Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



දීප්ති දහනකගේ "සර්වාංග විකාර" හඬ පුස්තකය (ශ්‍රව්‍ය කෙටිකතා සංග්‍රහය) එළි දැක්වීම, 2014 මැයි 29 දා සවස 3:00ට, කොළඹ ශ්‍රී ලංකා පුස්තකාල හා ප්‍රලේඛන සේවා මංඩල ශාලාවේදී.

දෙසුම්- සමන් අතාවුදහෙට්ටි, කේ. කේ. සමන් කුමාර (සර්පයා) සමග උපුල් ශාන්ත සන්නස්ගල

මෙහෙයවීම- චූලානන්ද සමරනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



2009 වර්ෂයේ යුද්ධයේ එහි උච්ඡතම අවස්ථාවට පැමිණි අවධියේ මා සේවය කරමින් සිටියේ පුද්ගලික ආයතනයකය. යුද්ධය, හමුදාමය වශයෙන් ජයග්‍රහණය කිරීමට නම් ත්‍රිවිධ හමුදාවන්ගේ හමුදාමය ශක්තිය පමණක් වර්ධනය කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව ඉතා හොඳින් හඳුනා ගෙන සිටි රාජපක්ෂ රෙජීමය, ඒ සඳහා සාමන්‍ය ජනතාව යුධවාදී ආකල්පවලින් සන්තර්පණය කල යුතු බව ද අවබෝධ කරගෙන සිටියේය. ඒ අනුව, ජනමාධ්‍ය ඔස්සේ සහ අනෙකුත් ක්‍ර්‍රමවේදයන් හරහා එල්.ටී.ටී.ය සහ දෙමල ජනයා කෙරෙහි වෛරී ආකල්පයන් සමාජගත කිරීමටත්, ලංකාවේ සහ සිංහල ජාතියේ ඉදිරි ගමනට ඇති ප්‍රධානතම බාධකය ඔවුන්ය යන්න ඉතා සාර්ථකව උත්කර්ෂයට නැංවීමටත් රාජපක්ෂ රෙජීමය සමත් විය.

මෙම සාර්ථකත්වයේ එක් ඉතා කුඩා නිරූපණයක් ලෙස එම අවධියේදී මා සේවය කල ආයතනයේ සේවකයින් අතර යුද්ධය සම්බන්ධයෙන් පැවති ආකල්පයන් හඳුනා ගත හැකිය. මමත් තවත් දමිල ජාතිකයින් දෙදෙනෙකුත් හැර අනෙක් සියළුම දෙනා ඒ මොහොතේ යුධ උන්මාදයෙන් සුරතාන්තයට පත්වී සිටි අතර යුද්ධයට සහාය නොදැක්වීම සම්බන්ධයෙන් සමහරුන් විවෘතවමත් තවත් සමහරුන් වක්‍රාරයෙන් ද අපට විරෝධය දැක්වූවේය. ආණ්ඩුව එදා පුන පුනා ප්‍රකාශ කර සිටියේ ජාතික ගැටළුවට දේශපාලනික විසඳුමක් ලබා දීමට ප්‍රධානතම බාධකය වී තිබෙන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය බවත් ඒ නිසාම මුලින්ම කල යුත්තේ ඔවුන්ව මිලිටරිමය ලෙස පරාජය කල යුතු බවත්ය. නමුත් එදා මා මෙන්ම යුද්ධයට විරුද්ධ වූ අනෙකුත් බොහෝ දෙනාගේ ස්ථාවරය වුයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යනු ජාතික ගැටළුවේ හේතුව නොව එක් ප්‍රතිඵලයක් බවත් කල යුත්තේ රෝග ලක්ෂණ වලට නොව රෝග නිධානයට ප්‍රතිකාර කිරීම බවත්ය. එමෙන්ම එදා යුද්ධය ක්‍රියාත්මක කරගෙන ගිය ආකාරය අනුව යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසුව ඒ තුලින් රාජපක්ෂ රෙජීමය කෙරෙහි ගොඩ නැගෙන කොන්දේසි විරහිත මහජන අනුමැතිය හේතුවෙන් ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් හෝ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, සෞභාග්‍යය හෝ අපට උදා නොවන බවත් ඒ වෙනුවට සිදුවිය හැක්කේ මර්ධනය රටේ අනෙකුත් ප්‍රදේශ කරා ද ව්‍යාප්ත වීමත් දුෂණය, අයුක්තිය, අසාධාරණය සමාජය වෙලා ගැනීම බවත්ය යන්න තේරුම් ගැනීමට අපගේ සාමාන්‍ය බුද්ධිය ප්‍රමාණවත් විය. එයට සරලතම හේතුව නම් රාජ්‍ය බලය තනි පුද්ගලයෙකු හෝ කිහිප දෙනෙක් වටා සංකේන්ද්‍රණය වීමේ අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ ඉහත කී තත්වයන් බව ලාංකීය මෙන්ම ලෝක ඉතිහාසය තුල ද බොහෝ අවස්ථාවලදී පෙන්නුම් කර තිබීමය.

යුද්ධය මිලිටරිමය වශයෙන් නිමාවී වසර පහක් ගත වෙන මේ මොහොතේ අප අත්දකිමින් සිටින්නේ එදා අප පරිකල්පනය කල ප්‍රතිඵලය. දයාන් ජයතිලක වැනි දේශපාලන විද්‍යාවේ පරතෙරට ගිය විද්වතුන්ට අනුව ආණ්ඩුව යුද්ධය ජයග්‍රහණය කිරීමේදී ඉතාම සාර්ථක වුවත් ඉන් පසු කාලයේදී ආණ්ඩුවේ ක්‍රියා කලාපයන් අනුමත කල නොහැකිය. ඔහුට නොතේරෙන, නමුත් සාමාන්‍ය බුද්ධියක් තියෙන පුද්ගලයෙකුට පවා වැටහෙන සත්‍යය නම්, වර්තමානයේ මෙවැනි ආකාරයේ මර්ධනකාරී පාලනයක් උතුරේ මෙන්ම දකුණේ ද පවත්වා ගෙන යාමට අවැසි හෙජමොනික ආධිපත්‍යය රාජපක්ෂ රෙජීමයට ලැබුනේ යුද්ධය ජයග්‍රහණය කිරීම සහ ඒ වෙනුවෙන් සමාජය තුල ස්ථාපනය කරන ලද රණකාමී ජාතිකවාදයයි.

වර්තමානයේ ඉතා පැහැදිලිවම පවතින්නේ රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ සමීපතමයින් කිහිප දෙනෙකු විසින් මහජන සම්පත් අසීමිත ලෙස භුක්ති විඳින පාලන ක්‍රමයකි. ධනේශ්වර ප්‍ර්‍රජාතන්ත්‍රවාදයේ මුරගල් තුන වන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන තුනම වර්තමානයේ පවතින්නේ රාජපක්ෂලාගේ ආධිපත්‍යය යටතේය. කිසියම් දුරකට හෝ යහ පාලනය ශක්තිමත් කෙරුණු 17 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර විධායක ජනාධිපතිධුරයේ බලතල තවදුරටත් ශක්තිමත් කෙරුණු 18 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිදු ගැටළුවකින් තොරව සම්මත කර ගත්තෙත් ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුධුරයෙන් ඉවත් කර තමන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින මොහාන් පීරිස් එම තනතුරට පත් කරගැනීමෙන් අධිකරණය හැසිරවීමේ බලයත් තමන් යටතට ගැනීමට රාජපක්ෂ පාලනයට හැකි වුයේත් යුධ ජයග්‍රහණය තුලින් ලැබුණු හෙජමොනික ආධිපත්‍යය තුලින් නොවේද?

වර්තමානයේදී, පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට පවතින්නේ සැබෑ මහජන නියෝජනයකින් ලැබුණු බලයක් නොවේ. එය, මුදලට මෙන්ම වංචා, දුෂණ පෙන්වා පාර්ලිමේන්තුව තුල විපක්ෂයේ මන්ත්‍රීවරුන් බිලි බා ගැනීම තුලින් ලද විකෘති කල ව්‍යවස්ථාදායක බලයකි. මේ සඳහා විපක්ෂයද සැලකිය යුතු ලෙස වගකිව යුතුය. ''සමාජවාදී'' රටවල්වල පවතින්නේ ඒකාධිපති, ආඥාදායක පාලන ක්‍රමයක්ය යන්න හුවා දැක්වීමට ධනේශ්වර රාජ්‍යයන් සහ පාලකයින් විසින් යොදා ගන්නා ලද ප්‍රධානතම නිර්ණායකයකි, එම රටවල නිශ්චිත කාලයකට අනුව මැතිවරණ නොපැවැත්වීම. එමෙන්ම, ඔවුන් විසින් තමන් ප්‍රජාතන්ත්‍රවාදී යයි පෙන්වීමට යොදා ගනු ලබන්නේ එහි විලෝමයයි, එනම් මැතිවරණ පැවැත්වීමයි. නමුත්, වර්තමානයේදී හුදෙක් මැතිවරණ පැවැත්වූ පමණින් කිසියම් රටක් ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවට සිම්බාබ්වේ, සිරියාව වැනි ජාත්‍යන්තර උදාහරණ මෙන්ම, ලංකාවේ තත්වය ද කදිම නිදසුන් වේ. මැතිවරණ සම්බන්ධයෙන්, ලංකාවට අදාලව විශේෂ කරුණු දෙකක් අදාලවේ. එකක් නම්, බොහෝ දෙනෙකුට පැහැදිලිව අවබෝධ කරගත හැකි, මැතිවරණ වලදී දක්නට ලැබෙන දුෂණ සහ අක්‍රමිකතා හේතුවෙන් මැතිවරණ හරහා සැබෑ ජනමතය බොහෝ දුරට නියෝජනය නොවීමයි.

මෙහිදී, බලයේ සිටින පාර්ශවය රාජ්‍ය මාධ්‍ය සහ පොදු දේපල මහා පරිමාණ මට්ටමින් තම මැතිවරණ ව්‍යාපාර වලදී ප්‍රතිවිරුද්ධ පාර්ශවයන්ට එරෙහිව යොදා ගනු ලබන අතර එය වත්මන් පාලනයට මෙන්ම මීට පෙර බලයේ සිටි රජයන්ට ද එකසේ අදාලය. වත්මන් රාජපක්ෂ පාලනයට අදාළ සුවිශේෂී කරුණක් වන්නේ යුධ ජයග්‍රහණය තුලින් තමන්ට ලැබුණු අසීමිත ජනවරම තුලින් කිසියම් දුරකට හෝ මැතිවරණවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීම උදෙසා ස්ථාපිත කර තිබු ස්වාධීන මැතිවරණ කොමිසමද තම අණසකට ගැනීමෙන් යම් දුරකට හෝ පැවති ආයතනික ව්‍යුහයන් විනාශ කර දැමීමයි. දෙවැනි කාරණය වන්නේ, තාක්ෂණික වශයෙන් ස්වාධීන මැතිවරණ පැවැත්වුවද ඒවා තුලින් බලයට පත් වන්නේ සැබෑ ලෙසම මහජන සේවයට කැපවූ, ඒ සම්බන්ධයෙන් හැකියාවක් තිබෙන පුද්ගලයින්ද යන්නයි. කතුවරයාගේ පුද්ගලික අදහස නම් එය එසේ නොවන බවත් බොහෝ දුරට සිදු වන්නේ මාධ්‍ය සහ අනෙකුත් ක්‍රමවේදයන් ඔස්සේ කෘතිමව ගොඩ නංවන ලද පෞරුෂයන් දේශපාලනික තනතුරු වලට පත්වීමයි.

ග්‍රාම්ස්චියානු අර්ථයෙන් හෙජමොනික ආධිපත්‍ය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන ආකාර දෙකකි, එනම් මහජන අනුමැතිය තුලින් සහ සෘජු මර්ධනය තුලිනි. ඉන් වඩාත් වැදගත් සහ සාර්ථකම ක්‍රමය වන්නේ මහජන අනුමැතිය තුලින් හෙජමොනික ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීමය. එබැවින්, විකල්ප දේශපාලනික සංස්කෘතියක් පරිකල්පනය කරන පුද්ගලයින් විසින් අවධානය යොමු කල යුතු ප්‍රධානතම කරුණ වන්නේ ඉහත දෙවනියට සඳහන් කරන ලද කෘතිමව ගොඩ නංවන ලද මහජන අනුමැතියට ප්‍රතිවිරුද්ධ, දේශපාලනයට සහ මහජන සේවයට එහි සැබෑ වටිනාකම ලබා දිය හැකි පුද්ගලයින් මැතිවරණ හරහා බලයට පත් කිරීමට අවැසි පුළුල් මහජන කතිකාවක් ගොඩ නැගීම සහ එය බලාත්මක කිරීමට කටයුතු කිරීමයි. විකල්ප දේශපාලන කතිකාවක් ගොඩ නැගීමේ වැදගත්කම අවබෝධ කරගෙන ඒ සම්බන්ධයෙන් යම් යම් උත්සාහයන් වල නිරත වෙමින් සිටින පුද්ගලයින් සහ කණ්ඩායම් සැලකිය යුතු ප්‍රමාණයක් හඳුනාගත හැකි නමුත් ඒ සියල්ලක්ම පාහේ සම්බන්ධයෙන් පවතින පොදු ලක්ෂණයක් වන්නේ කොළඹ කේන්ද්‍රීය කුඩා කවයන්ට ඒවායේ ක්‍රියාකාරිත්වය සහ බලපෑම සීමාවී තිබීමයි. එම කතිකාවන් සහ භූමියේ යතාර්ථයන් අතර සැලකිය යුතු පරතරයක් පවතී. කතිකාමය ගොඩනැංවීම් වල සුවිශේෂීත්වය සහ බලපෑම්සහගතභාවය මා පිළිගන්නා නමුත් ඒවා විමුක්තිකාමී දේශපාලනයෙහි විභවයක් විය හැක්කේ මහපොළොවේ යතාර්ථය සමඟ කොතෙක් දුරට ඓන්ද්‍රීයව සම්බන්ධ ද යන්න මතය.

එවැනි ඓන්ද්‍රීය සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීමට ඉහත සඳහන් කල දේශපාලන කණ්ඩායම් හෝ පුද්ගලයින් හෝ සැලකිය යුතු උත්සහයක් ගන්නා බවක් දක්නට නොමැත. ජාතිකවාදී කතිකාව බලපෑම්සහගත දේශපාලන කතිකාවක් බවට වර්තමානයේ පත්වී තිබෙන්නේ භූමියේ යතාර්ථය සමඟ මනා ඓන්ද්‍රීය සම්බන්ධයක් ගොඩනගා ගැනීමට එයට සහ එහි පුරෝගාමීන්ට හැකි වූ නිසාය. විටින් විට පවත්වන සම්මන්ත්‍රණ සහ සංවාද, පුවත්පත් වලට ලිපි ලිවීම සහ මාධ්‍ය නිවේදන නිකුත් කිරීම වැනි ක්‍රියාවලින් පමණක් පවතින මර්ධනකාරී දේශපාලනික ක්‍රමය අභියෝගයට ලක් කල හැකි ප්‍රතිහෙජමොනික දේශපාලන කතිකාවක් ගොඩ නැගිය නොහැක. එය කල හැකිවනු ඇත්තේ එවැනි ක්‍රියාවන්ද ඇතුළුව, භූමියේ යතාර්ථය සමඟ ඓන්ද්‍රීයව බැඳුනු විකල්ප දේශපාලන කතිකාවක් ගොඩ නැගීමට මැදිහත් වීමෙන් පමණි.

''යුධ ජයග්‍රහණයට'' පස් වසරක් සපිරෙන මේ මොහොතේ මා මුලින්ම සඳහන් කල පරිදි එහි නෛසර්ගික ප්‍රතිඵලයක් ලෙස දියත් කෙරුණු මිලිටරිකරණය සම්බන්ධයෙන් යමක් සඳහන් නොකලොත් එය බරපතල අඩුවකි. බොහෝ දෙනෙකුට මිලිටරිකරණය යනු හුදෙක් හමුදා ශක්තිය වැඩි කිරීම, වැඩි වැඩියෙන් හමුදා සෝදිසි මෙහෙයුම් දියත් කිරීම, සිවිල් කටයුතු වෙනුවෙන් හමුදාව මැදිහත්වීම වැනි භෞතික තලයේ දෘශ්‍යමාන වන කරුණු කාරණා පමණි. ඒවාද මිලිටරිකරණයේ එක් වැදගත් කොටසක් වන නමුත් ඉතා වැදගත් මෙන්ම වඩා භයානක වන්නේ සමාජයක් චින්තනමය වශයෙන් මිලිටරිකරණය කිරීමයි. දිගින් දිගටම යුධ ජයග්‍රහණය මත බලයේ රැදී සිටිය නොහැකි බව මනාව අවබෝධ කරගෙන සිටින රාජපක්ෂ රෙජීමය, විවිධ ක්‍රමවේදයන් ඔස්සේ ජාතිවාදය, ආගම්වාදය මෙන්ම චින්තනමය මිලිටරිකරණය ද දියත් කරමින් සිටී. මෙම චින්තනමය මිලිටරිකරණයේ ප්‍රධානතම ලක්ෂණය නම් යුද්ධයේදී පමණක් නොව දීර්ඝ කාලයක් තිස්සේ විසඳුම් නොමැතිව පවතින අනෙකුත් සමාජීය ගැටළු විසඳීමේදී ද සිවිල් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන්ට වඩා හමුදාමය මැදිහත් වීම් වඩා කාර්යක්ෂම සහ ඵලදායී වේ යයි අදහසක් මිනිසුන් විසින් සවිඥානිකව මෙන්ම අවිඥානිකව ද විශ්වාස කරන්නට සහ ඒ ඔස්සේ කටයුතු කරන්නට පෙළඹවීමයි.

එමෙන්ම, හමුදාමය විනයකින් සහ ශික්ෂණයකින් පුද්ගල ජීවිතය මෙන්ම සමාජ ජීවිතයේ ද යහපැවැත්ම ගොඩ නගා ගත හැකි යයි විශ්වාස කරන්නට පෙළඹීමද චින්තනමය මිලිටරිකරණයේ තවත් ප්‍රතිඵලයකි. ඒ සඳහා මෑතකාලීන උදාහරණ රැසක් ගෙන හැර දැක්විය හැකිය. කොළඹ ඇතුළු නගර සංවර්ධනය කිරීම ආරක්ෂක අමාතංශයේ ලේකම්වරයා යටතට ගැනීම සහ ඒවායේ සියළු කටයුතු සඳහා හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා ගැනීම, විශ්වවිද්‍යාල වල ආරක්ෂක කටයුතු වලට එකී ලේකම්වරයාගේ අධීක්ෂණය යටතට ගැනීම, විශ්වවිද්‍යාලයට ඇතුල් වීමට පෙර හමුදා කඳවුරු වල පුහුණුව අනිවාර්ය කිරීම සහ පාසැල් වල විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුව ලබා දීම, පසුගිය අයවැයෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනෙකුත් සියළුම විශ්ව විද්‍යාල වලට වෙන් කල මුළු මුදලට වඩා වැඩි මුදලක් වෙන් කිරීම එයට උදාහරණ කිහිපයක් පමණි. මෙහිදී, නාගරික සංවර්ධන අධිකාරිය, නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙන් ගලවා ආරක්ෂක අමාත්‍යාංශයට අමුණා ගැනීම ඉතා වැදගත් කාරණයකි. මන්ද, තම ක්‍රියාකාරීත්වයන් පරිපාලනමය වශයෙන් සාධාරණීකරණය කර ගැනීමට පවතින ආයතනික ව්‍යුහයන්, ව්‍යවස්ථාදායක ප්‍රතිපාදනයන් ඇතුළු ඕනෑම දෙයක් අවශ්‍ය පරිදී වෙනස් කිරීමට ''නොබියව'' පියවර ගැනීම පශ්චාත් යුධ සමය තුල, මීට පෙර පැවති රජයන්ට වෙනස්ව යමින්, රාජපක්ෂ පාලනයෙහි අපට දකින්නට ලැබෙන වැදගත් ලක්ෂණයකි. එමෙන්ම පසුගියදා අප කිහිප දෙනෙකු අතර හෙද සේවයේ වර්ජනය පිළිබඳව ඇතිවූ පුද්ගලික සංවාදයකදී එක් අයෙක් ප්‍රකාශ කර සිටියේ ''ගෝඨාභය මහත්තයා එයට මැදිහත් වුනා නම් ප්‍රශ්නය නිකම්ම විසඳිලා'' යන්නයි. මෙය හුදෙක් පුද්ගලික ප්‍රකාශයක් හෝ අදහසක් නොව පොදු ජන මනස වැඩ කරන ආකාරය පිලිබඳ එක් ප්‍රක්ෂේපනයක් බව මගේ පුද්ගලික අදහසයි.

යුද්ධය මිලිටරිමය වශයෙන් නිමාවීමෙන් පස් වසරක් ගත වන මේ මොහොත දක්වාම ආණ්ඩුව විසින් යුද්ධය ඇති වීමට බලපෑ සමාජ දේශපාලනික හේතූන් වලට ආමන්ත්‍රණය කිරීමේ අවංක උත්සාහයක් ගන්නා ආකාරයක් පෙනෙන්නට නොමැත. ඒ වෙනුවට දක්නට ලැබෙන්නේ කලින් කලට සර්ව පාක්ෂික කමිටුව, උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වැනි විවිධාකාරයේ කමිටු සහ කොමිසම් පත් කරමින් කල් මැරීමේ උපක්‍රමයකි. ඊට සමාන්තරව කොටි සංවිධානය සහ බෙදුම්වාදය පිළිබඳව විවිධාකාරයේ ප්‍රබන්ධ සහ මතවාදයන් ජනතාව අතර පතුරුවා හරිමින් උතුරේ මෙන්ම දකුණේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න යට ගසමින් සිටී.

යුද්ධයේදී මියගිය තම ඥාතීන් සහ හිතවතුන් සැමරීමට ඇති අතිපුද්ගලික අයිතීන් පවා දෙමළ ජනයාට අහිමි කරමින් සිටින වත්මන් පාලකයින් දෙමළ ජනයා අතීතයේදී සන්නද්ධ ක්‍රියාකාරිත්වයන්ට යොමු වුයේත් මෙවැනි ප්‍රජාතන්ත්‍රවිරෝධී තීන්දු තීරණ නිසා බව හිතාමතාම අමතක කර සිටින්නේ එමගින් ජාතීන් අතර ඇතිවන දුරස්තභාවය සහ විරසකභාවයන් තම බලය පවත්වා ගෙන යාමේ මුලික අවිය කරගෙන ඇති නිසාවෙනි. සාමාන්‍ය ජනතාව අතර ජාතීන් සහ ආගම් වශයෙන් විරසකභාවයන් ඇති කරමින් එකිනෙකාට එරෙහිව කටයුතු කිරීමට සලස්වමින් සිටින රාජපක්ෂ රෙජීමය, අනෙක් අතින් සංවර්ධන කතිකාව පෙරට ගනිමින් අධිවේගී මාර්ග, වරායන්, ගුවන් තොටුපොළවල් වැනි මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් හරහා තම පවුලේ සහ සමීප හිතවතුන්ගේ මලු තරකර ගනිමින් සිටී. අනෙක් අතට, රජයේ ආර්ථීක දුෂ්කරතාවයන් පෙරට දා අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි මහජන සේවාවන් පෞද්ගලීකරණය කිරීම සාධාරණීකරණය කරමින් සිටී. මේ වනවිට රාජ්‍ය මුදල් වලින් තුනෙන් දෙකක් පමණ පවතින්නේ රාජපක්ෂ පවුලේ සෘජු පාලනය යටතේය. රටක් ආර්ථීක වශයෙන් දියුණු කිරීම අත්‍යවශ්‍යය කාරණයක් වන නමුත් මතු කලයුතු ප්‍රශ්නය වන්නේ මෙම මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් වල ප්‍රතිලාභ කොතෙක් දුරට සාමාන්‍ය ජනයා විසින් භුක්ති විඳිනවාද යන්නයි. එමෙන්ම, එලෙස ආරම්භ කල බොහෝ ව්‍යාපෘතීන් මේ වන විටත් ආර්ථීක වශයෙන් අසාර්ථක ව්‍යාපෘතීන් ලෙස ඉතිහාසයට එක්වී හමාරය. මත්තල ගුවන් තොටුපොල සහ හම්බන්තොට වරාය එයට කදිම නිදසුන් දෙකකි.

ආණ්ඩු හිතවාදීන් බොහෝ විට මතු කරන ප්‍රශ්නයක් වන්නේ, යුද්ධය නිමාවීම නිසා රටට කිසිදු යහපතක් සිදු වී නැද්ද යන්නයි. සමස්තයක් ලෙස ගත්කල, යුද්ධය නිමාවීමෙන් පස් වසරක් ගත වෙන මේ මොහොතේ එදා මෙන් තැන තැන බෝම්බ පිපිරෙන්නේ නැත. යුධ සමයේ මෙන් රාජ්‍ය මාධ්‍ය හරහා තත්පරයෙන් තත්පරයට යුධ බිමේ තොරතුරු වාර්තා වන්නේ නැත. නමුත් ආර්ථීක, සමාජීය සහ දේශපාලනික වශයෙන්, ලාංකීය සමාජය දිනෙන් දින ගමන් කරමින් සිටින්නේ අගාධයකට බව සිහිකල්පනාවෙන් බලන අයෙකුට තේරුම් ගැනීමේ අපහසුතාවයක් නොමැත. බොහෝ දෙනෙකුට එය නොදැනෙන්නේ බෝම්බයෙන් හෝ වෙඩි උණ්ඩයෙන් හෝ සිදුවන ආකාරයේ සෘජු, භෞතික හානියක් මෙහි බැලූ බැල්මට නොමැති නිසාය. නමුත් දැනට තත්වයන් ගොඩ නැගෙමින් පවතින ආකාරය අනුව දීර්ඝ කාලීන වශයෙන් එය දැවැන්ත විනාශයකට පාර කපනු ඇති බව සඳහන් කරන්නේ කණගාටුවෙනි. දයාන් ජයතිලක හෝ වික්ටර් අයිවන් හෝ ජ.වි.පෙ. හෝ සිතන ආකාරයට යුද්ධය සහ යහපාලනයේ බිඳ වැටීම එකිනෙකින් වියුක්ත සංසිද්ධීන් දෙකක් නොව ඒවා එකිනෙකට අවියෝජනීය ලෙස සම්බන්ධ වී ඇති බව අවබෝධ කර ගැනීම පවතින අර්බුදයට විසඳුම් සෙවීමේ පළමු මෙන්ම අත්‍යවශ්‍යය පියවරකි.

උපුල් වික්‍රමසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ලංකාවෙ ගොඩක් මිනිස්සු බැලු බැල්මට ආණ්ඩුවට විරුද්ධය. එක්කෝ ආණ්ඩුව හොඳයි බඩු මිල හොඳ නැත. නැතිනම් ආණ්ඩුව හොඳයි විදේශ බලවේග හොඳ නැත. ජනාධිපති හොඳයි ඇමතිවරු හොඳනැත. සිංහලයෝ හොඳයි හම්බයෝ හොඳ නැත. පාරවල් හොඳයි නාස්තිය හොඳ නැත. ආර්ථිකය හොඳයි කුඩු බිස්නස් හොඳ නැත. බැලු බැල්මට කවුරුවත් හොඳටම හොඳ හෝ හොඳටම නරක නැත. ඒක නිසා හැමෝම ජීවිතය විඳවගෙන ජිවත් වෙති.

සෑම සතියකම ඉරිදාට ලංකාවේ මිනිස්සු අවංක, එඩිතර මිනිස්සු බවට පත්වේ. ඒ එදාට ඉරිදා පත්තර ගෙදර ආලින්දයට කඩා පාත්වන නිසාය. මේ පත්තර ඔක්කොම කියෙව්වාම හිතෙන්නේ සඳුදා උදෙන්ම මිනිස්සු විප්ලවය පටන් ගනු ඇති බවයි. ඒත් වාසනාවකට එහෙම වන්නේ නැත. මිනිස්සු උදේම නැගිට හරි අහිංසක විධියට තමන්ගේ වැඩ වලට යයි. ඉඩ ලැබෙන විධියට ලංකාවේ දැවෙන ප්‍රශ්න ගැන රස කතා හුවමාරු කරගනියි. පාරවල් වලින් ඇමැති වරු ගහන හැටි, මර්වින් සිල්වා ගේ කප්පම් බිස්නස්‌ ගැන, නාමල් බබාගේ ගොංපාට් මොටර් රේස් ගැන, හම්බන්තොට වරායේ යෙන් වලින් ගල් කඩන හැටි, කුඩු කාරයන්ගේ රස කතා ආදියට අමතරව හවසට කට්ටිය සෙට් උනොත් ආණ්ඩු විරෝධී මහා පිකට් එකකටත් සහභාගි වී ගෙදර යයි. මේ අතර මේ අහිංසක ජනතාව ඉහළ යන ජිවන වියදම බැලන්ස් කරගන්න පුංචි පුංචි පාට් ටයිම් වැඩ ටිකක් කරන්න අමතක කරන්නේ ද නැත. දුෂණ කියල හිතෙන්නැති පුංචි පුංචි පගා කෑලි, කොමිස් කෑලී, ස්ත්‍රී දුෂණ කියල පත්තර වල වැටෙන් නැති ලිංගික අල්ලස් ආදිය එක්ක ඇඟට පතට නොදැනී සෙට් වෙලා ආතල් එකේ ජීවත් වෙන්නෝය.

ගොඩක් මිනිස්සු හීනයෙන් කොඳුරන දේ තමයි සිස්ටම් එක ඒ තරමටම නරක නෑ; මොකද හැමෝටම පුංචි චාන්ස් එකක් දීල තියනවා කියන එක. මේ අලකලංචියේ පොඩ්ඩක් ගැඹුරට ගියාම අපට හමුවෙනවා ආණ්ඩුව වෙනස් කරල රට හදමු කියල කෑ ගහන විපක්ෂයේ මන්ත්‍රීවරු, ආණ්ඩුවේ පුංචි පුංචි බිස්නස් කෑලි වල කොටස් කාරයෝ වෙලා ඉන්නවා. ගොඩක් අය හීන දකින්නේ මුන් කරන හොරකම් මුන්ට වඩා හොඳට කරන්නේ කොහොමද කියලයි. සජිත් ප්‍රේමදාස වගේ කට්ටිය එවරස්ට් කන්ද වෙනුවට සිරීපාද කන්ද තරණය කර කර ආතල් ගන්නවා.

රනිල් ආණ්ඩුව පෙරලීම විමධ්‍යගත කරල තියනවා.

පහුගිය කාලයේ අනුර කුමාර සහෝදරයා මහින්දගේ පැටිකිරිය ගැන ලස්සන කතා කිය කිය රට වටේ ගියා. මිනිස්සු මේ කතා අහල පුදුම ආතල් එකක් ගත්තේ. සමහරු මේ කතා අහල ජේවීපී එකට චන්දේ දුන්නා. මේ චන්ද වලින් චූන් උනු අනුර මේ දවස්වල තව ආතල් කතා වල ස්ක්‍රිප්ට් ලියනව ඌව චන්දෙට පාවිචිචි ක‍රන්න. මිනිස්සූ මේවගේ ආතල් කතා අහල, ඔලුවල තියන ඔක්කොම දහජරාව වමනේ දාල, ඔලු සුද්ධ කරගෙන, ඩබල් ගේම් ඔක්කොම අමතක කරල අනුරත් එක්ක එකතු වෙලා ආණ්ඩුව පෙරළයි කියල තමයි ඔහු හිතන්නේ. බලාගෙන යනකොට ආණ්ඩු පෙරලන එක හරි ආතල් වැඩක්...!

ප්‍රශ්නය තියෙන්නේ මහින්ද එක්කවත්, මුස්ලිම් මිනිස්සු එක්කවත්, විදේශ බලවේග එක්කවත් නෙමයි. මේ අය ඔක්කොම අපේ ඔලු ඇතුලෙ තියෙන ප්‍රතිරෝධතා නිසා බිහිවන සංකුලතා නොහොත් මහා අනෙකා. සමාජයක් විධිහට අනෙක් ජන සමාජ සමග සම්මුතියකට එන්න බැරි අහංකාර නොහැකියාවේ පිලිබිඹුව තමයි මහින්ද. ලෝක බල තුලනයේ සැබෑ චිත්‍රය තේරුම්ගන්ඩ බැරි අපේ සමාජ ප්‍රශ්නය වැහිල යන්නේ විදේශ බලවේග කියන කඩතුරාවෙන්. ප්‍රශ්නය තියෙන්නේ පාරේ තොටේ හමුවෙන කන, බොන, රමණය කරන ඔබ, මම වගේ මිනිස්සු ලඟයි. මෙහෙම කියුවම ගොඩක් අයට මල පනිනවා. ඒ තමයි අපේ සමාජය වැඩ කරන හැටි.

දේශපාලනය තියෙන්නේ පාර්ලිමේන්තුවෙවත්, කැබිනට් එක ඇතුලේවත් නෙමෙයි. දේශපාලනය කියන්නේ මහපාරේ පාවෙවී, පොලේ යන ගමන් ආණ්ඩුව විවේචනය කර කර මේ සිස්ටම් එකේ දැතිරෝද බවට පත් වෙලා ඉන්න මිනිස්සුන්ව වෙනස් කරන එක.

සාරද සමරසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ජීවිතයේ ළඟාකර ගත යුතු යමක් ගැන වන හීනයක් අපි හැමෝටම තියෙනවා. ඒක මොනවගේද කියන එක තීරණය කරන්න, අපි වටා ඇති පරිසරය, අත්දැකීම්, අධ්‍යාපනය වගේම ප්‍රජානන ශක්‍යතාවය වැනි කාරණා බලපෑම් කරන්න පුළුවන්. ලංකාව වගේ තෙවැනි ලෝකයේ රටක සාමාන්‍ය පුද්ගලයෙකුගේ, විශේෂයෙන් තාරුණ්‍යයේ, එක්තරා සිහිනයක් බවට පත්වෙලා තිබෙන්නේ ශ්‍රී ලංකාව කියන කොදෙව්වෙන් පිටතට අඩියක් තැබීම. ඒක සිහිනයක් වෙන්නෙ ඒක ඉටුකරගැනීමට අපහසු දෙයක් නිසා. සෑම මනුෂ්‍යයාටම එක සමාන අයිතීන් තිබිය යුතු බවට ඊනියා මානව හිමිකම්වල ප්‍රකාශ කළත් ලෝකයේ දුප්පත් රටක ඉපදීම නිසාම එහි පුරවැසියන්ට ප්‍රවේශවීම අහිමිකරලා තියෙන භෞතික සංවර්ධයේ ප්‍රතිඵල ගැන අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. අපි ජීවත් වන තෙවැනි ලෝකයේ පුරවැසියන්ට සංවර්ධිත ලෝකයේ රටකට සංක්‍රමණය වීම සිහිනයක් වෙන්නෙ මෙවැනි පසුබිමක් මත.

අද සිට පටන් ගන්න මේ කොලම ලියන මම එහෙම ලංකාවෙන් පිටතට පා තැබූවෙක්. හැබැයි ඒක මගේ සිහිනයක් සැබෑවීම ද කියන එක මම වෙනමම ලියන්නම්. අදහස වෙන්නෙ විදේශගත ජීවිතය ගැන යම් විවෘත සංවාදයක් ඇති කිරීම. "විවෘත" කියලා අදහස් කළේ විදෙස්ගත වෙලා සිටින හැමෝම විසින් පොදුවේ සඟවා තබන දෙයක් විවෘත කිරීමක් ලෙසට. (මං කියන්නේ බහුතරයක් පිරිස) හැබැයි ඒක සවිඥානිකව කරන දේකට වඩා අවිඥානික දෙයක් ලෙසටයි මං දකින්නේ. ඉතිං මේ පිටරටවල් වල ආතල් එකේ හොරෙන් රසවිඳින්නේ මොකද්ද කියන එක අපි ටිකක් අවුස්සලා බලමු.

"ආතල් පිටරටක සිට" කියලා නමක් මට හිතුනෙම පිටරට කියන්නෙ "ආතල්" කියන හැඟීම ලංකාවේ බොහෝම ජනප්‍රිය කාරණයක් නිසා. පිටරටවල් කියන හැමරටක්ම ආතල්. ඒකට ඇමරිකාව, එංගලන්තේ, ප්‍රංශේ, ඕස්ට්‍රේලියාව විතරක් නෙවෙයි දකුණු කොරියාව, මැලේසියාව, සිංගප්පූරුව ගැනත් ඇති අදහසේ වෙනසක් නෑ. එතනදි ව්‍යතිරේඛයක්, එහෙමත් නැත්තං මේ ගොඩට අයිතිවෙන්නැත්තේ ලංකාවේ කාන්තාවන් බහුතරයක් රැකියාවලට යන මැදපෙරදිග විතරයි. කොරියාව "ආතල්" වෙද්දි මැදපෙරදිග "මරුකතර" වෙන්නෙ ඒකයි. පිරිමි යන රටවල් ආතල් වෙන්නත් ගැහැණු යන රටවල් මරුකතරවල් වෙන්නෙත් අහම්බෙන්ද? එහෙමත් නැත්තං එතන සිද්ධ වෙන්නේ මෙහෙම දෙයක්ද, ඒ කියන්නෙ ලංකාවෙ පිරිමි විසින් ගැහැණුන්ව ඒ රටවලට යවන්නේ ඒවා ආතල් නැති මරුකතරවල් කියලා දන්න නිසාද? නිකං හරි ඒවා ආතල් රටවල් වුණොත් ලංකාවේ ගෘහණියෝ මැදපෙරදිග ගෘහසේවිකාවෝ කරන්න ලංකාවේ පිරිමි ඉඩදෙයිද? අනෙක් අතට ගත්තම පිරිමි යන්නේ මරුකතරවල් නොවන ආතල් යැයි කියන රටවලට විතරද? ඔක්කෝමටත් වඩා මේ රටවල ජීවිතය ඔය කියන තරම් ආතල්ද? වගේ ගොඩාක් කතාබහ ඉදිරියේදී ඇතිවෙන්න නියමිතයි.

අපි ජීවත්වෙන හැම රටකම ජීවිතය පොදුවෙ හඳුන්වන්නේ ධනේශ්වර සමාජ විදිහට. එතකොට මේ කොහේ ගියත් අපිට මේ සමාජ ක්‍රමය මගහැරලා යන්න අවස්ථාවක් හම්බවෙන්නේ නැහැ. හැබැයි ඒ ආර්ථික විද්‍යාවේ සැකැස්ම අනුව අපි එංගලන්තෙදි උපයන හැම පවුමකටම රුපියල් 200කට වඩා වැඩි මුදලක් ලංකාවෙදි ලැබෙනවා, ඇමරිකන් ඩොලර් එකකට රුපියල් 125කට වඩා ලැබෙනවා. එහෙම බැලුවම පිටරටක රැකියාවක් කිරීම හොඳ වෙන්නෙ නැද්ද? තව දුරටත් ඉදිරියට ගියොත් දියුණු රටවල තිබෙන සුබසාධන පහසුකම් විඳින්න ලැබෙන එක සුභදායී දෙයක් වෙන්නෙ නැද්ද? ඒ වගේම මේ සියළු දේවල් ලබාගන්න අපි ගෙවන මිල කොතරම්ද? වගේ කරුණුත් මේ කතාවට ඇතුලත්.

ඒ කොහොම වුණත් මේ කොලම මේ ප්‍රශ්ණ ඔක්කොම දාගත්ත වේළුණු එකක් කරන්න මගේ අදහසක් නැහැ. අපි ජීවිත දිහා වේලිච්ච විදිහට බැලුවට ඇත්තටම අපේ කිසිම ජීවිතයක් වේලිලා නෑ. ඒවා එකිනෙකට සමාන කළ නොහැකි විවිධාකාර සිදුවීම් රාශියකින් සමන්විතයි. ඒවා මගඇරියොතින් තමයි අපේ ජීවිත වේලෙන්නේ. පිටරටවල ජීවිත ආතල් ද කියනවට වඩා මම කියපු 'සිද්ධි' වලින් හරිම පොහොසත් එකක්. ආගන්තුක සංස්කෘති, ජනවර්ග, භාෂා වැනි දේවල් මේ තත්ත්වය තවත් තිව්‍ර කරනවා. ඉදිරියේදී මේ කොලම එකී මෙකී නොකී සියලු දෑ වලින් පුරවන්නයි හිතාගෙන ඉන්නෙ.

පළමු සටහනේ අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේ කොලම ලියන කෙනෙක් ගැන නිශ්චිත නමක් මම සදහන් කරන්නෙ නැහැ. ඒ නිසාම යම් අදහසක් දක්වන්න කැමති ලංකාවේ හෝ පිටරටක ඉන්න කෙනෙකුට තමන්ගේ අදහස සිය නමින්ම හරි අනන්‍යතාවක් රහිතව හරි ලියන්න ඉඩකඩ තිබෙනවා. අනෙක් අතට ආතල් පිටරටක ඉන්න මගේ ආතල් එක වැඩි හින්දම මේ කොලම ලියන්න වෙන්නෙ මාසෙකට එක වතාවක් පමණයි කියලත් දන්වා සිටින්න ඕන. ආතල් පිටරටේදී ලබන මාසෙදි ආයෙත් හමුවෙනකං මම නවතිනවා. කියන්න තියෙන දෙයක් athalpitarata@gmail.com email එකට එවන්න.

විගාමික



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



උන් මරුණු දින සිට
හෙලූ කඳුළු පොද
තව තවත් ඉකි ගසයි
පුද බිමත්-දඩ බිම උනු
වෙන අප්පගෙ රටක සිට

පහනක් දල්වන්න මුත්-මළ උන් වෙනුවෙන්
තෙල්ද-වැටිද අතට ගෙනැ
පිළිකන්නෙ ඇන තියාන උන් කලැ
දකුණේ වෙසක් සඳත්
කරයිද කවටකම්
එම අප්පගෙ රටේ සිට

මළ උන් දූවිලි වී ඇති අද
තව ආත්මෙකට පණ දෙන්න
යදින්නවත් අවසර නැති
අප්පගෙ රටකි මෙ ය

මම නොදන්න -මට නොතේරෙන
මුල්ලිවයිකාල ආකාස යට සිට
කව්රුන් අමතන්නද
වෙන අප්පගෙ රටක සිට

වන්නියෙ දූවරු අදත් හඬයි
නැතිවූ අප්පව සොයා
ගිනි අව්වෙ සිට-පින්තූර ගෙනැ
නැගූ හඬට කළ අවනම්බුව
සිතන්නේද උන් තවම
වෙන අප්පගෙ රටක සිට.

ඡායාරූපය: Reuters

ඩෙරික් සිරිනිමල්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සංවිධානය කරන "සන්නිවේදන කතිකාවතෙන්" මෙවර මොහාන් රාජ් මඩවලගේ "ලොවීනා" නව කතාව කතාබහට ලක් වෙයි.

මැයි මස 30 වෙනි සිකුරාදා සවස 04:00 ට කොළඹ 08, කාසල් කාන්තා රෝහල ඉදිරිපිට ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩල ශ‍්‍රවණාගාරයේ දී මෙය පැවැත්වීමට නියමිතය.

අදහස් දැක්වීම්-

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර
මලින්ද සෙනෙවිරත්න
දයා දිසානායක
කැත්ලීන් ජයවර්ධන
වංගීස සුමනසේකර
මනෝරම වීරසිංහ
සංජක ප‍්‍රසාද් දොලේවත්ත



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අගුලු ලා වසා සිටි
ජනෙල් පියන් පත
මුදා හැරියෙමි
ප්‍රභාතයට

වයෝවෘද
කිරිඉද්ද කුණප
මුස්නයෙන් සෙමෙන්
පිරියමින්
සුසානයට රැඟෙන යන
අම්මා

හැකිලී බිඳි
විසිරී යන්න ආසන්න
කිරිඉද්ද කුණපයක්
අරගෙන අතට
ආයාසයෙන් සිඹ බලයි

ගිලටිනය කර මලක්
ගසකින්
පූජාසනය මත
ප්‍රාණය
නිරුද්ධ වනතුරු සෙමෙන්
සිසිල් පැන් බිඳු ඉසිමින්
බණවා සිලෝ ප්‍රයෝචනා
හිමිදිරියෙ පිරිනිවන් පෑ
මලක සුවඳ මෙනෙහි කර

කේ. ඩී. ප්‍රදීප් කුමාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කසුන් මහේන්ද්‍ර හීනටිගල ගේ කුළුඳුල් කාව්‍ය ග්‍රන්ථය වන 'කවි ඇසිඩ්' එළිදැක්වීම ජුනි මස 4 වැනි දින සවස 3 ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයීය ශ්‍රවනාගාරයේ දී පැවැත්වේ.

ආරාධිත දේශන:
මංජුල වෙඩිවර්ධන
උපුල් ශාන්ත සන්නස්ගල

" තථ්‍ය මොහොත තුළ ප්‍රේමයේ ගිලී යාමත්, සැමරුම් පවා අහිමි කළ සහෝදර ජාතියක අවසාන සුසුම් ඉව කිරීමත්, දේශප්‍රේමයේ පුයර ගා ගත් මුහුණු මත නිරුවත් කැළැල් මතු කිරීමත් අරභයා 'කවි ඇසිඩ්' හදවත් මතට ගසමි! ඉනිබ්බේ පිච්චී යනු ඇත්තේ අපි ම අත්හැර දැමූ 'හෘද සාක්ෂිය' යි..."
- කස්සා





මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මාසික සිනමා දැක්ම 03

මේ මහ පොළව ශිෂ්ඨ සම්පන්න මිනිසුන්ගේ පමණක් ජනාවාසයක් නොවේ. දශක 68 කට පෙර ඇමරිකාවේ සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූ වසරේ හොඳම චිත්‍රපටය ලෙස OSCAR හා GOLDEN GLOBE සිනමා සම්මානයන්ගෙන් පිදුම් ලද,

Steve McQueen ගේ

12 YEARS A SLAVE චිත්‍රපටය

2014 මැයි මස 25 වනදා මීගමුව මාරිස්ටෙලා විදුහලේදී ප්‍රදර්ශනය කෙරේ.

විශේෂ දේශනය : දීප්ත බණ්ඩාර ( සහාකර කළමනාකරු, අධ්‍යාපන හා සිනමා අංශය - ජාතික චිත්‍රපට සංස්ථාව )සවස 4.00 ට

සිනමා කෘතිය ප්‍රදර්ශනය සවස 5.00 ට



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



තැනින් තැන තාර කට්ටෙ ගැළවිලා තිබුණු පටු පාර දිගේ පරිස්සමට අඩි තිය තිය ආව සරෝජිනී, ගේට්ටුව ළඟ නැවතිලා ඈත පේන පිට්ටනිය දිහා ඇස් පුංචි කරල බැලුවා. පහුගිය ටිකේ තිබුණු පෑවිල්ලට කහපාට වෙච්ච තණකොළ වලට උඩින් වලාකුළු වලින් බරවෙච්ච අහස ඈතට ඈතට විහිදිලා තිබුණා. අවුව නැති වුනත් පුදුම රස්නයක් තියෙන්නෙ! එයා එයාටම කියාගත්තේ තව කොච්චර දුර යන්න තියෙනවද කියල අනුමානෙට හිතන ගමන්..

මේ ගේට්ටුව පහුකරල මහපාර පැන්නහම පිට්ටනියට ගොඩවෙන්න පුළුවන්. තව වැඩිම වුනොත් මීටර් තුන්සීයක් ඇති. වටේ පාරෙන් බස් එකේත් යන්න පුළුවන්, ඒත් දාඩිය නිවෙන්නත් එක්ක පිට්ටනිය දිගේ ඇවිදගෙන යන එක හොඳයි. සරෝජිනී හිතුවා.

චූටි දූගෙ උත්සවේ තියෙන්නෙ පිට්ටනිය එහා පැත්තෙ පැවිලියන් එකේ..

"ලිට්ල් ෆ්‍රෙන්ඩ්ස්" නර්සරියේ පොඩි ඈයො සීයක් විතර එක්ක, සමනල තටු හයිකරපු පාට පාට ඇඳුම ඇඳගෙන, චූටි දූ එයාගෙ සිංදුව කියනවා බලන්න සරෝජිනීට ඉවසිල්ලක් නැති තරම්!.

නර්සරියේ ටීච, සරෝජිනීට අද ටිකක් වේලාසන එන්න කියලා දවස් දෙකකට කලින් පණිවිඩයක් එවලා තිබුණා. ඒ එනකොට, පුළුවන්නම් ඔයාගේ වයලීන් එකත් ගේන්න කියලා තිබුණු නිසාම, කාලෙකින් ප්ලේ කළේ නැති වුනත් එයා අද එළියට බැස්සෙ වයලීන් එකත් අරගෙන.
සරෝජිනී ඉස්සර මියුසික් ඉගැන්නුවා කියලා නර්සරියේ ටීච දන්නේ කොහොමද කියලා එයා කීප වතාවක්ම කල්පනා කළා. සමහරවිට කිංස්ලි කියන්න ඇති. එයා ටීචව ඉස්සර ඉඳන් අඳුනනවා නෙ..

දකුණු අතින් එල්ලගෙන හිටිය වයලීන් කේස් එක වම් අතට මාරු කරල බර යකඩ ගේට්ටුවේ එක පලුවක් තල්ලු කරන ගමන් සරෝජිනී මුරකාරයගෙ හට් එක දිහා දෙවතාවක්ම බැලුවෙ සැකෙන් වගේ. ඒ මනුස්සයා පේන්න හිටියේ නෑ. ගේට්ටුව ලොක් කරලත් නෑ. මුරකාරයා එතන හිටියනම් කළින් දවසක වුණා වගේ ප්‍රශ්න ගොඩකට උත්තර දෙන්න වෙනවා. වත්තෙ මේ පැත්තෙන් වැඩියෙ මිනිස්සු යන්නෙ එන්නෙ නැහැනේ..

ගේට්ටුවෙන් එළියට ආපු සරෝජිනී වෙලාව බලන්න කියලා හිතුවත් කළබලේට එයාට ඔරලෝසුව බඳින්න අමතක වෙලා තිබුණා. දැන් එකට කිට්ටු ඇති. තව පැය බාගයක් විතර තියෙන නිසා ගානක් නෑ. එයා හෙමිහිට ලොකු ගේට්ටු පළුව වහල දැම්මා.

අද කිංස්ලිත් හිටියනම් කොච්චර හොඳද? , සරෝජිනී කල්පනා කළා. කිංස්ලි යූකේ ගිහින් දැන් අවුරුදු තුනක්,.. මොන තුනද! , තුන හමාරක්ම වෙනවා. ඒ අවුරුදු තුන හමාරටම ඇවිත් ගියේ එක පාරයි. නිතරම කතා කලත් සමහර දවස් වල රෑට චූටි දූ එක්ක තනියම ඉන්නකොට සරෝජිනීට ඇඩෙනවත් එක්ක. මාසෙකට වතාවක් විතර සරෝජිනීව බලන්න ඇවිත් ගියත්, කොයිතරම් හොඳ මිනිස්සු වුනත්, කිංස්ලිගෙ අම්මල එක්ක සරෝජිනීට දැන් තියෙන්නේ පොඩි තරහක්. ඒ ගොල්ලන්ටත් පුළුවන්නේ පුතන්ඩියට බලකරන්න, දැන් ඔය හිටිය ඇති ලංකාවට එන්න කියලා..

"මිහින් ලංකා,
අහස අපට"


කියලා ලොකුවට ලියපු කටවුට් එක ලඟින් සරෝජිනී පාර පැන්නා. ඒ කටවුට් එකේ ඉස්සර හිටියේ නෙස්ටොමෝල්ට් බොන චතුරිකා පීරිස් කියලා එයාට හොඳට මතකයි. කිංස්ලි ඒ කාලේ විහිලුවට කිව්වේ සරෝජිනීත් චතුරිකා පීරිස් වගේ කියලා. සරෝජිනීට ඒක මතක්වෙලා එකපාරටම හිනා ගියා. අර ත්‍රී වීල් එකේ ගිය කොල්ලෝ දෙන්නා බල බල ගියේ එයා තනියම හිනා වෙවී යන නිසා වෙන්න ඇති කියලා හිතුනම එයාට තවත් හිනා ගියා..

පාරෙ මේ පැත්තෙ ඒ දවස් වල ලොකුවට හැදිලා තිබුණු කස ගස් පේළිය දැන් නෑ. නගර සභාවෙන් ගලවන්න ඇති. ඒ වෙනුවට පේමන්ට් එකේ ලස්සනට, රටාවට හිටින්න කොන්ක්‍රීට් ගල් අල්ලලා තියෙනවා. අතරින් පතර හොඳට කප්පාදු කරපු එක්සෝරා පඳුරු හිටවලා. ලොකු ගස් කොහෙන් හරි ගෙනැල්ලා හිටවන්න ඇති. නැත්තම් මේ තරම් පඳුරු දාන්න ගොඩාක් කල් යනවා. සරෝජිනීත් ඉස්සර එක්සෝරා වවන්න ආසයි. ලස්සනයි! , ඒත් හෙවනක් නැහැ ඉතින්.. කස ගස් තියෙනකොට මේ හරිය හොඳටම හෙවනයි සරෝජිනීට අයෙත් මතක් වුනා.

පේමන්ට් එකයි පිට්ටනියයි අතරේ කොළ පාට උස දැලක් ගහල තියෙනවා සරෝජිනී දැක්කේ ළඟටම ආවට පස්සේ. කෙලින්ම පිට්ටනියට ඇතුල් වෙන්න පුළුවන් කියලා හිතාගෙන ආවට එහෙම බෑ කියලා තේරුණු නිසා පේමන්ට් එකේ ඉඳගෙන එයා දෙපැත්ත බැලුවා.

- ටී. බී. ඉලංගරත්න ක්‍රීඩාංගනය - කියලා ලියල තිබුණු තහඩු පුවරුව අයිනෙන් කොළ පාට දැල එක තැනක ගැලවිලා! එතනින් හෙමිහිට රිංගගන්න පුළුවන් වුනොත්!.. , කවුරුත් දකින එකක් නෑ. එහෙම නැත්නම් ලොකු වටයක් පාර දිගේ යන්න වෙනවා. මේ රස්නෙ වෙලාවේ වටයක් යන්න ගියොත් එපා වෙයි. එයාට හිතුනා.

පේමන්ට් එකයි කොළ පාට දැලයි අතරේ තිබුණු ලොකු කොන්ක්‍රීට් කාණුව උඩින් එක පිම්මට පැන්න සරෝජිනී දෙපාරක් හිතන්නෙ නැතුවම දැල ගැලවිලා තිබුණු තැනින් පිට්ටනියට රිංගුවා. කළබලේ වැඩි කමට දැලේ අතිල්ලුනු එයාගේ සුදු පාට ඇඳුමේ ලොකු මලකඩ පැල්ලමකුත් ගෑවුනා. දැල කොළ පාට වුනාට ඒකේ ඇතුලෙ තියෙන්නේ යකඩ කම්බි. ඒවා මලකඩ කාල කියලා සරෝජිනීට තේරෙනකොට පැල්ලම ගෑවිලා ඉවරයි. ඒ මදිවට බිම තියපු වයලීන් කේස් එකෙත් හොඳටම දූවිලි ගෑවුනා. කමක් නෑ! දැන් ඉක්මනට යන්න ඕනේ.. එයා හිතුවා. කොල්ලෙක් වගේ එයා පිට්ටනියට රිංගන හැටි කවුරුත් දැක්කද කියලා පිටිපස්ස හැරිලා බලන්න මුලින් හිතුනත් එයා එහෙම බැලුවේ නෑ.

පිට්ටනියේ මේ පැත්තෙ සෙනඟ අඩුයි. කවුරුත් හිටියෙම නෑ වගේ...

සරෝජිනීගෙ ඇස්දෙකට මුලින්ම අහුවුනේ සාරි ඇඳගෙන ඔලුත් වහගෙන හිටිය මුස්ලිම් ලේඩීස්ල තුන්දෙනෙක්. එයාලත් හිටියේ ටිකක් දුරට වෙන්න. සරෝජිනීත් අද සාරියක් ඇඳන් ආවනම් හොඳයි කියලා එයාට හිතුනේ ඒ ලේඩීස්ල තුන්දෙනා දක්කම. ෂිහ්, කලින් මතක්වුනේ නැහැනේ එහෙම දෙයක්! මේ සුදු ඇඳුමේ කිසිම ලස්සනක් නෑ. ඒ මදිවට දැන් මලකඩ පැල්ලමකුත් ගෑවිලා. එතන කීප වතාවක්ම අතින් අතුල්ලලා පැල්ලම යවන්න හැදුවත් ඒක යන්නේ නෑ. ෂිහ්, දැන් ආයෙත් ගිහින් එන්න ගියොත් පරක්කු වෙනවා..

වෙලාව කීයට විතර ඇතිද? එයා ආයෙමත් කල්පනා කරා. එක පහු ඇති, ඉක්මනට ගියොත් චූටි දූ ස්ටේජ් එකට නගින්න කළින් එයාගෙ ඇඳුමවත් හරියට තියෙනවද කියල බලන්න පුළුවන්. ගෙදරදී රිහර්සල් කරනකොටත් අත්තටු දෙක බුරුල් වුනානේ... සරෝජිනී අඩිය ඉක්මන් කළා. කොච්චර ඉක්මන් කරාද කිව්වොත් කොහේද ඉඳන් ආව ලොකු තටු තියෙන සමනලයෙකුත් සරෝජිනීගේ මූනෙ හැප්පුනා.

ඈතින් අහස ගොරවන සද්දේ සරෝජිනීට ඇහුනේ පැවිලියන් එක කිට්ටුවටම ආවට පස්සේ.

වහීවිද? එයාට බය හිතුනා. පැවිලියන් එකේ වහලක් තිබුනත් වැස්සොත් ඇතුලට හිරිකඩ ගහනවා. චූටි දූට හෙම්බිරිස්සාව හැදිලා හොඳ වුණේ ගිය සතියේ. කුඩයක් ගෙනාවෙත් නෑ, එයාට කුඩේ මතක්වුනේ දැන්!. ඒත් ඉක්මනට වහින එකක් නෑ, ඊට කලින් ගෙදර යන්න පුළුවන් වේවි. වහින්න එන වෙලාවට අතේ කුඩයක් නැතුව කොහේ හරි යද්දී, වහින්නේ නෑ කියලා දිගටම හිත හිත ගියොත් ඇත්තටම වහිනවා කියලා එයා දන්නවා. ඒ නිසාම කොයිතරම් ගොරවන සද්දේ ඇහුනත් ඒ ගැන නොහිත ඉන්න එයා තීරණය කරා.

සරෝජිනී පුළුවන් තරම් ඉක්මනට ආවට පැවිලියන් එක ලඟට තාමත් කවුරුවත් ඇවිත් හිටියේ නෑ. කොන්සට් එක පටන්ගන්නේ එක හමාරට කියලයි ටීච එයාට කියල එවලා තිබුනේ. තාම එක වෙලා නැද්ද? වෙලාව බලාගන්න තැනක් තිබුනානම් හොඳයි කියලා එයාට ආයෙමත් හිතුනා. ෂිහ්, ඔරලෝසුව බැඳන් එන්න අමතක වුනානේ..

මම ආවා වේලාසන වැඩි ඇති. ඊට පස්සේ එයාට හිතුනා. අවුරුදු හතරේ, පහේ පොඩි උන් රොත්තක් ආම්බාන් කරගෙන එද්දි කොහොමත් හිතනවට වඩා වෙලා යනවනෙ. මෙතනින් පොඩ්ඩක් වාඩි වෙලා ඉන්නවා.. තව පැය බාගයක් යන්න කලින් ඔක්කොමල ඒවි.. එහෙම හිතපු එයා පැවිලියන් එකේ පිට්ටනිය පැත්තේ මිටි බැම්ම උඩින් හෙමිහිට වාඩි වුනා, වයලීන් කේස් එකත් බැම්ම උඩින් පරිස්සමට තිබ්බා.

පිට්ටනිය මැද්දෙන් ඇවිදගෙන එනකොට පුංචි හුළං පාරක් ඇඟේ වැදුනත් සරෝජිනීට තාම රස්නෙයි. වලාකුළු තිබුණට, දුරින් ගෙරවිලි සද්දෙ අහුනට වහින්නේත් නෑ... අනේ වහින්නනම් එපා දෙවියනේ.. එයාට ආයෙමත් වැස්ස ගැන මතක්වුණා. නරක කල්පනාවක්! ඒ ගැන හිතන්න හොඳ නෑ.

පැවිලියන් එකේ වහලේ හිටිය පරවියෙක් ඔළුව ලඟින්ම වගේ පියාඹගෙන ඇවිත් සරෝජිනී වාඩිවෙලා හිටිය සිමෙන්ති බැම්මෙ අනිත් කෙලවරේ හිටගන්නකොට එයාට පුදුම හිතුනා.. බය නැති කුරුල්ලෙක්! ඌ නිල් පාට ඔළුව ගස්ස ගස්ස සරෝජිනීගේ මූන දිහා බලනවත් එක්ක. ෂිප්! ,.. සරෝජිනී සද්දයක් කරේ මුකුත් හිතලා නෙවෙයි. ඒත් පරවියා බය නෑ. ඌ ආයෙමත් ඔළුව ගස්ස ගස්ස සරෝජිනී දිහාම බලනව..

පොඩ්ඩො එන්න තව වෙලා යයි වගේ.. එයාට ආයෙමත් හිතුනා. තාම කවුරුත් නැති එකේ, වෙලාවත් තව තියෙන එකේ බෝ එකේ දුම්මල ටිකක් ගාන්න ඕනේ..

වයලීන් කේස් එකේ අගුල් තුන පරිස්සමින් ඇරපු සරෝජිනී බෝ එක අතට අරගෙන ඒකෙ අශ්ව කෙඳි ටික හෙමිහිට අතගෑවා. "අශ්ව කෙඳි කිව්වට ඕවා අශ්ව කෙඳි නෙවෙයි, නයිලෝන් වගේ ආටිෆිෂල් කෙඳි ජාතියක්" කියලා කිංස්ලි ඉස්සර දවසක එයාට කිව්වා මතකයි. ඒ කොයි කාලේ වගේද? මැරි කරන්න කලින්ද ඊට පස්සෙද? දුම්මල ටිකක් ගාන එක කෝකටත් හොඳයි..

කොන්සට් එක ඉවර වෙලා මම ප්ලේ කරන්නේ මොන සින්දුවද?. එයා කල්පනා කළා. විශේෂ සින්දුවක් ප්‍රැක්ටිස් කළේ නැහැනේ. "හියර් කම්ස් ලිට්ල් ඒන්ජල්" එහෙම නැත්නම් "මල් පිපෙයි දෙනෙත් ඇරෙයි" වගේ සින්දුවක් නම් නෝට්ස් බලන්නේ නැතුව වුනත් සරෝජිනීට ප්ලේ කරන්න පුළුවන්. ඒත් අලුත් සින්දුවක් ප්‍රැක්ටිස් වෙලා ආවනම් චූටි දුවවත් පුදුම කරන්න තිබුන කියලා එයාගේ ඔළුවට ආවේ දැන්. කමක් නෑ, ඔය සිංදු දෙකෙන් දුව කැමති එකක් ප්ලේ කරනවා. කෝ තාමත් නැහැනේ ඉතින්...

.................................................................

"පියසීලි මිස්, සරත්ව දැක්කද.. ? අරෙහෙ ලොකු මහත්තයා හැම තැනම හොයනව"

ස්ටාෆ් රූම් එකට කඩාගෙන වැදුණු රංජි එක හුස්මට කියාගෙන ගියා. මොකක් හරි කලබලයක් වෙලා කියලා පියසීලි සිස්ටට එක පාරටම තේරුනා. ඩිරෙක්ටර් සර් නිතරම මිනිස්සුන්ව හොයන්නෙ නෑ..

"මොකද මනුස්සයෝ වෙලා තියෙන්නේ? ඇයි ලොක්කා සරත්ව හොයන්නේ? උදේ මම දැක්ක කැන්ටිම පැත්තෙ ඉන්නවා".. පියසීලි එහෙම අහන ගමන් ඉඳගෙන හිටිය පුටුවෙන් නැගිට්ටා. රංජි උත්තර දුන්නේ නෑ. එයා කැන්ටිම පැත්තට දුවන්න හැරිලත් ඉවරයි..

"අදත් මිනිහ ගේට්ටුව ඇරල දාල ගිහිල්ලද?" පියසීලි එහෙම හිතුවේ සැකේට වගේ..

"රන්ජී... ඊ... ඊ...... කව්ද මිසී.... න්?" එහා පුටුවේ වාඩිවෙලා හිටිය ධම්මික එකපාරටම ලොකු හිනාවක් එක්ක කෑ ගහල ඇහුවා.

"තිස් තුන මිසී.... න්!" දුවන ගමන්ම රංජිත් කෑ ගැහුවා.

.......................................................

"ගුඩ් ඊවිනින් තුෂාර"

කතා කර කර හිටිය ටෙලිෆෝන් එකේ මයික්‍රොෆෝන් එක අතින් වහගෙන කන්සල්ටන්ට් සර් තුෂාරට කතා කරා.

"බිසී නැහැනේ? මෙන්න ෆයිල් එක. පී. ටී. එස්. ඩී* එකක්, බට් පර්මනන්ට්, ඕල්සෝ විත් හිලුසිනේෂන්ස්! අවුරුදු තුනකට වැඩියි දැන්, ඇක්සිඩන්ට් එකකින් දරුවා නැති වෙලා තියෙන්නේ.. ටිකක් විතර සීරියස්! ඔයා මේ වගේ කේසස් වලට ඉන්ටරෙස්ට් නේ.. , හිස්ට්‍රි එක කියවල බලල මට කෝල් එකක් දෙන්න."

තුෂාරට අත වනපු එයා ආයෙමත් ටෙලිෆෝන් එකට කතාකරන්න පටන් ගත්තා..

...............................................................

තුෂාර ෆීමේල් වෝඩ් එකට ඇතුල් වෙනකොටම පේශන්ට් කෙනෙක්ව වත්තන් කරගෙන ඉස්සරහට ආව පියසීලි සිස්ට එයාට කතාකළා.

"ඩොක්ට, මේ සරෝජිනී.."

"සරෝජිනී,.. මේ ඩොක්ට තුෂාර.."


සිස්ට කිව්වේ කට පාඩමෙන් වගේ..

මලකඩ ගෑවුණු ඇඳුමක් ඇඳගෙන හිටිය පේශන්ට්, පොල්පිති කෑල්ලක් අතින් අරගෙන හිටියා..

"හෙලෝ සරෝජිනී, කොහොමද?"

වික්ෂිප්ත වුණු තුෂාර එහෙම කියන ගමන් සරෝජිනීට අත දික් කරේ කන්වසේෂන් එක පටන්ගන්නේ කොහොමද කියලා හිතාගන්න බැරුව..
සරෝජිනී තුෂාරගේ අත දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා..

"වැස්සක් එනව!" ඊට පස්සේ එයා කිව්වා..

* පී. ටී. එස්. ඩී - PTSD - Post Traumatic Stress Disorder

භාතිෂ අකලංක සිල්වා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පළමු කතාව

මම හැම වෙලාවෙම දෙවියෝ විශ්වාස කළා. බයිබලයෙත් මේ වගේ ගමනක් ගැන කියලා තියෙනවා. මට හැමවෙලාවෙම බයිබලය මතක් වුණා. මම, මගේ බිරිඳ, මගේ දරුවෝ තුන්දෙනා, මේ ගමන පටත් ගත්තේ විශ්වමඩුවල අපේ ගෙදරින්. අතට අහුවෙන හැම දෙයක්ම ගත්තා. සමහර දේවල් වළ දැම්මා. එක පැත්තකින් ස්පීකර් දාල අපිට යන්න එපා කියනවා. අනෙක් පැත්තෙන් පත්‍රිකා බිමට දාලා යන්න කියනවා. අපි මොකක්ද තෝර ගන්නේ. මගේ වයස දැන් හැටකට කිට්ටුයි. මම අවුරුදු තිහක් විතර තිස්සේ මඟ බලාගෙන හිටිය ගමනක් මේක. මම හිතන්නේ අපේ පරම්පරාවේ අය හැමෝම එහෙමයි. ඒත් මගේ පුතාලගේ වයසේ ගොඩක් අය එයාලට කළින් පරම්පරාවල අය මෙවැනි ගමනක් අපිට යන්න වේවි කියලා කවදාවත් හිතුවේ නැහැ. ඒක හරිම දුෂ්කර ගමනක්. දහස් ගාණක් ගමනට එකතුවෙලා හිටියා. දවල්ට නවතිනවා රෑට පටන් ගන්නවා. සමහර පාරවල් හුරුයි. සමහර පාරවල් නුහුරුයි. ගමන පටන් ගන්න කොට අතේ කටේ ඉහින් කනින් බඩු පුරවගෙන ගමන කෙළවර කරන කොට සමහරුන්ට ඇඳිවතත් නැහැ.

තැනි තලාවේ තල් ගස්, කටු පඳුරු අස්සේ අපි ගියා. අපි පුංචි පුංචි කල්ලි කණ්ඩායම් බෙදිලා තමයි ගමන ගියේ. ගමේ අය පවුලේ අය වගේ අපි බෙදිලයි හිටියේ. සමහර රාත්‍රීවලට දෙපැත්ත ළඟ ළඟම දරුණුවට වෙඩි තියා ගන්නවා අපි ඒ මැදින් බඩගානවා. මරණය සුලභ අත්දැකීමක්. කොතනක සුළු වෙලාවකට නැවතුණත් බංකරයක් කැපුවා. සමහර තැන්වල දහස් ගාණක් බංකර්. සමහර වෙලාවට මූනිස්සම් වරුසාවක ශබ්දයක් එනවා. බිම දිගාවෙලා නැගිටිනකොට ළඟින්ම ගමනට එකතුවෙලා හිටිය බොහෝ දෙනෙක් ගමන අතඇරලා සදාකාලිකවම නැවතිලා හිටියා. සමහර වෙලාවට අපි ඔවුන් ඒ ඒ තැනම වළ දැම්මා. සමහර වෙලාවට මිනී අත ඇරලා පණ බේරගෙන ලඳු කැළෑවල් පීරුවා. මම දැන ගෙන හිටියා හැම බුලට් එකක්ම හදනකොට ඒ බුලට් එකේ ඒක හිමිකාරයන්ගේ නම කොටනවා කියලා. ඉතින් මගේ නම කොටපු මට හිමි බුලට් එකත් කාගේ හරි අතේ තියෙන ගන් එකකින් එළියට ආවොත් මට යන්නම වෙනවා. මම හිත හදාගෙන හිටියේ.

මම මගේ මුළු ගමනම හැන්ඩ්‍රිකැම් කැමරාවකින් වීඩියෝ කළා. ඒත් ඒ කැමරාව ඒ රූප රාමුත් එක්කම අතුරුදන් වෙලා. මම මගේ ළමයින්ව ආරක්ෂා කර ගන්න මගේ පණ පැත්තකට තියෙලා උත්සාහ ගත්තා. ඒත් දහස්ගාණක් අතරේ මගේ පුතාලා දෙන්න නොපෙනී ගියා. එයාල කොහේ හරි තැනක ඉන්නවා කියලා මම හිතනවා. එක්කෙනෙක් අතුරුදන් වුණේ මුලතිව් මුහුදු වෙරළෙ පාරා නැව සමීපයේදී. තවත් එක්කෙනෙක් පුදුමාතලන්වලදී... ඒ ළමයි දෙන්නා කොටි හමුදාවට නොදී මම ගොඩක් ආරක්ෂා කර ගත්තා. මට මතක විදිහට මගේ දෙවෙනි පුතා විශ්වමඩු පාස් කරලා ටික දුරක් යනකොට එයාලා අල්ලගෙන ගියා. ඒත් දවස් දෙකකට පස්සේ මට මගේ පුතා හම්බ වුණා. මම එයාව පැහැර ගත්තා. එදා මම කොටි හමුදාවේ ලොක්කෙකුට අතින් පයින් ගැහැව්වා මම හිතුවා මට වෙඩි තියයි කියාලා. ඒත් ළමයා අරගෙන යන්න ඉඩ දීලා එයා කරබා ගත්තා. අන්තිමට ලොකු වටයක් සම්පූර්ණ කරලා මම ආයෙත් මගේ ගෙදරට ඇවිල්ලා අපේ ගමේ ගෙදර මාත් එක්ක මේ ගමන පටන් ගත්ත ගොඩක් දෙනෙක් ගමන අත ඇරලා සදාකාලයටම නොපෙනී ගිහින් තිබුණා. මට දැන් රෑට නින්ද යන්නේ නැහැ. මම හිතන්නේ ආයෙත් පුංචි කාලේ වගේ මට සුව නින්දක් කවදාවත් ලැබෙන එකක් නැහැ. මම හිතන්නේ මගේ දුවට මගේ බිරිඳට අපි හැමෝටම එහෙමයි. මගේ දුව නිතරම රාත්‍රියට කෑගසාගෙන නැගිටිනවා. මම අහනවා ඇයි කියලා. හේතුවක් නැහැ.

දෙවැනි කතාව

මම මගේ දුවලා දෙන්නා, පුතා, නෝනා, මගේ තාත්තා අපි කට්ටිය තමයි මේ ගමන පටන් ගත්තේ. මල්ලාවියෙන්, තුනුක්කායි, පරන්තන්, විශ්මඩු, වළයාමඩුවලින් අපිත් පුදුමාතලන්වලටම ගියා. මේ ගමන පටන්ගන්නකොට කවදාවත් අපි හිතුවේ නැහැ අපිට මෙච්චර දුරක් යන්න වෙයි කියලා. අපි හැම උදෑසනකම හිතුවා යුද්ධය නතර වේවි කියලා. ඒත් පස්සේ පස්සේ තේරුණා මේක නතර වෙන්නේ අපිව ඉවරකරගෙනම කියලා. අපි මේ ගමන පටන් ගන්නකොට මගේ දරුවෝ ගොඩක් පුංචියි. අපි අපේ ජීවිතවල මැද හරියට ඇවිත් හිටියට එයාල ජීවිතය පටන් ගත්තා විතරමයි. මම හැමවෙලාවෙම මගේ දරුවෝ බේරගන්න මහන්සි ගත්තා. මුලින් මුලින් අපි රැයක් දහවලක් නැතුව ඇවිද්දා. පස්සේ පස්සේ රෑට විතරක් ඇවිද්දා. හතර වටෙන්ම යුද්දෙ තිබුණා. ඔළුවට උඩිනුත් යුද්දේ. දේව ශාපයක්ද කියලා නිතරම හිතුවා. ඒත් අපි විශ්වාසය අත ඇරියේ නැහැ. උදේට මම මගේ මේ අත් දෙකෙන් මිනී කොයිතරම් වළදාල තියෙනවද? බල්ලෝ ඇදගෙන කනවා බලා ඉන්න බැරිකමට මම එහෙම වළ දැම්මා. මේ ගමනෙන් පස්සේ අපිට දැන් මරණය කියන අත්දැකීම සාමාන්‍ය දෙයක් වෙලා. ළඟම ඥාතියෙක් මැරුණත් දැන් හිතට වේදනාව දුක එන්නේ නැහැ. මුලින්ම ගෙවල්වල පුරවලා තිබුණු බඩු මුට්ටු කද බැඳගෙන කරත්තවල, බස්වල, වාහනවල තමයි මේ ගමන ගියේ අන්තිමට දෑත දෙපා විතරමයි ඉතුරු වුණේ. සමහර රෑක අපි මුවාවෙලා හතිඅරින ළඳු කැලෑව දෙපැත්තෙන්ම වෙඩි වරුසා ඇහෙනවා. අපි ඇස් තදින් වහගෙන බිම දිගාවෙලා ඉන්නවා. සටන ඉවර වෙලා ගොඩක් වෙලා ගියාට පස්සේ තේරෙනවා ළඟ හිටිය ගොඩක් දෙනෙක් අපිව අත ඇරලා ගිහින් කියලා. මම ගිහින් ගිහින් නවතින හැම තැනකම මුලින්ම කළේ බංකරයක් කපන එක. මගේ දරුවෝ ඒ බංකරයට බස්සවන එක. මගේ තාත්තා මම මේ ගමන අරගෙන යනකොට එයාට වයස අවුරුදු 80කට වැඩියි. එයා හරිම අමාරුවෙන් ඇවිද්දේ. පස්සේ පස්සේ මම එයාව කරේ තියාගෙන ගියා. එයා හැම වෙලාවෙම මට කිව්වේ රෙදි කෑල්ලක ඔතලා මඟ දාලා යන්න කියලා. හදිස්සියේ මැරුණොත් රෙදි කෑල්ලක ඔතලා වළ දාන්න කිව්වා. ඒක තමයි එයාගේ අවසාන ඉල්ලීම. අන්තිමට අපි ළඟට වැටුණ ෂෙල් වෙඩිල්ලක් නිසා එයා දෑස පියා ගත්තා. මම එයාව රෙදි කෑල්ලක ඔතලා මුහුදු වෙරළ අයිනේ වළ දැම්මා. මාව උස්මහත් කරලා මට කන්න අඳින්න දීලා මට ජීවිතය කියා දුන්න මගේ තාත්තට එයාගේ හුස්ම ටික යන වෙලාවේ මට කරන්න පුළුවන් වුණේ එච්චරයි. එයා ජීවිතය දාලා ගිහින් ළඟ ඉඳල අපිව ආරක්ෂා කළා. ඒ හින්ද තමයි මටයි මගේ නෝනටයි දරුවන්ටයි අද මේ විදිහට ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ අතීතය අපිට ආයෙත් ඕන නැහැ. අපිට ඕන අලුත් ජීවිතයක්. ඒත් ඒක සැකයි.


2009 මැයි- උතුර


2009 මැයි-දකුණ

තෙවැනි කතාව

මට දැන් වයස 65ක් වෙනවා. මම ඉපදුණේ ගාල්ලේ වත්තක. 1983 කළු ජූලිය වෙලාවේ මගේ මහත්තයා කොළඹ කඩයක් ඇතුළට දාලා ගිනි තියලා තිබුණා. එතකොට මගේ දුවට මාස 8යි. මම අත දරුවත් අරගෙන ඉන්දියාවට යන්න බලාගෙන ඉන්නකොට අපිට කිව්වා කිලිනොච්චියට යන්න ඉන්දියාවට ඒ පැත්තෙන්ම යවන්නම් කියලා. එහෙම තමයි කිලිනොච්චිවලට ආවේ. අවසාන යුද්දේ එනකොට මගේ දුව කසාද බැඳලා එයයි එයාගේ මහත්තයයි දරුවෝ තුන්දෙනාම හිටියේ මම ළඟ. අපි පුදුමාතලන්වලට යන්න පිටත්වෙනකොට මේ දරුවට අවුරුද්දක්වත් නැහැ. පුංචි එකා මොනව දන්නවද? ජීවිතය ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. මරණය ඉස්සරහට හම්බ වෙනකම් කියලා හිතාගෙන අපි හැමෝම පුදුමාතලන්වලට ඇවිද්දා. සමහර දවස්වල සමහර වෙලාවල වෙඩි වරුසාවලට මැදි වුණා. හැම තැනටම ෂෙල් වැටුණා. භාගෙට භාගයක්ම මැරුණා. එත් අපි මළ මිනී කඳු උඩින් ජීවිතය තියෙනකම් ඇවිදිමු කියලා ආවා. මේ දරුවා මම ළඟින් හෙළවුණේ නැහැ. මමයි දරුවයි හැම වෙලාවෙම වෙනමම බංකරයක හිටියේ. දුවයි බෑණයි තවත් බංකරයක හිටියා. මට මගේ පණ කෙන්ද ගියත් මේ දරුවගේ පණ කෙන්ද රකින්න ඕනය කියලා හිතුණා. කොහොම හරි මල්ලාවිවලින් පටන් අරගෙන පරන්තන්, විශ්වමඩු පහුකරලා අපි වළයාමඩම්වලටම ආවා. ඒක පුනර්භවයක් මහත්තයෝ. මේ මයේ ඉස්සරහ කතා කර කර හිටිය කෙනා ඊළඟ මොහොතේ මැරිලා වැටුණා. දහස් ගාණක් මිනිස්සු දහස් ගාණක් ලෙඩවෙලා පණ අඳිනවා. හැමතැනම තුවාල මිනිස්සු ලේ ගංඟාවක පීනලා තමයි පුදුමාතලන්වලට ආවේ. සමහර අම්මලා ළමයි කුණුවෙලා කුණු ගඳ ගහන කොටත් තුරුළු කරගෙන පිස්සුවෙන් වගේ හිිටියා. මමත් එහෙමයි. මේ පොඩි එකා කොයිම වෙලාවකවත් තනි කළේ නැහැ. වළයාමඩම්වලදී මම හිටිය බංකරයකට ළඟම තවත් බංකරයක තමයි මේ දරුවගේ අම්මයි තාත්තයි හිටියේ. ෂෙල් එකක් වැටිලා එතන හිටිය සේරමලා මැරුණා. මේ දරුවාට අදටත් තාත්තයි අම්මයි මතක නැහැ. පෙන්නන්න කියලා අපි ළඟ ෆොටෝ එකක්වත් නැහැ. මම අන්තිමට බේරුණා. මේ දරුවත් බේරුණා. දැන් මට ඕන මගේ ඇහැ පිය වෙන්න කලින් මේ දරුවට අනාගතයක් හදලා දෙන්න. මෙ කොලුවට අම්මටයි තාත්තටයි දෙන්නටම ඉන්නේ මේ නාකි මම තමයි.

මගේ කතාව

මොන හේතුවකට ද මන්දා මම උතුරට ගොඩක් කැමතියි. යුද්ධයෙන් පස්සේ සංචාරය කළ වාර ගාණත් ගොඩක් වැඩියි. මම එහෙම ගියාම වීථී දිගේ ඇවිදිනවා. භාෂා අවුල තිබුණත් හම්බ වෙන මිනිස්සුත් එක්ක ජීවිතය බෙදා ගන්න දඟලනවා. එයාල ළඟ තියෙන එයාලගේ ජීවිතය ගැන කතා ඇහිඳිනවා. යුද්ධයට පස්සේ එයාලා ළඟ තියෙන ගොඩක් කතා එක වගේ. ඒ හැම කතාවක්ම මරණය පිළිබඳව ලියවුණ කතාවක්. ලෝකයේ බිහිවුණ ගොඩක් කතා මරණය නිසා ඒක ලස්සන වුණා ප්‍රසිද්ධ වුණා. ෂේක්ස්පියර්ගේ ප්‍රසිද්ධම නාට්‍ය අරගෙන බලන්න. ඒ හැම කාව්‍යයකම තියෙන්නේ මරණය. අපි උතුරේ සංචාරය කරනවා. පාරා නැව ළඟට ගිහින් ඡායාරූප ගන්නවා. පාටි දානවා. ඒ අතරේ ඊට ළඟම තියෙන කැඩුණු ගෙවල්, අඬන මුහුණු, අවිනිශ්චිතතාව රැදී දෙනෙත් මඟ ඇරෙනවා. අපි උතුරේ ඇවිදිනවා. වඳිනවා පුදනවා ඒත් අපිට එක දෙයක් මඟ ඇරෙනවා. අපිට මරණයෙන් ලියවුණ යුද්ධය පිළිබඳ කතාව මඟ ඇරෙනවා. එයාලගේ මිනී කඳු මතින් රාජ්‍යයක් දිනා ගැනීමට වඩා සාකච්ඡාවකින් අපිට එකතු වෙන්න තිබුණා නම් කියලා හිතෙන වාර ගණන අනන්තයි. ඒත් මේ හැමදෙයක්ම දැන් අතීතය. ඒ අතීතයට කතා කරන්න ඉඩ දුන්නොත් ඒ අතීතය වඩා නිවහල් සමගි සම්පන්න ජාතියක් හදන විදිහ අපිට කියලා දෙයි. ඒත් දකුණේ අපි ඒ අතීතයට කොන්ක්‍රීට් වක්කරනවා. භූමිකම්පාවකට කොන්ක්‍රීට් වුණත් විනාශ කරන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ කියන එක අපිට අමතක වෙනවා!

කේ.සංජීව



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පෙර සටහන- මා අබියස කෘතියකි. එහි නම "පෙරමුණක් නැති සෙනෙවියෙකුගේ කගපතක මුවහත" යන්නයි. කෘතියේ මූලාරම්භයේ කොළඹ යුගයේ කවියෙකු ලෙස පෙළපොතින් හඳුනා ගෙන සිටි මීමන පේ‍්‍රමතිලකගේ පුද්ගලික අත්දැකීමකි. ඉන්දීය ශාස්ත‍්‍රඥයෙකු ලෙස එවක ප‍්‍රකටව සිටි බණී මාධව බරුවාගේ දේශනයක් වාර්තා කරන්නට ගොස් දේශන ශාලාවේ අසුන්ගෙන සිටි මීමන, ආරෝහ පරිණාහ දේහයකින් යුතු පිළිවෙලකට ඇඳපැළඳ ගත් හැඩකාරයෙකු සිතින් මවාගෙන සිටියේය. "වේදිකාවට ගොඩ වූයේ සිහින් සිරුරක් ඇති පුද්ගලයෙකි. ඔහුගේ හිසකේ අවුල් වී ගොසිනි. ටයි පටියක් පැළඳ සිටි නමුත් එහි කිසිදු හැඩයක් පිළිවෙලක් නැත. බාගයට දමා තිබුණු ටයි ගැටයත්, පැත්තකට වීසි වූ ටයි පටියත් නිසා ඔහු කෙරෙන් විද්‍යමාන වූයේ තරමක අමුතු ආකාරයේ පෙනුමකි. මේ කිසිසේත්ම මාධව බරුවා විය නොහැකි යයි මීමන සිතීය. එහෙත් මීමනගේ සිතුවිල්ල සාවද්‍ය කරමින් මේ අමුතු මිනිසා දේශනය ආරම්භ කළේය."(පිටුව.11).

දේශනයෙන් ඉක්බිතිව මාධව බරුවා ගැන උපන් ගෞරවාදරයෙන් යුතුව මීමන ගෙදර ගියේය. තම බිරිඳ වන ඇඩ්ලින්ට දාව උපදින කුළුඳුල් දරුවාට 'මාධව'යයි නම දැමිය යුතු බවට යෝජනා කළේය.

-සුනිල් මාධව ට හැත්තෑවයි. මාධ්‍ය ජීවිතය ට පනහයි.-

ඒ දෙදාහ දශකයේ මූලාරම්භය යි. පාසල් අධ්‍යාපනයට ආයුබෝවන් කීමෙන් පසු ලිවීමත්, රස්තියාදුවත් ජීවිතය කරගනිමින් ඩොනල්ඩ් වූඩ්ස්, ජූලියස් ෆූචික් කියවා එවන් පරමාදර්ශීය පුවත්පත් කලාවේදියෙකු වීමට සිහින දකිමින් සිටි යුගයයි. තැන තැන ටයර් මත දැවී යන මළ සිරුරු, පාසල වසා ඇති බවට තද රතු හෝ කළු අකුරින් ලියා ඇති පෝස්ටර්, පාළු වී ගිය මං මාවත්, බෙරි කරගත් මුහුණින් යුතු වැඩිහිටියන්ගේ නොරිස්සුම් අවවාද පිළිබඳ බොඳ වී ඇති මතකයන්ගෙන් යුතු ළමා විය සිහිගන්වමින් කෙනෙකු එවන් මිනිසෙකු ගැන කියා දෙයි.

"ඔයාලා ඒ දවස්වල පොඩි ළමයි. කටක් හොල්ලල මිනිහෙක් කතා නොකරන කාලේ. ‘පේ‍්‍රමදාස අපි සූදානම්’ කියලා ලක්දිව පත්තරේ හෙඩිම දැම්ම මිනිහෙක්. එක පත්තරයක් වැහිලා තව පත්තරයක් පටන් ගන්න මිනිසුන්ගෙන් සල්ලි එකතු කරන්න තිබිච්ච රැස්වීමකට මං ගියා. මනුස්සයා කතා කරා විතරයි වටේ උන්නු ගැහැණු මිනිස්සු අතේ කනේ තිබුණු කණකර අබරණ ටික ගලවලා දුන්නා."

ඉක්බිතිව මම ඔහු සොයා ගියෙමි. මහජන පුස්තකාලයේ පුවත්පත් අංශයේ ද, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ලිපි ගොනු අතරේ ද ‘සුනිල් මාධව පේ‍්‍රමතිලක’නම් අදීන පුවත්පත් කලාවේදියෙකු, ලේඛකයෙකු ලියූ කියූ දෑ මට හමු විය. මීට පෙරාතුව මා කියවා තිබුණු ඩොනල්ඩ් වූඩ්ස්ගේ කෘතිය ‘හඬනු මැන නිදහස’ නමින් සිංහලට අනුවර්තනය කර තිබුණේ ද ඔහු බව යළි හැඳින ගැනීමට ලැබීමෙන් සියුම් ලජ්ජාවක් ද උපන් බැව් දැනුදු සිහිපත් කළ හැකිය. කෘතියේ කතානායකයා දකුණු අප‍්‍රිකානු විමුක්ති අරගලයේ කළු ශිෂ්‍ය නායක ස්ටීව් බිකෝ වුවද මාගේ වීරයා වූයේ කෘතියේ කතුවරයා වූ වූඩ්ස්මය. ‘සත්‍යවාදියෙකුගේ දිනපොත’ විටෙක වෙඩි උණ්ඩයක් තරම් හිත් පසාරු කරවන සුළු වන අතරම තවත් විටෙක දෑසට කඳුළු උනන තරමේ සංවේදීය. තවත් විටෙක ලෝකය ගැන අලුත් විදිහට දකින්නට හැඟීම් අවුළුවාලන සුළුය. 'උණ්ඩයට බෝම්බයට මුහුණ දෙමින් කරන මේ පත්තර කලාව මොන තරම් සුන්දරද?' 92 ජූනි 1 දා ඔහු විසින් සටහන් කර තිබුණි. ජීවිත අවදානම නොතකා ලෝකයේ විවිධ රටවල ඇවිදිමින් තරුණ නැඟිටීම් ගැන ලියූ ඔරියානා ෆලච් ලංකාවට පැමිණියේ 71 අපේ‍්‍රල් සමයේදී ය. ඒ වන විටත් කැලෑ වැදී සැඟ වී ‘සමාජවාදී සිහිනයක්’වෙනුවෙන් අරගල කරමින් සිටි සටන්කාමීන් හමුවීමට යාම සඳහා ගමන් සහචරයෙකු ලෙස ඇය විසින් තෝරා ගනු ලැබුවේ සුනිල් මාධවය. ඔහු පිළිබඳ මාධ්‍ය ක්ෂේත‍්‍රයේත්, ප‍්‍රගතිශීලි සමාජයේත් දැල් වී තිබුණු පෞරුෂය තක්සේරු කර ගැනීමට එය ද ප‍්‍රමාණවත්ය. ග‍්‍රීසියේ පපඩපවුලෝස් ඒකාධිපතියාට එරෙහිව සටන් කළ, ජනයා ආදරයට ‘ඇලිකෝස්’ නමින් හැඳින් වූ අලෙක්සැන්ඩර් පනාගොලීස් කවියාගේ ජීවිත කතාව ‘ද මෑන්’ යනුවෙන් ලියූවේ ඔරියානාය. එය ‘මිනිසෙක්’යන්නෙන් සිංහලට අනුවර්තනය කරන ලද්දේ ද සුනිල් අයියා විසිනි.

මේ අනුව ඉතා කෙටි කලක් තුළ "සුනිල් මාධව" මා හිස තුළ දැවැන්ත ප‍්‍රතිරූපයක් බවට ප‍්‍රාදුර්භූත වීම නොවැළැක්විය හැකිවිය. 2002 වසරේ මා කැලණිය සරසවියට ඇතුළු වන අතර ටික දිනකින් සුනිල් මාධව අලුත් පත්තරයක් ආරම්භ කිරීමට යන ආරංචිය සැල විය. ඔහුගේ නිවසේ දුරකථන අංකය සොයාගත් මා ඔහු ඇමතුවෙමි.

"ඇවිත් මාව හම්බවෙයන්" කෙටි දුරකථන සංවාදයක අවසානයේදී ඔහු කියා සිටියේය.

ඒ වන විට පුවත්පත ප‍්‍රකාශයට පත්ව නොතිබුණි. නියමිත දිනයේදී මා ලද මග විස්තර හා අංකය අනුව කොටහේන පිහිටි ‘කාර්යාලයකැයි’ බැලූ බැල්මට කිව නොහැකි නිවසක දොරට තට්ටු කළෙමි.

"මිස්ටර් සුනිල් මාධව ඉන්නවද?"

"මිස්ටර් සුනිල් මාධව කියල කෙනෙක් නම් නෑ. සුනිල් අයිය නම් ඉන්නවා. ඇතුළට යන්න." මුහුණ පුරා රැුවුල වවාගත්තු හාදයෙක් කියා සිටියේය. මම කාර්යාලයට ඇතුළු වීමි. මාධව බරුවා දුටු විගස මීමන අර්බුදයට යන්නට ඇත්තේ යම් සේක් ද සුනිල් මාධව දුටු විගස එතෙක් මා හිසේ හොල්මන් කරමින් සිටි දැවැන්තයා මොහොතකට සුන්නද්දූලි වී ගියේය. පැරණි ඩෙනිම් කලිසමකට බාගෙට යටකරන ලද පොඩි වුණු කොටු කමිසයකින් යුතු කෙසඟ සිිරුරකින් හෙබි ඔහු මේසය මත වාඩි වී මත්පැන් වඩියකට වතුර කලවම් කරමින් සිටියේය. එක් අතක අඩක් දැවී ගිය සිගරැට්ටුවකි. එක් අතකින් බොකුටු කොණ්ඩය පිරිමැද වේගයෙන් දෙතුන් වරක් ඇසිපිය ගැසූ ඔහු මට කතා කළේය.

"මම සුනිල් අයියා. මෙහේ මිස්ටර්ලවත් මහත්තුරුවත් නෑ. අපි ඔක්කොම යාළුවෝ. අඩියක් ගහලම කතා කරමු." ඔහු වීදුරුවක් මට ද දිගු කළේය. ඉක්බිතිව ඇස් පුංචි කොට සිනාසුනේය. එතැන් සිට ඔහු බොහෝ දෙනෙකුට මෙන් මට ද සුනිල් අයියාම විය.

ඒ අපගේ පළමු හමුවීම ය. සුනිල් අයියාගේ කතෘත්වයෙන් යුතුව "ලක්ජන" පුවත්පත සති කිහිපයක ඇවෑමෙන් එළිදැක්විණි. මා එහි කර්තෘ මාණ්ඩලිකයෙකු නොවූව ද යාවජීව සාමාජිකයෙකු විය. මා පැමිණියේ කොහේ සිට ද කාගේ කවුරු ද යන්න කිසිවක් ඔහුට අදාළ නොවිණි. පුද්ගලික වතගොත කිසිවක් හාරා අවුස්සා බැලීමේ පුරුද්දක්ද සුනිල් අයියාට නොවිණි. ආධුනිකයින්ට අතදීමට නොපැකිළිව ඉදිරිපත් වීම මෙන්ම පළමු හමුවීමේදීම පුද්ගලයින් අසීමාන්තික ලෙස විශ්වාස කිරීම ඔහුගේ මනුෂ්‍යත්වය විදහා පාන්නක් වුව ද එයම ඔහුට බොහෝ අකරතැබ්බයන්ට මුහුණ දීමට ද හේතු විය.


'ලක්දිව' පත්‍රයේ කර්තෘ මණ්ඩල සාමාජිකයින් 1991 නොවැම්බරයේ බොරැල්ල 'ලක්දිව' කාර්යාලයේ කර්තෘ මණ්ඩල කටයුතු අරඹමින්-
(පසුපෙළ වමේ සිට): විමල් වීරවංශ, ධර්ම ශ්‍රී කාරියවසම්, විනී හෙට්ටිගොඩ, සුනිල් මාධව ප්‍රේමතිලක, ඩලස් අලහප්පෙරුම, සුදත් මහදිවුල්වැව
(ඉදිරි පෙළ වමේ සිට): රෝහිත භාෂණ අබේවර්ධන, මැනුවෙල් ජයසේකර, තිඹිරියාගම බණ්ඩාර

[කුහුඹුවන් වූ මිනිසුන්- රෝහිත භාෂණ අබේවර්ධන]

‘ඇත්ත’ පුවත්පත කොමියුනිස්ට් පක්ෂයේ පුවත්පත වුව ද එහි කතුවරයා ලෙස සිටි පත්තර ලෝකයේ තවත් පරමාදර්ශීය චරිතයක් වන බී.ඒ. සිරිවර්ධන මහතා කිසි කලෙකත් පක්ෂයේ සාමාජිකයෙකු නොවීය. සුනිල් අයියාගේ දේශපාලන දෘෂ්ටිය බොහෝ විටෙක පාහේ ජවිපෙ දෘෂ්ටිය හා සමපාත විය. එහෙත් ඔහු ජවිපෙ සාමාජිකත්වය ලැබූවෙකු නොවන බව අපගේ විශ්වාසයය. ජාතික ගැටළුව මෙන්ම ඇතැම් විට වෙනත් කාරණා සම්බන්ධයෙන් අපගේ අදහස් ජවිපෙ හා නොපෑහෙන අවස්ථාවන් වලදී "මොන වැරැද්ද තිබ්බත් අපි ඉන්න ඕන කොල්ලන්ගෙ පැත්තෙ" හෙතෙම තරයේ කියා සිටියේය. 88-89 පරාජයෙන් පසු අතීතයේ එක් අවස්ථාවක පක්ෂයට වඩා පුද්ගලයෙකු ලෙස සුනිල් අයියා බලවත්ව සිටියේය. කැඞී බිඳී විසිරුණු තරුණ- තරුණියන් ලක්මිණ, ලක්දිව, ආදී පුවත්පත් සෙවණ යටින් යළි ඒකරාශි වන්නට වූයේ ඒ නිසාය. එහෙව් කොල්ලන් එක් අවස්ථාවක පරිවාස ආණ්ඩුවක් ලෙස ද, තවත් අවස්ථාවක අමාත්‍යංශ 4 ක් සහිතවද පාලන බලයේ කොටස්කාරයින් වී සිටියේය. මැතිවරණ සමයක දක්වන ආදරය එකී කොල්ලන්ගෙන් වුව පසු කලෙක දක්නට නොවීය. ඒ ගැන ජයලාල් රෝහණ මෙසේ ලිවීය.

"ඇයි සහෝදරය සුනිල් අයිය ගැන හිතන්නෙ නැත්තෙ? උත්තරය...

'මේකයි සහෝදරය, එයා ඩි‍්‍රන්ක්ස් ගන්නවනෙ. කොහොමද පක්ෂෙ ප‍්‍රතිපත්ති එක්ක තැනකට ගෙනියන්නේ?'

'එහෙනම් ඒ දවස්වල වේදිකාවට නග්ගන කොටත් එයා එහෙමනේ. එතකොට ප‍්‍රතිපත්ති වලට මොකද වුණේ? '

'මෙහෙමයි සහෝදරයා, ධනවාදී ආකෘතිය තුළ අපි ඒ ගොල්ලන්ව පාවිච්චි කළා.'

'සුනිල් අයියාට අත් වූ ඉරණම ඒකයි'"


(-පෙරමුණක් නැති සෙනෙවියෙකුගේ කගපතක මුවහත - පිටුව 157)

'ලක්ජන' පුවත්පත කෙටිකලකින් වැසී ගියේය. කෙටිකලක් තුළ දැන හැඳිනගත් කොටහේන කාර්යාල නිවස අවට බොහෝ දෙනා සුනිල් අයියාගේ හෘදයාංගම බවට ආදරය කළහ. කාර්යාලයෙන් එළියට බසින ලද මොහොතේ බොහෝ පිරිසක් 'ලක්ජන' පුංචි පවුලට සමුදෙන්නට පැමිණ සිටියහ. සියලු දෙනා ආමන්ත‍්‍රණය කළ සුනිල් අයියා දෑසේ කඳුළු පිසදා ගත්තේ "තාමත් අපට ආදරය කරන උන් ඉන්නවා බන්" කියමිනි. යළිත් පත්තරයකට සම්බන්ධ නොවන බව කීවද 2003 වසරේ රත්මලාන, බොරුපන පාරේ "ලක්නද" පුවත්පත ආරම්භ කරන විට සුනිල් අයියා නැවත කතුවරයා ලෙස පැමිණියේය. මා එහි ද සාමාජිකයෙකු වීමි. ඒ වන විට ජවිපෙ දේශපාලනයේ ජාතිකවාදය මට බොහෝ ගැටළු සහගත විය. ලක්නද පුවත්පතේ ද "සත්‍යවාදියෙකුගේ දිනපොත" ලියන සුනිල් අයියා 2004 පෙබරවාරි 08 දා මෙසේ ලිවීය.

"දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරයේ ප‍්‍රථම ජාතික සමුළුවට ගියා. හිතට ඇතුළු වූයේ එකම ප‍්‍රාර්ථනයයි. තවත් දස දහස් ගණනින් දේශහිතෛෂි මිනිසුන් මේ රටේ බිහි වේවා."

කාලය ගෙවී ගියේය. 2008 වසරේ අපේ‍්‍රල් මාසයේ 08 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් 'දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරයේ’ මහලේකම් විමල් වීරවංශ මහතා ජවිපෙන් වෙන්විය. කාලයක් තිස්සේ ජවිපෙ තුළ ජාතිවාදය හා ආගම්වාදය පෝෂණය කරමින් එය ඇතුළතින් දියකර හැරීමේ කුමන්ත‍්‍රණය නිමා වී යයි බොහෝ දෙනෙකු සිතුව ද එය එසේ නොවීය. ජවිපෙ පෙළපාලි වල කාල්මාක්ස්, ඒංගල්ස්, ලෙනින්, චේ, මා ඕ ආදීන්ගේ ඡායාරූ සහිත කටවුට් සමඟ කැප්පෙටිපොල අදිකාරම් (සම්භවය ද්‍රවිඩ බැව් නොදන්නා නිසා!), දුටුගැමුණු, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ද වැඩම කරවීමේ ආනිසංස පහසුවෙන් බැහැර කරලිය නොහැකි නිසාම ජවිපෙට දඹර අමිල හිමිගේ හා විනී හෙට්ටිගොඩගේ ප‍්‍රධානත්වයෙන් ‘දේශ හිතෛෂි ජාතික මධ්‍යස්ථානය’ අටවන්නට සිදු විය. සුනිල් අයියාගේ ප‍්‍රාර්ථනාව ඉෂ්ඨ කරමින් මේවන විට ‘දේශ හිතෛෂින්’ දස දහස් ගණනින් බිහි වී තිබේ. ඒ නිසාම එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කොට නිදහස් කරගත් බව කියන රටේ මුස්ලිම් වැසියාව නොඉවසන සමාජ ක‍්‍රමයක් ස්ථාපිතවෙමින් තිබේ. වීරවංශලා තැනූ පොළොවේ ඥානසාරලා බඩපිණුම් ගසමින් සිටිති. දර්ගා නගරයේ සිංහල දරුවෙකුට ලිංගික හිංසා කළ බව කියමින් මුස්ලිම් වෙළඳසැල් ගිනි තබා විනාශ කරන විට සිංහල බාලවයස්කාර දැරියන් සියයක් දූෂණය කොට සංවත්සරික සාද පවත්වන ප‍්‍රාදේශීය සිංහල දේශපාලනඥයින්ට එරෙහිව කටක් අරින්නට හැකි මිනිස් පුළුටක් සොයා ගැනීම අසීරු වී තිබේ.

'ලක්නද' පුවත්පතේ සේවය කරන සමයෙහි කුමන මත ගැටුමක් ඇති වුවද කිසිදු මදිපුංචිකමක් නොවන තැනට සුනිල් අයියා වග බලාගත් වග ද කිව යුතුමය. බදාදා රාත‍්‍රීයේ පුවත්පතේ බොහෝ කටයුතු නිමාවන විට මධ්‍යම රාත‍්‍රීය ද ගෙවී ගොස්ය. පත්තර මිටියක් හිසට තබාගෙන මේස දෙකක් එකට එකතු කොට කෙටි නින්දක් දා ගන්නට සැරසෙන අවස්ථාවක දී පිටට තට්ටු කර අතීතයේ අමතක නොවන සිදුවීම් සිිහිකර ගුරුහරුකම් දෙන්නට ද ඔහු අමතක නොකරයි.

"මිනිසුන්ට හිනාවෙන්න නෙවෙයි මිනිසුන් එක්ක හිනාවෙන්න පුරුදු වෙමු. පශ්චාත් නූතනවාදීන් කරන්නේ මිනිසුන්ට හිනාවෙන එක." කට කොනින් සිනාසෙමින් හෙතෙම යන්නට යයි.

එකල බොහෝ දෙනෙකුගේ ලිපි කපා කොටා සකසනු ලැබුවේ බණ්ඩාර වැවගෙදර අයියාය. මුල් කාලයේ මා ලියූ ලිපියක් ටයිප්සෙටින් කිරීමේ අංශයට යොමුවන විට මා ලියූ අකුරු ප‍්‍රමාණයට වැඩියෙන් රතු අකුරින් බණ්ඩාර අයියා ලියන ලද අකුරු බොහෝය. එවන් අවස්ථාවක හිත් නොහොඳකම් හඳුනා ගන්නට සුනිල් අයියාට හැකිය. එවන් එක් දිනෙක ඔහු මුල් ලිිපියේ කොපිය ගෙන්වා ගත්තේය. එය හොඳින් මුල සිට අගට කියවූ ඔහු මගේ අතින් ඇද ගෙන බණ්ඩාර අයියා සිටි තැනට ගියේය.

"මචං වැවේ, අපි ලියන ශෛලියටම මුන්ගෙ ඒවත් තියෙන්න ඕන නෑ. උන්ට උන්ගෙම කියලා ශෛලියක් තිබුණාවේ. අකුරු වැරදි නම් හදපන්. අවුල් තැනක් තියේ නම් කපන්නෙ කොටන්නෙ නැතිව කියල දීපන්. එතකොට මූ ඒක හදාගනියි." සුනිල් අයියා කීවේය. එතැන් සිට මගේ ලියවිලි ද, බණ්ඩාර අයියාගේ රතු පෑන් අකුරු ද වෙනස් විය. එහෙත් වැඩි කාලයක් නොගියේය. ජවිපෙ, චන්ද්‍රිකා රජය සමග සහයෝගිතා ගිවිසුමකට එළඹෙමින් සිටියේය. පුවත්පත නොපවත්වාගෙන යන තැනට කළමනාකාරිත්වය කල් තියා අනතුරු ඇඟවීම් කරමින් තිබිණි. තෙමසක පමණ කාලයක් කිහිපදෙනෙකුට මිසක මුළු කාර්ය මණ්ඩලයට වැටුප් පවා ගෙවා තිබුණේ නැත. එහෙව් තත්ත්වයක් තුළ එළියට බසින්නට සිදුවන බැව් දැන දැනම අවස්ථාව එළඹෙනතුරු බලා සිටින්නට අපට සිදුවිය. හදිසියේම අප කැටුව හිමිකරුගේ කාමරයට ගිය සුනිල් අයියා සිය දබරැගිල්ල දිගු කළේය.

"මිස්ටර් කළුආරච්චි, අපි තුට්ටු දෙකට පත්තර කරපු උන් නෙවෙයි. මට නැතත් කමක් නෑ මේ පොඩි උන්ගෙ පඩි දෙන්න ඕන. උන් තාම ඉගෙන ගන්න එවුන්" සුනිල් අයියා කේන්තියෙන් පුපුරු ගසමින් සිටියේය. විසඳුමක් ලෙස එදින දෙදෙනෙකුගේ වැටුප් පමණක් ගෙවිය හැකි බව කළමනාකාරිත්වය දන්වා සිටියේය.

ඒ වන විටත් මා හට බැංකු ගිණුම් අංකයක් හෝ නොතිබුණු නිසා මාගේ තෙමසක වැටුප ද බණ්ඩාර අයියාගේ ගිණුමට බැරකරන බව දැන්වූයෙන් අප දෙදෙනාම අනතුරුව රත්මලාන හංදියට පයින්ම ඇවිද ආවෙමු. බැංකු ගිණුමෙන් ගත හැකි අවසන් රුපියල ද ගත් දෙදෙනාගේ හිඟ වැටුප් වලට එහි ශේෂය සමාන නොවිණි.

"කමක් නෑ. උඹ ගනින්. මට ගෙදර යන්න රුපියල් සීයක් ඇති." මට හිමිවිය යුතුව තිබුණු මුදල් සියල්ල මගේ සාක්කුවට ඔබා බස් ගාස්තුව විතරක් අතට ගත්තු බණ්ඩාර අයියා කුලියාපිටියට යනු පිණිස බස් එකට නැංගේය. ඒ අප ‘ලක්නද’ කාර්යාලයේ හමු වූ අවසන් දිනයයි.

කාලය ගෙවී ගියේය. විමල් වීරවංශ, රාජපක්ෂ රෙජිමයට හේත්තු වී 2010 මහමැතිවරණයට සන්ධානයෙන් තරග කොට ඇමති පදවියක් දිනා ගත්තේය. මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සුනිල් අයියා ද එක්ව පොල් තෙල් පහන් සිළ දැල්වීය. ‘විභූති මල්ලිට’ දෝතම අල්ලා ආශිර්වාද කළේය.

'ලක්මිණ' පුවත්පතේ කවි පිටුවට චිත‍්‍ර අඳින්නට ඩලස් අලහප්පෙරුම විසින් කැටුව ආ කැහැටු කොල්ලා මේසා දුර ගමනක් පැමිණීම ගැන සුනිල් අයියා හදවතින්ම සතුටු වන්නට ඇත. එසේම භීෂණයේ දෝංකාරය මැදින් බොරලැස්ගමුව කාර්යාල කාමරයේ සඟවා රැකබලා ගැනීමට හැකිවීම ගැන ආඩම්බර වන්නට ද ඇත. දැන් සුනිල් අයියාට වසර 70 කි. එදා කවි පිටුවට කවි රැගෙන පැමිණි මනෝරා අක්කා අද සුනිල් අයියාගේ ආදරණීය බිරිඳ ය. රැකබලා ගත් කොලුවා මෙන්ම, කොලුවා කැටුව ආ ඩලස් ද වත්මන් රජයේ ප‍්‍රබල ඇමතිවරුන්ය. එහෙත් කවි පිටුවේ සංස්කාරකවරයා වන රෝහිත භාෂණ තමන්ගේ මිතුරන් පාලකයන් වී ඇති රටක ජීවිත ආරක්ෂාව පතා ජර්මනියේය. 2003 වසරේ දෙසැම්බර් මස 10 වන දින (ජගත් මානව හිමිකම් දින) සුනිල් අයියා ‘ලක්නද’ පුවත්පතේ ‘සත්‍යවාදියෙකුගේ දිනපොත’ට සටහනක් තබමින් මෙසේ ලිවීය.

"පාර්ලිමේන්තු මංසන්ධියේ පිහිටි 'අහිංසකයින්ගේ ආරාමය' කියන ස්ථානයේ ප‍්‍රධාන උත්සවයක් පවත්වන බව දැනගත් විට මගේ හිතට පුංචි දුකක් ඇතිවුණා. මට මතක් වෙන්නේ ඇඹිලිපිටියෙ අතුරුදහන් වුණු ශිෂ්‍යයන් හා ඔවුන්ගේ මව්පියන්. සමහර ශිෂ්‍යයින්ගෙ මුහුණු මගේ සිතේ තැන්පත් වෙලා තියෙනවා. මේ දරුවන්ගෙ අම්මලා තාත්තලා හමුවෙන්න තිස් හතළිස් වතාවක් ඇඹිලිපිටියෙ ගිහින් තියෙනවා. ඔවුන්ගේ කඳුළු මොන තරමක් මගේ මුහුණේත් පපුවේත් තැවරෙන්න ඇත්ද?"

එදා එසේ ලියූව ද අද 70 වෙනි වියට පා තබන මොහොත වන විට අද ‘අහිංසකයින්ගේ ආරාමය’ තිබූ තැනක සලකුණක් හෝ සොයා ගැනීමට නොහැකි තරමට සුන්දර මල් වෙළඳ සංකීර්ණයකි. ලස්සන පිඟන් ගඩොල් අතුරා පිළියෙළ කර ඇති ඇවිදින මං තීරුවල සුන්දර ලලනාවෝ ආහාර දිරවනු පිණිස දුවමින් සිටිති. පාරෙන් මෙහා පස පැවති නාලන්ද එල්ලාවල පිළිරුව ද නැත. අහිංසකයින්ගේ මළ මිනී වෙන්දේසි කරමින්, පීඩිත මව්වරුන්- පියවරුන්ගේ ලේ ඩහදිය කඳුළු මතින් ඉහළ නඟින උන් ජීවත් වන්නවුන්ටත් වැඩියෙන් මිය ගියවුන්ට බියය. ස්මාරක මිහිදන් වන්නේ ඒ නිසාය. තම මිත‍්‍රයාගේ ඝාතකයින්ට දඬුවම් දෙන්නට මිනියේ අත තබා දිවුරූ ඩිලාන් පෙරේරලා ඝාතකයින් සමඟ එකම කැබිනෙට්ටුවේය. එදා සුනිල් අයියා අප සමඟ මත්පැන් වඩියක් තොල ගා පුෂ්කින්ලා, ගෝර්කිලා, ඩොස්ටවුස්කිලා ගැන කතා කළ ‘ප්‍රෙස් ක්ලබ්’ නම් සොඳුරු නවාතැන්පොළ අද බිමට සමතලා වී තිබේ. බහුජාතික සමාගමක මහාපරිමාණ ‘ක‍්‍රිෂ්’ හෝටල් ව්‍යාපෘතියකින් ඒ බිම ගිලගෙන තිබේ. පත‍්‍රකලාවේදීන් වෙනුවෙන් හිමි වූ මත්පැන් බලපත‍්‍රය මැක්රීන් මුදලාලිගේ ලාච්චුවට වැටී ඇත. ‘සත්‍යවාදියෙකුගේ දිනපොත’ට නිමිති වුණු ආමර් වීදියේ බාර් එක අසළදී හමුවුණු සිඟන්නන්, ගණිකාවන්, ගැටකපන්නන්, නාට්ටාමිවරුන් වැනි සමාජයේ පරිධියට තල්ලු වී සිටි මිනිසුන් වෙනුවෙන් සුනිල් අයියා එදා හදවතින්ම සුසුම් හෙළුවේය. අද එකී මිනිසුන් මතු නොව කොළඹ පැල්පත් වාසීන්, පදික වෙළෙඳුන් ‘ලස්සන නගරයකට’ අවලස්සන බැවින් පලවා හැර තිබේ. දිනෙන් දිනම පලවා හරිමින් තිබේ.

දයාබර සුනිල් අයියේ, ‘මිනිසුන්ට සිනාසෙන්නට නොව මිනිසුන් සමඟ සිනාසෙන්නට' නුඹ ඉගැන්වූ නිසාම පීඩිතයින් එළවා දමන නගරයකට නොව පීඩිතයින්ගේ ජීවිත ද ලස්සන වී පීඩිතයින් සමඟ ලස්සන වන නගරයකට අප වඩාත් කැමතිය. ඔබ පසු කලෙක පාලකයින්ට දරදිය ඇද්දේය. ‘දේශපේ‍්‍රමිත්වයේ’සළු පොරවා ගත් වෘකයින්ට ද අත දුන්නේය. අප සිත් බොහෝ රිදුණේය. ඔබ නිතර මිමිනූ වදනක් තිබුණේය. ඒ ‘මට හොඳ අතීතයක් තිබුණා’ යන්නය. වසර 70 ක් යනු බොහෝ කාලයකි. ඔබ තවත් බොහෝ කාලයත් අප අතර සිටිය යුතුය. මේ ලියැවිල්ල ද, ගෞරවාදරය ද ගෙවුණු කාලයේ ඔබ ඉතිරි කළ ‘හොඳ අතීතය’ වෙනුවෙනි.

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



චින්තක ගීතදේව ඉදිරිපත් කරන සංගීත සන්ධ්‍යාවක්, 2014 මැයි 18 වන දා, පස්වරු 4ට, බොරැල්ල, ඇන්.ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැත්වෙයි.

ආරාධිත ශිල්පී- අජිත් කුමාරසිරි.
විමසුම්- 0723716491



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මට නෑවිදිං ඉන්ට තිබුනා
ඇත්තටම මට නෑවිදිං
ඉන්ට තිබුනා
එදා රෑ සාදයට..

නුඹෙ ආදරේ වැඩි කමේ
හදිස්සිය, මං දැනං හිටියා
අඬන්නට වෙන බව කවද හරි
ජයසේන....

පරදා නාලාගිරිත්
බිව් තද රා මතින්
ඒත් නුඹ බැලුවෙ මා දෙස
පරම පිවිතුරු ආදරෙන්..

දුටුවෙ නෑ නුඹත්
එසවි තිබුණා එතකොටත්
වම් කකුල අහසට
ඝෝඨයිම්භර....

හඳ තිලක තියනකොට රිටිගල
කට්ට කරුවල අහසට
නුඹ තිලක තිබ්බෙ මගෙ ළැම උඩින්
යටි හිතට..

කොහොම අදහන්න ද
ඒ මුසා බස්
දනීද කවුරුන් හෝ මා තරම්
ඒ අහිංසක පොඩි එකා
යකෙක්...?

හඳ පායගෙන එනකොට
කන්ද මුදුනට රිටිගල
මොන හිසක් හරි
සවිකරන් සිරුරට
රූටපං හෙමි හෙමිං පහළට
මගෙ රං කඳ.....

ඔලීවියා ප්‍රීම්රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



'ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත, හමුදාකරණය හා අපේ අනාගතය' යන මැයෙන් සම්මන්ත්‍රණයක් ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය විසින් සංවිධානය කොට ඇත.

දේශක - ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ
දිනය - 2014 මැයි 19 සඳුදා
වෙලාව- සවස 3.00 ට
ස්ථානය - සමාජ හා සාමයික කේන්ද්‍රය ( CSR ), අංක 281, ඩීන්ස් පාර, කොළඹ 10 ( මරදාන)



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සුචරිත ගම්ලත් යනු එක්තරා ආකාරයකින් ලංකාවේ ඇතිවූ සංස්කෘතික දේශපාලන ව්‍යාපාර දෙකක් එකිනෙක හමුවන ලක්ෂ්‍යයක්. ඔහුගේ ප්‍රසිද්ධ බුද්ධිමය ප්‍රවිෂ්ඨය සිදුවන්නේ සාම්ප්‍රදායික දැනීම නිෂ්පාදනය වන ක්ෂේත්‍රයේ සිටයි. එනම් පාලි, සංස්කෘත වැනි පෙරදිග භාෂා භාවිත කොට පෙරදිග කලා සාහිත්‍යාදිය අධ්‍යයනය කරන ක්ෂේත්‍රයේ සිටයි. නමුත් ඔහුගේ සමාජ-දේශපාලන මුද්‍රාව හරිහැටි සලකුණු වෙන්නේ ලංකාවේ වාමාංශික ව්‍යාපාරය හරහා මාක්ස්වාදී බුද්ධි සම්ප්‍රදාය තුළට ප්‍රවිෂ්ට වීමත් සමගයි. මෙම කතිකාමය පෙරමුණු දෙක යා කරන චරිත ලංකාවේ බුද්ධි නිර්මිතය තුළ සුලබ නැහැ. විශේෂයෙන්ම සුචරිත ගම්ලත්ගේ මට්ටමේ එවන් පුද්ගලයන් තවත් නැති තරම්. ලාංකීය පැරණි මෙන්ම තත්කාලීන කලා හා සාහිත්‍ය කෘති සේවනය කළ, ඒවා පිළිබඳ විචාර කතිකාවට මැදිහත්වූ, ඒවා අර්ථ විවරණය කළ, සංස්කරණය කළ හා, ඒ අතරම, මාක්ස්වාදී වාමාංශික දේශපාලන මාතෘකා පිලිබඳවත් ඒ තරමටම මැදිහත් වූ ඒවා ගැන ලියූ කිියූ අයෙක් සුචරිත ගම්ලත්ගේ මට්ටමින් නම් අපට සිටියේ නැහැ. ඔහුගේ භූමිකාවේ මා දකින ප්‍රධානතම වැදගත්කම එයයි. මේ අනුව මම අදහස් කරන්නේ ඔහු තමයි ලංකාවේ පුරෝගාමි විකල්ප සංස්කෘතික බුද්ධිමතා. ඔහු පුරෝගාමි විකල්ප සංස්කෘතික බුද්ධිමතා වූයේ කෙසේද යන්න පුලුල්ව තේරුම් ගැනීමයි මේ ලිපියේ අරමුණ.

මහජන අවකාශය හා මහජන බුද්ධිමතා

ගම්ලත් සංස්කෘතික හා දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වූයේ 1970 අග භාගයේ හා 80 දශකයේ මුල් භාගයේදීයි. මෙම ක්ෂේත්‍රයන් තුළ ඔහුව ස්ථානගත කිරීමට මත්තෙන් ඒ සදහා වැදගත්වන සංකල්ප දෙකක් හඳුන්වා දීමට මම කැමතියි.

i මහජන අවකාශය (Public sphere)
ii මහජන බුද්ධිමතා (Public Intellectual)

මහජන අවකාශය (Public sphere) යන්න සංකල්ප ගත කළේ හා ලෝකය පුරා ජනප්‍රිය කළේ තවමත් ජීවත්වන ජර්මානු චින්තකයෙකු වන යර්ගන් හබර්මාස් විසින්. අපේ ජීවිතය ගත්විට එය සමන්විත වන්නේ පුද්ගලික ජීවිතය හා සමාජ/මහජන ජීවිතය ලෙස කොටස් දෙකකින්. මේවා වෙන්කොට ඉරක් ඇඳීමට පුලුවන් කමක් නැහැ. එසේ වුනත් අප නිරත සමාජ ක්‍රියාවලිය නිසා හැදෙන යම්කිසි අවකාශයක් Public sphere ලෙස නම් කෙරෙනවා.

හබර්මාස් පවසන මහජන අවකාශය නමැති සංකල්පය බොහෝ දෙනෙක් පාවිච්චි කර තිබෙන්නක්. අපගේ සාකච්ඡාවට අදාලව විමල් දිසානායක විසින් 'Sinhala Novel and the Public Sphere' නමින් කෘතියක් සම්පාදනය කර තිබෙනවා. විමල් දිසානායකගෙන්ම උපුටා ගත්තොත් හබර්මාස් මේ මහජන අවකාශය යැයි හඳුන්වා දෙන්නේ කුමක්දැයි අවධානයට ගෙන බලමු. හර්බමාස් මහජන අවකාශය නිර්වචනය කරන්නේ පුරවැසියන්ට තමන්ගේ පොදු අභිලාෂයන්ට අදාළව, ශාරීරික අඩන්තේට්ටම් වලට හා ප්‍රචණ්ඩත්වයට ගොදුරු නොවී සිය අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශකොට මහජන මතය ගොඩනැංවිය හැකි අපගේ සමාජ ජීවිතවයට අදාළ අඩවියක් ලෙසටයි. ප්‍රංශ ජාතික චින්තකයෙකු වන ඔන්රි ලෙෆබර් (Henri Lefebvre) මහජන අවකාශය සම්බන්ධයෙන් ප්‍රකාශ කරනු ලැබ ඇති අදහසක් ගෙන හැර දැක්වීම ද මෙහි දී වැදගත්. ඔහු ප්‍රකාශ කරන්නේ සමාජමය නිෂ්පාදනයක් වන සමාජ අවකාශය බලයේ හා ආධිපත්‍යයේ අඩවියක් ද වන බවයි.

හර්බමාස් ගේ නිර්වචනය තුළ මහජන අවකාශය කිසියම් ආකාරයක පරමාදර්ශි තත්වයක් හා අහිංසක තැනක් ලෙස පෙනී යන්නේ නම්, ලෙෆබර් විසින් එය ඒ තුළ අඩංගු බල සංඝටක හා විවිධ පිරිස් විසින් මෙහෙයවනු ලබන මිනිස් ක්‍රියාකාරකම් විසින් හසුරුවනු ලබන තැනක් බව පෙන්නුම් කරනු ලබනවා.

මෙහිදී ඒ අනුව අපට ප්‍රකාශ කළ හැක්කේ මෙම මහජන අවකාශය මූලික වශයෙන් අපට අභිමුඛ වන්නේ එම අවකාශය තුළ තම මත ප්‍රකාශ කිරීමට තරම් බලවත් හඩවල් (dominant voices) හිමිවුන් ආධිපත්‍යය දරන ස්ථානයක් ද ලෙසටයි. මෙම පොදු සමාජ අවකාශය තුළ යම්කිසි සමාජ කණ්ඩායමක පොදු අභිමතය (collective will) ප්‍රකාශයට පත් කරන්නා මහජන බුද්ධිමතායි. කෙසේ වෙතත් ඇතැම් විට එය ඔහුගේ/ඇයගේ පෞද්ගලික අභිමතය (Individual will) වීමට ද ඉඩ තිබේ. එවිට එය සාකච්ඡාවට භාජනය වීම තුළ සහ එම අදහස් ක්‍රියාවට පෙරළීම තුළ පරීක්ෂාවට භාජනය වේ. එවිට වාද විවාද පැන නඟී. මෙලෙස ඇතිවන සංවාදය තුළ විධිමත් ලෙස නිරත වීම සෑම කෙනෙකුටම කළ හැක්කක් නොවේ. ඒවාට විශේෂ පරිචයක් ඇති පුද්ගලයන් (specially trained individuals) අවශ්‍ය වේ.

අපට මහජන බුද්ධිමතුන්ගේ භූමිකාව ස්ථානගත කළ හැක්කේ මෙන්න මෙතැනයිි. මෙය අපි උදාහරණයකින් පැහැදිලි කර ගනිමු. සුචරිත ගම්ලත් හා ගුණදාස අමරසේකර මහජන අවකාශය තුළ සංවාදයක නිරත වන්නේ යයි සිතමු. සිංහලයාගේ අභිමතය මේ යයි අමරසේකර කියන විට ගම්ලත් එය එසේ නොවේයයි කියමින් සංවාදයකට එළඹේ. මේ සංවාදය කල හැක්කේ ඒ සඳහා විශේෂ පරිචයක් ලැබූ බුද්ධිමතුන්ටයි. මේ අර්ථයෙන් ගුණදාස අමරසේකර මෙන්ම සුචරිත ගම්ලත් ද මහජන බුද්ධිමතුන් ලෙස සැලකිය හැකියි.

සාම්ප්‍රදායික සමාජ ජීවිතය අහෝසි වීම

අපි දැන් මහජන බුද්ධිමතෙකු ලෙස සුචරිත ගම්ලත් ගේ භූමිකාව සලකා බලමු. අපි මුලින්ම ඔහු මහජන බුද්ධිමය ක්‍රියාකාරකම් ක්ෂේත්‍රයට පැමිනෙන විට ලංකාවේ බුද්ධිමය නිර්මිතය ව්‍යුහගත වී තිබූ ආකාරය මදක් සලකා බලමු. එහිදී දහනව වන ශතවර්ශයේ ලංකාවේ ඇති වූ සංස්කෘතික පුනරුදය දෙස අවධානය යොමු කිරීම වැදගත්. අද අපි වර්තමානයේ 'නූතන සමාජය' කියා හඳුන්වන දේ පැන නඟින්නේ 19 වන ශත වර්ෂය මැද භාගයේදීයි. මේ කාලය වන විට පෘතුගීසි හා ලන්දේසි පාලනයන් නිසා විශේෂයෙන්ම බස්නාහිර හා දකුණු පළාත්වල පැවති සාම්ප්‍රදායික සමාජ ජීවිතය අහෝසි වෙමින් පැවැතිණ.

මේ තත්වය තුළ අපිට පේනවා බ්‍රිතාන්‍ය යුගයේ මැද හරියේ දී, එනම් දහනව වන ශතවර්ශයේ මැද දී අලුත් මහජන අවකාශයක් ඇති වීම. මෙකල උඩරට පැවැති පූර්ව යටත් විජිත සමාජ සැකැස්ම තීරණාත්මක ලෙස බිඳ වැටෙමින් තිබූ අතර 1818 කැරැල්ල මුළුමනින්ම මැඩ පැවැත්වීම මෙහිදී තීරණාත්මක සාධකයක් වුනා. උඩරට ප්‍රභූ පැලැන්තිය මර්ධනය කිරීමෙන් පසු උඩරට පාලන තන්ත්‍රය සහමුලින්ම බිඳ වැටී බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට නතුවීම දක්නට ලැබෙනවා. මෙතැනින් පසුව විශේෂයෙන්ම දකුණු හා බස්නාහිර වෙරළ බඩ ප්‍රදේශ ආශ්‍රිතව ක්ෂේත්‍ර ගණනාවක වැදගත් වර්ධනයන් කීපයක් දක්නට ලැබෙනවා. මුද්‍රණ යන්ත්‍රය බහුල ලෙස භාවිතයට ගැනීම නිසා 1850 ගණන් වන විට සිංහල පුවත්පත් හා සඟරා බිහි වීමට පටන් ගැනෙනවා.
මේ සඳහා පසුබිම සකසන වැදගත් වර්ධනයක් වන්නේ 18 වන ශත වර්ෂයේ මැද භාගයේදී උඩරට ප්‍රදේශයේ ආරම්භවන වැලිවිට සරණංකර හිමියන්ගේ ව්‍යාපාරයයිි. උඩරට පන්සල් කීපයක් හැදුන ද ඒවා ආශ්‍රිතව යම් තරමකට ශාස්ත්‍රීය වැඩ කටයුතු කෙරුණ ද මේ ව්‍යාපාරය මහනුවර ප්‍රදේශයේ ශීඝ්‍ර සංස්කෘතික වෙනසක් ඇති කලේ නැහැ. මේ ව්‍යාපාරය වැදගත් වන්නේ එය විශේෂයෙන්ම මාතර ප්‍රදේශයටත් එතැනින් ගාල්ලටත්, මුහුදු තීරය දිගේ කොළඹ දෙසටත් විහිදී යාම නිසායි. 19 වන සියවසේ අග භාගය වන විට ඇතිවන ශාස්ත්‍රීය ප්‍රබෝධය නව බුද්ධිමය ව්‍යාපාරයක් බවට පත්වීමේ ගතිකත්වයකින් යුක්ත වුනා.

මේ බුද්ධිමය ව්‍යාපාරය මූලාශ්‍ර කීපයකින් පෝෂණය වුනා. එක් අතකින් මුද්‍රණ තාක්ෂණය ද අනෙක් පසින් අලුතින් වර්ධනය වන ව්‍යාපාරික පංතියේ සහාය ද මීට ලැබුණා. එමෙන්ම විශාල ජාත්‍යන්තර සහයෝගයක් ද හෙන්රි ඕල්කට් වැන්නන් හරහා ලැබෙන අතර අධ්‍යාපන කෙරේ විශේෂ උනන්දුවක් ඇති වුනා. ස්වදේශීය ඉංග්‍රීසි උගතුන් පිරිසක් වර්ධනය වී ඔවුන්ගේ සහය මේ ව්‍යාපාර වලට ලැබීම සිදුවුනා. මෙලෙස මේ ව්‍යාපාරය බෙහෙවින් කාර්යක්ෂම හා දැවැන්ත ලෙස වර්ධනය වුනා. පසුව එය යටත් විජිත පාලනයට හා ක්‍රිස්තියානි මිෂනාරී ව්‍යාපාරයට විකල්ප බුද්ධිමය බලවේගයක් බවට පත්වෙනවා.

නූතන සමාජය ඇතිවීම

මේ බුද්ධිමය ක්‍රියාකාරකම් නිසා ඇතිවන නව මහජන අවකාශය තමයි අද අපි නූතන සමාජය ලෙස හඳුන්වන්නේ. නිශ්චිත අර්ථයකින් සැලකූ විට 'නූතන ලංකාව' හෝ 'නූතන ශිෂ්ඨාචාරය' යන සංසිද්ධිය ඇරඹෙන්නේ මේ මහජන අවකාශයෙන් බව කිව හැකියි. මීට සමාන්තරව නව මහජන අවකාශයක් උතුරේ ද ඇති වුනා. උතුරේ ජනවාර්ගික ප්‍රශ්නයේ ප්‍රභවය දැකිය හැක්කේ නූතන ලංකාව මෙවැනි සංස්කෘතික-බුද්ධිමය කේන්ද්‍රස්ථාන දෙකක් ආකාරයෙන් වර්ධනය වීම තුළයි. මින් එකක් දකුණු හා බටහිර මුහුදු බඩ ප්‍රදේශයේ මාතර සිට කොළඹ දක්වා ප්‍රදේශය කේන්ද්‍ර කොටගත් අතර අනෙක යාපනය කේන්ද්‍ර කොටගත්තකි. මෙම මහජන අවකාශ ආගමික හා වාර්ගික අනන්‍යතා මුල් කොට ගත්, එමෙන්ම, ලෙෆබර් කියන ආකාරයේ ආධිපත්‍යමය අවකාශ.

මෙම මහජන අවකාශයේ වර්ධනය තුළ සමාජය පිළිබඳ නව පරිකල්පනයක් සකස් වන අතර ජාතික නිදහස දිනාගත යුතු බවත් පැරණි නැතිවී ගිය 'අපේ සිංහල බෞද්ධ උරුමය' යළි අත්පත්කරගත යුතු බවත් මෙම පරිකල්පනයේ මූලික සංඝඨක විය. හදුනා ගැනීමේ පහසුව සඳහා සහ මෙහි මූලික ලක්ෂණ ද සලකා බලා මෙම මහජන අවකාශය 'සිංහල-බෞද්ධ මහජන පරිමණ්ඩලය' ලෙස හැඳින්වීමට මම කැමතියි.

වාමාංශික ව්‍යාපාරයේ නැගීම

අපගේ සාකච්ඡාවට වෙහෙවින් වැදගත් වන තවත් වර්ධනයක් නම් 1930 ගණන් වල වර්ධනය වන වාමාංශික ව්‍යාපාරයයි. මීට ප්‍රභවය දුන් මූලාශ්‍ර 3 ක් හඳුනා ගන්න පුළුවන්.

01. බටහිර අධ්‍යාපනයට ගොස්, එහි ව්‍යාප්තව පැවැති රැඩිකල් මාක්ස්වාදී සමාජවාදී අදස්වලින් ආශ්වාදය ලැබ, පෙරළා පැමිණ දේශපාලන ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූ තරුණ පිරිස්.
02. මූලික වශයෙන් කොළඹ නගරය ආශ්‍රිතව වර්ධනය වන කම්කරු පංතිය හා ඒ ආශ්‍රිතව ඇතිවන වෘත්තිය සමිති ව්‍යාපාර. පුරෝගාමී වාමාංශික නායකයින්ගේ මූලික දේශපාලන උනන්දුව පැවැතියේ මේ කම්කරුවන් දේශපාලනමය වශයෙන් සංවිධානය කිරීමටයි.
03. ග්‍රාමීය දුගී ගැමි ගොවීන් හා ඉඩම් හිමි ප්‍රභූ තන්ත්‍රය අතර වූ විභවාත්මක ගැටුම. මෙය කම්කරුවන් හා ඔවුන්ගේ හාම්පුතුන් අතර පැවතියා සේ විවෘත ගැටුමක් නොවූවද අතර එය සැඟවුණ ප්‍රතිවිරෝධයක් වුනා.

මේ මූලාශ්‍ර තුන උගත් තරුණ පිරිස්, කම්කරුවන් හා දුගී ගැමි ගොවීන් යන සංඝටක තුන එකතුවීමෙන් පුළුල් අර්ථයෙන් ලංකාවේ වාමාංශික ව්‍යාපාරය ලෙස අපට නම්කල හැකි අලුත් සමාජ-දේශපාලන අවකාශයක ආරම්භය සලකුණු වෙනවා. මෙය අපට නව බුද්ධිමය ක්ෂිතිජයක ආරම්භයක් ලෙස ප්‍රකාශ කිරීමට පුළුවන්.

මෙය මුලින් සඳහන් කළ 19 වන ශතවර්ෂයේ මැදි දී බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය තුළින් පැන නැගී බුද්ධිමය අවකාශයට වඩා වෙනස් වු එකක් ලෙස හඳුන්වන්න පුළුවන්. මූලිකම වෙනස දැකිය හැක්කේ මෙකී අවකාශ දෙක තුළ විමුක්තිය පිළිබඳ සාධකය ගැබ් වී ඇති ආකාරයේ ඇති වෙනසයි. ඕනෑම මහජන කතිකාමය අවකාශයක විමුක්තිය පිළිබඳ යම් අදහසක් දැකිය හැකියි. මෙම වාමාංශික අවකාශය තුළ එය මූලික වශයෙන්ම දක්නට ලැබුනේ පීඩිත සමාජ පංතීන් ට අයත් ජනයාගේ විමුක්තිය පිළිබඳ සංකල්පනයක් ලෙසටයි. පළමුවෙනුව කී 'සිංහල-බෞද්ධ මහජන පරිමණ්ඩලය' තුළ විමුක්තිය පිළිබඳ සංකල්පනය පැවැතියේ 'ජාතික විමුක්තිය' ලෙසටයි. එසේම එම ජාතික විමුක්තිය පිළිබඳ සංකල්පනයද එහි තාර්කික අවසානය තුළ සිංහල-බෞද්ධයාගේ විමුක්තිය ලෙස සීමා කෙරුණා.

කෙසේ වෙතත් 'සිංහල-බෞද්ධ මහජන පරිමණ්ඩලය' තුළ ද ප්‍රයොජනවත් විභවයන් පැවැති බව කිව හැකියි. වාමාංශික දේශපාලනය තුළ ක්‍රියාකාරී වූ පුරෝගාමීන් පවා මෙම විභවය හඳුනාගෙන තිබුණා. ඇත්ත වශයෙන්ම එහි සීමාවන් හඳුනා ගැනීමට හා ඒවා අතික්‍රමණය කිරීමට දුෂ්කර වන තරමටම මෙම පුරෝගාමීන් මේ විභවයන්ට ආශක්ත වී සිටි බව කිව හැකියි. කෙසේ වෙතත් වාමාංශික ව්‍යාපාරයේ විමුක්ති වාදී දේශපාලන පරිකල්පනයට සාපේක්ෂව සලකා බලනවා නම් 'සිංහල-බෞද්ධ මහජන පරිමණ්ඩලය' ලංකාවේ ධනේෂ්වර මහජන පරිමණ්ඩලය (bourgeoisie public sphere) ලෙස හැඳින්විය හැකියි. එනම් එහි මූලික දිශානතිය වූයේ ප්‍රාග්ධනය රැස් කිරීමේ නිරතව සිටි පිරිසගේ පොදු අශිලාෂයයි. මීට වෙනස්ව වාමාංශික ව්‍යාපාරය තුල තිබුණේ පොදු ජන විමුක්තිය පිළිබඳ අදහසකි. එබැවින් මේ ව්‍යාපාර දෙක එකට පෑහුණේ නැහැ.

කෙසේ වෙතත් මුල් ව්‍යාපාරයට සාපේක්ෂව ගත්කළ තමන්ගේම වූ බුද්ධිමය සම්ප්‍රදායක් ගොඩනැගීමට වාමාංශිකයින්ට නොහැකි වුනා. කම්කරු පංතිය මුල් කරගත් සම්ප්‍රදායික මාක්ස්වාදය වෙතින් පැමිණි බුද්ධි සම්ප්‍රදාය ඔවුන් සතුව තිබුනත් ලංකාව පිළිබඳ සංයුක්ත අදහසක් ඔවුනට තිබුණේ නැහැ. මේ නිසා වාමාංශික ව්‍යාපාරයේ බුද්ධිමය සීමාව වූයේ පළමු මහජන අවකාශයේ දේශපාලන පරිකල්පනයේ ක්ෂිතිජය ඉක්මවීමට ඔවුනට හැකි නොවීමයි. ඔවුන් බොහෝවිට ජාතිකවාදී උගුල්වල පැටලුණේ මේ නිසායි.

සුචරිත ගම්ලත්ගේ බුද්ධිමය ආගමනය සිද්ධ වන්නේ මේ සීමාව අතික්‍රමණය කිරීමේ අභියෝගයට වාමාංශික පරිකල්නය මුහුණ දී සිටි මොහාතකයි. අපට ඔහු හැඳින්විය හැක්කේ මේ පරිමණ්ඩල දෙකටම අයත් කතිකාමය අවකාශ තුළ ඉතාම පහසුවෙන් සැරිසැරීමට හැකි බුද්ධිමය පුහුණුවක් තිබුනා වූ ද, ඒ අතරම වාමාංශික දේශපාලන පරිකල්පනයේ සිට සිංහල-බෞද්ධ මහජන පරිමණ්ඩලයේ පටු වාර්ගික ආගමික මෙන්ම බූර්ෂුවා සීමා ද සමතික්‍රමණය කිරීම සඳහා දැනුවත්ව මැදිහත් වූ ද පුරෝගාමී විකල්ප මහජන බුද්ධිමතා ලෙසින්.

විමල් දිසානායකගේ සංස්කෘතික බුද්ධිමතුන් හතර දෙනා හා සුචරිත ගම්ලත්

සුචරිත ගම්ලත් දෙස එක එල්ලේ බැලුවොත් ඔහු 'සිංහල-බෞද්ධ මහජන පරිමණ්ඩලය' මගින් නිර්මිත බුද්ධිමය ක්‍රියාකාරකම් වල ප්‍රමුඛයෙක්. සම්භව්‍ය කෘති සංස්කරණය, ඒවාට අදාලව විවරණ සැපයීම, ඒ සඳහා අවශ්‍ය වූ ප්‍රාචීන භාෂා පිළිබඳ දැනුම ආදිය පැත්තෙන් ගත්විට ඔහු ඒ අංශයන්හී ප්‍රමුඛ බුද්ධිමතෙක්. නමුත් ඔහුගේ බුද්ධිමය අනන්‍යතාවය සකස් වන්නේ එම කතිකාව තුළ නොවේ. විශේෂයෙන්ම 1970 ගණන් වල මුල්හරියේ දී ඔහු විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට සම්බන්ධ වීම හරහා ඔහුගේ බුද්ධිමය මැදිහත් වීමේ මූලික විප්ලවීය පරිවර්තනයක් සිදුවේ. කාල් මාක්ස් ගේ බුද්ධිමය විකාශයට අදාළව ලුයී අලතූසර් පරිහරණය කරන වචන වලින් කියනවා නම් මේ ඛණ්ඩනයට පසු සුචරිත ගම්ලත් 'පරිනත ගම්ලත්' ලෙස හැඳින්වීමට කැමතියි.

සිංහල-බෞද්ධ මහජන පරිමණ්ඩලය තුළ අවකාශමය වශයෙන් පිහිටි බුද්ධිමය ක්‍රියාකාරකම්වල නිරත වීමේ දී 'පරිනත ගම්ලත්ගේ' ව්‍යායාමය වුයේ මෙම බුද්ධිමය අවකාශය තුළ පිහිටා තිබූ සම්භාව්‍ය සාහිත්‍යට හා සංස්කෘතියට අදාළ බුද්ධිමය ක්‍රියාකාරකම් ඒවායේ වූ බුර්ෂුවා සහ පටු සිංහල-බෞද්ධ ජාතිකවාදී හිරගෙයින් මුදවා ගැනීමයි. විශේෂයෙන්ම බුදුදහම පවා සිංහල - බෞද්ධ ආගමික හා ජාතිකවාදී චින්තනයෙන් මුදවා ගැනීමට උත්සාහ දැරීමක් ඔහුගේ බුද්ධිමය ක්‍රියාකාරිත්වය තුළ හඳුනා ගත හැකිය.

70 ගණන් වල මුල දී සිදුවන ඛණ්ඩනය මගින් ගම්ලත්ව තල්ලු කරනු ලබන්නේ විකොස මගින් නියෝජනය කළා වූ ආධානාග්‍රාහී ට්‍රොට්ස්කිවාදී බුද්ධිමය කතිකාව තුළට පමණක් නොව මේ වනවිට කොළඹ නාගරික තරුණ පිරිසක් වටා ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පැවැති රැඩිකල් කලා සංස්කෘතික කතිකාවක මධ්‍යයටම ඔහු තල්ලු වීමක්ද දැකිය හැකියි. මේ පසුව කී කතිකාමය අවකාශය ලංකාවේ මෑත දේශපාලන ඉතිහාසය තුළ අතිශයින් තීරණාත්මක වැදගත් කමක් සහිත එකකි. මෙම කතිකාමය අවකාශය මා උචිත වචනයක් සොයා ගැනීමට නොහැකි නිසා ඇවන්ගාඩ් වාමාංශය ලෙසින් හැඳින්වීමට කැමතියි. මෙම කතිකාවේ ආරම්භක අවධියේ ද්‍රව්‍යාත්මක පදනම වන්නේ ග්‍රාමීය ප්‍රදේශවලින් නගරයට සංක්‍රමණය වී ආගන්තුක අගනාගරික සමාජ මිනිස් සම්බන්ධතා වලට මුහුණ දෙන තරුණ පිරිස මුණදෙන සමාජ අධ්‍යාත්මික අර්බුදයයි. මෙම ඇවන්ගාඩ් කතිකාවේ ඉතිහාසය සොයා බලනවිට එහි ආරම්භය මා දකින්නේ ගුණදාස අමරසේකර, සිරි ගුනසිංහ වැනි අයගේ සාහිත්‍ය ව්‍යාපාරය තුළයි. සිරි ගුනසිංහගේ 'හෙවනැල්ල' සහ ගුණදාස අමරසේකරගේ 'යළි උපන්නෙමි' වැනි කෘතිවල ආමන්ත්‍රණය කරන මිනිස් අත්දැකීම් ක්ෂේත්‍රය වන්නේ ගම්වලින් නගරයට සංක්‍රමණය වී වෙනස් සමාජ මිනිස් සම්බන්ධතා වලට මුහුණ දෙන තරුණ පිරිසකගේ මානසික ලෝකය යි. තවත් වැදගත් දෙයක් තමයි මේ කෘතිවල එන කතිකාමය පරිකල්පනය තුළ අපට හඳුනා ගන්න පුළුවන් සිංහල-බෞද්ධ මහජන පරිමණ්ඩලයේ මෙන්ම වාමාංශික මහජන පරිමණ්ඩලයේත් බුද්ධිමය ක්ෂිතිජයන්ට ඔබ්බෙන් පිහිටි කතිකාමය ලක්ෂණ.

අමරසේකර හා සිරි ගුණසිංහගෙන් පසුව සුගතපාල ද සිල්වා, අජිත් තිලකසේන, සුමන ආලෝක බණ්ඩාර, ප්‍රේම රංජිත් තිලකරත්න, ගාමිණී හත්තොට්ටුවේගම , සිරිල් බී. පෙරේරා, සයිමන් නවගත්තේගම, ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්ඩාරනායක වැනි අයගේ ක්‍රියාකාරකම් හරහා මෙම කතිකාමය අවකාශය ස්වායත්ත බුද්ධිමය අවකාශයක් ලෙස ආයතනගත වීම දක්නට පුළුවන්. මහජන බුද්ධිමතෙක් ලෙස සුචරිත ගම්ලත් ගේ මැදිහත්වීම මෙම මූලික වශයෙන් නාභිගත වූයේ මෙම ක්‍රියාකාරකම් ක්ෂේත්‍රය මතයි.

විමල් දිසානායක සිය Enabling Traditional: Four Sinhala Cultural Intellectuals නැමති කෘතියේ සාකච්ඡා කරන්නේ සිය අවධානට ලක්වන බුද්ධිමතුන් සිව් දෙනා වන මාර්ටින් වික්‍රමසිංහ, කුමාරතුංග මුණිදාස, එදිරිවීර සරච්චන්ද්‍ර හා ගුණදාස අමරසේකර, 'සම්ප්‍රදාය' යනුවෙන් ඔහු විසින් හඳුන්වනු ලබන දෙය මේ බුද්ධිමතුන් සිව් දෙනාගේ බුද්ධිමය භාවිතය තුළ හැකිදෙයක් බවට පත්වන්නේ කෙසේ ද යන්නයි. අපගේ සාකච්ඡාව ඉදිරියට ගෙනයාම සඳහා අපට මෙහි දී ඇසිය හැකි ප්‍රශ්නයකක් වන්නේ විමල් දිසානායකගේ බුද්ධිමතුන් අතරට සුචරිත ගම්ලත් වැන්නෙක් ඇතුල් නොවන්නේ මන් ද යන්නයි. අවශ්‍ය නම් කෙනෙකුට විමල් දිසානායකගේ ලැයිස්තුවේ සිටින්නේ ලංකාවේ බුද්ධිමතුන් අතර ඉහළම සහ බලපෑම් සහගතම සිව් දෙනෙක් වන බැවින් එහි දී ගම්ලත් ට හිමිවීමට ඉඩ ඇත්තේ ඊට පහළ ස්ථානයක් බැවට තර්ක කළ හැකියි. එම තර්කයේ සාධාරණත්වයක් තිබුනත් මගේ පැහැදිළි කීරීම ඊට වෙනස් එකක්. මගේ තර්කය වන්නේ බුද්ධිමතෙක් ලෙස ගම්ලත් අයත් වන්නේ වෙනම ප්‍රභේදයකට බවත් මේ නිසාම කිසිසේත්ම ඔහු විමල් දිසානායකගේ රේඩාර් තිරයට හසු නොවන බවත්ය.

විමල් දිසානායක සිය බුද්ධිමතුන් සිව් දෙනා සිංහල සංස්කෘතික බුද්ධිමතුන් ලෙස හඳුන්වන විට ඒ හැඳින්වීම තුළ ඔවුන් ප්‍රමුඛ වශයෙන්ම සිංහල භාෂාවෙන් බුද්ධිමය ක්‍රියාකාරකම්වල නිරතවන බුද්ධිමතුන්ය යන අර්ථයට වඩා වැඩි දෙයක් අන්තර්ගතය. මට අනුව විමල් දිසානායක මෙහිදී අදහස් කරන්නේ මේ බුද්ධිමතුන් සිව් දෙනා මා ඉහත සඳහන් කළ 19 වන ශතවර්ශයේ මැද දී ආරම්භ වූ සිංහල-බෞද්ධ මහජන අවකාශය තුල නිර්මිත බුද්ධිමය පරිකල්පනය නියෝජනය කළ, එය පෝෂණය කළ හා එය ප්‍රතිනිෂ්පාදනය කළ බුද්ධිමතුන් බවයි. ගම්ලත් සිටින්නේ පැහැදිලිවම මෙම වර්ගීකරණයට පිටතිනි.

විමල් දිසානායකගේ කතිකාවට මෙන්ම ඉහත කී සිංහල-බෞද්ධ බුද්ධිමය කතිකාව තුළ ද කේන්ද්‍රීයව වැදගත් වූ 'සම්ප්‍රදාය' යන්න සුචරිත ගම්ලත්ගේ කතිකාව තුළද හඳුනා ගැනීමට හැකියාව ලැබුන ද එහි පැහැදිළි අර්ථමය වෙනසක් ඇත. විමල් දිසානායකගේ ද අවධානයට යොමු වන එරික් හොබ්ස්බෝම් ගේ 'සම්ප්‍රදාය සොයාගැනීම (invention of tradition) යන අදහසින් වගේම මිෂෙල් ෆූකෝ ගේ 'කතිකාව' පිළිබඳ අදහසින් ද ආභාසය ලබා අපට ප්‍රකාශ කළ හැක්කේ විමල් දිසානායක ගේ 'සම්ප්‍රදාය' කතිකාමය ගොඩ නැංවීමක් බවයි. එය ඉහත කී සිංහල-බෞද්ධ කතිකාවේ පෞරාණිකත්වය පිළිබඳ කියා පෑමේ වර පත්‍රයයි. මෙම සිංහල-බෞද්ධ කතිකාව පශ්චාත් යටත් විජිත රාජ්‍යයේ හෙජමොනීකරණ දෘෂ්ටිවාදයේ ප්‍රමුඛ සංඝඨකයක් ලෙස ක්‍රියාත්මක වන්නේ ම මෙම 'සම්ප්‍රදාය' පිළිබඳ පෞරාණිකමය කියාපෑම මගින් අත්පත් කරගන්නා යුක්තිසහගතභාවයේ අධිකාරී බලයෙනි.

සුචරිත ගම්ලත් ගේ ඓතිහාසික භූමිකාව වූයේ මේ 'සම්ප්‍රදාය' උච්ඡාරණය කරමින් ක්‍රියාත්මක වූ හෙජමොනීකරණ දෘෂ්ටිවාදයේ අධිකාරී බලයට අභියෝග කිරීමයි. එම අභියෝග කිරීමේ ඉතා වැදගත් ලක්ෂණ දෙකක් මෙහිදී ගෙනහැර දැක්වීමට මම කැමතියි. එකක් තමයි 'සම්ප්‍රදාය' පිළිබඳ අධිපති දෘෂ්ටිවාදයේ රාමුවට පිටතින් සිට සහ එම අධිපති දෘෂ්ටිවාදයට අභියෝග කරමින් මේ ඊනියා 'සම්ප්‍රදායේ' අඩංගුව නියෝජනය කිරීමට ඔහුට හැකියාව තිබීම සහ ඔහු එය ඉතාම සක්‍රීයව සිදු කිරීම. මෙහි දී මා අදහස් කරන්නේ ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර අධ්‍යයන ක්ෂේත්‍රය තුළ ඔහුගේ අධිකාරීමය මැදිහත් වීමයි.

දෙවැන්න වන්නේ මෙම අධිපති දෘෂ්ටිවාදය පුනර්නිෂ්පාදනය කෙරුණු බූර්ෂුවා සිංහල-බෞද්ධ මහජන අවකාශයට ප්‍රති පක්ෂව විකල්ප කතිකාමය මහජන අවකාශයක් ගොඩවැංවීම සඳහා වූ ඔහුගේ දායකත්වය. මා ඉහත සඳහන් කළ ඇවන්ගාඩ් වාමාංශය කෙරෙහි සුචරිත ගම්ලත්ගේ නැඹුරුව තුළ මෙන්ම මහජන බුද්ධිමතෙක් ලෙස ඔහුගේ ඉතාම සක්‍රීය ක්‍රියාකාරිත්වය තුළ ද මේ ලක්ෂණය කදිමට හඳුනා ගත හැක.

ලංකාවේ සම්ප්‍රදායික වාමාංශික දේශපාලනය තුළ දක්නට ලැබුණු ප්‍රධාන අඩුපාඩුවක් වූයේ ස්වායත්ත බුද්ධිමය ක්‍රියාකාරිත්වයක් පිළිබඳ දැක්මක් එයට නොතිබීමයි. එම අඩුවට හේතුව ලෙස මා දකින්නේ අදහස් පිළිබඳ ක්ෂේත්‍රය අරගල ක්ෂේත්‍රයක් ලෙස නොදැකීමයි. දෘෂ්ටිවාදය කේන්ද්‍රීය අරගල ක්ෂේත්‍රයක් ලෙස නිෂ්චිත වශයෙන් හඳුනාගනු ලබන අන්තෝනියෝ ග්‍රාම්ස්චි ගේ ප්‍රවාද පිළිබඳ දැනුමක් ඒ වන විටත් ලංකාවේ මාක්ස්වාදී කතිකාව තුළ දක්නට නොලැබුණා පමණක් නොව පැවැති අධිපති මාක්ස්වාදී කතිකාව තුළ එයට පිළිගැනීමක් ලැබීමට ඉඩක්ද නොතිබුණි. සුචරිත ගම්ලත් මාක්ස්වාදී කතිකාව තුළ ස්ථානගත වී සිටි ආධානග්‍රාහී ට්‍රොට්ස්කිවාදී ස්ථාවරය ද එවැනි පිළිගැනීමකට තරම් විවෘතභාවයක් පැවැති කතිකාවක් නොවීය.

කෙසේ වෙතත් ලංකාවේ මාක්ස්වාදී වාමාංශය තුළ ගම්ලත් අයත්වූ විප්ලවවාදී කොම්යුනිස්ට් සංගමයට පැවැතියේ ඉතා සුළු ජනතා ආකර්ශනයක් බැවින්, ඊට හිළව් කිරීම සඳහා තියුණු බුද්ධිමය පරිශ්‍රමයක නිරත වීමට එම සංවිධානයට සිදු විය. මෙහි ප්‍රතිඵලය වූයේ මා මුලින් සඳහන් කළ ඇවන්ගාඩ් වාමාංශයේ ක්‍රියාධරයින් තුළ විකොස කෙරෙහි විශාල බුද්ධිමය ආකර්ශනයක් ඇති වීමයි. මෙම බුද්ධිමය ක්‍රියාකාරිත්වයේ කේන්ද්‍රයේ සිටියේ කීර්ති බාලසූරිය වන අතර සුචරිත ගම්ලත් හා පියසීලී විජේගුණසිංහ මෙම ඇවන්ගාඩ් වාමාංශය සමඟ විකොස සම්බන්ධ කළ ප්‍රධාන පුරුක් දෙක විය. ඒ අතරින් ද පියසීලී විජේගුණසිංහ අභිබවා සුචරිත ගම්ලත් පෙරමුණට පැමිණියේ පියසීලී විජේගුණසිංහ වැඩි වැඩියෙන් විකොස තුළට නැඹුරු වූ අතර ගම්ලත් වැඩි වැඩියෙන් බාහිරට යොමුවීම නිසාය.

සිය ජීවිතයේ අවසාන දශක දෙක තුළ වැඩි වැඩියෙන් මහජන බුද්ධිමතෙකු ලෙස මැදිහත් වීමට සුචරිත ගම්ලත් උත්සාහ කළ බව පැහැදිළිය. ඔහු 'ඉරුදින' පුවත්පතට කාලයක් තිස්සේ අඛණ්ඩ ලෙස සැපයූ ලිපි මේ මැදිහත් වීම තුළ සුවිශේෂී තැනක් ගනී. මේ ලිපි වල අඩංගුව සම්බන්ධයෙන් විවේචවාත්මක වීමට හැකියාව තිබුනද ඒවායේ කතිකාමය වැදගත් කමට ඉන් කිසිඳු හානියක් සිදුනොවේ. විශේෂයෙන්ම සිංහල-බෞද්ධ ජාතිකවාදයේ අන්තවාදී ප්‍රවණතා වල නැගීම හමුවේ ඒ සම්බන්ධව ඔහුගේ ස්ථීරසාර මැදිහත් වීම් ජාතිකවාදී නොවූ සිංහල සුළුතරයට විශාල ශක්තියක් ගෙන දිණි.

අවසාන වශයෙන් මගේ යෝජනාව වන්නේ සුචරිත ගම්ලත් ගේ බුද්ධිමය උරුමය විචාරාත්මකව මෙන්ම විවේචනාත්මක ද ගවේශණය කිරීම ඔහු පුරෝගාමී වු විකල්ප බුද්ධිමය ක්‍රියාකාරිත්වය ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන් අතිශයින් වැදගත් බවයි. සිංහල-බෞද්ධ මහජන පරිමණ්ඩලය විසින් බිහිකළා වූ බුද්ධිමතුන් සම්බන්ධව විමල් දිසානායකගේ අවධානය හෝ සමහර විට ඊටත් වඩා තියුණු අවධානයක් සුචරිත ගම්ලත් සම්බන්ධයෙන් මෙන්ම ඔහු ද පුරෝගාමී මැදිහත් වීමක් ලබා දුන් බුද්ධිමය කතිකාව කෙරෙහිද යොමුකිරීම අපගේ වගකීමයි.

[ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමග උදේනි ජයවීර කළ සම්මුඛ සාකච්ඡාව ඇසුරෙන් මේ ලිපිය සම්පාදනය කළේ- ශ්‍යාමා ජයවර්ධන]

උදේනි ජයවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



1928 වසරේ කොලොම්බියාවේ දී ජන්මලාභය ලද ගේබ්‍රියෙල් ගාර්සියා මාර්කේස් තියුණු දේශපාලන නිරීක්ෂකයෙකි. ජාත්‍යන්තර පුවත්පත් කලාවේදියෙකි. ඔහු නිර්මාණශිලි ලේඛකයකු ලෙස ජගත් කීර්තියට පත්වන්නේ 1967 දි ප්‍රකාශයට පත්වු "හුදෙකලාවේ සියවසක්" (One Hundred Years of Solitude) නමැති සාහිත්‍යය නිර්මාණය සමඟ ය. ඔහු 1982 වසරේ දී නොබෙල් ත්‍යාගයෙන් ද පිදුම් ලැබී ය.

කුඩා අවධියේ සිය ආච්චිගෙන්, සීයාගෙන් ඇසූ කතා සිය මතකයේ රඳවාගත් ඔහු පසුකලෙක දී අපුරු කතාකරුවකු බවට පත්වූයේ ය. ආදරය වටහාගන්නට අරගල කළ ආදරවන්තයන්ට සහ ආදරවන්තියන්ට ආදරය කාලය සමඟ වියැකී නොයන බව පසක් කළේ ඔහු ය. ආදරය යනු, මිනිස් පැවැත්ම යනු යථාර්ථවාදය අතික්‍රමණය කළ අපූරු ක්‍රියාවලියක් බව ඔහු සිය ලේඛන හරහා ගම්‍ය කළේ ය. වසර 86 ක් ආයු වැළඳූ මේ අග්‍රගන්‍ය ලේඛකයා ඉකුත් අප්‍රේල් 17 වන දින ලොවෙන් සමුගත්තේ ය. ඔහු මිය ගිය පුවත සැල වු සැණින් මට සිහිපත් වුයේ මාර්කේස් සිංහල පාඨකයාට හඳුන්වාදුන් කෘතහස්ත පරිවර්තක ගාමිණි වියන්ගොඩ ලේඛකයා ය. ඒ මාර්කේස් පිළිබඳ සටහනක් තබන්ට අවැසි තොරතුරු ඔහු සතු බැවිනි. මතු දැක්වෙන්නේ ගාමිණි වියන්ගොඩ, මාර්කේස් සහ ඔහුගේ නිර්මාණ පිළිබඳ කළ ප්‍රකාශය ඇසුරින් සැකසු ලියැවිල්ලකි.

********

1980 වර්ෂයේ මා ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් අග නගරයේ වෙසෙන සමයේ පොත් සාප්පු කරා පියමනිද්දී මට හමු වු අපූරු ම ලේඛකයෙක් ලෙස මා සිත් ගත්තේ මාර්කේස් බව අවිවාදිත ය. මා එතෙක් කියවා තිබූ ප්‍රංශ, රුසියානු සහ ඇමරිකා සාහිත්‍යයට වඩා හාත්පසින් වෙනස් සාහිත්‍යයක් ඇසුරු කළේ මාකේස්ගේ සහ අයියන්ඩේගේ කෘති තුළිනි. කියැවීමට උනන්දු කරන ගතියක් සහ අපට වඩාත් සමීප බවක් ඔහුගේ සාහිත්‍යය කෘති තුළ දක්නට ලැබිණි. මෙකී ගුණාංග ඔහුගේ කෘති කෙරෙහි මගේ ප්‍රසාදය ඇතිවීමට හේතුපාදක විය. අනතුරුව මා ඔහුගේ කෘති දීර්ඝ වශයෙන් කියැවීමට පෙලඹුණි.

මා පළමුවෙන් ම මාර්කේස්ව පරිවර්තනය කළ අවස්ථාව සහ පළමුවෙන් ම සිංහල පාඨකයාට මාර්කේස් හඳුන්වාදෙන අවස්ථාව වුයේ ඔහුගේ කෙටිකතාවක් ‘‘ඇය ආ හෝරාව’’ නමින් 1990 දී, පළ වූ මා පරිවර්තනය කළ රාග රිද්ම කෘතියට ඇතුළත් කිරිම ය. එම කෙටිකතා සංග්‍රය තුළින් මිලාන් කුන්දේරා, යුකියෝ මිෂිමා, ලුයිසා වැලෙන්සුයිලා, රිචඩ් රයිට් සහ බෂෙවික් සිංගර් යන ලේඛක ලේඛිකාවන් සිංහල පාඨකයන්ට හඳුන්වා දුනිමි. මොවුන් අතුරින් බෂෙවික් සිංගර්ගේ කෙටිකතා කිහිපයක් 1987 සිට වරින් වර දිවයින පුවත්පතට පරිවර්තනය කළෙමි. අනතුරුව මම ඔහුගේ Chronicl of a Death Foretold කෘතිය ‘‘කරුමක්කාර කතාවක්’’ නමින් පරිවර්තනය කළෙමි. බොහෝ අය මගෙන් විමසන කරුණක් වූයේ පළමුවෙන් එම කතාව තෝරාගත්තේ එය කෙටි නවකතාවක් නිසා ද යන්නය. එය ද එක් හේතුවක් වන්නට ඇත. එහෙත් ඊට වඩා මට බලපැවේ එහි ඇති රුපාත්මක ස්වභාවය යි. අනෙක් කරුණ නම් එය ආරම්භ වන්නේ කතා නායකයා ඝාතනය කිරිමෙනි. අප නිරන්තරයෙන් ළැදියාවක් දක්වන්නේ සුඛාන්ත අවසානයකට ය. කතා නායකයා ඝාතනය කර කතාවක් ඇරඹීමේ දී එහි කතාවක් තිබිය හැකිදැයි මම මගෙන් ම විමසන්නට වීමි. එහෙත් එය එසේ නොවි ය. මා ඔහුගෙන් උගත් පළමු පාඩම එය යි. එනම්, වැදගත් වන්නේ නවකතාකරුවා කියන කතාව නොව එය කියන්නේ කෙසේ ද යන්නය. එහි කතාව වන්නේ කතා නායකයා මියගියේ ඇයි ද? කෙසේ ද? සහ එය පවසන්නේ කෙසේ ද? යන්න ය. නවකතාවක් යනු ක්‍රියාවලියක් ය යන්න මෙහි දී අපට වඩාත් පැහැදිලි ලෙස දක්නට ලැබේ. සරලව ම කතන්දරය පැවසවහොත් එහි ක්‍රියා සන්තතියක් දක්නට ලැබුණ ද එය යම් පිළිවෙළකට සම්බන්ධ කළ කතාවක් ලෙස පැහැදිලිව ම දකින්ට ලැබේ. නමුදු දක්ෂ කතාකරුවා එය ම වඩාත් වෙනස් ආකාරයෙන් ඉදිරිපත් කරයි. මෙය මාර්කේස්ගේ දක්නට ලැබෙන විශිෂ්ට ලක්ෂණයකි. ඔහු එය ක්‍රියාවලියක් ලෙස ම පවත්වාගෙන යයි. මාර්කේස් හඳුන්වාදීමට යම් පැකිලීමක් නොතිබුණේදැයි අතැම් පාඨකයන් මගෙන් විමසුව ද එකල මට එවැන්නක් නොදැනුණේ ය. එමෙන් ම මේ මොහොත වන විට මා මාර්කේස් පිළිබඳ සිතන තරමට ම එදා නොසිතුවෙමි. මට දැනුණේ ඔහු අමුතු පුද්ගලයෙක්, අමුතු නවකතාකරුවෙක් ලෙස ය.


මාර්කේස්, ෆිදෙල් සමග

මම මාර්කේස් හදුනාගන්නේ විවිධ අංශ කිහිපයකිනි. නිර්මාණකරුවෙක්, නිර්මාණකරුවා තුළ සැඟව සිටි දාර්ශනිකයෙක්, අනාගත වක්තෘවරයෙක් සහ මේ සියල්ලම අභිබවා ගිය මිනිසෙක් යන චරිත ගණනාවක් ම මා ඔහු තුළ දුටිමි. මේ ගුණාංග සියල්ල සාමාන්‍ය නවකතාකරුවකු තුළ නො පිහිටයි. බොහෝ නවකතාකරුවන් තුළ මුලික වශයෙන් පිහිටන්නේ කතන්දර කීමේ ගුණාංගය පමණි. මෙකී ගුණාංග සියල්ල නිර්මාණාත්මකව භාවිතා කිරිමේ අපූරු හැකියාවක් ද ඔහු සතුව පැවතුණි. මෙම ගුණාංග අඩු වැඩි වශයෙන් පිහිටා තිබු නවකතාකරුවකුට වුව ද යම් අත්දැකීමක් නවකතාවකට ගෙන ඒමේ දී එය අසාර්ථක වේ. ඒ නිර්මාණාත්මකව එය ඉදිරිපත් කිරිමේ නොහැකියාව ය. මාර්කේස් අද්විතීය වන්නේ මේ නිසාවෙනි.

‘‘කොලරා කාලේ ආලේ’’ නවකතාව ද සාම්ප්‍රදායික කතා කලාවෙන් වියුක්ත වුවකි. අපගේ සිනමාව තුළ, කෙටිකතාව තුළ, නවකතාව තුළ ප්‍රේමය යනු සැමදා තරුණ ය. අපි තරුණකම මැන්නේ වයසින් සහ කාලයෙන් යන මිම්මෙනි. නමුදු මාර්කේස් පළමු වතාවට කාලය යන රාමුවෙන් ආලය වියුක්ත කළේ ය; ඔහු එය ඉතාමත් අපූරු ලෙස කළේ ය. එය අපි කිසිදා නොසිතුවකි. අපේ චින්තන ලෝකය තුළ කාලයෙන් ආලය වෙන් කර ගත නොහැකි ය. අපි අනුගමනය කළේ කාලයත් සමඟ ආලය මිය යාමේ ක්‍රමයකි. අප හුරුපුරුදු වි සිටියේ එලෙසිනි. ඩබ්ලියු. ඒ. සිල්වා, කරුණාසේන ජයලත්, කුමාර කරුණාරත්න ආදි සියලු කතාකරුවන් තුළ අප දුටුවේ මේ ලක්ෂණය යි. අපගේ සමස්ත සමාජයම දුටුවේ කාලයත් සමඟම ආලයත් වයසට පත්වන ලෙස ය. මාර්කේස් කොලරා කාලේ ආලේ තුළින් මෙය ඛණ්ඩනය කළේ ය. ඔහුට අනුව ආලයට කාලය සමඟ කිසිඳු සම්බඳතාවක් නොමැත. කාලය කොතරම් වේගයෙන් ගමන් කළ ද ආලය එසේම පවතින බව ඔහු මෙම නිර්මාණය තුළින් සහතික කළේ ය. වයස දහ අටේ සිට සියය ඉක්මවා වුව ද ආලය නොමැකෙන බව, ආලය සදානුස්මරණීය බව ඔහු පසක් කළේ ය. වඩාත් සරලව පවසන්නේ නම් ඔහු ඇන්ටන් චෙකොෆ්ගේ ‘‘බල්ලා කැටුව යන කාන්තාව’’ ද අතික්‍රමණය කළේ ය. මන්ද, මාර්කේස් මෙම කෘතිය තුළින් ලෝකයේ පුළුල් පරාසයක් ස්පර්ශ කරන බැවිනි.

මගේ පාඨකයන් නිරන්තරයෙන් මගෙන් විමසා සිටියේ ‘‘සියක් වසක හුදෙකලාව’’ කෘතිය පරිවර්තනය කිරිම සඳහා උනන්දු නොවූයේ ඇයි ද යන්න ය. සැබැවින් ම යම් විදෙස් ලේඛකයකුගේ හෝ ලේඛිකාවකගේ කෘති කිහිපයක් අතුරින් සිංහලයට පරිවර්තනය කිරීම සඳහා මා තෝරාගන්නේ ඉතා ඉක්මණින් පාඨකයාට ළංවිය හැකි, ග්‍රහණය කර ගත හැකි කෘතියකි. යම් විදෙස් ලේඛකයකු හෝ ලේඛිකාවක හඳුන්වා දෙන්නේ ද එලෙස ය. අයියන්දේගේ ‘‘මායාවාස’’ කෘතිය දෙවනුව පරිවර්තනය කිරිමට ඉඩ තබා පළමුව ‘‘ඊවා ලූනා’’ පරිවර්තනය කරන්නේ ද එබැවිනි.

සියක් වසක හුදෙකලාව කෘතිය සිංහල පාඨකයා ග්‍රහණය කරගත්තා යැයි මම විශ්වාස නොකරමි. සැවොම මේ පිළිබඳ සාකච්ඡා කරති, අග්‍රගන්‍යය කෘතිය යැයි පවසති. ඒ ලෝකයේ සැවොම එසේ පවසන බැවිනි. එය ගිරවු මෙන් කියවීමක් පමණි. ඒ හැරුණ කොට එම කෘතිය බහුතර පාඨක පිරිසක් ග්‍රහණය කර නොගත් බව මම තරයේ විශ්වාස කරමි. එහි යුගාත්මක අන්දරය ඉතා විශාල ය. එය හුදෙක් කතන්දරයක් කියාපාන්නක් පමණක් නොවේ. ලතින් ඇමරිකාව මහද්විපයක් ලෙස ගත් කල හෝ ලතින් ඇමරිකානු කලාපය ලෙස ගත් කල; කොලම්බියානු, මෙක්සිකානු, පෙරුවියානු යන ජාතීන් එක ජාතියක් ලෙස විඳි දුක්ගැහැට මෙහි අන්තර්ගත ය. ඒ මහද්වීපයේ සමස්ත ජනතාවට ම ඇත්තේ එකම ඉතිහාසයකි. එක් පසෙකින් ඒ ඔවුන්ගේ පෞරාණික ඉතිහාසය යි; පළළමුව ඇබෝජියන්වරුන්ගේ ඉතිහාසය, දෙවනුව කොලම්බස්ගේ ආගමනයෙන් අනතුරුව යටත්විජිතකරණය වීම සහ යුරෝපයේ සම්මිශ්‍රණය ආදී මේ සියලු අත්දැකීම් පේරු, කොලොම්බියා, මෙක්සිකෝ, ආර්ජෙන්ටිනා යන රටවලට පොදු අත්දැකීමකි; පොදු සංස්කෘතියකි. එබැවින් මෙය සැබවින් ම සියක් වසරක හුදෙකලාවකි. මේ හුදෙකලාව කුමක් ද...? මෙය හුදෙක් පවුලක හුදෙකලාවක් නොවේ. මෙය සපුරා ම මහද්වීපයක හුදෙකලාවකි. එම හුදෙකලාව තුළ ඇද වැටුණු වළවල්, අසාර්ථකතා, මෙම ජාතීන් අතර තිබූ නිර්මාණ කුසලතා මෙි අන්තර්ගත ය. ප්‍රථම වතාවට අයිස් දැකීම මෙහි සුවිශේෂිත අවස්ථාවකි. මෙය සංකේතාත්මකව ගත් විට, අයිස් යනු විටෙක ඝන ද්‍රව්‍යයකි. නමුත් ක්ෂණයකින් එය ද්‍රවයක් බවට පත්ව දියව යන්නේ ය. සියක්වසක හුදෙකලාව යනු මෙවැනි සංකේත ලෝකයකි. ලේඛකයාට මෙම කතාව කියා නිම කිරීම පිණිස පරම්පරා හතක් අවශ්‍යය විය. මා මෙම කෘතියට ප්‍රවේශ නොවූයේ ඊට පෙර තව තවත් මාර්කේස් ඇසුරු කළ යුතු යැයි හැඟුණ බැවිනි.

මාර්කේස් මායා යථාර්ථවාදියකු ලෙස හැඳින්වීම පිළිබඳව ද යමක් සටන් කළ යුතු ය. තමන් යථාර්ථවාදියකු මිස ඉන්ද්‍රජාලික යථාර්ථවාදියකු නොවන බව ඔහු විසින් ම පවසන ලදී. ඔහු එම නාමකරණය ප්‍රතික්ෂේප කළේ ය. ඉන්ද්‍රජාලික නමැති ලේබලය ඔහුට ඇලවුයේ බාහිරිනි. මගේ හැඟීම නම් මේ දෙපාර්ශ්වය ම නිවැරදි බවයි. මාර්කේස් එම ලේබලය ප්‍රතික්ෂේප කීම සහ බාහිර පුද්ගලයන් එම ලේබලය ඔහුට ඇලවීම ද එකම කාසියේ දෙපැත්ත හා සමාන ය. මන්ද මේ දෙපාර්ශවය ම දෙපසකින් බලන අය වෙති. මායා යථාර්ථවාදය යැයි පැවසූ විට යථාර්ථවාදය යනු කුමක් ද? යථාර්ථවාදයේ රමුණ කුමක් ද යන්න විමසිමේ දී හැඟි යන්නේ මායා යථාර්ථවාදය පැමිණ ඇත්තේ යථාර්ථවාදයේ අරමුණ සඳහා ම බවයි. යථාර්ථවාදයෙන් කෙරෙන්නේ මතුපිට දේ අත-පත ගා අභ්‍යන්තරයේ පවතින සත්‍යය හෙළිදරවු කිරීම ය. මාර්කේස් කළේ ද මෙය ම ය. නමුදු මාර්කේස් යන මාර්ගය වෙනස් කළේ ය. ඔහු ද ගමන් කරන්නේ එකම ස්ථානයකට වුව ද යන ආකාරය සහ යන මාර්ගය වෙනස් කළේ ය; ඔහු ඒ සඳහා ‘ෆැන්ටසිය’ ආදේශ කළේ ය; මැජික් ආදේශ කළේ ය. මන්ද, මනුෂ්‍යයා නමැති සත්වයාගෙන් විශාල කොටසක් නිර්මාණය වී ඇත්තේ ෆැන්ටසි සහ මැජික් තුළ බව ඔහු අවබෝධ කර ගත්තේ ය. එය විද්‍යාවට අසු නොවන්නකි. නමුදු මිනිස් පැවැත්ම තුළ එය අන්තර්ගත ය. එ’තුළින් අදාළ ජනයාගේ සංස්කෘතිය, අත්දැකීම්, ඇදහිලි, විශ්වාස යනාදිය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගත හැකිය.

මාර්කේස් හරහා අපේ ලේඛකයන් ලබාගන්නා අත්දැකීම් සරල, කෙටිකාලීන ක්‍රියාවලියක් නොවේ. ඒ සඳහා යම් කාලයක් ගතවිය හැකිය. නමුදු මාර්කේස් වැනි අය සිංහල සාහිත්‍යයට පැමිණීම හේතුකොට ගෙන යම් ආකාරයක ආලෝකයක් අපේ නිර්මාණකරුවන් අතළොස්සකට හෝ ලැබෙන්නට ඇතයි මම විශ්වාස කරමි. එය බලාපෙරොත්තුවන මට්ටමෙන් නොවූව ද, සෑහීමකට පත්නොවන මට්ටමෙන් වුව ද අවම වශයෙන් හෝ සිදු වී ඇති බව මගේ විශ්වාසය යි. එය එකපැහර ග්‍රහණය කර ගැනීම අපට අපහසු විය හැකිය. මන්ද, මාර්කේස්ට තිබු තරම් සරු සම්ප්‍රදායක් අපට නොතිබුණි. ඔහුට පෙර පැමිණි ලොව ප්‍රධාන චරිතයකි ජෝර්ජ් ලිවිස් බෝර්ජියස්. වර්තමානය වන විට ද ලතින් ඇමරිකාවේ මහා නවකතාකරු වන්නේ ඔහු ය. අපේ මාර්ටින් වික්‍රමසිංහ ලෙස (එක රටක නොව සම්පූර්ණ මහද්විපයක) එම මහද්විපයේ බෝර්ජියස් අමරණීය ය. ඔහු මාර්කේස්ගේ මාර්ගෝපදේශකයෙකි. අනෙක් පසින් 17 වන ශතවර්ෂයේ මාර්කේස්ගේ මවු භාෂාව වන ස්පාඤ්ඤයේ එක්දහස් හයසිය ගන්වල විසූ සර්වන්තේස් නමැති නවකතාකරුවා ද ඔහුට අත්වැලක් වූවේ ය. සර්වන්තේස් විසින් රචිත ‘‘දොන් කිහතේ’’ නමැති නවකතාව ස්පාඤ්ඤ භාෂාවෙන් රචිත නවකතා අතුරින් මුදුන් මල්කඩ ලෙස සැලකෙන්නකි. මේ වන විටත් එය ස්පාඤ්ඤ ලෝකයේ නවකතාව පිළිබඳ අත්පොතකි. නමුත් අපිට එබඳු පුද්ගලයෙක් සිටියේ ද? අපිට ආසන්න රටේ විසු තාගෝර් ඒ හා සමාන නිර්මාණකරුවෙකි. නමුඳු අපි තාගෝර්ගෙන් හෝ ආභාෂය නොලද්දෙමු. අපි තාගෝර්ට වඩා ආභාෂය ලද්දේ පියදාස සිරිසේනගෙනි. ගුණදාස අමරසේකරලා බිහිවන්නේ එබැවිනි. මාර්කේස්ට තිබු පුළුල් ලෝකය ඥානනය කරන්නට ඉතිහාසයක් අපට නොතිබුණා නොවේ. ඉන්දියාවේ එය පැවතුණි. නමුදු එය ඥානනය කළ හැකි පිරිසක් සිටියේ නැත. අපි අසාර්ථක වූයේ එබැවිනි.


ගාමිණි වියන්ගොඩ

ඒ සඳහා හොඳ ම නිදසුන ‘‘දොන් කිහතතෝ’’ නිර්මාණය යි. (මෙම කෘතියේ ඉතා අසාර්ථක පරිවර්තනයක් ‘‘විලම්බිත හාමු’’ නමින් පළ වී ඇත.) එකල තිබූ සම්ප්‍රදාය වූයේ රණකාමි සංග්‍රාමය යි. කෘතියේ ප්‍රධාන චරිතය මෙම සම්ප්‍රදාය විශ්වාස කළ පුද්ගලයෙකි. තමන් කියවන පොත්පත්වල සඳහන් සියල්ල සත්‍යය යැයි පිළිගත් පුද්ගලයෙකි. දොන් කිහතෝ නමැති පුද්ගලයා මේ අගතීන් සියල්ලෙන් පරිපූර්ණ වු චරිතයකි. සර්වන්තේස් නමැති නවකතාකරුවා මොහු පාවිච්චි කරන්නේ මේ සියල්ල අපහාසයට ලක් කිරීම සඳහා ය. යුද්ධය යනු කෙතරම් උන්මත්ක ක්‍රියාවක් ද යන්න පහදා දීමට එක්දහස් හයසිය ගණන්වල සර්වන්තේස් පෙලඹුණේ ය. නමුදු අපේ ගුණදාස අමරසේකරලා පෙලඹෙන්නේ සර්වන්තේස් වැනි අග්‍රගන්‍යය ලේඛකයා එක්දහස් හයසිය ගණන්වල ප්‍රතික්ෂේප කළ, මිනිස් ශිෂ්ටාචාරය විනාශ කරන, මනුෂ්‍යයාව ඝාතනය කිරිම උත්කර්ෂයට නංවන නවකතා ලිවීම සඳහාය; ඒ සඳහා අනෙකා පෙලඹවීම සඳහා ය. අපේ රටේ ලේඛකයාගේ වෙනස එය යි. අප මාර්කේස් පිළිබඳ හඳුන්වා දෙන්නේ එබඳු රටකට ය; එබඳු ලේඛක ලේඛක පිරිසකට ය. මෙහි ගැටලුව වන්නේ ලෝකය ඥානනය කිරිමේ සාහිත්‍යය ප්‍රවේශයක් නොතිබීම ය. ජාතක කතා පොත ඉතා විශිෂ්ට නිර්මාණ එකතුවකි. එය සත්‍ය වුව ද අපි එයින් ලබාගත්තේ කුමක් ද? අපි තවමත් නලිනි ජාතකයට අප්‍රමාණ බියක් දක්වන්නෙමු. අප එබඳු ස්වයං වාරණයන් ස්ව-කැමත්තෙන් ම පනවා ගත් ජාතියකි. එබැවින් මාර්කේස් නොව ලෝකයේ කුමන ජගතෙකු බිහි වුව ද අපට එතැනට ළඟා විය නොහැකිය. අපි ගමන් කරන්නේ ඉබි ගමනින් සහ පය පැකිළෙමිනි. එම ඉලක්කය වෙත යම් නිර්මාණකරුවකු ගමන් කරන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ කකුලෙන් ඇදීමට මුළු මහත් සමාජය ම සුදානමෙන් සිටිති. එබැවින් අපි මෙම ව්‍යසනයට නිර්මාණකරුවාට පමණක් දොස් පවරා පළක් නොමැත. මෙය සමස්ත සමාජයේ ම පවත්නා වරදකාරි බවකි.

මා මාර්කේස්ගේ අවසාන නවකතාව දක්වා විශාල වර්ධනයක් දුටුව ද, අවසාන නවකතාව මා දකින්නේ අසාර්ථක නවකතාවක් ලෙසිනි. මගේ අවංක අදහස නම් මාර්කේස් එම නවකතාව නොලියා මිය ගියේ නම් හොඳය යන්න ය. ඔහු පිළිබඳව මා තුළ තිබු පෞරුෂත්වය අවසාන නවකතාවේ දී බිඳ වැටුණ බව අවංකව ම පැවසිය යුතු ය. එහි නවතාවක් නැතුවා නොවේ. එහෙත් නවකතාවක් ලෙස මාර්කේස් එය ඉදිරිපත් කරන ආකාරය මා සිත් නොගත්තේ ය.

අවසන් වශයෙන් මාර්කේස්ගේ මරණය සම්බන්ධයෙන් මට පැවසීමට ඇත්තේ පසුගිය දිනෙක (මාර්කේස්ගේ මරණය සැලවු සැණින්) ඉසබෙලා අයියන්දේ පැවසු දෙය ම ය. ඇය පවසා සිටියේ; මම දුක් නොවන්නෙමි. මිනිසකු මිය යාම දුකකි. නමුත් එය පිරිමැසීමට හැකිවන ආකාරයේ මහ විශාල ලෝකයක් මාර්කේස් අපට ලබාදී ඇත. එබැවින් ඔහු මිය නොගියේ ය. ඔහුගේ උරුමය අප හට ඉතිරි කර ගොස් ඇත. අප උත්සාහ කළ යුත්තේ අනාගතය සඳහා, මිනිසාගේ යහපැවැත්ම සඳහා එම උරුමයෙන් කෙතරම් දේ අපට උගත හැකිද යන්නය.

(-ජනරළ)

ජයසිරි අලවත්ත



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පාත්‍ර වර්ගයා- විදර්ශන, පටාචාරා, දුම්රිය නිවේදක

ආරම්භය.
සංගිත හඬ අතරින් අඩි හඬ, සුළං හඬ ඉස්මතු වේ.


දුම්රිය නිවේදනය- සවන් දෙන්න සවන් දෙන්න. අනුරාධපුරය බලා ධාවනයවීමට නියමිත රාත්‍රී සීඝ්‍රගාමී දුම්රිය අද දින ප්‍රමාද වී ධාවනය වන බව කරුණාවෙන් සලකන්න.

විදර්ශන- ෂිඃ... මදෑ... (විරාමය) කමක් නෑ, බංකුවකට වෙලා පුංචි ඇලට් එකක් දානවා. (විරාමය) ආහ්... මුළු ඇඟම හරිම අමාරුයි. උගුර ලේ රහ වෙලා. (අඩි හඬ) හ්ම්... මුලු කොටුව ස්ටේසමම පාලුයි. හරියට වැව් පිට්ටනියක් වගේ. ඔව් එක අතකට මේ ඉස්ටේසමත් ඉංග්‍රීසින් හදල තියෙන්නෙ ගොඩ කරපු බේරේ වැවේනෙ. (විරාමය අතර අඩි ශබ්දය) හ්ම්... මොනවා, ගෑනිියෙක්. මේ රෑ... (සිනාසෙයි) භාණ්ඩයක් වගේ. (විරාමය) හ්ම්... මෙතන හොඳයි. එළිය වැටෙන්නෙ නැති හින්ද, හොඳ නින්දක් දැම්මැහැකි. ට්‍රේන් එකේ සද්දෙට ඇහැරෙන්නෙ නැතෑ.
(පාන්දර හතර වදින හඬ අතර අඩි හඬ මතුවේ.)

පටාචාරා- මේ, අනුරාධපුරේ ට්‍රේන් එක ගොඩක් පරක්කුයිලු නේද?

විදර්ශන- ඔව්.

පටාචාරා- පැය කීයක් පරක්කු වෙයිද දන්නෑ, නේද?

විදර්ශන- දන්නෑ.

නිශ්ශබ්දතාව.

පටාචාරා- මේ... අනුරාධපුරයටම යනවද?

බංකුවේ වාඩිවෙන හඬ.

විදර්ශන- ඔව්.

පටාචාරා- මාත් අනුරාධපුරයටමයි යන්නේ.

විදර්ශන- ඇත්තද?

සුළං හඬ දැඩිව ඇසේ.

පටාචාරා- හරිම සීතලයි නේද?

විදර්ශන- හ්ම්... (තමාට) ෂා... අමුතුම විදියේ ගෑනියෙක්. හරියට ඇන්ටික් චිත්‍රයක් වගේ. ඇඳුම, මූණ, කොණ්ඩෙ හරිම අමුතුයි. කොළඹට අද ඊයෙ ආපු එකක් වෙන්න ඕනෙ.

පටාචාරා- වහින්න වගේ නේද?

විදර්ශන- හ්ම්...

නිශ්ශබ්දතාව.

පටාචාරා- කොහොමද මේ දවස්වල අනුරාධපුරයට වහින්නේහෙම නැද්ද?

විදර්ශන- (තදින්) මේ නංගි මං නිදාගන්න එක ඔයාට කරදරයක්ද?

පටාචාරා- ඇයි ඔයා ඔහොම කතා කරන්නෙ?

විදර්ශන- එහෙනං කොහොමද කතා කරන්න ඕනෙ.

පටාචාරා- ඔයාට මාව අඳුරන්න බැරිද?

විදර්ශන- අඳුරන්න... (විරාමය) ඔයා කවුද, කරුණාකරල...

පටාචාරා- (බාධා) ඔහොම කතා කරන්න එපා විදර්ශන.

විදර්ශන- මොනවා... විදර්ශන. තමුසෙ කොහොමද මගෙ නම දන්නෙ?

පටාචාරා- ඔයාට අඳුරන්න බැරිද මාව, මේ... මම.

විදර්ශන- මම? (තමාට) කවුද මේ, මටනං හිතාගන්න බෑ. (පටාචාරාට) තමුසෙ කවුරු වුණත් මට කමක් නෑ.

පටාචාරා- ඇයි ඔහොම කතා කරන්නෙ? වෙන කවුරුවත් නෙමෙයි, මේමම. පටාචාරා.

විදර්ශන- පටාචාරා, මොන පටාචාරද?

පටාචාරා- ඇයි අනේ, මේ මාසෙ පුරාවටම තොරණේ වර්ණනා කරපු පටාචාරාව ඔයාට අමතකද?

විදර්ශන- (තමාට) මොනවද මේ ගෑනි කියන්නෙ? (පටාචාරට) මොනවද ඔහේ මේ කියන්නෙ?

පටාචාරා- විදර්ශන. මේ මං පටාචාරා. මං කැමතියි ඩිංගක් ඔයත් එක්කල කතා කරන්න. ඔව් අනේ මං කියන දේ අහන්න විදර්ශන.

විදර්ශන- (තමාට) කොහේද යන... (පටාචාරාට) මේ මට ඔහෙත් එක්කල කිිසිම ගනුදෙනුවක් අවශ්‍ය නැහැ. කරදර නොකර මෙතනිං යනවද?

පටාචාරා- හැමෝටම මාව මතක් වෙන්නෙ බොහොම ටික කාලෙකට විතරයි. මගේ ගුණ වර්ණනා කරපු, මගේ දුක ගැන කම්පා වුණු ඔයත් ඇයි මට ඔහොම කරන්නෙ? ඔයා මට මේ මාසෙම කතා කළේ ඔය විධියටද?

විදර්ශන- (තමාට) මේ ගෑණි කියන්නේ ඇත්තක්ද? මට හිතා ගන්න බෑ මේ රෑ දුම්රිය පොළක තනියම ඉන්න ගෑනිියෙක්. මේ කතාව විශ්වාස කරන්න පුළුවංද. (පටාචාරාට) මේ... වතාවක් කිව්වා. මට උඹත් එක්ක නිදි වදින්න ඕන නෑ.
පර්ස් එක අරින ශබ්දය.
උඹට කීයක්ද ඕනෙ? ආ... මෙන්න මේ රුපියල් සීය අරගෙන මෙතනිං පලයං මට කරදර නොකර.

පටාචාරා- නෑ, මං වෛශ්‍යාවක් නෙමෙයි. මං ඒ ජාතියේ ගෑනියෙක් නෙමෙයි. (හඬයි) ඇයි ඔයාටවත් මගේ දුක තේරෙන්නෙ නැත්තෙ? මාව විශ්වාස කරන්න. මං කියන දේ අහන්න. මේ මම තමයි පටාචාරා.

විදර්ශන- (තමාට) මොකද මේ වෙන්නෙ. මේ සැබෑ ලෝකෙද, එහෙම නැත්නං හීනයක්ද? ඔව් ඇත්තට, තොරණේ ඇඳල හිටපු චිත්‍රය වගේමයි. ඒ ඇඳුමමයි. (පටාචාරාට) මට..

පටාචාරා- (බාධා)විශ්වාස කරන්න අමාරුයි නේද? ඒක මට තේරෙනවා. ඔව්, මට වෙච්ච දේ කාටවත් විශ්වාස කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක තමයි මගේ ඉරණම. මට සිද්ධ වුණේ කවදාවත් නොහිතපු විපතක්. මහා විපතක්.

විදර්ශන- එතකොට, මොනවද ඔහෙට මගෙං ඕනෙ?

පටාචාරා- මොකවත් එපා.

විදර්ශන- එපා?

පටාචාරා- ඔව්.

විදර්ශන- එතකොට කොහෙද මේ ඔහෙ යන්නෙ?

පටාචාරා- ඒක මටත් හිතාගන්න බෑ. ලබන වෙසක් වෙනකං ඒක මං දන්නෑ. කවුරු හරි තීරණය කරන තැනකට, කවුරු හරි නිශ්චය කරන තැනකට එතකොට මං යනවා. මගේ කතන්දරය කියන්න. ඔව්, ආහ්. (විරාමය) මට හරිම මහන්සියි.

විදර්ශන- ඔව්, මටත් එහෙම්මමයි. මමත් එහෙමයි. ලබන වෙසක් වෙනකං මාත් බලං ඉන්නවා කොහෙට හරි යන්න.

පටාචාරා- ඒත් ඔයාගෙ මහන්සිය මුදලින් තක්සේරු වෙනවා. ඒත් මට කිසිම...

විදර්ශන- (බාධා) පටාචාරා මතක තියාගන්න ඔයා ජීවමාන චරිතයක් නෙමෙයි.

පටාචාරා- කොහොමද එහෙම කියන්නේ? බලන්න මං ජීවමානයි ඔයාට දැනෙන්නැද්ද ඒක?

විදර්ශන- (තමාට) මං කොහොමද ඇත්තටම මේ දේවල් විශ්වාස කරන්නෙ? ඇත්තටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද? මොනව වුණත් මේ ගෑනිි කියන්නෙ මොනවද කියලා හොඳින් ඇහුංකං දෙන්න ඕන.

පටාචාරා- විදර්ශන, ඔයාට ගොඩක් ස්තුතියි මාව වර්ණනා කෙරුවට. මගේ ගුණ, දුක හමුවේ කම්පාවුණාට. ඔයාගේ හඬේ ගැබ්වෙලා තිබුණේ අපූරු මිනිස්කමක්. මං දැක්ක ගමං ඔයාව අඳුරගත්තා. අන්න ඒ හින්ද තමයි මං ඔයා ගාවටම ආවෙ. මං ආසයි ඒ හඬට. ජීවීතේ කවදාවත් නැති විදියට ඔයාගෙ හඬ මගේ හදවත කම්පනය කළා. අනේ එකම එක විරිදු පදයකින් ආයෙත් මං ගැන කියන්න. (විරාමය) මොකද... මොකද... ඔයා බයවෙලා වගේ? කෝ ඔයාගෙ රබාන? මේකෙද? අපි ඒක ගමු එළියට? හ්ම්...
බෑගයක සිප් එක අරින හඬ.
ආ... මේ තියෙන්නෙ. මම ගහන්නං ඒ විරිදු පද. මට හුඟාක් පුරුදුයි. ඉතිං පටන්ගන්නකො කෝ ඉතිං.

විදර්ශන- මං කොහෙන්ද පටන් ගන්න ඕන?

පටාචාරා- මුල ඉඳලම පටන් ගමු.

විදර්ශන- ඒ කිව්වෙ කොතනින්ද?

පටාචාරා- මං අපේ ගෙදර උන්නු සේවකයා එක්කලා පෙමින් වෙළිච්ච තැන ඉඳන්ම. ඔව්, (විරාමය) ඔන්න එහෙනං මං ගහනවා.
රබන් පද හඬ.
කෝ, පටන් ගන්න... පටන් ගන්නකො

රබන් පද හඬ.

විදර්ශන-
සැවැත් නුවර සතළිස් කෙළ
වස්තුව හිමි සිටාණන්ගෙ
රුවැත් දෝණි හැදී වැඩුණේ
සෙනෙහෙ මැද්දෙ හැම දෙනාගෙ

රබන් පද හඬ.

සියලු ඉසුරු සැප සම්පත්
ඈ වෙත නිරතුරු ලැබුණා
දැඩි රැකවරණයක් මැද්දෙ
උඩු මහලේ ඇය වැඩුණා

රබන් පද.

මහල් තලේ හිඳින කුමරි
කවුළු පියන් පත් අතරින්
නිතර දුටුවෙ දේහදාරි
දර පලනා සේවකයන්

රබන් පද

ප්‍රේම හැඟුම් ඇවිළුණා
ආල හැඟුම් මෝරනා
සිත ගිය තැන මාළිගාව
ඇගේ ලොවේ ඉදිවුණා

පටාචාරා- ඇත්තටම මටත් හිතාගන්න බෑ. ඔහුගේ ජවසම්පන්න දේහයට, කඩිසරකමට මගේ හිතේ ඇතිවුණේ පුදුමාකාර පැහැදීමක්. නොදැනුවත්වම ඒක ආදරයක් බවට පෙරළුණා. මට එයාව නැතුව බැරිවෙලා ගියා. මට මුළු ලෝකෙම හිටිය වටිනාම වස්තුව වුණේ එයා. මට ඕන වුණේ නිදහස් ජීවිතයක්. සතුටින් ඉන්න පුළුවන් ජීවිතයක්. දෙමවුපියො යෝජනා කරපු හැම විවාහයකටම විරුද්ධ වෙලා එයත් එක්ක ගෙදරින් පැනල යන්න තීරණය කළේ අන්න ඒ හින්දා.

රබන් පද.

විදර්ශන- අනේ, දෙවඟනක් තරම් සුන්දර රූප සම්පත්තියකට හිමිකම් පෑ සුකොමළ ලලනාව ප්‍රේමයෙන් මත් වෙලා, දර කපන සේවකයත් සමඟ සරණ යන්න හිතුවා. ඔව් ඈ... කිලිටි රෙද්දක් පොරොවාගෙන, හිස කෙස් බැඳගෙන පැන් ගෙන ඒමට යන කෙල්ලක විලාසයෙන් ගෙදරින් පැන ගියා.

පටාචාරා- අන්න හරි. ඒ හැම දෙයක්ම සිද්ද වුණේ ඔහොම තමයි. විදර්ශන ඔබ කොහොමද මේ හැම දෙයක්ම මේ හැටි හොඳින් දන්නෙ?

විදර්ශන- අවුරුදු දහසක් පුරාවට අපිට උගන්නලා තියෙන්නෙ එහෙමයි. මට විතරක් නෙමෙයි මේ රටේ බොහෝ දෙනෙක් ඔයාගෙ කතාව හොඳින් දන්නවා. කටපාඩමින් පවා කියන්න පුළුවන් තරමට.

පටාචාරා- ඔව් මට තේරෙනවා. මේ හැම දෙයක්ම අද බොහෝම ප්‍රසිද්ධ වෙලා. (විරාමය) මට මගේ ස්වාමියා නැති වුණා. දරුවො දෙන්න නැති වුණා. දෙමාපියන් නැති වුණා. ඔව් මේක තමයි මගේ ඉරණම, මගේ දෛවය. මං මහා කරුමක්කාරියක්. අවාසනාවන්තියක්. මං ඒක දන්නවා. (හඬයි)

සංගීතය මතුවේ.

විදර්ශන- පටාචාරා දැං අඬලා වැඩක් නෑ, දුක්වෙලා වැඩක් නෑ. නිවැරදි දෘෂ්ටියෙන් තීරණ නොගැනීමේ විපාක ඔබ භුක්ති විඳිනවා.

පටාචාරා- නෑ, මේක තමයි මගේ ඉරණම, දෛවය.

විදර්ශන- (බාධා)නෑ, ඔබ කොහොමද එහෙම කියන්නෙ?

පටාචාරා- ඒක එහෙම තමයි. ඒ කරුමය වෙනස් කරන්න කාටවත් බෑ.

විදර්ශන- ඔබ ඔය කියන්න හදන්නෙ මේ හැම දෙයක්ම සිද්ධ වුණේ ඔබ පෙර ආත්මයේ කළ අකුසල කර්මයක් නිසා. මේක ඔබට සිද්ධ වීමට නියමිතව තිබූ දෙයක්...

පටාචාරා- (බාධා)ඔව්.

විදර්ශන- නෑ. කොහෙත්ම නෑ. ඔය අදහස මහා විශාල මිථ්‍යාවක්. ඒකට කීයටවත් එකඟ වෙන්න බෑ.

පටාචාරා- මොනවද විදර්ශන ඔය කියන දෙපිටකාට්ටු කතා. ඔයා මේ සති හතර පුරාම මං ගැන කිව්වේ, විස්තර කළේ, හඳුන්වා දුන්නේ ඔය විදියට නොවෙයි.

විදර්ශන- ඔව් ඇත්ත. මගේ වෘත්තිය ඇතුළේ මට වෙන කිසිම දෙයක් කරන්න විදිහක් නෑ. මේ විරිදු කීමේ වෘත්තියෙන් තමයි මං අවුරුද්දක් පුරාම ජීවත් වෙන්න හොඳ ගාණක් එකපාර හොයාගන්නෙ. ඒකට මේ හොඳම කාලය තමයි මේ වෙසක් පොසොන් කාලෙ. ඒ හින්ද මට කියන්න සිද්ද වෙලා තියෙන්නෙ මිනිස්සු අහන්න කැමති විදියට. උන්ට හුරු කරලා උගන්නලා තියෙන විදියට. ඊට පරිබාහිර දෙයක් කිව්වොත් මට මගේ වෘත්තියේ රැඳී ඉන්න වෙන්නේ නෑ. (විරාමය) ඒත් පටාචාරා මම දැං කියන්නේ මට දැං පේන නියම යථාර්ථය.

පටාචාරා- මොකද්ද ඔය කියන යථාර්ථය?

විදර්ශන- ඔබට අත්වුණු ඔය කිසිම දෙයක් ඔබේ ඉරණම හෝ කර්මය නෙවෙයි.

පටාචාරා- නෙමෙයි?

විදර්ශන- ඔව්, ඕවා හැම දෙයක්ම ඔබ විසින්ම ඇති කරගත් දේවල්. නිර්මාණය කරගත්ත දෙවල්.

පටාචාරා- නෑ. ඒක කොහොමටවත් වෙන්න බෑ.

විදර්ශන- මොකද වෙන්න බැරි. පොඩ්ඩක් හිතන්න ඔහේට උපතින්ම හොඳ සුඛෝපභෝගී පරිසරයක් තිබුණා. හොඳ ආරක්ෂාවක් තිබුණා. ඔබ මඳක් ඔහේගෙ බුද්ධිය මෙහෙයවූවා නම් දර පලන මිනිහෙක් එක්ක පැනලා ගිහිල්ලා ජීවත් වෙන්න අමාරුයි කියලා තේරුම් ගන්න තිබුණා.

පටාචාරා- මට ඕන කළේ නිදහස, තෘප්තිය. විදර්ශන, මිනිස්සු ආදරේ කරන කොට හැම දෙයක් ගැනම ගැඹුරින් හිතන්නෙ නෑ.

විදර්ශන- අන්න ඒක තමයි ගැටලුව. අපි ජීවත් වෙන්න ඕන යථාර්ථයත් එක්ක. පොරබදන්න ඕන යථාර්ථය සමඟ. හැඟීම්වලට එහෙම නැත්නම් කෙටිකාලීන ආශාවන්වලට වහල් වෙලා තමන්ගේ බුද්ධිය යටපත් කරන එක විශාල මිත්‍යාවක්.

පටාචාරා- ආදරය කරන කොට ඔය දේවල් මතක් වෙන්නෙ නෑ. විදර්ශන, හොඳයි ඔයා ආදරේ කරල නැද්ද? ආදරේ අන්ධයි කියලා කියමනක් තියෙනවා නේද? ඒ වගේ කථා ඕන තරම්...

විදර්ශන- (බාධා) ආදරේ මුවාවෙන් තමාගේ දෑස් අන්ධකාර කරගැනීම කියන්නේ විශාල මිථ්‍යාවක්. ජවසම්පන්න දේහවල, සුන්දර රූපවල අභ්‍යන්තරය බොහොම කටුකයි. ඒ සියල්ල මතුපිටට පෙනෙන මායාමය ගොඩනැංවීමක් විතරයි. අන්න ඒ යථාර්ථය හා මායාව වෙන් කර ගන්නැතුව සියල්ල සිද්ධ වීම හමාර විමෙන් පස්සෙ එය තමාගේ ඉරණම, දෛවය, කරුමය කියලා විග්‍රහ කරන එක බොහොම ප්‍රාථමිකයි පටාචාරා.

පටාචාරා- ඒ කියන්නේ විදර්ශන, ප්‍රේමය සම්බන්ධයෙන් මට මීට වඩා ගැඹුරින් හිතාගන්න තිබුණා කියන එකද?

විදර්ශන- සත්තකින්ම ඔව්, සත්තකින්ම ඔව්. ඔබට හිතන්න තිබුණා ඔය දර කපන්න එක්ක ගිහිල්ලා ඔබට ජීවත් වෙන්න පුළුවන්ද?, ඔහුගේ රැකියාවෙන් ඔබට යැපෙන්න පුළුවන්ද, ඔහුගේ මතවාදය, දේශපාලනය මොකද්ද? ඔහු සමඟ අන්‍යෝන්‍ය වශයෙන් ජීවත් වෙන්න පුළුවන්ද? ගැඹුරින් මේදේවල්...

විරාමය.

පටාචාරා- ඔව්, ඔබ කියන දේත්, ඇත්ත.

විදර්ශන- ඒත්, ඔබ ඒ සියල්ල හැඟීම්වලින් යටපත් කළා. දැං ඒවට පූර්වකර්මය, දෛවය, ඉරණම කියලා නාම කරණය කරනවා. මේ විශ්ලේෂණය වැරදියි. වැරදියි, පටාචාරා...

පටාචාරා- ඔව්, ඔව්, මට දැං තේරුණා. ඔව් මට දැං තේරෙනවා.

විදර්ශන- ඔන්න ඔහොම ඔබේ බුද්ධිය ටිකින් ටික අවදි කරන්න. එතකොට පැහැදිලි වෙයි ඔබට අත්වුණ හැම දෙයක්ම ඔබ විසින්ම නිර්මාණය කරගත් දේවල් කියලා. ඔබේ ක්‍රියාවල ප්‍රතිඵල කියලා.

පටාචාරා- හැම දෙයක්ම කිව්වෙ?

විදර්ශන- හැම දෙයක්ම. අංක එක ඔබගේ සැමියා නයෙක් ගසා මියයාම, අංක දෙක ඔබේ දරුවා උකුස්සා පැහැරගෙන යාම, අංක තුන වැඩිමහල් දරුවා ගංවතුරට ගසාගෙන යාම. අංක හතර දෙමාපියන් සිටු මාළිගය කඩා වැටීමෙන් මියයාම. මේ සියල්ලම ඔබට ඔබේ ස්වාමියාට, ඔබේ දෙමාපියන්ට වළක්වා ගැනීමට හැකිව තිබූ දේවල්.

පටාචාරා- ඒ කිව්වෙ?

විදර්ශන- පොඩ්ඩක් හිතන්න. ඔබට දෙවැනි දරුවා හම්බවෙන්න විළිරුදාව ඇති වුණේ කැලයක් මැද්දේ. එතකොට මහා වර්ෂාවක් වහිනවා. ඔබේ ස්වාමියා ගියා අතු කැබැල්ලක් කපාගෙන එන්න. එතන තිබුණා තුඹසක්. (විරාමය) ඔව්, ඔබේ ස්වාමියා මඳක් හිතුවා නං මේක මහා කැලයක් ඒ හින්ද අනිවාර්යයෙන්ම සතුන් සර්පයන්ගෙන් පරෙස්සම් විය යුතුයි, ඒ වගේම විශාල තුඹසක් අසලම තිබුණු හින්දා නයෙක් වගේ සර්පයෙක් ඉන්න පුළුවං කියලා හිතුවනං ඔබේ ස්වාමියා මිය යනවද? හොඳයි ඔබේ ස්වාමියා මිය යනවද? ඔබේ ස්වාමියාට තිබුණු ප්‍රධාන ප්‍රශ්නය තමයි වෘත්තීය දර කපන්නෙක් වෙලත් තියුණු බුද්ධියක්, ඥාණයක්, දුරදිග බැලීමේ නුවණක් නොතිබුණු එක. ඒ කියන්නේ වෘත්තීය තුළ සවිඥානික නොවීම.

විරාමය.

පටාචාරා- ඔව්, ඔබ කියන එක හරි. මගේ ස්වාමියා මීට වඩා සුපරික්ෂාකාරී වුණා නං ඔහු කවදාවත් මිය යන්නේ නෑ. හරි, ඔහු ඔහුගේ බුද්ධිය මෙහෙයැව්වේ නෑ.

විදර්ශන- ඔහු විතරක් නෙවෙයි, ඔබත් එහෙමයි.

පටාචාරා- (පුදුමයෙන්) මම?

විදර්ශන- ඔව්, ඔබ මේ සියලු දේ සිද්ධ වෙලා දරුවො දෙන්නත් අරගෙන ගංඟාවෙන් එතෙර වෙන්න හදනකොට කරපු දේ බලන්න. මහා ගං වතුරක් මැද්දේ, අළුත උපන් බිළිඳෙක්ව ගං ඉවුරක දාලා යනවද? බලන්න කොයිතරං අනුවණ වැඩක්ද ඔබ කළේ?

පටාචාරා- ඒත් මං හිතුවෙ නෑ ඒ වෙලාවෙ උකුස්සෙක් ඇවිත්...

විදර්ශන- (බාධා) මං වතාවක් කිව්වා අපි හැම වෙලේම සූදානම් වෙන්න ඕනෙ අනාගතය ගැඹුුරින් විශ්ලේෂණාත්මකව හිතලා තීරණ ගන්න, ජීවිතේ හැම දෙයක් ගැනම. ඒත් ඔබ බොහොම ප්‍රාථමික විදියට තමයි හැසිරිලා තියෙන්නෙ.

පටාචාරා- මගේ ස්වාමියා මළ ශෝකයත් එක්ක ඒ වෙලාවේ මගේ හිත අවුල් වෙලයි තිබුණේ.

විදර්ශන- ඒ අවුලේ ප්‍රතිඵල වුණේ ඔබේ දෙවැනි දරුවත් ගං වතුරට අහුවෙච්ච එක. මනුෂ්‍යයෙක් වශයෙන් හොඳ ආත්ම ශක්තියක් තියෙන්න ඕන, හැම ප්‍රශ්නෙකදිම දැඩිව මූණ දෙන්න. ඔබට අන්න ඒක තිබුණෙත් නෑ.

පටාචාරා- ඔව් මගේ තමයි වැරැද්ද. මට තිබුණා කාගෙං හරි උදව් අරගෙන ගං ඉවුරෙන් එතෙර වෙන්න. එහෙම කළා නං මට මගේ දරුවො දෙන්නා නැති වෙන්නෙ නෑ.

විදර්ශන- ඒ වගේම කියන්න ඕන අනිත් එක තමයි, සතළිස් කෙළක් වස්තුව තිබුණ ඔබේ දෙමවුපියො සිටු මාළිගාව ප්‍රතිසංස්කරණය කළානම් කීයටවත් ඒක කඩා වැටෙන්නෙනෑ. අනික තමයි ඔබේ දෙමවුපියො මීට වඩා තමන්ගෙ දරුවො ගැන, දරුවන්ගෙ අවශ්‍යතා ගැන සැළකිලිමත් වුණා නම් මෙහෙම දේවල් ඔබට කවදාවත් සිද්ධ වෙන්නෙ නෑ. තමන්ගෙ පැවැත්මවල් ආරක්ෂාකර ගන්න මානුෂික සබඳතා තමන්ගෙ දරුවන්ව බැහැර කිරීම තමයි ඉහළ පංතිවල පංතිමය ස්වරූපය.

පටාචාරා- ඔව්, මට දැං හොඳට තේරෙනවා. මට හොඳට තේරෙනව. ඒ සියල්ලම වළක්වා ගන්න තිබුණ දේවල්. අත් නොවිඳ සිටින්න තිබූ දේවල්. ඒත් මට තියෙන ප්‍රශ්නෙ ඇයි ඔබ මේවා සමාජයේ අනෙක් අයට පැහැදිලි කරලා දෙන්නේ නැත්තේ ඇයි කියලා.

විදර්ශන- මිනිස්සු අවුරුදු දහස් ගණනක් තිස්සේ පිළිගනු ලබන සම්ප්‍රදායන්, ආකෘතීන්, ව්‍යූූහයන්, රටාවන්, එක දිනකින්, එක රැයකින්, ලෙහෙසියෙන් වෙනස් කරන්න අමාරුයි.

පටාචාරා- ඒ කිව්වේ?

විදර්ශන- මිනිස්සුන්ගෙ මතවාදයන් වෙනස් කරන එක ලේසි වැඩක් නෙවෙයි. පටාචාරා ඒකට කාලයත්, විධිමත් ශික්ෂණයත් යටතේ වු ව්‍යපෘතියක් අවශ්‍යයි. බලන්න ඔබේ අදහස් වෙනස් කරන්න අවුරුදු දහසක් ගතවුණා.

පටාචාරා- ඒත් ඔබ කිව්ව දේවල්වල වටිනාකම තියෙන්නෙ අතීතයේ ඉන්න මට වඩා වර්තමානයට. ඔබ කරන්න ඕනෙ වර්තමානයට මේ දේවල් පැහැදිලි කරල දෙන එක.

විදර්ශන- මං දිගිං දිගටම මේ කරං යන්නේ අන්න ඒ වැඩ පිළිවෙල. මං උපාධිධාරියෙක් වෙලා රස්සාවක් නැතුව හැමතැනම ඇවිද්දා. ඒත් ආත්ම තෘප්තියකින් කරන්න පුළුවං කිසිම රස්සාවක් හම්බ වුණේ නෑ. හැමතැනම සූරාකෑම්, අධිපති බලයන්ට යටත් වීම්. ඔන්න ඔය කාරණේ හින්ද තමයි මං කවිකාරයෙක් වෙන්න හිතුවෙ. මේකෙං එක පාරටම අවුරුද්දකට හරියන්න ගාණක් හොයාගත්තැහැකි. ඊට පස්සෙ ඒක ආයෝජනය කරලා මං පොඩි වෙළඳාමක් කරගෙන යනවා.

පටාචාරා- මතක තියාගන්න. ඔබට ඒ මුදල ලැබෙන්නේ මං වගේ චරිත නිසා. ඒත් ඔබ මං වගේ චරිත ගැන හින්ද සමාජයට කියන දෙයයි, මට ප්‍රකාශ කරපු දේයි අතර පරස්පර විරෝධතාවයක් තියෙනවා. ඒ කියන්නේ ඔබ කරන්නේ එකක්, කියන්නේ එකක්.

විදර්ශන- ඒත් මං ඔබව, වෙනස් කරපු එක කොයි තරං දෙයක්ද.

පටාචාරා- ඔව් ඔබ අපූරු මිනිහෙක්. අපූරු චරිතයක්. මං එදා ප්‍රාර්ථනා කළෙත් ඔබ වගේ සරල, ඒත් ගැඹුරු මිනිහෙක්ව.

විදර්ශන- පටාචාරා, හැඟීම්වලට වහල් වෙන්න එපා.

පටාචාරා- මේක හැඟීම්වලට වහල්වීමක් නෙමේ. කියන්න දැං අපි දෙන්නා අතරේ හොඳ ගැලපීමක් නැද්ද? මම කැමතියි ඔයත් එක්ක එකතු වෙන්න. අපි ලබන වෙසක්වල ඉඳන් කතා කරමු බොහොම ගැඹුරින්, බොහොම යථාර්ථවාදී විදියට සමාජයට. මගේ කතාවෙන් පටන් ගමු. සියලුම අර්ථදැක්වීම්වලට, ගොඩනැංවීම්වලට පරස්පරව. විදර්ශන, ඇත්තටම මං ඔයාට ආදරෙයි. ඔයාට මං ගැන ආදරයක් හිතෙන්නේ නැද්ද?

විදර්ශන- (තමාට) ඇත්තටම අපූරු ගැහැනිියක්. වර්තමානයේ හොයාගන්න බැරි ගැහැනිියක්. මගේ අදහස් නිසා කී දෙනෙක් ගෑණු මාව ප්‍රතික්ෂේප කළාද?

පටාචාරා- විදර්ශන කියන්න, ඔයාට මං ගැන ආදරයක් නැද්ද?

අකුණක් ගසන හඬ.

විදර්ශන- ඔව්, මමත් ඔයාට ආදරෙයි.

පටාචාරා- අන්න හරි. ඔව්. මං එන්නං ඔයත් එක්කල අනුරාධපුරේට යන්න. අපි එහෙ ගිහිං ජීවත් වෙමු. මං සහාය වෙන්නං ඔයාගෙ හැම වැඩකටම.
දුම්රියේ හඬ ඈතින් ඇසේ.
අන්න ට්‍රේන් එක එනවා. අද හැන්දෑ වෙනකොට අපිට අනුරාධපුරේට යන්න පුළුවන්.

විදර්ශන- මේ විදියට.

පටාචාරා- ඔව්, අපිත් එහෙ ගිහිල්ලා වර්තමානෙට ගැලපෙන විදියට මගේ හැම දෙයක්ම වෙනස් කරගමු. ඔයා මට උදව් කරනවනෙ.
දුම්රියේ හඬ වැඩිවේ.
ඔන්න ට්‍රේන් එක ඉස්ටේසමට එන්න ළඟයි.

විදර්ශන- ඔව් එහෙනම් මං ඉක්මන් කරලා හොඳ සීට් දෙකක් අල්ලගන්නං.

පටාචාරා- ඔව්, ඒක හොඳයි.

දුම්රියේ හඬ වැඩිවී අඩි හඬ ඉස්මතු වේ. විදර්ශන දුම්රියට ගොඩවීමේදී ඉන් ලිස්සා වැටෙන හඬ, ඔහු වේගයෙන් කෑ ගසන හඬ හා අඩි හඬ.

පටාචාරා- (හඬින්) මොනවා... විදර්ශන... විදර්ශන... ආහ්

හයියෙන් කෑ ගසයි.

විදර්ශන... මොකද මගේ විදර්ශනට වුණේ... මේකනං මහා කරුමයක්. මේක නං මහා කරුමයක්. මගේ ස්වාමියාට නයෙක් දෂ්ට කළා. මාව තේරුං ගන්න ගිය ස්වාමියාව දුම්රියට අහුවුණා. මේක තමයි මගේ උරුමය අනේ විදර්ශන. (හඬයි)

විරාමය.

නෑ, ඒක එහෙම වෙන්නෙ නෑ. මේක ඔයාගෙ නොසැලකිල්ල, අපරික්ෂාකාරීබව, ඔයාගෙ තාර්කික බුද්ධිය අවධි නොකිරීම, ඔයා මොහොතක් හිතුවනං මේ ආපු ට්‍රේන් එක මෙතන නවත්තන එකක්ද, අනුරාධපුරේට යන ට්‍රේන් එකද කියලා, ඔයාට මේ දේ සිද්ධ වෙනවද? බලන්න, නවත්තන්න ඉස්සරවෙලා දුම්රියකට ගොඩවෙනව කියලා කියන්නේ මොනතරම් අනුවණ වැඩක්ද? කෝ ඔයාගෙ තීක්ෂණ බුද්ධිය.

විරාමය.

ඔව් මට දැං සියල්ල ප්‍රත්‍යක්ෂයි. හැමෝගෙම අදහස් තියෙන්නේ වචනේ ඇතුළේ විතරයි. මේක තමයි මං අඳුරගත්ත නියම තැන.

විරාමය.

කමක් නෑ, මං ලබන වෙසක්වලට එනවා. එතකොට කාටවත් මාව විකුණන්න හම්බ වෙන්නෙ නෑ. මං කියා දෙනවා ඇවිල්ලා හැමෝටම මගේ චරිතේ නියම යථාර්ථ ස්වභාවය. ඔව් මං කියා දෙනවා.

[උගෙ හිස ඉවරයි- (රේඩියෝ නාට්‍ය- 2006) කෘතියෙනි.]

මාලක දේවප්‍රිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails