Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"මචං මුස්ලිම් අය දැන් හැමතැනම. උන් බෝවෙනවත් වැඩියි. මෙහෙම ගියොත් මුළු රටම කවදහරි මුස්ලිම් වෙනවා." මගේ මිත්‍රයා කීවේය.

මේ මගේ මිත්‍රයා තුළ පමණක් නොව මුළු රට පුරාම වසංගතයක් මෙන් පැතිරුණු බියකි. භීතිකාවකි. සිංහල බෞද්ධකම ගැන බොහේ කැක්කුමක් ඇති බව පෙන්වන චම්පික වැනි ගරු ඇමතිවරු ගණන් හිලව් ඇතිව මේ බැව් සනාථ කරන්නට තැත් දරති. ලංකාව පුරා පමණක් නොව ලෝකය පුරාද ඔවුන් වර්ධනය වීම පිළිබඳව ගණන් හිලව් සහිතව පෙන්නුම් කෙරෙන "වීඩියෝ ක්ලිප්" එකක් මමද දිටිමි. දෙමළාගෙන් මඳකට විතැන් වෙමින් මෙම භීතිකාව අද මුස්ලිම් ජනයාට එරෙහිව එල්ල වෙමින් පවතී.

මේ ආකාරයේ භීතිකාවන් සෑම යුගයකම පැවති අතර ඒවායේ ප්‍රතිඵලය වූයේ කුමක්දැයි විමසා බැලීමද වටී.

බයිබලීය විමසුම

"හේබ්‍රෙව්වරුන්" ලෙස හැඳින්වුණු ජන කොටසක් මිසරයේ ජීවත් විය. මොවුන්ගේ වර්ධනය වීම තර්ජනයක් ලෙස මිසරයෝ දුටුහ. මිසර රාජ නීතිය මගින්ම විවිධ පීඩාවන් හා රාජ්‍ය මර්දන නීති රීති යොදා ගනිමින් මේ ජනයා මර්දනය කරන්නට කටයුතු කළහ. ඒ සඳහා අලුතින් උපදින පිරිමි දරුවන් මරා දැමීමේ ඝාතන උපක්‍රම පවා ක්‍රියාත්මක විය. (නික්මයාම 1/ 8- 22) එහෙත් අවසානයේ සිදු වූයේ කුමක්ද? මර්දනය විසින් මෙම ජනතාව එකමුතු කරන ලද අතර සංවිධානය වී ජාතික වශයෙන් ද ආගමික වශයෙන් ද ශක්තිමත් වී ලෝකයටම බලපෑම් කළ හැකි වූ ඊශ්‍රායෙල් හා ජුදා ජාතිය බිහි විය.

ජේසුතුමාගේ යුගය වන විට මිසරයේ වහල්කමේ සිටි හේබ්‍රෙව්වරුන්ගෙන් බිහි වූ ඊශ්‍රායෙල් වංශයේ නායකයෝ ජේසුතුමාගේ ආගමික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ වර්ධනය තර්ජනයක් ලෙස දුටුහ. ඔවුහු උන් වහන්සේ ඝාතනය කර එය මර්දනය කරන්නට කටයුතු කළහ. එහෙත් සිදු වූයේ එහි අනිත් පැත්තය.

අනතුරුව බයිබලයේ එළිදරව් පොතට සම්බන්ධ නීරෝ නම් රෝම අධිරාජ්‍යයාගේ සිට බොහෝ රෝම පාලකයන් අති දරුණු නීති රීති හා වද හිංසා පමුණුවමින් නිල හා නිල නොලත් ඝාතන ක්‍රියාදාමයන් අනුගමනය කරමින් නව ක්‍රිස්තියානිය මර්දනය කරන්නට කටයුතු කළහ. එහෙත් අවසානයේ සිදු වූයේ ලොව මැ වසාගෙන ක්‍රිස්තියානිය පැතිරීමය.


හිට්ලර්- ජාතියේ ආඩම්බරකාර පියා

හිට්ලර්

ලෝකය තුළ එදා මෙදා තුර මේ "ෆෝබියාව" (භීතිකාව) විවිධ ආකාරයෙන් අඩු වැඩි වශයෙන් මිනිසුන් තුළ ක්‍රියාත්මක වනු දැකිය හැකිය. අනෙක් මිනිස් කොට්ඨාසයන් තමනට තර්ජනයක් ලෙස දැකීම නිසාම ලෝකය පුරා සිදු වූ හිංසා පීඩාවන් ඝාතන හා අමානුෂික ක්‍රියාදාමයන් ලෝකයට උසුළන්නට බැරි තරම් දරුණුය.

මේ ෆෝබියාවේ සුපැහැදිළිම සංකේතය හිට්ලර්ය. ශුද්ධ ජර්මන් ජාතිය ලෝකයේ ශ්‍රේෂ්ඨතම ජාතිය යැයි සිතූ ඔහු එම ශ්‍රේෂ්ඨත්වයට ඇති තර්ජනය ජුදෙව්වන් බව සිතීය. එකළ හිට්ලර්ගේ "දේශප්‍රේමී චින්තනයෙන්" ඔද වැඩුණු ජර්මානුවෝ හිට්ලර්ට අත්පොළොසන් දුන්හ. ජර්මානු ජාතිය ලොව ශ්‍රේෂ්ඨතම ජාතිය යැයි සිතීම තුළ ඒ වෙනුවෙන් හිට්ලර් ජුදෙව්වන් ලක්ෂ ගණනින් මරා දමද්දීත් ඔවුහු එය අනුමත කළහ. මේ වන විට හිට්ලර්ගේ දේශප්‍රේමී චින්තනය විසින් කරන ලද කුරිරු කම් ගැන ලජ්ජා වන්නට ජර්මානුවන්ට සිදුව ඇත.

ඇමරිකාව, කළු ජාතිකයන්ගේ වර්ධනය තර්ජනයක් ලෙස දුටු යුගයක් තිබිණි. කළු ජාතිකයන් නීතියෙන් ද අවනීතියෙන් ද ඇමරිකානු සුදු ජාතිකයන් විසින් මර්දනය කරන්නට දැරූ ප්‍රයත්නයන් නිසා මාටින් ලූතර් කිං ඇතුළු බොහෝ දෙනාට ජීවිත පවා අහිමි වන්නට තරම් එකී වර්ගෝන්මාදය බිහිසුණු වී තිබිණි. මේ ඊනියා ෆෝබියාවෙන් මිදීම ඇමරිකාවේ සැනසිල්ලටත් ශීඝ්‍ර ධනේශ්වර දියුණුවටත් දායක වී ඇත. (ඇමරිකාවේ ආර්ථීක ප්‍රතිපත්ති නිවැරදි යැයි මින් අදහස් නොකරමි.)

රුවන්ඩාවේ බහුතරය වූ හුටූ ගෝත්‍රිකයන්, ටුට්සි ගෝත්‍රිකයන් තර්ජනයක් ලෙස ගෙන බුරුතු පිටින් මරා දැමූ ආකාරය ගැන අද ඔවුහු ලෝකය ඉදිරියේම ලජ්ජාවටත් කණගාටුවටත් පත් වී සිටිති.

ෆෝබියාව වූ කලී....

ෆෝබියාව වූ කලී මනෝ ව්‍යාධියකි. සර්පයා දෂ්ට කරන්නේ බයටය. අනෙකා තමාට අනතුරක් බව දැනෙන විට ඌ දෂ්ට කරයි. වාර්ගික හා ආගමික ෆෝබියාව ද එසේය.

ලංකාව ද බොහෝ කාලෙක සිටම විවිධ ෆෝබියාවලින් පෙළෙති. අතීත වැඩවසම් හා නොදියුණු සමාජය තුළ මෙය තේරුම් ගත හැකිය. එහෙත් මෙතරම් දියුණු දැනුමක් සහිත සමාජයකින් යුත් ලෝකයක මෙය හිනා නොයන භයානක විහිළුවකි. අභාග්‍යය මේ ව්‍යාධියෙන් පෙළෙන්නන් රාජ්‍ය පාලනයට ද සම්බන්ධ වී සිටීමය. ඔවුන් රාජ්‍ය තාන්ත්‍රික බව අමතක කර ව්‍යාධියටම ඉන්ධන දමති. දැන් මේ ෆෝබියා වෛරසය මුළු රටටම ඔවුන් විසින් බෝ කර මුළු රටම ලෙඩ කර ඇත.


2014 ජූනි- අබ සරණ ලේ සැණකෙළිය. අළුත්ගම/ බේරුවල.
ඡායාරූපය- ෂෙහාන් ගුණසේකර


ලංකාවේ ධනේශ්වර ගැති පාලකයන්ට මේ ෆෝබියාව නැත. එහෙත් බටහිර හා පෙරදිග ධනේශ්වර ආර්ථීක සැලසුම්වලට ගැතිකම් කරන ලාංකීය පාලකයෝ මේ ව්‍යාධියෙන් පෙළෙන්නන් රාජ්‍ය පාලනයට සම්බන්ධ කර ගනිිති. එසේ කිරීම මගින් ධනේශ්වර පාලනයට හා සූරා කෑමට දේශීය සළු පිළි හන්දවති. එමගින් ධනේශ්වර ආර්ථීක සැලසුම් සඳහා ඊනියා දේශප්‍රේමය පාවිච්චි කරති. මෙය කපටිකමකි. ඉංග්‍රීසි ජාතික ලේඛක සැමුවෙල් ජොන්සන්, "දේශප්‍රේමය යනු කපටිකමේ අවසන් සරණාගතයාය!" යැයි කීවේ ඒ නිසා විය හැක.

වර්ධනය හා තර්ජනය

වර්ධනය තර්ජනයක් සේ දැකීම තුළ ප්‍රතිඵල 2 ක් බිහිවනු දැකිය හැක.
1. ප්‍රචණ්ඩත්වය උත්පාදනය වීම
2. වර්ධනය ශක්තිමත් වීම

ලංකාවේ දෙමළ ජනයා තර්ජනයක් ලෙස දැකීම හේතුකොට ගෙන සිංහල පාර්ශවයෙන් ඔවුන්ට එරෙහිව නීතියෙන් ද අවනීතියෙන් ද කළ මර්දන ක්‍රියා පිළිවෙත්වලට අමතරව හිංසාකාරී ප්‍රචණ්ඩත්වයන් ද දැකිය හැකි විය. විවිධ වට වලින් ක්‍රියාත්මක වූ එම හිංසාකාරී ප්‍රචණ්ඩත්වයට එරෙහිව දෙමළ ජනයා තුළින් ද ප්‍රචණ්ඩත්වය මතු විය. මෙය මහා මිනිස් ඝාතන සංස්කෘතියකට මඟ පෑදුවා පමණක් නොව ප්‍රචණ්ඩත්වයට එරෙහිව එතෙක් ගොඩ නැගී තිබූ ජනතා හෘදය සාක්ෂිය මොට කර දැමීමටද හේතුකාරක විය. එපමණක් නොව දෙමළ ජනතාවගේ පැත්තෙන් ගත් කළ ඔවුනට එරෙහිව දකුණෙන් මතුව ආ පීඩනය ඔවුන්ගේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා අහෝසි කර ඔවුන් එක්සේසත් කරන්නට සමත් වී තිබිණි. දෙමළ සන්නද්ධ ව්‍යාපාරය පරාජය කළ ද දෙමළ මතය ලොව පුරාම පැතිරී ගොස් ඇති අතර ඔවුන් එක මතයකට ගොනු වෙමින් සිටින බව පෙනේ. එනම් ලොව පුරා ඔවුහු වඩාත් ශක්තිමත් වී සිටිති.


1983 ජූලි- "ජාති ආලය".
වනසන ලද දෙමළ ජනයාට අයත් නිවෙස්වල බඩු මුට්ටු පැහැරගෙන යන අන්දම.
ඡායාරූපය- චන්ද්‍රගුප්ත අමරසිංහ


මුස්ලිම් ජනයාගේ වර්ධනය පිළිබඳව මතුකරමින් සිටින ෆෝබියාවද අවසානයේදී උත්ප්‍රාසාත්මකව ඇති කරන ප්‍රතිඵලය වනුයේ ද වර්ගවාදීන් බලාපොරොත්තු නොවන දේමය. එනම් වර්ධනය ශක්තිමත් වීමය.

වර්ධනයට ඊර්ෂ්‍යා කිරීම නිසා...

අන් ජන කොටස් හෝ අන්‍යාගමිකයන්ගේ වර්ධනයට ඊර්ෂ්‍යා කර කර ඉන්නවාට වඩා කරන්නට බොහෝ දේවල් ඇත. විවිධ භාෂා කතා කළත් විවිධ ආගම් ඇදහූවත් විවිධ සංස්කෘතික ලක්ෂණ පෙන්නුම් කළත් ලාංකික පුරවැසියන් සියල්ලම එකම ජාතියක් ලෙස පිළිගැනීමේ මනසක් ලාංකිකයන් තුළ ඇති කළ යුතුය. අධිරාජ්‍යවාදීන් හැමදාම කළේ Divide and rule ය. එනම් ජනතාව බෙදා වෙන්කර පාලනය කිරීමය. ඍජු ආක්‍රමණයක් ලෙස නොවූවද ගෝලීය අධිරාජ්‍යවාදය අපේ රට ආක්‍රමණය කර ඇත. ඒ ආර්ථීක වශයෙන්ය.

අප රට පාලකයෝ ඔවුන්ට පඬුරු පාක්කුඩම් ලෙස පාරවල් තනා දෙති. රටේ හොඳම බිම් කඩවල් අක්කර දහස් ගණනින් ලබා දෙති. යටිතල පහසුකම් තනා දෙති. ව්‍යාපාරික ස්ථාන නගා දෙති. අපේම සහෝදරයාව අපේ සතුරා බවට පත්කර මුළු රටම විකුණන් කති. අපේම භූමියේ අපි එකිනෙකා ඇණ කොටා ගනිද්දී ගෝලීය අධිරාජ්‍යවාදය අපට නොදැනීම අපේ සාක්කු හිස් කර ඇත. එබැවින් අප එක්සත්ව ද එක්සිත්ව ද සටන් කළ යුතු පොදු සතුරා හඳුනා ගැනීම ඉතා අත්‍යාවශ්‍යය. මක්නිසාද යත් ඉස්සරහා දොරෙන් එකක් පෙන්වා පස්සා දොරෙන් සිදුවන දෑ බොහෝය. ඇමරිකාව, එංගලන්තය, චීනය හා ඉන්දියාව වැනි බලවත් රටවල්වල උදව්වෙන් උතුර "මුදා ගත්තේ" (?) කුමක් සඳහාදැයි තේරුම් ගන්නට නම් මේ වන විටත් උතුරු නැගෙනහිර හොඳම හා ආකර්ශණීය බිම්කඩවල්වලට වෙමින් පවතින දේ සොයා බැලීම ප්‍රමාණවත් වනු ඇත.

සමිඳුනි,
අපට සිදුව තිබෙන දේ
සිහි කළ මැනව
අපේ නින්දාව බලා සැලකුව මැනව
අපේ උරුමය අන්‍යයන්ටත්
අපේ ගෙවල් විදේශීන්ටත්
අයිති වී තිබේ.
අපි අනාථයෝය. පියා නැති දරුවෝය.
අපේ මව්වරු වැන්දඹුවන් මෙන්ය.
අප අපේම වතුර මිලදී ගත යුතුය.
අපේම දර අපට විකුණනු ලැබේ.


(විලාප ගී 5 1-4)

අජිත් හැඩ්ලි පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වසර කිහිපයක් ඇෆ්ගනිස්තානයේ ජීවත් වෙමින් ලද අත්දැකීම් සම්භාරය පසුබිමේ තබා ගෙන පුෂ්පා රම්ලනී විසින් රචිත සුදු හිම පලස කෙටිකතා සමුච්ඡය මෑතකදී කියවන්නට ලැබුණු සුවිශේෂී අනන්‍යතාවකින් යුතු කෙටිකතා එකතුවකි. ඇෆ්ගන් කාන්තාව ඉස්ලාම් මූලධර්මවාදීන්ගේ පාලනයට නතුව දැඩි පීඩනයකට හසු වී සිටිමින් නිවස තුළ සිරකාරියක මෙන්ම වහලියක බවට ද ලිංගික ගොදුරක් බවටද පත්ව ඇති ආකාරය රම්ලනී ගෙනහැර පාන්නේ තමන් ලද සජීවී අත්දැකීම් නැමැති මුතු අහුර අගනා මුතු පටක් සේ එකිනෙක පුරුද්දමිනි.

ඉස්ලාම් මූලධර්ම වාදයට නතුවන කාන්තාව නිවසින් බැහැර විය යුත්තේ හිස සිට දෙපතුළ දක්වා ආවරණව වූ ලෝගුවක් බඳු "බුර්කා" නමින් හැඳින්වෙන ඇඳුම හැඳගෙනය. පිරිමියා මින් අදහස් කරන්නේ කාන්තාව රාගය අවුස්සන්නියක් නොවිය යුතු බවය. එහෙත් ඇත්තටම රාගය ඇවිස්සෙන්නේ පිරිමියාටය. රාගය පාලනය කරගත නුහුණු පිරිමියා වෙනුවෙන් බැට කන්නේ ගැහැනියයි. ඉස්ලාම් මූලධර්මවාදය ඉහළින්ම රජයන ඇෆ්ගස්තානය වැනි රටකදී ලේඛිකාව ලැබූ අත්දැකීම් එරටට හුදකලා නොකොට එවන් සීමා මායිම් පනවන කවර දේශයකට වුවද අනන්‍ය කිරීමට ඇය සමත් වෙයි.

බුර්කාවෙන් සිරුර මුලුමනින්ම වසා නොසිටියද බොහෝ ආසියාතික කාන්තාවන් පෙළන මානසික පීඩනයේ වෙනසක් නොවන්නේ යැයි මේ කතා පෙළ කියවන පාඨකයාට හැඟී යන්නේ නම් එය පුදුමයට කරුණක් නොවේ. කෙටිකතා දොළසකින් සමන්විත "සුදුහිම පලස" කෘතියේ සියලුම කතා ඉතා උසස් ගණයේ ඒවා බව මින් අදහස් නොකෙරේ. එහෙත් සමස්තයක් ලෙස ගත් කළ අද්‍යතන ලාංකික කෙටිකතා කලාවේ සුවිශේෂී මං සලකුණක් තැබීමට මෙම කෙටිකතා සංග්‍රහය සමත්වන බව මගේ විශ්වාසයයි.

මෙහි එන කෙටිකතා අතර වඩාත් මා සිත් ගත්තේ "උණුසුම් ශීතල" නමින් එන කෙටිකතාවයි. ජෝර්දාන් ජාතික කාන්තාවක වන අමල්ගේ දෘෂ්ටි කෝණයෙන් ලියවුණු මේ කෙටිකතාව ප්‍රේමයේ උණුසුමෙන් මොළොක් වන අපගේ සිත් සීතලෙන් ගල් කරවයි. ප්‍රේමය සීතල වුවද කොතරම් උණුසුම් දැයි කියා දෙන්නේ රම්ලනීය. මුස්ලිම් ආගමේ දැඩි නීති රීති වලට යටත් විය යුතු ඇෆ්ගනිස්තානයේ සේවයට එන අමල්, ජෝර්දානයේදී එතරම් කාන්තා පීඩනයකට හසු වූ අයකු නොවන්නේ එරට කාන්තාව එතරම්ම දුරට ආගමේ නීති රීති වලින් සිරකාරියක කොට නොමැති බැවිනි. එහෙත් ගුවන් තොටුපලෙන් පිටතට එන ඇය අත් බෑගයේ වූ සාලුව ඉවතට ගෙන හිස ආවරණය කොට ගන්නේ මේ සීමා මායිම්වල පවතින වෙනස පාඨකයාට ඉඟියෙන් කියාපාමිනි.

ඇය පිළිගන්නට ගුවන් තොටුපලට එන්නේ ජටාවකින් හිස ආවරණය කොට ගත් ඉන්දියානුවෙකි. නැතහොත් සික් ජාතික සහෝදර නිලධාරියෙකි. "ඔළුව වහගෙන ඉන්න එක හොඳයි. මේ සංස්කෘතිය බොහොම අමුතුයි" කියා සික් ජාතික රණ්වීර් සිං අමල්ට පවසන්නේ තමන්ගේද හිස ආවරණය කොට තිබියදීය. මෙය අතිශය උත්ප්‍රාසජනක අවස්ථාවකි. ඇය නුහුරු කමට හිසෙන් ලිස්සා වැටෙන සාලුව තදකොට සකසා ගන්නා බව කීමෙන් අප තේරුම් ගත යුත්තේ මේ ජෝර්දාන් ජාතික කාන්තාව සිය මවුබිමේදී වඩාත් නිදහස් දිවි පැවැත්මකට හුරු වී සිටි බවය.

කතාව ආරම්භයේදීම "දිවි ඇති තෙක් කනිකඩව ඉන්නට මා සිත හා ඇති කර ගත් අදිටන ඔහු කඩා බිඳ දැම්මේය. මෙතෙක් කල් කිසිවෙකු නොකළ හාස්කමක් ඔහු කෙසේ කළේ දැයි මට සිතා ගත නොහැකිය" යනුවෙන් වූ අමල්ගේ සිතුවිල්ලේ "ඔහු" යනු රණ්වීර් සිං බව ක්‍රමක්‍රමයෙන් පාඨකයා වටහා ගන්නේ අමල්ව සිය ජීවිතයට අවියෝජනීය ලෙස ළං කොට ගැනීමට මේ ඉන්දියානුවා සමත්වීම පිළිබඳ තමන්ගේ සිත් ප්‍රේමයේ ආහ්ලාදයෙන් පුරවා ගනිමිනි.

ප්‍රේමයට ජාති ජන්ම, වර්ණ භේද, ආගමික සීමා නොවන්නේය. ප්‍රේමය යනු හිමිකර ගැනීමම ද නොවන අතර අනෙකා වෙත දක්වන අපරිමිත ගෞරවණීය ආශක්තභාවය ද වන්නේය. හිමිකර ගැනීමේ චේතනාවකින් තොරව යමෙකුගේ හදවතක් ආක්‍රමණය කළ නොහැකිද?

පුෂ්පා රම්ලනී "උණුසුම් ශීතල" කතාවේදී ප්‍රේමයේ උත්තරීතර බව ගෙන හැර පාන්නේ අගනා පද ගැලපීමකිනි. "ඔහු පියවරින් පියවර මගේ හදවත ආක්‍රමණය කරන්නේ සූක්ෂම ආකාරයටය. පුරා වසරක්ම ඔහු මා වෙනුවෙන්ම බලා සිටියේ ඉතා ඉවසීමෙනි. මේ වසර තුළ මා ඔහුව පරික්ෂාවට ලක් කළා යැයි මට සිතේ. ඔහුගේ නිවුණු ගති ගුණ මා සිත ආදරෙන් ඔත්පළ කර ඇත. එහෙත් මෙරට තුළ පවතින සංස්කෘතික තහංචි හුදකලාව අපිට හමුවීමට තිබෙන අවකාශ අහුරා ඇත. මෙහි ප්‍රේමය තහනම් වචනයකි. ඔහුට මගේ නවාතැනට ඒමට හෝ මට ඔහුගේ නවාතැනට යාමට හෝ කිසිසේත්ම කළ නොහැකිය. හැඟීම් වලට යදම්, අඟුලු දා හිම තට්ටු යට වැළලිය යුතුව ඇත."

මේ ප්‍රේමවන්තියින් මුහුණ දෙන ඛේදවාචකය අපට ආගන්තුක වූවද ඉන් අපේ සිත් සසල වේ. විඳගන්නට ඉඩක් නැති ප්‍රේමය...! එහෙත් සංස්කෘතික වෙනසට අනුව ප්‍රේමය වර නැගෙන්නේ විවිධාකාර මානයන් ඔස්සේ බව ද ලේඛිකාව අපට සිහිපත් කර දෙන්නේ අපූර්ව වදන් පෙළෙකිනි. එනම් ඉතාලි ජාතික කාන්තාවක් හා අමල් අතර ඇතිවන දෙබසක් ලෙසිනි.

"ඔයා දන්නවද අමල් මම මගේ එක පෙම්වතෙක්ව අත්ඇරියේ ඇයි කියල. එයා මට සිගරැට් බොන්න දෙන්නෙ නැති නිසා. තව පෙම්වතෙක් අත් ඇරියේ එයා පාවිච්චි කරන සුවඳ විලවුන් වල සුවඳට මට ඔක්කාරය හැදෙන නිසා. ඔයා දන්නවද... මගේ තව බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා එයාට හරියට කෙල්ලෙකුගේ මූණ ඉඹින්නවත් දන්නෙ නැහැ. ඉතිං එයත් එක්ක ආශ්‍රය කරලා ඇති පලේ මොකක්ද?"

"ප්‍රේම නොකර කාව හරි සිප ගන්න පුළුවන්ද?"

"මොකෝ බැරි? එයාගේ සිප ගැනීමේ තියෙන ආකර්ෂණයටම ප්‍රේමයක් ඇති වෙන්න පුළුවන්."


ප්‍රේමය පිළිබඳ මෙවන් අර්ථකථන දෙන පුෂ්පා රම්ලනී ආගමික සම්ප්‍රදායයන් මගින් සිරගත කළ ලිංගිකත්වය මෙන්ම ඒ මඟින් සඟවා තබන කුහකත්වය ද මනා ලෙස විදාරණය කරයි.

ආරබි රටවල පවා සමහර ගැහැනු බුර්කා තුළ සඟවා පිරිමි සිය අවශ්‍යතා ඉටු කරවා ගැනීමට මෙන්ම ගැහැනුන්ව අභිසාරිකා වෘත්තියේ යෙදවීමට ආගමික සම්ප්‍රදායයන් යොදා ගන්නා බව අපට නොබියව පෙන්වා දෙන ලේඛිකාව සමහර හෝටල් වල ලිංගික වෘත්තිකයන් ලෙස සේවයේ යොදවා ඇති ස්ත්‍රීන් ගැනුකරුවන් පැමිණෙන තෙක් බුර්කා තුළට වී සිටින බවත් හදිසියේ හෝ පොලීසියෙන් පැමිණෙන බව දැන ගත් විට පිරිමින් ද බුර්කා තුළ සැඟවී සිටින බවත් අනාවරණය කරන්නේ ලෝකය මොන තරම් සංකීර්ණදැයි විමසමිනි.

"දෙවන බිරිඳ" නමින් එන කෙටිකතාව කාන්තා පීඩනයේ ඈත ඉසව් කරා අප කැඳවාගෙන යන්නට සමත් වේ.

කලීදා යනු ගුල්නිසාගේ සැමියාගේ අනෙක් බිරියයි. කලීදාට විශේෂ සැලකිලි ලැබ පළමු තැනට පත් වන්නේ ඔහුට පුතුන් දෙදෙනෙකු ලබා දී ඇති හෙයිනි. ගුල්නිසාට දරුවන් නොමැති හෙයින් ඇය ගෙදර මෙහෙකාරිය වී කලීදා ස්වාමි දියණිය බවට පත්ව සිටින්නීය.
දොළොස් හැවිරිදි පාසල් යන වියේ හුන් ගුල්නිසා ඇයට වඩා වසර ගණනාවකින් වැඩිමහලු වූ රහමතුල්ලා හට විවාහ කොට දෙන්නේ දෑවැද්ද ලෙස ලක්ෂ දෙකක් ඇයගේ දෙමාපියන්ට ලැබුණු හෙයිනි. අපේ රටවල මෙන් දෑවැද්ද දෙන්නේ කාන්තාවගේ පාර්ශවය නොවේ.



ඔහු ඇය විවාහ කොට ගන්නේ බිරිඳක් අවශ්‍ය නිසා නොව තමන්ගේ පික්පොකට් ගැසීමේ ව්‍යාපාරයට යෙදවීම සඳහාය. ඉනුත් නොනැවතී ඇයව ගණිකා වෘත්තියේ යෙදවීම සඳහාය. ඇගේ ඛේදවාචකය පොලිසිය හෝ නීතිය පිළිගන්නේ නැත. පික් පොකට් ගසා හසුවන ඇය රැඳවුම් භාරයට ගත්තද අවුරුදු දෙක තුනකට පසු ඇයව නිදහස් කොටගෙන තමන්ගේ නිවසට ගෙන යන්නට පිරිමියාට වරම් ලැබේ. වරදට පෙළඹ වූ පිරිමියා නිදහස්ය. දඩුවම් ලබන්නේ ගැහැනියයි. පුරුෂ මූලික සමාජයක කාන්තාවකගේ ඛේදවාචකය එසේය. විශේෂයෙන් ආගම් මූලධර්මවාදය නැමැති යක්ෂයා පිරිමියා ස්වර්ගයටත් ගැහැනිය නිරයටත් හෙළන්නට සියලු කාරණා සකස්කොට ඇති සේය.

මූලධර්මවාදී තලෙයිබාන් පාලනය යටතේ ගැහැනුන්ට පාසල් අධ්‍යාපනය ලබන්නට වරම් නැත. ඒ අනුව ඔවුන් අකුරු ලියන්නට කියවන්නට දන්නේ නැත. හිස සිට දෙපතුළ දක්වා සිරුර ආවරණය කොට ගත යුතුය. රැකියාවල් තහනම්ය. ටීවී තහනම්ය. එපමණක් නොවයි තම සිතැඟි පරිදි තමන් රිසි අයෙකුට ආදරය කරන්නට තහනම්ය.

ආදරය කිරීමේ වරදට තරුණිය ගල්ගසා මරා දැමීමේ ක්‍රමවේදය ප්‍රශ්න කරන "කුල ගර්වය" නැමැති කෙටිකතාව පාඨකයාගේ සිත් සතන් කීතු කීතු වලට ඉරා දැමීමට සමත් වනු නිසැකය. අහෝ... ඛේදවාචකයක තරම...!

කරීම් මුල්ලාගේ හතරවෙනි භාර්යාව වෙන්නට තෝරාගත් අමීනා වාසනාවන්ත කෙල්ලක් ලෙස පියා පවසන්නේ ගැහැනු පිළිබඳ ඔවුන් දක්වන තිරිසන් ආකල්පය ගෙන හැර පාමිනි.

"උඹලව අපි හදන්නේ විකුණන්න කියල උඹලා දන්නෙ නැද්ද? අපි හදන බැටළුවන්ගෙයි උඹලගෙයි වෙනසක් නැහැ. පුංචි වෙනසකට තියෙන්නේ වික්කට පස්සේ බැටළුවන්ව මරණවා. උඹලා අලුත් ජීවිතයක් ලබනව." මේ පසුගාමි, අන්ත තිරිසන් අදහස ඉදිරියේ එනම් ගඳ ගහන මුල්ලාකෙනෙකුගේ හතරවැනි බිරිඳවීමේ අවාසනාවන්තකමට එරෙහිව තමන් ප්‍රේම කරන තරුණයා තනි පංගලමේ මුණ ගැසීමට යන අමීනා එකී වරදට දඩුවම් ලෙස පණ පිටින් හිස තෙක් වළ දමා පස් යටකොට ගල්ගසා මරා දැමීමට ගමේ "ෂූරා" සභාව ගන්නා තීරණය ක්‍රියාත්මක වන ආකාරය කියාපාන මෙම කෙටිකතාව ඊනියා පාරිශුද්ධ අන්තවාදීන්ගේ ම්ලේච්ඡ මිනිස් ඝාතන ගැන එල්ල කරන්නේ දැඩි විවේචනයකි.

ෂාරියා නීතිය යටතේ පවුලේ කුල ගෞරවය කෙළසීමේ වරදට ඇත්තේ එකම තීන්දුවකි; දඬුවමකි. "කෙල්ලන්ට නම් මරණීය දඬුවමය" යනුවෙන් ලේඛිකාව සිය මතය ගෙන හැර පාමින් විසිඑක්වන ශතවර්ෂයේදී මෙබඳු ම්ලේච්ඡ මිනිස් ඝාතන සිදුවීම දැඩි ස්වරයකින් ප්‍රශ්න කරන්නේ මෙලෙසිනි.

"'නුඹලාගෙන් කිසිම පාපයක් නොකළ කෙනෙක් නුඹලා අතර වේ නම් පළමුවන ගල ගසා පල්ලා' යැයි කියන්නට ජේසුස් වහන්සේ පහළ වූයේ නැත. ඇය අමීනා මිස මරිය මග්දලේනා නොවූවාය. හරි වැරදි කියා දෙන්නට ඇත්ත නැත්ත පහදා දෙන්නට මොහොමද් නබිතුමාද නැත. පටාචාරාට, කිසාගෝතමීට හෝ රජ්ජුමාලාට හෝ පිහිට වන්නට පැමිණි ලෙසින් ගෞතම බුදුන් වහන්සේටද මේ අබුද්දස්ස කාලයේ පහළ විය නොහැකිය. කට පාඩමින් අකුරු ගලපා කුරානය කියවන්නට නොදත් නූගත් මුල්ලාගේ අණට සියලු දෙනා ඇහුම්කන් දිය යුතුය."

"උන්ගේ වැඩේ තිරිසන්නු වගේ ළමයි බෝ කරන එක. ගැහැනුයි, ළමයිනුයි අපා දුක් විඳිනවා." යනුවෙන් "බුර්කාවෙන් එපිටට" කතාවේ ඉක්බාල්ගේ මුවගින් කියා පාන රම්ලනී ඇෆ්ගන් කාන්තාවන් නොදැනුවත්කමින් තෙල් වැඩියෙන් දමා ආහාර පිසීමේ ආදීනව ගැනද කියා පෑමටද අමතක නොකරයි.

"ලංකාවේ ගෑනුන්ගේ ආයු කාලය හැත්තෑවක් හැත්ත පහක් විතරලු. සමහරු ඊටත් වඩා ජීවත් වෙනවලු. අපි කන හරක් මස්, බැටළු මස් වගේම එළු මස්වල හරියට මේදය තියෙනවලු. මස්වල තෙල්කෑලි අයින් කරල කන්නලු."

"අපි දන්නේ නෑනෙ, ඒ හරියක්. මම නං කඩෙන් ඉල්ලන්නෙම හොඳ තෙල් කෑල්ලක් එක්ක තියෙන මස් ටිකක්..." යනුවෙන් දෙබසක් ගොඩ නංවන ලේඛිකාව ඉතා අවබෝධයෙන් සාමාකාමී දිවි පෙවතක් ගෙවන දිල්බර් හා ඉක්බාල්ගේ පවුල පාඨකයාගේ ඉදිරියේ විදාරණය කරන්නේ ඛේදවාචකයකට හසු වූ කරුමක්කාර ජීවිත ගෙවන වැඩිමනත් කාන්තාව අතර ඉතා ලිබරල් අදහස් දරන පිරිමියාගේ රැකවරණය ද ලබන කාන්තාවන් ඉඳහිට හෝ හමුවන බව පසක් කොට දෙමිනි. ඇය ඒ බව කියන්නේ නිර්මාණාත්මක වදන් පෙළකට මුසු කරමිනි.

"දිල්බර් තුළ ඉක්බාල් කෙරෙහි ක්ෂණිකව සෙනෙහෙ කන්දරාවක් එකපාරටම මතුවෙලා මෝදු වෙන්න ගත්තා. මෙච්චර කල් ළමයින්ගෙ තාත්තා හැටිය, තමන්ගෙ සහකාරයා හැටියට තිබුණු සෙනෙහසට වඩා වැඩි යමක් හිත පිරිමදිනවා. හිම කාලයේ හිම කඳු පිසගෙන සීතල සුළං රැල්ලක් ගිම්හානය හමා ආවා වගේ."

"සුදු හිම පලස" කෙටිකතා සමුච්ඡය, සීත සුළං රැල්ලක් ගිම්හානයට හමා ආවාක් මෙන් අපට දැනෙන්නේ එබැවිනි. යුද්ධයේ දරුණු පලවිපාක වලට මුහුණ දුන් ඇෆ්ගනිස්තානය වැනි රටක ජන ජීවිතය තලා පෙළා දමන ආකාරයද පුෂ්පා රම්ලනී තම කෙටිකතා වලට නිමිත්ත කොට ගන්නේ හුදු ප්‍රචාරකවාදි එළැඹුමකින් එහා ගිය නිර්මාණාත්මක බවකිනි. ඇය බොහෝ විට කතාව පෝෂණය කරන්නේ දෙබස් මගිනි.

"ඔය අසමජ්ජාති හැත්තට කටේ කිරි සුවඳ ගිය නැති පුංචි කෙල්ලක් හරි කමක් නැහැ. උන්ගේ තිරිසන්කම පිරිමහ ගන්න. තු∙ විතරක් හිවල්ලු....."

"දෙවියන්ද අසරණය" කෙටිකතාවේ නස්රීන් ලවා ඇය නිරුවත් කරන්නේ සාපලත් යුද්ධයේත්, යුධවදින්නන්ගේත් හෙළුවයි.

"රුසියානුවන්ගෙන් පස්සේ මුජහිදීන් කාරයෝ. රුසියානුවෝ පිට දේශක්කාරයෝ. මුජහිදීන් කාරයෝ අපේම රටේ අපේම සහෝදරයෝ. ඉවක් බවක් නැතිව සහෝදරයන්ට එරෙහිව සහෝදරයන් මරා ගන්නවා. පුදුම අවමානයක්. පුදුම බල ලෝභයක්... ඊට පස්සේ තලෙයිබාන් කාරයෝ. එපාම කරපු හැත්ත."

මේ කතාව කියවා ගෙන යද්දී මගේ මනසේ නිතැතින්ම ඇඳුනේ අපේ රටේ උතුරු කරයේ පැවති ම්ලේච්ඡ යුද්ධයයි. පිටදේශක්කාර ඉන්දීය සාමසාධක හමුදාවෙන් ද, තමන්ගේ රටේම සහෝදරයන් වන සිංහල ජාතික හමුදාවෙන් ද බැට කෑ දෙමළා නිතැතින්ම සිහියට එනු වැළැක්විය නොහැකි විය.

කෙටිකතා දොළසකින් සමන්විත පුෂ්පා රම්ලනීගේ "සුදු හිම පලස" කෙටිකතා සමුච්ඡයේ එන සෑම කතාවක්ම වෙන් වෙන්ව ගෙන අදහස් දක්වන්නට ඉඩකඩක් නැතිමුත් සමස්තයක් ලෙස ගත්විට අපට බෙහෙවින් දුරස්ථ අත්දැකීම් සමුදායක් අපේ ජීවිත වලට සමීප කරමින් නිර්මාණාත්මක ලේඛනයකට ගොනු කිරීම ගැන අප ඇයට ස්තූති වන්ත විය යුතුය.

මෙහි එන සමහර කතා කිසියම් වාර්තාකාරී ස්වරූපයකට ළං වී ඇත්තේ ලේඛිකාව මේ අත්දැකීම් සමගින් ජීවත් වෙමින් එහි අපූර්වත්වය මෙන්ම ඛේදනීය බවද විඳ දරා ගත් හෙයිනැයි සිතමි. "සුදු හිම පලස", "අවමානය", "කැලෑපත්තර", "කෙටිකතාවක් නොවන කතාවක්" යන කෙටිකතාවල මේ ස්වරූපය දක්කනට හැකි නමුදු ඒවාද ආයාසයකින් තොරව කියවාගෙන යා හැකි පරිදි රචනා කරන්නට රම්ලනී සමත් වී ඇත්තේ එකිනෙකට වෙනස් අත්දෑකීම් සමුදායකින් මේ කතා පෝෂණය වී ඇති හෙයින් විය යුතුය.

ඉස්ලාම් මූලධර්මවාදීන්ගේ ග්‍රහණයට හසුව පීඩා විඳින ඇෆ්ගන් කාන්තාවගේ මෘතකලේබර වන් ජීවිත සුවිශාල කැන්වසයක වර්ණ ගන්වන පුෂ්පා රම්ලනී සමස්තය ඉතා නිර්මාණාත්මකව එක් ඡේදයකට ගොනු කරන අන්දම බලන්න. මේ උපුටා ගැන්ම "මැටි බෝනික්කෝ" කෙටිකතාවෙනි.

"මගේ නම හකීමා වුණත්, සොරායා වුණත් තේරුමක් නැහැ. නමට හරි නමේ තේරුමට හරි කවුරුවත් සලකන්නේ නැහැ. කාගේවත් නමින්වත්, වාසගමෙන්වත්, පෙළපතින්වත් වැඩක් නැහැ. මම ගැහැනියක්. අනික මම පෂ්ටුන්ද , තජික්ද , උස්බෙකීද, හසාරාද කියල වැඩකුත් නැහැ. අපි සේරම පාරේ දැක්කොත් බුර්කාවලින් වහපු මැටිරූප වගේ තමයි පෙනෙන්නෙ. උන්ට ඕනි ඕනි විදියට අඹා ගන්න පුළුවන්, අවශ්‍ය විදියට කඩලා බිඳලා විනාශ කරන්න පුළුවන් මැටි රූප. තවත් දෙයක්, උන් ගහන ගහන බෙර පදයට නැටිය යුතු, නැත්නම් උන්ගේ අතේ තියෙන නූල් වලට එහාට මෙහොට නටන්න පුළුවන් මැටි රූකඩ බෝනික්කියෝ. සමාජය අපිව මැටි ගුලි බවට පත්කරලා. ඒත් අපේ ඔළු ගෙඩි වල මැටි නැහැ. අන්න ඒ කාරණය හොඳාකරවම දන්න නිසා තමයි, ලෝකේ කොහේවත් නැති නීති දමල අපිට නොමිනිසුන්ට වගේ සලකන්නේ."

පුෂ්පා රම්ලනීගේ "සුදු හිම පලස" කෙටිකතා සංග්‍රහය නැවත නැවත කියවා නව අර්ථ කථන ලබා දිය හැකි කාලාන්තරයක් යන තුරුම අපගේ හදවත් පාරන අත්දැකීම් සමූදායක් ගොනු කළ උසස් මට්ටමේ කෙටිකතා එකතුවක් ලෙස ලියා තැබීම මේ කෘතියට හා ලේඛිකාවට කරන සාධාරණයකි.

Image- Lana Slezic

හෙන්රි වර්ණකුලසූරිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



උපේක්ෂා සහගත වීම යම් ගැටලුවක් දෙස නිවැරදිව බැලීමට සුදුසුම චින්තන ක්‍රියාවලියක්. අන්තගාමී නොවී යමක් පිළිබඳ නිරීක්ෂණය කිරීමට ඉන් මග පාදා ගන්න පුලුවන්. එහෙත් හඳුනාගත් ගැටලු දෙස උපේක්ෂා සහගත වීම එය තවත් තීව්‍ර කරන්නක් මිස යහපත් දෙයක් නොවෙයි. නූතන ලංකාවේ පිරිහෙන සාරධර්ම හා දේශපාලනය ගැන කතාබහේ දී නිර්ලජ්ජිත, කුහක උපේක්ෂා සහගත ජනතාව මේ සෑම සමාජ අසාධාරණයකට ම වගකිව යුත්තේ එනිසයි.

උපේක්ෂාව බුදු දහමේ ඉතා ඉහළින් අගයන්නක්. එහෙත් සමාජ අසාධාරණකම්, දූෂණය ආදී කප්පරක් නොහොබිනාකම් කරන නූතන ලංකා සමාජයෙහි ඒ සියල්ල දැක දැකත් උපේක්ෂාව භජනය කිරීම, මොනතරම් කරුමයක් ද? අඩුම තරමේ සාහිත්‍ය නිර්මාණකරණයෙහි යෙදෙන්නෝ හරි මේ ගැන නොතකා සිටීම ජාතියේ අභාග්‍ය විනා වෙන කුමක්ද? වන්දිභට්ටකම් කොට, රජතුමා ඉදිරියේ හෝ මැති අමැතිවරු ඉදිරියේ හෝ පොත් එළි දක්වනවට වඩා කොපමණ වැදගත් දේ ලේඛකයෙකුට කල හැකිද? බහුතරයකගේ මේ නිද්‍රාශීලී උපේක්ෂාව කීද්දීමට ලේඛකයන්ට කුමක් කළ හැකිද? හුදු කිති කැවීමක් හෝ පා පහරක් හෝ දී ජනතාව අවදියෙන් තැබීම අප කාගේත් හෙට දින යහපත සඳහා අවැසිමය.

1975 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශනයක් කරන මහාචාර්ය පී. බී. මීගස්කුඹුර කරන ප්‍රකාශය අදට දක්වන අදාලත්වය පුදුම එලවන සුලු එකක්. ලේඛක උපේක්ෂාව නිර්ලජ්ජිත එකක් වන අයුරු ඔහු දක්වන්නේ මෙහෙමයි.

"අද ලංකා සමාජය පරිහානිය කරා යන වේගය බලන විට ආර්ථීක හා දේශපාලන විසඳුම් මෙන්ම සාහිත්‍යය වැනි කලාවලින් ද කිසියම් කාර්යයක් ඉටුවිය යුතුය. මිනිසා ගැනත්, ජීවිතය ගැනත්, විශ්වය ගැනත් අද අප ලබා තිබෙන දැනුම් සම්භාරය කෙතරම් වුවත් අප ජීවත් වන්නේ ඇබ්බැහිකමින් ලැබූ ගතිගුණ ඥාන සම්භාරයට අනුව සකස් කර ගනිමින් නොවේ. මිනිසුන් දෙස මිනිසුන් ලෙස බලන්නෝ විරලය. ජාතිභේද, ආගම්භේද, කුලභේද, දේශපාලනභේද, ප්‍රදේශභේද, පන්තිභේද, ඇතිනැතිභේද ආදිය නිසා විභින්නව ගිය සමාජයක බිහිවන පුද්ගලයෙකුගේ නියම හරය හෙවීමට ඔවුන්ගේ පියවි තත්වය වසා සිටින කඩතුරා සියල්ල ඉවත් කිරීම අත්‍යවශ්‍යය. මුළු මහත් සමාජයම ආත්ම වංචනිකයන්ගේ තත්වයට ඇදහෙළන තත්වයට පුද්ගලයන් පිළිබඳ විවරණය කොට, ඔවුන් නග්න කොට සමාජයේ අවබෝධය සඳහා ඉදිරිපත් කිරීම වර්තමාන ලේඛකයන් සතු වැදගත් වගකීමකි. ඒ ගැන උපේක්ෂා සහගත වීම අපේ ජාතික අභිවෘද්ධියට හානියකි." (මීගස්කුඹුර,1975:54)

මේ කරුණු එක එකක් වෙන වෙනම කතා කළ යුතු ඒවා. සාමාන්‍යයෙන් මානවයා ඇබ්බැහි වී ඇති ප්‍රකෘති, ප්‍රාථමික තත්වයන් ශිෂ්ට වීම තුළින් මග හරවා ගෙන ඇතත් එන්න එන්නම ඒවා ගිලිහී යාම ඛේදවාචකයක්. යුද්ධය, කෲරත්වය, හිංසනය, අනෙකා හා අනෙකාගේ සංස්කෘතිය නොඉවසීම ආදී දහසකුත් දුර්ගුණ අපේ කරගනිමින් සිටින කාලයක් තුළයි අපි ඉන්නෙ. ඒ අතර මිත්‍යාදෘෂ්ටික දහසකුත් දේ හා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ප්‍රබලව ඉස්මතුව කෝටියක් දෙවියන්ට අපේ දෛව බාර දී ඉතුරුවා කරුමයට බාර දී සිටීම එක අතකට පුදුම වීමට කරුණක් නොවෙයි.

මෙවන් පසුබිමක ලේඛකයෙකුට කළ හැකි දෙයක් නම් ස්වනිර්මාණ මගින් විවිධ ආන්තික දෘෂ්ටිවාද නමැති කඩතුරා ඉවත් කිරීමට යත්න දැරීමයි. නියම මානව දයාවෙන් යුත් ලේඛකයන් කල යුත්තේ නොබියව ඊට ඉදිරිපත් වීමයි. ඒ වෙනුවට සිදුවන්නේ රාජ මැති අමැති ප්‍රශස්ති ගැයීම පමණක් වීම ලාංකිකයන්ගේ පූරුවේ කරුමයක් පලදීමකැයි සිතා නිහඬ වීමට තරම් පහත් මානසිකත්වයක් නැති කිහිප දෙනෙක් හෝ සිටීම එක අතකට සතුටක්. ඒත් ඒ සතුටවත් අපේ ඊළඟ පරම්පරාවට ලැබේ යැයි සිතන්නට බැහැ. කණගාටුව ඒකයි.

සාහිත්‍යකාරයාගේ වගකීම නම් මේ දුර්ගුණ, අවනීතිය පසුපස ඇති දේ නග්න කිරීම. එසේ නග්න කිරීමට නම් මුදල් හෝ කීර්ති ප්‍රසංසා පිළිබඳ ඇති දැඩි කැමැත්ත ඉවත් කළ යුතු වෙනවා. එතකොට ඔහු තාපසයෙකු, ආජීවකයෙකු වගෙයි. ඔහුට ඇත්තෙ තරහක් නොව දුක් විඳින්නන් කෙරෙහි වූ අනූපම ප්‍රේමයක්. ඒ ප්‍රේමයේ සුවඳ සිය ප්‍රබන්ධ හා කතිකාවත් මගින් සමාජගත කිරීම ලේඛකයෙකුගේ වගකීමක්.

ඒ සියල්ල පසෙකලා උපේක්ෂාව භජනය කිරීම ඒ අය ගැනත් සන්තාතපයක් හා කණගාටුවක් පමණක් ඉතිරි කර ගෙන ආයෙත් ඔවුන්ව කීද්දීමට, කිතිකවා ප්‍රබෝධමත් කිරීමට අපට සිදු වෙයි. නැති නම් පයින් ඇන හෝ අවදි කරවා ගන්න අවශ්‍ය වෙනවා.

කොටහේනේ ප්‍රඥාකීර්ති හිමියන් 1940 දී ලියූ 'සාහිත්‍ය හා සමාජය' කෘතියේ හතරවන පරිච්ඡේදය නූතන ලංකාවේ සාහිත්‍යකරුවන්ට ඇන්න පා පහරක්. ඒත් ඒ ගැන නොකියවා ඇති අය බහුලව ඇතැයි සිතන හෙයින් එයින් කොටසක් මෙහි අන්තර්ගත කරනවා.

"මානවතාව අද සාහිත්‍යයෙහි විෂයය වේ. මුළු මනුෂ්‍ය ජීවනයම නිඛිල ජන සමාජයම මෙකල සාහිත්‍යයට ගෝචරය. පෙර මෙන් අද සාහිත්යිකයා රජසභාවට හෝ පණ්ඩිතසභාවට සීමා වී නැත. හේ අද සාමාජිකයෙකි. පොදු මිනිසෙකි. පෙර විසූ ඇතැම් කවීන් මෙන් ව්‍යක්තිවාදය- ස්වකීය පෞද්ගලික හැඟීම්- නිසා මනෝරාජ්‍යයෙහි සැරිසැරීම ඔහුගේ කාර්යය නොවේ. ජීවිත සංග්‍රාමයෙහි ඔහු විසිනුදු කළ හැකි විශාල සේවයක් තිබේ. එය වෙන කිසිවකු විසිනුත් පිරිමැසිය නොහැකිය. මෙසේ ගම්වර ලැබීමට විරුදු කී කාලය ගෙවී තිබියදීත් මෙකල ඇතැම් සිංහල කව් තනනුවෝ මැති ඇමති උපදේශක පදවි ලැබීමට වෙහෙසෙන පුද්ගලයන්ට වන්දිභට්ටයන් වීම ගරු කොට තකත්. ප්‍රභූන් ඉදිරියෙහි යාචකයන් වන තරමට හීනදීන වූ අත්ම ගෞරවය බලවතුන්ගේ පාවඩ බවට පමුණුවන්නා වූ ලේඛකයෙක් ස්තුති පත්‍ර වැනි නිෂ්ප්‍රයෝජන දේ ලිවීමට මුත් ජනසමාජය පුබුදුවාලන පොත් පත් තැනීමට කෙසේ සමර්ථවේද? තමා ගැනම සිතන්නාවූ කවියා ලේඛකයා කලාකාරයා නිසා සමජායට එදා මෙන්ම අදත් සිදු වූ ද සිදුවන්නාවූ ද අනර්ථය විශාලය..."
(ප්‍රඥාකීර්ති,1940:24-25)

තවදුරටත් අදහස් දක්වන උන්වහන්සේ නූතන ලාංකික ලේඛයා කෙසේ හැසිරියි යුතු දැයි විස්තර කරයි.

"අද ලෝක තත්වය අනුව ලංකාව මුළු ආසියාවේ සහයෝගය පැතිය යුතුය. යුරෝපයෙහි සම්බන්ධය ද අපේක්ෂා කළ යුතුය. මුළු ලොවම මේ යාන්ත්‍රික යුගයෙහි පටුවේ. කෙතරම් වාදභේද කලකෝලාහල ඇතත් විද්‍යාවන් පහළ වීම නිසා ලොව එකිනෙකට සම්බන්ධ වේ. එබැවින් විශේෂයෙන් මුළු ආසියාවේම වන පරිවර්තන ලංකාව කෙරෙහි බලපවත්නා බව ලේඛකයාට අවබෝධ විය යුතුය. ඉන්දියාව හා ලංකාව අතර සාකච්ඡා අද කෙබඳු තත්වයක පැවතුණත් එය යුහුසුළුව එක්සත්ව විමසා ගතයුතු අවස්ථාව නුදුරුය. මේ සඳහා කවීන් ලේඛකයන් විසින් විශාල සේවයක් කළ හැකිය. එසේ තිබියදීත් වර්ගභේද, ජාතිභේද, පළාත් භේද, තර කිරීමට මේ කුඩා රට තුළම අසමගිකම් වැඩි කිරීමට අනුබල දෙන කවීන්, උගතුන්, ලේඛකයන් කරන්නේ මහත් අනර්ථයකි. සාහිත්‍ය වැනි සාර්වජනීන විෂයයක් මෙබඳු සුළු භේදවලට ලක් කර ගැනීම බොහෝ ක්ෂුද්‍ර පණ්ඩිතයන්ගේ සිරිත වුවත් ශ්‍රේෂ්ඨ ලේඛකයන් අනාගතය ගැන සලකා බලා දූරදර්ශීව ක්‍රියා කිරීම අත්‍යාවශ්‍යය." (ප්‍රඥාකීර්ති,1940:32)

උන්වහන්සේ දක්වන ආකාරයට ම අනාගතය දෙස බලා වර්තමානයේ හැසිරීම් වෙනස් කර ගන්න එක අපේ වගකීම. අතීතකාමීත්වයෙන් මිදී පැරැන්නන් කල කී දේ මත නොනැග, ඒ මත ලැග වමාරමින් තව දුරටත් සිටිය නොහැකි බව වටහා ගත යු වෙයි. අජිත් තිලකසේන දක්වන පහත අදහස ලංකාවේ ජනතාවත්, ඒ අතර ඔවුන්ගේ මනස පුබුදුවන ලේඛකයනුත් කෙසේ සිය වගකීම ඉටු කල යුතුදැයි පෙන්වා දෙනවා.

"අපි අවතීර්න වෙලා ඉන්නේ 21 සියවසට උනත් අවිද්‍යාත්මක මත පතල කිරීමත් විද්‍යාව ගැරහීමත් අද මෙහි අඛන්ඩව සිද්ධ කෙරෙනවා. 2004 සුනාමි ඛේදවාචකයෙන් පස්සේ අපේ ඇත්තෝ එයට අවිද්‍යාත්මක අර්ථකථන සපයමින්, නුසුදුස්සන් සමග මාධ්‍ය සාකච්ඡා පවත්වමින් සිටිද්දි රජයද ක්ශනිකව යොමු උනේ අභිචාර වත් පිලිවෙත්. සර්වාගමික කටයුතු ආදියට මිස විපත අවම කරන්න ගත යුතු නූතන තාක්ශනික පියවරවල් වෙත නෙමේ. ජනතාව ද හැම විටම මුලාවෙ වැටෙන්න සූදානමින් සිටින අතර පවතින රජයට ආවඩන්නන්ට, මිථ්‍යා විශ්වාස වපුරන්නන්ට. චිරන්තන දෘෂ්ටියේ ගල් වී සිටින්නන්ට සහ බොරුකාරයින්ට කවදාවත් නොතිබුන තැනක් අද මේ සමාජය තුල තියෙනවා."
(තිලකසේන, අජිත් 1987: සංස්කෘතික කාන්තාරයක් කරා. :72)

මෙම ලිපිය අවසන් කිරීමට මා තෝරා ගන්නේ මර්තා නස්බෝම් සිය කෘතියක් වූ "කලාව කුමටද?" අවසාන කරන පහත ඡේදයයි. එය අපට කලාකරුවාගේ උපේක්ෂාව තවදුරටත් ලංකා සමාජයෙහි ප්‍රගමනය වලක්වාලන්නේ කෙසේදැයි සිතීමට මග පාදයි.

"මා විශ්වාස කරන හැටියට ශිෂ්ටචාර අතර නියම ගැටුම යනු මසුරුකම හා ස්වයංරූප රාගය යන දෙක ගෞරවය හා ආදරය සමග ගැටෙමින් ඒකපුද්ගල ආත්මය තුළම සිදුවන ගැටුමක් නම් සියලු නූතන සමාජ වේගයෙන් එම සටනින් පරාජය වෙමින් සිටියි. ඊට හේතුව හිංසනය අවමානුෂිකකරණය වෙත මගපාදන බලවේග මිස සමානත්වයේ සහ ගෞරවයේ සංස්කෘතියක් පෝෂණය කිරීමට එම සමාජ අසමත්වීමයි. අප මානවශාස්ත්‍ර විෂයයන් හා කලාවන්හි තීරණාත්මක වැදගත්කම අවධාරණය නොකරන්නේ නම් ඒවා වියැකී යනු ඇත. ඒවා ලාභ නූපදන බැවිනි. ඒවා කරන්නේ ලාභ ඉපයීමට වඩා වටිනා දෙයක් වන අපගේ ලෝකය ජීවත්වීමට තරම් වන ලෝකයක් කිරීම, අනෙක් මනුෂ්‍යයන් තමන්ගේම වූ සිතිවිලි හා හැඟීම් ඇත්තාවූද, ගෞරවය හා සහවේදනය ලැබිය යුතු වූද සම්පූර්ණ මනුෂ්‍යයන් සේ දකින්නට හැකි මනුෂ්‍යයන් නිර්මාණය කිරීම සහ සහනුකම්පික හා තර්ක ශක්තියෙන් යුතු විවාදය ඇති කිරීම වෙනුවෙන් භීතිය හා සැකය පළවා හරින ජාතීන් හා රටවල් නිර්මාණය කිරීම යන කාර්යන්ය."
(නස්බෝම්, 2013)

දැන් අපට තේරුම් ගන්න වෙනවා 'කලාව කුමටදැයි' යන ප්‍රශ්නය වෙනුවට එයින් කළ හැකි දේ කුමක්දැයි වටහා ගැනීම වැදගත් බව. එසේ නොකොට කල් මැරීම, සම්මාන පසුපස දුවගොස් නොලැබුන තැන අනික් හැමෝටම බැණ වැදීම වෙනුවට දහසකුත් දේ මේ දුක් විඳින්නවුන් වෙනුවෙන් කිරීමට අපට පුලුවන්. හෙට දින අපේ දරුවන්ගේ ලෝකය රැක දීමට නම් මේ යුතුකමෙන් මග හැරීම නොකළ යුත්තක්. මානව දයාවෙන් යුතු පරපුරක් සෑදීම වෙනුවෙන් හැකි හැම තත්පරයක්ම කැප කිරීම අපගේ පරම අධිෂ්ඨානය කර ගනිමු.

ඇසුරු කළ තැන්-

තිලකසේන, අජිත් (1987) සංස්කෘතික කාන්තාරයක් කරා. (2007- දෙ. මු.) කොළඹ: එස්. ගොඩගේ සහ සහෝදරයෝ.
නස්බෝම්, මාර්තා(2013) කලාව කුමටද?. පරි. ලියනගේ අමරකීර්ති. කොළඹ: ෆාස්ට් පබ්ලිකේෂන්.
ප්‍රඥාකීර්ති, කොටහේනේ(1940) සාහිත්‍ය හා සමාජය. (2000සි. මු.) කැළණිය: විද්‍යාලංකාර මුද්‍රණාලය.
මීගස්කුඹුර, පී. බී. (1975)"පැරණි සාහිත්‍යයෙන් නූතන ලේඛනයට ගත හැකි ආභාසය." සම්මන්ත්‍රණ ලිපි-1(1975) (සංස්) මැද්දේගම, යූ. පී., සිංහල අංශය: පේරාදෙණිය විශ්වවිද්‍යාලය. 40-54).


සමන් පෙරමුණ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කාලෙකට
ඉස්සර
අපි දෙන්නා
පරමල් විසිකෙරුව
අරලිය ගහයට
විසිරිලා
පරමල්
වෙනදට වැඩිය
ගහ වටේටම….

තියගෙන අතේ
හිස් වට්ටි
මුකුළු කෙරුවට
ගහ යට..
ලොකු හාමුදුරුවොත්
ගියා මතකද
නොදැක්ක
ගානට…..

ඒ වගේ
නෙවෙයි දැන්
සංවරයි
බොහොම
අපෙ පරණ
දහම් පාසල….

තැන තැන
මුකුළු නෑ
අසංවර
හිනා නෑ
ළමා සාරියේ
මැද
හිඩැස දැන්
පේන් නෑ…

කෞශල්‍ය පතිරණ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



I would photograph scars.

If only I had my old Nikon,
and a lion’s marigold skin,
I would camouflage there
to photograph scarred silence,

the silence of war.

A woman’s breast: Nipples
surrounded by dark circles
were exposed.
Her hair’s matted, bangles crushed.
This death had no witness.
This death required no explanation.

Beneath the half burnt cradle
Mother was sleeping her deepest sleep.
If there had been no railing,
baby could’ve escaped.

No.

No newborn walks.
Only Siddhartha Gautama did.

A young man was paralyzed: Spine was shot.

I would photograph his death.

When wounds are deep inside bones,
death is as calm as a dead saint.

My shutter blinked. Aimed.
Then shot the focus,
Shot the scar-like bullet
holes in school walls.

Children would rest in peace
That was the peace, literally.
I would photograph their scarred tiny feet
which were not allowed to rise up
in homeland’s soil.
But even hunter – gatherers
had had a moment
to root in where they wanted to.

In monsoons, gutters were full.
Then burst.

I would photograph water.
Why wouldn’t it burn when shelled?

People under legitimate barbarism:
some without limbs, some without eyes,
some without skin.

Some still breathing,
squatted motionlessly beside those resting bodies
as though keeping vigils.
When they kept the last one,
knowing that there would be nobody left
to keep vigils
for them, I would photograph the absence.

The end page of a poetry book. Abandoned, uncooked rice.
A fragment of spectacles. An empty sparrow cage.
Bits and pieces of love. Shattered clay pots.
Smoke.

I would photograph blindness.

In blind sun,
scattered, scarred petals,
in every colour and shape,
would make new undefined
colours and shapes.

සුභද්‍රා ජයසුන්දර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අහා කොලරාඩෝව
උඹනම් හරිම ජගතෙක්

මේ මහා කැනියමේ
කට්ට කෛරාටික වෙට්ට පිත්තල
කාශ්ටක ගල්බොරලු කඳුපිටින් ඉතිරිකර
පොඩ්ඩ බැරිවෙද්දි දියවෙන තරමටම හිත මොළොක්
ලාමක පස සෝද සෝදා
සංසාරගත ණය
මහමුහුදට ම පියවා
කැපූ කැටයමක රඟ.....!

උඹේ විරියෙන් හැඩවුණ,
උඹ නිසාවෙන් උසගිය
මේ තුඟු ගිරි කඳුරු පාමුල
අඳුරු පාතාලයක මිරිකී
වකගැසී ඇදී යන සඳ කෘෂ ව
ඉඳහිටක හෝ මෙනෙහි වන්නෙද

වසර මිලියන ගණනකට පෙර
උඹත් මේ උස ම උස කඳුමුදුන් හා සමව
අසම සම තැනිබිමෙක
මහා අවකාශයක නිම්වළලු ඇද වැළඳ
උදාරම් ලෙස වැතිර හිටි බව?

උඹ ම සියොළඟ පිරිමැද
කපා සෝදා හැඩකර
තැනූ මේ නැඩ පරුවත
දෙන්නේද අද නුඹට
එකදු කෘතගුණ බැල්මක්
නෙතග සරදම් උදාරම් මිස?

එදා නුඹ ඇස'බිමුව නිදහසේ එලාලූ
අහස් ගඟ පවා අද මුවාකරලති උන්
මෝඩගල් කඳබඩින්.
නුඹට හිමි දැකුම් පතයද අද
ඒ යෝද කඳබඩ කලව පමණ ය.
වංගුවක් ගනිද්දී ඉඳහිටෙක
කලාතුරෙකින් දකින අහස්ගඟ
රේන්ද පටියකට වැඩියමක් වෙද
උන් තට්ටමක එල්ලෙන?

ඉඳහිටක ඇස රැඳෙන
ඉතා දුර රූපයකි අද නුඹට
මේ කැනියමේ මුවවිට
නුඹේ කැටයම් බලන්නට රැස්කන
මහා ජනගඟ

උහු ද නො දකිති
වසර මිලියන ගණන් වෙහෙසී
මේ මහා කැටයම නිමාකොට
ගැඹුරු පතුලක වැදී නිදනා නුඹ.
කැපූ කෙනෙකුන් නැතැයි සිතනා
මහා කැටයම මිස

අහා කොලරාඩෝව
නුඹ නම් හරි ම හපනෙක්
මෝඩගල් බඳු යෝද පරුවත
කපා ඔප ලා උස් කර
අඳුරු පාතාලයක වැද
උන් දෙපා වැඳ වැඳ
අපාගත සර්පයකු සේ
හොර හොරෙන්
ඇදී යන රඟ.....!

(ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ පිහිටි මහා කැනියම (Grand Canyon) මහපොළොව මත කැපූ විසල් විස්මිත කැටයමකි. වසර මිලියන ගණනකට පෙර උස් තැනිබිමක් වැ තිබූ මෙහි, මේ මහා කැනියම කැටයම් කරන ලද්දේ, එ මැදින් අනාදිමත් කාලයක සිට ගලනා කොලරාඩෝ (Colorado) නදියෙහි දිය දහර නම් වැලිකරදාසිය විසිනැ'යි භූ විද්වද්හු සලකති.)

සනත් බාලසූරිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ගිනි සිඹින අහස් රැස් යට
ලතා තුරු කඳන් පටල
ගැට බැඳුණු අතුපතර විසිර
තුනී වූ ඉලුක්
පටි පඳුරු යාය මැද
පුවක් පටි පැන්න වරිච්චි කොන
ඉරුණ ඉටිකොළ කවුළුවෙන් එබී
සුද වැහුණු ඇස් කෙවෙනි රිදෙනව ද

රටා මැකුණ පන් පැදුර යට
කඳුළු ගුළි සඟවලා
අවදි වී අලුයමට පෙර
සංහිඳට හිතේ දුක කියනවා ද
තව ම කෙම්මුර දවස්වල හවසට

ගෙල බිඳුණු පාන් පැළ අවට
දෙවි දේවතාවෝ නැතිවාට
මහ රෑක පාළු නැත
හුළු එළි අරං ඉරමඬුලු
ඇතාගල දිග
ගෙදර යන මොහොත දැකදැක
බංකුවක් උඩ ඈඳිගෙන

ළපලු තරු දෙපළු කළ
සුසුම් පළු
කළු සුදු පින්තූර සමරන
තොරතුරක් නැති රැයක්
කතාබහක් නැතිවට
පෑළ දොර ළඟ නිහඬ ව
ඇයට තනි රකින

ඩොමිනික් චන්ද්‍රසාලි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ලාංකීය සිනමා ඉතිහාසය තුළ ස්වකීය රංග ආශ්චර්යයෙන් සුවහසක් රසිකයන් පින වූ විශිෂ්ට රංග ශිල්පීන් ශිල්පිනියන් මෙන්ම ගේය පද රචනයෙන්, ගායනයෙන්, අධ්‍යක්ෂණයෙන් සිනමා සංස්කෘතිය පෝෂණය කළ ශිල්පීන්ගේ අපූර්වතම ජීවිත අත්දැකීම් එක්තැන් කරමින් ධම්මිකා අක්මීමන විසින් රචිත "තාරකාවෝ මනරම්ය" කෘතිය සමග 2014 සාහිත්‍යය මාසය වෙනුවෙන්, නුගේගොඩ නාවල පාරේ, නිර්මාණ මාවතෙහි පිහිටි "නැණිල පබ්ලිකේෂන්" වෙතින් ප්‍රකාශයට පත්කළ, නවකතා, යොවුන් සාහිත්‍ය, ළමා, ජීවන අත්දැකිම් සහ විචාර කෘති ඇතුළු කෘති පහළොවක් ජනගත කිරිමට කටයුතු යොදා ඇත.

තාරකාවෝ මනරම්ය- ධම්මිකා අක්මීමන
මැලෝරි ටවර්ස් හි පස්වන වසර- ලලිත් හීන්ගම
මැලෝරි ටවර්ස් හි අවසන් වසර- ලලිත් හීන්ගම
කිල්ලෝටය 02- ලලිත් හීන්ගම
එකට සැතපීලා- අනුර වික්‍රමසිංහ
අවලස්සන තාරා පැටියා- රංජිත් ඉලුප්පිටිය
ලංකා ඉතිහාසයෙන් කතා 01– රංජිත් ඉලුප්පිටිය
ජෙනී බ්‍රයිස්ගේ අබිරහස- රංජිත් ඉලුප්පිටිය
මකරන්ද කාව්‍යය විමංසා- ජයසිරි අලවත්ත
මත් බඹරාණෝ- ඇම්. ඩී. දයානන්නද
සහස්රා- නාලනී සෙනවිරත්න
ඉත්තෑ හාදු- සුනිල් විමලවීර
අමුතු කංකාරිය- රෝහිත බ්‍රහ්මචාරී
රූ සොබා- දමයන්ති විමලවීර
දූවිලි මිනිසාගේ කතන්දර- ශාන්ත ජයසේන, නිල්මිණි නානායක්කාර
අඳුරු කුටිය- සමන් පුෂ්ප ලියනගේ

දිනය- 2014 අගෝස්තු මස 28 වන දින
වේලාව- සවස 04.00 ට
තැන- කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ Crystal Upper Room
ප්‍රධාන අමුත්තා- මාලනී ෆොන්සේකා
දෙසුම්- මහාචාර්ය සුනිල් ආරියරත්න, අචාර්ය ප්‍රණිත් අභයසුන්දර, ප්‍රසන්න විතානගේ, ජයන්ත චන්ද්‍රසිරි, ඉනෝකා සත්‍යාංගනී සහ සනත් ගුණතිලක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"මා චිත්‍රපට මාධ්‍යය තෝරා ගත්තේ වඩාත් තීව්‍ර පර්යේෂණයන්ට එය පිටුවහලක් වන නිසාත්, මිනිස් මනසේ ගැඹුරු පාතාල ලෝකයට පිවිසීමට එයින් මං සැලෙසන නිසාත් ය."
- ධර්මසිරි බණ්ඩාරනායක


මෙවර මාසික සිනමා දැක්ම තුළින් ධර්මසිරි බණ්ඩාරනායකගේ "තුන්වැනි යාමය" සිනමා කෘතිය ප්‍රදර්ශනය වේ.

දිනය- 2014 අගෝස්තු 31
ස්ථානය- මාරිස් ස්ටෙල්ලා විදුහල් ශාලාව, මීගමුව
සවස 4.00- සිනමා කෘතිය පිළිබඳ අදහස් දැක්වීම- සාලිය ඉඳුරුවිතාන
සවස 5.00- සිනමා කෘතිය ප්‍රදර්ශනය

සංවිධානය- විණැන මාධ්‍ය හා කලා පදනම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ශ්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ පූර්ණ අනුග‍්‍රහයෙන් මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශන භූමියේ කැටපත් පවුර අසල කවි පොත් සල්පිල සැප්තැම්බර් 10 වැනි දා සිට 17 දින දක්වා පැවැත්වෙයි.

මෙවර එය වඩාත් විධිමත් වැඩපිලිවෙලක් සහ සංවිධිත ආකාරයෙන් පැවැත්වීමට සංවිධායක කමිටුව සැලසුම් කර ඇත. කවිපොත් සල්පිල පැවැත්වෙන අලෙවි කුටිය, කවියට අදාළ විවිධ විෂයන් ඔස්සේ ලියැවුණු කෘති තෝරා ගත හැකි වන පරිදි සකස් කෙරේ. කවිපොත් සල්පිල හරහා වසරකට වරක් නූතන කවි කිවිඳියන්ගේ නිර්මාණ ඇතුළත් කාව්‍ය සංග‍්‍රහයක් එළි දැක්වීමට කටයුතු සූදානම් කර ඇත.

සාහිත්‍යකරුවන්ගේ තොරතුරු ඇතුළත් නාමාවලියක් සකස් කිරීම සඳහා විස්තර රැස්කිරීමේ වැඩපිලිවෙලක් ද මෙම ස්ථානයේ දී ක‍්‍රියාත්මක කෙරෙයි.

ඔබ විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබූ කවිපොත්, කාව්‍ය විචාර සහ කවියට සම්බන්ධ වෙනත් කෘති සැප්තැම්බර් 10 වන දින උදෑසන කවිපොත් සල්පිල වෙත බාර දෙන ලෙස සංවිධායක කමිටුව දන්වා සිටියි.

විමසුම්:
සඳුන්- 0718028311
පියන්කාරගේ- 0714991168



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



රන් වන් සූරිය විකිරණ
අලෙව් දෙමින් සිනා නඟන
සේසත් ඉහළට ඔසවන
ආඩම්බර ජපන් ජබර

ඉබාගාතයේ ඇවිදින
ගෝකුර වැද බිඳුණ නියර
ඇළ මං අවුරා පල්වුණ
හිරිකිත මංගල දියවර

කෘමිනාශක බී මියගිය
රිදී මසුන් උඩුබැලි විණ
මහලු කණ කොකුන් සුදු හැඳ
අවමගුලට එන අරුමය

ඉරී වැරහැලිව එල්ලෙන
පරඬැල් ඉසලා වෙව්ලන
දෙණිකඩ අද්දර අසරණ
වඳ පීදුණු රඹ තුරුපෙළ

කිරි වැදෙනා සිහින යාය
විකා දමන කීඩෑ දත
අගුළු වැටේවි ද බිය වැද
බුරා පැමිණියත් ණය බර

ගෙලේ මාල දී උකසට
බොල් කරලේ ණය ගෙවන්න
පියෑඹී ද සිදාදියට
කෙසඟ තරුණ ගිරා රෑන

නොගැයූ නැළවිලි ගී පද
ඉපනැලි ළමැදේ හොවාන
පුතු ආ ගිය අත නොම දැන
නිදන මහලු මවකි කුඹුර

[සල්ගහ යට |1996]

රත්න ශ්‍රී විජේසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ජීවිතය මොනවා හෝ කරන්නැයි මට බලකරයි; ඉතින් මම චිත්‍ර අඳින්නෙමි!



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


ඉකුත් කළු ජූලි සැමරුමට සමගාමීව, 'ඒකාකාරය' (Monotony) නමින්, පැවැත්වූ දෘශ්‍ය කලා ප‍්‍රදර්ශනය පිළිබඳ රාවය පුවත්පත වෙනුවන් අරුණ ජයවර්ධන, චන්ද්‍රගුප්ත තේනුවර සමග කළ සාකච්ඡාවකින් ගත් උද්ධෘත කිහිපයකි පහත පළ වන්නේ. (එම සම්පූර්ණ ලිපිය- මෙතනින්)

"....පහුගිය වසර ගණනාව තිස්සේ රටේ තියෙන විපරිණාමයන් දිහා බැලූවාම අපට පෙනෙනවා අපේ ජීවිත ශීඝ‍්‍රයෙන් ඒකාකාර වෙනවා. රටේ පැවැත්මත් ඒකාකාර වෙනවා. සියලූම දේ ඒක-ආකාර විදියකට තමයි යන්නේ.... 1983 කළු ජූලියේ සිට 2014 කළු ජූනිය දක්වා රටේ සිදුවන දේවල ඒකාකාරයක් පෙනෙන අතරේ මිනිස්සු අදහස් පළනොකිරීමත්, නිහඬව සිටීමත් කැපීපෙනෙනවා. අදහසක් ප‍්‍රකාශ නොකිරීමේ තත්ත්වයට සමාජය වුවමනාවෙන්ම පත්කරලාත් තියෙනවා. ඒ පත්කිරීම ස්වකැමැත්තෙන්ම භාරගෙන ඊටත් වඩා හොඳින් ඊට අනුගත වීමේ ස්වභාවයකුත් තියෙනවා. එනිසා දිව-ලොප් ජාතියක් ඇතිවෙලා තියෙනවා. අදහස් ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රධානතම අවයවය නැති මිනිසුන් බිහිවෙලා තියෙනවා. මේ සංකල්පය ඇතිව එක මූර්තියක් ඉදිවූයේ බදාමයෙන් තොර කුලූණු ස්වභාවයේ ගඩොල් ව්‍යුහ මත. සංවර්ධනය සඳහා ගෙනා ඒ වාගේ ගඩොල් අට්ටි ගොඩගසා තියෙන හැටි කොළඹ ඇවිදිනකොට අපට හමුවෙනවා. අද මිනිසුන්ට තියෙන්නේත් එවැනි ගඩොල් ආකාරයට අට්ටි ගසා සකස් කරන ලද කඳක්. ඒ ගඩොල් ආකාරයේ කුලූනු මත හිස් තියෙනවා. ඒවායේ ඇස් කන්, නාසා තියෙනවා. නමුත් ඔවුන්ට කටවල් නැහැ.



මේ සංවර්ධන ව්‍යාපෘති, නගර අලංකරණය පෙන්නුම් කරන්නේ මිනිසුන්ගේ යහපත වෙනුවෙන්, විදේශිකයන් අද්දාගැනීමේ වුවමනාව වෙනුවෙන් කරනවාය කියලා. නමුත් ඒවායේ වර්ණ රටාව තුළත් කිසියම් ආකාරයක ඒකාකාරයක් දක්නට ලැබෙනවා. ඒ ඒකාකාරයම අපව කිසියම් මානසික නිද්‍රාගතවීමකට හෝ මෝහනයවීමකට කැඳවා තිබෙනවා. මේ මෝහනය හරහා නගරයේ පැවැත්ම සඳහා මිනිසුන් යාන්ත‍්‍රිකව ජීවත්විය යුතුයැ’යි කියන අදහසක් සමාජගත කරලා තියෙනවා. නගරයෙන් ආරම්භ කළ එක දිසාවකට ගමන්කිරීමේ ක‍්‍රමවේදය ක‍්‍රම ක‍්‍රමයෙන් හැම තැනටම ආදේශ කරමින් තිබෙනවා. මිනිස් පැවැත්මත් ඒ අනුව ඒකාකාර කොට තිබෙනවා.

විවිධත්වය තිබුණු සමාජයක්, වෙනස්කම් ගරු කළ සමාජයක් එක පැත්තකටම යොමු කළාට පස්සේ බැටලූ රංචුවක් වගේ ඉස්සරහ අය යන පැත්තටම ගමන්කරනවා. මේ තත්ත්වය නිසා නැවත ඒකාකාරය හා ඒකාධිපතිත්වය පවත්වාගෙන යන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙනවා.....

.....බුද්ධිමත් මිනිස්සු කවදාවත් ඔය ගිනිතියන වැඩවලට සහභාගිවෙන්නේ නැහැ. නිහඬව ඉන්නවා. නමුත් මම කියන්නේ ඒ නිහඬවුණා ඇති කියලා. ඒ නිහඬවීම නිසා තමයි මේ අලූත් විනාශයන් ඇතිවෙන්නේ. සිහිබුද්ධියක් තියෙන අය විනාශය සඳහා කැඳවන්න බැහැ. ඒත් සිහිබුද්ධියක් තියෙන අය නිහඬව සිටින තැනට රටක් පත්වීම තමයි ඛේදවාචකය....."











Images- yamu.lk



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


කීර්තිධර භෞතික විද්‍යාඥ ස්ටීවන් විලියම් හෝකින් (1942-) විශ්වයේ කුතුහලය දනවන රහස් ද මිනිස් වගෙහි අනාගතය ද පිළිබඳ සිය පළල් දැක්ම විශද කරමින් කළ දෙසුම.

TED වෙබ් අඩවියේ 2008 අප්‍රේල් 08 වන දාතමින් යුතුව යාවත්කාලීන කළ මේ දෙසුමේ යූටියුබ් ආඩියාව මේ වන විට නැරඹීම් 4,460,000 ඉක්මවා තිබේ. ස්නායු ආබාධයක් හේතුවෙන් සම්පූර්ණ සිරුරම අප්‍රාණිකව ජීවත්වන හැත්තෑ දෙහැවිරිදි ප්‍රාඥයා, අදහස් සන්නිවේදනය සඳහා කථන උත්පාදක යන්ත්‍රයක් භාවිතා කරයි.

"විශ්වය තරම් විශාල හෝ පැරණි අන් කිසිවක් නොමැත. මා සාකච්ඡා කිරීමට කැමති ප්‍රශ්ණ කිහිපයකි; අප පැමිණියේ කොහෙන්ද? විශ්වයේ පැවැත්ම ඇතිවූයේ කෙසේද? විශ්වය තුළ අප වෙසෙන්නේ හුදකලාවද? පිටසක්වල ජීවයක් තිබේද? මිනිස් වගෙහි අනාගතය කෙබඳු වේද?

1920 වන තුරුත්, විශ්වය යනු ඉඳුරාම ස්ථීතික සහ කාලයත් සමග නොවෙනස්වන සුළු දෙයකැයි සියල්ලෝ සිතූහ. පසුව සොයාගැනුනේ, විශ්වය ප්‍රසාරණය වෙමින් පවතින බවයි. ඈත එපිට මන්දාකිණි අප වෙතින් ඉවතට චලනය වෙමින් පවතියි. ඉන් අදහස් වන්නේ, එකී මන්දාකිණි අතීතයේදී අපට වඩා සමීපව පවතින්නට ඇති බවයි. නැවත මුලටම යතොත්, වසර බිලියන පහළොවකට පමණ පෙර, සියළු මන්දාකිණි එක මත එක තිබූ යුගයක් තිබෙන්නට ඇත. විශ්වයේ ඇරඹුම; මහා පිපිරුම (Big Bang) නම් එයයි!

එහෙත්, ඉනුත් එපිට, මහා පිපිරුමෙනුත් පෙර කිසිවක් තිබිණිද? එසේ නොවිණි නම්, විශ්වය මැවුනේ කවර නම් දෙයකින්ද? මහා පිපිරුමෙන්, විශ්වය බිහි වූයේ කිනම් හේතුවකින්ද? විශ්වය පිළිබඳ න්‍යාය කොටස් දෙකකින් යුතු වේ යැයි සිතන්නට අප හුරුව සිටිමු. පළමුවැන්න නම්, මැක්ස්වෙල්ගේ සමීකරණ සහ සාමාන්‍ය සාපේක්ෂතාවාදය බඳු විශ්වයේ පරිණාමය නිර්ණය කෙරෙන නියමයන් ය. දෙවැන්න නම්, විශ්වයේ මුල් ස්වරූපය ගැන ප්‍රශ්ණ නොනැගීම ය.

මින් පළමුවැන්නෙහි ලා අප මනා ප්‍රගතියක් ලබා ඇත්තෙමු; බොහෝ ආන්තික තත්ත්වයන් හැර පරිණාමය පිළිබඳ නියමයන් විෂයයෙහි අවැසි දැනුම අප ලබා ඇත්තෙමු. එහෙත් මෑතක් වන තුරුම, විශ්වයේ මුල් ස්වරූපය පිළිබඳ අපට තිබුණේ ඉතා කුඩා අදහසක් පමණි. කෙසේනමුත්, පරිණාමයේ නියමයන් සහ විශ්වයේ මුල් ස්වරූපය තේරුම් ගැනීම සම්බන්ධ මෙකී විභේදනය, වියුක්ත සහ ස්වායත්ත ලෙස, කාලය සහ අවකාශය මත යැපෙයි. ආන්තික තත්ත්වයන් යටතේ, සාමාන්‍ය සාපේක්ෂතාවාදය සහ ක්වොන්ටම් න්‍යාය මගින් 'අවකාශයේ'ම වෙනත් මානයක් ලෙස 'කාලය' හඳුනාගැනෙයි. එමගින් කාලය සහ අවකාශය අතර වෙනස ඉවත් කෙරෙන අතර පරිණාමයේ නියමයන් මගින්ම විශ්වයේ මුල් ස්වරූපය නිර්ණය කිරීමේ හැකියාව ඇති කරනු ලබයි. විශ්වයට, ස්වයං සිද්ධවම, කිසිදු දෙයකින් තොරව තමන්වම බිහි කර ගැනීමට හැකිය!

එපමණක් නොව, අපට විශ්වය ඒ ඒ අවස්ථාවන්ගේ දී බිහි වූ අන්දම පිළිබඳ සම්භාවිතාව ගණනය කිරීමට හැකිය. මෙකී නිරීක්ෂණ, මුල් කාලීන විශ්වය පිළිබඳ මුද්‍රාවක් බඳු වූ, WMAP චන්ද්‍රිකාවේ(1) අන්තරීක්ෂ සූක්ෂ්ම තරංග නිරීක්ෂණ සමග කදිමට පෑහෙයි. මැවිල්ලේ අභිරහස අප විසඳා ඇතැයි සිතමු. ඉදින් අප විශ්වයේ 'පේටන්ට්' බලපත්‍රය ලබා ගෙන සියල්ලන්ගෙන් ඒවායේ පැවැත්ම උදෙසා 'කර්තෘභාගය' ලබා ගත යුතුය!

දැන් මා යොමුවන්නේ දෙවැනි මහා ප්‍රශ්ණය දෙසට. විශ්වයේ අන් තැනෙක ජීවය පවතිනවාද? අප හුදකලා වී සිටින්නෙමු ද? පෘථිවිය මත ජීවය ස්වයංසිද්ධව පැන නැගිණි යැයි අප විශ්වාස කරන්නෙමු. එපරිද්දෙන්, විශ්වයේ වෙනත් සුදුසු ග්‍රහලෝකයක ජීවය බිහි වීම පිණිස විශාල ‘විය හැකියාවක්’ තිබේ.

එහෙත්, ජීවය මුලින් පහළ වූයේ කෙසේදැයි අප නොදන්නෙමු. ජීවය පහළ වීමට සාක්ෂි පිණිස නිරීක්ෂණමය සාක්ෂි ද්විත්වයක් අප සතුය. එනම්, පළමුවැන්න, වසර බිලියන 3.5ක් පැරණි ඇල්ගී පොසිලයකි. පෘථිවිය වසර බිලියන 4.6කට ප්‍රථම බිහි වන්නට ඇති අතර, එන් පළමු වසර බිලියන අඩක්ම අධික උෂ්ණත්වයකින් යුක්ත වන්නට ඇත. ඉන් කියැවෙන්නේ, මිහිමත ජීවය පහළ ව ඇත්තේ, එසේ විය හැකිව තිබූ වසර බිලියන අඩක කාල පරිච්ඡේදයක් තුළ බවයි. පෘථිවිය වර්ගයේ ග්‍රහලෝකයක සම්පූර්ණ ආයු කාලය සේ සැලකෙන වසර බිලියන 10ක කාලය හා සැසඳීමේදී, ජීවය බිහි වීම පිණිස ගත කරන ලද වසර බිලියන අර්ධය යනු සාපෙක්ෂව අඩු කාලයකි. මෙමගින් ඒත්තු ගැන්වෙන්නේ, ජීවය පහළ වීමේ සම්භාවිතාවය සෑහෙන තරම් ඉහළ බවය. එය ඉතා පහළ වූයේ නම්, ඉතිරිව ඇති වසර බිලියන දහයෙන් ඊට වඩා වැඩි ප්‍රමාණයක් ගත වීමට ඉඩ තිබිණි.

අනෙක් අතට, පිටසක්වල ජීවීන් පෘථිවියට පැමිණි බවක් පෙනෙන්නට ඇත්තේ ද නැහැ. හඳුනා නොගත් පියාසර වස්තු (UFO) පිළිබඳ වාර්තා මා තකන්නේ නැහැ. පිටසක්වල ජීවීන්, මනස්ගාතකාරයන්ට සහ විකාරකාරයන්ට පමණක් පෙනෙන්නට එන්නේ මන්ද? පිටසක්වල ජීවීන් රැගෙන එන විද්‍යාත්මක දැනුම තමන් සන්තක කරගෙන, එබඳු පැමිණීම් පිළිබඳ වාර්තා යටපත් කොට ගෙන සිටීම සඳහා ආණ්ඩු විසින් කරනු ලබන කුමන්ත්‍රණයක් තිබේ නම්, එය පුදුමාකාර විකාර ප්‍රතිපත්තියක් විය යුතුය. එපමණක් නොව, SETI ව්‍යාපෘතියෙන්(2) කෙරෙන පෘථුල ගවේෂණ තිබියදීත්, පිටසක්වල රූපවාහිනී ප්‍රශ්ණ විචාරාත්මක තරග වැඩසටහන් අපට නම් ඇසී නැත! මේ සියල්ලේ හැඟවුම නම්, අපෙන් ආලෝක වර්ෂ සිය ගණනක පරිධියැති වෘත්තාකාර සීමාවක් තුළ නම්, අපේ දියුණුවේ මට්ටමට ළඟා වූ කිසිදු පිටසක්වල ශිෂ්ටාචාරයක් නොමැති බවයි. ඉදින්, පිටසක්වල ජීවීන් විසින් පැහැර ගැනීම ආවරණය කිරීම පිණිස රක්ෂණ ඔප්පුවක් පිරිනැමීම ඕනෑම කෙනෙකුට නොබියව කළ හැක්කක්!

දැන් මා එළඹෙන්නේ, මහ ප්‍රශ්ණවලින් අවසන් ප්‍රශ්ණයටයි; මිනිස් වගෙහි අනාගතය! චක්‍රාවාටයට ම සිටින එකම බුද්ධිමත් ජීවීන් අප නම්, අප එකී ජීවය දිගටම පවත්වාගනිමින් නොනැසී සිටිය යුතුයි. එහෙත්, අප ඉතිහාසයේ අතිමහත් බියකරු යුගයකට පිය මනිමින් සිටින්නෙමු. හොඳට හෝ නරකට පරිසරය වෙනස් කිරීමට අප සතු තාක්ෂණික හැකියාවන් සමගින්ම අපගේ ජනගහණයත්, මිහිමතැති සීමිත සම්පත් පාරිභෝජනයත් අධි වේගයකින් වැඩෙමින් පවතියි. එහෙත්, අපගේ ජාන රටාවන් තවමත් (ආදිතම යුගයන්ගේදී අපට නොනැසී පවතීම සඳහා වාසිදායකව බලපෑ) ආත්මාර්ථකාමී සහ කලහකාරී ආශයන් දරයි. එළඹෙන ඉදිරි වසර දහසක් හෝ මිලියනයක් තිබියේවා, වසර සියයක්වත් නිරුපද්‍රිතව පැවතිය නොහැකි බවකි දිස්වනුයේ.

අපට දීර්ඝ කාලීන පැවැත්මක් සඳහා ඇති එකම අවස්ථාව නම්, පෘථිවියේ සැඟවී සිටීම නොව, අභ්‍යවකාශය දක්වා පැතිර යාමයි. මේ මහා ප්‍රශ්ණයන්ට ලද පිළිතුරු මගින් පෙනෙන්නේ ගෙවුණු වසර සිය ගණනක් තුළ අප විශිෂ්ට ප්‍රගතියක් ලබා ඇති බවයි. එහෙත්, එළඹෙන වසර සියයෙන් එහාට, අපගේ අනාගතය ඇත්තේ අභ්‍යවකාශයේයි. මේ මහා ප්‍රශ්ණයන්ට ලද පිළිතුරු මගින් පෙනෙන්නේ ගෙවුණු වසර සිය ගණනක් තුළ අප විශිෂ්ට ප්‍රගතියක් ලබා ඇති බවයි. එහෙත්, එළඹෙන වසර සියයෙන් එහාට, අපගේ අනාගතය ඇත්තේ අභ්‍යවකාශයේයි. මා මිනිසුන් රැගත් අජටාකාශ පියසැරියක් වෙනුවෙන් පෙනී සිටින්න්නේ එබැවින්.

මගේ මුලු දිවිය පුරා මා බලාපොරොත්තු වූයේ මෙකී ප්‍රශ්ණ වලට පිළිතුරු සෙවීමටයි. විශ්වය වටහා ගැනීමටයි. මගේ අබලතාව ඒ සඳහා බරපතල බාධකයක් නොවීම මා ලද මහත්ම වාසනාවක්. ඇත්ත වශයෙන්ම, ඇතැම්විට එකී අබලතාව නිසා වෙනත් අයට වඩා වැඩි කාලයක් දැනුම ලුහුබැඳ යාම පිණිස මට ලැබී තිබේ. අවසන් අරමුණ වන්නේ, විශ්වය පිළිබඳ පරිසමාප්ත න්‍යායක්; එහි ලා අප ඉතා හොඳ ප්‍රගතියක් පෙන්වමින් සිටින්නෙමු.

අසා සිටියාට ස්තූතියි."



1. Wilkinson Microwave Anisotropy Probe (WMAP)- 2001 ජූනි මාසයේදී NASA ආයතනය මගින් අජටාකාශගත කළ ගවේෂණ යානයකි. එය විශිෂ්ට සාර්ථකත්වයක් අත් කරගත් ව්‍යාපෘතියක් වූ අතර විශ්වය පිළිබඳ අධ්‍යන ක්ෂේත්‍රයේ දැන් භාවිතාවන සම්මත මාදිලිය සඳහා පදනම දැමුවේය.

2. SETI (Search for ExtraTerrestrial Intelligence)- පිටසක්වල බුද්ධිය ගවේෂණය කරනු පිණිස කෙරෙන ගවේෂණ කටයුතු.

පරිවර්තනය - නද්යා භාෂිණී අමරනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ගස
මල් පෙති
හෙළනු දැක මම
එහි පා-මුලට ගියෙමි

ගස විය නිසල!

පසු දින ද
එ-ගස මල් විසිරුවනු
දකිමි මම
පිය නඟමි
නුදුටු වන
එහා
මල් නැති ගසට.

[පහන් පා |2008]

ජයත් පියදසුන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නිල්පැහැ මහ යෝදයෙක්ය
මා පෙම්බර මාරිමුත්තු
සේදවත්තෙ ලෑලි ගෙයක
පිච්ච මලක් විසින් වදපු

සේදවත්ත හැමදාමත්
වදුලු වත්ත දිහා බලන්
හොරෙන් හොරෙන් ඉඟි කරනව
මුඩුක්කු යායටත් හොරෙන්

නුගේ යටට මුත්තු ඇවිත්
කැඩුණු සිහළ බස් මුමුනයි
ශ්වේත වර්ණ සිනා පොදින්
මසිත වටා වැටක් බඳියි

තනි වූ සැළයෙක් වාගේ
කාදල් ගැන ගීත ගයයි
වදුලු වත්තේ හැම ගහක්ම
ගීයට අත්තල නංවයි

නළල් තලා තනිකඩ වුණු
කස්තුරි කහ සඳ මුහුණට
කුංකුම තිලකය අකැපලු
තහංචි බැඳලා

වැයික්කියම පීර පීර
නුඹෙ සැළමුතු පෙමට පෙමක්
ඔවුන් සොයනවා

වදුලුවත්ත සේදවත්ත
වටකර වැට බැඳ තබලා
වැටට උඩින් නුඹෙයි මගෙයි
හිත් පියඹනවා

සැළයකු ගිරවියක් එක්ක
කොහොම ඉඳින්නද අහන්න
රස තුරු පළවැල අඩුනැති
ගිරවුන් ගැන ඉඟිකරන්න
නෑයො ඉන්නවා

අත් බෝම්බ කැති මන්නා
අමෝර ගත් හරි අභීත නෑයො ඉන්නවා

නෙක විස රුපු කැළ පිරි විමනෙන්
අපි යමු මුත්තු
මාල ගිරවි මුතුමාලය
ගලවමු මුත්තු

එකිනෙක මුතු ඇට පොළොවට
විසුරමු මුත්තු
ජීවිත මුතුවැල එක්වී
අමුනමු මුත්තූ…………

[සිතුවම|Stephanie Clair]

එරන්දි ඉරේකා තිරාණගම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



රන්ජිත් ධර්මකීර්ති රචනා කළ, ග්‍රීසියේ ඓතිහාසික තොරතුරු, මිථ්‍යාවේදය, ඇදහිලි විශ්වාස, රංග භූමි, ක්‍රීඩා හා සංචාරක සටහන් ඇතුළත් "අසිරිමත් ග්‍රීසිය" කෘතිය සමග "සත් මහල" නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනය- Mansion, දොරට වැඩීමේ උළෙල, 2014 අගෝස්තු 27 වැනි දින සවස 3.00ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. සත් මහල ඉංග්‍රීසි පරිවර්තනය, පී. වත්තේගමගෙනි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේදී කීර්තිමත් ඉතාලියානු චිත්‍රපට අධ්‍යක්ෂක මයිකල්ආන්ජලෝ අන්තෝනියෝගේ තෝරාගත් චිත්‍රපට කිහිපයක් මෙන්ම ඉතාමත් ජනාදරයට පාත්‍ර වූ ජාත්‍යන්තර සිනමා තාරකාවක් වන ජුලියෙට් බිනෝෂ් රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක් තිරගත වීමට නියමිතය.

මයිකල්ආන්ජලෝ අන්තෝනියෝ ප්‍රත්‍යාවේක්ෂණ දැක්ම

ඉතාලියේ ඉපැදුණු මයිකල්ආන්ජලෝ අන්තෝනියෝ (1912 – 2007) ජාත්‍යන්තර කීර්තියට පත් සිනමා අධ්‍යක්ෂවරයකු, තිරකතා රචකයකු සහ කෙටිකතාකරුවකු වෙයි. වෘතාන්ත චිත්‍රපට දහසයක් ද කෙටි චිත්‍රපට ගණනාවක් ද අධ්‍යක්ෂණය කළ අන්තෝනියෝ වඩාත් ප්‍රකට වූයේ නූතනත්වය සහ ඉන් නිර්මිත අසහනය පිළිබිඹු කළ L’Avventura (1960), La Notte (1961) සහ L’Eclisse නම් වූ තුන් ඈදුතු සිනමා කෘති නිසාවෙනි.

අන්තෝනියෝ, චිත්‍රපට විචාරකයන්ගේ නොමඳ සම්භාවනාවට පාත්‍රව ඇත. L’Avventura (1960) සහ L’Eclisse චිත්‍රපට ද්විත්වය පිළිවෙලින් 1960 සහ 1962 වර්ෂවල දී කාන්ස් සිනමා සම්මාන උළෙලේ ජූරියේ ත්‍යාගය ඔහුට හිමිකර දුන් අතර, එම උළෙලේ ඉහළම ගෞරවය ලෙස සලකන රන්වන් අත්ල (Golden Palm) සම්මානය 1962 දී Blow up චිත්‍රපටය වෙනුවෙන් ඔහු දිනාගෙන ඇත. අන්තෝනියෝ ගේ චිත්‍රපට බර්ලින් සහ වෙනිස් චිත්‍රපට උළෙලවල්වල දී ද සම්මානයට පාත්‍ර විය. ඇමරිකානු කලා සහ විද්‍යා චලන චිත්‍ර ඇකඩමිය විසින් අන්තෝනියෝට 1995 දී ගෞරව සම්මානයක් පිරිනමනු ලැබිණි.

ලෝක සිනමාවට අන්තෝනියෝගෙන් සිදුකෙරුණු ඉමහත් දායකත්වයට ගෞරවයක් වශයෙන් කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල L’Avventura (The Adventure 1962), Il Deserto Rosso (Red Dessert 1964), Cronaca di un amore (Story of a Love Affair 1950), Il mistero di Oberwald (The Mystery of Oberwald 1980) සහ Identificazione di una Donna (Identification of a woman 1982) වැනි ඔහුගේ සම්මානයට පාත්‍ර වූ චිත්‍රපට කිහිපයක් ඉදිරිපත් කරනු ඇත.


Cronaca di un amore (Story of a Love Affair 1950)


L’Avventura (The Adventure 1962)


Il Deserto Rosso (Red Dessert 1964)

මෙම ප්‍රත්‍යාවේක්ෂණ සිනමා දැක්මට අන්තෝනියෝ ගේ Kuo Cina (1972) යන වාර්තාමය චිත්‍රපටය ද ඔහුගේ ජීවිතය සහ නිර්මාණ පාදක කොටගත් Antonioni Su Antonion (2008) නම් වාර්තාමය චිත්‍රපටිය ද අයත් වේ.

ජුලියෙට් බිනෝෂ් ප්‍රත්‍යාවේක්ෂණ දැක්ම

ප්‍රංශ ජාතික නිළි ජුලියෙට් බිනෝෂ් වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ බර්ලින් ජාත්‍යන්තර චිත්‍රපටි උළෙලේ දී ඇයට හොඳම නිළියට හිමි සම්මානය හිමිකර දුන් Krzysztof Kieslowski ගේ Three Colors: Blue (1993), හොඳම සහාය නිළිය සඳහා වන ඇකඩමි (ඔස්කා) සම්මානය හිමිකර දුන් The English Patient (1996) සහ ජොනි ඩෙප් සමඟින් ඇය රඟපෑ හොඳම නිළිය සඳහා වන ඇකඩමි සම්මානයට නිර්දේශිත වූ Chocolat (2000) වැනි චිත්‍රපට නිසාවෙනි.

චිත්‍රපට 40ක් ඉක්ම වූ ඇගේ රංගන ජීවිතයේ දී, බිනෝෂ් ප්‍රධාන වාණිජ ධාරාවේ චිත්‍රපටවලින් අවශ්‍ය පමණට දුරස්ථ වෙමින් සහ කලාත්මක සහ වාණිජ නිෂ්පාදනයන් අතර සමබරතාවය මනාව පවත්වා ගනිමින් සිය ජාත්‍යන්තර ප්‍රතිරූපය මැනැවින් රැක ගත්තාය. ප්‍රංශ සහ ඉංග්‍රීසි චිත්‍රපටවලට ඇය ලබාදුන් දායකත්වය නිසාවෙන් වින්සන්ට් කාලස් සහ ජීන් රෙනෝ වැනි නළුවන් මෙන් කර්මාන්තයෙහි වඩාත්ම ඉල්ලුමක් සහිත ප්‍රංශ රංගනවේදිනියක ලෙස නමක් දිනාගන්නට ඇය සමත් වූවාය.

ඇයගේ බහුවිධ සහ ප්‍රශංසනීය රංග කාර්යය සමරමින් කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල ඇයට කාන්ස් සම්මාන උළෙලේ, හොඳම නිළියට හිමි සම්මානය දිනා දුන් Copie Conforme "Certified Copy" (2010) චිත්‍රපටිය ද Les Amants du Point-Neuf (1991), Mauvais sang "Bad Blood" (1986), Disengagement (2010) සහ Le Hussard sur le toit "The Horseman On the Roof" (1995) වැනි චිත්‍රපට ද තිරගත කරයි.


Copie Conforme "Certified Copy" (2010)


Le Hussard sur le toit "The Horseman On the Roof" (1995)


Les Amants du Point-Neuf (1991)



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



තිලක් නන්දන හෙට්ටිආරච්චි නිර්මාණ කළ, "ගුටි කෑමට නියමිතයි" නාට්‍යය, 2014 අගෝස්තු 27 වන දින, සවස 5:00ට, පේරාදෙණිය එදිරිවීර සරච්චන්ද්‍ර්‍ර එළිමහන් රංග පීඨයේදී රංගගත කෙරේ.

රංගනය- ඩබ්ලිව්. ජයසිරි, සරත් කොතලාවල සමග ධර්මප්‍රිය ඩයස්
සංවිධානය- විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය

Guti Kamata Niyamithayi, Sinhala Drama, Thilak Nandana Hettiarachchi, Peradeniya Wala



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



-උඩුකය නිරුවත් නාරි රූ සහිත සඟරාවක් ළඟ තබාගෙන හසු වූ සිසුන් දෙදෙනෙකු පාසලෙන් දොට්ට දමයි. මේ එතැන් සිට;

ලොකු සර්...
කමක් නෑ එළෙව්වට
පාසැලෙන්

ඉඩ දෙන්න යුරේසියන් කෙල්ලන්ට
අපිත් එක්කම යන්න
උන් ඇත්තෙ අපට හරි ආදරෙන්

සත්තං ඕං!
අපි නෙවෙයි වැරදිකාරයෝ
මා ඔයේ වම් ඉවුරබඩ
ආං ඉන්නව තාම
වසංගත ලෙඩකාරයා
(වෙන කවුරුවත් නෙවෙයි
අපේ සිංහල සර්)

සැලළිහිණියේ අඟනුන්ට
පණ නොදුන්නා නම්
අප්සරා වල් ගැහැණු ගැන
ගල් ගැහෙන කවි නොකීවා නම්
නෑ මේ වගේ නිංගිරාවක්
එහෙම නම් අපිත් අද හොඳින්

පුළුලුකුල - රිය සක වන්
තැඹිලි රත ගත්- තිසර තන්
ඔන්න ඕවයි සර්
අපිට දරන්නට බැරුව ගිය තැන්

සිරා සහ මා ගාව
හිටිය උන් බෝ තුටින්
අතින් අත ගියේ නම්
අපේ වරදින්

ලොට තනැති කෙල්ලෙකුගෙ
ඇහැ නොගැටුනා නම්
උස් ළැමත් දරාගෙන
අදත් උන් ඉන්නවා හොඳින්....

පසු සටහන

පිස්සෙක් වගේ
කාලය දුවා ඇත හැල්මේ
වෙච්ච අපරාදේ
පව්! කෙල්ලො දුක් විඳිනවා
ලොකු සර් තුරුලේ

ලෙඩකාරයා නිදැල්ලේ
වසංගත කවි උණ බෝ කරනවා
සිතු සේ....
සිරා මා බැහැදකින අතරේ
ගිලෙනව සිනා සයුරේ
අර අතීතය ඇසුරේ

“සෙල්ලමක් නෙවෙයි
අපේ ජීවිත අනතුරේ
ඔයාටත් බෝ වෙලා කවි ලෙඩේ
අපි සදහටම අඳුරේ”
ඇඟවුම බිරිඳගේ

සේරටම මුල
වසංගත ලෙඩ කාරයගෙ භජනේ
මදැයි කරගත්ත අපරාදේ!

-යන්නං චන්දරේ (2014)

ඩී. එම්. ටීම්රාන් කීර්ති



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සාර සංක්ෂේපය-

මෙම පර්යේෂණය මගින් සම්ප්‍රදාය පිළිබඳ කථීකාව පුළුල් ව හා ගැඹුරින් විමසුමට ලක් කිරීම අරමුණු කෙරේ. අධ්‍යයනය ප්‍රධාන කොටස් කිහිපයකින් යුක්ත වේ. එනම් සම්ප්‍රදාය යන යෙදුමේ සංස්කෘත නිරුක්ති හා Tradition යන ඉංග්‍රීසි පදයේ ලතින් නිරුක්ති විමසීමත් ඊට අද්‍යතන ශබ්දකෝෂකරුවන් විසින් දෙනු ලබන අර්ථ විමසීමත්, සංකල්පයක් ලෙස නවීනත්වය යන පදයට විරුද්ධාර්ථයෙන් එය යෙදිය හැකි ද යන්න විභාග කිරීමත් මෙහි දී සිදු කෙරේ. සම්ප්‍රදාය ව්‍යුහයක් ලෙස විග්‍රහ කිරීමත් "සම්ප්‍රදායික" නමැති සංකල්පයෙන් එය වෙනස් වන ආකාරයත් මෙහි සාකච්ඡා කෙරේ.

සම්ප්‍රදාය පිළිබඳ ඉන්දු උප මහද්වීපික කලාපයේ ඇති දැනුම ගවේශණය කිරීමත්, ඔවුහූ සම්ප්‍රදාය දෙවියන්ගේ අදෘශ්‍යමාන හෙන්ඩුව ලෙස සමාජගත මිනිසා මෙහෙය වීමට භාවිත කළ ආකාර විග්‍රහ කිරීමත් මෙම පර්යේෂණයෙන් සිදු කෙරේ. පෙරදිග සම්ප්‍රදාය සංකල්පයක් ලෙස පැවතිය ද එම භාෂාත්මක යෙදුම යටත් විජිත උරුමයක් ලෙස ලබා ගත් ආකාරයත් විදාරණය කෙරේ.

සම්ප්‍රදාය පිළිබඳ නිදහස් මානවවාදීන්ගේ විග්‍රහ කිරීම් හරහා නූතන අවධියේ එය ශාස්ත්‍රාලීය සංකල්පයක් ලෙස වර්ධනය වූ ආකාරයත් යටත් විජිතකරණය හරහා එම දැනුම ලොව පුරා ව්‍යාප්ත වූ ආකාරයත් විස්තර කරමින් ස්වදේශිකරණයේදී යටත් විජත වල උගතුන් විසින් එළියට් හා ලෙවිස් ආදීන්ගේ සංකල්ප භාවිතයට ගන්නා ආකාරයත් විමර්ශනය කෙරේ.

සම්ප්‍රදාය නිර්මාණය කිරීමේ භාවිතය පිළිබඳ යටත් විජිත අත්දැකීම් සැළකිල්ලට ගනිමින් එහි දිව්‍යමය ස්වරූපය භෞතික අර්ථකථනයකට ලක් කෙරෙන එරික් හොබ්ස් බෝව්ම් හා ටෙරන්ස් රේන්ජර්ගේ ශාස්ත්‍රීය මැදිහත්වීම සාකච්ඡාවට භාජනය කිරීමත් ව්‍යුහයක් ලෙස සම්ප්‍රදාය නිර්ප්‍රභූ ජනයාට ස්වකීය නිදහස උදෙසා කරන සටනේ දී අවියක් ලෙස භාවිත කිරීමට ඇති ශක්‍යතාව අවධාරණය කිරීමත් මෙ මගින් සිදු කෙරේ.

සම්ප්‍රදාය යනු සාහිත්‍ය විචාරයට මෙන් ම සමාජ විචාරයටත් සමාජ සංශෝධනයටත් භාවිත කළ හැකි නූතනත්වය තුළ සම්භව වූ සාධනීය සංස්කෘතික ව්‍යුහයකිය යන්න මේ පර්යේෂණය මගින් සාධනය කෙරේ.

ප්‍රමුඛ පද- සම්ප්‍රදාය, නූතනත්වය, සර්වකාලීනත්වය, නිදහස් මානව වාදය, ඉන්දු උප මහද්වීපය

සම්ප්‍රදායේ සංස්කෘත නිරුක්ති

සම්ප්‍රදාය නමැති පදයේ නිරුක්තිය සැකසී ඇත්තේ සංස්කෘත ස+ ප්‍ර+ ධ යන ශබ්දවල එකතුවෙනි. ස(සං) යනු පරිපූර්ණ යන අර්ථයේ යෙදෙන උපසර්ගයකි. ප්‍ර යනු අතිශයාර්ථයේ යෙදෙන උපසර්ගයකි. යනු දැරීමේ අර්ථ ඇති ධාතුවකි. සම්ප්‍රදා නමැති වචනයට සිංහල වාක්‍යාවසාන නිපාතය එකතු වී සම්ප්‍රදාය යන වචනය තැනී ඇත. මේ පදයේ අර්ථ වනුයේ පරපුර, පිළිවෙල, සම්මුතිය, සිරිත, රීතිය, රූඪීය, උරුමය පරපුරෙන් ලැබුණු දැනුම, පාරම්පරික සිද්ධාන්තය, ආගමික සිද්ධාන්තය, විශේෂ දේවියකට පවත්වන පූජා විධිය යනුයි. (අලගියවන්න, 1925)

සම්ප්‍රදාය පිළිබඳ හින්දු ආගමික කතිකාව

සම්ප්‍රදාය යන සංකල්පය හින්දු ආගම තුළ ප්‍රධාන ස්ථානයක් ගනි යි. හින්දු දහමෙහි සම්ප්‍රදාය යනුවෙන් ගැනෙනුයේ ආකල්ප, අදහස් හා භාවිතයන් සමූහයකි. එය පවත්වාගෙන යන පරම්පරාව විසින් උචිත පරිදි වෙනස් කරමින් අර්ථකථනය කරමින් පවත්වාගෙන යනු ලබයි. අතීතයේ සිට පැවත එන අදහස් ආකල්ප හා භාවිතයන් සමූහයක් මෙ ලෙස සම්ප්‍රදාය ලෙස ගනි යි. වත්මන් පරපුරේ එම සම්ප්‍රදාය පිළිපදින්නන්ට උචිත ලෙස එය ඉතා පරිස්සමින් වෙනස් කර ගැනීමට ද ඉඩ ඇත. සම්ප්‍රදායේ අඛණ්ඩත්වය පවතිනුයේ ඒ අයුරිණි. (Gupta,R.2002)

යම් අයෙකු කවර හෝ ආගමික සම්ප්‍රදායකට අයත් වනුයේ එම පුද්ගලයා උපනයනය ලද ගුරු පරපුර අනුවයි. සම්ප්‍රදායේ හිමිකම උපතින් නො ලැබේ. (ibid) යමෙකු කවර හෝ ආගමික සම්ප්‍රදායක උපනයනය ලබත් නම් හේ ඊට අයත් මන්ත්‍ර පිළිබඳ දැනුම ලැබිය යුතු ය.[1] විවිධ දෙවිවරුන්ට අනුව සම්ප්‍රදායන් නිර්මාණය වී ඇතත් ඒ කිසිදු සම්ප්‍රදායකට ඇතුළත් නො වී වෙසෙන ඍෂිවරු ද ඇත. රාමණ මහා ඍෂිවරයා ඊට කදිම උදාහරණයක් විය. එතුමා ආදි ශංකරයන්ගේ සන්‍යාසී සම්ප්‍රදායට ඇතුළත් කර ගැනීමට උත්සාහ දැරුව ද හෙතෙම එය ප්‍රතික්ෂේප කළේ ය. (Ebert,2006.89)

හින්දු ආගම තුළ ප්‍රධාන සම්ප්‍රදායන් කිහිපයක් ඇති අතර තවත් කුඩා අනු කුඩා සම්ප්‍රදායන් රාශියක් වේ. වෛෂ්ණව සම්ප්‍රදාය ප්‍රධාන සම්ප්‍රදායකි. පද්ම පුරාණයට අනුව එහි සම්ප්‍රදායන් 4කි. ශ්‍රී සම්ප්‍රදාය (ලක්ෂ්මී), බ්‍රහ්ම සම්ප්‍රදාය, රුද්‍ර සම්ප්‍රදාය, සනාකාදි (සිව් කුමාරවරු) සම්ප්‍රදාය ඒ හතරයි. (Apte,1965) ශෛව සම්ප්‍රදාය අනෙක් වැදගත් සම්ප්‍රදායකි. නාථ නමින් තිබ්බත බෞද්ධාගම හා මුසු වූ හින්දු සම්ප්‍රදායක් ද ඇත. එය නාන්දි නාත්, ආදි නාත්, නව නාත් වශයෙන් අනු සම්ප්‍රදායන් 3කට බෙදී ඇත. දශනාමි නමින් තවත් වැදගත් හින්දු සම්ප්‍රදායක් වේ. ඔවුන් අතුරින් එක් උලක් සහිත යශ්ටිය රැගෙන යන පිරිස ඒක දණ්ඩි සන්‍යාසීන් වශයෙන් සැළකේ. ඔවුහූ පූන නූල නො දරති. එහි අනෙක් නිකායක් වන ත්‍රි දණ්ඩි නොහොත් ත්‍රිශූලයක් දරණ පිරිස පූන නූල ද දරති. අද්වෛත වේදාන්ත නමින් තවත් ප්‍රධාන හින්දු සම්ප්‍රදායක් වේ. දෛව මානව හා අද්වෛත මාතා වශයෙන් තවත් ගුරු පරම්පරා රාශියක් ඇති අතර මේ සියල්ල ම දිගු ආගමික සම්ප්‍රදායන්ට උරුමකම් කියයි. ඒ සියලු ම සම්ප්‍රදායන් තුළ දැකිය හැකි පොදු ලක්ෂණ ද ඇත. මේ සම්ප්‍රදායන් හැමෙකක් ම අඩු ම තරමින් වසර 1000 කටවත් පෙර පටන් පවතින දැනුම් විශ්වාස ආදිය මත පිහිටා සංවිධානය වී ඇත.

සම්ප්‍රදාය පිළිබඳ ඉන්දු උප මහද්වීපික කතිකාව

ලංකාවේ, සිංහල බෞද්ධ භාවිතය තුළට ද සම්ප්‍රදාය පිළිබඳ සංකල්පය පැමිණෙන්නට ඇත්තේ ද හින්දු ආභාෂයෙන් විය යුතු ය. එහෙත් පැරණි සිංහල ගද්‍ය පද්‍ය කෘති කිසිවක හෝ සම්ප්‍රදාය යන යෙදුම දැකිය නො හැකි ය. එහෙත් සම්ප්‍රදාය නමැති සංකල්පාවලිය අතීතය පුරා ම දැකිය හැකි වේ. සංස්කෘත ලෞකික ශාස්ත්‍ර තුළ සම්ප්‍රදාය යන්න ව්‍යංගයෙන් යෙදී ඇතත් ඒවා එම සංඥා නාමයෙන් හැඳින්වීමේ ක්‍රමයක් එකල නො පැවතියා විය හැකි ය. දණ්ඩී විසින් සංස්කෘතෙන් රචනා කළ කාව්‍යාදර්ශය, අබා සලමෙවන් නිරිඳු විසින් සියබස්ලකර නමින් සිංහලට නගනු ලබද් දී "කව් ලකුණැජරන්" යනුවෙන් සඳහන් කරනුයේ සම්ප්‍රදාය පිළිබඳව යි. (සියබස්ලකර 02 ගීය)

සංස්කෘත මහා කාව්‍ය ආභාෂයෙන් රචනා කළ මුවදෙව්දාවත, සසදාවත, කව්සිළුමිණ යනාදී කිසිදු කෘතියක සම්ප්‍රදාය අගයා නැත. කාව්‍යශේඛරකරු ද සම්ප්‍රදාය ගෞරවයට හා වන්දනයට ලක් කළ ද එම යෙදුම භාවිත කොට නැත. සිදත් සඟරාකරු, "සඳරුත් විධි සියල් අනුරූ සේ පියෝනන්" (සන් අදියරේ මුල් කවිය) යයි දැක්වූයේ සම්ප්‍රදාය පිළිබඳව යි. ඡේක ප්‍රයෝග යනු භාෂාවේ අතීත භාවිතය යි. මෙ ලෙස පැරණි සිංහල සාහිත්‍යය තුළ සම්ප්‍රදාය යන සංකල්පය භාවිත ව ඇතත් සම්ප්‍රදාය යන යෙදුම භාවිත ව නැත. ඊට හේතුව වන්නට ඇත්තේ මේ යෙදුම සංග්‍රහ වීම හා ප්‍රචලිත වීම මෑතකාලීන ව සිදු වීම විය හැකි ය.

සිංහල සාහිත්‍ය ග්‍රන්ථවලට ගුරු වූ සංස්කෘත ග්‍රන්ථවල ද සම්ප්‍රදාය යන යෙදුම හමු නො වේ. ඉපැරණි හින්දු ආගමික ශ්ලෝකවල නම් සම්ප්‍රදාය යන වචනය දැකිය හැකි වේ. දණ්ඩීගේ කාව්‍යාදර්ශයේ දෙ වන ශ්ලෝකයෙන් භරත ආදී පෙරැදුරන් නැමදීම එක් ආකාරයකින් සම්ප්‍රදාය නැමදීමකි. ඔහු වෛදර්භී හා ගෞඩී නමින් කාව්‍ය සම්ප්‍රදායන් දෙකක් යෝජනා කළ ද ඊට සම්ප්‍රදාය යන නම භාවිත නො කරයි. රඝු වංශය, ජානකී හරණය වැනි සංස්කෘත ග්‍රන්ථවල ද සම්ප්‍රදාය නමැති යෙදුම දැකි නො හැකි ය. සංස්කෘත කාව්‍ය සම්ප්‍රදාය නිර්මාණකරුවාගේ වාසනා ගුණය, ප්‍රතිභාව ආදී පුද්ගල බද්ධ කරුණු අවධාරණය කරයි. [2]

සම්ප්‍රදාය ඔවුන්ට අනුව දිව්‍යමය වූවකි. භරත සිය නාට්‍ය ශාස්ත්‍රයේ දී නාට්‍ය කලාවේ සම්ප්‍රදාය දිව්‍යමය වූවක් බව පෙන්වා දෙයි. විදග්ධ සම්ප්‍රදායන් තුළ මෙන් ම ජන සම්ප්‍රදායන් තුළ ද මේ දිව්‍යමය සම්භවය හා සම්ප්‍රදාය දැකිය හැකි ය. කොහොඹා යක් කංකාරිය හෝ කෝලම් උපත වැනි ජන ශිල්ප කලාවක සම්ප්‍රදායන් නිර්මාණය වීම පිළිබඳ ඇත්තේ ද දිව්‍යමය එළඹුම් වේ. [3] නාට්‍ය ශාස්ත්‍රයේ ඇරඹුම හා එහි ශිල්ප සම්ප්‍රදාය පිළිබඳ භරතගේ විග්‍රය මෙ බඳු වේ.

"වේදඉතයන්ගෙන් තොරවු ස්වර්ණමය යුගයෙන් අනතුරුව එළඹි රජත යුගයේ දී සාහිත්‍ය කලා ආදිය නිපදවීම සිදු විය. සියලු දෙවියෝ මහා බ්‍රහ්මයා හමු වී අනෙකුත් වේද සතර වෙන් කොට ඇස් සහ කන් පිනවිය හැකි පස්වන වේදයක් මවන ලෙස ද එය බ්‍රාහ්මණ ක්ෂත්‍රීය වෛශ්‍ය වැනි ද්විජ කුලවලට පමණක් සිමා වුවක් නොව ශුද්‍ර කුල අයට ද පොදු එකක් විය යුතු යැයි ද ආයාචනය කළ හ. මේ අයදුමට කන්දුන් මහා බ්‍රාහ්මයා පස් වන වේදයක් සම්පාදනය කරන්නට කටයුතු යෙදූහ. එහි දී මිනිසුන්ගේ සියලු චේෂ්ටාවන් සම්බන්ධයෙන් දෙනු ලබන සියලු උපදෙස් ඉතිහාසය සමඟ බද්ධ විය යුතු යැයි නියම කෙරිණ. මේ කටයුත්ත සම්පාදනය කිරිම සඳහා මහා බ්‍රහ්ම තෙම පෙළ කියවීම සෘග් වේදයෙන් ද ගීතය සාම වේදයෙන් ද අංගාභිනය යජුර් වේදයෙන් ද චිත්තවේගී හැඟීම් අථර්ව වේදයෙන් ද උපුටා ගන්නා ලද්දේ ය. අනතුරුව මා හැඟි රඟහලක් තනන්නැයි දිව්‍ය ගෘහ නිර්මාණ ශිල්පි වු විශ්වකර්මට නියම කළ හෙතෙම එ තුළ හිඳගෙන මෙසේ නිම වු කලාව අභ්‍යාස කරන්නැයි භරතමුණිවරයාට උපදෙස් දුන්හ. මේ නව නිර්මාණය දෙවියෝ එක හඩින් සතුටින් පිළිගත්හ. ශිව දෙවියෝ ඊට ප්‍රචණ්ඩ චිත්තවේග ප්‍රකාශ කෙරෙන තාණ්ඩව නැටුම ද පාර්වතිය සුකුමාල රාගික ලාස්‍ය නැටුම ද ප්‍රදානය කළහ. භාරතී යන නාට්‍ය ශෛලි හතර දෙන ලද්දේ විෂ්ණු ය. අනතුරුව මේ දිව්‍ය වේදය ගුණ පක්ෂයෙන් හීන කොට නාට්‍ය ශාස්ත්‍ර නමින් පෘතුවි තලයට පවරා දිමේ කාර්යය භරතට පැවරිණ"
(-නාට්‍ය ශාස්ත්‍ර. පරි. මාරසිංහ 1994:1-18)

නාට්‍යයේ සම්ප්‍රදාය දිව්‍යමය වන බව මෙයින් පැහැදිලි වේ. එහි ඇති උපදෙස් හා චාරිත්‍ර ආදිය දිව්‍යමය භාෂිත යි. එහෙයින් අනුල්ලංඝණිය වේ. සාහිත්‍යයේ දී යෙදෙනවාට වඩා වැඩි අගයකින් සම්ප්‍රදාය යන්න ශිල්ප කලාවල දී භාවිත වේ. සම්ප්‍රදායේ නො පිහිටා ශිල්ප කර්මාන්තවල යෙදිය නො හැකි ය. සම්ප්‍රදාය නිවැරදි ව නො දැන වඩුවෙකුට සිය කර්මාන්තය කළ නො හැකි ය. පිළිම නෙලීම, ගෘහ නිර්මාණ, වාරි කර්මාන්ත ආදිය ඒවාට ආවේණික තාක්ෂණික හා කලා සම්ප්‍රදායන්ගෙන් පෝෂණය වී ඇති ශිල්ප වේ. එම ශිල්පය ආයාසයෙන් උගත යුතු ය. බෙර ගැසීම, නැටීම, චිත්‍ර ඇඳීම, ආදිය ද නිවැරදි ව කළ හැක්කේ සම්ප්‍රදාය දැනගැනීමෙනි. සම්ප්‍රදාය නො දැන කරන කවර නිර්මාණයක් වුව වෘත්තීයමය නො වේ. ඒවා ආධුනික ගණයේ ලා හෝ වෘත්තීය නො වන ලෙස සළකයි. කර්මාන්ත පිළිබඳ සම්ප්‍රදාය ද ඉන්දු උප මහද්වීපය තුළ දී දිව්‍යමය වේ. සියලු ශිල්ප කර්මාන්ත ඇරඹෙනුයේ විශ්වකර්ම දිව්‍යපුත්‍රයාගෙනි. මේ තාක්ෂණික සම්ප්‍රදාය පිළිබඳ ආනන්ද කුමාස්වාමිගේ නිරීක්ෂණ එහි තත් ස්වභාවය හඳුනා ගැනීමට උපකාරී වනු ඇත.

"භාරතීය කාර්මිකයා තම ශිල්පය වූ කලී පරම්පරා ගණනක් පුරා ඒකී භූත වූ දැනුමක නොව විශ්වකර්මගේ දිව්‍යමය බලයෙන් උපන්නක් බවත් ඔහු විසින් ප්‍රකාශ කැරුණක් බවත් සිතති. අලංකාරය, රිත්මය, පරිමාණය, පරමාර්ථය යන මේ සියල්ල විශිෂ්ට තලයක පවත්නේ ය. පර්යේෂකයන්ට අභිමත දැය මෙහි දී මුණගැසෙයි. ද්‍රව්‍යයන්ගේ යථාර්ථය ඇසට පෙනෙන විස්තරයන්හි නොව මනසෙහි පවත්නේ ය. භාරතීය කලාකරුවන්ට විශ්වාසය තැබීමට උගන්වන දෙව් හඬක් මෙන් ඇසෙන අභ්‍යන්තරික බලය විශ්වකර්ම නිසා පහළ වන්නකැයි සිතනු ලැබේ. කලාත්මක ප්‍රකාශනය පිළිබඳ විශේෂ සම්බන්ධත්වයකින් හැඩගස්වනු ලබන දේවත්වය සම්බන්ධී අංශය වශයෙන් විශ්වකර්ම සළකනු ලැබිය හැක. තවත් පරිද්දෙකින් උසස් සවිඥානයක් පිළිබඳ "සමූහ ආත්මයකින්" යුත්, සදාකාලික සාර්ව භෞම පුද්ගලික කාර්මිකයන්ගේ සවිඥානයේ සමුදයාර්ථය වශයෙන් ද ඔහු සැළකිය හැක්කේ ය."
(-කුමාරස්වාමි, 1962.77)


ආනන්ද කුමාස්වාමි

ශිල්පීය ඥානයේ සම්ප්‍රදාය විශ්වකර්ම හා සම්බන්ධ කිරීම තුළින් අතීතයේ සිට පැවත එන දැනුම දේවත්වයට නැගීමක් අර්ථ ගැන්වේ. පෙරදිග සියලු ම විද්‍යා හා කලා දිව්‍යමය සම්භවයකින් යුතු වේ. සම්ප්‍රදාය පිළිබඳ ඉන්දු උප මහද්වීපයේ පවත්නා දැනුම දිව්‍යමය වේ. සියලු ලෞකික ශිල්ප හා කලා දෙවියන්ගෙන් සම්භව වී ඇත. සම්ප්‍රදායේ උල්පත දෙවියන් වේ. මේ අදහස අනුව සිතන පුද්ගලයා සම්ප්‍රදායන් වෙනස් නො කර පවත්වාගෙන යාම කෙරෙහී උනන්දු වෙයි. සම්ප්‍රදාය අත්හැරීම යනු දෙවියන් අත්හැරීම වේ. යම් සම්ප්‍රදායක පැහැදිලි වෙනසක් කළ මිනිසුන් ද දේවත්වයට පත් කෙරේ. ඉන්දු උප මහද්වීපික භාවිතය අනුව පුර්ව දැනුම් දේවත්වයේ ලා සළකන ලදි. සම්ප්‍රදාය නමැති සංකල්පය මේ කලාපය තුළ සම්භාවිත ව පැවතිය ද එය භාෂාව තුළ ප්‍රකාශයට පත් වීම යටත්විජිත අවධියේ දී සිදු වූවකි. යූරෝපීය ඥාන මීමාංසාවේ අනුහස ඒ යෙදුම තුළ ඇත. පෙරදිග එතෙක් පැවති දිව්‍යමය සම්ප්‍රදායෙන් මේ යුරෝපීය සංකල්පය වෙනස් වේ. යුරෝපීය සංකල්පය ඍජුව දෙවියන් හා සම්බන්ධ නොවේ.

යටත්විජිතකරණය හා දේශීය සම්ප්‍රදාය පිළිබඳ කතිකාව

අතීත ඥානය ලෞකික විෂයක් ලෙස අර්ථ ගැන්වීම බොහෝ සෙයින් ප්‍රචලිත වූයේ 20 වන සියවසේ මුල් දශක කිහිපයෙන් පසු ව වේ. ඉන්දියාව හා ලංකාව වැනි පෙරදිග රටවල සම්ප්‍රදාය යන්න ලෞකික අර්ථයකින් උච්චාරණය කිරීම යටත් විජිතකරණය හා ඍජු ව සම්බන්ධ වී ඇත. (පෙරේරා, රංජිත් 1985.31) යටත් විජිතකරණයට ලක් වූ ජන පිරිස් පශ්චාත් යටත්විජිත සමයේ දී තමන්ගේ අභාවයට ගිය අතීත දැනුම්, විශ්වාස හා භාවිතයන් යළි නගා සිටුවනු ලැබීම හෝ ඒවායෙන් අභාෂය ලබා ගැනීමේ ප්‍රයත්නයක නිමග්න වනු දැකිය හැකි ය. ලංකාවේ ජන නාට්‍ය අනුසාරයෙන් ජාතික නාට්‍යයක් සෑදීමේ දී සරච්චන්ද්‍ර සම්ප්‍රදාය පිළිබඳ දැක්වූ උනන්දුව ඊට උදාහරණ වේ, සරච්චන්ද්‍ර මෙසේ පවසයි.

"සංස්කෘතික ප්‍රශ්නය පිළිබඳ ව බල පවත්නා වැදගත් ම කරුණ නම් සම්ප්‍රදාය යැයි මා තුළ අදහසක් ඇත. කලා විෂයෙහි මෙම සම්ප්‍රදාය පිළිබඳ අදහස වඩාත් තදින් බලපාතියි මම සිතමි. ශතවර්ෂ කිහිපයක් තිස්සේ රටක බලපැවැත්වූ සම්ප්‍රදාය නිසා රස වින්දනය හා අගය කිරීම පිළිබඳ සම්මතයක් මෙන් ම අනන්‍ය සාධාරණ කලා රටාවන් ද බිහිවන්නේ...." (සරච්චන්ද්‍ර, 1967,44-45)

සම්ප්‍රදාය පිළිබඳ අදහස සරච්චන්ද්‍ර වෙත එළඹෙනුයේ කවර හෝ පෙරදිග වූ ඥාන මූලයකින් නො වේ. එය ඍජුව ම යුරෝපීය දැනුම හරහා ඔහු වෙත එළඹියකි. යුරෝපීය ඥාන මීමාංසාව තුළ සම්ප්‍රදාය පිළිබඳ ප්‍රථමයෙන් සාකච්ඡා කරනුයේ ටී.එස්. එළියට් විසිනි. එළියට්ට පසු ව එය විවිධ විද්‍යාර්ථීන් අතින් පුලුල් ව විග්‍රහ වී ඇත. සම්ප්‍රදාය යන බුද්ධි විෂයය, සම්ප්‍රදාය යන නමින් නො වෙතත් සංකල්පයක් ලෙස එළියට්ට පෙර ද යුරෝපයේ දැනුම් කලාපවල පැවතින. විශේෂයෙන් කතෝලික දහම තුළ සම්ප්‍රදාය පිළිබඳ අදහස දිව්‍යමය අර්ථයෙන් භාවිත විය.

සම්ප්‍රදාය පිළිබඳ ඉංග්‍රීසි නිරුක්ති

Tradition යන ඉංග්‍රීසි පදයට පර්යාය ලෙස සිංහල සම්ප්‍රදාය යන යෙදුම භාවිත කෙරෙයි. ඉංග්‍රීසි, tradition නමැති පදය නිර්මාණය වනුයේ ලතින් traderere හෝ tradere යන ක්‍රියාපදවලින් බිඳී ආ traditio නමැති නාම පදයෙනි. මේ ක්‍රියා පදවල ලතින් අර්ථ වනුයේ "සුරක්ෂිත ව තබා ගැනීමට යවනවා, දෙනවා, පවරණවා" යන්නයි. නෛතික උරුමය හෝ නෛතික පැවරීම හැඳින්වීම සඳහා රෝම නීතිය තුළ මේ යෙදුම භාවිත කෙරිණ. අතීතයේ නිර්මාණය වී තවමත් පවත්නා කවර හෝ චාරිත්‍ර විධික්‍රම ආදිය සම්ප්‍රදාය ලෙස සළකන බව සම්ප්‍රදාය පිළිබඳ විශ්වකෝෂකරුවන්ගේ අදහසයි.

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂයේ, මලලසේකර Tradition යන ඉංග්‍රීසි වචනයට අර්ථ දෙනුයේ "පරම්පරාගත කථා, චාරිත්‍ර ආදිය, සම්ප්‍රදාය, රූඪීය, පුරුද්ද" වශයෙනි. (මලලසේකර, ගුණපාල (1948) 1992,p.967) සම්ප්‍රදාය යන සිංහල වචනය ඉංග්‍රීසි Tradition යන වචනයට සමානාර්ථවත් බව මේ අනුව පෙනේ. එහෙත් සංකල්ප ලෙස ගත් විට යුරෝපීය අර්ථ සහ භාරතීය මුලයක් සහිත අර්ථ අතර වෙනස්කම් ඇති බව ද විද්‍යමාන වේ. Tradition යන ඉංග්‍රීසි පදයට ඉංග්‍රීසි ශබ්දකෝෂකරුවන් දෙන අර්ථ ද සැළකිල්ලට ගනිමුග.

A belief, custom or way of doing something that has existed for a long time among a particular group of people; a set of these beliefs or customs: religious /cultural/ literary tradition
(O.A.L.D,2000,p.1379)

ඉංග්‍රීසි ශබ්දකෝෂය දෙන අර්ථවලින් ද සම්ප්‍රදාය යනු අතීතයේ සිට වර්තමානයට එන්නක් බව පෙනෙයි. එය යම් ජන කණ්ඩායමක විශ්වාස, සිරිත් විරිත් හා භාවිතයන් යන සීමා කිරීමට ද එහි දී නතු කර ඇත. [4] එය ආගම සංස්කෘතිය හා සාහිත්‍ය යන විෂය ක්ෂේත්‍රවල දැකිය හැකි විෂයක් වන බව ද ශබ්දකෝෂය දක්වයි. සම්ප්‍රදාය ජන වර්ග අනුව වෙනස් වන සමාජ බද්ධ විෂයක් වන බව ද මෙහි අවධාරණය කර ඇත. මේ සියලු අර්ථ පිළිබඳ අවධානයෙන් යුතුව සම්ප්‍රදාය පිළිබඳ යුරෝපීය කතිකාව විමසීම දෙසට යොමු වෙමු.

සම්ප්‍රදාය පිළිබඳ යුරෝපීය කතිකාව

සම්ප්‍රදාය පිළිබඳ යුරෝපීය කතිකාව විමසීමේ දී ඉතා ම වැදගත් සම්ප්‍රදානය යනුයේ ටී.එස්. එළියට්ගේ "සම්ප්‍රදාය හා ප්‍රත්‍යෙක කෞශල්‍යය" යන ලේඛනය යි. සම්ප්‍රදාය පිළිබඳ දිව්‍යමය එළඹුමෙහි මූලික ම ලේඛනය එළියට්ගේ මේ ලිපිය යි. ඔහු සම්ප්‍රදාය යන සංකල්පය පැටලිලි සහගත එහෙත් ඉතා ගැඹුරු විග්‍රහයකට ලක් කරයි.

"සම්ප්‍රදාය හෝ සම්ප්‍රදායක් ගැන සඳහන් කිරීමට අපට පිළිවන් කමක් නැත. වැඩිම වුවොත් අසවලාගේ නාට්‍ය 'සාම්ප්‍රදායිකය' යි පැවසීමේ දී නම් මේ විශේෂණ පදය අපි භාවිත කරමු. දෝෂාරෝපණ මුඛයෙන් කථා කිරීමේ දී හැර මේ වචනය භාවිත කෙරෙනුයේ විරල වශයෙනි. එසේ නොමැති නම්, යම් යම් ප්‍රිය ජනක පුරාවිද්‍යාත්මක පුනරුත්ථාපනයක් අනුමත කෙරෙන බව ඇඟවීමේ දී ද එය අනුමාන වශයෙන් භාවිත කෙරේ"(එළියට්.ටී.එස්, 1917,පරි:සුරවීර ඒ,වී,1999,පි.61)

එළියට් සඳහන් කරන ලෙස 1917 වන විට ඉංග්‍රීසි සමාජය ද සම්ප්‍රදාය පිළිබඳ එතරම් අවධානයකින් පසුවී නැත. සම්ප්‍රදායේ වැදගත්කම හා එය සාහිත්‍යය තුළ වැදගත් යමක් ලෙස භාවිත කිරීම එළියට්ගෙන් ඇරඹේ. නිදහස් මානවවාදී ඥාන මීමාංසාව තුළ අද සාහිත්‍යය විෂයෙහි සාකච්ඡා වන බොහෝ සංකල්ප ඉතා ගැඹුරින් සංවාදයට ලක් විය. ඒ සංකල්ප අතර එළියට්ගේ සම්ප්‍රදාය පිළිබඳ අදහස ඉතා ප්‍රචලිත වූවකි. (Barry, Peter,1999)

"පුනරුක්තියට වඩා නවතාව වටනේ ය. සම්ප්‍රදාය යනු ඊට වඩා පුළුල් වූ ද අර්ථ සහිත වූ ද කාර්යයකි. එය දායාද වශයෙන් ලබා ගත හැකි දෙයක් නො වේ. එය අවශ්‍ය නම් මහත් සේ වෙහෙස වී ලබා ගත යුතු වෙයි. සම්ප්‍රදාය පළමු කොට ම ඓතිහාසික සංජානනය හා සම්බන්ධ වෙයි. පස් විසි විය ඉක්මවූ පසු ද කවියෙකු වශයෙන් තව දුර ක්‍රියා කිරීම අපේක්ෂා කරන කවරෙකුට වුව මෙය අත්‍යාවශ්‍ය බව අපගේ හැඟීම යි. මේ ඓතිහාසික සංජානනය හා සමඟ අතීත කාලයේ අතීත බව පමණක් නොව එහි වර්තමානය ද සම්බන්ධ වේ. එසේ ම මේ ඓතිහාසික සංජානනය සමකාලීන පරම්පරාව පිළිබඳ අවබෝධය තම ඇට මිදුළුවල තබාගෙන ලිවීමට පමණක් නොව, හෝමර්ගේ කාලයේ පටන් මුළු මහත් යුරෝපයේ ම පහළ වී ඇති සාහිත්‍යයත් ඒ තුළ තම රටෙහි පහළ වී ඇති සකලවිධ සාහිත්‍යයත් සමගාමී ව පවත්නේයි ද, මේ සියල්ල තුළ සමගාමී පරිපාටියක් ඇත්තේ ය යි යන හැඟීමෙන් යුතු ව ලිවීමට ද ලේඛකටයකුට බල කෙරේ. කාලසීමාවන්ගෙන් තොර සංජානනයක් සහ ඓහ ලෞකික සංජානනයක් මෙන් ම ඒ දෙක සංයෝග වූ සංජානනයක් ද ඇත්තා වූ මේ ඓතිහාසික සංජානනය වූකලී ලේඛකයෙකු සාම්ප්‍රදායික බවට පත් කරන කාරණය ලෙස හැඳින්විය හැකි ය."(එම, 62-63)


T. S. Eliot

එළියට්ගේ මේ ප්‍රකාශවලින් ඔහු සම්ප්‍රදාය ලෙස හැඳින්වූ දේ පිළිබඳ පැහැදිලි නිශ්චිත අවබෝධයක් කිසිවෙකුටත් නො ලැබේ. ඔහු සම්ප්‍රදාය ලෙස දක්වන දෙය ආයාසයෙන් අත්පත් කරගතයුත්තක් බව ඉන් ගම්‍ය වේ. එමෙන් ම අතීත මිනිසුන් ස්වකීය ඉන්ද්‍රිය අනුසාරයෙන් ලබාගත් සංජානන සම්ප්‍රදාය තුළ ඇතුළත් බව ප්‍රකාශ වීමෙන් සම්ප්‍රදාය යනු අතීත දැනුම බව ගම්‍ය වේ. සර්වකාලීන විශ්ව සත්‍යය හා සමකාලීන තත්වය අතර පාලම තනනුයේ සම්ප්‍රදාය වන බව ද ඉන් දැක්වේ. වඩා සරල ව තේරුම් කර ගන්නේ නම් එළියට්ට අනුව සම්ප්‍රදාය යනු අතීතයේ සිට අනාගතය දෙසට එල්ල වන ආලෝක ධාරාවකි. ඒ ආලෝක ධාරාව පතිත නො වූ කවර හෝ සාහිත්‍යකරුවෙකු විචාරකයෙකු එම ක්ෂේත්‍රය තුළ ස්ථාන ගත නො වේ. එම ආලෝකය තුළ සිටින නිර්මාණකරුවන් විද්‍යමාන වන අතර අන්‍යයෝ අවිද්‍යමාන ව යෙත්. කාලයේ ගණ අඳුරු තිමිරය තුළ සැඟව යෙත්. එළියට් සම්ප්‍රදාය පිළිබඳ දක්වන අදහස ද දේවවාදී වූවකි. සම්ප්‍රදාය ජීවය ලබනුයේ අතීතය තුළයි. එය උරාගෙන එයින් පෝෂණය වී එහි සමකාලීන ස්වරූපය පමණක් වෙනස් කිරීමේ හැකියාව නිර්මාණවේදීන්ට ඇත.

සම්ප්‍රදාය විෂයෙහි මැදිහත් වූ අනෙක් වැදගත් ම මානවවාදී චින්තකයා එෆ්.ආර්. ලෙවිස් ය. 1948 දී ඔහු පළ කළ "මහා සම්ප්‍රදාය" (The Great tradition) නමැති කෘතියෙන් ඉංග්‍රීසි ප්‍රබන්ධ කතාවේ සම්ප්‍රදාය පිළිබඳ විභාග කරන ලදි. සාහිත්‍ය කෘතියකින් ප්‍රකාශයට පත් වන සදාචාර විඥානය නමැති සංකල්පය නිර්ණායකයක් ලෙස ගතහොත් ජෝර්ජ් එළියට්, හෙන්රි ජේම්ස්, ජෝසප් කොන්රැඩ් ආදීන් එය මූර්තිමත් කරන ආකාරය ලෙවිස්ගේ විශ්ලේෂණයට පාදක විය. සාහිත්‍ය විෂයෙහි සම්ප්‍රදායේ ඇති වැදගත්කම ඔහු අවධාරණය කරයි. ඉහත දැක්වූ ප්‍රබන්ධ කථාකරුවන්ගේ නිර්මාණ පිළිබඳ දිගු විචාර එකතුවක් ඔහුගේ කෘතියේ දැකිය හැකි ය. ලෙවිස් සම්ප්‍රදාය දකිනුයේ ද වර්තමාන නිර්මාණවේදියා අතීතය හා සම්බන්ධ කරන බුද්ධිමය හුයක් වශයෙනි. එළියට්ගේ සම්ප්‍රදාය හා ප්‍රත්‍යෙක කෞශල්‍යය ලේඛනයේ සීමාවෙන් ඔබ්බට යමින් සම්ප්‍රදාය නමැති සංකල්පය නවකතා විචාරයට භාවිත කිරීම ඔහු අතින් සිදු වූ සේවය යි. ඔහු නවකතා සියල්ලේ ඇති ආකෘතික සමවාය හඳුනා ගනියි. සම්ප්‍රදාය නිර්මාණ කෘති තුළ පිහිටන ආකාරය ලෙවිස් වෙතින් ප්‍රකාශයට පත් විය.


F.R. Leavis

සම්ප්‍රදාය ව්‍යුහයක් ලෙස-

සම්ප්‍රදාය සංකල්පයක් හෝ භාවිතයක් ලෙස වටහා ගැනීමේ දී විවිධ ගැටළු මතු වේ. එය ඒකක හා රීතිවලින් යුතු පද්ධතියක් ලෙස වටහා ගැනීම වඩා නිවැරදි ප්‍රවේශයක් සම්පාදනය කරයි. වාග් විද්‍යාඥයෙකු වූ ෆර්ඩින් ඩි. සෝෂියර් භාෂාවේ ව්‍යුහය ලාංග් ලෙසත් එක් කෘතියක් නැතහොත් භාෂිතයක් පරෝල් ලෙසත් දක්වන ලදි. (Saussure,1966) සම්ප්‍රදාය ලාංග් නොහොත් ව්‍යුහය ලෙස ගත හොත් එක් භාවිතයක්, කෘතියක්, පරෝල් නොහොත් භාෂිතයක් වේ. හැම භාෂිතයක් ම ව්‍යුහය වෙනස් කරන මුත් එහි මූලික ආකෘතිය වෙනස් නො කෙරෙයි. (Barths,1991) හැම නව කෘතියක් ම සම්ප්‍රදාය වෙනස් කරයි. එහෙත් එහි මූලික හැඩය වෙනස් නො කරයි. නව කෘතියක් නැතහොත් නිර්මාණයක් බිහි වූ විට එම නිර්මාණය ඇසුරු කරන සම්ප්‍රදාය වෙනස්වීම්වලට ලක් කෙරෙයි. එළියට් ඒ පිළිබඳ මෙසේ පවසයි.


Ferdinand De Saussure

"මේ ආකාරයෙන් එක් එක් කලා කෘතිය හා ආශ්‍රිත සම්බන්ධතා ප්‍රමාණානුකූලතා සහ හර පිළිබඳ සමස්ථ පරිපාටිය සංශෝධනය වෙයි. මෙයින් ඇත්ත වශයෙන් සිද්ධ වන්නේ වර්තමානය නිසා අතීතය වෙනස් වීමක් නොව අතීතය මගින් වර්තමානය මෙහෙයවීම යි." (එළියට්,1917,75-76)

නව ඒකකයක් නිසා කවර හෝ සම්ප්‍රදායක ව්‍යුහයේ සිදුවන වෙස්වීම අතීත ඒකකවල ව්‍යුහ විසින් මෙහෙයවන බව ඔහු පෙන්වා දෙයි. යම් සම්ප්‍රදායකට අයත් කෘති සමූහයක් ගතහොත් ඒ සියල්ලෙහි ම කවර හෝ එක් සමවායක් දැකිය හැකි ය. බෞද්ධ කථා සම්ප්‍රදාය ගතහොත් එහි සියලු ම ඒකකවල බෞද්ධ අන්තර්ගතයක් දැකිය හැකි ය. සිව්පද සම්ප්‍රදාය ගතහොත් එහි සියලුම ඒකකවල සිව්පද නමැති ආකෘතික සමාන කම ඇත. සම්ප්‍රදාය යනු කවර හෝ අර්ථවලින් යුතු ව්‍යුහයක් වන බව ඉන් පැහැදිලි වනු ඇත. සම්ප්‍රදායක් ඒකක දෙකක් හෝ ඊට වැඩි ගණනක පොදු ලක්ෂණ අනුව නිර්මාණය වේ. සම්ප්‍රදාය ඒකකවලින් මෙන් ම රීතිවලින් ද යුක්ත වූවකි. එය හැමවිට ම කාලය හා සම්බන්ධ වේ. එක් ඒකකයක් හෝ කිහිපයක් අතීතයේත් අනෙක් ඒකකය හෝ ඒකක වර්තමානයේත් පැවතීම සම්ප්‍රදායේ රීතිය යි. සම්ප්‍රදායක් නිර්මාණය කිරීමේ දී හැම විට ම අතීත ලක්ෂ (කෘති හෝ භාවිතයන්) සුවිශේෂී කාර්යභාරයක් උසුලයි.

සිංහල බෞද්ධ කථා සම්ප්‍රදාය නමැති ව්‍යුහය ගතහොත් අමාවතුර, බුත්සරණ, සද්ධර්ම රත්නාවලිය වැනි කෘති එහි ඒකක වේ. ඒ සියල්ලෙහි ම බුදුන්ගේ මේ භවයේ හෝ පෙර භවයක ජීවන අත්දැකීම් අඩංගු වේ. මේ කෘති තුන වෙන වෙන ම ගතහොත් ඒවා එකිනෙකින් විශාල වශයෙන් වෙනස් වේ. එහෙත් මේ කෘති තුනේ ම ඇත්තේ බෞද්ධ කථා නමැති ව්‍යුහය යි. කතුවරයාගෙන් කතුවරයාට වෙනස් වන සමකාලිකත්වය හෝ පුද්ගල ප්‍රතිභාව සඳහා ද අර්ථ සම්පාදනය වනුයේ එම පොදු වූ ව්‍යුහය තුළ යි. භාෂාවල ඥාති ක්‍රමය, මිත්‍යා කතා ද මෙ වැනි ම ව්‍යුහ ලෙස විග්‍රහ කළ හැකි ය.

නූතනත්වය හා සම්ප්‍රදාය

නූතනත්වය සාමාන්‍යයෙන් අර්ථ දක්වනුයේ පශ්චාත් සාම්ප්‍රදායික අවදිය ලෙසයි. පශ්චාත් මධ්‍යකාලීන ඓතිහාසික අවදිය නූතන අවදිය ලෙස සැළකේ. වැඩවසම් ක්‍රමය හෝ කෘෂිකාර්මිකභාවයෙන් මිදී ධනවාදය, කාර්මිකකරණය, ලෞකික කරණය, සබුද්ධික කරණය හා ජාතික රාජ්‍ය යන තත්වයන් හා ආයතන හරහා නූතනත්වය ස්ථාපනය විය. (Barker,2005.p.444) නූතනත්වය යන යෙදුම සාමාන්‍යයෙන් සමාජ තත්වයක්, ක්‍රියාවලියක්, නැතහොත් කතිකාවක් හැඳින්වීම සඳහා භාවිත කරයි, ඇන්තනි ගිඩන්ස් එය නිර්වචනය කරනුයේ මෙ ලෙසිනි.

"නූතන සමාජය නැතහොත් කාර්මික ශිෂ්ටාචාරය යන යෙදුම් කෙටි වුව සුවිසල් සිතුවමක් මැවීමට සමත් ඒවා වේ. එය ලෝකය පිළිබඳ ආකල්ප සමූහයක් හා සම්බන්ධ වේ. ලෝකය මිනිස් මැදිහත්වීමෙන් වෙනස් කළ හැකි ය යන ආකල්පය එහි මූලික වේ. දෙවනුව එය ආර්ථීක ආයතන සමූහයක් සමග ද සම්බන්ධ වේ. විශේෂයෙන් ම කාර්මික නිෂ්පාදන හා වෙළඳපොල ආර්ථීකය ඒ හා සම්බන්ධ වේ. එමෙන් ම දේශපාලන ආයතන සමුහයක් ද ඊට සම්බන්ධ වේ. ජාතික රාජ්‍ය හා බහු ජන ප්‍රජාතන්ත්‍රවාදය එම දේශපාලන ආයතන යි. මේ ලක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන් නූතනත්වය පූර්ව සමාජ ක්‍රමවලට වඩා ගතිකත්වයකින් යුතු වේ. එය වඩා තාක්ෂණික වූ වඩා සංකීර්ණ වූ ආයතනවලින් සුසැදි සමාජයකි. පූර්වයෙන් පැවති කවර හෝ සමාජ ක්‍රමයකට එය සම නො වේ. එය අතීතය දෙසට වඩා අනාගතය දෙසට යොමු වූ සමාජ ක්‍රමයකි."(Giddens,1998,94)

ගිඩන්ස්, නූතනත්වය පිළිබඳ කරන විග්‍රහයට ඇතුළත් සියලු ම ආයතන, ක්‍රියාවලි හා ආකල්ප සම්ප්‍රදායික නො වන හෙවත් පශ්චාත් සම්ප්‍රදායික ලෙස ගැනේ. "සම්ප්‍රදායික" යන විශේෂණ පදය නූතන යන්න හා සහ සම්බන්ධ ප්‍රතිපක්ෂයක් ලෙස ව්‍යුහණය කළ හැකි වුවත් "සම්ප්‍රදාය" යන යෙදුම එලෙස නූතනත්වයට ප්‍රතිපක්ෂ ව්‍යුහයක එක් ධ්‍රැවයක් ලෙස යෙදිය නො හැකි ය. සම්ප්‍රදාය යනු පූර්වයෙන් දැක්වූ පරිදි ව්‍යුහයකි. එය සර්වකාලීන වේ. එනිසා ම සමකාලික ද වේ. "නූතන සම්ප්‍රදාය" නැතහොත් "නවීන සම්ප්‍රදාය" ලෙස යෙදීමේ දී සම්ප්‍රදාය නූතනත්වය ද ඇතුළත් කරගන්නා ව්‍යුහයක් වන බව පැහැදිලි වේ. නූතනත්වය සංකල්පයකි. එමෙන් ම භාවිතයකි. එහෙත් සම්ප්‍රදාය යනු සංස්කෘතික ව්‍යුහයකි. සාම්ප්‍රදායික යනු වෙනත් සංකල්පයකි. එය කවර හෝ සංකල්ප ආකල්ප නැතහොත් භාවිතයන් සමඟ ගනු දෙනු කරයි. එය ඉතිහාසය හෝ පැරණි බව වෙනුවෙන් පෙනී සිටින සංකල්පයකි. අනන්‍යතාව පිළිබඳ ප්‍රශ්නයේ දී සාම්ප්‍රදායික බව ඉතා වැදගත් වේ. සම්ප්‍රදාය අතීත ඥානයත් සමකාලීන ඥානයත් අතර සම්බන්ධය ගොඩනගන ව්‍යුහය වේ. එය නූතනත්වයට විරුද්ධ වූවක් නොවේ.


Anthony Giddens

යටත්විජිතකරණයේ ප්‍රතිඵලයක් ලෙස සංස්කෘතික අනන්‍යතා සොයා ගැනීමේ ගැටළුවට මුහුණ දීමට බොහොමයක් යටත්විජිතකරණයට ලක්වූ රටවලට සිදු විය. එම ක්‍රියාවලියේ දී බොහොමයක් යටත්විජිත උගතුන් භාවිතයට ගත් යෙදුම වූයේ සම්ප්‍රදාය යන්නයි. ඒ අතීත ඥානය හා සමකාලීන ඥානය අතර පාලමක් තනා ගැනීමේ අභාලාෂයෙනි. මේ ක්‍රියාවලියේ දී ස්වදේශික බුද්ධිමතුන් පැටලිල්ලට හෙලු තත්වය වූයේ සම්ප්‍රදාය හා සම්ප්‍රදායික බව එකිනෙක මිශ්‍ර කොට අවබෝධ කර ගැනීමයි. සම්ප්‍රදාය පිළිබඳ නූතන අවධියේ ඇති වූ උනන්දුව යුරෝපීය ඥාන මීමාංසාවේ ම ප්‍රතිඵලයකි. නූතනත්වය තුළ සාම්ප්‍රදායික ඥානය ස්ථාන ගත කිරීමේ දී සම්ප්‍රදායන් අභිනවයෙන් නිර්මාණය කිරීම යටත්විජිත භාවිතයක් විය. ස්වදේශිකයන් මේ නව සම්ප්‍රදායන් සම්ප්‍රදායික ඥානය ම හෝ භාවිතය යැයි වරදවා වටහා ගැනිණ. යටත්විත වල නූතනත්වය හා සම්ප්‍රදායිකත්වය යන දෙකේ ම කතෘකයා යටත්විජිත කරුවා ම වේ. (Strathern,1996.pp.40-45) ඒ සඳහා යටත්විජිතකරුවා සම්ප්‍රදාය නිපදවීමේ කාර්යයෙහි නිමග්න වෙයි.

වෙසක් උත්සවය එලෙස අභිනවයෙන් නිපද වූ සම්ප්‍රදායකි. අතීතයේ ආමිස පූජා බහුල වෙසක් උත්සවයක් පිළිබඳ වාර්තා දැකිය නො හැකි ය. ඕල්කට්තුමාට පසු ව බිහිවූ අද අප අදහන "යුරෝ බුද්ධාගමෙහි" වෙසක් උත්සවය යනු නත්තල මෙන් ම සුවිසල් උපන්දින උත්සවයකි. අද පවත්වන වෙසක් උත්සව දෙස බලන විට එය යටත්විජිත නිර්මාණයක් ලෙස නො පෙනේ. වසර දහස් ගණනක ඉතිහාසයක් සහිත සම්ප්‍රදායක් ලෙස එය විද්‍යමාන වේ. එහෙත් එය යටත් විජිත අවධියේ අභිනවයෙන් නිර්මාණය කළ සම්ප්‍රදායන්ගෙන් යුක්ත වේ. (Perera,Nihal,1998) සාම්ප්‍රදායික දැනුම හා නූතන දැනුම සංකලනයෙන් මේ නව සම්ප්‍රදාය ව්‍යුහනය කර ඇත. මෙය සපුරා ම සම්ප්‍රදාය නිර්මාණය කිරීමයි. එය නූතනල පුද්ගල කේනද්‍රීය ක්‍රියාවලියකි.

සම්ප්‍රදාය නිපදවීම

1983 දී ප්‍රකාශයට පත් වූ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ, බර්ක් බැක් කොලීජියේ සමාජ ආර්ථීක ඉතිහාසය පිළිබඳ සේවා සම්මත මහාචාර්යවරයෙකු වූ එරික් හොබ්ස් බොව්ම් හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වාර්ගික සබඳතා පිළිබඳ මහාචාර්යවරයෙකු වූ ටෙරන්ස් රේන්ජර් විසින් සංස්කරණය කරනු ලැබූ "සම්ප්‍රදාය නිපදවීම්" (The Invention of tradition) කෘතිය මගින් සම්ප්‍රදාය නමැති යෙදුමේ දිව්‍යමය රැස් වලල්ල ගලවා දමන ලදී. මේ කෘතියේ හැඳින්වීම ඇතුළු ව ලිපි 7ක් විය. ඊට ලිපි සැපයූ අනෙක් විද්‍යාර්ථීන් වූයේ හූ ටේ‍රවෝර්- රොපර්, ප්‍රේ මෝගන්, ඩේවිඩ් කැනඩින්, බර්නාඩ් එස්ගකොහෙන් යන අය යි. ඔවුන්ගේ අධ්‍යයනවලට පාදක වූයේ බ්‍රිතාන්‍යය හා බ්‍රිතාන්‍යය යටත් විජිතවල සම්ප්‍රදායන් නිපදවීම පිළිබඳ ශාස්ත්‍රීය විමර්ශන යි. මෑතක දී සම්පාදනය කළ භාවිතයන් සමූහයක් එක දිගට අඛණ්ඩ ව පවත්වාගෙන යාම හා අතීත මීදුමෙන් වැසී ගිය ඉතිහාසයක් පිළිබඳ උරුමය ඊට ආරෝපණය කොට සම්ප්‍රදායානුගත කරනු ලැබ ඇති ආකාරය මේ අධ්‍යයන වලින් හෙළිදරව් කෙරිණ. (Hobsbawm, Ranger,1983.pp1-14) දෙ වන ලෝක යුද්ධය අවස්ථාවේ විනාශ වූ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ශාලාව ඉදිකිරීම සඳහා එහි පැරණි සැළැස්ම ම භාවිත කරමින් ගොතික් සම්ප්‍රදාය යළි ප්‍රතිනිර්මාණය කිරීම සම්ප්‍රදාය නිපදවීමට කදිම උදාහරණයකි. එය කොතෙක් සම්ප්‍රදායානුගත ලෙස පෙනුන ද නූතන ඉදි කිරීමකි. (ibid.pp 1-2) ව්‍යවහාරය හා සම්ප්‍රදාය අතර ඇති සම්බන්ධය ද ඔවුන්ගේ අවධානයට ලක් වේ. කළ යුත්තේ කුමක්ද යන්න, ව්‍යවහාරය විසින් තීරණය කරනු ලබන අතර ව්‍යවහාරය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මෙවලම් හා එහි චිරාගත ක්‍රමය සම්පාදනය කරනුයේ සම්ප්‍රදාය විසිනි. ව්‍යවහාරය බිඳවැටුනහොත් සම්ප්‍රදාය ද බිඳවැටේ. (ibid.pp 2-3) ව්‍යවහාරයට මැදිහත් වීමෙන් සම්ප්‍රදාය නිපදවීම කළ හැකි ය. සම්ප්‍රදාය අභිනවයෙන් ඉදි කිරීම පිළිබඳ රොමීලා තාපර්ගේ විමසුම සැලකිල්ලට ගනිමු. අද්‍යතන ඉන්දියානු ස්ත්‍රිය කාලානු රූප ව ඉදිකරනු ලැබූ හීන කරන ලද පෞර්ෂයකින් යුක්ත සත්වයෙකු වීම පිළිබඳ ඇයගේ අවධානය යොමු වේ.

"කිසියම් සුවිශේෂ හැසිරිම් රටාවක් හෝ ආකල්පයක් හෝ සාරධර්ම පද්ධතියක් හෝ පිළිගන්නට අප පෙළඹෙන විට අප එය සලකන්නේ හුදෙක් සම්ප්‍රදාය පිළිගැනීමක් හැටියට. බලෙන් ම පටවා ඇති මේ උපකල්පනය දැනට අනාදිමත් කාලයක් තිස්සේ කිසදු වෙනසකට භාජනය නො වී පවතින්නක්. ඇත්තෙන් ම මේ උපකල්පනය මහ බොරුවක්. මන්ද කිවහොත් සම්ප්‍රදාය පිටස්තරින් පවරා දෙන එකක් වුවද එය ඝනීභවනය වී එක තැන නැවතී තිබෙන එකක් නො වේ. සම්ප්‍රදායක් එක් පරම්පරාවකින් තවත් එකකට පවරාදිමේ හුදු ක්‍රියාවලිය සිදු වනවිට එය විපර්යාස විම නො වැලැක්විය හැක්කක්. ඒවාගේ ම සම්ප්‍රදාය ලෙස අද අප සලකන දෙය ඇත්තෙන් ම මීට පෙර පරම්පරා හතරකට පහකට පෙරාතුව සම්පාදනය කළ දෙයක් විය හැකි යි. සියවස් ගණනාවක් හරහා අප කරා එන කිසිම දෙයක් නිර්මල ආකාරයෙන් පවතින්නේ නැහැ.

සම්ප්‍රදායන් විපර්යාස වන බව පිළිගැනීමත් සමග ම එම සුවිශේෂ විපර්යාසයන් කවදා සිදු වුයේ ද එවැනි සුවිශේෂ විපර්යාසයක් සිදු වුයේ මන්ද කියාත් අප ඇසිය යුතු යි. උදාහරණයක් වශයෙන් විවිධ පඨිතවල දී ගැහැණිය චිත්‍රණය කර තිබෙන අන්දම ගනිමු. මෙලෙස චිත්‍රණය කර ඇත්තේ සම්ප්‍රදායික ඉන්දීය කාන්තාව යැයි කියැවෙනවා. ශකුන්තලාගේ තකන්දරය මහාභාරත කෘතියේ දැක්වෙන හැටියට නම් කාන්වගේ අසපුවේ දි දුෂ්‍යන්තට ශකුන්තලා හමු වු අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා විවෘත අවංක සාමිචියක යෙදෙනවා. ඉන් ඉක්බිත්තෙන් ඔහු ඇයට යොජනා කර කියා සිටිනවා ඔවුන් දෙදෙනා ගාන්ධර්ව විවාහයට ඇතුලු විය යුතු බවත් එවිට චාරිත්‍ර වාරිත්‍ර කිසිවක් අවශ්‍ය වන්නේ නැති බවත්. තමා ඊට කැමති වන්නේ එකම එක කොන්දෙසියක් එනම් ඇගේ පුතාට කවදා හෝ රජකම ලැබෙන බවට සහතිකයක් ලැබෙන්නේ නම් පමණකැ යි ඇය කියා සිටිනවා. මේ එකඟතාවයට එළැඹීමෙන් පසු දෙ දෙනා විවාහ වෙනවා. දුෂ්‍යන්ත නික්මී යනවා. ශකුන්තලා පුතකු ප්‍රසුත කරනවා. අවුරුදු ගණනාවකට පස්සේ ඈ ඇගේ පුතාව දුෂ්‍යන්තගේ රාජ සභාවට ගෙන ගොස් ඔහුගේ උරුමය ප්‍රකාශ කර සිටිනවා. දුෂ්‍යන්ත ඇයට ඉතා තුච්ඡ අන්දමින් බැණ වදිනවා. මේ අතරේ දරුවා දුෂ්‍යන්තගේ සුජාත දරුවෙකැ යි කියා අහස් කුසෙන් ඇසෙන්නට පටන් ගන්නවා. ශකුන්තලා හඳුනා ගැනීම ප්‍රතිෙක්ෂ්ප කළේ මෙ වැනි සහතිකයක් බලාපොරොත්තුවෙන් බවත් දරුවාගේ සුජාත පියා තමා යැයි යටත් වැසියන්ට ඒත්තු ගැන්විය යුතු බවත් දුෂ්‍යන්ත කියනවා.

නමුත් කාලිදාස නාට්‍යකරුවා ප්‍රස්තුත මහා භාරත තේමාවෙහි එන ශකුන්තලා ගේ චරිතය මුළුමනින් ම විපරිවර්තනය කරයි. හිතුමතේට විවාහ වුවත් ඊට පෙරාතුව පොරොන්දුවක් ලබාගන්නා, එතෙක් ගෞරවාන්විත ජීවිතයක් ගත කරමින් සිටි, තරුණ කාන්තාවකගේ සිට යටහත් පහත් කීකරු සමාජශීලී නො වන තරුණ කාන්තාවක් ලෙසයි ශකුන්තලාව කාලිදාස චිත්‍රණය කර ඇත්තේ. ඊට අනුව දුෂ්‍යන්ත කෙරෙහි ඇති වන ආලයෙන් මුසපත් වන නිසා ම තම අයිතිවාසිකම් සඳහා පෙනීි සිටින්නටත් ඈ අපොහොසත් වෙයි. දුෂ්‍යන්ත ඉදිරියේ තමන්ගේ හා තම පුතුගේ අයිතීන් සඳහා පෙනී සිටින්නට එතරම් උනන්දුවක් නො වෙන ඇය දුෂ්‍යන්තට තමා හඳුනාගන්නට බැරි වු විට රාජ සභාව හැරපියා ආයෙමත් වන ගත වන්නේ තම දරුවාට ඔහුගේ උරුමය ලබා ගැනිමට නො හැකි විමෙන් හා සිය ආදරවන්තයා තමාට අහිමි විමෙන් ඇති වු තදබල කලකිරීම හේතුවෙනි.

කුතුහලය දනවන කාරණය නම් අද දවසේ අප ශකුන්තලා ගැන කථා කරන විට අප එක්වර ම සිහිකර ගන්නේ කාලිදාස විසින් සම්පාදිත ශකුන්තලා නිරූපණ යයි. නමුත් කවුරුන් හෝ ශකුන්තලා ගැන කථා කරනවා නම් ගත යුත්තේ මහා භාරතය කෘතියේ දැක්වෙන චරිතය යි. මන්දයත් එය කාලිදාසගේ සන්නයට වඩා පුළුල් නිසාත් ඊට සවන් දුන් ශ්‍රාවක පිරිස අති මහත් වී යැයි සිතිය හැකි නිසාත් ය. කාලිදාසගේ සන්නය රාජ සභාවට සම්බන්ධ සුළුතර ප්‍රේක්ෂකාගාරයට පමණක් සීමා වුවක්.

කාලිදාසගේ සන්නය පමණක් ප්‍රක්ෂේපණය කරමින් ඊට අනුග්‍රය දැක්වීම තුළින් අද අප කර ඇත්තේ එහි වාසියට කරුණු තින්දු කිරිමක්. කාලිදාසගේ සන්නය තෝරාගෙන එය සම්ප්‍රදායික යැයි අප ප්‍රක්ෂේපණය කර ඇත්තේ ඇයි දැයි පැහැදිලි යි. ස්ත්‍රිය වනාහි ලැජ්ජාශීලී වැඩි කථා බහේ නො යෙදෙන කීකරු තැනැත්තියක් වශයෙන් ප්‍රක්ෂේපණය කිරිම අද අපට අවශ්‍යයි. ස්ත්‍රිය වනාහි යෝජනා පිළිගන්නා තම තත්වය පිළිගැනීම රජු ප්‍රතික්ෂේප කළ විට දැඩි ලෙස වාද කොට තම තත්වය ආරක්ෂා කරන තැනැත්තියක වශයෙන් චිත්‍රණය කරන්නට අපට ඕන නැහැ....."

(-තාපර්, රොමිලා, 1999 පි.1-3)


Romila Thapar

අභිනවයෙන් සම්පාදිත ස්ත්‍රිය පිළිබඳ සම්ප්‍රදාය ගැන තාපර්ගේ විග්‍රහයෙන් සම්ප්‍රදාය නිපදවීමේ කාර්යයෙහි ස්වභාවය පිළිබඳ සමීප අවබෝධයක් ජනනය වනු ඇත.

සමාලෝචනය හා නිගමන

ඉන්දු උප මහද්වීපික රටවල සම්ප්‍රදාය නමැති සංකල්පය ආගම් සමඟ බැඳී දිගු ඉතිහාසයක් පුරා පැවත එයි. එය සමස්ත සංස්කෘතික ජීවිතය ම නියාමනය කරන බලවේගයක් ලෙස භාවිත කෙරිණ. දෙවියන්ගෙන් ඇරඹෙන සම්ප්‍රදාය අඛණ්ඩ ව පවත්වාගෙන යාම පමණක් මිනිසාගෙන් බලාපොරොත්තු වේ. මෙලෙස මේ සංසල්පය පැවතිය ද සම්ප්‍රදාය යන භාෂාත්මක යෙදුම මේ පෙරදිග රටවල භාවිතයට එළඹියේ යටත්විජිත කරණයට පසුවයි. ඒ එළියට් ඒ පිළිබඳ කළ අවධාරණයට පසු ව විය යුතු ය.

සම්ප්‍රදාය යනු අතීත ඥානය වර්තමානය හා මුසු කරන ව්‍යුහය යි. එය භාෂාව, ඥාති ක්‍රමය වැනි ම ව්‍යුහයකි. නූතනත්වයට ප්‍රතිපක්ෂ යෙදුමක් ලෙස සම්ප්‍රදාය යන්න භාවිත කළ ද එසේ කළ නො හැකි ය. යටත්විජිත කරුවා විසින් අතීත සංස්කෘතික අනන්‍යතා නූතනත්වය තුළ ප්‍රති නිෂ්පාදනය කිරීමේ දී භාවිත කළේ සම්ප්‍රදාය නමැති මෙවලම යි. එය ව්‍යුහයක් වන නිසා සංකල්පයක් මෙන් ප්‍රතිපක්ෂ යෙදුම් හා සංහිතා ගත කළ නො හැකි ය. සම්ප්‍රදායික යන යෙදුම සම්ප්‍රදායෙන් වෙනස් වූ ඉතිහාසය හා අතීත උරුමය සංඥා කරන සංකල්පයකි. එය ව්‍යුහයක් නො වේ. එය නූතනත්වයට ප්‍රත්පක්ෂ ව පිහිටුවිය හැකි ය.

සම්ප්‍රදාය හැම අභිනව ඒකකයකින් ම වෙනස් භාවයට පත් වේ. එය දෙවියන්ගෙන් ලැබෙන ආලෝකයක් නොව පුද්ගලයා විසින් ම නිපදවනු ලබන පුද්ගලයා විසින් ම වෙනස් කරමින් පවත්වාගෙන යන්නකි. සම්ප්‍රදායන් ව්‍යුහනය කිරීමටත් පවත්වාගෙන යාමටත් හැක්කේ ආර්ථීක දේශපාලන බලය සහිත ඒජන්තයන්ට පමණි. ප්‍රාග්ධනය හිමි පන්තිය නැතහොත් බලය හිමි පන්තිය විසින් නිර්මාණය කරන සම්ප්‍රදායන් නිර්ප්‍රභූ ජාති, පන්ති හෝ ලිංගිකයන් විසින් පවත්වාගෙන යනු ලැබීම දැකිය හැකි සාමාන්‍ය තත්වය යි. "සාමාන්‍ය දැනීම" තුළ සම්ප්‍රදාය, දිව්‍යමය භාෂිත වන බවත් ඒවා අභියෝගයට ලක් කිරීම දේව ශාපයට හේතු වන බවත් ප්‍රකාශයට පත් කරනුයේ ප්‍රාග්ධන හිමි පන්තිය විසිනි. ඒ අනුව සම්ප්‍රදාය යනු නිර්ප්‍රභූන්ට හතුරු වූ ප්‍රතිපක්ෂ ව්‍යුහයකැ යි නො ගත යුතු ය. සම්ප්‍රදාය ස්වීකරණය කොට ගෙන එය නිර්ප්‍රභූ සංරචකයන්ගෙන් යළි නිර්මාණය කිරීමේ හැකියාව එහි විෂය වස්තු බවට පත්වූ පිරිසට ඇත. ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ සම්ප්‍රදාය, පාසැල් අධ්‍යාපන සම්ප්‍රදාය, බෞද්ධාගමික සම්ප්‍රදාය, පවුලේ ව්‍යුහය හා දේපළ බෙදීයාම පිළිබඳ සම්ප්‍රදාය, කුළ හා වාසගම් දීමේ සම්ප්‍රදාය ආදිය මේ ආකාරයට පීඩිත පන්ති විසින් වහා ප්‍රති ව්‍යුහනය කරනු ලැබිය යුතු බව පෙනේ.

සම්ප්‍රදාය යනු සාහිත්‍ය විචාරයට මෙන් ම සමාජ විචාරයටත් සමාජ සංශෝධනයටත් භාවිත කළ හැකි සංස්කෘතික ව්‍යුහයකි.

පාදක සටහන්-

[1.] ප්‍රමේය රත්නාවලියේ බාලදේව විද්‍යාභූෂණ දක්වා ඇත්තේ "සම්ප්‍රදාය විහීනයේ මන්ත්‍රස්තේ නිශ්ඵල මනඃ" යනුවෙනි. (1 කොටසේ 5-6 ශ්ලෝක)

[2.] ප්‍රතාභා අපූර්ව වස්තු නිර්මාණාක්ෂමා ප්‍රඥා (ප්‍රතිභාව යනු අපූර්ව වස්තු නිර්මාණය කිරීම සඳහා කිසියම් කෙනෙකු සතුව පවතින ප්‍රඥාවයි.) ප්‍රඥා නවනවෝන්මේෂශාලිනී ප්‍රතිභා මතා සා හි චක්ෂූර් භගතතේස් තෘතීයමිති ගීයතෙ. (නව අරුත් ක්ෂණයෙහි වැටහෙන්නා වූ බුද්ධිය ප්‍රතිභාවයි. මේ බුද්ධිය කෙතෙක් සුවිශේෂි ද යත් එය ඊශ්වරගේ තෙ වැනි ඇසට සම වේ.)

[3.] සිංහල ශාන්ති කර්මවල ඇරඹුම බුදුන්ගේ ලංකාගමණය හා සම්බන්ධ කරන ජන ප්‍රවාදයක් මෙසේ ය. "....මිනිස් ලොවට විත් මනුෂ්‍යයන් හට උපද්‍රව පමුණුවන්නා වූ යක්ෂයින් දමනය කිරීම සඳහා බුදු රජාණන් වහන්සේ එක් දිනක් යක්ෂයින්ගේ වාසස්ථානය වන සක්වල ගලට වැඩියහ. උන්වහන්සේගේ ආරක්ෂාව පිණිස ශක්‍ර දේවේන්ද්‍රයාත් කැටුව යන්ට සිතූ නමුත් බුදු රජාණන් වහන්සේ ඊට නොකැමැති වූ සේක. හුදකලාව යක්ෂයන් මධ්‍යයට නො යනු මැනවැයි ශක්‍ර දේවේන්ද්‍රයා විසින් නොයෙක් ලෙස කන්නලව් කරන ලද මුත් බුදු රජාණන් වහන්සේ ඔහු කී බස් නො අසා මහලු හිඟන්නෙකුගේ වෙස් ගෙන ගියහ. සක්වල ගලෙහි මුහුදේ දිය බිඳු තරමට යක්ෂයෝ හුන්හ. කුමක් සඳහා අවුදැයි ඔවුන් බුදුරදුන් අතින් විචාල කල්හී රාත්‍රියේ නවාතැන් පිණිස යයි උන්වහන්සේ පිළිතුරු දුන්හ. මෙහි නොහිඳ යවයි යක්ෂයෝ කීහ. අද රාත්‍රියේ පමණක් නතරවීමට කුඩා තැනක් දෙනු මැනවයි බුදුන් විසින් යාඥා කරන ලද කල්හි යක්ෂයෝ උන්වහන්සේ යක් සෙනෙවියා ඉදිරියට යැවූහ. ගලක් මත පටු ස්ථානයක රාත්‍රිය ගෙවීමට යක් සෙනෙවියා විසින් බුදුු රදුන්ට අවසර දෙන ලදි. අන්ධකාරය පැතිරෙත් ම බුදුුරජානන් වහන්සේ ස්වකීය ශරීරයෙන් රශ්මි මාලා නිකුත් කරවා ගල රත් වන්නට සැලසුවාහු ය. යක්ෂයින්ට උෂ්ණය නිසා අපාසු දැනෙන්ට විය. ඉක්බිති ඔවුන් ගොස් එපුවත යක් සෙනෙවියාට සැල කළ මුත් ඒ මහලු හිඟන්නාට එබඳු හාස්කමක් කෙසේ නම් කළ හැකි වේ දැයි කියමින් යක් සෙනෙවියා ඒ බව නො ඇදහී ය. එහෙත් උෂ්ණය මද මද ව අධික වී ගොස් කෙළවර දී ගල ගිණිගත් කලක් මෙන් බබලන්ට විය. එකල්හි යක්ෂයෝ සියලු දෙනා ම බියපත් ව අවුත් බුදුන් වහන්සේ පා මුල වැටී අපි සෙම් සොටු බුදින කාලකන්නි සත්ව වර්ගයා වම්හ, අපට අනුකම්පා කර වදාල මැනවැයි බැගෑපත් ව කීහ. බුදුන් වහන්සේ ඔවුන් කෙරෙහි අනුකම්පා උපදවා මම තොපට අභය දෙමි. එහෙත් තොප විසින් මා කියන බස් ඇසුව මනා ය. මනුෂ්‍යයින් හට රෝග උපද්‍රව ඇති කිරීමට මම තොපට වරම් දෙමි. එහෙත් එබඳු අවස්ථාවක දී ඇදුරන් විසින් තොප කැඳවා දොළ පිදේනි දෙන ලද කල්හී තොප විසින් එම ස්ථානයට පැමිණ දොළ පිදේනි පිළිගෙන ආතුරයා සුව කොට යා යුතු යයි අණ කොට සක්වල ගල යළි පියවි ස්වභාවයට පත් කොට එතැනින් වැඩි සේක."
(සරච්චන්ද්‍ර, සිංහල ගැමි නාටකය, 1968(1999):41)

[4.] Tradition as a noun:
• 1 [mass noun] the transmission of customs or beliefs from generation to generation, or the fact of being passed on in this way:members of different castes have by tradition been associated with specific occupations
• [count noun] a long-established custom or belief that has been passed on from one generation to another:Japan’s unique cultural traditions
• [in singular] an artistic or literary method or style established by an artist, writer, or movement, and subsequently followed by others:visionary works in the tradition of William Blake
• 2 Theology a doctrine believed to have divine authority though not in the scriptures, in particular:
• [mass noun] (in Christianity) doctrine not explicit in the Bible but held to derive from the oral teaching of Christ and the Apostles.
• (in Judaism) an ordinance of the oral law not in the Torah but held to have been given by God to Moses.
• (in Islam) a saying or act ascribed to the Prophet but not recorded in the Koran.
(http://www.oxforddictionaries.com/)

මූලාශ්‍ර-

මූල කෘති-

• කාව්‍යාදර්ශය(සුබෝධනී ව්‍යාඛ්‍යා සහිත), සංස්: පේමරතන හිමි වැලිවිටියේ සහ දේවානන්ද හිමි හල්ගස්තොට(2001), මරදාන: සමයවර්ධන පොත් හල.

• සිදත් සඟරාව, සංස්: තෙන්නකෝන්, රැ,(1967). කොළඹ: ඇම්.ඩී. ගණසේන සහ සමාගම.

• සියබස්ලකර විස්තර වර්ණනාව, සංස්:ඥානසීහ හිමි, හේන්පිටගෙදර(1964), කොළඹ: ස්වභාෂා ප්‍රකාශකයෝ.

ශබ්දකෝෂ-

• ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය, සංස්: මලලසේකර, ගුණපාල(1958),(1992 මුද්‍රණය), කොළඹ:ගුණසේන.

• සංස්කෘත සිංහල ශබ්ද කෝෂය, අලගියවන්න(1925)- ප්‍රකාශන තොරතුරු නැත.

• Oxford Advance Learners dictionary (2000) ed: Sally Wehmeier, (6th edition),Oxford:University press

ග්‍රන්ථ හා ලිපි-

• එළියට් ටී.එස්. (1917) සම්ප්‍රදාය හා ප්‍රත්‍යෙක කෞශල්‍යය. පරි: සුරවීර ඒ.වී, 1999, සම්ප්‍රදාය නිර්මාණය හා විචාරය, කොළඹ 10, ගොඩගේ ප්‍රකාශන.

• කුමාරස්වාමි, ආනන්ද (1962) මධ්‍යකාලීන සිංහල කලා. පරි-එච්.එම්.සෝමරත්න, කොළඹ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව.

• ගුනසිංහ, සිරි (1986) චිරන්තන සම්ප්‍රදාය හා ප්‍රගතිය, කොළඹ10, ගොඩගේ ප්‍රකාශන.

• තාපර්, රොමිලා (1999) සම්ප්‍රදාය ගැන දුර්මත- ඉන්දීය දේතාවියන් ගැන නව කියවීමක්. පරි: රංජිත් පෙරේරා, කොළඹ, සමාජ විද්‍යාඥයින්ගේ සංගමය.

• දිසානායක, විමල් (2004) නව විචාර සංකල්ප- ඥාන ක්ෂේත්‍රයෙහි ප්‍රවණතා, බොරලැස්ගමුව: විසිඳුනු ප්‍රකාශකයෝ.

• සරච්චන්ද්‍ර, එදිරිවීර (1967) නාට්‍ය ගවේශන, කැලණිය: වීමංසා ප්‍රකාශන.

• Apte, V.S (1965), The practical Sanskrit-English dictionary: containing appendices on Sanskrit prosody and important literary and geog¾phical names of ancient India,India: Motilal Banarsidass Publ.

• Barker, Chris(2005). Cultural Studies: Theory and Practice.London: Sage.

• Barthes, Roland (1991). Mythologies. translated from the French by Annette Lavers, New York: The Noonday Press.

• Barucha, Rustom(1990).Theatre and The World - Essays on Performance and Politics on Culture, India: Manohar Publications.

• Eagleton,Terry(1996).Literary Theory: An Introduction. 2nd edition. Minneapolis: The University of Minnesota Press.

• Ebert, Gabriele (2006), Ramana Maharshi: His Life, Lulu.com

• Giddens, Anthony( 1998). Conversations with Anthony Giddens: Making Sense of Modernity. Stanford, Calif: Stanford University Press.

• Gombrich.R and ,Obeysekara.G (1988).Buddhism Transformed:Religious change in Sri Lanka, Princeton: Princeton University press.

• Gupta, R (2002). Sampradaya in Eighteenth Century Caitanya Vaisnavism, India:ICJ

• Hobs Bawm ,Eric (1983) Introduction: Inventing Traditions. The Invention Of Tradition, (Ed:) Eric Hobsbawm And Terence Ranger, pp.1-14.Cambridge: Cambridge University Press.

• Leavis, F. R. (1950).The Great Tradition. New York: George W. Stewart, Publisher Inc.

• Perera ,Nihal(1998).Society and Space:Colonialism Nationalism and Postcolonial Identity in Sri Lanka, Boulder:Westview Press.

• Strathern, Marilyn(1996). Enabling Identity? Biology, Choice and the New Reproductive Technologies. in Questions of Cultural Identity(ed:) Stuart Hall and Paul du Gay, London,Thousand Oaks, New Delhi: SAGE Publications.

• Saussure, Ferdinand de (1966)). Course in General Linguistics. (trans. Wade Baskin) London: Hill Book Company.

E-Books-

• Barry,Peter(2002).Beginning theory. [e-book] Wales:University Press.[30.12.2012]


සමන් එම්. කාරියකරවන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails