Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ජයන්ත ග. ජෝතියරත්නගේ දෙවන කාව්‍ය සංග්‍රහය 'නිමක් නැති කවියක නමක් නැති මිනිසා' මුද්‍රණයෙන් නිකුත් වී තිබේ. 'නිමක් නැති කවියක නමක් නැති මිනිසා' කර්තෘ ප්‍රකාශනයකි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නාට්‍යය - ධවල භීෂණ

මුල් රංගාවතරණය - විසිවැනි සියවසේ අටවැනි දසකය අග.

නව රැඟුම - විසි එක්වැනි සියවසේ දෙවැනි දසකය මැද (පාසල් දර්ශනයකි.)

ජවනිකාව - අත්අඩංගුවට පත් අරගලයට සම්බන්ධ තරුණියක මිලිටරියේ සමූහ දූෂණයට ලක්වී ආපසු සිරකුටියට තල්ලුකර දැමෙයි. වැරහැලි ඇඳුමින් සහ කඩමාලු ගතින් විසි වෙමින් එන ඇය වේදිකාව මැද ඇදවැටෙන්නීය.

තුෂ්නිම්භූත ප්‍රේක්ෂකාගාරයේ සිටි පාසල් සිසුවෙක් හඬනඟා විමසයි - ''රිදුණද?''

-ධවල භීෂණ නිෂ්පාදක ධර්මසිරි බණ්ඩාරනායක සහෝදරයාගේ ප්‍රකාශයකිනි.

රිදුණා පුතේ හොඳටම
දූෂණය කරනකොට නොව
අහනකොට උඹ
''රිදුනද?''

ඔව් වසර විසි ගණනක්
දැකුම් දන ගන වෙතින් සහසක්
නෑසුණු පැනය නැඟුණේ උඹෙනි.

කොයිතරම් හුරුබුහුටි දරුවෙක්ද උඹ
නවලොවට ගැලපෙනා දිරිමත්?

ගෑනු සීයක් යෙහෙන් වනසා
පාටි දැමු සඳ කාම සෙන්පති
ගමික කත කෙලෙසා නිදැල්ලේ
සරන විට රජගම සභාපති
රජගෙදර අල්මාරි පුරවා
අඩුක් වෙනකොට ඩොලියො පණ ඇති
උතුරුකුරුවේ කෑම්ප් පුරහා
දෝරෙ යනකොට සාප ලේ වැකි

කුමන අරුමද උඹේ ගැටවර
හිසෙහි පිපිරුම මෙවන් පැනපොඩි?

රිදුනෙ නෑ පුත,
කෙලෙසනා විට පේලි හැදිලා
බොහෝ බලගතු සෙනඟ මිලිටරි
ගැලුවෙ මානෙල් මලෙහි සුවඳයි
මත් බමර මුව කමල් පිරි'තිරි
රිදුණු නොරිදුණු බවක් සිහිවෙද
ඇනුණු විට උඹෙ පැනය ළමැදෙහි?

ලේ ගලන්නේ මගේ හීනෙනි,

දැක උඹේ ලොව
දසක දෙකකට මෙහාපැත්තේ
උදා වූ හැටි

සාක්කියකට
නො මළ අපවත්
තබාගෙන මෙහි!

සනත් බාලසූරිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



හුළඟටත් කඳුළු ඉනුවා
මගෙ පණත් එතැන තිබුණා

"තැන් තියේ හැංගෙන්න පුලුවන්
මල්ලිලාගේ පංතියේ
අන්තිමේ අපි උන්නු තැනමයි
ඒ යකඩ ඇස් දිලිහුනේ...

පුංචි අත් ගුලිකරන් හෙමිහිට
කියන්නට හැදුවත් දෙයක්
රංචුවක් ගිනිබෝල පිපිරී
පියැවුණා පොඩි ඇස් ගොඩක්

එවෙලෙ පාඩම තිබුණෙ මල් ගැන
මේස උඩ තව මල් නැටී
කියන්නට කට ඇරියෙ ඔක්කොම
ගහක් මල් පුබුදන හැටී...”

හුළඟටත් කඳුළු ඉනුවා
මගෙ පණත් එතැන තිබුණා

Photo Credit - Reuters

අනුරාධා නිල්මිණි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



බොහෝ දෙනෙක් දැන් උත්සාහ කරන්නේ ඉතා අනතුරුදායක එළියේ දේශපාලනය හා ඇඟ රිදෙන මනුෂ්‍ය ආශ්‍රය අතහැර හැල්මේ ගෙදර දුවගොස් නෝනා මහත්වරු, ළමයි බමයි එක්ක දෙයියනේ කියල සන්තෝෂයෙන් ජීවත්විමටය. එසේත් නැතිනම් ඇස් සහ කන් වලට ඇහෙන පෙනෙන දේවල් වලට ශාප කරමින් තමන්ගේ වැඩක් බලාගෙන සුරක්ෂිතව ජීවත් වීමටය. එහෙත් අපි මෙසේ ගෙදර යනවිට අපේ ගෙදර ආලින්දයේදී ලෝකයේ ජනප්‍රියම 'පවුල' වන ඩේවිඩ් බෙකම් පවුල අපට මුණගැසෙයි. ඔවුන් අපේ ආලින්දයේ ඉදගෙන අපට 'හායි' කියයි.

ඩෙවිඩ් බෙකම් යනූ එංගලන්තයේ හිටපු ෆුට්බොල් ක්‍රීඩකකි. ඔහු, මෑත අතීතයේ උන්මාදයක් ලෙස ලෝකය පුරා ජනප්‍රිය වූ spice girls සංගීත කණ්ඩායමේ ගායිකාවක් වූ වික්ටෝරියා සමග විවාහ වුනු පසුව ඩේවිඩ් - වික්ටෝරියා බෙකම් පවුල නුතන වෙළදපොල සමාජයේ 'හද බැදගත්' දර්ශීය පවුල බවට පත් විය. ඩේවිඩ් බෙකම් යනු දැනට ලෝකයේ සිටින වටිනාම ක්‍රීඩකයාය. ඔහුගේ වටිනාකම පවුම් මිලියන 260 ක් පමණ වේ. ක්‍රීඩාව තුලින් දැනට ඔහු කිසිවක් උපයන්නේ නැතිතරම් වුවද තමා වටා ගොඩනැගී ඇති සිවිල් වටිනාකම ඉතා සංවිධානාත්මකව අලෙවි කරමින් විවිඩ සමාගම් සමග ප්‍රචාරක ගිවිසුම් අත්සන් කරමින් මුදල් උපයයි. වික්ටෝරිය බෙකම් ගායන ලෝකයෙන් සමුගෙන විලාසිතා ලෝකයට ඇතුල්වී ඇති අතර දැන් ඇය තමාගේම කාන්තා ඇඳුම් විලාසිතාගාර ජාලයක් යුරෝපය පුරා ව්‍යාප්ත කරමින් සිටී.

මේ අතර ඔහුගේ වැඩිමහල් පුත්‍රයා බොහෝ ළමා ඇඳුම් සමාගම්වල බ්‍රෑන්ඩ් ඇම්බැසිඩර් කෙනෙක් වන අතර පවුලේ පුංචිම දියණිය ළමා ඇඳුම් විලාසිතා ප්‍රදර්ශන වලට පෙනී සිටියි.

බෙකම් කෙතරම් කඩවසම් පුද්ගලයෙකු වුවද මාර්කට් කරන්න පුළුවන් තරම් කටහඬක් ඔහුට හිමිවී නැත. එහෙයින් තමාව විකුණාගැනීම සදහා ඔහු විසින් පිහිටවා ඇති PR සමාගම ඉතා දක්ෂ ලෙස මෙම නොහැකියාව වසාගෙන ඔහුව අලෙවිකරමින් සිටී. ලෝකයේ පැවැත්වෙන විවිධ උත්සව වලට බෙකම් පවුලට ආරාධනා කිරීමේ trend එකක් දැන් නිර්මාණය වී ඇති අතර මේ උත්සව වලට සාභාගිවීම සදහා විවිධ මිල ගණන් පැකේජයක් ඔහුගේ PR සමාගම හඳුන්වා දී ඇත. කිසියම් උත්සවයකට බෙකම් හෝ වික්ටෝරියා සාභාගී වන්නේනම් විශේෂ මිලගණන් ඇති අතර බෙකම් පවුලේ සියළු සාමාජිකයන් සාභාගී කරගෙන විශාල මාධ්‍ය අවධානයක් දිනාගැනීමට යමෙකුට අවශ්‍ය නම් විශාල ආයෝජනයක් කල යුතුය. බෙකම් පවුලේ සෑම අස්සක් මුල්ලක් නෑරම වෙළඳ නියෝජිතයින් අරක්ගෙන ඇති අතර ඇතැම්විට බෙකම් යුවලට තමන්ගේ ජීවිතයක්‌ ලෙස ඉතිරිව ඇත්තේ රාත්‍රියේ නිදන කාමරයේ ඔවුන් ගතකරන ජීවිතය පමණක් විය හැකිය.

ගෙදර යන මිනිසුන් ගැන හදාරන්න. එදිනෙදා අප මුහුණ දෙන මඟුල් ගෙවල්, මළ ගෙවල්, හෝ පවුලේ උත්සව දිහා දුර සිට බලා ඉන්න. බොහෝ මෙවැනි උත්සව වල ප්‍රධාන පුද්ගලයා වන්නේ මනාල යුවල හෝ මියගිය තැනැත්තා නොව ඡායාරුප ශිල්පියා හෝ වීඩියෝ කරන ශිල්පියාය. මෙම උත්සව අවස්ථාවල ඕනෑම හැඟුම්බර හෝ විශේෂ සිදුවීමක් මැදට පැන එය කැමරාවට හසුකරගැනීමට ඉඩදීමට තරම් අපි ඉවසීම ප්‍රගුණ කර ඇත. කැමරාකාරයාගේ කට්ටලය සුදානම් කරන තෙක් මනාලයා මංගල මුදුව පළන්දන්නේ නැත! මළගෙදර මිනිය උස්සන්නේ නැත! කොටින්ම කියතොත් කැමරාකාරයා උත්සවය ෆොටෝ ගන්නවා වෙනුවට කැමරා කාරයා විසින් උත්සවය direct කරනු ලබයි.

මෙවැනි උත්සව නිමාවට පත්වී නොබෝ දිනකින්ම උත්සව වල ප්‍රධාන නළු නිලියන් තම කුට්ටුම්බ තුල තනි වෙන අතර ඉන්පසුව ලෝකය එක්ක 'මනුස්සකම' බෙදා හදාගැනීමට තිබෙන්නේ අමාරුවෙන් උපයාගත් ඡායාරුප පමණි. ඉන්පසු දිගට හරහට මුහුණු පොත හරහා මනුස්සකම බෙදයි. මෙවැනි උත්සවයකට සහභාගි වී නොදැනුවත්වම සහය නළුවෙක් හෝ නිළියක් ලෙස ඔබ විකිණී ඇත්නම් කණගාටු නොවන්න; විකිණීම තුල ජිවත් වෙන හැටි ඩේවිඩ් බෙකම්ගෙන් ඉගෙනගන්න.

එළවලු මලු කරේ තියාගෙන පවුල එක්ක සතුටින් ඉන්න ගෙදර දුවන තාත්තලාට ප්‍රථමයෙන්ම මුණගැසෙන්නේ තම තාත්තා තනතුර අහිමිවීම පිළිබද පුවතයි. අවසාන විග්‍රහයේදී තාත්තා යනු ආර්ථික සතෙකි. පවුලට ගුරුහරුකම් සහ පුරුෂාර්ථ ලබාදීමට වෙනම 'චැනල්' ඇති අතර තාත්තලාගේ කාර්යභාරය වී ඇත්තේ පවුලට සල්ලි පොම්ප කොට ආදරය බිඳක් උරගා බැලීමටය.

සුද්දෝ ලංකාවට පැමිණීමට ප්‍රථමයෙන් පවුල් කෑම යනු නිශ්චිත කතාබහකට එකඟ වී ගැහැණියක් සහ පිරිමියෙක් එක වහලක් යට ජිවත් වීමයි. මේ කතාබහට හරක බාන, වතු පිටි, පවුල් නම්බු නාම එකතු වෙයි. එහෙත් සුද්දා ආ පසු වාචිකව එකඟ වී ජිවිත කාලයක් ජිවත් වීමේ වැඩේ පොඩ්ඩක් වෙනස් කළේය. ඔවුන් කසාද සහතිකයක් හදුන්වා දී දේපොළ වලට නීතිමය රාමුවක් ලබා දුන්නේය.

සුද්දා ලංකාව දාල ගිහින් අවුරුදු හැටක් විතර ගිය පසු, අද දවසේ කසාද සහතිකය එහි මුල් අර්ථයෙන් බහිෂ්කරණයට ලක්වී පවුලේ ආරක්ෂක AK 47 රයිෆලයක් බවට හෝ බර්ලින් තාප්පය බවට පත්වී ඇත. ගැහැණු ළමයෙක් කොල්ලෙක් එක්ක එකතු වී තම කුට්ටුම්භ වලින් එළියේ ආදරය විදින විට දෙමාපියන් තම ඔත්තු සේවා යොදවා කොල්ලා සහ කෙල්ල ගැන සොයා බලා හැකි ඉක්මනින් කසාදයක් ඇතුලට දමා සැනසුම් සුසුමක් හෙලන්නේ තම ළමයා බේරා ගත් බව නොකියා කියමිනි. ආදරය දිවංගත වී එම හිස්තැන දේපොළ, හිස්ටීරියා සමාජ තත්වය හෝ සර්ව බලධාරී කසාද සහතිකය විසින් පුරවා දමා ඇති පවුල් අපේ සමාජයේ සුලබ දසුනක් නොවේද? මේ කාලයේ ආදරය කරන වයසේ ළමයින් සිටින දෙමාපියන් තම ළමයින්ට නොකියා කියන අවවාදය නම් කාට ආදරය කලත් කමක් නෑ කසාද බඳින්න ඕනෑනම් හොඳ කෙනෙක් හොයල බැදගන්න යනුවෙනි.

බටහිර සමාජයේ පවුලක් නඩත්තු කිරීම හෝ කසාද බැඳීම යනු හැම මිනිසෙකුට හෝ ගැහැනියකටම ලඟාවිය නොහැකි උසස් සමාජ තත්වයකි. ගැහැණු සහ මිනිස්සු ආදරය හෝ වෙනත් අවශ්‍යතා පෙරටු කරගෙන එකට ජිවත් වෙයි. එවැනි එකඟතා කැඩුණු පසු වෙන්වී යයි. ඇතැම් මිනිසුන් සහ ගැහැණුන් වාචික එකගතා මත දිගු කාලයක් ජීවත් වී ළමුන්, දේපොළ අත්පත් කරගෙන පවුල් කයි. මේ ගමනේ දෙදෙනාගේ ආදරයේ සහ එකගතාවයේ කුටප්‍රාප්තියට පැමිණි පසු විවාහ වෙයි. මෙම ජීවන සංකල්පය ඉතා අශිෂ්ට බවට අපේ සමාජය සලකන අතර ඒ වෙනුවට වෙළඳපොල අවශ්‍යතා මත කසාද සහතිකයක් උරුම කරගෙන අනුන්ට අවශ්‍ය ලෙස ජිවත් වීම ඉතා හොද සමාජ කාර්යක් ලෙස සලකයි.

කුට්ටුම්බ තුළට වී සිටින මිනිසුන් තම ආරක්‍ෂිත සිර කුටියේ දොරක් ජනේලයක් ඇරිය ගමන් පිටත ලෝකයේ සිට විෂබීජ කන්දරාවක් ගෙට ඇතුළුවෙයි. මෙම විෂබීජ වල පෙරේතයෝ, කුම්භාණ්ඩයෝ, ස්ත්‍රී දුෂකයෝ, සෙක්ස් අප්සෙට් කාරයෝ නිදන්ගතව සිටියි. ඒක නිසාම බොහෝ ආරක්ෂක වැඩපිළිවෙලවල් ඕනෑ වෙයි.

දැන් ගැහැණු ළමයින් තනියෙන් ගමන් යැවිය නොහැකිය. මන්ද සමාජය ෂුවර් නැත. ඉස්කෝල, ටියුෂන් පන්ති ඇරුණු ගමන්ම තම ළමයින්ව අල්ලාගන්නා දෙමාපියන් හැල්මේ ගෙදර දුව එන්නේ මග තොටේ තම ළමයින්ට හමුවෙන යාළුවන් ෂුවර් නැති නිසාය. ඉස්සර තම ළමයින් ගමෙන් එලියට යෑම ෂුවර් නැතැයි කී දෙමාපියන් දැන් කියන්නේ ගෙදරින් එළියට යැවීම අගුණ බවය. තත්වය තවත් දරුණු වී තාත්තලා, දුවලා, සහෝදර සහෝදරයින් එකට ගෙදර එකට තබා යෑම ෂුවර් නැති තරම් ගනුදෙනුකාරී පවුල් ජීවිතය පිලුණු වී ඇත. එහෙත් කුට්ටුම්බගත මිනිසාට මනුෂ්‍ය ආත්මයක් ලැබූ "පාපය" නිසා පෙරලා ෂුවර් නැති එළියේ සමාජය සමගම ගනුදෙනු කිරීමට සිදුවීම අභාග්‍යයක් නොවේද?

හැල්මේ ගෙදර දුව විත්, ගෙදර දොර වසා එයට පිටදී සැනසුම් සුසුමක් හෙලන මිනිසාට පිටට තට්ටුවක් දමා ඩේවිඩ් බෙකම් මතක් කර දෙන්නේ තවදුරටත් ආරක්ෂා කරගැනීමට කිසිවක් නැති බවයි. පවුල, ආදරය, සහෝදරත්වය වගේ බර දේවල් පවා ප්‍රාග්ධනය සමග ගනුදෙනු කිරීමට පටන්ගෙන ඇති බවයි. කුට්ටුම්බගත මිනිසා යළිත් දොර ඇර එළියට ගොස් එළියේ විෂබීජ සමග ගැටෙන සාමුහික සත්ත්වයෙක් වූ කෙදිනක හෝ ඔහුගේ නිවස තුලට මනුෂත්වයේ සුළග හමා එනු ඇත...!

සරද සමරසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



විසාකේස චන්ද්‍රසේකරම්ගේ දෙවන නවකථාව "රජ සහ ඝාතකයා", සිංහල හා ඉංග්‍රීසි පිටපත් ද්විත්වයක් ලෙස එකවර ප්‍රකාශනයට පත්වූ එකම නවකථාව පමනක් නොව, නවතම සිංහල ගීත දහයක සංයුක්ත තැටියක් සමඟ එළිදැක්වෙන එකම නවකථාව ද විය හැක. එපමණක් නොව මේ නවකථාව හරහා ලංකාවේ කාගේත් විරෝධයට ලක් වූ ජනාධිපති ආණ්ඩුක්‍රමය වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීමක් ද සිදුවේ.

The bilingual author writes a novel to present a brand new constitution for Sri Lanka, and the book comes with a music CD as well...

The King and the Assassin is not only a rare novel by the same author in Sinhalese and English languages, but also probably the first novel to be presented with a music CD of ten new songs. What’s more, it is certainly the first novel to present a brand new constitution to replace the much-criticised executive presidency of Sri Lanka. Many Sri Lankan publishers feared publishing this experimental cross-genre fiction for obvious reasons; however, Ravaya, the independent news company has chosen The King and the Assassin as the first fiction to be published under their imprint.


Book Reading /Song recital-

Day- 30 December, 2014
Time- 4.30 pm and 7 pm
Venue- Namel Malani Punchi Theatre, Borella.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කවුළුව සෙමෙන් විවර කර
සුළඟ එන පෙරමග බලයි
අඳුරේ නොදල්වා පහන
සඳ කිනිත්තක් අහසේ සොයයි

බලකොටුව උයනක්ද
කුරවි කෙවිල්ලන්ගෙන් අසයි
ඵල දරන්නේ කොහොම
තුරුලතා අතර හිඳිමින් සිතයි

මේ දන්න මල් සුවඳ හැර
තව තවත් සුවඳ මල් ඇතිද
සෙමෙන් පණනල හරින
පෙති හැලෙන මලක් සිඹිමින් සිතයි

වැහි බිඳක් වැටෙන විට
සුමුදු සියුමැලි දෝත පා
කඳුළු බිඳුවක හැඩරුව ඇතිද
උණුසුමින් තුරුලු කරගෙන බලයි

වාළුකා කතරකට
වැසි වැටෙන ඍතුවක් නැතිද
කැලැන්ඩර් පිටු අතර
ඉලක්කම්, මාස ගණිමින් සොයයි

දෙපා මිරිකා හරින
තිත්ත වේදනා බර හිස දරයි
ගැඹුරු නින්දට වැටෙන ඔහු අතැර
හොරෙන් කඳුළකින් කවියක් ලියයි

පස් අතර කාලයක් මුල් අදින
වැටුණු තුරු පත් අතර පොහොර වන
ආදරේ පාට කොයි වගේදැයි
පාට නැති වලාකුලකින් අසයි

[සිතුවම : Johannes Grenness]

කපිල එම්. ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



සඳ වතුර මහ පොළොව සිප වැළඳි සැඳෑවක
ඔබෙ ඇසට එබී මම සෙවූයෙමි ය මගේ රුව
ඔබෙ දෑස තුළ ම මා රුවා ගෙන ගියෙන් ඔබ
එදා රැය පහන් විය පා වෙමින් සිහිනයක
එ මොහොතෙහි ලොවෙහි පෙම් සිරි අසිරි කියන්නට
පසක් විය එක ද පෙම් කවක් හෝ නොමැති වග

**

ජීවිතය දොම්නසින් වෙළුණු මැදි වියේ අද
මගේ ඇස විසිව ඇත ඔබෙ නෙතින් බෝ ඈත
අපේ රූ සොයා ඔබ පිහිනාය මී විතක
මම වැතිර හිඳින්නෙමි සිහින නැති දිගු රැයක
ලොවෙහි පෙම් සිරි කියූ කවි ගීත නළු සියල්
පසක් වෙයි පෙමට වැඩියෙන් බොහෝ මහරු වග.

විසිවසක ශේෂ පත‍්‍රය | 1992

[සිතුවම : Zhaoming Wu]

මොනිකා රුවන් පතිරණ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"ටෙක් එකක කෝස් එකක් කරන්න ඕන" යැයි අපේ මල්ලිි කියමින් සිටියේ පළමු වර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී හමාර වූ කාලයේ සිටමය.

උදේ හතේ බස් එකේ ගොස් හවස හයේ බස් එකේ ආපහු ගෙදර එන කාර්මික පුහුණු මධ්‍යස්ථාන වල විවිධ පාඨමාලා හදාරන කීප දෙනෙක්ම ගමේ සිටියහ. මල්ලිත් අවුරුදු දෙකක්ම ඒවාට බැඳීම සඳහා වන ඉල්ලුම්පත‍්‍ර ගෙදර ගෙනාවත් ඒවා ආපහු තැපැල් පෙට්ටියට ගියේ නැත. එයට වැඩිපුරම බලපෑ හේතුව වූයේ දෙවනි පාර සාමාන්‍ය පෙළ පාස් වේ යැයි කියා හිතාගෙන සිටීමටත් වඩා වෙනත් එකකි. අයදුම්පත් ගෙනා දෙවතාවේම "මොන කෝස් එකට යනවද කියල හිතාගන්න බෑ" කියමින් සිටියදී නොදැනීම ඒ පිළිබඳ අමතකව ගියේය. ඒ ගැන නැවත මතක් නංගි හෝ අම්මා ගේ අතු ගාන වෙලාවක මේසය හෝ ඇඳ පල්ලක තිබී ඉල්ලුම්පත අසු වූ විටය. ඒ වන විට අයදුම් කිරීමේ කාලය අවසන් වීි තිබිණි.

"ඔන්න ඔහේ ලබන පාරම දානව" මල්ලි ඒ දෙවතාවෙම කිව්වේ ඒ කතාවය.

අම්මා එවිට කිව්වේ "අනේ මෙයැයිල එහෙම දෙයක් උනන්දුවෙන් හොයල බලල කරගත්තොත් තමයි පුදුමෙ. එහෙනං බල්ලො රෙදි අඳින්නත් පටන් ගනියි" යනුවෙනි.

ඒත් මල්ලිි තුන්වෙනි සැරේට මෙවර ගෙනා ඉල්ලුම් පත‍්‍රයෙන් එහි හෝටල් කළමණාකරන පාඨමාලාවට අයදුම් කළේ වැඩිපුර සිතා බැලීමට කාලය ගත නොකරමින්ය. ඔහු සමඟම එක්කම කාර්මික විද්‍යාලයට යෑමට අදහස් කළ ගමේ කීප දෙනෙක්ම හෝටල් පාඨමාලාවම තෝරගෙන තිබුණි.

"ඕක මේ පාරවත් කොරගත්තොත් ඉතිං හොඳයි. ඇරත් හෝටල් කෝස් එකක් නං ඉගෙනගන්නේ බංගලාවෙ හෝටලේ දැම්මොත් ගෙදර ඉඳන් වැඩට යන්න බැරිය". අම්මා ලොකු නැන්දා සමඟ කීවාය.

බංගලාව හා පැට්ටේරිය සම්බන්ධව ගොඩක් කතා ඇති වී තිබුණත් වැඩියෙන්ම පැතිරී ගියේ පැක්ටේරියේ හෝටලයක් ඇරඹීමට යන කතාවයි. දෙවැන්න පැක්ටේරියේ 'ගාමන්ට් එකක් දානවා' යන්නයි. පැක්ටේරි ඉඩමේ සත්තු වත්තක් අරඹන්නට යන බවද සමහරු කීහ. බංගලාවට අයත් ඉඩම් නැවත වගාකොට 'දලු ඇඹරිල්ල' නැවත ගන්නවා යන්නද හරි හරියට කියවුණ එකකි. මේ කතා එකකට එකක් වෙනස් ඒවා වුවද ඉන් එක් දෙයක් ඔප්පු විණි. එනම් පැක්ටේරියට සම්බන්ධව කුමක් හෝ විප්ලවයක් සිද්ධ වෙන්නට ඉඩ තියෙන බවය.

කොහොම නමුත් අදාළ කි‍්‍රියාවලිය පටන් ගත්තේ එක සීරුවට හැමෝම මේ පැක්ටේරි විප්ලවය ගැන කතා කොට හමාර වී මඳ කලක් ගත වී ඒ ආරන්චියේ උණුසුම මැකී ගියාටත් පසුවය. පළමු දවසේ වූයේ් ඩෝසරයක් ගෙනවිිත් පැක්ටේරි වත්තේ කැලෑව බිඳින එකය. අපේ ගමට හැරෙන හන්දියට පේන දුරින් එක ළඟම පැට්ටේරිය සහ බංගලාව යන දෙකම තිබුණි. ‘ඩෝසරෙන් එළි කරනව’ කියමින් අපි කුඩා කාලේ කළාක් මෙන් ඩෝසරයෙන් වැඩකරන අයරු බලා සිටින්නට පොඩි ළමයින්ටවත් උන්නදුවක් තිබුණේ නැතත් ඩෝසරයන්ගේ ආගමනය සකච්ඡුාවකට ගන්නට සෑහෙන මාතෘකාවක් ලෙස හැමෝම සැලකූහ.

එදා අපි කුස්සිය පැත්තෙ තේ බොමින් ඉන්නා විට, ලොකු නැන්දත් එවෙලෙ අපේ ගෙදර සිටිද්දී, උපාලි මාම ආවේය. ඒ පැක්ටේරි විප්ලවේ ගැන ආරන්චි ගොඩක් එක්කය.

"හොටෙල් එකක් තමයි දාන්න හදන්නෙ. පැට්ටේරි වත්තෙන් බාගයක් අදම එළි කළා. "

"අම්මප" ලොකු නැන්දා ඒ වචනයෙන් විස්මය පිට කළාය. ඇය ඒ දැක්වුවේ උපාලි මාමා දිරිමත් කරන්නට මවාගත් විස්මයක්ද එසේත් නැතිනම් ඇය ඇත්තටම කුතුහලයට පත් වූයේද යන්න සිතාගැනීමට මම අසමත් වීමි.

හොටෙල් එක දැමීමේ මූලික වැඩ කටයුතු බාර දී ඇතතේ ඇනිකට් කඬේ මුදලාලිගේ බෑනා වන අතුරලියේ මහත්තයාටය. වලව්වේ හිච්චි මහත්තයා දැන් පදිංචි කොළඹ උණත් ඔහු මුදලාලි බෑණාට හිතවත්ය. ළඟදීම වැඩ පටන්ගන්නවා ඇත.

"අපොයි ඔය හොටෙල් ගැහැව්ව වගේ නෙවෙයි. හැමදහ ජරාවක්ම මෙහෙට ඒවි. නානාප්පරකාර මිනිස්සු ඕවට එන්නේ හොඳ වැඩ වලටමය". අම්මා අනවශ්‍ය විදියට සැක පහළ කළේ ඒ විදියටය.

"විකාරෙයි අක්කේ. නිකං ජෝඩුවලට රිංගන්න පුලුවං රෙස්ට්හවුසි වගේ එකක් නෙවෙයි මේ දාන්න යන්නෙ. ටුවරිස් හෝටලයක්. සුද්දොන්ට. " උපාලි මාමා නාම මාත‍්‍රිකව පමණක් දැනුවත් හොටෙල් ව්‍යාපෘතිය වෙනුවෙන් නොබියවම පෙනී සිටියේය.

"අම්මප ! "

ලොකු නැන්දා දෙවැනි වරටත් සුපුරුදු වදනම යොදා ගනිමින් අර අනවශ්‍ය විදියේ විස්මය පළ කළාය.

"ඔව් දෙයියනේ. මේ මුදලාලිගෙ බෑණා මාත් එක්ක හොඳටම කිව්ව එකනෙ" උපාලි මාමාගේ ස්වරයේ ඇත්තේ අනවශ්‍ය උනන්දුවකියි මට සිතේ.

"ඉතිං සුද්දො මෙහේ ඇවිත් මක්කටෙයි. මුහුදත් ළඟක් නෑනෙ. මෙහේ ගස් උඩ යන වඳුරො බලන්නය" ලොකු අම්මා තාර්කික වන්නට පටන් ගත්තාය.

"ඒකත් මම ඇහුවනෙ. " උපාලි මාමා ජයග‍්‍රාහී ලීලාවෙන් කීවේ අත වේගයෙන් ඉදිරියට දිගු කරමින් අංග චලනයක් ද කරමින්ය.

"පැට්ටරිය පටන් ගන්නෙ ඒකටලු. සුද්දො එන්නේ තේ කොල හදන හැටි බලන්නත් එක්කලු. ගාල්ලට මාතරට එන සුද්දො මෙහෙට ගෙන්නන්ලු හදන්නෙ. වැඩි ඈතක්ය - පැයයි නෙ ගාල්ලෙ ඉදන්. වැඩිම උණොත් එකහමාරයි"

"අම්මප හැබෑවට ඉතිං ඒ මිනිස්සුත් ආස නැතැයි තමන් බොන තේ මෙහේ හදන්නේ කොහොමද කියල බලන්න. " එවර අම්මා ප‍්‍රගතිශීලී වන්නට උත්සාහ ගත්තාය.

"බංගලාවත්තෙ නං ගස් එකක්වත් කපන්නෙ නෑලූ. පැට්ටේරිවත්තෙ ආයෙත් තේ හිටවනවලු. ඔය කැලෑ වෙච්ච නරි මූකලානත් එළි කරලා ආයෙ තේ දානවලු. මටත් කිව්ව ඒගොල්ලන්ට දළු දෙන්න කට්ටිය අල්ලල දෙන්න කියල. මටත් කොමිස් එකක් දෙනවයි කිව්වෙ. "

"නොදී ඉන්න එකක් නෑ එහෙමනං" ලොකු නැන්දා කිව්වාය.

"මං කිව්ව මං දළු නං අල්ලල දෙන්නංය ඒත් කොමිස් එපාය කියල. "

"ඔව් ඉතිං ගමේ රටේ මිනිස්සුන්ගෙං මොන කොමිස්ද? "

"අනේ උඹ නිකං ඉදහං නංගියෙ. එහෙනං ඔය කඩේ මුදලාලිල අපෙං සතේට ගණං බලල බඩු දෙන්නේ ලාබ තියං. උන්ට හොදනං අපට මොකෝ"

"එහෙම එකක් නෙවෙයි ලොකු අක්කෙ. මං බැලුවේ අතුරලියෙ මහත්තයට කියල අපේ තිලක්ට ජොබ් එකක් අල්ලල දෙන්න හොටෙල් එකේ. "

එසේ නම් කොමිස් ප‍්‍රතික්ෂේප කරමිින් උපාලි මාමා යොදා තිබෙන්නේ සම්‍යක් ප‍්‍රයෝගයකි.

"හැබෑට ඒකනං නරක නෑ" අම්මා අල්ලේ ඉතිරි සීනි ටික දිවේ ගාගන්න ගමන් එසේ කියමින් එක් වරම බැලුවේ මගේ දිහාවයි. ඇගේ බැල්මේ තිබුණේ "ඔන්න උඹටත් ජොබ් එකක් ගන්න පුලුවන් වේවි" වැනි අදහසකි. මං අම්මාගේ බැල්ම මග හරිමින් ඉස්සරහ පැත්තට ආවේ මගේ රැකියා විරහිතභාවය ඔවුන් ඉදිරියේ නැවත වරක් සාකච්ඡාවට ගැනීමට මට අවශ්‍ය නොවූ බැවිනි.

උපාලි මාමා ගියාට පසුවත් අම්මා සහ ලොකු නැන්දා කතා බහ නැවැත්වූයේ නැත.

"කොහොමට තිබිච්ච පැට්ටරියක්ද ඕක. දෙවෙලවත්තෙන් හිටං කට්ටිය ආව ඒ දවස්වල දළු කඩන්නයි, ඉස්ටෝරු වැඩටයි. " අම්මා අතීතය මතක් කරන්නට වූවාය.

මං ශිෂ්‍යත්වය ලියන දවස් වලත් අම්මා පැක්ටේරියේ වැඩට ගිය බව මටත් මතකය. අම්මා එය නවතා වෙන අයගේ ඉඩම්වල දළු කඩන්නට යන්නට පටන්ගත්තේ පැක්ටරිය බංකොලොත් වී වැඩ අඩු වන්නට පටන් ගනිද්දීය.

"එහෙනං. අපි වැඩට ගියේ නෑනෙ අන්තිම දවස් වල. වැඩ තිබුණෙ නැති හන්ද. අන්තිම වෙනකං ඉඳිය නං අපිටත් වන්දි ගන්න තිබුණ. "

"නැතුව. අර ගල්කුට්ටියෙ කරුණෙල ඔය දැං ඉන්න ගේ හදාගත්තේ ඒ වන්දි ඔලින්නෙ. හැබැයි ආයෙ දළු අඹරන්න පටං ගත්තොත් අපටත් යන්න ඇහැකි. "

"අනේ අක්කෙ මටත් ඇති වෙල දැං මේ දළු රවුංවලට යන එක. අදත් ඉවර වෙනකොට පහමාරත් පහුවෙලා. හවසට තේ එකක්වත් දෙන එහෙක. නොදකිං විතරක්"

"අනිත් එක ඕවයෙ ගියාම මාසෙ සල්ලි මාසෙට ඉවරයි. එහෙමද වත්තක ඉස්ටෝරුවක ගියාම. පන්ට් එකම කීයක් එකතු වෙනවද? "

"නැත්තං.. "

"මං නං වතත්තෙ වැඩ ඉවර උණත් හරි කිසිම දළු කැඩිල්ලකට ගියේ නෑ පිට තැනක. ආයෙ වත්තෙ තේ දැම්මොත් නං මං අල්ලගන්නව දළු කැඩිල්ල. එක එකාට වාල් වෙන්න ඕන නැහැනෙ නංගියෙ වත්තෙ වැඩ කරද්දි"

"අම්මේ ඒ දවස්වල හොඳම තේ මංඩිය තිබුණෙ ඔය ඉස්ටෝරුව වටේ ටිකේ. " ලොකු අම්මා ලොකු අතීතය ගොඩ දාන්නේ කෑමක් ගැන වර්ණනා කරන කලෙක මෙන් ලොකු පෙරේතකමකිනි. අම්මාද ඊට දෙවැනි නැත. "වැස්සක් දෙකක් ගියාම දළු ඇදෙන්නෙ නිකං ලබු කරටි වගේ. ඒ දවස්වල ඇඩ්ඩිං කංකානම් මහත්තයනෙ ඉඳියෙ. මට තමයි ඔය ඉස්සරහ ටික කඩන්න දෙන්නෙ ඉස්ටෝරු මණ්ඩිය හොඳට තියෙන්න ඕනෙයි කියල. සුපිරිංටන් මහත්තයත් හැමදාම කියනවලු, කව්ද මේ ටිකේ දළු කඩන්නෙ, හරි මට්ටමට තියෙනවනෙ කතුරෙන් කැපුව වගේ කියල. "

"දැන් ඉතිං කවුද ඉන්නෙ අක්කල වගේ දළු කඩන්න පුලුවන් කට්ටිය. "

"අනේ මක්කයි මේ කියන්නෙ. මං ඊයෙ පෙරෙයිද දැක්ක අර චාලිස් මහත්තයලගෙ ඉඩම. අපොයි දළු ගස් මැද කඳු කඳු වගේ. කොල දාල කඩනවයිං ඔහොම වෙන්නෙ. නොදකිං. තනි කොල කඩල ගහ එක මට්ටමට ගන්න දැං දළු කඩන ගෑනු දන්නෑ. "

ලොකු නැන්දා සහ අම්මා තේ කර්මාන්තයට සම්බන්ධ අතීත කතා සූප්පු කරමින් ගොඩක් වෙලා කතා කරමින් සිටියහ.

වැඩි කල් නොගොස්ම අලුත් හෝටල් ව්‍යාපෘතිය යථාර්ථයක් බව පෙන්නන ඉඟියක් ලැබිණි. හෝටලේ වැඩට කට්ටිය ගන්නා බව කියා ඇනිකට් කඩේ දොරේ පෝස්ටරයක් ගසා තිබිණි. නංගි එදින සවස මිදුල අතුගෑවේ එහා ගෙදර සුදු නෝනා සමඟ ඒ ගැන කතා කරමිනි.

"අයියෝ බන් ඉංග‍්‍රීසි පාස් උණානං ෂෝක්කෙකට පිළිගැනීමේ නිළධාරිට යන්න තිබුණ. කෙල්ලොන්ට යන්න පුලුවන් එකක් තියෙන්නෙ එච්චරනෙ. "

"ඇයි බං වේටර්ලත් ගෑනු අයට පුලුවන්නෙ. "

"ෂික් බන්. වේටර් විදියට යනන් ලැජ්ජ නැතෙයි. " නංගි එසේ කියමින් මල් පාත්තියෙ පොල් ලෙලි අස්සට ඉදලෙන් ඇන්නේ තරහකින් මෙනි. "මේස ගානෙ කෑම අරගෙන යන්නනෙ තියෙන්නෙ. "

"ඒ උණාට බන් ගෙදර ඉදන් යන්න පුලුවන්නෙ. "

"ඒ වගේද බන් අරකට ගියාම. ඉස්සරහ ඉදගෙන පෝන් එකට කතා කරන්නනෙ තියෙන්නෙ. හරි ෂෝක් බන්. "

"රිසෙප්ෂනිස්ට පිටිං කවුුරුහරි ගනියි බන්. " සුදුනෝනා කිව්වාය.

"ඒ මොකක්ද උඹ කිව්වෙ. "

"රිසෙප්ෂනිස්ට්. උඹ ඔය කිව්ව එක තමයි. පිළිගැනීමේ නිළධාරී".

"ඔවු බන්. ඉංග‍්‍රීසි තිබුණනං ෂෝක් ජොබ් එක. අපි ඒ දවස්වල ගණං වලට පන්ති ගිය වෙලේ ඉංගිරිසි වලට ගියානං හරි බං. "

මට ඒ දැන්වීම කියවන්වට ලැබුණේ පහුුවෙනිදා දවල් හාල්මැස්සෙන් සීයක් ගේන්නට කඬේ ගිය මොහොතේය. "ළඟදීම ඇරඹෙන - ඩ්රීම්ස් ඉන්- ටුවරිස් හොටෙල් හි සේවක පුරප්පාඩු" යනුවෙන් එහි ඉහළිින් ලොකු අකුරින් දක්වා තිබිණි. නංගි කියූ විදියට පිළිගැනීමේ නිළධාරිනීගේ රස්සාවට යන්න නම් ඇයට අඩු වෙන්නේ ඉංග‍්‍රීසිි පමණක් නොවන බව මට තේරුම් ගියේ එය කියවද්දීය. එහි පිළිගැනීමේ නිළධාරිනී තනතුර යටතේ තිබුණේ ප‍්‍රියමනාප පෙනුම සහිත ඉංග‍්‍රීසි භාෂා හැකියාව සහිත 20-25ත් අතර කාන්තාවන් යනුවෙන්ය.

එදා හවස නංගී සුදු නෝනා හා එකතු වී පිළිකන්න පැත්තේ ගලක සුදු හඳුන් උරච්චි කරනවා මම දැක්කෙමි. සුදු හඳුන් දෙහි ඇඹුල් වලින් ගලගා මූණෙ ගෑ විට ඡවි කල්‍යාණයට වැඩි වන බව තරුණි පත්තරයේ තිබුණු බව ඔවුන් දහවල් කතා වූහ. හරියනවද බලන්නත් එක්ක එක දිගටම ගාමු යැයිි ඔවුහු තකිතා කරගත්හ.

මේ අතර තාත්තා උපාලි මාමාද සමඟ අතුරලියේ මහත්තයා හමුවන්නට යවා තිබුණේ අම්මා විසිනි. ඒ හමුවේදී සිදු වූ දේ කුමක්දැයි මම හරියටම දැනගත්තේ පහුවෙනිදා සවස අම්මා ඒ ගැන ලොකුනැන්දාත් සමඟ විස්තර කරද්දීය.

"ඉල්ලුම්පත්තර දාන්න කිව්වලු. අපරාදෙ කියන්න බෑ කිව්වලු කොහොමත් ගමේ මිනිස්සුන්ට ඉස්සෙල්ල චාන්ස් එක දෙනව කියල. " තාත්ත අරන් ආ ප‍්‍රතිඵලය අම්මා සමාලෝචනය කළේ එසේයි.

"එහෙනං මහත්තය නොසලක ඉන්න එකක් නෑ."

"ඒකනං ඇත්ත. ඒ උණාට අක්කෙ අපි ගිහිල්ල කතා කරා කියල වැඩක් නෑ. අපේ මූණ බලලය රස්සාවල් දෙන්නෙ. කොහෙද මේගොල්ලට ඩිංගක් එළියට බැහැල ඇවිදින්න බැහැනෙ. ගිහිල්ල කතා බහ කරා නං ඒ මිනිස්සු නොසලකා ඉන්නවය. "

තාත්තා අතුරලියෙ මහත්තයා හමුවෙන්න ගියේ මට එසේ යන්නැයි දෙතුන් සැරයක්ම කියා බැරිම තැනය.. අඩුම ගණනේ එවන් රස්සාවක් කරන්නට යන්නට මගේ කැමැත්තක් තිබේදැයි නොඅසාම රස්සාව හොයන්නට යන අම්මලා ගැන පුදුමයක් නොදැනෙන තරමට දැන් මට අම්මලගෙ වැඩ හුරුපුරුදු වී තිබේ.

"හැබෑටම මේ ළමයට නෑනෙ එහෙම උනන්දුවක්වත්. " ලොකු අම්මාද කිව්වාය.

"මක්කරන්නෙයි අක්කේ. හෙනහුරා ලැබුවම ඔහොම තමයි." අම්මා කටහඬ පහත් කළාය. "වෙන එකක් ඕන්නෑ විභාගෙ පේල් උණෙත් ඒකනෙ. හාමුදුරුවො කිව්වෙ විභාගෙට මාස දෙකකට කලිං තමයි හෙනහුරා ලබල තියෙන්නෙ. ඒරාස්ටකේ කටේ තියාගෙන නෙව විභාගෙ ලියල තියෙන්නෙ. හාමුදුරුවො කිව්වේ විභාගෙ කෙසේ වෙතත් ජීවිතේ තියෙන එක ගැන සතුටු වෙන්නෙයි කියල. "

"අනේ ඒක නෙවෙන්නම්. හෙනහුරා ලැබුණොත් දුක් වින්දනව. කෙහෙත ලැබුණොත් ඇවිද්දවනව. අපරාදෙ හැබැයි මේ දරුව. "

"තව අවුරුදු දෙකක් යනකම් මොකුත් හරියන්නෙ නෑ කියලයි කියන්නෙ. බලහල්ලකො ඇගේ හැටි උණත්. ඇට ගොයා වගේ. කන ඒව අල්ලන්නෙත් නෑ. "

මං ඒ් විස්තරේ අසාගෙන හිටියේ අද හවසත් බෝධි පූජාවකට යන්න වේදැයි බියක්ද ඇතිවය. සාමාන්‍යයෙන් මෙහෙම කතා බහකදී මගේ අපලෙ ගැන කතාවක් ඇදුණොත් අම්මා එදාට හෝ පහුවෙනිදාට බෝධි පූජාවක් හෝ හරි සෙත් කවි කීමක් හෝ යොදාගනියි. ඒ නැතත් හෙට අනිද්දම හෝටලේ රස්සාව හරියන්නැයි පතා බෝධි පූජාවක් තියන්නට අම්මා මෙලහකටත් සැලසුම් කොට ඇතුවා විය යුතුය.

චමින්ද කියන විදියටත් හෝටලෙන් අරඹන්නට යන්නේ තේ කර්මාන්තය ආශ‍්‍රිත සංචාරක ව්‍යාපාරයකි. එහෙත් දැනට ප‍්‍රසිද්ධ වී ඇති ඒවාට වඩා වඩා වෙනස් රැකියා අවස්ථාද හෝටලෙන් උදා වෙන්න ඉඩ තියෙන බව ඔහු අණාවරණය කරගෙන තිබේ.

කසුනුත් සමග බයිසිකලයෙන් අපේ ගෙදරට පැමිණි වෙලාවේ චමින්ද ඒ ගැන විස්තර කළේ පුදුම උනන්දුවකිනි. බයිිසිකලේ වැටට හේත්තු කොට අපේ මිදුලට හැරෙන පාර ළග පොල් කොටේ උඩ හිඳගෙනය චමියා කතාව පටන්ගත්තේ.

"මට කිව්වනෙ අතුරලියෙ අයිය බන්" චමින්ද පටන් ගත්තේ එසේය. ඔහු අතුරලියේ මහත්තයා ගැන ඉන්නෙ ලොකු පැහැදීමකිනි.

"අතුරලියෙ අයියා නියම ඩයල් එකක් බන්. බලපන් ළඟදි ටිපර් එකක් ගත්ත. එයා ගාල්ලෙ පොලිසියෙ ඔක්කොම දන්නව. මරු බන්. විජේ්දාස මන්ත‍්‍රිත් දන්නව බන්. ගස් ඉරන මැෂින් එකට පෝමිට් පාස්කර ගත්තෙ ඒකින්. බලපන් දැනටම කොච්චර දියුණුද කියල. අපිටත් වරදින්නෑ බන් ඒ වගේ කෙනෙක් එක්ක ඉදියොත්. " චමින්ද අතුරලියේ ගැන කියද්දි විස්තර කළේ එහෙමය.

"වෙනස්ම විදියටලු මචං හෝටලේ කරන්න හදන්නෙ. බලන්න එන සුද්දොන්ට ඕන නම් වත්තෙයි ඉස්ටෝරුවෙයි වැඩ කරන්නත් පුලුවන්ලු. "

"සුද්දොන්ට පිස්සුද බන් මෙහේ ඇවිත් වැඩ කරන්න. " කසුන්ගේ ස්වරයේ නෝන්ඩියක් මුසුවී තිබිණි.

"යකෝ උන් වැඩ කරන්නෙ සල්ලි ගන්න නෙවෙයි. ආතල් එකට. උන් කැමතිනෙ එක එක විකාර කරන්න. ඒකනෙ බං ඔය ගෙවල් වලට වෙලා කාල බීල ඉන්නැතුව මේවයෙ ඇවිත් ඇවිද ඇවිද ඉන්නෙ. "

"ඉතිං"

"බංගලාව එහා පැත්තෙ පොකුණ දන්නවනෙ. සුද්දොන්ට නාන්න දෙන්නෙ ඒකින්ලු. ඒ කියන්නේ කවුරුහරි වතුර ඇදල දෙන ඒවයින් සුද්දොන්ට කැමතිනං නාන්න පුලුවං. "

"ඉතිං බන් වතුර අදින්නත් කවුරුහරි ඉන්න එපැයි. " මම කිව්වෙමි.

"ටුවරිස් හෝටලේක ඒකට වැඩට කෙනෙක් දාන එකත් මහ වැඩක්ද බන්. එක රෑකට නවතින්න දහ පාලොස්දාහක් ගන්න එකේ. ඒවට වැඩට ගන්නෙත් බොඩි ෆිට් කොල්ලොලු බන්. "

"ඒ මොකෝ. " එසේ අසන අතරම මට කේඩෑරි වී ඇති මගේ අතපය දිහා හොරෙන් බැලවිනි.

"ඇයි බන් සුද්දියො එහෙම කැමති වෙන්නෙ එතකොටනෙ. උන් මාර ආසලුනෙ බං කලු කොල්ලොන්ට. වැඩියත්ම බන් ඔය පපුවෙ මයිල් එහෙම තියෙන උන්ට. එහෙම අය තෝරල හෝටලේ වැඩට ගන්නවලු. මට අතුරලියෙ අයිය දැන් කිව්වෙ. ඇඟ පේන විදියට සරමයි බැනියමයිලු අඳින්න දෙන්නෙ. " චමින්ද කීවේ ඝනව වැඩුණු වම් අත්දණ්ඩේ රෝම කූප දකුණු අත්ලෙන් පීරා දමමිනි.

"ඉතිං උඹටත් පුලුවන්නෙ එහෙම හෝටලේ වැඩ ගන්න" මම ඉක්මනින්ම එසේ කිව්වේ රෝම ගැන කතාවක් ඇදෙතැයි බියෙනි. චමින්දලාගේ මෙන් රෝම පිරුණුු ඇඟවල් අපට නැත.

"අපෝ ඒ වගේ වැඩකට පනින එක නම් සිම්පල් බං. අතුරලියෙ අයිය කිව්ව ගමන් දාල දෙයි. ඒත් මං ට‍්‍රයි කරන්නෙ වෙන මොහොකට හරි පැන ගන්න. කොහොම වෙතත් ඇඟත් ටිකක් හදාගන්න ඕන. " චමින්ද බාහු දෙක පුම්බා ඒ දිහා මාරුවෙන් මාරුවට කීප වරක් බලාගත්තේය.

"ජිම් එකකට යන්න තියේනං ගොඩ බන්. මම නිකං අත්දෙකට එක්සයිස් ටික කරගන්නෙ යකඩ කෑලි වගයක් සෙට් කරල . හරිි විදියෙ ජිම් එකක් තියේනං මම මාසෙන් ඇඟ හදනව බන්. "

"අතුරලියෙ අයිය කිව්ව බන් හෝටලේ ජිම් එකකුත් දානව කියල. ඇයි බන් සුද්දොන්ට අනිවාර්යෙන්ම ඕනනෙ. අපිටත් එහෙම උණොත් මරු චාන්ස් එක බන්. මම නම් ආයෙ දවස් තිහ... ම සෙට් එක දානව. "

චමින්ද "තිිහම" යන්න කිව්වේ දිනපතාම යන බව අවධාරණය කරමින් "හ" යන්න අසාමාන්‍ය ලෙස අදිමිනි.

"ඉංග‍්‍රීසිත් ඉගෙනගන්න ඕන බන්. වෙන මොකුත් ඕන නෑ ඉංගී‍්‍රසිි තියේනං. අතුරලියෙ අයිය කිව්ව බං ඉංග‍්‍රීසි පුලුවන් නම් කැම්පස් ගියපු උන්ට වඩා පඩි ගන්න පුලුවන්ලු. මමත් දැන් ටික ටික ඉංග‍්‍රීසි පුරුදු වෙනව. දැන් මම පෝන් එකේ මැසේජ් ගහන්න පුරුදු වෙනව. මං දැන් නමයි ඇඩ‍්‍රස් එකයි ඉංග‍්‍රිසියෙන් ලියන්න පුරුදු වෙලා ඉන්නෙ. ටික ටික වචන පාඩම් කරගන්න ඕන. "

පැක්ටේරිවත්ත තට්ට හිසක් සේ බූ ගාන්නට බුල් ඩෝසරයට මහ කලක් ගත වූයේ නැත. ඊට යාබදව තිබූ නරි මූකලානද එළි විය. පැක්ටේරියට කිසි බලපෑමක් නොවුණත් උස් ගොඩනැගිල්ලක් වූ එය එළි කරපු වටපිටාවේ අතහැර දමපු ලොකු යන්ත‍්‍රයක් මෙන් කැපී පෙනුණි. ලොකු නැන්දාට මේ ගැන තිබුණුු ලොකුම ප‍්‍රශ්නය වූයේ එළි කළ බිමේ ඩෝසරයෙන් කපා ඇති කාණු අතර දුර වැඩි වීමය. ඇය කියන විදියට ඒ කානු දැමිල්ල තේ වගාවට හරි යන්නේ නැත. එමෙන්ම ඉඩමේ ඒ මේ අතට කපා ඇති පාරවල්ද ඕනෑවට වඩා වැඩිය. එහෙත් ඒවායේ හොඳ පැත්තක් දකින්නටත් ඇයටම හැකි විණි.

"එකාතකට ඉතිං තේ වවන්න උණත් අලුත් කෙරේම නැතැයි. ඒව නොදැන වෙන්න බෑනෙ ඔය සල්ලිකාරයො වවන්නෙ. අනික කානු අඩු උණාම අපිට උණත් ලේසිනෙ දළු කඩන්න. ඔය ඉඩම පුරා පාරවල් ගහන්නෙත් සුද්දොන්ට බල බල යන්න වෙන්නැති. අපිට වගේ පිණි ගාලෙ ඇවිදින්න බැහැනෙ ඉතිං ඒගොල්ලන්ට. "

ඉඩම එළි කළ තදියමට හෝටල් ව්‍යාපෘතියේ ඊළඟ පියවර සිදු නොවිනි. ඉන්පසුව සිදු වූයේ එක් දිනක් සවස් වරුවේ පැක්ටේරි ඉඩම අසලට රතු සහ සුදු පටි රටාවකින් පාට කොට තිබුණ සිමෙන්ති කණු ගොඩක් ලොරියකින් ගෙනැවිත් දැමීමය. එහෙත් ඒ් වන විට එළි කරපු ඉඩමේ තැනින් තැන අඩි කීපයක්ම උසට වල් වැවී තිබිණි.

මාස හයක් වන මල්ලිලාගේ පාඨමාලාවේ සෑහෙන කොටසක් දැනට හමාර වී ඇති අතර ළඟක සිට ඔවුන් ප‍්‍රයෝගික කොටස්වලට හොා්ටල් වලට යවන්නට පටන්ගෙන තිබේ. එබැවින් ඇතැම් විට ඔවුහු සති අන්තයේද පුහුණුවට යති. හදන්නට ඉගැන්වූ කෑමවලින් තමන්ට නිවැරදිව හදාගත හැකි වූයේ පරාටා හා කොත්තු පමණක් බව මල්ලී කීවේය.

නංගී සහ සුදු නෝනා මාස දෙකක් එකදිගට මුහුණට කළ සුදුහඳුන් සත්කාරය නැවැත්තූහ. ඒ වෙනුවට ඔවුන් දැන් මාසයක් තිස්සේ ගාන්නේ බිත්තර සුදු මදය සමඟ කහ කුඩු මුසු කොට සකසාගන්නා ආලේපයකි. මේ කාලය තුළ තරුණි පත්තරයේ තිබුණු කෑම බීම වර්ග සකසා අත්හදා බැලීම් කරන්නට ඔවුන් ගත් උත්සාහය හරිගියේ රෝල්ස් හා පෑන් කේක් සම්බන්ධයෙන් පමණි.

එදා හවස අපේ ගෙදර පැමිණ සිටි ලොකු නැන්දාත් කතාවට වස්තු විෂය කරගත්තේ ලොරියේ ආගමනයයි.

"ඔය පාට පාට කණු ගෙනැල්ල තියෙන්නෙ හෝටල් වත්තවටේ වැට ගහන්නලු නේ. " ලොකු නැන්දා කියූ අයරින් එය ගමේ හොදින් පැතිරුණු ආරන්චියක් විිය යුතුය. උපාලි මාමාද කීවේ ඒවා මොනවාට යොදාගත්තත් එය හෝටලේට සම්බන්ධ යමක්ම විය යුතු බවය. ඒ අනුව මෙතෙක් හාවක් හූවක් නැතිවම තිබුණු හෝටල් ව්‍යාපෘතිය හෙට අනිද්දාම පටන්ගන්නවා ඇතැයි ඔහු දැඩි විශ්වාසයෙන් කීවේය.

ලොරියෙන් කණු ගෙනත් බෑ දවසේ දවසට පසුදින පැක්ටේරිවත්ත ඩෝසරයකින් නැවත තට්ටෙ ගාන ලදී. කාගෙත් ඇස් උඩ ගියේ ඊට පහුවෙනිදා එළි කරපු බිම පොඩි පොඩි කෑලිවලට බෙදා අර කණු හිටෙව්වාමය. එදාම රේඩියෝවේ දැන්වීම් ගියේය.

ටී ෆැක්ට්රි ගාඩ්න්

කීර්තිමත් පාසල්, දියුණු රෝහල්, සොදුරු මුහුදු වෙරළ, හා අභිමාවත් ඓතිහාසික උරුමයන් පිරිවරාගත් දකුණු ලකේ අග නගරය ගාලු නගරයට කිලෝමීටර් 13 යි. නිරන්තර කුරුලු ගී හඩ ඇසෙන නිසංසල ගැමි පරිසරයක, සරුසාර වෙල් යායකට මුහුණලා, ටී ෆැක්ට්රි ගාඩ්න්... මේ ඔබේ සිහින කැදැල්ල ඉදිකිරීමට සුදුසුම තැනයි. පරර්චසය රුපියල් 45000 සිට.


එළි කරන ලද බිම කැබලි කර විකුණන බවට ඒ වන තුරු හාවක් හූවක් වත් ගමේ ගොස් තිබුණේ නැත. ලොකු නැන්දා කීවේ තමන්ට දෙයියන් දළු කැඞීමට උරුම කොට ඇත්තේ ඇය එය නැවතූ දවස වන තෙක් පමණක් නිසා මෙය මෙසේ සිදුවන්නට ඇති බවය. පැක්ටේරි වත්ත වෙන්දේසි කළද බංගලාවේ හෝටලය දමනු ඇති බව තාත්තාගේ මාමාගේත් තව බොහෝ දෙනෙක්ගේත් විශ්වාසය විය.

ඉඩම් විකිණිම සදහා තාවකාලික කාර්යාලයක්ද ඉඩමේ පාරට ආසන්න කොටසක ඉදි කරන ලදී. ඉඩම් මිළදී ගැනීමට ඇත්තේ විශාල තරගකාරීත්වයක් බව ගමේ අය කතා වූහ. විවිධාකාර ලොකු ලොකු මිනිස්සු ඉඩම් මිළදී ගත් බවට කතා රාශියක් ද කියවිණි. එහෙත් ෆැක්ටේරි වත්තේ නිවාස තනා පදිංචි වූයේ තාර පාර කෙළවරේම පිහිටි ඉඩම් කොටස් දෙකක් මුලින්ම මිළදී ගත් වෛද්‍යවරු දෙදෙනෙක් පමණකි. ඔවුන්ට අමතරව ඉඩම් මිළදී ගත් අය පිළිබඳ වඩාත් විශ්වසනීය තොරතුරක් ලැබෙන විට නැවත කැලෑවට ගිය එළි කළ බිමේ වැඩුණු ගඳපාන ගස් මල් පිපෙන තරමට ලොකු වී තිබිණි. අතුරලියේ අයියා කියූ බව කියමින් ඒ ආරන්චිය අපට කිව්වේත් චමින්දමය. ඔහු දැනගත් තොරතුරු අනුව හොටෙල් ව්‍යාපෘතිය අඩ පණ වූයේ නඩුවලට හිරවීම නිසා බංගලාවේ හිච්චිමහත්තයලාට ඉඩම ෆිනෑන්ස් සමාගමකට කුණු කොල්ලයට විකුණන්නට සිදු වූ නිසාලු.

සිය පාඨමාලාව නිමා කරපු මල්ලී දැන් නැවතත් සිටියේ ගෙදරය. මාස තුනක් පමණ ඇතුළත කොග්ගල හෝටල කිහිිපයකම වැඩ කළ ඔහු හැමවිටම ඒවා හැර දමා ගෙදර ආවේ වැඩ කරන තරමට පඩි නැති බව හෝ මරවමින් වැඩ ගැනීම වැනිි හේතුවක් ඉදිරිපත් කරමිනි. ඔහුගේ සූප ශාස්ත‍්‍ර දැනුම කෙබඳුදැයි අපට බලාගන්නට කිසිම අවස්ථාවක් නොලැබුණත් හෝටල් ක්ෂේත‍්‍රය පිළිබඳව හසල දැනුමක් ඇත්තෙක් ලෙස කතා කිරීමේ හැකියාව නම් ඔහුට මොනවට ලැබී තිබිණි.

"වැඩක් නෑ. හෝටල් කියන්නේ තනිකර කැපිලි කෙටිලි තමයි. චෙෆාට, මැනේරයට අනික් ලොක්කොන්ට ගොට්ට ඇල්ලුවෙ නැත්තං ඉතිං ඌට සදා සොත්ති තමයි. අන්තිමයි ඒ අතින්. කොන්දක් තියාගෙන වැඩ කරන්න බෑ මේ ජොබ්වල. අපි දැන් ඉගෙන ගත්තා. දැනුම තියෙනවා. ඒත් වැඩක් නෑ. අපිත් වළං හෝදන තැන ඉදන් තුට්ටු දෙකට වැඩ කරන්න ඕන. හද්ද චාටර්. "

මේ අතර නංගී සහ සුදුනෝනා තරුණි පත්තරේ යන විවිධ කෑම වර්ග කිහිප වතාවක් සකස් කළහ. අම්මලා තෙල් පිටි සීනි වල මිළ ගැන කියා බැණ වැදීම ඒ දෙන්නා කණකට ගත්තේ නැත. හදන්නට උත්සාහ කළ බොහෝ කෑම වර්ග රෝල්ස් සහ පෑන් කේක් මෙන් ඒවා හරියට හදාගන්න බැරි උණු නිසා ඔවුහු ඒ පිළිබඳව යොාමු කළ ගැටලු දෙවරක්ම ඔවුන්ගේ නම් සහිතව පත්තරේ පළවිය. තාත්තා ගෙදරට එන කට්ටියට පේන්නට ඒ පත්තර කොටස් බිත්ති කැබිනෙටට්ටුවේ වීදුරු දෙක මැදට දමා තැබුවේ ය.

තේ කඩයක් අරඹන්නට තමාට අදහසක් ඇති බව චමින්ද කාලයක සිට කියමිින් සිටියද එය හරියන පාටක්වත් නොවීය. එහෙත් හෙට අනිද්දාම පැට්ටේරිි වත්තේ ඉඩමක තමා සිය හෝටලය දමන බව දිනක් ඔහු හදිසියේම අපේ ගෙදර පැමිණ කියා සිටියේය. මා එක්වරම ඇසුවේ වෙන්දේ්සි ඉඩමේ අනවසරයෙන් කඩ දාන්නේ කොහොමද කියාය. මගේ ඒ ප‍්‍රශ්නයත් සමඟ ෆැක්ටේරී වත්තේ ඉඩම් විකිණිල්ලට සම්බන්ධ තවත් කතාවක් ගමට එළි විය. ඒ අනුව තාර පාර අයිනේ ඉඩම් විකුණන කාර්යාලය හදා තිබූ ඉඩම් කැබැල්ල මුල් දිනවලම අතුරලියේ මහත්තයා මිළ දී ගෙන තිබේ. තවමත් එහි ඇති වෙන්දේසි සමාගම ඉදි කළ කුටියේ තේ කඩයක් ඇරඹීමේ අදහස චමින්දට දී ඇත්තේද අතුරලියේ අයියා විසිනි.

"අතුරලියෙ අයිය කිව්ව මල්ලි උඹ මාසයක් දෙකක් යනකං දියුණු වෙයං. එතකං මට කඩ කුලී එපා. ඊට පස්සෙ පුලුවන් ගාන දියන් කියල. මාර හොඳ මනුස්සයෙක් බං. බලපං අඳුනගෙන හිටපු එකේ වටිනාකම"

බංගලාවේ ටුවරිස් හෝටලක් ඉදි කරන බවට පැතිරුණු කතාව තරම් ආන්දෝලනයක් ඇති කරන්නට සමත් නොවුණද චමින්ද විසින් හෝටලයක් දමන්මට යාම ගැනද ගමේ මිනිස්සු යහමින් කතා කළහ. එය අතුරලියේ මහත්තයාගේ තවත් දහංගැටයක් විය හැකි බව ඇතැම්හු කීහ. දමන්නට යන්නේ තේ හා කඩයප්පන් එක්ක කොත්තු කඩයක් බව කවුරු කවුරුත් දැන සිටියත් චමින්ද විසින් හඳුන්වන පරිදි අනෙක් මිනිස්සුද එයට හෝටලය යන වචනය පාවිච්චි කළහ.

මල්ලී චමින්දගේ හෝ්ටලයේ කොත්තු බාස් වෙන්නට එක පයින්ම කැමති උණේ ය. අම්මා නම් කීවේ කෑම සකස් කරන්නට තබා මිනියක් මැරෙන ආරංචියකටවත් ඔහු උදේ රැයින් නැගිටිතැයි සිතනවා නම් චමින්දට මොළේ අමාරුවක් තිබෙන බවය. හෝටලයට පෑන් කේක් සහ රෝල්ස් සැපයීමට අපේ නංගී සහ සුදු නෝනා බාරගත් බව අපි දැනගත්තේ චමින්දගෙන්මය.

එය දැනගත් මොහොතේ අම්මා කීවේ මුලදී උඩ පැනගෙන බාරගත්තත් අවසානයට ඒවා හදන්න කරදර වෙන්න වෙන්නේ තමාටමය යනුවෙනි. අම්මලා විරුද්ධ වුවත් නංගිලා කීවේ තමන් අවුරුදු ගණනක් තරුණි පත‍්‍රයෙන් උගත් දෙයන් ප‍්‍රයෝජනයක් ගැනීමට ලැබුණු අවස්ථාව අපතේ හැරිය නොහැකි බවය.

"නිකං ඉන්න එකේ මං ඉදිආප්ප ටිකක් උදේට උදේට දාන්නං" කියා ලොකු නැන්දාත් කිව්වාලු.

හෝටලය සුබ නැකතට විවෘත කරන දිනයට සතියකට පෙර දිනයක මම මිදුලේ ඉදිද්දී චමින්ද බයිසිකලයෙන් පැමිණියේ හෝටලයේ නාම පුවරුව ඇදීමට බාර දීමට යන බව කියමිනි.

"මොකද්ද හෝටලේට දාන නම? "

"ආයෙ මොකද්ද ඉතින්. අපි වැඩ කරන්න හිතං හිටපු ටුවරිස් හෝටලේ නමම තමයි. " ඔහු බයිසිකලයට නැගෙමින්ම කීවේය

චමින්ද පිටත්ව ගිය මොහොතේ සිට මම ඔවුන් ටුවරිස් හෝටලයට දී තිබූ නම කුමක්ද යන්න මතක් කරගැනීමට උත්සාහ කළෙමි. එය මගේ මතකයට ආවේ සෑහෙන වේලාවකට පසුයි. මම එදා දුටු ඇනිකට් කඩේ දොරේ අලවා තිබුණු පෝස්ටරයේ හෝටලයේ නම දක්වා තිබුණේ "ඞී‍්‍රම්ස් ඉන්" යනුවෙනි. එවැනි නමක් කොත්තු කඩයකට නොගැලපෙන බව මට තේරුණත් චමින්දට එය පැහැදිලි කරන්නේ කෙසේදැයි මට අවබෝධයක් තිබුණේ නැත. ගමේ මිනිස්සු ඔය නම් වල තේරුම් නොසොයනු ඇති බව සිතා මම ඒ ගැන වැඩිදුර කල්පනා නොකර සිටියෙමි.

චමින්ද හෝටලයේ බෝඞ් එක අන්දවාගෙන ආවේ කඩේ විවෘත කරන දිනයට පෙර දිනයේය. මට තිබුණු කුතුහලයක් ඇති උණේ "ඞී‍්‍රම් ඉන්" යන්න ඔහු ලියවා ඇත්තේ සිංහලෙන්ද ඉග‍්‍රීසියෙන්ද යන්න බලාගැනීමටයි. එහෙත් එහි කලු පැහැ පසුබිමක කහ පැහැ සිංහල අකුරින් අර්ධ කවාකාර හැඩයෙන් යුතුව ලියා තිබුණේ "ටුවරිස් හෝටලය" යනුවෙනි.

[සිතුවම : Jack Morefield]

බී.ජී.එම්. ජනප‍්‍රිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



නැගිටපන්!! දැන් නත්තල
මොකද විස ගුලි හිත්වල?
හතර රියනකට වැඩි
වපසරිය ලැබ ගන්න
පොරමඬල දැන් ඉහල තැන්වල..

උන්නාට කරට අත දමා ගෙන
ලද ඇසිල්ලේ ඉවත බලා ගෙන
ගසන්නට මඩ ගත්තු දෑත්වල
කුණු ඇඳුුමෙ පිටිපස්සෙ උලා ගෙන

දරා ගන්නට හොහැකි ලද කොටස
මරා ගන්නට ඉදිරි සැප පිණිස
හුවා දක්වති, පාට ගල් බෝල
කුඩු කෑ වගක් කියා ගනු කෙලෙස

හුවමාරුවට කැමති චලිතය
වැඩි වාසි තැන් අබිව කුපිතය
කුරුසියේ ඇණ ගැසූ මතකය
දවයි නොමිනිස් කමේ චිතකය

විකුට සාමයෙ මල්ල පුරවන්න
සේරිවාණිජ කපටි රැල මෙන්න
නිකට අත තබාගෙන හූල්ලති
ඇත්පොරේ අඬහැරේ අසා ගෙන

ජේසු බැස කුරුස කඳුු පා මුල
යදී විත් සමරන්න නත්තල
ගව ලෙනත් විසුණු කොට පාට වේදිකා මත
උල් කුරුස උන් හැමගෙ අත්වල

නැගිටපන්.. මේ නත්තල!
මොකද විස ගුලි හිත්වල..?

ජයන්ත නිමල්සිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



මෙම පින්තූරය PhotoShop කළ ද එය ලංකා සමාජයේ සත්‍යය පෙන්වීමට කදිම නිදසුනක් යැයි මම සිතමි. එය අප සමාජයක් ලෙස ඇවිත් තිබෙන දුරය. නලින් ද සිල්වා ජාතිය ගැනත් ගම්මන්පිලලා බුද්ධාගම ගැනත් කියන විට දුමින්ද සිල්වලා අපට නම් ඔය කිසිවක් අදාල නැහැ හැබැයි අපි දන්නවා බල්ලෝ මරලා හරි සල්ලි හොයන විදිය යැයි කියන්නට විය. මා කියන්නට යන්නේ දේශපාලනය යනු ආර්ථීකය වැඩ කරන විදිය අවබෝධ කරගැනීම අනිවාර්ය කොන්දේසියක් යැයි කියාය.

නිව්ටන් ගුණසිංහ 1983 දෙමළ සංහාරයෙන් පසු ලංකාවේ දේශපාලන ප්‍රතිවිරෝධී අක්ෂවල සිදුවූ වෙනස අර්ථකථනය කළේය. එනම් 1983ට පසු ඊට පෙර තිබූ පන්ති ප්‍රතිවිරෝධයන් දේශපාලන අක්ෂ වාර්ගික ප්‍රතිවිරෝධයන්ගෙන් අධිනිශ්චය විමය. මෙම අක්ෂයන්හි මතවාදී නායකයෝ වූවෝ නලින් සහ අමරසේකර පෙරටු කොටගත් නඩය ය. ඉන් පසු චම්පික හා ගම්මන්පිලලා, සෝම හිමි විසින් ඔසවා තැබූ වෙළඳපලකරණය වූ බුද්ධාගමෙහි බැටන් පොල්ල ගෙන හනි හනිකේ පාර්ලිමේන්තු බලයට හේත්තු විය. ඔවුන් වන්දනා මාන කර සැදු දේශපාලන නඩය මහින්දගේ ආණ්ඩුව විය. මේ පින්තූරය මොවුන් සියල්ල ප්‍රාර්ථනා කළ සහමතික ලෝකය යැයි මම සිතමි. නලින් ද සිල්වා සිංහල ජාතිය ගැන කියන විට ඔහු පරිකල්පනය කරන ලද්දේ මෙවැනි සමාජයක් නොවේද? චම්පිකලා සිහින දැක්කේ බොහෝ අනෙකුත් බෞද්ධයන් මෙන් කුඩු මුදලාලිලා පන්සිල් ගන්නා සිල්වත් යුගයක් නොවේද? දැන් ඔවුහු සියල්ලෝම පන්සිල් ගන්නා සිල් සමාදන් වන බෞද්ධයන්ය.



නලින්ගේ සාහිත්‍යයෙහි ඔහු දක්වන්නේ අප රට ඇත්තේ සිංහල බෞද්ධ ජාතිය පමණක් බවත් අනෙකුත් රට වැසියන් ජනවර්ග පමණක් බවත්ය. එපමණක් නොව සිංහල ජාතිය ගැන දැනගත හැක්කේ ඉවෙන් පමණක් බවද ඔහු කියා ඇත. සංජානනය සංවේදනයට වඩා බලවත් බව ඉන් අදහස් වේ. ඔහුම පමණක් දන්නා මේ ඉව ඔහු පැහැදිලි නොකළේය. ඒ වෙනුවට සිංහල බෞද්ධ ජාතිය යනු තම ජාතිය නැතහොත් ඉව වෙනුවෙන් මරාගෙන මැරෙන ජාතියක් බවත් නලින් නඩය මේ ඉව නොදන්නා අනෙකුත් ජනයාට සංවේදනය කළේය. එමෙන්ම වාසනාවකට සිංහල බෞද්ධ විඥානය නලින් පමණක් දන්නා නිසා දුමින්ද සිල්වා තුළින් සිංහල බෞද්ධ ආත්මය ඔහු සොයා ගෙන ඇත. වැරදුනේ ඔහුට නොව ඔහුගේ මේ ඉවේ කතා බරසාර ලෙස ගත් වමට බර බුද්ධිමතුන්ටය.

ඒ අනුව ඔහුව බරපතල ලෙස ගත් උදවිය ලංකාවේ ඒ බර පසුකාලීනව NGO සමාජයක් බවට පත් කළ අතර එම ඉවට දැක්වූ විරෝධය NGOකරණය විය. විශාල ධනස්කන්ධයක් ඉන් ඉපයූවාය. ඉතින් නලින්ලා එමගින්ද තම ඉව ඔසවා තැබීමට අදාල තත්වයන් නිර්මාණය කරගති. සමහර කථිකාචාර්යවරුන් අදටත් පවසන්නේ න්‍යාය කඳුලක්වත් දේශපාලනය කිරීමට අවශ්‍ය නැති බවයි. ඇත්තය. ඔවුුන් එසේ කියන්නේ ලංකාවේ 1956 පසු ඇති වූ දේශපාලන තත්වයන් සලකා බලා ලැබූ පන්නරයෙන් විය හැකිය. එනම් 1956 පසු ඇති වූ ජාතිකත්වය මුල් කරගත් දේශපාලනයත් ඉන් පසු 1983 පසුව ඇති වූ ඊට විරෝධි තත්වය NGOකරණය වීමත් වූ දේශපාලනය ය. මන්ද මෙම දේශපාලනය මහා ලොකුවට යොදාගත් න්‍යායක් නැති නිසාය. එනම් වමට බර බුද්ධිමතුන්ට සිදු වූයේ ආර්ථීක දේශපාලනයෙන් ලංකාව තේරුම් ගන්නවාට වඩා නලින් නඩයේ ඉවෙන් ලංකාව තේරුම් ගන්නට යාමය. නලින්ව බරපතල ලෙස ගත් අය තේරුම් නොගත් දෙය වූයේ සමාජයක් වැඩ කරන්නේ ආර්ථීකයේ දේශපාලනිකයෙන් මිස චින්තනයන්ගෙන් නොවන බවය. දෘශ්ටිවාදීන් ඇත්තේ ආර්ථීක දේශපාලනය වසන් කිරීමට බවය. එය අනවබෝධයේ ප්‍රතිඵලය ලෙස වමට බර දේශපාලකයින් ද ඇතුලත් කරගත් නලින්, අමරසේකර, ගම්මන්පිල, දුමින්ද, මහින්ද, ජී එල්, මර්වින් හා දයාන් යන සියල්ලම එකම සමස්ථයක අද අපට හමු වෙයි.

වමට බර දාර්ශනිකයෙකු වන සිසෙක් පවසන්නේ පෙරදා සමස්ථය ලෙස හදුනා ගත් 'සමාජය හා එය නොවන දේ' හි බෙදුම් රේඛා මැකී ගොස් ඇති බවයි. තෝරාගැනීමෙහි තත්වයන් ප්‍රතික්ෂේපව ගොස් ඇත. ඔහුගේ න්‍යායික වියමනක් වන Class Struggle or Postmodernism? Yes, Please! (2000) හි දක්වන සරදම් විහිලුවකට අනුව තේ එකක් බොන්නට යන තැනැත්තෙකුගෙන් කඩයෙහි සේවකයා 'තේද කෝපීද බොන්නේ' යැයි ඇසූ විට එම තැනැත්තාගේ උත්තරය වූයේ 'ඔව් ගේන්න' කියාය. එනම් අප නොදැනීම තෝරා ගැනීම් ප්‍රතික්ෂේප කර ඇති බවයි. අප විසින් තව දුරටත් තෝරාගැනීම් ඉල්ලා නොසිටින බවයි.

සියලු සද්භාවයන් එක් වූ සමස්ථයක් යන්නෙහි විය නොහැකිභාවය පැහැදිලි නිසාම අවම වශයෙන් අපට තෝරා ගැනීමට මග සලසන බෙදුම් රේඛා පැහැදිලිව තබා ගැනීමේ අරගලය ගෙන යා යුතුය. වම නැතහොත් සද්භාවය විකිණෙන විට අප කලබල විය යුත්තේ එම නිසාය. වම, අඩුම තරමේ අපගේ හදවතේ යහපත් කොටස මිලට ගැනීමට ඉඩ නොදිමේ අරගලයට පණ පෙවීම අත් නොහැරිය යුතුයි. අරමුණ එකක් නම් බෙදුම් රේඛා අවශ්‍ය නැති බව පවසන්නේ ලිබරල්වාදී දේශපාලනයෙහි නිරත වෙන්නන්ය. ඔවුනට අනුව ඕනේ කෙනෙක් වැරදි කර ආ විට අපි කිසිවක් නොකියා ඔවුන්ව භාර ගත යුතුය. මීට උදාහරණයක් නම් සෝමරත්න දිසානායකලා වැනි මිත්‍ර දෝහී ඇම්බැට්ටයන් ආණුඩුවෙන් ආ විටද අපි කිසිවක් නොකිව යුතුය. ඊට හේතු නම් ඔවුන්ගේ සිත් රිදෙන නිසාය. සිත් රිදී නැවතත් උන් සිටි තැන්වලට යා හැකි නිසාය. ඔවුන්ට කරන විවේචන විරුද්ධවාදීන් අතට පත් විය හැකිය. මේ කුමන වර්ගයේ තර්ක දැයි මා නම් දන්නේ නැත. මන්ද මොවුන් ආණ්ඩුව සමග එක් වී සිය දහස් ගණන් තක්කඩි වැඩ කර මලු තද කරගන්නා විට ඒ ක්‍රමය නැවතත් ප්‍රතිනිශ්පාදනය වන බව නොදැන සිටින්නට තරම් ඔවුන් බබුන් ලෙස අප සැලකිය යුතු යැයි සිතීම තාර්කික නැති නිසාය. ප්‍රතිපත්ති නැති මිනිසුන් තක්කඩින්ය. අවම තරමේ තමන් කළ වැරදි පිළිබද පාපොච්චාරනයක්වත් කළ යුතුය. අද එකක් කියන්නටත් හෙට එකක් කියන්නටත් බැරි බව අප විශ්වාස කරන්නේ මිනිසුන් කිසිවක් නොදන්නා සැණින් පිරවිය හැකි හිස් ගෙඩි නොවන නිසාවෙනි. ඒ නිසාම අප සෝමරත්නලාට සරලව කිව යුත්තේ වෙස් මුහුණට යටින් කිසිවක් නැති බවයි.

නලින්ලා බරපතල ලෙස ගැනීම වමට බර බුද්ධිමතුන්ට වැරදීමක් බව පසක් කළ යුතුවාක් මෙන්ම අවම තරමේ වම නැතහොත් සද්භාවය හීලෑ කිරීමට ආර්ථීක දේශපාලනයට ඉඩ නොදිය යුතුය. ආර්ථීකය චින්තනයන් පාලනය කරනවා මිසක චින්තනයන් සියල්ල තීරණය කරනු ඇතැයි සිතීම අඥාන කමකි.

ගීතිකා ධර්මසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



කමල් පෙරේරාගේ නවතම කෘති දෙකක් 2014 දෙසැම්බර් 23 දා, අඟහරුවාදා, සවස 3.00ගොඩගේ පොත් මැඳුරේදි එළි දැක්වීමට කටයුතු යොදා තිබේ. To The Summit නමින් විජිතා ප්‍රනාන්දු විසින් පරිවර්තිත කමල්ගේ 'මුදුන' නවකතාවේ ඉංග්‍රීසි කෘතිය ඉන් එකක් වන අතර අනෙක වන්නේ 'ලෝක පූජිත ලේඛක පියදෝර් දස්තයෙව්ස්කි' නම් කෘතියයි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ටෙරී ඊගල්ටන් විසින් රචිත Why Marx Was Right කෘතියේ සිංහල පරිවර්තනය 'මාක්ස් නිවැරදි ඇයි?' නමින් එලිදැක්වීමට විප්ලවවාදී ශිෂ්‍ය සංගමය කටයුතු යොදා ඇත. මෙම කෘතිය තුළ ටෙරී ඊගල්ටන් මාක්ස්වාදයට සහ සමාජවාදයට එරෙහිව ප්‍රකටව පවතින විවේචන කිහිපයක් සාකච්ඡාවට ලක් කරමින් මාක්ස්වාදය වර්තමාන යුගයට අදාළ වන ආකාරය පිළිබඳ කරුණු දැක්වීමක් සිදු කරයි. කෘතියේ සිංහල පරිවර්තනය එලිදැක්වීමේ සම්මන්ත්‍රණය 2014 දෙසැම්බර් 23 දා පව 3.00 ට කොළඹ 7, විජයරාම මාවතේ, හෙක්ටර් කොබ්බෑකඩුව ආයතනයේ දී පැවැත්වීමට නියමිතය. ආචාර්ය සුමනසිරි ලියනගේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික පුබුදු ජයගොඩ එහි දී අදහස් දැක්වීම් සිදු කරනු ඇත.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



"නියඟලා ප්‍රේමය", 2015 ජනවාරි 16 දා, ප.ව. 6:30ට, කැළණිය විශ්ව විද්‍යාලයීය එළිමහන් රංග ශාලාවේදී වේදිකාගත කෙරේ. එම නාට්‍යය Federico Garcia Lorkaගේ, Blood Wedding නාට්‍යයයේ සිංහල පරිවර්තනයකි. අධ්‍යක්ෂණය දිනේෂ් සඳරුවන් සමහ සුදේෂා ලක්මාලිගෙනි. පෙළ පරිවර්තනය හේමමාලි ගුණසිංහගෙනි. "ඇකඩමික් ප්ලේයර්ස්" ඉදිරිපත් කිරීමකි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ධනංජය කරුණාරත්න මෙතෙක් සිංහල නාට්‍ය කලාව තුළ සුවිශේෂ ලෙස සාකච්ඡාවට භාජනය නොවූ, ශ්‍රී ලාංකික විවාහ සංස්ථාව තුළ පවතින ලිංගිකත්වයේ එක් පැතිකඩක්, සහ වේදනාත්මකව ව්‍යවඡෙදනයට භාඡනය කරයි. ඔහු, එම විවාහ සංස්ථාව තුළ පවතින අඹුසැමියන් ගේ නිදියහන සහ එහි නග්නත්වය ඉතා ශුර ලෙස පොදු අවකාශය තුළට ගෙන එයි.

තිරය දිග හැරෙන විට රසිකයා වෙත දර්ශනය වන්නේ මන්දගාමිව භ්‍රමණය වන, නිදි යහනක් මත එකිනෙකාට පිටුපා වැතිරී සිටින ගැහණියක සහ පිරිමියෙකු, නිදා සිටින්නාක් මෙන් සිටියත්, නොනිදා සිටින ආකාරයයි. ක්‍රම ක්‍රමයෙන් රසිකයාගේ අවධානයට ලක්වන්නේ, ගැහැණිය සිය දැස් විදා, කල්පනාවේ නිමග්නව සිටින ආකරයත්, පිරිමියා ස්වයං වින්දනයේ යෙදෙන බව සංකේතවත් වෙන සියුම් හැඟවුම්කාරකයන් ය. පිරිමියාගේ චර්යාව වටහාගත් සැණෙන්, ගැහැණිය, කෝපාග්නියෙන් සලිතව, ඔහුව නිදියහනෙන් ඉවතට ඇද දමන මොහොතේ දී ම නාට්‍ය පෙළ අවදි වෙයි. ගැහැණිය (මායා), බිරිඳ බවත්, පිරිමියා (තිස්ස), ඇයගේ ස්වාමියා බවත්, රසිකයාට ග්‍රහණය වේ.

එතැන් පටන් මෙම ගැහැණිය සහ පිරිමියා අතර ඇතිවන සංවාදයෙන්, රසිකයා මහත් සේ කම්පනයට පත්වේ. එම සංවාදයෙන් රසිකයාට විදාරණය වන්නේ, තම විවාහ සංස්ථාව තුල, මෙතෙක් හැසිරී ඇති ආකාරයේ, වංචනිකභාවයත්, දෙබිඩිභාවයත්, අඹුසැමියන් ලෙස සැළමුතු පෙමින් යුතු ව එකිනෙකාට ගෞරව කරමින් සිටිනවා වෙනුවට, පුහු සමාජ වටිනාකම් වලට මුල්තැන දෙමින් ජීවත් වීමට සිදුවීමේ ඛේදවාචකයයි. නාට්‍යකරුවා, සමස්ත නිර්මාණය තුල තම පාත්‍ර වර්ගයා කෙරෙහි දක්වන සහකම්පනය විස්මිත ය. ඔහු කිසිවෙකුට අගතිගාමී නොවේ.

ධනංජය මෙහිදී ඉතාම සුක්ෂම ආකාරයෙන්, පුරුෂෝත්තම සමාජ ක්‍රමය තුළ පවතින ස්ත්‍රී පීඩනයේ කුරිරුභාවය සහ තිරශ්චීනත්වය ඉතාම විශද ආකාරයෙන් කරලියට ගෙන එයි. මෙහි ඇති සූක්ෂමත්වය කෙසේ ද යත්, බිරිඳ ගේ වේදනාව වෙනුවෙන් කම්පනයට පත්වන රසිකයා, එම වේදනාවෙන් මතුවන වෛරය, සැමියා කෙරෙහි සාකල්‍යයෙන් ම මුදා නො හරී. තනි තනි පුද්ගලයන්ට ස්ත්‍රී පීඩකයන් වශයෙන් හැසිරීමට තිබෙන අවකාශයට එරෙහි විය යුතු වුව ද, ස්ත්‍රී පීඩනයේ මූලහේතුව පුරුෂයා නොවේ. පුද්ගලික දේපළ ක්‍රමයක් තුළ පවතින පුරුෂෝත්තොමවාදී විවාහ සංස්ථාව තුළ පුරුෂයන් සහ ස්ත්‍රීන් මෙසේ හැසිරීම අහම්බයක් ද නොවේ. එක්දහස් අටසිය අසූහතර තරම් ඈත කාලයක ප්‍රෙඩ්රික් එංගලස් විසින් ලියූ "පවුලේ සම්භවය, පෞද්ගලික දේපළ සහ රාජ්‍යය" යන කෘතිය තුළ ස්‍ත්‍රී පීඩනයේ නිදාන කාරණය ලෙස හැඟවෙන්නේ න්‍යෂ්ටික පවුලයි.

මායා සහ තිස්ස සිය ජීවිත තුළ ඇති ආතතීන් මුදා හරින සංවාදයේ එක් කොටසක, සිය විවාහ බන්ධනය නීත්‍යනුකූලව සිඳ දැමීමේ, සැඟවුණු නොතිත් ආශාව හෙළි කරයි. එහෙත් එය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් නො කරගෙන, දෙදෙනා විසින් දෙදෙනාම පරිපීඩනයට ලක් කරගනිමින් එම න්‍යෂ්ටික පවුල තුළම ජීවත් වෙයි. අද්‍යතන සමාජය තුළ විවාහය නැමැති සංකල්පයට, 'සත්‍ය ප්‍රේමය' මත පදනම් වූ, සිහිනයක් බඳු වූ අරුමැසිවාදී පරමාදර්ශී බවක් ආරෝපණය කර තිබේ. එහෙත් එහි මග නො හැරිය හැකි යථාර්ථය නම්, විවාහය නිසර්ගයෙන් ම දේපළ මත බැඳුන සම්බන්ධතාවක් බවයි. කිසිවකුට මේ ගැන සැකයක් උපදී නම්, ඇය හෝ ඔහු, දික්කසාද නඩු ඇසෙන උසාවියක කෙටි කාලයක් ගත කිරීමෙන් එම සැකය ක්ෂණයෙකින් දුරු කරගත හැකි වේ!

මෙම නාට්‍ය තුළ පවතින විවිධ යටි පෙළ කෙරෙහි අවධානය යොමු කරන රසිකයාට ගම්‍ය වන්නේ, සිය මූලික තේමාවෙන් බැහැර නොවී, ඒ වටා ඇති උප තේමාවන් නාට්‍යකරුවා, සිය කලාත්මක සත්‍ය ගවේෂනය සඳහා යොදා ගන්නා ආකරය යි. මා සිතන ආකරයට, මෙහි මූලික තේමාව ලෙස ඉදිරිපත් වන්නේ ධනේශ්වර සමාජයක පවතින නිෂ්පාදන අවශ්‍යතා සහ වටිනාකම් මත පදනම් වූ විවාහ සංස්ථාව තුළ ඇති අනේක විධ සමාජ පීඩනයන්, කුටුම්බයන් තුළ ජීවත් වන ගැහැණුන්ගේ සහ මිනිසුන් ගේ මානුෂික සබඳතාවන් සුනුවිසුණු කරන අකාරයයි.

මෙහෙදී, මායා සහ තිස්ස, මධ්‍යම පන්තික කුටුම්බයක් ලෙස නාට්‍ය තුළ සංකේත වන බව පෙනුණ ද, ඔවුන් ආර්ථික පීඩනයෙන් පෙළෙන බවක් නො පෙනෙන බව කිව යුතු ය. ප්‍රේක්ෂකයාට එසේ අවධාරණය වන්නේ, නාට්‍යයේ එක් අවස්ථාවක, තිස්ස මායා ට චීනයෙන් තෑග්ගක් ගෙන ආ බවට සඳහන් වන නිසාවෙනි. එබැවින් මෙම නාට්‍යයේ මූලික ගැටුම සමාජ පීඩනය නැමැති මානය තුළ පමණක් දෝලනය වන බව සඳහන් කළ යුතු ය.

මුල් අවස්ථාවේ සිට ම වෛහිවාහික ලිංගිකත්වයේ ගැටුම් අවධාරණයට ලක් කරමින් නාට්‍ය පෙළ දිග හැරුණ ද, මානව සබඳතාවන් ගේ සංකීර්ණත්වය සහ එම සබඳතා ස්ථාන ගත වී ඇති සමාජ සන්දර්භය, පුරුෂෝත්තමවාදී සමාජ සම්බන්ධතා ඇතුළත ඇති ස්ත්‍රී පීඩනය, අද්‍යතන සමාජය තුළ අක් මුල් සිදී ගිය තරුණ්‍යයයේ අපේක්ෂාවන්, නාට්‍ය කරුවා ප්‍රේක්ෂකයාගේ අවධානයට ලක් කරයි.

නාට්‍යකරුවා, විවාහ සංස්ථාවේ දෘශ්‍යමානය විනිවිද එහි යථාර්ථය නිරාවරණය කිරීමේ සමස්ත වෑයම, තමා විසින් තෝරාගත් පරාසයකට සීමා කිරීමෙන් පෙන්නුම් කරන්නේ, ඔහු ගේ අවමතාවාදී එළැඹුම (minimalist approach) යි. මා මෙසේ පවසන්නේ, වර්තමාන සමාජයේ, දරුවන් කීපදෙනෙකු ඇති මධ්‍යම පාන්තික පවුලක් මුහුණ දෙන සමාජ ආර්ථික ගැටලු, විශේෂයෙන් ආර්ථික ගැටලු, පොදු යථාර්ථයක් ලෙස, මෙම නාට්‍යය තුළ සංවාදයට බඳුන් නොවන නිසාවෙනි. එබැවින් නාට්‍යකරුවා, තම මූලික තේමාව, වෛහිවාහික ලිංගිකත්වයට සීමා කරගනිමින්, එහි විවිධ මානයන්, ඉතා ගැඹුරින් සංවාදයට ලක් කරමින්, යථාර්ථය ප්‍රතිනිර්මාණය කරයි.

වේදිකාව මත මැවෙන, මායා, තිස්ස සහ විසල් යන චරිත ත්‍රිත්වය, එකවිට ම ප්‍රේක්ෂකයාගේ මුණුණට දර්පණ තලයක් එල්ල කර, එය දෙස බලන ලෙස ඉල්ලමින්, ඔවුන් සියල්ලන් ම එදිනෙදා අඩු වැඩි වශයෙන් අත්දකිමින් සිටින ජීවිත යථාර්ථයන් එළි දක්වයි. නාට්‍යයේ එක් අවස්ථාවක, මායා, විසල්ට මෙසේ පවසයි. "අපි උගුලක අහුවෙලා ඉන්නේ විසල්". එකිනෙකාට ගෞරව කරමින්,ප්‍රේමයේ සුන්දරත්වය විඳගැනීම වෙනුවට ඔවුනට සමාජය විසින් බල කර සිටින්නේ චිරාගත සමාජ සම්මතයන් ට අනුව ජීවත් විය යුතු බවයි.
අවුරුදු හැටපහක් වයසැති මායා, ඇයගේ ගේ ජීවන අපේක්ෂාවන්, තිස්සගෙන් ඉටු නොවීමෙන් පසු, විසල් නැමැති භද්‍ර යෞවනයේ පසුවන තරුණයෙකු සමග සුපිරිසුදු මානුෂික සබඳතාවක් ඇති කරගන්නට වෙර දරයි. රෝස මලක් අතැතිව එන විසල්, මායාගේ ෆැන්ටසියයි. ඇත්ත වශයෙන් ම මෙවැන්නක් තථ්‍ය ලෝකයේ සිදු විය නොහැකි බැවින්, නාට්‍ය කරුවා, එම හමුවීම ෆැන්ටසියක් විලස ම ඉදිරිපත් කරයි.

විසල් සිය සම්පර්කයට පැමිණි මොහොතේ සිට ම, මායා, යාන්ත්‍රික විවාහ සම්බන්ධතාවන් එරෙහි ව, බුද්ධි ප්‍රභාන්විත, ආශ්වාද ජනක, නිර්ව්‍යාජ මානුෂික සබඳතාවන් ගේ සුන්දරත්වය, විසල්ට පහදා දීමට උත්සාහ කරන්නී ය. එහෙත් තරුණ්‍යයයේ ලිංගික අව්‍යශ්‍යතාවන් මතින් මෙහෙයවෙන විසල් ට, එවන් සශ්‍රීක මානුෂීය සබඳතා ඇති කරගැනීමේ අපේක්ෂාවක් නැත. ඔහු ගේ අවශ්‍යතාව වන්නේ හැකි ඉක්මණින් මායා සමඟ යහන්ගත වීම ය. විසල් නියෝජනය කරන්නේ අක්මුල් සීදීගිය, අධ්‍යාත්මික පරිපෝෂණයෙන් සහ උසස් සෞන්දර්යමය හැඟීම් වලින් විහීන තරුණ පරපුරක් බව, නාට්‍ය කරුවා ඉතා ප්‍රබල ව ධ්වනිත කරයි.

නාට්‍ය අවසානයේ දී මායා, විසල් සමග යෙදන සම්භෝග රතියෙන් මරණයට පත් වේ. ජුගුප්සාජනක වූ සියලු සමාජ රැහැන් වලින් විනර්මුක්ත, සුසංවේදී මිනිස් සබඳතා ඇතිකර ගැනීමේ අභිලාෂයෙන් මිය යන මායා කෙරෙහි රසිකයා තුළ ඇතිවන සහකම්නය ඉතා ප්‍රබල ය. ඇය ආත්ම ගරුත්වයෙන් සහ ආත්ම පරිපුර්ණත්වයෙන් යුතු ජීවිතයක් ඇති කරගැනීමේ පරම පිවිතුරු අපේක්ෂාව ඉටු කරගැනීමට නොහැකිව මිය යයි. එහෙත් එම අත්දැකීමෙන් කම්පනයට පත්වන ප්‍රේක්ෂකයා නාට්‍ය ශාලාවෙන් පිටතට පිය මනින්නේ, එවැනි පරිපුර්ණත්වයකින් යුතු ජීවිතයක් ඇති කරගැනීම කෙරෙහි ඇති ලාලසාවන් දල්වාගෙන ය.

මෙහි එන ත්‍රිත්ව චරිත නිරූපණයට පණ දෙන කෞශ්‍යලා ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර සහ ජගත් මනුවර්ණ, සිය චරිත වලට නිසර්ගයෙන් ම ආවේශ වේ. අතුරුබිඳුමක් නොමැතිව දිවෙන මෙම නාට්‍යයේ ජීවත් වන නිළි නඑවන් තිදෙනා ගේ ජීව ගුණය එහි පටන් ගැන්මේ සිට සමාප්තිය දක්වා, ප්‍රේක්ෂකයා ගේ අවධානයට ඉතා තදින් ග්‍රහණය වේ.

ධනංජය කරුණාරත්නයන් සිය "සිහින රඟහල" නැමැති කෙටි නාට්‍ය සංග්‍රහය තුල නිර්මාණය කළ "ඔබ සාපේක්ෂයි" නාට්‍යයෙන් ගැහැණිය සහ පිරිමියා අතර ඇතිවිය යුතු සමානාත්මතාව පිළිබඳ කතිකාව, "ඇසිඩ් වැස්සෙන්" ඉතා ඉහළ මට්ටමකට ගෙන යයි. මෙම පර්වර්තනය, නාට්‍යකරුවා කාලානුරූපීව, බුද්ධිමය වශයෙන් සහ නාට්‍ය තාක්ෂණය අතින් පරිපාකයට ගිය බවක් පෙන්නුම් කරයි. මෙහි දී වඩා වැදගත් වන්නේ, මෙම තේමාව සූක්ෂම ලෙස සහ ඕලාරික නොවන ලෙස කරලියට ගෙන ඒමේ දී ධනංජය විසින් ප්‍රකට කරන කලා ප්‍රතිභාව සහ නිර්භීතභාවයයි.

ධනංජය සිය රංගපත්‍රිකාවට ලියූ සටහනේ උපුටනයක් ගෙන හැරපාමින් සහ ඒ පිළිබඳ අදහසක් දක්වමින් මෙම විමංසාව සමාප්ත කරමි.

".....මම හැමවිටම නාට්‍යයක් අලුතින් නිර්මාණය කරන විට ආකෘතියෙන් මෙන් ම අන්තර්ගතයෙන් ද පවතින සීමාවන් ඉක්මවා යන්නට උත්සාහ කරමි. සමහර විට ඇසිඩ් වැස්ස සම්මත සදාචාර සීමාවන් ඉක්මවා වඩා ම ඈතට යන්නට උත්සාහ කළ නාට්‍යයක් විය හැකිය. මෙම නාට්‍ය සංකල්පනාව බොහෝ කලක සිට මා තුල පැසවමින් තිබිණ. කෙසේ හෝ වර්තමාන ශ්‍රී ලංකාවේ මේ ආකාරයේ නාට්‍යයක් වේදිකා ගත කළ පසු ඊට මිනිසුන් කෙසේ ප්‍රතිචාර දක්වාවි ද යන්න දැන ගැනීමට මට දැඩි වුවමනාවක් ඇති වී තිබිණ. මේ ඒ පරික්ෂා කරන මොහොතයි. මා හොඳින් දන්නා පරිදි බහුතරයට මෙය අල්ලන්නේ නැත. මෙම නාට්‍යය බහුතරයට නිර්මාණය කර ඇත්තේ ද නැත. එබැවින් එය රට වටා ගෙන යාමට විශේෂ බලාපොරොත්තුවක් ද නැත..."

තම නිර්මාණය පිළිබඳ, යම් ආකරයක සංශයක් නාට්‍යකරුවා තුල ඇති බව පෙනේ. එය ස්වයංවාරණයකට පර්වර්තනය නොවී, ඔහු තුළින් මෙම නාට්‍ය නිර්මාණය බිහි වීමට මඟ පැදීම ගැන අපි සතුටු වෙමු. මෙම නාට්‍යය 'බහුතරයට ඇල්ලීම' හෝ 'නො ඇල්ලීම' ගැන නාට්‍යකරුවා පුර්ව නිගමනයට පැමිණිම, ඔහු විසින් කලින් සුදානම් කරගත් විත්තිවාචකයක් සේ පෙනේ. මා කියා සිටින්නේ කලාකරුවා තම කලා නිර්මාණය වෙනුවෙන් නිදහසට කරුණු කීම අවශ්‍ය නැති බවයි. ඔහු තම කලා නිර්මාණය වෙනුවෙන්, දෘඨතරව සහ කොන්දේසි විරහිතව පෙනී සිටිය යුතු බවයි.

උපාලි අමරසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



ලාංකේය සන්දර්භයෙන් නූතන යන වචනයෙන් විශේෂණය කොට හැඳින්වෙන නවකතාව, කෙටිකතාව යන භාෂාව මුල්කොට ගත් සාහිත්‍යාංග හා සසඳන කල්හි කවිය නමැති සාහිත්‍යාංගය සම්ප්‍රදාය සමග පවත්වන සබඳතාව අපගේ විශේෂ අවධානයට ලක්විය යුත්තකි. යට කී සෙසු සාහිත්‍යාංගවලට වඩා වෙනත් ලෙසකින් කවිය නමැති සාහිත්‍යාංගය සහෘද අධ්‍යාත්මය සමග පවත්වන සම්භාෂණයේ දී කවිය විසින් උරුම කොට ගන්නා ලද අතීත සම්ප්‍රදායේ බලපෑම කවරාකාර ද යන්න අඩ සිය වසක් ඉක්මවා ඇති නිදහස් කාව්‍ය නිර්මාණ යළි අවලෝකනය කරන කල්හි අපට පැහැදිලි වෙයි. කවියකු ලෙසත් සිංහල කාව්‍ය සම්ප්‍රදායේ විකාශනය පිළිබඳ පරිකල්පනය පෙරටු කොට ගත් ගවේශකයකු ලෙසත් සිංහල කාව්‍ය සම්ප්‍රදාය පිළිබඳ අවලෝකනයක යෙදුණු ගුණදාස අමරසේකර සිංහල කවියේ සම්ප්‍රදාය සම්බන්ධයෙන් ස්වකීය නිර්මාණ හා විචාර අධ්‍යයන මගින් මතුකොට පාදා දෙන ලද කාව්‍ය මාර්ගය පුනරාවර්ජනය කිරීම කවියේ අනාගතය සම්බන්ධයෙන් වැදගත් ප්‍රවේශයක් වනවා නිසැක ය.

1955 වර්ෂයේ දී අමරසේකර භාව ගීත නමැති ස්වකීය පද්‍ය නිර්මාණ සංග්‍රහය රචනා කිරීමේ දී එවක ප්‍රචලිත ව පැවැති එළිසම සිවුපද කාව්‍යයත් අභිනවයෙන් ආරම්භ වී 50 දශකයේ දී ප්‍රචලිත වෙමින් පැවැති නිසඳැස් කාව්‍ය මාර්ගයත් යන කාව්‍ය මාර්ග දෙකට වෙනස් වූ නව මාවතකට පිවිසීම සිංහල කවියේ මෑත අතීතය හදාරන්නවුන්ගේ විශේෂ අවධානය ලක්විය යුතු කරුණකි. නිසඳැසෙහි පැවැති වාක් සංයෝජන රීතියත් එළිසම සිවුපදයෙහි පැවැති හුදු ශබ්ද මාධූර්යය පෙරටු කර ගත් වාක් සංයෝජන රීතියත් පිටු දකිමින් අමරසේකර විසින් නිර්මාණය කර ගන්නා ලද අභිනව කාව්‍ය ආකෘතිය ඉඳුරා ම චිරන්තන කාව්‍ය සම්ප්‍රදායෙහි ආනුභාවයට නතු නොවූවාක් වන්නා සේ ම අභිනවයෙන් ඇරඹුනු නිදහස් කාව්‍ය සම්ප්‍රදායට ද අනුගත නොවූවක් බව භාව ගීත පෙරවදනෙහි ලා කතුවරයා මෙසේ සඳහන් කරයි.

"මේ පද්‍ය ප්‍රචලිත ව ඇති පැරණි කාව්‍ය සම්ප්‍රදායට අනුකූල ව ලියන ලද ඒවා නො වේ. පැරණි කාව්‍ය රීති මේවා ලිවීමේ දී නොසලකා හරින ලදි. එසේ වුවත් මේ හැම කාව්‍යයක ම එයට පොදු ලයක් හෙවත් තාලයක් තිබේ...... සිංහල කාව්‍යය උසස් තත්වයකට ගෙන ඒමට නම් අලුත් මං සෙවීමෙහි සාහිත්‍යකරුවන් බිය නො විය යුතු ය. අපට අවශ්‍ය ව ඇත්තේ සජීව ජනකායකගේ භාවික ජීවිතය හෙළි කළ හැකි ප්‍රාණවත් කාව්‍ය සම්ප්‍රදායක් ඇතිකර ගැනීම ය."

ප්‍රථම කාව්‍ය නිර්මාණ සංග්‍රහය පළ කළ අවස්ථාවේ අමරසේකර කවියා විසින් අවිඥානික ව හඟින ලද සම්ප්‍රදාය නමැති සංකල්පය පසු කාලීන ව කවිය පිළිබඳ කේන්ද්‍රීය සවිඥානකත්වය බවට පත් කර ගත් අයුරු 2009 වසරේ පළ වූ භාව ගීත සිව්වැනි මුද්‍රණයට සැපයූ සිංහල කවිය මුදාගැනීම නමැති ලිපියෙන් පැහැදිලි වෙයි.

"එහෙත් සහෘදයාගේ හද තුළ ඇති මේ භාව ලෝකය ඉබේ පහළ වූවක් නො වේ; පෙර විසූ කවීන් විසින් ඔවුන්ගේ නිර්මාණ මඟින් නිම කර දෙන ලද්දකි; සම්ප්‍රදාය විසින් හිමි කර දෙන ලද්දකි. කවියා සිය නව නිර්මාණය සාර්ථක ලෙස නිම කිරීමට නම් ඔහු විසින් සහෘදයාගේ හද තුළ ඇති මේ භාව ලෝකය දැකගත යුතු යි; ඒ භාව ලෝකයට මුල් වන කාව්‍ය සම්ප්‍රදාය වටහාගත යුතු යි. එබැවින් කවිය සම්ප්‍රදාය හා දැඩි ලෙස බැඳී පවත්නා, සම්ප්‍රදාය මුල් කොට පවත්නා සාහිත්‍යාංගයක් බව අපට පැහැදිලි විය යුතු යි."

1966 වර්ෂයේ දී අලියා සහ අන්ධයෝ නමැති විචාර නිබන්ධ සංග්‍රහයෙහි ලා අමරසේකර ප්‍රථම වතාවට නිසඳැස් කාව්‍යයෙහි හුදු බුද්ධිගෝචර භාවයත් තත්කවීන් විසින් අනුදත් රචනා රීතියත් සම්බන්ධයෙන් තියුණු විචාරයක යෙදුණේ ය. එහි දී ඔහු කාව්‍යයේ සම්ප්‍රදාය යන වැදගත් කරුණ පිළිබඳ දැක්වූ අවධානය අපගේ නොමඳ සැලකිල්ලට ලක්විය යුත්තකි. ඔහු සම්ප්‍රදාය නමැති තේමාවට පිවිසෙන්නේ තත්කාලීන විඥානය යන සංකල්පය ඔස්සේ ය.

"තත්කාලීන විඥානයෙහි පිළිබිඹුව ඇති අතීතය නම්, වර්තමානය හා භාවාත්මක වශයෙන් සම්බන්ධ කොට දක්වා ලිය හැකි, අතීතයේ සජීවිමත් කොටස යි.... තත්කාලීන විඥානය තුළ ඇති සජීවමත් අතීතය ඇඳින්වීම පිණිස අප විසින් නිතර භාවිත කරන තවත් ව්‍යවහාරයක් ද ඇත එනම් සම්ප්‍රදාය යි. ... සම්ප්‍රදාය යනුවෙන් අප අඳුන්වන්නේ තත්කාලීන විඥානය හා බැඳුණු මේ අතීතය යි. වර්තමානය හා අනවරතයෙන් බැඳුණු අතීත සම්ප්‍රදාය වෙයි."

අලියා සහ අන්ධයෝ නමැති විචාර නිබන්ධ සංග්‍රහයෙහි, 'සිංහල කාව්‍ය සම්ප්‍රදාය' නමැති ලිපියෙහි ලා අමරසේකර සම්ප්‍රදාය යන්න පිළිබඳ කරන විග්‍රහය ඉතා වැදගත් ය. එහි දී ඔහු සම්ප්‍රදාය ජීවමාන සන්තතියක් ලෙස හඳුනා ගනියි. 'සම්ප්‍රදාය යන්න කිසියම් සාහිත්‍යයක පැවැත්ම විභාග කර බැලීමේ ප්‍රතිඵලයක් වශයෙන් අප ඇතිකර ගන්නා සංකල්පයකි. මේ සංකල්පය අනුව ඒ සාහිත්‍යය අප දකින්නේ එහි මූලාරම්භයේ සිට පැවත එන ප්‍රවාහයක් මෙනි. මේ ප්‍රවාහය යුගයෙන් යුගයට ගලා එයි. ඒ ඒ යුගවල වසන ශ්‍රේෂ්ඨ කවීන්ගේ මනස ඔස්සේ ගලා එන මේ ප්‍රවාහය, කවි මනස ඔස්සේ ම ගලා ආ යුතු යයි නියමයෙක් නැත. කිසියම් යුගයෙක ඇති කවි මනස දුඹුලු එකක් නම්, මේ ප්‍රවාහය කවි මනස හැර පොදු ජන මනස ඔස්සේ ගලා එනු ඇත.

මේ ප්‍රවාහය සතු ප්‍රධාන ලක්ෂණ දෙකකි.

1. අනවරතයෙන් ගලා බසින මේ ප්‍රවාහය අනවරතයෙන් වෙනස් වෙයි. මේ කාලානුරූප වෙනස්වීම නිසා ඒ තුළ ඇති සෑම මූලධර්මයක්ම නිරතුරුව අලුත් ස්වරූපයෙන් යුක්ත වෙයි. සර්කාලික එක් ස්වරූපයක් නූසුලයි.
2. කාලානුරූපව වෙනස් වුවද මේ ප්‍රවාහය තුළ නොබිඳුණු අවිච්චින්න භාවයක් ඇත. සෑම වෙනස් කමක්ම සිදු වන්නේ මේ අවි‎‎ච්ඡි‎න්නතාවය රැකෙන පරිදිය. මේ අවිච්ඡින්නතාවය නිසා, කිසියම් මූල ධර්මයක් කාලානුරූපව ගනනා අලුත් ස්වරූපය එහි පෙර ස්වරූපයට සම්බන්ධ කොට දැක්විය හැක.

සාහිත්‍ය ක්ෂේත්‍රය තුළින් ගලන මෙවැනි ප්‍රවාහයකි, සම්ප්‍රදාය යන සංකල්පයෙන් අප විසින් හඳුන්වනු ලබන්නේ.

සිංහල කවියේ සම්ප්‍රදාය පිළිබඳ මේ ප්‍රවාදය අමරසේකර විසින් 1996 දී පකාශයට පත් කරන ලද සිංහල කාව්‍ය සම්ප්‍රදාය නමැති ග්‍රන්ථයෙන් පරිපාකයට පත්කරන ලදී. ක්‍රි. ව. 6 වන සියවස දක්වා ස්වාධීන දේශීය කාව්‍ය මාර්ගයක් පැවැති බවත් ඉන්පසු 13 වන සියවස දක්වා සංස්කෘත අලංකාරවාදයට නතු වූ අනුකාරක විදග්ධ කාව්‍ය මාර්ගයක් ගොඩ නැඟුණු බවත් එහි ලා අමරසේකර විසින් සාධක සහිත ව පෙන්වා දෙන ලදී. මෙහි දී ඔහු නිශ්චිත වශයෙන් ම සිංහල කාව්‍ය සම්ප්‍රදායේ සංක්‍රමණය අවස්ථාවක් ලෙස සඳකිඳුරුදා කව හඳුන්වයි. ශාස්ත්‍රාලීය විචාරකයන් විසින් පිරිසිඳ නුදුටු මේ සත්‍යය අමරසේකර කවියා විසින් ප්‍රත්‍යක්ෂ්‍ය කර ගන්නා ලද්දේ සංවේදී සහෘදයකු ලෙසිනි. ඔහු විසින් පසක් කර ගන්නා ලද එම සත්‍යය නිශ්චිත ඓතිහාසික සාධක මත ඉඳුරා ම සනාථ කල හැක්කකි. දඹදෙ‚ රාජධානි කාලයේ දී රචිත යැයි සැලකෙන එළු සඟස් ලකුණ සහ සිදත් සඟරාව යන ග්‍රන්ථවල සමකාලීන හා පූර්වකාලීන කවීන්ගේ නිර්මාණවලින් උපුටා දක්වා ඇති නිදසුන් පද්‍ය පාඨ සමූහය සියුම් විමර්ශනයකට ලක් කරන කල්හි අලංකාරවාදයේ දැඩි බලපෑමකට හසු නො වූ, ඒකාකෘතික නො වූ, ස්වාධීන කාව්‍ය මාර්ගයක් පැවැති බවට සාධක හමුවේ. එළු සඟස් ලකුණෙහි උතු සඳෙසෙහි යොන්මත්වල විරිතට නිදසුන් සේ දක්වා ඇති පහත දැක්වෙන කවිය මේ සඳහා හොඳ නිදසුනකි.

'මි‚ මෙර මී පිරී පතා
අතෙකැ අතෙකැ හිඟුරු සැතා
බිබී බිබී සුරා මතා
සිසී කොටින් නුවන් රතා
'

දඹදෙණිය රාජධානි කාලයෙහි හෝ ඊට පූර්ව වකවානුවක රචිත කාව්‍යයක මධුපානෝත්සව අවස්ථාවක් වර්ණනා කෙරෙන, පදයක මාත්‍රා 12 බැගින් වූ උක්ත පද්‍ය පන්තිය සඳකිඳුරු දා කවෙහි එන පහත දැක්වෙන පද්‍ය පන්තිය සමඟ සැසඳීමේ දී සියවස් කිහිපක් තිස්සේ ගලා ආ කාව්‍යමය වාග් ව්‍යවහාරයේ නොබිඳුණු විකාසනය පිරිසිඳ දැකිය හැකි ය.

'දුම දුමහි ම සුපිපි මලී
ගුම ගුම යයි බිඟු නද ලී
බිම හැම තැන තණ ලියලී
මෙම ගමනට කලැයි බලී'


එළු සඟස් ලකුණේ නිදසුන් ලෙස දක්වා ඇති තවත් කවියක් කෝට්ටේ රාජධානි කාලයේ රචිත කව් සේකරයේ එන නිර්මාණයකට ප්‍රකාශන රීතිය සම්බන්ධයෙන් ඇති ඥාතිත්වය කෙරෙහි ද අපගේ අවධානය යොමු කළ මනා ය.

'රැඳි අඳනින් දිගු නුවනී
සිනෙනි සසල හඬ ලවනී
රන් පනෙලෙන ලඹ සවනී
සොමි සිසිවන් සොමි වුවනී
'


මේ කාව්‍ය නිර්මාණය කව්සේකරයේ එන පහත දැක්වෙන කාව්‍ය නිර්මාණය හා සැසඳීමෙන් කාව්‍ය සම්ප්‍රදාය අතර පැවැති අඛණ්ඩතාවය අපට මැනවින් අවබෝධ කර ගත හැකි ය.

'කනත වතළ දිගු නුවනී
මඳහස ලෙළ රත ලවනී
මඳාර මල් සැදි සවනී
ළඳ සිඳඹුව දිටි එවනී'


අනවශ්‍ය සාටෝපවත් බවෙන් තොර, ගාඪ රීතිය වෙනුවට සරල සුගම කාව්‍යමය වාග් ව්‍යවහාරයකින් යුත් කව්‍ය සම්ප්‍රදායක් අප සතුව පැවති බවට මතු දැක්වෙන නිදසුන ද දෙස් දෙනු ඇත.

'සලා සිකිපිල් මලග ලැග්ගේ
සඳ ද අත්ගල් තෙලෙහි ලැග්ගේ
මහද තුළ මන් යොන ද ලැග්ගේ
කිමග උන් මා දෙස නො ලැග්ගේ'


මේ නිදසුන් කිහිපය ගෙන හැර දැක්වීමෙන් අදහස් කරන ලද්දේ දඹදෙණිය කාලයට පෙර සිට සහ කෝට්ටේ කාලය දක්වා ලියවුණ කාව්‍යාවලියේ නොසිඳුණු හුයක් සේ දිවෙන සම්ප්‍රදායක් සිංහල කවිය සතු ව පැවති බව පෙන්වා දීම යි.

බොහෝ වියතුන්ට තවමත් එකඟතාවකට පැමි‚ය නොහැකි සඳකිඳුරු දා කව දඹදෙණිය කාලයේ සිට පැවත විත් යම් කාලයක් යටපත් ව තිබූ සිංහල කාව්‍ය සම්ප්‍රදායේ සංක්‍රාන්ති අවධිය නියෝජනය කරන කෘතියක් බව සාධක සහිත ව සනාථ කළ හැකි ය.

සඳකිඳුරු දා කවියා තම නිර්මාණයට විෂය වූ කතා පුවත කවියට නගා ඇත්තේ කාව්‍යයක තිබිය යුතු සුසඳ බව පිළිබඳ මනා වැටහීමකින් තොරව ය. තම නිර්මාණයට අදාළ නොවන වත්මන් කථාව කිීම සඳහා කවි 290ක් සඳ කිඳුරු දා කවියා වැය කරයි. මුඛ්‍ය තේමාව හෙවත් අතීත කථාව විස්තර වන්නේ 291-427 තෙක් කවි 136කිනි. කවියා අතින් මෙවැන්නක් සිදු වූයේ සිංහල කාව්‍යයේ පොදු ජන සම්ප්‍රදාය යටපත් ව ගද්‍ය සම්ප්‍රදාය ඉස්මතු ව පැවති කුරුණෑගල රාජධානි කාලයේ මේ කෘතිය ලියවුණු නිසා යැයි අනුමාන කළ හැකි ය. කවියාට සමීපාතීතයේ පැවති විදග්ධ කාව්‍යයේ මතක ‎ඡායාවන් හා සමකාලීන ජන කවියේ හා ජනවහරේ ඇතැම් ලක්ෂණ සඳ කිඳුරු දා කවෙහි සම්මිශ්‍රිත ව තිබෙන්නේ මතු දා පිරිහදු වී සකස් වන ස්වාධීන කාව්‍ය මාර්ගයක කලල රුව සඳකිඳුරු දා කවෙහි ගැබ්වන බැවිනි.

කන්නලව් නොයෙකී
කීවා කනක නොවැකී
තිරිසන් වූ එකී
පැතූ ඒ මා ද තිරිසනෙකී


කිඳුරු යුවළගේ වාදනය හා රංගනය අසා දැක වශීකෘත වූ වන සතුන්ගේ චර්යාවන් ගුත්තිල ඇදුරුගේ වීණා වාදනය අසා කුල්මත් වූ සතුන්ගේ චර්යා වර්ණිත අවස්ථාව සමග සසඳන කල පසුකලෙක ගුත්තිලයෙන් කුළු ගැන්වුණ ස්වාධීන දේශීය කාව්‍ය මාර්ගයේ මුල් රූපය සඳකිඳුරුවේ ගැබ් වුණු බව සිතාගත හැකි ය.

'සවන් උඩු කෙරෙමින්
මුවෙන් ගත් තණ හෙළමින්
කඳුළු නෙත් පුරමින්
සිටිති මුව මුළු එනද අසමින්'


ඇතැම් අවස්ථාවල දී එක් එක් චරිතවල ක්ෂණික මනෝභාව නිරූපණයේ දී කවියා අනුගමනය කර තිබෙන රචනා මාර්ගය ගුත්තිල කාව්‍යයෙන් කුළු ගැන්වුණ දේශීය කාව්‍ය මාර්ගයේ කළල අවස්ථාව බව අපට සිතා ගත හැක.

'අසිරිමත් නැටුමෙකි
අසමාන වු රුසිරෙකි
සුමිහිරි කට හඬෙකි
කවර දවසක ලැබුම් වේ හැකි

සිත ඔහුගේ මත් වී
අනුරාග බලවත් වී
ගුණ දම් ඉවත් වී
එයින් බෝසත් මගෙ සිත් වී'


බොහෝ විචාරකයන් විසින් ගද්‍ය යුගයක් ලෙස හඳුන්වනු ලබන කුරුණෑගල රාජධානි කාලයේ රචිත සඳකිඳුරු දා කවෙහි සංස්කරණයෙන් තොර ව පැවති කාව්‍ය රීතිය ඔපමට්ටම් වී මටසිලිටු කාව්‍ය රීතියක් බවට පත් වන්නේ කෝට්ටේ රාජධානි කාලයේ ගුත්තිල කාව්‍යය රචනා වීමත් සමඟ ය. කෝට්ටේ රාජධානි කාලයේ පිරිපහදු වී පරිසමාප්තියට පත්වුණු මේ කාව්‍යමය වාග් ව්‍යවහාරය නොබෝ කලකින් යළිත් යටපත් වී ගිය අතර, වත්මන් සහෘදයාගේ භාව ලෝකය රංජනය කළ හැකි එකී කාව්‍ය සම්ප්‍රදායේ උරුමය සෙයා පාදා ගැනීමට කවීන් දෙදෙනකු විසින් පසු ගිය සියවසේ මැද භාගයෙහි පුරෝගමී මෙහෙයක් ඉටු කරන ලදි. අමරසේකර කවියා විසින් ම ඉතා නිවැරුදි ව හඳුනාගන්නා ලද, නාට්‍යගත කාව්‍ය රීතියක් නිර්මාණය කළ එදිරිවීර සරචන්ද්‍ර එයින් එක් කවියකු වන අතර නූතන කාව්‍ය ක්ෂේත්‍රය තුළ පූර්ණ වශයෙන් ම එම මෙහෙවර ඉටු කරන ලද අනෙක් කවියා වන්නේ ගුණදාස අමරසේකර ය.

ජී. බී. සේනානායක විසින් 1946 වසරේ දී ප්‍ර්‍රාරබ්ධ නිදහස් පද්‍ය රචනය බුද්ධි ස්ථරවල ආකර්ශනයට ලක් වීමත් සමග ම එම අභිනව කාව්‍ය මාර්ගය අනුයමින් රචිත නිර්මාණ ශාස්ත්‍රීය සඟරාවල වරින්වර පළ විය. 1951 වසරේ කේ. ඩී. පැන්ටලියන් පෙරේරා විසින් සෙවීම නමැති ප්‍රථම නිදහස් පද්‍ය සංග්‍රහය පළ කරන ලදි. නව ආර අනුයමින් රචිත දෙවැනි කෘතිය වන්නේ 1955 දී පළ කෙරුණු ගුණදාස අමරසේකරගේ භාව ගීත නමැති කාව්‍ය නිර්මාණ සංග්‍රහය යි. එය සමකාලීන නිදහස් පද්‍ය ආරට වෙනස් ආරක් ගත් කෘතියක් බව පැහැදිලි ව පෙනිණ. ඇතැම් විටෙක ජන කවි රීතිය ද තවත් විටෙක සම්භාව්‍ය කාව්‍ය රීතිය ද සිහිගන්වන විරිතකට අනුකූල ව රචිත කාව්‍ය නිර්මාණ රැසක් භාව ගීත කාව්‍ය සංග්‍රහයෙහි අන්තර්ගත විය.

'නිවෙන දැල්වෙන විදුලි එළි යුතු
මිදුල දෙව් ලොව සැදූ උයනකි
විදුලි දහරා උරා බී ගත්
අවට තුරුලිය රජත පැහැ ගති'

(සම්භාෂණය)

අමරසේකරගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය වන උයනක හිඳ ලියූ කවි 1957 වසරේ දී පළ විය. මුල් කාව්‍ය සංග්‍රහයේ දක්නට ලැබුණු ප්‍රධාන ආකෘතික ලක්ෂණය වන විරිතකට අනුකූල වීම මේ කෘතියේ ද දක්නට ලැබෙතත් ඉංග්‍රීසි නිදහස් කවියේ සහ ලාංකේය සමකාලීන නිදහස් පද්‍යයේ පැවති එක් ලක්ෂණයක් වන සමාජ විචාරය දෙසට නැඹුරුවක් දක්වා ඇති බව 'දිය සිඳුණු මරු කතර', 'පුදුම රට', ඝාතනය' වැනි නිර්මාණලින් හෙළි වෙයි. අමරසේකරගේ තෙවැනි කාව්‍ය සංග්‍රය වන අමල් බිසො පළ වූයේ 1961 වසරේ ය. 2009 වසරේ පළ වූ මේ කෘතියේ සිවු වන මුද්‍රණයේ පෙරවදනෙහි ලා අමරසේකර සිය රචනා රීතිය සම්බන්ධයෙන් මෙසේ පවසයි. 'භාව ගීත' මා අවිඥානික ව අපේ කාව්‍ය සම්ප්‍රදාය වෙත කළ ගමනක් නම් 'අමල් බිසෝ' සවිඥානක ලෙස එය සොසා ගිය ගමනක් ලෙස හැදින්වීම නිවැරැදි ය යි සිතමි. අමල් බිසෝ කාව්‍ය සංග්‍රහය ජන කවියේ ආභාසය ලැබීමට දැරූ තැතක් ලෙස හඳුන්වනවාට වඩා මහනුවර රාජධානි කාලයේ තහවුරු වී පැවති අමූර්ත කලාවේ ගැබ්ව තිබූ බහුමාන විවිත්‍රත්වය වැන්නක් සිංහල කවියට උරුම කර දීමට දැරූ තැතක් ලෙස හැඳින්වීම වඩා යෝග්‍ය බව හැඟේ. 'ගෙදර', 'උන්චිලි වාරං', 'තේරවිල්ලක්', 'පනාවා', වැනි නිර්මාණ විමසිල්ලෙන් නිරීක්ෂණය කරන කල්හි අපට ඒ නිර්මාණවල ආකෘතික සන්දර්භයට යටින් පවතින බහුමාන අමූර්ත විචිත්‍රත්වය හඳුනා ගැනීමට හැකි වෙයි. ජන කවියේ සුහද ඥාතිත්වයක් ඍජු ලෙස දැකිය හැක්කේ 'අමල් බිසෝ' නමැති ආඛ්‍යාන රූපී නිර්මාණයේ පමණි. ඇතැම් නිර්මාණවල දක්නට ලැබෙන්නේ පසු කාලීන නිර්මාණශීලී තරුණ කවීන් හට ස්වාධීන කාව්‍ය මාර්ගයක් කෙරෙහි ඉමහත් ආනුභාවයක් පෑ නවතම රීතිමය අත්හදාබැලීම්වල පුරෝගාමී මග සලකුණු ය. පහත උපුටා දැක්වෙන්නේ අමරසේකර විසින් රචිත එබඳු නිර්මාණවලින් නිදසුන් කිහිපයකි.

'කෙළිදෙලන් පිරි රැයක පිරි සුරා රඟහලක
සිස් කරමි මධු බඳුන් යහළුවන් හා සමග
දිළි පහන් මි‚ රැසින, නැඟ බසින ගී නදින
තොල පොඟන මී විතෙන, එළි කෙරෙයි හද විමන
මත්පැනින් මත් දෙ තොල නෙක් විහිළු බස් දොඩන
මගේ සිත ඇදී යයි දිලෙන මත් පැන තුළින
හෙමි හෙමින් නැති වෙමින් සයුර පතුලට ඇදෙයි
නන් රුවන් මි‚ දිලෙන සිඳු පතුල නැති ව යයි
එවේලෙහි මොහොතකින් පලා ඒ මි‚ තලා
සිඳු පතුල සිට නඟින නෙත් දෙකක් මතු ව එයි
වේදනාබර වතක් සයුර පතුලින් නඟියි'

(මතුවන මුහුණ)

දෑත දෙ පය වැලඳ නඟින
දෑල දෙ හද වසා ගලන
සීත දියෙන් දෑස පෙඟුණ
සෑම දෙය ම වෙයි ලස්සන

ගලන වසා අවලස්සන
ආදරයයි දියර සඳුන
ගැලුණ ඔබේ නෙත එ සඳුන
සෑම දෙය ම වෙයි ලස්සන

(බළල් කුණා)

සිංහල කවියට උරුම සම්ප්‍රදාය සොයා පාදා ගනු වස් අමරසේකර ඇරඹූ පර්යටනයේ ඊ ළඟ වැදගත් මං සලකුණ අපට දැක ගන්නට ලැබෙන්නේ ගුරුළුවත කාව්‍යාඛ්‍යානයෙහි ය. ජන කවි වහරේ ඇසුර අඩු වශයෙනුත් සෙවි කිවි වහරේ ඇසුර වැඩි වශයෙනුත් සංකලනය කොට කවියා අභිනවයෙන් තැනූ, ශ්‍රව්‍ය මාධූර්ය ගුණයෙන් යුත් ගුරුළුවතෙහි එන කාව්‍ය රීතිය වඩා යෝග්‍ය වන්නේ අමූර්ත ප්‍රකාශන මාර්ගයක් සඳහා ය. ගුරුළුවත වූ කලි එබඳු ප්‍රකාශන මාර්ගයක පිහිටි අත්හදාබැලීමකි. ප්‍රකාශන රීතිය සහ වස්තු විෂය එකිනෙකට අභිමුඛ කරීමට ඇති දුෂ්කරතාව හෙවත් පරතරය ගුරුළුවත සාර්ථක නිර්මාණයක් නොවීමට හේතුකාරක වූ ප්‍රධාන සාධකය යි. එහෙත් එහි ලා අමරසේකර විසින් තනා ගන්නා ලද කාව්‍යමය වාග් ව්‍යවහාරය කිසිසේත් නොතකා හල නොහැක්කකි.

'සුළි සුළං සැඬ පවන් අවුල් ගිරිසෙල් බම යි
නුබ කුසින් නැඟි වලා සිඳු යුගත ගොස නඟ යි
විස සපුන් එළි විදුලි නුබ කඩින් කඩ ඉර යි
රන් අඹර ගුරුළු ලෙන දැදුරු වී බිඳ වැටෙයි'

'අසමින් ගුරුළු කී එපුවත උණු ව ළය
වදනින් නොහැකි පවසනු මා පෙම විපුල
සිතමින් එ ළඳ නැඹුරු ව ගනිම්න් සුරත
සිපගන් නට සදත ගුරුළිඳු විය සසල

නැඟී තමුල් ඩා බිඳු සියලඟ සැලිණ
සැලී දෙ පා ගුරුළිඳු දෙ තොල වයළිණ
එපා එපා රන්කඳ මා ගනු වැගඳ
කියා ගුරුළු ඉගිළිණ නුබ දෙසට සෙද
'


සිංහල කවිය පිළිබඳ අනවරත අත්හදාබැලීම් දාමයක නිරත වුණු අමරසේකර දහතුන් වසරක නිහැඬියාවකින් පසු නැවත කාව්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ 1975 වසරේ ආවර්ජනා කාව්‍ය සංග්‍රහය පළ කරමිනි. නවකතා කෙටිකතා ඇතුලු තමා අතින් සමීපාතීතයේ රචනා වුණු සාහිත්‍ය කෘති සමාජ සංවාදයෙන් ඈත් වුණු එක්ටැම්ගත වූ නිර්මාණ බව සඳහන් කරමින් ඒ මාර්ගය පිටුදැක සමාජයේ හද මනස වටහා ගැනීමටත් එය විවරණය කිරීමටත් සමත් සාහිත්‍ය රීතියක් තනා ගැනීමට නවසිය හැත්තෑව දශකයේ මුල් භාගයේ සිට අමරසේකර ප්‍රයත්න දැරී ය. මේ ප්‍රයත්නය ඔහුගේ නවකතා සහ කෙටිකතා නිර්මාණවල සුලබ ව දක්නට ලැබෙන අතර කාව්‍ය නිර්මාණය ද යම් පමණකින් ඒ අරමුණ සඳහා යොදා ගැනීමට තැත් කළ අයුරු ආවර්ජනා කාව්‍ය සංග්‍රහයෙන් හෙළි වෙයි. එහෙත් අමරසෙකර ඒ සඳහා දැරූ ප්‍රයත්නය නවසීය හැත්තෑව දශකයේ බහුතර තරුණ කවීන් පිළිපන් මාවතට බොහෝ සෙයින් වෙනස් වූවකි. කවියාගේ ආවර්ජනයට බඳුන් වන්නේ සමාජ- පුද්ගල ජීවිතයේ මතුපිට තලය නො ව එහි අධ්‍යාත්මය යි. විටෙක පුද්ගල අතීතාවර්ජනයක වේශයෙන් පැවසෙන්නේ සියුම් සමාජ අරුතකි. එවැනි ප්‍රාතිහාර්යයක් පෑමට කවියා සමත් වන්නේ අර්ථධ්වනියෙන් පිරුණු කාව්‍යමය වාග් ව්‍යවහාරයක් සිය නිර්මාණ සඳහා උපයෝගි කර ගැනීම නිසා ය.

'ගෙවුණු වසර දුක් අපමණ තැවුලි ය
වගුළ කඳුළු නෙත් සුතනඹු වෙනුවෙන
බැඳුණු සෙනෙහෙ සෙවනැලි අතුරා ළය
මහද සයුරු නිවමින් සනහා ලිය
..........

හමන නිසරු රැළි අඬ ගා ඉල්ලන
වැලඳ ගිගුම් දී පොර කා දිව යන
නිසරු ඔබේ හද ගුම් ගත් දිය මත
කෙ ලෙස අරුත් පිරි සෙවනැලි ලගිනෙ ද

පෑදි මගේ හද නිසසල දිය කඳ
සෑදි අරුත් පිරි කැටපත් පවුරෙක
නිසරු සුළං රොද නොලගින නොදරන
එ මත වැටී ඇත ලෝ සත පිළිරුව

හඬන හැඬුම් හඬ එහි දැවටී ඇත
නඟින සුසුම් රොද එහි වැතිරී ඇත
සිනා කඳුළු පිරි ලෝ සත දුක් වත
නිවුණු මගේ හද මත වැතිරී ඇත

(පැරණි පෙම්වතියක හමු වී)

මෙ ලියකම් මෙ මල්කම් තුරු මඬුලු නඳුනුයන්
පොළොව පස් වී නැසෙයි අනුව ලොව නියම් දම්
පොහොර වන අප සිරුරු, නොලද පැතුමන් කෙරෙන්
නව රුවින් පිරි ලොවක් බිහි ව එ ද රැඳි අරුත්

දනිමි මම එ වැනි ලොව බිහි ව එනු මතු දිනෙක
එහෙත් නො දනිමි එ රුව කෙ බඳු වෙ ද කිව නො හැක
වැලඳ සිය දහස් හද, උන් සිතැඟි මත මැවෙන
එ වෙත අප දුඹුලු කය පොහොර වුව එ ද පිනෙක

(ගිරි මුදුන ආවර්ජනා)

අමරසේකර කවියා මේ දක්වා සිය නිර්මාණ හා ගවේෂණ මඟින් සොයා පාදා ගැනීමට ප්‍රයත්න දැරූ සිංහල කාව්‍ය සම්ප්‍රදාය, ඒ පර්යටනය ඇරඹූ හය වැනි සියවස කරා ගොස්, අතීත අසක් දා කව සංකීර්ණ මානුෂික හැඟීම් සමුදායක ප්‍රබල නිරූපණයක් ලෙස ප්‍රතිනිර්මාණය කොට අද්‍යතන සහෘදයා වෙත 2003 වසරේ පිරිනමන්නේ සියවස් ගනණක සම්ප්‍රදායේ අඛණ්ඩතාව මේ යැයි අභීත ව ගෙනහැර පාමිනි.

'මෙලොව තනනු අප වෙත ඉඳුරන් විසින
එ ලොව දකිනු අප ඉඳුරන් අණ ලෙසින
කැඩුව එ අණ ලොව දකිනේ මන ඇසින
එ විට මෙලොව පිළිබිමුවකි සිත මවන'

'වත සොමි සඳෙව් නෙතු දිගු නිලුපුලන් වන
ළැම රන් හසෙව් සිහිනිඟ නිතඹ සරිලන
දිසි දෙවඟනෙව් පබසර කැලුම වගුරන
කළ රුදු වැනුම් වෙද අඳ කළ මගේ මන'

'ලොව ඇති සියලු නැණ
උපදී වැලඳ හද මන
හද ඇසුර නොපතන
නැ‚න් නැත පල මනස අටවන'


කොළඹ කවිය සිය සහෘදයාට පිරිනැමූ කවිකතාව අපගේ සමකාලීන සමාජ ජීවිතය විෂය කරගත් කාව්‍යාංගයක් බවට පත්කර ගැනීමට අමරසේකර දැරූ ප්‍රයත්නයක් ලෙස මතක වත කාව්‍යාඛ්‍යානය හැඳින්විය හැකිය. එය අසක් දා කවට වෙනස් රීතියකින් රචිත ය. කේයස් එළිිසම සිව්පදයෙන් සුදෝසුදුව සඳහා තනා ගත් ව්‍යවහාර බසට ආසන්න කවි රීතියට සමීප කවි රීතියකි මතක වතෙහි අන්තර්ගත වන්නේ.

පාළු වුණා මුළු ගෙදර ම නොසිතු ලෙස
අම්මා නිතර ඇඬුවා ඔහු මතක් කර
නතර වුණා කෙළි සෙල්ලම් අඬ දබර
මතකද නංගියේ අප විඳි කාන්සිය


මේ උත්සාහය අපට කියා පාන වැදගත් අරුතක් තිබේ. ඒ අනෙකක් නොව මේ වන විට ජීවිතයෙන් සහ සමාජයෙන් පලා යමින් තිබෙන සිංහල කවිය යළි සමාජය වෙත සහ ජීවිතය වෙත කැඳවා ගැනීමේ සහ රඳවා ගැනීමේ පැහැර හැරිය නොහැකි අවශ්‍යතාව පෙන්වා දීම යි. මේ වන විට අඩ සිය වසක් ඉක්මවා ඇති ගුණදාස අමරසේකරගේ කාව්‍ය නිර්මාණ පර්යටනය ප්‍රත්‍යවලෝකනය කරන කල්හි එහි සමුදයාර්ථය ලෙස අපට දැකගත හැක්කේ කුමක් ද? සිංහල කවියේ වරින් වර නැඟි ක්ෂණික උදම් රළ නැගුණු සැණින් බැස ගිය පසු කාලයේ සන්සුන් වෙරළේ ශේෂ වූයේ අමරසේකර අනුදත් කවි මඟ සතිසම්පජාන ව අනුදත් පසු කාලීන කවීන් දෙතුන්දෙනෙකුගේ පිය සටහන් කිහිපයක් පමණි. ඒ අතරින් ද ප්‍රමුඛ වන්නේ දයාසේන ගුණසිංහ කවියා ය. පුද්ගල අධ්‍යාත්මයේත් සමාජ අධ්‍යාත්මයේත් අභ්‍යන්තරය කරා පිවිස එහි සියලු තතු කලාත්මක සංයමයකින් යුතුව කාව්‍යගතකිරීමෙහි ලා දයාසේන ගුණසිංහ දැක්වූ ප්‍රතිභාව මතු දැක්වෙන නිදසුන් කිහිපයෙන් අනාවරණය වෙතැයි සිතමි.

'සුරන් සැණකෙළි පහන් දිලෙන සඳ අඳුර බිඳ
තෙපුල් දෙන තුරු අතර තණ පලස යහන් විය
මිහි මඬල වූ ලඳුනිල වැළඳ මා අහස ලෙස
පැළඳි සළු සමඟ විලි හලෙන් පෙළහරක් විය'

'දෙහන් කරමින් අහස වියරු විදුලිය කෙටි‚
කැකෑරෙන මේඝයන් පිපිර අණුවට බිදිනි
තලා දෙගොඩම දියෙන් මහා වැසි ඇද හැලිණ‚
පොළෝ මුව විවර වී සුසුම් සැනසුම් ඇසි‚'

(දුරුතු සිහිනයක්)

'ගව් ගණන් දුර ඈත රළ පතර දිලෙන එළි
මතු මහල් තල කවුළු පළිඟුවෙහි බිඳෙන එළි
සඳ පරව ගිය රැයෙක මැදියමෙහි සැලෙන එළි
ඉසුරු මුස කළ සිතෙහි කවක් බිහි කරන එළි'

'වාරකන් උමතුවෙන් හඬ තැලූ සිරුර තුළ
මඳ සිඳී ලද සුවෙන් සොඳුර වැතිරෙන අතර
තවත් කෙළි ලොල් දිනෙක ඉමෙන් නිදි විරාමය
නැගෙන තුරු ඇස රැඳෙයි සයුර මත රළ හඬන'

(සංචාරක හෝටලයක කවුළුවකින්)

විවිධ කාල වකවානුවල සිංහල කවිය විවිධ ජනප්‍රිය ප්‍රවාහ ඔස්සේ ඇදී ගිය ද ප්‍රතිභාසම්පන්න කවීන් හට නැවතත් මංමුළා වීමකින් තොර ව සිය මං පෙත සොයා ගැනීම එතරම් අසීරු නොවිණ. අද දවසේ තියුණු සමාජ සවිඥානකත්වයකින් නිර්මාණකරණයේ යෙදෙන එරික් ඉලයප්ආරච්චි කවියාගේ නිර්මාණයකින් කොටසක් පහත උපුටා දක්වන්නේ අමරසේකර සොයා පාදා දුන් කවි මඟ අදටත් කොතරම් ආනුභාවයක් පාන සජීව ප්‍රවාහයක් බවට පත් ව ඇද්ද යන වග පෙන්නුම් කරනු සඳහා ය.

විජය කුමාරණතුංග නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරට ලක් වෙයි.
- ප්‍රවෘත්තියක්

සක් අවිය අතින් ගෙන
යුහුවැ මරු පිටත් විය
මගේ සුදු යෙහෙළි සඳ
අඬයි හිමවතට වැද

මා නොවෙයි මෙය කළේ
කෑ ගසන්නට සිතෙයි
මගේ ගති මෙනෙහි කර
එකිනෙකා මා සොයයි

පාන ළඟ ඇද වැටෙන
අම්මාගේ මුව මඩළ
අඬා ගල්වැටිය ළඟ
සැපින්නක සේ බරව
සිතේ විස ගොනු කරන
අඳුර එන තුරු හිඳියි

නමක් ගමක් මොකවත් නැති
අවජාතක තුවක්කුවක්
ඇන්. ඇම්. ද? කොල්වින්ද?
මූ අමන නළුවෙක්ද

****

උනුන් සමඟ වැළපෙන්නට
ඇසේ කඳුළු නැති වරදට
මේ දඬුවම සුදුසු ද මට
අවජාතක තුවක්කුවක්
මෙහෙම පවක් කළ වරදට
මේ දඬුවම සුදුසු ද මට?

මෙය ද අසිරිමත් දඬුචම
කවියන් නිතිපතා විඳින?
උනුන් සමඟ එක්සිත් වෙත
මෙමා කවර කවියෙක් වෙද?

(කවියාගේ අවුල හෙවත් උද්දච්ච කවිය)

අමරසේකර විසින් දශක හයක් තිස්සේ මහත් වැර වෑයමින් පාදා ගත් සිංහල කවියේ මේ සකලවිධ මහිමයන් විලාසවාදී පිදේනි සාහිත්‍යයක් බවට විපරිනාමය වෙමින් පවතින අවස්ථාවක අමරසේකර කවියා විසින් සිංහල කාව්‍ය ක්ෂේත්‍රයට කරන ලද සම්ප්‍රදානය පිළිබඳ පුනරාවර්ජනයක යෙදීම කාලෝචිත ය.

ජයන්ත අමරසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


2014 ඔක්තෝබර් 03 වැනිදා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය විසින් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පැවැත් වූ ගාන්ධි අනුස්මරණ උත්සවයේ දී ලියනගේ අමරකීර්ති කළ දේශනයේ සංක්ෂිප්ත පිටපත.

මහත්මා ගාන්ධි තුමා සම්බන්ධයෙන් මේ ඉතා කෙටි දේශනය උනත් මම කරන්නට කැමතියි විසි වැනි සියවසේ ඉන්දියාවේ මා ප‍්‍රිය කරන නිතරම කියවන, හදාරණ චරිත හතරක් ගැනම සඳහන් කරමින්. මේ හතර දෙනාම මගේ බුද්ධිමය විශ්වය පළල් කරන්නට අතිශයින් දායක වී තිබෙනවා. මේ හතර දෙනා ගැනම පොතපත ලියවීමත් ඒවා කියවීමත් තවමත් සිද්ධ වෙනවා. ඒ හතර දෙනාගෙන් පළමු වැන්නා මම ගුරු තනතුරෙහිලා සලකන ගුරුදේව රවීන්ද්‍රනාත් තාගෝර්. දෙවැනියා අද අපි කතා කරන මහත්මා ගාන්ධි. තුන් වැනියා ආචාර්ය බී.ආර්. අම්බෙඩ්කර් . හතර වෙනියා පණ්ඩිත් ජවහර්ලාල් නේරු. මේ හතර දෙනාගෙන් විවිධාකාරයෙන් ආභාසය නොලැබූ ලෝකපුරවැසියෙක් අපේ කාලයෙන් හොයාගන්නට හැකිද යන්නත් ප‍්‍රශ්නයක්. මේ හතර දෙනාට අමතරව තාමත් ජීවත් වෙන ප‍්‍රබුද්ධ ඉන්දියානුවෝ ගණනාවක් මගේ අධ්‍යාපනයට හා චින්තනය බලපා තිබෙනවා. ඉන් එක්කෙනෙක් තමයි අමර්තයා සෙන්. මටත් මගේ පරම්පරාවේ මා දන්නා තවත් අයටත් බලපා ඇති විසි වැනි සියවසේ ඉන්දියානු චින්තකයන්ගේ ගණන ලාංකික චින්තකයන්ගේ ගණනට වඩා වැඩියි. ඇමරිකා එක්සත් ජනපදයේ පශ්චාත් උපාධි පුහුණුව ලැබූ අප බොහෝ දෙනෙකුට බලපා ඇති ඉන්දියානු චින්තකයන්ගේ ගණන ඇමරිකානු චින්තකයන්ගේ ගණනට වැඩියි.

අනෙක් අතට මිනිස් බුද්ධියේ සහ මනුෂ්‍යත්වයේ විශිෂ්ට ප‍්‍රකාශයට පත්වීම් එක් තනි ජාතියකට හෝ රටකට අයිති වන්නේ නෑ. කවර ඓතිහාසික කොන්දේසි යටතේ ප‍්‍රකාශයට පත් වුවත් මෙවැනි විශිෂ්ට චින්තකයන්ගේ විශිෂ්ටතා ජයග‍්‍රහණ සේම පරාජයන්ද සියලු ලෝක පුරවැසියන්ට අයිතියි. ඒ නිසා විසි වැනි සියවසේ සියලු විශිෂ්ට මනුෂ්‍යයන් අප සියලු දෙනාට අයිතියි. මහත්මා ගාන්ධි පරමාදර්ශී මනුෂ්‍යයෙකු නොවුණත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකු බව බොහෝ දෙනෙක් පිළිගන්නවා.

ඔහුගේ චරිතය සහ බුද්ධිමය සකස්වීම ඉතා සිත්ගන්නා කතාවක්. සාමාන්‍යයෙන් අප සිතන්නේ ගාන්ධිගේ හැඩගැසීම මූලික වශයෙන්ම ඉන්දියානු සංසිද්ධියක් කියා. එහෙත් ඔහුගේ මුල් කාලීන බුද්ධිමය හැඩගැස්මට බලපෑවේ ඉන්දියානු අය නොවේ. මුල් කාලීනව ඔහුගේ චින්තනය සකස් වූයේ ලියෝ ටොල්ස්ටෝයි, ජෝන් රස්කින්, හෙන්රි තෝරෝ ආදීන්ගේ බලපෑමෙන්. ඔහු ගැටවර වයසේදී එංගලන්තයේ ඉගෙන ගනිද්දී මුණ ගැසුණු නිර්මාංශවාදීන්, බි‍්‍රතාන්‍ය හා යුරෝපා ජාතීන්. ඇතැම් දකුණු අප‍්‍රිකානුවන්, ගාන්ධිගේ චින්තනය සකස්වීමට තීරණාත්මකව බලපෑවා. ඒ නිසා තමයි තාමත් ජීවත් වන එක්තරා දකුණු අප‍්‍රිකානුවෙක් ඉන්දියානුවන්ට කියන්නෙ "ඔබ අපට නීතිඥයෙක් දුන්නා, අපි ඔබට මහත්මා දුන්නා". ගාන්ධි බිෆෝ ඉන්ඩියා කෘතියේ එන හැටියට ගාන්ධිගේ මුල් කාලීන චින්තනය හැඩගැසීමට බල පෑ බොහෝ දෙනෙක් ඉන්දියානු නොවන අය.

අපි අර ශ්‍රේෂ්ඨ ඉන්දියානුවන් හතර දෙනා වෙත යමු. මහත්මා ගාන්ධිට නියම ගෞරවය පුද කළ හැක්කේ මේ හතරදෙනා ගැනම සඳහන් කරමින් බවයි මට හිතෙන්නෙ. ඔවුන් අපට අයිතියි. ඒ හතර දෙනාගෙන් ලංකාවේ අපි බොහෝ කලෙකට පෙර උගත හැකිව තිබූ පාඩම් තවම ඉගෙන ගෙන නෑ.

අපට මේ ශ්‍රේෂ්ඨ මිනිසුන් ගැන අංලකාර සිංහල භාෂාවෙන් ආකර්ෂණීය ආලවට්ටම් දමා කතා කර නවතින්නට පුළුවන්. එහෙත් අප කළ යුත්තේ මෙවැනි මිනිසුන් පිළිබඳ සෑම සඳහනක්ම දැනටත් අප වෙත ඇති විශිෂ්ටතා යළි අවධාරණය කරන්නටත්, අපේ අවිශිෂ්ටතා සහ අසාධාරණයන් පිළිබඳ ප‍්‍රතිසංස්කරණීය මැදිහත් වීම් කිරීමටත් උත්තේජනයක් සේ යොදා ගැනීමයි. ගාන්ධිගේ පොත අපේ පොත් රාක්කයේ තියාගෙන හිංසක දේශපාලනයක යෙදීම, හිංසක ආයතන, හිංසක සංස්කෘතික පැවතුම් ආරක්ෂා කිරීම යනු ගාන්ධිට කරන විසාල නිගරුවක්. විධායක ජනාධිපති ක‍්‍රමය යනු අප සිරවී ඇති භයානක හිංසක ව්‍යූහයක්.

කවුරුත් ඇතුළත් කර ගැනීම

මම රසවත් සිද්ධියකින් පටන් ගන්නම්. නිදහස් ඉන්දියාවේ පළමු කැබිනට් අමාත්‍යවරුන්ගේ නාමලේඛනය ආණ්ඩුකාරවයාට බාර දීල ආණ්ඩුව පිහිටුවීම සුබමොහොතින් යෙදිලා තිබුණා. ඒත් ඉන්දියාවෙත් අපිට සමාන දේවල් සෑහෙන්න තියෙනවනෙ. ඇමතිවරුන්ගේ නම් ටික ලියල තිබුණා කොළ කෑල්ල නැතිවෙලා. නේරු ආණ්ඩුකාරයට බාර දුන්නෙ හිස් ලියුම් කවරයක්. දිවුරුම් දීමේ උත්සවේ එනවිට ඒ කොළ කෑල්ල හම්බ උනා. අගමැති නේරුට අමතරව 13 දෙනෙක් කැබිනට් මණ්ඩලේ හිටියා. ඒ අතර හිටියා දැඩි ජාතිකවාදීන් වූ වල්ලභ්බායි පටෙල්, මව්ලානා අබ්දුල් කලාම් අසාද්. ඉන්දියානු කොංග‍්‍රසයේ තරුණ පරම්පරාව නියෝජනය කළ හතර දෙනෙක්. එහෙත් වැදගත්ම යැයි සැලකෙන නම් අයිති උනේ කොංග‍්‍රස් පක්ෂයට නෙමේ. දෙන්නෙක් ව්‍යාපාර ලෝකය නියෝජනය කළා. එක්කෙනෙක් සීක් ජාතිකයෙක්. එක්කෙනෙක් බෙංගාලයේ, ශ්‍යාම් ප‍්‍රසාද් මුකර්ජි. තව තුන්දෙනෙක් කොංග‍්‍රසයට යාවජීව වශයෙන් විරුද්ධ වූ අය. මේ අය අතරින් එක්කෙනෙක් තමයි ආචාර්ය බී.ආර්. අම්බෙඩ්කර්. අතිශූර නීතිඥයෙක්. ඉතා පීඩිත හරිජන කුලයෙන් ආව ඒත් කලම්බියා විශ්වවිද්‍යාලෙන් ආචාර්ය උපාධි ගත්ත කෙනෙක්. කොංග‍්‍රස් පක්ෂයට ඕන්නං ගෙඩිය පිටින් බලය බදා ගන්න තිබුණ වෙලාවෙ ඇයි මෙහෙම කළේ කියන මාතෘකාව පැන නැංගා. මහත්මා ගාන්ධි අමරණීය උත්තරයක් දුන්නා:

"Freedom comes to India not to the congress"

අද අපි මේ ඉතිහාසය කියවද්දී හිතෙනවා අපිට මෙහෙම කියන්නත්, ඒ කියූ දේ ක‍්‍රියාවට නගන්නත් ශ්‍රේෂ්ඨ නායකයෙක් හිටියද කියා. 48දී 56 දී 72 දී 83 දී 2009 දී. 2014දී.

ඉන්දියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කවර අඩුපාඩු තිබුණත් සියලු දෙනා ඇතුළත් කරගන්නා සුලු ආණ්ඩු ක‍්‍රමයක් ලෞකික ව්‍යවස්ථාවක් යනාදිය ඇති කිරීම ඉන්දියානු නිදහස් අරගලයේ සිටි මධ්‍යස්ථ මතධාරී සහ ආදර්ශවත් නායකයින්ගේ ජයග‍්‍රහණයක්.

ගාන්ධි හැදුණෙ වැඩුණේ ඉතාමත් පුරුෂෝත්තම සමාජයක බවත් ඔහුගේ යෞවන වියේදී ඔහු අන් ඕනෑම සාමාන්‍ය පුරුෂයෙකු සේ ස්ත‍්‍රීන්ට සැලකූ බවත් ඔහුගේම ස්වයං ලිඛිත චරිතාපදානයේ ලියා තිබෙනවා. නමුත් ඔහු ස්ත‍්‍රීන් සම්බන්ධයෙන් බෙහෙවින් ප‍්‍රගතිශීලි ආස්ථානයක් වෙත මාරු උනා. මධු කිශ්වාර් වැනි පර්යේෂිකාවන් කියන හැටියට 19 වැනි සියවසේ අනෙක් දේශපාලන චින්තකයන් මෙන් ස්ත‍්‍රිය පිරිමින් විසින් ගලවා ගනු ලැබූ කාරකශක්තියෙන් තොර පිරිසක් සේ ගාන්ධි සැලකුවේ නෑ. ඔහු ස්ත‍්‍රීන් සැලකුවේ තමන්ටම කාරකශක්තියක් ඇති, තමාටත් කටහඬක් හිමිවිය යුතු පිරිසක් හැටියටයි. ඒ නිසා ගාන්ධි ස්ත‍්‍රීන් නිදහස් අරගලයේ සම-සහකාරියන් බවට පත් කර ගන්නට තැත් කළා. "මා ස්ත‍්‍රීන්ගේ නිදහස වෙනුවෙන් සේවය නොකරන්නේ නම් මගේ කාර්ය අවසන් නොවූ කාර්යක් වන බව මා දකුණු අප‍්‍රිකාවේ දී වටහා ගත්තෙමි"යි ගාන්ධි කියන්නේ ඒ නිසයි.


බී.ආර්. අම්බෙඩ්කර්

සාම්ප‍්‍රදායික ප‍්‍රඥාව

මහත්මා ගාන්ධි තුමාගෙන් අපිට ඉගෙන ගන්න තියෙන වැදගත් දෙයක් තමයි ආගම ආදී සාම්ප‍්‍රදායික ප‍්‍රඥාවේ මූලාශ‍්‍ර දේශපාලනික ආචාරධර්ම සඳහා භාවිත කරන හැටි. ආත්ම ඒකපුද්ගල සේම සාමූහික ආත්මපරිත්‍යාගය දේශපාලනය තුළට ගෙනෙන හැටි. තනි පුද්ගලයා තුළ මිනිස් විශිෂ්ටත්වය සොයා ගැනීම තුළින්, එනම් තනි පුද්ගලයා තුළ දෙවියන් සොයා ගැනීම තුළින් සාධාරණ සමාජයක් ගොඩනගන හැටි ගාන්ධි කල්පනා කළා. මේ නිසා ඔහුගේ චින්තනය බටහිර නූතනත්වයට වඩා වෙනස්. මහත්මා ගාන්ධිගේ යාවජීව විචාරකයෙකු වූ අචාර්ය බී.ආර්. අම්බෙඩ්කර්, නිදහස් ඉන්දියාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම බාරව පත් කෙරෙන්නේ ගාන්ධිගේත් ආශීර්වාදය ඇතුව. මේ අපේ රටේ හීනෙන් වත් හිතන්න බැරි වැඩක්. ගාන්ධි තනි තනි පුද්ගලයා තුළ ඇති කෙරෙන ආචාරධාර්මික වර්ධනය මගින් සමාජය යහපත් කරන්නට තැත් කළා නම් ආචාර්ය අම්බෙඩ්කර් කල්පනා කළේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, නීතියේ පාලනය මගින් සමාජය සාධාරණය ඇති කරන්න. ඉන්දියාව වැනි අතිශයින්ම අසමාන, විවිධ, ධුරාවලි සහගත සමාජයක් ඒකපුද්ගල මිනිසාගේ ආචාරධාර්මික විශිෂ්ටත්වය සොයා ගැනීමෙන් පමණක් යහපත් කළ හැකි යැයි ආචාර්ය අම්බෙඞ්කර් කල්පනා කළේ නෑ. ඒ වගේම ගාන්ධි වැනි අය කුල භේදය ස්වභාවික දෙයක් සේ ක‍්‍රියා කරන බවත් අම්බෙඞ්කර් විශ්වාස කළා. ඒ ධුරාවලි ස්වභාවික ඒවා නොවේ. ඒවා මිනිස් නිර්මිත. සමාජ සාධාරණය සඳහාත් විශේෂයෙන් සංස්කෘතික, ආගමික, හෝ ආර්ථික බලය ඇති හික්මවීම සඳහාත් විශිෂ්ට නීති සම්පාදනයත් නීතියේ ආධිපත්‍යය ඇති කිරීමත් අත්‍යවශ්‍ය බව ඔහු තර්ක කළා. ඔහු එක් තැනක මෙහෙම කියනවා.

"Constitutional morality is not a natural sentiment. It has to be cultivated. We must realize that our people have yet to learn it."

"ව්‍යවස්ථාමය සදාචාරය යනු ස්වභාවික මනෝභාවයක් නොවේ. එය වගා කරනු ලැබිය යුතුය. එය වූ කලි අපේ ජනතාවට තාමත් ඉගෙන ගැනීමට ඇති දෙයකි."


මේ දෙදෙනා අතර කොතරම් වෙනස්කම් තිබුණත් මේ දෙදෙනාම ශ්‍රේෂ්ඨ ජනනායකයන් බවත් ඒ දෙදෙනාම නිවැරදි බවත් මම හිතනවා. ඒ දෙදෙනාම එකවරම නිවැරදියි කියාත් මා හිතනවා. ඒ වගේම මා හිතනවා ගාන්ධිගේ අරගලය සහ අදහස් නොවුණා නම් අම්බෙඞ්කර්ගේ අදහස් මෙතරම් තියුණුව ප‍්‍රකාශ නොවන්නට ඉඩ තිබුණා. නිදර්ශනයක් හැටියට කුල ක‍්‍රමය එක්තරා ශ‍්‍රම විභජනයක් සේ ගාන්ධි හඳුන්වන කොට ආචාර්ය අම්බෙඞ්කර් කිව්වෙ එසේ කීම කුල ක‍්‍රමය තර්කානුකූල කිරීමක් බව. එය ශ‍්‍රම විභජනයක් නම් එමඟින් කෙරෙන්නේ ඒ ශ‍්‍රම විභජනය නැවත වෙනස් කළ නොහැකි ස්ථිර බෙදීමක් බවට පෙරලීමක් බව ඔහු පෙන්නා දුන්නා. එතැනදී මම වඩාත් ළං වන්නේ අම්බෙඞ්කර්ගේ චින්තනයට. එහෙත් මහත්මා ගාන්ධි සාම්ප‍්‍රදායික හින්දු චින්තනය එහි ඇතුළතින්ම අල්ලා කණපිට හරවන්නට තැත් කළ බව මම හිතනවා. ආගම් තුළ ඇති දර්ශනයන්හි යම් විමුක්තිකාමී හරයන් තිබිය හැකි වුවත් සංවිධානාත්මක වූ ද දේශපාලනීකරණය වූ ද ආගම්වලින් මුලින්ම ඈත් වෙන්නේ ඒ විමුක්තිකාමී හරය බව මහත්මා ගාන්ධි ඝාතනයෙනුත්, බණ්ඩාරනායක ඝාතනයෙනුත්, මුස්ලිම් අන්තවාදීන්ගේ කෙළවරක් නැති ඝාතන ලැයිස්තුවෙනුත් පේනවා. මහත්මා ගාන්ධි ආයතනගත ආගමේ ඇති මෙම හිංසක විභවතාව හොඳින්ම දැනගෙන පුළුවන් නම් තමන් ළඟ දෙවියන් සිටින බව පෙන්වන්නැයි ආගම් වලට අභියෝග කළ කෙනෙක්. එතුමා ආයතනගත ආගම් දිහා බැලූවේ සැකයෙන්. ඒ නිසා එතුමා තැත් කළේ ඒකපුද්කල මිනිසා තුළ ඇති ආචාරධාර්මිකත්වය, ධාර්මිකත්වය ක‍්‍රියාශීලි පුරවැසියෙකු නිර්මාණය කිරීම සඳහා මතු කර ගැනීම. ආගම ආචාරධාර්මික තර්කනයක් වෙනුවට ජනවාර්ගික අනන්‍යතාවේ ලකුණක් හැටියට පමණක් සලකන අය එන්න එන්නම වැඩි වෙන මේ කාලෙ ගාන්ධිගේ ආත්ම පරිත්‍යාගය සිහි කළ යුතු නැද්ද?

කලා රසික දේඥපාලනඥයා

මහත්මා ගාන්ධි සිහි කරන අද මගේ ප‍්‍රියතම අනික් ඉන්දියානුවා ගැන සඳහන් කරන්නෙ ඔහු බොහෝ අර්ථ වලින් ගත් විට තාගෝර්, ගාන්ධි සහ අම්බෙඩ්කර් යන තිදෙනාගේම සංකලනයක් බඳු නිසයි. ඔහු දකුණු ආසියාවේ අවසාන ප‍්‍රාඥ දේශපාලනඥයා යැයි කියන්නත් පුළුවන්. උගත්කම, වාග් චාතූර්ය, ගැඹුරු චින්තනය අතින් ඔහු දකුණු ආසියාවේ සිටි විශිෂ්ට ප‍්‍රාඥයෙක්. ඔහුගේ ප‍්‍රභූ සමාජ පසුබිම හා යටත්විජිත අධ්‍යාපනය තිබියදීත් දුගී දුප්පත් ඉන්දියානුවා සමග සහනුකම්පිකව බැලූ කෙනෙක්. විවිධාකාරයේ සමාජ විෂමතා සහිත ඉන්දියානු සමාජය තුළ සාධාරණය ඇති කිරීම පිණිස ඔහුටම ආවේනික සමාජවාදයක් පරිකල්පනය කළ කෙනෙක්. ලෝකය පුරා ප‍්‍රකාශ වූ මනුෂ්‍ය විශිෂ්ටත්වයට ආදරය කළ කෙනෙක්. විශිෂ්ට සාහිත්‍යය කියවීමට ඇලුම් කළ රසවතෙක්; තම ජීවන ලාලසාව වර්ධනය කරන බුද්ධිමත් ස්ත‍්‍රීන් සමීප සුහදිනියන් සේ ඇසුරු කළ ආදරවන්තයෙක්. සිය මරණ මංචකයේදී පවා රොබර්ට් ෆ්‍රොස්ට්ගේ අමරණීය කවියක් කියවමින් සිටි ගැඹුරු රසිකයෙක්.

"stopping by woods on a snowy Evening"

Woods are lovely, dark and deep
But I have promises to keep
And miles to go before I sleep
And miles to go before I sleep


වයස අවුරුදු 74 දී, එනම් 1964 ඔක්තෝබර් 27 වෙනිදා, ශ‍්‍රී නේරු මිය ගිය ඇඳ අසල තිබූ කොළයක මේ කවිය ඔහුගේ අත් අකුරින් ලියා තිබුණා.

එහෙත් ඔහු මිය ගියේ මහත්මා ගාන්ධිගේ චින්තනයෙන්ද, කැපවීමෙන්ද, ආභාසය ලැබූ ශ්‍රේෂ්ඨ ගාන්ධිවාදියෙකු සේ. ඔහුගේ ගාන්ධිවාදයේ විශේෂ ලක්ෂණය වූයේ ඔහු ගාන්ධිගේ අන්ධ අනුකාරකයෙකු නොවී නිදහස් ඉන්දියාව ගොඩනැගීමේදී අවශ්‍ය තැන් වලදී ගාන්ධිවාදයෙන් විචාරාත්මකව ඈත් වීමයි. සමස්ත ඉන්දියාව ලෞකික ඉන්දියාවක් කිරීම ඔහුගේ එක් ජයග‍්‍රහණයක්. නූතනත්වයේ බොහෝ අංග ඉන්දියාවට අවශ්‍ය දේ සේ පිළිගැනීම තවත් එකක්. මේ දෙකම ගාන්ධි තුමාගේ සැකයට භාජනය වූ දේවල්. ශ‍්‍රී නේරුගේ ජීවිතය ගැන අපූරු පොතක් ලියන ශෂී තරූර් දකින හැටියට නූතන ඉන්දියාව වෙත ශ‍්‍රී නේරුගේ බලපෑම රඳා පවතින්නේ ප‍්‍රධාන කුළුණු හතරක් මත.

එක - ප‍්‍රජාතාන්ත‍්‍රික ආයතන ගොඩ නැගීම
දෙක- සමස්ත ඉන්දියාව පුරා පැතිරුණු දැඩි ලෞකිකවාදය
තුන- ස්වදේශීය වශයෙන් ක‍්‍රියාත්මක කළ සමාජවාදී ආර්ථිකය
හතර- කිසිම කඳවුරකට නොබැඳුණු විදේශ ප‍්‍රතිපත්තිය


ඉන්දියාවට නිදහස ලැබුණ දා නේරු කළ ලෝ ප‍්‍රකට කතාවෙදි මෙහෙම කිවුවා.

"මධ්‍යම රාතී‍්‍ර හෝරාව හැඬවෙන විට සෙසු ලෝකය නින්දේ සිටිද්දී ඉන්දියාව ජීවිතය සහ නිදහස වෙත අවදී වෙයි. අප පැරණිබවෙන් පිටය අලුත් බව වෙත පය තබන මොහොත එයි. එක් යුගයක් අවසන් වන මොහොත එයි. ඉතා දීර්ඝ කාලයක් මැඩ තබන ජාතියක ආත්මය ආත්ම ප‍්‍රකාශනයේ වාගාලාපය සොයාගන්නා මොහොත එයි. එය ඉතිහාසයේ කලා තුරකින් එන මොහොතකි. ඉන්දියාවේ සියලු දරුවන්ට නිදහසේ ජීවත් විය හැකි නිදහසේ උත්තම මන්දිරය ගොඩ නැගීමේ කාර්ය අප හමුවේ ඇත."

මේ උත්තම මන්දිරය ගොඩ නැගීමේ කාර්ය අවසන් නොකළ මිනිසෙකු සේ නේරු මිය ගියත් නේරු හදමින් සිටි මන්දිරයත් කඩා බිඳ දැමූ දේශපාලනඥයන් ඉන්දියාව විසින් බිහි කර ඇතත් ගාන්ධියානු පරමාදර්ශ ඉදිරියට රැුගෙන ගිය කෙනෙකු සේ මම නේරු සිහි කරන්නේ අතිමහත් ගෞරවයෙන්. අපේ රටේ ඒ උත්තම මන්දිරය ගොඩනැගීම ආරම්භ කරන්නවත් අදහසක් තියෙන කීදෙනෙක් ඉන්නවද?

මහත්මා ගාන්ධි නම සිහි කරන දවසක මා සිහි කරන අනෙක් ශ්‍රේෂ්ඨ ඉන්දියානුවා තමයි ගුරුදේව රවින්ද්‍රනාත් තාගෝර්. මගේ හදවතට වඩාත් කිට්ටුත් ඔහු. පශ්චාත් යටත් විජිත ඉන්දියාව සියැසින් නොදැක මියගිය ගුරුදේව තාගෝර් ඇතැම් විට ගාන්ධිට අතිශයින් ගෞරව කළ ඒවගේම ගාන්ධිවාදයේ ඇතැම් අංග දරුණු ලෙස විචාරයට ලක් කළ කෙනෙක්. විශේෂයෙන්ම ජනවාර්ගික ජාතිකවාදය ඉන්දියානු ඉතිහාසයේ උරුමයක් නොවන බවත් යුරෝපයෙන් ඉන්දියාවට උරුම වූ දෙයක් බවත් තාගෝර් දැක්කා. බටහිර ශිෂ්ටාචාරයෙන් ද බටහිර නූතනත්වයෙන් ද බොහෝ දේ ඉන්දියාව වෙත උකහා ගත යුතු බව තාගෝර් දැක්කා. ඔහු ජාතිකවාදය නමින් රචනා එකතුවත් ඝරේභයිරේ හෙවත් හෝම් ඇන්ඞ් ද වර්ල්ඞ් නවකතාවත් ගාන්ධියානු ජාතිකවාදය පිළිබඳ ඔහුගේ විචාරය අඩංගු කරගන්නවා. ඉන්දියානු නිදහස් සටන සිදු වන අතරතුරම තාගෝර්, ගාන්ධිගේ ස්වරාජ් යන අදහස ප‍්‍රශ්න කළා. නියම නිදහස යනු මිනිසා සිරකොට තිබෙන ජාතික ආඩම්බරයෙන් මිනිසා නිදහස් කර ගැනීම බව තාගෝර් තර්ක කළා. ජාතිය, ජාතිකත්වය වැනි සංකල්ප ඔස්සේ ඉන්දියානු නිදහස් සටන පරිකල්පනය කිරීම මායාවක් බව තාගෝර් තර්ක කළා.


ගාන්ධි සහ රවින්ද්‍රනාත් තාගෝර්

තර්ක කිරීමකින් තොරව සම්ප‍්‍රදායවාදී වී අතීතයේ මළගිය සිරිත්විරිත් වල මනුෂ්‍යයා සිරකාරයින් කරන ජාතිකවාදය තාගෝර් ප‍්‍රතික්ශේප කළා. ගාන්ධි නූතන විද්‍යාව තරයේ ප‍්‍රතික්ශේප කරද්දී ප‍්‍රජාතාන්ත‍්‍රික නව ඉන්දියාවක් ගොඩ නැගීම සඳහා නුතන විද්‍යාව අත්‍යවශ්‍ය බව තාගෝර් තර්ක කළා. ඒ කාරණයෙදි පණ්ඩිත් නේරු ගාන්ධිවාදියෙකුට වඩා තාගෝර් වාදියෙක්. ගුරුදේව තාගෝර්ගේ අපේක්ෂා කළේ සියලු විශේෂ අනන්‍යතා වෙනුවට නිදහස් ලෝක පුරවැසියෙකු නිර්මාණය කිරීම. යම් කෙනෙකු අයත් ජනවර්ගයට හෝ ජාතියට දේශපාලන බලය ලැබීම සැබෑ නිදහසක් වත් නිදහස කරා යන ගමනේ එක් පියවරක් සේ වත් තාගෝර් දැක්කේ නෑ. බටහිර විසින් පෙරදිග වැරදියට වටහා ගෙන ඇති නම් පෙරදිග කළ යුත්තේ තමන්ගේ වාරයේදී නැවත වරත් බටහිර වැරදියට වටහා ගැනීමද යන්න ප‍්‍රශ්නය තාගෝර් ඇහුවා.

බටහිර යටත්විජිතවාදයට දැඩි සේ විරුද්ධ වූ තාගෝර් යටත්විජිතවාදීන් ඉන්දියාවේ කළ හිංසක ක‍්‍රියාවන්ට විරෝධය පාමින් තමන් වෙත ප‍්‍රදානය කරන ලද නයිට් නාමයද ආපසු බාර දුන්නා. එහෙත් බටහිර යටත් විජිතවාදයට විසඳුම ජනවාර්ගික ජාතිවාදයයි කියන තර්කය තාගෝර් මියෙන මොහොත දක්වාම ප‍්‍රතික්ශේප කළා. මේ දෙදෙනා අතර ඇති වූ විවාද සහ මතභේද නූතන ඉන්දියාවේ පදනම සකස්වීමට බලපෑ බව රහසක් නොවේ. තාගෝර්ගේ මෙම ප‍්‍රශ්න කිරීම ගාන්ධිගේ චින්තනය සංස්කරණය වීමට බලපෑවා වගේම නූතන ඉන්දියාව සකස්වීමටත් බලපෑවා. මහත්මා ගාන්ධි යනු ආත්ම පරීක්ෂාව ස්වයං විචාරය මිය යන මොහොත දක්වාම අත් නොහළ කෙනෙක් බව අපි දන්නවා. මේ කවීන්ද්‍ර ගුරුදේව සහ මහත්මා අතර ඇති වූ වැනි විවාදයක් ලංකාවේ ඇති වූයේ නෑ. සිංහල නවකතාවට තාගෝර් කෙනෙක් නෑ. ඒ නිසා මේ ඉන්දියානු ශ්‍රේෂ්ඨයන්ගේ විවාද නැවත පරීක්ෂා කිරීම අපේද ප‍්‍රඥාවේ වර්ධනයට හේතු වෙනවා.

දේශපාලන හිංසනය පමණක් නොව සංස්කෘතියක අභ්‍යන්තරයේ රැඳී තිබෙන කුල භේදය වැනි ව්‍යූහමය හිංසනය පිළිබඳ විමුක්තිකාමී විරෝධයක් පැන නගින්නේ නැතිව අපේ රටට සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගොඩ නගාගන්නට බෑ. ඒ නිසා මහාත්මා ගාන්ධිගේ සත්‍යාග‍්‍රහ හෙවත් නිර්හිංසක විරෝධය නම් සංකල්පය යළි යළිත් අවශ්‍ය වන කාලයකට මුළු ලෝකයම වගේම අපිත් එළඹ තිබෙනවා. ඒ නිසා මහාත්මා ගාන්ධි ජයග‍්‍රහණයෙන් කෙළ වර වූ සත්‍යග‍්‍රහයක් ගැන කී දෙයක් සිහි කරමින් මේ මගේ වචන ස්වල්පය අවසන් කරන්න කැමතියි.

"බාර්දෝලි සත්‍යග‍්‍රහය මගින් ඔප්පු වන්නේ රාජ්‍යයේ බලයට වඩා ජනතාවගේ බලය ඉතා වැඩි බවයි. මේ සාර්ථකත්වය රඳා පවතින්නේ සාමාකාමී වීමට ජනතාවට ඇති හැකියාව මතත් සාමකාමීව තම විරෝධය ඉදිරිපත් කරන්නට ඔවුන්ට ඇති හැකියාව මතත් ය."

ලියනගේ අමරකීර්ති



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|



අභිනව කාව්‍ය සංග‍්‍රහයක නිරතුරුවම පවත්නේ අනාගතයක අප‍්‍රමාණ වූ බලාපොරොත්තුවකි. කවිය කවියම නොවෙතැයි කියන විටෙක පවා, කවිය කවියම යැයි මට දැන් ඔබට ඔප්පු කළ හැකිය. 2014 දෙසැ. 20 වන දා එළිදැක්වෙන, ​"මිත්‍රවරුනි, විප්ලවය සිදු වූයේ නැත​"​ කාව්‍ය සංග්‍රහය චිරන්ත ජයසේන ගේ ය. එහි පෙරවදන​ මෙසේ ඔබට කියවන්නට දිය යුතු යැයි මට හැඟෙන්නේ කවිය කවියම බව ඔප්පු කරන්නට වෙනත් සාධක නුවුමනා බැවිනි. පෙරවදන ම කවියක් සේ වර නැෙඟන විට වැර වීරිය ගෙන එවන් නිර්මාණයක් ගැන අමුතුවෙන් සඳහන් කළ යුතු නැතැයි සිතමි.

ඒ රොනවුලෙහි සරන බිඟු වෙමි.

මේ ගිම්හානයේ අවසාන රාත‍්‍රී රේඛාව විය හැකිය. දිය බිඳක් පොළොවෙහි ගැටෙන හඬ ඇසේ. පිපාසිත මූල කේශිකා රාශියක් එ දිය බිඳ රිසිව මුර ගායි. ඉපල් තුරු බඳක් ගුරුත්වයට පහර දී වේදනා හඬ නංවමින් එදිය බිඳ ඉහළට ඇද ගනී.

හෝරාවක පිය සටහනකුදු නොතබා පෘථීවිය නිශචල චලනයකය. එ තුර නඟනා මිහිරිම ගීතයක රාවය රාත‍්‍රී වා ගැබ කළඹමින් මතු වේ. ගිම්හාන තාපයෙන් නොදැවී ඉතිරි වූ එහි අවසාන අතු කළඹෙහි මල් කැකුළක් පැළඳී ඇත.

මුල්ම හිරු කිරණයෙහි තුඩ වැදුණු බස්සෙකු සිය අඳුරු නවාතැන සොයයි. ප‍්‍රභාතය එළඹේ. පෙති දෙපෙති විහිදී ඒ සොඳුරු රොනවුල මතුවේ. අහා! එය මනරම් රඟමඬලකි. මම එ මත රිසි සේ රඟමි. ලාස්‍ය සීමාවන් ඉක්මවූ විටෙක පය ගැටී බිඳෙන රේණුවක් පිළිබඳ ඔබෙන් සමාව අයදිමි.

මෙ මල් පෙති අතර එ දිය බිඳෙහි තෙත ඇත.

එය නිලව්නාවකගේ ඇසගින් වට කඳුළක්, නව ලෝකයක පැතුම් නොසිඳ ගත් පාවෙල් කෙනෙකුගේ ඩහදිය බිඳුවක් හෝ ස්ටෙප්ස් සුළඟ උදුරා ගන්නට මොහොතකට පෙර ජමීලා ගේ ඇසින් ගිලිහුණු සතුටු කඳුළක් විය හැකි ය.


-පෙරවදන​ - ​'මිත්‍රවරුනි, විප්ලවය සිදු වූයේ නැත'

එය රසවත් පෙරවදනකි. එහි ඇත්තේ ද කාව්‍යමය අලංකාර ය. මේ ලියන්නට උත්සුක වන්නේ කාව්‍ය සංග‍්‍රහය පිළිබඳව වුව ද කෙටිකතාව වැනි නිරිමාණ දෙසට ද හැරෙන්නේ නම් අගනේ යැයි ද යෝජනා කරමි.

​***​

හිරුගේ එළියෙන් සහ මවගේ ආදරයෙන් ලෝකය තැනුනයි නොකියනා කෙනෙක් වෙත්ද? කවියෝ ඉර, හඳ සහ අම්මා සමතැන් ලා කෙතරම් කවිකම් කරත් ද? ​"​හිරු එළිය​"​ විටෙක මව් වන්නේ ය. තුරුලතා වන්නේ ය. මහපොළොව වන්නේ ය. හිරු එළිය වැගිරෙන්නේ අපරිමිත වූ දාරක ස්නේහයෙනි. ලොව කොයිකාටත් එක සේ එළිය දී හිරු අම්මා පසෙකට වී බලා හිඳින්නී ය. අම්මලා එහෙම ය. කන්දරාවක් ආදරය දී, ඈත ට වී බලා හිඳින්නෝ ය. ​ ​එවන් සෙනෙහස් නදියක එක බිඳක් හෝ අපතේ හළ යුතු නොවෙයි. ​ ​
"හිරු රැසක් යනු ලෙහෙනුනි
හුණු ව වැගිරෙන
මවකගෙ ආදරයයි
නුඹට මට..

බිලියන ගණන් වසර
මහලු මව් කෙනෙකි ඉර
ක්ෂීරපථයේ කොනක
හුදකලා වී හිඳින.. ​ "


"​හෝඩි පොතේ කඳුළු​"​ වල ඇත්තේ ලුණු රහ නම්​, ​ හිත හදාගන්නට තිබුණි. අනන්ත දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරුණු ජීවිත කතාවල, ඇත්තෙන්ම හෝඩියේ අකුරු එහෙ මෙහෙ වී යයි. තෙරපෙයි. මැකෙයි. පැන්සල් කොටයකින් හෝ එ අකුරු නැවත අඳින්නට ඔවුන්ට හැකි පරිසරයක් බිහි වී නැද්දැයි කෙනෙකුට අසන්නට පුලුවන් වුව ද, නගරබද තත්ත්වයනට වඩා හාත්පසින්ම වෙනස්​, ​ දුක්ගැහැට ග‍්‍රාමීය පෙදෙස් වල දැකිය හැකි ය. සාක්ෂරතාවෙන් ඉහළ අගයක් ඇතැයි කීම, ආර්ථික වර්ධනය කියාපෑමක් ම නොවන බව අප වටහා ගත යුතු වෙමු. ​ ​තම දරුවා පාසලකට ඇතුළු කර ගන්නට මව්පියන් කෙතරම් වෙහෙසෙත් ද? උන්ට පියාඹා යන්නට, තටු පුරුද්දන්නට අද සමාජයේ ඉඩක් ඉතුරු වී ඇද්ද? එහෙත්, මුඩු බිමක වුව මීරි ඉඳලොලු කැකුළු වලට පිපෙන්නට ඉඩ තියේ. එබැවින් එය කවියා ගේ ප‍්‍රාර්ථනය බවට පත් වෙයි. ​

"​ඡන්ද ලේඛනයෙ නම් ගම් නැතිව
තැනූ කූඩුවේ ආයුෂ මදව
කිලෝමීටර රහින්නට බැරිව
උඩු රැවුල් කරකැවූ
ගුරු දෙගුරු සේනාංක
රතු පෑන් තුඩින් ඇස් රතු කරන
පියවරුන්ගේ කඳුළු වැහි වස්සන
කඳුළු වස්සානයයි මේ.."


***
කාසි රුපියල් නැතිද
අඳුරු මංපෙත් අරින
සර්ව බලධර මැතිඳු
මූණ බැලුවේ නැතිද​..
​"


​"​ඒ සොඳුරු අහස​"​ යට ඉතා දීර්ඝ කාලයක් තිස්සේ තම පෙම්වතිය කවදා හෝ තමන් කරා ඒ යැයි බලා ඉඳිනා පෙම්වතෙකු වෙයි. දනියාර් ගේ පේ‍්‍රම ගීත ඇසෙන්නේ ද, ජමීලා පේ‍්‍රමයෙන් වෙළුණු ස්ටෙප්ස් තැන්න ඇත්තේ ද ඒ සොඳුරු අහස යට ය.

"​අර ඈත දුර හරිත සිතුවටම ඇඳ වැටුණ
හීල් හිම පදාසය ඔබට පෙණුනේ නැතිද
ඒ තමයි සියල් වැටකඩුලු බිඳ හැර දිනක
ජමීලා පේ‍්‍රමයෙන් වෙළුණ ස්ටෙප්ස් තැන්න

කන් දෙන්න නිහඬ වී ඒ හඬට
දනියාර්ගේ පේ‍්‍රම ගීයක් ඇසේ සෙමින.. ​"


වෙළඳ සන්නාම නිර්මාණය ඉතා සියුම් කටයුත්තකි. ඉවසීමෙන් කළ යුත්තකි. මේ මොහොත වන විට, වෙළඳ සන්නාම සමාජය ආක‍්‍රමණය කර තිබේ. ඔබේ ආර්ථික පසුබිම නොකියා කියා පාන සංකේත වන්නේ බොහෝ විට එම වෙළඳ සන්නාමයන් ය. එහෙත් අනෙක් අතට එය නිර්මාණශීලි ය. කියාගන්නට අවැසි යමක් ලඝු කොට දැක්වීමකි. ඒවාට මිලක් නියම වෙයි. එබැවින් ප‍්‍රකට සන්නාම නිර්මාණයක යම් පලුද්දක් සිද්ධ වීම ආයතනයේ සුළු පාඩුවක් ද, පාඩුවක් නොවන්නක් ද විය හැකියි. එහෙත්, එම නිර්මාණශිල්පියාගේ මාසික වැටුපට උපරිමයෙන් බලපාන්නක් විය හැකි ය. ​"​වැරදුණු සෝදුපත​"​ නවීණ පරිඝනක ක‍්‍රියාධරයකු ගේ අතපසු වීමකින් ඔහුගේ මාසික වැටුප ට කෙතෙක් දුරට බලපෑම් කරන්නේ දැයි විදහා දක්වයි. එළැෙඔනා අලුත් අවුරුද්ද ට තම පුතුට හිනාවක් අරන් එන්නට ඔහු බලා ඉඳී. එහෙත් තරු ලකුණු හිමි වෙළඳ සන්නාම​ ​ග‍්‍රැෆික් සිත්තමෙන් තරුවක් ගිලිහී යන්නේ අත්වැරැද්දකිනි. අවුරුද්දේ සියලු ප‍්‍රාර්ථනා සුණුවිසුණු කරදමමින් අත්තිකාරම්, ප‍්‍රසාද දීමනා ඇතුළු සියල්ල නිර්මාණශිල්පියාට අහිමි වෙයි. චිරන්ත එය කවියට නඟන්නේ මෙසේ ය.

"​යුරෝපාකරය පැහැපත් කරන
මහාසාර ඇඟළුම් සමාගමක
ප‍්‍රාණ සම එක් වෙළෙඳ සළකුණක
තරු වැලක එකම එක තරුවකට
හිලව් වුණා පුතේ
අපේ අවුරුදු සතුට."


​"​සේල්ස් රෙප්​"​ යනු ද තවත් ඒ හා සමාන සිදුවීමකැයි කිව හැකි ය. ගෙන් ගෙට යමින් අදාළ භාණ්ඩ සහ සේවා විකිණීම ඔවුනගේ රාජකාරිය වෙයි. එහෙත් ඔවුන් මුහුණ දෙන විවිධ ගැටළු, අපහසුතා බොහෝ ය. ඒ පිළිබඳ විවිධ නිර්මාණ මින් පෙර​ ​ද අපට හමු වී ඇත. බාහිර සිත් ලගන්නා​ ​පෙනුම යට ඇති වෙහෙස මහන්සිය සහ හාම්පුතුන්ගේ නො සැළකිල්ල ආයතන වල සැළකිල්ලට භාජනය වන්නේ නම්! සිතෙයි.

​"​ඉඳුම් හිටුම් උවමනාය​"​ කවියෙන් සමාජයේ දරිද්‍රතාව කෙතරම් දැයි උලුප්පා දක්වයි. පරිභෝජන ආර්ථික රටාවට අනුගත වූ අපට අද සිදු වී ඇත්තේ අඩුම තරමින් බැංකුවකට හෝ ණයගැතියකු වන්නට ය. අපගේ සිහින උකස් කර දමන්නට ය.

"​බැංකුවේ මහත්තුරු පොදි ගැහී
සාක්කුව වෙත එබී බැලූ දා
ඉලක්කම් බිම වැටුණු පඩිපතේ
අපි ඇන්ඳ නිල් පාට හීනයම
රතු පෑනකින් කපා තිබුණා.​"​


එය මේ මොහොතේ දහස් ගණනකගේ දෛනික ජීවිතය යි. මාසයක් අවසානයේ කඹුරා ලැබෙන වැටුප බොහෝ ණය සහ අත්තිකාරම් සඳහා කැපී යයි. තවදුරටත් වෙහෙස වීමෙන් ඵලක් නැතැයි පසක් කරගන්නා කවියා, ඊට අනුගත වීම යෝජනා කරයි. තම දරුවන්ට ද උරුම වන්නේ එයම බැව් සිතෙනා විට, කඳුළු එහි එළිවැට පනී. හිනාරැල්ලක් වෙනුවට ඔවුන් ඇහිපිය ගසන්නේ එ​ ​කඳුළු වේලා ගන්නට ය.

"​රක්ෂණෙන් සහ නේක වධ වලින්
කෙට්ටු වී පණ අදින ණය මල්ල
එහෙ මෙහෙ උන් අතම
පෙරළෙමින් හඬ හඬා උන්නා... ​"

(එහි ම​) ​

අන්තිම ට ඇත්තේ ඇස් අස්සේ කරකැවෙන සිහින පමණ ය. ඒවා අගට එකතු වන්නේ කඳුළු පමණ යැයි ඔහු පවසයි. කවියකු, නිරායාසයෙන් ම සමාජය හඹා යා යුතු ය. ඔහු ට දැනෙන සංවේදනා හුදෙක් කවියක් ම නොවන්නේ ත්, එය අපේ ම ජීවිත අත්දැකීම බවට පත් වන්නේ ත් එවිට බව චිරන්ත ගේ එම කවිය පසක් කරවයි.

මේ දෙසැම්බරය යි. දෙසැම්බර හීතල පැතිරෙයි. මේ සා හීතල කඳුළු නැවත නැවත ඇස් අගිස්සෙන් මතු වන්නේත් මේ දෙසැම්බරයේ ම ය. කල්ප කාලයක් තිස්සේ ම සමුදුරකට වුව ඉමක් කොණක් නැති දුක් වේදනා දරන්නට, ඉවසන්නට හැකිද? සමුදුරු පතුළත කැලතෙයි. හඬයි. නිහඬ වෙයි. නැවත මහා සාගරය කලම්බා එ සුසුම් දෙගොඩ තලා යයි. එය පළිගැනීමක් ද, ​"​පළිගැනුම​" ​මෙසේ යැයි චිරන්ත අපට කියන්නේ ය.

​"​අතංගුවකින් අල්ල ගත්තට
ඉලත්තෙක් දෙන්නෙක් දිමිත්තෙක්
අටවලා මස් අතු තැනින් තැන
අල්ල ගත්තට කලපු ඉස්සෙක්
උරණ වීමෙන් හෙම නොවේ මේ
පළිය ගත්තේ මහා සමුදුර.."


ඒ පළිගැනීමක් දැයි කවියා තව දුරටත් පැහැදිලි කර ඇත.

​"​කිරි පුරෝ ගත් ඵල පුදා
ජීවිතය යැදි එක් කිරල යායක්
කැති ගසා දැමු කලපු ඉවුරක්
ගැන තිබුණි සයුරට මහා දුකක්."​


ඉන්, අප කරන කියන දෙයෙහි ප‍්‍රතිඵල අප කරා නැවත එන්නේ යැයි ද අපට යළි සිහිගන්වයි.

ශ‍්‍රමික අයිතීන් වෙනුවෙන් කෙරෙන උද්ඝෝෂණ, ඉල්ලීම් වලට ඇහුම්කන් දෙනු වෙනුවට, ඔවුන් මැඩපවත්වා දැමීම, හිරිහැර කිරීම පහුගිය කාලයේ නිතර නිතර අපට දකින්නට ලැබුණු අතර, මිනිස් ඝාතන පවා එවන් අවස්ථා වල දී සිදු විය. සහෝදර ජනතාවකගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිවි පිදූ එවන් පුතුන් අමතකව ගිය මොහොතක, විප්ලවය සිදූ නොවූ බව 'සටන් සගයා' ට ලියමින් චිරන්ත අපට මතක් කර දෙයි.

"​සහස් ඩා බිඳු වැටී
මෙලෙක් වුණ වැඩබිමට
ඇද වැටී කුරුල්ලෙක් නෙතු පියයි
මහ පොළොවටත් රිදී ඉකිගසයි..​"


"රුධිර පොරොන්දම" බොහෝ නිර්මාණකරුවන්ගේ නෙත නොගැටෙන ඉසව්වකි. පේ‍්‍රමයෙන් ආතුර වීම, පේ‍්‍රමයෙන් ම සුවපත් වෙයි. එහෙත් පේ‍්‍රමයෙන් ආතුර වූවකුට වෙදකම් කරන්නට ​වෙදදුරකුට නොහැකි විය හැකි වුව​ ​ද, යම් අවස්ථාවකදී එවන් පේ‍්‍රමයකට වැටබඳින්නට වෙදැදුරකුට හැකි ය. තැලමීසියා රෝගය පිළිබඳ ව වරින් වර මාධ්‍යය හරහා විවිධ කතිකාවන් ගොඩනැෙඟයි. ඒ පිළිබඳව සමාජය දැනුවත් කරන්නට වෛද්‍යවරු උත්සාහ ගන්නා අයුරු දැකගත හැකියි. එහෙත් කවියකු ගේ අනුභූතියක සේ එය සමාජගත වන්නේ අහම්බෙනි. එම රෝගය, රතු රුධිරානු වල ඇති හිමොග්ලොබින් හි ඇති ප්‍රෝටීන සංඝටක හි ඇති වෙනස්කම් නිසා සිදුවිය හැකි ආසාදන තත්වයක් වන අතර, එය පාරම්පරික රෝග නිධානයක් වීමට ඇති ඉඩකඩ වැඩි යැයි වෛද්‍යවරු පවසති. එබැවින් ඥාති විවාහයන් අද වෛද්‍යවරු අනුමත නොකරති. නෑනා මස්සිනාලා අතර ඇති විය හැකි පේ‍්‍රමය මෙවන් කරුණක් නිසා මඟහරින්නට සිදු වීම කණගාටුදායක කරුණක් වුවද, එය බුද්ධියෙන් සිතාබලා කටයුතු කළ යුතු යැයි "රුධිර පොරොන්දමෙන්" චිරන්ත අප පොළඹවාලයි. එවිතරක් නොවේ, පේ‍්‍රමය අභියස නක්ෂත‍්‍රය වුව ද දෙවැනි වන අයුරු යම් තරමක උපහාසයකින් ඉන් හඟවයි. සියලු පොරොන්දම් ගැලපුණ ද, රුධිර පොරොන්දම අනිකකි. එය විද්‍යාවට හසුවන්නක් වන අතර සිදුවිය හැකි තත්ත්වයකි. විවාහ වීමට බලාපොරොත්තු වන්නන්, නෑනලා මස්සිනාලා නොවූව ද, රුධිර පරීක්ෂාව වඩා අගනේ යැයි වෛද්‍ය මතයයි.

"​සීරු මාරුවෙන් චන්ද්‍රයාවත් හඳහනේ
සියල් පොරොන්දම් ගලපන්න බැරි නොවේ
වර්ණ දේහයන් උගුලන්න බැහැ පරපුරේ
තැලමීසියා පොරොන්දම ගලපන්නද කොයි ලෙසේ.. ​"


​චිරන්ත ජයසේන ගේ 'මිත්‍රවරුනි, විප්ලවය සිදු වූයේ නැත'​ ​කාව්‍ය සංග‍්‍රහය, ශ‍්‍රී ලාංකීය සාහිත්‍ය ක්ෂේත‍්‍රයේ තවත් බලාපොරොත්තුවක් ලෙස අපි දකිමු. මෙම ග‍්‍රන්ථයට ඇතුළු නොකළ තව බොහෝ කවි ද අපට අන්තර්ජාල වෙබ් අඩවි ඔස්සේ මුණ ගැසෙයි. බූන්දියෙහි ද ඉන් බොහෝ කවි වෙයි. යහපත් සමාජීය, දේශපාලනික අරමුණු ඇතිව සාහිත්‍යයේ යෙදීම ම විප්ලවයට දායකත්වය සැපයීමකි.

"අම්මා" ලියැවේවිද එහෙව් බිමක?

රිදී සමෝවාරයක් තුළ වුව
හේමන්ත සිසිලනයක
නිද්‍රාගතවනු හැක්කේ ජලයට
සුළුකාලයකි හිතවත
විසල් සුළං ප්‍රවාහයකින්
අළු ගසා දැමුන තැන
ඇවිලී ගිනි පුපුරු
වාෂ්පව යන බැව් එ'දිය
මුලින්ම හැඳින්නේ
සාර්ගේ මිනිසුන්ය

වාමන පොලිස් පංචස්කන්දයක
ගිනියම් වදන් වැලකින්
ළය පැළී මියගියා
නිලව්නා නම් වීරවරිය
එහෙත් මිය ගියේ නෑ ඈ තුළ
සදාකල් දිවි ගෙවූ මව
කුලී හේවායන් දැන සිටියා එය​.. ​

එක් භූ කම්පනයකින්
බිඳී ගියා වොල්ගා නදී දෑල
විසිරුණා මාතෲ වොල්ගාවගේ දිය
වියළි තැනි බිම මත
පලා පැහැයෙන් මෘදු වූවා එබිම​.. ​

අතහැරුණි ඔහු අතින් රතු ධජය
මවකගේ බිඳුණු හදවත අසල
ජීවිතාශාව දැල්වුණු තැන
ගොළුවුණා විප්ලවීය හදවත
ඉස්තරම් සාර් තරු පැළඳුනා
පව්ලූෂාගේ කබාය මත
සමාව ලැබුවා සාෂා
වංශක්කාර දෙගුරුන් වෙතින
මිහිරි පොල්කා නැටුමකිය
ඉනික්බිති ඔවුනගේ ජීවිතය

හොහොල්, නතාෂා, රිභීන් ඈ
සියල්ලන් දිනාගති
සාර්ගේ විමුක්තිය
කොපෙක් ලියලනා
රාජ්‍ය බිම් මත...
පරණ උපමා රස කථාවන්
පහදවමින් උන්නා ගෝර්කි
එම්ප්‍රදෝරු මහ රජාට​.. ​

විප්ලවය සිදුවුණේ නෑ හිතවතුනි
මේ අමුතු රුසියාව මත
​"​අම්මා​"​ ලියැවේවිද
එහෙව් බිමක​.


එබැවින් මිත‍්‍රවරුනි, ඔබ දන්නා පරිදි​, ​ ඕනෑම මොහොතක විප්ලවය සිදු වන්නට පුළුවන.

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails