Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



උකුසු නෙත් බකුසු වෙස්
අරන් සිල් රකිනවා
ලිහිණියෝ ගිජු හොටින්
ලේ රහම හොයනවා

'සිවුරු හොරු' ඉගිල්ලී
මද මතින් වඩිනවා
හොරෙන් 'සුදු රෙදි හොරුන්'
ඒ පස්සෙ දුවනවා

අනේ බුදු සමිඳුනේ
"ගහපියව් - මරපියව්"
ගිරා බණ ඇහෙනවා

'ශකිර්' - 'කාසිම්' - 'බෙගම්'
අපිත් බණ දන්නවා
ඒ බණේ නසා මුන්
වෙන බසක් දෙසනවා

අනේ බුදු සමිඳුනේ
මහ බයක් දැනෙනවා

තුන් හිතම ගල් වෙලා
කන් අගුළු වැටෙනවා
මුවින් මුව ගොළු වෙලා
අපි බවුන් වඩනවා

පිළිම ගෙයි බුදු රුවේ
සිවුර ගිනි ගන්නවා
එගිනි නිවනා මගක්
නැතිව අපි තැවෙනවා...

විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ආඩම්බර විය හැකි කිසිවක් නැති සෑම කාළකණ්නි මෝඩයෙකු ම අවසාන තුරුම්පුව ලෙස තමන් අයත් වන ජාතියේ ආඩම්බරය යොදා ගනියි. ඒ ජාතියේ සියලු වැරදි සහ මෝඩකම් වෙනුවෙන් සිය සකල ශක්තියෙන් පෙනී සිටීමට ඔහු සතුටින් සූදානම් ය. එහෙත් ඔහුට ඒ වෙනුවෙන් පෙරළා ලැබෙන්නේ තමන්ව ම පහතට පිරිහෙළනු ලැබීම පමණි.

Every miserable fool who has nothing at all of which he can be proud, adopts as a last resource pride in the nation to which he belongs; he is ready and happy to defend all its faults and follies tooth and nail, thus reimbursing himself for his own inferiority.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



යාපනේටත් පිනි වැටේ. ඒ පින්න තණනිල්ල මත රැඳේ. තණපත් අග්ගිසි හිසනමාගෙන බැතිබරව දෙමළ මව්බිම දෙස බලා සිටිනා සියක් උදෑසන මම යාපනයේ ඇහැරී ඇත්තෙමි. හිමිදිරි පාන්දර තණ මතින් පය තියනකොට පා පතුල් තෙමේ. මම එහෙම ඇවිද ඇත්තෙමි. තණනිල්ලෙන් මිදී මහ පොළොවට අඩිය තියද්දී මහ පොළොව හුස්ම ගන්නා සද්දය ඇහේ. ශ්වසනය හින්දාම පොළොවෙන් දුං දමයි. එසේ පෙනහලු හරහා විසිර ගිය හුස්ම අතරින් පැන නැඟුණ වේදනාවන් තවමත් පෙනහලු ඇහැරවයි. ඉදින් මම මෙසේ ඔබට කියමි. "යාපනේ හිමිදිරියට මම ආදරේ කරමි. යාපනේට මම හිස නමමි."

ගෙන්දගං කොළඹ හැරුණු කොට මට වැඩිපුරම යාළු මිත්‍රාදීන් සිටියේ හිරිගල් යාල්පානමේ ය. මගේ පුංචිම සන්දියේ ළඟම උන් විසල් යාළුවා වූ ස්ටීවන් නිත්‍යානන්දන් සිංහලෙන් ඉගෙන ගන්නට කොළඹ ඇවිත් උන්නේ යාපනෙනි. අප දෙදෙන වාඩිවී උන්නේ එකට ය. කොරිඩෝවේ ක්‍රිකට් ගැහුවේ එකට ය. කැන්ටිමේ ළෙල දුන් විසල් මාළුපාන් ගෙඩිය දෙකට කැඩුණේ අප දෙදෙනා වෙනුවෙනි. උණු උණුවේ දුම් දැමූ ටින්කිරි ටී එක දෙපස අපි වාඩිවී සිටියෙමු. ඔහු දෙතොල තැබුයේ මා කටගැසූ කෝප්පය මත ය. මා දෙතොල තැබුවේ ඔහු කට ගැසූ කෝප්පය මත ය. අපි හෙමින් හෙමින් තේ බීවෙමු. ඉන්ටවල් අවසන් වෙමින් තිබුණු බව අපට දැනුණේ නැත. තේ එක නිවෙමින් තිබියදී කොළඹ ඇවිළිණ. ඔහු සිංහලෙන් ඉගෙනගනිමින් සිටි මගේ සිංහල සමාජය මට මගේ මිත්‍ර ප්‍රේමය අහිමිකර දුන්නේ සිංහලේ නමිනි. කිසිවක් තේරුම් බේරුම් කරගත නොහැකි වූ මම පහේ පස්කමින් වැළපුණෙමි. මිත්‍ර වියොවින් ආතුර වුණෙමි. මා පහේ ශිෂ්‍යත්වය නමින් පාස් කොට තිබුණේ ම්ලේච්ඡකම ය. ගෝත්‍රිකකම ය. අතිමහත් පාදඩකමය.

ඉදින් මම පාදඩයෙක් බව පවසමි.

***********

මගේ පාදඩ පාද පැරිසියේ ලා චැපල් වීදියේ ඉබාගතේ සැරිසරයි. දෙමළ මිනිසුන් ඔවුනොවුන් හා හිනැහෙන පුංචි යාපනයයි. මම මා සමඟ හිනැහෙමි. වරදකාරී හදවත පපුවට බර ය.

ඈත විදුලි කණුවක් අතරින් අතුල මතුවෙයි.

"වරෙං උඹට යාළුවෙක් පෙන්නන්න." ජංගම දුරකථන කඩයකට ඔහු මා ජංගම හදවත කැඳවයි.

"මේ තමයි මංජුල."

"දන්නවා. මට මතකයි." ඔහු හිනැහෙයි. මම ඔහුට "වනක්කම්" කියමි. ඔහු වෙනින් කවුරුත් නොව "ලෙනින්" ය. රාවය නිවසින් පළකළ "ආදවන් පත්තරේ‍" නියමුවා ව සිටි ආරුමුගම් සිවඥානම් සහෝදරයාගේ ජ්‍යේෂ්ඨ පුත්‍රයා ය. "සිවා" සමඟ වැඩකළ අතීතය පින්නේ පෙඟී ගොසිනි. බිලගෙවා ගන්නට බැරිවීම නිසා ඔහුගේ ප්‍රාණ නිරුද්ධ සිරුර ප්‍රාණ ඇපයට තබා ගත් ඇපලෝ රෝහල අද ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරාගෙන ඇත.

උතුරේ සැරිසැරූ බොහෝ විට මට සිවා බොහෝ දෑ කියා දුන්නේ ය. ජීවිතය ගැන ය. ඉන් දේශපාලන සුවඳ වහනය විය. මට සිවා සිහිපත් වූයේ කාලන්තරයකට පසුව ය. ලෙනින් අබියස ය. පාදඩකම් නම් එහෙම ය.

***********

නිමලරාජන් මරා දැමූ පසු ඒ සිරුර දැකගැනීමටවත් අපට ඉඩ නො ලැබිණ. ජයසිරියා මහත් ආවේගයෙන් හා වේදනාවෙන් දඟලමින් සිටියේ ය. නිමලා වනාහී යාපනේ අපට සිටි බොක්ක ය. අපි මහත් අසරණභාවයටත් අසහනයටත් පත්ව සිටියෙමු. මගේ වේගය මම කවියකින් මට්ටු කර ගත්තෙමි.

නිමල්ගේ පවුලේ සියල්ලන් රට හැර යාමට නියමිතව සිටි දවසට කලින්දා අපි ඔවුන් බලන්නට ඒ තාවකාලික නිවහන තිබූ මොරටුවේ සොයිසාපුරයට ගියෙමු. මාත්, ජයසිරියාත්, සුනිලාත්, ආනන්දයාත්, චාමින්දයාත්, සමනාත් අපේ සනුහරය විය. අජ්ජා කලින් ම බොන්න ගොස් සිටියේ ය. ගල්කිස්සට ය. මහරගම සිට අප පැමිණෙමින් උන්නේ අත්තිඩිය පාර ඔස්සේ ය. අජ්ජාට එන්න කියා තිබ්බේ රත්මලානේ ගාලුපාරේ අත්තිඩිය හන්දියට ය. ඌ ඇවිත් උන්නේ නැත. නිමලරාජන් මරා දැමූ දවසේ බිබී ඇඬුවේ අජ්ජා ය. යාපනේ පුරා නිමලා සමඟ බ්රේක් නැති සයිකලෙන් කරක් ගැසූ අජ්ජා ය. මම කෝපයෙන් ඇවිලෙමින් සිටියෙමි. මොරටුවට යන්නට තිබුණු වාහනය ගල්කිස්ස දෙසට හැරවිණ. අජ්ජා හිනාවෙමින් අවන්හලින් එළියට ආවේ ය. ඔහුගේ පාදඩකමේ හැටි ය.

මම අජ්ජාටත් ඔහු සමඟ සිටි ඇල්කොහොල් සගයාටත් ගාලුපාරේ ඇදවැටෙන්නට පහර දුනිමි. ඒ මගේ පාදඩකමේ හැටි ය.

නැගිටගත් ආදරණීය අජ්ජා දුකින් මිරිකෙමින් දිගු කාමරා කාචය තාර පොළොවේ ගැසුවේ මට ගසන්නට බැරි කමට ය. ආලෝක වර්ෂ දහස් ගණනක වේගයෙන් ඊට සුනිලා පය තිබ්බෙන් කාචය බේරිණ. ඒත් සුනිලා කකුළ තවමත් රිදෙනවා වන්නට පිළිවන. එය "බර" කැමරා කාචයකි. මගේ රස්තියාදුකාර පත්තර ජීවිතය බෙදාහදා ගත් සුවිශේෂම ගමන් සගයා වූ අජ්ජාගේ කැමරා කාචය වන බැවිනි.

***********

මම නයනහාරිට කතා කළෙමි.

ඇය සිරිපාල අබේනායක සහෝදරයාගේ දියණියකි. අබේනායක සහෝදරයා බොහෝ විට අප සමඟ මුහුවුණු "වමේ" සගයෙකි. වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකි. ඔහු 80 වර්ජනය තුළ පවා සිටියකු විය. හෘදය සාක්ෂියේ මිනිසෙකු වන අබේනායක සහෝදරයා යුද විරෝධියෙකි. හේ, ජාතින් සතු ස්වයං නිර්ණය පිළිගත්, වමේ ලිට්මස් පරීක්ෂාවෙන් සමත්වුණු සටන් සගයෙකි. ඔහුත් පින්තූරකරුවෙකි. ඔහුගේ දියණියගේ කැමරා ඇසට හුස්ම වැටෙන්නේ කොහොමදැයි දැන් ඉතින් අපට සොයන්නට ඕනෑ නැත.

එම්බාම් විප්ලවවාදීන්ට "සහෝදරයා" කියන්නට නොනැමෙන මගේ පාදඩ දිවෙන්, නයනහාරිට "සහෝදරී" යැයි කියැවෙන්නේ නිරුත්සාහකව ය.

ඉදින් මම අතීත 'මල් තුහින' පයෙන් ලිහමින් ඇගේ ඇගේ අනතීත හදවත හරහා යාපනය දෙසට ඇවිද යමින් සිටිමි.

***********



මට ලයනල් වෙන්ට්ඩ් එන්නට බැරි ය. එහෙයින් රාමු ගත කොට බිත්තියේ එල්ලූ පින්තූර දැකබලා ගන්නට බැරි බව ඇත්තකි. ඒත් රාමුගත නොකළ එම පින්තූරම බිත්තියෙන් මුදා දැක බලා ගැනීමට කවර බාධාවක්ද?

ඇය මට සියලු පින්තූර එවා තිබුණා ය. අප කතා කරන්නට පටන් ගත්තේ ඉන් පසුව ය.

"කැමරාව අතට ගත්තම මට පේන්නෙ මනුස්ස හැඟීම්. දකුණෙදි වුණත් ඒක එහෙම්ම තමයි. ඒවා මනුස්සයගෙ මතුපිට රූප නෙවෙයි. යාපනේ ඉන්නෙත් අපේ මිනිස්සු. මගේ නෑයෝ." ඇය එහෙම කියන්නී ය.

මම ඇගේ යාපනේ ඇගේ නෑයින් හා කතා කරමින් මගේ කතාව කියන්නට පටන් ගනිමි. ලොව එතෙක් මෙතෙක් පහළ වූ විශිෂ්ඨතම "භූදර්ශන පින්තූර" විශාරදයකු වන ඇන්සල් ඇඩම්ස් පමණක් සහයට කැඳවමි. ඔහු මෙසේ පවසයි.

"ඔබ පින්තූරයක් නිර්මාණය කරන්නෙ කැමරාවෙන් විතරක්ම නෙවෙයි. ඔබේ පින්තූරෙ මැවෙන්නෙ ඔබ එතෙක් දැක තිබුණු සියලුම පින්තූර, ඔබ එතෙක් කියැවූ සියලුම පොත්, ඔබ එතෙක් ඇසූ සියලුම සංගීතයන් විතරක් නෙවෙයි ඔබ එතෙක් ආදරය කළ සියලුම මිනිසුන් හරහා."

ඉදින් නොපැකිලව මම මෙසේ පවසමි. නයනහාරිගේ භූදර්ශන රූ යනු ආලේඛ්‍ය රූපයන් ය. ඇගේ ආලේඛ යනු සමස්ථ යාපනේ භූ දර්ශනයන් ය. ඇගේ සමස්ථ රූපාවලිය හරහා මා එළඹෙන මගේ පරම පෞද්ගලික පාදඩ නිගමනය වන්නේ ඇය, භූදසුන් හා ආලේඛන රූප, පර්යාය පද බවට පත්කර ඇති බවයි. ඒවා සමීප රූපදැයි, දුර රූපදැයි වෙන් කළ නොහැක්කේ සමස්ථය හරහා ඇය නිමවන හෘදය සංවාදය නිසා ය. එය කම්පනීය වන්නේ වෙයි. සිනහව හා කඳුළ යාපනේ යථාර්ථය තුළ පර්යාය පද වන්නේ එබැවිනි. ඇන්සල් ඇඩම්ස්ගේ උපුටනය නයනහාරිගේ ජීවන භාවිතය තුළ යථාර්ථයක් බවට පත් වුණු අනෙක් මහ පොදු සාධකය ලාල් හෑගොඩ නම් කැමරාවෙන් කවි ලියන, වචන පුරුද්දා පින්තූර මවන සොඳුරු මිනිසා ඒ පසුබිමේ හිටගෙන සිටීම ය. සිංහල ගෝත්‍රිකයන්ට බිය නොවී සිංහල දෙමළ කලා උළෙල වෙනුවෙන් එදා පෙනී සිටි අතලොස්සක් වූ හැබෑ කලාකාර මිනිසුන් අතර සිටි හෑගොඩයන් කෙරෙන් නයනහාරි බොහෝ දේ උගනින්නට ඇත. එනයින් ගත්කල 'ඒ නයින්' මඟ ඔස්සේ නයනහාරි යාපනයට රැගෙන යන්නට ඇත්තේ හෑගොඩයන් ම වන්නට පිළිවන.

යළිත් ඇන්සල් ඇඩම්ස් කැඳවන්නට අවසර! "ඔබ පින්තූරයක් ගන්නවා නෙවෙයි, ඔබ පින්තූරයක් හදනවා." ඇන්සල් ඇඩම්ස් පවසයි. නයනහාරි 'මල් තුහින නොවේ මේ යාපනේ' යැයි කියන්නේ ඇගේ දාර්ශනික සමාජ කියවීම ඔස්සේ ඇය ස්ථාන ගත කරන පින්තූර අපට පෙන්වමිනි. ඒවා හුදෙක් 'අරගන්නා ලද පින්තූර' නොවේ. ඒවා හදන ලද්දේ වෙයි. හැදීම යනු කලින් 'සෙට්' කිරීම නොවේ. ඉරේ වේදනාව ඇය දනී. වේදනාවේ වර්ණය ඇය දනී. ඇය අප ඉදිරියට රැගෙන එන්නේ වේදනාවේ පසුබිමයි. පින්තූරයක් හැදීම යනු නිශ්චිත මොහොතේ නිශ්චිත තැන හිටගැනීමට ඇති ප්‍රඥාවයි. ලංකාව බඳු සන්දර්භයක නම් ඊට නිශ්චිත දේශපාලන අදහසක් තිබිය යුතුයැයි මම අදහමි. නිශ්චිත යනු නොවැනෙනාසුළුභාවයි. ඊට කැමරාවට අමතරව මනුස්සකම තිබිය යුතුය.

***********

යුද විරාමී මොහොතක වරක් මම යාපනේ ගියෙමි. පතරංග මාධ්‍ය සනුහරයක් සමගඟිනි. අපේ මාධ්‍ය සනුහරයේ සිටි ප්‍රකට හා අතිදක්ෂ ජාත්‍යන්තර කැමරාකරුවා පාසලක් අසලින් යද්දී ජනෙල් කවුළු වල එල්ලී සිටි පාසැල් දරුවන්ට මහත් උත්කර්ෂයෙන් හා උද්යෝගයෙන් මෙන් දෑත් වැනී ය. ඔවුන් පෙරලා අත වනන බව ඔහු දැන සිටියේ ය. 'ක්ලික් ක්ලික්' හඬින් සටහන් වූයේ දෙමළ දරුවන් කෙරෙන් උත්පාද කර ගන්නා ලද සිනහවන් ය. ඒ පින්තූරය හෙවත් සිනහව ස්වදේශීයව ද විදේශියව ද විකිනිණ. යාපනේ සිනහවන් පින්තූරයට නැඟුණේ මෙවන් ව්‍යාජ උප්පරවැට්ටි වලින් බව මම අත්දැකීමෙන් දනිමි. නයනහාරිගේ යාපනේ පින්තූර වල ද දරුවන් හිනැහේ. ඒ හිනාවන් වෙනස් ය. අතවනා මවන ලද සිනහවන් නොවේ. දරුවන් සිනාසෙන මොහොත ඇය දනී. සිනහවේ ප්‍රභේද දන්නී ය. 'ෆිට්' කියන සිනහවන්ගෙන් මහපොළොවේ වැලි හැලෙයි. මල් නටු හපන සිනහ මල් මත වේදනාවේ තටු මැවෙයි. මේ නම් නෙතු අතරින් පිනි විසිරෙන යාපනයකි. මේ නම් පිනි අතරින් ගිනි විසිරෙන යාපනයකි.

දරුවන් අකුරු ලියනා - චිත්‍ර අඳිනා මොහොත ද, දරුවන් අහර බුදිනා මොහොත ද, දරුවන් වැඩ කරනා මොහොත ද, දරුවන් කල්පනා කරනා මොහොත ද ඇය දනී. ඔවුන් අබියස හිටගතයුතු නිශ්චිත මොහොත දන්නා බැවිනි. දරුවන් වේදනාව ගසා බසා දමමින් සෙල්ලම් කරනා මොහොතද, සෙල්ලම් කරන දරුවන් දෙස බලා සිටිනා දරුවන්ගේ සෙල්ලම් නැති මොහොතද ඇයට එකවර හසුවන්නේ එබැවිනි.

ඇන්සල් ඇඩම් මෙසේ පවසයි. "හොඳ පින්තූර වලට අදාල කොන්දේසි, අණපනත්, නීතිරීති කියල දේවල් නෑ. තියෙන්නෙ හොඳ පින්තූර කියල දෙයක් විතරයි."

ඇත්ත ය. හොඳ පින්තූර බොහෝවිට වේදනාවෙන් නළියයි. නයනහාරි ස්වකීය කැමරා කාචයෙන් මිදුල අමදින්නේ අපට ඇවිදයන්නට නොවේ. ඉළපත් පහරින් සැලුම් වෙව්ලුම්කන හදවත ඇවිදිල්ල නතරකරවයි. ජීවිතය දකින්නට ය.

තලා පොඩිපට්ටම් කරන ලද උතරුකරය සංචාරයක් කරගත් ශ්‍රද්ධාවන්තයන්ට ඇති ප්‍රශ්නය වන්නේ "කන්දරොඩෛ" යළි "කඳුරුගොඩ" කරගන්නේ කෙසේද යන්න ය. එවනු වූ සංචාරකයන්ට දෙමළ බෞද්ධයා නම් මොකෙද්ද? එවන් සිංහල බෞද්ධ සැදැහැවතුන්ට එළමහන් සිරකඳවුර වට ඇති කටු කම්බි නෙපෙනේ. ඔවුන්ට කටුකම්බි කන්සිනාවෙන් වටවූ "ගෝඨාභීය යාපනය" පෙනෙන්නේද තාප්ප බිඳ දමන ලද "ගෝඨාභීය කොළඹ" මෙනි. එහෙත් යාපනය ට්‍රිප් එකක් කර නොගන්නා නයනහාරිගේ අත් පමණක් නොව ඇස් ඉස් මස් සියල්ලම යාපනේ කටුකම්බි ගාලේ පැටලේ. පින්තූර කියන්නේ ඇගේ ශරීරයේ හතරදිග්භාගයම තුවාල වී, ඒ කෙරෙන් ගලා එන රුධිරයට ය.

ඇය මට මෙසේ පවසන්නී ය.

"මං සිංහල, ඒක ඇත්ත. නමුත් මං යුද විරෝධියෙක්, මිනිසුන්ට සමාන අයිතියක් තිබෙන බව විශ්වාස කරන්නෙක්, ප්‍රචණ්ඩත්වය අනුමත නොකරන්නෙක්. මනුස්සකමට ආදරය කරන්නෙක්. මං යාපනයට ආදරේ කරන්නෙ මේ සියල්ල හින්දා. යාපනේ මිනිස්සු මගේ නෑදෑයො වෙන්නෙ මේ සියල්ල හින්දා. කොටින්ම මං යාපනේ පින්තූර ගන්නෙ මේ සියල්ල හින්දා."

***********

යාපනයේ ජීවිත ගැන මං අපමණක් දෑ ලියා ඇත. අවසන් වරට 2008 වසරේ මමත් අතුලත් යාපනයේ ගිය අවසන් ගමනේදී මෙසේ ලීවෙමු.

"යාපනය නගරය දහවලට වෙනදා මෙන්ම කඩිසරය. දහවල ඉක්ම යමින් පවතිද්දී වෙනදාටත් වඩා කඩිසරය. සන්ධ්‍යාවේ පූර්ව අවධිය එළැඹෙද්දීම පොදු වෙළඳ පොළ මෙන්ම නගරයේ කඩ සාප්පු වීදි ද ඉබි යතුරු ලෑම අරඹයි. සවස තුන වන විට කඩිගුලක් මෙන් කැළඹෙන නගර මධ්‍යයේ වන මධ්‍යම බස් නැවතුම් පළ හතර වන විට හිස් ලූ ලූ අත දුවන ජනතාවගෙන් හිස් වී ශාන්ත ස්වභාවයක් උසුලයි. පහ පමණ වන විට මුළු නගරයම උපශාන්තය. ඉඳහිට යනෙන ත්‍රී රෝද රථයක් යතුරු පැදියක්, පාපැදියක් මිස අන් කිසිවකුත් නැති නගරය අරක්ගෙන සිටින්නේ හමුදා සොල්දාදුවන්ම පමණි."

මෙහි කාලාන්තර වෙනස කුමක්දැයි මම නයනහාරිගෙන් ඇසුවෙමි. ඇය සිනහසුණා පමණය. කිසිත් කීවේ නැත. කුමක් කියන්නද? ඉදින් මම ඇගේ සේයාරූ සරණිය අතර නැවත නැවතත් කරක් ගැසුවෙමි. මට අත්පත් කරගන්නට හැකිවූයේ මා අත්දුටු අතීතයේ වර්තමාන නිමේෂයන්ම පමණකි. සහෘදභාවය යනු අන් කවරක්ද?

මම හිස්වැස්ම ගලවා නයනහාරිට සමාචාරකොට හිස් අවකාශය දෙස බලමි. ඇගේ නොසැලෙන යාපනේ අහස විත් මා ඡායාරූප අතරට කැඳවයි. වලාකුළු සහිතකමට ද, වලාකුළු රහිතකමට ද අර්ථයක් තිබේ. ඇතැම් තැනක ස්වර්ගීය ආලෝකය පතිත වේ. ආලෝකයට එරෙහිව පින්තූර ගැනීමට නම් ආලෝකය වෙනුවෙන් පින්තූර ගැනීමට හිත හදා ගත යුතු ය. ආලෝකය හා අන්ධකාරය අතර ඇති අන්තරය ජීවිතය ගැන මහා පදාසයක් අත්පත් දෙන්නේ එවිට ය.

නයනහාරිගේ කැමරාව සතු මැජික් බලය වූ කලි රාජ්‍ය මැජික් ලෝකයට එරෙහිව ඇය හිටගන්නා තැන පිළිබඳව ඇය සතු සවිඥානකත්වයයි. ඇගේ පින්තූර තුළ බල්ලන්ට ද අර්ථයක් පවතින්නේ වලාකුළු කරක්ගසනා අහස යට වන මහත් අවකාශයේ බල්ලා ස්ථානගතකිරීමට ඇය දන්නා බැවිනි.



වරක් මම මාසයක්ම යාපනේ නැවතී එහි අඟලක් නෑර කරක් ගැසුවෙමි. සියලු කොදෙව් තරණය කළෙමි. එකදිගට ලිපි ලීවෙමි. මා සමඟ සිටියේ පින්තූර කලාවේ දැවැන්තයකු වූ බුද්ධික වීරසිංහ සහෝදරයා ය. ඔහු මට බොහෝ දෑ කියා දුන්නේ ය. ඔහුගේ කැපවීම මට නිහඬව බොහෝ දෑ පහදා දුන්නේ ය. ඔහුගේ පින්තූර මා තුළ නැඟී මා සසල කරනා හඬ තවමත් ඇසෙනවා වැන්න. ඒත් ඒ මොහොතේ මා අත කැමරාවක් තියා කැමරාවක් අත දැරීමේ සේයාවක්වත් තිබුණේ නැත.

දැන් මා අත කැමරාවක් තිබේ. ඒත් යාපනය ඇත්තේ හැතැප්ම දහස් ගණනක් එපිටිනි.

මේ කවර පාදඩකමක්ද?

ඒත් මා ජීවිතය අත්හරින්නේ නැත. ඇන්සල් ඇඩම්ස් මා වෙනුවෙන් ලයනල් වෙන්ට්ඩ් කලාගාරය වෙත යන්නට එකඟ ය. ඔහු කලාගාරයට පය නොතබාම මා වෙනුවෙන් නයනහාරිට මෙසේ පවසයි.

"වෙන දෙයක් නෙමෙයි, ජීවිතයම තමයි ඔබේ කලාව. සුපරික්ෂාකාරී, විවෘත හදවත තමයි ඔබේ කැමරාව. ලෝක දෘෂ්ටියෙ ඇති ඒකත්වය තමයි ඔබේ සේයා පටලය. ඔය දීප්තිමත් ඇස් දෙකත්, ඔය සැහැල්ලු සිනහවත් තමයි ඔබේ කලාගාරය."

-2014 ජූනි 20

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සෑම කුණාටුවකටම පසුව එන සීතල සුළඟ වගේ සෑම වාර්ගික ත්‍රස්‌තවාදයකටම පසුව එන සාම සංදර්ශන සමය උදාවී ඇත. මේ සමයේ දී හැමෝම වාර්ගික සාමය ගැන කතාකරයි. සර්ව ආගමික නායකයෝ එකට එකතුවී ආදර ගීත ගායනා කරයි. දේශපාලකයින් එකතුවී මේක අපි ඔක්කොමගේ රට යැයි කිය කියා අඬා වැළපෙයි. ජනමාධ්‍ය තමන්ගේ බිස්නස් තාවකාලිකව අතහැර සාමයේ මල් උඩ දමයි. එහෙත් මේ සංදර්ශන ත්‍රස්‌තවාදයටත් වඩා භයානකය. මන්ද මොවුන් මේ සුවඳවිලවුන් ගසා හැකි ඉක්මනින් තාවකාලිකව වසා දමන්නට යන්නේ එදා මෙදාතුර මේ මහත්වරුන් දිනපතා වගාකළ ජාතිවාදයයි.

මෙවැනි පශ්චාත් කුණාටු සැණකෙළි අපේ සමාජයට හොඳින් හුරුපුරුදුය. 1983 කළු ජූලියේ සිට විටින් විට සමාජය ඉදිරියේ පොලා පනින ලද ආගමික හා වාර්ගික ගැටළු වලින් පසුව අප කිසිවක් ඉගෙනගත්තේ නැත. මේ සෑම සිද්ධියකටම පසුව කරළියට එන අලංකාර වචනවලින් හා සර්ව ආගමික සම්මන්ත්‍රණ සංදර්ශන අයිසින් දමා ප්‍රශ්නය ගොඩින් බේරා දමයි. අලුත්ගම ඇතිවූ ප්‍රශ්නය තව නොබෝ දිනකින්ම එදා ජිවිත අහිමිවූ පවුල්වල අයගේ ප්‍රශ්නයක් බවට ලඝු වී, ඉන් පිටත අය අති භයානක ලෙස නිහඬවී තමාගේ වෙනත් 'දේශමාමක' ව්‍යාපෘති වල කාර්යබහුල වනු ඇත.



බොදු බල සංවිධානය අති ධාවනකාරී ජාතිවාදී බවත් ඉන් එහා ලෝකය ඉතා පිරිසුදු සර්ව සාධාරණ බවත් මේ මොහොතේ බොහෝ දෙනා රහසෙන් කොඳුරන අදහසය. ඒත් බොදුබලය යනු අන් කිසිවක් නොව අපේ සමාජයේ සිටින කුහක සුචරිතවාදීන්ගේ කුහකත්වයේ තවත් දිගුවකි. පහුගිය කාලයේ බොදුබලය, වලං කඩේට පැන්න ගොනා මෙන් හතර අතේ ඇනගෙන ඇනගෙන යනවිට බොහෝ දෙනා හිටියේ අහසේ තරු ගනිමින්ය. මහින්ද ආණ්ඩුවේ ඇජෙන්ඩා එක ජාතිවාදී උනත් මේක ඇතුලේ ඉන්න බොහොමයක් ඇමතිවරුන් ජාතිවාදී හෝ ආගම්වාදී නැත. එහෙත් එකෙක් දෙකෙක් හැරුණු කොට බොහොමයක් අය ඇස් කන් පියාගෙන හිටියේ ඔවුන් සුදු වෑන් එකක් බඳු වූ මරාගේ භයානක හිනාවට බය නිසාද? නැතිනම් ඔවුන් ඇස්දෙක පියාගෙන හුළඟ හමන අත බල බලා හොරගල් අහුලනවාද?

මේ දවස්‌වල පැවැත්වෙන සාම සංදර්ශන වල ප්‍රධාන කසකාරයන් වී සිටින සිවිල් සමාජයේ හා ජනමාධ්‍ය ඔස්තාර්ලා පමණක් නොව මහනායක හාමුදුරුවරු පවා පහුගිය දවස්වල බොදුබලයත් එක්ක ගනුදෙනු කලේ කෙසේද? එය නපුංසක වර්ගයේ ගනුදෙනුවක් නොවේද? මේ මහා සිවිල් බලධාරී නායකයන්ගෙන් කිසිවෙකු නොඅසන ප්‍රශ්නය කුමක්ද? ඔවුන්ගේ හදවතට දැනෙන සත්‍යය වචන බවට පත්වී කටෙන් එළියට පනින්නට නම් තවත් කොපමණ මිනිසුන් මිය යා යුතුද? කොපමණ අහිංසක මිනිසුන්ගේ දේපළ ගිනිබත් විය යුතුද?

ලාංකික සමාජය තුළ තිබෙන මහා පොදු සාධකය නම් ඉතාමත් භයානක ලෙස අදහසක් නැතුව ජීවත්වීම යි. දේශපාලකයන් විවිධ බිලීපිති හදා මේ නිදා සිටින ජනසන්නිපාතය මතට මුදාහරියි. මහින්ද රාජපක්ෂ තනා ඇත්තේ සිංහල බෞද්ධකම උඩදාන අැජෙන්ඩා එකකි. මේ ලයින් එක කොතරම් බලවත්ද කියනවා නම් උපදින්න ඉන්න දරුවන් පවා 'මහා භුමිපුත්‍රයින්' කර හමාරය.



දේශපාලන බලයේ ලයින් එක සිංහල බෞද්ධ හැඟීම් එක්ක එකට හිටගත් කළ හැමෝම බලන්නේ මහ ජාතියේ ඡන්ද ගොඩ දිහාය. මහින්දගේ ජාතිවාදී ලයින් එකට තීරණාත්මක ප්‍රතිරෝධයක් විපක්ෂයේ දේශපාලකයන්ගෙන් එන්නේ නැති දේශපාලනය තියෙන්නේ එතනද? රටක් ලෙසට අපේ සමාජය ඉදිරියට යෑමට කික්‌ එක ලබන්නේ කොහෙන්ද? ඒ බොදුබලය ඇතුලු ජාතිවාදීන් යෝජනාකරන 'හම්බයෝ විනාශකර දමා' යන හිට්ලර් වර්ගයේ කික් එකද? එසේ නැතිව ජාතිවාදයට ඇති දේශපාලන ඉඩ නැතිකර දමන 'ශ්‍රී ලාංකික' කික් එකද? එහෙත් මේ දෙවන කාරණය වෙනුවෙන් සැබෑ ලෙසම මහන්සිවෙන ජනමතධාරින් හොයාගන්නේ කොහෙන්ද? හැමෝම කරන්නේ මුට්ටිය දමා බලා සිටීමයි. ඔවුන් කට අරින්නේ මුට්ටිය මතට වැටෙන සිග්නල් අනුවයි.

අලුත්ගම නිසා සාම උත්සව අතර කාර්යබහුල වී සිටින මේ ඊනියා ප්‍රගතිශීලි මිනිස්සු තව ටික දිනකින් නිදාගැනීමට නියමිතය. ඔවුන්ට යලිත් නැගිටීමට තව කොපමණ මාරාන්තික ජාතිවාදී සද්ද බද්ද අවශ්‍යද?

(ඡායාරූප- BBC වෙබ් අඩවියෙන්)

සරද සමරසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ඉන්ධන සහනාධාරය ඉල්ලා මීගමුවේ ධීවරයෝ නැවත අරගල බිමට පිවිසියහ. ඔවුහු රැකියාවට යෑම නැවැත්වූහ. පවුල් පිටින් මීගමු නගර සභා භූමියට පිවිසියහ. සභා නායකයන් ද, අවට මීසම්වල පියතුමන්ලා ද ඔවුන්ට සහය දුන් බවක් පෙනිණි. ඔවුහු ධීවරයන් අතරට පැමිණියහ. ජනාධිපතිතුමන් සමඟ මේ ගැන කතා කළ බව පැවසූහ. එතුමා එය විසඳනු ඇති බවට වාචික සහතික දුන්හ. එහෙත් ඉන්ධන සහනාධාරය රැගෙන මිස ආපසු නොයන අදිටනින් පැමිණි ධීවරයෝ අරගලය අත් නොහැරියහ. වැඩිකල් නොගොස්ම මෙය මාරාන්තික උපවාසයක් දක්වා වර්ධනය විය. පසුගිය බ‍්‍රහස්පතින්දා (ජූනි 19දා) වන විට මාරාන්තික උපවාසයට වාඩි වූ අයගෙන් ඇතැමෙකුගේ තත්ත්වය බරපතල බවට හැරෙමින් තිබිණි. ඒ අතරතුර නැවත සභාවේ නායකයෝ ධීවරයන් අතරට පැමිණියහ. ලබන සැප්තැම්බර් වන විට ඉන්ධන සහනාධාරය ලබා දෙන බවට රජය පොරොන්දු වී ඇති බව පැවසූහ. එහෙත් මෙය බාර ගන්නට අකමැතිව සිටි ධීවරයෝ ලබන සැප්තැම්බර් වන තෙක් ඉවසන්නට කැමතිව අරගලය හකුළාගෙන නිවෙස් බලා ගියහ.

මෙය හුදු ධීවර අරගලයක් ලෙසට හුවා දක්වන්නට ධීවරයෝ කටයුතු කළහ. දේශපාලන පක්ෂ හෝ වෙනත් සංවිධාන ගාවා නොගන්නට ඔවුහු කටයුතු කර තිබිණි. එහෙත් ඔවුහු ඒ අවට මීසම්වල පියතුමන්ලා ඇතුළු සභා නායකයන් මත විශ්වාසය තැබූහ. ඔවුන් පල්ලිවල සීනු ගසා ජනතාව රැස්කර ඔවුන් ද සමඟ අරගල භූමියට එන බව පැවසූ බව ඇතැම් ධීවරයෝ ආඩම්බරයෙන් අප සමඟ පැවසූහ. එහෙත් ජනතා අරගලයන් පිළිබඳ නිල සභා ඉතිහාසය ප‍්‍රමාණවත්ව ධීවරයන් කියවාගෙන නොතිබිණි.

ඈත ඉතිහාසයේ පාසල් රජයට පවරා ගැනීමට එරෙහිව කතෝලික සභාව ජනතාව අරගල භූමියට කැඳවූහ. ජනතාව ඉතා උද්යෝගිමත්ව පාසල්වල ලැගුම් ගනිමින්, කතෝලික සභාවේ වුවමනාව ඉටු කළහ. එහෙත් මේ ප‍්‍රශ්නයේදී බේරුම්කරුවකු වූ ඉන්දියානු කාදිනල් ගාසියාගේ උපදෙස් මත කතෝලික සභාව අදාළ අරගලය අත්හරින විට කතෝලිකයෝ වික්ෂිප්ත වූහ.



මෑත ඉතිහාසයේ තීරණාත්මක අරගලය වූයේ මීගමු කළපුවේ ජලචර ගුවන්යානා බැස්සවීමේ ආණ්ඩුවේ ව්‍යාපෘතියට එරෙහිව මීගමු කළපු ධිවරයන් දියත් කළ අරගලයයි. මුලදී නිල කතෝලික සභාව මීට එකඟත්වය පළ කර තිබූ අතර, මේ කටයුතු භාරව නිල වශයෙන් පියතුමෙකු ද පත්කර තිබිණි. එහෙත් සභා නායකයන් දේශපාලන නායකයන් සමඟ කළ ගණුදෙනුව තුළ ආණ්ඩුව මෙය කෙසේ හෝ කරන බවට වැටහීමක් සභාවට ඇති වී තිබිණි. ඒ තුළ කොළඹ නිල සභා නායකත්වය ඇතුළු අදාළ පියවරුන් ධීවර නායකයන්ට දුන් උපදෙස වූයේ මෙම අරගලය ප‍්‍රතිඵල විරහිත වන බැවින් එය අත්හරින ලෙසය.

කතෝලික සභාව විසින් එලෙස හුදකලා කරනු ලැබූ අරගලය එතැන් සිට අතට ගත්තේ මීගමුවේ සිවිල් සංවිධානය. ධීවරයන්ට ශක්තිය සපයමින්, අරගලය ජයග‍්‍රහණය කරා ගෙන යන්නට ඔවුහු සිය ශ‍්‍රමය, බුද්ධිය හා කාලය කැප කළහ. මේ අනුව තීරණාත්මක දිනයේදී ධීවරයෝ දිවි පරදුවට තබා කළපුවට බසිද්දී කොහේදෝ කියා හොයා ගන්නටවත් බැරිවූ ඒ අවට මීසම්වල පියවරු හා නිල කතෝලික සභා පුවත්පත එම අරගලය තුළ ලද ජයග‍්‍රහණය තම ගිණුමට හා තමන්ට හිතවත් ප‍්‍රාදේශීය දේශපාලකයන්ගේ ගිණුමට බැර කරගන්නට හාස්‍යජනක උත්සාහයක යෙදුණු බව කිව යුතුය. එහිදී ඔවුහු තමන් විසින් හුදකලා කරනු ලැබූ අවස්ථාවේදී ධීවරයා හුදකලා නොකළ මීගමුවේ සිවිල් සංවිධාන වලට ලැබිය යුතු නිසි ප‍්‍රණාමය පුද නොකළා පමණක් නොව NGO ලේබලය යටතේ ඔවුන්ව නින්දිත ලෙස හෙළා දකින්නට කටයුතු කළහ. මෙහි වඩාත්ම හාස්‍යජනක කරුණ වනුයේ අරගලයට දායක වූ සිවිල් සංවිධාන වලට NGO ලේබලය අලවද්දී ජනතාවගේ සැබෑ ප‍්‍රශ්නවලට ආමන්ත‍්‍රණය නොකරන, හුදු සුභසාධනයම පමණක් අරමුණු කරගෙන පවතින, අයුක්ති සහගත සමාජ පාලන තන්ත‍්‍රය තවත් තහවුරු කරන්නා වූ NGO සැලකිය යුතු ප‍්‍රමාණයක් කතෝලික සභාව යටතේ නඩත්තුවන බව වසන් කරමිනි.

මීට දශක කීපයකට පෙර ආරම්භ වූ මීගමුවේ සිවිල් සංවිධාන එකමුතුව වූ "මීගමු ජනතා ඒකාබද්ධ බල මණ්ඩලය" ඇතුළු මීගමුව හා ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශවල ජනතා සංවිධාන ක‍්‍රියාකාරිත්වය ඉතා ශක්තිමත් වූ අතර, ඉඩම් අහිමි වූ ජනතාව, ධීවර, වෙළඳ කලාප කම්කරු, කාන්තා, ධීවර කාන්තා ඇතුළු බොහෝ ක්ෂේත‍්‍රවල හුදු සුබසාධනයට සීමා නොවී ජනතාවගේ සාධාරණ අරගල වෙනුවෙන් ක‍්‍රියාකාරී මැදිහත්වීමක් කළහ. සෑම යුගයකම සිටි පාලන තන්ත‍්‍රයනට මේ අයව කරදරයක් වී තිබිණි. කළපු අරගලයේදී ද එය එසේ වී. ධීවර වෘත්තිය සමිති නායකයකු වූ අරුණ රොෂාන්ත හා ධීවර සහයෝගිතාවයේ හර්මන් කුමාර යන අයගේ නම් පාර්ලිමේන්තුවේ පවා සඳහන් වූ අතර, කතෝලික සභාවේ ප‍්‍රබල නායකයෙකු කළපු අරගලය මෙහෙයවීමට මේ අය සම්බන්ධ බව තමාට පැවසූ බව ධීවර ඇමති රාජිත සේනාරත්න පවසා තිබිණි. ඉන් අනතුරුව ඔවුනට මරණ තර්ජන පවා එල්ල වී තිබිණි.

එහෙත් මෙවර ඉන්ධන සහනාධාරය ඉල්ලා සිටි අරගලය සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනය හා සම්බන්ධ ධීවර වෘත්තීය සමිති නායකයන් හෝ සිවිල් සංවිධාන නායකයන් ඊට තීරණාත්මකව සම්බන්ධ කර නොගන්නට වගබලාගත් බව පෙනේ. ඔවුන් විශ්වාසය තබා ඇත්තේ නිල කතෝලික සභාව කෙරෙහිය.


ඇන්ටනි ප්‍රනාන්දු මරා දැමූ දා

හලාවත ඇන්ටනිව මරා දැමුණු, පෙරියමුල්ල හන්දියේදී ධීවරයන්ට හමුදා රීප්ප පටි ප‍්‍රහාර එල්ල වුණු, ධීවර අරගලයේදී මීගමුව ඩොන් බොස්කෝ ප‍්‍රතිමාව අබියස මංසන්ධියේදී පාර හරහට දමා තිබූ ධීවර යාත‍්‍රාවක නැගී ජනතාව ආමන්ත‍්‍රණය කළ එවකට කලාපීය නාහිමි පියතුමා ජනතාවට කියා සිටියේ ඉන්ධන මිල අඩු කිරීමේ කාර්ය වෙනුවට රජය ධීවරයන්ට ඉදිරිපත් කරන සහනාධාරය පිළිගන්නා ලෙසත්, රජය එය ඉටු කිරීමට අපොහොසත් වූවොත් ඒ වෙනුවෙන් පාරට බසින්නේ ධීවර ජනයාට ඒ බර නොදී තමන් ඇතුළු පියවරුන් බවත්ය. ධීවරයෝ මෙය විශ්වාස කළහ. ඊට ඇහුම්කන් දුන්හ. එය පිළිගත්හ.

ආණ්ඩුව පොරොන්දුව කඩ කළේය. කලාපීය නාහිමි පියතුමා හෝ පියවරු හෝ අරගල භූමියට පිවිසියේ නැත. ධීවරයෝ අරගල භූමියට පිවිසියෝය. පියවරුද, කාදිනල්තුමාද ආවෝය. ගියෝය. රජයේ පණිවිඩය ගෙන එන දූතයා ඔවුහු වූහ. ඒ අනුව සැප්තැම්බර් තෙක් ඉවසා වදාරන්නට කෙරෙන්නා වූ ඉල්ලීමට අවනත වෙමින් ධීවරයෝ සිය මාරාන්තික උපවාසය අත්හළහ. අවසානයේදී නිල කතෝලික සභාව පෙනී සිට ඇත්තේ ධීවරයන්ගේ සැබෑ වුවමනාව වෙනුවෙන් නොව රජයේ වුවමනාව වෙනුවෙනි.



"සීසර්ගේ දේ සීසර්ටත් දෙවියන්ගේ දේ දෙවියන්ටත් දෙන්න" යනුවෙන් ජේසුතුමාගේ ප‍්‍රසිද්ධ ප‍්‍රබල කියමනක් ඇත.

එහෙත් නිල කතෝලික සභාව දෙවියන්ගෙ දේ සීසර්ට දෙමින් සිටින බවක් දක්නට ලැබීම මොනතරම් ඛේදවාචකයක්ද? ධීවරයෝ යළිත් වරක් රැවටී ඇත.

අජිත් හැඩ්ලි පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වරල් සලා හිනැහෙන දිගු මීන නෙතු පියන්
පාරන කඳුළ වී කෙසේ ඉන්නදැයි කියන්
සදාකාලිකව සුන්දර සිහිනයක් වෙමින්
නුඹේ නෙතු පියන් යට සැඟවෙමිය දුක දරන්

යාල් දේවියේ දුක් බර අතීතය ඇසූ
මීනගයාවත් බෑඟිරි ගායි දුක් මුසූ
සින්දු කියන මාළුන් ඇති මේ මඟෙත් මතූ
ගල් ගැහී ගොලුව ඇති උන් නපුර නොම පැතූ

එලා අඩ සඳයි දම්සක එකම කිනිහිරේ
තලා මතුකරයි මුවහත වියරු සනුහරේ
ප්‍රේමයේ ළදරු ලා ගොබ කැති ගැසී මැරේ
මල් පිපෙනු පැතූ හෙට බිය වැදී කළුවරේ

ඉරා වැහි වලා හිනැහෙන සඳවතිය වගේ
මුදා පර්දාව මා දෙස නොම බලන් නගේ
ගිනි වැදී දැවී මව් බිම හඬයි හෙට දිනේ
අපේ ළපටි හදවත් එහි දැවෙනවා දැනේ

[ඡායාරූපය: www.muslimgirl.net වෙබ් අඩවියෙන්]

චිරන්ත ජයසේන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



පාන්දර හතර වෙනකොට ගැහෙන සීතලේ වතුර හරවන්න අල කොටුවට​
රෑ දොලහ එක තෙක්ම වල්ඌරො එළවන්න කෑගැහැව්වෙ ලී මැස්සෙ උඩසිට​
සීත නිදිමත යන්න කහට උගුරක් බොන්න අල පුච්චලා හකුරු වෙනුවට​
බීට් ගෝවා ගන්න විඳින දුක කන ඈයො නොදන්නේ අපේ පෙර කරුමෙට​

බිම් කොටල පස් දමල වල් නෙළල​ තෙල් දමල පොහොර දමලා හැදුවත් පැළ​
සුළං අව් වැහි නියඟ ගංවතුර රකුසු කැල මිරිකන්න බලා ඉන්නේ ගෙල​
බඩු ගන්න මුදලාලි පටවගෙන ගෙනියන්නෙ අපේ දුක් මහන්සිය ලොර‍ෙවල​
පුරා හතලිස් වසක් නොකා නොනිදා කලත් අපි තාම ඉන්නෙ මැටි පිලවල​

ජීවිතය කොටුවලට සින්නවුනු අපේ පොඩිඋන් කෝම ඉස්කෝලවල යන්නෙ
පීඩනය දරාගන්නම බැරිව මගේ දුව තෙල් බීල ගිය මාසෙ වල දැම්මෙ
වාරයට ගොඩ ගැසී වල දමන තක්කාලි වගෙයි ජීවිත අපේ වැළලෙන්නෙ
සීරුවට ගලා යන උමාඔය විතරමයි එදා ඉඳන්ම අපේ දුක දන්නෙ

අතුල විජේවික්‍රම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ජූලි මාසය එළඹෙමින් පවතියි. ඉතිහාසය දන්නා අයෙකුට ජූලිය කෙතරම් බියකරුදැයි කියා දිය යුතු නැත. එහෙත් දන්නා ජූලියට වඩා බොහෝ නොදන්නා දේ ඒ ජූලියේ සිදුව ඇත. ඇතැම් දේ බියකරු ය. බොහෝ දේ වැදගත් ය. හැරී බලා විමසන්නකුට තේරුම් ගන්නට ඇති බොහෝ කරුණු ඒ මාසය තුළ සැඟව ඇත.

1926 ජූලි 17 වැනිදා සිලෝන් මෝනින් ලීඩර් පුවත්පත මෙවැන්නක් සටහන් කරයි.

"ලංකාවේ සුළුතර ජනකොටස් එකිනෙකා දෙස බලන්නේ සැකයෙනි. ඔවුන් අතර ඇති වෙනස්කම් අති මූලික ඒවා නොවේ යැයි සිතීම සාවද්‍ය ය. අවුරුදු සියයකට පෙර නම් එවැනි වෙනස්කම් තිබුණේ නැත. එම වෙනස්කම් මතු නොවූයේ දමිළයන්, පහතරට සිංහලයින් සහ උඩරට සිංහලයින් යන ජන කොටස් ඉංග්‍රීසින් විසින් පාලනය කරනු ලැබූ නිසා ය. එහෙත් ලංකාවේ ජනයා ආණ්ඩු බලය තමන් අතට ගැනීමට අවශ්‍ය වේ යැයි කතා කළ මොහොතේ පටන්ම, යටගැසී තිබුණු වෙනස්කම් ගිනි අඟුරු මෙන් මතු වී එන්නට පටන් ගැනුණි."

ඒ ප්‍රකාශය ඉන් වසර 30කට පසු අගමැතිවරයා ලෙස බලයට පත් බණ්ඩාරනායකගේ ය. සුළුජාතික අයිතීන් ගැන අදහසක් තිබුණු බව පෙනෙන ඉහත කියමන කිවූ බණ්ඩාරනායක අගමැති වූ පසු චෙල්වනාගයම් සමග ගිවිසුමකට අත්සන් කළේ නැගෙන්නට ඉඩ තිබෙන බවට සංඥා දැල්වුණු අර්බුදයක් සමනය කරන්නට ය.

ගිවිසුම අත්සන් කළේ 1957 ජූලියේ ය! හරියටම කියනවා නම් ජූලි 27 වැනි දා ය.

ගිවිසුම ඉන් ටික දිනකට පසු ඉරා දමන්නට සිදු වූයේ පූජ්‍ය පක්ෂය මුල් කරගත් විපක්ෂය මහා විරෝධයක් ගොණු කළ නිසා ය. එය ඉරා දමමින් බණ්ඩාරනායක මෙසේ කීවේ ලු!

"ඔබ වහන්සේලා මෙයට විරුද්ධ නම් මා මෙය ඉරා දමන්නම්. නමුත් මෙය ඉරා දැමීම තුළ රටේ අනාගතයේ දී හානිකර ප්‍රතිඵල ඇතිවිය හැකි ය. ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න"

භාෂාව, පුරවැසිභාවය, පාලන නියෝජනය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ සෙවුණු යහපත් අදහස් ඉරී ගියේ ය. දෙවසරකට පසු, බණ්ඩාරනායක සිවුරු හැඳ ආ තැනැත්තෙකුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් විය.

වසර ගණනාවක් පුරා බලයේ සිටින පක්ෂ හා ද්‍රවිඩ නියෝජිතයින් සාකච්ඡා කරමින් හා යෝජනා ගෙනෙමින් ද, විරුද්ධ පක්ෂ ගෙනෙන සියල්ලට විරුද්ධ වෙමින්ද ගෙවිණි. වාමාංශිකයෝ පවා විටෙක 'ඩඩ්ලිගෙ බඩේ -මසල වඩේ' කියමින් මහමග පෙළපාලි ගිය හ.

අවසන තවත් ජූලියක් එළැඹිණි. ඒ 1975 ජූලි මාසයයි.

1975 ජූලි 28 දින යාපනය නගරාධිපතිවරයාව සිටි ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා, ප්‍රභාකරන් නැමති තරුණයකු විසින් වෙඩි තබා ඝාතනය කෙරිණි.

ජූලි මාස පසුවෙමින් යද්දී සුළු ජාතික අසහනයන් දැඩිව නැගෙමින් පවතින බව ද, සිය ජාතියේම වුව තම දැක්මට එරෙහි වන්නන් මරා දැමෙන යුගයක් එළඹෙමින් පවතින බව ද කිසිවකුට පෙනී ගියේ නැත.

අනතුරුව එළැඹියේ ජූලියට සූදානම් වීමේ සමයයි.

ජූලිය එළඹෙන්නට මත්තෙන් 1981 ජූනියේදීම යාපන පුස්තකාලය ගිනි තැබීම ඇතුළු අති බිහිසුණු සංස්කෘතික විනාශයන් දකුණේ පාලනය විසින් සිදු කරන ලද්දේ ය. දමිළ තරුණයින් අත්අඩංගුවට ගැනීම, පහර දීම, මරා දැමීම වැනි දේ ද සිදුවෙමින් පැවතිණි. ජූලියට පෙර සූදානම් හැමතින්ම පෙණිනි. අනතුරුව සියල්ලට පසු, බිහිසුණුම ජූලිය එළඹුණේ ය.

ඒ 1983 ජූලියයි.


1983 ජූලි


2014 ජූනි

ලේ වැකුණු රුධිරයේ වර්ණ වියැළි යන තෙක්ම රාජ්‍ය නායකයින් නෙත් පියා සිටි බැවින් එය රතු ජූලිය යැයි නම් නොලබා 'කළු ජූලිය' යැයි නම ලද්දේ ය. උතුරේ දී හමුදා භටයින් 13ක් මරා දැමූ ද්‍රවිඩ සටන්කාමී සංවිධානයක් සමග ඇති වුණු කේන්තිය නිවා ගන්නට දකුණේ ජීවත් වුණු කිසිවක් නොදත් නිරායුධ සිවිල් වැසියන් දහස් ගණනක් මරා දැමිණි. දේපල විනාශ කෙරිණි. ස්ත්‍රීන් කෙළසිණි. බොහෝ දේ සිදුවිණි.

කළු ජූලිය උතුරට තිස්වසක යුද්ධයක් සපයා දුන්නේ ය. රටටම එහි විපාක ගෙනැවිත් දුන්නේ ය. වසර පහකින් දකුණේ තරුණ කැරැල්ලක් ඇති වන්නට පසුබිම ද සපයා දුන්නේ ය.

වේදනාව හා කළකිරීම නිසා රටින් පිටව ගිය අය බටහිර දෙසටත් නැගෙනහිර දෙසටත් පියාසර කළ හ. පිටව යෑමට ශක්තිය නැත්තෝ රටේ උතුරට ගොස් සංවිධාන හා එක් වූ හ. ඇතැමුන් යළි ලංකාව දෙස හැරී නොබැලූ මුත් වෛරය ඉතිරි වූ ඇතමෙක් උතුරේ සටනට ආධාර ද එවූහ. ලක්ෂයකට නොඅඩු ජීවිත උතුරට ද දකුණට ද අහිමි විය. යුද්ධය කෙළවර විය. කම්පන හා ක්ෂිතිමය අත්දැකීම් ඉතිරි විය.

අවස්ථාව සෙවූ ජේ.ආර්. රජය වමේ පක්ෂ තහනම් කළේ ය. බොහෝ පක්ෂ නිහඬව හිඳිද්දී ජවිපෙ සන්නද්ධ මාවත තෝරා ගත්තේ ය. ලක්ෂයකට ආසන්න ජීවිත අහිමි කරමින් හා නොමැකෙන කම්පනයන් පමණක් ඉතිරි කරමින් අරගලය කෙළවර විය.

ඒ සියල්ල ජූලි මාසයක හැරවුම් ලක්ෂය සාදා දුන් ප්‍රතිඵලයන් ය!!

ඒ අතර වසර ගණනක් තුළ හමුවුණු ජූලීන්වල ද විවිධ දේ සිදු විය.

1987 ජූලියේ දී ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කෙරිණි.

ඉන්දීය හමුදාවන්ගේ පීඩනයන්ට උතුරේ සිවිල් වැසියන් මුහුණ දුන්නා මිස කිසිවකු දිනුවේ නැත. අත්සන තැබූ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඉන්දියාවේදීම පසුව ඝාතනය කෙරිණි.

2004 ජූලියේ පළමු මරාගෙන මැරෙන ප්‍රහාරය කොළඹදී සිදු විය.

ඊලාම් යුද්ධ ත්‍රිත්වයට පසු, 2006 ජූලියේ ඇරඹුණු හතරවැනි ඊලාම් යුද්ධය තුන්වසක් පුරා ඇදී යන්තම් 2009 ජූලියට දෙමසකට පෙර කෙළවර විය.

සැබවින්ම ජූලි මාසවල දී පමණක් නොව ඉතිරි මාසවලදී ද නොවිය යුතු බොහෝ දේ සිදු විය. මහා මිනිස් ඝාතන, වේදනා, අහිමිවීම්, ලේ, කඳුළු නිරතුරුව පෙණින. ප්‍රභාකරන් නැමති තරුණයා ප්‍රභාකරන් විය. මහා මාර්ග ‍දෙපස 'රණවිරු' බස් නැවතුම් ඉදිවිණි. උතුරේත් දකුණේත් අම්මලා නොපැමිණෙන දරුවන් දකින්නට මග බලා උන් හ.

මේ 2014 වසරයි. තවත් ජූලියක් එළඹෙමින් පවතියි. ඉතිහාසයේ මුග්ධකම් හා ජඩකම් දෙස බලා පාඩම් ඉගෙන ගන්නේද, යළි අතීතය කැඳවන්නේ ද යන්න තීරණය කළ යුත්තේ අපම ය.

ආයුධ ද ඇත. 1957 ජූලියේ පෙරට ආ සිවුරු දාගත්තවුන්ට වඩා දාමරික සිවුරුකාරයින් එළිමහනේ ය. 1983 ජූලියේදී තරම්ම හෝ ඊටත් වඩා ස්වාර්ථයම විමසන ආණ්ඩුවක් බලයේ ය. එදාටත් වඩා නිර්ලජ්ජිත ලෙස මාධ්‍ය ප්‍රකාශ නිකුත් කළ හැකි නිල ප්‍රකාශකරුවන් ද සූදානමිනි.

ජූලි මාසය එළඹෙමින් පවතියි.

(-අළු)

ප්‍රියන්ත ෆොන්සේකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ගිනි රස්නෙට ඉර පායන
ඉර අව්වට අපි පිච්චෙන
කඳුළු වතුර මැද දූපත
අපි කොයි කවුරුත් උපන්න

මල් පිපුණේ මේ ඉර යට
ලේ හැළුණේ මේ ඉර යට
පරවෙන මල් මහ පොළවට
අපිත් අයිති මහ පොළවට

ක්‍රෝමසෝම එකතුවෙලා
මං උපන්න ලෙසට නේද
බෂීර්, කුමරන්, සමන්ත
උඹල ආවෙ මේ ලෝකෙට

මොට්ටැක්කලි, නළල් තිලක,
රෙද්ද හැට්ට යට විඳවන
ගැහැණුන් හට
විළිරුදාව එක විදිහට
ලේ ගැලුවේ එක විදිහට
ඒ ලේ උල්පත් පාමුල
කාබන් කැටි කැටි විදිහට
ලේ පාටට කෑ ගහගෙන
අපි ආවේ එක විදිහට

ඕනෙම නම් යමු එහෙනම්
කාගෙත් අගමුල හොයන්න
උතුරුදිගට නැගෙනහිරට
විජය ළඟට භාරතයට
බලංගොඩට
නියැන්ඩතාල් ඉරෙක්ටස් ද
පසුකොට වානරයින් වෙත
බලමු කිසිත් හම්බවෙයිද
................
කාපු බීපු දෙයක් මිසක
ඉඳපු හිටපු කලක් මිසක
අඩහඳ තරු, තුන්නූර්ද
දම් සක් තව ත්‍රීශූලද
මැටි අනන්න රන් හදන්න
රජ කරන්න බිම් කොටන්න
ඉපදෙන කොට ගෙනා වගක්
ඉතිහාසෙන් ඉතිරි වෙච්ච
අස්ථි කැබැල්ලක තියේද?

බලෙන් අරන් උන් උකුලට
බලෙන් යවා ඉස්කෝලෙට
බලෙන් පොවපු දෙයක් මිසක
අරන් ආපු වෙනස කොහෙද?

උන් කියනව අපි අහනවා
උන් කියනව අපි ගහනවා
උන් කියනව අපි මරනවා
උන් දිනනව අපි මැරෙනවා

එකිනෙකාගෙ දෑස් තුළට
එක මොහොතක් එබුණෝතින්
මිනිසෙක් හැර වෙන කවුරුත්
පෙනෙනවාද මට කියන්න.
බලන විටදි පර දෙමළෙක්
පර සිංහල වල් බල්ලෙක්
හම්බ තම්බි පෙනෙනා තුරු
අපට හැකිය මරාගන්න

උන් හදාපු මේ උගුලෙන්
අපි ගැළවෙන යම් දවසක
ඔබෙයි මගෙයි ඇස් ඇතුළේ
මිනිසෙක් දකිනා දවසක
බලෙන් ඔතපු හැව විසි කොට
සොහෝයුරනි සෝයුරියනි
අපට හැකිය බදාගන්න

2014 ජුනි 22

[ඡායාරූපය : Ishara Kodikara-Getty Images]

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වසන්තය පැමිණියේ
මනමාලිය නැති මංගල්ලයක් මෙනි.

වැස්සක් නැතිව වුව
මල් පිපනේනට හැකි බව
අහසේ ලියා තැබුවේ කවුදැයි
සොයා ගන්නට බැරිවිය.

සිතිජයට මොබ තනි ඉරක් මත
වෛවර්ණ වෛරම් නැඟුණු
උකටලී කණ අත්සන
කොයි අතින් ගිලිහී ගියේදැයි
හිතාගන්නට නො හැකි ය .

කරව් කරනා කිසිවකු
තට තට ගා තටු ගසනා හඬ
කටහඬක් මෙනි
කන් බෙරය මත.

මනමාලිය නැතුවාට
මංගල්ලයක් ඇත.
ඒ මදිද?
මංගල්ලයන් නැති
මනමාලියන් නම් කොතරම්ද?

නම් ගම් කිසිත් නැති අහසක
කවියක් තිබෙන්නට පිළිවන.

ඒ කාගේ වචනදැයි අසන්නට
තවම නිදහස ඇත.

ඒත් ඒ නිදහස ඇත්තේ
වසන්තයට එපිටින් බව පසක් වනක විට
අතැඟිල්ල අත හැරුණු බව හැඟිණ.

ඉදින්,
හදබසට පර්යාය කිසිවක් තබා යන්නැයි
මම ඇවිටිලි කළෙමි.
එවිට ඇය
පාපතුළ ඔසවා
දුහුවිල්ල ගසා දැමුවා ය.
ඒත් පොළොවේ මුද්‍රාව තිබූ පා ලකුණ මම අහුලා ගතිමි.
ඔව්! ගිලිහී වැටුණු ඒ අවසන් පූර්ව මන්දස්මිතය අබියසදී ම ය.

අවසාන මඳහස හා පළමු දුකඳුළ අතර
අලෝක වර්ෂ දස දහසක අන්තරය ඇති
තවත් එක් නොවටිනා මොහොතක් ඇති බව
දැන් මම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දනිමි.

"වස්සාන වැහි බිංදු කලබලයි
උස්සාන එන වලාකුළු පෙලයි
ගස්සාන යන සුළඟ දෙස බලයි
ලිස්සාන වැටෙනකොට හති හලයි

අතු පතර මත වැනුව ගණ නිල්ල
සංසාරෙ අතරතුර සැනසිල්ල
සමුනොගෙන සමුගන්න ඔබ පල්ල
මල් තමයි මහපොළොවෙ ඉවසිල්ල

බැහැ කියන්නට එපා සමුදෙන්න
පැහැබරම අතීතය අරගන්න
වැහැ ගන්න බැරි අහසෙ වැතිරෙන්න
ඇහැ රවට්ටනු මැනැවි දේදුන්න"

[සිතුවම:Leonid Afremov]

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



83 ත් අපි අසරණව බලා සිටියා
තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටවූ
නැත උන් රට අතැර ගිහින්
කියා කියා උන් ගිනි තියන විට
කපන කොටන විට
රාමලිංගම් ව පාර්වතීව

උතුරු කොනේ නුඹ හිනැහෙන්
සෙල්ලම්මා නංගියේ කිය කියා
සින්දුවක පද පෙළක
සඟවාගන හර්ද සාක්ෂිය
නිරායුධ අපි අසරණව
බලා හිටියා තනි තනිව
තැන් තැන් වල

හන්දියක් හන්දියක් ගානේ
වැඩ හිටියාට
නිරායුධ බුදු හිමිත් අසරණයි
තමන්ගේ නාමයෙන් අවි දැරුවන්
ගිනි පෙළහර පාද්දී
තාසිම් උඹේ ගේ දොරකඩ

තනි තනිව,
කඳුළු සලනවාට
සුසුම් ලනවාට
වැලපෙනවාට
ෆේස් බුකියේ කවි ලියනවාට
වඩා යමක් නැද්ද
නිරායුධ අපි ට එක්ව කරනට

අඩු තරමින් සලමු ද කඳුළු එකට
කඳුල මහා වැස්සක් වෙන්න
ගිනි හුළු නිවා බිම ලන

සුසුම් හෙලමුද එකට
සුසුම චන්ඩ මාරුතයක් වෙන්න
හොර කහ රෙදි ගලවන

වැලපෙමුද එකට
ඉකිය ගෝරනාඩුවක් වෙන්න
උන්ගේ කන් අඩි පුපුරන.

සත්තකයි
බුදුනුත් එයි
අපි එක්ක
එක පෙලට හිටගන්න.

16.06.2014

(ඡායාරූපය- BBC වෙබ් අඩවියෙන්)

අශෝක හඳගම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නුඹ නොදුටු එකමෙක නිමේෂය
කල්ප කාලාන්තරයක් බඳුව ගෙවී ගිය මොහොතක
කල්ප කාලාන්තර හත අටක් ගෙවිණි
​කිරි හිනාවක එති එතී ​- ​පැරණි පෙම්​ ​පටලයක හිර වී

එ සඳ
නුඹ
වංසක්කාරයින්ගේ බුදල් ඔප්පුවක ඇද ව ගිය
වචන පේළියක් සේ බොඳ විණි

​මන්ඳ​ ​එළි විහිදන තරුවක්වත් නොපෑයූ
අන්ධකාර රාත්‍රී වල
කවියකට අකුරු ඇහිදාපු ඉස්තෝප්පුව අද්දර
මම පාර බලමි
ඒ දිග ඇදී මැකී යන එකදු සෙවණැල්ලක් හෝ
නුඹෙ නොවන වග දනිමි

අසෝක මල් වාරය එළැඹෙතැයි සිතා
අපි පාර පැන්නෙමු
අවාරයේ මල් නොපිපෙතැයි එකදු මොහොතකට හෝ
අපට නොසිතුණේ මන්ද?

සියලු ප්‍රාර්ථනා දෙපලු කොට
සුළඟකට පුලුවනි ද ඔය හැටිම හිනැහෙන්න
තිලකයක හරිම මැද සඟවා තැබූ
ආදරය හොර රහසෙ ගෙන යන්න

විසේකාරයෙකුට පුලුවනි නිම්තෙරින් ඇවිදින්
ඇස් වලින් ප්‍රේමයක් වක්කරන්න
මහාපොළොවටත් නොදැනෙන්න
ඒත්
ආදරය උපදින්නෙම අව්රැල්ල බව දැන දැනම
ඊටම පෙම් බඳිනු රිසි පිනි බිඳක හදවතෙනි.

නිළ නොලද උරුමක්කාරියකට වුව
ප්‍රේමයේ කොටසක් උරුම විය යුතු යැයි
මල් පිපුණු වසන්තය අග දී - නුඹ කියූ හැටි මතකය
සින්නක්කරයට ලියා ගත් ඒ උරුමය
දැන් නාඳුනන ​ ​තාත්​තෙ​කුට අඬ ගසයි..

කිසිදාක නාඬන ඇස් ඇත්තියක වුවද
නාඬා ඉන්න පුලුවනිද දැන් මට?

සිතුවම : Christina Nguyen

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



1983 ජූලි මස 23 වන දින සවස් යාමයේ මා බේරුවල පොලීසිය අසල කතෝලික දේවස්ථාන භූමියේ සිටින විට ලංගම බස් රථ පෙලක් වේගයෙන් බේරුවල නගරය දෙසට ගමන් කරනු දුටුවෙමි. ඒ වනාහී මිනිසුන් පොකුරු පිටින් පටවා ගත් බස් රථ පෙලකි. හොඳින් සංවිධානය වී සිටි එකී මිනිසුන් මහා විනාශයකට අවැසි වේගවත් ගමනක නිරත වී සිටින අයුරු ඒ මොහොතේ මා හට නොවැටහිනි. එහෙත් ටික වේලාවක් ගිය තැන කුඩා දරුවකුව සිටි මට ඒ ඇත්ත තේරුම් ගැනීමට අවැසි සියල්ල සිදුවෙමින් පැවතිනි. නිමේෂයකින් ඒ අප්‍රියජනක දර්ශනය මා දෙනෙත අභියස චිත්‍රණය විය. පළමුව බේරුවල නගරයට ඉහළ අහසේ දුම් රොදක් මතු විය. අනතුරුව ගිනි ජාලා ඉහළට පැන නිවැරදි කල නොහැකි ඓතිහාසික වරදක් බේරුවල අහසේ මුද්‍රා තබන ලදි. ගිනි පුලිඟු අහස් කුස ආක්‍රමණය කරද්දී මහපොළොවේ මිනිස් කුලකයක් හිස් ලු ලු අත දිවයන්නට විය. ඒ මිනිසුන් දෙමළුන් යයි කියමු. තවත් මිනිසුන් කුලකයක් දිවයන මිනිසුන්ගේ ජීවිත සහ දේපල ආක්‍රමණය කරන්නට විය. ඒ මිනිසුන් සිංහලයින් යයි කියමු. කුඩා දරුවකුව සිටි එදවස මා අත්දකින ලද ජාතිවාදී ගින්නේ පළමු මතකය එයයි. බේරුවල නගරය ගිනි ජාලාවක් වී තිබුනු එදවස ඇයි මේ අපරාධය කරන්නේ යන්න මට කිසිසේත්ම සිතාගැනීමට නොහැකි විය. එහෙත් මට ප්‍රහෙලිකාවක් වූ ඒ දේ තවකෙකුට සුවකළ නොහැකි තුවාලයක් ලෙසින්ද තවකෙකුට තෘප්තිමත් ආශ්වාදයක් ලෙසින් ද ඉතිහාස අත්දැකීම් අතරට එක්ව ඇත.

පැවති එක්සත් ජාතික පක්ෂ පාලනය තම බල ව්‍යාපෘතිය උදෙසා ජාතිවාදය උපයෝගිකොට ගෙන සමාජය මහා ගින්නකට ඇද දැමුවේ කෙසේද යන්න එවකට කුඩා දරුවකුව සිටි මාගේ අත්දැකීමක්ව පවතින්නේ එයාකාරයෙනි. මහා විනාශයක් තමන් විසින් සිදු කරන බව දැන හෝ නොදැන ජාතිවාදී ගනංකාරයින් විසින් එදා සිදු කරන ලද ඒ බිහිසුණු අපරාධය විවිධ ආගම් විවිධ ජාතිකත්වයන් නියෝජනය කරමින් ජීවත් වුනු බේරුවල බොහෝ ජනයාට මානසික කම්පනයක් ඇති කලා නොඅනුමානය. එදා ඒ ම්ලේච්ඡයින් විසින් දවා අළුකල බේරුවල කඩ සියල්ලම දමිළ මිනිසුන්ට අයත් විය. පාලකයින් විසින් අවුලුවාලූ මෙන්ම ජාතිවාදීන් තම හදවත් සහ දෙනෙත් තුල සඟවා ගිනියම් කල ගිනි පුළිඟු මතින් නගරයක් ගිනිබත් කළ විට තවත් නම් සිංහල දමිළ මුස්ලිම් සහෝදරත්වයක බේරුවලක් ඉතිරි නොවීය. ඒ වෙනුවට ඉතිරි වූයේ දමිළ සහෝදරයින් ගින්නෙන් පොඩි පට්ටම් කරන ලද මෙන්ම සමූහ වශයෙන් පිටමං කරන ලද බේරුවලකි.


[Shehan Gunasekara]

80 දශකය ආරම්භයේ බේරුවල නගරයේ පිහිටි වෙළඳ සැල් අතරින් ප්‍රධාන සිල්ලර වෙළඳ සැල වූ සින්නයියාගේ කඩය පාරිභෝගිකයින් අතර මහත් ජනප්‍රියත්වයක් ඉසුළු අතර කවුරුත් පාහේ සින්නයියාගේ කඩයට ගොඩවූයේ එහි සාධාරණ වෙළඳාමක් පැවති නිසා බව තාත්තා නිතරම කියනු මට මතකය. ජාතිවාදී උන්මත්තක රැල බේරුවල දමිළ කඩ ගිනිබත් කරන ව්‍යාපෘතියේ පලමු බිල්ල වී තිබුනේද මෙම සින්නයියාගේ කඩයයි. එවකට තනි මහලේ කඩ පේලියක වූ සින්නයියාගේ කඩය, එහි ඇස්බැස්ටස් ෂීට් වහල, බාල්ක ඇතුළු සියලු දේ ගිනි ගනිමින් තිබුනේ අනෙකුත් දමිළ කඩ සියල්ලටම මෙන්ම සිංහල කඩ වලට ද යම් යම් අලාභානි කරමිනි. ජාතිවාදීන් තමන්ට පාලක හාම්පුතුන් පැවරූ කටයුතු නියමාකාරයෙන් සිදුකොට පොලීසිය නිහඬව බලා සිටියදීම වීරයින් මෙන් නගරයෙන් ඉවත්ව ගිය තැන ඉතිරිව තිබුනේ ගිනි ගනිමින් පැවති නගරයක් පමණි. තවද එම සිදුවීමේ අවසාන භාගය මහමග විසිකරනු ලැබ තිබුනේ අතරමං වූ පාවහන් සහ ආප්ප පමණි. අනිකුත් වටිනා දෑ සියල්ල එකී තක්කඩි රැළ විසින් විසින් ජාතියේ නාමයෙන් මංකොල්ලා කා තිබුනි. කලු ජූලියේ මතකය අදටත් වේදනාකාරී අත්දැකීමක්ව මා දෙනෙත් අග බොඳ නොවුණු ඒ චිත්‍රය තැන්පත් කර ඇත. 83 ජූලි සිදුවීමෙන් පසු ගෙවුනු වසර 30 ක කාල පරිච්ඡේදය එම සිදුවීමේ සහ ඉන් එපිට මෙපිට සිදුවීම් වල ඵලයන් සමාජයට උරුම කලේ මොනවාද යන්න අප අමුතුවෙන් කතා කල යුතු නැත.

1991 අගෝස්තු මස බේරුවල ඇතිවූ සිංහල මුස්ලිම් කෝලාහලය තවත් වටයකින් ජාතිවාදී ගිනිජාලාවකට, එහි අමිහිරි අත්දැකීම් වලට අප සමාජය අතහැර දමන ලදි. සිංහල මුස්ලිම් වැසියන් දෙදෙනෙකු අතර හටගත් සුළු ගැටුමක් ජාතිවාදී යුද්ධයක් බවට පත් වූ එම සිද්ධි දාමය අවසානයේදී මහත් ව්‍යසනයක් බේරුවල ජනයා මතට පතිත කරන ලදි. එම ගැටුමේ මුල මැද අග සියලු සිද්ධි අධ්‍යයනය කිරීමේදී සිංහල හා මුස්ලිම් අන්තවාදීන් එකිනෙකා පරයා යමින් තම ගෝත්‍රික අනන්‍යතාවය මොනවාට පිළිබිඹු කරමින් පිස්සන් රැළක් සේ ක්‍රියා කල අයුරු කදිමට අවබෝධ කරගත හැකිය. මෙම සිදුවීමෙහි දේපල විනාශ කිරීමේ ආරම්භය ලෙස සිංහල ව්‍යාපාරිකයකුට අයත් සිල්ලර වෙළඳ සැලකට ඩයිනමයිට් ප්‍රහාරයක් එල්ල විය. (බේරුවල එගොඩවත්ත ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානය අසල වූ එකම සිංහල ව්‍යාපාරික ස්ථානය එය විය.) ඉන් ඉක්බිති ගිනි තැබීම් සහ මංකොල්ලා කෑම් සුලභ සිද්ධීන් විය. මෙම විනාශයන් සියල්ල ජාතියේ නාමයෙනි. මෙම සිද්ධි සමුදාය තුල බොහෝ තැන්වල ගිනිගෙන දැවුනේ කුඩා පැල්පත්ය. මුස්ලිම් සිංහල භේදයකින් තොරව දුප්පත් මිනිසුන්ගේ නිවෙස් ගින්නට හසුව මංකොල්ල කෑමට ලක්ව අන්ත අසරණ තත්වයකට පත්කල එම ගැටුම ධනපති මුස්ලිම් හෝ සිංහල කොංක්‍රීට් නිවෙස් වලට අලාභානි නොකරන්නට තරම් පරිස්සම් වී තිබිණ. බස්රථ වල ගමන් කල මුස්ලිම් මිනිසුන්ව බස්රථ වලින් එලියට ගෙන පහර දීමට සිංහල උම්මත්තකයින් ක්‍රියා කල අතර සිංහල මිනිසුන් බස්රථ වලින් එලියට ගෙන පහරදීමට මුස්ලිම් උන්මත්තකයින් ක්‍රියාකරන ලදි. එහෙත් ප්‍රාඩෝ, මොන්ටේරෝ, ඉන්ටකූලර් වැනි සුපිරි වාහන වල ගමන් ගත් සිංහල මුස්ලිම් ධනපතීන් හට එම පහර දීම් නිසාවෙන් කිසිදු උපද්‍රවයක් සිදු නොවීය. (එහෙත් රක්ෂණ වන්දි ලබා ගැනීමට තමන් විසින්ම තම දේපල ගිනි තබා ගත් අවස්ථා ද ඒතුල නොතිබුනා නොවේ.) එබැවින් දෙපාර්ශවයේම ධනපතීන් තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගනිමින් ජාතිවාදී ගැටුමට තව තවත් උත්තේජනයන් සපයන ලදි. දෙපාර්ශවයේම ආවේගශීලී තරුණ කොටස් මෙම ගැටුමේ ඉදිරි පෙළ නියෝජනය කල අතර කිසිවිටෙකත් මුහුණට මුහුණ සටනකට දෙපාර්ශවයේ පහර දෙන්නන් පැමිණියේ නැත. ඒ වෙනුවට දෙපාර්ශවයම සිදුකරන ලද්දේ අහිංසක නිරායුධ මිනිසුන්ට තම බාහු බලය පෙන්වීමයි. අහිංසක නිරායුධ මිනිසුන්ගේ ගෙවල් වලට පැන ගිනිබත් කිරීමයි. ජාතිවාදයේ නාමයෙන් තරුණ යුවතියන් දූෂණය කිරීමයි. දේපල මංකොල්ල කෑමයි.


[Shehan Gunasekara]

2014 ජූනි මස 15 දින බේරුවල මැතිවරණ ආසනය තුල ඇතිවූ සිද්ධිය සහ එහි පෙර පසු සිදුවීම් අමුතුවෙන් නොකිවුවාට මේ වන විට සියල්ලෝ දනිති. විශාල ලෙස දේපල, ජීවිත හානි පමුණුවමින් අදාල සිදුවීම් සමුදාය තවමත් අළුයට ගිනි සඟවා කල් මරමින් පවතී. එකතු කිරීමට නොහැකි තරමට හදවත් පාරවා වෙන්වන්නට යෝජනා කරමින් පවතී. ජාතිවාදය අන් සියලු වාදයන් පරයා සමාජය විසල් ගිනි ජාලාවකට තල්ලු කර ඇත. බොදු බල සේනා සංවිධානය, "අබ සරණයි සූත්‍රය" සමාජයට මුදාහැර ඉන් නොනැවතී "අපි තමයි ඩෝ චන්ඩි, වරෙව් පුළුවන්නම් හැප්පෙන්න" යයි පවසමින් මුස්ලිම් සමාජයට අභියෝග කල අතර මුස්ලිම් සමාජයේ ඇතැම් දැඩිමතධාරීන් එම න්‍යායට අදාල න්‍යායෙන්ම පිළිතුරු දෙන්නට තීරණය කරන ලදි. ඉඳින් තව දුරටත් මිනිසුන් මිනිසුන්ට හමු වන මාර්ගයේ සහ මාර්ග දෙපස තවදුරටත් මිනිසුන් නොවීය. ඒ වෙනුවට එකිනෙකාට අභිමුඛ වූයේ මුස්ලිම්-සිංහල රකුසන්ය. මුස්ලිම් සිංහල අනෙකාය. ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ වචන වලින් පවසන්නේ නම් "පරයන්"ය. පළමු ප්‍රහාරය එල්ල වූයේ මුසල්මානුවෙකුගෙන්ද නොඑසේනම් සිංහලයකුගෙන්ද යන පටු ප්‍රශ්ණකිරීම පසෙක ලා අප මෙම ව්‍යසනයෙහි ගැඹුර විමසා බැලිය යුතු වේ. එසේ නොකර මෙම ගැටලුව මතුපිටින් අතගෑම යුක්ති යුක්ත නොවේ.

ලාංකීය දේශපාලන චලනයන් එදා මෙදා තුර ක්‍රියාත්මක වූයේ ජාතිවාදය පදනම් කරගනිමින් යන්න අතිශයෝක්තියක් නොවේ. වත්මන් බේරුවල සිද්ධි යනු ඉන් පරිබාහිර ඕපපාතික සිද්ධි නොව එහිම ඵලයන්ය. සිංහල බෞද්ධ සංකල්පය මෙරට හොඳම වෙළඳ භාණ්ඩය බව අන් කාටත් වඩා හොඳින් තේරුම් ගත් බොහෝ දේශපාලනඥයින් අද ජීවතුන් අතර නැත. එහෙත් ඔවුන් තම පැවැත්ම උදෙසා අපට උරුම කර දුන් ගෝත්‍රික සමාජය මේ මොහොතේ යථාර්ථයකි. වත්මන් පාලකයන් යනු එම වෙළඳ නඩයේ නූතන අනුප්‍රාප්තිකයන්ය. ඔවුන් තම ගුරුන්ටත් වඩා ශූර අයුරින් ජාතිය අලෙවි කරති. සිංහල ජන නායකයින් තම වර්ගවාදී මත ව්‍යාප්තිය ඉතා හොඳින් සිදුකළ (සිදුකරන) අතර එයට එකට එක ලෙස දමිළ සහ මුස්ලිම් නායකයින් ද තම වර්ගවාදී මත වෙළඳපොළෙහි තොග ගණනින් අලෙවි කරති. එහි ඵලය ලෙස දමිළ මිනිසාට සිංහල මිනිසා නිරෝගීව කිසිදිනෙක හමු නොවූ අතර සිංහල මිනිසාට ද දමිළ මිනිසා නිරෝගී සගයෙක් නොවීය. එය සිංහල මිනිසා අභියස මුස්ලිම් මිනිසා මෙන්ම මුස්ලිම් මිනිසා අභියස සිංහල මිනිසා යන කුලකයනට ද පොදු ඇත්තකි. මෙම යථාර්ථය මුස්ලිම් සහ සිංහල සමාජය ආක්‍රමණය කරන ලදි. සිංහල දේශපාලනඥයින් ලාබෙට විකිණිය හැකි සියලු මතවාදයන් කරපින්නාගෙන සිංහල ජන සමාජය විකෘති මානසිකත්වයකට ඇද දැමූ අතර දමිළ සහ මුස්ලිම් දේශපාලනඥයින් ද එම න්‍යාය පුස්ථකය මත පිහිටා කටයුතු කරන ලදි. එබැවින් මිනිසෙකුට මිනිසෙකු හමුවන සමාජයක් වෙනුවට අපට ඉතිරි වූයේ සිංහලයෙකුට මුසල්මානුවෙක් මුසල්මානුවෙකුට සිංහලයෙක් ඔරවන සමාජයකි. එම සමාජය අනෙකාගේ බැල්මක්, වචනයක්, සිදුවීමක් යනු ගැටුමකට ආරාධනයකි. මෙම තත්වයට අදාල ඉතිහාස කතාව කුමනාකාරද? එය අප පළල්ව කියවා ගත යුතුය.

මාක්ස්වාදය ගුරුකොට ගනිමින් මෙරට දේශපානය කල, කම්කරුවන්ට නායකත්වය දිය යුතුව පැවති ඉපැරණි වම විසින් ඉතා නින්දිත ලෙස පාවා දුන් 53 හර්තාලය යනු ලාංකීය සමාජය මිනිස් අවකාශයක ගොඩගැනුමට තිබුනු ස්වර්ණමය අවස්ථාවකි. එහෙත් එම ඓතිහාසික මොහොත පාවා දුන් වාමාංශික දේශපාලන භාවිතය නිසාවෙන් අදත් මේ රට සුවකල නොහැකි තුවාල වලින් ගහනව පවතී. එදා කම්කරුවන් වමේ නායකයින්ට එහා ජවයකින් ක්‍රියාකල එම හර්තාලය තුල කම්කරුවන්ට අවැසි වූයේ වැඩකරන ජනතාව අතට බලය ලබා ගැනීමයි. එහෙත් වමේ නායකයින් හට අවැසි වූයේ කම්කරු පාලනයක් ඇති කිරීම නොව ධනපති පාලකයින් හට තම ශක්තිය පෙන්වා ගෙදර යාමටයි. එනම් ගෙදර යන ගමන් පාට් ටයිම් අරගලයක් කිරීමයි. 53 කම්කරු අරගලය විසින් මෙරට පාලක කැබිනට්ටුව නිව් ෆවුන්ඩ්ලන්ඩ් නෞකාවට ගාල්කල ඒ සිද්ධිදාමය පාලක ධනපති ක්‍රමය පෙරලා දමනට සිහින දකින්නන් හට මොනතරම් නම් ආශ්වාදජනක අත්දැකීමක්ද? එහෙත් එම අවස්ථාව අතහැරීම අවසාන විග්‍රහයේදී කෙසේ ගණන් තැබිය යුතුය? එදා හර්තාලයේ තිබුනු බලය සහ එහි කම්කරු අභිලාශය අන් කවරෙකුටත් වඩා හොදින් අවබෝධ කරගත් අයෙකුව විය. ඒ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක යි. කම්කරු පන්ති ආඥාදායකත්වය ගැන අබමල් රේනුවක විශ්වාසයක් ඉපැරණි වම ඇතිකර නොගත්ත ද බණ්ඩාරනායක එම ආඥාදායකත්වය හොදින් විශ්වාස කලා පමණක් නොව එවන් බලයක් ඇති වීමට අවැසි සියලු මං අහුරා දමන ලදි.


[Shehan Gunasekara]

කම්කරු නායකත්වයෙන් යුත් නිර්ධන පන්ති බලයක් තුල ධනපති පාලනය පෙරලා දමා නිර්ධන පංතිය අතට බලය ලබා ගැනීමට එරෙහිව කල යුත්තේ කුමක් ද යන්න මනාව අවබෝධකරගත් බණ්ඩාරනායක සඟ,වෙද,ගුරු,ගොවි,කම්කරු ලෙස නව න්‍යායක් හඳුන්වා දෙන ලදි. සඟ මුලටත් කම්කරු අගටත් ගෙන තම අරමුණ සමාජගත කල ඔහු විසින් බණ්ඩාරනායක චින්තනය සමාජගත කරන ලද අතර ඒ තුල සිංහල අධිපති මතවාදය සමාජයට ආරෝපණය කරන ලදි. එම චින්තනය 56 ජාතික චින්තනය ලෙස වර නැගෙන අතර ඒ තුල නිර්ධන පන්තිය වෙනුවට සිංහල ජාතිය උත්කර්ශවත්භාවයට නංවන ලදි. මේ තුල ගොඩනැගුනු නව තත්වයන් ධනපතීන් හට ඉතා වාසිදායක වූ අතර බණ්ඩාරනායක මියගියේ එම ජාතික (ජාතිවාදී) බලවේගය සමාජය තුල ගැඹූරින් තැන්පත් කිරීමෙන් අනතුරුවය. බෞද්ධ ආගම රාජ්‍ය ආගම කොට සිංහල රාජ්‍ය භාෂාව කිරීමෙන් නොනැවතී ඉන් පැනනැගුනු පීඩනයන් නැවත වටයකින් ධනපති පැවැත්ම උදෙසා ආයෝජනය කරනට හැකිවීමම බණ්ඩාරනායකලාගේ පන්තියේ ජයග්‍රහණයකි. ධනවාදයේ පැවැත්මට ආශීර්වාදයකි.

මෙලෙස ගොඩනැගුනු ඉතිහාසය තුල ඉපැරණි වම ජාතික චින්තනයට එරෙහි බව පෙන්වමින් එහෙත් ජාතික චින්තනය පෝෂණය කරමින් තම දේශපාලන අවසානය ලඟාකරගත් අතර පසු කාලීනව වමේ දේශපාලන බලය ජනප්‍රිය ධාරවක හිඳ අත්පත් කරගත් ජවිපෙ දේශපාලනය විසින් මාක්ස්වාදී දේශපාලනය ජාතික චින්තනයට සින්නක්කරවම පවරා දෙන ලදි. එබැවින් ගුණදාස අමරසේකරලාගේ සිහිනයන් මහ පොළොවේ හොඳින් මුල් ඇද ගත් අතර නිර්ධන පංති ආඥාදායකත්වය අප සමාජයට අදාල නැති විහිළුවට කරුණක් ව මිනිසුන් තුලින් නිශේධනය වී ගියේය. තව දුරටත් මාක්ස්ගේ වියමන් අපට යෝග්‍ය නැත යන අදහස සමාජයට තහවුරු කරන්නට තරම් ජාතික චින්තන මතවාදය කරපින්නාගෙන වම වේගවත් ගමනක නිරත වූ ඒ ඉතිහාසය අද වෙනත් වචන මතින් බෞතීස්ම කළ නොහැක. මතවාද බිමේ සිංහල බෞද්ධ බහුතර ජන මනස ආක්‍රමණය කරන්න චම්පික ප්‍රමුඛ සිහළ උරුමය නම් බෞද්ධ අන්තවාදී දේශපාලනය ක්‍රියාත්මක වූ අවකාශයක ජවිපෙ හෙළ උරුමයට කලින් බහුතර බෞද්ධයා අල්ලාගන්නට ගත් උත්සාහයට අදාල රුදුරු ප්‍රතිඵල ප්‍රකාශ වීමේ අවසානයක් තවමත් සනිටුහන් වී නොමැත. ඒ වෙනුවට ප්‍රභාකරන් මරා දමන ලද නන්දිකඩාල් සිද්ධි දාමයෙන් පසුව තත්ත්වය තව තවත් දරුණු වෙමින් පවතී. සොල්දාදුවා රණ විරුවා කල අපි වෙනුවෙන් අපි මේ ගෙවා දමමින් සිටින්නේ අපි වෙනුවෙන් අපි සංකල්පයේ උච්ඡතම ආස්ථානය නොවු නමුත් එහි යම් නිමේෂයක හමුවන අබසරණයි යුගයයි. මේ යුගයේ නොවිය හැකි කිසිවක් නොමැති අතර එහි එක් සංකේතයක් ලෙසට පමණක් ගලගොඩඅත්තේ ඥානසාර චරිතය තේරුම් ගැනීම වඩා යෝග්‍ය වේ.

එමෙන්ම වත්මන් රාජපක්ෂ රෙජිමය තම දේශපාලන සූදුවෙහි ජයග්‍රහණය උදෙසා නියම අශ්වයන් සහ ජොකියන් නියම වේලාවට තරඟ බිමට යොමුකරමින් සිටින බව අප තේරුම් ගත යුතුයි. එම නියමයන් තේරෙන භාෂාවෙන් මහින්දට කියා දුන්නේ වම මිසක දකුණ නොවේ. බල්ලෙක් නාවන්න ඇදගෙන යන ආකාරයෙන් යුද්දෙට මහින්දව ඇදගෙන ගිය වම මහින්දට කියා දුන් පාඩම් අද මහින්ද ඉතා හොඳින් භාවිතයට නගමින් සිටී. එම භාවිතය නිසාවෙන් කිසි දිනෙක ධනේශ්වර පාලනය අධිකරණයක විත්ති කූඩුවටක මහින්ද හෝ මහින්ද රෙජිමයේ කෙරුම්කාරයින් කැඳවන්නේ නැති බව දන්න නිසාම මහ දවාලේම සියල්ල මංකොල්ල කන්නට වත්මන් පාලකයින් ක්‍රියා කරන අතර එහි සිද්ධි සමාජයෙන් තරමක් දුරට හෝ ඈත් කර තැබුමට ගලගොඩඅත්තේ වැනි චරිත මතුකර අමු හිංගලෙන්ම පරයන්ට අබසරණ සූත්‍රය දෙසන්නට, එම සූත්‍රයට පෙරලා පහර දෙන්නට විවිධ චරිත මතුවන පරිදි පිටපත් සකසා ඇත. එම නාටකයන් ඉතා මැනවින් වීඩියෝගත කිරීමට නිර්භීත මාධ්‍යවේදීන් යොදවා ඇත. එහෙත් එම මාධ්‍යවේදීන් එතරම් නිර්භීතව මහින්ද හෝ ගෝඨාභය හෙලිදරව් නොකරන බව අපට අමතකව ඇත. ඉඳින් සියල්ලෝම රඟපාති. රට වැසියාට ඇත්තේ බලා සැනසෙන්නටය.

මෙම තත්වය අප ගැඹුරින් කියවා නොගෙන චන්ද්‍රිකා මහින්දට විරුද්ධයි යනුවෙන් සිතීමම බරපතල මංමුලාවකි. රනිල් තමයි උත්තරය ලෙස නැතිනම් සජිත් තමයි හපනා ලෙස නොඑසේනම් ෆොන්සේකා සාධකයේ පිහිට පැතීම එසේත් නැතිනම් මාදුළුවාවේ සෝභිත හිමි ජනාධිපති කොට පොදු අපේක්ෂාවන් මුදුන්පත් කරගැනීමට කටයුතු කිරීම ජාතිවාදය පෝෂණය කිරීමක් මිස අන් යමක් නොවේ. ඉහත සාධක සියල්ල මෙන්ම හකීම් සහ සම්බන්ධන් වැන්නවුන් ද ඉතසිතින් පිලිගන්නේ සහ විශ්වාස කරන්නේ ධනේශ්වර සමාජ ක්‍රමයයි. එහි ජාතිවාදී බල දේශපාලනයයි. ඔවුනගේ පැවැත්ම ඇත්තේ ඒ මඩගොහොරුව තුල මිස ඉන් පිටත නොවේ. ඔවුන් විවිධ වචන හරඹ හරහා ප්‍රතික්ෂේප කරමින් සිටින්නේ වාමාංශික පැවැත්ම වුවද ඒ බව සඟවා කතා කරනට තරම් ඔවුන් කපටි ආරක්ෂකයින් වී සිටිති. එබැවින් නව ලිබරල් ධනවාදය තුල වත්මන් දේශපාලන භාවිතයන් උඩින් අතගෑම එදාවේල දේශපාලනයේ කොටසක් වන අතර එය මිනිස් සමාජයක සාමූහික ජයග්‍රහණයට ‍පිටුපා යාමකි. එබැවින් අප කල යුත්තේ ජාතිවාදය නැවත වටයකින් මිනිස් සමාජය විනාශ කරනා එම මතවාද සියල්ල පොඩිපට්ටම් කර දැමීම වෙනුවෙන් අඛණ්ඩව එකම අරමුණක පිහිටා දැඩි අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කිරීමයි. නොඑසේ නම් තවත් ජාතිවාදී ගිනිතැබීමක් හමුවේ අපට අපේ කශේරුව පිළිබඳව මෙන්ම පණ්ඩිතමානී ප්‍රකාශයන් පිළිබඳව ලැජ්ජාවෙන් ඇඹරෙමින් වීදුරු කාමරයක නිරුවත්ව එහෙත් අපට අපව නොපෙනෙන්නට දෑස් වසා සිටීමට සිදුවීම මග හැර යා නොහැක.

ඡායාරූප- ෂෙහාන් ගුණසේකරගේ එකතුවෙන් [Shehan Gunasekara's Facebook Page]

රශ්මික ප්‍රභාත් විශ්වජිත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වෙසක් සඳ දියවෙමින්
එතකොටත් අහස් කුස
නන්දිකඩාල් පීරා
කොටි දඩයමේ ගිය
සිව්රඟ සේනා ගෙනා දා
පන සුන් රුදුරු ව්‍යාඝ්‍ර දේහය

පස්වනක් ප්‍රීතියෙන්
පිනා ගිය වැසියන්
කැවුම් කිරිබත් සමඟ
ගල් පොල් කසිප්පු ද
එක පතේ තුටින් බුදියහ
ඒ සඳඇති රෑ
තිස් වසක් තිස්සේ
අපේ ලොමු ඩැහැ ගැන්වුව
රුදුරු කොටි භීතිකාව
දැන් ඉතින් අවසනැයි
ඔල්වරසන් දෙමින්

වගේ වගක් නැත කිසිවෙකුට
දඩයමේ සතුට මිස
දඩ බිමේ පෑ විකුම් ගැන
උදම් අනනවා මිස
ජාතියක් ජම්මයක් නැති
කොලු ගැටයෙකුට හැර

‘ඇයි තාත්තේ මේ කොටි රජා ට
අපි මේ තරම් බය උනේ ?'
ගල් ෂොට් එකක් උගුරට
හලා ගනිමින් සිටි
උගේ පියා වන් එකෙකු
ප්‍රශ්න කළ විට

'මූ අපිව, අපේ වරිගයම
නසන්නට ඉපදුනු එකෙක්
හීනෙනුත් අපව බිය වැද්දු
නොසන්ඩාල තිරිසනෙක්
මූත් මුගේ සනුහරෙත්
නොනසා අප කෙසේ අත් පා
දිගැර නිදා ගන්නද?'

නොඉවසුම් කොල්ලා ගේ
කටට කිරිබත් ගුලියක්
අතට සිංහ කොඩියක්.

'ඉතින් මූ ඉපදුනේ කොහොමද
රුදුරු කොටියකු තබා
පූස් පැටියකු වත්
නොපිළිසිඳෙන
අහිංසක සිත් සතන් තුළ? '

කාලය නසනු කුමකට
හයක් හතරක් නොතේරෙන
කොල්ලෙකුට උත්තර බඳින්නට
කොටි උවදුර නිමයි
ආශ්චර්යය අත ලඟයි
කමු බොමු සුකමු
සැනසෙමු
ජීවිතය විකසිතව ඇත

ඒ වෙසක් සඳ දියවීම ගියා
වසරින් වසර
යලි යලිත් නැග බැස ගියා
මියගිය උන් වෙනුවෙන්
මිනිස් නෙතඟකට
කඳුළක් නැගෙනු නොදැකම

ආතල් වුනත් ජීවිතේ කොච්චර
කොටියා නැතුව පාලුයි.

ලේ සුවඳ නොවකෙන සුළඟ
සීතල උනත් කුමකට
T20 දිනුවාට
වෙඩි හඬ නැතුව ගැම්මක් කොයිද
ඇත්ත තිරිසනෙකු නැති තැන
යුනිෆෝම් මොකටද
කහපාට කොලපාට

ඉතින් අපි සොයාගමු
නැතිනම් හදාගමු
කොටියෙක්ම බැරි නම්
වලහෙක්,නරියෙක්
අහිංසක වුනත් විස කටු ඇති
ඉත්තෑවෙක්
අඩුම තරමින් හිකනලෙක් හරි.

නාලිනී එන්න
එන්න උස්සා බලන්න
ෆාතිමාගේ මොට්ටක්කිලිය
එයට වහන් වී ඇති
ඈ සතු නුඹ ලඟ නැති
සතුට කුමක් දැයි

සිරිපාල එන්න
එන්න ගලවා බලන්න
කාසිම් ගේ රවුම් තොප්පිය.
තොප්පි දැමීමෙන් ඌ විඳින
අපි නොවිඳින සොමිය කිම් දැයි.

හැම පෝයටම දිදුලන
සඳ අයිති අපටයි.
උන්ට කුමකට සඳේ වගක් ?

හඳේ ආතල් කඩමු
බිය වද්දමින් උන් හැම
රාමලාන් සඳ බලන.

අැවිස්සෙන්නෙම නැත්නම්
කඩා වදිමු ගමකටම
කපමු කොටමු ගිනි තියමු
මැරුවත් මොකද එකෙක් දෙන්නෙක්
තෙරුවන් සරණ නොගිය වුන් නොවැ
පව් නෑලු එතකොට
හරකෙකු මරණ තරම් වත්

අපට ඕනා තිරිසනෙක්
යුද්ධ කල හැකි තිරිසනෙක්
උන්ගේ අතරින් හොයා ගන්නට
එහෙම නැත්නම්
හදා දෙන්නට

දරාගන්න බෑ මේ
මුස්පේන්තු පාලුව
වෙඩි හඬක් නොඇසෙන

එදා කිරිබත් ගුලිය හිරවුණු
නොඉවසුම් කොල්ලා
කොහේ කොතැනක
කියා සොයමුද
තෝරා දෙන්නට
එදා විසඳුම් නොලත්
ගැටලුව ඌට

22.06.2014

අශෝක හඳගම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



රවුල් කොට මගේ මුහුණත තෙරපමින් උන්නේ මිස්ටර් ‍ෆිගාරෝය. අලුත ස්නානය කළ අපූරු පුසුඹක් ඔහු වෙතින් වහනය වෙමින් පැවතුණි. මිස්ටර් ‍ෆිගාරෝ සිනාමුසු කෙළිලොල් ගතියෙනි. කම්මුල් කිති කැවෙන්නට ගත්තෙන් මම, මුහුණ අනෙක් පසට හැරවීමි. ඕ විස්මිතව මගේ මුහුණ නරඹන්නට විණ. අදහා ගත නොහැකි යමක් සිදු වූ සැටියකි.

"මට උණ"

"ඉතිං"

"රැවුල් කොට මූණෙ ගාන්නෙපා. කිඹුහුම් යාවි"

"ඉතිං"


මිස්ටර් ‍ෆිගාරෝ මහත් කුතුහලයෙන් සනීප ඇද මත වැතිරීගෙනය. හිස දෙපසට සොලවමින් යාන්තමින් තෙත ගතිය ඇති හිස වේලා ගන්නට තැත් කරන ගමන්ය.

"ඉතිං කියලා එකක් නෑ. එපා"

"එපා කියන්නෙ මොකක්ද"

"එපා කියන එකට තව වචනයක් නෑ. එකයි තියෙන්නේ. 'එපා'. ආං එච්චරයි."


මිස්ටර් ‍ෆිගාරෝ අනෙක් පසට හැරෙමින් වම් අතේ නියපොතු පරීක්ෂා කරන්නට විය. අඩු වියදම් සිවිලිම මත හූනෙකු දිව යන්නට වූයේ මදක් නතරවිල්ලේමය. එකියක පස්සෙන් එනු පෙනේ. හරියටම බල්බය ඇති තැන රවුම් කට උඩ නතර වූ හූනා අත් පිච්චෙනවාක් මෙන් අභිනයක් දක්වමින් බිත්තිය දිගේ බැස යන්නට විය. පසුපසින් ආ තැනැත්තිය පාර වැරදුණාක් මෙන් මද වෙලාවක් එකල, මෙකල වෙමින් සිට සිවිලිමේ දකුණු අන්තය වෙත කකුල් අද්දන ගමනින් යන්නේ නොකමැත්තෙනි. මිස්ටර් ‍ෆිගාරෝ කතා නැතිව මේ රංගනය බලා හිඳියි. ඔහු නම් අමනාපයෙනි.

"ඔයා තරහා වුණාද මිස්ටර් ‍ෆිගාරෝ"

"ඔව්. මම තරහ වුණා"

"මොකෝ ඉතිං තරහා වෙන්නේ"

"එහෙම තමයි. තරහා වෙනවා."

"ඊට පස්සෙ"

"යාළු වෙනවා"

"ඊටත් පස්සෙ"

"තවත් මොකක් හරි වෙනවා"


හේ යළිත් ‍රැවුල් කොට මගේ මුහුණ පුරා තවරන්නට විය. හිසේ බරට බිමට කිදී ගිය කොට්ටය මත උඩුබැලියෙන් උන් මම, වම් ඇලයට හැරෙන්නට හැදූයෙන් මිස්ටර් ‍ෆිගාරෝ කලබල විය. කිවිසුම් යන්නට නියමිතව තිබූයේ මට වුවත් මෙවර කිවිසුම් ගියේ ‍ෆිගාරෝටය. එසැනින් ඔහුගේ දෑස් දිලිසෙනු මට පෙනුණි. අඩු වියදම් සිවිලිම උඩ හූනෙකු සහ පළා පෙත්තෙකු අතර ද්වන්ද සටනකි. හූනා වම් අන්තයේ සිට දකුණු අන්තයට දිව යන්නේ නැට්‍ටුවෙකු ගිනි කන්නාක් මෙන් කලබලයෙනි. පළා පෙත්තා සිවිලිමේ හරි මධ්‍යයට වෙන්නට ඔහේ එකතැන හිටගෙන හිඳී. තමා සටනකට කැදවා ඇති බවක්වත් නොදන්නා සැටියකි. පියාපතක් ඔසවා යළිත් ඒ බිම හෙළමින් පියඹා යන්නට සිතා යළිත් එතැනම නතර වූයෙන් දඩයම්කාර හූනා මායම් වී පළා පෙත්තාගේ බො‍ටුව කන්නට පැන්නේය. මිස්ටර් ‍ෆිගාරෝ මෙවන් සටන් නැරඹීමට ලොල්ය. දිලිසෙන දෑසින්, බාගෙට විවර වුණ මිවින් යුක්තව හේ බලා හිඳින්නේ නළලද ‍රැළි කර ගෙනය.

"ෆිගාරෝ.... මිස්ටර් ‍ෆිගාරෝ"

මම වම් ඇලයෙන් දකුණු ඇලයට මාරු වෙන අතර ඔහු ඇමතීමි.

"ෂ්... ෂ්... ෂ්... කෑ ගහන්න එපා. එයාලට ඇහේවි."

"කාටද"

"අර සිවිලිමේ ඉන්න දෙන්නට"


‍ෆිගාරෝ ඇසින් මට සිවිලිම පෙන්වන අතර බැරෑරුම් මුහුණින් නිහඬව සිටින ලෙසට අණ දෙන්නට විය.

"මළ සමයං. ඕකත් බලන්න දෙයක්ද"

‍ෆිගාරෝ සැනින් මගේ දකුණු අතේ බාහුව කෙනිත්තීය.

"ඌයි"

පළා පෙත්තා වහ, වහා බැලීයේ පහළින් නැඟී ආ ශබ්දය දෙසය. පළා පෙත්තාගේ බො‍ටුව කන්නට පැන්න හූනාගේ සමබරතාවය නැති වී ගියාක් සේය. 'තඩ්' හඬ නඟමින් දඩයම්කාර හූනා ඇද මතට පතිත විය.

මිස්ටර් ‍ෆිගාරෝ දෙවරක් නොසිතමින් තම ලා‍ටු දිව එළියට දමමින් හූනාව ගිල දැමීය.

"චීයියා ජරාව. පලයං යන්න මෙතනින්"

මිස්ටර් ‍ෆිගාරෝ කොට්ටා අත් බිමට තබමින්, බූල් නැට්ටද අහසට ලෙළවමින් යන්න ගියේ රෞද්‍ර බැල්මක් මට හෙළමිනි.

"මළ සමයං. මං හූනෝ නොකා කුකුල්ලු කන්නයෑ"

කාංචනා අමිලානි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"බලාපොරොත්තුව... !!. මතක තබා ගන්න... ඒ තමයි හොඳම දෙය. හොඳ දේවල් කිසිදු දිනෙක මියැදෙන්නේ නැත...."

Tim Robbins Morgan Freeman ගේ The Shawshank Redemption සිනමා කෘතිය පිළිබඳ සාකච්ඡාව සහ සිනමා කෘතිය ප්‍රදර්ශනය 2014 ජුනි මස 29 වන දින සවස මීගමුව මාරිස්ටෙලා විදුහල් ශාලාවේ දී සිදුකෙරේ.

සවස 4.00 ට - සිනමා කෘතිය පිළිබඳ දේශනය - විදර්ශන කන්නංගර

සවස 5.00 ට - සිනමා කෘතිය ප්‍රදර්ශනය

සංවිධානය - විණැන මාධ්‍ය හා කලා පදනම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සඳු තනිව තරුව බිම වැටුණු හැටි
අඳුරුතම දින අතර හිඳින හැටි
සොඳුරුතම ඇස් අගට තැලූ හැටි
දෙමළ පපු පැලූ පසු... ඉස්ලාම් මල් පෙති

ඇහිඳින්න කඳුළු කැටි රත් රුහිරු ඇති හැටි
විහිදන්න ආදරය වෛරයට ළඟම ඇති
මොහිදින්ගෙ අම ස්වරය නිවන යට ඇසූ හැටි
මිහිදන්ය මතක වත; එය නොවෙද සිංහ ගති

කෑමෙන්ද බීමෙන්ද අඩුපාඩු නොකළ හැටි
යෑමෙන්ද ඊමෙන්ද දුක සතුට සෙවූ හැටි
දීමෙන්ද ප්‍රේමෙන්ද අවුරුද්ද ගෙවා ඇති
මොහොමඩ්ට අස්රාට දුටුවාද ගහපු හැටි

උජාරුව හිස දරන් බුදුන් යළි මැරූ හැටි
සුජාතද පොලු අරන් ඔළු පලා වඳින හැටි
හිජාබය අද්දරින් සඟවගත් මුවක් ඇති
අනාගත සිහිනයට ජීවිතය එතැන ඇති!

කසුන් මහේන්ද්‍ර හීනටිගල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වසන්තය අග - ගිම්හානයට පෙර
පිපුණු කුසුම් වල වස මුසු ව ඇත
මකරන්ද සුළඟේ එතෙන විට
සුවැති මද නල නුඹ නසනු ඇත

සබඳ, මතක ද අඳ කුඹුර ළඟ
මොට්ටැක්කිළියෙන් වසාගෙන හිස
අහිංසක සිනාවෙන් සිත් නිවූ ඇය
ඇගේ දෑස මිස,
නම මතක නැත...
ඇනිකට් එක ළඟ මාළු නටන තැන
සිනාසුණු තංගමනි මතක ද?
පුංචි රතු මොට්ටුව
තියා නළලත පිච්ච මල් වැල් හිස පැළඳු ඇය..

දහම් සදහම් ගැටෙන විට
නෑකම් අමතක ද නුඹට
එක පත බෙදා ගත් මිනිසුන්
එදිරි වී එයි අවි අමෝරාගෙන..
වැව් බැම්ම උඩ පන්දු කෙළින තැන
රාඝවන් නැත මොහොමඩ් ද අද නැත
පාළු කතරකි සිනා හඬ නැති
දවන දුහුවිලි සුළඟපමණ ය..

සුදු වැලි අතුල මාවත කෙළවර
රතු ලේ තැවරුණු පාට මැකී ගිය
හිසෙන් ගිලිහුණු පිච්ච මලක් ඇත
පොසොන් සඳ මැකී
රාමලාන් සඳ නැගෙන විට
බිම බලා ගත් පලු ගසක් යට....

[ඡායාරූපය: දිනුක ලියනවත්ත/Reuters]

නජාත් අක්රම්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සුපටිපන්නෝ උජුපටිපන්නෝ
ගිනි තියනවද පන්න පන්නෝ
ඥායපටිපන්නෝ සාමීචිපටිපන්නෝ
ගල් ගහනවද පන්න පන්නෝ

පොසොන් සඳ බැසයන්නටත් කලියෙන්
දෙවනපෑතිස් මිනිස් දඩයමේ යාද
රාමලාන් සඳ නැඟෙන්නත් කලියෙන්
උපවාසයට පෙර මිනීමස් ඕනාද

වැඩවසම් ආගමක් - ගෝත්‍රික ආගමක්
වැඩිම අවිහිංසාව පෙන්නන්න යුද්ධයක්

දර්ගාව මත හැළෙයි
මුරුගසං වරුසාව
පැත්තකට වීසි කර
අල්ලාව බුද්ධාව
අවදි කළ යුතුව ඇත
නිදිකිරන 'මිනිසාව'

මරණය අඩුද
බර වැඩිවද නින්දාවේ
'දුර්ගා' බලාවත්
හැදියව් දර්ගාවේ....

රුවන් නෙලූ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"නටන්න එන්න එපා.. නැටුවොත් දෙවෙනි පියවර බේරුවල, අලුත්ගම යනාදී වශයෙන් මේ තියෙන කඩ සාප්පුවලට අබ සරණයි!" (ජනතාවගෙන් ප්‍රීති ඝෝෂා)
-ගලගොඩඅත්තේ ඥාණසාර හිමි, 2014 ජුනි 15 දින අලුත්ගම බොදු බල සේනා රැළිය අමතමින්

පසුගිය දින කිහිපය තුළ යුධ පිටියක් වූ අලුත්ගමට දැන් යළි දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පනවා තිබේ. ගැටුම්වලට හේතුව ලෙස විවිධ කාරණා ගෙන හැර පෙන්වන අතර බෞද්ධ භික්ෂුවකට පහර දුන්නේය යන සිද්ධිය ද සිංහල දරුවෙකුට මුස්ලිම් කඩයක් තුළ සිදුවී යයි කියන අපචාර සිදධියක් ද ඉන් ප්‍රධාන තැන් ගනියි. ඉන් අනතුරුව බොදු බල සේනාව අලුත්ගමට පිවිසි අතර බොබසේ විසින් කරන ලද ලේ උණු කරන ජාතික ආමන්ත්‍රණයෙන් ඔද වැඩී ආපසු යමින් සිටි සිංහලයින්ට මුස්ලිම් ජාතිකයින් විසින් පහර දුන් අතර ඊට පිළිතුරු ලෙස මුස්ලිම් ජාතිකයින්ට අයත් කඩ ගිනි තැබිණි. මේ වන විට අලුත්ගම ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති අතර මුස්ලිම් සිංහල සියලු දෙනා පසුවන්නේ බියෙනි.

මේ වන විට මෙම උණුසුම මතුගම වැනි ප්‍රදේශ දක්වා ද පැතිරී ඇති අතර මතුගම ද මුස්ලිම් කඩ සප්පුවලට ගිනි තබා ඇත. එමෙන්ම කට වචනයෙන් සහ විවිධ ආරංචිවලින් තොරතුරු දැනගන්නා ජාති මාමක පිරිස් මතුගම තරම් ඈත සිට මෙන්ම අවට ගම්වලින් ද විවිධ වාහනවල නැගී අවුත් අලුත්ගම මුස්ලිම් කඩවලට ගිනි තබා තිබුණි. ඔවුන් ගණනින් දහස් ගණනක් වූ අතර මේ වන විටත් කිසිවෙකුත් සාමකාමී එළඹුමකට පිවිස නැත. අද වන විට දෙහිවල වෙළඳ සැලකට ගිනි තබා ඇති අතර ගැටුම්වලින් සිදු වූ මරණ පිළිබඳ සංඛ්‍යා ලේඛණ ද මේවන විට නිකුත් වෙමින් පවතියි. මේ ව්‍යසනයේ ව්‍යාප්තිය සහ එහා ප්‍රතිඵලය සිතා ගැනීමටත් අසීරු බියකරු එකක් පමණක් බව ජාතිවාදයේ බොහෝ සිදුවීම් අත් දැක ඇති අපි කවුරුත් දනිමු.



ඊයේ රාත්‍රී 9 ට පමණ අපගේ හිතවතෙකු, ආරක්ෂිතව පසුවන්නේදැයි විමසීමට අලුත්ගම වසන සිය ඥාති සහෝදරියකට කතා කළ විට ඇය සහ දරුවන් ඇතුළු නිවැසියන් සිට ඇත්තේ නිවස ඉදිරිපිට පාරේ ය. නිවස තුළට වී නිදා ගැනීමට හැකියාවක් නැත්තේ මුස්ලිම් පිරිසක් පැමිණ නිදා සිටින විට ගිනි තබාවිදැ යි යන බියෙනි. උදේ හවා කතා බහ කළ අසල්වැසි මුස්ලිම් කිහිපයකට අයත් නිවෙස් මඳක් එහායින් ගිනි ගෙන දැවෙයි. අහල පහල සියලු සිංහල පවුල්වල පිරිමින් ඇඳිරි නීතිය නොතකා ප්‍රධාන පාර අසල රැස්ව සිටින්නේ සිය නිවෙස්වලට ප්‍රහාරයක් එල්ල කරනට පිරිසක් පැමිණියහොත් එය වලක්වන අටියෙනි. ඇඳිරි නීතිය කඩ කරන බැවින් පොලිසිය හා එම පිරිස අතර බහින්බස් වීමකි. හෙට වාර විභාගයට පෙනී සිටිය යුතු එකොලොස් හැවිරිදි දියණිය බියේ ගැහෙමින් අම්මා ගේ අතක එල්ලී පාරේ නිදි මරයි.

එම සිංහල බෞද්ධ සහෝදරිය මෙන්ම ගමේ සිංහල මුස්ලිම් කාගෙත් ලෙඩට අත්බේත් කළ ඇගේ අසල්වැසි ෆර්සානා ද ජීවිතයට ඇති බිය නිසාවෙන් අසල ඇති පල්ලියක ආරක්ෂාව පතා ගොසිනි. අලුත්ගම නගරය හරහා ගමන් ගත් වාහන, බස් රථ සහ දුම්රියන් අලුත්ගම දී සහ බේරුවල දී නතර කරමින් මුස්ලිම් මිනිසුන් එළියට ඇද ගනිමින් පහර දී තිබුණි. අනෙක් අතට අලුත්ගම කාදියවත්ත හරහා ගමන් කළ සිංහල මිනිසුන්ට ද ඇමති වාහනවලට ද මුස්ලිම් පිරිස් ගල් මුල් ප්‍රහාර එල්ල කර තිබුණී.

මේ තාක් මේ ගමේ මඟුලට තුලාවට එකතු වුණු පෙරහැර කාලයට එකට පෙරහර බැලූ, දෙවොල් මඩු කාලයට එක්ව දෙවොල් මඩු බැලූ අවුරුද්දට රාමසාන් කාලයට කෑම පිඟාන බෙදා ගත් මිනිසුන් දැන් එකිනෙකාට බියෙන් මහ මඟට බැස වෙවුලමින් හිඳිති.

අන්තවාදී ආගමික කල්ලි විසින් ආසන්න අවුරුදු කිහිපය තුළ අවුලවමින් සිටි ආගම්වාදී ජාතිවාදී උමතුවේ ගිනිදළු දැන් අලුත්ගමින් නැගෙයි. එයින් අලුත්ගම සාමාන්‍ය මිනිසුන් පිළිස්සෙයි. සාමාන්‍ය මිනිසුන් තවමත් සිය පවුල්වල ආරක්ෂාව පතා දුව පැන ඇවිදින විට දේශපාලන ආශිර්වාදය සහිත අන්තවාදී ආගමික කණ්ඩායම් ඒ සාමාන්‍ය මිනිසුන් තුළ ඇවිලවිය හැකි ගින්නට ජාතිවාදයේ පිදුරු දමයි. සාමාන්‍ය පුරවැසියන් එහෙම ය. පිදුරු දමන්නට දමන්නට ඇවිලෙයි. මේ රටේ දේශපාලන පක්ෂ ද අන්තවාදී කණ්ඩායම් ද ආක්‍රමණිකයින් ද සියවස් ගණනක් තිස්සේ ප්‍රයෝජනයට ගත්තේ ඒ ස්වභාවය යි. "ගහපියව්" කියූ විට ගහන්නට ද "ගිනි තියපියව්" කියූ විට ගිනි තියන්නට ද "බෙලි කපපියව්" කියූ විට කඩුව ගන්නට ද නැගිටින සිංහල ද්‍රවිඩ මුස්ලිම් අපේ මිනිස්සු මේ අන්තවාදී න්‍යාය පත්‍රවල ගොදුරු වෙමින් එකිනෙකා මරා ගනිති.



හුදු කේවල සිද්ධීයක් ජාතියකට එරෙහිව ජාතියක් නැගී සිටීමක් ලෙස අර්ථ දැක්වීමට මේ මිනිසුන්ට පුරුදු කළේ කවුරුන්ද? අදාල සිද්ධීන් පොදු නීතිමය පරිසරය තුළ විසඳා නොගෙන බොබසේ/සිංහල රාවය වැනි අන්තවාදී සංවිධාන වලට ඒවා ට මැදිහත්වීමට හැකි වාතාවරණයක් නිර්මාණය කළේ කවුරුන්ද? උදේ හවා මාධ්‍යවලින් ද ප්‍රසිද්ධ සම්මන්ත්‍රණ රැළි තබමින් ද වැපිරවූ ජාතිවාදය සහ ආගම්වාදය ට ආශිර්වාද කළ දේශපාලනඥයින් ට අවශ්‍ය වූයේ ද මෙයම නොවේද? පසුගිය කාලය පුරාම අන්තවාදී කොටස් විසින් අවුලුවන වන ලද ගිනිපුපුරුවල උෂ්ණත්වය රට පුරා පැතිරුණු අතර ජාතියේ ආගමේ නාමයෙන් පුපුරන්නට බලා සිටි මිනිසුන්ට අවශ්‍ය වූයේ කුමක් හෝ සිද්ධියක් පමණි. දුර දිග නො බලන අලුත්ගම ජනතාවට සිද්ධි දෙකක් ම ලැබුණ අතර එහි ප්‍රතිඵලයක් ලෙස දින කිහිපයක් තිස්සේ උණුසුම් වෙමින් පැවති අලුත්ගම පිදුරු ගොඩට බොදු බල සේනාව ගොස් තෙල් තෙල් දැමුවේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ප්‍රසිද්ධියේ බණින ගලගොඩඅත්තේ ඥාණසාර ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ප්‍රශංසා කොට ලකුණු දමයි. ජනාධිපතිවරයාට චෝදනා කරන්නට මේ දූපත තුළ ඔහුට එවන් බලයක් ආරෝපණය වන්නේ කෙසේදැයි බුද්ධිමත් ජනතාව වටහා ගත යුතුය.

නීතිය හා සාමය රැකීමට හා පොදු ජනයා අපහසුතාවයට පත්වීම වැලැක්වීමට යැයි කියමින් සරසවි සිසුන්ගේ සාමකාමී විරෝධතා වලට පවා වාරණ නියෝග ගන්නා පොලීසිය, ආගමික ගැටුමක මුවවිට- කොයි මොහොතක පුපුරා යා හැකිදැයි නොදන්නා තත්වයක් යටතේ 'ඊනියා' බොදු සමුලුවක් සඳහා අවසර ලබාදෙයි.

රට තුළ ඇති ආර්ථික සමාජ පරිහාණිය මත ගොඩ නගන සිය රාජ්‍ය බලය ට එරෙහිවන සියලු ආකාරයේ සවිඥානික තත්ත්වයන් මැඬලීමට ඇති අවිය වන්නේ ආගමික/ ජාතික අන්තවාදය යි. අර්බුද සහිත ඕනෑම රටකට පොදු තත්ත්වයක් වන මෙය ඉන්දියාවේත් එහෙමය. ලංකාවේත් එහෙමය. එය ඡන්ද තියනවාටත් වඩා පහසු ය. මන්ද ආගමික සහ ජාතික පිස්සුව මේ රටවල ජනතාවට හොඳ හැටි එන්නත් කොට ලේවලට කවා ඇති බැවිනි.

අවසානයේ කෙසේ හෝ ඇවිලීයන වර්ගවාදී/ආගම්වාදී ගිනිදැල් වලින් විනාශයට පත්වන්නේ දෙපාර්ශ්වයේම අහිංසක මිනිස් ජීවිත මිස මේවා පසුපස ඉන්නා සැලසුම්කරුවන් හෝ ඔවුන්ගේ දරු- පවුල් නොවේ. 1958 සහ 1983 දී කරනු ලැබූ මෙවැනිම වර්ගවාදී මුග්ධකම් හේතුවෙන් අපි රටක් වශයෙන් දශක තුකට වැඩිකාලයක් මුලුල්ලේ වන්දි ගෙව්වෙමු. දැන් නැවතත් තවත් වටයකින් එම ඉතිහාසයම රඟදැක්වෙනු පෙනේ.

ඊයේ පුපුරා ගිය සිදුවීම වූ කලී පැහැදිලි ලෙසම හුදකලා සංසිද්ධියක් නොවේ. එය වසර කිහිපයක් මුලුල්ලේ ක්‍රමක්‍රමයෙන් පෝෂණය කරන ලද මතවාදයක තාර්කික ප්‍රතිඵලයයි. දැන් රටක් සහ ජනතාවක් ලෙස අප හමුවේ ඇත්තේ සිංහලයින් වෙනවාද මුස්ලිමුන් වෙනවාද දෙමළුන් වෙනවාද යන ගැටළුව නොවේ. තව කොතෙක් කල් දේශපාලකයින්ගේ සහ ආගමික නායකයින්ගේ පටු ආගමික ජාතික වැඩපිළිවෙලවල්වල ඉත්තන් වෙනවාද, සියල්ලන් වැනසී යාමට පෙර මිනිසුන් ලෙස ශේෂ වීම සඳහා අප කුමක් කළ යුතු ද යන පැණය යි.



(ඡායාරූප- BBC වෙබ් අඩවියෙන්)

බූන්දි වැ.දෙ.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails