Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුව සෑම මැතිවරණයකදීම තොරොම්බල් කරනු ලැබේ. 2015 ජනාධිපතිවරණයේදී ද එසේ සිදුවිය. රාජපක්ෂලාවීරවංශලාමෛත්‍රීලා රට බෙදන බව අටුවා ටීකාත් සමග කීවෝය. මෛත්‍රීලා ද, චම්පිකලා ද දිවිහිමියෙන් එසේ නොකරන බවද, උතුරෙන් හමුදා නොකැඳවන බව ද අවධාරණය කළෝය. මේ සියල්ල පැහැදිළි කරන්නේ ඓතිහාසිකව සිංහල ජනයා තුළ ජනිත වී ඇති ෆෝබියාව හෙවත් භීතිකාවයි. ඒ පිළිබඳව හරවත් සංවාදයකට මුල පිරීමටයි මේ ප්‍රයත්නය.

අමතක කළ නොයුතු ඉතිහාසය

යූ.ඇන්.පීය තුළ නායකත්වය පිළිබඳ ඩී.එස්. සේනානායකගේ සැලැස්ම තුළ තමන් ගිලිහෙන බව දුටු එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක යූ.ඇන්.පීයෙන් ඉවත්ව ශ්‍රී.ල.නි.පය පිහිටුවාගත්තේය. 56 ඡන්දයේදී ඒ වන විට මතුවෙමින් තිබූ සිංහල බෞද්ධ බලවේගය ඉති සූක්ෂ්ම ලෙස තමන් වෙත ඇද ගන්නා ඔහුගේ ප්‍රමුඛතම සටන් පාඨය වූයේ "සිංහලය පමණක්" රාජ්‍ය භාෂාව කිරීමයි. මැතිවරණය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළ ඔහු එම පොරොන්දුව ඉටු කළේය. සිංහල ස්වෝත්තමවාදී බලවේගයන් සතුටු කරන්නට කළ එහි රාජ්‍යතාන්ත්‍රික වරද වටහා ගත් අගමැති බණ්ඩාරනායක උතුර නියෝජනය කළ ෆෙඩරල් පක්ෂයේ නායක චෙල්වනායගම් සමඟ ගිවිසුමක් අත්සන් කළේය. එමගින් දමිළ භාෂාව ලංකාවේ සුලුතර ජාතිකයන්ගේ භාෂාවක් ලෙස පිළිගැණුනු අතර උතුරු නැගෙනහිර පළාත් පාලන භාෂාව ලෙස සලකනු ලැබීය. එමෙන්ම රට සභා ලෙසින් හඳුන්වනු ලබන පරිපාලන ඒකකයන් ස්ථාපිත කර එම ප්‍රදේශ සංවර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන බලතල ලබා දීමට නියමිත විය. එහෙත් එවකට ආසන 8කට බලය පල්ලම් බැස සිටි එ.ජා.ප.ය මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන රට බෙදන යෝජනා යැයි කියමින් ජාතිවාදී ලෙස ෆෝබියාවක් ජනතාව තුළ රෝපණය කරන්නට කටයුතු කළේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉතාමත් අසාධාරණ අයුරින් ඒක පාර්ශවීය ලෙස මෙම ගිවිසුම ඉරා දමන්නට බණ්ඩාරනායක මහතා කටයුතු කළේය.

මේ සඳහා වන අනෙක් ප්‍රයත්නය දරණ ලද්දේ 1965 දී බලයට පත් යූ.ඇන්.පීය විසිනි. යළිත් අගමැති ඩඩ්ලි සේනානායක, චෙල්වනායගම් මහතා සමඟ ගිවිසුමකට එළඹුණි. එමඟින් දෙමළ භාෂා විශේෂ විධිවිධාන පණතක් ගෙන ඒම හා උසාවි භාෂා පණත සංශෝධනය කිරීම මඟින් දෙමළ භාෂාවට ඊට හිමිවිය යුතු සාධාරණ තැන ගෙන ඒමට උත්සාහ කරන ලද අතර බලය විමධ්‍යගත කෙරෙන ඒකකයක් ලෙස දිස්ත්‍රික් සභා පිහිටුවීමට නියමිත විය. මෙහිදී බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ගෙනා ශ්‍රී.ල.නි.පය අවස්ථාවාදී ලෙස බෙදුම්වාදී ෆෝබියාව අවුස්සා එම ප්‍රයත්නය ද ව්‍යර්ථ කළේය. යළිත් තමන් රැවටුණු බව දෙමළ ජනයා සිතූහ.

සිංහලය පමණක් රාජ්‍ය භාෂාව කළ දා පටන් සිදුවූ දෑ සියල්ල තුළ දෙමළ ජනතාව තුළ සිංහල පාලනය කෙරේ තිබූ විශ්වාසය බිඳෙමින් තිබිණි. 1958 ජාතිවාදී කෝලහාලය ද 1960 උසාවි භාෂා පණත මඟින් උසාවියේ භාෂාව සිංහල පමණක් කිරීම ද මේ තත්ත්වයට විරුද්ධව 1961 දී සිදුකළ අහිංසාවාදී සත්‍යග්‍රහණයට හමුදා හා පොලිස් ප්‍රහාර එල්ල කිරීම නිසා මුතූර්හි පාර්ලිමේන්තු මන්ත්‍රී ඒගාම්බරම් මහතා මරණයට පත් වීම හා බොහෝ දෙනෙකු තුවාල ලැබීම, හිතාමතා දෙමළ ජනානුපාත වෙනස් කිරීමේ පරමාර්ථයෙන් රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස සිංහල ජනාවාස පිහිටුවීම විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ප්‍රමිතිකරණය යොදා ගැනීම, 72 ව්‍යවස්ථාව මඟින් එතෙක් සුලු ජාතික හා ආගමික කොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා වීම සඳහා වූ සෝල්බරි ව්‍යවස්ථාවේ 29 වන වගන්තිය ඉවත් කිරීම, රාජ්‍ය භාෂාව යළිත් සිංහල පමණක් වීම හා බුද්ධාගම රාජ්‍යාගම වීම 1974 දමිළ භාෂා සමුළුවට පොලිස් ප්‍රහාර එල්ල කිරීම හා 9 දෙනෙක් ජීවිතක්ෂයට පත් වීම වැනි බොහෝ කාරණා එකතුව දකුණේ සිංහල පරිපාලනය කෙරේ ඇති විශ්වාසය බිඳ වට්ටමින් තිබිණි. මෙය වෙනම රාජ්‍යයක් සඳහා වන ඉල්ලීමක් හා සන්නද්ධ අරගලයක් කරා උතුර තල්ලු කරමින් තිබිණි.

එහෙත් ඒ වන විටත් තරුණ කොටස් වෙතින් ලියලමින් තිබූ එම සටන්කාමීත්වයට හෝ වෙනම රාජ්‍ය සංකල්පයට දෙමළ බහුතරයක අනුමැතිය හෝ අනුග්‍රහය නොවීය. මේ තත්ත්වය තුළ බලය බෙදීමේ හා භාෂාවට සමතැන ලබා දීමේ සාධාරණ ප්‍රතිකර්මයක් කරා යොමුවනු වෙනුවට දකුණේ ආණ්ඩු කළේ තම පොලිස් හා හමුදා බලය යොදමින් උතුරට හයිරං පාට් දැමීමය. 1977 යාපනයේ ශා. පැට්‍රික් විද්‍යාලයේ පැවති සැණකෙළියේදී පොලිසිය හා සිසුන් අතර ගැටුමක් ඇති විය. මේ එක් හුදකලා සිද්ධිය මුල් කරගෙන ජාතිවාදී කෝලහාලයක් නිර්මාණය වී සිය ගණනක් ඝාතනය වී 50000 කටත් අධික දමිළ ජනතාවකට උන් හිටිතැන් අහිමිව සරණාගත වන්නට සිදුවිය.

මේ තත්ත්වයන් තුළ තව දුරටත් දකුණ සමඟ තම අයිතිවාසිකම් වෙනුවෙන් කෙඳිරිගාමින් සිඟමින් කේවල් කරමින් ගුටිබැට කමින් කල්ගත කරනවාට වඩා අභිමානවත් ලෙස ජීවත් වීමේ වුවමනාව තුළ වෙනම රාජ්‍යය සංකල්පය එන්න එන්නම දෙමළ ජනයා තුළ තහවුරු වීම අසාධාරණ යැයි හදවතක් ඇති කවරෙකුට කිව හැකිද? 1977 මහ මැතිවරණයෙන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ උතුරු නැගෙනහිර බලයට එන්නේ එය මහ මැතිවරණ සටන් පාඨයක් කර ගැනීමෙනි.

මෙය පුදුම සහගත පරිවර්තනයකි. අතීතයේදී ලංකාවේ වෙනම රාජ්‍යයක් ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලා සිටියේ කන්ද උඩරට සිංහලයෝය. එකල බණ්ඩාරනායක මහතා ද ශ්‍රී ලංකාවට ගැලපෙන්නේ එවැනි ක්‍රමයක් බව තහවුරු කළහ. සිංහලයෝ අධිරාජ්‍යවාදී ඩොනමෝර් ප්‍රතිසංස්කරණ පිළිගනිද්දී ලංකාවට ඒකීය රාජ්‍යයක් තුළ පූර්ණ නිදහස ඉල්ලා සිටියෝ ද්‍රවිඩයෝය. යාපනය තරුණ සංගමයේ ඉල්ලීම පිට ඔවුහු ඩොනමෝර් ඡන්දය වර්ජනය කළහ. 1970 මහ මැතිවරණයේදී කලක් එ.ජා.ප ඇමතිවරයෙකුව සිටි සී. සුන්දරලිංගම් සහ වී. නවරත්නම් යන දෙදෙනා වෙනම රාජ්‍යයක් පිළිබඳ අදහස ඉදිරිපත් කරමින් ස්වාධීනව මැතිවරණයට තරඟ කළහ. දකුණ විසින් බෙදුම්වාදී යයි එදත් අදත් චෝදනා කරනු ලබන ෆෙඩරල් පක්ෂය ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටියේ රට දෙකඩ කරන යෝජනා ගෙනෙන අපේක්ෂකයන්ට ඡන්දය නොදෙන ලෙසය. මෙහිදී සුන්දරලිංගම් මහතා අන්ත පරාජයට පත් විය. එසේ තිබූ උතුර 1970 දශකය අග භාගය වන විට 180 කින් කැරකී වෙනම රාජ්‍ය සංකල්පයක් කරා තල්ලු වූයේ කෙසේද?

සටන්කාමීත්වය තහවුරු කරදීම

මේ තත්ත්වය සමනය කරමින් වඩා එක්සත්ව බලය බෙදා හදා ගන්නා වූ සහෝදරාත්මක දේශපාලන ක්‍රියාදාමයක් නිර්මාණය කරනවාට වඩා දකුණ, උතුරේ ජනතාව තුළ දකුණ කෙරේ ඇති විශ්වාසය බිඳ වට්ටවන්නට කටයුතු කළ අතර ආගම භාෂාව හා ජනපදකරණය යන කරුණු සම්බන්ධයෙන් 72 ව්‍යවස්ථාවේ වූ ප්‍රතිපත්තිය තහවුරු කළේය. 1979 දී ගෙන ආ ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත ක්‍රියාවට නංවමින් දෙමළ ජනයාගේ සාමාන්‍ය දේශපාලන කටයුතුවලට පවා බාධා ඇති කළේය. 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයට දකුණෙන් ගිය මැර පිරිස් උතුරේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරමින් ආසියාවේ තිබූ විශාලතම පුස්තකාලයක් වූ යාපනය පුස්තකාලය ගිනි තබා විනාශ කළේය. ඡන්ද කොල්ලකෑම්ද කඩසාප්පු විනාශ කිරීම්ද අතර මිනීමැරුම් 5ක්ද සිදු විය.

ජනවාර්ගික ගැටළුව පිළිබඳ ඉතිහාසයේ විශාලතම කළු පැල්ලම වූයේ 1983 ජාතිවාදී කෝලහාලයයි. කොටි සංවිධානයේ ප්‍රහාරයකින් හමුදාවේ 13 දෙනෙකු ඝාතනය වීමේ පළිය ගත්තේ රට පුරා විසිරී සිටින අහිංසක දෙමළ ජනතාවගෙනි. නිල නොවන වාර්තා අනුව 3000කට වඩා ඝාතනය වූ අතර කෝටි ගණන් දේපළ ගිණි තබා විනාශ කරන ලදි. සිර ගෙදර සිටි දමිළ සිරකරුවන්ට පවා දස වධ දී මරා දමා තිබිණි.

ජයවර්ධන ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 6 වන සංශෝධනයක් ගෙන එමින් 77 මැතිවරණයේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂය බවට පත්ව සිටි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තුවේ නියෝජනය සූක්ෂ්ම ලෙස අහිමි කරමින් සර්ව සිංහලවාදී පාර්ලිමේන්තුවක් බිහි කර ගත්තේය. මේ අනුව ප්‍රායෝගිකව උතුරු නැගෙනහිර දෙමළ ජනයාට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ද අහිමි කරන ලදි. මේ ආකාරයට දකුණත් සමඟ සමගියෙන් හා සහයෝගයෙන් බලතල බෙදා ගනිමින් කටයුතු කිරීමේ සියලු බලාපොරොත්තු දකුණේ දේශපාලනය විසින් බිඳ දමන ලදි. මේ තත්ත්වය දකුණෙන් වෙන්ව වෙනම රාජ්‍යයක් බවට පත්වීමේ වුවමනාවට අවශ්‍ය පසුබිම හොඳින් ඇති කරන්නට සමත් විය. එමෙන්ම ඒ සඳහා වන සන්නද්ධ අරගලයටද අවශ්‍ය ජනපදනම ද මනාව සැකසුණි. තමිල්නාඩුවේ බලපෑම මත ඉන්දීය රජය ද දෙමළ අරගලය කෙරෙහි සානුකම්පිත බවක් දැක්වූ අතර ස්වකීය කලාපීය දේශපාලන අරමුණුවලට වාසිදායක අන්දමින් එය හසුරුවන්නටද ඔවුහු වගබලා ගත්හ. දෙමළ සන්නද්ධ අරගලයට ලැබුණු ජන පදනම මත දෙමළ සටන්කාමීන්ගේ සන්නද්ධ ක්‍රියාකාරකම් වර්ධනය වී උතුරු නැගෙනහිර ප්‍රදේශ බොහෝමයක පාලනය තමන් අතට ගන්නට දෙමළ සටන්කාමීහු සමත් වූහ.

පළාත් සභා ඇරඹුම

මෙය ජයවර්ධන ආණ්ඩුවේ අභිමානයට මරු පහරක් විය. වඩමාරච්චි ප්‍රදේශය යළි නතුකර ගැනීමේ මෙහෙයුමක් අරඹා මඳින් මඳ උතුර යළිත් දකුණේ ආණ්ඩුව යටතට ගැනීමේ සන්නද්ධ ක්‍රියාකාරකම් ආරම්භ විය. මෙම සටනේදී දහස් ගණන් දෙමළ ජනයා තමිල්නාඩුවට පළා ගියහ. මෙය ඉන්දීය මැදිහත්මක් සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කළේය. ඉන්දීය බලපෑම මත යුද මෙහෙයුම් නතර විය. රජීව් ගාන්ධි හා ජේ.ආර්.ජයවර්ධන ඉන්දු ලංකා ගිවිසුමට ලංකාවේදී අත්සන් තැබූහ. එම ගිවිසුම ප්‍රකාර 13 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් පළාත් සභා ස්ථාපිත කෙරුණි. ඉන්දියානු මැදිහත්වීමට මෙන්ම පළාත් සභාවලට විරුද්ධව ද මහා විරෝධයක් මතු කරන්නට එවකට විපක්ෂය වූ ශ්‍රී.ල.නි.පය හා අසාධාරණ ලෙස තහනමට ලක්ව සිටි ජ.වි.පෙ කටයුතු කළහ. කෙසේ වුවද පළාත් සභා ස්ථාපිත විය. පළාත් සභා ඡන්දයට යන මුල්ම ඡන්දදායකයන්ට වෙඩි තබන බවට ජ.වි.පෙ සටන්කාමීන් වෙතින් වූ තර්ජනය මධ්‍යයේ ස්ථාපිත වූ පළාත් සභාවල අදවන විට ජ.වි.පෙ නියෝජිතයෝ ද ක්‍රියාකාරී වී සිටිති.

තවද රජීව් ගාන්ධිද ජේ.ආර්. ද එක්වී දෙමළ ජනයා රවටා තිබිණි. ඒ පළාත් සභා පණතේ වූ සමගාමී ලැයිස්තුව හරහාය. බෙදන ලද බලය ආපසු ගැනීමේ සටකපට විධි විධාන එහි විය. අවසානයේදී උතුරු නැගෙනහිර වෙනුවෙන් බලය බෙදීම බලය නොබෙදීමක්ම වීමෙන් උතුරු නැගෙනහිර පළාත් සභාව හා මහ ආණ්ඩුව අතර වූ ගැටුම උත්සන්න වීමේ ප්‍රතිඵලය වූයේ ආණ්ඩුව විසින් උතුරු නැගෙනහිර පළාත් සභාව විසුරුවා හැරීමයි. උතුරු නැගෙනහිර සඳහා බිහි වූ පළාත් සභා ක්‍රමය උතුරු නැගෙනහිරට අහිමි වූ අතර අනෙක් පළාත්වල සමගාමී ලැයිස්තුවෙන් කප්පාදු කරන ලද බලතල සහිතව පළාත් සභා ක්‍රියාත්මක විය. මේ තත්ත්වය දෙමළ ජනයාට කළ අසාධාරණය විද්වතුන්ගේද ජාත්‍යන්තරයේද අවධානයට ලක් විය.

බලතල බෙදීමේ යෝජනා හා ප්‍රෝඩාවන්

මහජනතාව ජාතිවාදී ගොහොරුවේ ඔබා රැවටීමේ කලාවේ කොතෙක් නියැලුනද පාලන බලය අපේක්ෂා කරන ප්‍රධාන පක්ෂ ජාත්‍යන්තරයට බයය. මේ නිසා ජාතිය මෙන්ම ජාත්‍යන්තරයද රැවටීමේ උපක්‍රම ද නොඅඩුව ක්‍රියාත්මක කරන්නෝය. පළාත් සභාවලට එරෙහිව විශාල ආන්දෝලනයක් ඇති කළ ශ්‍රී.ල.නි.පය ජ.වි.පෙ ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සන්ධානය 1988 දී ඉදිරිපත් කළ බලතල බෙදීමේ යෝජනා පළාත් සභාවලට ද එහා ගිය යෝජනා විය.

ඉන්පසු 1981 දී මංගල මුණසිංහ තේරීම් කමිටුවට සහභාගි වූ ශ්‍රී.ල.නි.පය ඇතුළු ප්‍රධාන පක්ෂ හා දෙමළ පක්ෂ ෆෙඩරල් ක්‍රමයකට එකඟ වූහ. 1994 දී චන්ද්‍රිකාගේ මහමැතිවරණ යෝජනාවලිය ජාතික ගැටළුවට සාධාරණ විසඳුමක් දෙන බවට පොරොන්දු විය. එම වසරේම ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ යටතේ මහ මැතිවරණයට ආ ජ.වි.පෙ මැතිවරණ ප්‍රකාශනය සුළු ජාතීන්ට ස්වයං පාලනයක් ලබා දෙන බව ප්‍රකාශ කර තිබිණි. එම වසරේම ජනපතිවරණය සඳහා ඉදිරිපත් වූ ගාමිණී දිසානායක යෝජනා අනුව පළාත් සභාවල බලය පවරා ගැනීමට ජනපතිවරයාට ඇති අයිතිය අහෝසි කරන බවද උතුරු නැගෙනහිරට බලය බෙදීමේ ඒකකය එම ප්‍රදේශ නියෝජනය කරන දේශපාලන කණ්ඩායම් සමඟ සාකච්ඡා කර තීරණය කරන බවද පවසා තිබිණි. 1995 පොදු පෙරමුණු යෝජනාවලිය ඊටත් එහාට යමින් මූල්‍ය කටයුතු හා අධිකරණ බලතල පවා විමධ්‍යගත කරන බව පවසා තිබිණි. 1997 දී යළිත් පොදු පෙරමුණ ගාමිණි දිසානායක යෝජනා ද අභිබවා යමින් පළාත් සභාවලට විදේශාධාර ලබා ගැනීමේ ඉඩකඩ වැඩි කිරීම පිළිබඳව විධිවිධාන ද ඇතුළත් කර තිබිණි.

ක්‍රි.ව.2000 නව සහශ්‍රකය ආරම්භයත් සමඟම එ.ජා.පය හා පොදු පෙරමුණ එක්ව බලය බෙදීම පදනම් කරගත් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කළහ. මෙහි වැදගත් යෝජනාවක් වූයේ උතුරු නැගෙනහිර සඳහා අන්තර්වාර පාලනයකි. මෙය පාර්ලිමේන්තු ගත වූ අවස්ථාවේදී එ.ජා.ප.යේ සමහර මන්ත්‍රීවරු එය සම්මත කිරීම වෙනුවට පාර්ලිමේන්තු ගර්භය තුළදී එයට ගිණි තැබීම නායකයා බකුසු වතින් බලා සිටි අන්දම ඓතිහාසික දර්ශනයකි.

2002 දී රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දරණ කළ එල්.ටී.ටී.ඊ. සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් කරන ලදි. එමඟින් තායිලන්තයේ සිට ජපානය දක්වා සාකච්ඡා වට 6ක් සිදු කෙරුණි. එක්සත් ලංකාවක් තුළ ෆෙඩරල් ව්‍යුහයක් මත පදනම්ව දෙමළ කථා කරන ජනයාගේ ඓතිහාසික වාසභූමිවල අභ්‍යන්තර ස්වයං තීරණ ගැනීමේ අයිතිය මත පදනම්ව විසඳුම් යෝජනා කිරීම, පුනරුත්ථාපන කටයුතු සඳහා දෙපාර්ශවයේම නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් උතුරු නැගෙනහිර ගොඩනැගීමට අරමුදලක් පිහිටුවීම, ළමා ජීවිත ප්‍රකෘතිමත් කිරීමේ සැලැස්මක් සැකසීම, මානව හිමිකම් රැකීමට සැලසුම් සැකසීම වැනි තීන්දු ගණනාවක් මෙම රැස්වීමේදී ගෙන තිබිණි. එහෙත් රජයේ පාර්ශවයෙන් මේවා ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම නිසා එල්.ටී.ටී.ඊ.ය සාකච්ඡාවලින් තාවකාලිකව ඉවත් විය. එහෙත් ගිවිසුමෙන් ඉවත් වූයේ නැත.

කෙසේ වුවද චන්ද්‍රිකා ජනපතිනිය ජ.වි.පෙහි උදව්ද ඇතිව එ.ජා.ප බලය අස්ථාවර කර පෙරමුණු බලය තහවුරු කර ගත්තාය.
දෙමළ ජනතාවගේ ඉතිරිව තිබූ අංශුමාත්‍රයක තරම් වූ බලාපොරොත්තුවද කඩ විය. අනතුරුව දේශීය වශයෙන් යුදවාදී හා දමිළ විරෝධී හෙළ උරුමයේ හා ජ.වි.පෙ සහයද, ජාත්‍යන්තර වශයෙන් ඇමරිකාව, චීනය, පකිස්ථානය, එංගලන්තය යනාදී රටවල්වල සහයද ඇතිව එල්.ටී.ටී.ඊ.ය පරාජය කළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දෙමළ ජනයාට සාධාරණ විසඳුමක් ලබා දෙන බව කීවේ 2009 මැයි 18 වන දාය. එපමණය.

බෙදුම්වාදී ෆෝබියාව හා ජ.වි.පෙ

ලංකාවේ දේශපාලනය තුළ ජ.වි.පෙ. භූමිකාව විසින් කරන ලද අභියෝගය පිළිබඳ ගෞරවණීය හැඟීමක් පැවතිය ද ලංකාවේ ජාතික ගැටළුව සම්බන්ධයෙන් බරපතලම හානිය කළේ ජ.වි.පෙ. බව කිව යුතුමය.

ධනේශවර ගැති පක්ෂ ධනේශ්වරයේ පැවැත්ම වෙනුවෙන් උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ ප්‍රශ්නය තොරොම්බල් කළ ආකාරය පසුගිය ලිපියේ සඳහන් කළෙමි. ලාංකීය ධනේශ්වරයේ ක්‍රියාකලාපය දෙස බලන විට පෙනී යන කරුණ නම් ඔවුන් බලය බෙදීමට කැමති නැති බවය. මක්නිසාද යත් එවිට ඔවුන්ට මේ රට තමන්ගේ පරවේණි උරුමයක් සේ සළකා හිතූ හිතූ පරිදි එය විකුණන් කෑමට ඉඩ නොලැබෙන බැවිනි. මේ නිසා බලය බෙදීමක් යෝජනා වන හැමවිටකම රට බෙදීමේ ෆෝබියාවක් ඇති කරමින් ජනයා බිය ගැන්වූහ. ඒ ධනේශ්වරයේ හැටිය.

එහෙත් ජ.වි.පෙ. කළ බරපතලම හානිය නම් ධනේශ්වරයේ කපටි ව්‍යාපෘතියට බෙදුම්වාදය නමින් ආකර්ශණීය න්‍යායික පදනමක් එක් කිරීමය. ජ.වි.පෙ. බෙදුම්වාදයට ජාත්‍යන්තර සාධක පාදක වූ න්‍යායික පදනමක් තිබිණි. මේ න්‍යායික පදනම් සංකල්පය ලාංකේය සන්දර්භය තුළ තබා ප්‍රමාණාත්මක හා ගුණාත්මක සංවාදයකට බඳුන් කළ යුතුව තිබිණි. එහෙත් එය කරනු වෙනුවට එම සංකල්පය ධනේශ්වරයේ අවස්ථාවාදී වුවමනාව හා සමපාත වීමට ඔවුහු ඉඩ හළහ. එපමණක් නොව එසේ වීම දැක දැකම එය සතුටු සිතින් ඉවසා දරා සිටියහ. ඇතැම් විට ඒ පිටුපස ඇති ඡන්ද කුට්ටිය නිසා විය යුතුය. සවිඥාණිකව හෝ අවිඥාණිකව උතුරු නැගෙනහිර දෙමළ සහෝදරත්වයට වඩා ඡන්ද කුට්ටිය ප්‍රියමනාප වූවා විය හැක.

ඓතිහාසිකව ගත් කළ ජ.වි.පෙ. දේශපාලනයේ දමිළ පදනම් ඉතා අල්පය. උතුරු නැගෙනහිර හෝ කන්ද උඩරට දෙමළ සහෝදරත්වය සමඟ ලබා ඇති දේශපාලන පරිචය ඉතා අඩුය. මේ නිසාම ඔවුන්ගේ හද ගැස්ම ජ.වි.පෙ.ට දැනෙනවා කොහොමත් අඩුය. 2001 මහ මැතිවරණයට පෙර වත්මන් ජ.වි.පෙ. නායක අනුර දිසානායක, විජිත හේරත් යන සොයුරන් සමඟ ජා ඇල ඒකල කම්කරු සෙවණේදී ජාතික ගැටළුව ගැන සාකච්ඡාවක් පවත්වන ලදි. එහිදී රැස්ව සිටි පිරිස අතරින් ආ යෝජනාවක් වූයේ උතුර සමඟ සංවාදයක් අරඹන ලෙසය. එහෙත් එවකට ආරක්ෂක ඇමතිව සිටි අනුරුද්ධ රත්වත්තේ ජ.වි.පෙ.ට "කැටපෝලයක්වත් ගත්තොත් බලාගෙනයි" යනුවෙන් කියූ බවක් සඳහන් කරමින් විප්ලවීය පක්ෂයක අලුත් විප්ලවීය ගුණයේ තරම කියා පෑවේය.

ජ.වි.පෙ. කිනම් හෝ හේතුවක් දරාගෙන උතුරත් සමඟ දේශපාලන සම්බන්ධතා ගොඩනගා ගැනීමෙන් වැළකී සිටියේය. උතුරේ එවකට තිබූ LTTE ආධිපත්‍යය තුළ උතුර සමඟ දේශපාලන සබඳතා පැවැත්විය නොහැකි බවද ඊට පෙර කොන්දේසි විරහිතව LTTEය පරාජය කළ යුතු බවද ජ.වි.පෙ. හි තක්සේරුව විය. මෙහිදී ඔවුහු විජේවීරට ද වඩා ඉහළින් සිටියහ: 1982 ජනාධිපතිවරණ සමයේදී යාපනයට ගිය රෝහණ විජේවීර, බ්‍රිගේඩියර් තිස්ස වීරතුංගගේ මෙහෙයවීම යටතේ උතුරේ සිදු කළ මෙහෙයුම් තදබල විවේචනයට ලක් කළ අතර කොළඹ ධනපති පාලන තන්ත්‍රය විසින් දෙමළ ජනයාට එරෙහිව මුදා හරින මිලිටරි මර්දනයට එරෙහිව පැහැදිළිව සිට ගත්තේය.

LTTE මර්දනය කිරීම හා දෙමළ ජනයා මර්දනය කිරීම

උතුරේ සන්නද්ධ ව්‍යාපාරය යනු උතුරට එරෙහිව ගොඩනැගුණු දකුණේ සහාසිකත්වයේ තාර්කික ප්‍රතිඵලයයි. උතුරේ සන්නද්ධ ව්‍යාපාරය උතුරේ ජනයාගේ දේශපාලන හෘද ස්පන්දනයෙන් වියුක්ත කර ගැනීම දේශපාලන මුග්ධ භාවයයි. එහෙත් ධනපති ආණ්ඩු තම මර්දනය සාධාරණීකරණය කරමින් ලෝකයටත් දකුණේ දේශපාලනික වශයෙන් නොමේරූ පොදු ජනතාවටත් ප්‍රකාශ කළේ තම මෙහෙයුම් දෙමළ ජනතාව LTTEයෙන් මුදා ගන්නා 'මානුෂික මෙහෙයුම්' බවයි. ඔවුහු තම මානුෂික මෙහෙයුම්වල අමානුෂික බව වසන් කරන්නට සියලු පියවර ගත්හ.

ඇමරිකාව ඇතුළු ලෝකයේ ධනපති රටවල මූල්‍යමය හා යුධමය සහය ගෙන එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු උතුරේ ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර සහන සේවා කණ්ඩායම් සියල්ල උතුරෙන් පිටමන් කර සාක්ෂි විරහිත යුදමය මර්දනය දියත් කළහ. එකල ජ.වි.පෙ. මීට උඩගෙඩි දුන්න ආකාරය කිසිවකුටවත් රහසක් නොවේය. ධනපති ආණ්ඩුව යුද්ධය ජයග්‍රහණය කළේය. එය දෙමළ ජනතාව මුදා ගැනීමක් වනවා නම් එම ජනතාව සිටිය යුත්තේ ආණ්ඩුව පැත්තේය. එහෙත් දෙමළ ජනතාව ආණ්ඩුව පැත්තේ නැත. මන්ද යත් LTTE මර්දනය කරන මුවාවෙන් කිරි දරුවාගේ පටන් මහල්ලා දක්වා වූ දෙමළ ජනයාගේ ජීවිත වලට හා දේශපාලන හදගැස්මට ධනේශ්වර ආණ්ඩුවේ යුද්ධය කළ හානිය ඔවුන් හොඳින් දන්නා බැවිනි. ධනපති ආණ්ඩුව තම මිලිටරිමය තර්ජනාංගුලිය ඔස්සේ එකී තොරතුරු දකුණට හා ජාත්‍යන්තරයට ගලා යෑම කොතෙක් මර්දනය කළද දෙමළ ජනයාගේ හදවත් තුළ ඒවා සදාකාලික ස්මරණයන් වී හමාරය. දකුණට අභියෝග කළ ඔවුන්ගේ ඉතිහාසය භෞතික වශයෙන් ඩෝසර් කර දැමුවද ඔවුන්ගේ මතක සටහන් කිසිවක් ඩෝසර් කර දැමිය නොහැකිය. ධනපති ආණ්ඩුව උතුරේ ජනයාගෙන් ද ජාත්‍යන්තර හෘද සාක්ෂියෙන් ද මේ සම්බන්ධයෙන් දැනටත් දඬුවම් විඳින්නෝය. මේ මර්දනයට හවුල් වී ජ.වි.පෙ. කළ පාපයට උතුරෙන් සමාවක් නැති බව පැහැදිළිය. ජ.වි.පෙ. සමාජවාදයේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ නියෝජිතයකු බව පෙන්නුම් කරන්නේ අපටය. එහෙත් කොතෙක් උත්සාහ කළද උතුරට එවැනි ප්‍රතිරූපයක් දීමට ජ.වි.පෙ.ට නොහැකිය.

අභ්‍යන්තර විවේචනය හා ජ.වි.පෙ. ඛණ්ඩනය

ජ.වි.පෙ. ජාතික ගැටළුව සම්බන්ධයෙන් ගත් ඓතිහාසික ස්ථාවරය ජ.වි.පෙ. තුළම ප්‍රධාන පැළුම් දෙකක් නිර්මාණය කළේය.

1. වීරවංශ සාධකය
2. පෙරටුගාමී සමාජවාදී පක්ෂය


දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ගොඩනැගුවේ ජ.වි.පෙ.ය. ජ.වි.පෙ. තුළ හිඳිමින් එය නියෝජනය කළේ වීරවංශය. දේශහිතෛෂී ව්‍යාපාරයේ වීරවංශ සමාජවාදය දේශනා කළේ නැත. ඔහු ඒ වෙනුවට ජාතිවාදය පෝෂණය කළේය. අවසානයේදී වීරවංශත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් යන දෙකම ජ.වි.පෙ.ට අහිමි වූ අතර ජ.වි.පෙ. විසින් එමගින් ජාතිවාදයට කදිම වේදිකාවක් තනා දීම පමණක් සිදු විය.

ජාතික ගැටළුව පිළිබඳ ජ.වි.පෙ. ගත් ඓතිහාසික ස්ථාවරය සම්බන්ධ බරපතල විවේචනය ඇති වී තිබුණේ ජ.වි.පෙ. අභ්‍යන්තරයේමය. ජ.වි.පෙ.ඉහළ පෙළ නායකයන් මැතිවරණ දේශපාලනයට කොටු වෙද්දී සමාජවාදය අධ්‍යයනය කළෝ එහි තරුණ කොටස්ය. ඔවුහු සමාජවාදී ආස්ථානයක සිට ජ.වි.පෙ. හි ඓතිහාසික ස්ථාවරය ප්‍රශ්න කළෝය. අවසානයේදී ජ.වි.පෙ.න් වෙන්වන තැනට එය පත් විය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජ.වි.පෙ.න් වෙන්වන තැනට පත් වූ ප්‍රධාන සාධකයක් වූයේ ජාතික ගැටළුවයි. රටේ අනෙකුත් සමාජවාදී කොටස් පෙ.ස.ප. වෙත ආකර්ෂණය වූ ප්‍රධාන සාධකය වූයේද ජාතික ගැටළුව පිළිබඳව ජ.වි.පෙ. ගත් ස්ථාවරය පිළිබඳව ඔවුන් තුළ වූ විවේචනයයි. පෙ.ස.ප. ඔවුන් තුළ සමාජවාදය පිළිබඳ බලාපොරොත්තු දැල්වූහ.

එහෙත්...?

එහෙත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයද මේ වන විට "ස්වයං තීරණ අයිතිය" පිළිබඳ සූත්‍රයට බිය වී සිටින බවක් පෙනේ. ලාංකීය පොළෝතලය තුළ එම වචනය (ස්වයං තීරණය) කුරුවල් වී අවලංගු වී ඇති බව ඔවුන්ගේ තක්සේරුවයි. එම වචනයත් සමඟ ප්‍රවේශ වීමෙන් අවසානයේදී දෙමළ ජනතාවට කිසිවක් නොලැබෙන බව ඔවුහු සිතති.

අශ්වයාට අශ්වයා නොකියා තුරඟා යැයි කීමෙන් අශ්වයාගේ ස්වරූපය වෙනස් වන්නේ නැත. කළ යුත්තේ ලාංකීය දේශපාලන තලය තුළ ජනතාවකයේ ස්වයං තීරණ අයිතිය ප්‍රමාණවත් ලෙස සංවාදයට බඳුන් කරනවා විනා ඊට බියවී මුලු ගැන්වීම නොවේය. "ස්වයංතීරණ අයිතිය" ධනේශ්වරය හා ජ.වි.පෙ.ය විසින් බෙදුම්වාදී කුරුසියේ ඇණගසා ප්‍රදර්ශනය කරද්දී බියෙන් මුළු නොගැන්වී එය ජනතාවගේ විමුක්තිය බව ප්‍රකාශ කරන ධර්මදූතයෝ බිහිවිය යුත්තාහ. දෙමළ ජනතාවගේ විමුක්තියෙන් තොර වූ විමුක්තිියක් සිංහල ජනතාවට හෝ ලංකාවේ කිසිදු ජන කොටසකට නැත. ආර්ථීකව මෙන්ම සමාජීයව ද ලාංකීය දේශපාලනය ස්ඵූට කර ඇති සත්‍යය එයයි. "කිසියම් ජාතියක් පීඩනයට පත් කරන තවත් ජාතියක් තමන්ට බැඳි විලංගු තවත් ශක්තිමත් කරයි." යනුවෙන් කාල් මාක්ස් කළ සඳහන ලාංකීය දේශපාලනය තුළ මෙදා සත්‍යයක් වී තිබේ.

ජ.වි.පෙ.හි රූප වන්දනාව

ජ.වි.පෙ. විප්ලවවාදී පක්ෂයක් වුවද විජේවීර නැමති සිය පක්ෂයේ නිර්මාතෘවරයා හා ඔහුගේ කෘතීන් දේවත්වයෙන් වන්දනාමාන කරන බවක් පෙන්නුම් කරයි. ඔවුුහු විජේවීර තමන්ගේ සුරුවම කරගෙන ඔහුගේ "දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?" යන කෘතිය බයිබලය කරගෙන සිටිති.

මේ වන විට මාක්ස්වාදය පිළිබඳ බුද්ධිමතුන්ගෙන් ද ජ.වි.පෙ.න් කැඩී ගිය කොටස් වෙතින්ද විජේවීරයන් කන්ද උඩරට දෙමළ ජනයා හා උතුරු නැගෙනහිර දෙමළ ජනයා සම්බන්ධයෙන් ගත් ඓතිහාසික සංයුක්ත ස්ථාවරයන්ද ඔහුගේ කෘතියේ ඇති දාර්ශනික දෝෂ ද බරපතල විවේචනයට ලක් කර ඇත. ඔවුහු විද්‍යාත්මක මාක්ස්වාදී ආස්ථානයක පිහිටා කරන්නා වූ විවේචනය බරපතල ලෙස සැලකිල්ලට ගෙන නිවැරදි වීම ජ.වි.පෙ. වගකීමය. එහෙත් ජ.වි.පෙ. ලාංකීය මැතිවරණ දේශපාලනයේ දකුණට කේන්ද්‍රීය වූ කාරණා පාර්ලිමේන්තුවාදීව සාකච්ඡා කරනු විනා මාක්ස්වාදී දේශපාලන බුද්ධිමතුන් සමඟ ජාතික ගැටළුව අරභයා තම පක්ෂය ගත් ඓතිහාසික ස්ථාවරය පිළිබඳව න්‍යායාත්මක සංවාදයක් ගොඩනඟා ගැනීමට කැමැත්තක් දක්වන බවක් පේන්නට නැත.

මඟ නොහරින බව පෙන්වා ලිස්සා යෑම

ඔවුනට ජාතික ගැටළුව මඟහැරිය නොහැක. මේ බැව් පෙන්නුම් කරන්නේ 2013 ජූලි මාසයේදී ඔවුන් ප්‍රකාශයට පත් කළ "ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා ප්‍රවේශයක්" යන කුඩා නිබන්ධනයයි. එහි ඔවුන්ගේ නිගමනය වී ඇත්තේ ජාතික ගැටළුවට ධනපති ක්‍රමය තුළ විසඳුමක් නැත යන්නයි.

"ධනපති ක්‍රමයට ලංකාවේ ජාතික ගැටළුව විසඳිය නොහැකිය යන සත්‍යය අප පිළිගත යුතුය." (8 පිටුව-2013 මුද්‍රණය)

ඒ වෙනුවට ඔවුන්ගේ ප්‍රවේශය වී ඇත්තේ "උතුරු නැගෙනහිර පළාත්වල ජීවත්වන ජනතාව විශේෂයෙන් උතුරේ ජනතාව මුහුණ දී සිටින දැවෙන ප්‍රශ්න හඳුනා ගැනීම" ය. ඔවුනට අනුව ඒවා නම්-
1. අවතැන් වූවන් පිළිබඳ ප්‍රශ්නය
2. යුද්ධයෙන් පීඩාවට පත්වූවන්ගේ ප්‍රශ්න
3. සිරකරුවන්ගේ ප්‍රශ්නය
4. උතුරේ සිවිල් පාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත නොකිරීම
5. ඉඩම් ප්‍රශ්නය
6. නිවාස ප්‍රශ්නය
7. ණය ගැති භා
වය යන ප්‍රශ්නය. මේවාට අමතරව පොදු ගැටළු ලෙස භාෂා ප්‍රශ්නය, සංස්කෘතික අයිතීන් භුක්ති විඳීමට බාධා සිදුවීම හා විවිධ ජන කණ්ඩායම්වලට අසමාන ලෙස සැලකීම යන කරුණු ගැන ද එය අදහස් දක්වා ඇත.

එහෙත් බරපතලම ප්‍රශ්නය මේ එකක්වත් නොවේ. දකුණ කේන්ද්‍රීය හා සිංහල කේන්ද්‍රීය ධනපති ආණ්ඩු ඔවුන්ගේ ක්‍රියාකලාපය නිසාම ඇතිවුණු ප්‍රශ්න විසඳීමට ලඝුවීම ප්‍රශ්නයේ ඇති බරපතලකම සැහැල්ලු කිරීමකි. මෙහි ඇති බරපතලම ප්‍රශ්නය නම් අභිමානයයි. ශ්‍රී ලංකා තලයේ එක්තරා භූමිභාගයක වෙසෙන වෙනම භාෂාවක් කතා කරන ජනතාවකට තමන්ගේ දේශපාලන ඉරණම තීන්දු කිරීමේ අයිතිය එනම් තමන් පාලනය විය යුත්තේ කෙබඳු ආකාරයකට ද යන්න තීන්දු කිරීමේ අයිතිය පැහැර ගැනීම අභිමානය කෙළෙසීමකි.

ස්වයං තීරණය

ස්වයං තීරණ අයිතිය යනු වෙන්වීමට අවශ්‍ය නම් ඒ සඳහා පවා ඇති අයිතිය බව ඇත්තය. වෙන්වීම හොඳම දේ නොවන බවද ඇත්තය. එහෙත් එවන් තීරණයක් ගැනීමට පවා දෙන නිදහස යනු එම ජනතාවගේ අභිමානයට ගරු කිරීමකි. සෑම පුද්ගලයෙකුටම සේම සෑම ජාතියකටම අභිමානයක් ඇත. ඔවුන් ඉතා කුඩා ජාතියක් වුවද මහ ජාතියේ අභිමානයට ඔවුන්ගේ අභිමානය යට කිරීම මහ ජාතියේ අභිමානයද කෙළෙසීමකි.

ස්වයං තීරණ අයිතිය හැමවිටම වෙන්ව යෑමක් වී නැත. මේ සඳහා හොඳම නිදසුන කැනඩාවේ, කියුබෙක් ප්‍රාන්තයයි. වෙන්ව යෑමේ යෝජනාව ආ විගස කැනඩා රජය එම ප්‍රාන්තයේ ජනතාවට ඒ පිළිබඳව තීන්දුවක් ගනු පිණිස ජනමත විචාරණයක් (එම ප්‍රාන්තය තුළ) පැවැත්වීය. එහෙත් ඔවුහු වෙන් නොවන්නට තීරණය කළහ. මෙම ලියුම්කරු මීට වසර ගණනාවකට පෙර උතුරේ වැසියෙකුගෙන් මේ ගැන විමසූ විට ඔහුගේ පිළිතුර වූයේ "අපි කැමති නැද්ද නුවරඑළිය බණ්ඩාරවෙල වගේ ලස්සන ප්‍රදේශ අපේ රටේ බව කියන්නට?" යනුවෙන් පෙරළා ප්‍රශ්න කළේය. මේ වන විට දෙමළ ජාතික සන්ධානය එක්සත් රටක් තුළ බලය බෙදීමක් වෙනුවෙන් කැපවෙන බව කියා සිටී. ඒ ඔවුන්ගේ කැමැත්තය. එහෙත් ස්වයං තීරණය යනු වෙන්වීමට පවා ඇති අයිතියයි. එම අයිතිය පිළිගැනීම දෙමළ ජනයා මේ රටේ අභිමානවත් පුරවැසියන් ලෙස පිළිගැනීමකි. එය පිළිනොගැනීම අද්‍යතන ධනේශ්වරය විසින් ධනපති ක්‍රමයේ පැවැත්ම සඳහා පාවිච්චි කරනු ලබන සිංහල ජාතිකෝන්මාදයට ඍජු ලෙස හා වක්‍ර ලෙසත් සවිඥානික හා අවිඥානික ලෙසත් යට වන්නට ජනයාට ඉඩ හැරීමකි. ජ.වි.පෙ. සිය පාක්ෂිකයන්ටත් එසේ වන්නට ඉඩ හැර ඇත.

ධනපතියන්ට ඒකීය රට කුමට?

ආණ්ඩුව ඇමරිකාවට කොතෙක් දොස් පරොස් කීවද ආණ්ඩුව යුද්ධ කළේ ඇමරිකාවේ මූල්‍යමය හා යුදමය ආධාර ඇතිව බව ප්‍රතික්ෂේප කළ නොහැකි බවට අපි අභියෝග කරමු. ඇමරිකාවේ පමණක් නොව චීනය, ඉන්දියාව, එංගලන්තය වැනි බලවත් රටවල් ගණනාවක උදව් ලබා ගත්තේය.

එසේ කරමින් උතුරේම භූමි පුත්‍රයන් වූ L.T.T.E. පාලනය බිඳ දමා උතුර දකුණට ඈඳා ගත්තේය. දැන් උතුරේ හොඳම බිම්කඩවල් (දකුණේ මෙන්ම) උතුරේ මෙන්ම දකුණේ ජනතාවටත් අහිමි වෙමින් පවතී. බහුජාතික කොම්පැණි දැන් දකුණේ මෙන්ම උතුරේ භූමිභාගයන් ද තම ග්‍රහණයට ගනිමින් සිටී. ආණ්ඩුව උතුර අල්ලාගත්තේ දකුණ මෙන්ම විකුණන් කෑමට බව ජ.වි.පෙ. නොදන්නවා විය නොහැක. ස්වයං තීරණයට තබා කිිිසිදු ආකාර බලය බෙදීමකට එකඟ නොවන ජ.වි.පෙ. මේ කරමින් සිටින්නේ ප්‍රායෝගිකව ධනපති ව්‍යාපෘතියට ආ වැඩීමයි. මෙකී කර්කෂ විවේචනය සහෝදරාත්මකව සැලකිල්ලට ගැනීම ජ.වි.පෙ. ගර්භාෂයෙන් උපන් සියලු දෙනාගේ දේශපාලන යහගුණ සඳහා වැදගත් වන්නා සේම මේ පිළිබඳව විවෘතව සිතා බලා මේ ෆෝබියාවෙන් මිදීම දේශයටම විමුක්තිදායක වනු ඇත.

Image- Indranil Mukherjee/AFP/Getty Images (theepochtimes.com)

අජිත් හැඩ්ලි පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails