Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නීතිඥ ජගත් ලියනආරච්චි විසින් රචිත "ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති" කෘතිය ජනගතකිරීම 2014 නොවැම්බර් 05 දින, සවස 03.00 ට ශ්‍රී ලංකා ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී සිදුකෙරේ. "ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති", නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රකාශනයකි.

කතාබහ- ආචාර්ය ටියුඩර් වීරසිංහ, රාවය පුවත්පතේ කර්තෘ කේ.ඩබ්.ජනරංජන, ජ්‍යේෂ්ඨ නීතිඥ ජේ.සී.වැලිඅමුණ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අනුරාධා නිල්මිණි විසින් රචිත අලුත්ම නවකතාව "සවරංපාලිය" නමින් දැන් නිකුත් වී තිබේ. අනුරාධාගේ ප්‍ර්‍රථම නවකතාව වූූ "ලාලි කෙළිය" 2012 වසරේ දී නිිකුත් විය. අනුරාධා, "යුග ස්ත්‍රී", "වත් සියපත්" නමින් කාව්‍ය සංග්‍ර්‍රහයන් ද්වයක් ද එළි දක්වා තිබේ. මේ කෘතීන් සිියල්ල පළ වී ඇත්තේ සුරස ප්‍රකාශන ලෙසය.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ශ්‍රී චන්ද්‍ර්‍රරතන මානවසිංහගේ "ගොළු දැරිය" කෙටිකතා එකතුවෙන්.
හඬ- රන්සිරිමල් ප්‍රනාන්දු

Player එකෙන් අහන්න-



Download කර ගෙන අහන්න- [Link]



චන්ද්‍රරත්න මානවසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සම්මානනීය සිනමාවේදියෙකු සහ 'ඒ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු' ගීතය වැනි අපූර්ව ගීත රැසක් රචනා කළ ගීත රචකයෙකු වන කේ.ඩී. නිකලස් මහතා (විදර්ශන කන්නන්ගර සොයුරාගේ පියා) අද සිය ජීවිතයෙන් සමුගත් බව අපට දැනගන්නට ලැබුණි. හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් මත මාස කිහිපයක් වැනි කෙටි කලක් රෝහල්ගතව සිටි ඒ මහතා රෝගාතුර වන විටත් චිත්‍රපටයකට තිර රචනයෙන් සහ ගීත රචනයෙන් දායක වෙමින් සිටියේය.

නිකලස් මහතාගේ දේහය ඔක්තෝබර් 27 වන දින පස්වරු 6:00 සිට 29 වැනි බදාදා උදෑසන දක්වා කොළඹ ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තබනු ඇති අතර ඉන්පසු 29 වැනි දින සවස 2:30 දක්වා ජාතික කලාභවනෙහි තැන්පත් කර තබනු ලැබේ. දේහය පිළිබඳ අවසන් කටයුතු 29 බදාදා සවස 3 ට බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



-බලංගොඩ බටුගම්මන විද්‍යාලයේ සිටින්නේ එක ගුරුවරයෙක් හා එක ළමයෙක් පමණි. - ප්‍රවෘත්තියක්

ලොකු පංතිවල ඈයෝ ගහනව අපිට
ඒ හින් දා අපි තරහයි උන් එක්ක
උං ඉස්කෝලෙන් අස් වී ගිය හින්දා
සංතෝසෙට අපි පාටියකුත් දැම්මා

අපෙ යාළුවොත් අස්වෙනවා සැරින් සැරේ
පාළුයි ටිකින් ටික ඉස්කෝලේ පංති
ඇහුවම මොකෝ යන්නේ අස්වෙලා කියා
ඕකත් ඉස්කෝලයක්දැයි කියලා ඇහුවා

කියලා පානාතිපාතෙද මොකක්ද
ටීචර්ලත් ගියා ඉස්කෝලේ දාලා
ඇහුවම ලොකු සර්ගෙන් මොකදැයි කියලා
කිව්වා වැඩිවෙලා කියලා අනුපාතේ

ඉර පායා ගියා බැහැලා සැරින් සැරේ
කැලැන්ඩරේ කොල හැලුනා එකින් එක
පාළුයි නම් පොත, අත්සන් ලේඛණය
ලොකු සර්රුයි මමයි විතරයි ඉස්කෝලේ

මැරතන් එකක් වාගෙලු දැන් ජීවිතය
ඇහුනා කියනවා ඔය ලොකු ලොකු ඈයෝ
කප් එක අරගන්න නං තරඟේ දුවලා
පොඩි කාලේ ඉඳලම වෙන්නලු පුහුණු

තනියම වෙන්න ඇහැකිද මැරතන් පුහුණු
මගෙ තනියට සුංගව අඬ ගහ ගත්තා
සුංගයි මායි පොත් පාඩම් කෙරුවාට
පාඩම් හිටියේම නෑ සුංගගෙ දිවට

සුංගයි මමයි දිව්වා මීටර් සීය
සුංගා පරාදයි මං දිනුවා ඒක
සුංගයි මායි පංතිය අතුගාන කොට
සුංගා මග හරිනවා කම්මැලිකමට

සුංගයි මායි තරඟෙට ලිව්වා අකුරු
කැතලු මගෙ අකුරු බැන්නා සර් ලොකු
සුංගා දිනල ඇති ලියලා ලස්සනට
බැලුවම ඌ ලියලා නෑ මොකවත්ම

මාණ් ඩලික ජන ගී තරඟේ ළඟලු
ජන ගී පුරුදු වෙමු කිව්වා අපි දෙන්නා
අම්මත් අහගෙනලු මං කවි කියන හඬ
කවි බෑ සුංගාට හිටියේ බුම්මගෙන

සුංගයි මායි පාඩම් කෙරුවා රෑට
දන්නෙම නැතුව මට පොත උඩ නින්ද ගිහිං
උදේ පාන්දර ඇහැරී බලන කොට
සුංගා මුළු රෑම පොත් පාඩම් කරලා

*සුංගා -ළමුන් ක්‍රීඩාවලදී ක්‍රීඩකයන් මදිවූ විට එක්කර ගන්නා කාල්පනික ක්‍රීඩකයා

චන්ද්‍රසේන බදුගම​



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කට්ටි පැන පැන උන්න කිව්වට
‘බට්ටි’ බෝසත් රුවකි ටවුමට

ඇහැත් පියාලයි යහනට ගොඩ වන්නේ
රහත් බලාලයි රැය මගහැර යන්නේ
මහත්වරුය හිමිදිරියෙම ගෙට එන්නේ
මහත් සඳ තවම පිින්නේ පිිළිිකන්නේ

සුරත් තඹර විල දිලෙනා පුවල බඳ
ඉරත් සිිසිල සෙව්වේ ඈ තුරුළෙ වැද
නොරත් රතකි, කීවද මහ ටවුම මැද
අරත්මිණි පළඟ අඳුරේ විතර මද

නිල් නිල කබා හැකිලී පොඩි වී පයට
සිල් බිඳගත්ත බුදුවරු ඇදුනත් දුරට
ඉල් ශීතල මැදත් ගිනි ඇවිළුනි කුසට
පිල් මොණරියේ අහසත් ඇඬුුවා දුකට

නාමල් යාය පරවී වැටෙනා කලට
මීමල් කරල් කොණ්ඩය බෙදුනේ දෙකට
තාමත් ගලන්නේ ගඟ පහලට බයට
වේවැල් පහර විතරයි ඉතිරිය අපට

අනුරාධා නිල්මිණි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

හයිකු | හයිකු - 48

Posted by BoondiOnLine 10.22.2014



ආහ්, වාසනාවන්ත සිඟන්නා...!
දිදුළන ස්වර්ගය,
සීතල මහපොළව
එක්වී සැදෙයි
නුඹේ ගිම්හාන ඇඳුම...

-කිකාකු
පරිවර්තනය - මාලතී



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මින් පෙර 'දෙනේත්‍රා' නමින් කෙටිකතා එකතුවක් එළිදැක්වූ නැදිමාලේ හෙක්ගේ 'පාස්වර්ඩ්' නවකතාව පිළිබඳ කතිකාවක් නොවැම්බර් 03 වන දින සවස 3.00ට ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

'නැදිමාලේ මිනිහෙක්' යනුවෙන් අන්වර්ථ නමකින් සාහිත්‍යකරණයේ යෙදෙන කතුවරයා සමාජ දේශපාලන ක්‍රියාකාරිකයකු ලෙස අද්‍යතන සමාජය ග්‍රහණය කර ගන්නා ආකාරය මෙම කෘතිය මගින් ප්‍රතිමූර්තිමත් වේ.

මෙහිදී වික්ටර් අයිවන්, චූලානන්ද සමරනායක හා කේ. කේ. සමන් කුමාර අදහස් දක්වනු ඇත.

'පාස්වර්ඩ්' අගහස් ප්‍රකාශනයකි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"අභ්‍යාවකාශය ජය ගැනීමට සීතල යුධ සමයේ පටන් විවිධ රටවල් දරණ තරඟකාරී ප්‍රවේශය නිමාවක් නැති එකකි. නමුත් විශ්වය තුළ පෘථිවිවාසීන්ගේ පැවැත්මට අවශ්‍යම කොන්දේසියක් වන්නේ ගුරුත්වයයි. මේ ගුරුත්වයෙන් මිදීම පෘථිවි ජීවිතයට කරනු ලබන බලපෑම කෙබඳුද? විවිධ සම්මාන 26 ක් ලද Gravity චිත්‍රපටය අප තුළ මතු කරන්නේ එයයි."

Alfonso Cuaronගේ Gravity සිනමා කෘතිය, 2014 ඔක්තෝබර් 26 ඉරුදින සවස මීගමුව මාරිස්ටෙලා විදුහලේදී තිර ගත වෙයි.

සවස 3.30- සිනමා කෘතිය පිළිබඳ අදහස් දැක්වීම- ජූඩ් ප්‍රේමන්
සවස 4.30- සිනමා කෘතිය ප්‍රදර්ශනය
-සංවාදය-

සංවිධානය- විණැන මාධ්‍ය හා කලා පදනම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



හැමදාම ඔබ හරිම නිහඬයි
හරියට පස් වගේ
යන්තමින් සුළඟට වැනෙන ගස් වගේ

මම තාම පටු වෙරළෙ තනිවයි
හිත මුහුදෙ රැලි වගේ
ඒත් හරි හිස් වගේ

පසුතැවුමෙ විස ඵලය
කැවුණු හදවත් දෙකක
ආදරය මතුවෙන්න
ඔය බැම්ම බිඳ දමා
ඔබ එන්න...
ඔබ එන්න...

මොකද,
මම තාම පටු වෙරළෙ තනිවයි
හිත මුහුදෙ රැලි වගේ
අපි පස් වගේ
යන්තමින් සුළඟට වැනෙන
ගස් වගේ

ඉසුරු අබේසේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා සහ කථිකාචාර්ය ජගත් බණ්ඩාර පතිරගේ සංස්කරණය කළ, කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශය ප්‍රකාශයට පත් කරන, "සමාජ විග්‍රහ" – විමර්ශිත ශාස්ත්‍රීය සංග්‍රහය දැන් නිකුත් වී ඇත.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



වර්ෂාව ඇරඹී තුන්වන දිනය වනවිට ගෙතුළට පැමිණ මරා දැමුණු කකුළුවන් ගණන කොපමණ ද යත් පෙලායෝට දිය පිරුණු මිදුල පසුකර ගොස් උන් මුහුදට දමන්නට සිදුවිය. අළුත උපන් දරුවා මුළු රැය පුරාවටම උණ ගැනී සිටියේ උන්ගේ ගඳ නිසායැයි ඔවුහු සිතූහ.

අඟහරුවාදා සිටම ලෝකය දුක්ඛිත වී තිබිණි. මුහුද හා එකට යාවුණු අහස එක දිගට විහිදුනු අඳුරු යමක් බවට පත්ව තිබූ අතර මැදින් මස රාත්‍රීන් හිදී කුඩු කල ආලෝක කැටිති මෙන් දිදුල් දුන් වෙරලේ වැලි, මඩ හා කුණුවූ සිප්පි මසුන් එකට මුසු වූ අච්චාරුවක් වී තිබිණ.

දහවලේ පෙලායෝ කකුළුවන් වීසි කර එන විට හාත්පස පරිසරය කොතරම් අඳුරුවී තිබුණේ ද යත් ගෙමිදුලේ පසුපස කෙළවර කෙඳිරිලි හඬින් ගොරවමින් එහා මෙහා වූයේ කුමක්දැයි හරියාකාර අඳුනා ගැනීම ඔහුට අපහසු විය. ඒ මහළු මිනිසකු, මුණින් තලාව මඩෙහි වැටී සිටි ඉතාමත් මහළු මිනිසකු, බවත් කෙතරම් උත්සාහ කළද ඔහුගේ සුවිශාල තටු දෙක නිසා නැගිට ගැනීමට නොහැකිව දඟලන බවත් දැක ගැනීමට ඔහුට ඒ ලඟටම යන්න ට සිදුවිය.

මේ දසුනින් තැතිගත් පෙලායෝ ගෙට දුව ගොස් ලෙඩ වූ දරුවාගේ ඇඟ තවමින් සිටි ඔහුගේ බිරිය එළිසෙන්ඩා මිදුල පසුපසට කැඳවා ගෙන ආවේය. ඔවුන් දෙදෙනාම භ්‍රාන්තියෙන් ගොළුව බිම වැටී තිබුණු තටු සහිත මහල්ලාගේ සිරුර දෙස බලා සිටියහ. ඔහුගේ ඇඳුම් වැරහැලි ව තිබිණි. තැනක දෙතැනක කෙස් ගස් කිහිපයක් රැඳුනු තට්ට හිසත් දත් අතලොස්සක් රැඳුනු මුවත්, වැස්සෙන් පෙඟුණු වැහැරී ගිය මී මුත්තණු කෙනෙකුගේ දුක්ඛිත පෙනුමක් පෙන්වූ අතර, ඔහු සතුව තිබෙන්නට ඇති සියළු අතීත විභූතිය මේ අසරණකම විසින් පැහැරගෙන තිබිණි.

අඩක් පිහාටු සිඳුනු කිළුටු කඩමාළු වූ ඔහුගේ විශාල රාජාලි පියාපත් මඩ වගුරෙහි ගිලී පටලැවී තිබුණි. බොහෝ වේලාවක් ඔහුට කිට්ටු වී බලා සිටි පෙලායෝ හා එලිසෙන්ඩා ගේ සිත් තුලින් මුලින් දැණුනු විශ්මිතය පහව ගොස් අන්තිමේ දී මේ නම් දැක හුරු පුරුදු කෙනෙක් ය යන හැඟීමක් මතුව ආයේය. ඔහුට කතා කරන්නට තරම් ඔවුන් එඩිතර වූ කල ඔහු තේරුම් ගත නොහැකි භාෂාවකින් කතාකර නාවුකයකුගේ ගැඹුරු ස්වරයකින් උත්තර දුන්නේය. කිසිසේත් තේරුම් කල නොහැකි තටු දෙකේ ප්‍රශ්නය අතහැර දමා ඉතාමත් ඥානාන්විත ලෙස, මේ නම් කුණාටුවෙන් විනාශ වූ යම් විජාතික නැවකින් අතරමං වූ වෙක් යැයි ඔවුන් තීරණය කළේ ඒ නිසාය. එසේ වුවත්, ඔවුහු ජීවිතය හා මරණයත් ඒ අතරතුර සියල්ලත් පිළිබඳ ව සියළු දේ දන්නා අසල්වැසි ගැහැණියක් කැඳවා ඔහු පෙන්වූහ. ඕ නම් සිය පළමු බැල්මෙන්ම මේ කවුදැයි නිච්චියටම හඳුනා ගත්තීය.

"මෙයා... දේව දූතයෙක්... !" ඈ ඔවුනට කීවාය.

"එන්න ඇත්තෙ දරුවා බලන්න… ඒත් මහළු දුප්පතා… මේ වරුසාවෙන් හෙම්බත් වෙලා ඇදගෙන වැටිල…"

ඊළඟ දවස වන විට ලෙයින් මසින් සැදි දේව දූතයෙක් පෙලායෝගේ නිවසෙහි කූඩු කර ඇතැයි අසල්වැසි සියළු දෙනාම දැන සිටියහ. දේව දූතයින් යනු දිව්‍යමය කුමන්ත්‍රණයක කොටස්කාර ද්‍රෝහීන් යැයි සැලකූ නැණවත් අසල්වැසි ගැහැණියගේ තීන්දුව සලකා, ඔහුට මුගුරු වලින් පහර දී මරා දමන්නට තරම් සිතක් නම් ඔවුනට නොතිබිණි. පෙලායෝ තම පිස්කල් තනතුරේ බැටන් පොල්ලෙන් සන්නද්ධව කුස්සියේ සිට මුළු සවස් වරුවම ඔහු දෙස බලා සිට, නින්දට යන්නට පෙර දේව දුතයා මඩ ගොහොරුවෙන් ඇද කොටු දැල් ගැසූ කුකුළු කූඩුවේ කිකිළියන් අතරට දමා දොරගුළු දැමුවේය.

එදා මැදියම් රැයෙහි වැස්ස නැවතුනු වේලාව වන විටත් පෙලායෝ හා එළිසෙන්ඩා කකුළුවන් මරමින් උන්හ. එයින් ටික වේලාවකට පසුව ලෙඩ ව සිටි දරුවාගේ උණ බැස ගිය අතර ඔහු මෙතෙක් නොතිබූ අහර රුචියක් සමග අවදි විය. උත්කර්ෂවත් හැඟීමකින් වෙලී ගිය පෙලායෝ හා එළිසෙන්ඩා, දේව දූතයා ට ජලය හා තුන් දිනකට පමණ සෑහෙන ආහාර ද ලබා දී පහුරක දමා මුහුදට පාකර යවන්නට ඉටා ගත්හ.

එහෙත් පසුව දා උදාසන පලමු ආලෝකයත් සමගම මිදුලට ගිය ඔවුනට දක්නට ලැබුණේ මුළු ගමම ඔවුන්ගේ කුකුළු කූඩුව වටා රොක්වී, දිව්‍යමය සත්වයෙක් යැයි කිසිම ගරු සරුවක් නොමැතිව, සර්කස් මඩුවක සතෙකුට මෙන් කුකුළු කූඩුවේ දැල් අතරින් දේව දූතයා වෙත ආහාර ආදිය විසිකරන අයුරුය.

මේ අද්භූත ආරංචියෙන් කැළඹුණු මීසම බාර ගොන්සාගා පියතුමා, උදාසන හත වන්නට පෙර එතැනට පැමිණියේය. ඒ වනවිට අළුයම සිටි නරඹන්නන්ට වඩා තරමක් විවේකී ගතිගුණැති පිරිසක් පැමිණ සිටි අතර ඔවුහු සිරකාරයාගේ අනාගතය පිළිබඳව නොයෙක් ආකාරයේ තර්ක විතර්ක කරමින් සිටියහ. ඉතා සරලව සිතූ එක් කාණ්ඩයක් ඔහු මුළු ලෝකයටම ආණ්ඩුකාරයා ලෙස නම් කළ යුතුයැයි කියූ අතර, වඩාත් ගැඹුරු කල්පනාවල් ඇති සමහරු ඔහු තරු පහේ ජනරාල් වරයකු ලෙස පත්කර ලෝකයේ සියළුම යුද්ධ ජයග්‍රහණය කරවීම වඩාත් ඵලවත් යැයි සිතූහ. අනාගතය දකින්නට හැකියාවක් තිබූ තවත් සමහරු, ඔහු පට්ටි ගස්සවා පෘතුවිය අත්තටු සහිත ඥානවන්ත මිනිස් ජාතියක අණසකට යට කරන්නට කරුණු සැලසිය යුතුයැයි කීහ.

ගොන්සාගා පියතුමා, පූජාත්වරය ලබන්නට පෙර දැව කපන්නකුව සිටි ශක්තිමත් මිනිසෙකි. කුකුළු කූඩුවේ කම්බි දැල අද්දර නැවතුණු ඔහු මොහොතකට තම විශ්වාසය මෙනෙහි කර, විස්මිත වූ කුකුළන් අතර ජරපත් වූ විසල් කිකිළියක මෙන් ලැග සිටින අසරණ මිනිසා දෙස වඩාත් ලංවී බැලීමට කුකුළු කූඩුවේ දොර හරින්නැයි අසල සිටියවුන්ට කීවේය. දේව දූතයා කූඩුව මුල්ලක, උදැනැක්කේම පැමිණි පිරිස විසි කළ පලතුරු ලෙලි හා උදේ ආහාර වල ඉතුරු බිතුරු මැද වැතිර, තෙත්වූ තටු හිරු එළියේ වේලමින් සිටියේය. පරිසරයේ කලහකාරී කලබලකාරිත්වයට ආගන්තුක වූ ඔහු සිය පෞරාණික දෑස් ඔසවා, කුකුළු කූඩුවට ඇතුළුව ලතින් බසින් "සුබ උදාසනක්" යැයි කිවූ ගොන්සාගා පියතුමා දෙස බලා, ඔහුගේ විජාතික බසින් මොනවාදෝ මුණු මුණු ගෑවේය.

තමුන් උච්චාරණය කළ මේ දිව්‍යමය ලතින් භාෂාව වටහා ගැනීමට නොහැකි, ඊටත් වඩා දෙවියන්ගේ නියෝජිතයකු හඳුනා ගැනීමට නොහැකි, මේ දේවදූතයා පිළිබඳව, මීසම භාර පියතුමාගේ සිතෙහි එකවරම ඇතිවූයේ වංචාකාරයකු දුටුකළ ඇතිවන්නාවූ කුකුසකි. තවත් ලංවී බැළූ කල මේ සත්වයා නම් වැඩිමනත් මානවයකු බව ඔහුට හැඟිණි. ඉවසිය නොහැකි තරම් ගස් ගඳක් ඔහු අසල විය. චණ්ඩ සුළඟින් කැඩී බිඳී පිහාටු ගැලවී අවුල්වුණු අත්තටුවල ඇතුළු පැත්තේ මැක්කෝ පිරී සිටියහ. මේ සත්වයා තුළ දේවදූතයකු තුළ තිබිය යුතු ගාම්භීරත්වය හා උදාරත්වය පෙන්වන කිසිම සාධකයක් නොවීය. කුකුළු කූඩුවෙන් පිටතට පැමිණි පියතුමා රැස්ව සිටි පිරිස අමතා කෙනෙකුගේ මතුපිටින් පෙණෙන අහිංසකත්වය බොළඳුන් සේ විශ්වාස කිරීමේ අවදානම පිළිබඳව කෙටි දේශනයක් කළේය. බාල ඇස්බැන්දුම් වලින් අපරික්ෂාකාරී අහිංසකයින් මුලා කිරීම, සාතන් ගේ තවත් කපටි ප්‍රයෝගයක් බවත් ඔහු ඔවුනට සිහිපත් කළේය. අත්තටු තිබුණු පමණින්, අහස් යානයක් හා උකුස්සෙක් සමාන නොවන්නා සේම, අත්තටු තිබීම පමණක්ම දේව දූතයෙක් හඳුනා ගැනීමේ සාධකය නොවන බවට ඔහු තර්ක කළේය. එසේ වූවත්, බිෂොප් තුමාට ලිපියක් ලියා ඒ මගින් කාදිනල් තුමාටත්, එතුමා මගින් අති උත්තම පාප් වහන්සේ ටත් මේ තත්වය දන්වා ඉහලම ශාසනික අධිකරණයෙන් මේ සත්වයාගේ දිව්‍යමය ස්වභාවය පිළිබඳව අවසාන තීන්දුවක් ලබා දීමට ඔහු පොරොන්දු විය.

ගොන්සාගා පියතුමා වපුල මේ ඥාණ බිජුවට වැපිරී තිබුණේ නම් නිස්සාර හදවත් මත්තේය. දේවදූතයෙක් අල්ලා ගැනීමේ පුවත කොයි තරම් වේගයෙන් පළාත පුරාම පැතිරී ගියේ ද යත් පැය කිහිපයක දී පෙලායෝගේ ගෙමිදුල සති පොලක කලබලයෙන් පිරුණු අතර, මුළු ගෙයම සමතලා කරන්නට තැත්කල මේ පිරිසේ කලහකාරී ගතිය සංසිඳවන්නට බයිනෙත්තු දැරූ හමුදා ඒකකයක් ද කැඳවීමට සිදුවිය. ගෙමිදුල පුරා එකතු වූ කසල ගොඩ අතුගෑමෙන් කොන්ද උළුක් කරගත් එළිසෙන්ඩාගේ විඩාපත් සිතට, ගෙමිදුල වට කර වැටක් ඉදිකිරීමේත්, දේව දූතයා නැරඹීමට ශත පහක ඇතුළුවීමේ ගාස්තුවක් අය කිරීමේත් අපූරු කල්පනාව හදිසියෙන්ම වාගේ පහලවිය.

කුතුහලයෙන් මඩනා ලද නරඹන්නෝ දුර බැහැර නොබලා, දිවා රෑ නොතකා, පැමිණියහ. වීදි සර්කස් කණ්ඩායමක් සමග පැමිණි පියාඹන කරණම් කාරයෙක් දේවදූතයා දකින පොරොත්තුවෙන් රැස්ව සිටි පිරිස මතින් කීප විටක් පියාඹා ගිය ද, ඔහුගේ අත්තටු දේව දූතයකුගේ අත්තටු වලට වඩා, රිදී තිරයේ තාරකාවක් වූ වවුලකුගේ අත්තටු වලට සමාන වූ බැවින්, කිසිවකුගේ අවධානය දිනා ගැනීමට ඔහුට නොහැකි විය. ලොව සතර අතින් අති අවාසනාවන්ත ලෙඩ රෝග වලින් පෙලෙන අසරණයෝ මේ දිව්‍යමය සත්වයාගේ මැදිහත්වීමෙන් සුවය සොයා පෙලායෝගේ ගෙමිදුලට ඇදී ආහ. ලදරු වියේ පටන් සිය හද ගැස්ම ගණන් කිරීමේ රෝගයෙන් පෙලී අවාසනාවන්ත ලෙස ඉලක්කම් අවසානව වික්ෂිප්ත වී හුන් දුප්පත් ගැහැණියක් ද, රාත්‍රි අහසේ තාරකාවන්ගේ මුණු මුණුව නිසා ජීවිත කාලයක් ම නින්ද නොයාමේ අවාසනාවෙන් පෙළුණු පෘතුගීසි මිනිසෙක් ද, දිවා කාලයේ අවදියෙන් සිටිය දී කල කී සියළු දේ රාත්‍රියේ දී ඇ‍ඳෙන් නැගිට ගොස් ආපසු කණපිට හරවන පුරුද්දෙන් පෙළුණු නින්දෙන් ඇවිදින්නෙක් ද, මීට වඩා සුළුතර රෝගාබාධ වලින් පෙළුණ විශාල පිරිසක් ද ඒ අතර විය. මේ ලොව කැළඹවූ පෙරළිය මධ්‍යයේ පෙලායෝ හා එළිසෙන්ඩා නම් ප්‍රීතියෙන් හෙම්බත් වී සිටියහ. සතියකටත් අඩු කුඩා කාලයක් තුළ ඔවුන්ගේ නිවසේ සියළු කාමර මුදල් වලින් පිරී තිබුණු අතර, තවමත් ඇතුළුවීමට බලාපොරොත්තුව පෙළගැසී හුන් වන්දනා කාරයන්ගේ පෝලිම ඇහැට පෙනෙන තෙක්මානයෙන් බොහෝ ඈතට විහි දී තිබුණි.

තමුන්ගේ ම වුව ද මේ නාට්‍යයේ රඟපෑමෙන් වැළකී සිටි එකම තැනැත්තා දේව දූතයා විය. කුකුළු කූඩුවේ කම්බි දැල් දිගට තබා තිබු තෙල් පහන් හා පූජාමය ඉටිපන්දම් වල අපා උණුසුම නිසා විකල්ව ගිය ඔහු තම තාවකාලික කූඩුවේ යම් විදිහකින් තැන්පත් වන්නට උත්සාහ දරමින් සිටියේය. සියල්ල දත් අසල්වාසි ගැහැණියට අනුව සුරදූතයින් ගේ ආහාරය ‘කපුරුබෝල’ යැයි දැනගත් පිරිස මුලින්ම ඔහුට කපුරු බෝල කවන්නට උත්සාහ කළහ. එහෙත් පශ්චත්තාප වෙන්නාවූ සැදැහැවතුන් විශේෂයෙන් පිළියෙල කොට ගෙනවුත් පූජා කළ ශුද්ධවූ ආහාර ප්‍රතික්ෂේප කළා සේම දේව දූතයා කපුරුබෝල ද ප්‍රතික්ෂේප කළේය. ඒ ඔහු දේවදූතයකු නිසා ද නැතිනම් වම්බටු පල්ප පමණක්ම කෑමට ගත් මහළු මිනිසකු නිසා ද යන්න ඔවුනට කවමදාකවත් දැන ගැනීමට හැකි වූයේ නැත. ඔහුගේ එකම අධිමානුෂික ගුණය ලෙස පෙණුනේ ඉවසිලිවන්ත කමය. විශේෂයෙන් ම මුල් දින වල දී අත්තටු අතර සැඟවී සිටින කෘමින් සොයා කිකිළියන් කොටන විට දීත්, තම තමන්ගේ අකර්මණ්‍ය ශරීරාංග වල ඇතිල්ලීමට අංග විකල වන්දනාකාරයන් අත්තටු වලින් ඇද පිහාටු උගුල්ලා ගන්නා විට දීත්, ඔහු දෙපයින් නැගී සිටිනවා බලා ගැනීමේ ආශාවෙන් පෙළුණු අති කරුණාබර සැදැහැවතුන් ඔහුට ගල්මුල් වලින් ගසන විට දීත් මේ ගුණය වඩාත්ම ඉස්මතු වී පෙණුනි. පිරිසට ඔහු කෝප ගන්වන්නට හැකි වූ එකම අවස්ථාව වූයේ, මහා දිග කාලයක් තිස්සේ නොසෙල්ලී හුන් ඔහු මියගොස් ඇතැයි සැකකොට, වහු පැටවුන් හණ ගසන ගිනියම් හණ යකඩයකින් ඔහුගේ ලපැත්ත පිළිස්සු අවස්ථාවයි.

දෑස් කඳුළින් පිරවී, කාටවත් නොතේරුණු දිව්‍යමය සංස්කෘත භාෂාවෙන් දෙස් දෙවොල් තබමින්, තිගැස්සී අවදි වූ දේව දූතයා, කිහිප විටක් වැරෙන් අත්තටු ගැසූ විට, ස්වභාවික යැයි කිසිසේත්ම සිතන්නට නොහැකි භයංකර කුණාටුවක් ඇවිස්සී කුකුළු බෙටි වලාවන් හා චන්ද්‍ර දූවිල්ලක් සුළි සුළඟක් සේ මතුව ආයේ ය. බොහෝ දෙනා ඔහුගේ ප්‍රතික්‍රියාව කෝපයක් නොව වේදනාවක් හඟවන්නේ යැයි සිතූ නමුත්, වැඩි දෙනා ඔහුගේ අකර්මණ්‍යය බව වීරයකුගේ විශ්‍රාමික නිහඬතාවයක් නොව භයංකර විනාශයක පෙරනිමිත්තක් බව බව වටහාගත් අතර එයින් පසු ඔහුව නොඅවුස්සා සිටීමට ඔවුහු පරෙස්සම් වූහ.

ගොන්සාගා පියතුමා, සුවච දාසයකු ගේ කැපවීම විදහා දක්වමින්, හිරකාරයාගේ අනන්‍යතාව පිළිබඳ අවසාන තීන්දුව ලැබෙන තෙක් රැස්ව සිටියවුන්ගේ කමකට නැති ප්‍රශ්ණ කිරීම් තමන් දන්නා සියළු සූත්‍ර යොදමින් විසඳීය. එහෙත් රෝමයෙන් ලැබුණු ලිපිවලින් නම් කිසිම කඩිනම් කමක් පෙණුනේ නැත. හිරකාරයාට බුරියක් තිබේ ද නැද්ද, ඔහුගේ භාෂා විලාශය ඇරමයික් බසට සම්බන්ධතාවයක් තිබේ ද, ඔහුට අල්පෙනෙත්ති තුඩක් මතට ගුලිවන්නට පුළුවන් ද හෝ ඔහු නිකම්ම නිකම් තටු සහිත නෝර්වීජියානුවෙක් විය නොහැකි ද ආදී කාරණා පිළිබඳ ව තොරතුරු අසමින් රෝමය කල් මරන්නා සේ පෙණිනි. ගොන්සාගා පියතුමාගේ මේ දුෂ්කර ක්‍රියාව හදිසියේම නතර කල දෛවෝපගත සිදුවීමක් නොවන්නට රෝමයත් ඔහුත් අතර සිදුවෙමින් තිබූ මේ කෙළවරක් නැති නොවැදගත් ලිපි හුවමාරුව, තවත් කාලාන්තරයක් තිස්සේ මේ ලෙසින්ම සිද්ධ වනවා නිසැකය.

මේ දවස් අතරතුරේ දී පලාතට පැමිණි තවත් බොහෝ සැණකෙළි සංදර්ශන අතර, මාපියන්ට අකීකරු වීමේ හේතුවෙන් මකුළුවෙක් බවට පරිවර්තනය වූ ගැහැණියක් ප්‍රදර්ශනය කළ වීදි සංදර්ශනයකුත් විය. ඇය බැලීමට අයකල ගාස්තුව සුරදූතයා බැලීමට අයකල ගාස්තුවට වඩා අඩු වීමට අමතරව, ඇගෙන් ඇගේ මේ අපූරු විපර්යාසය පිළිබඳව සියළු ආකාර ප්‍රශ්න ඇසීමටත්, ඇගේ සිරුර සමීපව විමසා බලා මේ භයංකර විපර්යාසය පිළිබඳව සියලු සැක දුරු කර ගැනීමටත් නරඹන්නන්ට අවස්ථාව ලැබිණි. ඕ දු:ඛිත කාන්තා හිසක් ඇති එළුවකු තරම් විශාල බියජනක දිවි මකුළුවකු වූවාය. එහෙත් ඇගේ අසාමාන්‍ය විකෘති සිරුරටත් වඩා බලා සිටියවුන්ගේ හද සසල කරවූයේ ඈ ඇගේ අවාසනාවන්ත ශෝකජනක ඉරණම විස්තර කරන කල පෙන්වූ අව්‍යාජ චිත්ත වේදනාවය.

ඕ යන්තම් ළමාවිය ඉක්මවද්දී ම දෙමව්පියන්ට හොරා නැටුමකට සහභාගිවන්නට ගොස් තිබිණි. අනවසරයෙන් එසේ ගොස් මුළු රාත්‍රියම නැටුම් ශාලාවේ ගතකර වන ලැහැබක් මැදින් ගෙදර එමින් සිටිය දී, අහස දෙපළු කරමින් පිපිරුණු භයංකර හෙණ හඬක් සමගම, එසේ අහස දෙපළු වූ තැනින් පතිත වූ අකුණු සැරයක් විසින් ඇය මකුළුවකු බවට පෙරළා තිබිණි. ඇගේ එකම පෝෂණය, කම්පිත කාරුණිකයන් ඇගේ මුවට වීසි කල මස් බෝල පමණක්ම විය. මෙවැනි, මනුෂ්‍යත්වයේ නිරුවත් සත්‍යතාවයක් ඛේදජනක ‍අයුරින් හුවා දැක්වෙන ඇඟ කිලිපොලන භයංකර දර්ශනයක් හමුවේ, සාමාන්‍ය මිනිසුන් දෙස යාන්තම් බැල්මක් හෙලන්නට වත් අකාරුණික වූ බුම්මාගත් දේවදුතයකුගේ දර්ශනය ලොප් වී යාම, නිරනුමානයෙන් ම සිදුවිය යුතු දෙයකි. ඒ හැරත් දේවදූතයා විසින් කරන ලද්දායි සැලකුණු ආශ්චර්යයන් අතලොස්ස පවා යම් පමණක මොකක් දෝ මානසික ව්‍යාකූලත්වයක් පෙන්නුම් කළේය. තමුන් යැද සිටි නැවත ඇස් පෙනීම වෙනුවට අළුත් දත් තුනක් ලද අන්ධ මිනිසාත්, ඇවිදීමට සුවය නොලදත් ලොතරැයි දිනුමක් ලැබීමට ඔන්න මෙන්න කියන තැනට පැමිණි අබ්බගාතයාත් හා සිය තුවාල වල සූරියකාන්ත මල් පලගත් ලා දුරු රෝගියාත් මේ තත්වයට උදාහරණ විය. මෙසේ, මකුළුවකු බවට පත්වූ කාන්තාව විසින් අන්ත පරාජයකට පත් කෙරෙන විටත්, මෙවැනි විහිළු සහගත දෙවැනි පෙල සැනසිලි තෑගි ආශ්චර්යයන් නිසා දේවදූතයා ගේ කීර්ති නාමය නැවත ගොඩ නැගිය නොහැකි තරමට පළුදුව තිබිණි. අනපේක්ෂිත ලෙසින් ගොන්සාගා පියතුමා ගේ නින්ද නොයාමේ රෝගය නිට්ටාවට සුව වුනේත්, පෙලායෝගේ ගෙමිදුල රෑ තුනක් නොකඩවා වැසි වැස, නිදන කාමර පුරා කකුළුවන් ඇවිද ගිය දවසේ තිබුණු ලෙසම හිස් වුනේත්, එසේ ය.

ගෙහිමියන් ට නම් නෝක්කාඩු කියන්නට කිසිම හේතුවක් නොවීය. ඉතිරි කරන ලද මුදලින් ඔවුහු, සඳළුතල හා ගෙවුයන් ද, ශීත කාලයේ දී කකුළුවන් ට ඇතුළු විය නොහැකි ලෙස ගැසූ උස් දැල් ද, දේවදූතයින්ට ඇතුළු විය නොහැකි ලෙස යකඩ පොළු සවිකල ජනේල ද සහිත, දෙමහල් නිවසක් ගොඩනගා තිබිණි. පෙලායෝ නගරයට ආසන්නව හා කොටුවක් අරඹා පරණ පිස්කල් රස්සාවෙන් සමුගෙන සිටි අතර, එළිසෙන්ඩා අඩි උස සැටින් සපත්තු ද, මුතු පෑයෙන් දිදුලන ඒ සමයේ ඉහල පෙලේ ගැහැණුන් ඉරුදින යේ හැඳි වර්ගයේ සේද ගවුම් රැසක් ද මිලට ගෙන සිටියාය. කිසි අවධානයක් නොල ද එකම දෙය කුකුළු කූඩුව විය. බොහෝ විට එය ක්‍රියොලින් විෂනාශක දමා සේදුවේත් කට්ට කුමංජල් පුච්චා දුම් ගැස්සුවේත් නම් දේව දූතයාට ගරු සරු කිරීමකට නොව, එහි හැම අහුමුල්ලකම තැවරී තිබී අවතාරයක් මෙන් නැගී අවුත් අළුත් නිවසේ සුවඳ යටපත් කල වහුකුටු වසුරු ගඳ යටපත් කිරීමටය. දරුවා දෙපයින් නැගී ඇවිදින්නට උගත් මුල් කාලයේ ඔවුහු ඔහුට කුකුළු කූඩුවට වැඩිපුර කිට්ටු වීමට ඉඩ නොදීමට වග බලා ගත්හ. වැඩිකල් නොගොස් සිත් වල බිය පහව ගොස් වසුරු සුවඳට කාගේත් නැහැයවල් හුරුවූ පසු දෙවැනි දත මෝදු වෙන්නටත් කළින් දරුවා දැල් කැඩී වැටුණු තැනකින් ඇතුළුව, කුකුළු කූඩුව තුළට ගොස් සෙල්ලම් කිරීමට පුරුදු විය. දේව දූතයා අන් අයට වඩා වැඩි සැලකිල්ලක් දරුවා සම්බන්ධයෙන් නොදැක් වූ නමුත්, සුවච කීකරු බල්ලකුගේ ඉවසිල්ලෙන් තමන්ට ලැබුණු අතිශයින් කටුක කෙනෙහිලි සියල්ල ඉවසා සිටියේය. ඔවුන් දෙදෙනාම එකම විට පැපොල වැළඳී ලෙඩ වූහ. දරුවා පිරික්සා බැළූ දොස්තර ට දේව දූතයාගේ හද ගැස්ම නොබලා සිටින්නට නොහැකි වූ අතර දේව දූතයාගේ හදවතින් ඇසුණු සියුරු සන් හඬවල් හා ඔහුගේ වකුගඩුවලින් ඇසුණු හඬවල් කොතරම් ප්‍රබල වී ද යත් දේව දූතයා පණ ඇතිව සිටීම මත් ඔහුට ඇදහිය නොහැකි තරම් විය. දොස්තරගේ මවිතයට හේතු වූ ප්‍රධානම කාරණය වූයේ නම් දේව දූතයා ගේ අත්තටු වල ස්වභාවිකත්වයයි. ඒවා කොයිතරම් ස්වාභාවික ලෙස මේ සර්ව සම්පූර්ණ මිනිස් සිරුරට සබැඳිව පැවතියේ ද යත්, සෑම පිරිමියකුටම අත්තටු දෙකක් නොතිබෙන්නේ ඇයි ද යන්න වටහා ගැනීම ඔහුට අපහසු කාරණයක් විය.

දරුවා පාසල් ගමන පටන් ගන්නා කාලය වන විට ඇතිතරම් වැස්සෙනුත් අව්වෙනුත් බැටකා සිටි කුකුළු කූඩුව කැඩි බිඳී කඩාවැටී කලක් ගතව තිබිණි. දේව දූතයා ඉබාගාතේ යන මරණාසන්න මිනිසෙකු මෙන් ගේ මුළුල්ලේ තැනින් තැනට ගාටා යමින් සිටියේය. කොස්සක් ගෙන නිදන කාමරයෙන් ඉවත් කර මොහොතකට පසු කුස්සියෙන් දේවදූතයා යලි මතුවනු ඔවුහු දැක්කෝය. එකම වේලාවේ දෙතුන් තැනක පෙනී සිටීම, දේව දූතයා විභාජනය වන්නේ ය නැතහොත් නිවස පුරාම පැටව් දමන්නේයැයි සිතෙන තරමට වැඩිවූ විට, මේ විකල් තත්වය ගැන කුපිත වූ එළිසෙන්ඩා මෙලෙස "දේව දූතයන් පිරුණු නරකාදියක ජීවත් වීම අන්තරාදායකය" යි කෑ ගැසුවාය. ඔහුගේ ආහාර ගැනීම විරල වූ අතර, කණු බිත්ති වල නොහැපී එහා මෙහා යාමට නොහැකි තරමට පටල බැඳුනු මහළු ඇස් වල පෙනීම ඉතාමත් දුර්වල විය. අත්තටු වල ඉතිරිව තිබුණේ අවසාන පිහාටු කීපයේත් කෙඳි හැළුණු නාරටි ටික පමණි. පෙලායෝ ඔහුට කම්බිලියක් පොරවා ගෙවත්තේ මඩුව තුළ නිදා ගන්නට ඉඩ හරින්නට තරම් පුණ්‍යවන්ත වූයේය. ඔහුට රාත්‍රි කාලයේ තදින් උණ ගැනෙන බවත් උණ විකාරයෙන් මහළු නෝර්වීජියානුවකු මෙන් දොඩවන බවත් දැන ගන්නට ලැබුණේ එවිටය. ඒ ඔවුන් දේව දූතයා පිළිබඳව කළබල වූ අවස්ථා සුළු ගණනින් එකක් විය. දේව දූතයා මැරෙන්නට යන්නේ යැයි ඔවුන් සිතූ අතර, කිසි කෙනෙකුට, සියල්ල දත් ඥානවන්ත අසල්වැසි ගැහැණියටවත්, මියගිය දේව දූතයින්ට කරන්නේ කුමක් දැයි යන කාරණය පිළිබඳව කිසිම වැටහීමක් තිබුණේ නැත.

එසේ වුවත් දේව දූතයා ඒ රුදුරුම ශීත කාලය ජයගත්තා පමණක් නොව උණුසුම් දින වල ඇරඹුමත් සමගම සෞඛ්‍ය තත්වයේ යම් තරමක දියුණුවක් ද පෙන්නුම් කළේය. ඔහු මැද මිදුලේ, කාහටවත් ඔහුව නොපෙනෙන, ඈත කෙළවරකට වී දින කීපයක් කිසිම සෙලවීමක් නැතිව ගත කල අතර, දෙසැම්බරය මුල වන විට ඔහුගේ අත්තටු වල විශාල, ශක්තිමත් පිහාටු ගණනාවක් වැඩෙන්නට පටන්ගෙන, පිහාටු ඇළවූ පඹයකු මෙන් ජරාජිර්ණ අසරණ පෙනුමක් ආරූඪ විය. එහෙත් ඔහු මේ වෙනස් කම්වලට හේතු කාරණා දැන සිටින්නා සේ පෙණිනි. ඒවා අන් අයට නොපෙනෙන සේ ත්, සමහර රාත්‍රින් හි තරු පිරුණ අහස යට ගායනා කෙරුණු මුහුදු යාදිනි කා හටවත් නො ඇසෙන සේත් පරෙස්සම් වන්නට ඔහු වග බලා ගත්තේය.

එළිසෙන්ඩා දවල් ආහාරය පිළියෙල කරන්නට ළූණු මිටි කිහිපයක් කපමින් සිටි එක් උදාසනක, ගැඹුරු මුහුදේ සිට හමා ආ බව හැඟුණු සුළඟක් හදිසියේම වාගේ කුස්සියට කඩා වැදුණේය. ජනේලය වෙත ගිය ඇයට දේව දූතයා පියෑඹීමට සිය කුළුඳුල් උත්සාහය දරණු පෙණිනි. එය කොතරම් අදක්ෂ වෑයමක් වීද යත්, එළවළු පාත්තිය හරහා ඔහුගේ නියපොතු වලින් අගලක් හෑරී තිබුණු අතර, යාන්තමට වත් හුළං බදාගන්නට නොහැකි ව එහා මෙහා වැණුනු අත්තටු වැදුනු මඩුව ඉදිරී වැටෙන්නට ඔන්න මෙන්න කියා තිබුණි. එසේ වුවත් අවසානයේ දී ඔහු වැර වෑයමින් ඉහලට පියාඹා ගියේය. මහළු වැහැරුණු ගිජු ලිහිණියකු මෙන් අවදානමට තටු සොලවමින් කිසියම් ආකාරයකින් ඉහලට නැගී පියාඹා ගිය ඔහු අවසාන ගෙවල් පෙල මතින් යන විට, එළිසෙන්ඩා ඔහුත් තමාත් දෙදෙනාම වෙනුවෙන් සැනසුම් සුසුමක් හෙළුවාය. ළූණු කපා අවසාන වීත් බොහෝ වේළාවක්, දේවදූතයා ඈතට ඈතට ඇදී හඳුනාගත නොහැකි සේ නොපෙනී යන තුරුම, ඔහු ඇගේ ජීවිතයට කන්දොස්කිරියාවක් වීම අවසන් වී, ඈත ක්ෂිතිජයේ මන:කල්පිත තිතක් බවට පත්වන තුරුම, එළිසෙන්ඩා නෙත් යොමා බලා සිටියාය.

[A Very Old Man with Enormous Wings by Gabriel Garcia Marquez
ග්‍රෙගරි රබස්සා විසින් ඉංග්‍රිසියට පරිවර්තනය කරන ලදි.]


ගාර්ෂියා මාර්කේස්
පරිවර්තනය - රන්සිරිමල් ප්‍රනාන්දු



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

හයිකු | හයිකු - 47

Posted by BoondiOnLine 10.19.2014



මඳ පවන,
සුභ සැන්දෑවක්...!
නැවෙමින්
දඟර ගැසෙමින්
ගමරට බලා යන
ඔබේ ගමනට!

-ඉසා
පරිවර්තනය - මාලතී



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කොට්ටම්බ අතු පොකුර යට
සපත්තු වැඩපලෙන් අභිනික්මන් කර
අබ්බගාත් මානිමුත්තු යයි ගෙදර
හාමත් පැටවුන්ට හෙටක් අරගෙන

ගෝමස් බාර් හවුස් දොරකඩ
දේවදත්ත පුත්තු සුරාසොඬ ඇත්තු
ගිලදමා එක උගුරට මීවිත්
පෙරළයි ගල් හිත්
නොවැඩියත් මහ මගට සිරිපතුල්

උලා නෙත් අඳුන් විකා තෙලබේරිය පෑ ලවන්
වෙරිමත් උමතු උන් සොයා ඉඟිකරයි ඇස්
ලාබයට රමණය විකුට වර්ණදාසියෝ
උන්ට අමතක නෑ තාම බරණැස්

එෆ්. එම්. අසපුවෙන් බණපිරිත්
සිලෝ ගායනා මැද
රසමසවුළු බැදෙන රෑ කඩපිලේ
බිතක්කන උඩ සීවලී යන්තරේ
මකුළු දැලකට පාදමක් වී ඇතේ
දෙවුරමක් සොයාගත නොහැකි
පටාචාරවෝ
තැන තැන නිදි හාමතේ

නුවරුන්ගෙ සියලු කිළි කුණු උහුලන
හැව්ලොක් නේරංජනාව අසබඩින්
තුරඟුන් එතෙරවෙයි
සූදුපොල දොරකඩින්

දෙසා සත්වගට අමා මහා දම
හරි සිනිඳු වැලිමලුව උඩ
මහා කරුණා දයාවෙන්
සැලෙන ළපලු බෝපත් යට
නිද්‍රාවෙන්
සමාධි මුද්‍රාවක තථාගතයන්

කේ. ඩී. ප්‍රදීප් කුමාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සාමාන්‍ය පිළිගැනීමට අනුව ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලික පාලන ව්‍යුහය රඳා පවත්නේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන මූලික ආණ්ඩු තුන මත ය. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කුළුණු නමින් හඳුන්වන්නේ ද ඒ තුන ය. මෙකී කුළුණු තුන එකිනෙකට වග කියමින් එකිනෙක හා බැඳි පැවතීමටත්, එසේ නමුත් ඒ ඒක් එක් ආයතනය ‍සෙසු ආයතන දෙකෙහි ඍජු අධිකාරීත්යෙන් වියුක්තව ස්වාධීනව පැවැත්මටත් සැබෑ ප්‍රජාතාන්ත්‍රීය රටක (විධායකය විසින් ව්‍යවස්ථාදායකයත් අධිකරණයත් අල්ලේ නටවන ලංකාව වගේ රටක නෙවේ) ප්‍රබල සංවරණ හා තුලන (checks and balances) ක්‍රමවේදයන් පවතී.

එවන් රටක සිවුවැනි ආණ්ඩුවය කියන (Fourth State) ප්‍රබල භූමිකාව හිමි වන්නේ ඒ රටේ ජනමාධ්‍යයට ය. ඉන් අදහස් කරනුයේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණයට පසුව රටක් පාලනය කරන ඊළඟ ආණ්ඩුව ඒ රටේ ජනමාධ්‍ය යන්නයි. ලංකාව වැනි (වචනයෙන් මිස, අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයෙන් බොහෝ දුරට වියෝ වූ) රටක සිව්වැනි ආණ්ඩුව වශයෙන් මාධ්‍යයට ඇති වැදගත් කම ඊටත් වඩා වැදගත් බව පෙනේ. නව පාලකයෙක් බලයට පත්වූ වහාම ව්‍යවස්ථාදායකයත් අධිකරණයත් තමං වෙත නතු කරගැනීමටත් පෙර රටේ සමස්ත මාධ්‍යත් පුමුඛ මාධ්‍යකරුවනුත් තමන්ට නතුකරගැනීමට වලිකන්නේ ඒ නිසා ය. කොටින්ම කියනවානම් මහජන මතයත් මහජන චින්තනයත් හැසිරවීමේ ප්‍රම්‍රඛ සාධකය රටේ ජනමාධ්‍යය වන නිසා ය.

කෙසේ වුවත් ලංකාවේ ජනමාධ්‍ය රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් මහජන සුබසිද්ධියත් වර්ධනය කරන ආකාරයේ හැසිරීම් රටාවක් පෙන්නුම් කරනවාද? ඔවුන් සිවුවන ආණ්ඩුවේ ස්වකීය භූමිකාව හඳුනාගෙන තම එදිනෙදා කටයුතු හසුරන්නේ ද? තමන් වෙත නතු කර ගත නොහැකි වූ එක දෙකකට වඩා නැති ලාංකීය ජනමාධ්‍ය ආයතන සඳහා පවත්නා ආණ්ඩු විසින් ගෙන එන අසාධාරණ සංවරණයන් හැරෙන්නට මහජන සුබසිද්ධිය වෙනුවෙන් මාධ්‍ය ආයතන විසින් තමංම නිර්මාණය කර ගත් ස්වයං සංවරණයන් තිබේද? ඊටත් අමතරව, පෙර කීවාක් සේ ජනතාව‍ගේ තොරතුරු දැනගැනීමේ මූලික අයිතිය අභියෝගයට ලක්කරමින් පාලකයින් විසින් ජනමාධ්‍යට පහර දෙද්දී ඊට එරෙහිව නැගී සිටින මුද්‍රිත හෝ වේවා විද්‍යුත් හෝ වේවා ජනමාධ්‍ය ආයතන කීයක් ලංකාවේ වේද? පිළිතුර එවන් ආයතන අතේ ඇඟිලිවලටත් වඩා නැතිය යන්න යි.

ජනමාධ්‍යයයේ මේ කියූ නූතන හැසිරීම බැලූ බැල්මට පෙනී යන ප්‍රමුඛතම සාධක කිහිපයක් වේ. ඉන් පළමුවැන්න වන්නේ ආපස්සට හැරී බැලූ කල බහුතර වගකීමක් ජනමාධ්‍යට ද පැටවෙන, රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ නින්දාසහගත පිරිහීම යි. දෙවැන්න හෙවත් මෙහිලා අප ඉස්මතු කරන වැදගත්ම සාධකය වන ස්වකීය වගකීම් අමතක කරමින් ආර්ථික අභිප්‍රායන් පමණක් ප්‍රමුඛ කොටගත් ජනමාධ්‍ය සංස්කෘතියක් බිහිව තිබීම යි.

තමං වෙතට එන තරුණියන්ගේ කන්‍යාභාවය අහිමි වී ඇති බව පවසමින් තමන් සමග රාත්‍රියක් ගතකරන ලෙසත් එසේ වුවහොත් තමන් සතු ගුප්ත බලය හේතුවෙන් එකී කන්‍යාභාවය නැවත සැකසෙන බවටත් පවසමින් තරුණියන් මුළා කරන වේයන්ගොඩ, කළගෙඩි හේන ප්‍රදේශයේ හොර කපුවෙක් පිළිබඳ කුණු රසය තැවරුණ කතාවක් මේ දිනවල රටේ සියලු ජනමාධ්‍ය තලුමරමින් සිටී. තවත් එක්තරා ජනමාධ්‍යයක් කීවේ තම 'CIA මාධ්‍ය කණ්ඩායම' මුළින්ම මේ හොර කපුවා පිළිබඳ පුවත අනාවරණය කරගත් බවත් එහි ගෞරවය එහෙයින් හිමිවන්නේ තමන්ට බවත් ය. පසුගිය කාලය තුළම රටේ රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා විසින් ගෙනයනු ලබන මෙවැනි CIA මෙහෙයුම් සහිත ජනප්‍රිය වැඩසටහන් මගින් වේයන්ගොඩ කපුවාට සමානම භික්ෂූන් වහන්සේලා, පූජකවරු වැනි විශාල පිරිස් රටට හෙළිදරව් කිරීමේ මහා මෙහෙයුම් ගෙන ගියහ. හොරුන් හෙළිදරව් වන තරමටම, රටේ විශාලතම මාධ්‍ය කෙරුවාව කරන්නේ තමන් බවත් එයින් රටට කෙරෙන සේවය ඉමහත් බවත් අනකා අභිබවා පවසමින් හොඳ නම දිනීමටත්, මේ CIA වැඩසටහන්වලට රටේ නූගත් ජනයා ඇබ්බැහි කරමින් ඒ මත තම ගුවන්කාලයේ වටිනාකම සහතික කරගනිමින් වැඩිගානට වෙළඳ දැන්වීම් විකුණා තම හොද්ද බොර කරගැනීමටත් මේ මාධ්‍ය කරුවෝ අමතක නොකළ හ.

වේයන්ගොඩ හොර කපුවා හසුකරගැනීම වැරදි බව අපි කිසිවිටකත් නොකියමු. එවන් හොරුන් රටට හෙළි කරමින් ඔවුන් කෙවිටෙන් තලා බැහැර කළ යුතු බව ඇත්ත ය. එසේ නමුත් මහා හයියෙන් අඬබෙර ගසා කරන මේ මාධ්‍ය කෙරුවාවල අපිට මගහැර යන්නට බැරි තරම් ගැටලු ඇති බව නොකියා බැරි ය. පළමුවැනි කරුණ වන්නේ, මොවුන්ම කියන ආකාරයේ මෙවැනි මාහා විමර්ශනාත්මක CIA මෙහෙයුම් මගින් මෙතෙක් වැටලූයේ කවුරුන් ද යන්න ය. කොටින්ම කියනවානම්, ඒ කොහේ හෝ ඉන්න හොර කපුවෙක්, හුදකලා හිමිනමක්, හුදකලා පූජක වරයෙක් හෝ හුදකලා තක්කඩියෙක් පමණ ය. මේ මහා CIA මෙහෙයුම් මගින් එළිපිට පවා හොරමැරකම්, වංචා දූෂණ සහ මිනී මැරුම් කරන බලවතකු හෙළිදරව් කළ අවස්ථා කීයක් වේද? මෙවන් CIA කණ්ඩායම් රහසේ කැමරාවක් සඟවාගෙන ගොස්, පාලක රෙජීමයේ, මැති ඇමති වරයකුගේ, එහෙමත් නැත්නම් අඩුම තරමේ ඇමති ලේකම්වරයෙකුගේ හෝ නිවසකට ගොස් ඔවුන්ගේ වංචා දූෂණ සූක්ෂමව පටිගත කොට, විකාශනය කළ අවස්ථා කීයක් පසුගිය වසර කීපය තුළ තිබේද? උත්තරය එකක්වත් නැත යන්න ය. මෙයින් පෙනී යන්නේ ආපසු තමන්ට අභියෝගයක් එල්ලවිය හැකි සහ තම වාණිජ පරමාර්ථයන් අර්බුදයට ලක්විය හැකි තරමේ තැන් වලට මේ මහා විමර්ශනශීලී ජනමාධ්‍යය අභියෝග නොකරන බව ය. එසේනම් මේවා මහා රැඩිකල් මාධ්‍ය කෙරුවාවන් වන්නේ කෙසේ ද?

අනෙක් අතට වේයන්ගොඩ හොර කපුවෙක් බිහිවන්නටත්, තවත් තැනත හොර චීවරධාරියකු හෝ පූජකවරයකු බිහිවන්නටත් ප්‍රබලතම සාධකය වන්නේ මේ කියන රැඩිකල් මාධ්‍යයන්ම නොවේ ද? අද්‍යතන ශ්‍රීලාංකීය විද්‍යුත් මාධ්‍ය දිනය ආරම්භ කරන්නේ සහ අවසන් කරන්නේම මෙවැනි හොර කපුවන්ට, හඳහන් කරුවන්ට, ෆෙන්ෂුයි කාරයින්ට, ධනාත්මක චින්තන කාරයින්ට සහ මන්තරකාරයින් වැන්නවුන්ට හොර ව්‍යාපාර ගෙනයෑම සඳහා වේදිකාව සකසමින් නොවේද? ඒවා දිනය ආරම්භ කරන්නේ ම මෙවැනි හොරුන් මහා බලවතුන් සේ රූපාන්තරණය ‍කොට, ඔවුන් වෙත යෑම සඳහා රටේ සාමාන්‍ය ජනතාවගේ ඔළු සකසමින් නොවේද? වෙනකක් තබා මේ කියන මාධ්‍ය අද වන විට බෞද්ධාගමික පිරිත් සහ සූත්‍රයන් පවා ඒවායේ සැබෑ අධ්‍යාත්මික හරයන්ගෙන් ඈත්කොට, ඒවායේ අර්ථය වසා දමා ඒවා කියවීමෙන් සහ ඇසීමෙන් විවිධ ලෞකික ආශාවන් මුදුන්පත් කරගත හැකි හැකි ගුප්ත මන්ත්‍රයන් බවට කියමින්, ඒවා වැඩි වැඩියෙන් ප්‍රචාරණය කිරීම මගින් ජනතාව ග්‍රහණය කරගැනීමේ තරගයක නියැලී ඇතුවා නොවේද?

අද මුද්‍රිත මාධ්‍යයේ කාර්යය වුවත් මෙයම නොවේ ද? සතිඅන්ත පුවත්පතක් ගෙන බලන පාඨකයාට වැඩිපුර දක්නට ඇත්තේ හොල්මන් කතා, දේව හාස්කම්, භූත දෝෂ, ජීවක කපුවන්, සහ ලෝකය අතැඹුලක් සේ දකිනා හොර හඳහන් කාරයින්, ෆෙන්ෂුයි කාරයින් හා ධනාත්මක චින්තනකාරයින්ගේ මිථ්‍යාමය කෙරුවාවන් නොවේද? ඔවුන් පළ කරන දැන්වීම් වල ඇත්තේ, ඉහත පිරිසම ලබා දෙන, ලිංගය ලොකු කර දෙන, සිතැත්තිය ගෙන්වා දෙන, මන්ත්‍ර බලයෙන් බීමත් කම මගහරවන, විභාග සමත් කර දෙන, කාසි දෙක මෙට්ටෙ උඩ තියාගත්තාම දරුවන් නැති අයට දරුවන් ලැබෙන මෙවැනි හොරුන්ගේ දැන්වීම් නොවේ ද? මෙවන් දැන්වීමක් ලැබුණු කල එහි දිග පළලත් ඉන් ලැබෙන ආදායමත් පිළිබඳ මිස තමා පළකරන දැන්වීමෙහි ඇත්ත නැත්ත විමසා බලන එක මාධ්‍යයක් හෝ ලංකාවේ තිබේද? මේ ක්‍රියාදාමය තුළින් එක් පැත්තකින් ‍වෙළඳ දැන්වීම් කඩාගැනීමත්, අනෙක් පැත්තෙන් බහුතර ජනයා ඉල්ලන සරලමතික කුණු රසය මාර්කට් කර තම ග්‍රාහකයින්ගේ හිස්ගෙඩි සංඛ්‍යාව වැඩි කරගැනීමත්, ඊටත් වඩා මෙවැනි කුණු ගොඩවල් වලින්ම එදා දවස ගෙවාදැමීමට හැකිවීම නිසා පාලකයින්ගේ සිත් රිදවීමට ඇති අවස්ථා අඩු කරමින් ඔවුන්ගෙන් වරප්‍රසාද ලැබීමත් සිදු කරමින් එක ගලින් කුරුල්ලන් දෙදෙනෙක් නොව කීප දෙනෙක් මරාගන්නට තරම් මේ මාධ්‍යය මුදලාලිලා සූක්ෂ්ම වෙති.

සියයට අනූවකටවත් සාක්ෂරතාවක් නැති ගොවියන් පිරිසක් සිටින තම රටෙහි පොත් කඩ වල තිබිය යුත්තේ අල ළූණු වගාව පිළිබඳ සරල බසින් ලියැවුණු පොත් මිස පුෂ්කින්ගේ, තොල්ස්තෝයිගේ පොත් නොවන බවත්, ඒ අනුව පුෂ්කින්ලා සහ තොල්ස්තෝයිලා ස්වභාවධර්මයට විසංවාදී බවත් එක්තරා ප්‍රාග් විප්ලවීය රුසියානු විචාරකයෙක් කියද්දී, ලෙනින් කීවේ එය එසේ නොවන බව ය. රටේ ජනතාවගෙන් සියයට අනූවටත් ව‍ඩා සිටින්නේ සාක්ෂරතාවක් නැති සරල රසවින්දනය සහිත අය නම් කළ යුත්තේ විප්ලවීය අධ්‍යාපනයක් මගින් ඔවුන් සාක්ෂර කිරීමත් ඔවුන්ගේ රසවින්දන මට්ටම ඉහළ දැමීමත් මිස ජනතාවගේ රසිකත්වය ඉල්ලන දේ කිරීම නොවන බව ලෙනින්ගේ අදහස විය. එදා රුසියාවේ එවන් තත්ත්වයක් තිබියදී, ලොව ඉහළතම සාක්ෂරතාවක් හෙබියැ’යි පුරාජේරු කියන ලංකාවේ හතරවෙනි ආණ්ඩුවේ මේ රැඩිකල්යැ’යි කියාගන්නා වාණිජමය CIA කෙරුවාවල් අප තේරුම්ගතයුත්තේ කෙසේද?

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මකරන්ද ලේඛක රසික හවුලේ සහයෝගයෙන් අම්/උහන/කහටගස්යාය විදුහලේ, සාහිත්‍ය කමිටුව විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික සාහිත්‍ය උළෙල 2014 ඔක්තෝබර් මස 23 දා බ්‍රහස්පතින්දා, පෙ.ව. 08.00 සිට දවස පුරා එම විදුහලේ දී පැවැත් වේ. සිසුන්ගේ කවි, කෙටිකතා ගද්‍ය රචනා සහ චිත්‍ර ඇගයීම මෙන් ම සාහිත්‍ය කලා රසවින්දනය සහ නිර්මාණාත්මක ලේඛණය පිළිබඳව වැඩමුළුවක් ද මේ වැඩසටහනට ඇතුළත් ය.

අනුරසිරි හෙට්ටිගේ, සිසිර කුමාර මහගම, ළහිරු කරුණාරත්න සහ තිඹිරියාගම බණ්ඩාර සම්පත් දායකත්වය සපයති. විදුහලේ පුස්තකාලය සඳහා පොත් පරිත්‍යාග කිරීම ද මෙහි දී සිදු කෙරේ.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ප්‍රවීණ නාට්‍යවේදි විජිත ගුණරත්න විසින් පරිවර්තනය කර අධ්‍යක්ෂණය කළ "යුධ පිටියේ සවාරිය..." වේදිකා නාට්‍යය, 2014 ඔක්තෝබර් 19 වැනිදා පැරිසියේ Gambetta හිදී වේදිකාගත විමට නියමිතය. "යුධ පිටියේ සවාරිය..." ස්පාඤ්ඤ ජාතික නාට්‍යකරුවකු වන Fernando Arrabal ගේ Picnic on the Battlefield නාට්‍යයේ සිංහල පරිවර්තනයයි.





දිල්රුක් කෝනාර (සාපෝ), බොනිෆස් සිල්වා (මිස්ටර් තේපන්), ජූඩ් නිශාන්ත (මිසිස් තේපන්), රෝයි නිශාන්ත (සැපෝ), දුලාල් ඉන්දික සහ සුමිත් පීරිස් (රතුකුරුස භටයන්) ලෙස රඟන "යුධ පිටියේ සවාරිය..." ඉතාලියේ ජන රැගුම් මණ්ඩපයේ ඉදිරිපත්කිරීමකි.

"යුධ පිටියේ සවාරිය...", යුරෝපයේ වෙසෙන සිංහල, දෙමළ, මුස්ලිම් ජන ප්‍රජාවගේ සහ සම අයිතිය ව්‍යාපාරයේ එකමුතුවෙන් සංවිධානයකරනු ලබන "වසන්තය සොයා" සංස්කෘතික උත්සවය ද නියෝජනය කිරීමට නියමිතය.







මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ලාංකීය කලා කෙත පුරන් වී යන යුගයක එය නැවතත් අස්වැද්දීම උදෙසා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මූලික කර ගත් කලා උළෙලක් 1994 දී ආරම්භ විය. එහි සාහිත්‍ය ධාරාව පිළිබඳ වූ සාහිත්‍ය උළෙල සංවිධානය කිරීමේ කර්තව්‍යය පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් සිදුකරන ලදී. එදා සිට අද වන තෙක් සංවිධානය කළ සාහිත්‍ය උළෙල, විසිවන වරටත් "මාගේ දේශය අවදි කරනු මැන- ශිෂ්‍ය සාහිත්‍ය උළෙල 2014" නමින් මේ වසරේදී ද ක්‍රියාත්මක වේ. ඒ සඳහා සාහිත්‍ය කලා නිර්මාණ කැඳවීම විවිධ ඉසව් ඔස්සේ කාණ්ඩ 4ක් යටතේ සිදුකරනු ලැබේ. ඒ සඳහා ඔබගේ නිර්මාණය ද යොමු කිරීමට මෙසේ ඉඩහසර වෙන්කර සිටිමු.

[සම්පූර්ණ විස්තර සඳහා මේ සබැඳියෙන් යන්න.]

-සාහිත්‍ය අනුකමිටුව,
මහා ශිෂ්‍යසංගමය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|





ඉනෝකා සත්‍යාංගනීගේ සින්ඩරෙල්ලා චිත්‍රපටයෙන්. [YouTube Link]

ගැයුම- උපේඛා නිර්මාණි සමග ජනිත් දිල්රුක්
ගීත රචනය- ඉනෝකා සත්‍යාංගනී
මියැසිය- තරුපති මුණසිංහ
රැඟුම්- උපේක්ෂා ස්වර්ණමාලි සමග අකලංක ගණේගම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සිංහල සාහිත්‍ය විචාරය වෙනුවෙන් සුචරිත ගම්ලත්, දීප්ති කුමාර ගුණරත්න සහ සමන් වික්‍රමාරච්චි කළ මැදිහත්වීම සාකච්ඡා කරනු පිණිස, එරික් ඉලයප්ආරච්චි ලියූ "සමකාලීන සාහිත්‍ය විචාර- සුචරිත දීප්ති සමන්" කෘතිය මුද්‍ර්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ. එය ගොඩගේ ප්‍රකාශනයකි.





මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මා නිවුන් සොයුර
කණ්නාඩියෙන් එබෙන අපතය,

සිඳුණු තල්පත්
බිඳුණු හදවත්
යට කරාගෙන

යාල් දේවී "හූ..." කියාගෙන
ඒවි කොළඹට

ඩක ඩකස් ඩක ඩකස් හඬට
යට කළ හැකිද
හෘද සාක්ෂිය

ඒ "හූ..." ව
උඹට ය, මට ය
අපට ය.

මළ මිනී නොම බලා
කිලෝ මීටර් ගැන්න
නරුම කමට ය.

මස් වැදලි බල බලා
ලෙයින් කිරිබත් පිසූ
බඩජාරි කමට ය.

බෝම්බයෙන් බෝම්බයට
උණ්ඩයෙන් උණ්ඩයට
හුරේ දැමූ විසිල් ගැසූ
අමන කමට ය.

අද කවුද හෙට කවුද නොසිතා ම
දෑත් බැඳ බලා සිටි
නිවට කමට ය.

ඒ "හූ..." ව
උඹට ය, මට ය
අපට ය.

රුවන් නෙලූ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කෙටි කාලයය
කන්න හතරක් පමණය

දළුවක්ව
රිකිලි මත හිඳ සිටින
නො තේරෙන

කොලයක්ව
හරිතප‍්‍රද නිපදවන
නටුව දැඩිව අල්ලා ගත්

කොඩියක්ව වර්ණවත්
ඉදී දිලිසෙන
නිදහසේ ලෙල දෙන

පත‍්‍රයක්ව
බොහෝ දේ ලියැවුන
අඬගැසූ විට සුළඟ හා යන

[එක කවිය සිය වරක් | 2008]

සමර විජේසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කිනම් හෝ ජන සමාජයක අද්භූත විශ්වාස ප්‍රවර්ධනය වීම සඳහා තත්කාලීන සමාජ ආර්ථීක දේශපාලනික නොවිධිමත් භාවය ද ඉවහල් වන බව පොදුවේ ලොව පුරා මානව හා සමාජ විද්‍යාඥයන් පිළිගන්නා සත්‍යයකි. එය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත්කරමින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වරින්වර වාර්තා වන පුනරුප්පත්ති කතා ජන මාධ්‍යයන් ඔස්සේ මේ දිනවල අප හමුවට පැමිණෙමින් තිබේ. එහෙත්, මීට කලකට පෙර අසන්නට ලැබුණු පුනරුප්පත්ති කතා කිහිපය මෙන් සුවිශේෂී ජනකාන්ත බවක් ඒවාට ලැබී නැත. හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මැතිඳුන්ගේ පුනරුප්පත්ති කතාව සහ අක්මීමන ගොනාමුල්ලේ මනුජ නම් සත් හැවිරිදි දරුවාගේ ඉහත ආත්ම විස්තරය මෑත කාලයේ එසේ ජනකාන්ත බවට පත් පුනරුප්පත්ති කතා අතරේ තිබේ. එහෙත් රණසිංහ ප්‍රේමදාස පුනරුප්පත්ති කතාව 'ගජ බින්නයක්' බව ඔබ හමුවේ සනාථ කිරීමට ප්‍රවීණ මාධ්‍යවේදී මහින්ද ඉලේපෙරුමට හැකි විය. එමෙන්ම මනුජ දරුවාගේ පුනරුප්පත්ති කතාව ඔහුගේ දෙමාපියන් මාධ්‍යකරුවන් නොමග යැවීමට තනා ගත් 'රසවත් ප්‍රබන්ධයක්' බව 'ලක්බිම' පාඨකයන් වෙත සනාථ කරවීමට මට හැකි විණි. ඉහත ආත්මයේදී තවත් පිරිසක් සමඟ වෑන් රථයකින් යමින් සිටියදී එහි දොර ගැළවී වැටීමෙන් තමන් ආකාලයේ මිය ගිය බව සඳහන් කරමින් එම දරුවා කළ ප්‍රකාශය උඩුගම ප්‍රදේශයේ ටිපර් රථ අනතුරක් හා ගළපාලීමට ඔහුගේ මාපියන් දැරූ අසාර්ථක උත්සාහය සහේතුකව ගෙනහැර දැක්වීමට මට හැකිවිය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ හේතුවාදී ලේඛකයකු වන සැම්සන් ගුණතිලක ලියූ 'පුනර්භවයේ මනෝ මායාව' නම් කෘතිය මගේ අතට පත් වූයේ නූතන පුනරුප්පත්ති කතා අතුරින් ගවේෂණයකට තරම් වන කරුණු සහිත කතා ප්‍රවෘත්තියක් පිළිබඳව ඉව අල්ලමින් සිටින අතරේය. 'පුනර්භවය පිළිබඳ භෞතිකවාදී විශ්ලේෂණයක්' යන වදන් පෙළ ගුණතිලකයන්ගේ කෘතියේ ග්‍රන්ථ නාමයටම එක් කොට තිබිණ. එම කෘතියේ 72-73 පිටුවල මෙසේ ද සඳහන්ව තිබිණ.

"පුනරුප්පත්ති කතා සියල්ලේම පොදු සමාන කමක් පවතී. එනම් යම් භාෂාවක් කතා කරන කෙනෙක් මැරී යළි උපදින්නේ එම භාෂාව කතා කරන පවුලකම වීම ය. ප්‍රංශයේ කෙනකු මිය ගිය පසු ලංකාවේ සිංහල පවුලක ඉපිද ඔහුගේ ප්‍රංශ බස පිළිබඳ සංසාරික මතකය අවදි කළ අවස්ථාවක් වාර්තා වී නැත. සිංහල පවුල්වල අය මැරී යළි උපදින්නේම සිංහල කතා කරන පවුලකය. සිංහල ගන්ධබ්බයන්ට පිට රටක ඉපදීම සඳහා මහ සයුර තරණය කිරීමට අපහසු විය හැක. එසේ නම් අඩු ගණනේ ද්‍රවිඩ බස පමණක් කතා කරන ලංකාවේම ප්‍රදේශයක යළි ඉපදීමට ඔවුනට නොහැක්කේ මන්ද? පිළිතුර පැහැදිලිය. ඒ එවැනි කතාවක් රඟදැක්වීමට භාෂාව හරස් වන බැවිනි. කෙනෙකු යළි ඉපදී කලින් ජන්මයේදී භාවිතා කළ වෙනත් භාෂාවක් ජන්ම මතකයෙන් කතා කරන එකම එක සිද්ධියක් හෝ 'තහවුරු' කරනු ලැබුවහොත් ලොව කෙබඳු විපර්යාසයක් සිදුවනු ඇත්ද?"

හිටිහැටියේ තමන් නොදන්නා භාෂාවක් කතා කිරීමට පටන් ගත් පුද්ගලයන් පිළිබඳව මාධ්‍ය මගින් ලොව නන් දෙසින් වාර්තා වෙයි. එහෙත් ඒවා ඉහත සඳහන් පුනරුප්පත්ති කතා බඳු හුදෙක් පුවත්පත් වාර්තා මිස හුදු ගවේෂණාත්මක වාර්තා නොවේ. එනිසාම සැම්සන් ගුණතිලක මහතා සේම සෙසු හේතුවාදීන් කියනුයේ ද මෙලොව කිසිවකුටත් එලෙස 'නොදන්නා බසක්' කතා කළ නොහැකි බවය. ඒ අනුව භූතාවේෂයෙන් හෝ පුනර්භවයෙන් නොදන්නා බසක් කතා කර පෙන්විය හැක්කකු හට රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් ලබා දෙන බවට ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ නිර්මාතෘ සේම ශ්‍රී ලාංකේය හේතුවාදයේ පියා වශයෙන් අවිවාදයෙන් පිළිගැනෙන ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් විවෘත අභියෝගයක් කොට ඇත. ඔහුගේ මරණයෙන් පසු එම අභියෝගය ශ්‍රී ලංකා හේතුවාදී සංගමය වෙනුවෙන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා විසින් ඉදිරියටත් පවත්වාගෙන යනු ලබයි. එහෙත් එය පිළිගැනීමට කිසිවකුත් මෙතෙක් ඉදිරිපත් වී නැත.

සැම්සන් ගුණතිලක මහතාගේ කෘතිය කියවන අතරේ එක්වරම මගේ මතකයට නැංවුණේ 'නොදන්නා' දෙමළ බසින් තම ඉහත ආත්ම විස්තරය හෙළි කළ දරුවකු පිළිබඳ අපූරු කතාවකි. එය මගේ හේතුවාදී ගවේෂණ අතරිනුදු සුවිශේෂ තැනක් ගනී. ඒ කතා ප්‍රවෘත්තිය සැකෙවින් මෙසේය.

2006 වසරේ කටාන විද්‍යාලෝක විද්‍යාලයේ නව වන වසරේ ඉගෙනුම ලබමින් සිටි දහතුන් හැවිරිදි ලක්ෂාන් නම් සිසුවකු හිටිහැටියේ දෙමළ බසින් කතා කරමින් තමන් යාපනයේ පදිංචි ශ්‍රී රාමචන්ද්‍රන් රාජි නම් දැරියක බව ප්‍රකාශ කොට සිටීමේ ප්‍රවෘත්තියක් 2006 සැප්තැම්බර් අවසන් දින කිහිපය තුළ නිකුත් කෙරුණු පුවත්පත් කිහිපයකම පළ විය. එහි වඩාත් අරුමයක් වූයේ තම පුතු තුළ දෙමළ භාෂාව පිළිබඳ කිසිදු දැනීමක් නොමැති බවට ඔහුගේ මව විසින් තරයෙන්ම ප්‍රකාශ කර සිටීමය.

ලක්ෂාන් විසින් හිටිහැටියේ දෙමළ බස කතා කරමින් තමන් යාපනයේ පදිංචි ශ්‍රී රාමචන්ද්‍රන් රාජි නම් දැරියක බව ප්‍රකාශ කරන පුවත ගුරු සිසුන් වෙතින් අසා දැනගත් කටාන විද්‍යාලෝක විද්‍යාලයේ විදුහල්පති ලක්ෂ්මන් විජේරත්න මහතා මහත් කැළඹීමකට පත් විය. ඊට හේතුව ලක්ෂාන් එම පාසලට මාස දෙකකට වඩා පැරණි නොවූ අලුත් සිසුවකු වීමය. ඒ අනුව එල්.ටී.ටී.ඊ.ය විසින් පිරිමි වෙස් ගන්වන ලද කොටි කෙල්ලක ලක්ෂාන් යන නමින් තම විදුහලට භාර දී ඇතැයි ඔහුට සැක සිතිණ. එය අප රටේ උතුරේ පැවැති ත්‍රස්තවාදී ක්‍රියා දකුණට ද පිටාර ගැලූ සමයකි. එබැවින් තවත් නිහඬව සිටිය යුතු නැතැයි විදුහල්පතිවරයාට සිතිණ. පළමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට ද ඒ බව දන්වා ඔහු ඒ සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලීසියට ද දන්වා සිටියේ ඒ අනුවය.

මෙම හෝඩුවාවෙන් වහා ක්‍රියාත්මක වූ කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති හරූන් ඩූල් මහතා ප්‍රශ්න කිරීම පිණිස ලක්ෂාන් පොලිස් භාරයට ගත්තේය. ඒ 2006 සැප්තැම්බර් 20 වන දාය. එතෙක් තම මිතුරන් හා දෙමළ බසින් කතා කරමින් තමන් යාපනයේ ශ්‍රී රාජේන්ද්‍රම් රාජි නම් දෙමළ දැරිය බව පමණක් කියමින් සිටි ලක්ෂාන්ගේ හැසිරීම් රටාව පොලීසියේ දී මුළුමනින්ම වෙනස් විය. එහිදී ඔහු කතා බහ, අංගචලන, ඉරියව් ආදියෙන් සහමුලින්ම දැරියක මෙන් විය. ඒ අනුව දරුවාගේ ජාතිය සේම ලිංග භේදය පිළිබඳ ගැටලුවක් ද පැන නැගිණ. පොලිස් ස්ථානාධිපතිවරයා ද දෙමළ භාෂාව මනාව ප්‍රගුණ කළ අයෙකි. ඔහු හමුවේ ලක්ෂාන් කොට ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන් මෙලෙසිනි.

"මම ඉගෙන ගත්තේ යාපනයේ භද්‍රකාලී අම්මාන් කෝවිල අසල තිබෙන තිරුප්පුලි විදුහලේ. ඉගෙන ගත්තේ තුන්වෙනි පන්තිය දක්වා පමණයි. මගේ නම ශ්‍රී රාමචන්ද්‍රන් රාජි. මගේ තාත්තගේ නම ශ්‍රී රාමචන්ද්‍රන් රමේෂ් කුමාර්. අම්මගේ නම ශ්‍රී රාමචන්ද්‍රන් රාශම්. අපේ ගේ ලොකුයි. අම්මගේ ෆොටෝ එක එල්ලා තිබූ තැන පිටුපස බිත්තියේ රහස් සේප්පුවක් තිබුණා. අපිව රෑට එළියට දාලා තාත්තා කට්ටියත් එක්ක ඇවිත් සේප්පුවේ රත්තරන් බඩු හා සල්ලි තබනවා. මමයි අයියයි හොරෙන් බලා ඉන්නවා. අපේ තාත්තාට කවුරුත් හරි බයයි. අපට නිතරම වෙඩි හඬ ඇහෙනවා. අපේ ගෙදරට බෝම්බයක් වැටිලා තාත්තාවයි අයියාවයි මැරුණා. මාව යාපනයේ සින්දු රාජශේකරන් හා සින්දු ජා නමැති අංකල්ට හා ඇන්ටිට දීලා අම්මා පිටරට ගියා. මම හැදුණේ ඔවුන් ළඟයි. අවුරුදු දොළහකට ඉස්සර මම ද බෝම්බයක් වැදී මියගියා."

ඒ අනුව ලක්ෂාන්ගේ මව හේමා ද වහා පොලීසිය වෙත කැඳවිණ. ඒ වන විට ඇය කොච්චිකඩේ නගරයේ ලොතරැයි ඒජන්සියේ සේවය කරමින් සිටියාය. මෙම දරුවා තම වැඩිමල් පුතු වන ලක්ෂාන් බව පොලීසියේ දී පිළිගත් හේමා කියා සිටියේ තම පුතු දෙමළ මළ පොතේ අකුරක්වත් ලියන්නට හෝ කතා කරන්නට නොදන්නා බවකි.

අවට සිටි කාගේත් දෙනෙත් එකවරම ඉහළ නැංවෙන ලද්දේ ඒ සමඟිනි. ඉන් අනතුරුව පළමුව දරුවාගේ ලිංග භේදය පරීක්ෂා කරනු පිණිස ලක්ෂාන් මීගමුව මූලික රෝහල වෙත යැවුණි. එහි දී අනාවරණය වූයේ ඔහු පිරිමි දරුවකු බවය.

ඒ අනුව මෙම දරුවා තුළ කිසියම් මානසික විපර්යාසයක් ඇති බවට වාර්තා කළ මීගමුව රෝහලේ වෛද්‍යවරු ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම පිණිස ලක්ෂාන් උතුරු කොළඹ (රාගම) ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකය වෙත මාරු කොට යැවූහ. ඒ 2006 සැප්තැම්බර් 29 දාය.

රාගම මහ රෝහලේදී ලක්ෂාන්ගේ භාරකාරත්වය පවරන ලද්දේ කැළණිය විශ්ව විද්‍යාලයීය, වෛද්‍ය පීඨයේ (රාගම) මනෝ වෛද්‍ය විද්‍යා අංශාධිපති මහාචාර්ය කේ.ඒ.එල්.ඒ. කුරුප්පුආරච්චි වෙතය. දැනට අප රටේ සිටින ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් මනෝ වෛද්‍ය විශේෂඥයන් අතලොස්ස අතුරින් ඔහු ද එක් අයෙකි. ලක්ෂාන්ගේ ලිංග භේදය පිළිබඳ ගැටලුවක් නැතත් ඔහු නොදන්නා බසක් කතා කිරීම කෙසේවත් සිදුවිය නොහැක්කක් බව මහාචාර්ය කුරුප්පුආරච්චිට රහසක් නොවිණි. එබැවින්, ලක්ෂාන් කතා කරනුයේ සැබෑම දෙමළ බස ද යන්න සැක හැර දැන ගැනීම මහාචාර්යවරයාගේ පළමු අභිලාෂය විය.

ඒ අනුව ඔහු ඒ සඳහා යම් උපක්‍රමයක් යෙදීය. එනම් වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන දෙමළ සිසුන් ලවා ලක්ෂාන් ගේ දෙමළ භාෂා දැනුම පරීක්ෂා කරවීමය. ඒ අනුව ලක්ෂාන් සමඟ දෙමළ බසින් කතා බස් කළ දෙමළ වෛද්‍ය සිසුවෝ ඒ සම්බන්ධ තම නිගමනය මහාචාර්යවරයා වෙත දැක්වූහ.

"මෙයා කතා කරන්නේ දෙමළ නම් තමයි සර්: ඒත් සමහර වචන තියනවා. අපට නොතේරෙන, ඒවා ශාස්ත්‍රීය දෙමළ (Classical Tamil) කියලයි අපට හිතෙන්නේ."

දෙමළ මළ පොතේ අකුරක්වත් නොදන්නා දරුවකු හිටිහැටියේ ව්‍යවහාරික දෙමළ ද නොවන ශාස්ත්‍රීය දෙමළ ද යොදමින් කතා කරන්නට පටන් ගැනීම තමන්ට කෙසේවත් ගැලපිය නොහැකි හරස් පද ප්‍රහේළිකාවක් යැයි මහාචාර්ය කුරුප්පු ආරච්චිට සිතෙන්නට ඇත. එහෙත් ඒ වන විට එල්.ටී.ටී.ඊ. ළමා සොල්දාදුවකු රාගම රෝහලට ඇතුල් කරන ලදැයි යන ආරංචිය තටුසලා දසත පියඹා යමින් තිබිණ. ඒ අනුව සිදුවිය හැකි කුමක් හෝ අනපේක්ෂිත අකරතැබ්බයක් පිටුදැකීම පිණිස ලක්ෂාන් අංගොඩ මානසික රෝහල වෙත මාරු කර යැවීමට රෝහල් අධ්‍යක්ෂවරයා ඒ වන විට තීරණය කොට තිබිණ.

ඒ අනුව 2006 සැප්තැම්බර් 30 දාම ලක්ෂාන් අංගොඩට මාරු කරන ලදී.

ඒ සමඟම මගේ සිතට පිවිසියේ භූතාවේශයෙන් හෝ පුනර්භවයෙන් නොදන්නා බසක් කතා කර පෙන්විය හැක්කකුට රුපියල් ලක්ෂයක මුදල් පරිත්‍යාගයක් කරන බවට ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් කළ විවෘත අභියෝගයයි. එසේම එය කෙසේවත් සිදු කළ නොහැක්කැයි මගේ සිත තරයේම කියන්නට විය.

ඒ අනුව ඒ සම්බන්ධ ගවේෂණයේ මුල්ම පියවර වශයෙන් කොච්චිකඩේ නගරයට ගිය මම එහි ලොතරැයි කුටියක ලොතරැයි අලෙවියේ යෙදෙමින් සිටි ලක්ෂාන්ගේ මව වන හේමා හමුවීමි. එහි දී ද ඇය කියා සිටියේ තම පුතු දෙමළ මළ පොතේ අකුරක්වත් නොදන්නා බවය. එහෙත් ඇගේ එම ප්‍රකාශයෙන් සෑහීමකට පත් නොවූ මම ඒ මොහොතේම ලක්ෂාන් බාලවියේදී ජීවත් වූ වයික්කාලේ තඹරවිල ප්‍රදේශය වෙත ගියෙමි. එහි දී මා හට ඔහුගේ ළමා වියේ මිතුරන්, ඒ මිතුරන්ගේ මාපියන් ආදී විවිධ පිරිස් හමුවිය.

ලක්ෂාන්ගේ බාල කාලය ගෙවී ඇත්තේ වයික්කාලේ තඹරවිලය. ශ්‍රී ලංකාවේ හොඳම උළු නිෂ්පාදනය කෙරෙන ප්‍රදේශයක් වශයෙන් වයික්කාල ප්‍රසිද්ධය. එම උළු කම්හල්වල සේවය කරන කම්කරුවන් වැඩි දෙනෙක් මන්නාරම, වව්නියාව ආදී ප්‍රදේශවල සිට පවුල් පිටින් පැමිණ යාපනයේ ඌරුවට දෙමළ කතා කරන දෙමළ ජාතිකයෝ වෙති. එම පවුල්වල දරුවෝ එම ප්‍රදේශයේ පාසල්වලට ඇතුළු වී සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගනිති. එහෙත්, එම දරුවන් තම දෙමළ මිතුරන් සමග පාසලේදීත් අදහස් හුවමාරු කරගනුයේ තම ගෙදර දොඩන භාෂාව වන දෙමළ බසිනි. ලක්ෂාන් මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ මෙබඳු පසුබිමක් යටතේය. එනිසා ඔහුගේ දෙමළ භාෂා දැනුම ඉතා ස්වභාවික ලෙසින්ම ඔහු වෙත හිමි වූවකි. එහෙත් තඹරවිල පාසලේ සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම ලැබූ තම පුතු පාසලේදී දෙමළ මිතුරන් ඇසුරු කරන බවක් හෝ ඔවුන් වෙතින් නොවිධිමත් දෙමළ අධ්‍යාපනයක් ලබන බවක් හෝ ලක්ෂාන්ගේ මව කෙසේවත් නොසිතන්නට ඇත. ඒ කෙසේ හෝ දරුවන් සිය මවට භාර දී ඔවුන්ගේ ජීවිකාව සරි කරනු පිණිස මහත් දුක් ගැහැට විඳීමට සිදුවීම මත පිය සෙනෙහස අහිමි ලක්ෂාන් ඇතුළු දරු තිදෙනා ඇගේ අවධානයෙන් ගිලිහීම ද එතරම් අරුමයක් නොවේ. ලක්ෂාන්ගේ ළමා කාලය අනේක විධ දුක් ගැහැට සහ මානසික අර්බුදවලින් පිරී ගත් එකක් වී ඇත්තේ එබැවිනි. සැබැවින්ම ලක්ෂාන් පළ කළ ලිංග මාරුව සහ ඉහත ආත්මයේ කතාව ඔහු තුළ පැවැති මානසික අර්බුදයක් මුල්කොට පැන නැඟුණකි. පවත්නා ජීවිතයේ දී මුහුණ දීමට සිදුවන ගැටලු අර්බුද හමුවේ ඒවායින් අත්මිදීම පිණිස තම පෞරුෂයෙන් පලා යාම පිළිබඳ රෝග තත්ත්වයක් ද තිබේ. එය හැඳින්වනුයේ 'විඝටන අනන්‍යතා ආබාධය' [Dissociative identity disorder (DID)] යනුවෙනි. මෙම පලායාම සිතා මතා හෝ සැලසුම් සහගතව සිදුවන්නක් නොවේ. එය තමන් ද නොදැනුවත්වම ඉස්මතු වන රෝගී තත්ත්වයකි. ඒ අනුව මෙම විමර්ශනයේදී මට විසඳීමට තිබූ අවසන් ගැටලුව වූයේ ලක්ෂාන් තම පාසල් මිතුරන් වෙතින් 'ශාස්ත්‍රීය දෙමළ' වචන ඉගෙන ගන්නේ කෙසේද යන්න ය.

සිංහල භාෂාවට සාපේක්ෂව දෙමළ බස විවිධාංගීකරණයට ලක්වූවකි. නිදසුනක් ගත හොත් උතුරේ භාවිත වන දෙමළ භාෂාවේ භාවිතා වන ඇතැම් වදන් ලංකාවේ වතුකරයේ භාවිතා වන දෙමළ භාෂාවේ නැත. ඒ වෙනුවට ඔවුන් යොදනුයේ වෙනත්ම වචන ය. එසේම ශ්‍රී ලාංකීය මුස්ලිමුන් භාවිතා කරන දෙමළ භාෂාවේ ඔවුන්ටම ආවේණික වදන් තිබේ. ඒවා අතර ද ප්‍රාදේශීය වෙනස්කම් පවතී. ඒ අනුව ලක්ෂාන් කතා කළ දෙමළ භාෂාවේ ඇතැම් වදන්වලට 'ශාස්ත්‍රීය' යන අර්ථකථනය දීමට රාගම වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ දෙමළ සිසු සිසුවියන් නොපසුබට වී ඇත්තේ තම දැනුම් පාරාසය මුල්කරගෙන බව පෙනේ. ශ්‍රී ලාංකීය දෙමළ ප්‍රජාව අතුරින් තම දරුවන්ට වෛද්‍ය විද්‍යාලයීය සුදුසුකම් ලබා දිය හැක්කේ මැද පන්තියේ සමාජමය තත්ත්වයක් සහිත දෙමළ ජාතිකයන්ට පමණි. ඇතැම් විට ඔවුන්ගේ ගෙදර දොර භාෂාව ඉංග්‍රීසි වීමට ද පුළුවන. ඒ අනුව ලක්ෂාන්ගේ මුවින් පිට වූ තමන් නොදන්නා අමුතු වදන් 'ශාස්ත්‍රීය දෙමළ' සේ එම වෛද්‍ය සිසුන් සිතන්නට ඇත.

ඉහත සඳහන් සාමාන්‍ය කරුණු හැරුණු කොට මේ සඳහා මුල්වන මනෝ විද්‍යාත්මක සාධකයක් ද තිබේ. එනම් පොලීසියේ දී එක්වරම තම ප්‍රකෘතියෙන් බැහැරව දෙමළ දැරියකගේ වෙස් ගත් ලක්ෂාන් එහිදී හට ගත් මානසික උත්තේජනය හමුවේ තම සීමිත දෙමළ දැනුම වසා ගැනීම පිණිස අචේතනිකව ව්‍යාජ සක්ක පද යොදන්නට ඇති ඉඩකඩය. එහෙත් එවැන්නක් පිළිබඳව නොදැන සිට දෙමළ වෛද්‍ය සිසුන් ඒ ව්‍යාජ සක්කපද 'ශාස්ත්‍රීය දෙමළ' වචන ලෙස වරදවා අරුත් ගැන්වීමේ අරුමයක් ද නැත.

ඒ කෙසේ හෝ අප රටේ නන්දෙසින් ඇසෙන පුනරුත්පත්ති කතා සම්බන්ධ මෙබඳු ගවේෂණ සිදුකරන සෑම විටකම තහවුරු වනුයේ ඒවා අලයක් තබා මුලක්වත් නොමැති බාහිර ලෝකයාට පෙනෙන සේ සිටවූ ව්‍යාජ තුරුවැල් හා සමාන බවය.

තිලක් සේනාසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නියඟයෙන් බැට කන
මලානික පැල ගස
සොයා යයි තෙත පස
වැලි බොරලු විනිවිද

ඇදුම් කන විට මුල
පලබර ගසක් වුව
නො සොයා හිඳීවි ද
ලෙන්ගතු පසක තෙත?

[සිතුවම : Erika Pochybova]

දර්ශන මේදිස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



'යුද්ධයෙන් දිනූ කිසිවෙක් නොමැත' යන බර්ට්‍රන්ඩ් රසල්ගේ ප්‍රකාශය ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටිය නරඹන විට සිහියට නැගුනත් එය සියයට සියයක්ම සත්‍ය නොවේ යයි සිතුනේ ශ්‍රී ලංකාවේ යුද්ධය පවතින කාලයේදීත් පශ්චාත් යුධ සමය තුළදීත් ඉන් නොයෙක් ආකාරයේ ප්‍රතිලාභ භුක්ති විඳිමින් සිටින මිනිසුන් සිටින නිසාය. චිත්‍රපටිය තුළ දී ප්‍රසන්න විතානගේ පෙන්වීමට උත්සහ කරන්නේ යුද්ධය නිසා දෙපාර්ශවයේම සාමාන්‍ය ජන ජීවිතය අවුලෙන් අවුලට පත්වී ඇති බවය. යුද්ධයෙන් තම සහෝදරයින් සහ දෙමව්පියන් අහිමි වූ දෙමළ කාන්තාවක් සහ හිටපු හමුදා සොල්දාදුවෙකු අතර ඇතිවන ප්‍රේම සම්බන්ධය තුළ වතුකරයේ ජනයා මුහුණ දෙන සමාජ ආර්ථික ගැටළු මෙන්ම යුද්ධය විසින් මිනිසුන්ගේ විඥානයට ඇති කර ඇති අනිටු බලපෑම් අප හමුවේ දිග හැර පෙන්වීමට ප්‍රසන්න සාර්ථක උත්සාහයක නිරත වන බව මගේ අදහසයි.

වර්තමානයේ ලාංකීය සමාජයේ ජනප්‍රිය මතය වන්නේ හමුදාවෙන් පැන ආ සෙබළුන් ස්ත්‍රී දුෂණ, මිනී මැරුම් සහ මංකොල්ලකෑම් වැනි විවිධ අපරාධ වලට සම්බන්ධ වන, රළු මිනිසුන් බවයි. එහි යම් සත්‍යතාවයක් නැතුවාම නොවේ. නමුත් ඊට ප්‍රතිවිරුද්ධව, යුධ මානසිකත්වයෙන් මිදී ආදරය, සෙනෙහස වැනි මනුෂ්‍ය හැගීම් වලින් පිරි සාමාන්‍ය මිනිසුන් බවට පත්වීමට අරගල කරන පුද්ගලයින් ද සිටින බව චිත්‍රපටිය තුළින් අපට පෙන්වීමට උත්සහ කරයි. තරුණිය සහ තරුණයා අතර ඇතිවන සම්බන්ධතාවය නිරූපණනය කෙරෙන්නේ ජාති ආගම් බේද ඉක්මවා යන ආදරය සහ සෙනෙහස උත්කර්ෂයට නංවමිනි. චිත්‍රපටිය අවසානයේ ප්‍රේක්ෂකයා ප්‍රේක්ෂකාගාරයෙන් නික්ම යන්නේ අන්‍ය ජාතීන් හෙලා දකින, ඔවුන්ට එරෙහිව වෛරය වපුරවන මානසිකත්වයකින් නොව, එකිනෙකාගේ දුෂ්කරතාවයන් සහ මානසිකත්වයන් සහානුකම්පිතව (Empathetic) දකින්නට පෙළෙඹෙන මානසිකත්වයකිනි. සැබෑ සංහිඳියාව යනු එයම නොවේද? ජාතක කතා, අතීත කතා පෙරටු කොට ගත් "චිත්‍රපටි" රජවුණු යුගයක, අපේ යුගයේ සිදුවුණු ඛේදවාචකයක අපට දැනුනු, තවමත් දැනෙමින් පවතින ප්‍රතිඵල සහ ඒ නිසා සාමාන්‍ය ජනයා ලෙස අප මුහුණ දෙමින් සිටින තත්වයන් පිලිබඳ කතා කෙරෙන, මනස කිසියම් දුරකට ආදරයෙන් සනහා ලන මෙවන් චිත්‍රපටියක් නැරඹීමට ලැබීම ඇත්තෙන්ම භාග්‍යයකි.







ශ්‍යාම් ප්‍රනාන්දු සහ අන්ජලි පටෙල්ගේ රංගනය ඉතාම තාත්වික සහ ප්‍රශස්ත බව සිතෙන්නේ, චිත්‍රපටය නරඹන විට දැණුන හැඟීම් නිසාය. වර්තමානයේ බොහෝ දෙනෙක් හුරු වී සිටින්නේ ඝෝෂාකාරී, වේගවත් චිත්‍රපටිවලටය. නමුත් මෙම චිත්‍රපටියේ වචන භාවිත කෙරෙන්නේ එය අත්‍යවශ්‍ය මොහොතවල් වලදී පමණි. කතාව යනු එක් සන්නිවේදන ක්‍රමවේදයක් පමණක් බවත් මුහුණේ ඉරියව්, අංග චලන සහ අනෙකුත් ක්‍රමවේද වලින්ද සන්නිවේදනය සිදුකල හැකි බව චිත්‍රපටිය අපට පසක් කරයි. සමහර වෙලාවට එවැනි ඉරියව්, වචන වලට වඩා ප්‍රබල ලෙස හැඟීම් සන්නිවේදනය කරයි. චිත්‍රපටිය නරඹන විට ඔබ උද්වේගකර වනවා වෙනුවට තව තවත් සන්සුන් කෙරෙන අතර එමඟින් චිත්‍රපටියට පසුබිම් වන සංකීර්ණ සමාජ ගැටළු වඩාත් හොඳින් අවබෝධ කර ගතහැකි මානසික පසුබිමක් ප්‍රේක්ෂකයා තුළ ගොඩ නැගීමට අධ්‍යක්ෂවරයා සමත් වේ.

චිත්‍රපටියේ නිමාව කිසියම් අධිතාත්වික ස්වරූපයක් ගත්තද එමඟින් අප කිසියම් දුරකට අපහසුතාවයකට පත් වන්නේ අප බොහෝවිට හුරුවී සිටින්නේ සතුටුදායක නිමාවක්‌ දැකීමට නිසා බව මගේ අදහසයි. ෆියදෝර් දොස්තවෙස්කිගේ කතාවක, පිරිමියා ගණිකාවක් ඉදිරියේ වැඳ වැටෙමින් "මා වැඳ වැටෙන්නේ ඔබට නොව ඔබ තුල සිටින මනුෂ්‍යයාට" බව කියයි. චිත්‍රපටියේ අවසාන භාගයේදී ස්වාමිපුරුෂයා තම බිරිඳ ඉදිරියේ වැඳ වැටෙමින් නොකියා කියන්නේ, "මා වැඳ වැටෙන්නේ ඔබට නොව, ඔබ තුළ පවතින- මාව නැවතත් ආදරය, සෙනෙහස පිරි හැඟීම් දැනීම් සහිත ප්‍රකෘති මනුෂ්‍යයෙකු බවට පත්කළ, ජාති, ආගම් සහ අනෙකුත් සමාජ විෂමතාවයන් අතික්‍රමණය කල ආදරය සහ සෙනෙහසටයි" යයි මට සිතෙයි.

ශ්‍රී ලාංකික යයි ආඩම්බරෙන් කිව හැකි මෑත කාලයේ බිහිවූ අතලොස්සක් චිත්‍රපටි අතරෙන් එකක් ලෙස "ඔබ නැතුව ඔබ එක්ක" හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ.



උපුල් වික්‍රමසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ලෝකයේ තිබෙන අනේක විධ ලෙඩරෝග අතරින් Amyotrophic Lateral Sclerosis නම් මාරාන්තික නොවන රෝගයක් ඇත. මෙම රෝගය ලෝකයෙන් තුරන් කිරීමේ අරමුණින් පිහිටවා ඇති ALS සංවිධානය ඉතා අපූරු වැඩකට අතගැසුවේය. ඒ අයිස් බකට් අභියෝගය යි. මේ කාර්යය මුලින්ම YouTube මගින් ප්‍රචාරය කළ සංවිධානයේ සාමාජිකයන් කල්පනා කළේ අයිස් බකට් නාන අමාරු වැඩේ වෙනුවට හැමෝම තම සංවිධානයට මුදල් පරිත්‍යාග කරනු ඇති බවයි.

එහෙත් වැඩේ අනිත් පැත්තට කරකැවී හැමෝම අයිස් බකට් නාන්නට පටන් ගෙන ඇත. මේ වැඩේ ලංකාවට සේන්දු වෙනකොට අයිස් බකට් වෙනුවට වෙන වෙන ලෙඩ රෝග සහ මිරිස් කරල් ආදේශ වී ඉන් නොනැවතී අරක්කු බෝතල්, බුරියානි පැකට් සම්බන්ධ වී විකෘතියක් බවට පත් වී ඇත. මිනිසා තව මිනිසෙකුට උදව්කිරීමෙන් ලබන හුදකලා ආස්වාදය ඔහුගෙන් බහිෂ්කරණය වී අවසානයේ දෝරේ ගලායන විකෘතියක් බවට පත්වෙන්නේ ඇයි?

Viral Theory යනු ඇමරිකාවේ Massachusetts සරසවියේ ශිෂ්‍යයන් දෙදෙනෙකු විසින් මුලින්ම හදුන්වාදී පසුව වෙළදපොල විශ්ලේෂණය පිළිබද මාධ්‍යවේදියෙකු වූ ඩග්ලස් රෆ්කොෆ් ගොඩනගන ලද අලෙවිකරණ සිද්ධාන්තයකි. මෙම තියරියට අනුව කිසියම් ක්‍රියාවලියක් සමාජගත කිරීම සදහා එයට වෛරසයක් ඇතුලු කළ යුතුය. වෛරස් ක්‍රියාවලියේ දී හැමෝටම නියැලෙන්නට වැඩක් ලැබෙන අතර එකිනෙකාගේ 'නියැලීම' වෛරසයක් ලෙසින් අනෙකා වෙත සන්නිවේදනය වේ. එසේම මෙම නියැලීම එකිනෙකා අතර සන්නිවේදනය වනවිට නියැලීමේ ක්‍රියාවලිය විවිධ සමාජ හා දේශපාලන වේශ නිරූපණවලට ගොදුරු වේ.

අප කැමති වුවත් අකමැති වුවත් මේ මොහොතේ වෙළඳපොළ සාධක විසින් අපේ ජීවිත පාලනය කිරීමේ 'වගකීම' භාරගෙන අවසන් ය. ඒ නිසා ඉස්සර පොත් පත්වල තිබූ මාර්කටින් තියරි දැන් ආගමක් බවට පොලා පැන මිනිසා පාලනය කරයි. වයිරල් තියරි රැළි වලට අසුවී මිනිසුන් කරා එන අයිස් බකට් වැනි දේවල් අනිවාර්යයෙන් සැපිරිය යුතු දේව කාරණා බවට පත්වන්නේ ඒ නිසයි.

අයිස් බකට් ක්‍රියාවලිය ලෝකය පුරාම ව්‍යාප්ත වෙත්දී එය විවිධ සමාජ හා සංස්කෘතික අදහස් හා සිතුම් පැතුම් වලට යටත් වෙයි. ඒවා ගැන අධ්‍යනය කිරීම සැබවින්ම එම සමාජ ලිට්මස් පරික්ෂාවකට ලක් කිරීමක් බඳුය. අයිස් බකට් ඇෆ්ගනිස්ථානයට ගියවිට එරට ප්‍රසිද්ධ නළුවෙක් අයිස් වෙනුවට අසුචි නෑවේ එරට අයහපත් සුව සේවා පරිපාලනය පිළිබඳව රජයට විරෝධය පෑමටයි. ලංකාවේ අයිස් බකට් වලින් ඊස්ට්මන් වර්ණ නව නිපැයුම් නිපදවා ඇත. රටේ ආර්ථිකය තුළ එදා වේල පිරිමසාගැනීමට අරලගයක යෙදෙන මිනිසුන්ට බුරියානි යනු අධිපතිවාදී කෑමකි. එවැනි කෑම ඔට්ටුවට තැබීම තුළින් අපි හරිම පොහොසත් සමාජ සත්කාරකයන්ගේ සළුපිලි ඇඳගනිමු.



ලංකාවේ අප මධ්‍යසාර සමග කරන්නේ හොරගල් අහුලන ක්‍රීඩාවකි. දේශපාලන බලය ඇති අය මතට තිත යැයි කියයි. එහෙත් මතට තිත මිනිසුන් මෙන්ම තිත නෑ කියා කෑ ගහන මිනිසුන් සියලු දෙනාම කැමති තිතට මත් වී දවස නිමකිරිමටය. අමද්‍යප මිනිසුන් ද තම අමද්‍යප කම උඩ දමමින් මත් මිනිසුන් වැනිම ආතල් එකක් ගනියි. රටේ මධ්‍යසාර පානය කිරීම පිළිබද සංස්කෘතියක් නැති නිසා සහ එවැන්නක් ඇතිකිරීමට තරම් එඩිතර දේශපාලකයින් හෝ සමාජ ක්‍රියාකාරීන් නැති නිසා අපට මධ්‍යසාර පානය යනු හොර රහසේ කරන පිරිමින්ගේ වීර ක්‍රියාවකි.

යුරෝපයේ බොහෝ රටවල මධ්‍යසාර, කොකාකෝලා මෙන් වෙළදපොළවල සුලබව අලෙවි කරන අතර මධ්‍යසාර පානය මිත්‍රතත්වයේ සංකේතයක් ලෙස එකී සමාජයන් තුල අවශෝෂණය වී ඇත. එහෙත් අපට එවැනි සංස්කෘතියක් නැති නිසා මධ්‍යසාර තුලින් තවමත් අපි වීරයෝ සොයන්නෙමු. එමනිසා අයිස් බකට් වලට අරක්කු ආදේශ කොට විරයන්ගේත් වීරයා තෝරාගන්න අපි උත්සාහ ගනිමින් ඉන්නෙමු.

ෆ්‍රොයිඩ් ට අනුව මිනිසා යනු ස්භාවයෙන්ම රංචු ගැසී ජීවත්වීමට කැමති සත්ව විශේෂයකි. එහෙත් වෙළඳපොලට අවශ්‍ය හුදකලා මිනිසුන්ය. රංචු ගසෙන විට ස්භාවයෙන්ම විවිධ බෙදීම් පොලා පනියි. ආගම, ජාතිය, කුලය, ගෝත්‍රය, ආදී මිනිසා තුළ පවතින සැඟවුණු පොසිල, රංචු ගැසීමත් සමගම උද්දීපනය වෙයි. මේ උද්දීපනය වෙළඳපොල පැවැත්මට බාධාවකි. එනිසා තවකෙක් ආශ්‍රය කිරීම වෙනුවට ගැජමැටික්ස් සමග ජිවත් වීමට වෙළඳපොල යෝජනා කරයි. හුදකලාව සිටින මිනිසුන් ළඟ බොහෝ ගැජට් රැඳෙන රහස එයයි.

Facebook වැනි සමාජ ජාලා ඔස්සේ දැන් අපට අපේ කුට්ටුම්බය තුළ ආරක්ෂිතව සිටින ගමන් කදිම සාමාජයීය පොරක් විය හැක. කිසිම සමාජ රෝගයක් හෝ අනෙකාගේ දහදිය අපුලක් නහයට නොදැනී ජාතිමාමක, ස්ත්‍රීවාදී, ආධ්‍යාත්මික හෝ බොල්ෂෙවික් විප්ලව කළ හැකිය. එපමණක් නොවේ. ජීවිතය මෙසේ පැකට් එකක් කරගෙන සිටිනා අතරම අයිස් බකට් එකක් නා ප්‍රදර්ශනකාමී විදිහට ජීවිතය සාධාරණිකරණය කරගත හැකිය.

යුරෝපයේ සමාජශාලා තුළ අයිස් බකට් වෙනුවට හාදු හුවමාරු කරගැනීමේ වැඩක් අප්‍රසිද්ධියේ සිදුවෙයි. මේ වැඩේ වයිරල් ක්‍රියාවලියට අසුවී ලංකාවට අවොත් එය අපේ රටේ වාසනාවකි. මධ්‍යසාර වගේම සෙක්ස් සමඟත් හොරගල් අහුලන අපේ සමාජය මෙම Kiss challenge තුළින් කදිම ලිට්මස් පරික්ෂාවකට ලක්කරනු ඇත.



සරද සමරසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails