Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ප‍්‍රනීත් චානක මුරමුදලිගේ "නා ගහක් යට" නම් කෙටිකතා සංග්‍රහය, කෙටිකතාව නම් කලාවේ විචිත‍්‍රත්වය පිළිබඳ අවබෝධයකින් ලියන ලද බව පෙනෙන කෙටිකතා එකතුවකි. ලෝකයේ විවිධ කාල පරාස තුල කෙටිකතාව විවිධ ස්වරූපයෙන් පැන නඟියි. ස්වරූපය කවරක් වුවත් ඒ කලාවේ ඇති ස්වභාවය නම් ක්ෂණික වූද ගැඹුරු වූද අන්තර්දෘෂ්ටියක් සැපයීමේ හැකියාවයි. ඉතා කුඩා පඨිතයක් තුළ අනිශ්චිතාර්ථවත්භාවය මත රඳවන ලද අන්තර්දෘෂ්ටිය නිසා කෙටිකතා කියවීම සුවිශේෂ අත්දැකීමක් වෙයි. මුරමුදලිගේ ඇතැම් කතා වල එන 'නොකියන ලද දේද නොකියා සිටීම' නිසා ඇති වන කලාත්මක අනිශ්චිතාර්ථවත්භාවයද ඔහුගේ කතා කලාවේ කලාත්මක සුවිශේෂිත්වය ඇති කරයි. "කෙටිකතාව නම් කලාවේ විස්මකර්ම වැඩ කිරීමට නම් ඒ කතාවේ ව්‍යූහමය අංගවලින් හරියටම වැඩ ගැනීමට ඉගෙන ගත යුතුය" යන්න හෙන්රි ජේම්ස් (Hendry Jeams) සහ එඞ්ගා ඇලන් පෝ (Edgar Allen Pho)ගේ කාලයේ සිටම පිළිගැනුණ අදහසකි. "කථකයා හෝ පාඨකයා" යනු එසේ නිර්මාණශීලි ලෙස භාවිත කළ හැකි ව්‍යුහමය අංගයකි. දෘෂ්ටිකෝණය තව එකකි. මේ අංග සූක්ෂමාකාර වලින් මෙහෙයවීමේ ලා අවශ්‍ය වන්නේ කවිකම් සහිත භාෂා හැසිරවීමේ හැකියාවකි.

මේ තරුණ කෙටිකතාකරුවාට යට කී කෙටිකතාවේ නුතන භාවිතාවන් පිළිබඳ අවබෝධයක් නොමඳ ලෙස පිහිටන බව පෙනෙන්නේ වර්තමාන ජනසමාජීය ඛේදවාචකයක් "අහෝ වීර්යය ජාතකය" වැනි නාම සඳහනක් භාවිතයෙන්, ජාතකකතා ස්වරූපයෙන්, සාම්ප්‍රදායික භාෂා භාවිතයකින් හුවා දැක්වීම තුළිනි. "කුලුනක් මුදුනක දී" වැනි කතාවක් ද මා මේ විස්තර කළ ඇතැම් අංග පිළිබඳ හොඳ නිදර්ශනයකි. එසේම ඔහුගේ කෙටිකතා එක්තරා සංදිග්ධ මිනිස් නාටකයක් මැදට ඉතා ක්ෂණයකින් අප ගෙන යනු ලබයි. එසේ ගොස් අතහරිනු ලබන පාඨකයාට ආඛ්‍යානය වෙතින් ආපසු එන්නට වන්නේ ඥානවිභාගාත්මක ගමනකි. "නා ගසක් යට" කතාවේදී අපට මුණ ගැසෙන කථකයා සහ කෝදාගොඩ මහත්තයා කුමක්දෝ අමුතු ආඛ්‍යාන ලෝකයකට අප රැගෙන යති. ඒ දෙදෙනා සමඟම අපි වහා බැඳෙමු. "ප්ලේන්ටියක් ගැහුවොත් හොඳයි" යන සිතිවිල්ල පවා ඔවුන්ගේ ජීවිතය වෙත අනපේක්ෂිත නාට්‍යමය බවක් එකතු කරයි. ඉන් පසු ඒ සිදුවීම අර්ථකථනය කරන්නට අපට බාර දී රචකයා නවතියි. ඒ කතාවට හසු වී ඇති මිනිස් පැවැත්මේ නිමේෂය තුළට යුගයක් හා සංස්කෘතියක්ද පරම්පරා දෙකක් ද දර්ශනය වේ.

"සරත්සමය" දී 2009 වර්ෂයේ මාස නමයක් තුළ සොල්දාදුවෙකුගේ දිනසටහන් මාලාවට රචකයා හසු කරගන්නා දේ පශ්චාත් යුධ රණවිරුවා පිළිබඳ මවන්නේ ශෝකජනක චිත‍්‍රයකි. මේ රණවිරුවා සමාජයට නොව තමාටම පෙනෙන හැටිය. ඒ දිනපොතේ මැයි මාසය පුරාම කිසිම සටහනක් නැතිවීමද අර්ථවත්ය. කතාවේ හරය ඇත්තේ සොල්දාදුවා දිනපොතටවත් නොකියන්නට තීරණය කරන එතැන විය යුතුය. සමස්ත ජාතියම කතා කරන දිනයක් ගැන සොල්දාදුවා දිනපොතේවත් නොලියන්නේ ඇයි?

"මකුළු දැල්" වැනි කෙටිකතාවක් ලාංකීය සාම්ප්‍රධායික කෙටිකතා කලාවේ අවශ්‍යතා සපුරන්නක් වැන්න. එහි ඔහු භාවිතා කරන මූලෝපක්‍රම මෙහෙමත් කතා ගොතන්නට මට හැකිය යන්න කියාපාන්නකි. මුරමුදලිගේ බොහෝ විට තම ශානරය තුළින් මිනිස් ජිවිත පිළිබඳ 'සානුකම්පිත උපහාසයක්' ගෙන එයි. "සුවර්ණ පුස්තකය කලුයකා සහ කිරිපණුවා" වැනි නිර්මාණයක් එකී දෘෂ්ටිය පෙන්වන්නකි. ඔහු මිනිසාගේ වර්තමාන පැවැත්ම දෙස බලන්නේ අනුකම්පා සහගත සිතකිනි. මේ දෘෂ්ටිය ගී ද මෝපසන්ට්(Guy de Moupassant)ගේ කෙටිකතාවෙන් නැගී ආ ආඛ්‍යාන විදිහක් වන අතර මුරමුදලි බටහිර කෙටිකතාව පිළිබඳ අවබෝධයක් ඇත්තෙකු සේ පෙනේ.

ඔහුටම ආවේණික වූ ද මෙකල ලංකාවේ ජීවිතය පිළිබඳ තීරණාත්මක සංඥාර්ථ විසිර පවත්නා වූද සමකාලීන ශ‍්‍රී ලාංකිකයාගේ විඥානයේ හා චින්තනයේ රිද්මයද හසු කරගන්නා භාෂාවක්, ආඛ්‍යාන ස්වරූපයක් මුරමුදලිගේ විසින් සොයාගනු ලැබ ඇත. එය පහසු ජයග‍්‍රහණයක් නොවේ. පළමු පොතින්ම එවැනි ජයග‍්‍රහණක් ලැබීම යනු ද විරල කාරණයකි.

මෙම තරුණ කෙටිකතාකරුවාට කෙටිකතාව නම් කලාවේ ව්‍යූහමය සංරචන ක‍්‍රියාවලිය ගැන පවා මනා අවබෝධයක් ඇති බව පෙනේ. මෙතරම් මනරම් ආකාරයට මිනිස් ජීවන අවස්ථා හසු කරගන්නා රචකයෙකුට තවත් නම් ඉගෙනගන්නට ඇත්තේ කෙටිකතාව නම් ශානරය තුළ විනිවිදින තේමා ගොඩනඟන්නේ කෙසේද යන කාරණයයි. ඒ සඳහා සමහර විට ඔහුට අභිමත යැයි ක්ෂුද්‍ර කෙටිකතාවෙන් තරමක් ඈතට යන්නට හැකි විය යුතුය. ඔහුගේ කතා තව ටිකක් දිගට කියවන්නට අපට නම් අරුචියක් හෝ වෙහෙසක් නැත. කෙටිකතාවෙන් සැපයෙන ක්ෂණික අන්තර්දෘෂ්ටියේ අර්ථය සහ කෙටිකතාවේ දිග අතර අනුල්ලංඝනීය සම්බන්ධයක් ඇත. තරමක් දිග කෙටිකතාවක් වුව කලාත්මක පරිසමාප්තිය අත්පත් කරගෙන ඇත්නම් රසිකයා ක්ෂණයකින් පුදුම කර ඇහැරවන කියවීම් අත්දැකීමක් ලබා දිය හැකිය.

තමන් ලියන්නට කැමති ශානරයේ ව්‍යූහය සහ ශෛලිය මෙතරම් හොඳින් හසුවන රචකයෙකු ඒ බුද්ධිමය අන්තර්ගතය සොයා ගත හැක්කේ බුද්ධිමත්ව නිරීක්ෂණයෙන්ද කවුරුත් බලන ආකාරයට නොබලන දෘෂ්ටිමය පොහොසත්බව අත්පත් කරගැනීමෙන්ද පමණි. ඒ ලක්ෂණ දැනටමත් රචකයා තුළ යම් තරමකට හෝ නැතිනම් යටකී ව්‍යූහමය හා අන්තර්ගතමය විශිෂ්ටත්වය අත්පත් කරගන්නට ද නොහැකිය.

වර්තමාන සංකීර්ණ මිනිස් චර්යාවන් සංස්ලේෂණය කිරීම කොතරම් දුරට මේ කෙටිකතා සංග්‍රහයේදි සිදුවී ඇතිදැයි විමසීමට නම් අඩුම තරමේ මේ කතා දෙවරක්වත් කියවිය යුතුය. එවිටය ඒවායෙහි ඇති අතිසරල ගැඹුර දිටීය හැක්කේ. එය විචාර කර්තව්‍යයකට මඟ පෙන්වන්නකි. මේ සියල්ල මෙසේ තිබියදී තමා තෝරාගත් කලාව සමඟ ජීවිත කාලයක් ගත කිරීමේ හා දරාගැනීමේ ශක්තිය මුරමුදලිගේට ලැබේවායි මම පතමි.

ලියනගේ අමරකීර්ති



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails