‍රතික්ෂේප කර ඇත. අමෙරිකාව ද සහය දීමට උත්සාහ කළද විවිධ හේතූන් නිසා එය වැළකී ගොස් ඇත.

 

Aol.com

කිසිදු ආලෝකයක ආධාරයෙන් නැව තුළ සෙ. මී. 20 කට වඩා දැකිය නොහැකි බැවින් සහ රළ පහර සැඬ බව හේතුවෙන් සෙවීමේ කටයුතුවලට බාධා එල්ල වන බවත් දැනටමත් එක් ගළවා ගැනීමේ නිළධාරියෙකු මියගොස් හත් දෙනෙකු අසනීප තත්ත්වයෙන් පසුවන බවත් වෙරළාරක්ෂක නිළධාරියෙකු ප්‍රකාශ කළත් ජනතාව සහ ස්වේච්ඡා කිමිදුම්කරුවන් චෝදනා කරන්නේ රජය හිතාමතාම ස්වේච්ඡා කිමිදුම්කරුවන් ට ගළවා ගැනීමේ මෙහෙයුම්වලට සම්බන්ධවීමට ඉඩ නො දීම බරපතල වරදක් බවයි.

මේ සිද්ධියත් සමඟ පළාත් සහ නාගරික ඡන්දයක් අත ළඟම එන කොරියාවේ දේශපාලනයද කැළඹී ඇති අතර ‘අතුරුදන් වූවන් ගළවා ගැනීමට රජය දරණ උත්සාහයේ ඇති මන්දගාමී බව’ ට චෝදනා ලද එරට අගමැති චුං හොං වොන් ඊයේ (27 වැනිදා) සිදුවූ විපතෙහි වගකීම භාර ගනිමින් සිය තනතුරින් ඉල්ලා අස් විය. අප්‍රේල් 18 වැනිදා වන විට 71% ක් වූ ජනාධිපතිනි පාර්ක් ගේ ජනප්‍රියතාව අප්‍රේල් 25 වැනිදා වන විට 57% වන තෙක් පහළ බැස තිබුණි. ‘චුංගේ තීරණය වගකීම් විරහිත එකක්' යනුවෙන් විපක්ෂය චෝදනා කළේය. මේ අතර විපක්ෂයේ ජනප්‍රියත්වය 26.9% සිට 2%කින් ඉහළ ගොස් තිබුණි.

සොයා ගත් මළ සිරුරු ඥාතීන් ගේ ඩී එන් ඒ ආධාරයෙන් හදුනාගනිමින් පවතින අතර දැන් එසේ හඳුනා ගන්නා මගීන්ගේ අවමංගල්‍ය උත්සව පැවැත්වෙයි.


National Turk

"අපි ඉතා අසීරු අවස්ථාවලට මුහුණ දීමට පුහුණු වී සිටිනවා. ඒත් මුහුද යටට ගොස් එක් පණ ඇති අයෙකු හෝ සොයා නො ගෙන තම දරුවන් පණ පිටින් දකින්නට බලා හිඳින ඥාතීන් ට මළ සිරුරු උඩට අරන් ඇවිත් පෙන්වන්න සිදුවන විට එය දරගන්නට බෑ." එක් කිමිදුම්කරුවෙකු මාධ්‍යවලට පවසා තිබුණේ දැඩි වේදනාවකිනි.

"අම්මෙ.. මට මේක කියන්න එන්න බැරි වුණොත් මතක තියාගන්න- මම ඔයාට ආදරෙයි." එක් පුතෙක් තම මවට එස් එම් එස් පණිවුඩයක් යවා තිබුණි. එහි ඇති අමුත්ත නිසාම ඒ මව ‘ඇයි? ’ කියා අසා නැවතත් "මමත් ඔයාට ආදරෙයි පුතේ" කියා ලියා යවා තිබුණි. ඒ ඔවුන් අතර සිදු වූ අවසන් සන්නිවේදනය යි.

අතුරුදන් සිසුන් උගනිමින් සිටි ඩැනිවොන් පාසල නැවත ඇරඹුණත් සිසුන් සහ ගුරුවරුන් 250 ක් අහිමි වූ මුළු විදුහල ම ශෝකයෙන් ඇළලී ගොසිනි. පන්ති ඇරඹීමට පෙර සිසුන්ට උපදේශනය ලබා දීමට ඔවුන් කටයුතු සූදානම් කොට ඇත. මුළු පාසල පුරා බිත්ති සහ ඩෙස්ක් මත අහිමි වී මිතුරන්ට ශෝක පණිවුඩ ලියා තිබුණි.

"මට මේක කලින් කියන්නයි තිබුණේ. වරදක් වුනා නම් සමාවෙන්න. යාළුවේ, මම ඔයාට ආදරෙයි." ඒ අතර මිතුරෙකු තවත් මිතුරෙකුට ලියා තිබුණි.


Getty Images

මේ පසුගිය සති කිහිපයට වාර්තා වුණු දෙවන දැවැන්ත අනතුරයි. පසුගිය මාර්තු අට වැනිදා MH 370 නම් මැලේසියානු ගුවන් යානය ක්වාලලම්පූර් සිට බෙයිජිං බලා ගමන් කරමින් සිටිය දී ඔස්ට්‍රේලියාවට පහළ ඉන්දියන් සාගරයේ දී චීන ජාතිකයින් සහ අමෙරිකානුවන් ද ඇතුළු මගීන් 227 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු සමග අතුරුදහන් වීම ලොව සසල කළ පුවතක් විය. විවිධ ජාතීන්ට අයත් මගීන් සිටින මේ ගුවන් යානයට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව මේ දක්වා තොරතුරක් නැත. යානය ඉන්දියානු සාගරයට වැටී මගීන් සියල්ලන් ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි මැලේසියානු රජය නිල වශයෙන් ප්‍රකාශ කළ ද මගීන්ගේ ඥාතීන් එය පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි. චීනය ඇතුළු රටවල් බොහෝ ගණනක් මේ පිළිබඳ පුළුල් පර්යේෂණවල නියැලී සිටිති. එහෙත් මාස එකහමාරක් ගතවීත් තවමත් නිසි තොරතුරක් සොයා ගැනීමට ලෝකයේ දියුණුම රටවල් පවා අසමත් ය.

අපාදා කළමණාකරණය පිළිබඳව මහා පරිමාණයෙන් අවධානය යොමු වී ඇති මොහොතක, ඒ පිළිබඳ විවිධ මට්ටමේ ජන සමාජයන් ආපදා කළමණාකරණ විශේෂඥයන් විසින් පුහුණු කරවන යුගයක නැව් පෙරළී සිය ගණන් මිය යාමද ගුවන් යානා අතුරුදන් වීමද වරක් නොව සියවරක් සිතා බැලිය යුතු කාරණයකි. හදිසි අනතුරු සඳහා සූදානම සහ ආපදා කළමණාකරණය යනු හුදු පොතට සීමාවන පාඩමක් පමණද යන්න සියලු රජයන් ඇතුළු පාර්ශවකරුවන් එක්ව ප්‍රමුඛ සැලකිල්ලක් දැක්විය යුතු කාලය එළඹ ඇත.

අනෙක් අතට විද්‍යාව සහ තාක්ෂණය අතින් සියල්ල අභිබවා අභ්‍යාවකාශය ද පරයා ගිය මිනිසා මේ සිදුවීම් දෙකේ දී ම අසමත් ය. පරිසරය තමන්ට රිසි පරිදි වෙනස් කළ හැකි බවට විශ්වාස කරන ඔහු ස්වභාව ධර්මය මුළුමනින්ම නොතකා හරියි. එහෙත් සෙවොල් සහ MH 370 සිද්ධීන් අපට පසක් කරන්නේ මිනිසා අත්පත් කර ගත් තාක්ෂණයට පවා ස්වභාව ධර්මය අභිබවා යා නො හැකි බවය. සොබා දහමට ද ජීවිතයේ නිත්‍ය ධර්මතාවලට ද එරෙහිව යා හැකි තාක්ෂණයක් අප තවම නිපදවා නැති බවය.


Getty Images

*******

"අර වතුර යට....." මඩ කහ පාටින් රැළි ගසන රළු මුහුද දෙසට අත දිගු කරමින් ඇය කියයි. "එතන ඉන්නෙ මං උගන්නන දරුවෝ.. එතන ඉන්නෙ මගේ දරුවා."

ඒ අප්‍රේල් 18 වැනිදා ය. ක්‍රිස්ටීන් කිම් කඳුළු ගලා හැලෙන සිය මුහුණට අධික ශීතල සුළඟ හැකි වැරෙන් පහර දෙන විට පෙං මොක් වරාය මත සිටගෙන මුමුණයි. කිම් ඉංග්‍රීසි ගුරුවරියකි. ඇගේ දියණිය ද ඇගේ සිසුවන් පිරිසක් ද සෙවොල් නෞකාවේ ගමන් ගත් අතුරුදන් මගීන් අතර ය.

"දැන් පැය 30 ක් ගෙවිලා." කිම් පවසයි. "මට නින්ද යන්නෙ නෑ- මගේ දරුවා අර සීතල වතුර යට ඉන්න කොට. - මට ආයෙ කවදාවත් නිදා ගන්න බැරිවෙයි."

තොරතුරු:
BBC
CNN
Reuters
arirang.co.kr
Independent.co.uk
theguardian.com
theglobeandmail.com

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



භවාන්තර, රංග බණ්ඩාරනායක විසින් අධ්‍යක්ෂණය කරන ලද චමත්කාර මනසේ ප්‍රේම චාරිකාවක් පිලිබඳ කොටස් 35 කින් යුත් ටෙලි නාට්‍යයකි. තම පෙම්වතා මිය ගිය බව විශ්වාස කිරීමට අපොහොසත් මානසිකත්වය නිසාවෙන් ඔහුගේ සිරුර පැහැරගෙන යන තරුණියකි මාරි. නාට්‍යය ආරම්භ වන්නේ ඉහත සිදුවීමෙනි. සාම්ප්‍රදායික මනෝ ප්‍රතිකාරයෙන් මාරිව මුදවා සුවපත් කිරීමට උත්සාහ කරනා ඇගේ නැගණිය භාවනා, මාරිව තම විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යා මහචාර්යවරයා වන සුධාරක ගේ ප්‍රතිකාර වෙත යොමු කරවයි. සුධාරක යනු වයස අවුරුදු හතළිහක තරමක් වෙනස් ආකාරයට ලෝකය දකින මිනිසෙකි. ලොව සියලු සිදුවීම් සිදුවන්නේ කිසියම් බලවේගයක නිර්මාණය මත ද නොඑසේනම් අහම්බයකින් ද යන්න සොයමින් තම ජීවිතය තුළින්ම පර්යේෂණයේ යෙදෙන්නෙකි. කතාව ගලා යන්නේ මෙබඳු සිදුවීම් රැසක් හරහා ය. 









ලොව සෑම මිනිසෙකුම කිසියම් මනෝ ව්‍යාධියකින් පෙළේ. එම ව්‍යාධිය පාලනය කරගනු ලබන්නා, සාමාන්‍ය මිනිසෙකි. එම ව්‍යාධිය පාලනයට අපොහොසත් වන්නා මානසික රෝගියෙකිි. නිරන්තරව ඔබගේ සිත පැහැරගනු ලබන නවනිර්මාණ ඉදිරිපත් කරන්නා ද මානසික රෝගියෙකිි. ලෝකය ගොඩ නගන්නේ එවැනි ව්‍යාධීයකින් පෙලෙන්නන්ය. මනෝ ව්‍යාධියට පිළියම සිරකර ප්‍රතිකාර කිරීම නොවේ. ප්‍රවේසමෙන් මනෝ ව්‍යාධියෙන් නිදහස් කිරීමය. අධ්‍යාත්මික පසුබිමකින් තොරව දියුණුවන අද්‍යතන ලෝකයේ බහුතරයක් මිනිසුන් මානසික රෝගීන් බවට පත්වීම ඉන් වලකාලිය හැකිය යන පණිවිඩය රැගෙන සමාජය පිළිබඳ විවරණයක යෙදෙමින් සෞන්දර්යාත්මකව ගලා යන චමත්කාර ප්‍රේම වියමනකි භවාන්තර.

අධ්‍යක්ෂණය- රංග බණ්ඩාරනායක
නිෂ්පාදනය- තිස්සවීර වර්ණපුර
රූපවාහිනී රචනය- චාමර ප්‍රසන්න කොඩිතුවක්කු
සංගීතය- දේශක සම්පත්
කැමරාකරණය- කුලරුවන් ගමගේ







රංගනය-
විශ්වජිත් ගුණසේකර
පාලිත සිල්වා
හේමසිරි ලියනගේ
තුසිත ලක්නාත්
පුබුදු චතුරංග
තුමිඳු දොඩන්තැන්න
චමිලා පීරිස්
රශ්මි රූත් අඛේකෝන්
දුලාංජලී සංකල්‍යා
අතුල ජයසිංහ
මධුවන්ති ලියනගේ

-ලංකා රූපවාහිනී සංස්ථාවේ නාට්‍ය අංශයේ ඉදිරිපත්කිරීමක්.

-2014 අප්‍රේල් 19 වෙනිදා සෙනසුරාදා රාත්‍රී 8.30 සිට සතිපතා ජාතික රූපවාහිනියෙන්.


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කොළඹ පැල්පත් නිවාස ඉවත් කෙරේ - පුවතක්

කැසිනෝ පුර සිඹිමින්නේ
කහවනු රැස් පායන්නේ
බුල්ඩෝසර් මේ එන්නේ
පුතේ හනික පැන ගන්නේ

කන්දක් බර උහුලමිනේ
කෙන්දක් තරමට කන්නේ
තුන්කුන්දෙන් අපි යන්නේ
මැතිඳ ඇයි ද ඔරවන්නේ

දහක් කතා කියමින්නේ
බිතක්කනේ ලගිමින්නේ
ඡන්දෙ ගත්ත හිවලුන්නේ
හඬ නෑ පුත දැන් එන්නේ

මුවෙහි වචන නලියන්නේ
කොහොම ද ඒ පවසන්නේ
කාකි කෝට් ගොරවන්නේ
කරබාගෙන අපි ඉන්නේ

හිත යට ගිනි ඇවිළෙන්නේ
අපමය ඉන් පිච්චෙන්නේ
පුත දැන් ඉර පායන්නේ
උන්ටම බව දැනගන්නේ

අතීතයක් වළලමිනේ
අහිමි හෙටකි දිස්වන්නේ
සිවු රියනත් නොලැබෙන්නේ
පුත කොහොම ද නිදියන්නේ

බිම් ඔප්පුව පුච්චන්නේ
නළලේ අළු ගාපන්නේ
සේසත මිටි බැඳගන්නේ
මහගිරි දඹ නැඟපන්නේ

චූලානන්ද සමරනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මලක
මෙළෙක මත
නිල මැස්සෙක්
මල් ශාලාවක

[ඉමක් සහ මලක් | 1992]

ආරියවංශ රණවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ජී.චමිල ප්‍රියංකගේ "මෙය තුවක්කුවක් නොවේ" වේදිකා නාට්‍යය, 2014 මැයි 04 ඉරිදා, සවස 7:00 ට කොළඹ ලුම්බිණි රඟහලේදී වේදිකා ගත වේ.

නිෂ්පාදක සටහන- සියලු මිනිස් වටිනාකම් විනාශ වී ගිය සමාජයක හමුවන කාන්සිය මගහරින්නට ශිෂ්ටාචාරය විසින් අපට 'ආගම' නමින් දෙයක් උරුම කර දී ඇත. එක තැන පල්වන අපගේ ජීවිතය තුළ ඇති බලාපොරොත්තු විරහිතභාවය මගහැර අප ජීවත් වන බවට හිතහදාගන්නට දිනෙන් දින අප පසුකර යන මිනිස් ඝාතන අත්වැලක් වනු ඇත. එබැවින් අප ගත කරන්නේ අතිශය ප්‍රීතිමත් වූ ජීවිතයකි.

රචනය හා අධ්‍යක්ෂණය- ජී.චමිල ප්‍රියංක
කාලය- මිනිත්තු 80 යි.
රංගනය- මයුර පෙරේරා, දිලුම් බුද්ධික, ප්‍රමෝද් එදිරිසිංහ, කනිෂ්ක ප්‍රනාන්දු, යශෝධා රසඳුනී, අංජන ප්‍රේමරත්න
අංග රචනය- පාලිත අබේලාල්
ආලෝකකරණය- හිරාන් අබේසේකර, ලහිරු රත්නායක
වේදිකා පරිපාලනය- සමීර විමලසිරි
පසුතල නිර්මාණය- ලක්ෂානි අමරතුංග, බියංකා හංසිනී



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



චන්ද්‍ර්‍රසෝම බිංදුහේවා නිර්මාණය කළ ''එනිමි'' නාට්‍යයේ මංගල දැක්ම අප්‍රේල් මස 28 සහ 29 යන දිනවල, ප.ව. 6:45ට, කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වේ.





මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඥානසාර දොම් තරිකිට
වැටට උඩින් පැන වට රැක
සුනඛ සේනාව රතියට
යෝනි හොයනවා
එහෙව් දූපතක සොමියට
යානි ගේනවා...

නිතර සෙල්ලමට හිත බර
නගර අධිපතිල පින්සර
ආරක්ෂාවට පොඩි පිස් -
තෝල ගේනවා
අජිත් රෝහණව හිටවපු
කුඹුර පේනවා...

බඩේ බත් නැතත් වේලට
චැනල් දෙකක එක පාරට
දොළොස්දෙනා අතරට යන
තරු තෝරනවා
කැපෙන - අඬන රියැලිටි මැටි
හිත පාරනවා...

ෆුල් ෆේස් එකක් දාගෙන
බයික් එකක නැග ගත්තම
සංඛ්‍යාලේඛන මැද්දෙන්
බැංකු පේනවා
ආයුද පෙන්නන්නට යන
පාර අහනවා...

ඡායාරූපය- ලංකාදීප

විමල් කැටිපෙආරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අපුල ගල් වැටියකට පෙම් බැඳ
විසුල දුහුවිලි විසිරි සුව විඳ
වපුල වසුරින් කපුටු- නැගී දුගඳින් හපුටු
සංසාරෙ ඇයිද මෙතරම් කිළුටු?

නහවා පැන් කල හතක සුව විඳ
නගා සුරතක වැඳුම් පුද ලද
නැගී පන්සල් බිමේ- බෝධි පූජා ලබන
අහා ! බෝ රජුනි පිරි පින් කඳ

ඇසෙන මහ බෝ වන්නම
සිලි සිලියෙ පත්-සැලෙන අන්දම
සොර මුලක- පන්සලක ගිරා පැටවුන් වැටුණ
කතාවක ඇඳිනි මගෙ සිත්තම

සෝපාකටත් රහතෙකු වෙන්න
කුල ගොතට ඉත සිතින් බැට දුන්න
සිදුහතුන් බුදු උනේ ඔබ ළඟද? මා ළඟද?
කිසිවෙකුදු ඇත්ද ඒ ගැන දන්න?

ජයන්ත නිමල් සිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



දර්ශන අශෝක කුමාර විසින් රචිත "තොරතුරුවලට හදවතක් : යුද්ධය සහ ජනමාධ්‍යය" කෘතිය එළිදැක්වීම ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී 2014 අප්‍රේල් මස 28 වැනි සඳුදා පස්වරු 3.30ට සිදු කෙරේ.

මෙම කෘතිය තුළින් ලෝකයේ විවිධ රටවල විවිධ යුගවල යුද්ධය සමඟ ඈඳුණු තොරතුරු ක්‍රියාවලිය, දැවැන්ත ප්‍රචාරය, තොරතුරු විකෘති කිරීම ආදී අංශ කෙරෙහි අවධානය යොමු කෙරේ. දැවැන්ත ප්‍රචාරය උදෙසා වින්දනාත්මක මාධ්‍යය භාවිත කිරීම, සයිබර් යුද්ධ, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් තුළ දැවැන්ත ප්‍රචාරය සියුම් ලෙස සහ සහාසික ලෙස භාවිත කිරීම වැනි කරුණු කෘතියට මාතෘකා වී තිබේ. ඊට අමතරව, වර්තමාන ලෝකය අනුගත වී සිටින වටිනාකම් සහ විශ්වාසයන් වෙනුවට විකල්ප වටිනාකම් සහ විශ්වාසයන් කෙරෙහි යොමු වීමේ අවශ්‍යතාව ද කෘතියෙන් සාකච්ඡා කෙරේ.

දෙසුම්- මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර , මොහාන් සමරනායක, ආචාර්ය මහීම් මෙන්ඩිස්, තිලකරත්න කුරුවිට බණ්ඩාර, සුධීර ජයවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ලතින් අමෙරිකානු දේශපාලනය පදනම් කොට ගෙන නිර්මාණය කරල ලද ස්පාඤ්ඤ චිත්‍රපටයක් වන Even the Rain සිනමා කෘතිය ප්‍රදර්ශනය සහ ඒ පිළිබඳව අදහස් දැක්වීම 2014 අප්‍රේල් 27 වන ඉරිදා මීගමුව මාරි ස්ටෙලා ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

වේලාව:
සවස 4.00 - සිනමා කෘතිය පිළිබඳ අදහස් දැක්වීම
එරික් ඉලයප්ආරච්චි
සවස 5.00 - Even the Rain සිනමා කෘතිය ප්‍රදර්ශනය

සංවිධානය: විණැන මාධ්‍ය හා කලා පදනම
විමසුම් : 0718252836



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කෙනෙක් ඉඳ ගිය පසු
අන්න තව කෙනෙක් ඇවිදින්

කෙමෙන් පියවෙන නෙත් දෙස
බලා හිඳීවි සිවිලිම
අවසන් සුසුම් පොද උරා ගෙන
තව තවත් දැඩි වේවි
බිත්තිය
හැකි ලෙස ඔබව රැකගනිමි
පිටත ඇති සීතලෙන්

ඉතින් පවසන්න මට ඔබේ කතාවත්
නිසසලව අසා සිටින්නෙමි
අවසානයේ කවුළුව හැර තබමි
පිටව යන්නට ඔබට
අවහිරයක් නොමැතිව

සිතුවම : Blind Ace

අනුෂ්ක තිලකරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



-ගංගා කාවේරි දුම්රියේ දී ය.*

මිනිස් පුළුටක් නො සරණ
අඳුර වටළෑ තිරිඟු යායක
නිවී අළුවන රන්වන
හුදෙකලාව ම මේ ලෙස
දරාගන්නේ කොහොමද?

ඉරත් යන්නට ගිය පසු
අහස බොර පෑ සළු අඳින විට
සිය දහස් ගව් දුරින් එබෙනා
වැඩි උාජාරුවක් නැති කඳුගැට
දම් පාට අහසේ ම වළා සේ පෙනෙන විට
අහස පොළොවෙහි වෙනස නො දැනෙන
ඈත ඉමකට
පාව යන්නට නොසිතෙද?

ඉරක් - තරුවක් - සඳක් නොපැමිණි
අඳුරු බොල් කබොල්ලක් බඳු මහා අහසක් යට
මිනිස් වාසෙක ලකුණකුදු නැති
මහා තැනිතලාවක් මත

ඔබේ ලෝකය
හිතාගන්නට බැරි තරම්
සුවිසල්ද? ගැඹුරුද?

එසේ නැතිනම්
මට නො තේරෙන තරමට
පටුද? අඳුරුද? පාළුද?

ගත වසා දිදුලන
අඳුරු තිර වුව කීතුකරවන
රතු පැහැති සාළුව
සැඳෑ කල එකලාව සරනා
කවියකුට නිමිත්තක් පමණද?

*ගංගා කාවේරි සීඝ්‍රගාමී දුම්රිය සතියකට දෙ වතාවක් දකුණු ඉන්දියාවේ චෙන්නායි දුම්රිය ස්ථානයේ සිට බිහාරයේ චාප්රා බලා පැය 42ක් පුරා කිලෝ මීටර් 2343ක් දුර ගමණක යෙදෙයි. මෙම දුම්රියෙන් කිලෝ මීටර් 2138ක් දුර ගෙවා පැය 37 හමාරක් ගිය විට වරණාසි හෙවත් 'බරණැස' වෙත ළඟාවිය හැකි ය.

සනත් බාලසූරිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



චූටි චූටි හීන වලට
චූටි ඉඩක් හොයාගන්න
චූටි දෙනෙත් පියාගන්න
චූටි වෙලාවක් මදිවිද
චූටි.......?

චූටි කුරුල්ලන් අතරේ
චූටි චූටි සටන් පාඨ
චූටි හොටින් මුදාලන්න
චූටි උගුරෙ හිරි ඇරපන්
චූටි.........

චූටි පියාපත් තුරුලට
චූටි සිඟිත්තිය අරගෙන
චූටි හිනා පොදි ගහගෙන
චූටි කැදැල්ලෙන් බැහැපන්
චූටි........

චූටි හදවතින් ඉහිරෙන
'චූටි' කවක හඬ වෙනුවෙන්
චූටි පපුව පිරිමදින්න
චූටි වෙලාවක් දීපන්
චූටි.........

චූටියට දෙකක් ඇණගෙන
චූටියට දුමක් ඇද ඇද
චූටි කඩල ඇට ගනින්න
චූටි ඇඟිලි දිග ඇරපන්
චූටි.

2014 අප්‍රේල් 19.

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"අනේ මම HIV පොසිටිව්ලු"
-මිතුරියක්

සිළකි අඳුරින් නැගි
සියොලඟ දවාගෙන
මඳක් ලොව එළි කර
නිවී යාමට නියමිත

උණුසුම් සිනිඳු බඳවට
කලු සර්පයෙකි සුස්මන
ඊවා, ක්ලියෝපැට්රා
මෙනි ඔබ අඬන හිනැහෙන

මියුලැස තවත් පොබ කර
තවරන්න කළු අඳුරු නෙතඳුන
සිරකර නොගෙන පපුවට
මුමුණන්න ඔබෙ හංස ගීතය

දන්නවා මං
පෙර මෙන්ම පුළුවනි ඔබට
ඉවසා මඟ බලන්නට
බොඳ කර නොගෙන නෙතඳුන්
රහසින් හඬන්නට
විහිදා මුහුල හුළඟට
අහසට හිනා වෙන්නට

සිතුවම: Ewelina Ladzinska

ඉසුරු චාමර සෝමවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කුලී කුරක්කනට පරිවර්තන වැඩ වගයක් කරමින් සිටි මට අන්තර්ජාලයට පිවිසෙන්නට ඉඩක් සති ගණනාවකට ලැබුණේ යමක් මේල් කිරීමටම පමණි. අද උදේ එසේ ගිය මට කල්පනා විසින් බූන්දි ලයිව් ඔස්සේ එවා තිබූ ඒ අසුබ ආරංචිය ඇස ගැටිණ. ඔහු මරණය සමග වසර ගණනක් තිස්සේ සටන් කරමින් සිටිනා බැව් මම දැන සිටියෙමි. එහෙත් දෑස කඳුලින් පුරා, පපුව සිරව, ඉකියක් නැගෙනු වළක්වන්නට ඒ සමත් නොවීය.

ලේඛකයකු යනු හුදු ශිල්පියකු හෝ වෙළඳපල ඉල්ලූමට මැටිවළං තනන්නෙකු පමණක් නොවන බව මේ කුජීතු ධනවාදයේ තෙවන කාර්තුවේදී අන්කිසිවකුටත් වඩා සිය දිවියෙන් ඔප්පු කළ අපේ යුගයේ මිනිසා එසේ ලොවින් සමුගත්තේය.

පරිවාරයේ රටක සමාජ යථාර්ථයද, පොදු මිනිස් ස්වභාවයද, මිනිස් මනසේ ගැඹුරු පත්ලද එක විට ස්පර්ශ කළ දැවන්තයා යන්නට ගොසිනි. ලතින් ඇමරිකානු ආච්චි අම්මලාගේ කතා මඩිස්සලයත්, ජොයිස්ගේ සිතිවිලි මඩිස්සලයත් එක අහුරට ගෙන විකුම් පෑ සද්දන්තයා ලිවීම නවත්වා ඇත. කෆ්කාගේත්, බෝගේස්ගේත් වංගගිරිය ලෝකයට සැණකෙළිබිමක් කොට විවෘත කළ ඉන්ද්‍රජාලිකයා මේ ගොරබිරම් නිශායේ සදාතනික නිද්‍රාවක සැතපී ඇත.

දැනට වසර අටකට පමණ පෙර දිනෙක මාර්කේස් තමා උපන් නිවස බැහැ දකින්නට ගිය පුවත මම අන්තර්ජාලයෙන් කියවීමි. මාර්කේස් උපන් නිවස කොලොම්බියාවේ කුඩා පැල්පතක් විය. දැනට මගෙන් වෙන්ව සිටින මා බිරිඳ කඳුළු පිරූ දෙනෙතින් ‘අයියෙ මේක ගෙයක්ද? ’ කියා ඇසූ අයුරු මට මතකය. ඒ දැවැන්තයා ඒ වන විට නොබෙල් ත්‍යාගලාභියකුව ලොව පුරා පිළි ගැනීමට ලක්ව සිටියේය. සිය මොටෝරිය විකුණා බිරිඳට මුදල් දී ‘ආයි මේක ඉවර වෙනකන් සතයක්වත් ඉල්ලන්නට එපා’ යයි කියා ලිවූ සියක් වසක හුදකලාවට නොබෙල් ත්‍යාගය ලැබුණු පසු තමා ආයි පොත් නොලියන බව හේ පවසා තිබිණි. එහෙත් ඔහු දිගටම ලිවුවේය. ජීවියකුට හුස්ම ගත නොහැකිව විසිය නොහැකි සේ ලේඛකයකුට නොලියා සිටිය නොහැකිය.

ස්පාඥ්ඥ රැජිනට කෙසෙල් සැපයීමට ලිලිපුට්ටන් බවට පත් කළ ජාතියක ඉරණම ඔහු මැකොන්ඩෝව තුළින් ප‍්‍රතිමූර්තිමත් කළේය. 90 දශකය මුල්භාගයේදී ලතින් ඇමරිකානු තරුණ තරුණියන් පිරිසක් සන්තියාගෝ නුවර මැක්ඩොනල්ඞ් අවන්හලේදී තම කෙටිකතා එකතුවක් එළිදක්වමින් මායා යථාර්ථවාදය මිය ගිය බවට නිවේදනය කළහ. මැකොන්ඩෝ ප‍්‍රකාශනය නමින් ප‍්‍රකාශනයක් එළිදක්වමින් මායා යථාර්ථවාදයට පාංශකූලය පිරිනැමූහ. එහෙත් ඒ සියල්ලන් මේ පිතෘවරයාට හීසර විද්දේ නිසි ගෞරවය පිරිනමමිනි. ඊටත් වඩා හෙණයක් සේ පතිතවූ අහසින් හිසමතට ගිගිරුම්දී යනුවෙන් හංස ගීතිකා නොකියන්නට තරම් සාහිත්‍යයේ අටලෝදහම ගැන අකම්පිත දැක්මක් මේ සිහ රදුනට තිබිණි. බන්ටු බසින් කෙසෙල් යන්නට යෙදෙන මැකොන්ඩෝ යන්න හේ ලතින් ඇමරිකානු පශ්චාත් යටත් විජිත යථාර්ථය ඓන්ද්‍රීයව දක්වන්නට යොදා ගත්තේය. මේ මැකොන්ඩෝ නම්වූ ලතින් ඇමරිකානු ඔල්මාද පරපුරේ තරුණ තරුණියන් මැකින්ටොෂ්- මැක්ඩොනල්ඞ්- කොන්ඩොමෝනියම් යනුවෙන් ඒ වර නැගූ විට මේ දැවැන්තයා සැළුම් වෙව්ළුම් ගෙන බැන අඬ ගැසුවේ නැත.



අපගේ පුරෝගාමියකු මාර්කේස් හා දුරකථනයෙන් දොඩමළු වන්නට අවස්ථාවක් උදා කර ගෙන තමා ශ‍්‍රී ලංකාවෙන් යැයි කී විට කොහෙද ඒ රට තියෙන්නෙයි ඔහු අසා තිබිණි. ඔහුගේ බොහෝ පොත් සිංහලයට පරිවර්තනය වී ඇතැයිද අප සාහිත්‍ය සමාජය තුළ ඔහු ඉතා ජනප‍්‍රිය යැයිද කී විට ඔහු කර්තෘ භාග ගැන ඇසූයේ නැත. සිංහල යැයි බසක් ගැන අසා නොසිටි ඔහු මෙහි පොත් ලියන්නේ සංස්කෘතයෙන්දැයි අසා තිබිණි. ඒ පොත් දකින්න ආසයි කියාද, කවදා හෝ මෙරටට එන්නට ආසායැයිද කීවා පමණි. එහෙත් මේ කාලකණ්ණි දේශය ඔහුගේ පා පහස ලබන්නට තරම් වාසනාවන්ත නොවීය. නමුදු කවර හෝ පකීර් ජනමාධ්‍යයකින් ඔහුගේ සම්මුඛ සාකච්ඡාවක් ඉල්ලූ විට පවා ඒ ලබා දීමට යම් නිශ්චිත මුදලක් කියුබාවේ ළමා කටයුතු දෙපාර්තමේන්තුවේ ගිණුමකට අනාථ ළමුන් සඳහා බැර කරන්නට යැයි කියන්නට තරමට ඔහු මේ බලූ පුකේ ජනමාධ්‍ය ගැන පිරිසිඳි නුවණින් යුතු විය. ඔහු ජී. බී. සේනානායක මෙන්ම එහිදී අදීන විය.

වරක් සැන්ඩිනිස්ටා ගරිල්ලා සංවිධානය ත‍්‍රස්තවාදී සංවිධානයක් යැයි නම් කොට එහි නායකයාට ස්පාඥ්ඥයට ඒම තහනම් කළ විට ඔහු එම තහනම ඉවත් කරනා තෙක් තමා නැවත කිසිදිනක ස්පාඥ්ඥයට පා නොතබමැයි නිවේදනය කළේය. ස්පාඥ්ඥ රජය පසුදිනම එම තහනම් ඉල්ලා අස් කොට ගත්තේය. වරක් මට මතක ආකාරයට මෙක්සිකානු ජනාධිපතිගේ පුත‍්‍රයා පැහැර ගත් ගරිල්ලා කණ්ඩායමක් ඔහුව නිදහස් කිරීමට නම් මාර්කේස්ව ජනාධිපති කළ යුතු යැයි ඉල්ලා සිටියෝය. එය විසඳනු ලැබූයේ මාර්කේස්ම මැදිහත් වී තමා කිසි දිනෙකවත් එවැන්නක් බාර නොන්නා බව කියා ඔහුව නිදහස් කරන්නැයි ඉල්ලීම නිසාය. ඔහු එවන් ලේඛකයෙකි. නොඑසේව නිකම් කොල හා පෑන් ටිකක් හෝ ලැප්ටොප් එකක් තියාගෙන ලිවීම නමැති වියුක්ත ක‍්‍රියාවලියේ යෙදුනෙක් නොවේ. අප වන් දුහුවිලි කැට එවැන්නකු වර්ණනා කිරීමටවත් තරම් නොවේ. ඔහු එතරම් සුවිශිෂ්ඨ මිනිසෙකි.

දැනට දශක දෙකකට පමණ කාලයකට පෙර මෙහි කලාත්මක ප‍්‍රභූ සමාජය බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලාවේ සඟවාගෙන ප‍්‍රදර්ශනය කරනු ලැබූ මාර්කේස් පිළිබඳව තැනුණු වාර්තා චිත‍්‍රපටයක් කලාත්මක ප‍්‍රභූ සමාජයේ මූණු පුකවල් බවට පත් කරමින් ගරිල්ලා ක‍්‍රමයට කඩා වැදී නැරඹීමට මමත්, ජනක ඉණිමංකඩත්, ගාමිණී වන්නිආරච්චිත් වාසනාව ලදිමු. එහිදී කෙසෙල් කම්කරුවන්ගේ වර්ජනය මාර්කේස් නිරූපනය කළ ආකාරය පිළිබඳව එකිනෙකාගෙන් කරුණු විමසද්දී අදාල කෙසෙල් වතුයායේ කළමණාකරු පවා මාර්කේස්ගේ ලිවීමේ ශෛලිය පිළිබඳව දැන සිටියේය. ‘එයා ලියන්නෙ ෆැන්ටසිනෙ. ඒක කවුරුත් දන්නවනෙ. ’ කියා ඔහු සිද්ධිය යට ගසන්නට උත්සාහ කළේය. ඔහු නොදැන සිටි සිරි ලංකාවේද වෙන්ඩ සයිමන්ලා, අපිත් තිලකසේනලා (සේපාල් අමරසිංහගෙන් ණයට ගන්නා ලදී.) අතර වෙන්ඩ මාර්කේස්ලා බිහිවිණි. ශ‍්‍රී ලාංකීය මාර්කේස් බවට ඇතැමුන්ව නංවනු ලැබිණි. ඔහුගේ කිතු ගොස එතරම්ය.


කොලොම්බියානු පුවත්පතක් මාර්කේස්ගේ නික්මයාම වාර්තා කර තිබූ අයුරු

මේ වන විට ජොයිස්ගේ යුලිසීස් වන් වන ඕටම් ඔෆ් පැටි‍්‍රආක් හැර ඔහුගේ අන් සියළුම කෘතීන් පාහේ සිංහලයට නැගී ඇත. එහිදී පරිවර්තනය කළ නොහැකි හෝ අසීරු රෂ්ඩිගේ, ජොයිස්ගේ කෘතීන් හැර අන් සියල්ල සිංහලට නැගී ඇතිය යන සමන් වික‍්‍රමාරච්චිගේ ප‍්‍රකාශය නිවැරදිය. විවිධ තලයන්හි, විවිධ දහරාවන් තුළ අන් සියළුම ලේඛකයන් මෙන්ම මාර්කේස්ද කටයුතු කොට ඇතද ඔහු කිසිවිටෙකත් පාවුලෝ කොයියෝ හෝ අයියන්දේ සේ සරල කියවුම් සාහිත්‍යයක් නියෝජනය නොකළේය. යම් අපගමනයකට ලක්වූ කෘතීන්හි හැර මහා බරසාර ගැඹුරක් හැම විටම දකිත හැකි විය. එහිදී ඔහු ඩිකන්ස්, දොස්තයෙව්ස්කි, ගොගොල්, හෙමින්වේ හා මාක්ට්වේන් වන් විය.

මිනිසාගේ ඉරණම පිළිබඳව වදාරන ශාස්තෘවරයකු මෙන් හේ ජීවිතය ගැන බවුන් වැඞීය. ලතින් ඇමරිකාවත් මුළු ලෝකයත් වසා පැතිරුණු පිළිකාවද, මනුෂ්‍ය චිත්තය අරා ඔඩු දිවූ පිළිකාවද ඔහු ව්‍යඡ්ඡේදනය කළේ බුදුවරයකු පරිද්දෙනි. එහෙත් තම සිරුර අරා ඔඩු දිවූ පිළිකාව ජය ගන්නට ඔහුටද නොහැකි විය. ඒ ජය ගන්නට හැකි නම් අපට මෙන් කිසි විට ඔහුට ජනාධිපති අරමුදල් ගානේ යන්නට ඕනෑ කමක් නොවීය. ඔහු ජීවත් කරවන්නට කවරක් වුවද කරන්නට බොහෝ බලවන්තයන් ඔහුට සිටියේය. එහෙත් මරණය ඉදිරියේ මාර්කේස්ද කුඩා ළදරුවෙක් විය. ඔහුගේ පසුකාලීන කෘතියක් වන ‘ද හවුස් ඔෆ් මෙලන්කොලි හෝස්’ දක්වනුයේ එයයි. එක විටම ජීවිතයද මිනිස් මනසද පිරිසිඳි බුදුවරයකු හා පෘතග්ජනයකු අපට ඔහුගේ කෘතීන් තුළ හමුවේ. නැවතීමමය ගමන සංසාරයය නිවන යන මහායාන දැක්ම ඔහුගේ කෘතීන් තුළ පසක් කළ පරිදිය. එහෙත් ඔහු ඒ කරා ආයේ කිසිසේත් ජීවිතය තුළින් මිස බුදුදහමින් නොවෙතැයි මම සිතමි. කාල්යුංගේ මනෝවේදයේ මාලිමාවෙන් ලතින් ඇමරිකානු ජනදිවියේ, ජනමනසේ සිතියම හේ පිරිසිඳ ගත්තේය.



ඔහු ලාංකීය යථාර්ථය චිත‍්‍රණය කරනුව සමත් හොඳම තෙලිතුඩ අපට තනාදී ඇත්තේය. ඔහුට කිසිවිටෙකවත් යථාර්ථය භෞතිකවාදීවත්, විඥාණවාදීවත්, මාක්ස්වාදීවත්, මනෝවිශ්ලේශණවාදීවත්, කොටින්ම මායායථාර්ථවාදීවත් නොවීය. ඇමරිකානු සාහිත්‍ය වෙළඳපලේ තොරොම්බල්කරුවන් විසින් මායායථාර්ථවාදියකු යැයි හංවඩු ගසන ලද ඔහු කිසිවිටෙකවත් කිසිදු වාදියෙක් නොවීය. නොවන්නේත් නොවීය. ඔහු කිසිවක් දැඩිව නොගත්තේය. ලතින් ඇමරිකාව තුළ සිදුවන සියළු දෙය ඇමරිකානු කුමන්ත‍්‍රණ යැයි සිතීමේ මතිභ‍්‍රමයේ ඔහු නොසිටියේය. ඔහු විඥාණවාදියකු වන්නට හෝ බිය නොවීය. ඔහුට ලතින් ඇමරිකානු ජනකතා හුදු ආඛයාන මාර්ගයක් හෝ සංකේතාත්මක යමක්ම නොවීය. ඔහු භෞතිකවාදයේ මරඋගුලෙහි සිරවී නොසිටියේය. භෞතිකවාදයේ මරඋගුලින් ජිවිතයේ මරඋගුලින් ගැලවිය නොහැකි බව ඔහු දැන සිටියේය. එහි වරපට සොයා ගත නොහෙන බවද හේ දැන සිටියේය.

අපට සියල්ලටමත් වඩා ලේඛකයන් වශයෙන් අප පැටලී සිටින මරඋගුල් ඔහු මනාව පිරිසිඳ ගත් ආකාරය වැදගත් යමක් කියා දෙයි. එවන් අදීනයන් මෙහි බිහිවිය නොහෙන බැව් සැබෑය. කිසිවකුට අදීනයන් වන්නට සිතා අදීනයන් විය නොහැකිය. ඒ ආකෘතියට අන්තර්ගතය රුවනවාය හෝ අන්තර්ගතයට ආකෘතියක් තෝරාගන්නවාය කියා සිතා සිටින අපේ සාහිත්‍ය කෙරුම් සේ නොවේ. මාර්ගය යනු තමාමය. එහෙත් අඩු තරමින් ඔහු දුහුවිලි කැට වන් අපට දීනයන් නොවී සිටින්නේ කෙසේදැයි කියා දෙයි.

‘කිසිදු ශාස්තෘවන්තයෙක් තමා උපන් ගමෙහිදී පිළි ගනු ලබන්නේ නොවේ’ යැයි බයිබලය කියයි. එහෙත් මාර්කේස් උපන් අතුපැල එ’ගම නූගත් ගැමියන් විසින් තවමත් සුරකියි. දිනපතා ඒ අමදියි. ඔවුන් කිසිවෙක් ඔහුගේ කෘතීන් කියවා නැත. ඔවුන් බොහෝ දෙනෙකුට අකුරු කියවන්නටද නොහේ. එහෙත් ඔහු නොබෙල් තෑග්ග කියා ලොකු සම්මානයක් ලබා ඇති බැව් පමණක් ඔවුන් දනියි. එපමණක් නොවේ ඔහු ලියන්නේ අප ගැන යයි ඒ නූගත් ගැමියන් කියයි.


මාර්කේස් උපන් ඔහුගේ කොලොම්බියානු නිවස ඉදිරිපිට ඔහුගේ මරණය වෙනුවෙන් ශෝක වන ගම්වැසියන්

එහෙත් සේකර මෙන් ඔබ ගැනම මා ලියන ඒ කවිය අද දින ඔබගෙන් බොහෝ දෙනෙකුට නොවැටහෙන බව දනිමියි යැයිද , ලෝකය මීට වඩා යහපත් වන අනාගතේ යම් දවසක ඔබ එය ආදරයෙන් කියවන බව දනිමි යැයිද ඔහු කීවේ නැත. ඔහු කළේ සියක් වසක් හුදකලාවේ ගම හරහා යන අහිකුණ්ඨිකයා මෙන් කාන්දම් පොල්ලක් ඇදගෙන ගොස් අපේ ගෙවල්වල, අපේ ආත්ම නමැති ගෘහයන්හි වූ හට්ටි මුට්ටි ටික එළියට ගැනීමය. ඒ හොඳටම ඇත. සියක් වසකට නොව සහස් වසකට ඒ හොඳටම ඇත.

ආදරණීය ගාබෝ, ඉතින් ගිහින් එන්න. ඔබ අපේ මරණය තෙක්ම අමරණීයව අප තුළ ජීවත් වෙයි. අපේ මරණයෙන් මතුද ඔබ අපව ජීවත් කරවනු ඇත.

උපුටා ගැනීම : Lanka Daily

කේ.කේ. සමන් කුමාර [සර්පයා]



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails